අකුරු මැකී නෑ

Tuesday, August 18, 2020

මාරක හී පහර - සිව්වෙනි කොටස

ඇය ඉතාම හොඳින් ඒ ගීය ගැයුවාය!

රමණී නංගී ඒ සිංදුව මටත් වඩා හොඳින් ගැයුවාය. මටත් වඩා හොඳින්.... ඒ මගේ හැඟීමයි. අමරේලාගේ සාම ජාතකයේදී ඒ ගීතය ගයමින් සාම කුමාරයාට රඟන්නටවී තිබුණේ මටය! ඒත් අපේ නාට්‍යයේදී මට පැවරී තිබුණේ සාම කුමාරයාගේ අම්මා; පාරිකා චරිතය රඟන්නටය. 

“මල්ලී බලාගෙනයි අමරෙලා එක්ක නාට්‍ය කරන්නේ...” අමරේලාගේ ‘සාම ජාතකය’ පුහුණුව අතරතුරදී තරුණයෙක් මට කෙඳිරුවේය. ඔහු හිටියේ සුළු චරිතයක් රඟපාන්නටය. ‘එහෙම කියන්නේ ඇයි? ඊටත් රහසින්?’ එක වරම මට හිතුණේ ඒකය. ‘බූරුවෝ, ඔහොම දෙයක් කියයිද පත්තරේ දානවා වගේ ප්‍රසිද්ධියේ?’ ඒ එක්කම වගේ හිත මගෙන් ඇහුවා මතකය.

“ඇයි අයියේ?”

“මං මේක ඔයාට කියන්නේ පව් කියලා. අමරේ ඔයාටත් නාට්‍යයට ඉන්නවට සල්ලි ගෙවනවා කිව්වා නේද?”

උත්තරය ඔළු භාෂාවෙන්! උඩට-පහළට හෙමින් හිස සෙලවීමක්.

“මිනිහා මීට කලිනුත් වත්තේගෙදර හරියේ නාට්‍ය දෙක තුනක්ම කළා..... ඒ හැම සැරේම නාට්ටිය ඉවර වෙන්න කලින් පොලු තියලා, සල්ලිත් අරන් හොරෙන්ම පැනලා ගියා. බලාගෙනයි....”

ඒ අයියාට ස්තුති කළාට පස්සෙ වුණත් මගේ හිත කුයි-කුයි ගැන එක නැවතුණේ නැත.

ඒ දවස්වල අප දිව්වේ එදා වේල ටුවර්ස්ලා වගෙය!

සාම ජාතකය ප්‍රැක්ටිස් වෙන හැම දවසකම අවසානයේ, අමරේ හෝ වින්සන් මාමා හෝ මට සල්ලි ගෙව්වේ අනෙක් අයට නොදැනෙන්නටය.

ඒ දවස්වල අපි එදා වේල ටුවර්ස් වීමු! කලිනුත් කියා ඇති විදිහටම මා පේව්මන්ට් එකේ රජවී, එදිනෙදා හම්බ කරගෙන එන දෙයක් පහුවදාම වියදම් වෙලාත් ඉවරය!! 

අච්චර පණ්ඩිත දිසානායක හේවගේ ගුණපාල උන්නැහේ; අපේ පිය මහ රජ්ජුරුවන්ට මැරෙන තෙක්වත්; කොයියම්ම මොහොතකදීවත් ‘පායනා කාලෙදී - රෑ දවල් මහන්සිවී - කන්ට දේ රැස් කරත් - කූඹියෝ’ කවිය අහන්ට ලැබිලා නැතිවා වෙන්නැති. කලින් දවසේ ‘කල්ල මරේ’ වුණත් පහුවදාටත් බඩ-රස්සාව නොකළොත් බඩ පණුවන් බඩ ගින්නේය.

ඉතින්, කලින්ම ගිවිසාගත් විදිහටය; නාට්‍ය පුහුණුවකට ගියොත්, එදාට පාඩුවෙන මුදල අමරෙලා මට ගෙව්වේ.

මට යන්තමට මතක හැටියට නම් ඒ රුපියල් දහයක් විතරය. ඒ සල්ලිය, අපේ තාත්තාට රේස් chit එකක් දමන්නටත්, අපේ ගෙදර දවසක වියදමටත් ඇති වුණේය.

මොන විදිහකින් හරි මගඩියක් කෙරුණත්............

ඉතින් අමරේ මගඩියක් කළත් අපට ලොකු පාඩුවක් වෙන්නට ඉඩක් නැති බවය, මට හිතුණේ. ‘ඔව්වා සේරම තාත්තා එක්ක කියන්නට ගියොත් ඒ නාට්ටියෙන් කමක් නෑ කියලා කියයි. ඊට-මීට වැඩිය හොඳා කට පරෙස්සම් කරගෙන ඉන්නවා.’ මගේ බුද්ධිය මට කිව්වේය.

දැන් ඉතින් නාට්‍ය දෙකේම පුහුණුවීම් කෙරීගෙන යයි.

“තාත්තේ, අමරේලාගේ නාට්ටිය පෙන්නන්නේ වෙල්යාය පාර අද්දර හිස් ඉඩමක. ලොකු ස්ටේජ් එකක් ගහන්නත් කතා වෙනවා... එයාලා ගේන තිර ලොකු එව්වලු.” අපේ තාත්තාටත් සේරම විස්තර දෙන්නටය මා පුරුදුවී හිටියේ.

“අපිත් සෙකන්ඩ් වෙන්න හොඳ නෑ බං. අපේ නාට්ටියේත් එක සීන් එකයිනේ, රජ මාලිගාවේ තියෙන්නේ..... මම හිතාගෙන ඉන්නේ මේ සැරේ පැලැන්වත්තෙන් ඉස්සරහ තිරෙයි, මාලිගාවේ තිරෙයි විතරක් ගන්න...”

“ඇයි තාත්තේ කැලේ?”

“හිටපන්කෝ කියනකල්... ඒ තිරේ ඕනි නෑ. පැවිලියන් එක පිටිපස්සේ අපි හදමු නියම කැලයක්..... රජ මාලිගාවේ තිරේට ඒ කැලේ වැහෙන විදිහට.... දූකුලයි පාරිකායි මාලිගාවෙන් තපස් රකින්න යනකොට ඒ තිරේ ටික-ටික ඇකිළිල කැලේ මතු වෙනකොට ලස්සනට පෙනෙයි.......” 

එතකොට තාත්තේ ගල් ගුහාව?

“එතකොට තාත්තේ ගල් ගුහාව?”

නාට්‍යය ලියා තිබුණු විදිහට ගල් ගුහාවකුත් නැතිව බැරිය.

ගැබ්බර පාරිකා වේදනාවෙන් පෙළෙමින් ගල් ගුහාවට යයි. ඇය වේදනාවෙන් කෙඳිරිලි හඬ නඟනවා ඇහෙයි. ඊට ටිකකට පස්සේ අලුත උපන් බිලිදෙකු හඬනවා ඇහෙද්දී, පාරිකා බිසව සිඟිත්තා නළවමින් ගල් ගුහාවෙන් එළියට එන්නේ ගීතයක් ගයමිනි. ගීතය අවසානයේ ඇය යළිත් ගුහාවට යයි. තත්පර ගණනකදී දස අවුරුද්දක් විතර වයසැති සාම කුමාරයාත් කැටුව පාරිකා යළිදු ගුහා දොරටුවෙන් වේදිකාවට පිවිසෙයි!

“ඒකත් මං හිතලා ඉවරයි බං. රීප්ප කෑලි ටිකකින් ගල් ගුහාවේ වට්ටුව ගහලා, ගෝනි ටිකක් ගහනවා... ඊළඟට ගෝනි රෙදි ටික කළු පාටෙන් පාට කර ගන්න එකනේ.... ඒ විදිහටම තමයි විස දුම අරින නාග රාජයා ඉන්න හුඹහ හදන්නෙත්! ඒ දෙකම පොඩ්ඩක් තල්ලු කරලා අහකට ගන්නවා ඒ ඒ සීන් එකේදී......” තාත්තා කියද්දී මම පියවරෙන්-පියවර චිත්ත රූප මවා ගත්තෙමි. සේරම හරිය. වරදින්නට ඉඩක් ඇත්තෙම නැතිය.

සමහර දේවල් වැරදිලා බව තේරෙන්නේ පස්සෙන්-පහු කාලයකය. මේකත් අහු වුණේ කොච්චර කාලෙකට පස්සෙද? බ්ලොගය ලියද්දී මා පරෙස්සම් වෙන්නේ පුදුම විදිහටය. වැරැද්දක් ලියවුණොත් හෙම අනාගතයේ උපදින කෙනෙකුට හරි අහු වෙන්නට පුළුවනිය. ගිය සතියේ ‘සාම ජාතකය’ හොයා බලද්දීය අපේ ගොන්කමක් මටම මීටර් වුණේ.

අපේ ආච්චී වගේ උදවියට බරණැස් නුවරයි, බඹදත් රජ්ජුරුවනුයි ඇරුණාම....

අමරේලාගේ නාට්‍ය අධ්‍යක්ෂතුමාත්, අපේ ආච්චීත් දෙන්නාම දැනගෙන හිටි සාම ජාතකේ වැරදි තැන් ගොඩාරියකි!!!

අපේ ආච්චීටත්, තව හුඟාක් දෙනාටත් බරණැස ඇර වෙනින් නුවරක් ඉන්දියාවේ තිබුණේ නැතිවා වගෙය. ඒ මදිවාට රජවරු නැති බණ කතාවකුත්; ජාතකයකුත් නැතිවා වගෙය. විශේෂයෙන් බඹදත් රජතුමා....

රජවරු නං ඉතින් පුළුවාාාාාාාන් තරම් ජාතක කරන උදවිය වගෙය. අපටත් ‘රජවරු’ කිව්වාම නිකම්ම බඩ පිරෙයි. රජෙකු ඉන්නවාය කියන්නේ අප විහින්ම බඩගැත්තරයන් බවට පත්වීමය කියලාවත් අපට හිතෙන්නේ නැතිය.... (අනේ නිමලෝ, ඔව්වා තියෙද්දී ජාතකේ කියහන්කෝ....)

මේ කතන්දරේ සිද්දවී තියෙන්නේ බරණැස් නුවරය. හැබැයි බඹදත් නොවේ; පිළියක් රජතුමාගේ කාලයේය. ඒ සන්දියේ මිගසම්මත ගංගාවේ ඉවුරු දෙකේ වැදි ගම්මාන දෙකක් තිබුණාලු. එක ගමක ගෙවල් 500 ගණනෙත් තිබ්බාලු. වැදි ගම්මාන දෙකේ නායකයන් දෙන්නාට හිටියා පුතෙකුයි, දුවෙකුයි. ඒ දෙන්නාව විවාහ බන්ධනයෙන් බැන්දෙව්වාලු, දෙමව්පියෝ.

මාර වැඩේ! අම්මලා තාත්තලාට කීකරු වුණාට; කීකොරු වෙලා කසාද බැන්දාට මේ ජෝඩුවම වීතරාගී!! ලිංගික බෙලහීනතාවය නෙවෙයි..... අපුච්චේ. රාගයෙන් තොරයි....

දූකුල-පාරිකා දෙන්නාම වැදි ගම්මාන දෙකක නායකයන්ගේ......

ඉතින් බලන්නකෝ, එතනම අපේ වැරදි කීයක්ද? දූකුල- පාරිකා දෙන්නා වැදි දරුවෝ.... වීතරාගිකයෝ. අපේ නාට්‍ය දෙකේම එයාලා රජ දරුවෝ; අඹුසැමියෝ!

අම්ම-තාත්තලට කීකරු වෙලා සරණ බන්ධනයෙන් බැඳුණාට පස්සේ මේ ජෝඩුව අර ගඟ අද්දර වනාන්තරේට ගිහින් ගල් ගුහාවක පදිංචි වෙලා බණ-භාවනා කරගෙන දැහැමෙන්-සෙමෙන් කල් යවනවා. බඹසර රක්ෂා කරමින්. සක්කරයා දන්නවනේ.... (අර අහල්‍යාවට අහවල් වැඩේ කරන්න ගිහින් ගෞතම ඍෂිවරයාට අහුවෙලා සරුවාංගය පුරා ‘යෝනි’ දාහක් හදාගත්තු කෙනා....) උන්නැහැගෙ රාජකාරියත් ඉතින් පැපරාසි වැඩේ වගේමයි. මනුස්ස ලෝකේ වෙන ආසානාසි, අපල-උපද්‍රා, අලකලංචි පස්සෙන් පන්නන එක.

‘දෙයි හාමුදුරුවනේ.’ දූකුල-පාරිකා දෙන්නාට අනාගතේ පල දෙන්නට නියමිත අතීත පාප කරුමයක් දිවසින් දැකපු ශක්‍රයාට කියවෙන්න ඇති. පට ගාලා දිවිය ලෝකෙන් මනුස්ස ලෝකෙට බැහැලා, මිගසම්මත ගංගාව අද්දර වන ලැහැබට ආපි!

“ස්වාමීනි, නුඹ වහන්සේලාට එක අන්තරායෙක් පෙනෙයි. එබැවින් මතු රක්නා පිණිස පුත්‍රයෙක් ලබන්ට වටනේය, එසේ හෙයින් ලෝක ධර්මය සේවනය කළ මැනවැ” ශක්‍රයා දූකුල තාපසයාට වැඳලා ගරුසරු ඇතිව කියා හිටියා. ‘... දූකුල පණ්ඩිතයන් වහන්සේ එය ඉතා පිළිකුල් කොට ප්‍රතික්ෂේප කළ කල්හි...’ කියලයි ජාතක පොත ඊළඟ පියවරට යන්නේ.............

ශක්‍රයා කියාපු විදිහට තාපසයාගේ අතයි, පාරිකාගේ නැබයි....

ඔන්න එතැන නම් පොඩි පරහක් තියෙනවා වගෙයි. ‘.... එසේ නම් පාරිකාවන් මල්වරවූ කල අතින් නාභිය පිරිමැද්ද මැනවැයි කීහ. තාපසයෝ එය ඉවසා එසේ කොට දසමස් ඇවෑමෙන් බිසව පුතෙකු වැදුවාය.’ ඔය කිව්වේ ජාතක පොතේ තියෙන විදිහ. ඒ කාලේ මල්වර වෙනවා කියන්නෙත්, කාන්තාවකගේ ඔසප්වීමට... ජීව විද්‍යානුකූලව නම් ඒ දවස්වලට මේරූ ඩිම්බ සෛල නැහැනේ.... අනෙකත් බොහොම සැකමුසු කාරණයක් ආයිබොවන්, පසික්කාඩු මට නං.

තාපස උත්තමයෙකුගේ අතේ කොහෙන්දෑ අප්පේ ශුක්‍රාණු? ජාතක පොතේ ඔහොමමයි. මතකයි නේද නලිනී ජාතකේ ඉසිසිඟ තාපසයාගේ උත්පත්ති කතන්දරේ? ඊට හපන් නොවැ උන්නාන්සෙගෙ නොදැනුම!

කොහොමෙන් හරි, දූකුල තාපස උන්නාන්සේගේ අතයි, පාරිකා තපස්වරියගේ නැබයි ස්පර්ශයෙන් සාම කුමාරයා ඉපදෙනවා.... කතාවේ  ඉතිරි හරියේ නං අපට එච්චර දෙයක් වැරදිලා තිබුන්නෑ..... ගියවර පෝස්ටුවේදී කියාපු විදිහම තමා, එක තැනකදී හැර. ඒක පස්සේ කියන්නංකො.

මුල්ම දවස්වල වගේ නෙවෙයි, නාට්‍යකාරයන් විදිහට මහරගම මුලුක්කාදිය පුරාම අපේ නම පතල වෙලා තියෙද්දී ‘මාරක හී පහර’ ගැනත් ආරංචිය පැතිරෙන්න ඇති. හරියටම කවුද කියලා නම් මට දැන් මතක නැතත්, එච්චර දැක පුරුදු නැති කෙනෙක් අපේ ගෙදරට ගොඩ වැදුණේ ඔය අතරේ. “මම තකහනියක්ම ගුණපාලයියා හම්බ වෙන්න ආවේ මේ පාර කරන්න යන නාට්ටිය ගැන ආරංචි වෙලා....”

ලියනගේ කිව්වද මම නාට්‍යයට වඳුරෙක් හොයන බවක්?

‘ආ ඇත්තද? මුන්නැහෙව කලින් හම්බ වෙලා නං නෑ’ කියා-කියා අපේ තාත්තාත් ඔළුව කැසුවා.

“ගුණපාල අයියට නිච්චි නැතිවට මාත් ලියනගේ අයියා ළඟ chit දමන්න එනවා.... එයා තමයි කිව්වේ මේ සැරේ ගුණපාලයියලා සාම ජාතකේ නටන්න යන බව....”

“ආ එහෙමද? ලියනගේ තමයි අපේ ඉස්සෙල්ලාම නාට්‍යය විල්මන් අයියලාගේ වින්කලේ ළඟ නටන්න හරිගස්සලා දුන්නේ... හරි හිත හොඳ මනුස්සයා.....” 

“ඒකනෙ, ඒකනෙ. ලියනගේ තමයි මට කිව්වේ මේ සැරේ නාට්ටියට අපේ ගෙදර ඉන්න වඳුරවත් හොඳයි නේද කියලා.....”

මම අන්ද-මන්ද වීමි. නාට්‍යයට වඳුරෙක්? සාම ජාතකය මිස අප රඟන්නේ ‘මහා කපි ජාතකය’ නොවේ! මට පෙනුණේ අපේ තාත්තාටත් අගමුල ගලපා ගන්නට අමාරු බවයි. “ඕගොල්ලන්ගෙ ගෙදර හදන වඳුරෙක් අපේ නාට්‍යයට.... ලියනගේ කිව්වද මම නාට්‍යයට වඳුරෙක්ව හොයනවයි කියලා....” තාත්තා ඇහුවේය. 

ඔහේ අහිගුන්ටිකයෙකුට සල්ලිත් දුන්නලුනේ නයෙක්ව....

“නෑ නෑ ගුණපාලයියේ. ලියනගේ කිව්වා ඔයා අහිගුන්ටික මනුස්සයෙකුට නම් ඇඩ්වාන්ස් එකකුත් දීලා උගේ නයාව නාට්‍යය දවසට ගේන්න පොරොන්දු කරවාගත්තයි කියලා. ඔයාලා ලොකු කැලයකුත් හදන්න යනවලුනේ, පැවිලියන් එකේ.... ඒ කැලේ ගහක් උඩ අපේ වඳුරවත් ගැට ගහලා තියමු.... අපූරුවට තියෙයි නේද?”

මගේ ඔළුකට්ට ඇතුළේ පංකාදු පහේ වන අරණක් ඇඳීගෙන-ඇඳීගෙන ගියේය. හැබෑ නයෙක් ඉන්න හුඹහක්... ගහක් උඩ දුව පනින වඳුරෙක්.....

“ඒ අදහසත් නරක නැහැනෙ උන්නැහේ....”

“ඒකනෙ ගුණපාල අයියේ.... මම හෙටානිද්දා දවසක අපේ වඳුරව ගෙනත් දෙන්නං.... මොකද ඌට මෙහෙ කට්ටියව හුරුවෙන්න පොඩි ඉඩක් දෙන්නත් ඕනිනේ... පලතුරුම හොයන්න කියලා වදයක් වෙන්නෙත් නෑ. ඌ බත් එහෙමත් කනවා....”

“සතෙකුට කන්න ටිකක් දෙන එක එච්චර දෙයක්ය දෙයියනේ?”

“හැබැයි ගුණපාල අයියේ, ඌට කාගෙවත් තඩි බලන්න නං ඉඩ දෙන්න එපා.... ඌ මාරම රුසියා තඩි බලන්න. ඌට කාගේ හරි ඔළුවක් දුන්නොත් පැයකටවත් අතාරින්නෙ නම් නෑ.... අපට වැඩ තිබ්බට ඌට එහෙමයැ?” එහෙම අනතුරු අඟවා පිටත්ව ගිය අමුත්තා පහුවදාම එයාගේ වඳුරු හුරතලාව අපට ගෙනවුත් දුන්නේය. “මම තව දවස් දෙක-තුනකින් මේකව බලන්න ඇවිත් යන්න එන්නංකො... ගෙදර හදපු සතා නෙව....”

අබිං කන්නෙකු වුණු අපේ සීයා කලබල නැති.....

එහෙම කියලා ගිය මනුස්සයා එතෙක්-මෙතෙක් ආයෙමත් අපව හදි ගැහෙන්නට ආවේ නැතිය! ඇයි කියලද අහන්නේ.... එව්වා පස්සේ. උගේ රඟපෑම් ගැන කියලා ඉවර වෙලාය ඒ විත්තිය කියන්නේ.

අපේ ගෙදර දොරකඩම පොඩි කොහොඹ ගහක් තිබුණේය. තාත්තාගේ අණ-පනත්වලට අඩංගුවී අපේ සුනිල් ඒ ගහ යට ලී බංකුවක් හැදුවේය. දම්වැලෙන් කොහොඹ ගහේ ගැට ගැසූ වඳුරු ලොක්කගෙ තිප්පොළ වුණේ අර ලී බංකුවයි. වඳුරා දවසෙන් දෙකෙන්ම අපේ ගෙදර හැම දෙනාගේමත්, නළු-නිළියන් රෝත්තෙමත් හුරතලා වුණේය!

වැඩියත්ම ‘චෙම් බාස්සල පියා- ජලා හුකා හුකා පරියා’ගෙ, චාලි නානාගෙ නොහොත් අපේ සීයාගේ!!

සීයා තිස්ස දෙවේලේම වඳුරු උන්නැහෙගෙ ආවතේවයට කැප වුණේය; කෑමබීම දුන්නේය; ඒ මදිවාට අප එපා කියද්දීම සීයාගේ ඔළුවත් ඌට දුන්නේය. (අපේ සීයා අබිං කන්නෙකු වුණු නිසාදෝ, මොනම වෙලාවකවත් කලබලයක් නොවෙන ගතියකුත් තිබුණේය.) වඳුරාට හිතේ හැටියට හිස බලන්නට ඉඩදීගෙන, අපේ සීයා කොහොඹ ගහ යටම වාඩිවී ඔහේ නිඳා වැටුණේය.

“ගුණේ අයියේ... රංජි මල්ලිව මාත් එක්ක එවන්න නුගේගොඩට..... මාත් ගේන්නං මරු භාණ්ඩයක්......” වඳුරාගේ ආගමනය දුටු.....

16 comments:

  1. මේ බ්ලොගය කියවිල්ලත් අපිට අබිං කෑවා හා සමානයි.

    ReplyDelete
    Replies
    1. අබිං "කනවා" කියලා ව්‍යවහාර භාෂාවෙන් කිව්වාට, අබිං, කෝපි වල දියකරලා බොනවා දැකලා තියනවා මිසක්, කනවා නම් දැකලා නැහැ. මගේ යාළුවකුගේ සීයා හැමදාම අබිං ගෙනැල්ලා කෝපි ටිකක් පීරිසියකට දාලා ඒකට අබිං ගුලිය (මදටිය ඇටයක් විතර) දාලා ඇඟිල්ලෙන් පොඩි කරමින් දිය කරලා බොනවා. 'නිදි' ගේ සීයා අබිං කාපුවාම කලබල වෙන්නේ නැහැයි කියලා කිව්වාට මේ ඉහතින් කියාපු සීයා නම් අබිං කාපුවාම බොහොම ක්‍රියාශීලී වෙනවා. මම මේ දක්වා හිතාගෙන හිටියේ ගංජා බිව්වාම නිද්‍රාශීලී වෙනවා, අබිං වලට ක්‍රියාශීලී වෙනවා කියලයි.

      Delete
    2. අසංග මහත්තයෝ මාත් අබිං කාලා වගේ තමා දැන්. බ්ලොගය ලියන එක තමයි ප්‍රධාන රාජකාරිය.

      සෑම්. අපේ සීයාත් අබිං කාවේ කෝපිත් එක්ක. එයා දිය කරලා බිව්වේ නෑ. නියපොත්තෙ අගින් චුට්ටක් අරං දිවේ තියලා කෝපි බිව්වා.

      හැබැයි අබින්වලින් කෙරුනේ උද්යෝගය හීන කරන එකලු නේද? අපේ සීයාට නම් පොඩි කම්මැලි ගතියක් තිබ්බේ. නාන්න පවා හොරයි. අබිං නැති වුණොත් මුලු ඇඟම පණ නැති වෙනවා; ඩයරියා හැදෙනවා...

      Delete
    3. https://www.willowspringsrecovery.com/drug-addiction/opium-vs-weed-whats-the-difference/

      https://www.unodc.org/unodc/en/data-and-analysis/bulletin/bulletin_1965-01-01_1_page004.html

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ගොඩාරියක් ස්තුතියි Pra jay මහත්තයෝ. මේ තියෙන්නේ කරුණු හා දත්ත.... අසංග- සෑම් මහත්තුරුන්ට ව්තරක් නෙවෙයි, කාටත් වැදගත් වෙන.

      Delete
  2. යකොඩෝ... මේක ස්ටීවන් ස්පීල්බර්ග් ගෙ වැඩක් වගේ නෙව. මාර නාට්‍යයක් රඟ දක්වන්ඩැති?

    ReplyDelete
    Replies
    1. ආයෙමත් පොඩි අවුලක් තියෙනවා වගේ. අලුත්ම කමෙන්ට්ස් උඩට ඇවිත්.
      ස්පීල්බර්ග්ලත් පටන්ගන්නකොට ආධුනිකයෝනේ. ඒත් එයාලට ඉගෙනගන්න තැන් තිබුණා. 1970 ට කලින් ලංකාවේ අපි ඒ කාලේ කොහෙන් ඉගෙන ගන්නද?

      Delete
  3. මේකෙ වෙලාව රෑ අටයි නෙව? ඒරොප්පෙ වෙලාවද?

    ReplyDelete
  4. ෂැඃ... මං මේක කියෝල එන ඩිංගට අසංග ඇවිත් ගිහිං නෙව.

    ReplyDelete
    Replies
    1. හැක්... හැක්.. අපායට ගියත් වේලාසනින් යමං...

      Delete
    2. තාම අපි දෙන්න විතරයි. වර! අද මේකෙ දෙකෙං එකක් බේරගන්ඩ!!! ඩිෂුම් ඩිෂුම්!!

      Delete
  5. //ගංගාවේ ඉවුරු දෙකේ වැදි ගම්මාන දෙකක් තිබුණාලු. එක ගමක ගෙවල් 500 ගණනෙත් තිබ්බාලු//

    වැද්දො කියන නම ඔය පින්තූරෙ ඉන්න ගල්/ගස්/කැලෑ වැද්දන් ( ආදිවාසී hunter-gatherer )ට විතරක් නෙමෙයි භාවිතා වුනේ/වෙන්නෙ. දඩයම් කරන ගැමියන්ටත් යෙදෙනවා. දඩ වැද්දො නමින් හැඳින්වුන සිංහල මිනිස්සුන් කණ්ඩායමක්ම හිටියා

    ReplyDelete
    Replies
    1. ඔයාට කියන්න ඕනි නැහැනේ, මුහුදු වැද්දෝ ගැන. පුදුමයි Pra Jayට එයාලව අමතක වුණා.

      Delete
  6. ඔය සක්කරයා මහා එපා කරපු එකෙක්

    ReplyDelete
    Replies
    1. සක්කරයා නං එපා කරපු එකා කියමුකෝ. ශක්‍රයා?
      අජිත්, මට හිතිලා තියෙන්නේ ශක්‍රයා- ශුක්‍ර- ශුබ්ර අතරේ මොකක් හරි ලින්ක් එකක් තියෙනවද කියලා.

      Delete