“මගෙ දෙ..යි..යා....! ඉන්නකො මං ළඟ කඩේට ගිහින් බිත්තර ආප්ප ටිකක් ගේන්නං!”
“මේ. තමුසෙගෙ මොත්ත තියාගන්නවා තමුසෙටම... බිත්තර ආප්ප! ඒවා ගිහින් දෙනවා ජනාධිපතිට...” මම ගෝළු ගත්තෙමි.
ඒ, මනුස්සයාගේ හැටිය. අතමිටේ තියෙනවා නම් වටපිටාවේ හිටින හැමෝටම සලකන්නට ලෝබ නැතිය. “මං තමුසෙට සලකන්නෙ තමුසෙගෙ තියෙන මනුස්සකම නිසා... තමුසෙගෙ wife අසනීප වුණු වෙලාවේ ඒ මනුස්සයට සැලකුව විදිහ දැකපු නිසා.... නැතිව මට තෑගි ගෙන්නගන්න බලාගෙන නෙවෙයි... බිත්තර ආප්ප!”
“හරි, හරි. ඔයාට පොඩ්ඩ ඇත්තං තද වෙනවනේ.... සොරි එහෙනං... කියන්නකො, කියන්නකො. කෙරෙන විදිහ...”
“මේක අරගෙන ගිහින් ආයෙ ලියනවා... හොඳ පොතක්, නාට්‍යයක්, script එකක් ලියන්න අවුරුදු ගණන් ගත්ත අය ගැන හොයල බලනවා. හැබැයි, ලියන්න කලින් හිතා ගන්නවා ස්ටේජ් එක උඩට ගෙනෙන්නයි මේ ලියන්නෙ කියලා. වේදිකාවක් උඩ කඩු ෆයිට් කළාට ගෙවල් ගිනි තියන්න පුළුවන්ද... අස්සයෝ පිටින් ඇවිත් කෙල්ලෝ උස්සන්න පුළුවන්ද... වගේ දේවල් ගැන හිතනවා...” මම කීවෙමි!
හැබැයි ලියන්න කලින් හිතා ගන්නවා මේ ලියන්නේ ස්ටේජ් එකක් උඩ.... |
එක අතකට බලද්දී නං අපේ තාත්තායි මායි දෙන්නාත් කුමාගේ ගොඩේමය. 1966දී අපේ තාත්තා අජාසත්ත නාට්‍ය පිටපත ලිව්වේ එක රැයකිනි! අවුරුදු දෙකහමාරකට පෙර මා ඒ බව ලිව්වෙත් උජාරුවෙනි. කූඹියාට තුත්තිරි ගහත් ගහක්ය කියනවනේ.....
ඉතින් 69 විතර අපේ තාත්තා හිතුවෙත් ‘සාම ජාතකය’ නාට්‍යමය නැතිය කියලාය.
“ඔන්න පුතේ බරණැස් නුවර හිටිය රජ කෙනෙකුටයි, බිසවටයි සසර කලකිරුණා. දෙන්නම කැලේකට ගිහින් භාවනා කරමින් හිටියා. ඒ අතරේ බිසවට පින්වත් පුතෙක් උපන්නා.... ඒ තමයි අපේ බෝධිසත්වයෝ. ඉතින් ඒ බෝධිසත්ව කුමාරයාට අවුරුදු හත-අටක් වෙද්දී දවසක හරි අපරාධයක් සිද්ද වුණා...
කුමාරයගෙ දෙමව්පියෝ දෙන්නා පලවැල හොයන්න කැලේට ගිය වෙලාවේ වැස්සකට අහුවෙලා; තෙමිලා රූස්ස ගහක් යටට වෙලා දිය බේරි-බේරී ඉන්නවා. එහෙම බේරෙන වතුර වැටෙනවා, එතැනම තිබිච්චි හුඹහක් ඇතුළට. ඒක අස්සෙ හිටියයි කියමුකො මහා විස නාග රාජයෙක්...
නාග රාජයාට කේන්ති ගියා, තෙමෙනකොට. යැව්වා විස දුමක්.... අනේ, ඒ විස දුම වැදිලා අර අම්මගෙයි තාත්තගෙයි ඇස් අන්ධ වෙනවා.
ඊට පස්සේ අර බෝධිසත්ව පුත් කුමාරයා; සාම කුමාරයා තමයි අම්මවයි තාත්තවයි බලා ගන්නේ...” මගේ අසහාය කතන්දරකාරී; අපේ ආච්චී; දසනායක රත්නවතී උපාසිකා මාතාව කිව්වේ එහෙමය.
සාම කුමාරයාට පිළියක් රජතුමාගේ ඊතල පහරක් වැදෙන්නේ....... |
එහෙම දෙමව්පියන් රැකබලාගත් සාම කුමාරයාට මුව දඩයමේ ගිය රජෙකුගේ හීතල පහරක් වැදෙයි. තමා මිය ගියෝතින් අන්ධ දෙමව්පියන් රැකෙන්නේ කොහොමද? එහෙම තැවෙන ඔහුට උදව්වට එන්නේ ශක්‍ර දේවේන්ද්‍රයාය.
ආච්චී ඔය කතන්දර කිව්වේ මටය. එහෙම වෙලාවක කනින්-කොනින් එයාට ඇහුණු ටික අනුවය, අපේ තාත්තා අර තීරණයට බහින්නට ඇත්තේ!
අමරේලාගේ නාට්‍ය රචක- අධ්‍යක්ෂ හා ප්‍රධාන නිළියගේ ස්වාමි පුරුෂයා නීරස වාගේ පෙනෙන සාම ජාතක කතාවෙන් අපූරුවට නාට්‍යයක් ලියා තිබිණි. ඒ කතාව අපේ තාත්තාට සනිදර්ශන සහිතව පෙන්නා දුන්නාම ‘වචනේ’ ලැබුණේය.
“එහෙනං ඉතින් අපිත් සාම ජාතකේම නටමු! හැබැයි රංජි, අමරෙලගේ කතන්දරේ ගත්තට නාට්‍ය නං අපි වෙනම ලියමු.....”
මගේ හිත ඩිග්-ඩිග් ගාන්නට විණි. තාත්තා අර සිංදු ටිකත් ගන්නට එපා කියයිද? අනේ දෙයියනේ..... ශක්‍රයාට මගේ හිත පෙනෙන්නට ඇතිය; ‘පාණ්ඩුකම්භල ශෛලාසනය’ උණු වුණා වෙන්නටත් පුළුවනිය. තාත්තා කිව්වේ අමරේලාගේ නාට්ටියේ සින්දු නං ගත්තාට කමක් නැති බවයි. “උඹෙත් ආසාවනේ... අපි මෙච්චර දවස් ගත්තෙත් රේඩියෝ එකේ යන සිංදුමනේ... අර උඹ කියල පෙන්නපු සිංදු තුන හොඳයි. තව දෙක තුනක් පස්සේ තෝරාගන්න බැරියැ!”
ඩීමන් ආනන්ද සූරීන් එක රැයකදී එක නවකතාවක් බැගින් ලිව්වෙලු! |
තාත්තා කිව්වේ මටම නාට්‍ය පිටපත ලියන්නටය. එතකොට මාත් හිටියේ එක රැයින් පොතක් ලියන එක හැබෑම හපන්කමක් ලෙස සලකමිනි. ‘මාරක කතා චක්‍රවර්ති’ ඩීමන් ආනන්ද මහතාවත්; ඔහුගේ පොතුත් මට හඳුන්වා දුන් ‘කොටුවේ ආච්චිගේ පුත් චන්දරේ මාමා’ය, මට ඔය ‘එක රැයේ’ හපන්කම ගැනත් කිව්වේ.
දැන් මම ටිකක් දන්නෙමි. අදත් විශ්ව සම්භාවනාවට පාත්‍ර වන කලා නිර්මාණ එකක්වත් දඩිබිඩියේ නිමැවූ ඒවා නොවේ!
ඒ ගැන හොඳම නිදසුනක් ගිය අවුරුද්දේ, ජුලි මාසයේ ‘දේශය’ පුවත්පතට මංජුල සේනාරත්න ලියා තිබිණි.
“....1862 තමයි වික්ටර් හියුගෝ මුලින්ම මේ පොත ලිව්වේ... ඒ කාලේ ඔහුව රටින් පිටමන් කරලා හිටියේ... ඒකට හේතුව තමයි එවකට පැවති පාලනයට විරුද්ධව මිනිසුන්ව අරගලවලට යොමු කරපු නිසා. වික්ටර් මේ පොත ලිව්වේ ප්‍රංශයට කිට්ටුව තිබුණු ගිනටි කියන දූපතේ ඉඳන්... අවුරුදු දහයක් තිස්සේ ඔහු මේ පොත ලියලා තියෙනවා.... වික්ටර්ගේ මේ පොතේ අත්පිටපතේ පිටු ගණන පිටු 6000ක්... ඒ කාලේ පරිගණක පහසුකම් තිබුණේ නැති නිසා... තනිකර අතින් තමයි මේ පොත ලිව්වේ....
මේ පොතේ අත් පිටපතට පිටු 6,000ක්.... දහ වතාවක් ලියද්දී පිටු 60,000ක්... |
ඔහු දහ වතාවක් මේ පොත ඔහුගේම අත්අකුරෙන් ලියලා තියෙනවා... ඒ කියන්නෙ පිටු 60,000ක්...
මිනිහෙකුට පුදුම
ඉවසීමක් තිබිය යුතුයි, දහ වතාවක් මේ පොත ලියන්න... අදටත් ලෝක සාහිත්‍ය
ඉතිහාසයේ ප්‍රකාශකයෙක් විසින් වැඩිම මුදලක් ගෙව්ව පොත තමයි වික්ටර් හියුගෝගේ ‘ලෙස්
මිසරබල්ස්’ කෘතිය... පසු කලෙක මේ කෘතිය සිංහලට පරිවර්තනය කරනවා අයි.එම්.ආර්.ඒ.
ඊරියගොල්ල මහත්තයා ‘මනුතාපය’ ලෙස... නමුත් ඒක සංක්ෂිප්ත පරිවර්තනයක්....
මොකද ‘ලෙස් මිසරබල්ස්’
කෘතියේ පිටු 1200 තියෙනවා.... නමුත්
ඊරියගොල්ල මහත්තයා පරිවර්තනය කරපු මනුතාපයේ තියෙන්නෙ පිටු තුන්සිය ගාණක්........
..... ජීවිතේ හැම දෙයක්ම
ගැබ්වෙලා තිබෙන පොතක් මේක.... අනිත් එක තමයි වික්ටර් හියුගෝගේ සූක්ෂම භාෂා ශෛලිය....
ඔහු භාෂාවෙන් හරඹ කරපු කෙනෙක්... මේ පොතේ එක වාක්‍යයක් තියෙනවා, ඒ වාක්‍යයේ වචන
නමසිය පනස් දෙකක් තියෙනවා.... කොමා විතරක් තියෙනවා අසූ ගාණක්.... එක නැවතීමේ
ලකුණයි තියෙන්නෙ... ලෝක සාහිත්‍යයේ දීර්ඝ වාක්‍ය අතර මේකත් ඉදිරියෙන්ම තියෙනවා. ප්‍රංශ
ජාතිකයන් අතරත්, ලෝක සාහිත්‍ය ලෝලීන් අතරත් ඔවුන්ගේ ජීවත වෙනස් කරපු කෘතියක් තමයි මේ
පොත...”
මේ ආදී කරුණු
දැනගෙන අද මා වෙනස්වී තිබුණත්- එදා මගේ දැක්මත්, දැනුමත්, නොඉවසිල්ලත් අනුව දවස්
දෙක තුනකදීය, ‘මාරක හී පහර’ ලියා අවසන් කළේ.
නාට්‍යය ලියද්දීම උඹට හිතුණෙ නැද්ද කාවද ගන්නේ කියලා? |
අත්පිටපත කියවූ තාත්තා පොඩි හිනාවක් එක්ක කිව්වේ ‘මේ තියෙන්නේ’ කියලා විතරය. ඊට ටිකකට පස්සේ ආයෙමත් කතා කළේය. “ලියනකොටම උඹ හිතුවෙ නැද්ද කාවද නාට්ටියට ගන්න ඕනේ කියලා....”
තෝරා-බේරා ගන්නට තරම් නළු-නිළියන් ගොඩක් අපට හිටියේ නැත. අපට සිදුවී තිබ්බේ ඉන්නා අයගේ හැටි බලලා කතාවක් තෝරා ගැනීමය.
“.....නිහාල් අයියා තමයි දූකුලට හරි යන්නේ.”
නිහාල් ලියනගේ අයියා ‘විධුර නාට්‍ය’යේ රඟපෑවේ නා රජතුමාටය; ඒ මගේ; එරන්දතී කුමරියගේ පියාණන් විදිහටය. වඩාත් උස-මහත නැති; නිවුණු ඇවතුම්-පැවතුම් සහිත නිහාල් අයියාගේ කැපී පෙනෙන ලකුණක් වූයේ ‘බරි තොල්’ දෙකයි.
“මිනිහට රඟපාන්න දෙයක් නෑ. නිකනුත් මිනිහා තාපසයා වගේනෙ. පිළියක් රජ්ජුරුවන්ට තමයි ප්‍රශ්නෙ.... රංජිත්ව හරි බන්දුලව හරි ගන්න වෙන්නේ.... එතකොට අනික් එක්කෙනාට දෙන්න part එකක් නැහැ නේද?” තාත්තා ඇහුවේය.
අලුත් ආණ්ඩුවක් පිහිටුවද්දී ඇමතිකම් දෙනවා වගේ, අපේ නාට්‍යයට චරිත තෝරද්දී.... |
ඒකත් සෑහෙන්නට වැදගත් ප්‍රශ්නයක් බව මට කල්පනා වුණේ ඒ මොහොතේය. අපේ පිරිස අතරේ, ප්‍රධාන චරිත කරන්නට තරම් හපනුන් අඩුවෙන්ම ඉඳිද්දී ඒ එක්කෙනෙකුවත් අමතක කරන්නට බැරිය. අලුත් ආණ්ඩුවක් පිහිටුවන වෙලාවේ වගෙය. සුදුසුකම් විතරක් බලලා ඇමතිකම් දුන්නොතින් තරහ වෙන අය වැඩිය. නිලතල බෙදද්දී ඒ ඒ අයට තිබෙන ඡන්ද පදනමත් සලකා බලන්නම ඕනෙය!
විධුර නාට්‍යයේදී රංජිත් ගුණසේකර අයියා කුරු රටේ රජතුමාටත්, බන්දුල ජයකොඩි පූර්ණකයාටත් රැඟුවෝය. රඟපානවාට අමතරව පරණ තරහක් පිරිමහින්නට විධුර පණ්ඩිතයන්ව ඇත්තටම පර සක්වළ ගැහුවෙත් මේ බන්දුලය. ටික වෙලාවක් කල්පනා කළ අපේ තාත්තා හීනි හිනාවකුත් එක්ක ආපහු කතාව පටන් ගත්තේ, එයා නැඟූ ප්‍රශ්නයට එයාම උත්තර දෙමිනි.
“හිටපංකෝ.... මම ඒකට පොඩි ගැටයක් ගහන්නං.... බන්දුවා හෙණ ආඩම්බරකාරයානෙ.... ඌට කියන්නං නාට්‍යයේ රජ්ජුරුවන්ට සීන්ස් දෙකයි තියෙන්නේ; කැමතිද රජ පාට් එකට කියලා....මට හොඳටම විශ්වාසයි බන්දු කැමති වෙනවා, රජාගෙ පාට් එක රංජිත් ගුණසේකරට දෙනවට!”
එව්වා විස්තර ඇතිවම කියන්නට හිතෙන්නේ හුදී ජනතාවට දැනෙන්නටත් එක්කය!
අපේ තාත්තා පංච තන්ත්‍රයවත්, මකියවෙල්ලිගේ කුමාරයා පොතවත්, කෞටිල්‍යගේ.... |
අපේ තාත්තා විෂ්ණු ෂර්මන් පඬිතුමාගේ ‘පංච තන්ත්‍රය’ පොත කියවපු කෙනෙක් නොවේ; මකියවෙල්ලිගේ ‘කුමාරයා’ පොත කියවපු කෙනෙකුත් නොවේ. කෞටිල්‍යගේ ‘අර්ථ ශාස්ත්‍රය’ පොත කියවනවා තියා දෑහින් දැකලා තිබුණු කෙනෙකුවත් නොවේ. ....... ඒත් එයා, පරම්පරාවෙන්ම ‘අමු කැලේ වුණත් ගිනි තියන්නට හපන්’ ජාන උරුම කරගෙන තිබුණේය.
‘මෝස්තර එක්ක හත් වසරක් -16’ post එක කියෙව්වා නම් අපේ තාත්තාම යෝජනා කළ මංගල්ලයක මනාලයාගේ හිත වෙනින් එකියකට ගිය වෙලාව මතක ඇතිනේ. ඒවෙලේ තාත්තා ජාම බේරා ගන්නට මෙවැනිම ‘සම්‍යක් ප්‍රයෝගය’ක් කළෙත් තමන්ගේම ජානමය ඥානයෙනි!
ඉතින්, කනගාටුවෙන් වුණත් කිව යුතුය.
මගේ විශ්වාසය නම්, මං අපේ තාත්තගේ නීත්‍යානුකූල ලොකු පුතා වන්නේ උප්පැන්න සහතිකයට
අනුව විතරක් බවයි. සමහරවිට ඊට කලින් එයා ජාතක කළ, උප්පැන්නයට නම නොදුන් දූ-දරුවන්
ගැන එයාවත් නිච්චියටම නොදැන හිටියා වෙන්නැතිය!
ඒ එක්කම ඉතා සාඩම්බරයෙන් කියන්නේ මං වහන්සේ නම් ‘දිසානායක හේවගේ ගුණපාල’ගේ කීවෙනි දරුවා වුණත්, අතිජාත පුත්‍ර රත්නයක් බවයි.
එහෙම හිතෙන්නේ අර ‘අමු කැලේ’ ජාන ද්විගුණවී; සිව්ගුණවී මේ මැට්ටාට උරුමවී තියෙන හින්දාය. එහෙම වික්‍රමයක් ගැනත් මේ දවස්වල ‘ආදර පූජාසනේ’ postවලින් ඔබට කියවිය හැකිය.
ඔන්න බලපං රංජි, මේ සැරේ රමණී හිංදා නාට්ටිය බලන මිනිස්සු පිස්සු වැටෙනවා! |
“ඔන්න බලහං රංජි, මේ සැරේ අපේ නාට්ටිය බලන මිනිස්සු පිස්සු වැටෙන්නැද්ද කියල රමණී හින්ද!” අපේ තාත්තා කිව්වේ ඇස් නොපෙනෙන කෙනෙකුට වුණත් කියන්නට පුළුවන් විදිහේ අනාවැකියකි.
රමණී නංගී mpmගේ ඥාති දියණියකි. හිටියේ මහරගම දුම්රිය ස්ථානයට නුදුරුවය. එතකොට රමණී අවුරුදු දහයක්වත් නැති දැරියකි. ඇඟපතෙන් වයසේ තරමටවත් වැඩී නොහිටියත්, හැකියාවෙන් නම් රමණී නංගී විසි අවුරුද්දත් පන්නලාය. “උඹ සාම ජාතකේ කරමුය කිව්වම මම කැමති වෙන්න ප්‍රධාන හේතුවත් රමණී.” අපේ තාත්තා පස්සේ කිව්වේය.
රමණීගේ ගායන හපන්කම් අප දැක තිබුණත්
රංගනය කොහොමදැයි ඒ වනවිටත් අපි දැනගෙන නොසිටියෙමු.
“හැබැයි සේරටම හපන් වැඩේ වෙන්නේ, කෙල්ලගෙ අම්මයි තාත්තයි දෙන්නා කැමති නොවුණොත්, රමණීව නාට්‍යයට එවන්න.” තාත්තා එහෙම කිව්වාමය මටත් ඒ තත්ත්වයේ බැරෑරුම්කම සිහි වුණේ. ඒ දවස්වල චිත්‍රපටවලට පවා ළමා නළු-නිළියන් හොඳටම හිඟය. හිටි අයගෙනුත් වැඩි දෙනෙකු එතරම් දක්ෂ නොවුණු බව මගේ හැඟීමයි.
“තාත්තේ, මෙහෙම කරමු. එයාව නාට්‍යයට එවන්නැයි කියලා mpm ලව්වා කියවමු. ඒ පවුල්වල ඔක්කොම එයාගේ වචනේ අහනවා....” මමත් මගේ තන්වැසි නුවණ ප්‍රදර්ශනය කළෙමි. ඒ උපාය හරි ගියේය! රමණී නංගී ‘මාරක හී පහර’ට එකතු වූවාය.
යන්නෙමි යන්නෙමි වනගත මා - මව්පියො දෙන්නා මෙ රකිනා ලෙසේ........ |
“රංජි, අර සිංදුව ලියපු කොලේ රමණීට දීලා- එක කියලා පෙන්නපං... දුවේ, ඔන්න හොඳට අහගෙන ඉඳලා ඔයාත් කියන්න ඕනි.” අපේ තාත්තා කියද්දී ඇය ඔළුව හෙලෙව්වාය. රංජිත් ගුණසේකර අයියා පකිස් පෙට්ටියකට ගසමින් තාලය ඇල්ලුවේය.
‘යන්නෙමි යන්නෙමි වනගත මා -
මව්පියො
දෙන්නා මෙ රකිනා ලෙසේ//
ඉන්නෙමි ඉන්නෙමි සරණ සදා -
අඳ
මව්පියො රැක ගන්නා ලෙසේ//
රුදු නා රජිඳුගෙ විස දුම වැදිලා -
මා මව්පිය නෙත් නොපෙනේ
ඔවුන් රකින්නට - පලවැල සෙවුමට -
මා මේ වනයේ යන්නේ
පිහිට පතා// අයදිමි සමිඳේ/
මව්පියො දෙන්නා මේ රකින ලෙසේ//
වන සිවුපාවුනි, කුරුළු කොබෙයියනි -
පලවැල මට පෙන්වන්නේ
වනයේ වෙසෙනා වන දෙවියන්ටයි -
මාගේ දුක පවසන්නේ
සරණ පතා// නමදිමි සමිඳේ/
මව්පියො දෙන්නා මේ රකින ලෙසේ//’
“රංජි මල්ලී, මේක හින්දි කොපියක්.... සිංහල සිංදුවකුත් තියෙනවා..... හැබැයි හින්දි එක තරම් අල්ලල ගියෙ නෑ!” සිංදුව ඉවර වුණාම රංජිත් අයියා මට කිව්වේය.
රමණී නංගී ඒ සිංදුව මටත් වඩා හොඳින් ගැයුවාය. මටත් වඩා හොඳින්.... ඒ මගේ හැඟීමයි. අමරේලාගේ සාම ජාතකයේදී ඒ ගීතය ගයමින් සාම කුමාරයාට රඟන්නටවී තිබුණේ මටය! ඒත් අපේ නාට්‍යයේදී මට පැවරී තිබුණේ සාම කුමාරයාගේ අම්මා; පාරිකා චරිතය රඟන්නටය.......
රටින් පිටුවහල් කරලා තිබුන වික්ටර් හියුගෝට වෙන වැඩක් නැතිව ඉන්න ඇති දහ සැරයක් ලියන්න. කොහොම නමුත් ලෝක සාහිත්‍යට අනගි කෘතියක් එකතුවුනා නොවැ.
ReplyDeleteකතා ලිවිල්ලත් එපා වෙන්නේ කප කපා සංස්කරනය කරන්න ගියාමනේ
There is a widely-told story that Fanny woke Stevenson from a dream at the point of the first transformation of Jekyll into Hyde, thus causing an argument between them. Stevenson subsequently wrote the first draft of the story in three days; Fanny’s criticism was that, by using Hyde merely as a tool for the morally bad Jekyll, the story missed the potential to be a powerful allegory. This led Stevenson to burn his original manuscript, later rewriting it, again supposedly in three days. Both Fanny and her son insisted on the speed of the rewriting, Fanny stating ‘The amount of work this involved was appalling’.
Deletehttps://www.bl.uk/collection-items/preface-to-strange-case-of-dr-jekyll-and-mr-hyde
කපලා කොටලා නේද ඕනෙම දෙයක් තමන්ට ඕනි විදිහට හැඩ ගස්සන්න පුළුවන්............
Deletehttps://www.wikiwrimo.org/wiki/List_of_published_authors_who_write_quickly
ReplyDeletehttps://www.theguardian.com/uk/2000/oct/25/books.booksnews
ගොඩක් ස්තුතියි Pra Jay,
Deleteමගේ පළමුවෙනි මුද්‍රිත නවකතාව 'යුවති කිරිල්ලී' ලිව්වෙත් දවස් 21 කින්.
ඔයා "දේශය" පුවත්පතෙන් උපුටා ගත් කොටසේ //වැඩිම මුදලක් ගෙව්ව පොත තමයි වික්ටර් හියුගෝගේ ‘ලෙස් මිසරබල්ස්’ කෘතිය...//
ReplyDeleteලෙස ලියවෙලා තිබුනාට ඒ නම සිංහලෙන් ලියැවෙනකොට "ලේ මිසරාබ්ල" ලෙස ලියැවීමයි නිවැරදි. එක්දාස් නමසිය බර ගණන් වල අපේ ගුරුතුමා අපි ලවා ඔය වචන දෙක, හතර පස් ගමනක් උච්ඡාරණය කෙරෙව්වාත් මතකයි.
ඊරියගොල්ල මහත්තයා මනුතාපය විතරක් නොවෙයි, The Last Days of Pompeii කතාවත් "දේවතාපය" ලෙස පරිවර්තනය කලානේ. එකල අධ්‍යාපන ඇමති වූ එතුමාගේ මනුතාපය හා දේවතාපය පරිවර්තන දෙකට හින්ට් එකක් ගැසීම සඳහා, ඒ කාලේ (විරුද්ධ පක්ෂයේ) තිබුන ගුරු සංගමය ඒ ගොල්ලන්ගේ පුවත් පත (සඟරාව) "ගුරුතාපය" ලෙස නම් කර තිබුනා.
මනුතාපය, දෙවතාපය පොත් දෙකම තවමත් මගේ ළඟ සුරැකිව තියෙනවා සෑම් මහත්තයෝ.
Deleteලේ මිසරාබ්ලේ කියලා සඳහනේ තුබුණේ නැති නිසයි එය වෙනස් නොකළේ. තිබුණු හැටියටම තියෙන්න ඇරියේ, මංජුල සේනාරත්න මහත්තයා ප්‍රංශයේත් හිටි කෙනෙකුනේ.
ළඟදීම ලියන්නට ඉන්නා 'දාහතර වෙද්දී' පොස්ටුවෙදී ඊරියගොල්ල මහත්තය ගැනත් තව ලියන්නයි හිතාගෙන ඉන්නේ.
Lay Me-Zeh-rhab-bluh
Deleteor
Lay Mizz-er-obb
ලේ මිසෙරාබ්
ලේ මිසරොබ්
https://www.wikihow.com/Pronounce-Les-Miserables
ඒ කාලෙ ලේඛකයෙක් වැඩිය පොත් ලිව්වෙ නෑ නෙව. ඉතාම ප්‍රශ්ස්ත කීපයක් විතරයි. ඒ අතරෙ නිදි දන්නවත් ඇති, කතාවක් තියෙනව, ඇලෙක්සැන්ඩර් ඩූමා දවසකට නියමිත පිටු ගාණක් ලියනව කියල. දවසක් එයා එක පොතක් ලියල ඉවර වෙද්දි, එදාට ලියන්න තව පිටු ගාණක් ඉතුරු වෙලා තියෙනව කියල මතක් වෙලා, එහෙම්මම ඊළඟ පිටුවෙන් "ත්‍රී මස්කිටියර්ස්" පටන් ගත්ත කියල අහල තියෙනව.
ReplyDeleteඩ්‍රැකී ඕකට හේතු උනේ වෙන දෙයක්. ඇත්තටම ඩූමා හුගක් පොත් ලිව්වෙ සගරා වලට. ඒ සගරා වලට ඕන පිටු ගානක් තිබ්බා. මෑත කාලෙදි ලියන මැසිමක් උනේ අයිසැක් ඇසිමොව්. ඔහු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට කරපු මෙහෙය සුවිසල්.
Deleteලොකු, මට යන්තම් මතකයි ඩුමාස් උන්නැහේ එක පොතක් ලියන්න එක පාටකින් කඩදාසි විතරක් පාවිච්චි කල කතාවකුත්. වෙන කතුවරයෙක්ද දන්නෙත් නැහැ- හොඳේ.
Deleteඩුමාස්ටත් වඩා සඟරාවලට ලියමින් යැපුණු කෙනෙකු තමයි පියදෝර් ඩොස්ටයෙස්කි මහත්තයා.
ඩ්රකී, ලොකූ.
මෙලහටත් Pra Jay මහත්තයා අපට වැඩි විස්තර දැනගන්න links එවලත් ඇති මයේ හිතේ.
https://irisreading.com/10-of-the-most-prolific-authors-of-all-time/
Deleteලොකු මල්ලි,
Deleteඇත්ත. ඇසිමෝව් ගෙන් දවසක් කෙනෙක් ඇහුවලු ඔබ මැරෙන දවස දැනගත්තොත් මොකද කරන්නෙ කියල. එයා කිව්වලු, මම ටයිප් කරන වේගය වැඩි කරනව එහෙනං කියල. උන්නැහැට විනාඩියට වචන සියක් ටයිප් කරන්න පුළුවන් කියනවනෙ...
නිදි,
ඔය පාට කඩදාසි වල ලිව්වෙ මෝපසාං මට මතක හැටියට. කතා එක පාටක, කවි තව පාටක...
ප්‍රා,
ඔය තියෙන්නෙ නිදි ගෙ කමෙන්ට් එක වේලෙන්නත් කලිං...
ඒක නේන්නං, ස්තුතියි Pra Jay. ඩ්රැකී ඔයාටත්!
Deleteමං මුලින් කියෙව්වෙ මනුතාපය...කිසා කරුවලේ වතුර ගේන්ඩ යන හැටි, ජනවර්ජන බීස්කුන් වහන්සේ ගේ රිදී ඉටි පන්දම් රදවන හොරකම් කරන හැටි, ජන්තු ගේ කුරිරුකම් මට තාම මැවී පේනවා...අනේ වික්ටර් හියුගෝ ගෙ ලෙ මිසරාබ්ල කියෙව්වට ඒ ගතිය දැනුනෙ නෑ...සිංහල අසංක්ෂිප්ත පරිවර්තන කලාවේ නියමුවා කේ ජී කරුණාතිලක මහත්තයා නේද?
ReplyDeleteමනුතාපයෙන් සිංහල චිත්‍රපටි දෙකක් හැදුනු බවයි කියවෙන්නේ. මාත් එකයි බලලා තියෙන්නේ. දුප්පතාගේ දුක. සිනමාස් නිපැයුමක්. ජනවර්ජනගේ චරිතය කලේ ලැඩී රණසිංහ. ජන්තු මාක් සමරනායක. කොල්ලා- කෙල්ල දෙන්නා ස්ටැන්ලි= ගර්ලි යුවලයි.
Deleteඅනෙක් ෆිලුම සිරිසේන විමලවීර මහත්තය හැදු සිරකරුවා ලු.
අදටත් බැලිය හැකි ජනප්‍රිය film එක දුප්පතාගේ දුක.
මට හිතෙන්නේ ලොකූ, කේ.ජී. කරුණාතිලක මහත්තයාට කලින් මුනිදාස සෙනරත් යාපා මහත්තයා අසංක්ෂිප්ත පරිවර්තන කළා වගේ. තව ඉන්නවා.... ඩේවිඩ් කරුණාරත්න වගේ උදවියත්....
අපරාධය හා දඬුවම- නිවටයා, ඔලිවර් ට්විස්ට්, ලෝක විචාරය වගේ පොත් නේද වඩා පැරණි.
මනුතාපය පොතත චිත්‍රපටයටත් අදත් කැමතියි . නිදි ගේ නාට්‍යය පොට්ය්හක් වශයෙන පළ කලාද
ReplyDeleteඅජිත් මහත්තයෝ, 1996දී තමයි මගේ මුල්ම මුද්‍රිත නවකතාව පළවුණේ, යුවති කිරිල්ලී. එකෙන් ටෙලියක් හදන්න කටයුතු කෙරිලා මට රුපියල් 10,000/ක අත්තිකාරමකුත් ලැබුනා.
Deleteසමන්ති ලැනරෝල් මහත්මියගේ සැමියා; සෝමපාල ලැනරෝල් මහතා තමයි අධ්‍යක්ෂණය කරන්න ගියේ. නමුත් එතුමා හදිසියේ වියෝ වුනු නිසා ටෙලිය නැවතුනා.
දුකයි ඒකනම්
Deleteමනුතාපය මම බැලුවෙ සහ හිතට වැදුණෙ රූපවාහිනියෙ ටයිටස් තොටවත්ත හඩකවපු ටෙලි ෆිල්ම් එක. අන්න නිර්මාණ ඈ...
ReplyDeleteමට ඒක බලන්න හම්බ වුණේ නෑ.... යවෙස් ලූ මිනිහා එකත් එහෙම බැරි වුණු එකක්. තවම දුකයි!
Delete