අකුරු මැකී නෑ

Wednesday, August 26, 2020

මාරක හී පහර - පස්වෙනි කොටස

ඔයා හදන්න යන නාට්‍යයේ කැලේට හරියන බඩුවක්....

“ගුණේ අයියේ... මාත් එක්ක රංජි මල්ලිව එවන්න නුගේගොඩට..... එතකොට මාත් ගේන්නං මරු භාණ්ඩයක්......” වඳුරාගේ ආගමනය දුටුමනතින් හොඳටම චූන් වුණු සිරි අයියා කිව්වේය. 

“භාණ්ඩයක්...?” අපේ තාත්තා ඇහුවේ ඔලොක්කුවටත් එක්කය. සිරි අයියා ‘කිසිම දෙයක්  බැරියැ’යි කියනා කෙනෙක් නොවේ; එමෙන්ම නැති-බැරිකමක් කාටවත්ම අඟවන කෙනෙකුත් නොවේ; හැබැයි පුරාජේරු කතන්දර කියන්නට පැකිළෙන්නෙකුත් නොවේ; නොම්මර එකේ කයිවාරු පප්පෙකි; බොරු කප්පිත්තෙකි

“ගුණපාල අයියා මම කියනවට රංජි මල්ලිව එවන්නකො.... ඔයා හදන්න යන නාට්ටියේ කැලේටම හරි යන බඩුවක් මම ඉල්ලගෙන එන්නං!”

“කාගෙන්ද සිරී?”

“නම කිව්වම ගුණපාල අයියා දන්නවද? ඒත් ලංකාවම දන්නවා! කිංස්ලි රාජපක්ෂ!! දන්නවද? නෑනේ... චිත්‍රපටි අධ්‍යක්ෂ මහත්තයෙක්!!! මගෙ හිතවතා....” සිරි අයියා කිව්වේ උජාරුවෙනි.

“එහෙනං මොකටද සිරී අපේ එකාව එක්කගෙන යන්නේ? ඔය තමුසෙගෙ හිතවතා හම්බ වෙන්න තනියම යනවකො. තමුසෙ ළමිස්සියෙක් නෙවෙයිනෙ තනියම යන්න බැරි.”

මෙදා පොටේ මම ගේන්නේ කොටියෙක්.... ග්‍රෝර්ර්ර්ර්....සිරි අයියා ගොරවලාත්...
“අයියෝ.... ගුණේ අයියට ඕකවත් තේරෙන්නෙ නැහැනේ. මනුස්සයා දිගටම චිත්‍රපටි හදන කෙනානේ. හොඳයි, රංජි මල්ලිව දැකලා පාට් එකක් දෙන්නං කියයිද බලන්නයි මෙයාවත් එක්ක යන්න හදන්නේ..... රංජි මල්ලිට හරි ගියොත් ඉතින්..... නැද්ද මල්ලී....”

“එහෙමද? එහෙනං ඒකත් හරියි කියමුකො.... ඒත් තමුසෙ තාම කිව්වෙ නැහැනෙ ඔය කිංස්ලි මහත්තයගෙන් මොනවද අපේ නාට්ටියට ඉල්ලගෙන එන්න හදන්නෙ කියලා...” අපේ තාත්තා සිරි අයියාට කිව්වේ උපහාසාත්මක හිනාවකින් මුහුණත් සරසාගෙනය.

“රංජි මල්ලී.... ඔයාලා තාම දන්නෑ මේ සිරි අයියට කරන්න පුළුවන් දේවල්! ඔයාලගෙ තාත්ත හිතන්නේ මම නිකම්ම නිකං කයිවාරුකාරයෙක් කියල..... ඔන්න බලන්න, රංජි මල්ලී මෙදා පොටේ!!” තාත්තාට උත්තර බඳිනවා වෙනුවට ඒ යස්ස පැටියා මට උජාරුව පෙන්නයි. ඒකට නම් තාත්තාටත් තරහ ගියාද කොහෙදය.

“මේ සිරී..... තමුසෙ හිතන්නේ මට වැඩ නැහැ කියලද ඔය කතන්දර අහහා ......”

“අන්න අන්න ගුණපාලයියාට තද වෙනවා.... මම මාරක හී පහරට ගේනවා කොටියෙක්! කොටියෙක්!! ග්‍රෝඕඕඕඕර්....” සිරි අයියා රවුමට කැරකිලා; හතර මුල්ල පාගලා; ගොරවලාත් පෙන්නුවේය.

පසු කාලයක සුහද පැතුමහැදූ කිංස්ලි රාජපක්ෂයන්....
“කොටියෙක්?” තාත්තාත් මමත් දෙන්නාම ඇසුවෙමු. “ඇත්ත කොටියෙක්...?” මගේ ප්‍රශ්නයට කෑල්ලකුත් එකතු වුණේ ඊළඟටය.

“ඔව් රංජි මල්ලී.... ඇත්තම ඇත්ත කොටියෙක්. හැබැයි පණ නෑ!”

“ඕයි සිරී! පුළුන් පුරෝපු කොටියෙක්ව වුණත් කොච්චර වටිනවද? එහෙම එකෙක්ව, ලේසි පුතයෙක් මේ නන්නාඳුනන අපේ නාට්‍යයකට දෙයිද මිනිහෝ?”

“ඒක කරවගන්නේ මමනෙ ගුණපාල අයියා. රංජි මල්ලිගේ මුහුණ බලාගෙන ඒ මනුස්සයා බැහැයි කියන්නෑ... බලන්නකො මම කියන්නෙ බොරුද කියලා.”

කිංස්ලි රාජපක්ෂ මහත්තයා ඊට කාලෙකට පස්සේ පැල් බැඳගෙන දුවන චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළේය. ඒවායින් හොඳටම ජනප්‍රිය වුණේ ‘සුහද පැතුම’යි.

“කිංස්ලි මහත්තයට එයාගෙ නෝනව හම්බවෙලා තියෙන්නෙත් අපේ ඉස්කෝලේදී.... කොන්සර්ට් එකක් බලන්න ආවාම. මම කියන්න යන්නේ රංජි මල්ලිත් විද්‍යාකරේට යනවා වුණාට, බුවෙනකබා එකේදී ලොකුලියනගේ සර්ගෙන් නැටුමුත් ඉගෙන ගන්නවය කියලා.....” 

තමුසෙව ජාතක කරලා තියෙන්නේ චේතිය රජ්ජුරුවෝ!
“අනේ මන්දා සිරී... තමුසෙ ඉතින් රට පටලවන්න දෙයියනෙ..... ෂුවර් එකටම තමුසෙව ජාතක කරලා තියෙන්නෙ චේතිය රජ්ජුරුවෝ!”

කාට ජාතක වුණත්, සිරි අයියා කිංස්ලි රාජපක්ෂ මහතා ඉදිරියේදී හැසිරුණේ ඉතා යටහත්-පහත් විලාසයකිනි. මම වැඩි දෙයක් කියන්නට නොගියෙමි; අහන දෙයකට විතරක් පිළිතුරු දුන්නෙමි. “මේ ලොක්කා කිව්වද ඔය පුතාලගෙ නාට්‍යයට මගෙන් අපේ කොටියව ඉල්ලලා දෙනවමයි කියලා?” ආලින්දයේ තබා තිබුණු අජීවී කොටියාවත් පෙන්වමින්ය; රාජපක්ෂ මහත්තයා මගෙන් ඇසුවේ. මම යන්තමින් හිස සොලවා ‘එහෙම’ බව සනාථ කළෙමි.

නාට්‍යය පෙන්වන්නේ කොහෙද- කවදාද- කවුරු කවුරුද වගේ ප්‍රශ්න සේරමත් යොමු වුණේ මටය. ‘සිරි අයියා ගැන ඒ මහත්තයත් දන්නව වගෙයි... ඇත්තමද කියලා දැනගන්න වගෙයි අහන්නෙ...’ මට හිතුණේ එහෙමය.

නුගේගොඩ කන්දවත්තේ සිට ආපහු එන අතරේ සිරි අයියාගේ නිමක් නැති පම්පෝරි කතන්දර හින්දා මගේ ඔළුවත් කකියන්නට ගත්තා වෙන්නැතිය. ඒ බව තේරිලාද කොහෙද, සිරි අයියා මට කැරට් අලයකුත් දික් කළේය. “මම කිව්වෙ රංජි මල්ලී... කිංස්ලි මහත්තයා මගෙ හිතවතා කියලා..... චෙඃ! අපරාදෙ... අදම මල්ලිට කියන්නයි තිබුණේ චිත්‍රපටියක කෑල්ලකට ගන්න.... කමක් නෑ. අපි කොටියව ගෙනියන්න එන දවසට කියමු!”

එච්චර තඩි ස්ටේජ් එකක් ගහන්න පොල් කොට, ලෑලි, පොල් අතු?
‘මාරක හී පහර’ නාට්‍යයේ කැලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘සජීවී’ කරන්නට, ‘අජීවී’ කොටියෙකුත් එකතු වුණේ එහෙමය!

අමරේලාට ඔය එක සුකුරුත්තමක්වත් නැතිය.  හැබැයි, නාට්‍යය පෙන්වන්නට ලොකු වේදිකාවක් නං ගැහුණේය. එච්චර පොල් කොට, පුවක් ගස්, ලෑලි, පොල් අතු කන්දරාවක් කොහෙන් හම්බ වෙලාද? හොඳ වෙලාවට අපට නං මහරගම පැවිලියන් එක තිබුණේ! ඒත් එකම වැරැද්ද එය ප්‍රමාණයෙන් ඉතා කුඩා වීමයි. (ඒක හදවද්දී බලධාරීන්ට උවමනා වෙන්නට ඇත්තේ දේශපාලන රැස්වීම් තියන්නට පුළුවන් තරමේ මණ්ඩපයකි. එහෙමත් නැත්තං මොකක් හෝ අටවමින් ‘ලොකු කොමිස් කුට්ටියක් කඩා ගන්නට’ වෙන්නැති.) 

බොරු? මං කියන්නේ බොරුය කියල කියනවා නං මෙහෙ බලධාරීන් අටවපු; කමකට පලකට නැති ගොඩනැඟිලි දෙක-තුනක් දැකගන්න ඔන්නම්, එන්නකො මහරගමට!

සිරි අයියා කොටියෙකු ගෙනෙන්නට යන බව දැනගත්තාම නං අපේ කට්ටියේ කවුරු-කවුරුත් එයා දිහා බලන්නට ගත්තේ ටිකක් ගරු-සරු ඇතිවය. ඒ වගේ නම්බුවක් තමන්ටත් ගන්නට මෙන්, රංජිත් ගුණසේකර අයියාත් තුරුම්පුවක් ඇද්දේය. තුරුම්පුව නුවන් ගුණවර්ධන අයියාය!

ඒ කාලයේ හරිම ජනප්‍රිය හින්දි සිංදුවක තාලයට, අපේ ගීත රචිකාවිය ‘නීලා අක්කා’ යුග ගීතයක් ලියලා තිබ්බාය. ඒ දූකුල-පාරිකා දෙන්නා ගිහි ගෙයි ඉන්නා කාලයේ කියන්නටය. 

තමුසෙලට තවම බැරි වුණානෙ හරිහමං කෙල්ලෙක්ව.....
ඔරිජිනල් සාම ජාතකයේ දූකුල වැදි තරුණයා සසර කලකිරුණු, වීතරාගී උත්තමයෙකු බව එතකොට අපි දන්නෙ නැහැනේ. නාට්‍යය ලියලා තිබුණේ තපසට යන්නට කලින් ඒ ජෝඩුව ‘සොමියේ සිංදුවක් කියමින් පෙම් සුව විඳින’ විදිහටය. සිංදුවේ මුල් පදයක් විතරය මට මතක. ‘ආදරයේ රස ගංගා මෙ යාවි ගලාලා...’.

(ඒ සිංදුවේ මොහිදීන් බෙග් ගායකයාගේ ‘වර්ෂන් එකකුත්’ තිබේ. ‘ජීවනයේ මල් පිපුණා - මෙ සතර දිගන්තෙ - රණ මොනරිය රඟ දේවි - මධුර වසන්තෙ’.)

එතැනදිත් පොඩි පරහක් නම් මතු වුණේය. දූකුලට හිටි නිහාල් ලියනගේ අයියා ඇත්තටමත් නිවුණු- දැඟලිලි නැති ගැටවරයෙකු බව මං කලිනුත් කිව්වා නේද?

“මොකක්ද අයිසේ? ටිකක් ආදරෙන් කියන විදිහට ඇට් කරනවකෝ!” අපේ තාත්තා කොච්චර ආඩපාලි කිව්වත් නිහාල් අයියා ‘love mood’ එකකට ආවේම නැතිය. බන්දුල ජයකොඩිට අජාසත්ත- පූර්ණක චරිත අල්ලලා ගියා වගේ, නිහාල් අයියාට හරි යන්නේ ‘තාපස පාට්ය’. “අයිසෙ රංජිත්, මේ මනුස්සයට ටිකක් කරලා පෙන්නනවකො, ලව් කරන්නෙ කොහොමද කියලා...”

“දෙන්නංකො ගුණේ අයියා නියමෙට.... පාරිකාට ගවුමක් ඇඳගත්ත එක්කෙනෙක් හිටියා නං මට තවත් ලේසියි ....” රංජිත් අයියා කියයි.

“කෝ? තමුසෙලට තවම බැරි වුණානෙ අපේ රංජියට වැඩිය හරි යන කෙල්ලෙක්ව එක්කං එන්න....” අපේ තාත්තා එතකොට උත්තර දෙයි.

නුවන් ගුණවර්ධන අයියා අපේ නාට්‍ය තුනකටම නොමිලයේ සිංදු කීවේය. දැන් එයාගේ පුතා ගයාන් ගුණවර්ධනත් ජනප්‍රිය......
“එහෙම එයිද ගුණපාලයියේ? මෙයාලා හැම තැනම කෙල්ලො එක්ක love කරන විදිහට...” නිහාල් අයියත් ඇනුම් පදයක් කියයි.

මේ නාට්‍යයේදී දුෂ්ට පිළියක් රජ්ජුරුවන්ට හිටියත්, රංජිත් අයියාට පෙම්බර චරිතත් නියමෙටම ගැළපෙයි. කොච්චර ගැළපෙනවාද කිව්වොත්, ගීතය රඟමින් පෙන්වද්දී ‘අරෙ බාබා ශෝරු නහී - සෝරු සෝරු....’ කියලාත් කිව්වේය. නීලා අක්කා ඒ වචනවලට ගැළපෙන වචන ටිකක් ලියලා තිබුණේ නැති නිසාය ඒ. 

“මොන සෝරුවක්ද ඕයි ඒ? තමුසෙ නාට්‍යය දවසෙත් ඔය සෝරු-සාම්බාරු කියනවා හෙම නෙවෙයි ඕං!” අපේ තාත්තා එහෙම කිව්වේ ඒ වෙද්දී නාට්‍යයේ පසුබිම් ගීත ගායනයට හිටි එකම සුදුස්සාත් රංජිත් අයියාම වුණු නිසාය. ඒ chance එක නැති කර ගත්තත්, නුවන් ගුණවර්ධන අයියාව ගායනයට එක්කරගෙන ඒමෙන් රංජිත් අයියාත් අප අතරේ පොරක් වුණේය!

මං හිතන්නේ නුවන් අයියාත් ඉගෙන ගන්නට ඇත්තේ මහරගම බුවෙනකබා විද්‍යාලයයේ බවයි. මට එහෙම හිතෙන්නේ එයාත්, රංජිත් අයියලාත් අතර තිබුණු මිත්‍රකම නිසාය. නුවන් අයියා ‘මාරක හී පහර’ට වගේම ඉන් පසු අප කළ නාට්‍ය දෙකකටමත් ගී ගයන්නට ආවේය. එතකොට ශ්‍රී ලංකාවේම පරසිදු ගායකයෙකු නොවුණත්, ඔහු මහරගම පැත්තේ ‘ජනප්‍රිය ගායන තරුවක් වී’ උන්නේය.

නුවන් අයියේ! ඔයාටත් ගොඩක් ස්තුතියි!! ඔයා අපේ නාට්‍ය තුනකටම සිංදු කිව්වේ ‘තඹ සතයක්වත්’ නොගෙනය!!!

රංජිත් අයියා, ස්වර්ණා හා මල්ලිකා අක්කාය හොඳටම ගී ගයන්නට.....
නිළියන් විදිහට ලොකු කුසලතා පෙන්වූයේ නැතත්, ගායිකාවන් විදිහට නම් දක්ෂියෝ දෙතුන් දෙනෙකුම අපට හිටියෝය. මල්ලිකා ජයකොඩි අක්කා එක්කෙනෙකි.

ස්වර්ණා තවත් එක්කෙනෙකි. නීලා අක්කා ඊටත් අමතරවය. නුවන් අයියා එක්ක ‘මාර්ක හී පහරේ’ ගී ගැයුවේ මල්ලිකා අක්කා හෝ ස්වර්ණාය. 

සංගීතය සැපයුවේ සරත් ජයරත්න අයියා හෝ සුසිල් පියදාස අයියාය. සරත් අයියලා මහරගම හන්දියේම ගෙදරක හිටියෝය. (කලින් ඔබට හමුවී තියෙන විල්මන් අයියාගේ පුත්‍රයෙකි, මේ සරත් ජයරත්න.) සුසිල් අයියා ගුවන් විදුලියේ සංගීත ශිල්පියෙකි; හිටියේ වත්තේගෙදරය. (මේ දෙන්නාම වඩාත් නිපුණතාව දැක්වූයේ වයලීන වාදනයටය.)    

ඉතින්, ඔහොම බලාගෙන ගියාම අපටත් සම්මාන දෙන්නට වටියි! අපේ නාට්‍යවලදී ගීත ගැයුණේ වේදිකාවේ පැති තිර; ජාලරවලට මුවාවී හිඳගෙනය. අප වේදිකාවේ රඟමින් කළේ නිවැරදිව කට හෙළවීම විතරය!!

ඔය විදිහට, අපේ නාට්‍යය ටිකෙන්-ටික පරිපූර්ණත්වයට යද්දී- අමරෙලාගේ සාම ජාතක නාට්‍යය නටන දිනයත් උදා වුණේය. එයාලගේ නාට්‍යය පෙන්නුවේ අපේ එකට කලින්ය. මතකයිනෙ? ඒකෙ සාම කුමාරයා මං වහන්සේය!

වැඩේ අපූරුවට කෙරීගෙන ගියේය. සාම කුමාරයාට සැරසුණු මං ගල් ගුහාව ඇතුළේය. පාරිකා බිසව බිලිඳු සාම කුමාරයාව ගීයක් ගයා නළවමින් වේදිකාවේය. දූකුල තාපසතුමා වේදිකාවේ සක්මන් කරමින් බිරින්දෑගේ දරු සුරතල් කිරීම දිහාවේ බලා ඉඳියි.

ඒ තනුවටම හැදූ රැව් නැඟුණා අපෙ ප්‍රේම පුරාණේ...
මං ඒ හරිය, ඒ විදිහටම අපේ නාට්ටියටත් අරගෙන තිබුණේය; කිසිම ලජ්ජාවක් නැතිව එහෙම කළෙත් නිකම්ම නොවේ; අර ගීතයට මං වශීවී හිටි නිසාය; අදටත් මං ඒ ගීතයට කැමතිය. ඒත් ඒ සිංදුවේ පද හතරක් විතරය මතක තියෙන්නේ; ඒකත් තැනින්-තැනය.

‘දොයි දොයි මගෙ පුතු නිඳියා ගන්නේ

බයි බයි මගෙ පුතු නිඳියා ගන්නේ...

   ...නාඬා ඉන්න - නිඳියා ගන්න

  මගෙ සුදු පුතුට දෙවි රැකවරණයි//’

ඒ ගීතය හදාගෙන තිබුණේ ‘දිල් අප්නා ඖර්’ ගීතයේ තනුවට අනුවය. 

ඊට ගොඩ කාලයකට පස්සේ අපේ ප්‍රවීන ගායිකා සුජාතා අත්තනායක මහත්මිය හා  ගායක ටෝනි හසන් දෙදෙනා එක්ව (සුමියුරු හින්දි ගී තනුවලට අනුව හැදූ ගී රැසක් ඇතුළත්) කැසට් පටයක් නිකුත් කළහ. මගේ මතකය නිවැරදි නම් ඒ ‘ශ්‍රීමාලි’ ලේබලයෙනි. කැසටය ‘කදිර දේව සුරින්දු’ය. මේ ‘දිල් අප්නා ඖර්’ තනුවටම ඒ කැසට් පටයේ තිබුණු ගීතය ‘රැව් නැඟුණා අපෙ ප්‍රේම පුරාණේ’ ගීතයයි. 80 දශකයේ ඒ ගීත කැසට් නිකුත් වෙන කාලයේවත් අපේ ගෙදරට විදුලිය, කැසට් වාදන යන්ත්‍ර තිබ්බේ නැත.

මල්වතු ඔයේ ගිලෙන්නට නොදී කිරිල්ලී මා බේරාගත් දවසෙත් .... (යූ.ඩී. නිශාන්ත, උපාලි ජයරත්න හා නිදි..)
මට තවමත් මතකය! හැකි හැම හැන්දෑවකම, මහරගම දෙහිවල පාරේ රෙකෝඩ් බාර් එකක් අයිනේ හිටගෙන ඒ ගීතවලට කන්දීගෙන හිටි හැටි! මගේ ඔය දොළදුක හින්දා සුමිතුරු උපාලි ජයරත්නටත් පරිප්පු කන්නට වුණේය.

රාවණා රජු මා රුව දැකලා, මේ රෑ මැදියම් යාමේ, නාමල දෝතින් නෙළුෑ, සැන්දෑ ගං ඉවුරේ, සීගිරියේ රන් රූප නාරි - වගේ, ඒ කැසටයේ සිංදු අහගෙන ඉන්නට මං ගියේ හිතවත් මිතුරු උපාලි ජයරත්නවත් ඇදගෙනය.

තජකයේත් අප හා එකට සිටි උපාලිට ‘මේ ගීත ශ්‍රවණ’ පුණ්‍ය කර්මයට දායක වීම වෙනුවෙන් මා කවදාවත් ස්තුති කර නැත. දැන්වත් එහෙම කළ යුතුය; උපාලි සිංදු ගායනා කරනවා තියා නිකමටවත් මුමුණනවාවත් මං කවදාවත් අහලා නැති ගීත රසිකයෙකි. එහෙම ‘ගීත ලෝලියෙකු’ වරු ගණන් මට පාලු කපන්නට ඇත්තේ හිතෙන් බැන-බැන වෙන්නැති! ස්තුතියි උපාලි! (දැන් උපාලි ග්‍රාම සේවක රස්සාවෙනුත් විශ්‍රාම අරගෙනය. උපාලි ගැන මෙතැන ලිව්වේ තව ඉස්සරහටත් ඒ හාදයාව ‘නිදිගෙ පංච තන්තරේ’ට කැන්දන්නට වෙන හින්දාය.)

පාරිකා ‘දොයි දොයි මගෙ පුතු’ සින්දුව කියාගෙන ගල් ගුහාවට එන්නේ බිලිඳු සාම කුමාරයාවත් ‘කුරුලු තොරන්’ය!

නාට්‍යයකදී කුරුලු තොරන්.......
ඊළඟ තත්පරයේ සාම කුමාරයා ගල් ගුහාවෙන් එළියට දුවගෙන එයි. ‘හා, හා පුතණුවනි සාම. පරෙස්සමින්... නොදුවා ඉන්න... නොදුවා ඉන්න...” කියාගෙන සාම කුමාරයාගේ පස්සෙන්ම පාරිකාත් ගල්ලෙනෙන් එළියට එයි!

සාම කුමාරයා එහෙම දුවගෙන එද්දී....

 

10 comments:

  1. Replies
    1. අසංග දකින්නත් ආසයි. මං කිව්වෙ මෙතන... මෙතන...

      Delete
    2. ඩ්රැකී, දැන් අසංගට විලංගු දාලා වගෙයිනෙ....

      Delete
  2. https://theatrenerds.com/the-best-theatre-mishaps-and-fails-to-make-you-lol/

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. පොඩි අපිට විතරක් නෙවෙයිනෙ වරදින්නේ!
      ස්තුතියි Pra Jay.

      Delete
  3. ඔය කැසට් එකේ තිබ්බ සින්දු ශබ්ද හා අර්ථ රසයෙන් ගොඩක් ස්වතන්ත්‍ර නිර්මානවලටත් ඉහලයි. 83/84 මේ ගීත ඇහෙනකොට කැසට් ප්ලේයර් එක කියන්නේ අපිට හීනයක්. අද වෙනකන් හිතන් හිටියේ ගායකයා මොහිදින් බෙග් කියලා. මගේ කැමතිම සින්දුව “නා මල දෝතින් නෙලූ“.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි!
      චමින්ද මහත්තයෝ. ඔයාගේ ඊ මේල් ලිපිනය එවන්න. මගේ ලිපිනය:mrnimaldissanayake@gmail.com

      Delete
    2. මේක මගේ yahoo අකවුන්ට් එක

      kuma_diss@yahoo.com

      Delete