අකුරු මැකී නෑ

Wednesday, September 23, 2020

මාරක හී පහර - හත්වෙනි කොටස

“.... අපේ කෙල්ලටත් ඔයාලගේ නාට්ටියකට ඉන්න ආසයිලු! පොඩි කෑල්ලකට හරි ඒකිවත් ගන්න ඕනේ!” මරු සිරා වහෙන් ඔරෝ නොකියා කෙලින්ම අපේ තාත්තාට කිව්වේය. 

නාට්‍යයකට එහෙම හිතු-හිතූ ගමන් නළු-නිළියො දාන්න ඇහැකිද?

නාට්‍යයකට එහෙමත් නළු-නිළියන් ගන්නට පුළුවන්ද? හිටි අඩියේ චරිත ඇතුළු කරන්නට පුළුවන්ද? ඒත් ඒවා මෙහෙම මදාවි මනුස්සයෙකුට තේරුම් කරන්නට ඇහැකිද? ඒ වෙලාවේ මට හිතුණේය. ඒත් අපේ තාත්තා ඉන්නා අල්ල-පනල්ලේ වැඩිහිටි කතාවලට මාත් හොට දාන්නට ගියොත් නම් නිකාං සවුත්තු වෙන්නට වෙයි. කණයා පණ්ඩිතයා විය යුත්තේ ලූලා නැති විටෙකය! මම බලාගෙන හිටියෙමි.

“ලොකූ දෙයක්....” කියලා අපේ තාත්තා කල් ගත්තේය. එහෙම කරලා තිබුණේ මරු සිරාට ගැලපෙන ආමන්ත්‍රණයක් හිතා ගන්නා තෙක්ය. “ලොකූ දෙයක් සිරිසේන මල්ලී. ඔහේ වගේ හිතන තාත්තලා හරි අඩුයිනේ. එයාලා ඔහොම තමන්ගේ දුව මේ වගේ වැඩවලට එවන්න බයයිනෙ... නොමඟ යයි කියලා.”

“එව්වා කොහෙද මේ සිරා එක්ක. ඔව්, ඔව්....මං මේකිට කියලයි තියෙන්නේ. ඕනේ නැති ජවුසං නටන්න ආවොතින් කපලා ගඟකට දානවයි කියලා. ඉතින් ගුණපාල අයියේ.... මේකිව නාට්‍යයට ගන්න පුළුවන්ද?”

මරු සිරාට යක්ෂයා ආරූඪ වුණේය!

“බලමු...! දුවේ, දුවට සින්දු කියන්න එහෙම පුළුවන්ද?”

කෙල්ල ඇඹරෙන්නට ගත්තාය. සිරාට යකා නැංගේය. “මොකද යකෝ කටේ පිට්ටුද.... ගෙදරදී තිස්සෙම කියෝ-කියෝ ඉන්නේ. කියාපිය සිංදුවක්!”

අනේ, ඒ නංගී ඇස් දෙකේ කඳුළු පුරෝගෙන බයේ ගැහි-ගැහී ගොත ගහමින් සිංදුවක් කිව්වාය. ඇත්තටම ඒක සිංදු කීමකි; ගැයීමක් නොවේ. ඒත් අපේ තාත්තා මොකුත් හිත රිදෙන දෙයක් එයාලාට කිව්වේ නැතිය. “සිරිසේන මල්ලී.... මෙච්චර නාට්‍ය නටලා තිබුණත් අපේ එකා වුණත් අමුතු තැනකදී තවම ඇඹරෙනවා.... ගොත ගහනවා, මේ සබකෝලේ හින්දා..... අදමයිනේ ඔයාලා මෙහාට ආවේ... දුවටත් ලජ්ජා ඇති... නේද දුවේ?” අපේ තාත්තා ඒ ටික කිව්වේ හරිම පරෙස්සමිනි.

මට මතක් වුණේ මලයාපරත්තිකුලමේ සීලවතී නංගිය. හද්දා වන්නියේ හිට ඇවිත් බයේ ගැහි-ගැහී ලජ්ජාවේ මිරිකී-මිරිකී උන් ඒ නංගිත්, ගෙන්දගම් පොළොවේ ඉපිද- එහිම වෙසෙන මේ නංගිත් දෙන්නාම එකම විදිහට අසරණවය හිටියේ.

ඔය ගාමිණී ෆොන්සේකා වුණත් ඉස්සෙල්ලාම....

“සිරිසේන මල්ලී, මම මෙහෙම කියනවට මොකුත් හිතන්න එපා. මේ නාට්‍ය කෙරිල්ල තියෙනවා නේද? හිතන තරම්ම ලෙහෙසිත් නෑ... කියන තරම්ම අමාරුත් නෑ. හැබැයි අයන්නෙන් පටන් අරගෙන තමයි අඃ වෙනකල් ටිකෙන් ටික යන්න ඕනේ. දන්නවනේ..... ටිකෙන් ටික... පොඩ්ඩෙන් පොඩ්ඩ! දැන් ඔය ගාමිණී ෆොන්සේකා ඉන්නවා නේද? අද ඔටුන්න දාගෙන හිටියට එයා වුණත් ඉස්-ඉස්සෙල්ලාම ඉඳලා තියෙන්නේ චිත්තරපටියක පොඩි කෑල්ලකට.... උණ ලෙඩෙක් වගේද කොහෙද, මොට්ටැක්කිලියකුත් පොරවගෙන...”

“ඇත්ත ගුණපාල අයියා.... මම ගොඩක් ඉගෙන ගත්තේ නැති එකෙක්. ඒත් වටෙන්-පිටෙන් ඉගෙනගත්ත දේවලින් මටත් යමක් තේරෙනවා. ඔයා කියන්නෙ ඇත්ත. අපේ කෙල්ලට ඔය ලොකු part එකක් නැතිවට කමක් නෑ... පොඩි කෑල්ලකට ගන්න.... ලස්සනට ඇඳලා ඉන්න කුමාරියෙකුට වගේ! දැනට ඒකට කමක් නෑ. පස්සේ බැරිය ලොකු කෑල්ලකට ඉන්න....”

මාරක හී පහර -2 පෝස්ටුවේදී නාට්‍ය පිස්සෙක් ගැන; ‘කුමා’ ගැන කිව්වා මතකයිද? වේදිකාව උඩට අශ්වයන් පවා ගෙනෙන්නට හිතුව හාදයා. එයා ලියූ පිටපත වඩාත් ප්‍රායෝගික එකක් කරන්නැයි උපදෙස් දීලා ටික දොහකට පස්සේ මනුස්සයා ආයෙමත් මා හමුවන්නට ආවේය. 

තිහකට තිස්පහකට කෑමත් උයාගෙන......

“නිමල් අයියේ, script එක හද-හදා අලුතෙන් ලියනවට වැඩිය ලේසි වැඩක් set වුණා. කලින් පෙන්නපු නාට්‍යයක්! සින්දු, මියුසික් සේරමත් රෙකෝඩ් කරලා තියෙනවා. නළු-නිළියොත් ඉන්නවා.... ඩිරෙක්ටර් කිව්වා මටත් පාට් එකක් දෙන්නං කියලා. රුපියල් ......ක් දෙන්නලු. ඒක ලේසියි වගේම ලාබයිත් එක්කනේ..... අපි ඒක පෙන්වන්නයි යන්නේ....”

“ඉතින් කලින් පෙන්නලත් තියෙනවා නං, නළු-නිළියොත් ඉන්නවා නං තමුසෙට කොහෙන්ද මිනිහො රඟපාන්න කොටසක්...?”

“අධ්‍යක්ෂ කිව්වා මට ප්‍රධාන චරිත සේරගෙම දෙබස් බලාගන්න කියලා. මට ඇක්ටින් දවසෙන් අල්ලගත්තෑකි කියලත් එයා කිව්වා. එයින් එක්කෙනෙක්ව අයින් කරලා මට ඒකක් කරන්න දෙන්නංලු....” කුමා කිව්වේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින්ය.

දහස් ගණනක අත්තිකාරමකුත් ගෙවලා, අපේ මනුස්සයා වැඩේට පය ගහලාත් ඉවරය. ඒ මදිවාට අපටත් නාට්‍යය බලන්නට එන්නැයි ආරාධනාත් කළේය. අපය කිව්වේ නෙවිල්, ගවීන්, මර්වින්, පාලිත, සංජීව, මිෂාන්, රාජිත වගේ එක්ගල්ඔය ගමනට ගිය හැමෝටමත්ය. අපිත් ගියෙමු.

නිකම්මත් නොවේ. ‘උදව්වකුත් කරන්න ඉතින්’ යැයි වූ කුමාගේ ඉල්ලීම පරිදි, නාට්‍ය කණ්ඩායමට හා සංවිධායකයන්ට වශයෙන් 30-35කට රෑ කෑමත් උයාගෙනය.

කවටයෝ, බම්මන්නෝ, ජෝකර්ලා සේරමත්....
කියා තිබුණු වෙලාවට වඩා ගොඩාරියක් රෑ බෝවී, නාට්‍යය පටන් ගත්තේය. රජවරු දෙතුන් දෙනෙකි; බිසෝවරු, පෙම්වතියෝ, දුෂ්ටයෝ, බම්මන්නෝ, කවටයෝ හැමෝමත් හිටියෝය. බුරුතු පිටින්ම.... එකම අච්චාරුවකි. ඇඳුම්වලින්ම පෙනුණේ එහෙමය. කිසිම ලකයක් නැත. එක රජ කෙනෙක් අරාබි විදිහට ඇඳගෙනය; එකෙක් ඉන්දියන් විදිහටය. බිසෝවරුත් එක-එක විදිහට සැරසිලාය. ඒ අතරට රෙද්ද හැට්ටය- සරම බැනියම ඇඳගත්තු ජෝඩුවකුත්.....!

“මොකද කුමා මේ?” මම ඇසුවෙමි.

“ඩිරෙක්ටර් නළු-නිළියන්ටම කියලා එයාලගේ ඇඳුම් හදා ගන්න කියලා...” කුමා කීවේය. (පටලවා ගන්නට එපා! මේ සිදුවීම වුණේ අවුරුදු හතරකට විතර කලින්ය; මෑත අතීතයේය!!)

අපේ මිත්තරයාත් රඟපෑවේය; නැත, පෙනී හිටියේය. නාට්‍යයේ රජ මාලිගාව තියෙන දර්ශනවලය. වේදිකාව දෙකොණේ හිටගෙන හිටි රාජ පුරුෂයන් දෙන්නාගෙන් කෙනෙකු විදිහටය.

“මොකක්ද ඕයි තමුසේ කරපු චරිතේ? කවුද අර අනිත් මුරකාරයා... එයත් තමුසෙලගේම ගමේ නේද?”

“හරි වැඩේනේ නිමල් අයියේ. ඩිරෙක්ටර් නාට්‍යයේ දෙතුන් දෙනෙකුටම කියලා අදට රඟපාන්නේ නැතිව ඉන්න කියලා, ඒ කොටස මට දෙන්න හිතාගෙන. එකෙක්වත් හා කියලා නෑනේ! උනුත් නාට්‍යවල රඟපාන්න ආසාවට නාට්‍යයට සල්ලිත් දාලා, ඇඳුනුත් එයාලගේ වියදමෙන්ම හදාගෙන ඉන්න අයලුනෙ. අදටවත් නිකං පැත්තකට වෙලා ඉන්න බැහැයි කිව්වලු. ඉතින් මටයි, මගේ යාළුවාටයි අදට රාජ පුරුෂයෝ දෙන්නෙක් විදිහට ඉන්න කිව්වා....”

රූකඩ නටවන්නා වගේ පණ ඇති එව්වන් නටවතෑකිද?

කුමාට ඕනේ වුණේ නම් රාජ පුරුෂයෙකු විදිහට දෑත පිටිපස්සට කර බැඳගෙන, වේදිකාවේ කොනක සීරුවෙන් හිටගෙන ඉන්නට නොවේ. කිරුළක් හිස දරාගෙන රජෙකුවී ඉන්නටය; තේජස්වී විලාශයෙන් වේදිකාවේ සාඩම්බරකම් පාන්නටය. ඒත්.... ඒ හාදයාට වෙච්චි අකරතැබ්බයට එදා හිනාවෙන වෙලාවේවත්, මට මරු සිරාගේ දෝණියන්දෑ නිසා අපේ තාත්තා වැටුණු සකල අමාරුව මතක් වුණේ නැතිය.

අනුන්ට වැරදුණාම, ලෝබ නැතිවම හිනා වෙන්නට දන්නා ජාතියකය මාත් ඉපදී ඉන්නේ!

කෙල්ලට; මරු සිරා දෝණියට රඟපාන්නට බැරිය. රූකඩයකට නම් නූල් සූත්තරවලින්වත් රඟපාවන්නට ඇහැකිය. ඒත් පණ ඇති දැරියකට එහෙම කරවන්නට ඇහැකිද?

හැකියාව ඇති; දැනුම ඇති; මොළයක් ඇති දැනුමැත්තන්- වියතුන් හිටියදී නොනිස්සන්ට; දූෂිතයන්ට; එමට පෙර වැරදි ඇති පල් හොරුන්ට මැති-ඇමැති පට්ටම් පුදන්නට වෙනවා වගේ සංගෙඩියක්ය, අපේ තාත්තාටත් වුණේ. ඒත් අපේ අයිඩියානන්ද උන්නැහේ, මරු සිරාගේ මාරක උගුලෙන් ගැලවෙන්නට පොටක් හොයා ගත්තේය.

අපේ නාට්‍යයේ දූකුල-පාරිකා දෙන්නා සරණ බන්ධනයට පත් කරවන තැනට දෙවෙනි මනාලියකුත් ආවේ එහෙමය! ඇයට තිබුණේ ලස්සණට බැබළෙමින් ඔහේ පෙනී හිඳින්නට විතරය!! මරු සිරාත්, දියණියත් හිතන්නට ඇත්තේ ‘නිකං ඉන්න මට අහලා ගියත් මදැයි’ කියලා වෙන්ටැතිය.

වමේ සිට: නිදි, නාග කන්‍යාව හා රමණී නංගී....

මරු සිරාගේ විත්තිය එතනින්වත් ඉවර වුණේ නැත. හොඳම හරිය; ඉස්පිරිත්තුව ආවේ නාට්‍යය පෙන්නුවාට පස්සෙය. ඒත්, කියන්නට තියෙන පම්පෝරිය දිග හින්දා තවමත් ‘මාරක හී පහර’ වේදිකාවට ආ හැටි කියලා නැතිය. (ඒ ටික කියලා හිටං, 'මාරක කැති පහර'ත් එක්ක මරු සිරාව නැවත කැන්දාගෙන එන්නෙමි. එහෙම හොඳා නේද ආයුබොවන්ලා?)

දැන්, පොසොන් පෝය දවසේ මහරගම නගර සභා පැවිලියන් එකේදී නාට්‍යය පෙන්වන්නට ඔන්න මෙන්නය. මං හිටියේ මුහුණ නරක් කරගෙනය. හේතුව ජෝජට් සාරියකි.

මොකක්දෝ පත්තරයකට යවන්නට නාට්‍යයේ foto එකක් ගත් දවසේ ඉඳලාමය, ඒ නොරිස්සුම පටන් ගත්තේ.

Foto එක ගත්තේ දේවාල පාරේ, මල්ලිකා අක්කලාගේ ගෙදරදීය. පාරිකා අතදරු සාම කුමාරයාව වඩාගෙන ඉඳියි. තව පැත්තකින් නාග කන්‍යාවක් පෙණය විදහාගෙන හිටියි. නාග කන්‍යාවිය ගැනත් විශේෂයෙන්ම කියන්නට ඕනිය.

නයි නළාවට කියන නම ‘බීණය’ බව මං දැනගත්තේ දෙබස් කැවූ....

ඇය නියෝජනය කළේ පන්නිපිටියේ කන්ද කපාපු තැන, වම් පැත්තේ කන්ද උඩ පාරේ තිබුණු කලායතනයකි. දැන් කන්ද කැපූ තැන සමතලා කරලාය. කලායතනයේ පුවරුවත් නැතිවා වගෙය. ඒ අක්කා නාට්‍යංගනාවකි. කොහොමදෝ අපට හඳුන්වා දුන් දවසේ නාග නැටුමක් නටලා පෙන්නුවාය. (එතකොට ශ්‍රී දේවී ‘නාගිනා’වල රඟන්නට හිතලාවත් නැතිය. සිංහල දෙබස් කැවූ ‘නාග චම්පා’ ලංකාවේ පෙන්වලාය.)

නාගිනිය නැටුවේ ලතා වල්පොල ගයන ‘පොඩි කාලේ හිඳ- දුටු සීනේ අද’ ගීතයේ තනුවටය. අහිගුණ්ටිකයන් නයි නළාව වයද්දී නයින් එතනට ඇදී එනවාලු. (නාග චම්පා film එකෙන්ය, ඒ නයි නළාවට කියන නම මා ඉගෙන ගත්තේ. ‘බීණය’!) එතකොට ඒ වාදනය වැඩියෙන්ම තියෙන සිංදුව, අර ‘පොඩි කාලේ හිඳ’ එකය.   

නාග නැටුම අපේ තාත්තාගේ හිතට ඇල්ලුවේය.

“මරුනෙ! දූකුල පාරිකා දෙන්නාට විස දුම වැදිලා අන්ධ වෙන තැනට කලින් මේ නාග නැටුම දාමු! ඊට පස්සේ වැස්ස..... විස දුම...” තාත්තා තීරණය කළේය.

දන්නවද? Black & White ෆොටෝවලට හොඳ off වයිට් ඇඳුමක් ඇන්දම.

Foto එකේ නාගිනියත් ඉඳියි. ඒ සීන් එකට කොහෙත්ම අදාළ නැති වුණත් සාම කුමාරයාත් හිඳියි. ඒ, එතකොට අපේ මොළේ තරමය! ලජ්ජාවේ බැරිය!!

ඉතිං ඒ ෆොටෝව ගන්නා දවසේ මං හිතාගෙන හිටියේ අපේ අම්මාගේ රතු ජෝජට් සාරිය ඇඳගන්නටය. අජාසත්ත- විධුර දෙකේදීමත් ඒ සාරිය බන්දුල ජයකොඩිට සින්න වුණේය. ‘අජාසත්තගේ නපුරුකමට රතු සාරිය ගැළපෙනවා’.

‘පූර්ණක යකාට නැති රතු ඇඳුමක් එරන්දතීටද අන්දවන්නද කියන්නේ?’ වගේ දේවල් කියමින් ඒ දෙවතාවේම තාත්තා මගේ ඇඟට කඩාගෙන පැන්නේය. මේ වතාවෙවත්....

මට අන්දවනවා බලා උන් කැමරාකාරයා ඇහුවේ ‘සුදු සාරියක් නැද්ද?’ කියලාය. ඒ මදිවාට විච්චූර්ණ කතන්දරයකුත් කිව්වේය. “Black & White ෆොටෝවලට හොඳයි සුදු එකක් ඇන්දම.... off වයිට් නං තමා වැඩියත්ම හොඳ.”

ඒ මනුස්සයා ඒ ටික කියද්දී අපේ තාත්තා ඒ කතාන්දරය ඉස් මුඳුනෙන්ම පිළිගෙනත් ඉවරය. ඒ හදිස්සියේම වුණත් අපට උදව්වට, කහපාට දුහුල් සාරියක් දෙන්නටත් කවුරුන්දෝ අංගනාවක් ලැහැස්ති වෙලාය.

ස්ටේජ් එක උඩ හැබෑම වනාන්තරයක් හදලා....

මට ඇන්දෙව්වේ ඒකය. මූණ ‘නාලු’ කරගෙනය මං ෆොටෝ එකට හිටියෙත්.

“නොදකින්... මූණේ හැටි විතරක්... දැක්කම බල්ලොත් බත් කන්නෑ. හෝහපුටු මූණ.... යකෝ, තාපසිකාවකට නං ඉන්නේ ඒ විදිහට තමයි ඇඳුමත් තියෙන්න ඕනි. මොකද, උඹ දෙවෙනි ගමන යන මනමාලියෙක්ද රතුම අඳින්න. නාට්ටිය දවසෙත් උඹට අන්දන්නෙ සුදු සාරියක්. නහයෙන් අඬන්න අරගෙන මම නරක මිනිහා කරවන්න එපා. නාට්ටියයි කියලා බලන්නෙ නෑ. දන්නවනේ මේ තාත්තගේ හැටි....”

කැමරා ශිල්පියා foto එකේ පිටපතක් එවා තිබුණු දවසෙත් මට අපේ තාත්තාගෙන් අම්බානක බැණුම් අහන්නට සිදු වුණේ එහෙමය.

එදා, පැවිලියන් එක එකම කැලයක් කොට තිබිණි. සුවිසල් අඹ අත්තක් එහෙම පිටින්ම කපාගෙන ඇවිත්ය. ඒ හුඹහ ළඟින් තියන්නටය.

“නිකං බෑ. වඳුරව ගැට ගහන්නේ අඹ අත්තේ හින්දා, අත්තේ උඩ කොන වහලේ පරාලවලට තියල ගැට ගහන්න ඕනි. ඊට පස්සෙයි අනිත් අතු පඳුරු දාලා stage එක හරි ගස්සන්නේ. මැදට රජ මාලිගා තිරේ.... ඒකෙන් කැලේ වැහිලා තියෙන්න ඕනි.....”

නාට්‍යයක රඟපාවන්නට යන විත්තියක් වඳුරා දන්න එකක්යැ?

තාත්තා සිරි අයියලාට උපදෙස් දුන්නේය.

“එතකොට ගුණපාලයියේ.... හුඹහ? ඒකත් කල් ඇතිවම හයි කරනවද?”

“නැතුව? ඒ වෙලාවට ඔය ලඩිය එහා මෙහා කරන්න බැහැනෙ. ඊටත් නයාවත් අරගෙන අහිගුණ්ටිකයට හැංගිලා ඉන්න වෙන්නේ ඕක අස්සෙනෙ. ඌ නාට්‍යවල රඟපාලා තියෙන එකක්යැ. ඉතිං මිනිහට වාඩිවෙන්න පොඩි බංකුවකුත් හුඹහ අස්සෙම තියන්න වෙයි! විස දුම නං අර කාමරේ ඉඳලා බටේකින් එවමු... අහිගුණ්ටිකයටයි, දුම් ගහන එකාටයි දෙන්නටම හැංගිලා ඉන්න හුඹහ අස්සේ ඉඩ නෑනෙ.”

සිරි අයියාට වැඩියත්ම ඕනෑ වුණේ, එයා අරගෙන ආ ‘කොටියා’ව ස්ථානගත කරන තැන අහගන්නටය.

“... ඔව්, ඔව් සිරී. පිට්ටනියේ විතරක් නෙවෙයි, හයිලෙවල් පාරෙයි, පරණ පාරෙයි ඉඳගෙන නාට්‍යය බලන සේරටම, හොඳට පෙනෙන්න ටිකක් වැඩියෙන් කොටියව එහා-මෙහා කරවන්න ඕනි. කොයිම වෙලාවකවත් කොටියාගෙන් තුන් කාලකට වැඩිය පෙන්නන්න එපා. තේරුණාද? ඌව ඉස්සරහට-පස්සට තල්ලු කරන ගමන් තමුසෙටම ටිකක් ගොරවන්නත් පුළුවන්නෙ?”

එතකොටත් සිරි අයියා කලින් දවසක කළා වගේ ‘ග්රෝර්’ කියා ගොරවලා පෙන්නුවේය. ඊළඟට ඔළුවත් කැසුවේය.

‘ගුණපාලයියේ, ඔන්න හැමෝටම ඇහෙන්න සද්දෙට බනින්න නං එපා බනිනවා නං.... සවුත්තුවනේ, නැද්ද රංජි මල්ලී.... දැන් නං මටත් ආසයි නාට්‍යයේ පොඩි කෑල්ලකට හරි ඉන්න....”

පොසොන් සඳ මෝදු වෙද්දී පිට්ටනියට සෙනඟ ගලමින් තිබිණි! 
“ඕකනේ කියන්නේ. තමුසෙලාත් බබ්බු වගේ අන්තිම ආවත්තෙටම එනකං ඉන්නවා. බර වෙනකං ඉන්නවා පිට්ටනියක් හොයන්න. අද කොහොමද තමුසෙට.... හරි. රංජිත් දඩයමේ යනවනෙ... (පිළියක් රජ්ජුරුවන්ට හිටියේ රංජිත් අයියාය.) තමුසෙත් ඒ එක්ක යනවා සපෝර්ට්කාරයාට!” තාත්තා හයියෙන් කිව්වේ මුල හරිය විතරය.

මාරක හී පහරට හැරෙන්නට අපේ වෙනත් කිසිම නාට්‍යයකට ඔහොම හිටි අඩියේ චරිත ඇතුළු කරන්නට වෙලා නැත. එකෙකුත් නෙවෙයිනේ! හයක්!! පණ ඇති මිනිස් පරාණ තුනයි- පණ ඇති තිරිසන් පරාණ දෙකයි- පණ නැති තිරිසන් පරාණ එකයි!!!

මරු සිරාගෙ දූ සිඟිත්ත, නාග කන්‍යාවිය, සිරි අයියා.....එයාලා තුන් දෙනා නං නාට්‍යයක් රඟන්නට යන බව දැනගෙන උන් අයයි. පණ තිබුණු තිරිසනුන් දෙන්නා වුණත් නාට්‍යයක වගතුගක්; හාන්කාවිසියක් නොදැනය හිටියේ. එහෙම නොතේරෙන- පුහුණුවක්, හීලෑ කිරීමක් නැති අයය, අප වේදිකාවට ගෙනෙන්නට සූදානමේ හිටියේ!

මතකයිනෙ? (අහිගුණ්ටිකයාගේ) නයා, නාඳුනන හිතවතෙකු ගෙනවුත් දුන් වඳුරා සහ කිංස්ලි රාජපක්ෂ මහත්තයාලගේ පුළුන් පිරවූ කොටියා.

එදා පොසොන් සඳ උදාවෙද්දී නගර සභා ක්‍රීඩා පිටිය පිරෙන්නට සෙනඟ ගලන්නට විණි......

8 comments:

  1. //තිහකට තිස්පහකට කෑමත් උයාගෙන......//
    කිඹුල බනිස් දෙන්න තිබුනනෙ.
    (දැන් රැල්ල ඉවරයිනෙ. නිමල්ගෙ සබොටාජ් එකෙන් පස්සෙ වැඩේ මගද? )

    ReplyDelete
    Replies
    1. //අපය කිව්වේ නෙවිල්, ගවීන්, මර්වින්, පාලිත, සංජීව, මිෂාන්, රාජිත
      හෙහ් ප්‍රා,මේ යෝධයා විතරක් ලණු කනවනං බැරියැ අනිත් එවුන්ටත් කවෝනවනේ.

      Delete
    2. ලණු දීමේ හා කෑමේ විසේසජයෙක්. දෙන ගමංම තමනුත් සාම්පල් කරන සමාජසේවකයෙක්

      Delete
    3. Pra Jay මහත්තයෝ, සිරිබිරිස් උන්නැහේ,
      අපි එහෙම තමයි. ලණු කනවා! හැබැයි දන්නෙම නැතිව තව අයට ලණු දෙවෙනවත් එක්ක.

      හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා! - පළමුවෙනි කොටස http://nidigepanchathanthare.blogspot.com/2019/12/blog-post_16.html පෝස්ට් එකෙන් කිව්වා විදිහට නම් වුණේ එහෙම දෙයක්.
      Pra Jay, මගේ කරුමෙට වගේ ඒ කට්ටිය තාප්පේ බාගයක විතරක් චිත්‍ර ඇඳලා නතර කරලා! පන්නිපිටිය පැත්තේ යනවා නම් බලන්නකෝ!
      තවම අපේ යාළුවො බනිනවා. මගේ කිඹුලා බනිස් දානේ හින්දලු එහෙම වුණේ කියලා!

      Delete
  2. නගර සභා ක්‍රීඩා පිටිය කිව්වේ පරණ පාරත්, හයි ලෙවල් පාරත් අතර, බෝ ගහ ළඟ ඉඳලා කඩ පෙළ පටන් ගන්න තැනට යනකම් තිබුන පිට්ටනියටද? මට මතක හැටියට ඒක පර්චස් විස්සක තිහක ප්‍රමාණයක් මිසක් ඊට වඩා ලොකු නැහැ කියලයි. ස්ටේජ් එක තිබුනේ කඩ පෙළ ළඟ බවත් මතකයි. දැන් ගූගල් කරලා බැලුවාම එතන තියෙන්නේ බස් නවත්තන පාක් එකක් වගේ. ඒ ස්ටේජ් එක හොඳටම පේන්නේ කොට්ටාව පැත්තට යන බස් වල ඉන්න අයට තමයි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සෑම් මහත්තයෝ!
      ගූගල් එකේ මහරගම පොදු වැසිකිලිය පෙන්වනවා ඇතිනේ. එකට මෙහායින් ආදී තුනක පාරක් තිබුණා. ඒ මායිමේ ඉඳලා බුවෙනකබා විදිහල ළඟ බෝ ගහ ළඟට යනතුරු පිට්ටනිය තිබුණේ. ඒක දැන් බස් නවත්තන පාක් එකක් තමයි.

      නමුත් ඒ කාලේ හයිලෙවල් පාරයි, පරණ පාරයි දෙකම දැන් තරම් පළල නෑ. ඒ නිසා පිට්ටනිය තරමක් ලොකුවටයි තිබ්බේ.

      එතන ෆොටෝ එකක් හා වැඩි විස්තර මම 'දිව්‍ය අංගනි සේ-5' පොස්ටුවේ ලිව්වා. ගිහින් බලනවා නම් මෙන්න ලින්ක් එකත් දානවා!

      https://nidigepanchathanthare.blogspot.com/2019/02/blog-post_12.html

      Delete
  3. යකඩෝ... මේ කතාව නං ඉක් ඉක්මණටම දාන්ඩ. වීර වික්‍රමාන්විත මෙහෙයුමක් නෙ ටීටර් එකක් කියල කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, කරලා නෙවෙයි කරද්දී සිද්ද වෙලා තියෙන්නෙ..... හොඳම හරිය ළඟම එනවා!

      Delete