“හා, හා පුතණුවනි සාම. පරෙස්සමින්... නොදුවා ඉන්න... නොදුවා ඉන්න...” කියාගෙන සාම කුමාරයාගේ පස්සෙන්ම පාරිකාත් ගල්ලෙනෙන් එළියට එයි!
දූකුල
තාපස උන්නාන්සේගේත් දරු සෙනෙහස අවදි වෙයි! |
සාම කුමාරයා එහෙම දුවගෙන එද්දී.... දූකුල තාපස උත්තමයාගේ දාරක සෙනෙහසත් අවදි වෙයි. පුතු සමීපයට කැඳවා ආදරය පෙන්වයි! Original ජාතක කතාවේ විදිහට නම් එහෙම වෙන්නට ඉඩක් නැත්තේය. මතකයිනේ, දෙමව්පියන්ගේ ඉල්ලීමට; ලෝක සම්මතයට විවාහ වුණත් දූකුල- පාරිකා දෙන්නාම බඹසර රකිමින් උන් විත්තිය. එහෙම අය දරු සෙනෙහසින් වල්මත් වේවියැ?
ඔහොම වැරදි පෙනෙන්නේ පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියවලා; ජීරණය කරගෙන ඒ ඒ ජාතක මතකයේ තියාගෙන ඉන්නා මං වගේ උදවියට විතරය. එහෙම මිනිසුන් විරල රටක හින්දා, අමරේලාගේ සාම ජාතක නාට්ටියටවත් - අපේ මාරක හී පහරටවත් කිසිම ඔබ්ජෙක්ෂන් එකක් ආවේ නැතිය. සමහර විට ඒක කාලයේ හපන්කමක් වෙන්නත් ඇහැකිය කියලා දැන් නං හිතෙයි.
මීට
අවුරුදු දෙහෙකට කලින් සිංහරාජය මැදින් පාරක් කපන්නට ගියා වගේ නෙවෙයිනේ දැන්? ඒ
කාලයේ නං ගිනි තියාගෙන දිවි පුදන තරමේ වීරයෝ හිටියෝය. දැන් කවුරුන්වත් ‘මීක්’
කියන්නෙවත් නැතිය!
ඉතින්
දූකුල තාපසයාණෝ නියම තාපස විලාශයෙන් නොව, පරමාදර්ශී පියෙකු විලාශයෙන් සාම කුමාරයා
හුරතල් කරයි.
“මෙතනට
සිංදුවකුත් තිබ්බා නං තමයි හොඳ!”නාට්‍යයේ පුහුණුවීමක් අතරවාරයේ කවුරුන්දෝ කිව්වේය.
නිශේධ
බලය පාවිච්චි කරමින් ඒ යෝජනාව හමස් පෙට්ටියට යැව්වේ, පාර්ලිමේන්තුවේ කෙරෙන්නා..... |
“දැන් චිත්තරපටිවලවත් එක ළඟ එක සිංදු දානවද මිනිහෝ, ඉස්සර නාට්ටිවල වගේ? එක සින්දුවක් ඉවර වුණා විතරයිනේ.” අපේ තාත්තා නිශේධ බලය පාවිච්චි කරමින් කිව්වේ ඒ යෝජනාව (පාර්ලිමේන්තුවේ වගේ) හමස් පෙට්ටියට යවමිනි.
අමරෙලගේ
සාම ජාතක නාට්‍යය පෙන්වන්නට යොදාගෙන තිබ්බේ අපේ නාට්‍යයට කලින්ය. ඒ හින්දා
ඉස්සෙල්ලාම මට රඟපාන්නට වුණේ පුත් කුමරුවා; සාම විදිහටයි.
නාට්‍යයට
කලින්ම නාවින්න, වත්තේගෙදර, විජේරාම හරිය පුරාම ප්‍රචාරක පෝස්ටර් අලවා තිබිණි. ඒ
පෝස්ටර් ගැනත් විශේෂයෙන්ම කියලා ඉන්නට ඕනිය. අතින්ම ඒවා ඇන්දේ අමරේය. ඩබල් ඩිමයි කොළයේ කකුල්
සායම්වලිනි. මට මතක හැටියට නම් කුකුල් සායම්වල පාට තුනක් විතරය තිබ්බේ. ප්‍රධාන
දේශපාලන පක්ෂවලට වගෙය. රතු- කොළ- නිල්. කළු පාට හදාගත්තේ ඒ සේරම එකට කවලම් කරමිනි.
(අපේ නාට්‍යවලට පෝස්ටර් ඇන්දේ මා විසිනි.)
අපරාදේ....
මතු අනාගතයේදී මෙහෙම ලියන්නට හැකියාවක් ලැබෙතියි දැනගෙන හිටියා නං අමරෙගේ
පෝස්ටරයක් පරෙස්සමෙන් අරං තියාගන්නට ඉඩ ලැබිණි. ඒවාත් හරියටම අපේ ආණ්ඩුවල සිහිවටන
පුවරු වගේය.
ඒ
සමරු ඵලකවල නැත්තේ උන්ගේ .... |
අහවලාගේ සංකල්පයකට අනුව, අහවලාගේ විමධ්‍යගත අරමුදලෙන් ප්‍රතිපාදන සපයා, අහවලාගේ උපදේශන පරිදි, අහවලාගේ මෙහෙයවීමෙන්, අහවලාගේ සංවිධායකත්වයෙන්, අහවලාගේ ඇරයුමෙන් අරඹා, අහවලාගේ පින්බර සුරතින් මුල්ගල් තියා..... කියලා අහවල්ලුන් රොත්තක් ගැනම සිහිවටනයේ තියෙයි. නැත්තේ උන්ගේ අම්මලාගේ වාහෙලාගෙ නම් ටික විතරය. ලජ්ජා නැති රටවල්වල එහෙම නේන්නං....! නේද මෙයාලා?
අමරේත්
කිසිම විලි ලජ්ජාවක් - හිරිකිතයක් නැතිව පෝස්ටරයේ හත් අට පොළක වුණත් එයාගේ නම ලොකූ
අකුරෙන් ලියයි. ඒ ප්‍රධාන සංවිධායක, නාට්‍ය නිෂ්පාදක, කලා සංගමයේ සභාපති වගේ
මොන-මොනවා හරි වශයෙනි. ඒ මදිවාට පෝස්ටරයේ යටින්ම ‘පෝස්ටරයේ අකුරු ඇඳීම:’ කියලාත්
දමා ඊට ඉස්සරහින් මනුස්සයාගේ නම යොදයි!
අපේ
ගෙදර පාර්ලිමේන්තුවේදී ඒ පුරුද්ද ගැන විවාදයක් පැවැත්වෙද්දී අපේ ආච්චී නං කිව්වේ
අරුම කතාවකි.
“උප්පත්තියෙන්ම
අඩුපාඩු තියෙන එවුන් ඔහොම තමයි.... බලෙන්ම හරි; තමුන්ම හරි නම්බු ගන්න වලි කනවා”
එහෙම හීනමානයක් උපතින්ම උරුමවී තියෙනවාදැයි බලාගන්නට මීටරයක්, තවමත් නිපදවා නැති
එකය වස වැරැද්ද.
ස්ටේජ්
එකෙන් පිටදිත් නියමෙට රඟපාන එකයි වැරැද්ද! |
ඉතින් ලොකුවට ගම පුරාම අර පෝස්ටර් අලවලා; තඩි පොල්කොට වේදිකාවක් හදලා; සරසලා අමරෙලගේ නාට්‍යය රඟ දැක්වුණේය. මගේ රංගනයත් එක්කම! අම්මාගේත්-තාත්තාගේත් දෑස් අන්ධ වුණාම, වනන්තරේ පුරා කරක් ගසමින් පලවැල හොයන්නට යන්නේ සාම පුතණුවන්ය. ‘යන්නෙමි යන්නෙමි වනගත මා....’ සින්දුව කියමින්, මං වේදිකා වනන්තරේ සැරිසරලා ආවා විතරය, අධ්‍යක්ෂතුමා මගේ ඔළුව අත ගෑවේය; ප්‍රශංසා කළේය. අමරෙටත් ස්තුති කළේය. “අමරේ මරු බඩුවක් අපේ නාට්ටියට හොයලා දුන්නේ....”
“ඊළඟ
පාරත් රංජිට මේන් රෝල් එක කරන්න පුළුවන් නාට්‍යයක් කරමු...” අමරෙත් හූමිටි
තිබ්බේය. “.... නේද අක්කා?”
අමරේ
ඒ ප්‍රශ්නය ඇහුවේ එතනම හිටි පාරිකාගෙනි. හිතවත්කමට වගෙය. ඒ කතාන්දරය නෑහුණු ගණනට ඒ
බවලතී අහකට ගියේ ගස්සාගෙනය. අමරේ එවෙලේම ඒ ගැන අධ්‍යක්ෂතුමාට ගතු කිව්වේය. “අර
මොකද අයියේ අර? අක්කා ගස්සගෙන ගියේ?”
“එයාට
තද වෙලා ඉන්නේ.... මීට පස්සේ මම එයාව නාට්‍යවලට යවන්නේ නැහැයි කිව්වට....”
“ඈ...
ඒ මොන අපරාධයක්ද? අක්කා නියමෙට රඟපානවනේ.....”
“ඒකම
තමයි වැරැද්දත්..... නියමෙට රඟපාන එක..... stage එකෙන් පිටදිත්.... මම අමරෙවත්
අල්ලා ගන්නයි ඉන්නේ show එක ඉවර වෙලා...”
වහපල්ලා
ඔය ඉලව් තිරේ! |
මොකාක් හෝ මාත් නොදන්නා දෙයක් සිදුවී තිබෙන බව මට තේරුණේ එවිටය. ඊළඟට තිබුණු හැම සීන් එකකම මාත් හිටි නිසා ඒ සිදුවීම ගැන දිගට හිතන්නට මට වෙලාවක් හම්බ වුණේ නැත. අතුරු අන්තරාවක් - ඇබැද්දියක් නොවී නාට්‍ය දර්ශනය අවසන් වුණේය.
නාට්‍යයකට
සම්බන්ධ වෙන සියලුම දෙනා ආසාවෙන් ඉන්නේ ඒ ස්වර්ණමය මොහොත එළඹෙන තුරුය. යළි තිරය
එසවී නළු-නිළියන් හා සියලුම ශිල්පීන් එකිනෙකා වේදිකාවේ ප්‍රාදුර්භූත වෙන
අවස්ථාව... ඔන්න අත්පොලසන් නාදය නැඟෙයි. එක එක්කෙනා වේදිකාවට..... තවත් වේදිකාවට
එන්නට තියෙන්නේ අමරේ විතරය.... සංගීත ශිල්පීහු එකම වාදනය දෙතුන් වතාවක්ම වයති.
අමරේ නැත. වින්සන් මාමාට යකා ආරුඪ වෙලාය. “කෝ අපේ අමරයා?” එයාට හයියෙන්ම
කියවුණේය....
ඒත්
නැත..... “ඔන්න ඔය ඉලව් තිරේ වහපන් බං......” අන්තිමට වින්සන් මාමාගේ කීම ප්‍රේක්ෂක ජනතාවටත්
ඇහිලාය. එහෙන්-මෙහෙන් හූවකුත්, විසිල් දෙක තුනකුත් නැඟුණේය. තිරේ වැහුණේය.
“කෝ
මේ වේසිගෙ පුතා?”
එදා
වින්සන් මාමා එහෙම ඇහුවාට අද වගේ නම් අහනවා ඇත්තේ ‘කෝ මේ VP’ කියලාය. වේසිගෙ පුතා
කිව්වත්, VP කිව්වත් ඒක මහා නිගරුවක් හැටියටය හැමෝම හිතන්නේ. මට නම් එහෙම හිතෙන්නේ
නැත. ඒ ජීවක කොමාරභච්ච මතකයට නැඟෙන නිසාය. සම්මා සම්බුදු රජාණන් වහන්සේටත් ප්‍රතිකාර
කළ ඒ අසමසම වෙදැදුරා; ජීවකගේ මෑණියන් වූයේ විශාලා මහනුවර පුරම්බිකා සාලවතී වෛශ්‍යාවයි.
මම
හිටියේ ස්පින්ක්ස් ප්‍රතිමාව වගේ ගල්බීත වෙලාය..... |
ඉතින්, කොච්චර කලබලයකින් බැන්නත්- හෙව්වත්; කොයියම්ම කෙනෙකුටවත් අමරේගේ ලකුණක්වත් එදා හොයා ගන්නට හම්බ වුණේ නැතිය.
“ඇට
කන්නද යකෝ තවත් මෙතන බලාගෙන ඉන්නේ?” තූෂ්ණීම්භුතව ගල් ගැහිලා උන් මා පියවි ලොවට
ආවේ අපේ තාත්තාගේ ගිගිරුමෙනි. “ඔය ඇඳුම් පිටින් පාරේ යතෑකිද යකෝ.... ගලෝපන් ඔය මල
ඉලව්.....”
තාත්තා
කේන්තියෙන් ඉන්නේ ඇයි? සිද්දවී තියෙන්නේ මොකක්ද? මං ඇඳුම් මාරු කරන්නට ගත්තේ හෙමින්
සීරුවේ- හතර අතට ඇස්-කන් යවමිනි. “ඉක්මන් කරපං රංජි.... මගෙන් කන පලාගන්නෙ නැතිව!”
තවත් තාවර වෙවී ඉන්නට බැරිය. එතකොටම වින්සන් මාමා එතැනට ආවේ මගේ වාසනාවට වගෙය.
“බලන්නකො
ගුණපාල උන්නැහේ..... අපේ වේසාවා ආයෙමත් පාරක් අපට ගමේ ඉන්න නැති කරලානෙ. මේ පරයා නාට්‍යයේ
සල්ලිත් අරන් පැනල ගිහින්නෙ....”
“මගේ
කනටත් ඔය ආරංචිය වැටුණා... කසුකුසුවක් ගියා.....”
“නොවැටී
තියෙවිය..... මං ඒ වේසිගෙ පුතාට වැන්දේ නැති ටික විතරයි.... කලින් දෙපාරකත් මේකම
කරලා අපේ අක්කලට වත්තේගෙදර පැත්තේ ඉන්න බැරි තරමට ආවා.... මං ඌට කියලම තිබ්බේ මෙහෙත්
ඒක කරලා, මට නාවින්නේ ඉන්න නැති කරන්න නං එපැයි කියල....”
තාත්තා
ෆුට් සයිකලයත් තල්ලු කරගෙන .... |
“අමරෙගේ වැරදිවලට ඔහේ මක් කරන්නද?”
“මේකයිනේ
ගුණපාල උන්නැහේ... තිර දුන්නු මිනිස්සු, සංගීතකාරයෝ, ලයිට්කාරයෝ.... සේරමලා මම
අඳුරන අයනෙ... ඒ මිනිස්සුන්ට සල්ලි නොගෙවා ඉන්නද? හතර අතට ණය වෙලා හරි, මමවත් ඒ
මිනිස්සුන්ට සල්ලි නොගෙවා මේ නාවින්නේ ඉන්නද?”
ඒ
එක්කම තවත් කෝලාහලයක සද්දේ ඇහෙන්නට පටන් ගත්තාම වින්සන් මාමා දඩිබිඩියේ එහාට
දිව්වේය. අපේ තාත්තා මාවත් ඇදගෙන පාරට පැන්නේය. “තාත්තේ, සිරි අයියලා නෑනේ...” මං
කිව්වේ තවත් ටිකක් එතැන රැඳෙන්නට හිතාගෙනය. වග-විභාග එකතු කරගන්නට හිතාගෙනය. සිරි
අයියාත්, රන්ජිත් අයියාත් තවත් දෙතුන් දෙනෙක් සමඟින් අපේ තාත්තාට එකතුවී එහාට
ගිහිං උන්හ.
“මම
ගෙදර යනවා.... තෝ එහෙනං උන් එනකන් ඉඳලා ගුටිත් කාලා වර!” තාත්තා කොර අනිමින්, ෆුට්
සයිකලය තල්ලු කරගෙන යද්දී මටත් වුණේ පස්සෙන් වැටෙන්නටය...
සම්බුද්දියෙන්ම
කතන්දරේ එළියට ආවේ දවස් ගණනාවකට පස්සෙය.
සාම
ජාතක නාට්‍යය පුහුණු වෙන අතරේ චුල්ලපදුම ජාතකයේ වැඩකුත් සිද්ද වෙලාය. නාට්‍යයට
සම්බන්ධ පිරිස අතරේ අතපය නැති කොරෙකු නොහිටියත් ‘පාරිකා’ගේ හිතට ළංවුණු තවත්
කෙනෙක් ඉඳලාය. ඒ පලහිලව්ව අමරෙත් දැනගෙන ඉඳලාය. නාට්‍යයේ අධ්‍යක්ෂතුමා ඒ ගැන
අමරේගෙන් අහන්නට පෙරම මනුස්සයා ගල් වෙලාය. ඒ අතට අහුවෙන තරමේ තිබුණු සල්ලිත්
අරගෙනය. ඒ කලබැගෑනිය අස්සේ නාට්‍ය අධ්‍යක්ෂකගේ ඇඹණියන්දෑත් ඇයගේ අලුත් පෙම්වතාත්
එක්ක අලුත්ම නාට්‍යයක් නටන්නට අතුරුදහන් වෙලාය!
අපේ මරු සිරා හිටියේ මහරගමය.... |
“මදැයි ඔයින් ගියා..... ඔව්වා මහා පාහර වැඩනෙ සිරී... ඔය හින්දා තමයි ඉස්සර මිනිස්සු ටීටර්වලට ගෑනු එවල නැත්තෙත්...” අපේ තාත්තා සිරි අයියාට කියනවා ඇසිණි.
කලාකරුවන්
අතර වැරදි වැඩිද? එහෙමත් නැතිනම් ඔවුන්ගේ වැරදි වැඩියෙන් කැපී පෙනෙනවාද; ඒවාට
යෙදවෙන අවධානය වැඩියිද? කොහොම නමුත් කලාකරුවන්ට සමාජයෙන් යොමුවෙන අවධානය නම්
වැඩිය.
අප
ගැනත් කෙනෙකුගේ අවධානය යොමු වෙලාය. මාරක හී පහර නටන්නට ඔන්න-මෙන්න කියලා තියෙද්දී
මරු සිරා අපේ ගෙදරට ආවේය. තනියමත් නොවේ. දූ සිඟිත්තත් පෙරටු කරගෙනය.
පුදුම
හිතුණාද?
මේ
අනුරාධපුරයේ මරු සිරා නොවේ. මහරගම මරු සිරාය. ඒ කාලේ මහරගමට හිටි ප්‍රධාන චණ්ඩි
දෙදෙනෙකි. වඩාත් ඩීසන්ට් චණ්ඩියා ‘පාල’ය. සුදු සරමත්, ඇඟට හිරවෙන ටී ෂර්ට් එකකුත්
නිතරම ඇඳගෙන හිටි ‘පාල’ ඒ කාලේ මහරගම UNP චණ්ඩියා වුණේය. ඒ මනුස්සයා සුරා සූදු
දෙකෙන්ම තොරය; අවංකය; සාධාරණය. ඔහුගේ විරුද්ධවාදියා; ප්‍රතිමල්ලවයා වුණේ ‘බේබි’ය.
මහරගම ඉතිහාසය ලියවෙන විටෙක මේ දෙන්නාගේ face to face සටනක් ගැනත් කියවෙනවා ඇතිය.
ඉක්මනින්ම මරු තුරුලට ගිය බේබි ශ්‍රීලනිප පාක්ෂිකයෙක් වුණේය. ඔහුගේ තාත්තා
‘කිංකොන්’ය.
(කිංකොන්,
මනුවෙල්, අබරන් වගේ අය අපේ සීයලාගේ කාලයේ මහරගම චණ්ඩි වූහ.)
චුට්ටේ
මරු සිරාට පිහියෙන් ඇන්නේ බඩවැල්-බොකු එළියට පනින්නටය. |
අනෙක් දෙන්නා දැන් කියවෙන විදිහට නම් තර්ඩ් ක්ලාස් චණ්ඩිය; චා ගුණ්ඩිය. එක්කෙනෙක් චුට්ටේය. අනෙකා මරු සිරාය. මුල් දෙන්නා වගේම මේ දෙන්නාත් එකිනෙකාට පරම හතුරුය.
වතාවක්
චුට්ටේ මරුසිරාට පිහියෙන් ඇන්නේය.දෙතුන් පොළකටම ඇන්නේය; බඩටය. බඩවැල් බොකුත් එළියටම
එන්නටය!
මරු
සිරා කළුය; කෙට්ටුය. නෙළුම් කොළේ උඩ කොරවක්කා යන්නා වගේ ඔහු ඇවිදින්නේ දෙපතුල් දෙකම අඩමානෙට
පොළොවේ තබමිනි. මිනිස්සු නම් කිව්වේ එහෙම ඇවිදින්නේ ගංජා ගැට හිංදා බවයි! මට නම්
හිතෙන්නේ එහෙම ඇවිද්දා නොව ඇවිද්දවුණා කියලාය. මොකද කියනවා නම්, මරු සිරාත් ඇන්දේ
එඬරු තෙල් ගාලා කකුල් දෙකට බස්සන විදිහේ හිර සුදු කලිසමකි. ඒකටම කැපෙන සුදු කමිසය
කලිසමට යට කරලා, දීප්තිමත් රතු පාට ඉන පටියකුත් බැන්දේය. ඇඳුම් කට්ටලය පරිපූර්ණ
වෙන්නට සුදු සපත්තු දෙකකුත් දැම්මේය; ජෙල් තට්ටුවක්ම අතුල්ලා කෙස්ස ඉත්තෑ කූරු වගේ
කෙලින් කොට උඩට පීරුවේය.
ඉතින්
එහෙම ඇඳුමකින් සැරසී හිඳිමින්, නිදහසේ අතපය වනමින් චුට්ටේ එක්ක fight කරන්නේ
කොහොමද?
චුට්ටේ සරම කමිසය අඳින්නට පුරුදුව හිටියත්, සද්දයක් දමන වෙලාවට විතරක් පැත්තකින් සරම ඉස්සුවාම පෙනෙන්නට කොට යට කලිසමකුත් ඇන්දේය. අජාසත්ත නාට්‍යය ගැන කියද්දී චුට්ටෙගෙ සොහොයුරියන් දෙන්නා සිරිමා අක්කාත්, ජයන්තිත් ගැන කියුවෙමි.
අංගම්
පොර නොදැන හිටියත් චුට්ටේලා චීනඩි ගහන්නට.... |
ඉතින් රණ්ඩුව වෙලාවේ චීනඩිකාර චුට්ටේ කැරකි-කැරකී පිහියෙන් අනිද්දී මරු සිරා පැන දිව්වාලු!
එතකොට
මහරගම පොලිසිය තිබුණේ මහරගම පරණ පාර අවසන්වී යළි හයිලෙවල් පාරට සම්බන්ධ වෙන තැන
දැන් තිබෙන පෙට්‍රල් ෂෙඩ් එකට ටිකාක් මෙහායිනි. මරු සිරා දිව්වේ එතැනටය. බඩවැල්
බොකු එල්ලෙද්දී; ලේ පෙරෙද්දී අතින් බඩවැල් තෙරපාගෙන මනුස්සයා පොලිසියට ගොඩ
වැදුණේය.
“රාළාමි...
ලියාගන්න පැමිණිල්ලක්... පොතේ ලියාගන්න.... චුට්ටේ මරු සිරාට පිහියෙන් ඇන්නා!”
“ඕයි!
පැමිණිලි ලියන අස්සේ ලේ ගලලාම තමුසෙව මැරෙයි. දුවනවා ඉස්පිරිතාලෙට.... එහෙ
පොලීසියෙන් තමුසෙගෙ කට උත්තර අරන් පැමිණිල්ලක් ලියා ගනියි!!” කියලා පොලිසියෙන් මරු
සිරාව එළවා ගත්තාලු.
එහෙව්
මනුස්සයා දෝණිත් එක්ක අපේ ගෙදරට ආවේ ‘මාරක හී පහර’ වේදිකාගත කරන්නට ටික දවසකට
කලින්ය.
“ගුණපාල
අයියේ, අපේ කෙල්ලටත් ඔයාලගේ නාට්ටියකට ඉන්න ආසයිලු! පොඩි කෑල්ලකට හරි ඒකිවත් ගන්න
ඕනේ!” මරු සිරා වහෙන් ඔරෝ නොකියා කෙලින්ම අපේ තාත්තාට කිව්වේය.
නාට්‍යයකට
එහෙමත් නළු-නිළියන් ගන්නට පුළුවන්ද? හිටි අඩියේ චරිත ඇතුළු කරන්නට පුළුවන්ද? ඒවා
මෙහෙම මනුස්සයෙකුට තේරුම් කරන්නට ඇහැකිද?
වේදිකාවේ පෙන්වන නාට්‍යය වලට වඩා හොඳ නාට්‍ය රඟපාන්නේ වේදිකාව පිටිපස්සේ කියන්නේ ඕකට තමයි.
ReplyDeleteනිදි ගේ පංච තන්ත්‍රයේ වෙලාව සටහන් වෙන්නේ මහරගම ස්පෙෂල් වෙලාව හැටියට වෙන්න ඇති. මම දාපු කොමෙන්ට් එකට වෙලාව වැටුනේ සිකුරාදා හවස 4.56 කියලයි. දැන් මෙහෙ වෙලාව සෙනසුරාදා උදේ 9.56 (AEST) යි. ලංකාවේ වෙලාව පාන්දර 5.26 යි. ලොස් ඇන්ජලීස් වලයි, මහරගමයි වෙලාව සිකුරාදා හවස 4.56 යි දැන් මේ කොමෙන්ට් එකටත් සිකුරාදා හවස 5.05 වගේ වැටෙයි.
Deleteතරහ අවසර. සෑම් මහත්තයෝ, කම්පියුටරේ ලෙඩවෙලා....
Deleteයන්තං සන්තං පදං තමා ගැට ගගහා යන්නේ. ඒ අස්සේ වැස්සත් අරියාදු කරනවනේ....වැරදි ගොඩයි.
අමරේගේ වග ආච්චි තිතටම කියලනේ.
ReplyDeleteසමරු ඵලකය නං මරු ඈ.
සිරිබිරිස් උන්නැහේ,
Deleteඔහොම සමරු ඵලක වැඩි හරියක් යන්නේ අපේ ගෙවල් කිට්ටුවෙන්.
//“උප්පත්තියෙන්ම අඩුපාඩු තියෙන එවුන් ඔහොම තමයි.... බලෙන්ම හරි; තමුන්ම හරි නම්බු ගන්න වලි කනවා”//
ReplyDeleteමේ කතාවටනං මසුරං දාන්ඩ ඔ්නෙ කටේ...
බුදු බණට අමුතු නිරුක්තියක් දුන්න අපේ තාත්තා දවසක් කිව්වා "හීන ජන්මය ක්‍රියාවෙන් පෙන්නනව" කියල...
ගොඩක් ස්තුතියි ඩ්රැකී.
Deleteටීටර් සහ තවත් ආතල් ගැන පෝස්ටුවක් මාත් දැම්ම. එකට මාතලං අකතු කරපු කමෙන්ට් එක තමයි සිරා ම...
ReplyDeleteඅන්න යම පල්ලෝ ලෝදිය හැලිය රත් කරමින් ඉන්නවලු කටේ වක්කරන්න.
Deleteමං මෙහෙ ඉඳං ටික ටික බීලා පුරුදු වෙනව... හැක්!
Deleteඅසංග ආවොත් කියන්ඩ නිදි, මං මෙහෙ ඇවිත් ටික වෙලාවක් ඉඳල ගියා කියල.
ReplyDeleteහැබෑටම අසංග නෑ නේන්නං!
Deleteබොට කලියෙන් මේ අසංගයා ගොඩවැදුනේ.. සලකුනු නොතියා කියවලා ගියා හැමදාමත් එක ගන්න එකත් නරකයි හින්දා.
Deleteබලාගෙනයි බොලේ, අසංග ඔහොම සලකුණු නොතියා යන්නේ....
Deleteනිමල් අහල තියනවද ප්‍රසිද්ධ නීතීඥයෙක් හිටියා ඒ.සී. ගුණරත්න කියල. එයාව හැඳින්වුනේ ඒ. සී. කියලයි. ඒකෙ ප්‍රශ්නෙ වුනේ එයාගෙ පුතාට
ReplyDeleteඒක බොලේ...!
Deleteඔහොම, තාත්තගෙ පණ්ඩිතකම නිසා අමාරුවෙ වැටෙන්ඩ ඇති පුතෙක් තමා "හරිගුප්තා රෝහණධීර"
Deleteඩ්රැකී උන්නැහේ කියන හරිගුප්ත මහත්තයා ගැන නම් කියවන්න ලැබුනා. මෑත කාලෙනේ. ඒත් Pra Jay මහත්තයෝ, ඒ.සී. ගුණරත්න මහත්තයෙක් ගැන අහලා නැහැ, ඒ.පී. ගුණරත්න විද්වතා ගැන මිසක්.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහරි ගුප්තා කියන්නෙ මැරෝ ගේ පුතාණෝ.
ReplyDeleteඇත්තටම නාට්‍ය ඇතුළේ නාට්‍ය තමා පෙන්වන නාට්‍යයට වඩා රසවත්.
එකම වෙනස ඒවායේ ප්‍රකට රසභාවය කුහුළුරු රසය වීමයි. ඊලඟ මොහොතේ සිදුවන දේ දැනගත තොහැකි වීමයි.
අනුර, ගොඩාරියක් ස්තුතියි අලුත් වචනයක් ඉගැන්නුවාට. කුහුළුරු රසය! අහලා තිබුණු එකක් නෙවෙයි.
Delete