අකුරු මැකී නෑ

Tuesday, September 29, 2020

මාරක හී පහර - අටවෙනි කොටස

අහිගුණ්ටික මනුස්සයා නයි පෙට්ටියත් අරන්.....

මරු සිරාගෙ දූ සිඟිත්ත, නාග කන්‍යාවිය, සිරි අයියා.....එයාලා තුන් දෙනා නං නාට්‍යයක් රඟන්නට යන බව දැනගෙන උන් අයයි. පණ තිබුණු තිරිසනුන් දෙන්නා වුණත් නාට්‍යයක වගතුගක්; හාන්කාවිසියක් නොදැනය හිටියේ. එහෙම නොතේරෙන- පුහුණුවක්, හීලෑ කිරීමක් නැති අයය, අප වේදිකාවට ගෙනෙන්නට සූදානමේ හිටියේ! මතකයිනෙ? (අහිගුණ්ටිකයාගේ) නයා, කිංස්ලි රාජපක්ෂ මහත්තයාලගේ පුළුන් පිරවූ කොටියා සහ නාඳුනන හිතවතෙකු ගෙනවුත් දුන් වඳුරා.

එදා පොසොන් සඳ උදාවෙද්දී නගර සභා ක්‍රීඩා පිටිය පිරෙන්නට සෙනඟ ගලන්නට විණි......

ලියනගේ මාමාට පංගාර්තු කර තිබුණු විදිහටම හැන්දෑ වෙද්දී අහිගුණ්ටික මනුස්සයාවත් කැන්දාගෙන ඇවිත් තිබිණි.

කලින් දෙවතාවේම මොනවාද වෙන්නේ කියලා බලන්නටවත් නාට්‍ය පෙන්නූ තැනකට නොආ අපේ සීයා, එදා සැරේ ආවේය. තනියමත් නොවේ; අහිගුණ්ටිකයෙකු වාගේ වඳුරාවත් කරේ තියාගෙනය. ඒ වෙද්දී අපේ සීයාට වඳුරාත්, වඳුරාට සීයාත් නැතිව බැරි තරමට ඇවිත්ය. දැන්ය කල්පනාවට එන්නේ. අපේ සීයා; චාලි නානා; චෙම්බාස්සල පීයා-ජලා හුටා-හුකා පරියා හෙවත් දිසානායක හේවගේ චාර්ල්ස් උන්නැහේ වඳුරාටත් අබිං ටිකක් දුන්නා වෙන්නටත් පුළුවනිය! ඒ තිරිසනා ඒ තරමටම සීයාට ලැදිවය උන්නේ!!

රජ්ජුරුවන් එක්ක පරිවාරේට යන....

රජතුමාත් එක්ක පරිවාරේට යන ඇමතියෙකු විදිහට, අන්තිම මොහොතේ නාට්‍යයට එක්වුණු සිරි අයියාට නාට්‍ය ඇඳුම් ඇන්දෙව්වේත් අන්තිමටමය. එහෙම වුණේ, සිරි අයියාට කොටියාව ආරක්ෂා කරමින් කාමරයේම ඉන්නට වෙලා තිබුණු හින්දාය.

“බලන්නකෝ රංජි මල්ලී! ඔයා දැක්කනෙ කිංස්ලි රාජපක්ෂ මහත්තයා මාව විශ්වාස කරලා කොටියව දීපු හැටි. ගෙනාව හැටියටම ඌව පරෙස්සං කරලා ගෙනියන්න එපැයි. මෙතැන හැම එකාටම ඌව අතගාලා බලන්නයි, ඔබන්නයි ඕනි වෙලානේ. පොඩ්ඩ එහා-මෙහා වෙන්න බැහැ...”යි ගතු කියමිනි සිරි අයියා කොටියා ළඟටමවී හිටියේ.

‘සෙනඟ සූ ගාලා.’ කවුරුන්දෝ කියනවා ඇසිණි. ආරාධිතයන් ලවා පොල්තෙල් පහන් දල්වන අතරේ, මාත් තිරයක මුවාවේ හිඳගෙන නගර සභා පිටියට ඇස් යැව්වෙමි. ඇත්තය. පිට්ටනිය- පරණ පාර විතරක් නොවේ, හයිලෙවල් පාරෙත් සෙනඟය.

අපේ හැම නාට්‍යයක්ම පාහේ කියා තිබුණු වෙලාවටම පටන් ගන්නට තාත්තා වගබලා ගත්තේය.

“වෙලාව නං වෙලාව. මිනිස්සුන්ට එපා වෙනවනෙ හිටගෙන බලා ඉන්න වුණාම!” අපේ තාත්තා 1976 ජීවිතයෙන් සමුගන්නේ නැතිව ‘සැටලයිට් නෝනා’ රටේ පාලිකාව වෙනකල් ජීවත්ව හිටියා නම්..... මොනවා කරාවිද?

ඒ කොහොමද තිරිහන් වෙන්නේ?

“නිමල් අයියා දන්නවද? ඔය blog එක ලියන වැඩෙන් ඔයා තව තිරිහන් වෙනවා.” මේ ළඟදී දවසක අක්ෂි වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා කිව්වේය.

“ඒ කොහොමද? මෙයා තිරිහන් වෙන්නේ?” ඒ කතාව කියන වෙලාවේ, ළඟින්ම හිටි මිත්‍රයෙක් මටත් වඩා කලබල වුණේය.

“මේකයි මචං. අපේ හිතිවිලි අතීතයට යද්දී.....” අයස්මන්ත මහත්තයා එවෙලේ කියූ ටික මම මතක හැටියට අකුරු කළෙමි. ඒ ටිකේ වැරැද්දක් තිබේදැයි කියා අහලාත් යැව්වෙමි. අයස්මන්ත පීරිස් මහත්තයා ඒ හරිය, එයාට මතක හැටියට ලියා එව්වේය. එය වඩාත් හරවත්ය කියලා සිතුණෙන් ඒ ටික මෙතනට යොදමි; ගෙඩිය පිටින්. 

'මට ඒ පර්යේශනයේ මතක දේ නම්...

අවුරුදු හැත්තෑවක් විතර වයසැති අය අරගෙන, කාන්ඩ දෙකකට බෙදලා තියනවා. එක් කාන්ඩයකට කියනවා පුලුවන් තරම් අවුරුදු විස්සකට පෙර අතීතය සිහි කරලා, visualize කරලා ජීවත් වෙන්න කියල.

අතීතයේ; 1905 වසරේ ගත්, දකුණු ඩැකෝටා රතු ඉන්දියානුවෙකුගේ foto එකක් අලුතින් පණ පොවලා!

අනික් කාන්ඩයට එහෙම කියල නවතින්නෙ නෑ; පර්යේශනය කරන සති කීපය පුරාවටම ඔවුන්ව රඳවන්නෙ අවුරුදු විස්සකට පෙර තිබූ ආකාරයෙ තැනක; කෑම, බීම, දොර ජනෙල් තිර පවා අමුතුවෙන් නිර්මානය කරනවා ගැලපෙන්න. අහන රේඩියෝ/ රූපවාහිනී වැඩ සටහන් පවා. සංගීත තැටි පවා!

පර්යේශන කාලය මුලදිත්, අවසානයෙදිත්, මොවුන්ගෙ උස, බර, ආත්‍රයිටිස් වැනි වයස්ගත වීමත් එක්ක එන රෝගී තත්ව මනිනු ලැබුවා.

ඔවුන් සොයාගත් දේ තමා මුලුමනින් අතීතයේ ජීවත් වූ අයගෙ ජීව දත්ත එපරිදිම පස්සට ගොස් ඇති බව. ආත්‍රයිටිස් reverse වෙලා. හන්දි නීරෝගී වෙලා. උස වැඩි වෙලා- අස්ථි රෝග reverse වීම නිසාවෙන්.

කොන්ඩෙ, හම, ජවය, රුධිර පරීක්ශන ආදී සියලුම පාඨාංකවල පාහේ සැලකිය යුතු හොඳ වෙනස්කම් වෙලා තිබුනා.

ඔවුන් දුටුවේ තරුන කාලයේ සක්‍රියව තිබී ක්‍රමයෙන් අකර්මන්‍ය වූ ජාන නැවත ක්‍රියාත්මක වී ඇති බවයි.

වයසට යාමේදී බාහිර පරිසරය විසින් දෙන උත්තේජනවලින් 'ඔබ දැන් වයසයි, නාකියි; දැන් ඉස්සර කරපුවා කරන්න බෑ. පැත්තකට වෙලා ඉන්න. දැන් අසනීප එනවා. ඒකයි යථාර්ථය. ඒවාට සූදානම් වෙන්න' වගෙ යෝජනා ජානවලට කෙරෙනවා. මේ  ජාන සක්‍රිය/ අක්‍රිය කිරීමේ ප්‍රධාන කාර්යභාරයක්- චිත්ත තරංගවලින් කරන්න පුලුවන් බව ඔවුන් නිගමනය කලා.

ඉතින් යකෝ අතීතෙට හරි ගිහින් මේකා ලියන්නෙම....

වික්ටර් රත්නායකයන්ගේ 'අපි මැරෙන්නෙ නෑ' ගීතයෙ සෑහෙන දෙයක් තියනවා නේද?'

“ඉතින් යකෝ, අතීතෙට ගිහින් හරි කොහෙට ගිහින් හරි මූ ලියන තරමක් ලියන්නේ අපි කට්ටිය ගැනනෙ. හරි අසාධාරණයක්නෙ අපිට වෙන්නේ. අපි ගැන මතක් කර-කර ලියලා මේකා තිරිහන් වෙනවා.... හරි නං අපිත් තිරිහන් වෙන්න එපැයි!” අර අතීසාර මිත්‍රයා නහයෙන් ඇඬුවේය. තව දෙන්නෙක් ඊට මුක්කු ගැසූහ.

“ඒකට කරන්න තියෙන්නෙ, තමුසෙලත් මගේ blog එක කියවන්න පටන් ගන්න එක! හක්ස්ලි විතරයිනෙ මුල ඉඳලම මේවා කියෝ-කියෝ, මේ ගැන ලියන්නයි කියලා නිතරම මතක් කර-කර හිටියේ.... මිනිහත් තිරිහන් වෙලා වගේ ඉන්නෙ....”

“අනෙඃ මැන්ටලේගෙ තිරිහන්කම!”

“විහිළුවක් නෙවෙයි මචං. ඔය අපේ කස්ටිය සෙට් වෙලා පරණ කේස් මතක් කරන එක, එදා ප්‍රියංකර සර්ලගෙ ගෙදරදී වගේ පරණ සිංදු කියන එක.... එහෙමත් හොඳ තෙරපියක්! ඕක අපි දන්නා විද්‍යාවෙන් නෙවෙයි ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් තමයි පැහැදිලි කරන්න වෙන්නෙත්!”

එදා කිරමේදී සිංදු කියූ.... (වමේ සිට) පේමවතී අම්මා, අයස්මන්ත, ප්‍රියංකර, ජානකී, සන්ධ්‍යා, මාලා හා දිමුතු...

ඇත්තය. එයාලා කොහොම මොනවා කිව්වත් මගේ හිතිවිලි නම් අලුත් වෙලා වගෙය; මනස නවමු වෙලා වගෙය. එදා ‘මාරක හී පහර’ වේදිකා ගතවෙන දවසටම ගිහින් වගෙය, මට දැනෙන්නේ.... පොසොන් සඳේ කිරණින් නැහැවෙමින්, පැවිලියන් එකේ දෙවෙනි පඩි පේලිය මත්තේ වැජඹුණු සම්ප්‍රදායික පොල්තෙල් පහන... ඔන්න, ගරු ආරාධිතයෝ දල්වති.

ඉදිරිපස තිරය ඇරෙයි..... දෙපැත්තට. නාට්‍යය පටන් ගත්තේ ඊට පස්සෙය.

නාට්‍යයේ රඟන අපේ අලුත්ම ආධුනිකයන්ගෙන් ඉස්සෙල්ලාම වේදිකාවට එන්නට තිබුණේ මරු සිරාගේ දෝණියන්දෑටය; දෙවෙනි මනාලිය හැටියටය. නාට්‍යයේ මුල හරියෙදීම දූකුල- පාරිකා දෙන්නා සරණ බන්ධනයට පත් කරවන බැවිනි. දෙවෙනි මනාලියට අන්දවා තිබුණේ, පාරිකාට හිටි මටත් වඩා දිලිසෙන සාරියකි. වේදිකාවේ ඉදිරිපසින්ම, ආරාධිතයන්ට වෙන්කර තිබුණු පුටු දෙකක වාඩිවී මරු සිරාත්, බිරියත් දෝණියන්දෑ දිහාවේ ආශාවෙන් බලා ඉන්නවා මට පෙනුණේ හදිසි බැල්මක් දැම්මාමය.

ඒ මෙනෙවියට පෙනී හිටින්නට තිබ්බේ එතැන විතරය. අවුලක් නැතිව ඒ කොටස ඉවර වුණේය!

ඔන්න දූකුල-පාරිකා දෙන්නාම ගිහිගෙය හැර දමා තපසට යති. සාම කුමරු ඉපදෙයි. ලොකු වෙයි. එතැනට එනකල්මත් සේරම රංගගත වුණේ අපේ සැලසුම් විදිහටමය.

ඊට පස්සේ නාග කන්‍යාවිය නටලා....
දැන් තියෙන්නේ දූකුල-පාරිකා තාපස ජෝඩුව පලවැල නෙළන්නට යන ජවනිකාවය. ජාතක කතාවේ හැටියට නම් එවිට අකල් මේඝයක් ඇද හැළෙයි. ඊට හසුව දියබත්වී දූකුල- පාරිකා දෙදෙන සුවිසල් ගසක් මුලට යති.
එතකොටය අහිගුණ්ටිකයාට තුඹස අස්සේ ඉඳගෙන කරන්නට නියමිත රාජකාරිය තිබුණේ.

“හොඳට මතක තියා ගන්නවා... මේ ළමයා නාග නැටුම නටලා ඉවර වුණාම තමුසේ නයාව පෙට්ටියෙන් එළියට අරගෙන ලැහැස්ති වෙලා ඉන්නවා.... මේ දෙන්නා ‘වහිනවා’ කියා-කියා ස්ටේජ් එකේ එහාට-මෙහාට යනකොට මෙයා කොටියව ඉස්සරහට තල්ලු කරයි.... තේරෙනවා නේද?” නාට්‍යය පටන් ගන්නට ඉස්සරලා, අපේ තාත්තා තුන්-හතර වතාවක්ම අහිගුණ්ටික මනුස්සයාට පාඩම් කෙරෙව්වේය.

“යේක ෂරි මාතියා... ෂරි! එතෝට මං පාම්බුව තමා ගුලෙන් එළියට විසි කරනවා!”

“අම්මට හැම......!”

අපේ තාත්තාට කියැවුණේ අර ප්‍රසිද්ධ කීමෙන් කොටසක් පමණය. ‘අම්මට හැම නියං කාලෙදිම වතුර ලැබේවා!’

“.... කවුද ඕයි නයාව විසි කරන්න කිව්වේ, නයාව ගුලෙන් එළියට දානවා... ටික.... ටිකයි... කොන්ජම්... කොන්ජම් නේද? ටික-ටික... ඔන්න තමුසේ නයාගේ වලිගයෙන් තදට අල්ලගෙන ටිකයි එළියට දාන්නේ.... ටිකයි... ටිකයි.... පොඩ්ඩයි. තෙරියුමා?” අපේ තාත්තා දන්න දෙමළ වචන දෙක තුනත් පාවිච්චියට ගත්තේය.

“පය වෙන්ඩ එපා මාතියා. තෙරියුම්... තෙරියුම්..... ෂරි ෂරි!”

පලවැල නෙළනවය කියලා ගිය ගමන්ම තියෙන-තියෙන සේරම....
තිරය ඇරුණේය; දූකුල පාරිකා වේදිකාවට ආවෝය.  පල නෙළන්නට පටන් ගත්තෝය.

“උඹල දෙන්නත් පලවැල නෙළනවයි කියලා, stage එකේ අතුවල එල්ලලා තියෙන අඹ ටිකට වැඩේ දෙනවා හෙම නෙවෙයි ඕං. අන්තිම show එක වෙනකල් ඒවා තිබිච්චාවේ... මම මේ කියන්නෙ තාපස ජෝඩුවටයි, සාම කුමාරයටයි විතරක් නෙවෙයි. හැමෝටම... හැමෝටම...” අපේ තාත්තා එදා හවස; කල් ඇතිවම මහ සද්දෙන් සත්තමකුත් දැම්මේය.

“රංජි මල්ලී.... සීන් එකේදී ඔයා අර ඉදිච්චි අඹ ගෙඩිය කඩන්න. stage එකේදී ඔයාලගෙ තාත්තා එපා කියන්නයැ? අපි දෙන්නා act කරන ගමන්ම ඒක බෙදාගෙන කමු... අලුතින් වචන දෙක තුනක් දාලා.” නිහාල් ලියනගේ අයියා රහසින් මට කී කතාව අපේ තාත්තාට ආරංචි වෙලා එහෙම කීවාදැයි අප දෙන්නා හිටියේ බයෙනි. ඒ නිසාම අපේ සුමන්ත්‍රණය ක්‍රියාවට නොනැංවිණි.

“අන්න විලිකුන් පලයෙන් පිරුණු වෘක්ෂයක්... පාරිකා. එන්න, අපි එයින් පල ටිකක් නෙළාගනිමු.” කියාගෙන දූකුල තාපසයා බිරියත් කැන්දාගෙන වේදිකාවෙන් බැහැර වුණේ, පිටපතේ තිබුණු ක්‍රමයටමය.

ඒ නාග කන්‍යාවට නාග නැටුමට අවස්ථාව දෙන්නටය. නැටුම ඉවරවී ඇය තුඹසේ මුවාවට යද්දී වේදිකාවේ එළිය නිවෙන්නට- පත්තු වෙන්නට- dim වෙන්නට ගත්තේය. හෙණ පුපුරණ හඬ අස්සේ සංගීතයෙනුත් කලබල ස්වරූපයක් ජනිත කෙරිණි. වහින්නටය හදන්නේ.....

තොවිලයකදී ‘අයිලෙ පදිනවා’ දැකල තියෙනවද?
“සොඳුර, හොඳටම වහිනවා නේද?” කියාගෙන දූකුල ආයෙමත් වේදිකාවට පිවිසෙයි. පාරිකාත් පස්සෙන් එයි.....

එතැනට එනතුරු සේරම සිද්ද වුණේ ටක්කෙටමය; plan කරලා තිබුණු විදිහටමය. ඒ අතරේ සිරි අයියාට නියම කරලා තිබුණු විදිහටම කොටියාවත් වේදිකාවට තල්ලු කළා විතරය!

තොවිලයකදී ‘අයිලෙ පදිනවා’ දැකලා තියෙනවද?

ඊළඟට වුණේ අයිලේ පැදිල්ලකි. එතෙක්-මෙතෙක් කාලයකට මා ‘අයිලේ පදිනවා’ දැක තියෙන්නේ දෙවතාවකි. අයිලේ පැදිල්ලක් අපේ නාට්‍ය පිටපතේ තිබුණේ නැත. හොඳටම සහතිකය! එහෙම දෙයක් ගැන හංකාවිසියක්වත් අපට කල්පනාවී තිබුණේ නැත.

ඔහොම වචනයක් හරි මතක් වුණාම ‘එහි එල්ලෙන්නේ නැතිව යෑම’ නිදිගෙ සිරිත නොවේ! අන්තර්ජාලයේ ඕනෑම දෙයක් තිබෙනවා කියලාය මං හිතාගෙන ඉන්නේ.  ඉතින්, හොයන්නට පටන් ගත්තෙමි. අයිලෙ පදිනවා- අයිලෙ පැදිල්ල- ayile padinawa- ayila padilla.... ම්හු! ඊළඟට ගියේ ක්‍රිෂාන්ත ප්‍රියංකර ගුරුතුමා හොයාගෙනය, FB එකෙන්. සංගීත ගුරුවරයෙක් බැවිනුත්, දකුණු පළාතේ කෙනෙකු හින්දාත් යමක් දන්නවා ඇති! මට හිතුණේ එහෙමය.

ප්‍රියංකර මහත්තයා නැටුම් ගුරුවර-ගුරුවරියන් කිහිප දෙනෙකුගෙනුත් අහලා; එහාට-මෙහාටත් කතා කර අහලා පොටක් පාදා දුන්නේය. “නිමල් අයියේ, ඕක පහතරට සම්ප්‍රදායේ එන එකක්.... ගරා යකුමටයි සම්බන්ධ....” ඊළඟට මං හොයන්නට ගත්තේ ගරා යකුමය. (ඔත්තුවට ගොඩක් ස්තුතියි, ප්‍රියංකර සර්!)

උඩරට අයිලය, පහත රට අයිලයට වඩා වෙනස්ය!

හොයද්දී ලැබුණු තොරතුරු අල්පය. ඒ ටික වුණත් මෙතැනට ඔබන්නේ මතු-මත්තේ හෝ සොයන්නෙකුට පලක් වෙතියි හිතාගෙනය.

මේ හෙවිල්ලේදී මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්තයාගේ ‘කොහොඹා යක් කංකාරිය සහ සමාජය’ පොතෙන්ය, මුල්ම ඔත්තුව මං හොයා ගත්තේ. ඒත් ඒ අයිලය මා සෙවූ අයිලය නොවේ. කමක් නැහැනෙ, අපි ඒ ටිකත් කියවමුකො!

මගේ සෙවිල්ලේ result එකට අනුව ‘අයිල’ වර්ග දෙකකි.

‘වැදි යක්කම

කංකාරි මඩුවෙන් පිටත, කංකාරිය කෙරෙන භූමියේ ම ‘ගොඩ අයිලය’යනුවෙන් හැඳින්වෙන කුඩා මැස්සකි. එය වහලයක් ද සහිත ය. කණු සතරක් සිටුවා ඒ මත කෙසෙල් පතුරු සහ කෙසෙල් කොළ තබා ආහාර තැබීම පිණිස සකස් කරනු ලැබේ. ඊට දකුණු පසින් මුදුන එකිනෙක කැපී යන සේ සිටවූ ලී කණු දෙකකින් තැනූ ආධාරක දෙකක් මත කෙසෙල් පිත්තක් තබා ඇත. වම් පස ඉරුගල් බණ්ඩාර දෙවි වෙනුවෙන් හාල්, පොල්, අළුකෙසෙල්, වට්ටක්කා සහ කරවල අඩංගු හාල්මාළු පට්ටයක් එල්ලා තිබේ. දකුණු පස ඉදුණු කෙසෙල් කැනකි. වැදි යකුන් සඳහා ‘ගොඩ අයිලයේ’ පුදන බත් සහ එළවළු පිසිය යුත්තේ.........’ 135- පිටුව.

ඒ කියන විදිහට නම් ඒ උඩරට ‘අයිලය’ මිනිහෙකුට නඟින්නට- හතර අතට පද්දන්නට තරම් සවිමත් එකක් නොවේ.

ඇස් දෙක පල්ල දුටුවම මට කෙළ ගිලුණී!

එහෙම පද්දන්නට හැකි; අයිලය උඩ නැඟී හිතේ හැටියට රඟන්නට හැකියාව තියෙන්නේ පහතරට ශාන්ති කර්මයකදී තනන අයිලයටය. මේ අයිල කතාව තිබුණේ ගරා යකුමක් ගැන කියද්දීය....... ලියන්නා’blog අඩවියේ පළවුණු ‘රෑ පුරා නිදි වරා’ පෝස්ටුවේය.

'.... ආතුර ප්‍රේක්ෂකයන්ට පැමිණ ඇති ඇස්වහ, කටවහ, හෝවහ, අවොල්, දෙවොල් දෝෂ දුරු කිරීම සඳහා ගරා වෙස් පෑම සිදු කෙරේ. මෙහිදී පූර්ණ ගරා යකුමක් සිදු නොකරන අතර කීල ගරා පමණක් නර්තනයෙහි යෙදේ. රංග භූමියෙන් පිටත ගොරක අතු දෙකක් සිටුවා, බුරුල්ල අතුවලින් ආවරණය කොට ගරා අයිලයක් සාදා දෙනු ලැබේ.

කපු මහතා ගරා යකුට කරන ආරාධනා කවිවලින් ගරා යක් උපත හා ඔහුගේ ස්වරූපය පිළිබිඹු වේ. ගරා වෙස් මුහුණක්, නර්තකයන් පළඳිනු ලබන අතර ගරා වෙස් පෑම විනාඩි 15 ක් පමණ සිදු කරයි. ගරා යකුගෙන් තමා පිළිබඳව විස්තර අසන ගුරුන්නාන්සේට දෙන පිළිතුර හාස්‍ය රසයෙන් ද, පදවල අරුත් සඟවා කියන රාගික හැඟීම්වලින් ද යුක්තය.

   කැස්බෑවේ සිටන් පිටකොටුවට   පැමිණි
   බසයක නැගී ගම්බද පිටිසර         තරුණි
   ඇස් දෙක පල්ල දුටුවම මට කෙළ ගිලුණි
   බස් එක පිටින් උස්සා යන්නට      සිතුණි’

එදා අයිලය පැද්දේ ගුරුන්නාන්සේ කෙනෙක් නොවේ. අපේ නොසන්ඩාල.....

මට මතක හැටියට නම් අයිලය කියන්නේ තරමක් මේරූ ගොරකා අතු දෙකක් හිටුවා, ඒ දෙක යා වෙන්නට මෝල් ගස් දෙකක් බැඳ හදන අට්ටාලයක් වැන්නකි. පාන්දර යාමයේදී තොවිලය නටන කට්ටඩි උන්නැහේ කෙනෙක් අර මෝල් ගස්වලට නඟියි. ඒ ආතුරයාට අණවින- හදි හූනියම් කළ යක්ෂයා ඒ කට්ටඩියාගේ සිරුරට ආරූඪ කරගෙනය.

රෝග පීඩාව ගැන විමසන අතරේ, දිගම දිග විසුළු සංවාදත් කෙරෙයි. අණවින- ලෙඩදුක් ඇති කළ යකාගෙ අන්තිම සූදානම බලි-බිලි පුදත් අරගෙන පිට වෙන්නටය.

ඒ කාරණය සංකේතවත් කරන්නේ දෑතින් ගොරකා අතු දෙක අල්ලාගෙන, මෝල් ගස් උඩ හිටගෙන ඉන්නා ගුරුන්නාන්සේ කරන පැද්දිල්ලකිනි. වේගයෙන් වැයෙන බෙරවල රිද්මයට ඉස්සරහට- පස්සට- පැත්තට ගොරකා අතු නවමින්; පද්දමින් කෙරෙන ‘අයිලෙ පැදිල්ල’ සාර්ථක වන්නේ එක ගොරකා අත්තක් බිඳුණාමය.

හොඳම ගුරුන්නාන්සේ කෙනෙකුටවත් එදා අපේ ‘මාරක හී පහර’ වේදිකාවේ කෙරුණු ‘අයිල පැදිල්ල’ පරද්දන්නට බැරි බව මට නම් සහතිකය. එදා එතැන අයිලය පැද්දේ ගුරුන්නාන්සේ කෙනෙකු නොවේ. ‘වඳුරු වහන්සේ’ කෙනෙකි’. අඹ අත්තේ උඩ හිඳුවා, දම්වැලින් බැඳ දමා තිබුණු අපේ නොසන්ඩාල-මගෝඩි වඳුරු මාල්ලාය.

නරඹන්නන් හිනස්සවන ගුරුන්නාන්සේ කෙනෙකු වගේ....... 
ගුරුන්නාන්සේ කෙනෙකු වගේ නරඹන්නන් හිනස්සමින් ඌ අයිලය පැද්දේ යකෙක් ආරූඪ වීමකින් නොවේ; මාරයා ආවේශ වීමෙනි!

අපේ තාත්තාවත්, වෙනින් කෙනෙකුවත් වඳුරන් කොටින්ට බය වෙන බව හිතා බලා තිබුණේ නැත. සිරි අයියා හීන් සීරුවේ, වේදිකාවට කොටියාව තල්ලු කරද්දී වඳුරා හිටියේ අඹ අත්තේ උඩය. ඒ තිරිසනාව දම්වැලකින් අත්තට ගැට ගසා තිබුණේ අඩියක්-දෙකක් එහාට-මෙහාට පනින්නට විතරක් බුරුල තියලාය. කොටියා දැක බිය වුණු වඳුරා, ඒ ළඟින්ම ගැට ගසා තිබුණු පේර අත්තකට පැන්නේය. පේර අත්ත තරමක් ළපටි එකකි; වඳුරාගෙ බර දරන්නට නොහැකි තරමේ එකකි.

“ඒ අස්සේ මට පෙනුණා අර අහිගුණ්ටික වේසිගෙ පුතා නයාව හුඹහේ කටෙන් එළියට දානවා. එතකොටම නයා පේර අත්තේ වෙළිලා.....”

12 comments:

  1. ඒක යකෝ... කතාව බ්‍රේක් කරපු කැත!

    මං කියන්ඩ උන්නෙ ඔය සම්පූර්ණ නාට්‍යයම සිදුවීම් විදිහට ලිව්වනං මාර රසවත් ලිවීමක් වෙයි නේද කියල...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් වුණත් බ්රේක් කරන්න ඕනි මෙහෙම තැනකින් නේන්නං. අනෙක ඩ්රැකී, දන්නවනේ ඉතින් නිදිගෙ කුප්ප ගතිය...

      Delete
  2. ඉතිහාසය, අතීතකාමය, අයිතිහාසික නවකතා වගේ දේවල් තමයි මගෙ ප්‍රියතම කියවීම්. තිරිහන් වුනෙත් නෑ තිරිසන් වුනෙත් නෑ තාම.
    හැබැයි වයසට මේවයි ගැලපෙන්නෙ නොගැලපෙන්නෙ කියලා වැඩ ලිස්ට් මං ගාව නෑ. නීතිවිරෝධී හෝ කාටවත් හානිකර නොවෙනවනම් පුලුවන් කැමති දේ කරනව

    ReplyDelete
    Replies
    1. හරියට හරි Prs Jay මහත්තයෝ!
      මේ සේරම නීති සම්ප්‍රදායවල් ලෝකාරම්භයේ තිබ්බ දේවල් නෙවෙයිනෙ... හිතට එකඟ නං එච්චරයි!

      Delete
  3. අයිලය හදන්නේ ගොරොක් අතු වලින් කිව්වාට ඒකට හරි කෙලින් තියන ගොරොක් ගස් දෙකක් තමයි ගන්නේ. ඒවා අඩි දොළහක් විතර උස, මුල් හරිය මෝල් ගහක, එහෙම නැතිනම් රුපියල් හැටේ පොල් ගෙඩියක විතර වට ප්‍රමාණය තියන ඒවා. ගොරොක් ගස් කියන්නේ කැඩෙන්නේ නැති "ඇඹුල් ලී" වශයෙන් හැඳින්වෙන නැමෙනසුලු ගස්. කැත්තකින් මේ ගොරොක් ගස් වල අතු පෑහලා ඒවා මට්ටම් කරන්නේ කට්ටඩියා ගේ ගෝලයෙක්. එයා මේ අතු පාහින අතර හොරෙන්ම මේ ගස් දෙකටම හෝ එකකට හොඳ කැති පාරක් බැගින් ගහනවා. එහෙම කරන්නේ ගරා යක් නැටුම අවසානයේ මේ අයිලය කඩාගෙන යකා බිමට පැනීමේදී අයිලය කැඩෙන්න පහසු වෙන්නයි. ගරා යකාට මේ අයිලය කඩන්න බැරි වෙන තරමට තමයි මේකේ විනෝදය තියෙන්නේ. ඒකට මේ ගොරොක් ගස් පෑහීම කට්ටඩියාගේ ගෝලයන්ට නොදී තමන්ගේ කෙනෙක් ලවා කිරීමත්, ගොරොක් ගස් හිටවන කොට වලේ පතුලට පොල් කටුවක් දැමීමත් කරනවා. මේ පොල් කටුව නිසා අයිලේ පදින විට කණු දෙක ඇඹරීමට භාජනය වනවා මිසක් නැවීමට ලක් වෙන්නේ නැහැ.
    මං මේවා ලිව්වාම මගේ කලින් ජොබ් එක කොට්ටෝරුවෙක්ද (කට්ටඩියා ගේ ඇසිස්ටන්) කියලා අහන්න එපා. අපිටත් මොලේ අමාරුව තිබුන කාලේ හැමදාම වෙසක් එකට කුඩුවක් හැදුවා. ඒක අවසානයේ ගරායක් නැටුමක් නටනවා. අපේ ගමේ හිටපු චීෆ් කට්ටඩියා බොහොම පොඩි සිරුරක් තියන කෙනෙක්. එයා සාමාන්‍යයෙන් ගරා මූණ බඳින්නේ නැහැ. ගෝලයෙකු ලවා තමයි නැටුම කරවන්නේ. නමුත් වෙසක් එකට අපේ ගෙදර මේක කරන්නේ ගමේ පොදු වැඩක් වෙනුවෙන් නිසා එයාම ගරා යකාට වෙස් බඳිනවා. එයාට අයිලේ කඩන්න බැරිවෙන්න දීපු පනිෂ්මන්ට් තමයි මේ ඉහල ලියා තියෙන්නේ.

    පංච තන්තරේට අපේ බයිලා ලිව්වාට නිදි මහත්තයා තරහා වෙන්නේ නැති බව දන්නවානේ!

    ReplyDelete
    Replies
    1. තරහ වෙන නෙවෙයි සෑම් මහත්තයෝ, ස්තුති කරලා මල් මාලයක් දාන්නයි ඕනෙ!
      මං අයිලය පදිනවා දැක්කේ කොලු කාලේ. හීනෙක වගේ මතකේ තිබ්බේ. ඔය කැති පහර- පොල් කටුව වලේ යටටම දැමීම වගේ ඒවා ගුරු මුෂ්ටි! ඒවාත් අපේ ආදරණීය blog කියවන උදවියට කියා දීම කොච්චර එකක්ද?
      ඔය වෙසක් කූඩුව තිබ්බේ කොට්ටාවේ ආනන්දේ හරියේ නේද?

      Delete
    2. ස්තුතියි සෑම් මහත්තයා, අනාගතයේදි අයිලයක් කියන්නේ මෙකක්දැයි නොදන්නා පිරිසක් බිහිවෙනවා. මෙවැනි දේ ලියවිමත් වටිනවා.

      Delete
    3. ඒක නේන්නං අසංග. මම අර පොල් කටු කතාවයි, කැති පහරේ කතාවයි දැනගත්තේ මේ සෑම්ගෙ කමෙන්ටුවෙන්!

      Delete
  4. අඩේ මරු සෝ එකක්නේ තිබිලා තියෙන්නේ.නයයි කොටියයි රිලවයි බෝයි.වැඩේ අන්දොස් නොවී තිබුනා මැදෑ.

    ReplyDelete
    Replies
    1. අන්දොස්... අන්දොස්... අන්දොස්..
      අන්දොස් කියලා හාදයෙක් හිටියා අපේ නාට්‍යයකටත් සම්බන්ධ වුණු. ඉස්සරහට ලියවෙන්න තියෙද්දී, සයවන ඉන්ද්රියයකින්වත් සිරිබිරිස් උන්නැහේට දැනුණාවත්ද?

      Delete