අකුරු මැකී නෑ

Friday, October 2, 2020

ආදර පූජාසනේ - අටවෙනි කොටස

අජන්තයා එක්ක ලව් කරලා ඇති වුණාද?

මරදාන- පිටකොටුව කියන්නේ මහ දුරක්ද?
සුනන්ද කොළඹ එනවා වගේ, මාත් මහීලා හමුවෙන්නට ගියොත්.... එක්කෙනෙක්ව විතරක් නෙවෙයි... දෙන්නවම! යාළුවො  දෙන්නවම!! යාළුවො දෙන්නවම එක සැරේ හම්බ වුණොත්?

ඒ අදහස මගෙන් කියවුණේ මහීටය. “ඇයි, නිමල්ට අජන්ත එක්ක love කරලා ඇති වෙලාද?”

“අනෙඃ..... අපි කාත් එක්කවත් ලව් කළේ නෑ. මනුස්සකමට කතා කෙරුවා මිසක්....” මං කිව්වේ බොරු තරහක් මවා ගෙනය. “මේ දවස්වල මට හරියට වැඩ! වෙලාව හරි අඩුයි, මහී!”

“ඕකට ඉතින් ඩෝං යවාගන්න එපා. ඇත්තටම මමත් ආසයි, ඔයාව දකින්න තියෙනවා නං. හැබැයි නිමල්, අජන්තත් සිරාවටම හිතාගෙන ඉන්නේ ඔයා කෙල්ලෙක්ය කියලා. දැක්කම shock වෙනවා ෂුවර්!”

“ඒත් මම කොහොමද එයාට නොකියා හම්බ වෙන්න එන්නේ. එයා ඉන්න වෙලාවක වෙන්නත් ඕනි.... ඔයා ඉන්න වෙලාවක වෙන්නත් ඕනිනේ....”

බලමුකෝ ගෝතයට ඔයාව අඳුරගන්න පුළුවන් වෙයිද කියලා!
ඒ ප්‍රශ්නය විසඳුවේ මහීමය. “අපි දෙන්නා වැටෙන්නේ shift දෙකකට. එක්කෙනෙක්ගේ ෂිෆ්ට් එක ඉවර වෙලා අනික් එක්කෙනා මාරු වෙන වෙලාවක ඔයා මෙහාට එන්න. වැඩියම හොඳයි මෙහෙ කට්ටිය අඩු- නිවාඩු දවසක එනවා නං. ඔයා කොල්ලෙක්ය කියල දැන ගත්තම අජන්තයට තරු පෙනෙයි! හිතා ගන්නවත් බෑ එතකොට උගේ මූණ කොහොම වෙයිද කියලා.” මහී හිනා වුණේ, මිත්‍රයාට ඒ ලණුව ගිල්ලෙව්වේ තමන් විසින්ම බව අමතක කරමිනි. තමනුත් මාස කීපයක් තිස්සේ රැවටී උන් බව අමතක කරමිනි.

“ඔයාටම තමයි ඉතින් එන්න හොඳ දවසක් කියන්න වෙන්නේ!” මම ඌරාගෙ මාළු ඌරගෙ ඇඟේම තියලා කැපුවෙමි.

පස්සේ දවසක මහී ඒ තීරණාත්මක හමුවට දිනයක් නියම කළේය. “මේ මාසෙ අන්තිම ඉරිදා.... හවස ...ට මම off වෙනවා. මගේ shift එකෙන් පස්සේ duty බාරගන්න එන්නේ අජන්ත. ඔයා ඊට ටිකක් කලින් ඇවිත් ඉන්න, මිනිහා එන්න කලින්. බලමුකෝ ගෝතයට ඔයාගෙ කටහඬෙන් ඔයාව අඳුන ගන්න පුළුවන් වෙයිද කියලා!”

මහී සැබෑ මිතුරෙක්ද? මට නොවේ අජන්තට. වෙන්න බැරිය, මිත්‍රයෙකු රවටා අමාරුවේ දාන්නට තවත් මිතුරෙකුට පුළුවන්ද? මිතුරෙකුට විපත් පමුණුවන්නට.... අංචි අදින්නට?

අපේ යාළු fit එකටවත් උඹ අද බොන්නම ඕනෙ....

වාසනාව එවැනි මිතුරන් ඉතාම අඩු සංඛ්‍යාවක් පමණක් මට හමුවී තිබීමයි. එහෙත් හොඳින් වටපිට බලද්දී, එවැනි මිත්‍ර ප්‍රතිරූපකයන් එමට දැක ගැනීමේ අවාසනාවත් මම ලබා ඇත්තෙමි. වෙනත් අයව වුණත්, එයාලා එහෙම රැවැට්ටුවේ- බොරු කළේ විනෝදයට නොවේ; තමන්ගේ වාසියටය. සමහර විටෙක එහි දිගුකාලීන ප්‍රතිවිපාක පවා නොතකමිනි.

යහමින්ම ඒ පාප කර්මය කෙරෙන්නේ මධු සාදයන්හිදීය. ‘උඹ බොන්නෙ නැතිවට කමක් නැහැ. අදට විතරක්.... අපේ යාළු fit එකට විතරක් බීපං. බොක්කෙ යාළුවො එහෙමනෙ මචං.’ බොහොමයක් වෙලාවට කියවෙනු ඇසෙයි. සමහර දවසකට, ඒ බොක්කෙ fit එක කොහොමදැයි හොයා ගන්නට පහුවදා වෙනතුරුවත් බලාගෙන ඉන්නට වෙන්නේ නැත. වලියක් ඇදුණොත්! එදාම හරි, අර බොක්කෙ යාළුවෝ එකිනෙකා මරා ගනිති!

මහී හොඳ යහළුවෙකුගේ ගති තිබුණු අයෙක් නොවේ. එහෙම ගති තිබුණා නම් අජන්තව රවටන්නේ නැත. ඒත් අජන්තත් ඊට නොදෙවෙනි හාදයෙකු බව මං වටහා ගත්තේ එහාට ගියාම කළ දෙයින්ය.

එහෙම ඒ ඩබල බැහැ දකින්න යන්නට කල්-යල් බැලෙන අතරේ ‘ප්‍රතිභා’ ප්‍රසංගයේ දිනයත් කිට්ටු වෙමින් තිබිණි. ඒ දවස උදා වෙනතුරු ඉවසිල්ලක් නැතිව හිටියේ කළු අක්කාය. “නිමල් මල්ලී, ඔයා අර මනුස්සයට කිව්වද එන්න ඕනි දවස?”

කොතෙක් ලස්සණ දෙයක් ලීවත් එයින් පලයක් ලබා ගන්නට...
“තවම නෑ කළු අක්කේ....”

“ඔයා හරි ළමයෙක්නෙ. මාත් ඉවසිල්ලක් නැතිව බලාගෙන ඉන්නවා ඒ මනුස්සයව දැක ගන්න. ඔයාට ගණනක්වත් නැහැ.....”

අප දෙදෙනාගේ හමුවීම කවදා සිදු වේදැයි කියා විමසමින්, සුනන්දත් උන්නේ පොරොත්තුවෙනි. ඒ දවස්වල ඒ මනුස්සයා ලියූ කවිවලිනුත් මතු වුණේ, සිදු වෙන්නට යන දේ පිළිබඳව තිබුණු කුතුහලයයි.

    කොතෙක් ලස්සණ දෙයක් ලීවත් එයින් පලයක් ලබා    ගන්නට

    නොහැක්කකි පොත් පුරා තුබුණත්, රැසක් හද තුල මවා ලන්නට

    කුමක් වේවිද සිතුවිලිය හද ඇතත් පැනයක් සේ          අසන්නට

    මතක් වන විට දුකක් ඇතිවේ එයින් සිදුවේ දුක්           විඳින්නට

දුරින් සිට මා මෙතෙක් දිව ආ මඟේ තවදුර පෙරට            යන්නම්

කරින් උසුලන බරක් සේ ඔබ දරණ අදහස්වල             රැඳෙන්නම්

වෙරින් වෙර ගෙන සැපක් ලංකොට එයින් සොම්නස පුබුදුවන්නම්

එරන්දතියේ! ඔබට හැමදා හැම විටම සුවසෙත              පතන්නම්

සක්වා ලිහිණි ජෝඩුව හෙණ ආදරවන්තයන්ලු!
සක්වා ලිහිණින් ගැන හිතාදර ඔබට කිව්වා මතකද? සුනන්දත් ටිකාක් විතර සක්වා ලිහිණියෙකු වාගෙය. ළබැඳි සබඳතා පවත්වද්දී අප ඒ ප්‍රේමණීය සකුණයන් ලෙසටම බොළඳ වෙනවාද?

“ඔන්න මහත්තයෝ.... ඔයාට කොළඹ එන්න වෙනවා ළඟදීම දවසක....”

“මොනවා?” සුනන්ද උඩ ගිහින් තැපැල් කන්තෝරුවේ වහලයේ වැදුණාවත්ද? මට හිනා ගියේ නිකම්මය.

“ඔයාට හිනා.... ඇත්තමයි මාලි, මට අදහාගන්නත් බෑ. මට හිතෙන්නේ ඔය දවස වෙනකල් මට නින්ද යන එකකුත් නෑ. කොහෙදිද අපි හම්බ වෙන්නේ? කොහොමද මම ඔයාව අඳුරගන්නේ? ආ.... අඳුනා ගන්න එක නම් මම කරන්නම්.... ඔයාගේ ෆොටෝ එක හිතේ ඇඳිලා තියෙන නිසා, දාහක් මැද්දෙ හිටියත් ඔයාව අඳුරගන්න එක මට නං අමාරු නෑ.... ඉතින්... ඉතින්....” සුනන්ද අහගෙන-අහගෙන, කියවාගෙන-කියවාගෙන ගියේ සොරොව්වක් ඇරියාම වගේය.

“.... ඔච්චර පිස්සු හදා ගන්න එපා ම...හ...ත්තයෝ..” හීන් හිනා මුසු කරමින් කීවෙමි. “මට එන්න බැහැයි කියලා හිතුණොත්....”

මා කීවේ ඇත්තය. ඒ මොහොත වෙද්දී මට ලෝබකමක් හිතෙමින් තිබිණි. සුනන්ද මොනවා කිව්වත්, ඒ ‘හමුවීම’ අපේ හිතවත්කමේ අවසානය සනිටුහන් කරනු ඇතැයි මට හැඟෙමින් තිබිණි. දුරකථන කතාබහට වෙලාව හිඟ වුණත්, සුනන්ද එක්ක කෙරෙන කතාබහේ එකාකාරීත්වයක් ඒ වෙද්දීවත් මට නම් දැනී  තිබුණේ නැත. ඒ කතාබහ නීරස වෙලා තිබුණෙත් නැත.

ඔච්චර නපුරු වෙන්න එපා....
“ඔය.... ඔය... මාලි, ඔයාට කිසිම අනුකම්පාවක් නෑ. කොච්චර නපුරුද? දැන් බැහැයි කියන්න ඔට්ටු නෑ!”

“හරි.... එහෙනම් අපි දෙන්නා හම්බ වෙමු. හැබැයි හිත කියනවා, ඊට පස්සේ ඔයා මට ලියන එකක්වත්, ටෙලිෆෝන් කරන එකක්වත් නැහැයි කියලා. ඒකටයි මට දුක...”

“පිස්සුද මාලි. ඔයා එක්ක තරහ වෙන්න මම?”

එතකොට සුනන්ද කිව්වේය. ඔව්! කවදා හෝ අපට සත්‍යයට මුහුණ පෑමට සිදු වෙයි. එළියට එන්නට සිදු වෙයි. මං හිතුවේ එහෙමය. අපේ හමුවීමෙන් පස්සේ සුනන්ද කොහොම වේදැයි හිතුවාට, මා කොහොම වේදැයි මට යන්තමින්වත් කල්පනා වුණේ නැත.

සුනන්ද නම් හමුවීම ගැන ලියලාත් එව්වේය.

   කඳ කුමරිඳු බෙලෙන් හමුවක් ඇති කෙරුම

   සතුටක් බව කියමි ඔබ හද හැඟු       හැඟුම

   මේ පිළිබඳව මා නොම වුව මුත්         පුදුම

   තුති පිරිනමන්නෙමි! අදහස වෙත      කදිම

අන්දරේ තන මැන්නා වගේ, පොලුත් මනින්න...
දිවුරා කියමි. බ්ලොගයට ඔබන්නට මේ කවිය තෝරා ගනිද්දීවත් එහි ගැබ්වුණු බොරුව මට වැටහුණේ නැත. ‘හමුවෙන්නට එකඟ බව’ කීවාම, පුදුමයෙන් ගල් ගැහුණු මනුස්සයාම ‘මා නොම වුව මුත් පුදුම’ කියලා කියයි. මෙතුවක් කාලයකට පස්සේ වුණත්, blog එකට අකුරු කොටද්දීය, මට ඒ point එක අසුවුණේ. පණ්ඩිතකම් කීවාට තවමත් මගේ අවිචක්ෂණශීලී බව අඩුවෙලා නැති බවය, එයින් පෙනෙන්නේ.

මගේ අවිචක්ෂණශීලී බව ගැන කියද්දී පහුගිය දවස්වල කියවුණු ලොකුම විහිළු දෙකක් ගැන කියන්නම හිතෙයි.

පොල් මිල පාලනය කරන්නට විසඳුමක් ආවේය... පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල තීරණය කරන්නට ඕනෑ කියලාය.  (‘පොල් මනින හැටි ගැන’ එහෙන්-මෙහෙන් එක-එක්කෙනා ‘සොමි කතන්දර’ කියන්නට පටන් ගත්තෝය.)

ආතල්ම ලියවිල්ලක් තිබුණේ හිතවත් රවීගේ ‘නිදහස් සිතුවිලි’ blog අඩවියේය. ‘පොල් ආතල්!’

එව්වා කියවද්දී මට මතක් වුණේ අන්දරේ උන්නැහෙගෙ ‘තන මැනිල්ලෙ කතන්දරය’යි, අර ‘තන් වර්ග පහ ගැන කතන්දරය’යි දෙකය. එහිදී කියැවුණු ‘නොතන්, බොත්තන්....’ වගේ තව ටික දවසකින් නොපොල්- පොල් කියල වුණත් වර්ගීකරණයක් කරලා චක්‍රලේඛයක් එන්නටත් ඉඩ තියෙනවාය. 

රවීගේ ‘පොල් ආතල්’ පෝස්ටුව ආතල්ය!

අපේ රටට ප්‍රතිපත්ති හදන කවුන්සලේට එක මන්තිරියෙකු තෝරා ගන්නට විතරක් වියදම රුපියල් කෝටි 5 පනින විත්තිය ටිකක් පරණ ආරංචියක්නෙ! රටේ එච්චර මුදල් කන්දරාවක වියදමක් දරලා කවුන්සලේට යවන උදවියට, හුදී ජනයාගේ නාඩි වැටෙන හැටි තේරෙන්නේ නැත්ද? තීරණයක් ගනිද්දී හැම පැත්තම හොයා බලන්නෙ නැද්ද? මොළේ තැලිලාවත්ද?

යම් කිසි දෙයකට ඉල්ලුම වැඩියි නම්, සැපයුම අඩුයි නම් මිල වැඩි වෙයි. ඔය ටික තේරුම් ගන්නට ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන තියෙන්නම ඕනෑ නැත. එහෙව් එකේ, නීති දැම්මත් සැපයුම වැඩි වෙන්නේ නැති බව සිහියට එන්නේ නැතිද? රටට විහිළු නොකර ඉන්නම බැරිද?

පොල් ගස් විතරක් නොවේ, පැපොල්- අඹ- කෙසෙල්- දෙල්- කොස්- බෝංචි- බණ්ඩක්කාවලට පවා වින කරන රිලවුන්-වඳුරන් මර්දනය කරන්නට නීති ගෙනෙන්නට බැරිද?

එහෙම නොකර පොල් පලදාව වැඩි වෙයිද?

අධිවේගී කඩිනම තියෙන්නෙ විස්ස පරවගන්න විතරක්ද? (පය බරවායට පිටි කරට බෙහෙත් බැඳලා පලක් නැතැයි කියන උපමාව තියෙන්නෙත් බණ පොතකමය.)

ලංකාවේ පොල් අස්වැන්නෙන් 40%ක් රිලවුන්-වඳුරන්-දඬු ලේනුන් විනාශ කරද්දී....

කවුන්සලේම තව ඇත්තෙකු කියන්නේ, රටේ පොල් පලදාවෙන් 40%ක් විනාශ කරන අසමජ්ජාති රිලවුන්- වඳුරන්- දඬු ලේනුන් එළවන්නට පිරිත් පැන් ඉහින්නටය! ඒ ප්‍රවෘත්තිය කියවූ යාළුවෙකු ඔත්තුවක් දුන්නේ කෙමක් ගැනය. ‘පිරිත් කැටි කරලා ඉහින්න කියහං බං!’.

අනේ, බුද්ධි මට්ටම, පියවි සිහිය මනින්නට යන්තරයක් ඇත්නම්.....! මට හිතෙන්නෙම මේවා කාගෙ-කාගේත් වයසේ වැරැද්ද කියලාය!! මට හිතුණාට, රටුන්ට එහෙම හිතිලා තිබුණේ නැති විත්තිය කාට-කාටත් පෙනිලා තවම මාස ගාණක් ගියා විතරය.

ඉතින් මෙයාලා වගේම, නොපනත්කමත්- පඩත්තලකමත්- මන්ද බුද්ධිකකමත් ඉහට ගැහූ මට්ටමක හිටි මං, ඒ කාලේ වුණත් සුනන්දව කළු අක්කාට මුණ ගස්වන්නට plan කළේ හරිම සීරුවටය.

“ඉතින්?”

“ඉතින් කිතුල්- නාකි පතුල්!”

“විහිළු නෙවෙයි මාලි!”

“විහිළුවක් නෙවෙයි තමා සුනන්ද!”

“ඔය.... ඉතින් මාව විහිළුවට ගන්නවා.....”

මම නිහඬව හිටියෙමි. ඒ සුනන්දව තවත් අවුස්සන්නටය. උපාය හරි ගියේය.

“බුම්මා ගත්තා නේද ඒ සැරේ?”

බුම්ම ගත්තෙ නෑ! ටිකක් නිස්සද්ද වුණා!!
“කවුද බුම්ම ගත්තේ? මම ටිකක් නිස්සද්ද වුණා විතරනෙ.... ඉතින් ඔයත් නිස්සද්ද වෙලා ඉන්නෙ නැතිව කියන්න....”

“ඇත්තමයි මාලි. මේ දවස්වල මං හීනෙනුත් කොළඹ එනවා. ඔයාව දකිනවා හැමදාම. කවද්ද අපි හම්බ වෙන්නේ? ඔයා මට තවම කිව්වේ නැහැනෙ... විදිහක් කියනවයි කිව්වට.”

“අද ඒක කියන්න ලැහැස්ති වෙලා තමයි ඔන්න ආවේ!”

මම සුනන්දට විස්තර ඇතිව කිව්වෙමි. ‘ප්‍රතිභා’ සංගීත ප්‍රසංගය වේදිකා ගතවෙන ..... දවසේ ඔහු ලුම්බිණි රඟහලට පැමිණිය යුතුය. ලුම්බිණි රඟහලේ ටිකට් කවුන්ටරය අසල මිටි-තරබාරු-කළු පැහැති කාන්තාවක් ඔහු හමු වෙන්නට බලා සිටිනු ඇත. “එයා ඔසරියක් අඳින්නේ... දැක්ක ගමන්ම ඔයාට එයාව අඳුනා ගන්න පුළුවනි. පේන්න නොහිටියොත් ටිකට් විකුණන කෙනෙකුගෙන් අහන්නකො කළු අක්කා කොහෙද කියලා.”

“එයා ඔයාගෙ අක්කද?”

“පොතක් අරං එන්නකො, එදාට ලියලම දෙන්නං- අක්කද නැද්ද ඔක්කොම පට්ටන්දරේ!”

ඩයරිය එක්කම මල් ටිකකුත් ගේන්නද?

“ඔන්න කේන්ති ගියා. කොච්චි කරල! කොහොමටත් එදාට එනකොට මම පොතක් ගෙනෙනවමයි, ඔයාට දෙන්න. දැන්මම පොත වෙන් කරලා තියාගෙනයි ඉන්නේ. හැබැයි ඒකෙ ඔය විස්තරත් ලියලා, මටම ආපහු දෙනවා නං දෙන්න වෙන්නේ ලබන අවුරුද්දේ තමයි.” සුනන්ද කිව්වේය.

“අර මොකෝ? මොකක්ද ඔයා ගේන පොත...”

“ලස්සණ දිනපොතක්! මෙහෙට නිතරම එන, වත්තක ලොක්කෙක් මට ගෙනත් දුන්නේ. එදාමයි මම හිතා ගත්තේ ඒ ඩයරිය ඔයාට ගෙනත් දෙන්න. මේ... මාලි.... මං එදාට මල් ටිකකුත් ගේන්නද?”

“අන්න වැඩේ! එතකොට මට පත්තරේ දාන්නයි වෙන්නේ මල් කාගෙන්ද කියලා.... අනේ මහත්තයෝ.... ඔයා හදන්නේ මාවත් අමාරුවේ දාලා ඔයාත් අමාරුවේ වැටෙන්න.”

“ඇයි, මාව දැක්කොත් ඔයාලගෙ ගෙදර අය කලබල වෙයිද? ඔයාට බනියිද? එයාලා දන්නවද මෙහෙම අමුත්තෙක් එනවයි කියලා...  දැන් නම් මටත් බයයි. මට එන්න කියලා, ඔයා නෑවිත් හිටියොත් මං අමාරුවේ වැටෙනවා මාලි.... නිකං සවුත්තු වෙන්නත් වෙනවා.... ඔය කළු අක්කෙක් අහලා....”

සංගීත ප්‍රසංගය අතරේ මට එක තැනකම ඉන්නට බැරි නිසා....
“මුලින් හා කිව්වට නිමල් මල්ලී, මටත් නං දැන් බය හිතෙනවා, එදාට ඔය කියන හරිය කරන්න. ඔයා කොල්ලෙක් කියලා දැන ගත්තම.... අපේ ඉස්සරහම දැන ගත්තම, ඒ මනුස්සයට ලජ්ජ හිතෙයිනේ. එයාව රැවට්ටුවයි කියලා ගෝරියක් දැම්මොත් අපි දෙන්නම අමාරුවේ වැටෙනවා නේද?” කළු අක්කා කිව්වේ මගේ plan එක අහගෙන ඉඳලාය.

“පිස්සුද? එහෙනං එයත් රැවටිල්ලක්නේ කරලා තියෙන්නෙ.... මාත් එහෙමයි, එයත් එහෙමයි. හැබැයි, කළු අක්කේ- සුනන්දයි මායි හම්බ වෙන්නේ නං ඔයාලා කවුරුවත් ඉන්න තැනක ඉස්සරහදි නෙවෙයි....”

“ඇයි ඒ... එතකොට? ටිකට් කවුන්ටරේ ළඟදි ඒ මනුස්සයට මං මොනාද කියන්න ඕනි?”

“එයා අහයි මාලි කොහෙද කියලා. ඔයා කිසිම වෙනසක් නොකර -ඔන්න හිනා වෙන්න එහෙම එපා. වැඩේ බකල් වෙයි- කිසිම අමුත්තක් නැතිව, එයාව ලුම්බිණිය ඇතුළට එක්ක ගිහිං පුටුවක වාඩි කරවන්න. පිටි පස්සෙම පේළියේ... ඊළඟට ඇවිත් මට කියන්නකො... එතකොට මං....”

එහෙම සැලසුම් කරන්නට වුණේ, show එක දවසේ මට එක තැනක ඉන්නට බැරි වෙන බව දැනගෙන හිටි නිසාය.

මාසයේ අන්තිම ඉරිදාවට උපත දෙමින් සූර්ය දිව්‍ය රාජයා....

ඒ අතරේම ‘අර ඉරිදා; මාසයේ අන්තිම ඉරිදා’ කැන්දමින් සූරිය දිවිය රාජයා නැඟුණේය. ‘පායාලා, සූර්ය දෙව් රාජයා...!’

මහී කියලා තිබුණු විදිහටම එදා හවස තුනට විතර මම පිටකොටුවට ගියෙමි. එතැන සිට පයින්ම මරදාන පැත්තට ඇවිදගෙන ගියෙමි. මරදානේ ටෙක්නිකල් කොලීජියට ඉදිරිපිටින්ම වගේ, පාරෙන් අනෙක් පැත්තේය, මා ඇතුළු විය යුතු ගේට්ටුව තිබුණේ. මහීව හොයා ගැනීම චුට්ටක්වත් අසීරු නොවිණි.

මුලින්ම මහී කළේ මගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම හොඳින් නිරීක්ෂණය කිරීමයි.

“මොනවද ඔච්චර බලන්නෙ!”

“නිමල්... ඔයාව නං බලන්නම වටිනා වස්තුවක් තමයි!” මහී කොක් හඬ නඟමින් හිනා වුණේ, ටියුඩර්ගේ ‘වස්තුව’ වචනය නිසා මේ සේරම පටන් ගත් හැටි මතක් කරමිනි.. “ඔයාට තියෙන අහිංසක පෙනුමේ හැටියට මට හිතා ගන්නවත් බැහැ.... ඔයා කොහොමද අච්චර ඇට්ටරකමක් කළේ කියලා...” 

“මම ඇට්ටරකමක් කළායැ? ඔයාලා වලිගෙ පාගාගෙන කතා කළා. මං උත්තර දුන්නා....”

අපේ කතාබහ අතරෙත් මහී එන-යන දුරකථන ඇමතුම් සම්බන්ධ කළේය. ඒ රාජකාරිය කරන හැටි මට පෙන්වලාත් දුන්නේය. එක දුරකථන සංවාදයකට හොරෙන් කන් දෙන්නටත් ඉඩ සලස්සලා දුන්නේය.

“අජන්ත එයි තව ටිකකින්... මම කියන්නේ අපෙ ගමේ යාළුවෙක් කියලා. බලමු මිනිහා මොනවා කියයිද කියලා, ඔයා කතා කරද්දී.....”

12 comments:

  1. මිනිස්සුන්ව අන්දන එක කලාවක් නම් "නිදි" එහි පිකාසෝ කිව්වාට වරදක් නැහැ.

    මේ දේවල් කරද්දී ඔයාට බය හිතුනේ නැද්ද, මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙයි කියලා?

    තං මීටරේ තිබුන ඒවායින් මට මතක මේ ටිකයි. අන්තිම දෙකේ අනුපිලිවෙල වැරදි විය හැකියි.
    නොතං
    බොත්තං
    යංතං
    තං
    පතං
    නොපතං
    දොන්තපතං

    ReplyDelete
    Replies
    1. අන්තිම එක බොලේ... බිම පෙරළි පෙරළි හිනා

      Delete
    2. දැන් නේන්නං තේරෙන්නේ කරලා තියෙන මෝඩකම්වල තරම!

      ඇත්තමයි සෑම්, ඩ්රැකී,
      හුඟාක් බය හිතන්න ඕනි තැන්වලදිවත් ඒක කල්පනා නොවෙන ගතියක් මට තියෙනවා වගේ. හැබැයි ඒක මොට්ටකමක්, මොකද බය විසින් හිතන්නත් පෙළඹවීමක් කෙරෙනවා වගෙයිනෙ.

      සත්තයි, මට මල්ටිපල් මයෙලොමා බව කිව්වමත්, පළමු හමුවේදී සුමිතුරු වෛද්‍ය පෝල් (A.C.පෙරේරා) හිතවතාට මම මහේන්ද්‍ර පෙරේරා වෛද්‍ය විශේෂඥතුමාගෙන් අහන්නයි කිව්ව ප්‍රශ්නය 'trip ගියාට කමක් නැද්ද?' කියලයි. හිතාගත්තැකි නේද මගේ ඔළුව වැඩ කරන විදිහ?

      ඩ්රැකී, අද පෝස්ට් දෙකම එක සැරේ කියවලා නිසා කමෙන්ට්ස් පැටලුනා නේද?

      Delete
    3. සෑම්, මේ ටික ලියන්න අමතක වුණා.
      මට අහගන්න ලැබිල තිබ්බේ තං පහක් ගැන විතරයි! දැන් තවත් හොඳා. හතක්!!

      Delete
    4. අපේ ක්‍රිශාන්ත ප්‍රියංකර සංගීත ගුරුතුමාත් තං ගැන මෙහෙම සඳහනක් ඒවා තිබුණා:
      "ගෙත්තං සුකුරුත්තං...
      නොපතං යංතං කතං...
      බොත්තං නොතං පතං...
      දොංත පතං ගතං ගතං...
      (ජිංතං තං ගතං ගතං)///

      Delete
  2. මට මතක් වුණේ නිදි... boys don't cry ෆිල්ම් එක. ඇත්තටම භයාණක පියවරක් මහින්ද මුණ ගැහෙන්න ගිය එක.

    ReplyDelete
    Replies
    1. උඩිනුත් කිව්වේ.... දැන් තමයි ගොන්කම තේරුම් යන්නේ. ඒකත් ඩ්රැකී, ඔයාලා කියද්දී...

      Delete
    2. මම ඒ ෆිල්ම බලාලා නෑ. පුළුවන් වුනොත් හොයාගෙන බලන්නම්! ස්තුතියි!!

      Delete
    3. ගොඩක් ස්තුතියි ඩ්රැකී මහත්තයෝ! ෆිලුම බලන්නම් විනාඩි 118 ක් එක දිගට වැය කරන්න ඉඩක් ලැබුණු ගමන්!

      Delete
  3. කොතෙක් ලස්සණ දෙයක් ලීවත් එයින් පලයක් ලබා ගන්නට

    අග්‍ර පලයම

    ReplyDelete