අකුරු මැකී නෑ

Saturday, November 21, 2020

පතාගෙන ඇවිත්... - පළමු කොටස

මුලින්ම පෙනෙන්නේ අරුණලු කිරණ....

1 දර්ශනය:

‘ෆ්හූ ඌ ඌ ඌ ඌ.......’

ශබ්දයක් පැතිරෙයි. පෙනෙන්නේ අඳුර පමණකි. ක්‍රමයෙන් දර්ශනය දකුණු පසට ගමන් කරයි. මුලින්ම පෙනෙන්නට පටන් ගන්නේ ජනේලයක් අතරින් අරුණලු කිරණ පෙරී එන අයුරුය. ඊළඟට පැහැදිලි වන්නේ කුස්සියේ ජනේලයට ඉදිරියෙන් තිබෙන ගෑස් ළිපක් මත ‘ෆ්හූ’ හඬ නංවමින්, කෙමියෙන් වාෂ්ප පිට කරන විස්ලින් කේතලයයි.  තරුණ පිරිමි අතක් කේතලයට දික් වෙයි; කේතලය රැගෙන නටන උණු වතුර තේ පෝච්චියට වත් කරද්දී දොරකට තට්ටු කරන හඬත්, ‘මල්ලී’ කියන හඬත් ඇහෙයි. (ඡේදනය)

2 දර්ශනය:

උදෑසන. උළුවස්ස මැදින් හිටගෙන ඉන්නා මැදි වයසේ කෙනෙකි. ඔහුගේ මුහුණ හැඬුම්බරය. (පසුබිමින්  විස්මයාන්විත තරුණ පිරිමි කටහඬක් ඇසෙයි.) ‘මෙරිල්! එන්න ගෙට.’ ඒ සමඟම ගෙට ඇතුළු වෙන මෙරිල් පුටුවක් මතට කඩා වැටේ. “තාත්ත නැති වුණා මල්ලී.”

(කලින් ඇසුණු පිරිමි හඬින්) “දෙයියනේ!”

මෙරිල්: (හැඬුම්බර ස්වරයකින්) “අ.... අ...පේ මල්ලී තවම පිළිකා ඉස්පිරිතාලේ... මම තාත්තටයි මල්ලිටයි කෑම අරං ආව ගමන්..... අනේ මල්ලි. ඔයාට පුළුවන්ද තලපත්පිටියට ගිහින් අපේ අම්මටයි, ලොකු අයියටයි පණිවිඩේ දෙන්න.... මම කොට්ටාවට ගිහින් අපේ ගෙදරටත් කියල එනකං...?” (ඡේදනය)

3 දර්ශනය:

උදෑසන. වේගයෙන් පා පැදියක් පැදගෙන යන තරුණයෙකුගේ දෙපා....

එහෙනං දැන් චූටි ගෙදර එනකොට කන්න මොනවා හරි හදල තියන්න එපැයි?

4 දර්ශනය:

තලපත්පිටියේ මෙරිල්ලගේ මහ ගෙදර දොරටුවෙන් ඇතුළට යන්නට හදන තරුණ පිරිමියෙකි. පිටුපා සිටින ඔහුට පෙනෙන පරිදි නිවස ඇතුළේ, වියපත් කාන්තාවක් හිරමණයක් උඩ වාඩිවී පොල් ගාමින් සිටී. අමුත්තා දකින කාන්තාව පුදුමයෙන් නැඟිටින්නීය. එසේ නැඟිටින ඇය තනමත්තට ඇඳගෙන සිටින චීත්තය සකසා ගනියි. (සැක සහිත බවකින්...) “මොකද ළමයෝ.... පාන්දරම?”

එතකොට මට කියැවුණේ “අම්මේ, තාත්තා නැතිවෙලා!” කියලාය.

නෙවිල්ලා අම්මාගේ පළමු ප්‍රශ්නය වුණේ ‘ඔය ළමයා පාන්දරම ඉස්පිරිතාලෙට ගියාද?’ කියන එකය. ඊළඟට ඒ එක්කම දෙවෙනි ප්‍රශ්නයකුත් තමන්ගෙන්ම අසාගත්තාය. “එහෙනං දැන් චූටි ගෙදර එනකොට කන්න මොනවා හරි හදල තියන්න එපැයි?” කියන එකය. 

ඒ අම්මා චූටි කියා අමතන්නේ නෙවිල්ටය. නෙවිල්ගේ පොඩි අයියා මෙරිල් ඉන්නේ කොට්ටාවේය. කොල්ලන්ම තුන් දෙනෙකු හිටි ඒ පවුලේ වැඩුමලාත් නිමල් කෙනෙකි. එයාත් හිටියේ තලපත්පිටියේමය. (හිටියේ කියා කිව්වේ, ඒ නිමල් මීට අවුරුදු කිහිපයකට කලින් මෙලොවින් සමුගත් බැවිනි.)

අදටත් මා ඇසුරු කරන, අපේ ගෙදරටත් නිතර යන එන මිතුරන් පැරණිකම අනුව ලැයිස්තුගත කරන්නේ නම් නෙවිල්ට හිමි වෙන්නේ 7 වෙනි තැනයි. ඊට කලින් ස්ථාන ටික පිළිවෙලින් ටියුඩර්, මර්වින්, ඉන්දිරා, ගීතා, සුනීතා, කුමුදුලාල් හය දෙනාට අයිති වෙයි. නෙවිල් Lucky 7ය!

කොරෝනා කාලේ වුණත් ගම්භීර ලීලාවෙන් අවසන් ගමන් යන්නට තරම් Luck එකක් තිබුණු එකම වාසනාවන්තයා...
මොන ලක් එකක්ද? ඒ මනුස්සයා මගේ ජීවිතයට ආවේ ‘බරපතළ ලෙඩක්’ අරගෙනය!

‘ලෙඩක් ගෙනාවේය’ කිව්වාම මළ කෙළියකි; ගෙනාවේ ලෙඩක් නොවේ; ලෙඩ ඇති කරන ලෙඩ මුහුර්තයකි! එහෙම වුණෙත්, එන්නට හිටි කාලය හා අවස්ථාව මඟ හැරී ගිහින්- ආයෙම වෙලාවක් ආවාමය. ඒක කාගෙ වාසනාවද කියල නං හොයන්නම වටිනා කාරණයකි.

මට හිතෙන්නේ පූරුවේ ඉඳලා පතාගෙන ඇවිත් තියෙන හැටි විය යුතුය.

“නෙවිල් අයියේ, ඔයාට නං මේ ආත්මෙදිම මුං දෙන්නට තියෙන ණය ගෙවලා ඉවර කරන්න වෙයි. නැත්තං බුදු ෂුවර්, ලබන ආත්මෙදිත් මේ දෙන්නගෙ යාළුවෙක් වෙලා ඉපදෙන්නයි ඔයාට වෙන්නේ!” ප්‍රීතිකා සකලසූරිය මැතිණිය; අයස්මන්ත පීරිස් අක්ෂි වෛද්‍ය විශේෂඥතුමාගේ ප්‍රියම්බිකාව නිතරම ‘ඒ හාදයා පතාගෙන ඇවිත් තියෙන හැටි ගැන’ කියමින් ඔච්චම් කරන්නීය. ඇය මේ දෙන්නාය කියන්නේ අයස්මන්ත මහත්තයාටත්, මටත් ඇඟිලි දික් කරමිනි.

“අනේ ඔව් ප්‍රීතිකා නංගී, සහතික ඇත්ත. මම මේ දෙන්නත් එක්කලා ගෙවන්නේ නං සුළුපටු පාපයක් නෙවෙයි!” එහෙම වෙලාවට නෙවිලුත් ඇයට අලගු තියයි.

සලඅතසය නියෝජනය කරමින් ගිරාඳුරුකෝට්ටේ යොවුන් පුරයට ගිහින්...

ඒ කතාව මුල ඉඳලාම කියන්නට වටිනා තරමේ එකකි. පෙනෙන්නේ නෙවිල්ගේ කතාවෙන් කොටහක් වගේ වුණත්, මේ මගේ ජීවිත කතාවේ අතිශය වැදගත් කොටසකි. Turning point එකකි; හැරවුම් ලක්ෂ්‍යයකි!

ඉතින් ඒ කතාවේ සමාරම්භයට යනවා නම්.....

ඒ 1984 අවුරුද්දයි. සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ ගරු ලේකම් ලාල් හේවාපතිරණ මහතා, අමද්‍යප තරුණයන්ට පුහුණුවක් ලබාදීම සඳහා මුද්‍රණාලයක් ආරම්භ කිරීමට කටයුතු යොදමින් හිටියේය. එවකට ඒ සංවිධානයේ; සලඅතසයේ සභාපති ධුරය ඉසිලුවෝ ගරු මාදුළුවාවේ සෝභිත හිමිපාණෝය. 

ලාල් අයියාගේ ආරාධනයෙන් මාත් සලඅතසයට සම්බන්ධ වුණේ ඒ කාලයේදීය.

“ලාල් මහත්තයෝ, අපේ අලුත් ධර්ම ශාලාවේ පිටුපස්සෙ තියෙන ඉඩේ press එක දමමු!” සෝභිත හිමියන් යෝජනා කර තිබිණි. එපරිදිම එතැනය ‘අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලය’ ආරම්භ කෙරුණේ. මමත් ඒ සමාරම්භක උත්සවයට ගියෙමි.

ඊට මාස කීපයකට පසුවය, අනුර ජිනදාස මිතුරා කියූ අනාවැකිය ටක්කෙටම හරි ගියේ; මට රට යන යෝගය උදා වුණේ! 

(වමේ සිට) නෙවිල්, ඒකනායක, දීපාල්, නිදි, කුමුදුලාල්, ජගත්, දේවප්‍රිය, සුසන්ත, මානෙල් හා පුතා සුරංග දඹුලු ගලේදී...
පළමු වතාවට හිරු නොබසින අධිරාජ්‍යයේ භූමිය පාගලා ආපසු පැමිණි, නිමල් දිසානායක ඒ මුද්‍රණාලයේ කළමනාකරු වුණේ අහම්බෙනි. වැටී තිබුණු press එක මාස කිහිපයක් තුළදී නග්ගවා, අලුතිනුත් තව කිහිප දෙනෙකු බඳවා ගන්නා තත්ත්වයට ගෙනෙන්නට මේ මැට්ටාට ඇහැක් වුණේය. කොච්චරට ඇහැක් විණිදැයි කියතොත්, මුද්‍රණාලයේ වැඩවලට තව කිහිප දෙනෙකු නොගෙන බැරි වුණේය.
“....ලාල් අයියලා තීරණයක් අරගෙනයි තියෙන්නෙ, අලුතින් කීප දෙනෙක් press එකට බඳෝගනිමුය කියලා. ඉතින් මම කිව්වා ඉස්සෙල්ලම ඔයාලගෙ යාළුවන්ට ඉඩ දීලා ඉඳිමු කියලා. එයාලත් කැමතියි. ඒ වගේ කවුරු හරි ඉන්නවා නම් චාන්ස් එකක් දෙන්න පුළුවනි....” 

මං කිව්වේ එවකට press එකේ පුහුණුව ලබමින් හිටි තරුණයන් තිදෙනාටය.

ඒ කුමුදුලාල්, ඊ.එම්.එස්. ඒකනායක, වසන්ත තුන් දෙනාටය. එයිනුත් විජේරාම හන්දියේ හිටි හටන් ආරච්චිගේ කුමුදුලාල්ය මට වඩාත් හිතවත්වී හිටියේ.

“නිමල් අයියේ, මගේ යාළුවෙක් නං ඉන්නවා. මං මෙහාට ආවේ මගේ යාළුවෙකුට ලැබුණු චාන්ස් එක මට දීපු නිසා. එයා...!” කුමුදුලාල් කිව්වේය.

“ඒ කිව්වේ?”

“ලාල් අයියගේ බෑනා කෙනෙක් ඉන්නෙ... ඔයාත් දන්නවා.... රේණුක ලෙනගල කියලා. එයා නෙවිලයගෙ යාළුවෙක්. එයා තමයි නෙවිල්ට press එකට බැඳෙන්න කියල ඇප්ලිකේෂන් එකක් ගෙනිහින් දීලා තියෙන්නෙ... නෙවිල්ට කම්මැලියි කියලා ඒ application එක මට ගෙනත් දුන්නා.... ඒකෙන් මට නං හොඳක් වුණා. ඒත් නෙවිල්ට තාම job එකක් නෑ.... ඒ හින්දයි එයාට මෙහේම චාන්ස් එකක් අරං දෙන්න පුළුවන් නං.....”

දැන් ඔය වගේ ප්‍රශ්න ඔහෙටම විසඳාගන්න ඇහැකි!

“ලෙනගලව නම් මාත් දන්නවා. එයාත් අමද්‍යපේ ඉන්නවානේ. ලෙනගලගේත් යාළුවෙක් නං ඉඩක් දෙන්න බලමු. මම ලාල් අයියටත් කියලා ඉන්නංකො.” මට කියැවුණේ එහෙමය.

“දැන් ඔය වගේ ප්‍රශ්න විසඳන්න මම ඕනි නෑ. ඔහෙටම පුළුවන්.... නිමල්තුත් අමද්‍යපේ ඉන්න එකයි, press එකේ මැනේජර් තනතුර දරන එකයි නිසා, ඔය වගේ දේවල් ඔයාටම manage කරගන්න පවරන්නයි මට ඕනෙ. ඔයාටනෙ press එක දියුණු කරලා ගන්න ඇහැක් වුණෙත්.” ලාල් අයියා ඒ වගකීම් මටම පැවරුවේය.

“...ඒත් නිමල්, අපේ යුතුකමනේ සෝභිත හාමුදුරුවන් වහන්සේටත් මේවා කියලා දැනුවත් කරලා තියෙන එක. මම හෙට උදේම නාග විහාරෙට ආවාම උන්වහන්සේට කියන්නං, අපි මෙහෙම කරන්න යන විත්තියත්. ඊට පස්සේ ඔයාත් ගිහින් ලොකු හාමුදුරුවන්ට තොරතුරු කියන්න.” 

ලාල් අයියා කැමැත්ත දුන් බව මම කුමුදුලාල්ට කිව්වෙමි. මහරගමින් ‘සුදූත්’, තලපත්පිටියෙන් ‘නෙවිලුත්’, ජුබිලි කණුව ආසන්නයෙන් ‘එස්.පී. විජිත් කුමාරත්’ මුද්‍රණාලයට ගන්නට කරුණු සැලසුණේය. පුහුණුව අරඹන්නට දින නියම වුණේය!

කරුමයක මහත! එදා; නියමිත දවසෙ පාන්දර වෙද්දී මං ලෙඩ වෙලාය.

සෙංගමාලේ! ඇස් කහපාටවී, තරමක උණකුත් එක්ක....

ඇස් කහපාට වෙලාය; මුත්‍රාත් තද කහපාට වෙලාය; උණකුත් හැදිලා- ඇඟපතට පණ කඳුළකුත් නැතිව ගිහින්ය. ‘සෙංගමාලේ!’. එදා මට වැඩට යන්නට වුණේ නැත. හවස් වෙන්නටත් කලින්ම කුමුදුලාලුත්, ඒකනායකත් මා සොයාගෙන ආවෝය.
එතකොට මා නැවතී උන්නේ මහරගම දුම්රිය පොළට නුදුරෙන්ම තිබුණු කුඩා කාමරයකය. 

“අපි මේ මොකද කියලා බලන්නයි ආවේ. නිමල් අයියා නොකියා වැඩට නෑවිත් ඉන්නැහැනෙ.... ඉතින්, අපි බෙහෙත් ටිකක් ගන්න යමුද?”

එතකොටත් මා බෙහෙත් ගෙනැවිත්ය.

“ලේ, මුත්‍රා බලලාම තමයි හරියටම දැන ගන්න පුළුවන් වෙන්නේ.... ඒත් පෙනෙන විදිහට නම් සෙංගමාලේම තමයි. මස්- මාළු- දිරවන්න අමාරු ජාති එහෙම කන්න එපා. වැටකොළු, පතෝල, නිවිති, ගොටුකොළ වගේ අගුණ නැති එළවළු ජාති කන්න පුළුවන්. ඒත් ඒවා උයද්දීත් මිටිකිරි නොදා, දිය කිරිවලින් උයන්නයි කියන්න. කහ දාන්නම එපා. මිරිස් වෙනුවටත් අමුමිරිස් කරලක් විතර තමා....”

නාවින්නේ දොස්තර නෝනා අනුමත කළ ඇවැතුම්-පැවැතුම් වට්ටෝරුව  එහෙමය.

සැවන්දරා, හීන් බෝවිටියා කොළ කැඳ එහෙම සෙංගමාලෙට හොඳලු!

“.... ලියලා තියෙන විදිහට මේ බේත් බොන්න. මේ අසනීපෙට විවේකය ඕනි. ඇඳටම වෙලා ඉන්න. ඇඟ මහන්සි කරවන වැඩ තහනම්!”

“සැවන්දරා, හීන් බෝවිටියා කොළ කැඳත් ගුණ බව ඒ නෝනා කිව්වා, කුමුදු....”

“නිමල් අයියා කොහොමද ඕවා හදා ගන්නේ? වෙනදට උයා ගත්තට .....” ඒකනායක ඇහුවේය.

“අපේ මානෙල් නංගී ඒවා කරයි. සුනිල්ලත් ඉන්නවනේ.... අනිල්ලා එහෙමත්.... ඒක නෙවෙයි. මං අහන්නම හිටියේ. අර අලුත් ළමයි තුන් දෙනා පුරුදු වෙන්න ආවද?”

“මං නිමල් අයියේ,  ඔයාට කියන්නම ආවේ... කුමුදුගෙ යාළුවා නෙවිල්, ආව වෙලාවේ ඉඳලා කියවනවා... විහිළු කර-කර ඉන්න එකමයි වැඩේ! මාර පොරක්.” ඒකනායක කිව්වේය.

මට ඒ විහිළු-තහළුත්, නෙවිලුත් දැක බලා ගැනීම සඳහා මාසයක්ම පරක්කු වෙන්නට වුණේය. එහෙම වුණේ, මං පොට වරද්දාගත් බැවිනි. විවේක ගන්නට කීවා මිස, ඇඳටම වෙලා ඉන්නැයි කීවා මිස, අර දොස්තර නෝනා ‘එසේ කළ යුත්තේ ඇයිදැයි’ පහදලා දුන්නේ නැති නිසාය.

රෝගී නිසා මගේ චරියාවේ වෙනසකට මං කළේ වැඩට නොයා, කෑම නොඋයා සිටීම විතරය. ගැඹුරු ළිඳකින් වතුර ඇදගෙන දවසට දෙපාරක් නෑමත්, නිඳි මරාගෙන පවා වීඩියෝ ඩෙක් එකෙන් films බැලීමත්, හිතේ හැටියට පොත් කියවීමත් වෙනුවෙන් නිර්ලෝභීව අර විවේකය යොදා ගත්තෙමි. 

.... හිතයි කයයි දෙකම සංවරව, සන්සුන්ව තියා ගන්නය කියන එක. එතකොට තමයි...

“හරිම දොස්තර නෝනෙක් තමයි මූට උපදෙස් දීලා තියෙන්නෙ. යකෝ.... bed rest කරන්නයි කියන්නේ පොත් කියවන්න, නිඳි මරාගෙන films බලන්න නෙවෙයි.... දවසට දෙපාරක් වතුර ඇදගෙන නානවා කියන්නෙත් පොඩි වැඩක්ද මොට්ටයෝ? දැන් කියහන් ‘Bed rest’ කරන්න කියල තෝරල කිව්වෙ නැහැනෙ කියලා..... එහෙමනෙ මර්වින්, මෙයා උත්තර දෙන්න පුරුදු වෙලා ඉන්නෙ.”

මේ ළඟදීත් ඔය සිදුවීම් ගැන කතා වෙද්දී අයස්මන්ත මහත්තයා හොඳටම කේන්තියෙන් කිව්වේය.

“බෙඩ් රෙස්ට් කරන්නය කියන්නේ ඇඳේ දිගාවෙලා හිතයි කයයි දෙකම සංවරව, සන්සුන්ව තියා ගන්නය කියන එක. එතකොට තමයි අපේ ඇඟේ ඇට මිඳුළු ඇතුළේ සුදු රුධිරාණු හැදෙන එක වැඩියෙන් කාර්යක්ෂමව කෙරෙන්නේ... යුෂ්මතා දන්නවනෙ, එතකොට රෝග බීජවලට විරුද්ධව කෙරෙන සටන හොඳට කරන්න අපේ body එකට පුළුවන් වෙන බව...”

“හරි මනුස්සයෝ, දැන් නං ඒවා දන්නවා... එතකොට කවුද ඔව්වා දන්නේ... දැන් ඔව්වා දන්නවා වුණාට, එතකොට ඕගොල්ලොත් A/L කරන කොල්ලොනෙ හලෝ!” මං කිව්වේ පීරිස්ට වුණත් උත්තර දුන්නේ නෙවිල්ය.

“ඔය කිව්වේ පණ්ඩිතකම. අන්න මචං, ඒ තරහට තමයි... මං මේකව බලන්නවත් ඒ දවස්වල කාමරේට ආවේ නැත්තේ!” මිනිහා හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නෙව්වේ ‘එන පොට දැනගෙන’ ය.

ඉතින්, හරිහැටි ‘ඇඳ විවේකය’ නොගත්තු හින්දා වෙන්නැති....

“කතා කරන්න එපා. කිසිම කෙළෙහිගුණයක් නැති මනුස්සයා.... press එකේ අනික් සේරමත් මගේ ලෙඩ බලන්න ආවා, මෙයාටත් යං කියල අඬ ගැහුවම මේකා කිව්වලු මම අඳුරනවයැ කියලා.”

“ආන්න ඒක තමයි මචං, අඳුනා ගත්තට පස්සෙ උඹට දැන්  double-tryble වෙවී වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ!” මර්වින්ගේ නිගමනය ඒකය.

ඉතින්, හරිහැටි ‘ඇඳ විවේකය’ නොගත්තු හින්දා වෙන්නැති- නියමිත බෙහෙත් ගත්තත්, නිර්දේශිත විදිහටම කෑමබීම ගත්තත් මට ඉක්මන් සුවය නොලැබුණේ. “අයියේ, තමුසේ විහිළුවකට ගත්තට ඔය ලෙඩේ වුණත් එච්චර හොඳ එකක් නෙවෙයි. අන්න දිනේෂ් ගුණවර්ධන මහත්තයාගෙ නෝනත් ඔය ලෙඩේම නරක් වෙලා මැරිලලු!” අපේ සුනිලුත් තව ආරංචියක් ගෙනවුත් මට බර-බරේ දැම්මේය.

අන්තිමට බලද්දී පුරා මාසයක්ම මං අසනීපව ඉඳලාය.

“හඃ.... දැක්කද? මේ නෙවිල් එක්ක ලේසි නැහැ හලෝ! මම press එකට එනකොටම මැනේජර්ව ලෙඩ කරවලා මාසයක් ගෙදර තියවලා ආවේ. අපි එහෙමයි.” නෙවිල් තවමත් පාරම් බායි!

කුමුදුලාල්, බිරිඳ සමන්මලී හා දියණියන් දෙදෙනාත් සමඟ... (කහ ටී ෂර්ටය හැඳ සිටින්නේ මිතුරියකි.)

“ඒකට මොකෝ, ඒ හිලව්වට දැන් උඹ අවුරුදු කීයක් මුගේ PS කරනවද? මේකට free ට්‍රාන්ස්පෝර්ට්ම දෙනවද? තනියට හම්බන්තොටම යනවද නෙවිලො?” මගේ වෙනුවට උත්තර දෙන්නෙ මර්වින්මය. “චඃ.... ගණන් ගන්න එපා නෙවිලෝ.... මේ ආත්මෙදිම කරුමේ ගෙවලා ඉවර කරපං මචං. උඹ නැත්තං ඕවට කර ගහන්න තිබ්බේ අපියි. ඒ නිසා ඔහොම වෙච්ච එක හොඳටම හොඳයි! ඒකෙන් අපි බේරුණා මචං!!”

නෙවිල් අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයට ආවේ, පළමු වතාවේ පැමිණීම අතහැර දමලාය.

පළමු වතාවේ ඔහු එහාට යැවුණා නම්.... මට නෙවිල්ව මුණ ගැහෙන එකක් නැතිය.

“ඔයා ආව නිසයි මම වුණත් දිගටම press එකට ආවේ. නැත්තං මාත් එපා වෙලා හිටියේ...” ඒකනායක පසුව මා සමඟ කීවේය. “....ට අපි ගැන තැකීමක් තිබ්බෙම නැහැ. කෙල්ලත් එක්ක love කර-කර ඉන්නවා මිස...”

ඉක්මනින්ම අප තිදෙනා අතර මිත්‍රත්වය...

එතකොට පුහුණුව ලබන්නට එන තරුණයෙකු මාසයකට රුපියල් 50/ක්ද කොහෙද මුද්‍රණාලයට ගෙවිය යුතුවත් තිබිණි. (මුල් මාස කිහිපය තුළදී එහාට ආවා-ගියෝ ගොඩ දෙනෙකි. කුමුදුලා වාගෙ අතින් කාලා හරක් බලන්නට කැමැති එකෙක් නොවේ, නෙවිල්.) 

ආයතනය දියුණු කරවද්දී, මුදල් අය කෙරෙන ඒ තත්ත්වය වෙනස් කරමු යැයි මා කළ යෝජනාව පිළිගැනිණි.

නෙවිල්ලා press එකට එද්දී කුමුදුට හා ඒකනායකට රු.250/- බැගින් වැටුපකුත් ගෙවමින් තිබිණි. නෙවිල්ලාටත් ඒ වරප්‍රසාදය ලැබිණි.

ඉක්මනින්ම කුමුදුත්, නෙවිලුත්, මමත් සමීප මිතුරෝ වීමු!

එයින් මා ඉස්සෙල්ලාම යැවුණේ කුමුදුලාගේ ගෙදරටය.

“මාත් බුවෙනකබා පොඩි ඉස්කෝලේ ඉගැන්නුවානෙ නිමල්!” කතාබහේදී කුමුදුලාල්ගේ අම්මාගෙන් කියැවිණි.

බුවෙනකබා ප්‍රාථමිකයේ ගුරුවරියක වූ කුමුදුගේ අම්මාට ඉස්කෝලේ ළමුන් කීවේ ‘කාලි අම්මා’....

“ආනේ... ඇත්තද? කුමුදුල අම්මේ, අපේ ගෙදරින් මායි සුනිලුයි ඇරෙන්න සේරමලා මුලින්ම ගියේ එහාට තමයි....”

පස්සේ සෝදිසි කරලා බලද්දීය එළි වුණේ, ඒ ටීචර්ගේ සැර. ඇය අපේ බඩා මල්ලියා; දීපාල්ටත් උගැන්වූ ගුරුතුමියකි. ඉස්කෝලේ පුරාම ඇයව හැඳින්වුණේ ‘කාලි අම්මා’ නමින්ලු. 

......

10 comments:

  1. බුදු සන්තෝ... මේ පට්ටන්දරේ දිවයිනේ කොයි කොයි අහු මුලුවලින් නතර වෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. එක නං මංවත් දන්නෙ නැහැ ඩ්රැකී. මුලික බීජය විතරයිනේ ලියන්න ගන්නකොට හිතේ තියෙන්නේ.

      Delete
  2. "කාලි" සම්බන්ධ කරගන්නැතුව බෑ නෙවද මේ දවස්වල?

    ReplyDelete
    Replies
    1. අම්මට සිරිගජ... එහෙම අහඹුවකුත් වෙලා නොවෙන්නං.

      Delete
  3. අපරාදෙ නෙවිල් එක පෝස්ට් එකක්වත් ලියන්නෙ නැත්තෙ

    ReplyDelete
    Replies
    1. ලියනවා තියා කියවන්නවත් එපැයි ඉස්සෙල්ල. Pra Jay, මේ ලිපියේ link එක නෙවිල්ට යැව්වා.... ඒත් තවම කිසි සද්දයක් නෑ!

      Delete
  4. නෙවිල්.......මට මතකයි....:)

    ReplyDelete
    Replies
    1. රවී මහත්තයලගේ ගෙදරත් ආවේ, හඟුරන්කෙත ගිහින් එන ගමන්!

      Delete
  5. චූටියගේ වැඩනං ඒ කාලෙයි කියල වෙනසක් නැහැ වගේ

    ReplyDelete
  6. අපොයි ඔව් සිරිබිරිස් උන්නැහේ... සමහර නිල නොවන වාර්තා කියන්න විදිහක් නෑ, ... ඒකයි මට කනගාටු!

    ReplyDelete