Sunday, February 17, 2019

සැවුළු සංහාරය - හයවෙනි කොටස

ඒ මිනිස්සු ඒක කරලා දෙයි සල්ලි දෙනවා නම්!
ළමයෝ, කුකුළු මස් කඩේට ගෙනිහින් උන්ව මස් කරවා ගත්තැකි. එතකොට ඉවරයිනේ. අපේ සීයා කීවේය.

එහෙම කොහොමද ඉවර වෙන්නේ?” මම ඇසීමි. මං එහෙම ඇහුවේ සීයාගේ කතාව නොතේරී නොවේ!

ඒ මිනිස්සු ඒක කරලා දෙයි, සල්ලි දෙනවා නම්!සීයාම උත්තර බැන්දේය. ගියවර පෝස්ටුවේදී කියවුණේ එතැනට එනකල්ය. ගොනා හැරෙනවිටම ඒ පොල් පැළය කන්නට බව දැනුමැත්තෙකුට තේරෙයි. ආලවකයා සිරසටම නැඟලා හිටිද්දීත්, මං දර්මයෙන් ඇහුවේ ‘ධර්ම’ ප්‍රශ්නයකි.

“ඒකත් හරි කියමුකෝ. ඈ සීයේ, කවුද එතකොට ඒ මිනිස්සුන්ට ඔය සල්ලි දෙන්න ඕනේ?”

ඔන්න එතකොට නම් සීයාටත් හිනහ ගියේය. “ඇයි ළමයෝ, මේ ගෙදර වැඩවලට වියදම් කරන්නේ ඔය ළමයනේ....”

“ඈ ආච්චියෙ, ආච්චීනෙ බණ-දහම් හොඳට දන්න කෙනා. දැන් කුකුළු මස් කඩේ මිනිස්සුන්ට කියලා අපේ කුකුළෝ මරවගන්න සල්ලි දෙන්න වෙන්නෙ මට. එතකොට ඒ ප්‍රාණඝාත අකුසලේ කාටද? මටද, ඒ මිනිසුන්ටද?” අපේ ආච්චීත් හැදිලා තිබුණේ මව්කිරි බීලාය. 
ඒ වගේම දසනායකලා වුණාට දිසානායකලාටත් වැඩියෙන් දුර දකින්නීය. 
ඒ නිසාම වැටෙන්නට යන සකල අමාරුව කල් ඇතිවම තේරුම් ගත්තාය.

හරියටම කොටු වෙන තැනකදී අපේ ආච්චී කරන්නේ............
හොඳටම අහුවෙන ප්‍රශ්නයකදී, හරියටම අපේ පොලිටික්කන් කරන්නේ වෙනින් කතාවක් ඇදලා ගන්න එකය. පීල්ල මාරු කෙරිල්ලය. ආච්චිත් කළේ ඒකය. “උඹට ඉතින් තිස්සෙම ප්‍රශ්න අහනවා ඇර වෙනින් වැඩක් තියෙන එකක්යැ. අනේ, මං දන්නා තරම මදි පුතේ ඔව්වට උත්තර දෙන්න!”.

ඇත්තටම අපේ ආච්චී දැනුත් ඉන්නවා නම් කොහොම හරි ‘පලා බබෙකුවත්’ කරවලා ගොඩ යන්නට තිබිණි.

දන්නවද වැඩක්? දැන් සිරි ලංකාවේ කෝටි දෙකකුත් ටිකක් සෙනඟ ඉඳිති. අපේ සල්ලිවලින් පඩි කන, අනන්තාපරිමාණ සැප-සම්පත් භුක්ති විඳින, රටම කන හැතිකරය නවදහසකි; 9,000 කි! දියවන්නාවේ 225 යි, පලා බබාලා 455 යි, ප්‍රාදේශීය සභාවල බබා හුකුම්ලා 8320 යි- එකතුව කීයද? එහෙම එකෙකුට ගෑවිච්චි එකෙක් හරි ඉන්නවා නම් හතර වරිගයම ගොඩේ-ගොඩය! ඇත්තටම ඔය 9000 න් කී දෙනෙකු හරිහමන් වැඩක් කරනවාටද සේරම වාසි ලබන්නේ?

දියවන්නාව ඊට හපන් මකර කටකි. දවසක පාර්ලිමේන්තු වියදම විතරක් රුපියල් ලක්ෂ 8 කි! ඉතිරිය හිතා බැලීම බුද්ධිමත් රසික ඔයාලටම බාරය.

එදා මං හිතුවේ ප්‍රාණඝාත අකුසලය විකුණන්නට බැරි බවයි. එහෙම වංචාවක්, පොරෝඩාවක් කරන්නට හිතීම තවත් පාපයකි. ඒ මං අදටත් හිතන විදිහය. හැමවිටම මම මටම අවංක වන්නෙමි. 

එනිසාම එතැනදී නම් මම නිශේධ බලය පාවිච්චි කළෙමි! “මානිගෙ මංගල්ලෙට ගං කුකුළු මස් උයනවා නං, ඒ අපේ එවුන්ව මරලා අරගෙනයි. හැබැයි, උන්ව මරන්නෙ කඩේට අරන් ගිහිල්ලා නෙවෙයි. මං! මම උන්ව මරලා දෙන්නම්. ඒත් තව කාට හරි මට උදව් වෙන්න වෙනවා. මට කුකුල්ලුන්ගේ කකුල් දෙක බැඳලා ඕනේ......”

අනෙක් කාව රැවට්ටුවත් තමන්ට තමුන්ගේ හෘදය සාක්ෂ්‍යය රවටන්නට බැරිය!
යමක් කරන්නට කලින් හිතා බැලීම මගේ පුරුද්දකි. අනෙක් කාරණය මගේ වැනෙන; දුර්වල හිතයි. කුකුළන් මරන්නට ගත්තාම හිත-හිතා ඉන්නට වුණොත් මට වැඩේ එපා වෙනවා සිකුරුය. කකුල් ගැට ගහලා තියාගත්තාම පට-පට ගාලා ශීර්ෂඡේදනය කරගෙන යා හැකිය.

එදා අපේ ගෙදර උදවිය කළේ හොර උපාසක වැඩකි. ‘කට්ටකාඩුවේ ලොකු මල්ලී’ ‘දුකේ දුක හිතෙන කතන්දරේ -3’ පෝස්ටුවට දී තිබුණු කමෙන්ටුව මෙතැනට හරියටම හරිය. ‘අපට මොටද අපි අටසිල් උපාසක - ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට’.

මගේ බ්ලොගය ළදරු සන්දියේ සිටම කට්ටකාඩුවේ ලොකු මල්ලිත් එය කියවයි. කමෙන්ට්ස් හෙමත් දමයි. ඇත්තටම මට මේ හාදයන් ගැන පුදුමෙනුත් පුදුමය. 
රස්සාවකුත් නොකරන, ගෙදර වැඩ ටිකයි - උයා පිහා ගැනිල්ලයි විතරක් කරන මටවත් නැති වෙලාවක්; නිදහසක් මෙයාලට තියෙනවා වගේය. අනේ, මා නම් අවශ්‍යම කරන දේවල්, බ්ලොග්ස්, පොත් එහෙම කියවන්නට විවේකය හොයාගන්නේ පුදුම අමාරුවකිනි! ෆිල්ම් එකක් බලන්නට වුණත් එහෙමය.

ලොකු මල්ලීත් මුල දවස්වල ඉඳලාම 'නිදිගෙ පංච තන්තරේ' කියවයි. ඒකට..........
අමාරුවෙන් හරි එහෙම නොකළොත් නම් ‘නිදි’ මළකඩ කනවාට  සැක නැත; update නොවෙනවාට සැක නැත. ඇයි refresh වෙන එක? කට්ටකාඩුවේ ලොකූගේ කමෙන්ට් එකට අදාළ කතාවත් අපූරු එකකි!

සිල් සමාදන් වෙච්චි උපාසක මහත්තයෙක් අතරමඟකදි දැක්කා මිනිසුන් කිහිප දෙනෙකු ‘දිය කුකුළෙක්’ පුස්සන්න හදනවා. එයාලා ගිනි ගොඩක් ගහලා ඉබ්බව ඒකට දමනවා. ඒ දාන වාරයක් ගානේ ඉබ්බාත් ගිනි ගොඩෙන් එළියට බඩ ගාගෙන එනවා. 
මිනිසුන්ගෙ තකතිරුකම ගැන උපාසකයට හිනහයි. නොදැක්කා වගේ යන්න හිත දෙන්නෙත් නැහැ. ඒත් සිල් අරගෙනනෙ ඉන්නේ. නොදන්නා තාලෙට, තමන්ටම කියාගන්නා වගේ මිනිහා අර ‘උපදේශාත්මක’ කවි දෙපදය සද්දෙන් කියාගෙනයි, එතැනින් ගියේ.

පොඩි කාලේදී හුඟක් අය අවංකයි. කපටිකම් දන්නේ නැහැ. එහෙම නිසා වෙන්නැති අපේ ‘බඩා මල්ලා’; දීපාල් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණේ, සැවුළන්ගෙ පාද බන්ධන රාජකාරිය කරන්න! “ලොකූ, මං ගැටගහලා දෙන්නං.”

ඌටත් තියෙන්නේ දිසානායක ලේ නෙව. එහෙම ඉදිරිපත් වුණාට, එතකොටත් මිනිහා පුංචියි. බලන්නකෝ උගේ තරම ඊට මාස ගානකට පස්සෙත්!

බඩා මල්ලා එංගලන්තයට ගිය දවසේ - (වමේ  සිට) උදය, මල්ලා හා චුට්ටේ 
හේතුව මොකක්ද කියලා නම් අදටත් මං දන්නේ නැහැ. එදා අපේ ගෙදර කවුරුන්වත් බඩා මල්ලියාට එපා කිව්වේ නැහැ. ඔන්න ඕක තමයි ලෝකේ හැටි! මට නම් හිතෙන්නේ එහෙමයි. මොකා බිලි වුණාම මොකෝ? අපි කරගහන්න ඕනේ පාපෙකට ස්ව කැමැත්තෙන්ම උර දෙනවා නම්.

‘පාපය’ ගැන මට වගේම, අපේ දීපාල්ටත් තියෙන්නේ එච්චර බරසාර අදහසක් නෙවෙයි වගේ. (ඔය උඩින් තිබුණු ෆොටෝ එක ගත්තු දවසේ එයයි, චූටි නංගි දීපානියි, සමන්ති නංගියි තුන්දෙනා එංගලන්තෙට ගියේ. පොඩි කාලේ ඉඳලා එහෙ හැදුණු නිසා වෙන්නැති මේකාත් හිතන්නේ ටිකක් අමුතුවට. ඒත් එහෙ යන්න කලිනුත් මූ ඇට්ටරයෙක්!)

ඒ අලුත් අවුරුදු කටේ. මං හිටියේ මුංගුළි හදන්න ලැහැස්ති වෙවී. ඔය මුංගුළි බදුල්ල පැත්තේ නම් හදනවාමයි.

ඉස්සෙල්ලාම මුංඇට රන්වන් පාට වෙනතුරු කබලේ බදිනවා. ඊළඟට ඒවා කොටාගන්නවා. කුඩු වෙන්නම නෙවෙයි. පියලි වෙන තරමටත් නෙවෙයි. ඊට ටිකක් වැඩියෙන්. හැබැයි තරමක ලොකු කෑලි හිටින විදියට. ඊළඟට ඒවා, කලින් හදලා තියාගත් පැණිපොල් එක්ක හොඳට අනාගෙන දෙහි ගෙඩි විතර බෝල හදාගන්නවා. ඒ ටික පැත්තකින් තියෙද්දී, කොකිස්වලට වගේ උකු බැටර් එකක් හදාගන්නේ ඊළඟට.   

අන්තිම ස්ටෙප් එක තමා අර හදාගත් මුංගුළි බැටර් එකේ දවටලා, ගැඹුරු තෙලේ බැදගනීම.

හැබැයි මුංඇට පිටි වෙන්නම කොටාගන්නේ නැහැ.
සමහර පැතිවල නාරං කැවුම් කියලා හදන්නෙත් මේකමයි. හැබැයි මුංඇට පිටි වෙන්නම කොටාගෙන. තව පැතිවලදී පැණිපොල් විතරක් ගුළි කරලා බැටරයේ දවටලා බැදලයි තිබුණේ. වර්ග හැතපුම් 22,532 ක් වෙන පුංචි හිංගල රටේ කැවුම් හදන හැටි වුණත් පැත්තෙන් පැත්තට වෙනස් වෙන හැටි!

එදා මං මුංඇට බදිනකොට දීපාල් මල්ලියාට අවුරුදු පහක්-හයක් විතර ඇති. එතකොටත් අපේ දුප්පත්කම නැත්තටම නැතිවෙලා ගිහින් තිබ්බේ නැහැ.  

වරිච්චි ගෙට තිබුණේ කෑලි දෙකයි. ‘පේව්මන්ට් එකේ රජවී 6’ පෝස්ටුවේදී එහෙම කිව්වනේ ‘අටකගේ ගින්න නිවන්න නටන නිමල්’ ගැන. ආන්න ඒ කාලේට ටිකකට පස්සේ!. 
ඉඳියාප්ප තම්බන්න ඕනෙකමටම ගත්ත භූමිතෙල් ළිප තමයි ගෙයි මැද්දස්සට වෙන්න තියාගෙන හිටියේ. ඊට එහා පැත්තෙන් ගෙදර සන්තකේටම තිබුණු එකම තනි ඇඳ.

ළිප උඩින් තාච්චියක් තියාගෙන මම මුංඇට බදිනවා. දන්නවනේ, මුංඇට බැදෙනකොට හරිම සුවඳයි. කොහේදෝ ඉඳන් ආව බඩා මල්ලා ඔන්න වටේට දැවටෙනවා. 
“මෙතන මොකද කරන්නේ? පලයන් අරහෙට!” මගෙන් විධානයක්. කොල්ලා තත්පර ගණනකට එහාට ගියා. ආයෙම ආවා. වෙන පැත්තකින්. දැන් මිනිහා මගේ ළඟට නෑවිත් වෙන සෙල්ලමක් පටන් ගෙන. එතැනම තියෙන ඇඳට නඟිනවා, බිමට පනිනවා, ආයෙමත් ඇඳට......

“දීපාල්, ඔන්න මං උඹට දැන්මම කිව්වා. හොඳ හිතින් ඕක නවත්තලා අරහෙට පලයන්. නැත්තං මං උඹට හොඳ පාරක් දෙනවා!” මුංඇට ටික කාල් ගාන ගමන්මයි මං කිව්වේ.

ගෘහස්ත හිංසනය ගැන නම් මට ඒ කාලෙදී අවබෝධයක් තිබුණේ නැහැ. ඒත් පවුලේ ලොකුම දරුවා විදියට; නංගිලා මල්ලිලා නව දෙනෙකුගේ ලොකු අයියා විදියට එයාලව ආම්බාන් කරන්න මට අයිතියක් නැද්ද? ඒක ඕනෙම පවුලක වැඩිමලාට ලැබෙන වරමක්නේ!

මළ කෙළියයි!
මොන? එහෙම තර්ජනාංගුලිය එසෙව්වට මොකෝ මාත් හිටියේ එතැනින් නැඟිටගන්න පුළුවන් තත්ත්වෙක නෙවෙයි. මුංඇට ටික පදමට බැදීගෙන එද්දී...........

මළ කෙළියයි! එතකොටම ඇඳට නඟිමින් හිටිය මල්ලියාට පිම්ම වැරැදිලා ළිපේ තිබුණු තාච්චිය උඩට වැටුණා. මුනින්තලා වෙලා. මට නැඟිට්ටුණේ නිකංම. මං මල්ලියාව උස්සල ගත්තා. ඒකගෙ බඩගෙඩිය උඩින් සුදුපාට වක්‍ර සලකුණු දෙකයි. එකක් පපුවට යටින්. අනෙක බුරියට උඩින්. කොල්ලා හිටියේ ජංගිය විතරක් ඇඳගෙනනේ. මං බැලුවේ තාච්චිය දිහා.

තාච්චියේ ගැට්ට උඩ මල්ලියාගේ හමේ තීරු දෙකක්! අනේ, කොල්ලා නෙවෙයි ‘හ්ම්’ කියලාවත් කිව්වේ. “මොන හ්ම් කීල්ලක්ද ලොකා? අපි ඒ දවස්වල ඔයාගේ ඉස්සරහට එන්නත් බයයිනේ. මල්ලියගේ කටේ කෙළ හිඳෙන්නැති සබ්බුව දෙයි කියලා බයටම!” මානෙල් නංගි කිව්වේ මේ ළඟදී අපි ඔය සිද්ධිය ගැන කතා කරද්දීය. එහෙව් දීපාල්ය, 1985 මා එංගලන්තයට ගිය වෙලාවේ මගේ හිත කීරි ගැහී යන ප්‍රශ්නයක් ඇහුවේ!

“ඇයි ලොකූ ඔයා මාව එංගලන්තෙට ගේන්න ඉඩ දුන්නේ?” මල්ලියා හිටියේ හෝම්සික් එකෙන් බවට තවත් සාක්කි ඕනෙද?


පීයා, මල්ලා, නිමල්, අපේ අම්මා හා මාර්කෝ 2014 දී ............ 
ඊට ගොඩ කාලෙකට පස්සේ, එංගලන්ත පුරවැසිකම තියෙද්දිත් මිනිහා බිරියයි, පුතාලා දෙන්නයි එක්ක ලංකාවට ආවා අවුරුදු කීපෙකට කලින්. ලොකු මිනිහෙක් විදියට. එයාට ඕනෙ වුණේ පුතාලා දෙන්නට සිංහලත් උගන්නා ගන්නලු. ඒ මුවාවෙන් මල්ලියා උගේ තිබුණු homesick එකටත් විසඳුමක් හොයාගත්තා. 

ඉතින් මිනිහා ගල්කිස්සේ හෝටලයට කිට්ටුව ඉඩමක් අරන් ගෙයක් හදන්න ගත්තා. plan එකත් මිනිහගෙමයි. පහතම තට්ටුවේ මැද ලොකු ජල තටාකයක්.

“ලොකූ, මේකේ තිලාපියෝ දාන්නයි යන්නේ. එතකොට අපිට පුළුවන් fishing කරන්න ගෙදරම ඉඳන්. ෆ්‍රෙෂ් වැව් මාළු! නියමයි නේද?” බඩා ඇහුවා. 
මං තුෂ්ණිම්භූතව හිටියා. සුනිල්, අනිල්, මානෙල් තුන්දෙනාමත් දාහක් දේවල් කිව්වා. 
“ගෙදරම හදන සත්තු මරාගෙන කන්න පුළුවන්ද මල්ලී?” දීපාල් ඒ ගැන හිතුවද, නැතිනම් වෙන හේතුවක් නිසාද මන්දා, තවම ඒ පොකුණේ තිලාපියන් නෑ!

‘ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට’ කියලා කිව්වා වගේ, එදා නම් මේ කවුරුන්වත් ‘ගෙදර හදන කුකුළන්’ මරාගෙන කන්න කරපු සැලසුම්වලට විරුද්ධ වුණේ නැහැ. හැමොන්ටම තිබ්බේ මංගල්ලේ සිහිය විතරයි. ඒක අපේ අජියගේ කුකුළන්ට, කළුකුමාලට අවමංගල්ලයක් වෙන හැටි ගැන කාටවත් ගනිච්චියක් තිබ්බෙම නැහැ! අජිත් මල්ලිටවත්!! මට මතක් වෙන්නේ මිනිහා එක මාළුවෙකු මැරුණම කලබල වුණු දවස.

පෙළක් වෙලාවට අපේ අජියා හරිම මානුෂීයයි; සානුකම්පිතයි! එහෙම වුණාම කොච්චරද කියනවා නම් මිනිහට කොහේදෝ නැති ගොතයකුත් එනවා.


අපට මොටද අපි අටසිල් උපාසක - ඉබ්බන්නේ පුච්චන්නේ.............
මේ පෝස්ටු මාලාවේ මුලදී මං කිව්වනේ අපේ බෝතල මාළු ටැංකි ගැන. අපි ටික-ටික ලොකු වෙනවත් එක්කම ඒ ටැංකිත් ලොකු වුණා. ඉන්න මාළුත් ලොකු වුණා. ලොකුයි කිව්වේ සයිස් එකෙන් වගේම වර්ග සංඛ්‍යාවෙනුත්.

වීදුරු ටැංකිවලට දමාපුවම මට නම් හරිම ලස්සනට පෙනුණ මාළු වර්ග දෙකක් තමයි ‘සීබ්‍රාස්’. උන්ගේ ඇඟ පුරාම ඉරි. කළු පාටෙනුයි, සුදු පාටෙනුයි. 

සීබ්‍රාවා කියන සිවුපා සතාගේත් එහෙමනේ. හැබැයි කොච්චර ලස්සන වුණත්, ඒ මාළුන්ට හරි ඉක්මනට ලෙඩ බෝවෙනවා. බ්ලැක්මෝරිස්ලටත් එහෙමයි. (ඔය ඒ දවස්වල මගේ නිරීක්ෂණ හොඳේ. පොදු සත්‍යයන් නොවෙන්නත් පුළුවන්.)

ඉතින් එක ටැංකියක හිටි එක සීබ්‍රා මාළුවෙකු මැරිලා, වතුර උඩ පාවෙමින් හිටිය හැටි දැකපු අජිත් සිහියක්-පතක් නැතිව වත්ත පුරා දිව්වා; අපි හැමෝටම ‘මළගම’ කිය-කියා. නිකම්මත් නෙවෙයි. මහ හයියෙන් කෑ ගහගෙන. කලබලෙන් අපේ අජියා කෑ ගැහුවේ මෙහෙමයි. “තිත් තිත් තීබ්බා වතුර උඩ පායියා!” එදා ඉඳන් අජිත් මල්ලියා නිකම්ම ‘තිත් තිත් තීබ්බා’ වුණා!

අපේ පුණ්‍යවන්තයන් හැමෝම වගේ දන් දෙන්න, මල් පහන් පූජා කරන්න, බණ කියවන්න, පිරිත් කියවන්න, පන්සලක් දකින ගණනේ පස්ස උස්සන්න හරි කැමැතියි. හැබැයි පන්සිල් පද පහෙන් දෙක තුනක්වත් රකින්න අකැමැතියි. 
එයාලා ආමිස පූජාවලට මනාප තරමින් බාගයක්වත් ප්‍රතිපත්ති පූජාවලටත් කැමැතියි නම් සිරි ලංකාව ඇත්තටම ‘සිරියාවන්ත’ වේවි නේද?

එදා ඉඳන් අපේ අජියා 'තිත් තිත් තීබ්බා වතුර උඩ පායියා' වුණේ ........
ඉතින් මානෙල් නංගිත් සිරියාවන්ත මනාලියෙක් වෙන දවස ඔන්න-මෙන්න ආවා! හැබැයි ඊළඟ කොටස වෙනතුරු එහෙම වෙන්නෙ නැහැ ඕං!!



10 comments:

  1. Replies
    1. ඉයන්, සැවුළන්ට නේද මරු කිව්වේ? මම නම් කියන්නේ පව් කියලා.

      Delete
  2. කියලා මැරවීම හා මරා දැමීම.

    ReplyDelete
    Replies
    1. හ්ම්! මද්දෝ, ඔළුව වටෙන් අත දාලා කණ අල්ලන්නේ මොකටද කියලයි මං හිතන්නේ.

      Delete
  3. පුදුමාකාර රසෙයන් පිරුණු අතීත කතන්දර ෙගාන්නක්...

    ReplyDelete
  4. පව් ... පව් ... කිව්වට අපිත් කනවනේ ඉතිං ... මලයට එංගලන්ත ජිවිතේට හුරු උන එක ගැන කනගාටුවක් තියෙන්නෙ ඇයි ?

    ReplyDelete
    Replies
    1. මිනිහගේත් අතීත කාමය වැඩියි, මගේ වගේ. දැන් ලංකාවට ඇවිත් පුතාලා දෙන්නව සෙන්ට් පීටර්ස් එකට දාලා තියෙන්නේ, අවුරුදු ගානකට කලින්. කොල්ලෝ දෙන්නටම දැන් සිංහල පුළුවනි. ලොක්කා මේ සැරේ O/L කරනවා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්