අකුරු මැකී නෑ

Sunday, November 1, 2020

ඩිංගෙන් Hong Kong හිරේ! -පස්වෙනි කොටස

අපේ මහජන නියෝජිත උන්නාන්සේලා ගෙඹි සෙල්ලම කළාම....
ඇත්තනේ! රසම රස සුප් එකක් නිකම්ම හැදිලාය!

එදාත් ජෝලා පිරිස එකතුවී මුදල් ගෙව්වා මිස මට වියදම් කරන්නට ඉඩ දුන්නේ නැත. මොකක්දෝ වාසනාවකුත් එක්ක වගේය මා ඉපදී තියෙන්නේ.

එහෙම වාසනාවක් ඇතිව ඉපදෙන අය වැඩිය නැත. අපේ බොහොමයක් මහජන නියෝජිතයෝත් එහෙම වාසනාවන්තයෝ වෙති. එයාලාට නොයෙකුත් වරදාන ලැබෙයි; වරප්‍රසාද ලැබෙයි; අවුරුදු පහෙන් පෙන්ෂනුත් ලැබෙයි. ඊට අමතරව තව වාසිත් සැලසෙන්නේ ‘ගෙඹි සෙල්ලම’ කරපුවාමය. ඩීල් දමා ගත්තාමය.

ගිය සතියෙත් එහෙම ඩීල් කතාවක් ලීක් වෙලා තිබිණි. එහෙම කතා කියන එවුන්ගේ කටේ මහ ගෙඩි දාන්නට ඕනිය; විස්ස පරවෙන්නට ඕනිය!

කතාව තිබුණේ ‘විස්සට ඡන්දේ දෙන්න කෝටි ගණනාවක් ඉල්ලපු විත්තියත්- දෙන්නට පොරොන්දුවී හිට පස්සේ නොදුන් විත්තියත්’ කියමිනි. ඒ පඩත්තල කතාව මං නම් පයිසේකටවත් මායිම් කරන්නේ නැතිය. ඒ, එම ඩීල් එක දැම්මාය කියන තැන නිසාය. එයාලා ඒ සම්මුතියට ආවේ වැසිකිළියක් තුළදීලු! ඒකනෙ කියන්නේ. මොන ගොනාද හොඳ වැඩක් ගඳ ගහන තැනකදී කරගන්න යන්නේ?

අපේ රටේ යථාර්ථය හරිම වෙනස් එකකි!

කොහොම වුණත් අපේ රටේ යථාර්ථය වෙනස්ය. රටේ අනාගතය සැලසුම් කරන්නට, ප්‍රතිපත්ති- නීතිරීති හදන්නට යන උන්දැලා නොකරන්නේත් ඒ ටික විතරයි වගෙය. එදා මාත් එහෙමය. මාව හොංකොං යැව්වේ නයිට් බසාර්වලට ගිහින් චීන කෑම රස බලාගෙන එන්නට නොවේ;

එහෙ කලා කෘති නිර්මාණය කෙරෙන හැටි බලාගෙන එන්නටත් නොවේ;

තරුණ පරපුරට නිසි තැන දෙන ප්‍රජාවක් බිහි කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීමටය. ඒ වැඩේට නම් මගෙන් කෙරුණු  කිසිම කෙංගෙඩියක් නැති බව ලජ්ජාවෙන් වුණත් කියන්නම ඕනෑය. මගෙන් විතරක් නොවේ, ඒකට ඇවිත් හිටි හුඟ දෙනෙකුගෙන් වුණත්! අපේ රටේ තරුණ කටයුතුවලටම වෙන්වුණු ආයතනය නියෝජනය කරමින් ගිය නියෝජිතයාගෙන් වුණත් එච්චර තමාය.

“නිමල් උඹලා මොකක්ද කරන්න යන්නේ අට වෙනිදා රෑට?”

නයිට් බසාර් ගියදාට පහුවදා දවල් කෑම විවේකයේදී ජෝ ඇසුවේය. “උඹට සිංදු කියන්න පුළුවන් නේද?”

මොකෝ අපි තොවිල් නටන්නද? රබන් කරකවන්නද?

“ඒ මොකද එහෙම ඇහුවේ?”

“අපි අහගෙන උඹ මුමුණනවා.... Farewell එක දවසේ රෑට කල්චරල් ෂෝ එකක් තියෙනවනේ. උඹලටත් පුළුවනිනේ ලංකාවෙන් අයිටම් එකක් ඉදිරිපත් කරන්න.”

ඒ අදහස ගැන මට හිතුණේ ඊට පස්සෙය. අනෙක් ශ්‍රී ලාංකිකයා සමඟත් මම ඒ ගැන කතා කළෙමි.

“පිස්සුද නිමල්? ඔව්වා මේ ෂෝ එකට කෙරෙන දේවල්නේ. අපි ජාතික ඇඳුමක්වත් ගෙනත් තියෙනවද? මොකෝ අපි ජන ගී කියන්නද? තොවිල් නටන්නද? රබන් කරකවන්නද?” ඔහොම ප්‍රශ්න ගොඩකින්ය ඒ මනුස්සයා මට දමා ගැහුවේ.

“ඒක නං ඇත්ත තමයි... ඒත් අපිට බැරිද සිංදුවක්වත් කියන්න. හැමෝම එකතු කරගෙන...”

“හැමෝම එකතු කරගෙන?”

සාමූහිකව එකතුවී ගයා-නටා විනෝද වෙන්නට ඒ මනුස්සයා කැමති නැත.....

සතුටු සාදයකදී, සංචාරයක යද්දී ‘කියමු නිමල් අයියේ සිංදුවක්’ කියලාය, ගීත ගායනයට මුල පිරෙන්නේ. මගේ නමම එහෙම කියවෙන්නේ මං හොඳම ගායකයෙකු හින්දා නොවේ. මා කාටත් හවුල්වී ගයන්නට පුළුවන් විදියේ ගීත තෝරා ගන්නා හින්දාය! (සමහරෙකු එහෙම වෙලාවක වුණත් හදන්නේ තමන්ගේ colours පෙන්වන්නටය; තනිවම බැබළෙන්නටය. සාමූහිකව විනෝද වෙන්නට නොවේ! ඇනේ ගහන්නට ඕනේ තැනේ හැටියටය.)

“ඔව්...!” ඒ පාඩමත් මං අහුලා ගත්තේ ලාල් අයියාගෙනි. ලාල් අයියා සහභාගී වුණු විදේශීය සම්මන්ත්‍රණයක් පිළිබඳව කෙරුණු විස්තරයකිනි. 

“වැඩ සටහනේ අන්තිම අංගය වුණේ ගිනි මැල සංදර්ශනයක්.... එක-එක රටවල්වලට ආරාධනා කළා එක අංගයක් බැගින්වත් ඉදිරිපත් කරන්නය කියලා.... මාත් තෝරා ගත්තේ සිංදුවක් කියන්න....” ලාල් අයියා අපට විස්තර කරමින් හිටියේය.

එවිටත් මට කල්පනා වුණේ, දැනටත් මට කල්පනා වෙන්නේ එතෙක්-මෙතෙක් ලාල් හේවාපතිරණ මහතා ගීයක් ගයනවා මා අසා-දැක නැති බවයි! ඉතිං එහෙව් මනුස්සයා කියන්න යන සිංදු කතාවට අප හැමෝම කන් දුන්නේ උනන්දුවෙනි.

සඳපානේ... සඳපානේ දිලෙන, ඩුබායි අඩසඳ කුලුන......

“... මම එදා කිව්වා -මේ ගීතය ගයන්න යන්නේ මම නෙවෙයි. අපි හැමෝමයි.
එහෙම නැතිව මට විතරක් තනියම නම් මේක ගයන්න බැහැ. කරුණාකරලා මට උදව් කරනවා නේද?- ඔන්න එතකොට හැමෝම -ඔව්- කිව්වා.... -හරි, එහෙම නම් දැන් මම මේ කියන වචන ටික හොඳට අහගෙන ඉඳලා, දෙවෙනි සැරේට ඒකම කියලා පුරුදු වෙමු....

-මොකද, සිංදුව පුරාම ඒ වචන රිපීට් වෙනවා.- කියලා මම එයාලව පුරුදු කෙරෙව්වා chorus එක කියන්න. Camp Fire එක වෙලාවේමයි ඒක කළේ.... දෙතුන් පාරක්ම ඒ පුහුණුව කරලා....

-Thanks! දැන් මෙන්න මගේ ගීතය..... මම සිංදුව කියන අතරේ, අත් දෙක උස්සලා signal එක දෙනකොටම ඔයාලා හැමෝම අර වචන ටික ගායනා කරන්න ඕනි මගෙත් එක්කම!”

අපි කිහිප දෙනක්ම එදා ලාල් අයියාගේ ඒ විස්තරයට කන් දෙමින් උන්නෙමු.

අනෙක් අයට ඒ විත්තියක්වත් මතකදැයි මම නොදනිමි. මම නම් එදා උගත් මාහැඟි පාඩමෙන් අදත් වැඩ ගන්නෙමි! ඒ සාමූහිකත්වයේ අගය මං හොඳින්ම දන්නා බැවිනි!

ඉතිං Hong Kongවලදී මං අර මනුස්සයාට ඔය කතාව.......

ඉතාම හොඳින්- මැනවින්- ශ්‍රුැතියට අනුවම ගායනා කිරීමේ හැකියාව සහිත මිතුරෝ දෙතුන් දෙනෙක්ම මට සිටිති.
එයින් එක්කෙනෙකුගේ කැමැත්ත තිබෙන්නේ අනුන් ඔහු හා එක්ව ගයනවාට නොවේ. තමා ගයනු අනුන් සාවධානව අසා සිටිනවා දකින්නටය. ඔහු ගයද්දී තවත් කිහිප දෙනෙකු අත්වැල් ගායනයට එකතු වෙනවා නම් මේ ‘හපනා’ කරන්නේ උච්ච ස්වරවලින්ම ගීත ගැයීමය.

ගිරිය කඩා ගන්නට අකමැත්තෙන් ඉස්සෙල්ලාම කට වහගන්නේ මාය, සෙස්සෝත් ඉක්මනින්ම නිහඬ වෙති.

මේවා ඔබට කියන්නේ නිකම්ම නොවේ, අත්හදා බලා සත්ත කියන්නටත් ඒකකය.

ඉතිං හොංකොංවලදීත් මං අර මනුස්සයාට ඔය කතන්දරය කිව්වා විතරය. “ඉතිං ඔයාටම පුළුවනිනේ ඒ වැඩේ කරන්න!” මනුස්සයා එකෑවරම කියාපි!

“පුළුවන් මහත්තයෝ.... කියන්න තියෙන්නේ සිංහලෙන් නම්.... අර විස්තර ටික හරියට ඉංග්‍රීසියෙන් කියාගන්නනේ බැරි. ඔයා ඒක කරන්න.... මම පැත්තකින් ඉඳගෙන උදව් වෙන්නං. අපේ රටටනෙ නමක් එන්නෙ වැඩේ හරියට කෙරුණම!” මනුස්සයා කැමැත්ත දුන්නේය; මට කියලා ගීතයේ පද ටිකත් ලියවා ගත්තේය; වතාවක්- දෙකක් ගයා පුරුදුත් වුණේය. රිහසල්වලදී තනිවම එයාට ‘කෝරස්’ එක වෙමින්, ‘හඳපානේ හඳපානේ... හඳපානේ රෑ යාමේ’ කොටස ගැයුවේ මා විසිනි.

ගීතය ගයන්නට තිබුණේ ලෝකයේ ලොකුම පාවෙන රෙස්ටෝරන්ට් එකේදී....

ගීතය ගයන්නට තිබුණේ 1989 දෙසැම්බර් 8 වෙනිදා රාත්‍රියේය. ලෝකයේ ලොකුම පාවෙන හෝටලයේදීය! Jumbo Floating Restaurant එකේදීය!!

ඊට කලිනුත් ජෝලා පිරිස එකට එකතුවී ‘සාම්ප්‍රදායික හොංකොං අවන් හල’කට මා කැන්දාගෙන ගියහ. ඒ ගමනට අලුත් අමුත්තියකුත් එක්ව සිටියාය. පෙනුණේ අනෙක් හැමෝම ඇයව හඳුනන බවයි. “ජෝගේ ෆියොන්සේ!”

“මං මෙයාට කිව්වා අපේ අලුත් යාළුවා ගැන. ඉතිං එයාටත් ඕනි වුණා නිමල්ව හම්බ වෙලා අඳුනා  ගන්න.” ජෝ කිව්වේ තමන් වරදක් කළාවත්ද කියලා අහන ලීලාවකිනි.

ජෝ මෙන්ම ඇයත් හරිම විනීතය.

“කමක් නැහැ නේද නිමල්... පහුගිය ටිකේම මෙයා කිය-කියා හිටියේ උඹලගේ රටේ මිනිස්සු හරිම හොඳ අය වගේ පේනවා කියලයි.... උඹ හින්දා. ඉතිං මටත් ආසා හිතුණා Sri Lankan එක්කෙනෙක්ව හම්බ වෙන්න...”

මම එතරම්ම පඩත්තලයෙක් වුණේ......

මං වගේ අකෘතඥයෙක්! ඒ යුවතියගේ වචන ටික අකුරු කරද්දීය, යළි-යළිදු සිහි වෙන්නේ. මා නිසා ඒ හොංකොං යව්වනයන් විතරක් නොවේ, පසුව හෝ- ඔවුන්ගෙන් මා ගැන අසා-දැනගත් කෙනකු වුණත් ‘සකල ලංකාවාසීන් ගැනම අඳුරු සිත්තමක්’ හදවතේ සනිටුහන් කර ගන්නට ඇතිවා නිසැකය! අනේ, අතීතයට ගිහින් ආපසු ඒ වැරැද්ද නිවැරදි කරන්නට හැකියාව ලැබෙනවා නම්....

එදා හිටි නිමල් දිසානායක එතරම්ම කම්මැලි- පඩත්තලයෙක් වුණේ ඇයි?   

එදා අප ගිහින් තිබුණේ වෙජිටේරියන් restaurant එකකටය.

එහෙම වුණත් මේසයට ගෙනා දීසි සේරම කොළපාට එව්වා නොවිණි. පාට වගේම ඒවායේ විදිහත් හරිම වෙනස්ය. ඇත්තම කියනවා නම් ඒ දවස්වල ‘ටෝෆු’ වගේ නමක්වත් මං අහලා තිබුණේ නැත. බත්- එළවලු- මාළුපිණි- කොස්- දෙල්- අල- බතල- ආප්ප- ඉඳියාප්ප- පිට්ටු මිස නන් විසිතුරු කෑම වර්ග පසුපස හඹා යන පවුලක නෙවෙයිනේ මං ඉපදිලා හිටියේ..... ඒක ඒ කාලයේත් හැටි වගෙය.    

“මේ ටෝෆුවලින් හදපු dish එකක්... මස්වත්, මාළුවත් නෙවෙයි... මේක මුහුදු පැලෑටිවලින්...” කෑම ජාති ගැන වඩාත් විස්තර කිව්වේ ජෝගේ පෙම්වතියයි.

ඒ කෑම සේරම මස්-මාළුවලින් තොර වුණත්.....

මස්-මාංශ නැති වුණත් පෙනුමෙන්; රසෙන් කිසිම අඩුවක් නොදැනෙන්නට ඔවුන් පිළියෙළ කර තිබුණු ආහාර හා අතුරුපස වර්ග ගොඩ....!
ඇතෙක් කොතෙක් වැහැරුණත් කොරහේ නාවනු බැරිය. කොතරම් ලොකු වාග් කෝෂයක් තිබුණත් ඒ කෑමවල පෙනුමත්- රසත්- විදිහත් කියන්නට තරම් හපනෙක් නොවෙමි, මම.

“ජෝ, ඇයි අපි නිමල්ටත් අපේ wedding එකට invite නොකරන්නේ?” හිටි හැටියේම ජෝ දිහාවට හැරුණු ඔහුගේ පෙම්වතිය ඇහුවාය.

“උඹ මගේ plan එක විනාශ කළා!” ජෝ නළලට පහරක්  ගහ ගනිමින් කිව්වේ තරහෙන් නොවේ, හිනාවක් පාමිනි. “මගේ අමුත්තෝ ලැයිස්තුවට මම දැනටමත් නිමල්ගේ නම ලියාගෙන ඉන්නේ.... මම ඒක නොකියා හිටියේ අන්තිම මොහොතේදී surprise එකකට.....”

“අනේ සොරි ස්වීට් හාර්ට්! ඔයා මටවත් කියලා තිබ්බය?”

ඔන්න නිමල්, අපේ wedding එකට උඹත් හොංකොං එන්නම ඕනි!

“හරි, හරි... දැන් කමක් නැහැ. තව කල් තියෙනවනේ... ඔන්න නිමල්. දැන්මම කිව්වා. උඹේ diary එකේ ලියලා තියාගනින්. අපේ wedding එකට උඹත් එන්නම ඕනි.
අපි දෙන්නගෙන්මයි මේ ආරාධනේ... අපි විතරක් නෙවෙයි. මේ යාළුවො ඔක්කොමගෙනුත්. එයාලා සේරමත් එදාට එනවනෙ... සුමානයක් විතර මෙහෙ නැවතිලා....” ජෝ කිව්වේය. ඒ ගමන්ම අනෙක් අය දිහාවටත් හැරුණේය.

“....අපරාදේ. අපිට අද ඉක්මනට යන්න තියෙනවනේ... නැත්තං තව ටිකක් කතා කර-කර ඉන්න තිබුණා. ඒත් නිමල්, එතකොට උඹට තෑගි ටික ගන්න බැරි වෙයි.... මොකද කියන්නේ.... අපි දෙන්නා නිමල්ව එහාට එක්ක යන්නයි හදන්නෙ. ඔයාලත් එනවද...?”

අනෙක් මිතුරු-මිතුරියන්ගේ අදහස වුණේ ඒ ගමනට අප හා එකතු නොවීම වඩාත් හොඳ බවයි.

“අපි ලොකු රොත්තක් ඒ කඩේකට ගියාම ඒ මිනිස්සු බය වෙයි... කඩේ කොල්ලකන්න ආවා කියලා... අනෙක නිමල් ඒවා එච්චර ලොකු space එකක් තියෙන තැනුත් නෙවෙයි. කමක් නැහැනෙ... අපි හැලෙන්නම්...”

අතීත වංකගිරියවල් නූතනයේත් හදලා තිබේ.
ඉතිං ඒ සාප්පු සවාරිය ගියේ අප තිදෙනා විතරය.

හවස් වෙලාවත් නොතිබුණු නිසා වෙන්නට ඇති. ඒ ඉසව්ව එතරම්ම දීප්තිමත් එකක් විදිහට නොවේ මගේ මතකයේ තියෙන්නේ. වීදියේ තැනින්-තැන සාප්පු අතරින් කුඩා පටු පාරවල්; මඟීන් විතරක් යන පාරවල් හැට-හුට හමාරක් තිබිණි.

වැඩි කල එළියක් නැති තැනකින්ය අප ඇතුළු වුණේ. ඒත් ඇතුළට යනකොටය තේරුණේ ‘උම්මග්ග ජාතක’යේ කියවෙන විභූතිමත්; ආලෝකයෙන් සජ්ජිත උමඟ කොහොමදැයි හිතාගන්නට නම් යන්නට ඕනේ එතැනටය......

‘වෙස්සන්තර ජාතක’යේ කියවෙන වංකගිරියේ හැටි බලාගන්නට නම් යන්නට ඕනේ එතැනටය; ග්‍රීක පුරාවෘතවල හමුවෙන මිනෝටාර් සිරකර තැබූ labyrinthහි අතරමං වෙන්නට ඕනෑ නම් යන්නට ඕනේ එතැනටය.

අඬු විදහාගත් මකරෙකු විදිහට ඒ ගොඩනැඟිලි සංකීර්ණය හතර අතේ පැතිරීලාය. හිතාගන්නටවත් බැරි තරමට කුඩා කඩ-සාප්පු තොගයක් ඒ ගොඩනැඟිලිවල පිරීලාය. ඇඟිල්ලක් ගහන්නට ඉඩක් නැති තරමින් ඒ කඩ-සාප්පුවල අරුමෝසම් බඩු පිරීලාය.

ඇත්තම කියන්න, ඔයාලාට පොඩිම හරි සාංකාවක් තියෙනවා නේද?

හැබැයි, වැරදිලාවත් විදුලිය නැති වුණොත්.... කියන්නට වෙන්නේ ‘මළා තමා’ කියලාය. ඒ බිල්ඩින් සේරම ආලෝකවත් වී තියෙන්නේ විදුලියෙනි. අප්‍රමාණ විදුලි පංකා සංඛ්‍යාවක් කැරකෙමින් උණුහුම අඩු කරවන්නේ විදුලි බලය වැය කරමිනි....

සාප්පුවල පිරීතිරී තිබෙන විසිතුරු බඩු තෝරමින් යද්දී, මිලදී ගනිද්දී වුණත් මගේ හිතේ වැඩකළේ එවැනි දේවල්ය. කොහොමෙන් වුණත් ජෝලා නැතිව ඒ ගමන ගියා නම්....

පැය දෙක තුනක් ඒ කඩ-සාප්පු අස්සේ රස්තියාදුවී අප එළිමහනට ආවේ ඇතුළු වුණු පටු පාරෙන් නොවේ. ඊට ගොඩාරියක් ඈතින්වූ වෙනත් පාරකිනි.

දැන් ඉතිං ඇත්තම කියන්න! ඔයාලා ඉන්නේ යාන්තම් හරි සාංකාවකින් නේද?

ඒ ගොඩ වෙලාවකින් මං අර ‘පවුම් නෝට්ටු’ ගැන නොකිව් නිසාය. නෑ නෑ.... විශේෂ යමක් කියන්නට නැති නිසාය නොකිව්වේ. හැබැයි ‘ගොනා පස්සේ යන ගැල’ වගේම; ඔබ හැර නොයන සෙවණැල්ල වගේම ඒ සල්ලි මල්ලම මා එක්ක හැම තැනම ගියේය. එහෙම ගියේ කාටවත් නොදැනී-නොපෙනී මගේ යට ඇඳුමට යටින්, ඉණතුරේ හැංගීගෙනය! 

ලෝකයේ ලොකුම පාවෙන රෙස්ටෝරන්ට් එකට යද්දීවත් ඒ සල්ලි බෑගය හුදෙකලා-පාලු කාමරයක තබා යන්නට මට හිත දුන්නේ නැත! ඉතිං මං එහාට ගියෙත් ඒ මල්ල බඩ බැඳගෙනමය.... ගිහින්....

24 comments:

  1. පඩත්තලයෙක් උනා කියන්නේ ජෝ ගේ වෙඩින් එකට නොගිය එකද?
    අර සල්ලී මල්ල ලංකාවට එනකොට දාඩියෙන් පෙගිලා තිබුනේ නැද්ද.

    ReplyDelete
    Replies
    1. අසංග. ඔයාගේ ප්‍රශ්න දෙකටම උත්තර නොදී ඉන්න අවසර දෙන්න. මීළඟ කොටසේ ඔය ප්‍රශ්න දෙකටම පිළිතුරු තියෙන නිසා. තරහ නැහැනෙ?

      Delete
  2. සල්ලි මල්ල පරිස්සම් කරනවා හැර වෙන දෙයකට හිත යොමු කරන්න නිදහසක් තිබිලා නැද්ද ??

    "සල්ලි තියන එකත්" කරදරයක් වෙන අවස්තාවන් අහන්න ලැබෙන්නේ කලාතුරකින්.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයෝ, ඔයා අපේ අම්මා ගැන හරියටම දන්නවා නම් ඔහොම කියන්නේ නෑ. ඒ සල්ලිවලට මොනවා හරි වුණා නම්.... හිතද්දීත් බයයි!
      එහෙම වුණා නම් 'මාව ඝාතනය කරන්න. ඒත් මගේ චරිතය ඝාතනය නොකරන්න' කියලා ප්‍රේමදාස මහත්තයට කලින් මගෙන් කියවෙන්න තිබ්බා.

      Delete
  3. ඉතින්...? මේ කතාවෙ හැම කොටසකම අවසානයෙ කොටසක් කියවුණේ නැති හැඟීමක් එනව.

    අර වෙඩිමට ගියාද ඉතිං?

    ReplyDelete
    Replies
    1. හරිනේ ඩ්රැකී. ඉතිං ඊට පස්සේ කියවද්දිත් එහෙම නේද දැනුනේ?
      දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලබන කොටසේ.

      Delete
  4. මට පේන්නෙ නිදි මහත්තයට සල්ලි ඇණයක් වෙලා වගෙයි. හැක්..

    ReplyDelete
    Replies
    1. එදා පොටේ නම් ඇනයක් නෙවෙයි දූරියන් ගෙඩියක් වෙලයි තිබ්බේ!
      ප්‍රසන්න මහත්තයෝ.
      බුදු හාමුදුරුවෝ 'ආනන්දය, සර්පයා දුටුවෙහිද?' කියලා විමසුව කතාව දන්නවනේ....

      Delete
  5. ටෝෆු හදන්නෙ සෝයා මිල්ක් වලින්නෙ?

    ReplyDelete
    Replies
    1. එහෙමලු!
      Pra Jay මහත්තයා ටෝෆු හදවන්නද යන්නේ?

      Delete
  6. කථාව රසවත්, දිගටම ලියන්න......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත්. දිගටම මෙහාට එන්න කියලත් ඔන්න ඔයාට ආරාධනා කරනවා!

      Delete
  7. මෙන්න වැඩක් පටන් ගත්ත. බ්ලොග් තරගයක් ම නෙමේ. මගේ කතාව ලියාගෙන යන්න කට්ටියම. 1, 2, 3, 4, වශයෙන්. තමන් දාන්න මාතෘකාව.
    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක් - 1
    https://kolambagamaya.blogspot.com/2020/11/1.html

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, උදේ මම එවාපු කමෙන්ටුව අන්තරස්දාන වෙලා නිසා ඔන්න ඒක අලුතින් ලිව්වා.
      කොයිකටත් කියලා මෙතනටත් දැම්ම!

      ඔයාගේ පෝස්ටුව දැක්ක ගමන් ඉහේ මල් පිපුණා වගෙයි දැනුණේ!

      මාසයක් නෙවෙයි අවුරුද්දක්ම ඔය කෞතුකාගාරේ ඇතුලේ ඉන්න බැරිවය රාජකීය සැලකිලි ලබමින්. ඒවා මොනවාවත් නැතිව අපි මේ ගෙවල් අස්සෙම හිර වෙලා ඉන්නේ. අපේ වියදමෙන්, සර්ලගෙ පිහිටෙන්.

      අජිත් මහත්තයෝ, කටුගේ අස්සේ ඉන්න කියන්නේ මටත් වැඩක් කරවා ගන්නයි.

      මතකයිනේ Pra Jay මහත්තයයි, සිරිබිරිස් උන්නැහෙයි, රවී මහත්තයයි එක්ක හඟුරන්කෙතත් ගියා ගල් බරුවක් හොයන්න. අවුරුදු 25-30කට ඉස්සෙල්ලා මම එහෙදී දැක්ක එකක්. ඒක පාවිච්චි කළාය කියන්නේ බිසෝවරු වැවේ ගිල්වලා මරන්න. ඔය ඉසව්වේ තමා දස්කොන්-ප්‍රමිලා පෙම් කතාව සිද්ධ වුණේ.

      තහනම් පෙම අහුවෙලා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ දස්කොන් අධිකාරමව හිරේ දැම්මා හිස ගහලා දානකල්. කියවෙන විදිහට දස්කොන් උන්නැහේ වැටුනේ බොරු වළකයි.

      තමුන් නිදොස් බව කියමින් දස්කොන් හිර කුටියේ ඉඳගෙන, රජතුමාට ඔප්පු කරන්න ලිව්වාලු කවි පොතක්. නමුත් ඒක රජතුමා අතට යන එක වැලක්කුවාලු කුමන්ත්‍රණකාරයෝ. දැන් ඒ කවි පොත 'නෝක්කාඩු මාලය' තියෙන්නේ එංගලන්ත කටු ගෙදරලු! පුස්කොල පොතක් නිසා පිටපත් තියෙන එකක්යැ? බැරිද ඒ ගැනත් හොයලා බලන්න.... ඒ විතරක් නෙවෙයි, ඒ ගැන ලියන්නත්.

      හැබැයි පරෙස්සමෙන්. නයිට් ඇට් ද මියුසියම් එකේ වගේ බලංගොඩ මානවයා හෙමත් ආයෙම පණ ගහලා ආවොත්?

      Delete
    2. හරි හරි නීඩි මහත්තයෝ හරි , කොමෙන්ටුව් ආව හැරෙන තැපෑලේ . ඔය රිසර්ච් වැඩ වලට චාජ් කරනවා හරිය

      Delete
    3. රිසර්ච් වැඩේ කරලා බිල එවන්න අජිත් මහත්තයෝ.

      බ්ලොග් කරුවන් දිරි ගන්වන්න සම්මාන උළෙලක් එහෙමත් කරපු මහත්තයෙක් ඉන්නවා එංගලන්තේම, මට ඉස්සෙල්ලා ඒක ගෙවයි ඒ මහත්තයා!

      Delete
    4. මාත් දන්නා කෙනෙක්ද

      Delete
    5. එයා දකියි ඔබ නිති කැඩපත ඉදිරියේදී!

      Delete
  8. මේ වෙන කතාවක් කෑල්ලක් මිසක් අලුත් එකක් නෙමේනේ. සල්ලි ගැන තමා බය.

    ReplyDelete
    Replies
    1. මාත් බයෙන් හිටියේ ඒ ගැන.... ඒත් ඊට වැඩිය.....
      ඊළඟ කොටසට එන්නකෝ.

      Delete
  9. නිදි දැම්ම කොමෙන්ට් එක අයින් කලාද

    ReplyDelete
    Replies
    1. නැහැනෙ අජිත්. මොකද වෙලා තියෙන්නේ?

      Delete