අකුරු මැකී නෑ

Sunday, January 24, 2021

යුවති කිරිල්ලී - දාහතරවෙනි කොටස

එතකොටත් කුමුදුලාල් පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් එකේ offset මැෂින් මයින්ඩර් කෙනෙකු…..(Helper ලෙස හිටියේ ලෙනෝරාය.)

“නිමල් අයියේ, ඔයාට කරන්න තියෙන්නේ පෝරම ටික ප්‍රින්ට් කරවලා, ගෙදරදී නවාගෙන ගැදර් කර ගන්න....” කුමුදුලාල් යෝජනා කළේය! “එහෙම කළාම සෑහෙන ගණනක් ඉතිරි කර ගන්නත් පුළුවන් වෙයි....”

එතකොටත් කුමුදුලාල් පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් එකේ offset මැෂින් මයින්ඩර් කෙනෙකු විදිහට සේවය කරමින් උන්නේය. Helper වුණේ ලෙනෝරාය.
යුවති කිරිල්ලී පොතේ පෝරමත්, කවරයත් අච්චු ගස්සා ගත්තේ පියසිරියෙන්ය. (මා එහි සේවයට ගියේ ඊට මාස කිහිපයකට පස්සෙය.)

Printing භාෂාවෙන් ‘පෝරම’යක් කියන්නේ ඩිමයි 1/8 සයිස් එකේ පිටු 16ක් මුද්‍රිත කොළයකටය. යුවතියට පිටු 208ක් තිබුණු බව පහුගිය post එකේදී කිව්වෙමි. ඒ title පිටු 8 නැතිවය. ඒ ටිකත් එක්කලා නං, සේරම පිටු 216කි. එහෙම ගණන් බලද්දී පොතේ මුද්‍රණය සම්පූර්ණ වෙන්නේ පෝරම 13 ½ ක් අච්චු ගැස්සෙව්වාමය. 

(කුලියට මුද්‍රණ වැඩ කරවා ගනිද්දී, මුදල් අය කෙරෙන්නේ, impressions ගණනටය. ඉම්ප්‍රෙෂන්ස් 1,000කටය ගණන් බැලෙන්නේ.)

අච්චු කන්තෝරු රස්සාවෙදී හිතවත් වුණු අය විතරක් නොවේ, අරහෙම කුලියට මුද්‍රණය කරවාගත් කොළ නැවීමට සහාය වුණේ. තජකයේ, තලපත්පිටියේ, පමුණුවේ ගොඩාරියක් හිතවතුනුත් ඒ පෝරම තොගය....; පෝරම 13 ½ x 3,000 = 40,500 නැවීමට සහාය දුන්නෝය. අනේ, ඒ උණුසුම් හිතවත්කම....
සල්ලි ඉතිරි කර ගැනීමටත් වඩා අමතක නොමවන විදිහට මගේ හිතට කාවැදී තියෙන්නේ ඒ හිතවත්කම්ය.

නුගේගොඩදී පිපුරුණු LTTE බෝම්බයට හසුවී මෙලොවින් සමු ගත්තේය!

ඒ හිතවතුන්ගෙන් එක්කෙනෙකු ජීවිතයේ තුරුණු අවදියේදීම මෙලොව හැර ගියේ, බිරිඳ චමිලාත් එක්ක අලුත් අවුරුද්දට සාප්පු සවාරියේ ගියාම සිදු වුණු ඛේදවාචකයකිනි!

ප්‍රියන්ත මල්ලී....
ප්‍රියන්ත මල්ලී හිටියේ කොහුවලය.
අමද්‍යප press එකට ඇවිදින්ය, අච්චු කන්තෝරු රස්සාවට අත්පොත් තිබ්බේ. එහෙම ආවේ, ජාතික තරුණ සේවා සභාවේ ‘යෞවන සමාජ’ සාමාජිකයෙකු විදිහටය. ඊළඟට නෙවිල්ලාත් එක්කම සන්නස්ගල මහතාගේ ‘සංහිඳ මුද්‍රණාලයේ’ වැඩ කරමින් හිටින කාලයේ, නුගේගොඩදී පිපුරුණු LTTE බෝම්බයට හසුවී මෙලොවින් සමු ගත්තේය! 

ඔයාට නිවන් සුව අත්වේවා, ප්‍රියන්ත මල්ලී!

කොළ නැවීමට නම් පළපුරුද්ද එච්චර ඕනෑ නැති වුණත්, නැවූ පෝරම ටික පිළිවෙලට එළාගෙන ගැදර් කරන්නට; එක්කාසු කරන්නට නම් පළපුරුද්ද ඕනිමය.
ප්‍රියන්ත මල්ලීත්, විජිත් කුමාරත්, නෙවිලුත්ය ඒ කාරියට අත ගැසුවේ.

මේ තිදෙනාම නිදිගෙ පංච තන්තරේ ලියන 'මේ කොල්ලාගේ' මැනේජර්කම යටතේ, සලඅතසයෙන් මුද්‍රණ කර්මාන්තයට පිවිසුණු අයයි!

ඒ විදිහට කියද්දී හිතුණේ අද කියන්නට වුණේ එතරම් රසවත් කාරණා නොවෙන බවයි. මක් කරන්නයැ? බොරු ලියන්නද? බැරිය.

හැම කතන්දරයකටම එක-එක විදිහේ twist තියෙනවාය. වංගු තියෙනවාය… දහඅට වංගුව වගේ....

හැම කතන්දරයකටම එක-එක විදිහේ twist තියෙනවාය. වංගු තියෙනවාය. හැල-හැප්පිලි තිබුණත්, සමහර ඒවා විතරය රසවත්... සමහරක් හරිම බෝරින්ය. එහෙමය කියලා ඒවා නොලියා ඉන්නත් බැරිය. කරන්නට පුළුවන් හොඳම දේ, ඒවා හැකිතාක් කෙටියෙන් ලියන එක විතරය...; එව්වා අතරට අනුපාන එකතු කරන එකය...; තිත්ත කසායකට මීපැණි- සූකිරි එකතු කරන්නාසේ.....

දැන් කරන්නට යන්නේ එහෙම උප්පරවැට්ටියකි.

අවස්ථාව වෙනස් කොට ඉදිරිපත් කිරීම. පොතේ කතාවට ගිහින්, 13වෙනි පරිච්ඡේදය ඉදිරිපත් කිරීම..........

13

“මොකක්ද අක්කෙ අක්කලාගේ අම්මා රණ්ඩුවක් වුණාය කියන්නේ?”

කිරි ගොට්ටේ තිබුණු සේදූ කොත්තමල්ලි ඇතුල්පතට දමා තුනී කරමින් සිටි මාලතී දෙසට හැරුණු චන්ද්‍රා සිනාසුණාය.

“මං හිතුවා ළිඳේ ගෙම්බි වගේ උඹ ඉතිං ගෙදර අස්සට වෙලා ඉන්න හන්දා හතර වටේම වෙන එව්වා දන්නෙ නැතෙයි කියලා... දැන් බලනකොට උඹත් රොයිටර් වගෙනෙ. කවුද උඹට කිව්වේ....?” මිරිස් කරල් ටික පැදුර පුරා තුනී කළ චන්ද්‍රා දෙඅත් ගසා දැමුවාය.

“හරී නරකයි චන්ද්‍රක්කා! මං ඔව්වා හොයන්ඩ ගිය එකක් නෑ. අපෙ අම්මා අප්පච්චිට ඔහොම වගක් කීවා ඇහුණා. අයියත් හිටිය හන්දා, මං ඉතිං හාරලා අහන්ඩ ගියෙ නෑ!”

මාව වික්‍රමට දෙනවට වැඩිය හොඳ නැද්ද ගලක් බැඳලා බෝගම්බර වැවට දානවා කියලා....

“නෑ බං අර නන්දා..... පේරවත්තේ ගෙදර ඉන්නේ... අර දත් වහල්ලම ඉස්සරහට ඇවිල්ල තියෙන බොල්ලෑවී... ඕකි අපේ අම්මට කිව්වලු මාව වික්‍රමට දෙනවට වැඩිය හොඳ නැද්ද ගලක් බැඳලා බෝගම්බර වැවට දානවා කියලා....”

චන්ද්‍රා කීවේ කෝපයෙනි. මාලතීත් ඇවිස්සුණාය.

“ඒකිට මොනවටද ඕවා?”

“ඒකනෙ බං කියන්නේ.... අපෙ අම්මත් නිකං ඉඳල නෑ. අම්ම ඇහුවලු ඇයි වික්‍රමට මොනවද අඩු කියල...”

“හොඳ වැඩේ! කුසුමාවතී නැන්දා එහෙම කිව්වම නං ඒකිගෙ බොල්ලෑ කට වැහෙන්ඩ ඇති!”

“පිස්සුද බං, උන්ට ලජ්ජ නෑ! ඒ පාර ඒකි කිව්වලු අද කාලේ හමුදාවල ඉන්න ඈයොත් මසට හදන කුකුල්ලු වගෙය... අදද හෙටද දන්නෙ නෑනේ කියලා!”

“ඕකිලගේ කටවල්වලට හෙණ ගහන්ඩ එපායැ අක්කා. ඔවුන් ඔය කියන කතාවලට!”

මාලතී සොහොයුරා ගැන උපන් සෙනෙහසින් දැවුණාය. කිරිගොට්ට අතට ගත් චන්ද්‍රා එහි ඉතිරිව තිබුණු කොත්තමල්ලි ටිකත් වටාපතට හැලුවාය.
“කතාවට ඇවිල්ලා උඹ මේකෙ තව කොත්තමල්ලි ඉතිරිත් කරලා.... කෝ, සූදුරු මාදුරු හෝදන්නෙ නැතිය?”

“එව්වා අපෙ අම්මා ඊයෙම හෝදලා වේළුවා. ඉතිං අක්කා... ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ?”

“මොනව වෙන්ඩද? අපෙ අම්මා ඒ බොන්ඩිට කියල තියෙනවා කණේ ඇඟිලි ගහගන්ඩ. උඹට මතකද මංදා ඒ දවස්වල අර සිල් මෑණිවරු වගයක් රට පුරාම ගියා බෝධි පූජා තිය-තියා... හමුදාවලටයි පොලීසියටයි සෙත් පතනවාය කියලා....”

අමු ප්‍රෝඩාවක්නෙ ඒකත්.... කවුදෝ බඩ වඩාගන්ඩ කරපු මඟුලක්ලු කියලා...

ගමේ පන්සලෙත් එවැනි පින්කමක් පැවැත්වූ බව මාලතීට අමතක නැත. කොළඹින් පැමිණි පිරිසක් පූජාව පැවැත්වූහ. පළාත් සභාවේ මන්ත්‍රීතුමා පූජාව සංවිධානය කර තිබිණි. සංවිධායකයන් විසින්ම කලින් දින රාත්‍රියේ ප්‍රධාන මාර්ගවල බැනර් එල්ලා, සැරසිලි කිරීම කළේ ගම්මුන්ගේ සහාය නොලැබුණු බැවිනි.

“මට මතකයි අක්කා. අමු ප්‍රෝඩාවක්නෙ ඒකත්.... කවුදෝ බඩ වඩාගන්ඩ කරපු මඟුලක්ලු කියලා ඔය ඒ දවස්වල කතාව තිබුණේ!”

“ඔය නන්දාත්, මැම්බරයා හින්දා එදා පිංකමට බැහැලා වැඩ කළා. ඇයි ඒකිගෙ හොර මිනිහනෙ... ලෝකෙට පේන්ඩ හමුදාවට සෙත් පතනවා... ඒත් කසාදියක් කර ගන්ඩ ගියාම හමුදාවේ උන්ට ගෑනු දෙන්ඩ එපා කියනවා!”

“හ්ම්! අද කාලේ හැම එකාම ඔය වගේ තමයි බං. බොරුවයි, රැවටිල්ලයි! අනේ මන්දා, අපේ රටටත් කවදා කලක් යාවිද කියලා.”

චන්ද්‍රාගේ ප්‍රගතිශීලී අදහස් ගැන මාලතීට එතරම් අවබෝධයක් නැත. ඒවායේ හොඳ-නරක ඇයට වැටහුණේත් දෙමාපියන් කළ-කී දේ අනුව පමණි.
“ඉස්සරෝම සමසමාජකාරයොත් ඔහොමයි.... කියවිල්ල විතරයි තිබුණේ. ඊගාවට චේ ගුවෙරකාරයෝ! උනුත් විප්ලවේ කරන්න හැදුවේ රට හදන්නලුනේ. දාස් ගාණක් කොල්ලො කෙල්ලෝ නිස්කාරණේ මළා... එච්චරයි. උන්ට වැඩක් වුණෙත් නෑ. අපිට වැඩක් වුණෙත් නෑ.” විල්මට් කියන්නට පුරුදුව සිටියේය.

කසාදයක් බැඳලා දරුවෙක් මල්ලෙක් හදා ගත්තාම...

“ඔව්වා හරි යයි. කොලු වයස හින්දනේ ඔය. කසාදයක් බැඳලා දරුවෙක් මල්ලෙක් හදා ගත්තාම ඕවා ඇරිලා යාවි.” ඒ සිසිලියානාගේ මතයයි.

********

කිරි අම්මා විල්මට්ගේ නිවසට පැමිණියේ කිසිවකු බලාපොරොත්තු නොවූ වෙලාවකය. ඇගේ ඇඳුම්-කැඩුම් පවා පොදි බැඳ ගෙනවුත් තිබුණෙන් කවුරුත් විමතියට පත් වූහ.

“මොකද වුණේ මල්ලියෙ?”

සිසිලියානාත් විල්මටුත් හේරත්ගෙන් විමසූහ. නිරුත්තරව සිටින සොහොයුරා දෙස බැලූ සිසිලියානා මව වෙතට ගියාය. මාලතීත් වික්‍රමත් මිත්තණියව ගෙට කැඳවාගෙන ආවෝය.

“මොකද මස්සිනේ?” විල්මට් යළිත් ඇසුවේ හෙමින්ය.

“නෑ අයියේ... දන්නෙ නැද්ද ගෑනුන්ගෙ හැටි... මං ඉතිං අපේ උන්දැව සුද්ද කරන්ඩ යන්නෙත් නෑ. උන්දෑ අම්මට මොනවද කිව්වලු.
අම්මටත් හොඳටෝම තරහ ගිහිල්ලා........ ඒකයි එක්කලා ආවේ. රෑය කියලාවත් ඉවසුවේ නෑ. දැන්මම මෙහෙ එන්ඩ ඕනෑය කිව්වා!”

විල්මට් හිස සැලුවේය. සිසිලියානාගේ මව පිළිබඳව ඔහුට සෑහෙන තරමේ අවබෝධයක් ඇත.

හේරත් ආපසු ගියේ තේ කෝප්පයක් පානය කිරීමට පවා නොනැවතෙමිනි. “අර ගෑනි දරුවොත් එක්ක බයේ ගුළි වෙලා ඇති, මම ආපහු එනකල්.... මං ගොහින් එන්නං අක්කා...”

මොකක්ද ඉතින් ඔය වෙලා තියෙන්නේ...

රාත්‍රී ආහාරයෙන් පසු නිවස සංසිඳී තිබිණ. සිසිලියානා සැමියා සමඟ නිදහසේ කතා කිරීමට පැමිණියේ දුම් ගෙයද අතුගා- වසා දැමූ පසුවය. බුලත් විටක් සපමින් සිටි ඈ කල්පනාවකට වැටී සිටියි.

“කෝ බොලාගෙ අම්මා?”

“උන්දෑ නිඳි!”

“මොකක්ද ඉතින් ඔය වෙලා තියෙන්නේ...”

“එදා අපෙ අම්මා මාලතීට ගෙඩි මාලේ දුන්නනේ.... එවෙලෙම මට තේරුණා. රන් මැණිකා නංගිගෙ මූණ කළු වෙලා ගියා... එදා ඉඳලම ඒකි අපෙ අම්මට ඇණුම් පද කියන්ඩ වුණාලු!”

“ඒකත් හරිනෙ බං! බාගෙ වෙලාවට ඒකිත් ඔය කණ-කර බඩු දිහාව ඇහැ ගහගෙන ඉන්ඩ ඇති... ගෑනුනේ!”

“මොකෝ, අපි ඉල්ලලා අර ගත්තයැ? අම්මටම හිතිලා මාලතීට දුන්න මිසක....මොනව වුණත් ඒකිට වටිනවද මේ වයසක මනුස්සයට පාච්චල් කරන්ඩ?” සිසිලියානා කීවේ වේදනාවෙනි.

බීඩියේ අන්තිම උගුරත් ඇද දුම් වළල්ලක් පිට කළ විල්මට් සිනාසුණේය. අඳුර පැතිරී තිබුණු බැවින් සිසිලියානා සැමියාගේ මුහුණේ තිබුණු තෘප්තිමත් සිනහව දුටුවේ නැත.

“එක අතකට ඔහොම වෙලා හරි උඹලගෙ අම්මට මේ වහල යටටම එන්ඩ වෙච්චි එකත් ලොකු දෙයක්....!”

ඒ කතාවෙන් සිතෙහි රිදුමක් ඇති වුවද සිසිලියානා කිසිවක් නොකියා නිහඬ වූවාය. සැමියාගේ සිතෙහි වූ නොමනාපය එකවරම නැති වී නොයන්නක් බව ඈ දනී. ඇය කතාව වෙනතකට යොමු කළාය.

අද සල්ලි තමා ලොකු. අද කාලේ කතරගම දේවාලේ පූජා වට්ටියටත්....

“දූලගෙ අප්පච්චි දන්නවය වැඩක්? එදා මං හේනේ මාමලාගෙ දිහා ගියානේ. වියන් බඳින්ඩයි, පිරුවටවලටයි බර ගණනක් ඉල්ලුවනේ...”

විල්මට් හැරී බැලුවේය.

“උඹල හිතං ඉන්නේ ඒ කාලෙ වගේ ඔය වී මල්ලකට-දෙහෙකට, කැවුම්-කොකිස්වලට උන්දලා ඔව්ව කරනවය කියලද? ඒ කාලෙ ගිහිල්ලා බං! අද සල්ලි තමා ලොකු. අද කාලේ කතරගම දේවාලේ පූජා වට්ටියටත් දාහේ කොළයක් නොතියා මදිලු!”

“මොනවා? දාහේ කොළයක්!” සිසිලියානාට දෙසවන් ඇදහිය නොහැකිය. රුපියල් දාහක් යනු ලොකු මුදලකි.

“අපේ සින්නතම්බි මුදලාලි ගිය සුමානේ කතරගම ගියාලු! උන්නැහේ කිව්වේ, රුපියල් පනහේ- සීයේ කොළ තියපු පූජා වට්ටි දිහා දැන් දෙයියොත් බලන්නෙම නැති ගානයිලු!”

“....අනේ මන්දා! එහෙනං ඉතිං හේනෙ මාමලා ඉල්ලපු ගාණත් වැඩි නෑ මයෙ හිතේ!”

“දැන් ඔහෙටමනෙ ඕනෙ වුණේ ලොකුවට- පරකාසෙට මඟුල් කන්ඩ. බැඳ ගත්තා නම් ඉතිං බෙරේ ගහනවා... ඔව්වා කාට-කාටත් හොඳ පාඩම්!”

********

“ලස්සනයිද දුවේ?”

කුසුමාවතී මාලතීගෙන් විමසුවාය.

චන්ද්‍රා මංගල සාරිය වැඩ දමා අවසාන කොට තිබිණි. පබළු- සිකුවීන්ස් අල්ලා, අලංකාර ලෙස නිමවා තිබුණු සැරසිල්ල දුටු මාලතී හීල්ලුවාය. දියණියගේ දස්කම ගැන කුසුමාවතී සිටියේ අභිමානයෙනි.

චන්ද්‍රක්කා සුරංගනාවියක් වගේ ලස්සනට ඉඳීවි! (මේ මනමාලිය හක්ස්ලිගේ දෝණියන්දෑය. ස්තුතියි හරිනි!!)

“හරී ලස්සනයි නැන්දා. මේක ඇන්දාම චන්ද්‍රක්කා සුරංගනාවියක් වගේ ලස්සනට ඉඳීවි!”

“මං මාලතීගේ මංගල්ලෙට මෙයිට වැඩිය හොඳ සාරියක් හරිගස්සල දෙන්නංකො මගේ ගණනේ!”

“ඔන්න දුවේ, නෑනන්ඩි වෙන්නත් ඉස්සෙල්ලම අක්කා දූට පොරොන්දු වුණා මඟුල් සාරිය හදන්න!” කුසුමාවතී ඉඟි කළාය.

චන්ද්‍රක්කා අතැඟිලි ගනිමින් ගනිමින් සිටින්නේ ඇගේ ජීවිතයේ මිහිරිම; වාසනාවන්තම දිනය එනතුරුය. එහෙත් එවැනි අවස්ථාවක් තමාට කවදාවත් උදාවෙනු ඇත්දැයි මාලතීට සැකය. ධනුෂ්ක පිළිබඳ මතකය අවදි වූයෙන් ඇගේ මුහුණ අඳුරු වී ගියේ ඇයද නොදැනුවත්වය.

“මොකද උඹ හූල්ලන්නේ? නෑ නේද තවම ලියුමක්වත්?”

මව අසලක නොමැති බව සැක හැර දැනගත් චන්ද්‍රා රහසින් මෙන් ඇසුවාය. මාලතී යෙහෙළියගේ අතින් අල්ලා ගත්තේ වාරු නැති එකියක මෙනි.
“මොනවා වුණත් කෙළින් හිටපං! බාගෙට මැරිලා වගේ හිටියයි කියලා මොනවාවත් හරි යනවයැ... දකින අයටත් වගතුව නැතිව යනවා මිසක්.”

“ඕකද මහ ලොකුවට බඩුවක් කියන්ඩ තියෙනවය කිව්වේ...”

“ඉස්සෙල්ලා හිනාවෙයන්.... ආං එහෙම. කෝ බලන්ඩ... ඔහොම නෙවෙයි බං... අර ධනුෂ්ක අප්පො ලියල තිබුණේ එයාව පිස්සු වැටෙනවා කියලා... ආන්න ඒ වගේ බලපං බලන්ඩ... කෝ, කෝ... ඔහොම නෙවෙයි බං....”

මිතුරියෝ දෙදෙනාම කඳුළු මතුවෙනතුරු  සිනා වූහ.
“මොකද ළමයෝ? පාරේ යන මිනිස්සු බලයි උඹලට පිස්සුද කියලා.” කුසුමාවතී ගෙතුළ සිටම කෑගෑවාය. දෙදෙනාම සිනහව නවත්තා ගත්හ.

උඹලගෙ අයියා උඹට මනමාලයෙක්ව හොයලා!

“ඔන්න උඹ කාටවත් කියනවා හෙම නෙවෙයි. උඹලගෙ අයියා උඹට මනමාලයෙක්ව හොයලා!”

“මට?”

“නැතුව මටයැ... මට ඉතිං උඹලගෙ අයියා ඉන්නවානේ... මට මොකටද තවත් කාවවත් හොයන්නේ?”

“අනේ අක්කා....”
“උඹ කලබල නොවී ඉඳිංකො. අපි බලමුකො මොකද වෙන්නේ කියලා.... මොනවා වුණත් මතක තියාගනිං, මාත් උඹට උදව්වට ඉන්නවා කියන එකත්.”

චන්ද්‍රා කීවාය. ඒ හඬ අධිෂ්ඨානශීලී එකකි!

********

මාලතී දුම් ගෙට ඇතුළු වෙත්ම සිසිලියානාත්, වික්‍රමත් නිහඬ වූහ.

තමා මේ වෙලාවේ එහි එතැයි ඔවුන් නොසිතූ බව පැහැදිලිවම පෙනුණි. අම්මාත් අයියාත් තමාට සඟවන්නේ කුමක්ද? සියුම් රිදීමක් හදවත කොනකින් මතු වී එනු දැනී මාලතී වෙවුලා ගියාය. මෙවැනි අත්දැකීමකට මීට පෙර මුහුණ පෑ බවක් මාලතීට මතක නැත.

“අපෙ අම්මා, මං හඳීව බඳින්ඩ යනවා.... එහා දෙණියට.”

අහේතුකව දුම් ගෙට පැමිණි මාලතීට එහි රැඳී සිටින්නට අපහසු වුවද, පිටව යාමටද මඟක් තිබුණේ නැත. එළදෙන බඳින්නට යන මුවාවෙන් ඈ කුස්සියෙන් පිට වූයේ එහෙයිනි.

“කෙල්ලට තේරුණා මොකක් නමුත් රහසක් බව! ඒකිගෙ මූණ කළු වුණා මයෙ පුතේ... අපි එක පාරටම කතාව නැවත්තුවාම. පව්! ඕකිට ඔය ඩිංගත් ඇති අද දවසෙම හොස්ස දික් කරගෙන ඉන්ඩ.”

උඹලා සමඟි සමාදානෙන් ඉන්න එක තමා...

සිසිලියානා හොද්ද ඒදා පසෙකින් තැබුවාය.

“ඒ වුණාට අපෙ අම්මා දැන්මම ඔය වගක් නංගිට කියන්ඩ යන්න ඕනැන්නෙ නෑ. දැන් මිනිහා මෙහෙ එනවනේ... ඇවිත් මොකද කියන්නේ කියලා බලමුකො ඉස්සෙල්ලා...”

“මයෙ පුතාට හොඳ විදිහක්!” සොහොයුරියගේ අනාගතය පිළිබඳ වගකීම ඔහුගේ භාරයට පැවරී ඇතිසේ සිතීම හොඳ ලකුණකි. සිය දරුවන්ගේ එකමුතු බව ගැන සිසිලියානාට සෑහීමට පත් විය හැකිය.

“අපි අද හිටියා. හෙට ඉඳීවිද කවුද දන්නෙ පුතේ... උඹලා සමඟි සමාදානෙන් ඉන්න එක තමා අපිටත් ඕනෑ... උඹටත් ඉතිං වෙන නංගිලා මල්ලිලා ඉන්න එකක්යැ?”
බිලිඳු වියේදීම මියගිය තෙවැනි දරුවා පිළිබඳව සිහි වුවද දැන් සිසිලියානාට ඒ ගැන ඇත්තේ බොඳ වූ මතකයකි.

“ඒක නෙවෙයි අපෙ අම්මා, හෙට මං නුවර යනවා, මගේ සූට් එක බලන්ඩ. අප්පච්චියි, අම්මයි, මාලතීයි තුන් දෙනාමත් එන්ඩ ඕනේ මාත්තෙක්ක නුවර යන්ඩ!” වික්‍රම කීවේය.

“අර මක්කටද පුතේ?”

“මගේ සල්ලිවලින් ගන්න ඒවා තමා, අප්පච්චිලයි අම්මලයි එදාට අඳින්ඩ ඕනෑ ...”

“අනේ පුතේ, ඔය තියෙන ඒවා මදැයි හොඳටෝම...”
“බෑ බෑ බෑ! මේක මගේ සන්තෝසේ....” වික්‍රම බලකොට කියා සිටියේය.

කිරි අම්මා තනිවම නිවසෙහි දමා යා නොහැකි බව සිසිලියානාට සිහිපත් වුණි. “එච්චර නෙවෙයි මයෙ පුතේ. හෙට පන්සලට සලාක දානෙත් අපේ දිහාවෙන් නෙව තියෙන්නේ! තව ඩිංගෙන් මට අමතක වෙනවා. එව්වා මඟාරින්ඩ ඇහැකිය. මයෙ පුතාලා යං, මට නැතුව අප්පච්චිට- නංගිට හෙම ඕනෑ ඒවා අරන් දුන්නම මදැයි මයෙ පුතේ....”

මවත්-පියාත් සමඟින් ඒ තීරණාත්මක නුවර ගමන කෙසේ හෝ යාම වික්‍රමගේ අභිලාෂය.....

මෙතෙක් කලක් අම්මාත් අප්පච්චිත් වික්‍රමගෙන් මුදල්-හදල් හෝ වෙනත් එවැනි උපකාරයක් හෝ ඉල්ලා නැත.

“අම්මලා හැම දේම කර-කර අපේ දියුණුවමයි බැලුවේ. එහෙව් එකේ මේ වගේ වෙලාවකවත් මාත් ආසයි අපෙ අම්මා, මයෙ අතින් අරං දෙන එකක් අම්මයි අප්පච්චියි ඇඳගෙන ඉන්නවා දකින්ඩ!” වික්‍රම කීවේය.

“දුන්නා වගේම තමා මයෙ රත්තරනේ.... සලාක දානේ තියෙද්දී....”

“අම්මා ඔය මඟ අරින්ඩයි හදන්නේ. එහෙනං හෙට උදේම අම්මා දානේ උයලා තියන්න. මං කියන්නම් චන්ද්‍රාටත් මෙහාට ඇවිත් මාලතීත් එක්කලා පන්සලට දානේ ගෙනියන්ඩ. අම්මයි අප්පච්චියි හෙට යං මගෙත් එක්ක.
තව බඩු වගයක් ගන්න චන්ද්‍රාටත් ආපහු නුවර යන්ඩ තියෙනවා. එදාට මාලතීවත් එක්ක යනවා!”

සිසිලියානා කොතෙක් කීවත් වික්‍රම කන් දුන්නේ නැත. මවත්-පියාත් සමඟින් ඒ තීරණාත්මක නුවර ගමන කෙසේ හෝ යාම වික්‍රමගේ අභිලාෂය විය.

14        

“උඹ නම් හරිම වාසනාවන්තියක් බං!”

“ඒ මොකද චන්ද්‍රක්කේ?”

“බලපං, එදා නුවරදී... මාලිගාවේදී, මිලින්ද මහත්තයා හම්බ වුණා! හරියටම අප්පොගෙන් ලියුමක් අරං ඇවිල්ලා තියෙද්දී. අදත් අප්පොගෙන් ආපු ලියුම ගේනකොට අම්මයි, අප්පච්චියි අයියත් එක්ක නුවර ගිහිල්ලා....”

චන්ද්‍රා සඟවාගෙන ආ ලිපිය මාලතී ගත්තේ මුව පුරා හිනැහෙමිනි. මාලතීගේ දෙනෙත් දීප්තිමත්ව දිලෙයි.

‘ධනුෂ්ක අප්පෝ මෙච්චර දවස් ගිහිල්ලා හරි ලියුමක් එව්වනෙ දෙයියනේ!’ මාලතී සිතුවාය.
ඔහු තමා සමීපයේම සිටින්නාසේ ඇයට දැනෙයි. ‘අප්පෝ, ආයෙ කවදද අපිට දිය ඇල්ල ගාවදි දැකල කතාබහ කරන්ඩ වෙන්නේ? තව ටික කාලෙකින් මාලතී කියල එකියක් හිටියද කියලවත් අප්පොට අමතක වෙලා යයි, එංගලන්තෙම ඉන්නකොට....’

හැබැයි කෙල්ලෙ, ඕක නං ලියුමක් නෙවෙයි පොතක්!

මිතුරිය සුසුමක් හෙළනු දුටු චන්ද්‍රා කතා කළාය.

“මොකද බං, ඕකත් අතේ තියාගෙන භාවනා කරනවද? මොකෝ, ඕක කඩල බලන්නෙ නැත... ඊටත් දැන් දානෙ අරන් පන්සලට යන්ඩත් තියෙනවා!”

“නෑ අක්කා. මට සන්තෝසේ වාවන්නෙ නෑ...”

“පේනවා, උඹේ ඉහේ මලක් පිපිල වග! හැබැයි කෙල්ලෙ, ඕක නං ලියුමක් නෙවෙයි පොතක්! අපරාදෙ කියන්ඩ බෑ, ධනුෂ්ක අප්පො ලියුං ලියන්ඩ නං දන්නෙම නෑ වගෙයි! බලපංකො ඕකෙ බර....”

චන්ද්‍රා කියුවේ ඇත්තකි. මාලතී වෙවුලන ඇඟිලි තුඩු අතර වූ ලිපිය දෙස බැලුවාය. එය කියවීමට ඇති ආශාව - කුහුල මැදින්ම කිසියම් අනියත බියක්ද නැඟී එනු ඇයට දැනෙයි. ‘අප්පො මේකෙ මොනවා ලියලා තියෙනව ඇද්ද දෙයියනේ!’

“මේ මාලතී. ඕක බලනවා නං දැන්ම බලපං. නැත්තං හෙම අද හාමුදුරුවන්ට දානේ වළඳන්ඩ වෙන්නේ හැන්දෑවට තමයි...”

මාලතී එක හිත් හිතා ගත්තාය. “අපි පන්සලට ගිහින් ඇවිල්ලා මේක කියෝමු අක්කා... මට බයයි. මේක කියවලා ඉවර වෙලා, මට පන්සලට යන්ඩවත් හිත නොදුන්නොත්....”

“අනේ, අනේ. ඔච්චර ළාමක වෙලා බැහැ බං....

12 comments:

  1. බෝධි පූජ ගැන කතාව දුටුවාම
    ලේඛකයා චන්ද්‍රක්කට වැහිලාම
    ලියුං පොතේ විස්තර ටික කියවීම
    වෙනතුරු අපට නෑ නින්දක් සතියටම

    ReplyDelete
  2. අද මං එක වෙලා ඇත්තේ කුමක් වැනි
    අපායට ගියත් පළමුව ගියා වැනී
    ඒක දකින අසංගගෙ කට කුමක් වැනී
    ඩෝසරේට අහුවුනු කජු ලෙල්ල වැනී

    ReplyDelete
    Replies
    1. එක වුණත් ඩ්රැකී චුට්ටක් බලාගෙන
      බඩෝවිටත් හොල්ලයි අපේ මහත්තැන
      හිටියත් පූස් තාලෙන් සිනහා පාන
      චීනඩිකාරයෙකි මිනිහා දැනගන්න

      Delete
  3. //ඒ විදිහට කියද්දී හිතුණේ අද කියන්නට වුණේ එතරම් රසවත් කාරණා නොවෙන බවයි. මක් කරන්නයැ? බොරු ලියන්නද? බැරිය.//

    ඇත්තටම කියනවා නම් මම මුද්‍රණ ශිල්පය සහ පොත් බැඳීම ගැන කියැවෙන තාක්ෂණික කරුණු ඉතාම කැමැත්තෙන් කියවනවා. කොළ අතින් නවන්න උනේ ඔය ප්‍රෙස් එකේ ෆෝල්ඩිං මැෂිමක් තිබුනේ නැද්ද??

    ReplyDelete
    Replies
    1. තිබුණා සෑම් මහත්තයෝ. නමුත් ඩිමයි කොළ නවන විට නාස්තිය වැඩියි. ඒත් අපි එහෙම අතින්ම පෝරම නවා ගත්තේ වියදම අඩු කරගන්නයි.

      ඒ වගේම kumudu, නෙවිල්, විජිත්, ප්‍රියන්ත මල්ලී හා මං කට්ටියටම හොඳ වේගයකින් කොළ නවන්නටත්, ලූස් කරන්නටත්, ගැදර් කරන්නටත් පුහුණුව තිබ්බා.

      Delete
  4. ඩිමයි එකක් 8 කට කැපුවාම ඒ4 සයිස් එකට කිට්ටු කොලයක් එන්නෙ. එතකොට මෙතන ඩිමයි 1/8 ක් කියන්නෙ ඒකෙනුත් බාගයක් නේද? එතකොට ඒක 1/8 ක් උනේ කොහොමද.

    ReplyDelete
    Replies
    1. බෝලය උස්සලා dash පාරක් ගහන්න චාන්ස් එකක් හදලා දුන්නට බොහොම ස්තුතියි, ප්‍රසන්න මහත්තයෝ.

      ඔයා හරි. ඩිමයි කොලයක් අටකට කැපුවාම එන්නෙ A4 එකකට කිට්ටු size කොලයක් තමයි. මොකද ඩිමයි කොලයක් කිව්වාට ඒක සාමාන්‍යයෙන් එන්නෙම double ඩිමයි සයිස් එකට නිසා.

      ඩිමයි කොළය දෙකට නැවුවාම තමයි හරිම - ඩිමයි සයිස් එක.
      මට අමතක නැහැ, තමුන්නාන්සේත් ප්‍රින්ටින්කාර සහෘදයෙක් වග!

      Delete
  5. 'බොරුවයි, රැවටිල්ලයි! අනේ මන්දා, අපේ රටටත් කවදා කලක් යාවිද කියලා': crystal ball එක ඉස්සරහ ඉඳගෙන වගේ නිමල් ලියලා තියෙන්නෙ. දැන් කාලෙ ලිව්වා නම් 'කිරි මුට්ටිය ගඟේ ගියා', 'පියුමෙහි පැනි බොති වන බඹරූ' වගේ ලොමු දැහැ ගැන්වෙන ජවනිකා ගැනත් ලියන්න තිබුනා.

    'මට නැතුව අප්පච්චිට- නංගිට හෙම ඕනෑ ඒවා අරන් දුන්නම මදැයි': කවුරුහරි අපිට යමක් දෙනකොට එය සතුටින් හා respectfully ගන්න දක්ශකම අපි හුඟ දෙනෙකුට නැහැ. සුදු ජාතික හාමුදුරු කෙනෙක් දවසක් කිව්වා generosity කියන එකට giving සහ gracefully receiving යන දෙකම අයිතියි කියලා.

    අර වටාපත කිව්වෙ ඒ වගේ වට්ටියකටද.

    ReplyDelete
    Replies
    1. Lotus, ඔයාට කොහොම ස්තුති කරන්නද? අවුරුදු 26කට පස්සේ හරි යුවති කිරිල්ලී පොතේ තිබුණු වැරැද්දක් ඔයා අල්ලා ගත්තානේ. මේ වතාවේ බ්ලොගයට අකුරු කොටද්දීවත් මට ඕක අහු වුණේ නෑ.

      වටාපත කියන්නේ වට්ටියකට නෙවෙයි, පවන් සලන අත්තකට හෝ ස්වාමීන් වහන්සේලා අතේ තිබෙන විජිනි පත වැනි දෙයටනේ.

      පොත ලියද්දී මං වලිගය පාගාගෙන. ඔන්න ලෝටස්, ඔයාට ස්තුතිවන්ත වෙමින් 'වටාපත' වෙනුවට 'ඇතුල්පත' කියල හරි ගස්සනවා.
      ඔහොම හමයි කියවන්නට ඕනි. ඉසියුම් දේ පවා සිතට ගනිමින්!

      Delete
    2. ඔබේ ස්තුතිය ඉතාම සතුටින් පිලිගන්නවා, නිමල්.

      Delete
  6. //කසාදයක් බැඳලා දරුවෙක් මල්ලෙක් හදා ගත්තාම...//
    චිත්‍රයේ වගේ අවුල් ගොඩයිනෙ?

    ReplyDelete
    Replies
    1. අවුල් නේන්නං Pra Jay මහත්තයෝ. සමහර අවුල් සොඳුරුයි, සමහරක් අඳුරුයි.... ඒකනෙ ලෝකේ හැටි!

      Delete