අකුරු මැකී නෑ

Thursday, January 21, 2021

පතාගෙන ඇවිත්... -දහවෙනි කොටස

ටිකක් වැඩියෙන් හම රතුපාට වුණා විතරයි....

ලස්සනයි නේන්නං. සාදර අනුග්‍රහය: දොස්තර අයස්මන්ත පීරිස්ගෙන්! හැබැයි, පොරගෙ ඔරොත්තු දීමේ හැකියාවත් ඉතා ඉහළයි! ඒවා ගාලා විනාඩි 20ක් විතර තිබිලත් ඇලර්ජික් වුණේ නෑ. විනාඩි 5න් හෝදන්න ඕනි හරි නම්. ටිකක් වැඩියෙන් හම රතුපාට වුණා විතරයි. නිමල් අයියට හොඳම හරිය miss වුණත් එක්ක.

Wash Room එකේ ෂවර් එකට ඇල්ලුවා විතරයි, බස-බස ගාලා මේ බුවාගෙ පපුවේ මයිල් සේරම ගැලවිලා හැලුණනෙ! 

ඉත්තිං.... මම හූමිටි තිබ්බෙමි.

“තමුසෙත් පන්දම අල්ලනවා! මෙහෙම කොහොමද යකෝ මං කමිසයක්වත් අඳින්නේ නැතිව එළියකට බහින්නේ? හම ගහපු කුකුළා වගේ!”

“ඒකත් ඇත්ත පීරිස්! මේ මනුස්සයගෙ පපුව තනිකරම රෝස පාටයිනේ!”

“නිමල් අයිය දකින්නයි තිබ්බේ. Test එකට ගියාම කාර්ඩියෝලොජි ඩොක්ටර් අත නළලේ ගහ ගත්තා.... නර්ස් හිනා වුණේ අතෙන් කට වහගෙන...
-සර්, තැන් හතරයිනේ ෂේව් කරන්න ඕනි....-
කියලත් කිව්වා.... -නෑ, නෑ, මෙයාට ඕනි වුණා පපුවේ මයිල් ගාලා බලන්න- කියලා කියන්නත් හදලා, මම සද්දෙ වහගෙන හිටියා... මේ බුරුසුවා මට රවපු රැවිල්ල දැක්කම.”

මීට පස්සේ මට මොකුත් කළොත් කුඩු වෙන්නම ගහනවා....

“රවලා නිකං ඉන්නෙ නෑ xකෝරිස් ඊළඟ සැරේ. ඔන්න හිතේ තියා ගනිං. මීට පස්සේ මට මොකුත් කළොත් කුඩු වෙන්නම ගහනවා...., ඔව්වා බලාගෙන ඉන්න මේං මේකටත් උණ ගැනෙන්නම...”

මේ විස්තර කියවන රසිකයන්ගෙන් දෙතුන්-දෙනෙක්ම ඇසුවේ ඇත්තටම නෙවිල් ඔච්චරටම ඉවසනවද කියලාය.
අවුරුදු 35ක් තිස්සෙම, ඇසුරු කරලාත් මේ මනුස්සයාට තරහ ගිය දවසක් මං නම් දැකලා නැතිය!

ඒ ඉවසිලිවන්තකම අපේ පවුලේ සේරමලත් මනාව තේරුම් ගෙන සිටිති.

නිමල් දිසානායකගේ සියලුම සහෝදර-සහෝදරියන් හා නෑනලා-මස්සිනාලා විතරක් නොවේ; ඔවුන්ගේ දූ-දරුවන් පවා මටත් වැඩියෙන් නෙවිල්ට සමීප බවක් දක්වන්නේ ඒ හින්දාම විය යුතුය.
ඒ විතරක් නොවේ, අපේ අම්මාත් නෙවිල් පුතාට, මර්වින් පුතාට හා ඉන්දිරා දුවට හරිම කැමැතිය.
(ඒ වෙන මොකවත් නිසා නොවේ. ඒ තිදෙනාම අපේ අම්මාගේ කතා කෝච්චියට දිගු වෙලාවක් බෙල්ල දීගෙන ඉන්න හින්දාය.)

මගේ මස්සිනාලාගේ ‘නෙවිල්’ව ඇගයීමේ එක අවස්ථාවක් මෙතනට ඔබනවාට, නිදිගෙ පංච තන්තරේ කියවන දයාබර  රසික ඔබේ විරෝධයක් නැහැ නේද?

“මාත් දහයක් හදනවා!” කියලාය දීපානි වැඩ ඇල්ලුවේ.

මගේ පුංචි මස්සිනා.... දීපානි නංගිගේ හබියා; සුදිත් සිල්වා. එයාලා පවුල පිටින්ම ඉන්නේ එංගලන්තයේය.

කලිනුත් කියලා ඇති විදිහටම, අපේ පවුල් දෙකේම දරුවන් දහ දෙනා බැගින් ඉන්නවෝය.
“මාත් දහයක් හදනවා!” කියලාය
දීපානි වැඩ ඇල්ලුවේ. 

සමන්ති නංගී, මානෙල් නංගී විතරක් නොවේ ‘හිතලා බලපං’ කියා අවවාද කළේ.මාත්! ඒත් එයාලා හිතුවද නැද්ද කියන එක නම් අපි විමසන්නට නොගියෙමු. මානව හිමිකමක් නෙව?

එහෙත්, රට ජාතිය බේරාගන්නට නොරට ඉන්නා සිංහල දරුවන්ට බැරියැයි කියා හිතිලද කොහෙද ඉලක්කයෙන් බාගයක් සපිරුණාම චූටි නංගිගේ mission එක නැවතුණේය.
ඒ වෙද්දීත් එයාලගේ ගෙදර පුංචි ළමා නිවාසයක් වගේ වෙලාය.
එහි ලොකුම අතුරු ප්‍රතිඵලය වුණේ ඒ පවුලට නිතර ලංකාවට එන්නට ඉඩක් නොලැබීමයි.
ටිකට් හතක් ගන්න ඕනිනේ.
නිතරම එච්චර වියදමක් දැරියෑකි මොන අප්පුච්චාටද?
ඉතිං, එයාලා ලංකාවට ඇවිත් යන්නට එන්නේ අඩුවෙනි.

එහෙම පැමිණි වතාවක, අපි දඹුල්ලේ කණ්ඩලම වැව ඉස්මත්තේ ‘ගලපොතුයාය’ නිකේතනයට සංචාරයක ගියෙමු.

හැන්දෑවේ මධු සාදය ඇරඹිණි.

අපි දඹුල්ලේ කණ්ඩලම වැව ඉස්මත්තේ ‘ගලපොතුයාය’ නිකේතනයට සංචාරයක....

ගොඩ දෙනෙක් හිටියෙත් නැතිය. ගීත සයුරත් රල නඟන්නට පටන් ගත්තේය. එකක් ඉවර කරන්නටවත් ඉඩක් ලැබෙන්නේ නැත.

“නෙවිල්... මේකත් කියමු!” සුදිත් කියයි.
එයාටම හරි යන්නට මර්විනුත්, සංජීවත් සිටියෝය.
“මේක නෙවිල් අංකල්!”
සංජීවත් සිංදු මතක් කරන්නට පටන් ගෙනය.   

“Xකෝරිස්, ඔය මතක් කළා ඇති යකෝ!”
නෙවිල් සංජීවගේ ඇඟටත් ගොඩ වුණේය.

සංජීවත් අමද්‍යපිකයෙකු වුණත් ගීතවලට ඇළුම් කරන්නෙකු වුණු නිසාවෙන් නෙවිල්ට කන් දුන්නේ නැත; දිගටම අසන්නන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කළේය.

රෑට කෑම කන්නටවත් නිදහසක් අපට ලැබුණේ නැත. ඒ තියා හුස්මක් ගන්නටවත්.....
“හලෝ... මොන මඟුලක් හරි කරලා, නවත්ත ගන්නවකො තමුසෙගෙ පොඩි මස්සිනාව... බලනවා! කොංගෝ එක ගහලම මගේ අතේ දිය පට්ටත් ඇවිත්...”
නෙවිල් අත්ල පිරිමදිමින් කෙඳිරුවේය.

“ඔයා toilet එකට යන්න ඕනිය කියන්න....” ඒ මගේ ක්ෂණික උපදේශයයි.

“Xකෝරිස්, ඔය මතක් කළා ඇති යකෝ!” නෙවිල් සංජීවගෙත් ඇඟට ගොඩ වුණේය....

මොන? නෙවිල් අනුරසිරි මහත්තයා wash rooms පේළියට යද්දී සුදිතුත්, මොන-මොනවාදෝ සිංදු වගයක් මතක් කරමින් නෙවිල්ගේ පස්සෙන් වැටුණේය. නෙවිල් ආපහු එනතුරුම මනුස්සයා දොර ළඟ මුර කරගෙනත් හිටියේය.

ඒ මදිවාට සංජීවත් තව සිංදු වගයක් මුමුණමිනි. අන්තිමේදී.....

‘බයිට් එක හරි ගියේ නෑ වගේ... මගේ බඩ හරි නෑ!’යි තඩි බොරුවකුත් කියලා, දෙවෙනි වතාවටත් ඒ නිදහස් ස්ථානයට වැදිලා, පැය බාගයක් විතර නිඳා වැටෙමිනුත් ඉඳලාය, නෙවිල් එදා ‘ගලපොතුයාය භීෂණයෙන්’ බේරුණේ!

එහෙම වෙන්නේ නෙවිල්ගේ ඉවසීමේ ගුණයත්, කිසිවෙකුගේ හිත රිදවන්නට අකැමති ගුණයත් නිසාම විය යුතුය.
“ලොකාටත් ඇයි නෙවිල් අයිය වගේ ඉවසන්න බැරි?” අපේ පවුලේ උදවියගෙන්ම, දෙතුන් වතාවකට වඩා මට යොමුවී තිබෙන ප්‍රශ්නයකි; ඒ.

“ඒ එයා. මේ මම... මාත් මොකටද එයා වගේ වෙන්නේ?” මගේ තර්කය ඒකය. හැබැයි, ඇත්තම කියනවා නම්, මේ හාදයා නිසා මාත් 5%ක් විතර; චූට්ටක් විතර ඉවසන්නට- එකවර කලබල නොවන්නට- පුහුණු වෙලා වගෙය.
ඒත්, කොච්චර සිල් ගත්තත් මං උවමනා වෙලාවට තවමත් මගේ පෙණය පිප්පිල්ලත් කරනවා කරනවාමය!

හොඳට හෝ නරකට හෝ කෙනෙකුට තම-තමන්ගේම කියා අනන්‍යතාවක් තිබිය යුතු යැයි... 

නමුදු බොහෝ දෙනෙකු ප්‍රිය කරන්නේ මගෙන් ඒ ටිකත් නොකෙරෙන එකටය. එව්වා නං සුම්මා!!
හොඳට හෝ නරකට හෝ කෙනෙකුට තම-තමන්ගේම කියා අනන්‍යතාවක් තිබිය යුතු යැයි මම අදහමි.

අනෙක් අතට, ඇසුරු කරන මිතුරන්ගේ චර්යාවන් අධ්‍යයනයත් මා’තින් කෙරෙන බැවින් මට තේරුම් ගොස් ඇති දෙයකුත් කිව යුතුය.
බොහෝ දෙනෙකු අනුනට විහිළු කිරීමට; මිතුරන්ව බයිට් එකට ගැනීමට කැමැතිය. සමහර විට හිංසාවක් තරමටම බරපතළව... එහෙත් තමන්ට කෙරෙන පුංචිම විහිළුවක්වත් දරා ගැනීමෙහිලා ඔවුන් අසමත්ය. ‘අත්තානං උපමං කත්වා’ - තමන් උපමා කොට සිතා බලන්නේ නැත්තේ ඇයි? තමන්ට කෙරෙනවාට නොරිසි දෙයක් අනුනට කරන්නේ ඇයි?

එහෙම හිතන්නට බැරිකමද තියෙන්නේ? නැතිනම් එතරම් බුද්ධියක් නැතිකමද...

හුඟක් අයට හිතන්නට උවමනා නැත. නෙවිල්ටත් එහෙමය. එයාගේ හොඳ ගතිගුණ ගොඩක් ‘දුර්වලතා ලෙස’ මට පෙනෙන්නේ ඒ නිසාය. ප්‍රායෝගික බවෙන් අඩු වීම.....
මේ යස්ස පැටියාට ප්‍රායෝගික බුද්ධියක් නැතිද? මට එහෙම හිතෙන්නේ... හේතු රහිතවම නොවේ!

කොරෝනා දවස්වල අපේ අයස්මන්ත දොස්තර මහත්තයා අපට අවශ්‍ය කෑම-බීම ද්‍රව්‍ය පවා ගෙනවුත් දෙන්නට තරම් කාරුණික වුණේය. ඒ මහත්තයා වෛද්‍යවරයෙකු බැවින් එයාට සංචරණ සීමා තිබ්බේ නැතිය. වතාවක් අයස්මන්ත මහත්තයා හම්බන්තොටින් ගෙනවුත් දුන් එළවලු අතර, මා නම නොදන්නා අල වර්ගයක්ද තිබිණි.

කොරෝනා දවස්වල අපේ අයස්මන්ත දොස්තර මහත්තයා අපට අවශ්‍ය....

එදාම වැටහුණේ ඒවා ඉතා රසවත් බවයි.

‘පැලයක් දෙකක් බෝ කරගන්න වටිනවා!’ මට හිතුණේය. අල කිහිපයක් කැබලිවලට කපා ඒවා, කුඩා කිරි ඇතිළිවල තවාන් කළේ ඒ හින්දාමය.

අල කෑලිවලින් කුඩා මොටෙයියන් මතු වුණේය. කිහිපයක් බිමින් හිටවූ මම, එක කිරි ඇතිළියක්  එහි වූ පැල ටිකත් එක්කම නෙවිල්ට දුන්නෙමි.
“මට මොකටද?”

“මොකටද අහන්නේ? මේ අර එදා තමුසෙලත් ගොඩක් රසයි කියපු අල... හිටවලා බැලුවා. ඔයාලගෙත් වත්තේ ඉඩ තියෙන්නේ.... ගිහින් හිටවන්නයි තියෙන්නේ....”

සති කිහිපයකට පස්සේය, මට මේ හාදයාගෙන් ඒ ගැන අහන්නට මතක් වුණේ.

“පැල ටික තියෙනවා, ඇතිළියේ..”

“ඇයි වහන්සේ, කිරි ඇතිළියක අල ගස් හදන්න පුළුවනිද? අල බහින්නේ කොහෙටද?”
‘එහෙමද?’ කියලා එවෙලේම මිනිහාට කියවුණත්, තවම අර අල පැල ටික කිරි හට්ටියේමලු!
WAL Constructions එකේ ගොඩනැඟිලි ඉදිකිරීම්වලදී, ඒවා අධීක්ෂණය කළාට මොකද- මේ යක්ෂ පැටියාට මැටි ඇතිළියක ‘අල’ ගහකට හැදෙන්නට බැරි විත්තිය තේරුම් ගිහින් නැතිය.

මට නම් මතු වෙලා පේන්නෙ තමන්ගෙ අම්මව ඉතාම ආදරයෙන් බලාගන්න පුතෙක් ගැන heartfelt කතාව....

මට එහෙම දේවල් වැඩියෙන් පෙනෙනවාවත්ද?

මං වහන්සේ වැඩියෙන් පිළිගන්නේ වචනයෙන් කියන දේවල් නොවේ. කෙරෙන දේවල්ය. ඉතා සුළු දේවල් පවා නිරීක්ෂණය කරමින්, නිගමනවලට බහින්නටය මා පුරුදුවී ඉන්නේ.

දැනටමත් හිතවත් Pra Jay මහත්තයා ‘නෙවිල්තන්ත්‍රය’ කියලා නම්කොට ඇති මේ පෝස්ටු කිහිපයේ, 9 වැන්න කියවූ Lotus රසිකාවියත් මගේ පලේම කෙනෙකු කියලාය මට හිතුණේ.
ඇයගේ කමෙන්ටුව දුටුවාමය.

'නෙවිල් ගැන නිමල් මේ ලියන පෝස්ට්ස් හරිම entertaining.
නමුත් ඒ අතරින් මට නම් මතු වෙලා පේන්නෙ තමන්ගෙ අම්මව ඉතාම ආදරයෙන් බලාගන්න පුතෙක් ගැන heartfelt කතාව.
අපේ ලොක් ඩව්න් කාලෙ එක ටීවි චැනල් එකක පෙන්නුවා ඩිමෙන්ෂියා තත්වෙ ඉන්න තමන්ගෙ අම්මව ඔය විදිහට බලාගන්න ඇයගෙ පුතා
, ලේලි සහ පවුලේ පිරිස.

-ඒ පුතා එක තැනක කියනව 'ඒ හැසිරීම අපේ අම්ම නෙවෙයි- ඒ ඇයගෙ රෝග තත්වය, නමුත් එතන කොහෙ හරි තැනක අපේ අම්ම ඉන්නව' (It's not her, it's the disease, but she is there somewhere in it) කියලා.

-ඒ වගේ දුවලා පුතාල (නෙවිලුත් ඇතුලු) මේ ලෝකයේ unsung heroes.’

හිටි ගමන් දවසක මහ රෑ ජාමෙට....

ඒ ප්‍රතිචාරය කියවද්දී මගේ ඇස් කඳුළෙන් පිරිණි. 

ඒ ගැන විග්‍රහයක් ඕනෑ නැත.
නමුදු එතරම් සංවේදී වෙන මේ ලියන අසත්පුරුෂයාට, (ලෝකයේ හැටි දැක-දැකත්) තමන්ගේම අම්මා ගැන දැනට වඩා සංවේදී වෙන්නට බැරිද?

අපේ අම්මාටත් ටික වෙන්නට ‘අමතක වීමේ රෝගය’ තිබෙයි!

හිටි ගමන් දවසක මහ රෑ ජාමෙට මගේ දුරකථනය බෑඟිරි දෙයි.... සමහරවිටෙක රාත්‍රී දොළහට විතර.... මං ඇඳෙන් බහින්නේ යකා ආරූඪ කරගෙනය. එංගලන්තයේ සිට කතා කරන්නේ අපේ අම්මාය.
හුඟක් වෙලාවට කතාව පටන් ගන්නෙම එකම විදිහකටය. “Good Morning
රංජි පුතේඒඒඒඒ..” හරි “ගුඩ් මෝනින් ලොකු පුතේඒඒඒඒ....” හරි කියමිනි. ඒ එක්කම ඊළඟ තැටිය වාදනය වෙයි. 

“මට වැරදුණා.... දැන් ඔහෙට නං උදේ නෙවෙයි නේද? කීයද වෙලාව?”

කේන්තිය නොපෙන්නා මම වෙලාව කියන්නෙමි. “ඉතිං මගේ පුතේ... ඔයා සනීපෙන් නේද?” අම්මා අහයි!

මට කට වහගෙන ඉන්නට බැරිව යන්නේ එතකොටය. “ඇයි අම්මේ, අම්මා අද දවලුත් ටෙලිෆෝන් කරලා මගෙන් කොහොමද ඇහුවේ!” හැකිතාක් ඉවසාගෙන කිව්වත් මගේ නොරිස්සීම අම්මාටත් දැනිලා වගෙය.

“අනේ රංජි, sorry, sorry. මගෙත් ඔළුව ගිහින් වගේ ලොකු පුතේ.... නෙවිල්ල අම්මට වගේ.... කොහොමද දැන් එයාට.....”

මේ සංසාරයේ හැටිද? මට කල්පනා වෙන්නේ ඒ ටිකය.....

ඒ අස්සෙම; ඒ ජාමේදීම අපේ අම්මාට අලුත් මී මුණුබුරු-මිණිබිරියන්වත් මතක් වෙයි. “අනේ රංජි පුතේඒඒඒඒ.... මේ කොරෝනා නැත්තං මම මෙලහකටත් ඉගිල්ලිලා හරි ලංකාවට ඇවිත්... අලුතින් ඉපදිච්ච තුන් දෙනෙක්ම ඉන්නවනේ බලන්න....”

මේ සංසාරයේ හැටිද? මට කල්පනා වෙන්නේ ඒ ටිකය.
මෙහෙම හිතන්නට ගියාම කවදාවත් ගැලවීමක්, සැනසීමක් ලබා ගන්නට පුළුවනිද. ඔහොම වෙලාවට මං ටිකාක් හරි ඉවසාගෙන ඉන්නේ ‘නෙවිල් ඉවසන ඉවසිල්ල’ මතක් කර ගෙනය.

“වෙලාවකට නං කරදරයක් තමයි හලෝ! ඒත් මොනව කරන්නද?” බලෙන්ම වගේ, නෙවිල්ව කම්පියුටරය ළඟට කැන්දාගෙන Lotusගේ කමෙන්ටුව පෙන්නුවාම නෙවිල් කිව්වේය.

“ඇත්තටම ඒ ඉන්නෙ අපේ අම්මා නෙවෙයි... වෙලාවකට විතරක් එයා ඉන්නවා.... පෙරේදා මහ රෑ දහයට විතර මේ මනුස්සයා උඩ තට්ටුවට නැඟගෙන එනවා, කෙසෙල් ගෙඩියක බාගයක් දික් කරගෙන... එයා බාගයක් කාලා... -චූටි, උඹ කෙසෙල් ගෙඩියක් කෑවේ නැහැනෙ- කියාගෙන... බනින්නද...”

උපුල් සාන්ත සන්නස්ගල මහතාගේ ‘සංහිඳ මුද්‍රණාලයේ’ කළමනාකාර තනතුරෙන් ඉවත් වුණාම, නෙවිල් රස්සාවට ගියේ- අපේ සුමිතුරු වල් ප්‍රියන්ත අලුතින් පටන් ගත් ‘Photo Friends’ ආයතනයටය.
බැනලා විතරක් නෙවෙයි, ගහන්නත් වටිනා තරමේ දෙයක් එතැනදී කෙරිලාත්-  මේ හාදයා ඉවසලා තිබුණේය!

2005 දී ෆොටෝ ෆ්රෙන්ඩ්ස් කාර්ය මණ්ඩලයේ...

“අනේ නිමල් අයියේ... ලොකු කරදරයක් වෙලාලු නේද?”

අවුරුදු කීපයකට කලින් දවසක, පාන්දරින්ම කුණු මලු පාර කොණෙන් තියන්නට ගිය දේවිකා නංගීත්, ඇයගේ නෑනා ශාන්තිත් අපේ ගේට්ටුව ළඟ නැවතී විස්සෝපයෙන් ඇසුවෝය.    

“කරදරයක්?” මම පුදුමයෙන් ඇසුවෙමි. ඒ දෙන්නාගේම ඇස්වල කඳුළුය.

“ඔයා දන්නෙත් නැද්ද? නෙවිල් අයිය....”
ඒ දෙන්නා කියූ විදිහට, හෙට්ටිආරච්චිගේ නෙවිල් අනුරසිරි පෙරේරා මහතාගේ මරණ දැන්වීම් පත්‍රිකා කිහිපයක් අපේ පාරේ තාප්පවලත් අලවලාය. “වෙන්න බෑ. එහෙම දෙයක් නං මෙච්චර වෙලා මටත් ආරංචි නොවී තියෙන්න බෑ...” මට කියැවිණි.

“නෙවිල් අයියගේ foto එකත් තියෙනවනේ!”

කියාගෙනම අර දෙන්නා හනි-හනික ගිහින්,  මට පෙන්වන්නට මරණ දැන්වීම් කිහිපය ගලවාගෙන ආවෝහ.

ඒ අතරේ කැලෑ බේකරියේ දයානන්ද මුදලාලි මහත්තයා මට ටෙලිෆෝනයෙන් කතා කළේය.

“අන්න නිමල් අයියේ.... අර xත්තට හොඳ වැඩක් කරලා... xරියගෙ මරණ කොළයක් ගහලා මෙහෙත් අලවලා... ඕකට හොඳ වැඩේ. හැමෝටම ලණු දිදී ඉන්න එකට..... මට අද කඩේ බඩු විකුණගන්නත් නෑ. මිනිස්සු අහන ඒවාට උත්තර දෙනවා මිස... කඩේට එන-එන මනුස්සයා අහන්නේ නෙවිලා මැරුණේ මොනවා වෙලාද කියලයි.”

පොරව ගලේ ගැහුවත් මැරෙන එකක් නෑ.....

බ්ලොගය ලියන්නට පටන් ගන්නා තෙක්මත් ඒ මරණ දැන්වීමක් මගේ ලටපට අතර තිබිණි.

මෙව්වා ලියැවේවි කියල තුන් හිතකවත් තිබුණු එකක්යැ. “නෙවිල්, අර ඔයාට දුන්නු ඔයාගෙ මරණ කොළේ කෝ?” ඒ පත්‍රිකාව මටත් වඩා සිහිවටනයක් සේ වටින්නේ නෙවිල්ට නිසාය, මා එය ඔහුට දී තිබුණේ.

“තමුසෙට පිස්සු තිබ්බට මට නෑ හලෝ. මං ඒවා ඔක්කොම පුච්චලා දැම්මා.”

Photo Friends ආයතනයේදී හැමෝටම ලණු දෙමින් හිටි මේ හාදයාට, පෙරළා කෘතගුණ දක්වන්නටය එහි සගයන් එක්ව- ඒ මරණ දැන්වීම් ව්‍යාපෘතිය දියත් කොට තිබ්බේ.

“එක-එක style එකට හරි ගැස්සුව මරණ දැන්වීම් තුනහතරක් අපි කම්පියුටරේම තියාගෙන ඉන්නවා. මරණයක් වෙලා පොසිට්ව් එකක් ගන්න එන අයට ඒවයින් එකක් තෝරා ගන්න ලේසි වෙන්න. Lab එකේ කට්ටිය මගේ foto එකක් එයින් එකකට දාලා, print out එකක් අරගෙන foto copy කරවා ගන්න ඇති...” පසුව විස්තර අහද්දී නෙවිල් අනුමාන කළේ එහෙමය.

“පොරව ගලේ ගැහුවත් මැරෙන එකක් නෑ, නිමල් අයියෙ...” දයානන්ද මුදලාලි කීවේය. “සේරම වස්-දොස් යන්න ඇති.... මැරෙන්නෙ නැතිවම මරණ දැන්වීම් ගම පුරාමත් ඇලෙව්ව හින්දා.....”

ඒ අතින් බලද්දී නෙවිල් එක වතාවක් ප්‍රසිද්ධියේ මියගිය පුද්ගලයෙකි!

රටේ-ලෝකේ තව කොච්චර අයට කොච්චර දේවල් සිද්ද වෙනවා ඇද්ද?

ඇත්තටම මේ වගේ දේවල් සිදු වෙන්නේ මගේ විශ්වය ඇතුළේ විතරයිද?

මා ඉපදී ඉන්නේ මේවා වාර්තාකොට තැබීම සඳහාමද?
රටේ-ලෝකේ තව කොච්චර අයට කොච්චර දේවල් සිද්ද වෙනවා ඇද්ද? එහෙත් එහෙම දේවල් ගැන ලියවෙන්නේ- ප්‍රසිද්ධියේ හෙළිදරව් කෙරෙන්නේ අඩුවෙනි. පුරසාරම් දොඩන්නට කැමති මිනිස්සු; පම්පෝරි ගහන්නට කැමති මිනිස්සු; තමන්ගේ හොරණෑව තමන් විසින්ම පිඹගන්නා මිනිස්සු සිය දුර්වලතා ගැන වචනයක් හෝ කියන්නට අසතුටුය!

තමන්ටම සිනා වෙන්නට අකැමැතිය!

මට හිතෙන්නේ තමන්ටම සිනාසී ගන්නටත්, අනුන් කරන විහිළු-තහළු ඉවසා දරා ගන්නටත් හැක්කේ මනා පෞරුෂයක් ඇති අයට පමණක් බවයි; හක්කේ බුදුරැස් ඇති- බොක්කේ දඩමස් නැති උදවියට පමණක් බවයි!

1987 විතර දවසක නෙවිල්ලගේ තාත්තා foot සයිකලයත් තල්ලු කරගෙන ‘අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලය’ට ආවේය. එයාගේ සේරම ගමන්-බිමන් කෙරුණේ ඒකෙන්ය. 

“අපේ චූටි ඉන්නවද බලන්නයි ආවේ....” බාසුරු උන්නැහේ කීවේය. 

“Trip එකක් යනවයි කිව්වනේ... තාත්තලට කිව්වේ නැද්ද?” මම ඇසුවෙමි.

දියතලාවේ වෙන්න ඕනි.... ලෝකාන්තෙටද කොහෙදත් යනවයි කිව්වා වගේ...

“ඒක නේන්නං... කිව්වා... එයාලා අපිට ඔක්කොම විස්තර කියන්නෙ නෑනෙ, ඔයාලට කිව්වට! මං හිතන්නේ මේ සැරෙත් මහින්දලා එක්ක  ගියේ, දියතලාවේ වෙන්න ඕනි.... ලෝකාන්තෙටද කොහෙදත් යනවයි කිව්වා වගේ... වෙනද නං දවස් හතර-පහක් ගියාම එනවා.... ඒත්.....” (මහින්ද කියන්නේ දැනටමත් ඔබ දන්නා-හඳුනන WAL ප්‍රියන්තටය.) 

මම මතක් කළෙමි.
නෙවිල් වැඩට නෑවිත් ගතවී තිබුණේ දින පහකට අඩු කාලයක් විතරය.
“එහෙනං බය වෙන්න ඕනි නැහැනෙ තාත්තේ... තවම දවස් පහක් ගිහිල්ලා නැහැනෙ... අද-හෙට එයිනෙ...”

මගේ සැනසිලි වචනවලින්වත්, තාත්තාගේ මුහුණේ තිබුණු අසහනකාරී පෙනුම නැති වුණේ නැතිය. එයා ඔළුවත් කසමින්, ටිකාක් කල්පනා කළේය.
“අපේ එක්කෙනාටයි වැඩියත්ම හිතට අමාරු... චූටිලා එක්ක ඒ ගමන ගිය එක්කෙනෙක් ආපහු ඇවිල්ලා....” නෙවිල්ල තාත්තා කිව්වේ පැකිළෙමිනි.
“....මිනිහා අපේ ගෙදර ඉස්සරහිනුත් එහාට-මෙහාට ගියා හතර-පස් වතාවක්ම! හැබැයි, අපේ ගේ පැත්තවත් බැලුවේ නැතිව.....හරියට අපට මූණ දෙන්න බැරිව වගේ. එයා අපේ ගෙදරට නොඑන කෙනෙකුත් නෙවෙයි.... ඒකයි අපිට...”

මහ ආඩම්බරකාරයා! එයාටම හිතුණාම විතරක්නේ හිනා වෙන්නෙත්....

එතකොට නම් මටත් අමුත්තක් හිතුණේය. එකම කණ්ඩායමක් විදිහට trip එකක් ගිය පිරිසෙන් එක්කෙනෙකු විතරක් ආපසු ඇවිත්ය. අනෙක් අය ඇවිත් නැත. ආපසු පැමිණි සගයා තලපත්පිටියේ මිතුරන්ගේ ගෙවල් ඉදිරියෙනුත් ‘රුවන් සක්මනේ’ යෙදිලාය.

“මිනිහට කතා කරන්න බැලුවේ නැද්ද, තාත්තේ?”

“එයාත් එක්ක මොන කතාවක්ද නිමල්..... ඔයාත් දන්නවනේ xxx. මහ ආඩම්බරකාරයා! එයාටම හිතුණාම විතරක්නේ හිනා වෙන්නෙත්....” නෙවිල්ල තාත්තා කිව්වේ අන්ත අසරණ ලීලාවකිනි....

29 comments:

  1. ප්‍ර -නුත් කිව්වා නෙවිල් නිමල්ට හොඳම යාලුවෙක් කියල, හැමතිස්සෙම රණ්ඩුවෙන.
    මං හිතන්නෙ මේ තරම් කාලයක් තරහ නොගෙන ඉන්න හේතුව මට හිතෙන විදිහටනම් හැමතිස්සෙම අපහාස හුවමාරු කරගත්තහම සීරියස් විදිහට තරහ යන්න අවස්තාවක් එන්නෙනෑ

    ReplyDelete
    Replies
    1. ඔය කතාව සහතික ඇත්ත. අපේ ගමෙත් මට ඔය වගේ යාලුවො රොත්තක් ම උන්නා. ඒත් විවාහයෙන් පස්සෙ සෑහෙන්න ඈත් වුණා. දැං එකමුතු වෙන්නෙ මළ ගෙදරකදි විතරයි.

      Delete
    2. Pra Jay, ප්‍ර-න් හොඳ නිරීක්ෂකයෙක් බව දවසෙන්ම මට තේරුනා.

      නිතරම මත ගැටුම්- අවලාද හුවමාරු වීම් වෙද්දි ඒවාට හුරු වෙන එකත් හරි වගේ. කම්මලේ බල්ලාට හෙණ ගහන සද්දෙ ගණනක් නෑ වගේ!

      ඩ්රැකී, ඊයේ හම්බන්තොට ඉඳල එද්දිත් ඔය ගැන කතාවක් කියවුණා. කසාද බැන්දම මිනිස්සු හිරේ වැටෙනවලු! ඒක ඇත්තද?

      Delete
    3. ඒ්ක සහතික ඇත්ත.

      අම්මා පොතේ පාවෙල් කියනව හොහොල් ජාතික අන්ද්රේ නවෝ්කා ට...

      "හරි උඹල දෙන්න බැන්ද කියමුකො. ඊට පස්සෙ ළමයි හැදෙනව. ඊට පස්සෙ උන්ට කන්ඩ දෙන්ඩ ඔ්නෙ. මුළු ජීවිතේම පාං කෑල්ලක් වෙනුවෙන් දහඩිය හෙලන්ඩ වෙනවා. කිසිම පළක් නැතුව ව්‍යාපාරෙට හොඳ සහෝදරවරු දෙන්නෙක් නැති වෙනවා..."

      ඔ්ං ඔ්ක තමයි අපටත් උනේ.

      Delete
    4. එහෙමත් වෙන්න ඕනි නේද ඩ්රැකී මනුස්ස සංහතියේ පැවැත්ම උදෙසා.

      Delete
  2. නෙවිල් දැනටමත් අපි හඳුනනව වගෙයි
    චීත්තවාහිනිය වැඩේ තිතට කරයි
    නෙවිල් වගේ ඉවසන දන කුමක් වගෙයි?
    රුපු යුදයට නැති කග කොස් ඇති තැනටමලු බත් කිව්ව වගෙයි

    අවසන් පදය දිග වැඩි වීම ගැන බලවත් කණගාටුව...

    ReplyDelete
    Replies
    1. දිනක් යොදාගෙන හමු වෙල බලන්න
      සැහැල්ලු මිනිහෙකි දැනගනු වටින
      ළඟ නැත මගෙ වගෙ ගතිය දුර්ජන
      අම්මප පුදුමයි ගතිය ඉවසන

      Delete
  3. කට්ටකාඩුව වෙනුවෙනුත් කමෙන්ට් එකක් දාන්ඩද?

    ReplyDelete
    Replies
    1. ආමි...නෙවිල් ගුණ කද බැලීමි....ඩ්‍රැකී කමෙන්ට් කල නිසා....මා කළද ලොකා දකින්නෙ ඩ්‍රැකී නිසා...කමෙන්ට් නොකලෙමි.....

      (ඉහත දෙවෙනි කමෙන්ටුව පල කලේ කට්ටකාඩුවේ ලොකු මල්ලී වන මා විසින් බවත් වෙනත් අයෙකු විසින් නොවන බවටත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයටත් එහි වැසියන්ටත් දිවුරා පොරොන්දු වෙමි. එම කමෙන්ටුවේ අයිතිය මාගේ අනුදැනුමකින් තොරව ඩ්‍රැකීට පවරා දෙන්නට උත්සාහ කරන අයෙකු වේ නම් ඔහුට හෝ ඇයට විරුද්ධව කිසිවක් නොකරන බවද මෙයින් දැනුම් දෙමි.)

      Delete
    2. කවුද බොලේ "ආමි නෙවිල්?" පාතාළයෙක්ද?

      Delete
    3. තදයෙක් කියල තියෙන්නෙ

      Delete
    4. එහෙම නැත්නම් කදයක් ද කඩයක්ද මංදා

      Delete
    5. අපි සෙට් වුණු වෙලාවක සිංදු කියමු උන්දැත් එක්ක...

      Delete
    6. ආමි නෙ....????!!හැක් හැක් හැක්....ලොකා ලගදිම මාව බ්ලොක් කරනවා නෙවිල්තන්ත්‍රය අනනවා කියල....ලොකාව බලන්ඩත් වඩා මට නෙවිල් බලන්ඩ ආසයි....

      Delete
    7. ඩ්රැකී, ලොකූ, මං මේ දැලි පිහියෙන් කිරි කනවා වගේ බයේ උත්තර ලියන්නේ... කොයි වෙලේ ආයෙම වරදියිද කියලා. නෙවිල් දැන් ආඩම්බරෙන් ඉන්නේ... කියනවා -තමුසෙ මට ගහලා, අපහාස කරලා ලිව්වට මොකද ම්නිස්සු තේරුම් අරන් තියෙන්නේ මගේ කොලිටිය කියලා-.

      මං ඉතිං මටම ගහන්ඩ ආයුධ අනුන්ට දෙන මිනිහ නිසා, ඔයාලා දෙන්නගෙයි, Pra Jay ගෙයි,අනෙක් අයගෙයි කමෙන්ට්ස් ගැනත් ඒ හාදයාට කියනවා.

      ලොකූ, වෙලාවක් දාගෙන ඩ්රැකීත් එක්කම හමුවෙලා සින්දුවක් හෙම කියමු!

      Delete
  4. මම කැමති නෙවිලගේ අර පරණ කාරෙකට. ඉල්ලා දෙන්න බැරිද රවුමක් යන්න . ඔයාගේ නංගි ගැන කියනවනම් ඒ වගේ ළමයි ගොඩක් මෙහෙ හදන්නේ අයිරිෂ් ජාතිකයෝ විතරයි , අපි හතර දෙනාට ඇවිල්ල යන්නත් අවම වශයෙන් පවුම් 4000-5000 විතර යන එකේ හතක් එනවා කියන්නේ ලෙහෙසි නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයා ආයෙම ආවාම ඉල්ලා ගමු! ඒ කාර් එකට අවුරුදු 32 ක්.

      අපේ චූටි නංගිලාට ඔව්වා කල්පනා වුණේ පහුවෙලා...

      Delete
  5. නිමල් සංවේදී වෙලා නේද. සමහර දේ ගැන බටහිර ජාතිකයින් හිතන විදිහෙන් අපිට යමක් ගන්න පුලුවන් නිසාත්, අපි අතරම ඉන්න වීරයො සමහර විට අපිට මග ඇරෙන නිසාත් මම ඒ කමෙන්ට් එක දැම්මෙ. ඇගයීමට ස්තුතියි නිමල්. හැමෝම එකතු වෙලා නෙවිල්ව 'full fun' එකේ තියෙන නිසා, මිතුරු සමාගමම වීරයො තමයි.

    (පවුලේ අය ගැන සමහරවිට සංවේදී වෙන්න අමාරු ඇයි කියන එක මමත් හිතලා හිතලා තේරුම් අරන් ඉන්නෙ ඒක ego clashes නිසා සහ කර්මය අනුව ඇතිවෙන ගැටීම් (karmic friction) නිසා වෙනවා කියලා. ඒ වෙලාවට වැඩියෙන් මයිත්‍රි කරන්න අවශ්‍යයි මන් හිතන්නෙ).

    ReplyDelete
  6. ඇත්තටම Lotus, ඔයා උඩු පෙළ විතරක් නෙවෙයි, යටි පෙළත් ග්‍රහණය කර ගනිමින් කියවනවා වගෙයි, මට පේන්නේ!

    මෛත්‍රී කිරීම ගැන මේ දිනවල ටිකක් වැඩියෙන් හිතමින් ඉන්නේ... Karmic friction; හොඳ point එකක්. ස්තුතියි!

    ReplyDelete
  7. අද නම් මම එනකොට පෙරහැර ගිහින්. සති අන්තය මාත් එක්ක ගතකරන්න පරණ යහළුවෙක් ආපු නිසා පසුගිය දින දෙකම බ්ලොග් කියවන්න බැරි උනා.

    ඔය කියන අමතක්වීමේ රෝගය ගැන සිංගප්පුරු අගමැති ලී ක්වාන් යූ ගේ අත්දැකීමක් මම අසා හෝ කියවා තියනවා. එහි කියැවෙන්නේ, ඔහුගේ බිරිඳ මේ රෝගය උත්සන්නව, කෙනෙක්ව කිසි සේත්ම හඳුනා ගැනීමට නොහැකි තත්වයක සිටියදීත්, යු මහතා සැම දිනකම ඔහුගේ බිරිඳ ගේ ඇඳ අසලට පැමිණ, බිරිඳ වෙනුවෙන් පොතක්, පත්තරයක් කියවා, බිරිඳ සමගම ආහාර ගැනීම නොවරදවාම සිදු කරාලු. එහිදී ඒ රෝහලේ සේවිකාවක් යූ මහතාට කිව්වාලු, ඔබ පුවත් පතක් කියෙව්වාට වත්, එතුමිය සමග ආහාර ගත්තාටවත්, ඔබ කව්ද කියා ඇය කොහොමවත්ම දන්නේ නැහැයි.කියලා. ඊට යූ මහතාගේ පිළිතුර උනේ, ""මම කව්ද කියා ඇය නොදන්නවා වෙන්න පුලුවන්, නමුත් ඇය කව්ද කියා මම දන්නා තුරු මම මේ දේ නවත්වන්නේ නැහැ"" කියන එකලු.

    ReplyDelete
    Replies
    1. එක අතකින් පරක්කු වුණු එකත් හොඳයි සෑම් මහත්තයෝ.

      මට හිතෙන්නේ ඒ නිසා ඉතා වැදගත් සිදුවීමක්- මේ කමෙන්ටුවලට ලියවුණානෙ! ගොඩක් ස්තුතියි!

      Delete
  8. මේ කතා වල ඇත්ත ජිවිතේ ඒ විදියටම තියෙනවා... මෙහෙම අවංකව ලියන්න පුළුවන් කම කියන්නෙම නීදී ලොකු වාසනාවක්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං. අවංකව ලියන බ්ලොගර්ස් ලා මම දැක්කෙ ම දෙන්නයි. නිදියි, සුරංගයි විතරයි.

      Delete
    2. ස්තුතියි පැතුම්, ඩ්රැකී දෙන්නටම.

      මේ ප්‍රශංසාත්මක කමෙන්ටුව මට ලොකු හයියක්. බ්ලොගය ලියාන ගත්තෙම 'ජීවිත කතාව ලියනවා නං ඇත්තම ලියනවා මිස බොරු ලියන්න බැහැ ' කියල මටම නීතියක් පනවාගෙන. අද වෙනකල් එක රැකගෙන ඉන්නේ...

      ඇත්තම කිව්වොත් 'නිමල්ට ලජ්ජා නැද්ද මෙහෙම සේරම ලියන්න' කියලා මගේ සමහර හිතවතුන් අහනවලු... හැබැයි අද වෙනතුරු මගෙන් කෙළින්ම අහලා නැහැ... සමහර විට මගේ පඩික්කම් කටෙන් කියවෙන්නට හැකි උත්තර උපකල්පනය කරලා වෙන්න ඇති.

      මගේ පුරුද්දක් තමයි, මට කෙළින්ම නොකියන දේවල් නෑහුණ විදිහට හිඳිම.

      Delete
    3. එතකොට අපි බොරු වංක ඒවා ලියන්නේ ඈ , අහුවෙයල්ලකෝ දෙන්නම කොළඹදී , බලෙන් පැණියක් පොවනවා , ඕව්

      Delete
    4. අජිත් මහත්තයෝ, පැණි කියන වචනෙත් මස්ත බාල්දු වෙලා තියෙන නිසා වෙන දෙයක් පොවන්න හිතුවොත් නරකද?

      Delete
  9. Replies
    1. ස්තුතියි ඩ්රැකී මහත්තයෝ. ඒත් ඒක හදන්න බලාගෙන ඉන්න වෙනවා. ඊයේ ඉඳලා කැටගරිවලට posts යොදන්නටත් බැරිවයි ඉන්නේ. එහෙ අවුලක් වෙන්නැති. අර කතුරු දෙකේ marks පෙන්වන්නේ නැහැ.

      Delete