අකුරු මැකී නෑ

Wednesday, February 3, 2021

යුවති කිරිල්ලී - දහසයවෙනි කොටස

අඬලා හරියනවා නං මාත් උඹත් එක්ක අඬන්නං! .... මෙහෙ බලපංකො නංගියේ...

මාලතීගේ ඉකි බිඳුම තවත් වැඩිය. චන්ද්‍රා මාලතීගේ ළඟින්ම වාඩි වූවාය. හඬමින් සිටි යුවතිය චන්ද්‍රාගේ උකුළෙහි හිස හොවා ගත්තාය. චන්ද්‍රා දකුණතින් මාලතීගේ සිරස පිරි මැද්දාය.

“මාලතී, නුන්ගෙ ලියුං කියවන කැත පුරුද්දක් මට නෑ... ඒ නිසා මං ඔය ලියුම උඹෙන් උදුරගෙන කියවන්නෙ නෑ.... හැබැයි නංගියේ... ඔය ඇඬිල්ලෙන් නම් කිසිම සෙතක් වෙන්නෙ නැති බව මතක තියා ගනිං. අඬල-අඬලා හරියනවා නං මාත් උඹත් එක්ක අඬන්නං! .... මෙහෙ බලපංකො නංගියේ.....”  

චන්ද්‍රා මාලතීගේ නිකටින් අල්ලා මුහුණ උඩුකුරු කළාය. ඇයගේ දෙනෙත් රතුය; ඒවා ඉදිමී ඇත. සුසුමක් හෙළූ චන්ද්‍රා මිතුරියගේ නළල සිම්බාය.

“මට උඹ මගේම නංගියෙක් වගෙයි මාලතී!”

“මං දන්නවා අක්කෙ!” මාලතීගේ හැඬුම වැඩි විණි.

“මේ අහපං... අම්මලා ආවොත් උඹට ඔය ලියුම කියවලා ඉවර කරගන්ඩ ලැබෙන්නෙ නෑ. ඔක්කොටම වඩා උඹ ඔය ලියුම කියව-කියවා වැලහින්නි වගේ අඬ-අඬා මූණ බෙරි කරගෙන හිටියම අයියල බලයි මොකද කියලා... අන්තිමේ මටත් නරක නාමෙ එනවා, උඹට උදව්වට ඇවිල්ලා...”

“මම එහෙම වෙන්ඩ දෙන්නෑ අක්කා!”

“උඹ එහෙම නොකළට... ඔය විදිහට ගියොත් නං ඒක තමයි වෙන්නේ!”

දැන්මම ඕක පුච්චලා දාමු, අප්පොත් එපා- හප්පොත් එපා කියලා...

මාලතී එයින් මඳක් මෙල්ල වූ බව දුටු චන්ද්‍රා දිගටම කතා කරගෙන ගියේ දැඩි හඬකිනි. “උඹට ඔය ලියුම කියවන්ඩ ඕනෑ නැති නං දැන්මම ඕක පුච්චලා දාමු, අප්පොත් එපා- අප්පොගෙ ලියුමුත් එපා කියල....”

මිතුරිය තිගැස්සී හිස ඔසොවා බලනු දුටු චන්ද්‍රාට සිනහ නැඟිණි.

“එහෙම කියනවටවත් උඹ කැමති නෑ... නංගියේ, කවුරු කොහොම කිව්වත් -ගෑනු බොළඳයි; ළාමකයි- කියලා අපි දුර්වල නෑ.... ඕනෑම මිනිහෙක් උහුලනවට වැඩිය දුකක් උහුලන්න ගෑනියෙකුට පුළුවන් බව අමතක කරන්ඩ එපා, නංගියේ!”

මාලතී අසා උන්නාය. ‘චන්ද්‍රක්කා කියන්නෙ ඇත්ත.... මොනව වුණත් දැන් උහුලගන්ඩ විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ.... ලියුම කියෙව්වෙ නැහැයි කියල වෙලා තියෙන දේවල් නැති වෙනවය?’
තමා ධනුෂ්ක අප්පොගේ ඉල්ලීම පරිදි නොකඩවාම ලිපිය කියවන බවට පොරොන්දු වූ හැටිද ඇයට සිහි විණි.

වෙනත් විකල්පයක් නැත. ඉතිරිව ඇත්තේ එකම මඟකි. මාලතී නැවතත් ලිපිය කියවීම ආරම්භ කළාය.

“මාලතී, සමහර වෙලාවට ඔයාට හිතෙනව ඇති මාත් අපේ අප්පච්චි වගේම සල්ලාලයෙක්ය කියල. මාවත් වනචරයෙක් විදිහට හිතුවත් මං ඔයාට දොස් කියන්නේ නෑ.... රෝසි එක්ක හිටියට මම අද වෙනතුරු වෙනින් කිසිම කෙනෙක් එක්ක, වෙනින් කිසිම සම්බන්ධයක් ඇති කරගෙන නම් නෑ!

මෙහෙ හුඟක් කොල්ලො-කෙල්ලො එක පාරම කසාද බඳින්න- නීතියෙන් බැඳෙන්න කැමති නැහැ.
අපි පහුගිය අවුරුද්දක් විතර කාලයෙ එකට ජීවත් වුණා. ඔය අතරේ මගේ සමහර යාළුවො කිව්වා රෝසිව බැඳගන්න කියලත්....මෙහෙ හුඟක් කොල්ලො-කෙල්ලො එක පාරම කසාද බඳින්න- නීතියෙන් බැඳෙන්න කැමති නැහැ. හැබැයි පිටරටවලින් මෙහාට එන හුඟක් අය හදන්නෙ ඉක්මනට මෙහෙ කෙනෙක්ව කසාද බැඳගන්න. එතකොට දිගටම මේ රටේ නැවතිලා ඉන්න වීසා හදා ගන්න පුළුවන් නිසා. ඒකමයි මගේ යාළුවොත් මට ඉක්මනට බඳින්න කිව්වේ.

-ඒත් මාලතී, මට නම් දිගටම මෙහෙ ඉන්න හිතේ තිබුණෙ නැහැ. මං දන්නවා අපේ අම්මාවත්, අප්පච්චිවත් මම දිගටම එංගලන්තෙ නවතිනවට කැමති නොවෙන බව. අප්පච්චි කොහොම වෙතත් අම්මා..... ඊටත් රෝස්මරී වගේ කෙනෙක් බැඳගත්තා කිව්වොත් අපෙ අම්මට වාවන්නෙ නැති වෙයි කියලත් මම දන්නවා.

-ඔක්කොටමත් වැඩිය මාලතී... ටික කාලෙක ඉඳලම මට තේරෙන්න වුණා මම කරපු දේ බරපතළකම. රෝසිගේ ගතිගුණ එහෙම එක විදිහක්... මුලදී නම් ඒ ගතිගුණ- පුරුදු යටවෙලා වගෙයි තිබුණේ. එයාට ඕනි වුණේ බොහොම විනෝදෙන් ඉන්න ජීවිතයක් ගත කරන්න.

-ඔය නොගැළපීම් මොනවා තිබුණත් මං තීරණය කරගෙන හිටියේ, කවදාම හරි රෝසිව කසාද බැඳගන්න. මටම හිතිලා තිබුණේ මම එයාව අත අරින එක අපරාධයක්; වැරැද්දක් නේද කියලා....”

‘දෙයියනේ! ධනුෂ්ක අප්පෝ රෝසිව අත ඇරලවත්ද එහෙනං?’ මාලතීට එක වරම සිතුණේ එයයි. ඊළඟ මොහොතේ ඈ තමා ගැනම ලජ්ජාවට පත් වුණාය.
‘ගෑනියෙක් වෙලා තවත් ගෑනියෙකුට අහිතක් හිතන්න පව්!’ තමාටම කියාගෙන ඇය නැවතත් ලිපියට එබුණාය.

ඉතිං රෝසි ලූක්ව බැන්දා.

“රෝස්මරී මට කියල තිබුණා එයාගේ නම් ඉක්මනට කසාද බඳින අදහසක්වත් - ළමයි හදා ගන්න අදහසක්වත් නැති බව. අපි අනාගතේ ගැන මොකුත්ම තීරණය නොකරයි හිටියේ...

-ඔහොම ඉන්දැද්දී තමයි රෝසිලගේ අම්මගේ නෑදෑ වෙන පෝලන්ත කොල්ලෙක්; ලූක් එයාලගේ ගෙදරට ආවේ. ඒ දවස් වෙනකොට මමයි රෝසියි නැවතිලා හිටියේ වෙනම කාමරයක. ලූක් රෝසිලගෙ ගෙදර නැවතුණා. රෝසිල අම්මට ඕන වුණා ලූක්ව දිගටම එංගලන්තෙ නවත්ත ගන්න. ලූක්ටත් ඒකමයි ඕනි වෙලා තිබුණේ.... රෝසිගෙ අම්මා ක්‍රිස්ටීන්, ලූක්ට පොඩි රස්සාවකුත් හොයල දීලයි තිබුණේ.

-ටික දවසක් යද්දී රෝසි මට කිව්වා එයාලගේ අම්මගේ යෝජනාවක් ගැන. අපි දෙන්නා දැන්මම විවාහ වෙන අදහසක් නැති නිසා රෝසිට ලූක්ව බැඳගන්නයි කියලා.... ඇත්තටම නෙවෙයි, නමට විතරක්.
මෙහෙ සමහර ගෑනු ඒ විදිහට
පිටරට අයව බඳිනවා. සල්ලිත් අය කරගෙනයි කසාදෙට එන්නෙ....
එහෙම බැන්දම අර මිනිහට පුළුවන්නෙ වීසා ඉල්ලන්න.
 

-ක්‍රිස්ටීන් ඔය අදහස මටත් කිව්වා.
මම කිව්වා ඒ ගැන රෝසිටම තීරණය කරන්නය කියලා. රෝසිත් ඒකට කැමති වුණේ නෑ.

-සුමාන කීපෙකට පස්සෙ, රෝසි කිව්වා අම්මගේ වදෙන් බේරෙන්න බැරි නිසා ලූක්ව ඒ විදිහට නමට විතරක් බැඳ ගන්නම් කියලා... මමත් එපාය කියන්න ගියේ නෑ... ඉතිං රෝසි ලූක්ව බැන්දා.

ඔයාල දෙන්නා අහසට පොළොව වගේ කියලයි මට හිතෙන්නේ. රෝසි නටුවෙත් කටු තියෙන රෝස මලක්. ඔයා...

-එංගලන්ත ආණ්ඩුවත් දන්නවා ඔය මගඩිය ගැන. ඒ නිසා ඔය වගේ බැඳලා, ඒ මාර්ගයෙන් වීසා ඉල්ලන අයගෙ ගෙවල්-දොරවල් පවා බලනවලු සමහර වෙලාවට. ඒ නිසා ඒ අයට ඒත්තු ගන්නන්න පුළුවන්  වෙන විදිහට එයාලගේ මඟුල් foto එහෙමත් අර ගත්තා.”

දැන් මාලතී ලිපිය කියවන්නේ මැඬගත නොහැකි කුහුලකිනි. එසේ හිතන්නට අකමැති වුවද, ‘රෝස්මරීත් ධනුෂ්ක අප්පොත් අතර සබඳතාව පළුදු වී තිබේවා’යි ඇගේ යටි හිත ප්‍රාර්ථනා කරමින් තිබේ.

“... ඔය විදිහට රෝසියි-ලූකුයි දෙන්නා එක තැන, එකට ඉන්න බවත් ඔප්පු කරන්න වේවි කියලා, අපිත් කාමරේ අත ඇරලා එයාලගේ ගෙදරටම ගියා.... ලූක්ගේ බඩුමුට්ටුත් සමහරක් අපේ කාමරේ තිබුණේ. මගේ ඒවා වෙනම කාමරේකයි තියල තිබුණේ. අපි ඔක්කොම ලැහැස්ති වෙලා හිටියේ අර විදිහෙ නිලධාරියෙක් කාරිය ආවොත් රෝසියි ලූකුයි දෙන්නා අඹු-සැමියෝ විදිහට අඟවන්න.

-ඔය කාලේදී තමයි මට තේරුණේ රෝසිත් ටික-ටික ලූක් ගැන උනන්දු වෙන බව. ඒ වගේම එයාට මාව එපා වීගෙන යනවා වගෙත් පෙනුණා. රෝසි මගේ එක්ක සම්බන්ධ වෙන්න කලිනුත්, කීප දෙනෙක් එක්කම බොහොම ළඟ සම්බන්ධකම් තිබුණු කෙනෙක්.

-මාලතී, මම ඔයාගෙයි රෝසිගෙයි දෙන්නගෙ දැක්කේ එකම සමානකමයි. ඔයාලා දෙන්නගෙම ඇස් නිල්ම නිල් පාටයි; දිළිසෙනවා.. ඒත් ඔයාගේ බැල්මේ තියෙන අමුතුම විනිවිදගෙන යන කාන්තිය නම් රෝසිගෙ ඇස්වල නෑ. ඔයාගෙ ඇස්වල තියෙන දිස්නය ඒ ඇස්වල නෑ.

-ඔය ඇස්වල සමානකම ඇරුණම, ඔයාල දෙන්නා අහසට පොළොව වගේ කියලයි මට හිතෙන්නේ. රෝසි නටුවෙත් කටු තියෙන රෝස මලක්. ඔයා සීතල පුංචි පිනි බිංදුවලින් හේදි-හේදී තියෙන නිකැළැල් මාලතී මලක්!
ඇයි මාලතී, මාව එංගලන්තෙට එවන්න ඉස්සෙල්ලා අපි දෙන්න මුණ ගැහුණෙ නැත්තේ? එහෙම වුණා නම් මේ විදිහට නැතිව මටත් ඔයා වගේම නිකැළැල්ව, පිරිසිදුව ඔයාගෙ වෙන්න තිබුණා. දැන් මම වෙනින් කැදැල්ලකට කූඩු වෙලා ඉඳුල් වෙච්ච; තනි වෙච්ච කුරුල්ලෙක්.

දැන් මම වෙනින් කැදැල්ලකට කූඩු වෙලා ඉඳුල් වෙච්ච; තනි වෙච්ච කුරුල්ලෙක්....

-මෙහෙම වෙන්න ඇත්තේ මගෙම අවාසනාව නිසා වෙන්න ඇති.

-මාලතී, ඔයාගෙ තුරුල්ලේ, ඔයාගෙ යුවති කැදැල්ලේ උණුහුම ලබන්න මට පිං මදි. මම ඒකට පිං කරලා නැතිව ඇති. ඔයාව අයිති කරගන්න ඒ වාසනාවන්තයා කවුරු වුණත් මං එයාට ඉරිසියා කරනවා කෙල්ලේ.

-ඉතිං බොහොම අමාරුවෙන් ඉතිරි හරිය ලියන්න යන්නේ. මගෙ හිතට මොකක්දෝ වුණා, මාලතී....

-අන්තිමේදී මටත් සැක හිතෙන්න වුණා. රෝස්මරී ඇත්තටමත් ලූක් එක්ක සම්බන්ධ වෙලාද කියලා. දවසක් මං රෝසිගෙනුත් ඒ ගැන ඇහුවා. ඒ පාර එයා කිව්වේ අපි වගේ අය මහ ඉරිසියාකාරයෝ කියලයි; කෙළින් උත්තරයක් දුන්නෙ නෑ. මටත් කරන්න දෙයක් නැතිව කර බාගෙන ඉන්න වුණා.

-ඒත් දවසක් හදිසියෙම මං ගෙදර එද්දී ඒ දෙන්නම අපේ කාමරේ.... ඒ දෙන්නව මගේ අතටම අහු වුණා. ඒ වෙලාවෙ මට මොනවා වුණාද මන්දා.... මට පිස්සු වැටුණා.

-රෝසිව මට නොගැළපෙන බව දැනගෙන හිටියත්, මං හිතුවෙ නෑ එයා ඔය විදිහට මට ද්‍රෝහී වෙයි කියලා. මම අම්මල- අප්පච්චිලා, උපන් රට ඔක්කොම අමතක කරදාලා මගේ ජීවිතේම කැප කරන්න බලාගෙන හිටියේ මේ වගේ එකියෙක් වෙනුවෙන් නේද කියලා මට තේරුණේ එදයි...

-මාලතී, මේ ටික ලිව්වේ ටිකකට පස්සේ.
මට මේ දැන් ටෙලිෆෝන් කෝල් එකක් ආවා, ලංකාවෙන්.
අපේ අක්කා තව පැයකින් මට කතා කරනවලු හදිස්සියකට. ඒක මොන වගෙ එකක්ද දන්නෙ නැහැ.

-මොනව වුණත් ඒක ගැන දැනගන්නතුරු ඉතිරි හරිය ලියන්න තරම් හොඳ මූඩ් එකක් මට නැහැ. ඉතිං මම මේ ලියුම ඉවර කරනවා. නැතිනං මටම හිතෙයි මේ ලියුම ඉරලා දාන්න....

-හරිම අමාරුවෙන් මාලතී මේ ටික ලියන්නවත් හිත හදා ගත්තේ. කෝල් එක එන අතරේ මම මේ ලියුම තැපෑලට දානවා. ඉතිරි විස්තර ඔක්කොම, ඒ එක්කම වෙනින් ලියුමක ලියන්නම්.

-ඔයාට දළදා සමිඳු රැකවරණයි!

මේ
ධනුෂ්ක”

අපි නං කළේ ඒවා ගැදර් කරන අතරේම ‘කටු ගැහීම’ත් කරගැනීමයි....

ඊළඟට වෙන්නේ මොනවද කියලා කියවන්නත් ඔයාලට ඉවසිලි නැතිව ඇති. ඒ වගේම තමයි, තවත් හිතාදර පාඨකයන් කොටසක් බලාගෙන ඇත්තේ, පොතේ පසුබිම් කතාවේ ඊළඟ පියවර දැනගන්නයි. මේ ටික ලියන්නේ ඒ රසික-රසිකාවන් වෙනුවෙන්, හොඳේ.

... මුද්‍රිත පෝරම සේරම නවාගත්තට පස්සේ අනුපිළිවෙලින් ඒවා මේසයක් උඩින් අතුරා ගන්නවා. ඊළඟටයි එව්වා එකලස් කරන්නේ; ගැදර් කරගන්නේ. ඒ රාජකාරියත් බොහොම සැලකිල්ලෙන් කළ යුත්තක්. අපි නං කළේ ඒවා ගැදර් කරන අතරේම ‘කටු ගැහීම’ත් කරගැනීමයි.
කටු ගහනවා කිව්වේ එක පොතකට ලොකු ස්ටේපල් කටු දෙකක් ගහන රාජකාරියට.

ඒ කාලේ පොතක නිමාව කෙරුණේ ප්‍රධාන වශයෙන්ම ක්‍රම තුනකටයි.
   1. සෙන්ටර් වයර්- Center Wire කරලා තියෙන හැටි, පිටු 40 එක්සයිස් පොතක් අරන් බැලුවොතින් නියමෙට පෙනෙයි.
   2. සයිඩ් වයර්- පිටු 50-60කට වැඩි පොතක් නම්, පොතේ වම් පැත්තෙන් කටු ගහලා නිමවන්නේ මේ ක්‍රමයෙදියි.
මේ දෙවිදිහෙදීම තියෙන ලොකුම අවාසිය තමයි කල් යාමේදී ‘කටු’ මළකඩ කෑම. පොතක් අවුරුදු තිහ-හතළිහක් තියා ගන්නවා නම්, අනිවා ඒ ප්‍රශ්නය එනවාමයි!
ඒකටත් විසඳුමක් තිබුණා... පැත්තෙන් හිල් විදලා මහන එක. එහෙම කළත්, එහෙම හදපු පොත්වල නාරටියේ එතරම් ලකයක් තිබ්බේ නැහැ.

   3. සෙක්ෂන් බැම්මෙන් මසා ගැනීම
ඉස්සරම කාලේ ලොකු බණ පොත් එහෙම සෙක්ෂන් බැම්මෙන් මහලා තමයි හැදුවේ. එතකොට පොත කාලාන්තරයක් පවතිනවා... හොඳින් දිග හැරගන්නත් පුළුවනි, කොළ ගැලවෙන්නෙත් නෑ. හැබැයි, වැය වෙන ශ්‍රමය වැඩියි; ඒ කියන්නේ වියදමත් වැඩියි.
නමුත්, ලෙජර් පොත් වගේ ඒවා අනිවාර්යයෙන්ම හැදුවේ සෙක්ෂන් බැම්මෙන් මහලා. ඔහොම යද්දී....

වම් පැත්තේ කෙළවරෙන් කඩදාසි ටික කැපිලා- යන්ත්‍රානුසාරයෙන්ම ගම් ගෑවිලා; කවරයත් ඇලවිලා ලස්සනට පොත එළියට එනවා තමයි....

ඔන්න බොලේ අලුතින් එනවා ‘Perfect Binding’ මැෂින්. වැඩේ ඉක්මන්, ලේසියි, ලස්සනයි. වැරැද්දකට තියෙන්නේ පොත හොඳටම දිග අරිමින්, කාලයක් තිස්සේ කියව-කියවා පාවිච්චි කිරීමේදී කොළ ගැලවෙන්නට ඉඩ තිබීම. පර්ෆෙක්ට් බයින්ඩින් කෙරේමෙන් පොත නිමා කෙරෙද්දී, වම් පැත්තේ කෙළවරෙන් කඩදාසි ටික කැපිලා- යන්ත්‍රානුසාරයෙන්ම ගම් ගෑවිලා; කවරයත් ඇලවිලා ලස්සනට පොත එළියට එනවා තමයි.

පොතේ නාරටිය; spine එක ලස්සනට එනවත් තමයි.
හැබැයි එතකොට තියෙන්නේ තනි-තනි කොළ ටිකක්.

දැන් ස්පයිරල් බයින්ඩින්, කොයිල් බයින්ඩින් වගේ තව ක්‍රම ගොඩාරියකුත් තියෙනවා.

‘යුවති කිරිල්ලී’ පොත හැදෙන කාලයේ Perfect Binding ක්‍රමයවත් ලංකාවේ ප්‍රචලිත වෙලා තිබුණේ නෑ. ඉතිං, අපි කළෙත්, පොතේ පැත්තෙන් කටු දෙකක් ගහලා, ගම් තවරමින් අතින්ම කවරය අලවා ගැනීමයි.

“දැන් කොහොමද නිමල් අයියා පොතේ දොරට වැඩුම කරන්න යන්නේ?” නෙවිල් පොත්වලට කටු ගසන අතරේ, ඒවා එකතු කොට පිළිවෙලකට අඩුක් කරමින් සිටි විජිත් ඇහුවා.

“නාග විහාරෙදිම තමයි කරන්න අදහස.... සෝභිත හාමුදුරුවන් වහන්සේටත් කිව්වා. වැඩ සටහනේ පූරකගේ කොටසට ජැක්සන් ඇන්තනි මහත්තයාව ගෙන්නගන්න පුළුවනි නම් මම හරි ආසාවෙන් ඉන්නේ... ප්‍රියන්තගේ යාළුවෙක් ඉන්නවලු එයාව අඳුරන... මම හිතාගෙන ඉන්නේ අහල බලන්නයි කියන්න. නැත්තං සමන්ත හේරත් මහත්තයට ආරාධනා කරනවා...” මම කිව්වෙමි.

“නිකම්ම ආරාධනා කළාට එයිද නිමල් අයියේ?”

“සමන්ත හේරත් මහත්තයා කාලෙකට කලින් කළා ‘අවලන්දු’ කියලා නාට්‍යයක්.... ඒකේ ස්වනියර් එක ගහගන්න අපේ අමද්‍යප press එකට ආවාම මගෙත් එක්ක හිතවත් වුණා. දැන් කථිකාචාර්ය කෙනෙක්... ගිහින් ආරාධනා කළොත් එනවාමයි කියලා, මට විශ්වාසයි. පොත ගැන දේශනයටත් දෙන්නෙක් ගැන හිතේ තියෙනවා... උපුල් සාන්ත සන්නස්ගල- සුනන්ද මහේන්ද්‍ර මහත්තුරු දෙන්නා....
පොතේ තැනින්-තැන කෑලි ටික කියවන්නත් දෙන්නෙක්ව හිතාගෙනයි ඉන්නේ... හරි ගියොත් නං වැඩේ ලස්සනට තියෙයි.”

“උදේනි අල්විසුයි, රසාදරී පීරිසුයි.... හොඳයිද?”
“අම්මට සිරි! නිමල් අයිය හෙණ plan එකක් ගහලනේ... කවුද දෙන්නා...” ප්‍රියන්ත මල්ලීටත් උනන්දුව බෝවෙලාය.

“උදේනි අල්විසුයි, රසාදරී පීරිසුයි.... හොඳයිද?”

“උදේනි අයියා නං press එකටත් එනවනේ ඔයාව හම්බ වෙන්න... රසාදරී...?”
“උදේනි ලවා තමයි රසාදරී පීරිස්ට කියවන්න හදන්නේ!”

“නෙවිල් අයියේ.. ඔයාට තමයි එහෙනං foto ගන්න වෙන්නේ!”
“නෑ නෑ, දැන්මම මම කියලා තියෙන්නේ... මං ඉතිං ෆොටෝ ගහන්න නොදන්න මනුස්සයානේ... තමුසෙලගෙ නිමල් අයියා ඒ වැඩේට අනාගත දොස්තර මහත්තයෙක්ව අල්ලාගෙන ඉන්නේ...” නෙවිල් නෝක්කඩුවක් කිව්වා මට තවමත් මතකය.

එච්චරක් නොවේ. මේ කතන්දර අතරේම පොත දිහාවට ආපහු යන්නට ඕනෑ බවත් මට මතකය....මතක් වුණු සුනංගුවෙන් මෙන්න මං ගියා!

15

අහස් ගැබේ වලාවන් සියල්ලම හිරු චිතකයේ දැවී-හළු වී ගොස් ඇතිවා සේය; අහස වලාවෙන් තොරය; රතුය; උණුසුම්ය. ඒ උණුසුම වැදීමෙන්දෝ මිහි මඬලද ගිනියම් වී දැවෙයි. වෙනදාට කඳු යාය පුරා සරුවට වැවී ඇති මානා පඳුරු සලිත කරවමින් හමා යන නලරැල් අද කවුරුන් හෝ සොරාගෙන ගොස් ඇතිවාක් වැනිය. සුළඟත් සමඟ සටනක් නැති බැවින් අලස සුවය විඳින මානා පඳුරුත් කර බාගෙන සිටී.

නිහඬ පීඩාකාරී පරිසරයේත්, තම වේදනාබර හදවතේත් කිසිදු වෙනසක් නැතැයි මාලතීට සිතුණි.

‘ධනුෂ්ක අප්පො ගැනම හිත-හිතා හූල්ලලා තවත් මොකක්ද ඇති පලේ? සාගරයක් පිරෙන්න කඳුළු පෙරුවත් ඔක්කොම වෙලා ඉවරයි. ඇයි දෙයියනේ මෙහෙම වුණේ?’
ඒ කෙටි ඇසුර කොතරම් මිහිරි උණුසුම් එකක් වූයේද?
ඒ මිහිරියාව මෙතරම් වේදනාවකට මුල පිරීමක් වෙනු ඇතැයි මාලතී නොසිතුවාය. නිමේෂයක් බඳු මිහිරි අතීතයක් වෙනුවෙන්, කල්පයක් තරම් දිගු වේදනාකාරී අනාගතයක් හිමි වූයේ දෛවයේ සරදමකින්ම විය යුතු යැයි ඈ සිතුවාය.

අප්පච්චිල එන්ඩ රෑ වෙයි වගේ.... කරුවලත් වැටිලා...

මිතුරියගේ ළතැවිල්ල චන්ද්‍රාට රහසක් වූයේ නැත. ඕ වෙනදා සේ දොඩමළු නොවූයේ මාලතීට සිත් සේ වේදනා විඳින්නට ඉඩ ලබා දෙමිනි. ‘ඔහොම්ම ටිකක් වෙලා හූල්ල-හූල්ලා අඬපුවාවේ... ආයෙ අප්පො එක්ක සම්බන්ධයක් නෑය කිව්වේ හේතුවක් ඇතිව නෙව. පව්... අප්පොම ලියුමේ එහෙම ලියලා තිබුණද දන්නෙත් නෑ.... පස්සේ කියාවිනේ!’

චන්ද්‍රාට නිය අනින්නට දී, මාලතී හිස නවාගෙන සිටියාය. කාලය ඉකුත් වී තිබෙන බව ඔවුහු ගණන් නොගත්හ.

“ඈ දුවේ! අප්පච්චිල එන්ඩ රෑ වෙයි වගේ.... කරුවලත් වැටිලා... ඔය මදැයි නිය ඇන්නා. පානක් පත්තු කළා නං... ඇඳිරි වැටෙනකොට ගෙයි පානක් පත්තු නොකර කරුවලේ ඉන්න එක මූසලයි නෙව...” කිරි අම්මා කීවාය.

“මාලතී, හිටිං මට නැඟිටින්ඩ... කෝ, එහාට වෙයං. මංවත් පානක් පත්තු කරන්ඩ.” චන්ද්‍රා මාලතීගේ හිස තම උකුළෙන් ඉවතට තල්ලු කළාය.

“මං පත්තු කරන්නං අක්කා!” මාලතී ගෙට ඇදුණාය.

“වික්‍රම නං කිව්වේ මෙච්චර පරක්කු වෙන්නෙ නෑය කියලයි. ඒ වුණාට බඩුවක් මුට්ටුවක් ගන්ඩ ගියාමයි තේරෙන්නෙ... ලේසි නෑ, කිරි අම්මේ. එදා අපි නුවර ගිහිල්ලත් හරියට රස්තියාදු වුණා.”

පහන් දැල්වූ මාලතී යළිත් පිල් කණ්ඩිය මතින්ම වාඩි වූවාය.

“චන්ද්‍රක්කෙ, කුසුමාවතී නැන්දල බය වෙලා ඇති, ඔයා තාම නැත්තෙ මොකද කියලා. මෙලහකටත් මුදලිහාමි මාමා ඔයාව හොයන්ඩ නාවා පුදුමයි.”

“අප්පච්චිලට නං එච්චර ගාණක් නැතිව ඇති, වික්‍රමත් ඉන්න හින්දා, එයා මාව ඇරලවාවිය කියල බලාගෙන ඇති. මටත් දැන් බයයි බං. මෙයාලට මුකුත් කරදරයක්වත්ද කියලා.”

“පිස්සුද චන්ද්‍රක්කෙ? තව ඩිංගක් බලමුකො....”

කන්දෙ ගෙදරට යන කට්ටියක් වෙන්ඩැති... ඒත් දෙයියනේ.... ඔච්චරටම හුළු අතු!

නොඉවසිල්ල බෝවෙන රෝගයක් සේ තිදෙනාටම පැතිරී තිබිණි. එකියකවත් කිසිවක් නොකීවේ අනෙක් දෙදෙනා තවත් කලබල වෙතියි බියෙනි. හදිසියේ හමා ගිය සීතල සුළඟක් නැඟූ අමිහිරි- විනිවිද යන නාදය ඇසී මාලතී බියපත් වූවාය.

ඈතින් හුළු අතු එළි කිහිපයක් මතු විණි. චන්ද්‍රාත් මාලතීත් උනුන් මුහුණු බලා ගත්හ. “යාන්තං අම්මලා එනව වගෙයි කිරි අම්මේ....”

“දැනුයි මගෙ ඇඟටත් ලේ ඉනුවේ!” කිරි අම්මා සැනසුම් සුසුමක් හෙළා, ලණු ඇඳ මතින් වාඩි වූවාය.

“කවුද චන්ද්‍රක්කෙ අච්චර කට්ටියක් එන්නෙ? අපෙ අම්මලා නෙවෙයි වගෙ... අර බලන්ඩකො....” මාලතී විමසිල්ලෙන් බලා සිට කියුවේ විමතියෙනි. චන්ද්‍රාත් බලා සිටියාය. ඊළඟට දෙදෙනාම මිදුල දිගේ පියගැට පෙළ පටන් ගන්නා තැනට ඇවිදගෙන ගියහ.

“මෙහාට එනවා වෙන්ඩ බෑ නංගියේ... කන්දෙ ගෙදරට යන කට්ටියක් වෙන්ඩැති... ඒත් දෙයියනේ.... ඔච්චරටම හුළු අතු! හරියට හේනක් ගිනි තියන්ඩ යනවා වගෙයිනෙ.”

“අර බලන්ඩකො අක්කා.... අක්කලගෙ අප්පච්චිත් ඉන්නවා!” මාලතී මුදලිහාමිව හඳුනා ගත්තාය. හැරී බැලූ චන්ද්‍රා, හැරමිටිය අනිමින් මිදුල දිගේ ඇවිදගෙන එන කිරි අම්මාගේ සහායට ගියාය.

“කිරි අම්මව වැටෙනවා දැන්... යං යං, අරහෙන් වාඩි වෙමු! අප්පච්චිලානෙ එන්නෙ....” සිතේ මතු වී තිබුණු චකිතය සඟවා ගත් චන්ද්‍රා කිරි අම්මාව නැවතත් පිලට කැඳවාගෙන ගියාය. පැමිණි පිරිස පඩි පෙළ පාමුල රැඳී මොහොතක් කතාබහේ යෙදී සිටිති.

 “ඔක්කොම ඉවරයි මයෙ දුවේ!” මුදලිහාමි ගොත ගැසුවේය…..

මාලතීට ඉවසුම් නැත. ඈ පඩි දෙක-තුනක් පහළට බැස්සාය. පියගැට පෙළ පාමුල රැඳී සිටි මුදලිහාමි ඉහළ බැලුවේය. පඩි කිහිපයක් බැසගෙන එන මාලතීව ඔහු දුටුවේ තරු එළියෙනි.

මුදලිහාමි පඩි පෙළ දිගේ ඉහළට පිය නඟන්නට වූයේ බර අඩි තබමිනි.

“ඇයි මාමා?”

මාලතීගේ ප්‍රශ්නයට මුදලිහාමි කිසිවක් කියුවේ නැත. ඔහු ඉහළටම යන දෙස බලා මාලතීත් පසුපසින් ඇදුණාය. ඒ වනවිට චන්ද්‍රාත් මිදුලේ කොනකට වී බලා සිටින අයුරු මුදලිහාමි දුටුවේය. ඉහළම පිය ගැටයට පා තැබූ ඔහු හුළු අත්ත මිදුල මතට දැමුවේ නොසැලකිල්ලෙනි. එයින් වීසිවුණු දහසක් ගිනි පුළිඟු අඳුරේම දසත විසිරී දීප්තිමත්ව දිළී නිවී ගියේ අඳුර තවත් දැඩි කරවමිනි.

“මොකද අප්පච්චි?”

මුදලිහාමි කර මත වූ තුවායෙන් මුහුණ පිස දැමුවේය. චන්ද්‍රා එවර කතා කළේ කෑ ගසන්නාක් මෙනි.
“මොකක්ද වුණේ මයෙ අප්පච්චි?”

“ඔක්කොම ඉවරයි මයෙ දුවේ!” මුදලිහාමි ගොත ගැසුවේය…..

18 comments:

  1. තමන්ගෙ පරන ආදරය ගැන ඔය විදිහට විවුර්තව කියන ධනුශ්ක හුඟක් අවන්ක කෙනෙක්නෙ. මාලතී ඒ සම්බන්දය නතර කරන්න හදන්නෙ ඇයි.

    'අම්මට සිරි! නිමල් අයිය හෙණ plan එකක් ගහලනේ'.
    ඇත්ත තමයි. නිමල් wedding planning, event management වගේ කලානම් ශෝක්නෙ. තවත් අයට සතුටක් දෙන අතරෙ තමන්ටත් සතුටු වෙන්න පුලුවන් දෙයක්.

    ReplyDelete
    Replies
    1. Lotus, ඒ දවස්වල මෙහෙ ඉවෙන්ට් මැනේජ්මන්ට් නමෙන් නොකළත් හුඟක් ඒ වගේ වැඩ කෙරුණු බව වැටහෙන්නේ දැන්. ඒවාට අදාළ ලිපි කිහිපයකුත් ලියවෙන්න තියෙනවා...

      ධනුෂ්කගේ අවංක වීම ඇයි කියලා ළඟදිම කියවෙයි.

      Delete
  2. හුගකාලෙකට ඉස්සර මං උසස් අධ්‍යාපන ආයතයක ශිෂ්‍ය සංගමයක සංස්කාරක කෙනෙක් වෙලා හිටිය. හුගක් දේවල් වගේ මට ඒක සීරියස් වුනෙත් නෑ, මං කරපු මල ඉල්ලව්වක් තිබුනෙත් නෑ. සභාපති අපිට බැන බැන වැඩ කලා. ඒත් නිමල්ගෙ ප්‍රින්ටිං ජීවිතය ගැන කියවනකොට හැමදාම මට ඒක මතක් වෙනව. ඒ ගැන stricking මතකයක් තියෙන්නෙ cutting machine එකකට අතක් ගියොත් ඒක ඕෆ් වෙන සෙන්සර් එකක් තිබුනයි කියල තමයි.
    (ඊට අමතර entertaining මතක තිබුනට ඒව ලියන්න මං පංච තන්තරයක් ලියන්නෙ නෑනෙ,). thank God, Karma, fate, myself or whatever)

    ReplyDelete
    Replies
    1. thank heavens, moksha, swarga, asgard, olympus or Kaylash... :-D

      Delete
    2. Pra jay, ඩ්රැකී. ඉස්සෙල්ලාම දෙන්නටම ස්තුතියි!

      මම දන්නා එක මුද්‍රණ ආයතනයක තරුණ හාදයෙක්ගේ මුළු අතම ප්‍රින්ටින් මැෂිම ඇතුලට ගියා. තව එක්කෙනෙකුගේ අත මැෂිමට අහු වෙලා ඇඟිලිවල උඩින් කපන්න වුණා. ඉස්සර නං හුඟක් කටින් මැෂින්වලත් සෙන්සර් වැඩ කළේ නෑ, තිබුණට.

      ඒ කාලෙත් මගේ එක සටනක් වුණේ press එකේ පැය 24ක් එක දිගට වැඩ කළාම, දවසක් නිවාඩු දිය යුතු බවයි. ඒත් හුඟක් තැන්වල ඒක කෙරුණේ අමුතුම විදිහකට. පැය 24 වැඩ කරලා off වුණොත් පැය 8 කටයි ot හැදුවේ. ඒ නිසා හුඟක් අය එක දිගටම පැය 32ක් වැඩ කළා. අනතුරු වැඩි වීමට ඒකත් හේතුවක්.

      හොඳම දේ තමා, දවසක් වැඩ කරලා ඉන්න අයට off වෙන්න කිව්වාම ලැබුණු ප්‍රතිචාරය. "එතකොට අපේ ot අඩු වෙනවනේ!"

      ඒක නෙවෙයි, තමුන්නාන්සේලා දෙන්නම posts කීපයක් ලියලවත් ඉවර කරන්න බැරි දේවල් වචනයක් දෙකක් ලියලා ඉවර කරන්නේ ඇයි?

      Delete
    3. ප්‍රා නොලියපු එක හොඳයි, අපට ලින්ක් කියවල ඉවර කරන්න බැරි වෙයි :)ඉංග්‍රීසි පොත් දෙක තියනවනේ

      Delete
    4. සත්තයි, අජිත් මහත්තයෝ!

      Delete
  3. අදවත් ඩ්‍රැකීට කලින් කමෙන්ට් එකක් දාන්ඩ ඕන...එක්කොත් නොදාම ඉන්නවද?නෑ...ඔන්නොහෙ දානවා....මොනවද දාන්නෙ....මොනව හරි කුනු හරුපයක් දානවා...මොකද ලොකා හිතන්නෙ ඒ කුනු හරුපෙ දැම්මෙ ඩ්‍රැකී කියලනෙ...

    ReplyDelete
    Replies
    1. ඉහත කමෙන්ටුව දැම්මේ සම්යක් සම්බුද්ධ නොවූ ඩ්‍රැකී වහන්සේ වන මම් ම වේ දැ?

      Delete
    2. ගිනි පෙනෙල්ලෙන් බැට කාලා ඉන්න මං....

      ස්තුතියි ලොකූ, ඊළඟට - මම්ම නෙවෙයි පප්පා, ස්තුතියි ඩ්රැකී! පිළිවෙල හරි නේද?

      Delete
  4. ධනුෂ්ක හට ආපහු පෙම් කරන්න ට
    බැරි වෙන ඉඩක් මට නම් නෑ පෙනෙන්න ට
    විල්මට් මාම ට ද නැත්නම් වික්‍රම ට
    මොක හරි අනතුරක් වෙලා ද හැබෑව ට

    ReplyDelete
  5. කොල්ලෙකු අවලමේ ගොස් එද්දී නාලා
    ගත්තම හරිය කිව්වේ පෙර උන්නැහෙලා
    දැන් එය නොගැළපෙන බව ලෝකෙට කියලා
    දෙන්නට තැතකි, ලියුවේ රසවත් කරලා

    ලිහන්නට තියෙන මලු ඔබනුයෙ කුමට
    රැකගත යුතුය කුතුහල රස තව දුරට
    ඊළඟ කොටසෙදී සමහර දේවලට
    උත්තර ලැබෙනවා දෙයියෝ, ඉවසන්ට!

    ReplyDelete
  6. ඔය පෝලිෂ් වැඩේ අපේ කොල්ලෙකුට වුනා කියහන්කෝ , පොලන්තේ අනිත් බටහිර රටවල් වගේ නෙමේ කතෝලික ආගම එහෙම ටිකක් තදින් අදහනවා. ඒ අම්මලා කැමති නැහැ කෙල්ලෝ වෙන තැන්වලින් බන්දිනවට. ඉතින් අපේ යාලුවට ඔය හා සමාන ඇබැද්දියක් වුනා

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, මම නම් ඔය අත්දැකීම ගැන දැනගත්ත විදිහ 'මරිසි මංගල්ලේ' පොස්ට් එකේ ලිව්වා. කියෙව්වද?
      http://nidigepanchathanthare.blogspot.com/2018/12/blog-post_21.html

      Delete
    2. අඩේ නිදියා , අපේ එංගලන්තේ වුන්ට හිනා වෙන්නේ එපා අරිද ? අපිත් කොම්පඤ්ඤ විදියේ අරිද හේ හේ , මං දන්නා කෙනෙක් කෙල්ලෙක් ගෙනාව ලංකාවෙන් බැඳලා. නියම නෑදෑයෝ ගෙනල්ල වෙඩින් එක ගත්තේ. අවුරුදු දෙකක් හිටිය හොඳට. කෙල්ලට වීසා වැදුන. අරූව අත ඇරලා ගිහින් බැන්ද වෙන කොල්ලෙක්. පස්සේ බලනකොට අර කොල්ල එක්ක සම්බන්දෙ හංගල කෙල්ල ගේම ගහල තියෙන්නේ. ජිවත් වෙන්නනේ බං හැමෝම ඕව කරන්නේ.

      Delete
    3. අරි අරී! ඕකට ඉතිං හොඬවැලෙන් උස්සලා පොළොවේ ගහන්ඩ ඕනෑයි... හොඳින් කිව්වා නං අහනවනේ දොරේ!

      Delete