අකුරු මැකී නෑ

Sunday, February 7, 2021

පතාගෙන ඇවිත්... -දොළොස්වෙනි කොටස

මොන ඉතිරියක්ද බං.... සිනෙතුත් ඉන්නවා.... ඌ ඉන්නේ ලෙඩෙකුට...

“එතකොට සිනෙත් ඉතිරියිනෙ.....?”

“මොන ඉතිරියක්ද බං.... එයාත් ඉන්නවා.... ඌ ඉන්නේ ලෙඩෙකුට..... අනේ මචං නෙවිල්.... උඹව තමයි මම second ඇටෙන්ඩන්ට්ට ගන්න හිතාගෙනම හිටියේ... බැහැයි කියන්න එපා මචං... නිමලෝ... මූට කියපංකො බං උඹත්.... කට වහගෙන බලා ඉන්නේ...”  

උදේනි එහෙමය. තමන්ට උවමනා දේ කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හරි කරවාගන්නට දන්නා දක්ෂයෙකි. මර්වින් බොතේජු සුධීමතාණෝ උදේනිගේ ඉල්ලීමට මටත් ඉස්සෙල්ලාම ප්‍රතිචාර දැක්වූහ. “මොකක්ද නෙවිල්? අපි අපිනෙ මචං... We we නෝ... පොඩි කොටසනේ මචං තියෙන්නෙත්...”

“පොඩ්ඩ වුණත් කොහොමද බං ඔව්ව පාඩම් කර-කර ඉන්නේ? එහෙම පාඩම් කරන්න හපනෙක් නං මාත් අද මෙහෙම ඉන්නවද?”

“හා, හා. එහෙම වුණයි කියලා උඹ දොස්තරෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙයි කියලද හිතුවේ... යකෝ... තෝ.....” මර්වින් බොරුවට දත්මිටි කද්දී නෙවිල් පරාජය බාර ගත්තේය; කොන්දේසි එක්කය.
“උඹලා කියන දෙයක් කරන්නං... හැබැයි කොළේ අතේ තියාගෙන. නැතිව මට බෑ, පස්සේ කතන්දර අහන්න- දෙබස් වැරද්දුවා කියලා.”

“ඒඒඒඒකට කමක් නෑ මචං. කොළේ අතේඒඒඒඒ තියා ගනිං, හැබැයි පුතෝඕඕඕ- කොළේ ඉරා ගන්න විතරක් එපාාාාාා!” නාට්‍යයේ අදියුරුතුමා ඇද-පැද කිව්වේය. බෝඹුරු ඇල්ල බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේ හිස් ගෙදරක් ඇතුළට වී අපි දෙතුන් වතාවක් නාට්‍ය පිටපතේ දෙබස් කියවමින් පුහුණුවක යෙදුණෙමු.
ඒ අතරේම තවත් තැනෙක යුවතියන් දෙදෙනෙකු ගජ රාමෙට නර්තන පුහුණුවකය. ඒ උදේනි-ගීතා යුවලගේ තෙවෙනි දියණිය තුල්‍යාත්, මිතුරියකුත්ය.

ඇඳුනුත් ලැහැස්ති කරගෙන.... අපිටවත් පේන්නැතිව කාමරේක ඉඳගෙනයි නැටුම පුරුදු වුණේ!

“අනේ මන්දා බං.... ඇඳුනුත් ලැහැස්ති කරගෙන.... අපිටවත් පේන්නැතිව කාමරේක ඉඳගෙනයි නැටුම පුරුදු වෙන්නේ....” ගීතා කීවාය.

“උන්ගේ වැඩේ නෙවෙයි ගීතෝ! කියපංකො, මොකක් ඇඳලද මං ආච්චි කෙනෙක් වෙන්නේ?” මං ඇහුවේ ඒ වේලාවේය.

“ඒවා රෙඩි බං. මගේ බ්ලවුස් එහෙකුයි, චීත්තයි wig එහෙකුයි ගෙනත් තියෙන්නේ....”
එයාලා එහෙමය. තාත්තාට;
 උදේනිට උවමනා කරන්නේ trip එකටත් වඩා හොඳට රැයේ තිබෙන ප්‍රසංගය සංවිධානය කරන්නටය. Games හෝ තරග ඉසව් කිහිපයක් හා නැටුම්- නාට්‍ය දෙකක්වත් ඒවාට තිබෙයි. නාට්‍යවල නළු-නිළියන්ට අවශ්‍ය ඇඳුම්-කැඩුම් පවා හරිගස්සාගෙන එන්නටත් එයාලා අමතක නොකරති.

“ඒයි නිමලෝ! උඹට ඕනි කරන ‘කොන්ඩම් පැකට්’ එකකුත් ගෙනත් තියෙන්නෙ.....” තවත් එක්කෙනෙක් (එයාගේ නම නොකියන එක වඩා සුදුසුය.) මට කීවේය.
“යකෝ, කියන මඟුලක් පරිස්සමින්. කාටවත් ඇහුණොත් තව මඟුලක්.... මට නෙවෙයි, නාට්‍යයට ඕනි කරන කොන්ඩම් එකක් කියපං.” එතකොට මං වහන්සේ කිව්වාය.

‘බුදුන් උපන් දේශය මෙහෙ’ය කියලාත් දැන් සමහරුන් හත් පොළේ දිවුරමින් කියන; ශ්‍රී ලංකාද්වීපයේ ‘උපත් පාලන කොපු’ කියන්නේ හද්දා වලත්තයන් විතරක් පාවිච්චියට ගන්නා ‘මහ වනචර’ ජාතියක් නෙව. ඔව්වාට ගෑවීලා මගේ චරිතය කෙලෙසා ගන්නට මාත් අකැමැතිය. අපේ හිටපු ජන නායකයෙකුත් කිව්වා වගේ ‘මාව ඝාතනය කරන්න. ඒත් කරුණාකර මගේ චරිතය ඝාතනය නොකරන්න!’

අවසන් දෙබස් ඛණ්ඩය තෙපලූ නෙවිල් අනුරසිරි ඊළඟට....

එදා නාට්‍යය ඩිස්පෙන්සරියක කතාවකි. දොස්තර මයිල්වාහනම් ළඟට ප්‍රතිකාර ගන්නට එන ලෙඩුන් ගැන කතාවකි!

ඒකට විශේෂයෙන් ඇඳුම් අඳින්නට වුණේ මර්වින්ටත්, මටත්ය. ඇහිබැම කළු කොට, ලිප්ස්ටික් උලා තොල් රතු කොට මිනි ගවුමක් ඇන්දෙව්වාට පස්සේ, මර්වින් ළමිස්සිව පරෙස්සම් කර ගන්නට වුණේ වේෂාන්තරණය වී හිටි නාකි ආච්චී වුණු මටය.

“මෙච්චර කාලෙකට මැස්සෙක්වත් වහලා නැති එකී කොල්ලනේ... ඒකිගෙ හිරි-ඔතප් බිඳින්ඩ එපා බොලව්!” මම ගෝළු ගත්තෙමි.
“අනේ ඔව් මෙයාලා.... තාම මගේ පැකින් කඩලවත් නෑ.... චූෳෳෳෳෳටි උම්මා!” රැවුලකුත් තියෙන ළමිස්සීත් කටහඬ වෙනස් කරලා, ඇඹරි-ඇඹරී කොමල පායි. එහෙම බලද්දී, නාට්‍යයට වැඩිය හොඳ නාට්‍යයක් තිබුණේ dressing room එකේය.

“ඔව්වොව් වොව්... කොල්ලනේඒඒඒඒ.... ඔය අහිංසක කෙල්ලට ඉන්ඩ දීහල්ලා බං....” කාඩ්බෝඩ් කෑල්ලකින් බොල්ලෑ දත් වහල්ලක් හදා ගනිමින් හිටි සිනෙත් බැද්දගේත් සීයා කෙනෙකු මෙන් කට්ටිය හිනැස්සුවේය.
“ඒක නෙවෙයි, කවුරු හරි ගිහින් අර උදේනියට කියපල්ලකෝ, මේ අයිටම් එක ඉක්මනට දාන්න කියලා. නැත්තං මගේ දෙවෙනි බොල්ලෑවත් පෙඟෙනවා... එක්කෝ අර කැන්ඩි ළමිස්සිව දූෂණේ කෙරිලා මහා අපරාධයක් වෙනවා...”

ඔන්න නාට්‍යය පටන් ගත්තේය. කෙරීගෙනත් ගියේය.
දෙවෙනි ඇටෙන්ඩන්ට් එයාගේ කොටසටත් ආවේය. නියමෙටම රඟපෑවේ නාට්‍ය පිටපත දිහාවටත් වරින්-වර නෙත් හෙළමින්, දෙබස් කියමිනි.
මට ඒ දෙබස් නම් අමතකය. එහෙම වුණත් මේ ටික නම් හොඳට මතකය. අවසන් දෙබස් ඛණ්ඩය තෙපලූ නෙවිල් අනුරසිරි ඊළඟට ‘කියා පිට වී යයි’ කියලාත් කිව්වේය. කියලා එහෙමම හිටියේය!
හොඳ වෙලාවට ‘ඒ ටික තියෙන්නේ වරහන් ඇතුළේ’ කියලා අපේ සූරයා, හිනා කමින් හිටි ප්‍රේක්ෂකයන්ට කිව්වේ නැතිය.

සමහර අය හිටි ගමන්- නිකම්ම වීරයෝ වෙති! ආචාර ලබති !! පිම්බෙති!!!; පිම්බුණු තරම කියතොත් පිපිරී නසින තරමටම පිම්බෙති!!!

දොස්තර මයිල්වාහනම් මහත්තයා ආච්චීගේ රෝගය ගැන අහමින් ඉඳලා, ‘කෝ පලාන්ඩ ආච්චිගේ tongue එක... ටං එක.. ටං එක එළියට දාන්න.... මට බලාන්ඩ’ කියලාත් කියයි.

‘රවිඳු එහෙම කියනකොට නිමලෝ.... උඹට අන්දලා තියෙන බ්ලවුස් එක අස්සෙන් පුම්බලා තියෙන කොන්ඩම් එක චුට්ට චුට්ට එළියට දාපං මචං!’ කියලාය නාට්‍ය අධ්‍යක්ෂතුමා; උදේනි උපදෙස් දීලා තිබුණේ. නාට්‍යයේ climax එක එතැනය.
ඇත්තම කිව යුතුය, එහෙම කරද්දීවත් ‘කියා පිට වී යයි’ කියද්දී නැඟුණු හිනාව තරම් එකක් පැන නැංගේ නැත. එදා දවසේ වීරයා වුණේ, බලෙන් නළුවෙකු කෙරුණු නෙවිල් අනුරසිරිය!

ඇත්තම කතන්දරේ හෙළි වුණේ පස්සෙය. “මොකද මිනිහෝ අද දවාලෙත් පළවෙනි සැරේ කරපු වැඩේම කළේ. අමතක වුණාද?” නාට්‍යය ඉවර වුණාම මට කියවිණි.
“එවෙලෙ තමුසෙලා හිනාවුණු විදිහටම අනිත් අයවත් හිනස්සන්න පුළුවන් කියලා, මේකෙදිත් ඒ කෑල්ල කියපං මචං කියල උදේනි මට කිව්වා.... මාත් අධ්‍යක්ෂ කිව්ව විදිහට කළා...”

ඒකෙත් හැටි. එදා නෙවිල්ට වුණා වගේ, සමහර අය හිටි ගමන්- නිකම්ම වීරයෝ වෙති! උඩ යති!! පිම්බෙති; පිම්බුණු තරම කියතොත් පිපිරී නසින තරමටම පිම්බෙති!!! වැරදුණාම අහක ඉන්නා මෑණිවරුන් පළිය. මෑත කාලයේ නම් එහෙම උදවිය හරියටය.
එයාලා ගැන කතා කරන්නටවත් නාකය; නොවුවමනා ප්‍රසිද්ධියක් උන්දැලාට ලැබෙන නිසාය.

මේ සැරේ වෙසක් එකට අපි ලොකු කූඩුවක් ගහනවා.... එනවකො හලෝ දවසක රෑ ඒ පැත්තට....

ඒ දවස්වල එතරම් ප්‍රසිද්ධියක් නැති, එහෙත් අති දක්ෂ කලාකරුවෙකු දැන-හඳුනා ගන්නට වාසනාවත්, නෙවිල් නිසාම මේ ලියන්නාට ලැබිණි. කලාකරුවා අජිත් අශෝකය. “මේ සැරේ වෙසක් එකට අපි ලොකු කූඩුවක් ගහනවා.... එනවකො හලෝ දවසක රෑ ඒ පැත්තට.... නියම වැඩ්ඩෙක්ව බලාගන්න පුළුවන්...” නෙවිල් කිව්වේය.

මමත් ගියෙමි.
තලපත්පිටිය පන්සල පාර අද්දර, වටෙන්ම වට කළ දැවැන්ත; රවුම් පොල්අතු මඩුවකටය නෙවිල් මා කැටුව ගියේ. (අනේ, කාටවත් මදි පුංචිකමක් කරන්නට කියනවා නොවේ. ඒ මඩුව ඇතුළේ වැඩි වෙලාවක් හිටියා
නම් මටත් ‘සිත මිස කය නැති බඹ ලොව’කට යාගත හැකි වෙනවා සහතිකය. ඒ තරමට එහි ඇතුළත ‘ත්‍රෛලෝක විජය පත්‍ර දුම්’ පිරිලාය තිබුණේ.

‘යකුන් පුච්චලා’ නැතිවාට, ‘මල් උරලා’ නැතිවාට එහෙම කරන අය ඇසුරු කර තිබුණු බැවින් මට එය හඳුනාගත් හැකි  විණි. ඒ දවස්වල බොහොමයක් තරුණයෝ වෙසක් කූඩු තැනීම, තොරණ ඉදි කිරීම, දන්සැල් දීම වැනි පොදු වැඩවලදී විතරක් නොවේ- මළ ගෙවල්වල හත් දවසක් නිඳි මරද්දීත් ‘තණමල්විල නිෂ්පාදන’ නොඅඩුව පාවිච්චි කළහ.)

ඉතිං ඒ ධූම වලාව මැද්දෙන් මම අජිත් අශෝකයන් හඳුනා ගත්තෙමි.
ඔහුගේ ‘මුතු කැටයම්’ තරමට සියුම් කඩදාසි කැටයම් එතෙක්-මෙතෙක් මං දැකලා නැතිය. මට නම් ඒවා කොච්චර හිතට ඇල්ලුවාද කියතොත්, අහක දමා තිබුණු කැටයම් කොළයක් ගෙදර ගෙනාවාත් එක්කය.
තවමත් ඒක පරෙස්සමින් තියාගෙන ඉන්නවාත් එක්කය. 
හේතුව කියන්නට නොදනිතත්, අජිත් අශෝකයන්ගේ වර්තමාන කලා නිර්මාණ නම් ඉස්සර තරම් සූක්ෂ්ම නොවන බවය, මට හිතෙන්නේ. සමහරවිට ඉස්සර තරම් නිවිහැනේ කූඩු හදන්නට- කැටයම් කපන්නට හෝ කප්පවන්නට හෝ ඉස්පාසුවක් අජිත්ටත් නැතිවා වෙන්නැති!

පන්නිපිටියේ ‘දෙව්රම් වෙහෙර’ හැඩ කරන්නටත් අජිත් දායක වුණේය!

පන්නිපිටියේ ‘දෙව්රම් වෙහෙර’ හැඩ කරන්නටත් අජිත් දායක වුණේය!

මෑතකදී නම් මට ඔහුගේ කලා නිර්මාණ දැක ගන්නට වාසනාව නොලැබුණේ, මා ගෙටම කොටුවී සිටින නිසා වෙන්නැතිය.

“නිමල් අංකල්.... කොහොමද නෙවිල් අංකල් කලාවට රේක්ක ගැහුවේ?” Trip එකක් ගියාම බොහෝ විට, සැබෑ අත්දැකීමක් පදනම් කරගත් මගේ ‘කලා නිර්මාණය’ක් ගැනත් ප්‍රශ්නයක් නැඟෙයි. එහෙම අහන්නේ ඊළඟ පරම්පරාවේ කෙනෙකි. “අනේ පොඩ්ඩක් කරලම පෙන්නන්නකො!” ආරාධනය පිළිගත් වෙලාවක විස්තර කථනයකුත් එක්කලාය, මගේ කලා නිර්මාණය රඟපා පෙන්වන්නට වෙන්නේ!

“එතකොට මම නාග විහාරේ press එකේ වැඩ කළේ. නෙවිල් අංකලුත් ඒකෙ වැඩට ආවා. එයා එන්නෙ තලපත්පිටියේ ඉඳලා 259 බස් එකේ. ඇවිත් ජුබිලි කණුවෙන් බහිනවා. මං එන්නෙ 119 බස් එකේ, මහරගම ඉඳලා. හුඟාක් දවසට නෙවිල් එන බස් එක, අපේ බස් එකට විනාඩි දෙකකට විතර කලින් තමයි ජුබිලි කණුවට එන්නේ.
දැන් වගේම තමයි, මේ මනුස්සයගේ වටපිට බැලිල්ලක්, පස්ස බැලිල්ලක් නෑ... බස් එකෙන් බැස්ස ගමන්, ගස් ගෝනා වගේ ඔහේ ඉස්සරහට යනවා...
හැබැයි හරිම හෙමිං.
මමත් මොකද කරන්නේ.... එයාට ටිකක් පස්සෙන් යනවා, එයාට කතා නොකර- රේක්ක ගැහිල්ල බල-බලා!”

ඒ ටික කියලා ඉවර වෙද්දීම එහෙන්-මෙහෙන් සිනා මල් පූදින්නට පටන් ගනියි. සමහරවිට හූමිටි තැබිල්ලකුත්... “ඉතිං ඉතිං..”

මහරගම ඉඳලා ජුබිලි කණුවට ආවා ගියත් එතැනට ජුබිලි කණුවය කියන්නේ ඇයිදැයි මට හිතුණේ නැතිය.

නෙවිල් අනුරසිරි තරුණයා හීන් සීරුවේ අඩි දෙක තුනක් ඉදිරියට යයි; දකුණත ඉස්සෙයි; ඉස්සෙන දකුණත යන්නේ හිසේ දකුණු පැත්තේ කෙස්සටය. හීන් සීරුවේ දකුණතින් කෙස්ස පිරිමැදෙයි; අත පහතට. තව අඩි කිහිපයක් ඉස්සරහට....

වමතත් ඉස්සෙයි; ඉස්සෙන වමත යන්නේ....

ජුබිලි කණුව බස් නැවතුමේ සිට, නාග විහාරය ළඟට යන තුරුමත් මේ හාදයාගේ රේක්ක ගැහිල්ල සිය වතාවක් විතර  දිගටම කෙරෙයි. ඒ පුරුද්ද නං දැන් ටිකාක් අත හැරිලාය. තවමත් තියෙන්නේ කමිසයක් අඳින වෙලාවට කෙරෙන තෝත්තරයයි!

ඒ තෝත්තරය ගැන කියන්නට කලින් අමිල ආර්යන් ලක්මාල්ගේ අපූරු ලියවිල්ලක් ගැනත් කියලා හිටින්නට අවසර දෙන්න.
අවුරුදු හය-හතක් තිස්සේ, සතියකට දවස් හයක්- මහරගම ඉඳලා ජුබිලි කණුවට ආවා ගියත් එතැනට ජුබිලි කණුවය කියන්නේ ඇයිදැයි මට හිතුණේ නැතිය.
අප එහෙමය. ගොඩාරියක් දේවල් ගැන හොයා-බලන්නේ නැතිය. නමුත් 2018 ජුලි 29 වෙනිදා මට ජුබිලි කණුවේ වටනාකම වැටහුණේය. ඒ අමිලගේ ‘
කොළඹ වීදියකදී...12- ජුබිලි කණුව’ පෝස්ටුව කියෙව්වාමය. මේ එයින් කොටසක් විතරය:

“....දෙවන එලිසබත් මහ රැජිණගේ මීමිත්තනිය වන වික්ටෝරියා රැජිණ තමයි දෙවැනියට වැඩිම කාලයක් කිරුල දරා ඉඳලා තියෙන්නෙ...
ඒ කියන්නෙ අවුරුදු 63යි මාස 6 ක්..

ලංකාවත් වික්ටෝරියා රැජිණගේ පාලනය යටතෙ තිබුණ නිසා ඇය ලංකාවටත් ඇවිල්ලා තියෙනවා, 1887 දී...

වික්ටෝරියා රැජිණ ඇගේ කිරුලේ රජත (වසර 50) ජයන්තිය සැමරුවෙ 1887 දී.

ඒ කාලෙ ලංකාවත් වික්ටෝරියා රැජිණගේ පාලනය යටතෙ තිබුණ නිසා ඇය ලංකාවටත් ඇවිල්ලා තියෙනවා, 1887 දී... ඇගේ මේ ගමන සිහි වෙන්න තමයි නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයෙ ජුබිලි කණුව ඉදිකරන්න යෙදුනෙ...  රිදී ජුබිලිය සිහි වෙන්න හදපු නිසා තමයි ජුබිලි කණුව කියලා නම වැටුනෙ..

කොළඹ ඇවිදින කරන අය, කොළඹ දන්න කියන අය ජුබිලි කණුව නොදැන ඉන්න විදිහක් නෑ... ඒත් එහි ඉතිහාසය දන්නෙ කීදෙනෙක් විය හැකිද?

ජනප්‍රවාදයේ තිබෙන විදිහට සහ ජුබිලි කණුවේ සටහන් වන තොරතුරුවලට අනුව 1887 දී ලංකාවට පැමිණි වික්ටෝරියා රැජිණ මුලින්ම කෝට්ටේ පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වී තිබෙනවා... පැවසෙන ආකාරයට මෙම දේව මෙහෙය අවසන් වූ පසු ඇය පා ගමනින් කි.මීටරයකට ආසන්න ප්‍රමාණයක් ගෙවා මෙම ජුබිලි කණුව පිහිටි ප්‍රදේශයට පැමිණ තිබෙනවා.. ජුබිලි කණුව මෙම ස්ථානයේ ස්ථාපනය කිරීමට හේතුව එයයි...”

2018 ජුලි 29 වෙනිදාම මං වහන්සේ ඒ ලිපියට කමෙන්ටුවකුත් කොටලා බව ඇහැ ගැටුණේ, ආයෙමත් ඒ ලිපිය කියවලා, කෑල්ලකුත් උපුටාගෙන, foto දෙක තුනකුත් download කරගත්තාට පස්සෙය.
ඔන්න අමිල ලක්මාල් ආර්යන් මහත්තයෝ, අපව දැනුවත් කිරීම වෙනුවෙන් ඔයාට ගොඩක් ස්තුතියි!

මට දැන් නම් එකක් සහතිකය. 1887 අවුරුද්දේ වික්ටෝරියා රැජන කෝට්ටේ පල්ලියේ සිට ජුබිලි කණුව තෙක් පා ගමනින් එද්දී, නෙවිල් අනුරසිරි පෙරේරාත් පරිවාරේට හරි එන්නට ඇති. තවමත් මේ මනුස්සය පා ගමනින් යන්නේ රැජනක් වගේ හොඳටම හෙමින්ය.

නෙවිල්ට නං පිස්සු බල්ලෙක් නෙවෙයි බලු රංචුවක්ම පස්සෙන් එළවාගෙන ආවත්....

රජුන්, රැජනන්, වංශවතුන්, ආර්යාවන් වගේ උදවිය ප්‍රසිද්ධියේ දුවන්නේ නැතිලුනෙ! අසැබි වදන් දොඩන්නේ නැතිලුනෙ!! තනතුරේ ගෞරවය රකිනවාලුනෙ!!! මතකයිනෙ විශාඛාව... වැස්සේ තෙමීගෙන ගියත් දිව්වේ නැති හැටි.

ඒකටත් එක්ක දැන් ඉන්න උත්තමයන්-උත්තමියන් වහන්සේලා.... වාසනාවන්!
අපටත් වාසනාවන්ය. එහෙම කියවෙන්නේ, රටකට ලැබෙන්නේ එරට සිටිනා පුරවැසියන්ටම ගැළපෙන නායකයන් නිසාය.

නෙවිල්ට නං පිස්සු බල්ලෙක් නෙවෙයි බලු රංචුවක්ම පස්සෙන් එළවාගෙන ආවත් ලහි ගමනක්; දිවිල්ලක් නැත! ඒ මනුස්සයා එක්ක පයින් ගමනක් යනවා නම් ‘පිස්සු හැදෙන්නේ’ මේ මිස්ටර් කලබලටය.
මට පිස්සු හැදෙන නෙවිල්ගේ තවත් වැඩකුත් තියෙනවා කිව්වනේ, මේ ඒකය:
 කලිසමට යටකොට කමිසයක් අඳින මේ හාදයා දෑතේ ඇඟිලි තුඩුවලින් කමිසයේ දෙපැත්ත අල්ලා යන්තමට දෙපැත්තට අදියි. තවත් තත්ත්පර ගණනකින් ආයෙමත්... සියක් වතාවක් විතර... ගමනක් යද්දීත් එහෙමය.
පා ගමනින් යන වෙලාවක් නම් අදටත් මේ හාදයාගේ ඒ පුරුද්ද, ඕනෑම කෙනෙකුට දැක ගන්නට ඇහැකිය.
ඒ වෙලාවට, ඒ කාරිය කෙරුණාය කියලා මට කිසිම හානියක් වෙන්නේ නැත; කරදරයක් වෙන්නෙත් නැත. එහෙම වුණත් මගේ කට පියාගෙන ඉන්නටත් බැරිය.... මගේ වලත්ත කට ඇරෙයි.
“ඔයිට වැඩිය ලේසියිනෙ මනුස්සයෝ, ගහගන්නවා drawing pins ටිකක්!”

උත්තරයක් ලැබෙනවා නං ලැබෙන්නෙ එහෙමත් වෙලාවකය. “තමුසෙට මොකෝ? මගේ කමිසේ, මගේ අත්! බලං ඉන්න බැරි නං අහක බලා ගන්නවා!”

එහෙම අහක බලාගෙන ඉවසන්නට බැරි දුර්ගුණය තියෙන්නේ මට විතරක්ද?

අනේ ලොකූ, මට හරිම ආසයි ඉස්සර අපි ගියා වගේ සිරීපාදේ යන්න...

අපේ සමන්ති නංගිගේ හබියා; බිමල් මහෙන්ද්‍ර භායි පටෙල් ලංකාවට ආ හැම වතාවේම ආවේ නෙවිල්වත් මතක් කරගෙනය. එයා හොඳම වර්ගයේ ‘හවානා සුරුට්ටු’ පෙට්ටියක් අරගෙන ආවේ ඒ දෙන්නාටය.

එහෙම, අවුරුදු කිහිපයකට කලින් එයාලා පවුල පිටින්ම ආ වෙලාවේ අපේ නංගිට දොළදුකක් උපන්නේය. “අනේ ලොකූ, මට හරිම ආසයි ඉස්සර අපි ගියා වගේ සිරීපාදේ යන්න...” සෑම් කීවාය.

“සෑම් දැන් අවාරේ... සීතල වැඩියි. තෙමෙන්නත් වෙයි වැස්ස හින්දා....”

“පොඩ්ඩක් තෙමුණට නං කමක් නෑ නේද බිම්?” සමන්ති බිමල්ගෙනුත් ඇහුවේ එයාවත් ගමනට එක්කගෙන යන්නට ඕනෑ නිසාමය. “මං එන්නෙ නෙවිල් අයියාත් එනවා නං විතරයි.....” බිමල් කිව්වේය.
“බලාගෙන ගියාම හලෝ, තමුසෙලගෙ පරම්පරාවම පතාගෙන ඇවිත් තියෙන්නේ මාව කන්නනේ!” මට එහෙම කියමින් නහයෙන් ඇඬුවත්, නෙවිලුත් ගමනට ආවේය.

සෑම්ට ඕනෑ කළේ එරත්න හරහාම සිරිපා කරුණා කරන්නටය. වෑන් එකක් කුලියට ගෙන ඒකෙන්ම හැකිතාක් උඩට ගිහින්, ආපසු ගමනත් කුරුවිට පාරෙන්ම එන්නටය මා සැලසුම් කළේ.

එදා පොටේ නං වැස්සත්, සීතලත්, මීදුමත් මදිය නොකියන්නටම අපේ නඩයට පහර දුන්නේය. හැරමිටිපානේ අම්බලමේ රාත්‍රිය ගත කරද්දී මට දහ අතේ හිතන්නට සිදු විණි. “සෑම්... මේ විදිහට මීදුමයි සීතලයි තියෙනවා නං පාන්දර උඩට නඟින්න බැරි වෙයි. ටෝච් දෙකනේ තියෙන්නේ.... අවාරෙදී පාරවල්වල ලයිට් නැහැනෙ... ඉතිං එහෙම නැග්ගේ නැත්තං අපිට හෙටම ආපහු යන්නත් බැරි වෙයි..... සමන් දෙයියෝ තමයි ඔන්න උදව් කළොත්....”

අපි හතර දෙනා ඒකට සතියකට හරි ලංකාවට එනවාමයි... (සෑම්, බිමල් හා පුතුන් දෙදෙනා ඩ්රූ- පවන් සමඟ)

එතුමා අපට උදව් කළේ නැත. උදේ අටටත් කෑලි කපන්නට පුළුවන් තරමේ මීදුමය. ගමන එතැනින් නවත්තලා පහළ බසින්නටය, අපට සිද්ද වුණේ!

"කමක් නෑ නේද බිම්? අපි ඊළඟට ලංකාවට ආවාම එමු...”
“එමු, එමු. හැබැයි මම එන්නෙ නෙවිල් අයියා එනවා නං.... ඒ වගේම තමයි ඩියර්; මිසිස් පටෙල්, මට ඒ ගමනෙදී බියර්වත් බොන්න ඉඩ දෙනවා නං විතරයි.”

“බිමල්, දාන්න පහක්! මාත් එන්නෙ බියර්වත් බොන්න ඉඩ දෙනවා නං විතරයි... නැත්තං අයියයි නංගියි ඕනි ගමනක් ගිහින් එනකල් අපි දෙන්නා අපේ ගෙදරට වෙලා ඉන්නම්!” බිමල් ඒ වෙලාවේම නෙවිල්ට කැමැත්ත දුන්නේය. දෛවය එහෙම කරන්නට ඉඩ දුන්නේ නැත. දෙවසරකට පෙරදී මුඛ පිළිකාවට ගොදුරු වුණු බිමල් මාස කිහිපයකදීම ජීවිතයෙන් සමු ගත්තේය!

“අපි මේ දෙන්නට ඕනි තරම් බොන්න ඉඩ දෙමු නෙවිල් අයියගේ fiftyයත් b’day පාටියෙදී.... නේද ලොකූ....”

ඒ වනවිටත් අපේ සමන්ති නංගී, නෙවිල්ගේ පනස්වෙනි උපන් දිනය නිමිත්තෙන් සාදයක් පැවැත්විය යුතුයැයි තීරණය කර තිබුණාය. “අපි දෙන්නා ඒකට සතියකට හරි ලංකාවට එනවාමයි, ලොකූ. ඔයයි මායි ඒක කරමු. He deserves it!”

නෙවිල්ටත් නොකියා, එයාගේම වියදමෙන් හොරණදී පැවැත්වූ 35 වෙනි උපන්  දින සාදයෙන් පස්සෙම එහෙම ලොකු දෙයක් කෙරිලා තිබුණේ නැතිය. ඒ පැත්තෙන් බලද්දී මට ටිකාක් විතර guilty හැඟීමකුත් තිබේ. 30-40-50 වගේ කඩයිම් වලදී විතරක් නොවේ, දශකයන් මැදදීත් මගේ උපන් දිනය සැමරුණු අවස්ථා ගොඩාරියකි.
ඒවා මගේ වැඩ නොවේ; මගේ සොයුරු-සොයුරියන්ගේ වැඩය.
අනෙත් අයගේ උපන් දින සැමරුම් කෙරිලා තියෙන්නේ අඩුවෙනි!

නෙවිල්ගේ 50 වෙනි උපන් දිනයදා සාදය මට කවදාවත් අමතක නොවන්නකි. ඒ හේතු දෙකක්...

2016 අගෝස්තු 25වෙනිදා නෙවිල්ලගේ ගෙදරදී තිබුණු ඒ සාදය මට කවදාවත් අමතක නොවන්නකි. ඒ හේතු දෙකක් හින්දාය.

එක: මෑත කාලයේ මා ඇවිදින මළමිනියක් බවට පත්වී හිටි දවසක් ලෙස එදා මට අමතක නොවන නිසාය. හිටි ගමන් මට එහෙම වෙයි. 2020 දෙසැම්බර අගදීත් එහෙම වුණත්, අපේ මිත්තරයාගේ උපන් දින සාදය දා මං හිටියේ, අන්තිම නරක විදිහටම දුර්වල වෙලාය. ඔහේ පුටුවක පත බෑවිලාය.... 

දෙක: මගේ දැනීමේ හැටියට නෙවිල් අනුරසිරි සහෘදයා 2016 අගෝස්තු 26 වෙනිදා පාන්දරය, පළමු වතාවට නිඳි යහනක් යට නිඳා සිට පිබිදිලා තියෙන්නේ.... ඒ අපේ ‘මෂියා’ බිමල්.....

25 comments:

  1. ගස්ගෝනා කියන්නෙ ගෝනෙක් නෙමෙයි වඳුරට නෙ , ඉතින් හරියනවද මෙතනට?

    නිමල් දීල තියන ලින්ක් එකේ වික්ටෝරියා රැජින ලංකාවට ආවයි, ඇවිද්දයි කියනව තමයි ඒත් පොඩ්ඩක්යි ආයිත් අහල බලන්න කතෘගෙන්.

    ඉතිහාස වාර්තාවෙන විදිහට ඇයගේ දෙවනි පුතා Prince Alfred, the Duke of Edinburgh තමයි මුලින්ම ලංකාවට ආවෙ 1870 දි.
    වැඩිමහල් පුතා Albert Edward (Prince of Wales) ආව 1875දි.

    ලංකාවට ආපු පලමු බ්‍රිතාන්‍ය රජු/රැජින දෙවන එලිසබත් 1954 දි.


    නෙවිල් වික්ටෝරියලත් එක්ක මිරිහාන පුරා ඇවිදින්නත් ඇති, වික්ටොරියල නෙවිල්ලත් එක්ක ස්ට්‍රෑන්ඩ් පාර දිගේ යන්නත් ඇති. ඒත් වික්ටෝරියා රැජින නම් ලංකාවට තියා ඉන්දියාවටවත් ආවෙ නෑ කියල තමයි වාර්තාවෙන්නෙ. ඇය නැගෙනහිර දිසාවට ගිය දුරම ප්‍රාදේශය වෙන්නේ ඉතාලියෙ ටස්කනි පැත්ත.
    https://www.historyextra.com/period/victorian/queen-victorias-indians


    වික්ටෝරියා ලංකාවට ආව විතරක් නෙමෙයි කෝට්ටෙ ඉඳං මිරිහානට පයිං ගියාත් කියල කතා අපි කියනව නම් අවු 150ටත් මෑත ඉතිහාසය ගැන (විකිපීඩියා එකෙන් වුනත් ක්වීන් වික්ටෝරියා ගැන ලේසියෙන්ම හොයායන්න පුලුවන් ඉතිහාසයක්.එනිසා ඇත්ත හොයා ගන්න පුලුවන් ) අපි ඈත ඉතිහාසය ගැන කියන / කියල තියන කතා?????? !!!!!!

    ReplyDelete
    Replies
    1. http://exploresrilanka.lk/2013/11/british-royal-encounters-with-sri-lanka/

      Delete
    2. 'ගස් ගෝනා' කතන්දරේ පුරුදු වුණේ අපේ ආච්චිගෙන්. ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ. ඇත්තටම ගස් ගෝනා කියන්නේ වඳුරට බව අර යෙදුම පාවිච්චි කරද්දී අද වෙනකල් ක්ලික් වුණේ නෑ. ස්තුතියි Pra Jay මහත්තයෝ ඔය කාරණේ පෙන්නලා දුන්නාට.

      ඔබතුමා වගේ නෙවෙයි, ඉතිහාසය මගේ ප්‍රියතම විෂයයක්වත්, නිපුණ ක්ෂේත්‍රයක්වත් නෙවෙයි. යන්තමට දන්නෙ. ඉතිං මම උපුටපු මූලාශ්‍රයේ තිබුණු කරුණු හොයාගන්න ඇත්තෙත්, වැරදි මූලාශ්‍රවලින් වෙන්නැති.
      ඔයා හරි. මෙතරම් මෑත කාලීන තොරතුරුත් වැරදියට ලියවිලා නං... ඈතම ඈත අතීත තොරතුරු කොච්චර නිරවද්‍යව ලියවිලා තියෙනවා ඇතිද?

      මෙහෙම කරුණු ගැන links එක්කම විස්තර දීම නම් ලොකුම දෙයක්. ගොඩක් ස්තුතියි!!

      Delete
    3. වාලිමිකීගෙ කතාවකින් අපි දැන් ඇහින් දැක්කා වගේ විස්වාසකරමින් කිසිම පුරාවිද්‍යා සාධකයක් නැති ඉතිහාසයක් ගොඩනගාගෙන ඉන්නෙ.
      වික්ටෝරියා කණුව කරේ තියන් නෙවිල් එක්ක කෝට්ටෙ ඉදල මිරිහානට පයිං ගියා කිව්වත් අනේ ඉතිං මොනවහරි ඇත්තක් ඇතිනේ කියල කියයි

      Delete
    4. මම හිතන්නේ මිනිස් වර්ගයාම අද්භූත දේවල් අහන්න කැමතියි වගේම පිලිගන්නත් ආසයි කියලා. ඇත්තට වඩා ඒවා රසවත්නේ Pra Jay මහත්තයෝ!

      Delete
  2. Jack and Jill went up the hill to do it in the water.
    Jack slipped,his condom ripped, and now they have a daughter.

    ReplyDelete
    Replies
    1. ඔය කවිය ලියන කාලේ තිබ්බ කොන්ඩම් සත්ත්ව බොකුවලින් හදාපුවා වෙන්නැති නේද?

      Delete
  3. https://www.lankapradeepa.com/2019/06/jubilee-post-mirihana.html
    ක්වීන් වික්ටෝරියාගෙ මිත්‍යා ගමන ගැන පෝස්ට් විතරක් නෙමෙයි පොත් වලත් තියනව !!! පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 2018 දි ප්‍රකාශනය කරල!!!


    (නිමල්ට ස්තුතියි. මං අහල බැලුව. මං දන්න ඉතිහාසඥයෙක් ඒක දැකල. අලුත් DG, මනතුංග මහත්තයට කියයි. නිවැරදි කරයි.මේක ගැන ප්‍රසිද්ධියක් ලැබුනොත් මේ වගේ කටකතා ඔප්පු කල ඉතිහාසය වගේ පිලිගැනීමේ අවදානම ගැන මිනිස්සු දැනුවත් වෙයි )

    ReplyDelete
    Replies
    1. දැනීම නිරවද්‍ය වෙන තරමට වටිනවා! ඒක කෙරෙන්නට චුට්ටං හරි දායකත්වයක් මගෙනුත් කෙරුනා නං මාර සතුටුයි. Pra Jay මහත්තයෝ, ගොඩක් ස්තුතියි.
      මේ වගේම මහන්සි වෙලා අර හඟුරන්කෙත ගල් බෝලේ විත්තියත් කොහොම හරි හොයමු නේද... මගේ ගෞරවේ බේරාගන්න.

      Delete
    2. මෙහෙ ඉතිහාසයට වඩා පැතිරෙන්නෙ සෙන්සේශනල් කටකතා. දශමයක් ඇත්තක් හෝ කිසිම ඇත්තක් නොතිබුණත් තමන් කැමතිනම්, තමන්ගෙ මතයක් සනාථ කරන්නනම් සුරන්ගනාකතා ලියන ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්යල ඉන්නව.
      තව අවු 100කින් කවුරුහරි කියයි අපේ සීයගෙ නැන්දට නිමල් කියලා බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. එයා දේවදූතයෙක්. එයාට නිදි කියලත් කිව්වා . ඒ එයා තාමත් ගල්ගුහාවක නිදි නිසා. එයා ඇහැරිලා මහරගම අන්‍යාගමිකයන් ගෙන් ගලවගෙන හික්ගස් හන්දිය රාජාණ්ඩුවක් ඇතිකරනවා. අපේ ආච්චිට එයාගෙ නැන්දම්මගෙන් ලැබුනු ලැප්ටොප් එකේ ෆෝටෝ තියනවා. පුරාණ බ්ලොග් පෝස්ට්වලන් ඔප්පුකරන්න පුලුවන් කියල.
      එයාගෙ හෙලිකොප්ටර් පයිලට්ට හිටියෙ නෙවිල් කියල එයාර් මාර්ශල් කෙනෙක් කියලත් කියයි

      Delete
    3. මළ කෙළියයි!
      Pra Jay කියලා තියෙන ඒවා වෙන කාලෙක ඔයාල හිටියොත් කියන්නකො 'නිදි'ට වැඳුම් පිදුම් විතරක් කරන්න එපැයි කියලා. ඒ වගේම ඇඟට රස්නේ වැදෙන තරමට කිට්ටුවෙන් පහන් පත්තු කරන්නයි, හුස්ම හිර වෙන තරමට දුම් අල්ලන්නයි එපා කියලත්.

      අඩුම ගණනේ මේ කමෙන්ට්ස් ටිකවත් කියවන්නය කියලා මම නෙවිල්ට පණිවිඩයක් යවනවා, ඔන්න.

      Delete
  4. Victoria & Abdul ෆිල්ම් එකේ පෙන්නනවා වගේ ලොකු කුතුහලයකින් ඉන්දියාව ගැන විස්තර දැන ගන්න වික්ටෝරියා රැජින උනන්දු වෙන එකක් නැති වෙයි ලන්කාව හෝ ඉන්දියාව visit කරලා තිබුනානම් (ලන්කාවට විතරක් එයි කියලා හිතන්න අමාරුයිනේ). අර අඹ ගෙඩියකට එහෙම ඒතරම් ආසා වෙන්නෙ. ඒ නිසා common sense approach එකකින් බැලුවත් ලන්කාවට ආවා කියල හිතන්න අමාරුයි.

    'මිනි ගවුමක් ඇන්දෙව්වාට පස්සේ': ෆොටෝ එකට අනුවනම් ඒ කිසිසේත්ම මිනි ගවුමක් නෙවෙයිනෙ. නෙවිල් ෂර්ට් එක හදන එක ගැන විතරක් උනන්දුව තිබිලා මදි. ගැහැනු ලමයි ඉස්සරහ zombie වෙනවද.

    ReplyDelete
    Replies
    1. https://www.historyextra.com/period/victorian/queen-victorias-indians/

      //Queen Victoria never visited India – the furthest east she travelled was Tuscany in Italy. And although three of her sons and one grandson toured India in her lifetime, she herself only knew India secondhand – well enough, though, as it turned out to make it a significant part of her statecraft//

      //Until Abdul Karim came into Victoria’s life in 1887, she knew relatively little about the 30 million or so Muslims who made up around a seventh of the Indian population during her reign. How much Karim turned her head in the direction of Islam in India is an open question. The India Office suspected he did, as did her advisors at court.//

      Delete
    2. Lotus, අර film එක නං මට හරියටම වැදුණු එකක්... රැජනක් වුණත් තනිවීම ගැනයි- සිරගත නොවී හිරේක වැටීම ගැනයි හරි අපූරුවට ඒකෙදී කියවෙනවා.

      ඒ රැජිනයි ජුබිලි කණුවේ කතාවට මුල් වුණේ (?) කියලා නිකමටවත් හිතුණේ නෑ.

      Pra Jay මහත්තයා කියල තියෙන විස්තරවලින් පස්සේ මම මොනවා කියන්නද ජුබිලි කණුවේ පුරාවත ගැන?
      වඩා දැනුමැත්තන්ම ඒ ගැන විමසත්වා!

      Delete
    3. විස්තර සහ links වලට ස්තුතියි ප්‍රාජේ. Given that the film is based on true events, you would expect the slightest hint if such visit had actually taken place.

      නිදී ඉතිහාසගත වෙයි ඉතිහාසය නිවැරදි කරන්න හවුල් වෙලා.

      Delete
  5. ප්‍රා, එතකොට ජුබිලි කණුව කියන්නේ මොකක් ද ?

    ReplyDelete
    Replies
    1. ජුබිලි කණුව බොරුවක් ද ?

      Delete
    2. පැතුම්, පෙබරවාරි හත්වෙනි ඉරිදා රෑ අපි මර්වින්ලාගේ ගෙදර ගිහින් එද්දී මම විශේෂයෙන් බැලුවා ජුබිලි කනුවෙදී... ෆොටෝවල විතරයි දැන් ඒක තියෙන්නේ. එතැන අයිනක වෙන්නැති ඒ කණුව සවි කරලා තියෙන්නේ, පාර ලොකු (සංවර්ධනය) කරද්දී.

      අවසන් තීරණය කොහොම වෙතත් Pra Jay මහත්තයා දෙන links වලට ගිහින් බැලුවා නේද?

      Delete
    3. පැතම්, කණුව ස්ථාපනය කලේ ක්වීන් වික්ටෝරියාගෙ ජුබිලිය සමරන්න කල ලංකාවෙ උත්සවවල කොටසක් විදිහට . අධිරාජ්‍යයේ හැම රටේම මොනවහරි කරන්න ඇති. ඒත් වික්ටෝරියා හැමතැනම ගියෙනෑ. ආසියාවට තියා නැගෙනහිර යුරෝපයටවත් ගිහිල්ලා නෑ

      Delete
  6. ජුබිලි කණුව ඇත්තක් හෝ බොරුවක් ද?
    වික්ටෝරියා සම්බන්ධය මොන හැටි ද?
    වෙනම කතාවක් මේකට තියෙනවද?
    අසංග මහතා අපහට කියනව ද?

    නිදි ලියනා චීත්තවාහිනිය බලා
    නෙවිල් අපේ නොදුටු මිතුරු තුමෙක් වෙලා
    මෙහෙම ගියොත් පංචතන්තරේ මැකිලා
    නෙවිල් මයා ඉස්මතු වෙයි හෝ ගාලා...

    ReplyDelete
    Replies
    1. ජුබිලියට හදපු කණුව ඇත්ත . වික්ටෝරියා ආවෙ නෑ

      Delete
    2. ඩ්රැකීලා සියලු කට්ටිය එකතු වෙලා
      නෙවිල් උඩ දමති හරියට පුම්බාලා
      යාළුත් වෙලා ඇත එයාව හමු නොවිලා
      හරි සතුටුයි එයට; මං ඇත මුල් වීලා

      මොකවත් ලියන්නට මිනිහා එන්නෙ නැත
      මතක් කරල දුන්නොත් මිස මතකෙ නැත
      මට විරුදුව ලියන්නට සමතෙකු සොයත
      ඇබෑර්තුවට නං ඩ්රැකියත් සුදුසු වෙත

      Delete
    3. ප්‍රා තුමනි,

      තවත් ක්ලැරිෆිකේෂනයක් ඇත. රිදී ජුබිලියක් යනු අවුරුදු 25 නේද? අවුරුදු පණහ ට රන් ජුබිලිය නේද?

      Delete
    4. ඩ්‍රැකී උතුමාණනි,
      ඔබතුමා වෙරි කරෙක්ට්

      Silver jubilee, for a 25th anniversary.
      Ruby jubilee, for a 40th anniversary.
      Golden jubilee, for a 50th anniversary.
      Diamond jubilee, for a 60th anniversary.
      Sapphire jubilee, for a 65th anniversary.
      Platinum jubilee, for a 70th anniversary.

      මල කෙලියයි, නිමල්ගෙ මූලාශ්‍රයේ තියෙන්නෙ රිදී කියලද?
      අධිරාජ්‍යයේ අනිත් රටවල ඔක්කොටම හොරෙන් වික්ටෝරියා ලංකාවට ඇවිල්ලා කණුවක් තිබ්බයි කියන එක දැක්කාම මට වෙන ඒවා මිස් වුනානෙ.

      ඇත්තටම ඔබතුමාගෙ මිතොලොජි කතාවට මේ වික්ටෝරියා රැජිනගේ අත්බූත ගමන ඉන්කෝපරේට් කලොත් නරකද? නැවක නම් ආව වෙන්න බෑ. තෝර්ගෙ මියෝල්නියර් එක භාවිතා කරල හරි, ඩ්‍රැකියුලාගෙ පිටේ හරි ආවද දන්නෙ නෑ, කවුරුවත් දැනගන්න කලින් ආපහු යන්න. ඉන්ගලන්තෙ නිසා වෙල්ස් ගේ ටයිම් මැශින් එක වෙන්නත් පුලුවන්.ගෝල්ඩ් සිල්වර් වුනේ ටයිම් වෝප් එකකින් කියලා සැකයි

      https://www.theguardian.com/uk-news/2015/sep/14/no-silver-jubilee-for-queen-victoria

      Delete
    5. පෝස්ට් එකට වැඩිය කමෙන්ට්ස් ටික වටිනවා! ස්තුතියි ඩ්රැකී, Pra Jay දෙන්නාටම! 'ලියන්නා කෙසේ ලිව්වත්, කියවන්නා ප්‍රවේසමෙන් කියවිය යුතුය' කියලාත් ආප්තයක් ඕනි වගෙයි!

      Delete