අකුරු මැකී නෑ

Saturday, February 13, 2021

පතාගෙන ඇවිත්... -දහතුන්වෙනි කොටස

            මා ඇවිදින මළමිනියක් බවට පත්වී හිටි දවසක් ලෙස.... 

එක: මෑත කාලයේ මා ඇවිදින මළමිනියක් බවට පත්වී හිටි දවසක් ලෙස එදා මට අමතක නොවන නිසාය. හිටි ගමන් මට එහෙම වෙයි. 2020 දෙසැම්බර අගදීත් එහෙම වුණත්, අපේ නෙවිල් මිත්තරයාගේ උපන් දින සාදය දා මං හිටියේ, අන්තිම නරක විදිහටම දුර්වල වෙලාය. ඔහේ පුටුවක පත බෑවිලාය....

දෙක: මගේ දැනීමේ හැටියට නෙවිල් අනුරසිරි සහෘදයා 2016 අගෝස්තු 26 වෙනිදා පාන්දරය, පළමු වතාවට නිඳි යහනක් යට නිඳා සිට පිබිදිලා තියෙන්නේ.... ඒ අපේ ‘මෂියා’ බිමල්..... කළ ‘සුවිශේෂ චාරිත්තරයක්’ හින්දාය! 

“ලොකූ, ඔන්න අපි නෙවිල් අයියගෙ birth day එකට ලංකාවට එන්න ටිකට්ස්සුත් book කළා.... සර්ප්‍රයිස් පාටි එකක් ඔර්ගනයිස් කරන්න විදිහක් නැහැ නේද, ඔයාත් අසනීපෙන් නිසා....” සමන්ති නංගී එංගලන්තයේ සිට කතා කරමින් ඇසුවාය.

“ඔව් සෑම්, මේ දවස්වල එක-එක side effects මතු වෙනවා හිටි-හිටි ගමන්.... අනෙක, මම ඉස්සර වගේ ගෙදරින් වැඩිය එහෙ-මෙහෙ යන්නෙත් නැහැනෙ. ළිං ගෙම්බා වගේ ගෙදරම තමයි.... අපි නෙවිල්ට කියලම වැඩේ කරමු. එයාගේ අලුත් යාළුවො සමහර දෙනෙකුට invite කරන්න මම එයාලව අඳුරන්නේවත් නැහැනෙ දැන්.”
කොයි තරම් ජගතෙකු වුණත් තියෙන තත්ත්වය පිළිගන්නට ඕනිය.
කද බඳින්නට ඕනේ කඩුල්ලේ තරම දැනගෙනය.
“නෙවිල්, මේ සැරේ ඔයාගේ උපන් දිනේට පාටියක් ලැහැස්ති කරනවා.... සෑමුයි, මායි ගණනේ...”
“තමුසෙලට පිස්සුද හලෝ? මොන පාටිද?” ගත් කටටම ඒ හාදයා ඇහුවේය.

                    උදේනි, ගීතා පවුලේ උදවිය එක්ක.....

“ඕයි මේ අහනවා! බලනවකො, තමුසෙ අලුතින් ගෙයක් හදලා පදිංචියට ගියා... පාද යාත්‍රා ගමන නිසා මෙලෝ යකෙකුට නොකියා දඩි-බිඩියේ ගෙට ගෙවැදුණේ.... කී දෙනෙක් තාමත් පාටියක් ඉල්ලනවද? එහෙම නෙවෙයි. ඒ සේරටමත් හරි යන්න පාටියක් දාමු. අන්න එදාට සෑම්ලත් පවුල පිටින්ම ලංකාවට එනවා. අපේ පවුලේ කට්ටිය විතරක් එකතු වුණත් 15-20ක් විතර වෙනවනේ...

ඉතිං අපි යාළුවො කට්ටියටමත් කියලා වැඩේ කරමු.

Catering service එකකට කියමු! නැතිව අමාරු වෙයි.... මම නිකමට වගෙ කියන්නම ඕනි අයගේ list එකක් හදල බැලුවා, එතැනම 100 පැනලා... ඔයාටත් තව එකතු කරන්න වෙනවනේ....”

අමාරුවෙන් නෙවිල්ව කැමති කරවාගෙන ‘උපන් දින සාදය’ සංවිධානය කෙරිණි. ආරාධිතයන්ගෙන් 20-30ක් විතරම ඒ වෙද්දී trip එකක් යොදාගෙනය. ඒ හිතවත් ලලිත් ප්‍රියන්තලා කට්ටියය. “මොනා කරන්නද? Trip එක වෙනස් කරගන්න ප්‍රියන්තලට බැහැ වගේමනේ සෑම්ලටත්... ආපහු යන දිනත් තීරණේ කරලා ඉවරයිනෙ....” පාටියේ දිනය වෙනස් කරන්නට අපට බැරි වුණේය.
ළඟම; සමීපතම මිතුරන් පිරිසක් නැතිව වුණත් ‘60 පිරීම’ සමරන්නට වුණේ එහෙමය.

“නිමල් අංකල්. අපි කේක් එක හදාගෙන එන්නං!” උදේනි-ගීතා යුවලගේ ලොකු දෝණිය; පවනි කීවාය.
“මම බයිට් එකට ජීරා චිකන් හදනවා.” අපේ බිමල් කිව්වේය. තව-තව දායකයන් හිටියද මන්දා... මට අමතකය. සිටියා නම් මට සමාව දිය යුතුය.

බිමල්ගේ එක අතක පුංචි වීදුරු හයකි; අනෙකේ බෝතලයකි. ඔන්න ඒ දෙන්නාම බොනපාට්ලා අතරට...

එදා ඒ ‘සූදුරු කුකුළු මස්’ අවුළුපත මටත් රස වැටුණේය. පසුව දවසක බිමල් මට ඒවා හදන්නටත් ඉගැන්නුවේය. බිමල් නං එව්වා හැදුවේ ලෝස් නැතිව බටර් දාලාය; ඒ එංගලන්තයේ විදිහටය. මං ලංකාවේ එකානේ; බටර් ගාන්නට මිස ඒවායින් උයන්නට නුපුරුදුය. ඉතිං ‘ජීරා චිකන්’ හදද්දී බටර්වලට ආදේශකයක් ලෙස මං පාවිච්චි කරන්නේ පොල්තෙල්ය!

‘Blogger’s Eve’ එකට පැමිණි හිතවතුන්ගෙනුත් මා පිසූ Jeera Chickenවලට මනාපය ප්‍රකාශ වී, මට හෙණට ලකුණුත් ලැබුණු බව යළි-යළිත් කියන්නේ ආඩම්බරයෙනි. 

කලිනුත් කිව්වා වගේම, එදා උදේ ඉඳලාම මගේ ඇඟට පණ කියන නාමයක්වත් තිබ්බේ නැතිය. “ලොකූ rest කරන්න!” මට උපදෙස් දුන් සමන්ති- දීපාල්- මානෙල් ඇතුළු කට්ටිය කළ යුතු දේවලට උර දුන්හ.

“මට හොඳටම හරි නෑ මිනිහෝ. අද මම ඔයාලගේ දිහා එන්නෙ නැතිව ඉන්නං නෙවිල්... මට ඔළුව උස්සගෙන ඉන්නම බෑ!” කොච්චර කිව්වත් ඒකට නං ඉඩක් ලැබුණේ නැත.
“මගේ පණ යයි හලෝ, තමුසෙ නැත්තේ මොකද කියලා අහන හැමෝටම උත්තර දෙන්න වුණොත්!” නෙවිල් කිව්වේය.
“ඒකනෙ ලොකා... එන අය ඔක්කොම දන්නෙ නෙවිල් අයියයි, ඔයයි විතරනේ... ඔයා නිකමට ඉස්සරහ පුටුවකින් වාඩි වෙලා ඉන්න. එතකොට හරිනේ...” සෑම්ලාත් කීවෝය.

පාටිය ජයට යද්දීය බිමල් මහේන්ද්‍ර භායි පටෙල්; අපේ මෂියා අමුතු චාරිත්‍රයක් කරන්නට පටන් ගත්තේ.
“Come on නෙවිල් අයියා.... It’s a challenge! අද නං You can’t avoid this...”
බිමල්ගේ එක අතක පුංචි වීදුරු හයකි; අනෙකේ බෝතලයකි. ඔන්න ඒ දෙන්නාම බොනපාට්ලා අතරට... එයින් පස් දෙනෙකුට අර කුඩා වීදුරු පහක් දෙයි. සයවැන්න නෙවිල්ටය. බිමල්, ඒ වීදුරු හයටම අතැ’ති බෝතලයෙන් ‘අසුරයන්ගේ අමාව’ වත් කරයි. සය දෙනාම වීදුරු ගටා, සවුදිය පුරා පානය කරති.

ෂර්ට් එක හදන එක ගැන විතරක් උනන්දුව තිබිලා මදි. ගැහැනු ළමයි ඉස්සරහ zombie වෙනවද?

ඊළඟට තවත් පස් දෙනෙක් ළඟට... පෙර සේමය.... ගණන හදා ගැනීම අසීරු නැත. එදා මදුවිත පාවිච්චි කරන්නන් 50ක් හිටියා නම්, නෙවිල්ට පුංචි වීදුරුවෙන් 10ක් නිකම්ම පෙවිලාය.

අපේ බිමල්ට හිතන්නට තිබිණි. එහෙම නොවුණායින් වුණේ නෙවිල්ගේ කන් පාත් වෙන්නටම වැදුණු එකය; කරටිය කඩා වැටීමය.
“ඇයි හලෝ... වීදුරුම කීයක්ද? ඒ අස්සේ යාළුවො ෂොට් එකක් ගහපං කියපුවා.... Mix වුණත් එක්ක. ඒත් මේ කොල්ලා සැලුණේ නෑ හලෝ. අමාරුවෙන් ඔළුව උස්සගෙන හිටියා, කට්ටිය කාලා ඉවර වෙනකල්... මං හිතන්නේ සෑම්ලා- මානෙල්ලා ඒ පැත්ත බැලුවා වගේ.... අපේ කට්ටියෙනුත් දෙතුන්-දෙනෙකුටම වැඩිවෙලා... සමහරු මගෙ ඇඳේත් නිඳි.
මාත් එහෙම්ම බිම ඇල වුණා!
පහුවදා උදේ බලද්දී නං මම ඇඳ යට හලෝ! වස ලැජ්ජාව!!”

මට ඔය විස්තර කිව්වේ නෙවිල්මය. (බ්ලොගය ලියන්නට හිතකවත් නොතිබුණු කාලයේය.) එදා මළකඳක් වගේ හිටි මාව දීපාල්; බඩා මල්ලා ඉක්මනින්ම ගෙදරට එක්කගෙන ආව නිසා පාටියේ රසවත් තැන් ගොඩක් මට මඟ හැරුණු බව නම් සහතිකය. 

තවත් සමහර දේවලුත් මඟ හැරිලා වගේ කෙනෙකුට හැඟෙන්නට ඇහැකිය! ගියවර post එකට කමෙන්ටුවක් එවමින් Lotus ඒ ගැන ඉඟියකුත් කරන්නේ මෙහෙම අසමිනි. “...නෙවිල් ෂර්ට් එක හදන එක ගැන විතරක් උනන්දුව තිබිලා මදි. ගැහැනු ළමයි ඉස්සරහ zombie වෙනවද.”

ඔහොම තියා කොහොම ඇහුවත්, මේ යක්ෂයා උත්තර දෙන්නට නං ඒවි කියලා, මං හිතන්නේ නැතිය. ප්‍රතිචාරවලට පිළිතුරු දෙනකොට වුණත්, පිටස්තරයන් ගැන ලියනවිට තෙවෙනි පාර්ශ්වයකුත් ගෑවෙන තැන්වලදී 100%ක්ම සංවරව, පරෙස්සම් වෙන්නටය මට සිද්දවී තියෙන්නේ.

එහෙත්, නෙවිල් මහත්තයාගේ කිල්ලෝටයේ හුණු කප්පරක් තියෙන බව විතරක් කියන්නෙමි.
ඒවායින් වැඩි කොටහක් මං දැන ගත්තේත් මේ හාදයාගෙන් නොවේ. ඉතා විශ්වාසදායී තොරතුරු සපයන ප්‍රභවයන්ගෙන් මටත් අඩුවක් නැත. (අද කියන දේවල් ටිකවත් කියන්නේ හිත-මිතුරන් ගොඩ දෙනෙකු ප්‍රසිද්ධියේ කියන කයි-කතන්දර බොරුම වෙන්නටත් බැරි හින්දාය.
ගින්නක් නැතිවම දුම් නඟිනවාද?)

            මේ එළඹී තියෙන්නේ දෙසන්නන් බහුල යුගයකි....

ඇත්තම කියනවා නං, කවුරුන් හෝ මට විස්තර කියද්දී, කියන දෙයක් අසා ගන්නවා මිස; හූමිටි තියමින් කියන්නට උල්පන්දම් දෙනවා මිස නොකියන දේවල් හාරා අවුස්සන පුරුද්දක් නැතිකම නිසා නෙවිල්ගෙන් වුණත්; පෞද්ගලික දේවල් ගැන මා හරස් ප්‍රශ්න අහන්නේ නැත.

ඒ මනුස්සයාට වුණත් නොකියන දේවල් මටත් තිබෙද්දී... මං එහෙම නිහඬ වීමේ වරදක් නැහැ නේද?

කෙනෙකුගේ කුලය, වයස, රැකියාව, වැටුප, ආදායම, වත්කම්, සබඳතා හා රහස් පිළිබඳව මා කවදාවත්ම විමසන්නේ නැත. නමුත් මොකක්දෝ හේතුවකට ගොඩ දෙනා මට ඒවා කියති. එහෙම කෙරෙන්නේ මං එයාලට හොඳින් සවන් දෙන නිසා වෙන්නැතිය.
(කලිනුත් කියා තියෙන දෙයක් නැවතත් කිව යුතුය. මේ එළඹී තියෙන්නේ දෙසන්නන් බහුල යුගයකි. හැමදෙනාම දෙසති. අසා සිටින්නොත් අහන බව පෙන්වනවා විතරය; කණට වැටුණත්, මොළයට යන දෙයක් නැත.)
ඉතිං එයාලා මට කියන ඒ කියන රහස් රැකගෙන; හෙළි කළාට අවැඩක් නොවන දේවල් පමණක් තෝරාගෙනය, මෙතෙක් මා සහෘද ඔබට වුණත් කියා ඇත්තේ! 

අනෙක් අතට ‘නිදිගෙ පංච තන්තරේ’ට ලියන්නේ මගේ ජීවිත කතාවයි; මට සබැඳුණු දේවලුයි. ඉතිං තවත් අය වාර්තා කළ පමණින් වුවත්, අදාළ නැති- නොවැදගත් තොරතුරු ලියන්නට බැහැනේ... නේද?
ඒත් දැන් නං, මේ ලියන්නේ අපේ කතා නායකයාම ප්‍රසිද්ධියේ අපට කියූ දේකි!

“අපේ තාත්තා මටත් වැඩිය ජොලි පොර!
ඉස්සර අපේ අම්මලා බැන්ද අලුත.... තාත්තා යාළුවොන්ගේ ගෙවල්වලට එහෙම ගියාම දවස-දෙකේ ගෙදර එන්නෙ නැතිව ඉන්නවලු... තාත්තට ජපන් මැන්ඩලින් එකක් තිබ්බනෙ. ඒ දවස්වල ඒකත් හරි ලොකු දෙයක්.... ඉතිං කට්ටිය set වුණාම කාලා- බීලා- සිංදු කිය-කියා අරහෙම ගෙදර නෑවිත් ඉන්නකොට අම්මා තමයි ගිහිල්ලා පොරව ගෙදර එක්කගෙන එනවයි කියන්නේ....” නෙවිල්ම දවසක් කිව්වේ, අපේ සුනිල්- ගවීන් එහෙමත් ඉන්නා තැනකදීය.

ගවීනුත් ‘බබා හුකුම්’ පෙන්නුවේ (නෙවිල්, ගවීන් හා අපේ සුනිල්...)

“එහෙනං ඉතිං පුදුමයක් නෑ!”

“ඇයි සුනිල් අයියේ පුදුමයක් නෑ කිව්වේ?” එතකොට නෙවිල් ඇසුවාත් එක්කය.

“නෑ ඉතිං, තාත්තා කරපු දේ පුතාත් නොකළොත් ඌ නොට්ටිගෙ පුතාය කියනවනේ...” සුනිල් කිව්වේය. “ඒ විදිහට බලද්දී නෙවිලුත් කසාදයක් එහෙම බඳින්නෙ නැතිව හිටිය එකත් වාසියට හිටියා, නේද? මෙහෙම ඉන්න නිදහසක් නැති වෙනවනේ නැත්තං.”

“අපෝ සුනිල් අයියෙ, මාත් කසාදයක් බැඳලා හිටියා නං... දැන් අම්මා ඉන්න විදිහත් එක්ක, මළ යුද්දයක් කරන්න වෙන්නේ....” නෙවිල් අපේ සුනිල්ට එකඟ වුණේය. “.... අපේ අම්මගෙම වාසනාවට එහෙම දෙයක් නොවුණේ!”

“එහෙම වෙන්නෙ නෑ, අර xxxට තමුසෙ කැමති වුණා නං.” මම රහසකින් යාන්තම් චුට්ටක් එළියට දැම්මෙමි. “Xxx ලේලි වෙලා හිටියා නං, ඒ කෙල්ල ඔයාලගේ අම්මටත් හොඳට සලකාගෙන ඉන්නවා ෂුවර්!” ඒ මට හිතුණු හැටිය.

“ඒ කෙල්ලගේ හිතේ එහෙම මඟුලක් තිබ්බෙ නෑ මිනිහෝ... තමුසෙගෙ ඉතිරි දත් ටිකත් හැළෙනවා, ඔහොම පච කෙළිනවට.....” නෙවිල් කඩා පනියි.

“කවුද... කවුද නිමල් අංකල් xxx?  මෙච්චර කල්, අපි දන්නෙ නෑනෙ ඔය කතන්දරේ....” ගවීනුත් ‘බබා හුකුම්’ පෙන්නුවේ, මං ලවා වැඩි විස්තර කියවා ගන්නටය. “කොයි කාලෙද නිමල් අයියේ ඔය?” අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයාත්, ගවීන්ගේ පාරේම යන ගමන්ය.

“මේකයි වුණේ... නව රෝහල හදපු අලුතම නිසා, තලපත්පිටියේ හැම ගෙදරම වගේ ඉස්පිරිතාලේ වැඩ කරන කට්ටි-කට්ටි නවාතැන් අරගෙන හිටියා.... මෙයාලගෙ ගෙදරත් තුන් දෙනෙක් හිටියා... මිසීලා....” මට කියාගෙන යන්නට ඉඩ ලැබුණේ නැත. බාධා කෙරුණේය.

       ඔය අතරේ හිටිය හොඳ සීදේවි, සිරියාවන්ත කෙල්ලෙකුත්...

“තුන් දෙනාද හලෝ, අපේ ගෙදර හිටියේ? තව කී දෙනෙක් හිටියද?”
“හරි, හරි අප්පුහාමි, කලබල නැතිව ඉන්නවකෝ ටිකක්..., කියනකල්. තමුන්නාන්සේලාගේ ගෙදර අමතරව තිබ්බේ එක කාමරයයිනේ. ඒකෙනෙ තුන් දෙනෙක් හිටියේ. එක්කෙනෙක් බෝඩිමෙන් යනකොට එක්කෙනෙක් ආවා... එහෙමයි වුණේ. ඔය අතරේ හිටිය හොඳ සීදේවි, සිරියාවන්ත කෙල්ලෙකුත්.... නම xxx!”

“පව් හලෝ! xxx මගේ කමිසත් හෝදලා දුන්නා!”

“ඔය එළියට පැන්නේ... ඒ ළමයාගේ හිතේ මෙයා ගැන තිබ්බා... නැතිව මොන කෙල්ලද කොල්ලෙක්ගේ ඇඳුම් හිට හෝදලා දෙන්නේ... වැඩේ වුණේ නෙවිල්ගේ හිත තිබ්බේ එයාට නෙවෙයි; xxxx ළඟ.” ඉතිරි ටික කියන්නට විනාඩි ගණනාවක් බලාගෙන ඉන්නට වුණේය.
ඒ තරමටම සභාවේ සිනාය! (අකුරු හතරේ නම මගෙන් නං අහන්නට එපාය. රුකුලක් විතරක් දෙන්නං, ඕනිම නං. ශ්‍රී දේවි ප්‍රධාන චරිතය රඟපෑ film එකකුත් මේ කාන්තා නාමයෙන් නම්කොට තිබුණේය.
Xxx අකුරු තුනේ නම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ඓතිහාසික නවකතාවකත් තිබේ!)

“කවුද අයියේ xxxx?”
“එයාත් මෙයාලගෙ ගෙදරම නැවතිලා හිටියේ.... හොඳ උස- මහතයි. මට හොඳටම මතක තියෙන්නේ, ඒ ළමයාගේ තිබිච්ච මහන්තත්ත ගතිය. පෙනුමෙන්ම ටිකක් ආඩම්බර විදිහයි. ඒක වෙන්නත් ඇති කොල්ලා පස්ස ගැහුවේ...”

“යනව ඕයි යන්න.... බොරු නොකියා.... මගෙ හිතේ එහෙම දෙයක් තිබ්බෙ නෑ....”

ඒ කෙල්ලොන්ට අපේ අම්මා දාහක් නීති දාගෙන හිටියෙ. රෑ නවයෙන් පස්සේ....

“අනුරසිරි මහත්තයා ‘නෑ’ම කියනවා නං ඉතිං, මම මගේ කීම ඉල්ලලා අස් කරගන්නං. පපුව පලලා බලන්නයැ. මට පෙනිච්ච හැටියට නං ඕක තමයි වුණේ. මේ හාදයා අම්මටත් බය වෙන්න ඇති, සමහරවිට....

අර xxxව අපේ උපාලි ජයරත්නට යෝජනා කරන්න හදනකොටත් මෙයාලගෙ අම්මා කැමති වුණේ නෑ, ග්‍රාම සේවක කෙනෙකුට ගැලපෙනවද මිසී කෙනෙක් කියලා...
එහෙව් මනුස්සයා කැමති වෙයිද ඒ වගේ කෙනෙක්ව ලේලි කර ගන්න? අන්තිමේ ඒ ළමයි දෙන්නම වෙන කසාද කර ගත්තා..”

“ඒ දවස්වල නෙවිල්ල අම්මා සැරයිද අයියේ?” අපේ සුනිල් අහයි.

“ඒ කෙල්ලොන්ට අපේ අම්මා දාහක් නීති දාගෙන හිටියෙ, සුනිල් අයියේ. රෑ නවයෙන් පස්සේ tv බලන්න බෑ... ලයිට් දාගෙන ඉන්නත් බෑ....” නෙවිල් කියන්නේ, ඒවායින් මගේ කීම් සනාථ වෙන බව නොසිතාය. “...එතකොට අපේ අම්මා දයානන්දලගේ කඩේට දාන්න ඉඳියාප්ප තම්බනවා, පාන්දර නැඟිටලා. ඒකයි...” 

එහෙම වික්‍රම කළ මනුස්සයා දැන් තනියෙන් ගෙදර ඉන්නටත් බැහැයි කියයි! “.... කියනවා විතරක් නෙවෙයි මර්වින්, අඬනවා. අදත්...”

පෙබරවාරි 7 වෙනිදා රෑ නෙවිල් කිව්වේ, මර්වින්ලාගේ ගෙදරදීය.
එදා දහවල් මර්වින්ලා පිංකමක් කරලාය. “... එව්වා අපේ පිං වැඩ... නිමලෝ... උදේනිලා කට්ටියත් එනවා. නෙවිල්ටයි, පීරටයිත් කිව්වා. එනවනේ.... රෑට බත් ටිකක් කාලා යන්න.”

අපිදු එහි ගියෙමු. රාත්‍රී භෝජනයත් භුක්ති විඳ සතුටු සාමීචියේ යෙදෙමින් සිටියෙමු. ගවීන් අපට රහස් පණිවිඩයක් ගෙනාවේ ඒ අතරේය.
“නිමල් අංකල්, ඔයාලා මර්වින් අංකල්ව මෙහාට ගෙන්නා ගන්නකො පොඩ්ඩකට කතා කරලා. හෙට ‘ම’ගෙ උපන් දිනේ. සචීලා කේක් එකක් හදාගෙන ආවා. පොඩි සර්ප්‍රයිස් එකක්... මෙයාව මෙහාට ගෙන්නාගෙන හිටියොත් අපිට පුළුවනි, ඒක arrange කරගන්න.”

අඳුර මැකුණේ; සචීලා දැල්වෙන ඉටිපන්දම් ගැසූ කේක් එක සාලයට රැගෙන.....

(සචී ගැන අද පොස්ටුවේ ඉහතිනුත් කියවෙයි. නෙවිල්ගේ 60වෙනි උපන් දිනයටත් කේක් හැදුවේ සචීය. ඉස්සර අපේ ඔක්කොම දේවලදී කේක් හැදුවේ ගීතාය. දැන් ගීතා ඒ රාජකාරිය ලොකු දූ පවනි හෙවත් සචීට පවරලාය.) 

නෙවිල්, මර්වින්ට කතා කර ළඟට ගෙන්නා ගත්තේය; ගෙදර විස්තර කියන්නට පටන් ගත්තේය. “ඉන්දිරා මට කෝල් එකක් දීලා පරක්කු මොකද අහනකොටත් මචං අපි මඟ... අම්මත් එක්ක එන්න-එන්නම වැඩේ අමාරු වෙනවා මර්වින්... අදත් වැඩ ඇරිලා ගෙදර ගිහින් එයාට කෑම රත් කරලා දුන්නා. තේත් හදල දුන්නා. කාල-බීලා ඉවර වුණාම වෙනදට ඒ මනුස්සයා කාමරේට යනවනෙ නිඳා ගන්න.
ඉව තියෙනවද මන්දා මචං.... අද අම්මා දිගටම කුස්සියේ පුටුවෙම වාඩිවෙලා හිටියනෙ කාමරේට නොයා.
එහෙනං දැන් අම්මා කාමරේට ගිහින් නිඳා ගන්න කිව්වා විතරයි, එයා මට කඩා පැන්නනේ....”

“ඒ මොකෝ නෙවිලෝ?”

“එයාට තේරෙන්න ඇති මම කොහේ හරි යන්න තමයි හදන්නෙ කියලා.... ‘මම නිඳියන්නේ මට ඕනි වෙලාවට’ කියපි. එතකොට නං මටත් කේන්ති ගියා. මම කිව්වා එහෙනම් මං ටිකකට එළියට ගිහින් එන්නයි හදන්නේ කියලා... ඒක කිව්ව ගමන් මේ මනුස්සයා අඬන්න ගත්තයි කියපංකො. ‘මට තනියම ඉන්න බයයි බං. මාව තනියම ගෙදර දාලා යන්න එපා’ කිය-කියා... මාර ගේමක් දීලා, හරිම අමාරුවෙන් ගෙදරින් පැන ගත්තේ...”

“නියම පරිප්පුව මචං! ඔය විදිහට නං පුතෝ, තව ටික දවසක් යද්දී උඹට ගෙදරටම වෙලා ඉන්නයි වෙන්නෙ නෙවිලෝ!”

එහෙම කියවෙද්දීම ගෙදර අඳුරු විණි. “අම්මට සිරි... ලයිට් ගියාද?” ප්‍රශ්නය ඇහෙද්දී අඳුර මැකුණේ; සචීලා දැල්වෙන ඉටිපන්දම් ගැසූ කේක් එක සාලයට රැගෙන ආ නිසාය.
නිදිගෙ පංච තන්තරේ කියවන හිතාදර ඔබටත් දැන්
මර්වින් බොතේජු අමුත්තෙක් නෙවෙයිනේ. ඔහුට ‘සුබ උපන් දිනයක්’ පතන්නට මා හා එකතු වෙනවා නේද? 

‘සුබ මංගලම්!’ කියලා ප්‍රාර්ථනා කරන්නට තිබුණු අවස්ථා කිහිපයකින් එකක් ගැන කියන්නටත් මේ මුහුර්තය....

නෙවිල්ටත් ‘සුබ මංගලම්!’ කියලා ප්‍රාර්ථනා කරන්නට තිබුණු අවස්ථා කිහිපයකින් එකක් ගැන කියන්නටත් මේ මුහුර්තය සුබය.

වතාවක අපේ හිතවත් මිතුරෙකුගේ පවුලේ පිරිසත් එක්කලා නෙවිලුත්, මාත් මඟුල් කියන්නට ගියෙමු.
“එක ගමනෙන් වැඩ දෙකක් කරගන්නයි යන්නේ.... එහාටම ගිහින්, අපේ දුවගේ මංගල්ලෙට එන්න කියල එයාලට බුලත් දෙනවා. ඒ ගමන්ම ටිකක් දුර නිසා, මේ ගමන පොඩි trip එකකුත් කර ගන්නවා.... නිමලෝ, උඹලගෙ තව යාළුවො දෙන්නෙකුත් එනවයි කිව්වා.... යමු නේද?” අපේ හිතවතා යෝජනා කළේය.
රසික ඔබ දැනටමත් දන්නා විදිහටම, ඉඩක්-නිවාඩුවක් තියේ නම් ගමනක් යන්නට පය උස්සාගත් ගමන්ය; අප දෙන්නාත් ඉන්නේ.

ගියේ විශාල වතු බංගලාවකටය.

බංගලාවේ හිටි තරුණියකගේ බැලුම්- සැලකුම් සේරම කෙරුණේ අපේ හිතවතා හෝ පවුලේ උදවිය හෝ කේන්ද්‍ර කරගෙන නොවේ. නෙවිල්ව මුල් තන්හි ලාගෙනය! “ඒයි නිමලෝ. අපිට තව මඟුලකට මෙහෙ එන්න වෙයි වගේ!” නඩයේ අංගනාවක් හොරෙන්ම මගේ කණට කෙඳිරුවාය. තවකෙක් ඇස් නටවා හිනාව ගිල ගත්තේය.

“අනේ සාදු! එහෙම හරි මේ මනුස්සයට යහපතක් වෙනවා නං....” මමත් අනුමෝදනා වීමි.

“මචං නෙවිල්, යකෝ, තොගේ පින. ඉංග්‍රීසි ටීචර් කෙනෙක්... හෙණ විශාල වත්තකුත් අයිතියි! මටත් කොමිස් එකක් දියං මචෝ මඟුල කෙරුණාම. උඹ කැමතියි නං අදම මම වචනේ දාන්නං...” අපේ හිතවතා සද්භාවයෙන්ම කිව්වේය.

 ඒ ළමයා.... බොහොම නිහතමානීව; අහිංසකව කියන පමාවෙන් බයිට් එක හදෝගෙන ආවා! අන්න එහෙමයි...

“මටත් හිතට ඇල්ලුවා, මටම කියලා අර bite එක හදවාගෙන ආපු එක නං. පේනවද... අපිට බයිට් එකක් හදල දෙන්න කිව්වම මේ යකා දාන පාට් වගේද ඒ ළමයා.... බොහොම නිහතමානීව; අහිංසකව කියන පමාවෙන් බයිට් එක හදෝගෙන ආවා! අන්න එහෙමයි හැදිච්ච ළමයි!!” එවෙලෙ නං නෙවිලුත් මට රවමින් කීවේය. එතනිනුත් ආගන්තුක සත්කාරය නැවතුණේ නැතිය.

එදා දිවාහාර වෙලාවෙත් අපට සංග්‍රහ කරන අතරවාරයේ, ඇය නෙවිල්ගේ පිඟානට කෑම කොත ගැහුවාය....!

17 comments:

  1. ඔය බෝඩින් වෙලා හිටපු ළමයි හින්ද අපේ පැතිවලත් හරි හරි වැඩ උණා.. අපේ ගෙදර නම් කවුරුත් බෝඩ් වෙලා ඉඳල නැහැ හැබැයි අපේ ගෙදර ට අල්ලපු ගෙදරක් ම තිබුණා ඔහොම ගෑනු ළමයි බෝඩ් වෙච්ච...

    මගේ යාලුවෙකුගේ ගෙයක්.. යාලුවාගේ ජිවිතේ නම් නන්නත්තාර වෙලා ගියා පොඩි කාලෙම ඒ බෝඩිම අස්සේ රිංගන්න ගිහින්...

    මම හීනියට වගේ දුරින් විතරක් තිබ්බ මෙව්වා එකකින් යාන්තම් ශේප් වෙලා හිටියා ... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම කියන්න ඕනි හිතවතුන් හැම දෙනාටම දවස් ගණනාවක් තිස්සේ මටත් පංච තන්තරේ බලාගන්න වුණේ ප්‍රොක්සි සයිට් එකක් හරහා. මොකක්දෝ අවුලක් වෙලා තිබුණා, අඩවි ගනනාවකටමත්.

      කමෙන්ට් කරන්නත් බැරිවයි හිටියේ!

      අදයි හරි ගිහින් තියෙනවා දැක්කේ. ඔන්න ....

      පැතුම් මහත්තයෝ. බෝඩින් කතන්දර මොනවා වුණත් තමුන්නාන්සේ යස අපූරුවට ඉන්නවා වගෙයිනෙ. 'මුළු හදින් මම ඇයට පෙම් කොට' වගේ කරදරයක් වෙලා නැතිව!

      Delete
  2. නෙවිල් බ්ලොග් එකක් ලියන්නෙ නැතුව මේක කරන්න බෑ. නෙවිල්ගෙ ඔක්කොම මේකෙ. නිමල් ගෙ වයිෆ්ලා වෙන්න හිටපු කවුරුවත් නෑ.

    Jeera chicken 🤗


    අර පින්තූරෙ යටියන්තොට එකට සෑහෙන සමානයිනෙ. සුනිල් ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. මේ යාලුවො කට්ටියගේ සිරිත් නේ අනිකාව බයිට් කිරිම. කොල්ලෙක් සෙට් උනාම හරි හිතගියාම හරි අනිත් උන බයිට් කරන්න ගන්නවා ඉතිං වැඩේ කොල්ලා අතහරිනවා. එකෙන් දෙන්නාම තනිකඩයෝ...

      Delete
    2. වැරදිලා කොල්ලෙක් කියලා ලියවුනේ.. කෙල්ලෙක් ලෙසින් නිවැරැදි විය යුතුය

      Delete
    3. Pra Jay, අසංග,

      මේ උත්තර දෙන්න පරක්කු වුණාට සමා වෙනවනේ, කතන්දරේ දන්නා නිසා.
      නෙවිල්වත් මොනවා හරි ලියන්න පොළඹවා ගන්න පුළුවන්කම තියෙන්නේ ඔයාලා වගේ එයාව මුණ ගැහිලා තියෙන අයටම තමා. කියලා බලන්න.

      යටියන්තොට ගමනට දැන් අවුරුද්දකටත් වැඩිය කල් ගිහිල්ලනේ Pra Jay මහත්තයෝ. සුනිල්ලා ගෙදර foto එක ඊටත් පරණයි. කොරෝනා හින්දා ගොඩක් ගමන් සීමා වුණානේ, හැබැයි, වලවේ ගඟ ඉහත්තාවත් හරිම සොඳුරුයි!

      අසංගගේ බයිට්
      කතාවෙත් හරයක් තියෙනවා වෙන්නැති... තව හිතන්න ඕනි.

      Delete
  3. ඔය චිකන් හදන හැටි හොයා ගන්න ඕනේ , වෙන නම් ගන්න දෙයක් නැහැ මේ ලිපියේ. නිදි මොනවා හරි ලීවද , ඔක්කොම හංගලා ලියල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයට ඉතිං හංගලා ලියන්න ඕනි වෙන්නේ කලාතුරකින් නේද, වැඩි හරියක් අත්දැකීම් තියෙන්නේ පිටරටවල නිසා. අපිට එහෙමය? තවම වැඩි දෙනෙක් ඉන්නේ මේ රටේම, අපි එක්කනේ.... නොහංගා මක් කරන්නෙයි?

      සූදුරු චිකන් රෙසිපි ගොඩක් තියෙනවා. එකක් අත්හදා බලන්න. මම නම් එකට කැමතියි.

      Delete
  4. මාර්ටින් වික්‍රමසිංහයන් ගේ නවකතාව නම් රෝහිණී ....
    පිචැර් එකේ නම පසුවට ...

    ReplyDelete
    Replies
    1. අප්සරා කියලත් පිචැර් එකත් තිබුනා
      Aadmi Aur Apsara..

      Delete
    2. අසංග මහත්තයෝ, ඔයා වැඩ කරන්නේ කොහෙද ඇත්තටම?

      Delete
  5. මුලින්ම මර්වින් ට සුබ උපන් දිනයක් පතන්නම්.

    මේ කියන ජීරා චිකන් කියන්නේ බටර් චිකන් ද? Cumin Chicken/සූදුරු චිකන්ද? එහෙම නැතිනම් දෙකේම මිශ්‍රනයක්ද? පංච තන්ත්‍රය අගට "ගැට පද විවරණයක්" වගේ එකක් දාලා මේ කෑම වට්ටෝරු සහ පිළියෙළ කරන විදිය (ගුරු මුෂ්ටි නැතිව) ලිව්වානම් අපිටත් මේවා බයිට් එකට ගන්න ලැබීමේ පින ඔයාටත් අනුමෝදන් වේවි.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයෝ, ඔයා හරි!
      Cumin Chicken ම තමා ජීරා චිකන් කියන්නෙත්. හින්දියෙන් හරි ගුජරාටි හරි භාෂාවකින් වෙන්නැති. හදාගන්නත් ලේසියි. උත්සාහ කරලා බලන්නකො. ජාලයේ රෙසිපි ගොඩක් තියෙනවා, පොඩි පොඩි වෙනස්කම් ඇතිව.

      Delete
  6. කෙනෙක්ගෙ රැකියාව, කසාද බැඳලද, බබාල ඉන්නවද වගේ ප්‍රශ්න එකපාරටම අහන්නෙ නැතුව ඉන්න එක නම් ඉතා හොඳ පුරුද්දක්. සමහර අය conversation එකක් පටන් ගන්නෙම ඔය වගේ සන්වේදි ප්‍රශ්න අහලා, අහනවටත් වඩා දමලා ගහනව කියන්න පුලුවන්. තව කෙනෙක් එක්ක connect වෙන්න ඒ වගේ ප්‍රශ්න අවශ්‍ය නැහැ කියලා වගේම ඒ වගේ ප්‍රශ්න ඇසීම නිසා කෙනෙක් අපහසුතාවයට හෝ සිත රිදවීම වෙන්න පුලුවන් කියලා (උදාහරනයක් විදිහට බබාල නැති අය) ඒ අයට තේරුම් ගන්න පුලුවන් කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Lotus,
      ඔය ප්‍රශ්න ඇසීමේ කලාව හුඟ අය වැඩිය සැලකිල්ලට නොගන්නා දෙයක්. සනීපයෙන් තොරව හිටි කෙනෙකුගෙන් හුඟක් අය අහන්නේ 'තවම සනීප නැද්ද?' කියලා.
      මම නං අහන්නේ 'ඉතිං, ඉතිං. කොහොමද?' වගේ ප්‍රශ්නයක්. නැතිනං "දැන් සනීප පාටයි" වගේ දෙයක්. හැබැයි, මෙහෙම දේකුත් තියෙනවා. 90%ක්ම දෙනා කැමතිත් නහයෙන් අඬ-අඬා උත්තර දෙන්න. නෙගටිව් ප්‍රතිචාර දක්වන්නයි!

      Delete