අකුරු මැකී නෑ

Tuesday, February 16, 2021

යුවති කිරිල්ලී - දහඅටවෙනි කොටස


මයෙ දූ රාජ කුමාරයෙකුට වුණත් ඔබිනවා. රූප ලස්සනේ වගෙම මයෙ දුවේ, ගෑනු ළමිස්සියෙකුට කල්කිරියාවත්....

'එහෙව් අප්පච්චි! අද නිසංසලේ උඩුබැල්ලෙන් බුදියාන ඉන්නෙ ඇයි මයෙ රත්තරං අප්පච්චියේ..... ආයෙමත් මගෙන් ගිනි පෙනෙලි ඉල්ලන්නෙ කවද්ද බුදු අප්පච්චී.....’ මාලතී වැඳ වැටුණාය.

“කෙහෙල් පැලේ වගේ බලාගෙන ඉන්දැද්දී උස-මහත ගියාට ඒකි තවම පුංචි එකී...” කියමින් තමාගේ කොතෙකුත් දඟකාරකම්; කම්මැලිකම් ඉවසා සිටි අම්මා.......

“මයෙ දූ රාජ කුමාරයෙකුට වුණත් ඔබිනවා. රූප ලස්සනේ වගෙම මයෙ දුවේ, ගෑනු ළමිස්සියෙකුට කල්කිරියාවත් හොඳට තියෙන්ඩ ඕනෑ. එරබදු මල වගේ ලස්සන විතරක් තිබුණට බමරු එන්නෙ නැහැල්ලුනෙ මයෙ දුවේ... අර කවියකත් තියෙන්නෙ.” ඇයට වැටහෙන පමණින් ගුණ-නුවණ කියා දුන් අම්මා...

“ඉතිං අපෙ අම්මා, එරබදු මලේ කවිය කියන්ඩකො”යි තමා ඇවිටිලි කරද්දී “දැන් ඉතිං මම නෙවෙයි මයෙ දුවේ, දූයි ඒවා කියන්ඩ ඕනෑ. ළමිස්සියන්නෙ කටහඬ තමා රිදී කාසි හෙළවෙන්නා වගෙ මිහිරිය කියන්නේ....”යි මඟ හරින්නට තැත් කර, බැරිම තැන කවි ගැයූ අම්මා...

   සුවඳ නැති මලක් පිපුණයි අපෙ    වත්තේ
   සුවඳ නැති නමුත් ලෝකෙට රුව ඇත්තේ
   එකයි දෙකයි තුන හතරයි එක     අත්තේ
   එරබදු මලට විතරයි බමරුන්      නැත්තේ

‘ආයෙ එහෙම කවි මට කියා දෙන්නෙ නැද්ද අපෙ අම්මා?’ මාලතී ගලන කඳුළු ගුළිවලට ඔහේ ඉඩ දී සිතුවිල්ලේම සිටියාය.

සිය ගම හරහා යන වෙනත් කිසිදු බස් රියක් නොමැති බැවින්දෝ තිබුණු එකම බස් රියට....

“ආයෙ කවදාවත්ම මාත් එක්ක ඔරොට්ටු අල්ලන්ඩ - මගේ කනෙන් අදින්ඩ අපෙ අයිය එන්නෙ නෑ චන්ද්‍රක්කේ...” හදිසියේම නැඟී ආ මාලතීගේ විලාපයත් සමඟ මළ ගෙදර සිටි ගැහැනු හැඬුම අලුත් කළහ.

චන්ද්‍රා විසඥ වී වැටෙන විටම ළඟ සිටි එකියක් ඈ වත්තන් කර ගත්තාය.

මීගහපැලැස්සට එළඹී සෝබරම දිනය එදා වූයේය!

‘රංකඳ රංකඳ කවද දකින්නද - දැන් යමු දැන් යමු පාළු කනත්තට’ තාලයෙන් මළ බෙර වැයෙද්දී; එකම නිවසකින් එකවර මිනී පෙට්ටි තුනක් එළියට ගනිද්දී; නොහඬා සිටිය හැකි අයෙකු එහි නොවූ තරම්ය.

ඒ අවාසනාවන්ත හැන්දෑවේ මිහිදන් කෙරුණේ මාලතීගේ පියාත්, මවත්, එකම සොහොයුරාත් පමණක්ම නොවේ. මීගහපැලැස්සේම ඉපිද; එහිම හැදී වැඩී, එහිම ජීවත් වුණු තවත් අහිංසකයන් ගණනාවක්මත්- පුංචි වැරැද්දකට තම ජීවිතවලින්ම වන්දි ගෙවා තිබුණෙන්, ඔවුන්ගේ දේහයන්ද එදාම මළ හිරු බසිද්දී භූමදාන කෙරුණි.
මේ සැවොම එකම වැරැද්දක් කර තිබුණෝ වූහ!

ඔවුහු සිය ගම හරහා යන වෙනත් කිසිදු බස් රියක් නොමැති බැවින්දෝ තිබුණු එකම බස් රියට නැඟුණෝ වූහ. ඒ බස් රථයේ රියැදුරා බමන මතින්- සිහි විකල්ව සිටි බව දැන-දැනත් ඔවුහු ඒ බසයෙන්ම පැමිණියෝය.... ඔවුන් සිය ජීවිතවලින්ම වන්දි ගෙවූයේ ඒ අහිංසක වැරැද්ද කළ බැවිනි.

සද්ද නොකර ෆ්ලෑෂරේ මැනුවලි පත්තු කර-කර foto ගත්තා....

“නිමල් අයියේ, වැඩි හොඳක් කරන්න හිතාගෙන ගිහින්, මගේ අතිනුත් වුණේ වැරැද්දක්!!” පොත දොරට වැඩුමේ foto ගත්තු අර අංකුර ඡායාරූප ශිල්පී හිතවතා මෑත දිනයෙක, පූර්වාපර සන්ධි ගලපමින් කිව්වේය.

“ඒ කිව්වේ?”

“මගේ ළඟ කැමරාවක් තිබුණට, ඒකට ෆ්ලෑෂර් එකක් තිබ්බෙ නෑ.... අපේ රෝහණ මාමා ළඟ තිබුණා නියම කැමරාවකුයි, flasher එහෙකුයි. මම මොකද කළේ, එයාගෙන් ඒ දෙකම ඉල්ලාගන්නෙ නැතිව ෆ්ලෑෂරේ විතරක් ඉල්ලගත්තා.... නාග විහාරෙට ඇවිත් foto ගන්න ලැහැස්ති වෙද්දී තමයි කෙළවිච්ච බව මට තේරුණේ. ෆ්ලෑෂරේ පත්තු වෙන්නෙ නැහැ.... කැමරාව එක කොම්පැනියක, flasher එක තව එහෙක... ඒ නිසා වෙන්නැති.

-මොනවා කරන්නද? සද්ද නොකර ෆ්ලෑෂරේ මැනුවලි පත්තු කර-කර foto ගත්තා.... ඒවා ඩිවලොප් කෙරෙව්වාම...”

එතකොට වෛද්‍ය විද්‍යාල සිසුවෙකුවූ තුෂාර අයස්මන්ත පීරිස්, මගේ පොතේ දොරට වැඩුමේ ඡායාරූප ගෙනවුත් දුන්නේ පැකිළෙමිනි. උළෙලේ සියලු වැදගත් සිද්ධීන් නම් ඒ fotoවල තිබිණි. එහෙත් වැරැද්ද වූයේ ඒ හැම පින්තූරයක්ම පුදුමාකාර මීදුමකින් වැසී ගිහින් තිබීමය. ඒ ඡායාරූපවල හැටියට නම්, යුවති කිරිල්ලී දොරට වඩින දවසේ කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානය කෑලි කපන තරමේ මීදුමකින් වෙළී ගිහින්ය.

එයින්- මෙයින් මගේ කුළුඳුල් පොතේ දොරට වැඩුමේ foto එකක්වත් වැඩකට නැතිව ගියේය!

සැතපුම් දහස් ගණනක් ගෙවා දමා ඔහු නැවතත්....

මීගහපැලැස්සේ සිද්ධ වුණු නස්පැත්තිය එක්කලා සසඳද්දී, මට වුණේ එච්චර දෙයක්ද? මම හිත හදා ගත්තෙමි!

16

ධනුෂ්ක දෙවෙනි වතාවටත් අධ්‍යාපන කටයුතු අතහැර දමා ලංකාවට ආවේය!

කුමාරිහාමි තවමත් පූර්ණ සුවය ලබා නොසිටී. අසනීපය නිසා බෙහෙවින්ම දුබලව සිටි ඇගේ එකම ඉල්ලීම වූයේ නැවත වතාවක් ධනුෂ්කව දැකගත යුතු බවයි. ඒ ඉල්ලීම ඉටු කිරීමට නම්, සැතපුම් දහස් ගණනක් ගෙවා දමා ඔහු නැවතත් ලංකාවට පැමිණිය යුතු බව ඈ සිතුවේ නැත; එසේ පැමිණීමෙන් ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් වී යා හැකි බව ඇයට වැටහුණේත් නැත.

“මෙච්චර කාලෙකට මං පුතාලයෙ අප්පච්චි කියන දේකට අකීකරු වෙලා නෑ.... පොළෝ මහී කාන්තාව ඔක්කොම දේවල් විඳ දරාගෙන ඉන්නවා වගේ මමත් ඉහිළුවා.... ඒත් දෙයියනේ අද විතරක්; අදට- මේ වතාවට විතරක්වත් මට සමාවෙන්ඩ දෙයියෝ... මට මයෙ කොල්ලව ආයෙම බලාගන්ඩ ඕනෑ...” කුමාරිහාමි අවධාරණයෙන්ම කියා සිටියාය.

“මං ඉල්ලන්නෙ ඔච්චරයි දෙයියෝ! මට වෙනින් මුකුත්ම එපා.... මේ දුකෙන්ම මයෙ පපුව පැළිලා මාව මැරිල යයි! මැරෙන්ඩ කලින් මට මයෙ කොල්ලව දැකගන්ඩ විතරයි දැන් ඕනෑ.... ඊට පස්සේ මට සැනසිල්ලේ මළෑකි....”

මුලදී කුමාරිහාමිගේ ඉල්ලීම එතරම්ම බලවත් එකක් නොවීය.
දිනෙන්-දින එය වඩ-වඩාත් ප්‍රබල වෙන්නට වූයේ, දන්තුරේ බණ්ඩාරව දෙගිඩියාවකට මැදි කරවමිනි. ඔහු ධනුෂ්කව ආපසු කැඳවිය යුතු යැයි තීරණය කළේ කැමැත්තකින් නම් නොවේ.

 එතකොටත් ධනුෂ්ක ආපසු පැමිණීමට සූදානම් වෙමින් සිටියේය.

ඒ වන විටත් අසනීපය ගැන තොරතුරු එරන්දතී විසින් ධනුෂ්කට දන්වා යවා තිබිණි.

“හැබැයි මැණිකේ.... හිතන්න එපා මේ කරන්ඩ යන වැඩෙන් පුතණ්ඩියට අල්ප මාත්තරයක තරම්වත් යහපතක් නං වේවිය කියලා...” අප්පෝ කල් තබාම වගකීමෙන් නිදහස් වීමට අමතක කළේ නැත.

“ආය අමුතු යහපතක් නොවුණත්, මයෙ පුතාට අයහපතක් වෙන්නෙත් නැති බව මට ඉර-හඳ වගෙ විශ්වාසයි!” කුමාරිහාමි සැමියාට කියුවේ අචල විශ්වාසයෙනි.

කිසිවකු දැන නොසිටියද, ඒ වෙනවිටත් ධනුෂ්ක ආපසු පැමිණීමට සූදානම් වෙමින් සිටියේය. තම අධ්‍යාපනය අතරමඟ ඇණ සිටින බව ඔහු ගණනකට නොගත්තකි. ඔහුට තිබුණේ එකම ගැටළුවකි.

‘ගිය වතාවේ ආපහු ගියාම බේරිලා හිටියෙත් බොහොම අමාරුවෙන්... මේ සැරේ අම්මටයි, අප්පච්චිටයි මොනවද කියන්නේ... ඔක්කොටම හපන් එරන්දතී අක්කා. එයාගෙ හරස් ප්‍රශ්නවලට උත්තර දෙන්න වුණාම තමයි වැඩේ!’ ධනුෂ්ක දස අතේ කල්පනා කළේය.

තමා පිළිබඳව සියලුම තොරතුරු දෙමවුපියන්ට හෝ වෙනත් කිසිවෙකුට හෝ සැඟවීමට අවශ්‍යතාවක් ධනුෂ්කට නොවීය. එහෙත් මේ ‘සඟවා ගෙන සිටින වේදනාකාරී සත්‍යය’ ඒ සැම දෙනෙකුටම දරා ගැනීමට අපහසු වෙනු නිසැකය. ඒ බැව් පැහැදිලිවම පෙනෙද්දී ධනුෂ්ක පසුබා ගියේය. විශේෂයෙන්ම සිය සෙනෙහෙබර මෑණියන්ට එවන් දුක් ගින්දරක් අත් කරදීමට වඩා, සත්‍යය වසං කොටගෙන; හැකිතාක් කල් එය දරා සිටීම මැනවියි ඔහු නිගමනයකට එළඹුණේය.

සිය පුතු දැකගැනීමේ සංකාවෙන් පෙළෙන කුමාරිහාමි පිළිබඳව කියැවුණු දන්තුරේ බණ්ඩාරගේ ලිපිය ධනුෂ්කට ලැබුණේ එවැනි මොහොතකය. අනපේක්ෂිත පරිදි ලංකාවට එන්නැයි කියා තිබුණු ඒ ලිපිය වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් සේ ධනුෂ්ක දුටුවේය.

ජීවිතයේදී මුල්ම වරට තරුණියක හා පෙමින් බැඳුණු...

ඔහු එංගලන්තයට ආයුබෝවන් කිව්වේ කිසිදු පැකිළීමකින් තොරවය.

ජීවිතයේදී මුල්ම වරට තරුණියක හා පෙමින් බැඳුණු ඒ සුන්දර රටට... තුරුණු වියේ උතුරා යන තාරුණ්‍යයේ  රසබර අත්දැකීම් ඔහුට ලබා දුන් ඒ යුවතියගේ නිජ බිමට... හා සෙනෙහසින් ඔහුගේ තුරුණු කැදැල්ලට පියඹා විත්, තවකෙකුගේ තුරුල්ලට පියෑඹූ ඒ යුවති කිරිල්ලියටත් තමා සදහටම ආයුබෝවන් කියන බව ඔහු දැන සිටියේය.

හීත්රෝ ගුවන් තොටුපළ ඇතුළට පිය මැනීමට පෙර ධනුෂ්ක රුවන් දන්තුරේ බණ්ඩාර සුදෝ-සුදු හිම කැටිවලින් වැසී ඇති හාත්පස සිසාරා බැලුවේය. ගතට දැනෙන සිසිල යටපත් කරමින්, මේ බිමේදී තමාගේ ආත්මයම දවාලන්නට ‘ඇවිළුණු රහසිගත ගින්නේ’ උණුසුම නැවතත් අත් විඳින්නට වූ ඔහු, බිමටම යොමාගත් නෙතින් යුතුව ඉදිරියට පා නැඟුවේය.

********

පොත දොරට වැඩුමේ උළෙලට ප්‍රධාන දෙසුම් දෙකක් තිබිය යුතු බව මා හිතාගෙන හිටියත්, ඒ සිතිවිල්ල පළ දැරුවේ නැතිය.

කථිකයන් තිදෙනෙකු ගැන මගේ ඔළුවේ තිබුණේය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, උපුල් සාන්ත සන්නස්ගල හා ජැක්සන් ඇන්තනි ඒ තිදෙනායි. ජැක්සන් ඇන්තනි කලාකරුවා contact කරාගන්නා මාවත කලඑළි වුණේ නැතිය.

කථිකයන් තිදෙනෙකු ගැන මගේ ඔළුවේ තිබුණේය....

පොතේ කවරය නැති පිටපත් දෙකක් මහාචාර්යතුමාටත්, උපුල්ටත් ගෙනිහින් දුන්නේ, අදහස් දැක්වීමට පෙර පොත කියවා තිබිය යුතු නිසාවෙනි. සන්නස්ගල හිතවතා පවසා තිබුණේ තවත් රාජකාරියක් තිබෙන බවත්, ඉඩක් ලදොත් පමණක් උත්සවයට එන බවත්ය.

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ හිතවතාත් කැටුව සුනන්ද මහත්තයා හමුවී, ආරාධනා කොට, පොතේ පිටපත බාරදීලා දවස් කිහිපයකට පස්සේ යළිත් එතුමා හමුවීමි!

"හරිමම දේශනයට එන්නම්. මං පොත කියෙව්වා. මට නම් මේක සුන්දරබොළඳ කතාවක් විතරයි. හැබැයි මට මේකේ එක සිංහල වැරැද්දක්වත් හොයාගන්න බැරි වුණා.... ඒත් නිමල් ඔයා කියන තරම්ම.... ඔයා වර්ණනා කරන තරම්ම ආදරේ සුන්දරද?"

මහාචාර්යතුමා මගෙන් අසා සිටියේය.

ඊළඟට මම උපුල් හමුවීමි. “තවමත් මට යෙදිලා තියෙන අනිත් වැඩේ ගැන තීරණයක් නැතිවයි ඉන්නේ.... සුනන්ද මහත්තයා මොකද කිව්වේ...” උපුල් ඇසුවේය.

‘දොරට වැඩුමට එන්නට ලැබීම’ අඩමාන විත්තිය කියලා තිබුණත්, උපුල් ඒ වෙද්දීත් උපරිමයෙන්ම මට උදව් වෙලාය  තිබුණේ.
ඒ පත්තර කන්තෝරු රැසකම සේවය කරමින් හුන් ජනමාධ්‍යවේදීන් ගොඩක් හමු වන්නැයි උපදෙස් දෙමිනි. “ඔය ඔක්කොම මගෙන් සිංහල ඉගෙන ගත්තු; බොක්ක හොඳ කොල්ලො-කෙල්ලො! නිමල් ගිහින් කියන්න, ඔයාගේ පොතේ දොරට වැඩුම ගැන. උන් උපරිමයෙන්ම sup එක දෙයි!”

ඔය ඔක්කොම මගෙන් සිංහල ඉගෙන ගත්තු; බොක්ක හොඳ කොල්ලො-කෙල්ලො!

කිව්වත් වගේම ලේක් හවුස්, ලක්බිම, රාවය ප්‍රකාශන රැසක නිදිගෙ කුළුඳුල් පොත දොරට වඩින විත්තිය පළ විණි. (උපුල්ටත්, ඒ හැම දෙනාටමත් දැන් යළි නොමසුරුව තුති පුද කළ යුතුය. කෝට්ටේ ශ්‍රී නාග විහාරස්‌ථාන අමද්‍යප ශාලාවේදී එදා මා ඔවුනට පිදූ ස්තුතිය ගැන ඒ එක්කෙනෙකුවත් දන්නෙ නැහැනෙ, එදා උළෙලට නොපැමිණි නිසා!)

"... ආදරේ සුන්දරද? ඇත්තටම මොකක්ද ආදරේ කියන්නේ? සංසර්ගයේ යෙදිලා වතුර ටික යවාගන්න එකටද ආදරේ කියන්නේ?"

සුනන්ද මහේන්ද්‍ර මහැදුරුතුමා මා හා කී කතාව ඇසුවාම උපුල් මගෙන් ඇසුවේය. (ඒ විස්තර අද මා යළිදු ලිව්වේ ඉතා කෙටියෙනි. නිදිගෙ පංච තන්තරේ බ්ලොග් අඩවියේ ‘ජීවන නම්වූ මේ රඟමඬලේ’ ලේබලය යටතේ, ‘කෙලින් සනා’ පෝස්ටුවලදී මං මේවා සවිස්තරව ලිව්වේ, වසර දෙකකට ඉස්සෙල්ලාය.)

පොත දොරට වැඩුමේදී මහාචාර්යතුමා ළගන්නා දෙසුමක් කළේය!

දොරට වැඩුම අවසානයේ, සංග්‍රහයත් භුක්ති විඳලා පිරිස විසිර යද්දී උදේනි අල්විස් හිතවතා අප අසලට ආවේය. “එහෙනං.... වැඩේ ඉවරයිනෙ... මම යන්නද නිමල් අයියේ...” කියලා සමු ගත්තේය.

එතැනම හිටි අයස්මන්ත පීරිස් හිතවතා උදේනි අල්විස්ගෙන් ප්‍රශ්නයක් ඇහුවේ එතකොටය. “අයියා යන්නද හදන්නේ?”
“අයියා? ඔයාලා නෑදෑයෝද?” ළඟ හිටි කවුද පුදුමයෙන් ඇසුවේය. ඒ ප්‍රශ්නය මාත් අහන්නට හැදූ එකකි.
“ඇයි... මෙච්චර දවස් ඔයාලගේ යාළුවා කිව්වේ නැද්ද?’” හිනාව පුපුරලා යද්දී අල්විස් ඇහුවේය.

එතෙක් ඒ දෙදෙනාවම ඇසුරු කර තිබුණත්, අප ඒ නෑදෑකම....

“අපේ අම්මා, මෙයාලා තාත්තගේ ලොකු අක්කා!” එතෙක් ඒ දෙදෙනාවම ඇසුරු කර තිබුණත්, අප ඒ නෑදෑකම උදේනි අල්විස්ගෙන් දැන ගත්තේ එහෙමය; අහම්බෙනි!

පාද යාත්‍රා ගමන ගැන පරිපූර්ණ විස්තරයක්, උදේනි අල්විස් හිතවතා අපට සැපයූ දවසෙත් මේ නෑදෑකම් කතාව හෙළිවුණු හැටි කියමින් අපි සිනා වුණෙමු. 

එහෙම හිනා වෙලා, දැන් ආයෙම ශෝක mood එකටය යන්නේ....  

විල්මට්- සිසිලියානා- වික්‍රම තිදෙනාගේ හදිසි වියෝවෙන් පසු නිවසෙහි ඉතිරි වූයේ මාලතීත්, කිරි අම්මාත් පමණි. තනි වූ ඔවුනට වෙනත් පිළිසරණක් නොතිබුණාම නොවේ!

“උඹල දෙන්නට තනි වෙන්ඩ ඉඩ දෙන්නෑ දුවේ! ඒත්...” හේරත් මාමා මුල පිරුවේ දිගු කතාවකටය. කවුරුත් උනන්දුවෙන් සවන් දුන්හ.

“... කිරි අම්මත් දැන් ලෙඩා දුකා වෙච්චි එකේ උඹට මෙහෙ ඉඳිතැකියැ දුවේ....? පහුණු ටිකේ නං අපි කවුරු-කවුරුත් මෙහෙ හිටියා... ඒත් ඉතිං හැමදාම එහෙම බැහැනෙ මයෙ දුවේ!”

“ඒක නං ඇත්තයි දුවේ. හේරත් මාමා කියන්නා වගේ උඹටයි, කිරි අම්මටයි විතරක් මෙහෙ උන්නැකියැ, තට්ට තනියෙන්ම....” මුදලිහාමිත් බුලත් විටක් ඒදා ගත්තේය.

කිරි අම්මාත් කතාවට මැදිහත් වූවාය. “මං ඉන්නවා පුතේ මේ අසරණීගේ තනියට. මීගහපැලැස්සේ කවුරුවත් එන්නෙ නෑ මේ ඩිංගිරි ඉන්න තැනකට, වැරැද්දක් හිතින්වත් හිතාගෙන... අපි මේකෙම ඉඳිමු මයෙ දුවේ! මේවා දාලා ගියාම, තව ටික දොහකින් මේවා නැති බංගස්තාන වෙලා යාවි.... අනේ, සිසිලි කොච්චර ආසාවෙන්ද මේවා දියුණු-පවුණු කර ගත්තේ?”

උන්ට ගිය රට! (මේ සංඛ්‍යා ලේඛන හරියටම හරිද?)

හේරත්ගේ නිවසට ආපසු යාමට කිරි අම්මා කැමති වූයේම නැත. මාලතී වඩා කැමති වූයේත්, නිවසෙහිම රැඳී සිටීමටය. එහෙත් ඒ අදහස ගැන මුදලිහාමිවත්, හේරත් මාමාවත් ප්‍රසාදයක් නොදැක්වූහ.

“ලොකු අප්පොලා මීගහපැලැස්ස හොල්ලාන- රජ කොරාගෙන හිටිය කාලෙ නෙවෙයි කිරි අම්මෙ මේ! ගමේකමට වැඩිහිටිකමට සලකපු කාලෙ ගිහින්.... දැන් ඉන්න එව්වෝ ඔව්වා තකන්නෙ නෑ. වැදූ මව්ගේ කිරි බීපු තනේට පිහියෙන් අනින එවුන් ඉන්න අබුද්දස්ස යුගයක් මේ!” මුදලිහාමි ඩිංගිරිට පහදා දුන්නේය.

“එහෙනං ඉතිං උන්ට ගිය රට! මළත් මොකද මුදලිහාමි පුතේ.... එක වතාවයි නෙව. ඔන්නං මාලතී, මාමලගේ දිහා ගියාවේ. මම වංගියක් කිව්වා වගේ, ආයෙම මගේ පණ පිටින් නං, ඔන්න මගෙ ලේලි ඩිංගිත්තගේ සැලකුම් ලබන්ඩ යන්නෑ!”
කිරි අම්මා අවසන් තීන්දුව ලබාදී ගෙතුළට ගියාය.

මුදලිහාමිත්, හේරතුත් මුහුණින් මුහුණ බලා ගත්හ.

“අපේ උන්දැගෙන් නොසෑහෙන කඩුලු කතාවක් අපෙ අම්මට කියවුණාලුනෙ අයියා!” හේරත් පහදා දුන්නේය. මෙතෙක් වෙලා නිහඬව අසා සිටි චන්ද්‍රා, පඩිය මත මාලතී අසලින්ම වාඩි වූවාය.

“මාලතීලා මෙහෙම උන්නාවේ හේරත් මාමා! මාස තුන-හතරක් යනකල් මාත් මෙහෙම නතර වෙලා ඉන්නං මේකිත් එක්කලා....”

“ඒ මොකක්ද දුවේ ඒකෙ තේරුම? රට්ටු හිනස්සන්ඩද හදන්නේ. මොකෝ උඹව පෝරුවේ හිටෝලා, අතපැන් වක් කරලා මෙහාට කැන්දන් ඇවිල්ල තිබුණා නෙවෙයිනේ.... ඔහොම චාරිත්තරයක් කොහෙද තියෙන්නේ?”
මුදලිහාමි නොරිස්සුම් සහගත බව සඟවා ගත්තේ නැත.

මාලතී මුදලිහාමිගේ පාමුල වැඳ වැටුණාය.

අපේ අම්මගෙ කුසෙන් නූපන්නට මේ මයෙම අක්කා! ගිය ආත්මෙක මයෙම අක්කා!!

“අනේ රත්තරං මාමා, අක්කා ටික දොහකටවත් මෙහෙ හිටියාවේ මාමා...

අපේ අම්මගෙ කුසෙන් නූපන්නට මේ මයෙම අක්කා! ගිය ආත්මෙක මයෙම අක්කා!!” මාලතී හඬා වැටුණේ කාගේත් දෙනෙතට කඳුළු නංවමිනි.

“නැඟිටපං දුවේ....! අපි මේ උඹට අහිතක් කරන්ඩ හදනවා නෙවෙයිනෙ කෙල්ලේ!” මුදලිහාමිගේ වේගය බාල වී තිබිණි.

වික්‍රම සමඟ විවාහ වූ පසුව, මුලින්ම ඔහුගේ නිවසෙහි පදිංචි වීමට චන්ද්‍රා එකඟ වී සිටියාය. බින්න කසාදයකට වික්‍රමගේ කැමැත්තක් තිබුණේ නැත. තම අදහස ඔහු මුදලිහාමිටද පවසා තිබිණ. “අපේ අම්මලා- අප්පච්චිලා එක්ක වුණත් දිගටම ඉන්ඩ මගෙ කැමැත්තක් නෑ මාමා... ඉක්මනටම අපිට ගෙයක් හදා ගන්නවා....” චන්ද්‍රාත් ඒ අදහසට අනුමැතිය පළකොට තිබුණි.

ඒ බලාපොරොත්තු සුන්නද්දූලි වී ගිය බව සැබෑවකි. එහෙත් ඇයට අහිමිව ගියේ අනාගත සැමියා පමණි. “ඒ අහිංසකීට අම්මයි, අප්පච්චියි, අයියයි තුන් දෙනාම එක සැරේ නැති වුණා. මේ වෙලාවෙ අපි කොහොමද අම්මා, ඒ අහිංසක එකීට පිටුපාන්නේ?” චන්ද්‍රා සිය නිවසේදී මවටද කරුණු පැහැදිලි කර දුන්නාය.

“මයෙ දුවේ! උඹේ අනාගතේ....? මාලතී කෙල්ලටත් පව් තමා... ඒත් මයෙ දුවේ, දැන් අපේ පපුවේ පත්තු වෙන ගින්දර!
අපිත් අවීචි මහා නරකාදියේ දැවෙන්නා වගෙයි දුවේ....
අට අවුරුද්දක් පෙරුම් පුරා ඉඳලා, මයෙ දූට වෙච්චි දේ!” කුසුමාවතී චීත්ත පොට දෙනෙතට ළං කළාය.

“මට තේරෙනවා අපෙ අම්මා...
මටත් දුක නැතිව නෙවෙයි..... මළවුන් මත්තෙම නැහෙන තරමට මං මෝඩියෙක් නොවෙන වග අපෙ අම්මලා දන්නව නෙව... හැබැයි, වික්‍රමයි සිසිලි නැන්දලයි වෙනුවෙන් මට පුළුවන් හැමදේම මම අර අහිංසකීට කරනවා. කවුරු නැති වුණත් මට මගේ රත්තරං අම්මයි, අප්පච්චියි, නංගිල මල්ලිලයි නැති වුණේ නැහැනෙ අපෙ අම්මා!”

දන්නවනෙ, දූ පොඩ්ඩට යමක් එපාය කියලා නවත්තන්ඩ පුළුවන් ජාතියෙ එකියෙක් නොවෙන වග...

දියණියගේ කරුණු දැක්වීම හමුවේ කුසුමාවතී නිරුත්තර වූවාය.

“ඔන්නොහෙ ටික දවසකට ඒකි එහෙ හිටපුදෙන්.... දන්නවනෙ, දූ පොඩ්ඩට යමක් එපාය කියලා නවත්තන්ඩ පුළුවන් ජාතියෙ එකියෙක් නොවෙන වග. හිතුවොත් යමක් කරන එකී... එපා කිව්වොත් ඒකම කොරයි! අපෙත් හිත නාක් කර ගන්නවට වඩා හොඳා, ඔහොම ඉන්ඩ දෙමු!
ඒ අතරවාරේ හීන්සැරේ මොනවා හරි පිළිවෙල කරමු. මේ කලබල රස්නේ පොඩ්ඩක් හරි නිවෙන්න අරින්ඩත් එපැයි... මොනවා කරන්ඩ වුණත්....”

කුසුමාවතී පසුව සැමියාට යෝජනා කළාය. මුදලිහාමි ඇගේ යෝජනාව පිළිගත්තේ වෙනත් කළ හැකි දෙයක් නොවූ බැවිනි.

********

මාලතී මුහුණ පෑ සියලුම ව්‍යසනයන් ධනුෂ්කට රහස් නොවීය.

ඇය හමුවීමේ දැඩි උවමනාවක් තිබුණත් ඔහු අසරණව සිටියි. හදිසියේම ඈ මුණ ගැසීමට මඟක් නොවීම ගැන ධනුෂ්ක දහස් වාරයක් පසුතැවුණේය.
‘පව්! කෙල්ලව මුණ ගැහිලා කනගාටුයි කියන්නවත් විදිහක් නැති වුණානේ. ගෙදරට ගියොත් නං ගමම කුලප්පු වෙයි.’ තමාගේ එවැනි ගමනක් අසල්වාසීන්ගේ විපරමට හේතු වෙන බව ඔහු දනී!

දින කිහිපයක්ම දිය ඇල්ල අසල රැඳී සිටියත් ඔහුට ඇය මුණ නොගැසුණි. තමාගේ පුනරාගමනය පිළිබඳ පුවත මාලතීට ආරංචි වීමට කල් ගතවෙනු ඇතැයි ධනුෂ්ක නිකමටවත් කල්පනා කළේ නැත.

“මොකද සිළිඳු මැණිකා අද රාමන් පෙනෙන්න නැත්තේ?”

“පුංචි අප්පෝ දන්නැද්ද, ලොකු අප්පො රාමන්ව යැව්වනෙ විල්මට්ලගේ ගෙදරට මොකක්ද පණිවිඩයක් කියලා!”

සිළිඳු මැණිකාගේ පිළිතුරෙන් ධනුෂ්ක අන්ද-මන්ද වූයේය!

10 comments:

  1. Replies
    1. නිමල්ගේ ඒවා ලියන්නකො, සුන්දරද බලන්න. නැත්නම් නෙවිල්ගෙන් අහල දැනගන්න එකක් තමයි. ඊට ඉස්සෙල්ලා තමන්ම ලිව්වනම් හොඳයිනෙ

      Delete
    2. අපිට 'නෙවිල් එක්ක පිළිසදරක්' ලෑස්ති කරල දෙන්ඩ පුලුවන්ද? සූම් වලින් උනත් කමක් නෑ...

      Delete
    3. Pra Jay මහත්තයා දිග වැටක් ගහලා තියෙන්නේ 'කට පරෙස්සමින්!' කියලා වගෙයි මං තේරුම් ගත්තේ.
      ඒ අවවාදය මෙන්න හිස් මුදුනින් පිළිගත්තා. සුන්දර අත්දැකීම් වුණත් ලියන්නං පරෙස්සමින්.

      ලොකූ, සූම් මොනවටද? ඇහැට ඇහැ මුණ ගැහෙමු, කොරෝනාවලට බය නැත්තං.

      Delete
  2. ෆ්ලෑෂරේ මැනුවලි පත්තු කරලා ෂටර් එක ඔබනකොට පොඩ්ඩක් විතර "අතපහු වෙනවා" කියලා ඊට පස්සේ දොස්තර මහත්තයාට තේරුම් යන්න ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නැති, සෑම්. උන්නැහේ දැන් මොකක්ද ෆොටෝග්‍රැෆි සංගමේකත් ඉහළ තානාන්තරේක ඉන්නවා.

      Delete
  3. කැමරාවෙ ෂටර් එක වගේම ෆ්ලෑෂ් කරන්නනං මිනිහ ෆ්ලෑෂ්ම වෙන්න එපැයි. ඒත් කමක්නෑ ෆොටෝ ටික තිබුණනෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. foto ටික තිබ්බා. සේරම මීදුමකින් වැහිලා හින්දා මං ඒවා එකක්වත් ළඟ තියාගත්තේ නැත්තේ අපරාදේ ප්‍රසන්න!

      Delete
  4. නිදි ඊට පස්සේ පොත් ලිව්වේ නැද්ද ? මම පරණ කතා කියවල නැතිව මේ අහන්නේ ..

    මේ බ්ලොග් එක පොතක් විදියට දාමු එලියට...

    ReplyDelete
  5. පැතුම්,
    යුවති කිරිල්ලීට පස්සේ පොත් තුනක් ලියා පළ කළා. ලංකාවේ පළමු රියලිටි තරගය පසුබිම් කරගෙන 'සුපර් ස්ටාර්'. (එය ගැන දැන් නම් තියෙන්නේ අතෘප්තිමත් හැඟීමක්.) යාන්ස් පොත් දෙකක්. හිනා වෙන්න හිනා- හිනා තවත් හිනා කියලා. ඒවා බෙදා හරින යුද්ධය හරියට කර ගන්න බැරි වුණා අසනීපෙ නිසා.
    ආයෙම නම් පොතක් පළ කෙරේවි කියලා හිතන්න අමාරුයි.
    එහෙම වුණත් පොත් පළ කිරීම ගැන අත්දැකීම් බ්ලොගයට ලියවෙයි, මටම හිතක් ආවොත්.

    බ්ලොගයේ ලිපි පොතක් විදිහට ආකර්ශනීය නොවෙන බවයි, ආකෘතිය නිසා මට හිතෙන්නේ. ඒවා සංස්කරණය කරලා පොතක් විදිහට කවුරු හරි එළියට දැම්මොත් මිස... මගේ අතින් නං එවැනි දෙයක් කෙරෙන්නට තියෙන ඉඩ හරිම අඩුයි, පැතුම්. කොහොම වුණත් යෝජනාවට ගොඩක් ස්තුතියි!

    ReplyDelete