අකුරු මැකී නෑ

Monday, March 15, 2021

දහතුනේදී... -පළමුවෙනි කොටස

එදා මගේ හද අරගත් - අද ඔබ මට වැඩි පොහොසත්.......

‘කිසිවක් දෙන්නට මට නැත - තිබුණේ පිරිසිදු හදවත//
සිඟන්නියේ එය ඔබහට - දුන්නා මතකයි’

ඒක කරගන්නට පුළුවන් වෙන්නෙත් හදවතින් පොහොසත්වී හිටයෝතින් විතරයි නේද?
ඒත්.... ඊට පස්සෙ?

එදා මගේ හද අරගත් - ඔබ අද මට වැඩි පොහොසත්//
ඒ හින්දා මටත් එලෙස - පිහිට වනු මැනේ!’
අනේ, අර තිබුණු පොහොසත්කම නැතිවෙලා ගිහින්ය! මනුස්සයා දුප්පත් වෙලාය.

දුප්පත්කම වරදක්ද? එහෙමත් නැතිනම් අපරාධයක්ද?
ඒ ගැන අර්ථකථනයක් කරන්නට මම සමාජ විද්‍යාඥයෙක්; ආර්ථික විශේෂඥයෙක් හෝ දේසපාළුවෙක් හෝ නොවන්නෙමි.

ඒත් කවුදෝ කෙනෙකු දුප්පත්කම ගැන කියා තිබුණු මසුරන් කතාවක් නම් මගේ හිතේ තියෙයි.

‘දුප්පතෙකු ලෙස ඉපදීම වරදක් හෝ අපරාධයක් හෝ නොවේ. එහෙත් දුප්පතෙකු ලෙසම මිය යාම බරපතළ වැරැද්දක් හා අපරාධයකි!”

අපේ තාත්තා ලදුදෙ ගිනි භටයෙකි! (1956. 4. 23 උඩරට මැණිකේ මංගල සවාරිය)

මා උපන්නේ පොහොසත් තැනකය.
(එහෙම කියන්නේ සමාජය අනුදත් ක්‍රමයට බලනවා නම්ය.)

එතකොට අපේ තාත්තා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘ගිනි භටයෙකි’. Fire Man! දැන් ඒ රස්සාව නැතිවා විය යුතුය. ඒ කාලේ තිබුණේ වාෂ්ප එන්ජින්වලින් දුවන දුම්රියයි. ඒ කෝච්චියේ දැවැන්ත බොයිලේරුවේ වතුර නැටුවේ, නරකාදියේ තරම් රස්නයක් තිබුණු දැවැන්ත ගල් අඟුරු උදුනකිනි. අපේ තාත්තාගේ ප්‍රධාන වගකීම වුණේ ඒ සද්දන්ත ළිපේ ගින්න නොනිවෙනසේ, එයට ගල් අඟුරු සවල් කිරීමය!

ඒ වාක්කිය කොටද්දී, මහ ලොකු ජීවවිද්‍යා මතවාදයක් ඛණ්ඩනය කරන්නට; කුඩේ-කුඩු කරන්නට තරම් බල සම්පන්න කාරණයක් සිරසට ආවේය. දෙපානම සිරසට නොවේ, මගේ සිරසටය.

‘වැඩි වෙලාවක් වෘෂණවලට දැඩි උණුසුමක් දැනෙන රැකියාවල නියුක්ත වන්නන්ගේ ශුක්‍රාණුවල සරු බව අඩු වෙයි.’

බලාගෙන ගියාම, අපේ තාත්තා ඒ මතවාදය බොරු කරලා තියෙන විශේෂ ජීවියෙකි.

එයාගෙන්ම ණයට ගන්නා යෙදුමකින් කියනවා නං- නැට්ටට කිරි උනන කාලයේම ‘ෆයර් මෑන්’ රස්සාවට ගිහිල්ලාත්, අවුරුදු විසි දෙකක් තිස්සේ දරුවන් 10ක් ජාතක කරන්නට සමත් වූවෙකි.

ඒ 10ත් උප්පැන්න සහතිකවල පියාගේ නම තීරුවේ ‘දිසානායක හේවගේ ගුණපාල’ විදිහට නම ලියවුණු කට්ටිය විතරය.
ගුණපාලගේ රහසිගත වික්‍රමාන්විතවලට වෙන-වෙන අයගේ නම් ලියවුණු අවස්ථාවලුත් තිබෙන්නට ඇති බවයි, මගේ විශ්වාසය. ඒවායින් එකක් ගැන විතරක් හොඳ විශ්වාසෙට
කියාදුන්නේ අපේ ආච්චීමය- ඩී.එච්. ගුණපාලගේ මෑණියන්දෑමය. 

අපේ අම්මාවත් තාත්තාවත් වගකිව යුතු මව්පිය භාවය දැන හිටියේ නැතිය!

ඉතින් රේල්ලුවේ රස්සාවක් කරමින්, කිරි හරක් ඇති කරමින්, සල්ලිත් පොලියට දෙමින් ඉසුරුබරව හිටි පවුලක වැඩිමහල් පුතණ්ඩියා විදිහට උපන්නත් මා දුප්පතෙකු විනැයි මට සිතේ.

මීට කලිනුත් කියා ඇත්තෙමි. අපේ තාත්තාවත්, අම්මාවත් ‘වගකිව යුතු මව්පිය භාවය’ පිළිබඳව දැනගෙන උන් අය නොවේ!
ඒ නිසා අපට ඇති පදම් නොලැබුණේ මව්පිය සෙනෙහසයි!

ඒ නිසා මටත්, අපේ නංගිලා මල්ලිලා හැමෝටමත් වුණේ මා මෙන්ම දුප්පතුන් වෙන්නටය; ඒ මාපිය සෙනෙහස පැත්තෙනි. ආදරය පැත්තෙනි. අපේ අම්මාවත් තාත්තාවත් අපට දුවේ-පුතේ කියා ඇමතූ අය නොවේ. ඔවුන් අපට කතා කළේ අපේ නම්වලිනි. (තාත්තා නම් අසෝක වීදුරුවකින් කාලක් දාගත්තාම මටත් පුතේ කිව්වේය. ඒ මට්ටම බෝතල් කාල-බාගේ පැනලා ඉඳිද්දී; මළ පනින දෙයකදී නම් ‘xත්තිගේ පුතා’ හා ඊට කිට්ටුවෙන් යන ‘VP’ වගේ පට්ටම් පවා දෙන්නට පටන් ගන්නේය.) 

අම්මාවත්, තාත්තාවත් අපේ කිසිවකු සිප ගත්තේ නැත; හිස අත ගෑවේ නැත; හුරතල් කිරීමකුත් තිබුණේ නැත. එයාලට ඒවාට වෙලාවක් තිබ්බේ නැතිය.

මගේ මිම්මෙන් නම් ඒවා වැරදිය! ඉන්තේරුවෙන්ම වැරදිය!!

දැන් නම් අපේ අම්මාත් තත්ත්පර ගානක් දිගට ඇදලා-පැදලා ‘මගෙ රත්තරන් පුතේ’ කියයි. ඒ රූපාන්තරණය ඉවසුවත් සමහර දේවලට සීමාවන් පැනවීමට තරම් මම නපුරෙක් වී සිටිමි. අම්මා ලංකාවට එන එක වතාවකදී, ඇයට මා සිප ගන්නට ඉඩ දෙන්නේ එක පාරක් විතරය. (‘ඊට වැඩියෙන් ඉඹ ගන්න ඕනි නම් එක සැරේකට රුපියල් පන්සීය ගණනේ ඕනෑ’ කියලා කියන්නට තරම් මම සැහැසිවී සිටිමි. පැටි වියේදී කෙරුණු අපේ වැඳුම්-පිදුම් අගය නොකෙරුණු බැවින්, මා නම් අද අම්මාට වඳින්නෙත් ලංකාවට එන දවසේදීත්, ආපහු එංගලන්තයට යන දවසෙදීත් විතරය!)

‘මේකා යකෙක් ඕයි!’ මගේ මිතුරෝ කියති.

ඔවුන් අප වෙත පෑ දාරක ප්‍රේමයට මගෙන් කෙරෙන මෙවැනි ‘ප්‍රතිචාර’ විඳින්නට වෙන්නේ අම්මාට විතරක් වීම ගැන නම් මට ඇත්තෙන්ම දුකය! තාත්තාත් ඉන්නයි තිබ්බේ!!

“මූ මහ යකෙක් ඕයි!” මගේ මේ විස්තර දන්නා හිතමිතුරෝ-මිතුරියෝ කියති. “අම්මා පව් නිමල්!” කියලාත් කියති.

ඒ බව පිළිගත්තත් හිතට එකඟ නැතිව බොරු ආදරයක් පාන්නට හෝ වන්දනා කරන්නට හෝ මට බැරිය. හැබැයි, මා අම්මාට බෙහෙවින්ම කෘතවේදීය. කෙළෙහිගුණ පෙන්වන්නටය කියලාවත් බොරුවට රැඟීම නං මේ නිමල් දිසානායකයාට අරහංය!

මගේ ආභ්‍යන්තරික හැඟීම්, ස්වභාවයන් ගැන කියවීම වෙහෙසකර නම්.....

ඒත් මා කරන-කියන දේවල්වලින් විතරක් ඔබට මා ගැන නිගමනයකට බැසිය නොහැකිය. මේ මනුස්සයාගේ ආකල්ප හා සිතුම්-පැතුම්, රුචි-අරුචිකම් ගැනත් අවධානය යොමු කළ යුතුය. එවිටය තරමක් හෝ පරිපූර්ණ සිත්තමක් නිර්මාණය කරගන්නට ඔබට හැකියාව ලැබෙන්නේ. එබැවින්, මගේ හිතත් මා ඔබට හෙළි කළ යුතුය; නොසඟවා!

හිතාදර පාඨක රසික-රසිකාවියනි, මට කනගාටුය. අවධාරණයෙන් කියමි. සහතිකෙන්ම මට කනගාටුය. ඔබේ data පුච්චාගෙන කියවන්නට වෙන්නේ ඔබ අකමැති දෙයක් නම්.... මට දුක ඒ ගැනය.

‘මට සමා වෙන්න’ කියලා නොවේ මා කියන්නේ. හැම විටම මා එහෙමය. මට සමා වෙන්න කියලා මගෙන් කියවෙන්නේ ඉතාම කලාතුරකිනි. එහෙම කිව යුත්තේ මගෙන් කෙනෙකුට වැරැද්දක් වුණාම නේද?

එහෙත් ‘මට කනගාටුයි!’ කියලා නම් කියන්නට වෙන අවස්ථාවන් මේ තකතීරුවා තවමත් උපයා ගනියි!

මා ලියමින් සිටින්නේ මගේ ජීවිත කතාවයි.... ප්‍රබන්ධයක් නොවේ...

මා ලියන්නේ මගේ ජීවිත කතාවයි. එය සුමටව- මෘදුව ගලා ගිය එකක් විතරක් නොවේ; හැළ-හැප්පිලිවලින් විතරක් සමන්විත එකකුත් නොවේ; ආදර්ශවත්, පරමාදර්ශී එකක් පමණක්මත් නොවේ; සුචරිතවත්, පින්බර එකක්මත් නොවේ. කොටින්ම, ඔබට කියවන්ට ලැබෙන මගේ සත්‍ය ජීවිත කතාවේ නැති මඟුලක් නැති තරම්ය.

කියවන ඔබ වෙනුවෙන් මට කළ හැක්කේ එකම එක දෙයකි. මොනවා ලිව්වත් එය කියවීමට විඩාබර නොවෙන විදිහට පෙළ ගැස්වීම විතරය.

ඉතාම පුංචි සෙනෙහසක් හරි; අංශු මාත්‍ර උණුහුමක් හරි මහමෙරක් තරමට දැනෙන බැවින්, නිදිගෙ පංච තන්තරේ පෙරලන ඔබෙන් ලැබෙන ප්‍රතිචාරයක් පවා මට දැනෙන්නේ මහමෙර තරම් ලොකුවටය!
ඒ අතින් නිමල් දිසානායක සංවේදී වෙනවා වැඩියිද?

ඉතින්, එපාම කරපු ගති සොබාත් තියෙන- සංවේදී හිතකුත් තියෙන කුප්පිදු මට ‘වික්ටර් රත්නායක’ ගායකයා ගයන ‘සිහින සතක් දුටුවෙමි මම - සත් දවසක් එක විලසට’ සිංදුව මතක් වුණේ අභී අයියා දැක්කාමය. ඒ මනුස්සයා දැන් ඉන්නා හැටි දැක්කාමය. දැන් ඉන්නා හැටි කිව්වාම මනුස්සයා ලෙඩින් වැටිලා නොවේ; දුගී දුප්පත් වෙලාත් නොවේ!

හමුදා නිල ඇඳුමින් සැරසුණු, ප්‍රතාපවත් අභී අයියා.... (මේ ලංකාවේ අය නොවේ. ඒත් කාකි පාට...)

ඒ දවස්වල හමුදා නිල ඇඳුම ඇඳගෙන, අභිමානවත් සෙනෙවියෙකු වගේ ඍජු-ප්‍රතාපවත් ගමනින් ගිය අභී අයියා..... මට දැනුණු විදිහට නම් අනුනටත් බෙදන්නට තරම් ආදරයෙන් පොහොසත්ව උන් අභී අයියා....... (වෙසෙසා කිව යුතුය; මට දැනුණු විදිහට නම්!!!)

දැන් එයාට නොගැළපෙන; පමණට වඩා කොට කලිසමක් හා කමිසයක් හෝ ටී ෂර්ට් එකක් හෝ ඇඳගෙන, පමුණුව පාර අයිනේ හිටගෙන ඉන්නේ සෙරෙප්පු දෙකක් දාගෙනය.

හැමදාමත් නොවේ. සමහර දවසකට පමණි.
එහෙම හිටගෙන ඉන්නා අතරේ අභී අයියාගේ බැල්ම යොමු වෙන්නේ පාරේ ගමන් කරන ගැටවර පිරිමි ළමුන් දිහාවටය.

එහෙත් දැන් ඔහුගේ වියපත් සිරුර දිහා බලන කවුරුන්වත් නැතිය. ඒ දෑසින් නිකුත් වෙන බැල්මේ ඇත්තේ අප්‍රාණික බවක් විතරය. අර ප්‍රතාපවත් පෙනුම හොරු අරගෙන ගිහින්ය.

ඒ දවස්වල අභී අයියාගේ බැල්ම......!

එතකොට මට දහතුනක් ලබලාය. දාහතරට ලබලා නැතිය.
වයසේ තරමට සිරුරෙන් වැඩිලා නැති; ඒත් බොහෝ දැනීම්-අත්දැකීම් ලබා හිටි එකෙක්මි.

ඒ මා පේව්මන්ට් එකේ රජ වෙන්නට යන කාලයයි. බස් එකෙන් එහෙම ගියේ පිටකොටුවට, කළුබෝවිල ඉස්පිරිතාලය ළඟට වගේ තැනකටය. 

ගමේ කවුරුනුත් එහා-මෙහා ගියේ වතු උඩින්, නියර මතින්....

දැන් වගේ ඉඩම්වල මායිම්වලට වැට ගහලා, කොටු කරලා, තාප්ප බැඳලා නැති හින්දා ගමේ-ගොඩේ මිනිසුන් හුඟක් වෙලාවට ගමන් කළේ අනුන්ගේ වතු උඩින්ය; අඩි පාරවල්වලින්ය; නියරවල් මතින්ය.
අපේ ගෙදර ඉඳලා, වඩාත් ඉක්මනින් හයිලෙවල් පාරට යනවා නම් කිට්ටුම තැන ඉස්සරෝම මහරගම පොලීසිය තිබුණු ඉසව්වයි.
(දැන් Lady J සාප්පුව තිබෙන්නේ ඒ කාලේ පොලිසිය තිබුණු හරියට ඉදිරිපිටින්- පාරෙන් මෙහා පැත්තේය. ඒ හරියේ පාර දෙපැත්තෙන්ම තිබුණු බස් නැවතුම් පොළවල් දෙකම දැන් නොමැත.)
එදාත් මා කඩිමුඩියේ බස් නැවතුමට දුවමින් හිටියේ ඒ වගේ කෙටි පාරවල් ඔස්සේය.

අභී අයියා ඒ අඩිපාරේම මගේ ඉස්සරහට එමින් උන්නේය. ඒ අර ප්‍රතාපවත් නිල ඇඳුම පිටින්මය. කාකි පාට නිල ඇඳුමට අභී අයියා පෙනුණේ ඉන්නවාටත් වඩා කඩවසම්ව වෙන්නට ඇති. (‘හයටත් කලින්’ පෝස්ටු කිහිපය කියවූ ඔබට, මගේ කාකි පාටට තියෙන විකාර -විකෘති ඇල්ම රහසක් නොවේ.) 

පටු අඩි පාරේ ඉස්සරහට යන්නට මට ඉඩදී බලාගෙන හිටි අභී අයියා මගේ අතින් අල්ලා නැවැත්තුවේ, මා තිගස්සවමිනි.

ඊට කලින් අප කතාබහ කර තිබුණේ නැත.

අන්ජිසාම් පැකට් වෙළෙඳාමෙන් වාසි වුණු දවසක අපේ ආච්චී; දසනායක රත්නවතී...

අභී අයියා එයාලගේ පවුලේ වැඩුමලාය. ඒ පවුලේ පිරිමි හතරකි. එක ගැහැනු ළමයෙකි. තාත්තා කුඹුරු ගොවිතැනත්, ඕවිටක් වැවීමත් කළේය. හරකුන්, එළුවන්, කුකුළන් හැදිල්ලත්.....

වැඩියෙන්ම එයාලාව ආස්සරය කළේ අපේ ආච්චීය.

ඒකත් අභී අයියාගේ අම්මාත් එක්කය. මට මතක හැටියට නම් එය ව්‍යාපාරික සම්බන්ධකමකි. අභී අයියලා එළකිරි විකිණීමත් කළෝය. අන්ජිසාම් පැකට් විකිණීමෙන් හොඳටම අතමිට සරු වුණු සමහර දවසක අපේ ආච්චී එහෙන් කිරි බෝතලයක් දෙකක් ගෙන්වා ගත්තාය. ඒ අපටත් එක්කය. 

“කොහෙද රංජි දුවන්නේ?”
අභී අයියා ඇසුවේය.

වැඩි ආස්සරයක් තිබුණත්- නැතත් අපේ ඉසව්වේ හිටි හැම කෙනෙකුවම- හැම කෙනෙකුම දැනගෙනත් හිටි හැටි.... මම අභී අයියාගේ නම දැනගෙන හිටි හැටියටම එයාත් මගේ නම දැනගෙන හිටියා වෙන්නැති!

“කොළඹ...” මගෙන් උත්තරය එළියට පැන්නේය.

පල්ලිය ළඟටද? මල්වත්ත පාරටද?”

හිතාගෙන උන්නේ ගමේ උදවිය ඒ ගැන නොදන්නවා කියලාය.

අභී අයියා එහෙම ඇහුවාම නම් මම ලජ්ජාවෙන් මිරිකෙන්නට වීමි. මා පේව්මන්ට් රස්සාව පටන් ගත්තේ 1966 ජුනි මාසයේ හෝ ජුලි මාසයේය.

සෑහෙන කාලයක් යන තුරුම පමුණුවේ කිසිම කෙනෙක් ඒ විත්තිය දැනගෙන හිටියේ නැති බවකි, අප හිතාගෙන හිටියේ. දැනගෙන වුණත් අපට නෑඟෙව්වා වෙන්ටත් ඉඩ තිබිණි. එහෙනං අභී අයියා රහස දන්නවාය. අභී අයියා ඉදිරිපිටදී නිරුවත් වුණා වැනි ලජ්ජාවකි මට දැනුණේ. 

“රංජි මල්ලී, බය වෙන්න එපා! මම ඕවා කාටවත් කියලා නෑ!!” අභී අයියා කරුණාව වෑස්සෙන හඬකින් කිව්වේ මගේ හිතිවිලි කියෝගන්නට හැකි වුණු විදිහෙනි. “... හොරකම් කරන්නනෙ ලජ්ජ වෙන්න ඕනි. නැද්ද? කොච්චර එකක්ද ඔහොම දෙයක් හරි කරලා, ඔයා ගෙදරට සලකන එක? තාත්තත් ලෙඩින්නේ?”

මට ‘ඔව්’ කියැවුණේ ඔළු භාෂාවෙනි.

අභී අයියා මගේ අත අත්හැරියේය.
“රංජි මල්ලියට පරක්කු වෙනවනෙ. යන්න... යන්න... මල්ලී. අපි ආයේ වෙලාවක හම්බ වුණාම කතා කරමුකො.”

උඩවැඩියා වගා කිරීම හදාරන්නට ගිහින්.... 

ඇත්තය, එතකොටත් මං පරක්කුය.
ඒක; පරක්කු වීම මට පුරුද්දටම ගිහින් තිබුණු එකකි.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහන කමිටුවේ ‘උඩවැඩියා වගා පාඨමාලාව’ හදාරන්නට 1979 අගදී යනතුරුම මගේ වැඩ සේරම කෙරුණේ විනාඩියක් හරි පරක්කු වෙලාය. පළමුවෙනි දවසේ මා ඒ පන්තියට ගියෙත් පැය බාගයක් විතර පරක්කු වෙලාය. තවත් සමහරුන් ආවේ මටත් පස්සෙය!

“.... පන්තියට ඇවිත් ඉන්න ඔයාලා සේරම වැඩිහිටි කට්ටිය විදිහටයි මට පෙනෙන්නේ. ඔයාලව ඉන්ටර්විව් කරන වෙලාවේ දකින්න ඇතිනේ පන්තියට සහභාගී වෙන්න හිතාගෙන කොච්චර කට්ටියක් ඇවිත් හිටියද කියලා. 

 -එයින් තේරුණු වාසනාවන්ත ඔයාලට මමත් නිසි විදිහටම ගරු කරන්න ඕනෙ.

-ඒ වෙනුවෙන් අද ඉඳලා එක දිගට මාස හයක් උපරිමයෙන් කැපවෙන්න මම ලැහැස්තියි. ඒ කැපවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියල මම බොහොම ගෞරවයෙන් ඔබ හැම දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා, ඉස්සෙල්ලම....

-අද අපි කාටත් පෙනුණා සමහරුන් පන්තියට ආව වෙලාව. ඒ සිංහල වෙලාවට.... සිංහලයො වුණාම සිංහල විදිහටනෙ වැඩ කරන්නේ. ඉතින් මටත් සිද්ද වුණා, පන්තිය පටන් ගන්න ඔයාලා වැඩි දෙනෙක් එනකල් බලාගෙන ඉන්න.

-අපි වෙලාව ගණන් ගන්නේ සිංහල විදිහට නෙවෙන නිසා. ඔයාලගෙ ඔරලෝසු ඔක්කොමත් සිංහල ඔරලෝසු නෙවෙයිනෙ. ඉතින්, ඊළඟ දවසෙ ඉඳලා මම හරියටම නියමිත වෙලාවට; සිංහල වෙලාවට නෙවෙයි... පන්තිය පටන් ගන්නවා....

වෙලාව වරද්දන්නෙ නැති එක කෙනෙකුට කරන ලොකු ගෞරවයක්...

-ඇවිත් ඉන්නේ එක්කෙනාද, ඒත් මම නියමිත වෙලාවට පන්තිය පටන් ගන්නවා. මම ඔයාලට ගෞරව කරනවා වගේ, මටත් කරන ගෞරවයක් වශයෙන්, ඊළඟ දවසෙ ඉඳලා වෙලාව වරද්දන්නෙ නැතිව ඔය හැම දෙනෙක්ම පන්තියට එයි කියලා මට විශ්වාසයි....”

ඒ පන්තියේ අපේ ගුරුතුමා ලෙසින් කටයුතු කළ එම්.ජී. ප්‍රේමරත්න මහතා අහිංසක තර්ජනයක් කරමින් එදා කිව්වේය.

     ‘ගුරු සිත              නොරිදවා
      වේලාව             නොවරදවා
      බැති පෙම්               උපදවා
     අකුරු උගනී කුමරු සොඳවා’ - කවිය අහලා; කට පාඩම් කරගෙන තිබුණා වුණත් එයින් කියවෙන පාඩම එතෙක්කල් මේ පණ්ඩිත මටවත් වැටහී තිබුණේ නැහැ නේද?

අනෙක් අයට කොහොමදැයි කියන්නට නොදන්නා මුත් ඒ ප්‍රසන්න කතාවත්, සුහද ඉරියවුත්, අධිකාරිවාදී tone එකත් මට නම් බොක්කටම වැදුණේය. මගේ පුරුද්ද ගැන හොඳටම ලජ්ජා හිතුණේය. එදින්-එදායින් පස්සේ නිමල් දිසානායක පුතයා කොයියම්ම වැඩකට යතත් වෙලාවට කලින් යන්නට පුරුදු වුණේය! හිතාමතා නම් පරක්කු වෙන්නෙම නැත. අද, මේ වෙන තුරුම; අවුරුදු 40ක් විතර කල් ගිහිල්ලත්!!

ප්‍රේමරත්න මහතාණෙනි, මා අදටත් එහෙම කරන්නේ ඔබට කෙරෙන උපරිම ගෞරවයක් පරිද්දෙනි!
ගුරුවරයෙකු ලෙසින් ඒ පන්තියේදී ඔබෙන් පළ වුණේ අත්‍යුදාර කැප කිරීමකි; සතිය පුරාම සටහන් ලියාගෙන- ආදර්ශ එකතු කොටගෙන එන ඔබේ වෙහෙස ගැන පන්තියේ සිසු-සිසුවියෝ පුදුම වූහ. ඉතිං, නූතන දිසාපාමොක් කෙනෙකු වූ ඔබට ගරු නොකොට කොහොමද? 

එතැන හිටලාම දිව්වේ බස් එකක් අල්ලා ගෙන....

ප්‍රේමරත්න මහතාගෙන් ඒ උපදේශය ලබන්නට කලින්; ඊට අවුරුදු දහතුනකට විතර කලින්; වයස අවුරුදු දහතුනේදී පුරුදු විදිහටම පරක්කුවී හිටි මම අභී අයියාගෙන් මිදී bus halt එක දක්වාම දිව්වෙමි.

ආයෙමත් මට අභී අයියාව සිහි වුණේ, ඊට පහුවදා සුපුරුදු පාරෙන්ම බස් halt එකට  දුවමින් හිටිද්දීය. ඒත් ඒ මනුස්සයාගේ ලකුණක්වත් දැක ගන්නට තිබ්බේ නැත. ඉන් පස්සේ යළිත් ඔහු ගැන මට මතක් වුණේවත් නැත.

“මට නං ඊට පස්සෙත් රංජි මල්ලිව මතක් වුණා.... ගොඩක් සැරයක්.... ඒත් මම ගෙදර නෙවෙයිනෙ මල්ලී හිටියේ. අද තමයි මට නිවාඩුවක් හම්බ වුණේ. ඉතින් ඔන්න, අද මම මඟ බලාගෙන හිටිය ඔයා එනකල්...”

සතියකට විතර පස්සේ දවසක අභී අයියා ආයෙමත් හමු වුණාම කීවේය. ඒ අර සෙනෙහස දොරේ ගලන හඬිනි!
එයින් මන්මත් වුණු මට, ගැළපෙන උත්තරයක්වත් එවෙලේ සිහියට ආවේ නැත.

“ඔයා ආපහු එනකොට මම ඔයාව හම්බ වෙන්නං.” එයාම කතා කළේය.

බය ගුල්ලා! කළුවරට ඔච්චරම බයයිද? එන්න....

“.... මම එන්නේ රෑ වෙලානෙ....”

“ඒකට කමක් නෑ....”

“ඒත් රෑ වෙලා මම ගෙදර එන්නෙ මේ පැත්තෙන් නෙවෙයිනෙ.” මං කීවේ ඇත්තමය.

“බයගුල්ලා! රංජි මල්ලියා කරුවලට ඔච්චර බයද? මෙහෙන් එන්න.... මං ඇරලවන්නං ගෙදර ගාවටම...”

16 comments:

  1. ඔබගේ කතාව දැක්කාම හිතුනේ හොදින් මිලමුදල් තිබුනු පවුලක් දරුවන් වැඩිවෙද්දී ආර්ථික අපහසුතාවයන් වැඩිවෙද්දී දරුවන්ට ආදරේ කර්න්නට හා පෙන්වන්නට වේලාවක් නැති වෙන්න ඇති. නැතිව දරුවන්ට දෙමව්පියන් ආදරේ නැතිවා නෙවෙයිනේ. ඔයා පවුලේ වැඩිමලා වෙලා තමන්ට ලැබුනු ආදරේ පස්සෙත් පහු ඉපදුනු මල්ලිලා නංගිලා අතරේ බෙදිමත් ඔය කියන සෙනෙහසේ අඩුවක් ඔයා දකිනවා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මට එහෙම පෙනෙන්නෙම නැති එකනෙ පුදුමේ කියන්නේ. දරු හැවිකාරේ තියෙන අය පෙනෙන තරමට, ඒ හැඟීම වැඩිපුර දෙනනවා, අසංග.

      මොනවා වුණත් දැන් ඒවා වෙනස් කරන්නය?

      Delete
  2. Don't worry NiDi, unlike some kids at least you are not given away and you had your parents around for good or bad.

    Gal karayek ta ahuwenna wage wage neda? Wijebahu

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තාගේ දර්ශනය වුණේ මේකයි.
      "වැලේ ගෙඩි වැලට බර නැත. මෙලොව උපන් කිසිවකු බඩගින්නේ මැරෙන්නෙත් නැත'.

      විජේබාහු මහත්තයෝ, ඔබතුමාගේ දෙවෙනි ප්‍රකාශය ගැන මොකුත් නොලියන්නේ, ඒ ගැන පෝස්ටුවෙදී ලියවෙන නිසයි... කියවලාම බලන්නකො.

      Delete
  3. //ඔබේ data පුච්චාගෙන කියවන්නට වෙන්නේ ඔබ අකමැති දෙයක් නම්.... මට දුක ඒ ගැනය.//
    නිමල් ලියන දේවලට දුක හිතුනට නිමල්ගෙ ලියවීම කියවන්නෙ ආසාවෙන්නෙ.
    මගේ පුද්ගලික මතය නම් ලියන්නෙ ආදායමක් බලාපොරොත්තුවෙන් නොවේනම් ලියන්න ඕනෙ තමන්ට ඕනෙ දෙය තමන්ට ඕනෙ විදිහට, පාඨකයා කැමති දේ ලියලා ඔවුන්ට වින්දනයක් දෙන්න ඕනෙ තමයි. හැබැයි ප්‍රමුඛත්වය ලියන්නාගේ කැමැත්ත.
    නිමල් කරන්නෙත් ඒකනෙ. මං කොයිතරම් කිව්වත් මහරගම ඉතිහාස කොටස පංචතන්තර විදිහට නැතුව වෙනම අතීත විස්තරයක් විදිහටත් ලියන්න කියලා නිමල් ලියන්නෙම මෙහෙමනෙ.


    (මෙහෙමවත් කියල බලමුනේ?)

    ReplyDelete
    Replies
    1. මම හොඳටම දන්නවා තව දිග කාලයක් පණ පිටින් ඉන්න ඉඩ ලැබුනොතින් නම්, ජීවිත කතාව ලියලා ඉවර වුණු ගමන්ම වගේ Pra Jay මහත්තයා මාව නිවාස අඩස්සියේ තියනවා. මහරගම ඉතිහාසය ලියනකල්!

      සැරෙන් සැරේ මගෙන් ලියවෙන මහරගම තොරතුරු කවුරු හරි උපුටාගෙන සම්පිණ්ඩනය කරනවා නං... මම බොක්කෙන්ම; උපරිම සහාය දෙනවා.

      Delete
  4. "ඉතාම පුංචි සෙනෙහසක් හරි; අංශු මාත්‍ර උණුහුමක් හරි මහමෙරක් තරමට දැනෙන බැවින්": ඉතාම පුංචි/සියුම් ආදරය පවා අගය කරන හැකියාව සහ ගුණාංගය නිමල් තුල ඇති කරන්න දෙමව්පියන්ගෙ ආදරයෙ යම් අඩුපාඩු සහිතව ජීවිතය ලැබුනා වෙන්නත් පුලුවන් සමහරවිට. ස්වභාව ධර්මය අපිට දෙන්නෙ එකිනෙකට වෙනස් unique අත්දැකීම්/ජීවිත. මුල්කාලයේදී ආදරය අහිමි වුනු හෝ අඩුවෙන් ලැබුනු සමහර අය ඉතා ආදරනීය වැඩිහිටියො වෙනවා කියනවා- ඒගොල්ලන්ට අහිමි වුනු ආදරයේ වටිනාකම හා වේදනාව හොඳින්ම දන්න නිසා.

    හින්දි ෆිල්ම් එකක් තියෙනවා Queen කියලා- බලලා තියෙනවද. තමන්ගෙ විවාහයට දවස් දෙකකට කලින් විවාහ ගිවිසගත් පෙම්වතා විසින් අකාරුනික ලෙස ප්රතික්ශේප වෙච්ච තරුන ගැහැනු ලමයෙක් ඉන් පස්සෙ තනියම රටවල් කීපයක සංචාරය කරල විවිධ මිනිසුන් සහෝදරකමින්, යාලුවෙක් ලෙස ආශ්‍රය කරලා තේරුම් ගන්නවා ආදරයෙ විවිධ ප්‍රභේද, විවිධ හැඩතල තියෙනවා කියලා. ඒ වගේම ඒ ප්රභේදවලින් එකක් දෙකක් නොලැබුනා කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතාම විනෝදාත්මක වගේම අති විශිෂ්ඨ රඟපැමක් Kangana Ranautගෙ.

    ඇයි ඉතින් ඔය අම්මව කිස් කරන එක සීමා කරන්නෙ. Unlimited දෙන්නකො.

    ReplyDelete
  5. ගොඩාරියක් ස්තුතියි Lotus!
    මටත් හිතෙනවා මම ටිකක් සංවේදී වැඩියි වගේ කියලත්. ඒ එක්කම සමහර වෙලාවට පමණටත් වඩා දැඩියි වගෙත්. පවුලේ වැඩිමලා වුනු නිසාත්, දරන්නට වුනු වගකීම් සුළු නැහැනෙ. ඒවාත් හේතු වෙන්න ඇති මාව මේ හැඩ ගැහිලා තියෙන විදිහට.

    මොනවා වුණත් මගේ කතාව එහෙම පිටින්ම කියනකල් ඔයාලට ඉන්න වෙනවනෙ අවසන් නිගමනවලට එන්න! දැන් 3/4 විතරම කියලා ඉවරයි වගේ.

    Queen බලලා නැහැ. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සබ්ස් එක්ක තියෙන බව හොයාගත්තා. බාගෙන බලන්නන්. ස්තුතියි දැනුවත් කිරීම ගැන.

    අපේ අම්මා ගැන තියෙන ප්‍රශ්නය එයා හදවතින්ම උපදින හැඟීමෙන් නෙවෙයි වැඩ කරන්නේ. එක විදිහක රංගනයක්.... (අපේ පවුලේ වැඩි දෙනෙක් ඒකට එකඟයි.)

    එක උදාහරණයක් විතරක් කියන්නම්. 92 අවුරුද්දේ අපේ අම්මා 90%ක්ම වියදම දීලා- මට හදපු මේ ගෙදරට ගෙවදිලා ටික දවසකින්ම 'අන්දොස් මංගල්ලේ' වීරවරිය සුසිලා එයාගේ මල්ලිත් එක්ක අපේ ගෙදර ආවා. අපේ අම්මවත් බලන්න එක්ක; කිරිබතුත් හදාගෙන. එයාලා ඉස්සරහම අපේ අම්මා අර කිරිබත්වලින් ටිකක් කෑවා.
    "අනේ සුසිලා. මම හරී ආසාවෙන් හිටියේ කිරිබත් ටිකක් කන්න. මාස ගාණකින් මේ කෑවේ!" කියලා සුසිලාව ඉඹලා thank කළා තුන්-හතර පාරක්ම.
    ඒවා අහගෙන මම හිටියේ තරෙන් පිපිරී-පිපිරී. මොකද දන්නවද? අපේ අම්මාම ඉල්ලපු නිසා එදා උදේට මම කිරිබත් උයලා ලුනුමිරිසුත් හදා දීලයි තිබ්බේ. ඒවා කාලා අපේ අම්මා මටත් ගෝනියක් විතරම ස්තුතිය දීලා හිටියේ. අනුන් සනසන්න වුණත් එහෙම චාටු කතා කියන නිසා තමයි එයාව බොරුකාරියක් විදිහටම මගේ හිතට වැදිලා ඉන්නේ.

    මට බොරුව දැක්කම ඕනෑවටත් වැඩිය තරහ යනවා. Kiss කිරීම වුණත් කෙරෙන්නේ එංගලන්තයේ ඉන්න බව show off කරන්නය කියලයි මම හිතන්නේ. දැන්-දැන් මාත් නාකි වේගෙන යන නිසා ඉස්සරට වඩා නම් මං ඉවසනවා.... ඒත්, මගෙත් දුර්වලකම් තියෙනවනේ ගොඩක්....

    අනෙක් අතට Lotus, එච්චරටම වෙනස් වුණොත් නිදි කියලා කෙනෙකුත් නැතිව යයිනේ. මම මොනවා කළත්, විවේචනේ කළත් මගේ හිතේ එයාලා ගැන වෛරයක්වත්, තරහක්වත් නෑ. එහෙම වෙලා තිබීම ගැන කනගාටුවක් විතරයි තියෙන්නේ.

    ReplyDelete
  6. /අපේ අම්මාවත් තාත්තාවත් අපට දුවේ-පුතේ කියා ඇමතූ අය නොවේ//මගේ ළමයින්ට මම නම කියල කතා කරන්නේ. ඒ වුනාට මම උන්ට පට්ට ආදරෙයි. නම කියන්නේ ජර්මන් ක්‍රමයට. ඉඳ හිටලා පුතේ කියලත් කියනවා, දෙන්නම දන්නවා පුතේ කියන්නේ එයාලට බව

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, දරුවන්ට නම කීමේ වරද්දකුත් නැහැ තමයි. ඒත් එහෙම ආමන්ත්රනයකදී වුණත්, ඒ ඇමතුම කෙරෙන ස්වරය (tone) එක පවා ආදරනීයද නැද්ද කියලා තේරෙනවා නේද?
      රඟනකොටයි, ඇත්තටමයි දෙකේ වෙනස හොඳට බලනකොට තේරුම් ගත්තහැකිනෙ.

      මේවාට හොඳම; අපේම නිදසුන් වරින්-වර බ්ලොගයේදී ලියවුණා. මහන්සිවී ඒවායේ links අදාළ තැන්වලට යොදන්නෙත් මුල් කාලීන රසික-රසිකාවන් නොවුණු අයට කැමති නම් කියවා බලන්නයි.

      මං වැරදි වෙන්න පුළුවන්, ඒත් මගේ නිගමනය අපේ අම්මාවත් තාත්තාවත් මව්වත් ගුණයෙන් සපිරි අය නෙවෙයි කියන එකයි.
      එහෙම අයව දකින තරම වැඩි වෙන තරමට මගේ නිගමනය තහවුරු වෙනවා. අපේ දෙමව්පියන් වගේම දරුවන් ගැන ලොකු හැවිකාරයක් නැති අයත් මට හමු වෙනවා සමහර වෙලාවට. ඇත්තටම මටත් වඩා, මං දුක් වෙනවා ඒ දරුවන් ගැන. මොනවා වේවිද කියලා.

      මට හිතෙනවා මෙහෙම වෙන්නේ මගේ මතකය හොඳ වැඩි නිසාද කියලත්.... ජීවිත කාලේ ගොඩාරියක් දේවල් ඒවා සිදු වුනු දවසේ වගේම තවම ඇස්දෙකේ.
      ඒක වාසියකටත් හිටලා තියෙනවා, blog එක ලිවීමේදී.

      Delete
    2. මෙන්න මාත් සම්බන්ධ වුණු සිද්ධියක්!

      අවුරුදු කීපෙකට කලින් හක්ස්ලි පෙරේරා මිතුරා අපේ ගෙදර ආවා එයාලගේ කාර් එකේ. එහෙම ආවේ, එයාගේ ඉතාලියේ ඉන්න මල්ලී ආනන්දත්, (දැන් ඇමෙරිකාවේ ඉන්න) හක්ස්ලිගේ පුතා තිවංකත් එක්කයි. එවෙලේ නෙවිලුත් අපේ ගෙදරට ඇවිත් හිටියා.

      "නිමල් අයියේ, ටක් ගාලා දාගන්න ඇඳුමක්... අපේ මලයාට ඕනිලු ගඟක බැහැලා නාන්න. අර දවසක් ඔයා අපිව එක්ක ගියේ අවිස්සාවේල්ල කිට්ටු තැනකට. යමු එහෙ! නෙවිලෝ, උඹත් යමු මචං. කාර් එකේ අපි පස් දෙනාට යන්නත් පුළුවන්." හක්ස්ලි කිව්වා.

      හක්ස්ලිට බැහැයි කියන්න පුළුවන්ද? අපේ යාළුකම කොච්චරද කියනවා නං , මගේ blog එකකට පළමු කමෙන්ටුව දැම්මෙත් එයා; (ඒ නං පස්සේ කාලෙක). එයා ගැන 'යකුන් බලන්නට ගිය යක්කු' වගේ හුඟක් තැන්වල ලියවිලත් තියෙනවා.

      ඉතිං අපි ගියා. දැහැන්වකට.
      නිතර යැවෙන නිසා එතැන ගැන නෙවිල්ටත් මටත් යම් තරමක අවබෝධයක් තියෙනවා. අපි නෑවේ වඩා නොගැඹුරු තැනක. වැඩිම ගැඹුර අඩි හයක් විතර වෙන වළකුත් තියෙන තැනක.

      Delete
    3. හිටි ගමන් තිවංක 'තාත්තී! තාත්තී' කියලා කෑ ගැහුවා. එයා බය වෙලා, අර වලේ ගිලෙන්න යනවා. (බය නොවී හුස්ම අල්ලාගෙන වතුර යටින් ඇවිදගෙන ආවත් විනාඩියෙන් උඩට එත හැකි තරමේ පොඩි වලක් ඒ!)
      තිවංක ගිලෙන්න යනවා දැකපු ගමන් හක්ස්ලි එතනට පැන්නා. එයා වතුරේ ගිලීගෙන තිවංකව උස්සලා ගොඩට තල්ලු කළා. හනිකට එතනට පීනපු නෙවිල් හක්ස්ලිවත් ගොඩට ඇදලා ගත්තා.
      මොකද හක්ස්ලිටත් පීනන්න බෑ!

      අන්න හැබෑ දරු සෙනෙහස.... දරු හැවිකාරේ තියෙන තාත්තෙක්!

      Delete
  7. අය්යේ..ඔයා ලියන හැම දේම අපි කියවන්නේ හරි ආසාවෙන්. ...දෙමාපියන්ගෙන් ඔයාට ලැබුන/නොලැබුන ආදරේ ගැන මං මොනවත් කියන්නේ නෑ. ඒත් ඔයා අඳුනා ගත්ත දවසේ ඉඳලා අපි ඔයාට ගොඩාක් ආදරෙයි. ම๬ හිතනවා අය්යට ඒ ආදරේ දැනෙනවා කියලා. ඒ වෙනුවෙන් සාදර අනුග්‍රහය දැක්වූ සුදු අය්යටත් පින්. සතුටින් ඉන්න. නීරෝගි සුව... ...

    ReplyDelete
    Replies
    1. දිමුතු නංගි, අමුතුවෙන් නොකිව්වත් ඔයාලගේ ගෙදර හැමෝම දක්වන ආදරේ- සෙනෙහස හොඳටම තේරෙනවා; දැනෙනවා! ඒක (බොක්කෙන්මනේ) හදවතින්ම මතුවෙලා එන එකක්නෙ. මම හිතන්නේ පෙර භවයක දැන-හැඳුනුම්කමක් වෙන්නැති. දැනෙන්නේ ඒ තරං තමන්ගේකමක්. ඇත්තමයි, එක හරියටම තේරුම් කරන්න බෑ; ඕනිත් නෑ.
      පුදුමේ ඔයාලගේ ගෙදර හැමෝගෙම තියෙන මව්වත්කම!
      ඔයාලටත් නිදුක් නිරෝගී සුව! සතුට!!

      Delete
  8. ඊයේ ඇවිත් කියවාලා ගියා ඇත
    ලියාගන්ට මේ දවසොල වෙලා නැත
    සමාව දාගන්ට බාජනයකුත් ඇත
    ඒකට දා තියනු මැනවි සුහද මිත

    ReplyDelete
    Replies
    1. නිමා කරනු වැඩ ටික ඇති ඔබේ වෙත
      පමාවට කරුණු මට උවමනා නැත
      දවසට විසිහතර කිසිවිට වැඩි නොවෙත
      ඉගෙනුම වෙතට මුල් තැන දිය යුතුය මිත!

      Delete