අකුරු මැකී නෑ

Tuesday, May 4, 2021

ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස

වෙද හාමිනේටෙලිය නිසා හෙළ වෙදකම ගැන අමුතුම ප්‍රබෝධයක් ඇති වුණු බව....

ධම්මික පැණිය හන්දා හෙළ වෙදකම හොඳටෝම හෑල්ලු වුණු බව මගේ මතයයි.

එසේම වෙද හාමිනේටෙලිය නිසා හෙළ වෙදකම ගැන අමුතුම ප්‍රබෝධයක් ඇති වුණු බවත් මගේ මතයයි. වෙද හාමිනේ වුණේ රෙබෙකා නිර්මලීය. අපි දෙන්නා සති කිහිපයක් තිස්සේ සද්ධි විහාරිකයෝ'වී සිටියෙමු! 

සද්ධි විහාරිකයන්?

‘සද්ධි විහාරික’ කියන්නේ කාටදැයි ඒ වචනය දුටු දවසෙම මේ ලියන්නාටත් ප්‍රශ්නයක් වුණේය. (ගූග්ල්වත් එය නොදන්නා විත්තිය DGM බස්සා මහත්තයා කියා තිබිණි.) ඒ වචනයත් ‘අකරදාරුව’, ‘රිදී ඉට්ටංකරය’ වදන් වගේමය. ඒ වචන තුනම අපට සමීප ඒවා වුණේ, ටෙලි චිත්‍රපට ත්‍රිත්වයක් නිසාය.

ගොඩගේ ප්‍රකාශනයක් වන, සිරි ලියනගේ වියතාණන් විසින් සංස්කරණිත ‘නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය’ පොතේ ඒ වදන්වලට අරුත් සපයා ඇත්තේ මෙහෙමය.

අකරදාරුව: අඹුසැමි ගිවිසුම, පොරොන්දු පත්‍රය, විශේෂයෙන් පළමු විවාහයෙන් දික්කසාද නොවී ඇය අත්හැර වෙනත් ස්ත්‍රියක පාවා ගැනීමේ දී පුරුෂයා දෙවෙනි ස්ත්‍රිය සමඟ ඇති කර ගන්නා ගිවිසුම.

‘රිදී ඉට්ටංකරය’ වචනය සිරි ලියනගේ මහත්තයාටවත් අහුවෙලා නැතිය. (රොබට් නොක්ස් ලියා තැබූ හෙළදිව පිළිබඳ සටහන්වලින් මේ ටෙලිය ලියන්නට වස්තු බීජය ලැබුණු බවක් ඒ දිනවල පළවූ විශේෂාංග ලිපියක කියැවිණි!)

සද්ධි විහාරික: උපාධ්‍යයන් වහන්සේ සමඟ එක තැන වාසය කරන, උපාධ්‍යයන් වහන්සේ යටතේ වාසය කරන්නා වූ. (‘කොළොම්පුරේ’ අසංග රණසිංහආරච්චි හිතවතා දැනටමත් මේ නිරුක්තිය කියා එවලා තිබෙයි!)

සද්ධි විහාරිකටෙලිය හාමුදුරුවරුන් ගැන කතාවක් නොවේ.
මට මතක හැටියට නං, ‘සද්ධි විහාරික’ ටෙලිය හාමුදුරුවරුන් ගැන කතාවක් නොවේ. එක තැන වාසය කරන්නන් ගැන කතාවකි. අලුත් වචනවලට ඇති කැමැත්ත නිසා ඒ යෙදුම ඊට පස්සේ කිහිපවිට යෙදී තිබෙනවා මට මතකය.
මාත් එම යෙදුම පාවිච්චි කළේ ඒ අරුතෙනි.

“එහා වාට්ටුවේ වෙද හාමිනේත් ඉන්නවලු... පිළිකාවක් හැදිලා....” විකිරණ ප්‍රතිකාර ලබා, සරුවාංගයේම  කෙස්-මයිල් සේරම හැළී- අඟහරු ලොවින් ආ භූතයා වගේ ‘මහරගම අපේක්ෂා රෝහලේ’ ගිලන් ඇඳක බාවා හිටි මා බලන්නට පැමිණි කවුරුන්දෝ මට කිව්වේය.
අප දෙන්නා; රෙබෙකාත් මාත් සද්ධි විහාරිකයන් වුණේ එහෙමය! (මගේ හිතවතා මට එහෙම කිව්වා විතරක් නොවේ, තකහනියෙම ගිහිල්ලා වෙද හාමිනේව බලලාත් ආවේය.)
 

ජයන්ත චන්ද්‍රසිරි ‘රෙබෙකා නිර්මලී’ව මංගලීගේ චරිතයට අරගෙන හැබෑම වෙද හාමිනේ කෙනෙකු අපේ සිත් තුළ ජීවමාන කෙරෙව්වේය; හෙළ වෙදකමේ අරුමය අපට පසක් කෙරෙව්වේය.

එක්ගල්ඔය බංගලාවේ නිමල් හිතවතාගේ ඔත්තුවට අනුව ඒ පැත්තේ උන් ගමේ වෙද මහත්තයාව හමු වෙන්නට යද්දී, අපේ නඩේ සේරෝමත් ආවේ බංගලාවටවී බකං නිලාගෙන ඉන්නට බැරිකම නිසාය.
බුලත් අතක් දීලා වෙද මහත්තයාට විස්තර කිව්වාම, ඔහු මගේ කමිසය ගලවන්නට කිව්වේය....
කමිසය ගලවන අතරේ ගෙට එබිලා ‘දුවේ’ කියලාත් කිව්වේය.

ඒ එක්කම වෙද මහත්තයාගේ ගෙදරට පුරහඳ පෑව්වේය; තව ඩිංගෙන් අපේ කොල්ලන්ගෙන් දෙතුන්-දෙනෙකු හුස්ම ගන්නට අමතකවී මිය-පරලොව යනවාත් එක්කය.
ගෙතුළින් නික්ම ආවේ ‘වෙද හාමිනේ’ පරද්දන සුරූපිනියකි.

ගෙතුළින් නික්ම ආවේ වෙද හාමිනේපරද්දන සුරූපිනියකි.

“.... දුවේ, ඔය මහත්තැන්ගෙ අතට මොකද වෙලා තියෙන්නේ බැලුවා නං...”

ඊට පස්සේ මට කිසිම දෙයක් කියන්නට-කරන්නට ඉඩක් ලැබුණේ නැත.  මගේ වටේට රොක්වී මගේ අත පෙන්වන්නට; අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නට.... කියන දේවලට හූමිටි තියන්නට තුන්-හතර දෙනෙක්ම කැපවී උන්හ.
පැණි හැළියකට ඇඹලයන් රොක් වුණාමත් ඒ වගෙය!

“මම ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අවුසද ජාතිවලින් හදන පත්තුවක් ඔය මහත්තයට ලියලා දෙන්නං.... බංගලාවේ නිමල්ට කිව්වාම බේත් හොයලා, පත්තුව හරි ගස්සල දෙයි. හොයා ගන්න බැරිම ජාතියක්-දෙකකුත් තියෙනවා. වියළි අවුසද. ඒවා මේ ගමන්ම අපෙන් දෙන්නංකො ගෙනියන්න.... දුවේ... මෙන්න මෙව්වා....” වෙද මහත්තයාගේ ඒ තරම් පරහිතකාමී- කරුණාවන්තයෙකි.

අපරාදේ කියන්නට බැරිය.
බංගලාවේ නිමල් අවශ්‍ය ඉතිරි බෙහෙත් හොයලා- කොටලා පත්තුවත් බැඳලා හෙදකම හරියටම කළේය. වෙද මහත්තයාගේ ගෙදරදී අපේ කට්ටියට තිබුණු ඉහවහා ගිය උනන්දුව බංගලාවෙදී විතැන් වෙලා තිබිණි.

එදා රාත්තිරියේ උරහිසට පත්තු බැඳගත් රෝගියා තනිව කාමරයේ වැතිර හිටිද්දී; එකම එක බිත්තියකින් එහා පැත්තේවූ ආලින්දයේ ඉඳගෙන අපේ මිතුරෝ මධු පානය කළහ; ගී ගැයූහ. අන්තිමේදී බඹර පදමට පැමිණි ‘අපේ සුමිත්‍රයා’ පහළ තට්ටුවේ කාමරයට ආවේ මං තනිව ඉන්නා හින්දාය.

එතකොටත් මං නිදි නැත. ඒ ගොබිලා මගේ යකා අවුස්සන කතාවක් කිව්වේ එතකොටය.

         ගල්ඔය කොස්සපොල, බුරුළු ඔය හා දිග්ගල්මුල්ල කියන්නෙත්- (සෙරාන් ගමගේ හැදූ වීඩියෝවකි.)              

“හඃ! බලනවා තමුසෙ කර ගන්න වැඩ!”

“මේ නෙවිල්, තමුසෙ කෑව-බිව්ව නං සද්ද නොකර පාඩුවේ නිදා ගන්නවා, මගෙන් කුණුහරුප නාහා.... කර ගන්න වැඩ! ඕනිකමෙන්නේ මම අත පන්නා ගත්තේ.... මෙච්චර වෙලා තමුසෙලා මේ බිත්තියෙන් එහා පැත්තේ ඉඳගෙන ජෝගි නැටුවේ මං කර ගත්ත දේට දුකෙන් වෙන්නැති....”
පිච්චෙන පොල් කටු අඟුරු උඩට මිරිස් කරල් අහුරක් දැම්මා වගේ දුම් දමන මගේ බැනුම්වලට උත්තර බඳින්නට නොගිය නෙවිල් එයාගේ ඇඳේ පෙරළුණේය; තත්පරයෙන් ගොරවන්නටත් පටන් ගත්තේය.

මට තවමත් ලජ්ජාය. ඒ තරමටම අසාධාරණ විදිහටය එදා මා තරහෙන් පිපිරුණේ!

අවුරුදු නිවාඩුවේදී කොහාට ගියත්, අප යන්නේ දවස් හතරක්-පහක් එක තැනකම ඉන්නට කටයුතු යොදාගෙනය. සාමාන්‍යයෙන් බංගලාවක් හෝ කඳවුරු බිමක් හෝ එක කණ්ඩායමකට වෙන් කරන්නේ රාත්‍රීන් තුනකට වගේ කියලාය මට මතක!

අප කරන්නේ අපේම සගයෙකුගේ නමට තවත් දවස් දෙකක් එතැනම වෙන් කරවා ගැනීමයි. බංගලාවක් නම් එහි නවාතැන් ගත හැක්කේ වැඩිහිටියන් දහයකට හා ළමයින් දෙදෙනෙකුට පමණකි. Camping site එකකට වුණත් නීතිය ඒකය. කඳවුරු බිමකට යද්දී සමහර වෙලාවට විස්සක්-තිහක් විතර ඒ ගමනට යැවුණු අවස්ථාවන්ද තිබිණි. එහෙම වෙලාවට අප කරන්නේ එක ළඟ තිබෙන කඳවුරු බිම් තුනක් වෙන් කරවාගැනීමයි.

මගේ පරෙස්සමක්- පාවිච්චියක් නැත්තේ වතුර සම්බන්ධයෙන් විතරය.

වස්ගමුවේ මැදපිටිය කඳවුරු බිම් 1, 2 හා උල්පත් හත අපෙන් එලෙස වෙන් කෙරුණු කෑම්පින් සයිට්ස් තුනකි.

ගල්ඔය කොස්සපොල, බුරුළු ඔය හා දිග්ගල්මුල්ල කියන්නෙත්- ඒ විදිහටම නයාත් නොමරා, පොල්ලත් කඩා නොගන්නා සැලසුමට අනුව අප ගිය තැන්ය.

එදා සැරෙත්, අප එක්ගල්ඔය බංගලාවේ රාත්‍රීන් තුනක් හෝ හතරක් හෝ නැවතී හිටියා වගෙය, මතක. ඒ නිසාම අර වෙද මහත්තයා බැහැ දකින්නටත් දෙවතාවක්ද- තුන් වතාවක්ද යැවුණේය. ඒ හැම සැරේකම අපේ කිහිප දෙනෙකු එහි යන්නට ආවේ කුමාර ලීලාවෙන් සැරසිලාය.
“මේ සැරේ එකෙක්ව මෙහෙ බින්න බස්සලා තමයි යන්න වෙන්නේ!” අපි සිතුවෙමු.

වෙද හාමිනේ ටෙලියෙදී මංගලී, ගුතේන්ද්‍රට වසඟ වුණා වගේ දෙයක් එක්ගල්ඔය වෙද ගෙදරදී වුණේ නැති නිසා අපේ සිතුවිල්ල වැරදිණි.
(එදා ඒක පාර්ශ්විකව ස්වයංවරයට ඉදිරිපත්ව හිටි අපේ කුමාරවරුන්ගෙන් තවමත් අවිවාහකව ඉන්නේ එක්කෙනෙකු පමණි!)

ඔයාලත්  දන්නවානේ? ලෙඩක්-දුකක් වුණාම බෙහෙත්-හේත්වලටත් වැඩියෙන් සැලකිල්ලක් දක්වන්නට වෙන්නේ පාවිච්චි වීම ගැනයි. ඒ අතින් නං මං අන්තිම නරකය. හැබැයි, පරෙස්සමක්- පාවිච්චියක් නැත්තේ වතුර සම්බන්ධයෙන් විතරය.

සෙංගමාලය හැදුණාමත් වුණේ ඒකය. මැලේරියාව හැදුණාමත් වුණේ ඒකය. පිළිකාව හින්දා හොඳටම වාරු නැතිව ඉඳිද්දී වගේම..... අත පැනපු වෙලාවෙත්.... 

ඔහු වස්ගමුවේ, වවුල්ඇබේ බංගලාවේ සේවය කරමින් ඉඳිද්දී පවා.....

බංගලාවේ නිමල් බෙහෙත් හොයලා, පත්තු හදලා, හරිම සැලකිල්ලෙන් මගේ අතට ප්‍රතිකාර කළත්- එක දවසක්වත් නොනා ඉන්නේ කොහොමද? වෙද මහත්තයා කිව්වෙත් අත තෙමන්නට එපා කියලාය. එක්ගල්ඔය පැත්තේ ගිහින් තියෙනවා නම්- ඒ පැත්තේ දාහය අත්දැක තියෙනවා නම්.... මං වැටී හිටි සකල අමාරුව ඔබට තේරුම් යනු ඇත.

අනෙක් කාරණය මගේ හිතුවක්කාරකමයි!

ඒ නිසාම, ඒ දිනවලත් මගේ ස්නානය දිගටම කෙරුණේය.

“නිමල් අයියගෙ අත හොඳ වෙයිද ඔහොම වැවේ බැහැගෙන ඉන්නකොට....” කියලා බංගලාවේ නිමල් පත්තු හැදිල්ල නැවත්තුවේය. ඒත් මෝඩ ‘මේ නිමලුත්’ එක්ක අමනාප වෙන්නට තරම් ‘ඒ නිමල්’ මෝඩ වුණේ නැත.
පස්සේ කාලයක ඔහු වස්ගමුවේ, වවුල්ඇබේ බංගලාවේ සේවය කරමින් ඉඳිද්දී පවා එහි ගිය මගේ හිතවතුන් අතේ පණිවිඩ එවන්නට තරම් ළෙන්ගතුකමක් ඒ නිමල්ට තිබිණි.

ඉතිං, 1999 ඒ ඇබැද්දිය එක්කම, මුදල් පසුම්බියක් පාවිච්චි කිරීමේ පුරුද්ද මගෙන් ඈත්වී ගියේය. මගේ පර්ස් එකේ සල්ලිවලට වැඩියෙන් තිබුණේ එකිනෙකාගේ ලිපින- ටෙලිෆෝන් නොම්මර වගේ එව්වාය. පරෙයියන් ඇල්ල ළඟදී දියට වැටුණු කලිසම- කමිසය වගේම පර්ස් එකත් දියබත්වී තිබිණි. පර්ස් එකට මොකද වුණේ කියලා බලන්නට මට මතක් වුණෙත් දවස් දෙක-තුනකට පස්සෙය.
එතකොට ලිපින-නොම්මර සේරම ‘බොඳ මීදුම්’ වෙලාය.
ඊට පස්සේ මට පර්ස් එකක් ගන්නට හිතුණේ නැති හැටි!

කොරෝනා විපත නිසා ඕනෑම වෙලාවක Lockdown කෙරෙන්නට ඉඩ ඇති බැවින්...

“පර්ස් එකක් තියෙන්න ඕනේ සල්ලි වියදං කරන මිනිහෙකුටනේ... මෙයාට සේරම ලැබෙන්නෙ පිනටනේ... මිනිහට කොහෙට හරි යන්න ඕනි නං අපෙන් නිකං ට්‍රාන්ස්පෝර්ට්, ගේ නිකං, කම්පියුටරේ නිකං, අයි පෑඩ් එක නිකං... සේරම පිනා!

-ඒ මදිවට ගිය අවුරුද්දේ ලැප්ටොප් එකකුත් පිනටම හම්බ වුණා...... මුවන්පැලැස්සේ නෙවෙයි නියම පිනා ඉන්නේ, පමුණුවේ! 
ඒ මදිවට දැන් මිනිහගෙ චීත්තවාහිනියෙනුත් කීප දෙනෙක් යාළුවෙලා ඉන්නවා, පූරුවේ ණය ගෙවන්නද කොහෙද.”
ඔය ගැන කතා වෙද්දී නෙවිල් කියයි.

ඒවා නං බොරුත් නොවේ. ඒ ලැයිස්තුවට තවත් දේවල් එකතු කරන්නට වෙනවා වගෙය. පෙබරවාරි මාසයේ ‘නකල්ස් එජ්’ ගමනටත්, අප්‍රේල්වල ‘කොස්සපොල හා නකල්ස්වල රෝයල් මවුන්ටන් එජ්’වලට ගිය ගමන් සඳහාත් මා වෙනුවෙන් වියදම් කරන්නට, මට ඉඩ ලැබුණේ නැත.
ඒ පරිත්‍යාගශීලීත්වය වෙනුවෙන් ස්තුතියි, ළයාදර මිතුරනි!

මෙව්වා කියන්නේ පම්පෝරියකට නම් නොවේ. ‘අගය කිරීමේ අගය’ කෘතවේදී ආදර්ශයෙන්ම තහවුරු කරවන්නටය.

ජාතියක් වශයෙන්ම අපි නිර්දය ලෙසින්ම විවේචනය කරන්නට පුරුදු වී සිටින්නෙමු; එහෙත් අගය කරන්නට ඕනෑ තැනදී එයට මැළි වන්නෙමු.

අනුන්ටත් දෙන- කන- අගය කරන මගේ පුරුද්ද නිසාදෝ මට ලොකු වාසනා මහිමයකුත් ලැබී තිබෙයි!
මේ සමීපතම උදාහරණයයි. කොරෝනා විපත නිසා ඕනෑම වෙලාවක Lockdown කෙරෙන්නට ඉඩ ඇති බැවින් දින කිහිපයකට ප්‍රමාණවත් ආහාර-පාන නිවසේ ගබඩා කර ගන්නැයි බලධාරීන්ගෙන් කියවුණා විතරය. මට shopping යන්නට ඉඩක්- වෙලාවක් ලැබුණේ නැත.

ගිය අවුරුද්දේ දළදා මාළිගාවට බෝම්බ ගැහුවම බිත්ති පුපුරලා පරණ චිත්‍ර වගයක් හෙම මතු වුණා...

‘ලොකා කොහෙවත් යන්න එපා!’
‘තමුසෙ ගෙදරටම වෙලා ඉන්නවා!’
‘නිමල් අයියට මොනව හරි ගෙන්නගන්න ඕනි නං අපට කියන්න....’ පණිවිඩ පිට පණිවිඩ ලැබිණි. ඒ අස්සෙම මාසෙකට විතර ඇති වෙන්නට හාල්- තුනපහ- මස්- මාළු වගේ දේවලුත් අපේ ගෙදරටම වැඩියේය!

ස්තුතියි, ළයාදර නෑදෑ-හිත මිතුරනි!!!

නෑ- හිත මිතුරන්ගෙන් එවන් ළබැඳි සැලකුම් ලබන්නට වාසනාවකුත් ඕනෑය. එච්චර එපා. නාඳුනන මාරයා වුණත් මට විශේෂ දයාවක් දක්වනවා වගෙය. පරෙයියන් ඇල්ලෙදී විතරක් නොව,  1999දීම ඊට කිට්ටුව දවසක යක්කලදීත් මට දයාව පෙන්නුවේය!

එක්ගල්ඔය ගිහින් දවස ගානෙම නාලා, අත සුව වීම පරක්කු වුණායින් මට සති කිහිපයක් ගෙදරටම වෙලා ඉන්නට වුණේය.

“නිමල්ට කම්මැළිත් ඇති නේද දැන් ගෙදරටම වෙලා ඉඳලා.... හෙට උදේ මම නුවර යනවා තව යාළුවෙකුත් එක්ක, බිස්නස් වැඩකට. කැමති නං යං..... ගිය අවුරුද්දේ දළදා මාළිගාවට බෝම්බ ගැහුවම බිත්ති පුපුරලා පරණ චිත්‍ර වගයක් හෙම මතු වුණා මතකයිද? ඒවා ප්‍රතිසංස්කරණය කරන painter කෙනෙක්වත් හම්බ වෙන්න මේ ගමන්ම යනවා.... නිමලුත් ආසයිනේ එහෙම අයව හම්බ වෙන්න....” WAL ප්‍රියන්ත හිතවතා කිව්වේ, මං එහෙම ඉන්නා අතරේය.

ගමන ගියේ අප තිදෙනෙකි.
ප්‍රියන්ත, ඔහුගේ ඉංජිනේරු මිතුරෙකුවූ හේමන්ත හා මාය. ගියේ ප්‍රියන්තගේ වෑන් රථයෙනි.

වස නිඳිමතක් ආවා මචං.....
වැඩි විස්තර නොකියන්නේ, අදින් මේ posts කිහිපය නිමා කරන්නට සැරසෙන නිසාය. මුලින්ම ගම්පොළට... ඊළඟට නුවරට... ප්‍රියන්තගේ රාජකාරි කටයුතු නිමාවී, සංග්‍රහ-සත්කාර විඳ, අප ආපසු එන්නට පිටත් වෙද්දී රෑ දොළහත් පැනලාය; ජාමෙත් වෙලාය!

“මචං, එද්දිත් දිගටම drive කළේ උඹනේ. මම ඩ්‍රයිව් කරන්නද?” නුවරින් පිටත් වෙන්නට හදද්දී හේමන්ත ඇසුවේය. හේමන්ත ඒ වෙද්දීත්, ප්‍රියන්ත ගැන හරිහැටි නොදන්නා විත්තිය මට තේරුණේ එතකොටය.

ගතවුණු අවුරුදු තිහ-හතළිහ තිස්සෙම ප්‍රියන්ත එක්ක අනන්තවත් ගමන්-බිමන් ගිහින් ඇති නිසා දනිමි. ප්‍රියන්ත තමන්ගේ වාහනයේ සුක්කානම ලෙහෙසියෙන් තව කෙනෙකුට නොදෙයි!
ඒ ගතිය නිසාම, එක දවසක් (හබරණ හරියෙදීද කොහෙද) වාහනය පාරෙන් ඉවතටත් ගිහින්, රූස්ස ගහකටත් යන්තමින් හේත්තුවී නවතින තුරුම ප්‍රියන්ත නින්දෙනුත් driving කරලාය.

දැන් නම් එයා වාහනයක් එළවද්දී තද නිඳිමතක් හැදුණාම, පාරේ අයිනකින් නැවතී ටිකක් නිඳා ගනියි. එහෙම කරන්නට බැරි වෙලාවක ගන්නට කොණ්ඩ කඩල පැකට්ටුවකුත් අත පොවන මානයේම, වාහනයේ තිබේ.

“නිමල් දන්නවද, නිඳිමත වෙලාවක බැදපු කඩල ඇට හපනකොට නිඳිමත නැති වෙනවා!”

“ඒ කිව්වේ?”

“දත් ඇඳි දෙක එකට වැදෙනකොට මොළේට වැඩියෙන් ලේ යනවා වෙන්නැති.... මට නං ඒ වැඩේ වැඩ කරනවා... තිස්සෙම කබියේ කඩල පැකට් එකක් තියෙනවා....” ප්‍රියන්ත කියයි.

1999දී ප්‍රියන්ත ඒ ‘අත්දුටු කෙම’ දැනගෙන හිටියේ නැත.
අල්ලාප-සල්ලාප මැද්දේ නුවර පාරේ එමින් හිටියත් යක්කලට කිට්ටු වෙද්දී මාත් හිටියේ අඩ නින්දෙන්ය. ඒත් වාහනය නවත්තන විටම මට ඇහැරුණේය.
“වස නිඳිමතක් ආවා මචං.....” ප්‍රියන්ත හේමන්තට කීවේය.

කෝ, කෝ...තුවාලකාරයෝ නැද්ද මචං?’ (හොරොව්පතානේදී සිදු වුණු අනතුරක ෆොටෝවකි)

“උඹ මේ සීට් එකට වරෙන්, කිව්වම අහලා.... මම ඩ්‍රයිව් කරන්නං....” හේමන්ත තදින්ම කිව්වේ වාහනයේ දොරත් ඇරලා එළියට බහින ගමන්ය. ඒ වතාවේ ප්‍රියන්ත අකීකරු වුණේ නැත. හේමන්ත වාහනයේ සුක්කානම ගත්තාම ප්‍රියන්ත නින්දට වැටුණේය. මමත් ආපහු කිරා වැටෙන්නට වීමි.

සද්දය ‘බ්‍රාාාාාාාස්’ද ‘ක්රාාාාාාාස්’ද කියලා නං දන්නෙ දෙයියන් විතරය. මහා සද්දයකුත් එක්කම මාව කැරකෙනවා, පෙරළෙනවා, ඇඹරෙනවා, එහෙ-මෙහෙ විසි වෙනවා; වැදෙනවා දැනුණේය!

සේරම නැවතෙද්දී මට වැටහිණි. වාහනය පෙරළිලාය. රවුම් කිහිපයක්ම පෙරළිලාය. ඒ අස්සෙම ගොජ-ගොජ සද්දෙකුත් ඇහෙයි! ඩීසල් වැක්කෙරෙනවා වෙන්නට ඇතැයි මට සිතිණි.
මා සිටියේ රියදුරු අසුනට පිටුපසින් ඇති ආසන පේළියේ කෙළවරක වාඩිවීලාය. මම වකුටුවී වාහනයේ ජනේලයෙන් එළියට ඇදුණෙමි.

‘මේ මොනවද බොලේ මේ?’ මොනවාදෝ සුදු කුඩු වගයකින් මාව නැහැවිලාය. ඒ ගැන හෙවිල්ල පස්සට තියලා මම පුළුවන් තරම් වීරියෙන් කට හැරියෙමි..... “ප්‍රියන්ත... ප්‍රියන්ත........”

උත්තරය ආවේ වෑන් එක ඇතුළෙනි. “මං එනවා...” ප්‍රියන්තත් වාහනයෙන් එළියට ආවේ රිංගාගෙනය. ප්‍රියන්තත් එළියට ආ ගමන්ම, හේමන්තට කතා කළේය.
“මාත් එළියෙ....” අනෙක් පැත්තෙන් උත්තරය ආවේය.

ඊළඟට කියන්නට වෙනදේ, අදටත් මට විස්මය දනවන්නකි.

‘කෝ, කෝ...තුවාලකාරයෝ නැද්ද මචං?’
‘මැරිලද?’
‘සද්දෙ හැටියට නං නැති වෙන්ඩ බෑ.... හෙණයක් ගැහුවා වගෙනෙ බං....’

මේ අප්‍රේල් 27 වෙනිදාත් විල්පත්තුවෙදී..(සමින්ද, නදී හා ප්‍රියන්ත)

ඒ මහ පාන්දර නුවර පාර මැද්දට එච්චර සෙනඟක් කොහෙන් ආවද? විස්සක්-විසිපහක් විතර... සමහරුන් ඇවිත් හිටියේ සරම පිටින්මය; තව සමහරුන් ෂෝටක් විතරක් ඇඳගෙන නින්දට ගිය ගමන්මය.

එයාලා උදක්ම හෙව්වත් අනතුරෙන් විපතට පත් තුවාලකාරයන් හිටියේ නැත!

කොළඹට එමින් තිබුණ වාහනය නුවර පාර මැද්දේ නැවතිලා තිබ්බේ නුවර පැත්තට හැරිලා, ඔළුවෙනුත් හිටගෙනය.
‘වට තුන-හතරක් පෙරළිලා  තියෙනවා!’
‘පොඩි බ්‍රේක් පාරක් නෙවෙයි මචං ගහලා තියෙන්නේ... අර බලපංකො, තාර පාරේ වාහනේ ඇදිලා ගිය mark එක....’ අප වට කර ගත්තවුන්ගේ කමෙන්ට්ස්වලින් මගේ මතකයේ හිටියේ ඒ දෙක විතරය.

එච්චර දෙයක් වෙලාත් අප තුන්දෙනාගෙන් එකෙකුටවත් ලේ ගලන තුවාලයක් වුණේ නැත. තැලීම් විතරය! වාහනය ආපසු රෝද හතර උඩ හිටවන්නටත්, පාරේ අයිනකට තල්ලු කරන්නටත් බාර ගත්තේ රැස්වුණු පිරිසයි. ඒ අව්වස්සේ ප්‍රියන්ත නලින්ලාට දුරකථන ඇමතුමකුත් දීලාය.

පැයක්-හමාරක් නිඳි කිරමින් බලාගෙන හිටියාම, නලින්ලා- නදීලා කට්ටියම ආවේය.

“අයියා කියපු හැටියටම වෑන් එක ඇදගෙන තමයි යන්න වෙන්නේ...”
එයාලා ඇවිත් තිබ්බේ ඒකටත් සූදානමිනි. “ඒකට ඕනි කරන ඒවා හොයන්න ගියායින් පරක්කු වුණේ.”

“මතකද එදා නිමල් අයියා සුදට සුදේ භූතයා වගේ හිටිය හැටි?” මේ අප්‍රේල් 27 වෙනිදාත් විල්පත්තුවෙදී නදී (ප්‍රසන්න චාමින්ද) යක්කල රිය අනතුර මතක් කරමින් මට කොලොප්පම් කළේය. “ අපි වෑන් එක ගේන්න යද්දී... මහින්ද අයියයි, යාළුවයි දෙන්න වගේ නෙවෙයි මෙයා.... ඇක්සිඩන්ට් එක වෙලාවේ මෙයා ඩීසලුයි, සුදු සිමෙන්තියි නාලා....” 

මාරයා මට තව දුරටත් මෙලොවම ඉන්නට වරම් දෙන්නට ඇත්තේ....
ඇත්තය! මොකක්දෝ වැඩකට ගෙනියන සුදු සිමෙන්ති මුට්ට බාගයකුත් වෑන් එකේ තිබිලාය. වාහනය පෙරළෙන අතරේ ඒක විතරක් නොපෙරළී හිටියිද? ඒවායින් මාව නොනෑවී තියෙයිද?

“කොහොමද හේමන්ත අයියේ වෑන් එක පෙරළුණේ?” අප තුන් කට්ටුවත් වාහනයකට නංවාගෙන ගෙදර එන අතරේ අපේ කෙනෙක් තොරතුරු කණින්නට වුණේය.

“අනේ මන්දා මල්ලී... එක පාරම සේරම lights නිවිලා ගියා.... ගැස්සිච්චි පාරට මට කලබලෙන් බ්‍රේක් ගැහුණා.... පාරත් පාළු නිසා ආවෙත්.....” ඒ හේමන්ත.

“ඔයින් ගියා ඇති හේමන්ත. මගෙයි වැරැද්ද. වාහනේ fault එකක් ඇවිත්, හදන්න තියෙද්දියි මේ ගමනට අරගෙන ගියෙත්... මොකක් හරි හින්දා හිටි ගමන් van එකේ ලයිට් සේරම නිවිලා blackout වෙනවා.... චඃ! මට ඒක හේමන්තට කියන්න බැරි වුණානේ....”

ඔය ඇබැද්දි සේරම වෙලාත්, මාරයා මට තව දුරටත් මෙලොවම ඉන්නට වරම් දෙන්නට ඇත්තේ මං ලව්වා මේ විස්තර දයාබර ඔබලාට ලියවා ගන්නට හිතාගෙනය. ඒ ගැන මට අසන්නට ඉතිරිව ඇත්තේ එක ප්‍රශ්නයක් විතරය.
‘මාරයා උන්නැහෙ, ඉතිං මට කියන්න තියෙන දේවල් සේරම ලියනකල් මෙහෙ ඉන්න අවසර දෙනවද?’෴

39 comments:

  1. නළු නිලියො දක්ෂ නෑ කියල නෙමෙයි මේ කියන්නෙ, ඒත් ජයන්ත චන්ද්‍රසිරිට තමා වැඩිම ක්‍රෙඩිට් එක ලැබෙන්න ඕනෙ. ඔහු හැමදාම "වෙනස්" දෙයක් කරපු අපූරු කලාකාරයෙක්. RIP රෙබෙකා නිර්මලී, මාලනී බුලත්සිංහල, කේමදාස මාස්ටර්😢

    සඳ කැන් දහරින්



    ReplyDelete
    Replies
    1. අපිත් කොච්චර නං දියබුං ගැහැව්වද? බලහංකො අපේ තට්ට පැන්නෙ නෑ නෙව, වෙද මහත්තුරුන්ට ලස්සන දූලා ඉන්නවද බලන්න?😒

      පැටියා කාලෙ වෙලේ දියබුං ගහලා අවලං කූඩැල්ලෙක් මගේ නරකම තැනක එල්ලුනා. මෙව්වා එක යස අගේට ලොකු වුනා. ගමේ වෙද මහත්තයා ගාවට ගියාම, උන්දෑ මගේ බලවත් විරෝධය නොතකා, පටස් ගාලා කලසං කොටේ පහලට ඇද්දා. දොර රෙදි අස්සෙන් "හිකි,හිකි" ගාලා හිනා වුනේ වෙද මහත්තයාගෙ මාර දූවරු සැට් එක. Not cool😒

      Delete
    2. පොඩිකාලෙ ඉඳංම ඇණ ඇදෙන කාන්දමක් බස්තුමා.

      Delete
    3. ඇණ නෙමෙයි උතුමාණෙනි, කූඩැල්ලො. ඒකා ඉහල වංසෙ කූඩැල්ලෙක්. ගම්වල ඌට කිව්වෙ මීහරක් කූඩැල්ලා කියලා.වෙද මහත්තයා මොනවද තිබ්බාම තමා ඌ ගහෙන් බැස්සෙ. බැස්සා නෙමෙයි වැටුනා මයෙ හිතේ. හැබැයි යන්න කලින් කණ අත්සන ගහලයි ගියේ.

      Delete
    4. නිමල් අයියල වගේද ඔය බස්සතුමා වෙද දූවරුන්ට රංඩිංගම පෙන්නල තියෙන්නෙ යස අගේට.

      Delete
    5. වෙදාගේ බේතට මීහරක් කූඩැල්ලා එතැන තියෙද්දි අහවල් එක වැටිලාද දන්නෑ..

      Delete
    6. @ දෙමල නයා මහත්තයා

      මං බෑම කිව්ව වග හොඳට මතකයි. හරි, වෙද මහත්තයා කරපු දේ වෙදකම කියමුකො. එතකොට වෙද දූලා හොරෙන් බැලුවෙ ඇයි?🤔

      Delete
    7. @ කොළොම්පුරේ

      වෙන්න විදිහක් නෑ, මයෙ හිතේ. කවදාවත් මෙව්වා එක බිමට බැහැල , මැන, මැන යනවා දැක්කෙ නං නෑ🤔

      Delete
    8. කූඩැල්ලො බැරිනං ඇනොකොන්ඩො හරි එල්ලගෙන බැස්ටියන්තුමා වෙද, හෙද, වඳ, ගඳ ආදී ඔනෑම ඔපොසිට් ජෙන්ඩරාවියක් ආකර්ෂණය කරගන්නවනෙ

      Delete
    9. ජෙන්ඩරාවියොන්ගෙ ගඳ කියල කිව්වෙ?. ඒත් වෙද දූවරු ආවෙ නං කූඩැල්ල බලන්න මයෙ හිතේ. "කියුරියෝසිටි කිල් ද කැට්" කියල සුද්ද තමා කිව්වෙ.

      Delete
    10. මං හිතුවෙ සුද්ද කිව්වෙ "නෝවන් ගිව්ස් අ හූට්" කියලයි

      Delete
    11. රට්ටු මට "පැරනොයිඩ්" කියල කයි-කතන්දර හදනව. මං මී හරක් කූඩැල්ලගෙ කතා වස්තුවත් කියලම දැම්මෙ ඒකයි, අපෙ හාංදුරුනේ.

      Delete
    12. යකඩෝ මං නැති ටිකේ බකුසට වෙලා තියෙන හදිය!

      Delete
    13. එහෙනං, බස්තියං මැතිඳු අද තනියම වෙල මැද්දේ😜

      Delete
    14. @ඩ්‍රැකී,
      කොමා හින්ද වෙන්ටැ පමා.

      Delete
    15. னයි හාමි,
      “සකෝ“ බලලෝ

      බකුස්,
      මී හරක් කූඬැල්ල උනත් මොකද, වැඩේ තිතට කෙරෙනවනං?

      Delete
    16. මදැයි ගොහිල්ලා තියෙන දුර. පෙරහර ගියාට පස්සේ මැද්දට පනින්නය? අපිවත් lockdown කළා පෙරේදා පාන්දර ඉඳන්.

      මට clinic යන්න තිබ්බා ඊයේ. පෙරේදා දවල්ම බැරියර් එක ළඟට පයින් ගිහින් විස්තරේ කියලා හවසට යන්න අවසර දෙනවද කියලා අහගෙන ආවා. දොස්තර මහත්තයා හවස එතනට ඇවිත් මාව අරගෙන ගියා.... ආවේ ඊයේ රෑ නවයාමාරට...

      ඒකයි උත්තර දෙන්න පමා වුණේ, සේරමලා සමා වෙන්නෝනි සුනංගුවට.

      Delete
    17. සමාව භාජනේකට දාල තියෙන්නෙ. කොකාසං සභාපති තැම්පත් னයි හාමි ආපුහාම සළකා බලමු...

      Delete
    18. මට හිතුන මොකක් නමුත් අවුලක් ඇති කියල, නිදි එහෙම උත්තර දෙන්න පරක්කු වෙන්නෙ නැති නිසා.

      පුළුවන් තරම් පරිස්සම් වෙන එක තමා කරන්න පුළුවන් එකම දේ.

      Delete
    19. னයි හාමි,කොකාසං සභාපතිද? අපේ වත්ත පහල වෙලෙත් හිටිය කොකු. වැඩිය හිටියෙ මාන කොක්කු🤔

      Delete
    20. ෙකාකා සං කිව්ෙව ෙකාෙමන්ට් කාරයන්ෙග් සංගමය මෙය හි ෙත්

      Delete
    21. මරු නම. කොකාසං!

      බස්සා මහත්තයෝ, මේ ටිකේ ලංකාවේ නං ඉන්න තරමක් ඉන්නේ පාලම් කොක්කු!

      Delete
  2. ‘මාරයා උන්නැහෙ, ඉතිං මට කියන්න තියෙන දේවල් සේරම ලියනකල් මෙහෙ ඉන්න අවසර දෙනවද?’ නැතුව නැතුව!!! අපි මාරයා උන්නැහෙට යවමු අර අසංගගේ බඳුන.

    ReplyDelete
    Replies
    1. යවමු.... ප්‍රස්නේ කියන්නේ කවුරුත් ඕක ගෙනියන්න බාර ගන්න බයයිනේ..
      අපේ නිමල් අයියාට පොඩි පොඩි කෝචෝක් දැම්මාට මාරයාත් බයයි එයාට අත තියන්න...මොකද මාරයත් මේ චිත්තවාහිනියේ ෆෑන් කෙනෙක්.

      Delete
    2. ස්තුතියි Lotus, අසංග දෙන්නටම!

      Delete
  3. https://www.artofmanliness.com/articles/how-to-survive-a-rollover-car-crash/

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, මෙදා පොටේ තමුන්නාන්සෙගෙ link එකෙන් වැඩක් වෙන්නේ මට නෙවෙයි, අනෙක් අයටයි. මම ඉතිං ගොන් කරත්තයක්වත් එළවන ගොනෙක් නෙවෙයිනේ... නාහේ විදපු නැති ගොනෙක් විතරයිනේ.

      Delete
  4. චීත්තවාහිනියෙන් යාලුවෙච්චි පලමු කෙනා මමයි කියලා හිතනවා. එහෙමවීමත් ලොකු භාග්‍යක්. පූරූවේ ණයක් නම් නොවේ ඒක

    ReplyDelete
    Replies
    1. එක වෙනස් කරන්න ඇහැකි කාරණයක් නොවෙයිනේ අසංග!

      ණය කතන්දරේ ගණන් ගන්න එපා. දන්නවනේ නෙවිල්ගේ කට.... ලියන්න බැරි වුණාට..

      Delete
  5. “මාරයා ගෙ හෝරාව“ කියල බ්ලොග් එකක් තිබුණා. තව “මගෙ මරණය“ කියල කෙනෙකුත් බ්ලොග් එකක් ලිව්වා.

    එක වරක් බ්ලොගර්ස් අවුරුදු උත්සවේ සංවිධායකයෙක් වුණු ඕනමැන්ටල් (වගෙයි මට මතක) ඔය අවුරුදු උස්සවේ තිබුණු පිට්ටනිය ළඟ කඩේකට ගිහිං, එතනදි කෝල් එකක් ඇවිත්, “කවුද දැං ඇවිත් ඉන්නෙ“ කියල අහලා. ඕනය වටපිට බලන්නැතුව උත්තර දීලා, “මචං මාරය නං ඇවිත් ඉන්නෙ. මගෙ මරණය මග එනව පිටකොටුව හරියෙ...“ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. කොහොමෙයි ඩ්රැකී උන්නැහේ.... ඉස්පාසු තියෙනවය?

      Delete
  6. මේ මගෙ මරණය.
    http://maranaya.blogspot.com/

    මාරයගෙ හෝරාව නං දැන් පෙන්නන්නෙ එයා ආරාධනා කරපු අයට විතරයි..

    ReplyDelete
    Replies
    1. මගේ මරණය link එකටත් ගියා. ඒකත් 2012 ලිවීම නැවතුණු එකක් ...

      Delete
    2. බකුසු ආස්සරෙන් බෝ වෙලා වෙන්නැති හූම්ම්ම්, කොරෝනා වගේ.

      Delete
  7. නිදි යන යන වෑන් පෙරළෙනවා ඇත්තේ නිදි නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. වෑන් එකට විතරක් හානි වෙන, යන ඇයට හානි නොවෙන විදිහට ..... ඒකත් ආසිරිවාදයක් නෙවෙයිද අජිත් මහත්තයෝ?

      Delete
    2. දෙයියන්ප ඔව්

      Delete