li Item

Friday, April 30, 2021

ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස

කොරෝනාවෙන් ආතුරවී ඉන්නා Earth සගයා වට කරගෙන...... 

“Tea එකක් order කරලා තියෙන්නෙ නිමල්. අපේ මල්ලිගේ බැචාලා ජෝඩුවක් හම්බ වුණා hospital එකේදී. එයාලා අපිට ඉන්වයිට් කළා ඩිනර් එකට... ඇඳුමක් මාරු කරගෙන තේ එක බීලා එහාට යං... රෑ වෙන්නත් හොඳ නැහැනෙ....”

ඇත්තම කියන්නට වෙයි. මට දැනුණු විදිහට නම් අප කවුරුනුත් අර ආරාධිතයන්ගේ නිවහනට ගියේ ‘ඉතියෝපියානුවන්’ වගෙය. යනකොටත්..... 

‘ඉතියෝපියානුවන් වගේ’ යෙදුම අදට නොගැලපෙයි! (DGM බස්සා මහත්තයා ඒ වෙනස දැක තිබුණු කෙනෙකු නිසා ඒ බව, උන්නැහෙගෙ කමෙන්ටුවකත් ලියා තිබ්බේය.)
හැමදාමත් සාගත, දුර්භික්ෂ, ලෙඩ-දුක් තිබ්බ රටක් හැටියටය, ඉතියෝපියාව ඒ කාලේ නම් තිබුණේ. දැන් එහෙම නැත.

මෙහෙම ගියෝතින් නම් ඉක්මනින්ම ඒ තත්ත්වයට වැටෙන්නට ඉඩ තියෙන දිවයිනක් ගැන මගේ හිත සලිත වෙයි. අනේ සීවරං දෙයි හාමුදුරුවනේ, රටකට යන කල.......

ඒ දිවයින එහෙම විනම්බෑසියකට මුහුණ පාලා හිටිද්දී, පොළොව මහී කාන්තාවත් ඉන්නේ ලොකුම විනාශයක මුව විටේය. (අපට නම් මිහිතල මාතාව ‘ස්ත්‍රී ලිංගික’ය. ඉංගිරිසියට එහෙම නැතිවා වෙන්නැතිය.) කොරෝනාවෙන් ආතුරවී ඉන්නා Earth සගයා වට කරගෙන ‘Get well soon buddy!’ කියමින් ග්‍රහ ලෝක මිතුරන් සුබ පතන්නේ ඒ හින්දා විය යුතුය.

ඉතිං, සාගතකාරයන් වගේ බඩ පොත්ත පිටට ඇළී තියෙද්දී- අප එහාට යනකොටත් මංගල-අනූපමා ජෝඩුව ගිනිරාමෙට කුස්සියේ වැඩ පටන් අරගෙනය!

 ඒ පුංචි කැදැල්ලේ ඒ තරමට ඉඩකඩක් තිබුණේ නැත.

මට මතක හැටියට නං, ඒ පුංචි කැදැල්ලේ ඒ තරමට ඉඩකඩක් තිබුණේ නැත. ආලින්දයෙන් අපව වාඩි කරවලා, සිසිල් බීමකිනුත් අපට සංග්‍රහ කරලා මංගලලා ලැහැස්ති වුණේ, ආයෙමත් කුස්සියට දුවන්නටය.

“තවම අපිට උයලා ඉවර කරගන්න බැරි වුණා මචං.... පැය බාගයක් දියං, නලින්.... කමක් නැහැනෙ...”

“අයියෝ, ඕක මොකක්ද මචං? උඹලට උදව්වට අපෙනුත් එක්ස්පීරියන්ස් කෝකියෙක් එවන්න තිබුණා.... කොහෙද... මිනිහගෙනෙ මචං අත පැන්නේ අද උදේ....”

“නෑ.... නෑ... දන්නවනේ මේවයෙ එච්චර ලොකු space එකක් තියෙන කිචන් නැහැනෙ නලින්.... අනූටයි මටයි දෙන්නට manage කර ගන්න පුළුවනි... කට්ටිය chat එකක් දාගෙන ඉඳිල්ලකො, එහෙනං...” කියාගෙනය මංගලලා ඇතුළට ගියේ!

“අපි මෙලහටත් ආතල් එකේ එක්ගල් ඔය වැව් ඉස්මත්තෙ බංගලාවේ සොමියේ ඉන්නවනෙ නිමල් අයිය පිම්ම වරද්දා ගත්තේ නැත්තං....”
නෙවිල් කිව්වේ එහෙම ඉස්පාසු ලැබුණු පළමුවෙනි අවස්ථාවේමය. “... එක්කෝ පැනපු එකේ ඇල්ලෙන් පල්ලටම වැටෙන්නයි තිබුණේ.... අපිට නියම ෂොට්ස් ටිකක් ගන්න... කරුමෙට ඒකත් miss වුණානෙ.”

“ඒක නෙවෙයි, නලින්. මොකද ඔයා නිමල් අයියගෙ අත දැම්මේ නැත්තේ?” සභාවෙන් ප්‍රශ්නයකි.

 ‘නියම චාන්ස් එකක් අතහැර නොදැමීම නියම කාටූනයකි!

මමත් නලින්ගෙන් ඒ ගැන විමසුවෙමි. ඒ මෑත දිනෙක මේ posts ලියන අතරවාරේ කෙරුණු කතාබහේදීය.

“නිමල් අයියේ, අත පනින ක්‍රම තුනක් තියෙනවයි කියලා මම කීවනේ. පැනපු අතක් ආපහු දාන්න කලින් හරියටම දැනගන්න ඕනි කොහොමද අත පැනලා තියෙන්නේ කියලා. සමහර වෙලාවට x ray කරලා හරි scan කරලා හරි තමයි හරියටම බලාගෙන treatments පටන් ගන්නෙත්.... ඉස්සර ඉතිං දැන් වගෙ පහසුකම් තිබුණේ නැහැනෙ....” නලින් කිව්වේය.
“සමහර වෙලාවට එදා මම ඔයාගේ අත දාන්න හැදුවේ වැරදි පැත්තට වෙන්න ඇති.... මමත් කිසිම experience එකක් තිබුණ කෙනෙක් නෙවෙයිනේ...”

“අපරාදේ නලින්... මේකා කෑ ගහද්දී හරි, ඔයාට වැරදි පැත්තට මුගෙ අත දාන්නයි තිබ්බේ.... එහෙනං ලංකාවට මුරලිදරන්ලා දෙන්නයි ....”
තවමත් ඉඳහිට කෙරෙන සඳහනක් සාන්ත (කිංස්ලි හේවාගමගේ) මගේ ‘වත් පොත’ට comment එකක් එවමින් යළිත් මතක් කොට තිබුණේය.

ඇත්තය! ඒ ගමන ගැන කියවෙන වතාවක් පාසා අපේ කට්ටිය නලින්ට දොස් පවරති. ඒ ‘නියම චාන්ස් එකක් අතහැර දැමීම’ සම්බන්ධයෙනි.
“නලින්ට තිබ්බේ මුගෙ අත වැරදි පැත්තට දාන්නමයි. එතකොට මේකගෙ කට විතරක් නෙවෙයි xකත් වහගෙනයි ඉන්න වෙන්නේ.... හෝදගන්න බැරි හින්දා...” ඔවුහු කියති.

වෙලාව ගතවුණේ මන්දගාමී කෝච්චියක් ඇද්දෙනවාටත් වැඩිය හෙමින්ය.

ඔහොම කඩුලු කතන්දර මැද්දේ වුණත්, වෙලාව ගතවුණේ මන්දගාමී කෝච්චියක් ඇද්දෙනවාටත් වැඩිය හෙමින්ය. බඩගින්නේ ඉන්නා වෙලාවක වැඩියෙන්ම කල්පනාවට එන්නෙත්, කතාබහ ඇති වෙන්නෙත් කෑම ගැනමය.
ඒ අස්සේය, කුස්සිය පැත්තෙන් ලොකු සද්දයක් ඇහුණේ!

‘දඩාස්!’

ගෙදර අයිතිකාරයා මංගල, නලින්ගේ බැචෙකි. අපේ කවුරුන්වත් කලින් හඳුනන කෙනෙක් නොවේ. එයාලා ගැන අහනවා නං අහගන්නට වෙන්නේ නලින්ගෙන්ය. එයිටත් කලින් තවත් ‘දඩාස්’ සද්දයක්.... හැබැයි පළමු එකට වඩා තීව්රතාව අඩුය.

“ඒ මොකක්ද චූටයියේ....” (චිත්තම්මාගේ සොයුරු-සොයුරියන්ගේ දූ-පුතුන් සේරමලා ‘චූටයියා’ කියන්නේ නලින්ටය. නලින්ගේ අයියා; ප්‍රියන්ත එයාලාට ‘මනාමා’ය.) 

“මොනවා හරි කපනවා වගේ....”
“ඔච්චර සද්දෙට....”

එක්කෙනෙකුට ගණ දෙයියෝ නුවණ දුන්නේ එතකොටය....!
“හරි, හරි... දැනුයි කුකුල් මස් කපන්නේ!”
“එතකොට ඔච්චර සද්දෙ?”

තවත් දැනමුත්තෙකු දිවැස් හෙළුවේ එතකොටය....
“හවස ගේන්ඩ ඇත්තේ... ඩිෆ්රෝස්
වෙලා නැතිව ඇති... අයිස් පිටින් කුකුළො කපන එක ලේසි සෙල්ලමක් නෙවෙයි බං.... නලියෝ, නෙවිලයවත් යවමුද උදව්වට...”

රතු-කළු-සුදු බ්‍රොයිලර්ලා, ගමේ අය.... දඩාස්-දඩාස් සද්දයත් ටික වෙලාවක් යන තුරුම ආවේය....

“පිස්සුද මචං... අපි කලින් ඇවිත් තියෙන තැනක් නෙවෙයිනේ... කිව්වොත් විතරක් help කරමු!”

එතැන හිට වයිවාරන්න කුකුළන් සභාවට ආවේ රංචු පිටිනි. රතු-කළු-සුදු බ්‍රොයිලර්ලා, ගමේ අය.... දඩාස්-දඩාස් සද්දයත් ටික වෙලාවක් යන තුරුම ආවේය. ඒ සද්දය ඇහෙන වාර ගණන වැඩිවීම, අපේ නඩේ උදවියට ‘කර්ණ රසාංජනය’ක්ම වුණු බවත් අමතක කරන්නට බැරි කාරණයකි!

‘මචං, තඩි කුකුළ් මස් හොද්දක් උයන පාටයි! අම්බානකට කපනවා!!’
‘අපොයි ඔව්! උඹේ සාගත මූණ දැක්කාම හිතෙන්න ඇති එහෙම නැතිව මදි බව.’
‘ෂුවර් මචං.... ඇහුණු සද්දෙ හැටියට නං කුකුළො තුන් දෙනෙක්වත් කපන්න ඇති!’
‘නෑ, නෑ... චූටයියට හොඳට සලකන්න ඕනි හින්දා, ඒ අයියලා කළුකුමෙක්ම ගෙනාවද දන්නෙත් නෑ! හෙහ් හෙහ්.’
‘ඇයි බං, ගණං හදලා බලපංකො. අපි දහදෙනෙකුයි, එයාල ජෝඩුවයි.. එතැනම දොළහක්නෙ බං.... කුකුළො කිලෝ තුනක් වුණත් එකාට ග්‍රෑම්ස් 250යි වැටෙන්නේ......’
හිතාගන්න! කොලු නඩයක් ඔය වගේ වෙලාවක හිතන දුර....

මට නම් ඒවා එකක්වත් වැදගත් වුණේ නැත.
තරගෙට වාගේ මට වද දුන්නේ බඩගින්නයි, වේදනාවයි දෙකමය. ඒ මදිවාට මගේ කන් දෙකේම දෝංකාර දුන්නේ මට ලැබුණු වෛද්‍යෝපදේශයන්ය.

කෑම්පින් යන ගමනක් නං මාර කචල් එකක් වෙන්නේ... (මේ අවුරුදු දවස්වල කොස්සපොල කෑම්පින් කරමින් සිටිද්දීය. 2021)

“ටික දවසක් යනකල් අත පරෙස්සම් කරගන්න වෙනවා. කලාතුරකින් කෙනෙකුගේ අත ආපහු ඩිස්ලොකේට් වෙන්නත් පුළුවන්... කොයිකටත් හොඳයිනේ ප්‍රවේසම් වෙන එක....”

අප ගමනට පිටත් වුණා විතරය. ඇබැද්දිය වුණේ පළමුවෙනි දවසෙම දවාලේය. ඉතිරි දවස් දෙකේමත් මට ඉන්න වෙන්නේ අත එල්ලාගත් ගමන්මය; සොත්තිසේන වගේ වෙලාය.

“හොඳ වෙලාවට අපි යන්නේ බංගලාවකට.... කෑම්පින් යන ගමනක් නං මාර කචල් එකක් වෙන්නේ... නිමලයට අතත් එල්ලගෙන උයන්න පුළුවනිය කියලද?”
ඒ ගැටලුවත්, ඒ හැන්දෑවෙදී අපේ විද්වත් මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් විණි!

“අනේ නිකං හිටහං මචං... කබ්බෝ ෆෝම් කරන්නෙ නැතිව... එයා නැත්තං අපි නොකා ඉඳියි!”
ඒවා කියන්නේ මාව අවුස්සා ගන්නටය. කියපුවාවේ! ඕවාට උත්තර දෙන mood එහෙක නෙවේ මං හිටියේ.
අනෙක් අතට මේ තරමෙන්වත් මගේ ගැන බැලුවාටත් එයාලාට පිං දෙන්නට ඕනෑය. ඔයාලටත් මතක ඇතිනේ, මේ අප්පුහාමිල්ලාගේ තරම. ඒ නඩේත් එක්ක ගිය පළමුවෙනි ගමනෙදී; වෙසක් බලන්නට ගිය ගමනේදී
එක මොටර් සයිකලයක් කැඩුණාම කළ දේ! 

එදා විදිහට නම් කෙරෙන්නේ, ‘එහෙනම් නිමල් අයියේ. ඔයා බස් එකක ගෙදර යන්න!’කියලා මාව ආපහු කොළඹට පටවලා යැවීමය.

මේ චණ්ඩි talks ඉෂූ කරන්නේ...

එහෙම නොකළත්, ඉහතින් කිව්වා වගේ එයාලා කිසිම බයක්-සැකක් නැතිව මේ චණ්ඩි talks ඉෂූ කරන්නේ Wild Life නිවහන්වල තියෙන පහසුකම් නිසාය.

සාමාන්‍යයෙන් වනජීවී බංගලාවල රාජකාරියට දෙදෙනෙක් සිටිති. එතැනකට යන උදවියට කෑම-බීම සකස් කරලා දෙන්නෙත් එයාලාමය. අප කළ යුත්තේ අවශ්‍ය කරන දේවල් සියල්ලම ගෙනිහින් දෙන එකය.
ඉතිං, එක්ගල්ඔය බංගලාවේදී කෝකි රාජකාරියට නිමල් දිසානායකව අවශ්‍ය නොවෙයි!

අන්තිමේදී නවයට විතර, සිංහල චාරිත්‍රානුකූලව වතුර වීදුරු සහිත බන්දේසියකුත් අරගෙන අනූපමා ප්‍රාදුර්භූත වූවාය.
‘ඇති යන්තං! දෙයියෝ අත පෑවා වගේ!’ අපේ කට්ටිය හිතන්නට ඇත.
ඒ විත්තියක් හඬ නඟා නොකිව්වත්, ‘වතුර මොකටද?’ කියමිනි කවුරුනුත් නැඟිට්ටේ.

ඈ? මක්කැයි මේ? 😮😮😮
මේසය උඩ තිබුණු ව්‍යංජන දීසියෙන් හමන්නේ කුකුළු මස් කරියක සුවඳක් නොවේ! සැමන් හොදි සුවඳකි. හොදි බෙදා ගනිද්දී ඒ විත්තිය වඩාත් තහවුරු වුණේය!! හොද්දේ නටන්නේ කුකුළන් නොවේ!!!
‘කෝ අර කපාපු කුකුළු මස්?’ හැම එකාම හිතන්නට ඇති.

“පරක්කු වුණා මචං..... sorry... කරුමෙටම වගේ උයන්න ගන්නකොටම ගෑස් ඉවර වුණා නලින්. අද කොහෙන්ද ගෑස් හොයන්නේ... හොඳ වෙලාවට දර අතු ටිකක් තිබුණා. පිහියකින් ඒවා කප-කපා අරගෙන මේ ටික ඉව්වෙත්.....” මංගල කිව්වේ ලජ්ජාවෙන් පසුතැවෙමිනි.

එහෙම ස්තුති පූර්වකව පිං දෙනවා වුණත්, මං නම් එච්චර සර්ධාවන්ත නැත!

ගෑස් ළිපක උයා-පිහාගන්නා යුවලකට දර කොහෙන්ද? දර තිබුණත් ඒ හදිසියේ ඒවා පළන්නට පොරොවක් කොහෙන්ද? පිහියකින් දර කපමින්, දහ දෙනෙකුට උයන-පිහන එක පොඩි-පටු යුද්ධයක්ද?

1999 වගේ ඈත කාලයක; අවුරුද්ද නිසාවෙන් කඩ-සාප්පු සේරම වසා තිබුණු වෙලාවක; මොනරාගල වැනි නගරයකදී හදිසියේම ආගන්තුකයන් දහ දෙනෙකුට උයන්නට කුකුළු මස් කොහෙන්දැයි අපට කල්පනා වුණේ, පහුවදා ගමනේ ඉතිරි හරිය යන අතරේය.

“යකෝ, නිමලයා නං ඔච්චර හරියක් කරයිද? බලපං, කෑම්පින් ගිය වෙලාවේ ඉඳලා මුගෙන් තියෙන මළ වදයක්...... දර හොයපල්ලා- වතුර ගෙනෙල්ලා- එළවලු සුද්ද කරපල්ලා- කපපල්ලා... අන්න ඒකට මිනිස්සු! උඹත් එහෙම පුරුදු වෙයං නිමලෝ!! මීට පස්සෙවත් අපිට වද නොදී තනියම පුළුවන් හැටියට උයහං!!!”
අපේ කට්ටිය මට උපදෙස් දෙන්නටත් පටන් ගත්තේ, මංගල-අනූපමා යුවලගේ ආගන්තුක සත්කාරය ඉහළින්ම අගය කරමිනි.

ඇත්තටම මංගල, අනූපමා. ඔයාලා දෙන්නා එදා කරගත්තේ නම් මහත්ඵල මහානිශංස ලබාදෙන මාහැඟි පුණ්‍ය කර්මයකි.
අදත් නොබා කියමි. ඔයාලාට ගොඩාරියක් පිං!

එහෙම ස්තුති පූර්වකව ඔයාලාට පිං දෙනවා වුණත්, මං නම් එච්චර සර්ධාවන්ත නැත.
ඒ නිසාම, ඔයාලාව ආදර්ශයට ගන්නැයි මට කිව්වාම මං එදා කිව්වේත්; අද වුණත් කියන්නෙත් මෙහෙමය.
“මම ඒ ගොනා විකුණලා ගොඩක් කල්!”

සරැලි නඟන නිල් දියවරක් නොතිබුණු රන්දෙනිගලදී... (2015) 

මං වහන්සේ එහෙම දෙසුවේ එක්ගල්ඔය බංගලාවට යන අතරතුරේය. ඒ අප ඉස්සෙල්ලාම එක්ගල්ඔයට ගිය වතාවය. බංගලාව භාරව දෙදෙනෙකු හිටියත් අමතකම නොවෙන කාරණයක් වුණේ, එතැනත් නිමල් කෙනෙකු හිටි එකය!

ඒ නිමල් මටත් වැඩියෙන් කාරුණිකය; ‘පරත්ථං පටිපපජ්ජත’ කෙනෙකි. ඒ කියන්නේ අනුනට සේවා කරන්නටම කැප වුණු සහෘදයෙකි.

“අපොයි, මේ මක් වෙලාද?” නිමල් ඇහුවේය.
“.... එහෙනං නරක නැහැ මහත්තයලට සිද්ද වෙලා තියෙන කරදර.... මම ඉක්මනට බතක් පරිප්පුවක් හරි උයල දවල්ට කන්න ලැහැස්ති කරන්නං.... ඇඳුම් මාරු කරලා, ඇඟපත හෝදගෙන එනකොට කෑම ටික මේසේ උඩ තියෙයි!” නිමල් කුස්සියට ගිය අතරවාරේ අපේ කට්ටියට එක්ගල්ඔය ජලාශයේ දිය රැලිවල හඬ ඇසිලාය!
සරැලි නඟන නිල් දියවර එයාලාට අඬ ගසන්නට ඇත; එයාලාව කැඳවන්නට ඇත.

“මචං... යමුද වැවටම....?”

සේරෝමලා විනාඩියෙන් වතුරේය. මං විතරක් බංගලාවේ ආලින්දයේ තනියෙන්මය.
බංගලාව තියෙන්නේ වැව් ඉවුරේමය. ආලින්දයේ වාඩිවී සිටින විටත් වැව පෙනෙයි. මගේ ඇස් මානයේම, අපේ කට්ටිය සිත්සේ දිය කෙළිති; පිහිනති; විහිළු-තහළු කර ගනිති. මටත් ඒවා පෙනෙයි; ඇසෙයි.
අත පැනලා තිබුණා වුණත් මගේ ඇස්-කන්වලට ඇබැද්දියක් වෙලා නැහැනෙ!

එක්ගල්ඔය වැව් ඉස්මත්තේදී........ (2017)

‘එකෙකුටවත් මාව මතක් වෙන්නැති හැටි....’ ඉතිං මට තරහය; හොඳටම තරහය.

ඒක අසාධාරණ තරහවක් බව මට තේරුම් ගියේ පස්සෙය. ‘මගේ අත පැනලා තිබුණයි කියල එයාලා විනෝද නොවී ඉන්නද? එයාලා සේරම මගේ ළඟින් ඉඳගෙන, මං වගේම විරුව-පට්ටං ගහගෙන හිටියයි කියලා මට ඉක්මනින් සනීප වෙනවද?’
එවෙලෙ මට ඔව්වා කල්පනා වුණේ නැති හැටි!
කෝපය කියන්නේ දෙකොණින්ම ඇවිළෙමින් තිබෙන දණ්ඩක් වගේ අප දවා විනාශ කරන මනෝ භාවයක් බව මට ඒ වෙලාවේ තේරුම් ගියේ නැත.

එක්ගල්ඔය බංගලාවේ නවාතැන් ගන්නා අයට වෙන්කොට තිබෙන කාමර තිබෙන්නේ උඩු මහලේය. බිම් මහලේ තියෙන්නේ එකම එක කාමරයකි.
“අතත් එල්ලගෙන නිමල්ට උඩ නඟින්න අමාරුයිනෙ. ඌව පහළ කාමරේට යවමු!”
එහෙම යෝජනා කෙරෙන්නට ඇත්තේ පරහිතකාමීත්වය නිසා විය යුතුය. ඒ හැඟීම කොයි තරම් බලවත්ද කියනවා නං වෙන එකෙකුවත් පහළ කාමරයේ නවතින්නට කැමති වුණේ නැත. වඩාත් ලස්සන; මනරම් දර්ශනයක් ලබා ගන්නට නම් උඩු මහලේ බැල්කනිය හොඳම spot එකකි.
ඒ බැල්කනියේත් ඇඳන් කිහිපයකි.

“නිමලෝ, අපි උඩට ගියාට රෑට නිඳා ගන්න කවුරු හරි පහළට එන්නංකො.”

මට පහළ කාමරය වෙන් කෙරුණු නිසා, මගේ ඇඳුම් බෑගය තිබුණෙත් පහළ කාමරයේමය. තරහෙන් ආතුරව තනියෙන්ම හිටි මොට්ට- තකතිරු නිමල් දිසානායක කාමරයට ගියේය; බෑගය විවෘත කොට ඇඳුම් එළියට ඇද්දේය;  සරම ගලවා දමා, අමාරුවෙන් පිහිනුම් කලිසම ඇඳ ගත්තේය; ඇඳගෙන වීරයා වගේ වැවට ගියේය.

පළමු වෙඩි මුරය මර්වින් බොතේජුගෙන්ය. (ඒ හාදයා තරුණ කාලයේය මේ!)

“යකෝ... අන්න අරුත් නාන්න එනවා.....” විරෝධතා රැල්ලක් පැන නැංගේය. පළමු වෙඩි මුරය මර්වින් බොතේජුගෙන්ය.

“ඔය අතත් එල්ලගෙන වැවට එන්නෙ, උඹට අත තෙමාගන්න හොඳයිද?”
පණ්ඩිත වාක්‍ය ගොඩක්ම කියවුණේය. බූරු කන් දෙකට ඒවා එකක්වත් වැටුණේ නැත. මෝඩ අහංකාරකම ඔළුවට ගැහුවාම ටොයියාට, බයියාට විතරක් නොව කොයි ලොක්කාට වුණත් වෙන්නේ ඒකය.

අතට; උරහිසට කිසිම බෙහෙතක් බාහිරෙන් යොදලා තිබුණේ නොමැත. කර තිබ්බේ බැන්ඩේජ් පටියකින් වමත බෙල්ලේ එල්ලන එක විතරය.

ඒ සරල උරමාව බෙල්ලෙන් පන්නා, ඉවුරෙන් තියලා මමත් වතුරට බැස්සෙමි.
නඩේ අය එකිනෙකාගේ මුහුණු බලා ගත්තා මිස, මට කිසි දෙයක් කියන්නට, ඉන්පසු කරදර නොවූහ.

කරගත් මෝඩකම මට තේරුණේ වතුරට බැස්සාමය. පීනන්නට අත දිගු කරනු බොරුය. ඇටි කෙසෙල් කා අධෝ මුඛය අහුරවා ගෙන විලාප දෙන උගුඩුවාත් මං වගේ වෙන්නැති. ඒත් මා තිරිසනෙකු නොවෙන නිසා; යන්තම් මොළේ කලඳක් තියෙන මානවයෙකු නිසා, මගේ අමාරුව කාටවත් පෙන්නුවේ නැත. ගැඹුරට නොයා, තන මත්තක් වතුරේ සිට ගිළෙමින් ටික වෙලාවක් ඉඳලාය, මං ගොඩට ආවේ.

“ඇයි මහත්තයෝ.... අත පැන්නේ ඊයේ නේද? ආපහු අත දැම්මය කියල අදම ඕක තෙමන්න හොඳයිද?” බංගලාවට ගොඩ වැදෙන්නත් කලින්ම නිමල් මට නෝක්කාඩු කිව්වේය.

“ඕකට ඉංගිරිසි බේත් නැතිවට සිංහල බෙහෙත් තියෙනවා... මම කියනවට යමු.... මේ ළඟ ඉන්නවා හොඳ සිංහල වෙද මහත්තයෙක්...” කියලාත් කිව්වේය. “සමහරවිට සර්ලට නං ඔහොම දේවල් විශ්වාස නැතිවත් ඇති.... ඒ වුණාට ගිහින් බැලුවට වියදමක් යන එකක්යැ මහත්තයෝ... වෑන් එකේ යන මහන්සිය විතරයිනේ...”

අපි දෙන්නා සති කිහිපයක් තිස්සේ සද්ධි විහාරිකයෝ වීමු!

මං මේ කොටස කොටන්නේ 2021 අප්‍රේල් 30 වෙනිදා හැන්දෑවේය. විජේබාහු මහත්තයාට දිවැස් තිබිලා වගෙය, අප්‍රේල් 26 වෙනිදා (පසුගිය කොටසට) ඉංගිරිසියෙන් මෙහෙම කමෙන්ටුවක් එවා තිබුණේ. (මගෙ පරිවර්තනයේ වැරදි ඇතොත් කියන්න, විජේබාහු මහත්තයෝ, හොඳේ!)

‘හොරිවිල වෙද මහත්තය මතක් වුණා.
හබරණ කිට්ටුව හිටින වෙලාවක මගේ මිත්‍රයෙකුගේ අතක් පැන්නා. එහෙ බැංකු කළමනාකාර මහත්තයෙක් අපට හොරිවිලට යන්න කිව්වා. ගිහිල්ලා විනාඩි 30ක් විතර අපට බලා ඉන්නත් වුණා, වෙද මහත්තයා එනකල්.
එයා ඇවිත් වෙන මොකවත් ඇහුවේ නැහැයි කියමුකෝ. ලෙඩාගේ අතේ තෙල් වගයක් ගාන්න අරගෙන, ඒ අතරේ මගේ යාළුවාගෙන් ඇහුවා ගම කොහෙද කියලා.
යාළුවාගෙන් උත්තරේට කියැවුණේ ‘අම්මෝ’ කියලා මහ විලාපයක්.
‘ඔක්කොම හරි. දැන් යන්න පුළුවන්!’ වෙද මහත්තය කියපි!’

ඉස්සර අතපයක්-හංදියක්-අණ්ඩක් කැඩුණාම පිහිටට ආවේ ගමේ හංදි වෙද මහත්තයෙකි; සිංහල වෙදකම; හෙළ වෙදකම ගැනය එහෙම වෙලාවක වැඩි විශ්වාසයක් තිබුණේ.

ධම්මික පැණිය හන්දා හෙළ වෙදකම හොඳටෝම හෑල්ලු වුණු බව මගේ මතයයි.
එසේම ‘වෙද හාමිනේ’ ටෙලිය නිසා හෙළ වෙදකම ගැන අමුතුම ප්‍රබෝධයක් ඇති වුණු බවත් මගේ මතයයි. වෙද හාමිනේ වුණේ රෙබෙකා නිර්මලීය. අපි දෙන්නා සති කිහිපයක් තිස්සේ ‘සද්ධි විහාරිකයෝ'වී සිටියෙමු!

සද්ධි විහාරිකයන්?

20 comments:

  1. සද්ධි විහාරිකය?? ගූගල්වත් දන්නෙ නෑ ඒකෙ තේරුම😂

    කෑම වේලක රස නියමෙට දැනෙන්නේ, බඩගින්නත් සහ ඉන්න පරිසරය නිසා කියලයි මට හිතෙන්නේ. පොඩි ගෙදරක, ලෙන්ගතුකමින්, සැරට හදන සැමන් හොද්දකට මගේ නං කිසිම අකමැත්තක් නෑ.😊

    ReplyDelete
    Replies
    1. බැස්ටියන්තුමා දන්නෙ සත්ව විලෝපිතයන්

      Delete
    2. සද්ධි විහාරික ගැන කොළොම්පුරේ අසංග ලියලනේ.... මාත් ලියනවා ටිකක් ඊළඟ කොටසේ.

      බස්සා මහත්තයෝ, බතට මාළුව බඩගින්න කියලා ඉස්සර මිනිසුන් කිව්වේ නිකම්ම වෙන්න බැහැනෙ.
      මම නම් සැමන්වලට කැමතියි!

      Delete
    3. @ බස්සා,
      ඕකට පොඩි ගෙදරක්ම වෙන්න ඕනද? ටිකක් ලොකු ගෙදරක ලොකු කුස්සියක් උනාය කියල සැමන් හොද්දට වතුර වැඩි වෙන එකක් නෑ මං හිතන්නෙ. හැක්...

      Delete
    4. පොඩි ගෙවල් තමා බකුසු රසඥතාවය. මම තට්ටු දෙකේ බෙන දැකලම නෑ, කටුමැටි ගෙවල් වුනත් අවුලක් නෑ. පරණ තාලෙ සොල්දර බූත බංගලාවක් වුනත් කාරියක් නෑ, ඇටික් එකක් තියනවා නං😊

      Delete
  2. සිංහලෙන් , ඉංග්‍රීසියෙන් විතරක් නෙමෙයි ලැට්වියන්වලින් වුනත් පැනපු අත ආපහු සොකට් එකට දාන්නෙනම් එකම විදිහට වෙන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. ඒක එහෙමමද Pra jay මහත්තයෝ? සිංහල- දෙමල- මුස්ලිම් අපේ ලේ වෙනස්නේ... ඉතිං කොහොමෙයි එකම විදිහට ශරීර කූඩුවේ
      ඇතුළත පිහිටා තියෙන්නේ?

      Delete
  3. මං හිතන්නෙ හුගක් සංස්කෘතීන්වල මිහිතලය ස්ත්‍රී ලිංගිකයි. ඊජිප්තු හැර.


    https://www.scmp.com/magazines/post-magazine/short-reads/article/3005812/how-earth-did-our-planet-get-its-name-not-greek

    https://www.un.org/en/observances/earth-day

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.... රසවත් තොරතුරු තියෙනවනේ ඒ links දෙකට ගිහින් බැලුවම!

      Delete
  4. ඔහොම අනාත නාථ වෙලා බඩගින්නේ ගිහින් කනකොට දෙන ඕනේ කෑමක තියෙන්නේ පුදුම රසක් නේ ... ඉස්සර අපේ තාත්තා ගෙදර වෙනම ලුණු මිරිසක් කොටලා තියල තිබ්බ ඔහොම හිටපු ගමන් කඩා පාත්වෙන නෑදෑයින්ට යාලු මිත්‍රයින්ට කන්න දෙන්න...

    දුර පළාත් වල නෑයෝ ගොඩක් හිටපු නිසා මාසෙකට එක්කෙනක් දෙන්නෙක් වත් කොළඹ යන ගමන් අපේ ගෙදර ආවා... හෙහ් හෙහ් .. ලොකු දේවල් නැහැ ලුණු මිරිසයි , පරිප්පු හොදයි වගේ දේවල් තමා හැබැයි කට්ටිය අදටත් මතක් කරනවා තාත්තගේ කෑම වල රස...

    ReplyDelete
    Replies
    1. පැතුම්, ඔයාගේ කමෙන්ටුව කියවදී මට මතක් වුණේ සුනිල් එදිරිසිංහ මහතා ගයන 'වන්නි වන පෙතේ' ගීතය.
      ඒ වගේම ස්තුතියි හොඳ අදහසක් දුන්නටත්. අපේ යාළුවන්ටත් මීට පස්සේ ලුණුමිරිස් වැඩියෙන් කැවෙයි.

      Delete
  5. දර කපන සද්දෙයි කුකුල් මස් කපන සද්දෙයි අතර වෙනස තේරුම් ගන්න බැරි තරමට බඩගිනි වෙලා හිටියා කියලා තමයි හිතෙන්නේ!

    සිංහල වෙදකම් කරන කොට නම් නෑම, හෝ (තුවාලයක්, කැඩුම් බිඳුම්/තැල්මක් උන තැන) තෙමීම අනුමත කරන්නේ නැහැ. එහෙම තියෙද්දී වතුරකට බැස්සා කියන්නේ බැනුම් අහන වරදක්. එහෙම වතුරට බැහැලාත් පීනන්න ට්‍රයි කළා කියන්නේ ?? අනේ මන්දා!
    ඒ උනාට, වාසනාවකට වගේ ඉංග්‍රීසි වෙදකමේ ශාරීරික පිරිසිදුකම සහ ප්‍රතිකාර එකිනෙක පටලවා ගන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්වම තමයි සෑම් මහත්තයෝ, අපි වරද්දා ගත්තු තරම පෙනෙන්නේ.
      අර සද්දෙ කුකුල් මස් කපන එකය කියලා කියවෙච්චි ගමන් අපි සේරම ඒ පස්සේ ගියා මිසක වෙන එකක් හිතුවේ නෑ. ඕකම නේද තවමත් අපේ රටේ හැමෝම කරන්නේ? තල් අත්තට බෙලි ගෙඩිය වැටුණු සද්දෙට බය වෙච්චි හාවා පස්සෙන් දුවපු තිරිසන් සත්තු වගේ....
      ඊළඟ කාරණෙත් ඇත්ත. මම වගේම හැමෝම හිටියේ යකඩ වුණත් කත හැකි මට්ටමේ.

      කුම්බලා මාළු කාලා බළලා විඳවපු හැටි කියන්නම්කො ඊළඟට.....

      Delete
  6. සද්ධි විහාරිකයන්
    විහාරික කියන්නේ වාසය කරන වෙසෙන හෝ විහාරවාසියා කියලයි
    සද්ධි විහාරික කියන්නේ උපාධ්‍යායන් වහන්සේ යටතේ වෙසෙන්නා කියලා එහෙනම් දෙගොල්ලෝම හාමුදුරු කෙනෙක් ගාව නතරවෙලා පිලිකා රෝගයට බෙහෙත් අරන් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය කියල තියෙන්නේ!
      විස්තර ටිකක් ඊළඟට ලියනවා අසංග මහත්තයෝ!

      Delete
  7. 'සැර කෑම' ගැන බස්සා සහ පැතුම්ගෙ කමෙන්ට්ස් නිසා මතක් වුනේ නිමල්ට මම Queen හින්දි ෆිල්ම් එක බලන්න කියලා කමෙන්ට් එකක කිව්වා නේද, බලන්න පුලුවන් උනාද. ඒකෙ ගැහැනු ලමයා Amsterdam වල ඉන්න අතර Italian restaurant එකකින් කන්න යනවා. ඇය ඇණවුම් කල කැම පිඟාන ආවට පස්සෙ හැන්දක් විතර රස බලලා මේසෙ උඩ තිබුනු ලුනු හා ගම්මිරිස් කෑම එකට හලාගන්නවා. Restaurant එක කරන ඉතාලි ජාතිකයා ඇවිල්ලා අහනවා ඔබේ කෑම එකට තව මොනවා හරි අඩුයිද කියලා. ඇය කියනවා (ටිකක් මෝඩ නමුත් අහිංසක විදිහට) ඔව් මේකට තව ඕනෙ ලුනු, දෙහි.. එතකොට මිරිස්. අර ඉතාලි ජාතිකයා හොඳටම තරහ ගිහින් කියනවා 'You Indians put chilli everywhere' කියලා. This is Italian food, Italian flavours, කන්න අකමැතිනම් යන්න කියනවා. එයාගෙ Italian accent එකෙන්, ඒමදිවට හොඳටම තරහ ගිහින් animate වෙලා එහෙම කියනකොට හරි ලස්සනයි. අර ගෑනු ලමයට බාගෙට බාගයක් ඉංග්‍රීසි තේරෙන්නෙ නැති නිසා බයවෙලා බලන් ඉන්නවා. ඒ වගේ මටත් හිතෙන්නෙ අපි සැරට කන්න පුරුදු වෙලා කෑම වල තියෙන වෙනත් රස appreciate කරන්න බැරිවෙලාද කියලා.

    ReplyDelete
    Replies
    1. Lotus, ඔයාලා දෙන විස්තර එහෙම ලේසියෙන් අමතක කරන්නේ නෑ. මම ගොඩාක් films බාගන්නේ බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන්. සිංහල සබ්ස් දීලා තියෙන නිසා. ඉස්සර ඒ අඩවියෙන්ම තමයි ටොරන්ට් link එකත් දුන්නේ. මේ film එක එයාලා අඩවියෙන් දීලා තිබුණේ 2014 මැයි 2.
      දැන් එයාලගෙම 'බයිස්කෝප් ඩවුන්ලෝඩ්' අඩවියෙන් තමයි filmsවල links දෙන්නේ. ඒකෙ Queen ෆිලුමට එහෙම link එකක් දීලා නෑ. ඒ දවස්වල දීලා තියෙන සනහර links වැඩ කරන්නෙත් නෑ දැන්.
      Hey Jude, Kaakaa Muttai චිත්‍රපටි දෙකයි, Queen එකයි තුනම හොයමින් ඉන්නේ.... book mark කරගෙන, සබ්ස් ඩවුන්ලෝඩ් කරගෙන.
      ඔය ෆිලුම් ගැන මට වැඩිදුර උපදෙස් දෙන අය දෙතුන් දෙනාම මේ දවස්වල ගෙන්වා ගන්න බැරිවයි ඉන්නේ කොරෝනා නිසා.

      මං සර්ව භක්ෂිකයෙක් නිසාද මන්දා මෙතෙක් රස විඳින්න ලැබුණු හැම වර්ගයේම කෑම රස විඳලා තියෙනවා. විවිධත්වයට ආසා නිසාත්, බුලත් විට නොකන්නෙකු නිසාත් මට ඒවා අගය කරන්නත් පුළුවන්.
      එකම ජාතියයි try කරන්නටත් බැරි වුණේ. Oyster- බෙල්ලෝ.... උන්ව නං දැක්ක ගමන්ම අප්පිරිය වුණා!

      Delete
  8. මදෑ කුකුළ් දර.... සොරි, මස් කන්න බලා හිටිය. මොනව උනත් ඔය වගේ වෙලාවක සැමන් හොද්දක් එක්ක පාං රාත්තලක් තිබුණත් පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. නරක නැහැනෙ ප්‍රසන්න. මිරිසට උයපු හොදි එක්ක පාන් නියමෙට ගැලපෙනවා... මේ තව ලනුවක්! ඊයේ හවසත් අපි නම් ටෝස්ට් කරපු පාන්වලට පොල් සම්බෝල දාලා සැන්ඩ්විච් ඇදලා ඇරියා.

      Delete
  9. අත තෙමුනට අවුලක උනේ නෑනේ?

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්