අකුරු මැකී නෑ

Monday, May 17, 2021

සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර- දෙවෙනි කොටස

 එහෙම පැත්තකුත් තියෙන බව පෙනුණේ......

කොහොමද අපටත් බල්ලොන්ට වගේ ‘බලවත් ඉව’ක් තිබුණා නම්!

එහෙනං ගවීන්ටත් අද අපිත් එක්ක එන්න තිබුණනේ...
එන්න ඉඩක් තියෙනවා නං; නිවාඩුවකුත් ගන්න හැකි වුණා නං. මේ වතාවේ හම්බන්තොට යද්දී ගවීනුත් එන්නද කියලා අහලයි තිබුණේ. ඒත්...... 

“ගවියට ආයෙමත් පාරක් self කොරන්ටයින් වෙන්න වෙලා!”

ගවීන්ට එන්න නිවාඩු ලැබුණේ නැතිදැයි ඇහුවාමය, නෙවිල්ගෙන් ඒ විත්තිය කියැවුණේ. “ඇයි මචං, සැරයකුත් ගවියා කොරන්ටයින් වුණානේ....”
“උගෙ කරුමේ පීරා! ඉස්සෙල්ලාම සැරේ ගවීන් මොකක්ද වැඩකට ගිය හෝටලේකට කොරෝනා ලෙඩෙක් ඇවිත් ගිහිල්ලා. මූටත් නිකං පරිප්පුවක් කන්න වුණා.... මේ සැරේ ගවීලගෙ office එකට positive වෙච්ච මිනිහෙක් ඇවිත්. ඉතිං බොසා කිව්වලු ගවීන්ලටත් කොරන්ටයින් වෙන්න.....”

“ඉතිං හොඳනෙ හලෝ... දිග නිවාඩුවක් හම්බ වෙලානේ!” මට කියැවිණි.

“ඔය කිව්වේ... තමුසෙට තේරෙනවද හලෝ මිනිහෙකුට තියෙන ප්‍රශ්න.... තමුසෙට මොකෝ, අපි ඉන්නවනේ සේරටම කර ගහන්න. ගවීන්ට එහෙමද? ස්වර්ණතිලකට දියවැඩියාව... ලෙඩ ගොඩක්... ඒ මදිවට වයසයි... ගවියා බයේ ඉන්නෙ ඌට කොරෝනා හැදෙයි කියල නෙවෙයි.... ස්වර්ණතිලක ගැන...”

නෙවිල් කිව්වාමය මට එහෙම පැත්තකුත් තියෙන බව පෙනුණේ.

ගවීන් ඉන්නේ බින්න කසාදයකය. ස්වර්ණතිලක- රාණි යුවලට ඉන්නේ දූලාම දෙන්නෙකි. ලොකු දුව ජනනි විවාහවී ඉන්නේ ගවීන් එක්කය.
දෙවෙනි දූ රුසිරුත් විවාහයෙන් පස්සේ සැමියාගේ ගෙදරට ගිහින්ය. ඉතිං, ගවීන් නිකම්ම ජනනිලගේ මහ ගෙදරට කොටු වෙලාය.

ජනීල තාත්තව පරෙස්සම් කර ගන්න ඕනි හින්දා... (රාණි, රුසිරු, ස්වර්ණතිලක, ජනනි හා ගවීන්)

“ඔව් නිමල් අංකල්.... ජනීල තාත්තව පරෙස්සම් කර ගන්න ඕනි හින්දා මම කාමරෙන් එළියටවත් බහින්නෑ. ඒකයි, මට ඇති වෙලා තියෙන්නෙ.... දවසක් දෙකක් නෙවෙයිනේ... ගේ අස්සෙවත් එහාට-මෙහාට ගිහින් නිදහසේ ඉන්න බැරි වුණාම තමයි, ඒකෙ අමාරුව හරියටම තේරෙන්නෙ....”

ඒ විදිහට බැලුවාම රංජන් රාමනායක මන්ත්‍රීතුමා ලිපියකින්ම ජනාධිපති සමාවක් ඉල්ලන එකෙත් පුදුමයක් නැත! නිදහසේ අගය වැඩියෙන්ම තේරෙන්නේ සීමා-මායිම් නැතිව එය වින්ද අයටය. 

පව්! මං කලින් කිව්වා වගේ ‘බලු ඉවක්’ගවීන්ට තිබුණා නං... ගවීන්ට විතරක් නෙවෙයි, අපටත්!!! කොරෝනාවෙන් අපේ පරෙස්සම සලසා ගන්නට එච්චර බලගතු ඉවක් අපට උවමනාය කියන්නෙත් නිකම්ම නොවේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියන විදිහට නං, කොරෝනා මරණ හා ආසාදිතයන් ගැන අද වාර්තා වෙන අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් හෙළිදරව් වෙන්නේ මීට මාසයකට කලින් රටේ පැවතුණු තත්ත්වයලු! 

ඒ කතාවේ යමක් නැත්තෙමත් නෑ!!

ඒක එහෙම නම්.... රටම lockdown කරලවත් එන්න තියෙන විනාශයෙන් බේරෙන්න ඇහැක් වෙයිද? මේක පෙර කළ පාපයක්ද... එහෙම නම් කොතැනක හුදෙකලා වෙලාද අපට ඒ පාපයෙන් බේරෙන්න පුළුවන්?

‘න අන්තලික්ඛෙ න සමුද්දමජ්ජේ - න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්පදෙසො - යත්ථට්ඨිතො මුඤ්චෙය්ය පාපකම්මා’
කියලනේ ධම්ම පදයේ කියන්නෙත්... විපාක දෙන්න එන පාපයෙන් බේරෙන්නට හැංගෙන්න තැනක් අහසෙ- මුහුදෙ- පොළොවේ කොහෙවත් නැහැල්ලුනෙ. තව මොනවද?

මූද අහස පොළොවේ රැක සිටින්නේ

ඔය වගෙම අදහසක්, මහගම සේකර කවීන්ද්‍රයාත් කිව්වා ‘මරණය’ කවි පෙළේදී.

    මූද අහස පොළොවේ රැක   සිටින්නේ
    බේද නැතිව කොයි කාටත් බෙදන්නේ
    ඒ ද කියා කෙදිනක නැත    කියන්නේ
    වාද නොකර- ආ කල බිම   ලගින්නේ

හුඟ දෙනා චණ්ඩිකම් කියන්නෙ එයාලට වරදිනකල්.... පොඩ්ඩක් miss වුණාම තමයි මිනිස්සුන්ගෙ හැබෑ ගති එළියට එන්නෙ... මට හිතෙන විදිහට නං කොරෝනා ලෝකෙටම කොරපු ලොකුම හපන්කමත් අන්න ඒකයි! හැබෑ මිනිස් ගති එළියට දැමීම!!

“මම නං හිතන්නෙම නිමල් අයියේ, අපි තුන්දෙනාටම කොරෝනා හැදුණා වෙන්න ඕනි, අපි නොදන්නවා වුණාට!”.

“හ්ඈ....? එහෙම කොහොමද කියන්නේ පීරිස්.”
“අර trip එකෙන් පස්සේ වෙච්ච දේවල් බලනකොට....”

අයස්මන්ත මහතා ඒ මතක් කරන්නේ මාස ගණනක් පරණ කතන්දරයකි. එතකොට ලංකාවට කොරෝනා ඇවිල්ලා ඉවරය. නීති-රීති ඉහිල් කරලාත් ඉවරය.
සිරි ලංකාවේ අපට දෙයක් මතක හිටින්නේ සුමාන දෙකක්ලුනේ. මාස ගණනාවක් ගෙවල්වලට හිරවී හිටි අපි සංචාර කිහිපයකටම සහාභාගී වීමු; අපි කිව්වේ  පීරිසුත්, නෙවිලුත්, මාත් ගැනය.
ඔන්න දැන්මම කියනවා, ඒ ගමන්වලට ගිය අය ගැනවත්- ගිය තැන් ගැනවත් වචන මාත්තරයක් කියන්නෙ නෑ! කටේ කෙළ පොදක් බිම හෙළන්නෙ නෑ, සත්තයි- සහතිකයි තීන්දුයි- නිවාරණයි.

 මං මොකටද තිරේ අරින්නේ....

සුධී ජනයෝත් එසේ කරත්වා!

එහෙම කියන්නේ ඒ ‘වික්‍රමාන්විතයේ’ හවුල්කාරයන් වෙච්චි කිහිප දෙනෙකු, තවමත් බඩේ බිජු තියාගෙන හොඳ රහසේ ඒවා රකිමින් ඉන්න හින්දයි.

මං මොකටද තිරේ අරින්නේ....
උන්දැලා කැමති කාලයක් වැල්ලේ ඔළුව හංගාගෙන ‘පස්ස උඩ දාගෙන’ හිටියාවෙකො!

ඔන්න, අපි ගමන් යන නඩ හතර-පහකම ඉන්නවනෙ. ඒ නිසා කවුද-කින්ද-මන්ද කියලා guess කරගන්නත් ලේසි පුතයෙකුට බැරි හින්දයි, දැන් වුණත් මම මේ රහස් එළියට දාන්නේ.

ඒ trip එකට අපි දුසිමකටත් වැඩියෙන් ගියා. වාහන දෙකක. රෑ දෙකක් නිඳා ගත්තේ කාමර තුනක, හොඳේ....

ඒ සංචාරේ ගිහින් ඇවිත්, දවස් දෙකකින් විතර අපි කීප දෙනෙකුට තව ගමනක් යන්නත් වුණා. ඒ ගමනටත් අර trip එක ගිය අපේ පස් දෙනෙකුයි, නොගිය දෙන්නෙකුයිත් ආවා. සේරම හතයි, මාත්තෙක්කම.
“ඔයා ළඟ පැනඩෝල් තියෙනවද නිමල් අයියේ?” යන අතරේ එක්කෙනෙක් ඇහුවා. “...මගේ ඔළුව රිදෙනවා.”

“තියෙනවා නං මටත් දෙන්න.... මටත් ඔළුව කැක්කුමේ ඉන්නේ.” තව සගයෙකුත් ඉල්ලපි.

එයාලා මගෙන් පැනඩෝල් ඉල්ලුවේ, ඒ ගමනට ගිය එකම ලෙඩා මං නිසා වෙන්නැති, අනෙක මං වහන්සේ යන-යන තැන මල්ලකුත් එල්ලාගෙනනෙ යන්නෙත්. ඒත් මම පැනඩෝල් රසිකයෙක් නෙවෙයි! අපේ ගෙදරවත් එහෙම දේවල් නෑ ඔන්න.
පෙර සූදානමක් කියල එහෙම ජාති ළඟ තියා ගන්නවා කියන්නේ, අහක තියෙන ඉසරුදාවලට ආරාධනා කිරීමක් විදිහටයි- මං හිතන්නේ.

ඉතිං, අපි සේරම ඒ පැය හය-හතක ගමන ෂපාන් එකේ ගිහින් ආවයි කියමුකෝ; එක වාහනේක- AC කරපු සැප රියක!

Trip එකට සහභාගී වුණු අයගෙන් ඉස්සෙල්ලාම කොරෝනා වැළඳී තිබුණේ...

දවස් දෙකයි ගියේ. අර ඔළුවේ කැක්කුමයි කියපු දෙන්නටම කොරෝනා හැදිලා. ඒ විතරක් නෙවෙයි. ඊළඟ දවස් කීපයේ අනිත් තුන් දෙනා හොයාගෙනත් කොරෝනා ඇවිත්..... එයිනුත් දෙන්නෙකුගේ ගෙවල්වල තව තුන්දෙනෙකුටත් ඒ ලෙඩේම, ඊට පස්සේ!

ඔය පොකුරෙන් කීප දෙනෙකුටම තැන් කීපෙක රෝහල්ගත වෙන්නත් වුණා.

කොටින්ම කිව්වොත්, ඒ ගමන ගිය අයගෙන් කොරෝනා නොහැදුණේ නෙවිල්ටයි, මටයි විතරයි.
“යුෂ්මතුන්ට ඒක හැදෙන්න නැතිව ඇත්තේ බෙහෙත් විදලා තිබ්බ නිසාම නෙවෙයි, මම නම් කියන්නේ.....” අයස්මන්ත මහත්තයාගේ විග්‍රහය ඒකය.

“එහෙනං?”
“Trip එක ගිහින් ආවට පස්සේ මතකයිද දවස් කීපයක් අපි තුන් දෙනාම ඇඟට අමාරුයි කිය-කියා හිටියා.... බෙහෙත් විදලා තිබුණත් කෙනෙක් ආසාදිත වෙන්න පුළුවනි..... එහෙම වෙන එකේ වාසියකුත් තියෙනවා.... ඒ වෙලාවේ ඇඟ ඇතුළේ ඇතිවෙන ප්‍රතිශක්තිය වැඩියෙන් තදයි! වැඩි කල් රැඳෙනවා!!
අරුං දෙන්නාම හැංගුවා වුණාට, සද්ද නැතිව private හොස්පිට්ල්වල නැවතිලා බෙහෙත් ගත්තට මොකද.... උන් දෙන්නගෙන් තමයි අපට මේක බෝවෙන්න ඇත්තේ..... අපට තමයි කලින්ම affect වෙන්න ඇත්තේ- දරුණුවට එළියට නොපෙනුණට.”

සේරම දත්ත ලැබෙන්නට සති කිහිපයක් ගියේය!

Trip එක ගිය දෙදෙනෙකු ඒකට ඇවිත් තිබුණේ හිස රුදාව- සෙම්ප්‍රතිශ්‍යා ගතිය තිබෙද්දීය. අන්තිමට බලද්දී trip එකට සහභාගී වුණු අයගෙන් ඉස්සෙල්ලාම කොරෝනා වැළඳී තිබුණේ එයාල දෙන්නාටය.

“එයාලට නං මොකෝ... සල්ලි තියෙන නිසා කමක් නෑ. නැවතිලා හිටිය ප්‍රයිවට් ඉස්පිරිතාලේ දවසකට බිල 18,000/- පැනලලු. PHI ඇවිත් ගෙවල් සීල් කරලා තිබ්බත්, ගෙවල් වහගෙන පරෙස්සම් වුණා කියලලු වටේට කිව්වේ.... අන්තිමට අපටයි ඒකෙනුත් කෙළවුණේ.....” කරුණු දන්නා මිත්‍රයෙක් කිව්වේය. “...මට කොස්ගම ඉන්න එපා වුණා නිමල්.... කර ගන්න දෙයක් නැතිකමටම හිටියෙ.”

නිරෝධායන මධ්‍යස්ථානෙක ගෙදර තියෙන තරම්වත් නිදහස් පරිසරයක් තියෙනවයැ?

අප මෙදා සැරේ හම්බන්තොට යද්දීය, අන්න ඒ කතන්දරේ ආයෙම ඉස්සරහට ඇදිලා ආවේ.

“අරූ නං තාම අපේ එකෙක් කතා කළාම phone එක උස්සන්නෙවත් නෑ!”
“මට පේන්නෙ ඌත් එහෙමම අපේ ගැන්සියෙන් හැළෙයි වගේ....”
මගේ නිගමනය ඊට වෙනස්ය. අබ කෑ මිනිහාගේ මොළය දනවලු; ඒ දැවිල්ල හැමදාම තියෙන එකක්යැ? ඒක අඩු වුණාම ඕවා හරි යාවි!

“අරයා කොස්ගම හිටි එක එපා වුණා කියන්නැත්තෙ ඇත්තටම තමයි මචං... ගිය සැරේ කොරෝනා වෙලාවේ ගෙදරට වෙලා ඉඳලත් මට ඇති වුණා! නිරෝධායන මධ්‍යස්ථානෙක ගෙදර තියෙන තරම්වත් නිදහස් පරිසරයක් තියෙනවයැ....” නෙවිල් කිව්වේ වාහනයේ වේගය ටිකාක් වැඩි කරමිනි.

“.... ඒකත් හරි punishment එකක් තමයි!”

“පනිෂ්මන්ට් නෙවෙයි....! ආ...ආ... නෙවිල්.... highway එක වහලද?”
“අම්මට සිරි.... Exit වෙන්නලු කියන්නේ... ඒ මොකද මචං... මේ හම්බන්තොට නෙවෙයිනේ....”
“මේ සූරියවැව! සල්ලි ගෙවන ගමන් අහපං මචං, කේස් එක මොකක්ද කියලත්...” අයස්මන්ත උපදෙස් දෙයි.
“කියනවකො අපිට හම්බන්තොට යන්නයි ඕනි කියලත්. අහනවා.....” මමත් හොට දැම්මෙමි.
“එනව තමුසෙම මෙතනට... හැම එකටම හොම්බ දානවා... මට කියන්නේ, තමුසෙම අහනවකො....”

මට කඩා පැන්නත්, නෙවිල් අනුරසිරි අපේ උපදෙස්වලින් බාගයක් කළේය. උත්තර හම්බ වුණේ ඇසූ ටිකට විතරය. හයිවේ එකෙන් exitවී එසැණින්ම U turn එකක් ගෙන, යළිත් මාර්ගයට ඇතුළු වෙන්නැයි උපදෙස් ලැබිණි.

පීරිස් මෝබයිලය දෙස බැලුවේය. “තැනින් තැන වැහැපු නිසා අපට පරක්කු වුණානෙ. තව පේෂන්ට්ස්ලා දෙන්නයිලු බලන්න තියෙන්නේ කියල මැසේජ් එකක්! කොයිකටත් මම ඩොක්ටර්ට කියන්නං අපි ළඟම එන ගමන් කියලා....”

පුවරුවක් එල්ලලා තිබුණත්....ඒකෙ තියෙන භාෂාවත් දැනගෙන ඉන්න එපැයි!

අප කෙළින්ම ගියේ ඒ දොස්තර මහත්තයා PP කරන තැනටය. ‘රෝගියා පමණක් ඇතුළු වෙන්න’ කියලා පුවරුවක් දොරේ එල්ලලා තිබුණත්, අපේ ලෙඩා එක්ක පීරිස් දොස්තර මහත්තයාත් ඇතුළට ගියේය. සෑහෙන වෙලාවකට පස්සේ ලෙඩා විතරය එළියට ඇවිත්, මේ ලියන ලෙඩා ළඟට ආවේ.

“මාර වැඩේනෙ හලෝ! ගිය මාසේ පුරාම මගේ blood ප්‍රෙෂර් එක හොඳටම වැඩිවෙලා තිබ්බේ.... දැන් ඒක නෝමල් වෙලානෙ...”

ප්‍රධාන කතන්දරේ අස්සට මගේ කල්පනාවට එන දේවල්වලිනුත් චූටිත්තක්වත් නොලියා ඉන්නෙ කොහොමෙයි රත්තරනේ? ලංකාවෙ පුරවැසියෝ හුඟ දෙනෙක් වරද්දගන්න තැනක් නෙව මේ.
එයාලා ‘ප්ලෙෂර් එක වැඩි වෙලා’ කියල නහයෙන් අඬනවා. අහවල් එහෙකටද pleasure එක වැඩි වෙනවට අකම්පාල වෙන්නේ.... ඒක නරකක්යැ.
ඉන්න පොඩ්ඩක් ‘මලලසේකර මහත්තයාගේ ඔපීනියන් එක’ ආයෙම බලනකල්.

උන්නැහේට වැරදෙන්නේ කොහොමද?
සතුට; ප්‍රීතිය; සොම්නස; අභිමතය; කැමැත්ත.... (අම්මට සිරිගජ! රතිය කියන්නෙත් ඒකටමලු!
“අනේ රංජි, අදත් මගේ ප්ලෙෂර් එක වැඩිවෙලා” කියන අපේ මව් යානයේ සුපුරුදු තැටිය ගැහුවාවෙකො ඊළඟ සැරේ. කෙළින්ම කියනවා- අම්මට මොන රතියක්ද අම්මේ, අවුරුදු 84ත් පැනල නේද-කියලා. ඔහොම ඒවා කිව්වම අපේ mother ෆුල් හොල්මන් වෙනවා!)

“අනේ මහත්තයෝ, ප්‍රෙෂර් කොහොම වෙතත් මං නං පණ නැතිව වැටෙන්නයි යන්නේ. බඩගිනියි.” මගේ බඩගින්නත්, තෙහෙට්ටුවත් නොකියා ඉන්නේ කොහොමද? පැය 16ක්ම මොකුත් නොකා ඉන්නා වෘතය රකින බැවින්, ගෙදරදී හවස 6 වෙනකොටත් මං වහන්සේ විකාල භෝජනය වලඳා අහවරය.
අද; දැන් රෑ නවයත් පැනලාය.

අසංග හම්බන්තොට හැම කෙනෙකු ගැනම; හැම අස්සක්-මුල්ලක් නෑරම දන්නා කෙනෙකි.

අපට රාත්‍රිය ගත කරන්නට බී.එන්. අසංග හිතවතා සූදානම් කරවා තිබුණු රුහුණු මෙඩිකෙයා එකේ කාමරයේය, එතකොට අප හිටියේ. “ඇහුණ නේද අසංග, නිමල් අයියගෙ බඩගිනි යාදින්න.... මොනවද අපිට කන්න හොයා ගන්නේ....” 

“කොත්තුවක් තමයි සර්! කමක් නෑ නේද නිමල් අයියේ?” අසංග ඇහුවේ මගෙන් වුණත් ඉස්සර වුණේ නෙවිල්ය.
“එයා එපා කියයි. අපිට බයේ තමයි මේ යකා දකින-දකින අයිල කඩවලින් කඩචෝරු කන්න යන්නැත්තේ.”

“ඔය නෙවිල් අයියගෙ බොරු නේද නිමල් අයියේ.... අර මම කිව්ව spot එකේ කෑම හොඳයි....” අපට කියූ අසංග, අයස්මන්ත මහත්තයා දිහාවට හැරුණේය. “... දැන්ම යමුද සර්! ඉස්සර වගේ නෙවෙයි, කොරෝනා හින්දා දැන් රෑට පාරවල්වල වැඩිය මිනිස්සු නෑ... වේලාසන කඩ වහනවා...”
(අසංග හම්බන්තොට හැම කෙනෙකු ගැනම; හැම අස්සක්-මුල්ලක් නෑරම දන්නා කෙනෙකි.)

කොත්තු සූදානම් වෙනතුරු අයස්මන්ත මහත්තයා ඊළඟ දවසේ කාල සටහන හැදුවේය. “උදේ හයාමාර වෙනකොට මම නෙවිල් අයියත් එක්ක ගිහිං blood testsවලට ලේ දීලා එනවා..... ඇවිත් නිමල් අයියගෙ... ආ...! සුජානිගෙන් call එකක් එනවා... ඉස්සෙල්ලත් කතා කළා... (එයාලා කතාවේය.) මොකද කියන්නෙ? හෙට උදේට එහෙ කෑම ලෑස්ති කරනවලු.”

“යමු!”
“ලජ්ජ නැතිව එක සැරේම යමු කියපු ලස්සන. බලපං පීරා, එහෙම මනුස්සයට නේද මූ ගෙදරට එන්න එපැයි කිව්වේ...”

සමහර කතන්දර සියදහස් වතාවක් කිව්වත් ඇති වීමක් වෙන්නේ නැත. දැන් කියැවුණු ‘එන්න එපා!’ කතාවත් එහෙමය. අයස්මන්ත, නෙවිල්, මර්වින්, ගවීන් හතර දෙනාය ඔය කතන්දර තැටිය ප්‍රතිවාදනය කරවන්නේ. එය කියවෙන වාරයක් පාසා මට හැඟෙන්නේ මගේ ඍජු; අනම්‍ය ප්‍රතිපත්ති කොතරම් වටිනවාද කියලාය. අනුන් මොනවා හිතාවිදැයි නොසිතා, මගේ අවංක හැඟීම එක එල්ලේ කීමය මගේ ගතිය!

... සුජානි නංගි දවල්ටත් උයන්නද අහනවා. (වමේ සිට තෙවැන්නිය සුජානියි.)

මැයි 12 වෙනිදාට සූරියා උදාවෙන තුරු මේ බ්ලොගය ලියන්නට මගේ හිතේ තිබ්බේ නැත. ඒ නිසාය, යට දක්වන විස්තරය මැයි 9 වෙනිදා ‘Un දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස’ට පිළිතුරු කමෙන්ටුවක් විදිහට ලියැවුණේ. (මෙතනට ඔබන්නේ අදාළ කොටස විතරය. ඒ උත්තර comment එක ලියන තැනට මාව තල්ලු කළේ Lotus, D.G.M. බස්සා හා Pra Jay කියන හිතාදර පාඨකයන්ය.

‘අපි හම්බන්තොට යන දවසට, කලින්ම අපෙන් අහලා උදේට කෑම ලැහැස්ති කරලා දෙන්නේ සුජානි නංගී. මේ හයවෙනිදා උදෙත් එයා පාන්දරින් නැඟිටලා සුපිරි කිරිබතක්- මාළු ඇඹුල් තියල්- ලුණුමිරිස්- තම්බපු කඩල- මීකිරි-පැණි හෙම එක්ක පාතරාසය ලැස්ති කළේ 5 වෙනදා රාත්තිරියේම අහලයි. අපි ඒවා බුක්තිවිඳින අස්සේ සුජානි නංගි දවල්ටත් උයන්නද අහනවා.

එයාලගේ ගෙදරක් තියෙනවා දෙහිවල පැත්තේ. ඉගෙන ගන්න පුතාව එහෙ නවත්තලා තියෙන නිසා නිවාඩු දවස්වල එයාලා කොළඹ ඇවිත් යනවා. එක දවසක් හැන්දෑවේ එයාලගෙන් මට call එකක් ආවා. "අයියේ, අපේ සාන්තයි මායි කොළඹ එන ගමන්.... අපි ඔයාලගේ ගෙදරටත් ගොඩ වෙලා යන්නයි හිතුවේ."

"අනේ නංගි. අද නං මගේ මූඩ් එක හොඳටම බැහැලා ඉන්නේ. ඔයාලා ආවොත් තේ එකක්වත් නොදී බෑ. මට එහෙම දෙයක්වත් කරගන්න හිත දෙන්නේ නැති නිසා අද මෙහෙ එන්න එපා!" මම කිව්වා. (සුජානිලා ගැන 'ඇස් පෑදේවා' posts දෙකේදීත් විස්තර ලිව්වා.)’ 

ඉතිං ඔන්න මේ කොත්තුවෙන් ආපහු ඒ කොත්තු රොටී කඩේට. ඒ කඩේ කොත්තු ඇත්තටම රහයි. හම්බන්තොට පැත්තේ යනවනං අහන්නකො, ඔත්තුව දෙන්න.
‘ඔයාලගේ කොත්තු හරිම රහයිනේ!’ කියලා සල්ලි වියදම් නොවෙන ‘මල් මිටක්’ දුන්නාම, ඒ කඩේ හාදයාගෙ මූණේ ලොකු මල් හිනාවක් පිපුණා.

මැයි 5 වෙනිදා උදා වුණේ අපිව lockdown කරලනේ.

ආ, තව හුටප්පරයක් කියන්න බැරි වුණානේ. එකක් නෙවෙයි දෙකක්.....

එක හුටප්පරයක් වුණේ මේ post එකේ නම හින්දා. (ඒ සංගදිය දැනටමත් පළමුවෙනි කොටසේ commentsවලදී කියපු නිසා ආයෙ මෙතැනදී කියන්න යන්නේ නෑ.
හැබැයි,  නමේ ‘හුටප්පර’ කෑල්ල නිසාද මන්දා ඒ පළමුවෙනි කොටස කියවන්නම මේ දවස් තුනේ බ්ලොගයට ඇවිත් තියෙනවා 418 දෙනෙක්!
ඒ දිනවල blog අඩවියේ පිවිසුම් ගණන 765ක්.
 
හුටප්පර කියන්නේ කුණුහරුපයක් කියලයි දැක්ක ගමන් කෙනෙකු හිතන්නේ. මේ වචනේ ‘හුටපටය’ වචනයෙන්ම බිඳෙන්නක්.)

මේ දෙවෙනි කාරණය.
හතර වෙනිදා හැන්දෑවේ මං අපේ ගෙදරට අඩු දේවල ලැයිස්තුවක් හැදුවා; අරාබි ඉස්කෝලේ ගේට්ටුව ළඟම තියෙන කඩේට ගිහින් එන්න හිතාගෙන. මොන... කම්මැලි හිතුණා. ‘හෙට උදෙන්ම යනවා!’
පේනවා නේද, අද කළ යුතු දේ හෙටට කල් දැමීමේ විපාකේ. ඒ හෙට; මැයි 5 වෙනිදා උදා වුණේ අපිව lockdown කරලනේ. එතනමයි බැරියර් එක දැම්මේ. බඩු ගැනිල්ල හබක්!

“අනේ අසංග, අපේ ගෙදරට ඕනි දේවල් ටිකක් ගන්න ඕනි, හෙට යන ගමන් ගෙනියන්න. සුමාන දෙකකටනේ....”
“කියන්න. මම කඩේකට WhatsApp කරන්නං, දාලා තියන්න කියලා....” හම්බන්තොට කොත්තු කඩේදිම අසංග කියපි.
මං කඩේකට යන්න කලින්ම ලැයිස්තුව ලියාගෙනයි යන්නේ. බඩු ගොඩක් ගන්න මහරගම හන්දියේ තැන් ගොඩකට යන්න තියෙනවා නං, කොනක හිට ඒ තැන්වලට යන්න ඇහැක් වෙන විදිහට ලියා ගන්නවා. එතකොට ගතවෙන වෙලාව අඩුයි; රස්තියාදුවත් අඩුයි.

‘සීනි කිලෝවයි, පාන් පිටි කිලෝවයි, රුලං පැකට් එකයි, B ළූණු එකහමාරයි, පොල් ගෙඩි හතරයි!’ මං කිව්වා.

මටත් ආසාවක් හිතුණු වෙලාවක තේ එකට සීනි දා ගන්නවා තමයි....

“අයියෝ, ඔච්චරද? පොඩ්ඩයිනෙ...” අසංග ඇහුවා.

“කියන්න බැහැනෙ අසංග, යනකොටත් බැරියර් එක ළඟින් මාව බැස්සුවොත් තනියම උස්සගෙන යන්නත් වෙනවනෙ!” මං කියනකොටත් අනිත් දෙන්නා බරපතළ විශ්ලේෂණයක.

“නෙවිලා, උඹ හරි මචං. බලපං, දියවැඩියාකාරයෙකුගේ ගෙදර ගෙනියන බඩු.... පාන් පිටි, රුලං, සීනි! තුනම මූට වහ!!” ඒ අයස්මන්ත මහතා.
මේ නෙවිල්. “ආන්න මචං උඹට අතටම අහු වුණා, අපි නැති වෙලාවට මූ කොහොමද- මොනවද කන්නේ කියලා....”

ඇත්ත! සමහර වෙලාවට මගේ කටට break නෑ නේන්නං.
“මේ ඕයි! ඔව්වා ගෙනිච්චට එක සැරේම කාලා දාන්න නෙවෙයිනේ. ගෙදරට සීනි නොගෙනිහින් කොහොමද කවුරුවත් ආවාම තේ එකක් දෙන්නේ... අනික ඉතිං මටත් ආසාවක් හිතුණු වෙලාවක තේ එකට සීනි දා ගන්නවා තමයි.... ඔයා මොකුත් හිතන්න එපා, පීරිස්.
ඔයාට ගරු කරනවයි කියලා, මට බොරුවට රඟන්න බෑ. හැබැයි, ඔයාලා නැති තැනදී මම වැඩියෙන් පරෙස්සම් වෙනවා- ඔයාල මාව පණ පිටින් තියාගන්න වෙන මහන්සියට කරන ගෞරවයක් විදිහට.”

විකී බෝම් නෝනා මහත්තයා...
එක්කෝ ඒවා ඊළඟ කොටසෙන්ම කියවමුකො, නේද. අදට මේ මදැයි....

26 comments:

  1. හ්ම්.. +++++++++++
    පහුගිය පෝස්ට් එක තරම්ම නං රසවිඳින්න බැරි වුනා.ඒත් පින්තූර ටික නිසා, කතාවට එලියක් ආවා. පෝස්ට් එකේ අග කොටස නම් හොඳා.

    මෙහෙම කිව්වට, ඒ මගේ ඔපීනියන් එක නෙව? මේකෙ තව අය බලනවනෙ? ඒ නිසා, එක්කො ඔන්න ඔහෙ, ඔහොමම ලියල දාන්න.

    ReplyDelete
    Replies
    1. මේක ෆන්-චතන්තරේ ස්ටයිල් එකෙන් නෙමෙයි ලියලා තියෙන්නෙ මගෙ හිතේ.

      ඒ කොහොමවෙතත් මං බලන් ඉන්නෙ පංචතන්ත්‍ර නොවන ස්ටයිල් එකකින් මහරගම ඉතිහාසය ලියයි කියලනෙ.
      වෙන එකක් නෑ , ඒත් බලන් ඉන්නව

      Delete
    2. //මහරගම ඉතිහාසය//

      හෙහ්, හෙහ් පිංතූර සහිත මහරගම ඉතිහාසය. මම හිතන්නෙ, මගෙ කැමැත්තත් ඒකම කියලයි. ආදි පුරාණේ, නුගේගොඩ, මහරගම හරහා පන්නිපිටිය, දෙපානම දක්වා බස්සන් ගමන් ගත් මාර්ගයක් තිබූ බවට ජනකතාවක් තියනවා. හැල-යක් තාක්ෂණයෙන් වැඩිදියුණු කරන ලද, බට්ටා ප්‍රයිවෙට් බස් එකක, සාඩින් මෙන් පැක්කරන ලද හුදී-ජනයා අස්සේ මූකලං බස්සෙක්ද සිටි බවත්. මහරගමින් බසින විට " ඕයි, ඒක මගේ කකුල" යැයි, අසල්වාසියා කීබවත් තවත් ජනකතාවක්.

      Delete
    3. බස්සන් ලිස්සන්න ඉස්සර

      Delete
    4. Pra Jay මහත්තයෝ, බලන්නකො මහරගම ගැන නෙවෙයි, පාංකඩ පමුණුව ගැන ලියාගන්නවත් විදිහක් නැතිව හිරවෙලා ඉන්නේ කොරෝනා නිසා. ඒත් තවමත් මම සුබවාදීව බලා ඉන්නවා.

      බකුසු තුමාණෙනි! විවේචනය ගැන ගොඩාක්- ගොඩාක්- ගොඩාක් ස්තුතියි. සමහර posts එතරම් හොඳට නොලියවෙන බව ඇත්තයි. මටමත් එහෙම සැටිස් නොවෙන වෙලාවල් තියෙනවා. ඔයා කියනවා වගේ මේ පොස්ට් එක ගැනත් මං පවා එතරම් තෘප්තිමත් නැහැ.

      ඒත් එහෙම වෙලාවක පවා ඒවා දානවා. මොකද දන්නවද,
      1.වෙලාවක් නැති වුණාම.
      2.එහෙම මං සැටිස් නැති සමහර posts හිතන්නවත් බැරි තරමට අල්ලලා ගිය අවස්ථා තිබුණු නිසා.

      ඉතිං මම තවමත් පාඨක රුචිය වටහා ගන්න තැත් කරමින් ඉන්නේ.
      ඒ අස්සෙම මට සීමාවකුත් තියෙනවනේ, ජීවිත කතාව කියමින් ඉන්න නිසා.

      ඒ වගෙමයි සමහර හිතවතුන් ගැන සමහර කරුණු වසං කරමිනුයි ලියන්න වෙලා තියෙන්නේ, නැත්තං එයාලට හොඳ නැහැනෙ. කොරෝනා හැදුනු trip එකේ රසබර තැන් එකක්වත් ලිව්වේ නැත්තේ ඒකයි.

      ඔයා අදහස් කරන්නේ නුගේගොඩ, මහරගම පරණ පාර ගැනද? ඒක තවම තියෙනවා.

      මම සෝදුපත් බලද්දී, දැක්කා මතකයි- මොහාන් රාජ් මඩවලගේ 'ලොවීනා' පොතේ ඔහොම පාරක් ගැන තියෙනවා.
      නුවර ඉඳලා ගල්කිස්ස දක්වා ගමන් කරන රොඩී රැහැ ගැන කියද්දී. මං දන්නා තරමෙන් නං මොහාන් එහෙම ලියන්නෙත් කරුණු ගවේෂණය කරලාමයි, නිකම්ම නිකම් නෙවෙයි!

      Delete
    5. //ඒ අස්සෙම මට සීමාවකුත් තියෙනවනේ, ජීවිත කතාව කියමින් ඉන්න නිසා//

      මට තේරුම් ගන්න පුළුවන්. ඔය කරන විදිහ හොඳටම ඇති. මට නං ඔයදේ කොහොමවත් කරන්න බෑ. ඒත් සාමාන්‍ය ජනජීවිතේ ගැන දැණගන්න මට තියෙන්නෙ පුදුම කැමැත්තක්. සමහර වෙලාවට එක පිංතූරෙකින්, මහ දිග කතාවක් කියැවෙනවා. මේ තියෙන්නෙත් එහෙම පිංතූරයක්:
      පොත් කියවන දැරිය

      පාරවල් ගැන නං කියන්න තියෙන්නෙ "උන් හිටි තැන් මතකයෙ අඩමානය" කියල තමයි.

      Delete
    6. ඒ foto එක දැක්ක ගමන් පපුව හෝස් ගාලා ගියා! සත්තයි. අතීතේ මතක් වුණා, බස්සා මහත්තයෝ.
      ඔන්න, හිතේ ඈතම කොනක තිබුණු දෙයක් ලියන්න හිතට ආවා. ඒකේ මුලට මේ foto එක නියමයි කියලා හිතුණා.

      මගේ postsවලදී fotos දාන්න මම හරිම කැමතියි. විශේෂයෙන්ම මගේ බාසාවෙන් කියනවා නං, මේ වගේ කතා කරන පින්තුර. ඒත් කියවන අයගේ ඩේටා ගැන හිතලයි පිංතූර අඩුවෙන් යොදන්නේ.

      ඔන්න තව විචිකිච්ඡාවකුත් කියන්න හිතුණා.

      මං ලියන අනන්ත-අප්‍රමාණ සිද්දි වගේ දේවල් අනෙක් මිනිස්සුන්ට වෙලා නැතිද? එහෙම නැතිනං එයාලා ඒවා කියන්න අකැමතිද?
      අඩු තරමින් කතාබහකදී වුණත්.
      ඉතිං පෙළක් වෙලාවට සැකයකුත් හිතෙනවා, බ්ලොගය කියවන ඔයාලා මේවා අවිශ්වාස කරයිද කියලත්.
      ඒ නිසාමයි අනුන්ගේ පෞද්ගලිකත්වය ටිකාක් හෙළි කරමින් වුණත්, (එයාලගේ අවසරයත් ඇතිව) නම්-ගම-foto එක්ක ලියන්න කැමති. මටම තහංචි දාගන්න වුණාම හිතට හරි නෑ, මහත්තයෝ!

      Delete
    7. විචිකිච්ඡාව ගැන මගේ අත්දැකීම් අනුව කියන්න තියෙන්නෙ, වෙලා තියෙනවා, ඔක්කොම දේවල් කියන්න කැමති නෑ කියලයි. අවිශ්වාසයක් නෑ, ගම් කෙසේ වෙතත් නම් නං ලියන්න අවශ්‍යම නෑ, කතාව මිසක, කව්ද කියන එක වැදගත් නැති නිසා.

      Delete
    8. සවිය දෙන උත්තරේට ස්තුතියි!

      Delete
  2. ඒ අසංග අපිත් දැක්කා . එදා අම්මගේ ඇස් පෙන්නන්න හම්බන්තොට ආවා වෙලාවෙ අපි සුදු අය්යගෙ quarters ආවා. ඒවෙලාවෙ එයා හිටියා අර අමර මිස් කිරි බෝතලයක් ගේන්න ආ වෙලාවේ. ඒ වෙද්දි කොරෝනා 1 st wave එක. ඊට පහුවදා ඔයාලා අපේ ගෙදර එන්න හිටි දවස. එදා ඔයා හදන් ආව ලුනු දෙහි බෝතලය මට දීලා කිව්වා මේක අරන් යන්න දිමුතු හෙට දවස sure නෑ කියලා. කිව්වා වගේම හවස් වෙද්දි හම්බන්තොට lockdown කොරෝනා patient කෙනෙක් hospital එක පුරාම ඇවිදලා කියලා. ඒත් කිව්ව විදියටම පහුවදා ඔයාලා අපේ ගෙදර ආවා සාදර අනුග්‍රගය දක්වන්න ටිං ටිං කෙනෙක් හිටි නිසා. අපි ලස්සන සංගීත සැන්දෑවක් තිබ්බා. මතකද? "අනේ අපි කවද්දක හිනහෙමුද ඒ රටේ"කොරෝනා වසංගතය මුලු ලෝකෙන්ම තුරන් වේවා. සුපුරුදු සෙනෙහසින් අප යලි හමු වේවා.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි දිමුතු නංගී.
      යහපතක්ම වෙන්නයි කියලා පතමින්, (මම කියන විදිහට නම් - චුට්ටක් විතර...) පරෙස්සම් වෙමින්, අනුනට ලෙඩ නොදා; නොදී ඉඳිමු.

      ඔයාලගේ ගෙදරදී පුටු උඩ පවත්තන පැදුරු පාටි නං super!
      ඒකෙ credit එක නං යන්නේ ප්‍රියංකර සොයුරාට. සර්පිනාව නැත්තං නෙවිල්ගේ වාදනේ විතරයිනේ.
      අනෙක 'සාදර අනුග්‍රහ මහත්තයා' හිතන පමාවෙන් තේ-කෝපි හදවන-හදන ගෙදර කට්ටියටම.

      Delete
  3. මේ කතා මාලාවේ නම අනුව මම හිතුවේ සුමානයකට වරක්, ඊට පෙර සතියේ සිදු උන දේවල් ආවර්ජනය කිරීමක් කරනවයි කියලයි.නමුත්, 14 දා ඉඳලා 18 දා වෙනතුරු තියෙන්නේ සුමානයක් නොවන නිසා ඒ අදහස වෙනස් කරගත්තා.

    වයසක දෙමව්පියන් ඉන්නා අයට නම් මේ කොරෝනාව මහා ප්‍රශ්නයක්. අපේ අම්මාගේත් දුක සැප බලන්න ඉන්න මල්ලිලා දෙන්නා ගේ ඇතුලට එන්නේ නැතිව, එළියේ ඉඳලා කතා කරලා යනවා කියලා තමයි කියන්නේ.

    ගවීන් ගෙදර ඉඳලා නිරෝධායනය උනා කීවාට, හැබෑවටම වෙලා තියන්නේ කාමරේ ඇතුලෙම නිරෝධායනය වෙන එක නේ!

    ReplyDelete
    Replies
    1. Sam මහත්තයෝ,
      මම පැහැදිලිව ලියා නැති නං කනගාටුයි. මගේ ඔළුවට ආවේ අපිව lockdown කළ මැයි 5 සිට මැයි 11 දක්වා සතිය ගැනයි. ඒ සතියේ සිදුවීම්වලට අදාලව මතකයන් එක්ක...

      පරෙස්සම ගැන ඊළඟට කියන්න තියෙනවා අපූරු කතන්දර.

      ගවීන්ට දැන් නම් පළමු එන්නත විදලා. ඒත් පරෙස්සන් වෙන්නොනිනේ!

      Delete
  4. කොරෝනා බෝ කර කර රටේ වටේ ගිහිල්ලා කියන ලස්සන :)

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ අජිත් මහත්තයෝ!
      පූර්ණ ප්‍රවේසමින්, රටට නොදී. අපි අපිටම නං කෙළවගෙන තමයි. ඒකත් අපේ දෙන්නෙකුගේ අතපසු වීමෙන්; නොදැනුවත්කමෙන් හා අනවබෝධයෙන්!

      Delete
  5. කොරෝනා නම් අපිටත් හැදිලා සනීප වෙලාදත් මංදා.. ඔය ඇඟේ පතේ අමාරුව, නාහේ බ්ලොක් වෙච්චි ගතිය ටිකක් තිබ්බ දෙවෙනි රැල්ල කාලේ. ඒත් කඩින් කඩ කරපු PCR නෙගටිව්.

    හයි වේ එකෙන් එළියට යවන්නේ වැලිපන්නෙන් නේ? පළාත් මාරු වෙනකොට. ඒත් U turn එකක් ගහලා ආයේ දාන්න කියන්නේ? ඒ කොහෙද? ඒ ටික පැහැදිලි නෑ.

    හම්බන්තොට යැවෙනවා හුඟක් අඩුයි හයි වේ එක නිසා. බදුලු/ මොණරාගල, කතරගම කොහේ ගියත් මත්තලින් එක්සිට් උනාම ලේසිනෙ. ඒත් කොත්තුවක් කාලා එන්න හරි වෙලාවක යන්නෝනි. :))

    ReplyDelete
    Replies
    1. කමි, 5 වෙනිදා හවස තමයි අපිට කිව්වේ සූරිය වැවෙන් exit වෙලා u ටර්න් එකකින් ආයෙම හයිවේ එකට දමාගන්න කියලා. දෙතනදීම සල්ලිත් ගත්තා. එහෙම කරපු හේතුව නං අපිත් දන්නෙ නෑ, රෑ හතහමාරට විතර.

      වැලිපැන්න තියෙන්නේ විනාඩි 45 කටත් වඩා අඩු දුරකනේ, තේ බොන්න එහෙම නවතන්නේ.

      ඔයා හරි. අම්පාර, බදුල්ල, කතරගම වගේ පැතිවලට යන්න ලේසිම විදිහ මේ හයිවේ එකේ යන එක තමයි. හයිspeed නොගියත් කොට්ටාවේ ඉඳලා පැය 2-2.15ක්.

      Delete
  6. විද්දමුත් ඇස්ට්‍රාසෙනෙකා
    බේරීම නැත නිසැකා
    හැදිල බේරුණු එකා
    වාසනාවන්තයෙකි මේකා

    ReplyDelete
    Replies
    1. හොඳ කලට බඹරේ - කැරකෙයි වුණත් වැල්ලේ
      අපිත් luckකාරයෝ - තමයි නරකම වුණත් කාලේ

      Delete
  7. මටනම් කඩේට යනකොට ගේන දේවල් අනන්තවත් අමතක වෙන නිසා බඩුව දෙක උනත් ලියාගෙන යන්නේ.

    ReplyDelete
  8. මිතිල, මමත් ලැයිස්තුව ලියාගෙනයි යන්නේ. ඉස්සර මගේ අසල්වැසි කාන්තාවක් හිටියා- දවසකට අඩුම ගණනේ 10-12 වතාවක්වත් කඩේ දුවන...

    ReplyDelete
  9. මැරෙන්න එපැ ඕයි දැන්ම. බ්ලොග් කියලා ජාතියක් තියෙනවා කියලා මයක් වෙන්නේ නිමල් මහත්තයා හින්දා.

    ReplyDelete