අකුරු මැකී නෑ

Friday, November 26, 2021

ඉරෙන් හඳෙන් - එළිය අරං...

හදිසි ස්ථාන මාරුවක් ලැබ නාවලපිටියට විසිඋන මම, හිතාමතාම අත්ථකිලමථානු යෝගයට ගියා....


සිත්ගත් හම්බන්තොටින් හිටි අඩියේ ස්ථාන මාරු ලැබ නාවලපිටියට විසිඋන මම, හිතාමතාම අත්ථකිලමථානු යෝගයට ගියා කියන්න පුලුවන්; මටම නාවලපිටිය එපා වෙන්න නොයෙක් නොයෙක් සූත්තර දැමූ මම, උවමනාකමින්ම කිසි ස්ථිර නවාතැන්පොලක් නොසොයා අහිකුන්ඨික ව්‍රතයෙන් ‘ආරුක්ඛ මූල ගතෝ වා; සුන්නාගාර ගතෝ වා’ පන්නයට ජීවත් උනා.

මගෙ අරමුන? - කිසිම බැඳීමක් කා සමඟවත් ඇති කර නොගැනීම. මේ කාලයේදීම ජීවිතයේ පුද්ගලික 'මිතුරන් විශෝධනයක' යෙදී හිටියෙ; මම!
...ඉතාම වේදනාකාරී යුගයක්….

මෙන්න මෙහෙම තියෙද්දි තදබල වර්ශා සහිත සැන්දෑවක, මගේ ජ්‍යෙශ්ට වෛද්‍ය නිලධාරී අමිල ජයරත්න, ඔහුගේ ගොරොක්ඔය නවාතැනේ රැය පහන් කරන්නට මට ඇරයුම් කලා.

මම අදටත් හිතන්නෙ එදා ඔහුට දැනුනා මට රාත්‍රිය පහන් කරන්න තැනක් නැතිව අසරනම වෙලා හිටි බව. 
එදා තමා මට ඔබ මුන ගැහුනෙ අම්මේ; එවකට ඔබ විශ්‍රාමික ගුරුවරියක්!

ඉතින් මොකද?
-
ක්‍රිස්තුස් වහන්සේට පෙදරේරු වෙස් ගත හැකි නම්, ශ්‍රී ක්‍රිශ්නාට ගොපලු වෙස් ගත හැකි නම්, ඔබ වැනි දිව්‍යමය භාවයකට විශ්‍රාමික ගුරු මාතාවකගේ වෙස් ගත නොහැකි ඇයි?

මම කොහොමද මෙතැනදී ඔබේ සොඳුරු නිවස්නය වදන්වලින් රූපනය කරන්නේ?

නෑදෑයින්, මිතුරන් මහත් උද්යෝගයෙන් ගිම්හාන නිවාඩුවට එකතු වන පිටිසරබද මන්දිරයක් ඔබට මවා ගන්න පුලුවන්ද? ඔබ ලියෝ තෝල්ස්තෝයිගේ 'ඇනා කරෙනිනා' නවකථාවේ පලමුවෙනි සංස්කරනය කියවා තිබේ නම්, ඒක පටන් ගන්නෙ 'The guests arrived at the country house…' ඔබට දැනෙනවාද ඒ වාක්‍යය කොතරම් ගැබ්බරද කියල? 

ආරාධිතයන්ගෙ පැමිනීම පොරොත්තුවෙන් මන්දිරය සුලු සුලු අලුත්වැඩියාවන්, පිරියම් කිරීම් කෙරිල; හැම දොර ජනේලයක්ම මොස්කව්වලින්ම ඇනවුම් කර ගෙනා අලුත් තිරවලින් අලංකාර වෙල; කාමරවලත් පලින් පලත් මල් වාස්වලින් එල්ලා හැලෙන ඉතා අලංකාර මල් කලඹ ගැවසිල; ගබඩාවල රයි හා තිරිඟු පිටි, මස් වර්ග, නේක පලතුරු, අනර්ඝ වයින් සහ වොඩ්කවලින් පුරවල….

වංශවතුන්ගේ සහභාගීත්වයෙන් අසල ප්‍රභූ මන්දිරයක පැවැත්වෙන නැටුම් සාදය!
මොස්කව්, ශාන්ත පීතර්බර්ග් සිට මේ පර්යන්ත දුම්රිය ස්ටේසමට ලඟා වෙන දුම්රියවලින් බට නෑ මිතුරන් අශ්ව කරත්තවලින් මන්දිරයට ලඟාවෙන අයුරු, ඒවායින් නොයිවසිල්ලෙන් පැන, මන්දිරය හා වත්ත පුරා කෙලි දෙලෙන් දුව පැන සෙල්ලම් කරන ලමයි, කරත්තවලින් බාන ට්‍රන්ක පෙට්ටි ප්‍රවේසමෙන් නියමිත කාමරවලට ගෙන යන සේවකයෝ, අමුත්තන්ට ඇඟපත පිරිසිදු කරගන්න යුහුසුලුව උනු වතුර හා අනෙකුත් දෑ ලෑස්ති කරන සේවිකාවෝ, මුලුතැන්ගෙයි කෑම සූදානම් කරන ප්‍රධාන අරක්කැමි හා ඔහුගේ කෝකියෝ

ඊලඟ දවසට සැලසුම් එමටයි; අසල ගම්මානවල ඇවිදින්න යන්න...

පිරිමි ඈයො නම් අසල කැලයේ දඩයමේ යන්න, ඒ විතරක්ද- පලාතේම ඉන්න වංශවතුන්ගේ සහභාගීත්වයෙන් අසල ප්‍රභූ මන්දිරයක හවස පැවැත්වෙන නැටුම් සාදය! මීට එහා ගමේ ගිම්හාන නිවාඩුවට පැමිනි, රාජ සබාවට සම්බන්ධ රදල සිටුවර පවුලකගේ පැමිනීමත් අපේක්ශිතයි.

සමහරවිට මේක තෝල්ස්තෝයිගෙ ඇනා නෙමේ, ඊට පදනම වූ පුශ්කින්ගේ කෙටිකතාවක අවස්ථාවක් විය හැකියි- ඔහුගෙ 'බේල්කින්ගේ කතා' එහෙම නැත්නම් 'කපිතන්ගේ දියැනියෝ' හි එන. කොහොම උනත් මා විස්තර කරන්න තතනන දේ මා මිත්‍ර ගරු පාඨක ඔබට දැනෙනවා ඇති!! රුසියානු කතා ඒ පරිද්දෙන්ම විඳින්න නම් දැදිගම වී. රුද්‍රිගුම ලියන්න ඕන! 

“... දැදිගම වී. රුද්‍රිගු මහත්තයා සදාකාලික සුවය හොයාගෙන ගිහිල්ලනේ. ඉතිං කොහොමද ආයෙම උන්නැහේ ලවා මොකුත් ලියවා ගන්නෙ?”

මං එහෙම කිව්වේ හිතවත් අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස් මහත්තයට. 2021 නොවැම්බර් 19 උදේ පාන්දරම, fb එකේ තිබුණු අයස්මන්තගේ ලියවිල්ලක් දැකලා. එයා ඒක ලියල තිබුණේ 15 වෙනිදා. ඒ සටහන කියවලා කඳුළු පුරවගෙන, ඉකිය හංගාගෙනයි මං අයස්මන්තට ආයාචනාවක් කළේ...

“...මහත්තයෝ, මට කවදාවත් අපේ අම්මා වෙනුවෙන්වත් මෙච්චර ආදරය වෑස්සෙන සාහිත්‍යමය ලිපියක් ලියන්න බෑ. අපි දන්නවනෙ ඔයා ඒ අම්මට කොච්චර attachedද කියලා... ඉංග්‍රීසි නොදන්නා කෙනෙකුට මෙහෙම දෙයක් දැනගන්න අයිතියක්  නැද්ද. මේ ලියවිල්ල නාවලපිටියේ අනුලා අම්මගේ නමින් සේරම අම්මලාට කෙරෙන උපහාරයක් විදිහටවත්... ඒ මානව දයාව වෙනුවෙන්වත්...” එහෙම කියලයි, මං එයාට පෙරැත්ත කළේ ඒ සටහන සිංහලයට පරිවර්තනය කරල දෙන්න කියලා.

අනුලා අම්මා හා වැඩිමල් පුතු ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද විජේකෝන්.... 

හත්-අට වතාවක්ම ඒ ටිකම කිව්වට පස්සේ එයා කැමැත්ත දුන්නේ, බොහොම දයාවෙන් යුක්තව “යකෝ. වැලලෙන්න එපා. මං කරන්නම්. මළ වදේ!” කියන ආදරණීය වචන ටික ගර්ජනාත්මකව කියලා.

මගෙන් බේරෙන්න උන්නැහේ දවස් දෙකෙන් (වාහනේ යන අතරේ) මේක ලියලා.

දන්නවනෙ, එයාගේ සිංහල ලේඛන සම්ප්‍රදාය. අද පෝස්ටුවේ රතු පාටින් තියෙන්නේ මගෙන් ලියවුණු ටික. කළු පාට අකුරු දොස්තර මහත්තයාගේ.

මෙහෙමම තමා ගොරොක්ඔය අනුලා විජේකෝන් මැතිනියගේ මන්දිරය.

හැම තිස්සෙම හිතැතියන්ගෙන්, ආදරනීය නෑයන්ගෙන්, සුව දුක් විමසන්නට පැමිනෙන්නන්ගෙන් පිරිච්ච තැනක් උනා ඒක.

නිරන්තරයෙන් සිනා කතා හඬෙන් පිරුනු එතන පය තියන කිසිවෙකුට කිසියම් අන්නපානයක් බුක්ති නොවිඳ ගැලවී යාම නම් බොරු! ගෘහ මූලික වූ ඈම විටෙක ප්‍රධාන අරක්කැමි. එන ඕනම සෙනඟකට රසට උයන්න ඈ සූදානම්.

අම්මා, හිටි අඩියේ කෙටි දැනුම්දීමකින් ඔබගේ වැඩිමල් පුතු ප්‍රධාන පොලිස් පරීක්ශක දුමින්ද විජේකෝන්, ඔහුගේ සමීප මිතුරන් සමඟ ප්‍රාදුර්භූත වෙද්දි පොඩි සංගීතමය සතුටු සාමීචියකටඔබ සූදානම් රස මසවුලු සමඟ!

ක්‍රමයෙන් ගෙදරම කෙනෙක් වූ මම ඒ දේ කරද්දිත් අම්මා ඔබ වෙනසක් කලේ නෑ. හොඳ නිශ්ශබ්ද නිරීක්ශකයෙක් උන මට තිබුන ලොකුම ප්‍රහේලිකාව උනේ ‘ඔබ අසලට එන්නන් මොන මානසික තත්වයෙන් ආවත්, ඔබගේ එක සෙනෙහෙබර සුවදුක් විමසීමකින් ඒ හැම දෙනාම කොහොමද නිවී සැනසී යන්නෙ’ කියන එක!

අඹ යාලුවන් විශෝධන සජ්ජායනාවක සිටි; මිහිපිට කිසිම කෙනෙක් විශ්වාස නොකරන මනෝ භාවයක සිටි මමත් ක්‍රමයෙන් ඔබේ ආදර සෙවනේ දැවටෙන්න කෑදර උනා.

මමත් නොදැනීම මේ ගෙදරම කෙනෙක්, ඔබේ පුතෙක් බවට පත් උනා.
මගේ දරුවන් ඔබේ දරුවන්ගේ මුනුපුරු මිනිපිරියන්ගේ හොඳ මිතුරු මිතුරියන් උනා.

අපි රේඩියෝ ටවර් වගේ!
මොකක් හරි මනෝ භාවයක් සම්ප්‍රේශනය කරනවා අනවරතයෙන්.
විටෙක ප්‍රීතිය, ලෝකයටම පැතිරුනු ආදරය; එහෙම නැත්නම් නුරුස්නා බව, සැකය, අසතුට, බිය, ඊරිසියාව.

Mirror cells වලින් බැඳුනු සමූහ අපි නිරන්තරයෙන් මේ එකිනෙකාගෙන් විහිදෙන භාව විකාශය මැන ඊට උත්තර මනෝ භාවයන් ප්‍රති විකාශය කරනවා.

හිනා වෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් රවන්න යන්නෙ නෑ අපි.
තරහ විකාශය වෙද්දි සූදානම් සරීරේ වෙන අපිත් පහර දෙන්න අර අඳින්න ඔන්න මෙන්න තත්වයක ඉන්නවා.

තිච් නට් හං තෙරුන් වහන්සේ වගේ සතුට, මෛත්‍රියම විකාශය කරන අය කොතරම් සුන්දරද, ආදරනීයද?

මේකට සමාජ ස්ථරවල අපි ඉන්න තැනත් බලපානව නේද?

අපේ කාර්යාල ප්‍රධානියා කෝපය සම්ප්‍රේශනය කරද්දි අපි පලා යන්න උත්සාහ කරනවා මිස ප්‍රතිප්‍රහාර එල්ල කරන සම්භාවිතාව අඩුයි, රස්සාව එපා වෙලා නම් මිසක.

එසේම අපි සතුට සම්ප්‍රේශනය කරද්දි අපිට කනිශ්ඨ අය එය උකහාගෙන සතුටම ප්‍රතිවිකාශය කරනවා; අපිට ඉහලින් ඉන්න අය එහෙම ප්‍රතිවිකාශය කරන්න බැඳිල නෑ!

මේ අතරෙ සමහරු ඉන්නවා තමන් වටේ රේඩියෝ කුලුනු මොන මනෝ භාවය විකාශය කරත් නොකඩවා- නැත්නම් බොහෝ විට එකම මනෝ භාවය විකාශය කරන.
මෙයිනුත් සතුට, මෛත්‍රියම විකාශය කරන අය කොතරම් සුන්දරද, ආදරනීයද?!

අම්මේ ඔබ කවදත් විසිරුවේ ආදරය, සතුට, මෛත්‍රිය; ඔබ අවට සිටින්නන් මොන මනෝ භාවය විකාශ කලත්.

ඒ ඔක්කොමත් හරි; ඔබගේ දියවැඩියාව නොතකා සීනි- පිටි ආහාර සමඟ ඔබට තිබුන ලැදියාව නම් හරි නරකයි අම්මා. කොච්චර කිව්වත් වැඩක් උනේ නෑ. බනින්න සැර කරන්න හිතෙන්නෙත් නෑ ඔබට- එතරම්ම ප්‍රබලයි ඔබෙ ආදරබර මෛත්‍රීබර සම්ප්‍රේශනය! 

2012- 2016

මම කොලඹ නිවස්නයෙන් පිටත් වෙන්නෙ රාත්‍රී 10ට. මහ රෑ 12.30 වෙද්දි මම ඔබේ නවාතැනේ. ඔබ නිදි වර්ජිතව ඉන්නවා කීයට හරි මම එනකම්; කෑමත් පිසගෙන. ඉන් සන්තර්පනය වන මම කෙටි පැය කීපයක නින්දකින් පාන්දර 4.30ට ඇහැරෙද්දි ඔබ අවදිව මට උදේට සහ දවල්ට කෑමත් පිලියෙල කර පාර්සල් කරලත් අවසන්.
මගේ ප්‍රියතම, දුම් දමන කලු කෝපි කෝප්පයත් ඔබ මෙන්ම මා බලාපොරොත්තුවෙන් කෑම කාමරයෙ බලා සිටිනවා. ඔබ ඇත්තටම රෑ නිදා ගත්තාද මා වද දුන් ඒ දවස්වල අම්මා
?

උදේ 5ට නාවලපිටිය මහ රෝහලේ වැඩ පටන් ගත් පසු අහවර වෙන්නෙ රාත්‍රී අටට පමන. දහ දෙනෙක්ගෙන් ගුටිකාපු අයුරින් ගෙදර එන මම, ඇඟපත සෝදා සැහැල්ලු ඇඳුමකට මාරුවී ආලින්දයෙ ඔබ අසල ඉඳ ගන්නවා කිසියම් පොතක් පතක්, සඟරාවක් සමඟින්. ඔබ රූපවාහිනියේ බෞද්ධයා වැනලය නරඹමින්, නමස්කාර ව්‍රතයෙන්. අසල අසුනක දුමින්දගෙ ලොකු පුතා මනුජය- (මම එද්දි ඔහු උසස් පෙල ශිශ්යයෙක්; දැන් කදිම තරුනයෙක්- ඔහු ඔබව ඉතා ආදරයෙන් රැක බලා ගත්තා කවදත්.) කිසියම් පරන බිත්ති ඔරලෝසුවක දැති රෝද සමඟ එහෙම නැත්නම් චිත්‍ර ශිල්පයක/ ඔහුගෙ ප්‍රියතම වොක්ස්වැගන් කාරයක අත්පොතක් අධ්‍යනයක- හෙමීට හැට හැත්තෑ ගනන්වල ඉංග්‍රීසි ගීත විසිරෙද්දි, සිය අත්තම්මාට බාධා නොවෙන ගානට…..

දොස්තර මහත්තයගේ හිතවතුන්- හිතවතියන් අපට උදේ, දවල්, රෑ කෑම- තේ සේරම ලැහැස්ති කරන්නෙ...

වෛද්‍ය අමිල ඔහුගෙ කාමරයෙ පාඩම් වැඩවල; ඔහුටත් අක්ශි වෛද්‍ය විශේශඥයෙක් වීමේ හැකියාව පෙනුන නිසා ඔහුට නිරන්තරයෙන් පාඩම් වැඩවල නිරත වෙන්න මම අන කර තිබුනා. අප මේ විදියට නිහඬ සොඳුරු රාත්‍රීන් කීයක් නම් ගෙවා දමන්න ඇද්ද, ඔබේ මෛත්‍රී සහගත ආදරබර සෙවනේ?

අම්මා, පුහුදුන් මට මේ දැනෙන්නේ මම ‘සහජ සමාධියේ’ හෝ ‘නිර්විකල්ප සමාධියේ’ ඉන්නා බවයි.

අපි දෙන්නෙක්, කිසිම කතාබහක් නැතිව පැයක් දෙකක් හිටියත් එච්චර ආනන්දයක් ජනිත වන්නෙ කොහොමද?

වරින්වර අවධානය බිඳ ගන්න ඔබ මගෙන් විමසනවා පුතා තේ හදන්නද කියල; මම කවදාවත් එපා කියන්නෙ නෑ. මම ඔබේ තේ බොන්නත්; ඔබ මට තේ හදන්නත් ඇබ්බැහි වෙලා හිටියා නේද අම්මේ!

සමා වෙන්න ඕනි, මේ පාපොච්ඡාරණය කරමින් රසික ඔබේ අවධානය බිඳ හෙලනවාට.

මාස කිහිපයකට කලින් දවසක රෑ අටට විතර අයස්මන්ත මහත්තයා මට ටෙලිෆෝන් කළා. “නිමල් අයියෙ, මම තව චුට්ටකින් ඔයාලගේ ගෙදරට එනවා කෝපි එකක් බීලා යන්න.....”

“පිස්සුද යක්ෂයෝ... දැන් හෙට පාන්දර හම්බන්තොට යන්න මම නැඟිටින්න ඕනි නේද?” මං ඇහුවා. (එයා දැන් හම්බන්තොට රෝහලේ වැඩ නැතිවත් බෙහෙත් ගන්න තවමත් මාව එහාට එක්කගෙන යනවා, එයාගෙම වාහනෙන්; එයාගෙම වියදමෙන්! නෙවිල් අනුරසිරිත් නිවාඩු දාගෙන ‘මාතලී’ වෙනවා, නොවැරදීම. දොස්තර මහත්තයගේ හිතවතුන්- හිතවතියන් ඒ ගමන යන අපට උදේ, දවල්, රෑ කෑම-තේ සේරම ලැහැස්ති කරන්නෙ එකිනෙකා තරග වැදෙමින්.)

“දැන් එන්න එපා!” රිසීවරේ තියලා මං නිඳා ගත්තා. 

පහුවදා හම්බන්තොට ගමනේදියි මගෙ පපුව කඩා වැටුණේ!

“බලපං මචං. ඊයේ රෑ අපේ ගෙදර වාතාවරණේ ටිකක් අවුල් වෙලා තිබ්බේ. මටත් එව්වට මැදිහත් වෙන්න වෙනවට මං මූට call කළා ඇවිත් යන්න එනවයි කියලා. නිමල් අයියා ගත් කටටම එන්න එපැයි කිව්වනේ..”

“ආ! දැන්ද උඹට තේරුණේ... මේකා සුජානි නංගිලාටත් ඔය විදිහටමනේ එන්න එපැයි කිව්වේ.... තව කරපං. අඩෝ, මාත් මේ කොච්චර වැඩ තිබ්බත් නිවාඩු දාගෙන එන්නේ උඹට උදව්වට මිසක් මෙයාට උදව්වට නෙවෙයි මචං.... ඒ අතින් ප්‍රියන්තත් great; මොන වැඩ තිබ්බත් මේ හම්බන්තොට යන එකට නිවාඩු නොදී ඉන්නෑ. එහෙමයි යාළුවො මූට සලකන්නේ. ඒකට මූ.... මිනිහට නිඳිමත නං අපිව ගෙදරිනුත් එළවනවා.

මෙහෙම එකාටනේ පීරා, කැන්සර් හොස්පිටල් එකෙන් කීමෝතෙරපි කරද්දීත් උඹ ළඟටම වෙලා හිටියේ. ඌට ඒවා මතක නෑ මචං.... ඉතිං, උඹත් නිදා ගත්තද?” නෙවිල් පුරුදු විදිහටම ගින්නට පෙට්‍රොල් ටිකක් වක්කරලා ඇහුවා; සුක්කානම කරකවන ගමන්.

මට ආදරය කියන්නෙ ප්‍රබල සුන්දර හැඟීමක්; හැඟීම් සමුදායක්... මතකද ‘පරසතු මල්’?

“මොන? මං නාවින්නේ ආර්පිකෝ එක ළඟට ඇවිත් වාහනේ park කරගෙන පාරේ යන වාහන ගණන් කර-කර හිටිය බං... කළු කෝපි එක තමයි miss වුණේ දිසානායක ළමයට පිං සිද්ද වෙන්න.” අයස්මන්ත කියන්නේ අත් දෙක එකතුකොට වඳිමිනි.

ඇත්තටම මට නම් මේ භද්‍ර කල්පයෙදී ‘අනුලා විජේකෝන් අම්මා තරම් කරුණාවන්ත වෙන්නට’ බැරි වෙනවා ස්ථිරය! කවුරුන් වෙනුවෙන්වත් එතරම් ආදරණීය වෙන්නට නම් නොහැකි වෙනවා සිකුරුය!!

ඇත්තටම, ආදරය කියන්නෙ මොකද්ද?
ඉස්සර ආදරය කියන්නෙ මට ප්‍රබල සුන්දර හැඟීමක්, හැඟීම් සමුදායක්-. මතකද “පරසතුමල්"?

‘තොලින් තොලට වෑහෙන ගී බින්දූ
………….
ඔබ තොල් පෙති මට, මී විත වේ නම්
මම ඔබෙ සංගීතය වෙන්නම්…..

ක්‍රමයෙන් නාම පදයක්ව තිබුනු ආදරය, ක්‍රියා පදයක් උනා මගෙ ජීවිතයෙ; එහෙම උන එක හොඳයි. 

ඒත් ආදරයේ මහරුතම පාඩම කියා දුන්නෙ ඔබයි අම්මේ. මම මිතුරන්ට ඔබව ඒ කාලෙ අඳුන්නල දුන්නෙ එහෙමයි; he taught me what love is.

ආදරය කියන්නෙ සහජ සමාධිය වගෙ සමාධියක් බව ඔබගෙ සමාධියෙන්ම ඉගැන්නුවා මට. සියලුම ඉගැන්නුම් අවසාන කරන ඉගැන්නුම ඒකයි මට නම් අම්මේ.

ඔබගෙ 2012 උපන් දිනයෙදි මම වෛද්‍ය අමිලගෙන් ඇහුවා මොකද කරන්නෙ කියල. ඔහු කලා කදිම යෝජනාවක්; සර් අම්මට මල් පොකුරක් දෙන්න; ගොඩක් ආස වෙයි’.

මම ඉතා ලස්සනට සකසපු මල් කලඹක්; රෝස, ඩේලියා, Babies Breath වලින් හදපු, තිබ්බා ඔබේ යහන අසල, නැඟිටිද්දි ඉස් ඉස්සෙල්ලාම දකින විදියට.

ඔබ සතුටු උනේ පුංචි දැරියක් වගේ එදා. මල්වල දිව්‍යමය බලය ඒ වෙනකම් මම දැන සිටියෙ නෑ. මල් කියන දේ මගෙ දිවියෙ ප්‍රධාන අංගයක් උනා එතන ඉඳල.

නාවලපිටියේ දෙමල, මුස්ලිම්, සිංහල සෙනෙහැති අයත්; ඒ ඔක්කොටම වඩා ඔබත් ක්‍රමයෙන් මගෙ නිය, දළ ගලවලා, සියුමැලි කරලා....

දියවැඩියාව ඔබේ දෙපා සහ රන්මය හදවත ක්‍රමයෙන් ආක්‍රමනය කලා මේ අතරෙ, අපි මොන තරම් ඊට එරෙහිව යුද වැදුනත්.

රාජ්‍ය සේවා විධිවිධාන නියමය පරිදි, 2016 මා නැවත හම්බන්තොට මහ රෝහලට රපෝර්තු කල යුතුව තිබුනා. දින කෙමෙන් ලඟා වෙද්දි, මම එක එක මොන්ටිසෝරි වැඩ කරමින් නාවලපිටියෙම උන්නා.

2012 එහාට එද්දි හිටි ගැටුමටම බර මාව නාවලපිටි රෝහලත්, නගරයේ දෙමල, මුස්ලිම්, සිංහල සෙනෙහැති අයත් ඒ ඔක්කොටම වඩා ඔබත් ක්‍රමයෙන් රූපාන්තරනය කරලා; මගෙ නිය, දල ගලවලා, සියුමැලි කරලා!

මේ සෙනෙහෙ ගඟුලට පිටුපා මම යන්නෙ කොහොමද?!

ඒත් 2016 ජූනි මාසය වෙද්දි මම නොගියොත් හම්බන්තොට අක්ශි වෛද්‍ය අංශය බිමටම සමතලා වෙන තත්වයක් මත පරිපාලනමය අර්බුදයක් ලියලාගෙන ආ හෙයින් මා තීරනයක් ගත යුතුව තිබුනා.

නාවලපිටියෙන් නික්ම යාම ඉතාම වේදනාබර අවස්ථාවක් උනා හැමෝටම; මගේ වාට්ටුව සමුගැනීමේ සාද තරයේම ප්‍රතික්ශේප කර හිටියා.

But I had miles to go before I sleep…

මගේ විගමනයෙන් දවස් දෙකකට පසු ඔබට හෘදයාබාධයක් වැලඳුනා අම්මාදුමින්ද එවකට නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති. ඔහු ඔබව එතනට රැගෙන ගියා. 

නාවලපිටිය නිවස්නය ක්‍රමයෙන් ගරා වැටෙන්න උනා. එහි පන රැඳුනෙ ඔබෙන්; තෙතබරිත බිත්ති, වැහිදිය කාන්දු වෙන වහල, වේයන්ගෙ වික්‍රමමනුජය සිය කටයුතු අතරෙ මහත් වෙර දැරුවා ගොරොක්ඔය මහ ගෙදර පවත්වාගෙන යන්න.

හම්බන්තොට සායනික ජීවිතය මාව එහෙම පිටින්ම ගිලගත්තා කියන්න පුලුවන්. ඒත් අපි දුරකථනයෙන් සමීපව උන්නා.

හැම උපන් දිනයකම පාහෙ ඔබ පිබිදෙද්දි ඔබව පිලිගන්න මල් කලඹ සූදානම්ව හිටියා 2012 සිට, ඔබ කොහේ හිටියත්. 'මම දන්නවානෙ පුතා කොහෙ හිටියත් මාව බලන්න එනව කියල!' වසරින් වසර ඔබ ඒ හැම මොහොතකම ආඩම්බරයෙන් කියා හිටියා.

ක්‍රමයෙන් ඔබ සිරුර දියවැඩියාව ගිලගත් නමුත් ඔබ හිත හයියව තියාගෙන හිටියා. මුලු ගෙදරම නායිකාවව හිටි ඔබ ගිලන්ව ඇඳටම වැටුනත් ඔබ නෙමේ පරාජය බාර ගත්තේ.

සතුට පොදි බැඳගෙන... (අයස්මන්ත මහතාගේ බිරිඳ ප්‍රීතිකා හා පවුලේ කිහිප දෙනෙකු අනුලා අම්මා හමුවන්නට ගිහින්..)

2021.10. 12.

ඔබගේ 81 වෙනි ජන්ම දිනය. මම දැන් රත්නපුර ශික්ශන රෝහලේ.

මම 2012 සිටම අවිච්ඡින්නව පවත්වපු උපන් දින සම්ප්‍රදාය කැඩුනා අම්මා.

ලොක්ඩවුන් නිසා දිග්ගැහුනු ශල්‍යකර්ම පොරොත්තු ලැයිස්තු තියෙද්දි ඒවා අවලංගු කරල නිවාඩු දාන්න හිතට හරි නෑ. ඒත් මම වැඩ ඉවර උන විගසම පිටත් උනා නාවලපිටියට, වෙනදා මෙන්ම මහත් ඕනෑකමින් සකසා ගත් මල් කලඹත් සමඟින්. ඒ මුලු ගමනම සිද්ධ උනේ ධාරානිපාත වැස්සේ; තැන් කීපයක නාය යෑම් මධ්‍යයේ. මගේ විශ්වාසවන්ත, සියලු කාලගුන අලකලංචි මැද ගමන්වලට පත්තියන් උන රථයටත් සෑහෙන අභියෝගයක් වෙවී මම ගොරොක්ඔයට සැපත් උනා හවස 4 වෙද්දි.

මුලු ගොරොක්ඔය පලාතම Wuthering Heights නවකතාවෙ කලුවර මූසල රාත්‍රියක් වගේ හවස 4 වෙද්දිම.

අම්ම-මෝ නැතුව වහිනවා.

ඉස්සර තෝල්ස්තෝයි/ පුශ්කින් කතාවක වගේ සතුට පොදි බැඳගෙන, සතුට වැඩි කරන්න එන සෙනඟ නෑ. එහා මෙහා දුවන, කිචි බිචි හඬින් සෙල්ලම් කරන ලමයි නෑ. මගෙ ගෝල+ සොයුරු අමිලත් විශේශඥ අක්ශි ශල්‍ය වෛද්‍ය පුහුනුවේ අවසාන අදියරට මහා බ්‍රිතාන්‍යයට ගොහින්. පාලුම පාලුයි මේ විසල් මැදුරම.

ඔබේ මතකය, කටහඬ පවා ඔබව හැර ගිහින් අම්මා.

ඔබ මා දිහා බොහෝ වෙලාවක් බලා හිටියා; අඳුරගන්න බැරුව වෙන්න ඇති. මමත් මනුජයත් මල් කලඹ පෙන්නුවා ඔබට. ඔබෙ ඇස්වලින් කඳුලු නොනැවතී රූරා වැටෙන්න උනා. මගෙ ඇඟිලි ඔබෙ සුරතෙ ඇඟිලිවලින් ඔබ තද කරගන හිටියා පැයක් විතර.

'පුතා තේ හදන්නද?' කියල අද මගෙන් අහන්නැද්ද අම්මා?

එන්න එන්නම වැස්ස තද කරන්න උනා; මම නැවත රත්නපුර යා යුතුයි. මම ඒ දිනවල අක්ශි ඒකකයට අමතරව සේවා අවශ්‍යතා මත කොරෝනා ඒකකයකත් වැඩ බලන ගමන්. රෝහලින් මෙච්චර ඈත නැවතී ඉඳීම නීති විරෝධියි.

ඔබ නිදි. මම ඔබ දෙපා සිපගෙන දනගසා වැන්දා; ඉතා ඉක්මනින් ඔබට මේ අබලන්ව ගිය සිරුරු කූඩුව අතහැර දමන්න සිදු වෙන බව හොඳටම දැනුනා අම්මේ.

2021.10.25

වැඩ කටයුතු අතර එකවර ඔබ සිහි උනා මට. ඒ හවස 4.30ට විතර. අම්මා කොහොම ඇද්ද?

නාවලපිටියෙ ඈත ඈත කඳු ගැටවල සිට ක්‍රමයෙන් වර්ධනය වෙමින්....

පැය බාගයකට විතර පස්සෙ දුමින්දගෙන් ඇමතුමක් සටහන් වෙලා තිබුනා. ඔබ ඔබගේ අවුරුදු 81 වියැති සිරුර හැර ගිහින්….

මෙහෙම වෙන බව දන්නා මුත් මට ඒ මොහොතෙ ඔබ අසල ඉන්න බැරි උනා. මගෙ සායනික ජීවිතේ කී දෙනෙක් නම් මගෙ අත අල්ලාගෙන සිටියදී අවසාන ගමනට පිටත් වෙලා ඇද්ද? නුමුත් ඔබේ සුරත අල්ලාගන ඉන්න මට බැරි උනා අම්මා.

2021.10.26

නාවලපිටියෙ කඳු ගැටයක් උඩ පිහිටි කනත්ත වත්ත ඉතාම සන්සුන්. ඈත ඈත කඳු ගැටවල සිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් එන වැස්ස වඩවඩාත් පැහැදිලිව පෙනෙන්න ගත්තා.

ඔබගෙ සිරුරත් හරිම තැන්පත්; හරිම සුන්දරයි. දන්නා කියන සියලු දෙනා ආ පසු පෙට්ටිය වැසූ අපි චාරිත්‍රානුකූලව ආදාහන කටයුතු කරන්න උනා

අහස බලන් ඉන්දැද්දි අලු පාටෙන් කලු පාටට හැරෙද්දි ඔබගේ සිරුර යැයි අප මෙතෙක් ඇසුරු කල ප්‍රපංචය, ඝන දුම් රොටුවක්ව ආදාහනාගාරයේ කුලුනෙන් නික්ම පොද වැස්සට එකතු වෙලා නොපෙනී ගියා.

ඈත රටක පල්ලියක යාතිකාවක්ව ශ්‍රවනය කල, යේසුස් වහන්සේගේ මරනය වෙනුවෙන් නිර්මිත යොහාන් සෙබස්තියන් බාක්ගේ Saint John’s Passion- Farewell O Weary Broken Body’ සිහි නොකර බැරි උනා මට.

ඒත් මම දැන් දන්නවා අම්මා; නොඑන ගමන් යන සෙනෙහැතියන් මද දුරක් ගොස්, සිනහ සිසී ආපහු දිව අවුත් හදවතේ සදහටම ලැගුම් ගන්නා බව. ඉශ්ට දේවතාවුන්ව- දේවතාවියන්ව අශ්ට ලෝක ධර්මයන්හිදී මඟ පෙන්නන බව.

ඉතින් මම නවතින්නම් අම්මා; තිච් නට් හං තෙරුන් වහන්සේගේ කවියක් සමඟින්:

You are me, and I am you.
Isn’t it obvious that we inter- are?
You cultivate the flower in yourself,
So that I will be beautiful.
I transform the garbage in myself,
So that you will not have to suffer.
I support you.
You support me.
I am in this world to offer you peace;
You are in this world to bring me joy.

(Ven. Thich Nhat Han Thero)

ඒ ප්‍රීතිය- සතුට- සාමය හා ආදරය ලොවටම සම්ප්‍රේෂණය කරන කුලුනක් වෙන ඔබට....

'අපි රේඩියෝ ටවර් වගේ
මොකක් හරි මනෝ භාවයක් සම්ප්‍රේශනය කරනවා අනවරතයෙන්.
විටෙක ප්‍රීතිය, ලෝකයටම පැතිරුනු ආදරය; එහෙම නැත්නම් නුරුස්නා බව, සැකය, අසතුට, බිය, ඊරිසියාව.
Mirror cells වලින් බැඳුනු සමූහ අපි නිරන්තරයෙන් මේ එකිනෙකාගෙන් විහිදෙන භාව විකාශය මැන ඊට උත්තර මනෝ භාවයන් ප්‍රති විකාශය කරනවා.
හිනා වෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් රවන්න යන්නෙ නෑ අපි....’
දොස්තර මහත්තයාගේ වචන 52ක් ආයෙම මෙතනට උලුප්පල ගත්තා. නිකම්ම නෙවෙයි.

ඒ ප්‍රීතිය- සතුට- සාමය හා ආදරය ලොවටම සම්ප්‍රේෂණය කරන කුලුනක් වෙන අයස්මන්ත පීරිස් හිතවතාට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන්න!! මීට කලිනුත් ඔයා ලියන්නට දායක වුණු posts කියවලා තියෙන අදරැති පාඨකයනුත් මගේ එක්ක “සුබ උපන් දිනයක් අයස්මන්ත!” කියලා ඔයාට සුබ පතනවා නිසැකයි෴

***අයස්මන්ත පීරිස් මහතා මෙසේ ඍජුවම ලේඛන දායකත්වය ලබා දුන් පෙර ලිපි:

1. නෑනා නැතත් කල දවසක් ..... - පළමුවෙනි කොටස https://nidigepanchathanthare.blogspot.com/2020/01/blog-post_20.html

2. නෑනා නැතත් කල දවසක් ..... - දෙවෙනි කොටස https://nidigepanchathanthare.blogspot.com/2020/01/blog-post_22.html

3. හැඟුම් දඩමීමාට වහංවී - පළමුවෙනි කොටස
https://nidigepanchathanthare.blogspot.com/2020/06/blog-post_69.html 

4. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
http://nidigepanchathanthare.blogspot.com/2020/06/blog-post_15.html

5. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
https://nidigepanchathanthare.blogspot.com/2020/06/blog-post_23.html

6. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
https://nidigepanchathanthare.blogspot.com/2020/06/blog-post_29.html

7. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
https://nidigepanchathanthare.blogspot.com/2020/07/blog-post_7.html

8. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
https://nidigepanchathanthare.blogspot.com/2020/07/blog-post_17.html

9. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
https://nidigepanchathanthare.blogspot.com/2020/07/blog-post_26.html

44 comments:

  1. බ්ලොග් මිතුරා නිදිගේ නොදුටු නොහමුවූ ඇස් දෙස්තර මිතුරාට සැපත සතුට නීරෝගි සුව ඉතිරෙන සුබ උපන්දිනයක් වේවා..
    අනුලා අම්මා අජරාමර නිවනේ නිවි සැනසේවා කියා පතන්නෙමි..

    ReplyDelete
  2. උණු වතුරට තේ/කෝපි සහ සීනි මිශ්‍ර කරලා දුන් පමණින් එය කතාවකට මාතෘකාවක් වෙන්නේ නැහැ.

    තේ/කෝපි සහ සීනි, ආදරයත් සමග මිශ්‍ර කරලා දුන්නාම මුළු ජීවිත කාලයටම මතක හිටින කතාවකට මුල පිරෙනවා.

    එතුමියට නිවන් සැප!

    ReplyDelete
    Replies
    1. මතකයි නේද 'සැනසුම කොතැනද?' film ඒකෙ ගාමිණී ෆොන්සේකා (දොස්තර) ජීවරාණි කුරුකුලසූරිය (හෙදිය)ට කියන ප්‍රකාශය?

      ස්තුතියි Sam!

      Delete
  3. සුභ උපන්දිනයක් වේවා රසවතාණනි. මේක මාර ම ලියවිල්ලක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්රැකී.

      දොස්තර මහතා ලියන ශෛලියට මමත් මාර කැමතියි. හැබැයි ලියවා ගන්න වෙන්නේ වද කරලා. 'අර වැලලෙන්න එපා යකෝ' කියලා එතුමා එවපු මැසේජ් එක එහෙම හොඳ සාක්කියක්.

      Delete
  4. 'ඒ ප්‍රීතිය- සතුට- සාමය හා ආදරය ලොවටම සම්ප්‍රේෂණය කරන කුලුනක් වෙන අයස්මන්ත පීරිස් හිතවතාට' මේ වගේ විශේෂන සහිත ආමන්ත්‍රණයක් යාලුවෙක්ගෙන් ලැබෙනවා කියන්නෙ ඉතිං!!!

    Thich Nhat Hanh තෙරුන්ගෙ පොත්/poems කියවන ලාංකිකයින් ඉන්නවා කියන එක හොඳයිනෙ. ථෙරවාද නොවන හාමුදුරුවරු ගැන ලංකාවෙ අයගෙ වැඩි උනන්දුවක් නෑ කියලයි මම හිතාගෙන හිටියෙ.

    'You cultivate the flower in yourself, So that I will be beautiful'. Of course, Nimal, your posts are becoming 'beautiful' by the day.

    ReplyDelete
    Replies
    1. Lotus, මට තවම ස්තුතිය ගැන post එක ලියාගන්න බැරි වුණානෙ. ඒ 'භාවනාව'? මටත් ඉගැන්නුවේ දොස්තර මහතා. ඉතිං අර ව්ශේෂණය නොදී කොහොමද?

      Thich Nhat Hanh හිමියන් වහන්සේගේ දෙසුම් ඇතුලත් පොත් පෙළක්ම අවුරුදු පහළොවකට විතර ඉස්සර සිංහලෙන් පළ වුණු බව මතකයි, ඒවා ප්‍රින්ට් කළෙත් අපි නිසා.

      Delete
  5. Replies
    1. Pra Jay, ඔයාලගේ සුපැතුම් ගැන එයාට කියන්නම්! ස්තුතියි.

      Delete
  6. දොස්තර මහත්තැංට සුබ උපන්දිනයක් පතනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න. දොස්තර මහත්තයාට කියන්න ඕනි මේ post එකේ comments ටිකවත් බලන්න කියලා.

      Delete
  7. අයස්මන්ත ගේ ආදරණිය මවට සුභ ගමන්. හරිම සෙනෙහසකින් ලියූ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අජිත්, එයා ඒ අම්මට කොච්චර සෙනෙහසක් තියාගෙන හිටියද කියලා අප එක්ක කළ කී දෙයින් දැනගෙන හිටි අපටමත් පුදුමයි.

      ඒ වගේමයි, අයස්මන්ත ඒ ආදරය- කරුණාව- මෛත්‍රිය ඒ අම්මාට විතරක් නෙවෙයි සකල සත්ත්වයාටම පතුරවනවා වගෙයි මට පෙනෙන්නේ.

      ලොකුම වැරැද්ද මගේ සමාධිය- ඉවසිල්ල නැති භංගස්ථාන කරලා මාව අවුස්සලා බැනුම් අහ ගන්නත් උන්නැහේලට තියෙන කැමැත්ත.

      Delete
  8. අනුලා විජේකෝන් මැතිනියට නිවන් සැප!
    දොස්තර මහත්තයට සුබ උපන්දිනයක්!

    ReplyDelete
    Replies
    1. දොස්තර මහත්තයා වෙනුවෙන් මට තමයි බකුසුතුමෝ ඔයාට ස්තුති කරන්න වෙන්නේ!

      Delete
  9. හරිම සංවේදි..

    ආදරේ කරුණාව දයාවට ලෝකෙ ගොඩක් ලස්සන තැනක් කරන්න පුලුවන්❤🍃🍂🌸

    අපිත් ටික ටික හරි එහෙම වෙන්න ඕනි නේද
    ආදාරේ සතුට සම්ප්‍රේෂණය කරන එක🥰

    සුබ උපන්දිනයක් දොස්තර මහත්තයට.

    පෞද්ගලිකව මම නම් හිතන්නෙ වසරක් වයසට ගිය එක සුබ වෙන්නෙ කොහොමද කියල🤔

    ReplyDelete
    Replies
    1. නවීන්, පනස් පහෙන් යන්න හිතාගෙන හිටි කාලෙ මාත් කීයටවත් මගේ වයස කිව්වේ නෑ.
      අපේ නංගිගේ පුතා විවාහ වෙලා දරුවෙක් ලැබුවාමත් මම ඇහුවා 'යක්ෂයෝ, උඹ එහෙනං මාව සීයෙක් කළා නේද?' කියලා.

      අනුනට ආදරේ, කරුණාව, මෛත්‍රිය සම්ප්‍රේෂණය කරන එකෙන් වැඩිම යහපතක් වෙන්නේ එහෙම කරන කෙනාටමයි නවීන්.

      Delete
    2. //අනුනට ආදරේ, කරුණාව, මෛත්‍රිය සම්ප්‍රේෂණය කරන එකෙන් වැඩිම යහපතක් වෙන්නේ එහෙම කරන කෙනාටමයි//
      අනිවාරෙන්ම👌

      සීයා කෙනෙක් උනාම නිකම් එක පාර අවුරුදු 5,6 වයසට ගියා වගේ දැනුනද නිකම්😅

      Delete
    3. ඊට කලින්ම හිත රිදිලා තිබුනේ නවීන්.
      අනුර ජිනදාස, මර්වින්, නෙවිල් එහෙම හිටපු youth නඩයේම හිටි ගීතා ශ්‍රීමතී හිතවතියගේ දරුවන් නිමල් අංකල් කියලා කතා කරන්න ගත්තාම.

      Delete
    4. ඒකියන්නෙ වයසට යන එක පිලිගන්න කැමතිම නෑ වගේ නෙහ්

      Delete
    5. කැමති නැති එක වෙනම දෙයක්.... ඒත් යතාර්ථය පිළිගන්න ඕනිනේ නවීන්.

      Delete
  10. දොස්තර මහත්තයගෙ ලිවීමෙ තියෙන විශේෂය...

    අර ගම්බද නිවස ගැන කියන වර්ණනාන්විත විස්තරය, මානව වර්ගයා වෙත ධනාත්මකබව සහ ආදරය පැතිරවීමේ සංකල්පය... ඔය හැම දෙයක් ම කියවද්දි හිතෙනව කොයිතරම් විවේකී මනසක් ඇතුවද මේ දේවල් ලියන්නෙ කියල. වෘත්තියත් පවුලත් එක්ක කාර්යබහුල වීම මැද මොනතරම් රසවින්දනයක් පවත්වාගෙන යනවද කියන එක මට හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මං මේ යක්ෂ පැටියාගෙන් අනන්තවත් අහන ප්‍රශ්නයක් ඔය. දවසකට පැය කීයද නිදා ගන්නෙ කියලා.
      හැමදාම වගේ නින්දට කලිනුත් පොතක්- ඊ බුක් එකක් හරි කියෝනවා. පූජාවලියේ, භගවද් ගීතාවේ කෑලි කියයි කට පාඩමෙන්. දැන් නං ටිකාක් නිදහසක් තියෙනවා වගේ ගෙදරදී. ඉස්සර එයාගේ තුන්වෙනි දූ පොඩි කාලෙ දොස්තර මහත්තයා ගෙදර ගිය ගමන්ම එයාව අයිති කර ගන්නෙ දුව. හුඟ දවසට ඒ ආදරේ කෙලවර වෙන්නේ 'කාබන් පෑනක් ඉවර වෙනකල්ම දෝණියන්දා තාත්තාගේ ඇඟ පුරාම කුරුටු බලි (එහෙමයි චූටි ඒවාට කිව්වේ.) ඇඳලා.

      ඒ මදිවට අයස්මන්ත උදේ පාන්දර ඇහැරීගෙන භාවනා කරනවා. හම්බන්තොට ඉඳිද්දී නං මහා පාන්දර පහ විතර වෙද්දී ඉස්පිරිතාලෙටත් ගිහින් වැඩ පටන් ගන්නවා. දැන් කොහොමද දන්නෑ.

      දැනුයි මතක් වුණේ,
      දරුවන් වෙනුවෙන් වුණත් මේ යුවලගේ ඉවසීම මට නං අදහාගත නොහැකි එකක්. ඒ නිසාම මුල් කාලයේ post එකකටත්, 101 වෙනි පෝස්ටුවටත් මම ඒ ගැන ලිව්වා.

      http://nidigepanchathanthare.blogspot.com/2018/11/blog-post_41.html

      මොන වාසනාවද මන්දා, ඒ තරම් මව්වත් අම්මලා කිහිප දෙනෙක්ම මගේ ජීවිතේදී මට මුණ ගැහිලා තියෙනවා.

      මගේ මතකය හරි නං අස්වැන්න පොතේ හරි උහුලන දෙරණ පොතේ හරි හිටිය අම්මෙක් ගඟේ ගිලිලා මැරෙනවා, දරුවන්ගේ හාමත නිවන්න හාල් ටිකක් බඩේ බැඳගෙන ගංවතුරේ ගඟෙන් එගොඩ වෙන්න ගිහින්. (ඒ අම්මගේ හරි ලොකු දුවගේ නම හරි අබු!) ඒක කියවද්දී මට විශ්වාස කරන්න අමාරු වුණා, අම්මලාට මෙච්චර වෙන්න ඇහැකිද කියලා. ඊට පස්සේ තමා.... මට එතරම් මව්වත්කමෙන් සපිරි අම්මලා හමු වුණේ!

      Delete
  11. ගොරකඔය, මගෙ බලප්‍රදේශය තුළ තියෙන හරියක්. වෙලාවක යන්නෝනෙ ඔය කියන ගම්බද නිවස බලන්න.

    ReplyDelete
    Replies
    1. දොස්තර මහත්තයාම ඔය පැත්තට අපිව එක්කන් ගියා. ඉස්සෙල්ලාම සර්ප්‍රයිස් එකක් විදිහට අපි නඩේම රාෆ්ටින් කරවලා පටන් ගත්තේ. දෙහෙදු කඩුල්ල, මහවැලි මහ සෑය, ගැමුණු කුමාරයා අස්වද්දපු වෙල... (නම මේ මොහොතේ මතක් වෙන්නේ නෑ.) බලලා රජ පිහිල්ලෙන් නාලත් ආවේ.

      එහෙ කුමාර කියලා හිතවතෙකුගේ ගෙදරදී දවල් කෑමකට ලැහැස්ති කරලා තිබුණා එතෙක් නොකෑ සම්බෝලයක්. හොඳටම ළපටි කොහිල දළු නටන වතුරට දාපු ගමන්- අමුවෙන්ම වගේ අරං හීනියට ලියලා හැදු සම්බෝලයක්! පැත්තෙ හැටිද මන්දා... කුමාරලත් ආගන්තුක සත්කාරයට දෙයියලා...

      ආ... ඒ පැත්ත ඔයාගේ බල ප්‍රදේශය නම් පුසුල්පිටිය පන්සලත් බලන්න යන්න. වී අටුව, පිළිම ගෙය, එකක් ඇතුළේ එකක් තියෙන දේවාලයක්ද කොහෙදත් තිබුණා, අපූරු පෙති උළු එහෙම තියෙනවා වෙනම ගිහින් හරි බලන්න වටිනා.

      Delete
    2. රජතලාවෙල...

      ඒ පැත්තෙ මිනිස්සු ඇත්තට ම සුහදයි. ඒකයි මාත් මෙහෙට පල්ලම්බැස්සෙ. ඩ්‍රැකියානිගෙ ගම් පළාත නෙව.

      පුසුල්පිටිය අනිවා, යන්න ඉන්නෙ. මම දවසක් දාගෙන ගැමුණු කුමාරයගෙ පියසටහන් පොටෝ ගන්න යනව ළඟදි ම.

      මෙහෙ තියෙනව කොත්මලේට ම ආවේණික කෑම හදන ක්‍රම. කොස් උයන හැටි එහෙම වෙන කොහෙවත් නෑ. ගුණ්ඩු හෙවත් තග්ගෙඩි කියන්නෙත් රස වෑහෙන කෑමක් තමා.

      Delete
    3. හරි ඩ්රැකී රජතලාවෙල තමා.

      ඒ පැත්තට යන්න කලින් කියන්න. කුමාරට ඉඩක් තියෙද බලමු, ඔයාව හමු වෙන්න.

      නරකද එහෙ කෑම වර්ග ගැන ලිව්වොත්.
      ඔයාගේ බල ප්‍රදේශයේම තියෙන තව ලස්සන තැනක අපි දින තුනක් හිටියා. බෝඹුරු ඇල්ල බාලදක්ෂ කඳවුරු බිමේ.

      Delete
    4. හ්ම්..ගොරකඔය. ගොරකයකා. අනේ ඒ බල ප්‍රදේසෙ ඉන්න ජනතාවට අල දීලා ලේ ගන්නවා ඇති.

      මේ එහෙම ගියොත් ෆෝන් එකෙන් හරි පිංතූර අරං පෝස්ට් එකක් දාන්ට, ඈ?

      Delete
  12. Replies
    1. අලුත්ම සන්නිවේදන ක්‍රමය නමියගෙන්.....

      Delete
    2. හ්ම්.. කියාගන්න දේවල් වැඩි උනාමත් හිර වෙනවා නෙ

      Delete
    3. එහෙම දේකුත් වෙනවා නේන්නං!

      Delete
  13. මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
    දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
    ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
    සිංහල පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්‍යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
    එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.

    ReplyDelete
    Replies
    1. ඉතා සතුටුයි.
      දැනෙන අදහසක් වෙතොත් කියන්නම්!
      දැනට පෙන්වන කාර්යක්ෂමතාව දිගටම පවත්වාගෙන යනු මැනවි!!

      Delete
  14. මේක දැක්කම ටොමිය මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ඉතිං අපට මොකෝ? අපිව අමාරුවේ දාන්න හදනවා...

      Delete
    2. කොච්චර බලල තිබුනත් එපා වෙන්නෙ නෑ, ආයෙ බැලුවා.😊

      අනේ, කවුරුහරි අර අසරණ සිරාගෙ කාමරේ ඉන්න නැට්ටකොටා ගැන බලපල්ලා, මොනව වුනත් බල්ලෙක් නෙව? හිටපු ගමන් අන්තරස්ධාන වෙනවා, ආයෙ වඩිනවා. සෝවාන් ඵලයක්වත් ලැබිලද මන්දා?
      https://siragekamare.blogspot.com/2021/01/blog-post.html

      Delete
    3. ස්තුතියි ටොමී.... ගිහින් ආවේ. අසරණ අයට උදව් කිරීම මෙ ආත්මෙදිම පළ දෙන පින්කමක්!

      නගරක් බන්ගලාව ගැන post එකක් දැකලා ඒකත් කියවලාම ආවා. ආයෙම ගියා වගේ දැනේන්නම ලියලා මරු ෆොටෝ ගොඩකුත් එක්ක.

      Delete