අකුරු මැකී නෑ

Saturday, April 2, 2022

මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස

බණ්ඩාට act කරපු කුසල් මධුරංගරයිගම් ටෙලි සම්මාන උළෙලේදී කිව්වා...

පාර දිගේ බැලුවද?

බලන්නෙ මක්කටෙයි? අඩි පාරක් දිගේ නෙවෙයි නං ඕනිම පාරක් දිගේ ටිකක් ගොහිං බලන්නකෝ. යස රඟේට පෙනෙයි, ඩීසල් පෝලිම්- පෙට්‍රල් පෝලිම්- ගෑස් පෝලිම් වගේ හැටහුටහමාරක් පෝලිම්.
පාර දිගේ බැලුවද කියලා කවුරු හරි මගෙන් ඇහුව නං, මට කියවෙන්නේ ‘බැලුව නෙවෙයි- දෙතුන් වතාවක්ම කියවලත් තියෙනවා’ කියලයි.
පොත් කාවෙක් වෙන මට ඒ නම ඇහුණු ගමන්ම මතක් වුණේ ‘ලෙටීෂියා බොතේජු’ ලියූ පළමු පොත. ‘පාර දිගේ’. 1959 පළ වුණේ. 1963 එතුමිය ලියා පළ කරපු ‘ගඟ අද්දර’ නම් film එකකටත් හැරුණා.

අද පරම්පරාවට නං ‘පාර දිගේ’ කියපු ගමන් මතක් වෙන්නේ පෝලිම් නැත්තං උද්ඝෝෂණ- ගෝරි. එහෙමත් නැත්තං මතක් වෙනව ඇත්තේ ඒ නමෙන් හැදුණු ටෙලිය.

ඒ ටෙලි නාටකයේ බණ්ඩා චරිතයත් අමතක වෙන්ඩ විදිහක් නෑ කියලයි මට පෙනෙන්නේ. බණ්ඩාට act කරපු ‘කුසල් මධුරංග’ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රියම නළුවා වුණා. ඒ ගැන කුසල් කියලා තිබ්බ කතාවකින් තමයි මටත් වැදගත් කාරණාවක් කල්පනා වුණේ. ඉස්සෙල්ලම කුසල් කියලා තිබ්බ දේ කියවමුකෝ.

‘බොහොම ස්තුතියි. මට ආදරේ කරපු, මාව දැකලවත් නැති අය මට SMS පණිවිඩයක් එව්ව එකට. ඇත්තටම මේ වෙලාවේ රටේ තත්ත්වය අනුව මනුස්සයෙක්ට රුපියල් හයක් වියදම් කරලා එහෙම කරන්න අමාරුයි. ඒත් මට ඒක ලබා දුන්න එකට ස්තුතියි! දක්ෂතම නළුවා වෙන්න හීන තිබ්බත්, මිනිස්සු අතර ජනප්‍රියම නළුවා වෙයි කියලා හිතුවේවත්  නෑ!....’

එහෙම එක SMS එකකට රුපියල් හයක් වියදම් වෙනවා නං, මම ලියන මේ පට්ටන්දර කියවන ඔයාලගේ ඩේටාවලට කීයක් වියදම් වෙනවා ඇද්ද?
ඔය පුරස්නේ නිසාම වෙන්නෝනි, මේ දවස්වල blogs කියවන හිතාදර පාඨක පිරිසේ අඩුවක් පේන්නේ. ඊටත් දවසකට පැය හය-හතක විදුලි කප්පාදුවකුත් කෙරෙනවා නෙව, ඇමැත්තෝ ‘කපන්නේ නෑ’ කියන කටේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරෙද්දී!

පොඩි නෑ නේද ලැබිලා තියෙන ආශීර්වාදාත්මක බෝනස් එක! 

හත් ඉලව්වේ, ඒ මදිවාට දෙදොහක ඉඳලා කරන්ට් කපපු ගමන් මගේ land line ෆෝන් එකත් වැඩ නෑ. සන්නිවේදන කුලුනුවලටත් ඩීසල් නැතිකම බලපාලා. තවත් විදිහකට කියනවා නං දවසට පැය 12ක් ‘ලයිට් කපද්දී’ අපේ ටෙලිෆෝන්- අන්තර්ජාල පහසුකමුත් නිකංම කැපිලා!

හැබැයි බිලෙන් නං මොකවත් කැපෙන එකක් නෑ!!

ඉතිං, ඔන්න ඔය කාරණාව නිසා තමා මේ දවස්වල මගේ posts පළ වෙන වේගය අඩු!

අඩුවක්මය කියන්නත් බෑ. 2018 අප්‍රේල් 1 වෙනිදා පටන් ගත්තු ‘නිදිගෙ පංච තන්තරේ’ අඩවියට දැන් අවුරුදු හතරයි. මේ ලියවෙන්නේ 492 වෙනි පෝස්ටුව. අවුරුදු හතර සපිරෙද්දී ‘නිදිගෙ පංච තන්තරේ’ හිතාදර පාඨක ඔයාලා දිගටම blog එකේ පෝස්ටු කියවලා; hit කවුන්ටරය 2,10,033ක් දක්වා කරවලා තිබ්බා.
පොඩි නෑ නේද ලැබිලා තියෙන ආශීර්වාදාත්මක බෝනස් එක!
ඒ වෙනුවෙන් මට කරන්න ඇහැකි ඔයාලට හෘදයංගම ස්තුතිය පිදීමයි, නොකඩවාම ඇත්ත ලියන එකයි!   

දෙපා අවසඟ පාපන්දු පිස්සා; රාජමනි අංකල් මට කිව්වේ නං “හොඳ යමක් කිරීමෙන් කෙනෙකුට ලැබෙන තෘප්තිය තමයි එයාට හම්බ වෙන වැටුප. ඒ වැඩේ අගය කෙරෙනවා නං, ඒක bonus එකක්. බෝනස් එක බලාගෙන හොඳ වැඩ කරන්න එපා, සැලරි එක ලැබෙනව නම් ඇතිනෙ!” කියලයි.

අනෙක කවුද දන්නෙ මට හම්බ වෙලා තියෙන වැරදි බෝනස් එක කවදා ඉවර වෙයිද කියලත්. ඒ නිසා ඕනෑවට වඩා පරක්කු වෙවී ඉන්නත් බෑ. ටිකාක් වේගය අඩුවෙන් ඔන්නොහෙ ලියාගෙන යනවා. එහෙනං යංකො ‘මැංචෝසන් චාරිකා’ පොතට.  

‘සාමිවරයට කොයි තරම් හිතට ඇල්ලුවද කියතොත් මේ අස්සයව බාර ගන්න කියල මට වැන්දෙ නැතුව විතරයි; මියුනික් සාමි යටතේ ඒ ළඟදීම තුර්කියට විරුද්දව පටන් ගන්න තිබුණ යුද්දෙදි උගෙ පිටේ ගොහිං දිනලා නම්බු ලබා ගන්නෙයි කියල.’ එතැනිනුයි පහුගිය කොටහ නැවැත්තුවේ. ඔන්න එතැන හිට.

හයවෙනි පිම්ම
රුසියානු හමුදාවට බැඳිලා

මේ අස්සයා, කෝඩුවෙන් යුද්දෙට යන්න ලැහැත්ති වෙච්ච මට ලබා ගන්න පුළුවන් හොඳම පිරිමහින තෑග්ග! ඒ එක්කම අසුබ නිමිත්තක්!

සොල්දාදුවෙකුගෙන් ඉස්ට වෙන්න ඕනැ යුතුකම මතක් වෙනව. එච්චර නෙවෙයි; වැදගත් මහත්තයෙකුගෙ යුතුකමුත් මතක් වෙනව.

පුංචි බබෙක් වගෙ අහිංසක, කීකරු- ඒ එක්කම තරුණ, නාහෙට අහන්නෙ නැති තරං නපුරු- මේ සතා පිට නැඟිච්චි හැම වෙලාවෙම සොල්දාදුවෙකුගෙන් ඉස්ට වෙන්න ඕනැ යුතුකම මතක් වෙනව. එච්චර නෙවෙයි; වැදගත් මහත්තයෙකුගෙ යුතුකමුත් මතක් වෙනව. ඔය අතරවාරෙ, යුද්ද පිටියෙදි පුදුම විදියේ හපන්කම් කරපු තරුණ ඇලෙක්සැන්ඩර් රජ්ජුරුවන්වත් හිතේ මැවිල පේනවා.

අපට යුද්දෙට බහින්න කාරණ කිහිපයක් තිබුණ. පීටර් රජ්ජුරුවො කරපු පහුණු යුද්දෙදි රුසියානු හමුදාවට තරමක මදි පුංචිකමක් වෙලා තියෙනව. ඒක මකා ගන්න එක තමයි මුල්ම කාරණේ හැටියට කිව්වෙ.
අර කලින් කියාපු සේනාපතියා යටතේ සැපක් පහසුවක් නොතක කරපු සාර්ථක සටන් කීපෙකදීම අපි මේ හරිය හොඳට ඉස්ට කළා.

අහංකාරකමක් නැති උදවිය යුද්දෙකදී ලබපු ජයග්රහණ කරට ගන්නෙ නෑ.
ඒ ගොල්ලන්ටත් පතල්කාරයන්ට වගෙයි
; නරක නාමෙයි- මැටි කෝප්පෙයි විතරයි. නම යන්නෙ නායකයන්නෙ.
ඒකට වැඩිය හපන්
, කොහෙවත් හිටපු රජවරුන්ගෙයි- දේවින්නාන්සේලගෙයි කීර්තිය තමා වැඩි වෙන්නෙ. ඉඳල හිටල යුද්ද හමුදාව බලන්න යහපත් වෙච්ච වෙලාවකයි, බැරි වෙලාවත් වෙඩි බේත් සුවඳක් ඒ ගොල්ලන්නෙ නාහෙට වදින්නෙ. යුද්ද පිටියක් ජීවිතේට දකින්නෙ නෑ; යුද්දෙට ආපු හතුරෙකුගෙ පාටවත් දැකල නෑ.

මමත් නෑ ඔය යුද්දවලින් ලබාපු කීර්තියෙන් කෑල්ලක් කඩා ගන්න දඟලන්නෙ.

අපි කවුරුත් අපෙ යුතුකම ඉස්ට කළා. යුතුකම කිව්වහම පුදුම වචනයක්.
දේසප්රේමියන්ගෙ
, සොල්දාදුවන්ගෙ, වැදගත් මහත්තුන්ගෙ බාසාවෙ තියෙන බොහොම තේරුම් ඇති බැරෑරුම් වචනයක්.
තුන් ලෝකෙටම දිවැස් තියෙන කම්මැලියන්ගෙයි
, කෝපි කඩේ ඉඳන් රට ආණ්ඩු කරන බේගල්කාරයන්ගෙයි බාසාවෙ නං ඕකට තඹ හුලහක වටිනාකමක් නෑ.

කවුද නොසන්ඩාලයෙක් හමුදාවේ, පොලීසියේ කට්ටියත් බලාගෙන ඉද්දි, තට්ට තනියෙන්ම ඇවිත් බස් එකක් ගිනි තියනවා. බස් එක ගිනිගෙන විනාශ වෙනකල්ම...

මමත් අස්සාරෝහක හමුදාවක් මෙහෙයෙව්ව, මට සම්පූර්ණ බලේ ලැබිල තිබුණ ඒකට. අපි කරපු යුද්දවලදී පෙන්නපු හපන්කම් නං තව කාටවත් අයිති කර ගන්න බෑ. මගෙයි, මගේ බාරේ හිටපු අනිත් අයගෙයි දස්සකම හින්ද කරපු ඒව කියල හොරයක් බොරුවක් නැතුව කියන්න ඇහැකි.

තුර්කිකාරයන්ව එලවල දාපු එක තැනකදී, හමුදාවේ පෙරමුණට වෙලා අපට ගිනිමරේට වැඩ කරන්න සිද්ද උණ. ඔතෙන්දි මගේ වටින කියන අස්සයා මාව මර උගුලකට නොදැම්ම විතරයි.

උගුල්!
උගුල් කියද්දී දෙතුන් දොහකට කලින්, තිරෙන් එහා පැත්තෙ ඉන්න කවුරු කවුරු හරි කලබලේම කටයුතු කොරලා අපේ ගෞරවනීය පාලන තන්තරේ උගුලකට අහු කොළා කියලයි මට කල්පනා වෙන්නේ. සමහර විට මොට්ට මම දකින විදිහ ඉන්තේරුවෙන්ම වැරදි වෙන්නත් ඇහැකි. ඒත් මොකෝ.
මේකත් මැංචෝසන් සාමිතුමා කියන ජාතියෙ පෙරාපු ඇත්තය කියලා හිතා ගන්නයි තියෙන්නේ.

මේකයි කතන්දරේ!

මාර්තු 31 වෙනිදා හවස්කරේ කට්ටියක් ගොහිල්ලා තිබ්බනේ අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උතුමාණන්ගේ නිවස පැත්තට. රට වැස්සන්ගේ දුක කියන්න. (ඒක බෝම ඉක්මනින් සංවිධානය වෙච්චි එකක් විත්තියයි පෙනුණේ.) හැන්දෑවේ ඉඳල පැය ගාණක්ම එයාලා විරෝධතාව තිබ්බනේ. පොලීසිය, හමුදාව බොහොම ඉවසිල්ලෙන් එයාලගේ වැඩේ කර ගන්න ඉඩ දීලා බලාගෙන ඉන්න හැටිත් පැහැදිලිව පෙනෙනවා. 

එහෙම වෙච්චි එකේ කවුද නොසන්ඩාලයෙක් හමුදාවේ, පොලීසියේ කට්ටියත් බලාගෙන ඉද්දි; එයාලව පයිසෙකට මායිම් නොකර- තට්ට තනියෙන්ම ඇවිත් බස් එකක් ගිනි තියනවා. බස් එක ගිනිගෙන විනාශ වෙනකල්ම- උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර එල්ල කළ උදවියට ගින්න නිවන්න අමතක වෙලා!

පාන්දරින්ම බස් එකේ රියදුරු මහත්තයාත් රාජපක්ෂ මහත්තුරු වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානංය කියලා මයිල් ඉස්මයිල් වෙන කතාවක් කරනවා. ගිනි තියපු බස් එක නවත්තල, අනික අරගෙන යද්දී විරෝධතාකාරයෝ එයාගේ කකුලෙනුත් ඇද්දාලු. මං ඩ්‍රයිවින් නොදන්නා නිසයි අහන්නේ, ලොකු බස් එලවන්නේ කකුල් එළියට දමා ගෙනද? (ඒ කතන්දරේ හොඳින් අහන ඕනිම කෙනෙකුට බඩ අල්ලං හිනා වෙතැකි ෂර්ලොක් හෝම්ස් කෙනෙකු නොවී!)

එච්චර භයානක සැකකරුවන් ගංගොඩවිල උසාවියට ගෙනෙනකොට නීතීඥ මහත්තුරු- නෝනා මහත්තුරු තුන්-හාරසීයක් දිගටම අත්පොඩි ගහලා එයාලව පිළිගන්නවා!  

ඒ අස්සේ ඇමතිවරුම කියනවා මේක ත්‍රස්තවාදීන්ගේ වැඩක්ය කියලා. පුදුමේය කියන්නේ ඒ ත්‍රස්තවාදී වැඩේට 50කටත් වැඩිය අත්අඩංගුවට අරං. ඒත් එච්චර භයානක සැකකරුවන් ගංගොඩවිල උසාවියට ගෙනෙනකොට නීතීඥ මහත්තුරු- නෝනා මහත්තුරු දිගටම අත්පොඩි ගහලා එයාලට දිරි දෙනවා! ඒ මදිවට සැකකරුවන්ගෙන් 21 දෙනෙකුටම ඇපත් දීලා. එතනදිත් පොලිසියේ මහත්තැන්ලට සමහර දේවල් වැරදිලාලු.... 

එහෙම බලද්දී නාට්ටියේ පිටපත හරියට ලියවිලා නෑ වගේ නේද? ඒකත් උගුලක්ද?

ඒ මදිවට අර බස් එක ගිනි තියාපු කෙනාව අල්ල ගන්නත් නීතිය රකින මහත්තුරුන්ට තාම බැරි වෙලා වගෙයි! ඒ මහත්තුරු එයාට මුර තියාන හිටිය වගේවත්ද? නැත්තං එයාලත් ෆේල් වෙලාද?
අපේ සාමිතුමා නං එහෙම ෆේල් වෙන්නෙ ඇති බව මෙතැන හිට ඉස්සරහට කියවාගෙන යද්දින් පෙනෙයි!

මම තරමක් ඉස්සරහට වෙලා මුර තියන් හිටිය. සතුරො එනව පේනවා, දූවිලි කන්දරාවක් අවුස්සගෙන. දූවිල්ල හින්ද සතුරො කොච්චර ඉන්නවද, මොන පොටකට එනවද කියල නිච්චියටම බලා ගන්න බැරි උණ. දූවිල්ල අවුස්සගෙන ඒකෙන් අවා-මුවා වෙන එකයි වෙලාවේ හැටියට කරන්න තිබුණෙ. ඒකෙන් මොකුත් දැනගන්න ලැබෙන්නෙත් නෑ, එතකොට මගේ කාරිය ඉස්ට කළා වෙන්නෙත් නෑ.

මගෙ දෙපැත්තෙන් දෙපේළියකට හිටපු බටයින්ට දෙපැත්තට විහිදිල දූවිල්ල අවුස්සගෙන ඉදිරියට යන්න අණ කරල, ඉස්සරහින්ම මගේ අස්සයව පැන්නුව. මේ පිස්සු ගමනෙන් වැඩක් උණා. උනුත් නැවතිල සටන් කරන්න ගත්ත. අන්තිමේදී මගෙ හමුදාවට බයේ එහෙ මෙහෙ දුවන්න පටන් ගත්ත.

කල දුටු කල වළ ඉහගන්!  

ඔයාලට මතක ඇති නෙව ‘ඩ්රැකී ආදිපාදතුමා නොහොත් නුවරඑළියේ අල කොමසාරිස්තුමා’ත් එක්ක නිදි සුහද වලියක් දාගත්තා. ඒකේ result එක විදිහට ඩ්රැකීට වුණා ‘The Singular Adventures of Baron Munchausen’ පොත පාදක කරගෙන හැදුණු film එක ගැන පෝස්ටුවක් ලියන්න. එහෙම නේන්නං වෙන්නෝනිත්.
අපේ තාත්තා අපට උගන්නලා තියෙන්නෙත්
අම්මව දෙනවය කිව්වා නං - තාත්තව ගස් බැඳලා හරි දියං!’ කියලයි.

ඔය ඉන්නෙ අලුත් අලුත් කරණම් ගගහ- අනිත් අස්සයො එක්ක සෙල්ලම් කර කර!

ඉතිං, වචනේ රැකලා The Adventures of Baron Munchausen- (1988) ෆිලුම ගැන ලිව්වට ස්තුතියි ඩ්රැකී මහත්තයෝ. ඒකෙනුත් වැඩියත්ම පළ නෙළා ගන්නෙ මං. Film එකෙන් copy කර ගත්තු ෆොටෝස් කීපයක්ම දැනටමත් මේ පෝස්ටු ලස්සන කරන්න අරං තියෙනවා දකින්න ඇතිනේ. කල දුටු කල වළ ඉහ ගත්ත වගේ.

තව ඉස්සරහටත් ඒ වැඩේ වෙයි, හොඳේ ඩ්රැකී මහත්තයෝ!

ඒ චිත්‍රපටය ගැන තව අටුවාවකුත් ලියන්න තියෙනවා. එක දවසෙම ඔව්වා ලියන්නය? පස්සේ ලියන්නං. ආයෙමත් පොත පෙරළලා ඉඳිමු....

අපිත් ඉහගෙනම කන්න කියල හැම අතකටම බැට දුන්න. දීල උන් සී සී කඩ එලව දැම්ම. ආපහු උන්ගෙ බලකොටුව ඇතුළට විතරක් නෙවෙයි, ඉනුත් එහාට යනකං පන්න ගෙන ගියා. මේක පටන් ගත්තේ නං මැරෙන්න බලාගෙනමයි.

මගෙ අස්සයට පිං සිද්ද වෙන්න මම ළඟ ළඟම හතුරන්ව අඹවගෙන ගියා. නුවරට වැදිල අනිත් පැත්තෙ දොරටුවෙන් උන් පැනල ගිය හින්ද, මම හිතුව කඩ වීදියෙ නැවතිල මගෙ මිනිස්සුන්ට ටිකක් විවේක දෙන්න ඕනෑ කියල. නැවතුණ. කෝ මගෙ මිනිසුන්ට මොනව වෙලාද?

එකෙක් නෑ පේන්න. ඒ ගොල්ල අනිත් වීදි පීරගෙන යනව වෙන්න ඇති. කොහොමටත් කිට්ටුවම නැතෑ. ඉක්මනටම ඒවිනෙ!
එහෙම හිතල මම හති දදා ඉන්න අස්සයට තිබාසෙ නැද්දැයි කියල අරං ගියා වීදියෙ තිබුණු වතුර ටැංකියක් ගාවට.

ඌත් බොන්න ගත්ත- නැවතිල්ලක් නෑ. තිබාසෙ අඩු වෙන හැඩකුත් නෑ. ඒක පුදුමයක්යැ. මිනිස්සු එනවද කියල ආපහු හැරිල බලපු මගෙ ඇස් දෙකට පෙනුණෙ මොකක්ද? අස්සයගේ පස්ස පැත්ත එහෙම පිටින්ම නැති වෙලා- බඳයි පස්ස ගාත් දෙකයි. හරියට දෙකට මැදින් පොලු ගහල දැම්ම වගෙ. වතුර කොච්චර බිව්වත්, වක්කඩ කැඩුව වගෙ බොන බොන ටික පස්සෙන් බිමට වැක්කෙරෙනව.

ඊට පස්සේ යුද්දෙට යනකොට මට අව්වෙන් හිරිහැරයක් නෑ. ඒ ආරුක්කුවට පිං සිද්ද වෙන්න ඔළුව පරෙස්සම් කර ගෙන ගියා.

මේක කොහොම වෙච්ච දෙයක්ද කියල මට නං හිතා ගන්න බැරුව ගියා. ටික වෙලාවකට පස්සේ මගෙ කණ්ඩායමේ එකෙක් ආපි මෙතෙන්ට.

ඇවිල්ල මාව පණ පිටින් දකින්න ලැබිච්ච එක ගැන නොසෑහෙන්න සතුටු උණා. කතන්දරේ වෙච්ච හැටිත් මිනිහම කියල දුන්න.
පැනල දුවන සතුරො අස්සට මං යකා වාගෙ පැන්නහම උන් එක පාරටම දොරටුව තද කරන දොර පාත් කරල තියෙනව. ඒ පාත් වෙනකොටම තමා අස්සය ඇතුළට පැන්නේ. එතකොට උගේ පස්ස කෑල්ල කැපිල පිටංගලේ ඉතුරු වුණා. වලිගෙ පණ තිබුණොත් ඇතිනෙ
? ඒ කෑල්ලත් ටිකක් වෙලා යනකං හතුරො මැද්දට වෙලා උන්ට බරපතල විදිහට පාර දුන්නලු. පස්සෙ නුවරට ඇතුළු වෙන බැරිකොට කිට්ටුව තියෙන තණ පිට්ටැන්නකට ගියාලු.

මගේ ගෝලය කියන හැටියට නං තාමත් ඒ කෑල්ල එතැන ඉන්න ඕනෑ.

මම එවෙලේම අස්සය හරව ගත්තා. උගේ ඉස්සරහ කෑල්ල එක පිම්මේම මාව අරගෙන දිව්වෙ පිට්ටැන්නට. ආ! ඔය ඉන්නෙ අලුත් අලුත් කරණම් ගගහ- අනිත් අස්සයො එක්ක සෙල්ලම් කර කර!

අස්ස පලු දෙකම පණ පිටින් බව දැන් විශ්වාසයි. ඒක හින්දා අපෙ අස්ස වෙදාට පණිවිඩයක් ඇරිය, කිසි පමාවක් නැතුව. මිනිහ කිට්ටුව හොයා ගන්න තිබිච්ච මාපත්- කුරුඳු රිකිලියි, ළපටි දලුයි අරන්, ඒවයින් කෑලි දෙක එකට තියල මැහුව. තුවාලේ එතැනම හොඳ උණා. ඒත් මේ වගේ ඉස්තරම් අස්සයකුට මිසක් නොවෙන දෙයකුත් උණානෙ.

අර රිකිලි අස්ස බඳේ පැල උණා; අතු ලියලුවා.... ලියලල මගේ ඉහට උඩින් ආරුක්කුවක් නැව්ව වගේ වදුලක් හරි ගියා. ඊට පස්සේ යුද්දෙට යනකොට මට අව්වෙන් හිරිහැරයක් නෑ. ඒ ආරුක්කුවට පිං සිද්ද වෙන්න ඔළුව පරෙස්සම් කර ගෙන ගියා.

අන්තිමේදී තුර්කිකාරයෝ පරාද වෙලා ගියාට පස්සෙත් මගෙ අත එක හැටියකට තියා ගන්න බැරුව ගියානෙ.

ජම්මෙට වැඩිය ලොකුලු පුරුද්ද!

එහෙම ලස්සනට යුද්ද කරපු එකෙන් මට පොඩි කරදරයක් උණා. ඒකත් කිව්වම මොකද- කොච්චර කලක් තිස්සේ, කොච්චර තදේට හිතක් පපුවක් නැතිව හතුරො පොලු ගැහුවද කියතොත්... අන්තිමේදී තුර්කිකාරයෝ පරාද වෙලා ගියාට පස්සෙත් මගෙ අත එක හැටියකට තියා ගන්න බැරුව ගියානෙ.
පුරුද්ද දිගටම කර ගෙන යන්න හදනව. බැරිම තැන
, මාවම තුවාල කළෝතින් නැත්තං ළඟට එන මගෙම මිනිස්සුත් කැපුවොතින් කියල- මම හරියටම සුමානයක්, පටියක් දාල අත උරෙන් එල්ලන් හිටිය.

අස්සය මෙහෙම නං උගෙ හාම්පුතා කොහොම කෙනෙක් වෙන්න ඕනැද?

මෙන්න එක උදාහරණයක්.

මට නම හරියට කියන්න බෑ. අපි එක නගරයක් වටලාගෙන හිටිය. අපෙ ලොක්කට ඕනෑ වුණා බලකොටුව ඇතුළේ මොන මොන කටයුතු කෙරෙනවද කියල සෝදිසි කර ගන්න.

මනුස්සයෙක්ට නං ඒක ඇතුළට යන්න පාරක් නෑ. මුරකාරයෝ අස්සෙන්, තාප්ප කඩාගෙන කොහේ යන්නද? යන්න පුළුවන්ද කියල උත්සාහ කරල බලන්නවත් එකෙක් නෑ ඉස්සරහට එන්නේ....

මගේ නිර්බීතකම ඉහවහ ගිහින්ද, උනන්දුව වැඩිකමටද මන්ද, මම ගොහිං අපෙ කාලතුවක්කුවක් ළඟ හිට ගත්තා. ඒකෙන් වෙඩිල්ල තියනවත් එක්කම- උණ්ඩේ උඩට පැනල බදා ගත්ත. උණ්ඩෙත් එක්ක හතුරන්ගෙ නගරේ ඇතුළට යන්නයි මගෙ අබිප්පරාව. මගක් තැන් යනකොට මම කල්පනා කරන්න පටන් ගත්තා.

හ්ම්! යන ටික නං බෑ නොකියා යන්නෙ නැතෑ. කොහොමද ආපහු එන්නේ? එහාට ගියාට පස්සෙ උඹට මොනව වෙයිද? හොඳට සලකයි නේද? ඔත්තුකාරයෙක්ය කියල කං කෙටියෙන් ඇදන් ගිහිල්ල ළඟම තියෙන ගහේ එල්ලල තියයි! මැංචෝසන් පුතෝ, මේක නං උඹට ඔබින මරණයක් නෙවෙයි!

මම දැක්ක සතුරන්ගෙ බලකොටුව පැත්තෙන් අපෙ පැත්තට වෙඩි තියාපු උණ්ඩයක් ළඟින් මාරු වෙනවා. ඒක උඩට පැන ගෙන...

මෙච්චර නෙවෙයි, ඔළුවට ගලා ගෙන එන නිමක් නැති කල්පනාවල්. එතකොටම මම දැක්ක සතුරන්ගෙ බලකොටුව පැත්තෙන් අපෙ පැත්තට වෙඩි තියාපු උණ්ඩයක් ළඟින් මාරු වෙනවා. ඒක උඩට පැන ගෙන ඒ පිහිටෙන් ආපහු අපෙ සෙනඟ මැද්දට ආව. ගිය වැඩේ කරගෙන නං නෙවෙයි. ඒ වුණත් පරාණ කූඩුව ආරක්ෂා කරගෙන.

කරණම් ගැහිල්ලට මම කොච්චර හපනෙක් උණත් මගේ රත්තරං අස්සය ඊට ඉහළයි. අගල් වැටවල් තියා මහමෙර තිබුණත් උගෙ නැවතිල්ලක් නෑ- ඉස්සරහටමයි ගමන.

දවසක් මං එලවාගෙන ගිය හාවෙක් මහ පාර හරහා පැන්න. ඒ වෙලාවෙම ලස්සන නෝනලා දෙන්නෙක් එක්ක කරත්තයක් ආපි ඔය අතරට. දෙපැත්තේ කවුළු දෙක ඇරලයි තිබුණේ. මගෙ අස්සයා ඔය කවුළු දෙක අස්සෙන් පැන්න ඇඟට නොදැනී.
කොච්චර වේගෙකින් පැන්නද - නෝනලා ඉස්සරහදී තොප්පිය උස්සල ආචාර කරන්න හරි
, කිසිම ඇහුමක් බැලුමක් නැතුව මෙහෙම අස්සෙන් රිංගුවට සමාව ඉල්ලන්න හරි වෙලාවක් තිබුණෙ නෑ!

තව තෙනකදී මට විලකින් එගොඩට පනින්න ඕනෑ උණා. විලේ මැදක යනකොට මට පේනව, හිතුවට වැඩිය මේක විසාල බව. ආපහු ආයිත් මෙගොඩට ආව, ඊට වැඩිය හයියෙන් පිම්මක් පනින්න කියල.
දෙවෙනි සැරේ පනිද්දී ගැම්ම හරි ගියේ නෑ. දියට වැටුණා කර වැටක් යනකං ගිලිල. තව ඩිංගෙන් ගිලිල මැරෙනව.

ඊට ඉස්සෙල්ල මම මගෙම අතේ වීරියෙන් කෙස් වල්ල අල්ලල මාව උඩට ඉස්සුව. ඒ අව්වස්සේ අස්සයවත් දණිස් දෙකට තද කරගෙන බේර ගත්ත.

ඉතිං ඊට පස්සේ... 

25 comments:

  1. ලොකු බස් එලවන්නේ කකුල් එළියට දමා ගෙනද? - වෙන්ට බැරි කොමකුත් නෑ නිදි.... 😄😄😄

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ මේ දවස්වල හොම්බෙන්

      Delete
    2. Pra Jay මහත්තයෝ, හොම්බෙන් කිව්වම මේ දවස්වල කියවෙන කාන්තා රත්නයක් ගැනත් සිහි වුණා. දඟර කාලෙ අහන්න ලැබිච්ච පද පෙරලියකුත් මතක් වුණා. 'හොම්බේ කිරි'.

      Delete
  2. මැංචූසන් කතාව වගේම තමයි ලංකාවේ ඉතිහාස කතාවත් එහෙම නේද නිදී අංකල් මොකද මම හිතන්නේ ලංකාව මේ තියෙන වලෙන් ගොඩ එන්න නම් 74 වසරක් පුරාවට මේ දක්වා බිහි වුනු කිසිම පක්ශයක්, දෙශපාලුවෙක් අවශ්‍ය නෑ. අවශ්‍ය එකමුතු ජාතියක්, නිවැරදි දැක්මක් , නිවරදි කර්මාන්ත සහ හොරකම ,අයුක්තිය ඉදිරියෙ නොනැමෙන නීති පද්දතියක්. මෙ ටික තෙරුම් ගන්න degree නම් ඔනි නෑ. මොකද 70වසරක් පුරාවට රටෙ මිනිසුන් පරම්පරාවෙන් පරම්පරාවට ලබපු අත්දැකීම් හොදටම ප්‍රමානවත්. අපෙ රට , ජනතාව වෙනුවෙන් කතා කරන හැප්පෙන සියලු ශ්‍රී ලාන්කිකයෙකුටම මාගෙ උත්තම ආචාරය..������ ඒ වගේම අර සජිත් ප්‍රේමදාස කියන මහා රට ගොන් හත්වලාමට කඩේ යන රටහරක් හැත්තයි අනුර කුමාර කියන මෙලෝ හසරක් නොතේරෙන කයිවාරු පප්පාගේ වහල් මීගව සම්පතයි දෙකම සහ තව වෙනත් ඒ වගේම කයිවාරු කාරයෝ ටිකත් මේ අමු මැටි ගොබ්බ ආණ්ඩුව එක්කම එලවලා දාන්න හිතුවා අලුත්ම සෙට් එකක් පත් කිරීමට ඕන මේ රටට, දේශපාලනයෙන් තොරව... එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=foJcfRt55EI

      Delete
    2. අපේ රටේ ප්‍රජාතන්ත්‍රය ආරක්ෂා කරන්න එන මොන පක්ෂය ඇතුළෙද හැබෑ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කටයුතු සිද්ද වෙන්නේ? එහෙම පක්ෂවලින් කෙරෙන්නේත් රජ කාලේ වගේ වැඩ නේද? අපට තෝරා ගන්න වෙන්නෙත් එයාලා ඉදිරිපත් කරන අයම නේද?

      ඒත් එක්කම, උගතුන්- ජනමත නායකයන් වැනි අය මේ ක්‍රමය ඇතුළේදී කොච්චර පීචං වුනාද කියලත් බලන්නකෝ.

      Delete
  3. ඇත්තෙන්ම මං දශක 2කින් විතර එපිසෝඩ් එකකට වඩා බැලුව ටෙලිඩ්‍රාමා එක පාර දිගේ. ඒකත් සුමානෙට දවස් 4ට වඩා නෑ. ඒකෙ එකම සිත්ගන්නාසුලු චරිතය හා රගපෑම මට නම් රොශාන් පිලපිටියගෙ විතරයි. බණ්ඩා හරිම ඒකාකාරීයි.

    ReplyDelete
    Replies
    1. බලන්න ගත්තා. හොඳ පාටයි, ප්‍රොඩක්ෂන් කොලිටිය හොඳයි.

      Delete
    2. මේ පෝස්ටුව ලියන්න කලින් එපිසෝඩ් දෙකක් බැලුවා. ඒත් (එච්චර විවේකයක් නැති නිසා) මෙගා ටෙලි නොබලන මගේ ප්‍රතිපත්තිය හින්දා පාර දිගේ බැලුවේ නෑ.

      Delete
    3. මුල කොටස් කීපයක් හා මැදින් තවත් කීපයක් බැලුවම කතාව හදාගන්න පුලුවන් නිමල්, හැබැයි බලන්න ගත්තම කරදර තමයි.

      රයිගම් ටෙලීස්වලින් පස්සෙ 'පෝක් වීදිය' නාට්ටියේ කොටස් කීපයක් බැලුවා- ඇත්තටම ඒවා උසස් නිර්මාණ. නමුත් එකිනෙකාගෙ රස වින්දනය වෙනස්නෙ. පෝක් වීදියෙ විල්සන් (සමීත සුධීශ්වර) පටන් ගන්න මොහොතේ සිට හිත පැහැරගන්නවා. ප්‍රාජේ කියලා තියෙනවා වගේ පාර දිගේ බංඩා ඒකාකාරී චරිතයක් නමුත් කුසල් අමුතු විදිහක කැරිස්මා එකක් තියෙන නලුවෙක්.

      Delete
    4. Lotus, මෙගා නාට්‍යවල වුණත් හැටි දැනගැනීම (update වීම) සඳහා ඒවායින් කොටසක් දෙකක් බලන පුරුද්දක් මට තියෙනවා. පෝක් වීදියත් හොඳයි. ඒත් මෙහෙ මෙගාවල වියදම අඩුවෙන් කරගන්නට වෙන නිසාද කොහෙද ඒවායෙන් ගොඩක් 'අදිනවා!'නේ.

      මේ දිනවල මම බලන්නේ 'පීතෘ' විතරයි!

      Delete
  4. පොතේ කියල නොතිබ්බට, ඔය මැංචෝගෙ පුතා_මැංචෝ-සන්) ලංකාවට ආ වෙලාවෙ, සලකුන තියලා ගියා වෙන්න බැරිද? ජානවල සමාන කමක් පේනවද?

    https://www.youtube.com/watch?v=BVV2C_kTGlo

    ReplyDelete
    Replies
    1. ජානවල සමානකමක් තියෙන්න පුළුවන් නේන්නං අප්පේ!
      ශ්‍රී ලංකාවේ අපි පිටින් එන ඕනිම කට්ටියක් ඉඹලා පිළිගන්න එකනේ කළේ. ඒ මදිවට තමන්ගේම එවුන්ට වළ කපන්නත් උදව් වෙනවා. කුවේණි කළෙත් ඒකම නේද? ඒ කතාව පිළිගන්නවා නං අපේ ආදිවාසීන්ගේ සීයා විජය! එතැනත් ජාන මුසු වීමක්.

      අනෙක වලව්වල පැටිකිරියත් අවුල්නේ ගොඩ වෙලාවට. වලව්වේ අප්පොලා නින්දගම්වල ඉන්න රූබර නාඹර ගැටිස්සියෝ දඩයමේ යද්දී, සමහර කුමාරිහාමිලා වලව්වේ අලි බලන්නෝ වගේ දඩබ්බර වැඩ කාරයන්ව නිදන ගෙට කැන්දා ගත්තාය කියන කතාවත් මෙතනදී මට මතක් වෙනවා.

      අතීතයේ අපේ රටේ තවත් චාරිත්තරෙකුත් තිබිලා තියෙනවනේ. ලොක්කෙක් තමන්ගේ ගං තුලානට සැපත් වෙනකොට උන්නැහේට අන්න-පාන, ඛජ්ජ-බොජ්ජ සපයලා අහකලා නිදි වදින්නටත් අංගනාවක් සපයන. එහෙම වෙලාවට සමහරු තමන්ගේ ඇඹේණිය හරි දියණිය හරි වුණත් ඒ කාරියට යැව්වලුනේ.

      මම ඔය ජාන මුහුවීම නං තදේටම විශ්වාස කරනවා. අපේ රටේ දහ දෙනෙක් ගත්තොත් දහ විදිහක් නෙව, පෙනුමෙන් පවා.

      Delete
    2. මාත් ඔය කතාව අහල තියනවා. අර මැද මුලානෙන් ආපු පරම්පරාව මන්චෝසන් සාමි ආපු ගෙදරක නවතින්න දුන්නයින් උන වින්නැහියක් කියන එක 😁

      Delete
  5. 'පාර දිගේ' ටෙලි නාට්ටියෙ යූ ටියුබ් කමෙන්ට්ස් බැලුවොත් බොරුව කොයි තරම් මිනිස්සුන්ගෙ ප්‍රියතම අයිටම් එකක්ද කියලා තේරුම් ගන්න පුලුවන්. අපි හැමෝගෙම ජීවිතවල අඩු වැඩියෙන් බොරුව තියෙනවා තමයි. නමුත් තමනුත් රැවටිලා, අනිත් අයත් රැවටිලා කියලා හිතලා, බොරුව තරම් ලස්සන දෙයක් නෑ කියලා හිතන අය කොච්චර ඉන්නවද කියලා කමෙන්ට්ස් බැලුවම හිතෙන්නෙ. කතා රචක සද්ධා සූරියබණ්ඩාරවත් බලාපොරොත්තුවෙන්න නැතුව ඇති ඒවගේ බොරුව කර උඩ තියාගත්ත රසිකයින්.

    "අහංකාරකමක් නැති උදවිය යුද්දෙකදී ලබපු ජයග්රහණ කරට ගන්නෙ නෑ." ෂික්.. මේ මැංචෝසං කිසිම දේශප්‍රේමී කමක් නැති මනුස්සයෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. රොබට් නොක්ස් උන්නැහේත් එයාගේ පොතේ ලියල තියෙනවනේ අපේ බොරු කීමේ පුරුද්ද ගැන. කිසිම ලජ්ජාවක් නැතිවනෙ අපි බොරු කියන්නේ. ඒ එක්කම එහෙම දෙයක් කිව්වයි කියල අමතක කරන්නෙත්. Lotus, අපේ රටේ දේශපාලකයෝ තෙල්- ගෑස් ගැන මාසයක් තුළ කියපු කතන්දර හොයා බැලුවොතින් මං කියන කාරනාව පෙනෙයි.

      දේශප්‍රේමී අහංකාර උද්ධච්ච මෝඩයො නං අනුන්ගේ ළමයින්ට හරි උප්පැන්නේ දෙනවය කියනවනේ!

      Delete
  6. අර වටකරගෙන සෙත් පතන හැටි දැක්කාම මටත් හිතුනා වුඩූ නැටුමක් නටවන්න.
    https://www.youtube.com/watch?v=Vp15atCv2RA

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ, අපිත් වූඩු නටමු, රට කරවන ඇත්තෝ නං මොනර නැටුම් නැටුවා පස්ස එළියේ බව නොදැන!

      Delete
  7. https://sardhiyel.blogspot.com/2022/04/blog-post.html

    ReplyDelete
    Replies
    1. මම්මලේ, කාලෝචිත ලියවිල්ලක්! කියවලා මෙන්න මෙහෙම ලියලත් ආවා.
      //වැටිලා පස්ස තැලුණම මොළයට හොඳය
      කියමන ඇත්ත වාගේ දැන් පෙනෙනවය
      අපට මොළය පෑදෙන්නේ හෙමිහිටය
      රට කළ හැත්ත රටටම දැන් අරහංය

      මේ තත්ත්වයට රටේ මිනිසුන් පත් කිරීම වෙනුවෙන් පාලක හැත්ත-බුරුත්තටම ගොඩක් ස්තුතියි!//

      Delete
  8. ඔය කෙස් වල්ලෙන් ඇදල ගත්ත කොටස ෆිල්ම් එකෙත් තියෙනව වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. හැබෑට, හොදටම මතකෙයි...? ඉක්මනටම ගොඩක් දෙනාට මතක නැති වෙන්න වගෙයි යන්නෙ.

      Delete
  9. සන්නස්ගල එක්ක බොහෝ තැන්වල එකඟනැති මත අස්සෙ... හරිම ජනඅරගලය විය යුත්තේ කෙසේද.. සන්නස්ගලගෙන් දැනගන්න
    https://www.youtube.com/watch?v=KzXntuvThzU
    https://www.youtube.com/watch?v=75lljiRqiWw

    ReplyDelete
    Replies
    1. ඒක තමයි විය යුත්තේ නමී. කොතනින් වුණත්, කාගෙන් වුණත් කමක් නැහැ- ගත යුතු දෙයක් තිබෙනවා නං අරගන්න ඕනි!

      Delete