අකුරු මැකී නෑ

Wednesday, April 6, 2022

සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස

දෙහිවල නිළිය සෙවීමේ project එක දියත් වුණේය!  

කිසිම කෙනෙකුට සදාකාලිකවම එකසේ වැජඹිය නොහැකිය. කොතැනක වුව හිණි පෙත්තේ සිටිය හැක්කේ ටික කාලයක් පමණකි. අලුතෙන් කෙනෙක් එතැනට එද්දී, තමන් එතැනින් ඉවත් විය යුතුය; ඒ එතෙක් හිමිව තිබුණු ගෞරවය නොබිඳී- නොනැසී තිබියදීමය. ඒ සත්‍යය මට තේරුම් ගියේ පසුවය.... නොමේරූ වයසේදී කෙනෙකුට ඒවා තේරුම් ගැනීමට බැරි වීම පුදුමයක් නොවේ... පුදුමය; අද හැට-හැත්තෑව පිරුණු බොහෝ දෙනාට පවා ඒ කරුණ දුරවබෝධවී තිබීමය.

මගේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ තාත්තාට වැඩක් නැත. දෙහිවල නිළිය සෙවීමේ project එක දියත් වුණේය! ඉතිං ඊට පස්සේ....

“එහෙනං මම ප්‍රැක්ටිස් වෙන්න ඕනි නැහැනේ!” ඒ මෙහෙයුම හින්දා හිත රිද්දාගෙන හිටි මගේ නොරිස්සුම පසුව දවසක එළියට පැන්නේ නොසිතූ වෙලාවක නොසිතූ විදිහටය. “ඔය හොයන්න යන නිළියෙක් ආවට පස්සෙම ඕනි මඟුලක් කර ගන්න එකනේ තියෙන්නෙ!”

ඒ වෙද්දී අපේ සිංහබාහු නාට්‍යයේ පුහුණුවීම් පටන් ගෙන තිබිණි. එදා පුහුණුවීම් පටන් ගන්නට හදද්දී, මොකක් හෝ හේතුවක් නිසා මං හිටියේ අප්සෙට් මූඩ් එකකය. මල පැනලාය!

“මොකක්ද උඹ කිව්වේ? කියපං බලන්න ආයෙත් මට ඇහෙන්න... තලනවා උඹේ කට! තොට අර්ශස් තද වෙලද... යකෝ, තොපිව ජාතක කළේ මං. තොපි මේ වහලේ යට ඉන්නවා නං උඹලා වැඩ කරන්න ඕනි මං කියන විදිහට... මමයි මේ ගෙදර ගෘහ මූලිකයා. මම කියන එක කරන්න බැරි නං උඹලට ඕනි දිහාවකට තොලොන්ජි වෙලා පලයල්ලා, මට පව් නොදී....” අපේ තාත්තා පුපුරා හැලුණාම එහෙමය.

තමන්ගේ අතේ බලය තියෙනකොට කවුරුත් එහෙමය.
බලයට යට වෙලා ඉන්නවුන් ඕනෑවට වැඩියෙන් යටහත්- පහත්- කීකරු උදවිය වෙන්නට ගියාම බලැත්තෝ පමණටත් වඩා ඉදිමෙති.
තැලෙන යකඩය දැක්කාම ආචාරියා උඩ පැන-පැන තලනවා වගේ, එයාලාත් තව-තවත් බලය පතුරවන්නට පටන් ගනිති. පුංචි සිංඤෝලාගේ රතු කට්ට පනින්නේ එහෙම වුණාමය.

ඔවුන්ට විපතක් නොවේවායි සෙත් පැතීම පමණකි, මං වගේ උදවියට කළ හැක්කේ.

පෙනෙන විදිහට නං මේ දවස්වලත් වෙලා තියෙන්නේ එහෙව් දෙයකි. 71, 83, 88 කාලවලදී වුණා වගේ; තිස් අවුරුද්දක් තිස්සේ වුණා වගේ මෙදා සැරෙත් රටේ බුද්ධිමත්, සවිමත් තරුණ කොල්ලන්-කෙල්ලන් දහස් ගණනින් විනාශ නොවේවා!

ඔවුන්ට විපතක් නොවේවා!! යි සෙත් පැතීම පමණකි, මං වගේ උදවියට කළ හැක්කේ.

එදා පමණටත් වැඩියෙන් නිවට වෙන්නට පුරුදුවී හිටි මට, තාත්තාත් එක්ක එකට-එක කියා ගන්නට බැරි වුණේය. තරහ වැඩිකම නිසාත්, ලජ්ජාව නිසාත් මගෙන් හෝ ගාලා කඳුළු බේරෙයි.

“රංජි, සැරයක් කිව්වම අහපං. මේ සරතුත් ඇවිල්ල ඉන්න එකේ.... ඇවිත්.....”
“නෑ නෑ ගුණපාල අයියෙ. මම ආවයි කියල ප්‍රශ්නයක් නෑ. රංජි මල්ලිට බැරි නං අපි අද නිකං ඉඳිමු.” සරත් අපේ තාත්තාට කිව්වේය. “රංජි මල්ලිට බනින්න එපා...”

හිටි ගමන් තාත්තාත් මාත් අතර ඔහොම ගැටුම් ඇති වෙයි. ඒ හැම එකක්ම කෙලවර වෙන්නේ එකම විදිහටය; මං පසු බැහැලාය.

නමුත් ඒ වගේ ගෝරිවලදී, නාට්‍ය කණ්ඩායමේ වෙනින් කවුරුන්වත් ඒවාට මැදිහත් වෙන්නට නොඑයි. ආවොත් අපේ තාත්තා එයාලා එක්කත් පැටලෙන හින්දාය.
ඒ විත්තියක් නොදන්නා නිසාය, එදා සරත් සංහිඳියාවට කතා කරන්නට ඇත්තේ.

“මේ සරත්. මම හොඳින් කියන්නේ. ඌයි මායි තාත්තයි පුතයි. අපේ ප්‍රශ්න අපි බේර ගන්නං, පිටස්තර කවුරුවත් ඒවා මැදිහත් වෙනවට මං කැමති නෑ.” තාත්තා කිව්වේ කිසිම පැකිළීමක් නැතිවය.

ඒ සමීපවීම් බොහොමයක කූඨප්‍රාප්තිය එළඹුණේ ලෛංගික ක්‍රියාවක් ලෙසිනි.

කැමැත්තෙන් කවුරුන්වත් මැදිහත් කරවා නොගත්තත්, භානු යාළු 1 වැනි දෙතුන්-දෙනෙක්ම එහෙම ගෝරිවලට පස්සේ එකිනෙකාට රහසින් ‘රංජි මල්ලී’ව සනසන්නට ඉදිරිපත් වූහ. ඒ සමීපවීම් බොහොමයක කූඨප්‍රාප්තිය එළඹුණේ ලෛංගික ක්‍රියාවක් ලෙසිනි.

ඒ තරුණයන් සියල්ලෝම ඒ වෙද්දී උතුරා යන තාරුණ්‍යයේ පසු වූවෝ වූහ. කුමර අවධියේ සිටම ‘සමකාමී කිහිප දෙනෙකුගේ’ම passive partner භූමිකාවට අවතීර්ණ වී සිටි මට, ඒ කිසිදු සමීප වීමක් අරුචි නොවීය.

නමුත් එකක් කිව යුතුය.
ඒ සමහර සමරිසි ඇරයුමක් ප්‍රතික්ෂේප කරන්නට සිතක් පහල විණි නම්, දැඩිව එසේ කරන්නටද මා පසුබට වූයේ නැත. අභී අයියාට හොඳටම වසඟවී සිටියදී පවා, මා
ඔහුගේ සොයුරු බිංදු අයියාගේ උත්සාහයන් සියල්ලම පල රහිත කළ හැටි හොඳම නිදසුන්ය. එසේ කෙරුණේ මට සමහර දෙනෙකු ළඟ ‘මොකක්දෝ පෙන්නන්නට බැරි ගතියක්; අල්ලන්නේ නැති ගතියක්’ තියෙනවා වගේ හැඟුණාමය!

ඒ අටුවාව කිව්වේ නිකම්ම නොවේ. සිංහබාහු නාට්‍යය කෙරෙන කාලයේදී මං ‘පෙම්වතියක් වූ තරමටම ආදරවන්ත ගැටවරයෙකු වී’ හිටි විත්තිය කියන්නටය.
ඒ දීඝායු කෙරෙහි වූ
මගේ උන්මත්තක සෙනෙහස සිඳී යමින් තිබුණු සමය වුණු බවද, මට අමතක නොවේ.

ගසක එතෙමින් ඉහළට ඇදෙන ලතාවක් මැදින් කපා දමන්න. සිදු වෙන දේ දින කිහිපයක් තිස්සේ සැලකිලිමත්ව නිරීක්ෂණය කරන්න. ඉක්මනින්ම ඒ කපා දැමූ වැලෙන් තවත් රිකිල්ලක් වර්ධනය වී කලින් වාගේම ගසේ වෙළෙන්නට පටන් ගන්නා හැටි ඔබට පෙනෙනු ඇත.
ලියවැලක සොබාවය ඒකය; ඉරණම ඒකය.
ලතාවකට ආධාරකයක් ඇවැසිමය.
ඒ දිනවල මෝඩ මාත්, මං ගැන සිතාගෙන සිටියේ එපරිද්දෙනි.

එබැවිනි, සංජේ සවිමත් ආධාරකයක් ලෙස මා දකින්නට ඇත්තේ. (කමන්න. සංජේ අන්වර්ථ නාමයක් විතරය. නාට්‍ය කණ්ඩායමට එක්වී සිටි ඔහුගේ අනන්‍යතාව සඟවමිනි, මට මේ සිදුවීම් ගැනත් සටහන් කරන්නට වෙන්නේ.)

ඔහු සොඳුරු සංවාදශීලියෙක් විය. සුළු දෙයකින් පවා ආවේගශීලීවී හැඬුම්බර වෙන මගේ කඳුළෙන්...

සංජේ සමකාමියෙකු යැයි අදටත් මා සිතන්නේ නැත.
එහෙත් ඔහු සෙනෙහෙබර සිතැත්තෙක් විය; සොඳුරු සංවාදශීලියෙක් විය. සුළු දෙයකින් පවා ආවේගශීලීවී හැඬුම්බර වෙන මගේ කඳුළෙන් ඔහුගේ ළය මඬල තෙමෙනවාට අකැමැති නොවූවෙක් විය.

මගේ පැත්තෙන් බලද්දී, මට කායික ලිංගික අවශ්‍යතාවක් විණි නම් එය සපුරා ගන්නට සහායකයන් හිඟ නොවීය. එහෙත් ඒ සමීපවීම් සියල්ලම විනාඩි කිහිපයකට සීමාවූ ඒවාය.

මට දැඩි ලෙසම අඩුවක්ව පැවතියේ පිරුණු සෙනෙහසක උණුසුම බව මටත් තේරුම් ගියේ, සංජේ අබියසදීය.

අජාසත්ත නාට්‍යයේ බිම්බිසාර දේවියවී පටන් ගත් ස්ත්‍රී භූමිකා රඟපෑමේ අවස්ථා ඉක්මනින්ම අහිමි වෙන බව මට පසක් වෙමින් තිබුණු සමයේ....
සුප්පා දේවිය වෙන්නට නොහැකි වෙතියි හැඟෙමින් තිබුණු සමයේ...
සංජේ නිතර මා සමඟ කතාබහට යොමු වුණේය. මගේ පිස්සු දෙඩවිලිවලට බාධා නොකළේය.

කෙනෙකුට හොඳින් සවන් දීමෙන් ඔබට ඔහුගේ/ ඇයගේ කැමැත්ත දිනාගත හැකිය! කෙනෙකු ගැන සැලකිලිමත් වෙන බව පෙන්විය හැකි හොඳම මඟකි ඒ!!
සංජේ ඒ විත්තිය හොඳින්ම දැනගෙන සිටියාවත්ද?

අපේ සෙනෙහස ලියලුවේ සෙමෙන්ය; අපටත් නොදැනී- හොරාට වගෙය; එය කායික සබඳතාවක් බවට පත් වුණේත් එහෙමමය.
වැදගත්ම දෙයක් විදිහට මට හැඟෙන්නේ අපට රිසි ලෙස කතාබහේ යෙදෙන්නට පවා තිබුණු සීමිත අවකාශයයි. එය අපේ/ විශේෂයෙන්ම මගේ උද්යෝගය නොසිඳී පවත්වා ගෙන යන්නට උපකාරී වුණු සාධකයකි. (මා, ඒකාකාරී වීමෙන් ඉක්මනින්ම හෙම්බත් වන්නෙකු බව ඔබ දැනටමත් වටහාගෙන ඇතිවා විය යුතුය.)

“ඇයි නිමල් මල්ලී තවම කොට කලිසම් අඳින්නේ?” සරත් රංචාගොඩ දවසක් මගෙන් ඇහුවේ සංජේත් ඉන්නා තැනකදීය.

මං අල්පේච්ඡ කෙනෙකු වගෙය. දිග කලිසමක් ඕනිය කියලා හිතිවිල්ලක් මගේ හිතේ කොනකවත් තිබ්බේ නැත.

මං හිතුවෙ ඒ කතාව එතැනින්ම ඉවරයි කියලාය!

ඉතිං එහෙම ප්‍රශ්නයකට කොහොම උත්තර දෙන්නද?

දිග කලිසමක් මස්සවා ගන්නට යන වියදම වැඩිය. ඒක එක වර කරන්නටත් සිදු වෙන්නකි. අනෙක් පැත්තෙන්, අපේ තාත්තාගෙන් අවසර ගන්නටත් සිදු වෙයි. එහෙම වරම් ගන්නට ගියෝතින් ‘මොකෝ, දැන්මම ඉලන්දාරිකම උඹේ ඉහට ගහලද?’ කියලා තාත්තා කෝන්තර අහනවාටත් සැක නැත.
ඒ ඔක්කොම වමාරන්නට වෙන හින්දාය මං සද්ද නැතිව හිටියේ.

නිරුත්තර මගේ දිහා බැලූ සරතුත්, සංජේත් මුහුණට මුහුණ බලා ගත්තා මිස, ඉන් මනත ඒ ගැන මොනවත් හාරාවිස්සුවේ නැති එක, මට ලොකු සහනයක් විණි.

මං හිතුවෙ ඒ කතාව එතැනින්ම ඉවරයි කියලාය. මට වැරදිලාය!
ඊට සුමාන කීපයකට පස්සේ දවසක සරත්ලා අපේ ගෙදරට එද්දී brown paper බෑගයක දැමූ කලිසම් රෙද්දක් අරගෙන ඇවිත්ය.
“ගුණපාල අයියේ, අපිට වැඩ පොළෙන් හම්බ වෙච්ච කලිසම් රෙද්දක් ඉතිරි වෙලා තිබ්බා. මොකුත් හිතන්න එපා. අපි මේකෙන් රංජි මල්ලිට දිග කලිසමක් මස්සවලා දෙන්නයි යන්නෙ. කලිසම් රෙද්ද මගෙන්... මැහුම් ගාස්තුව සංජේගෙන්.”

“මොනව හිතන්නද.... ඒත් අපේ එකාට දෙනවට වැඩිය හොඳ නැද්ද අයිසෙලගෙන්...”
“අපි දෙන්නටම කලිසම් තියෙනවා ඇති වෙන්ඩ. රංජි මල්ලිත් හෙට අනිද්දා රැවුලත් කපන්න ඉන්න එකේ දිග කලිසමක් ඇන්දම...” සංජේත් කතාවට මැදිහත් වුණේය.

වාසනාවකි!
අපේ තාත්තා කට වහගත්තේය.

මගේ පළමු දිග කලිසම මට ලැබුණේ එහෙමය; තෑග්ගක් විදිහටය. ඒ ගැන ස්තුතියෙන් වැඩි කොටස අයිති සරත්ටද- සංජේටද කියලා නම් මං ඇහුවේ නැත. ස්තුතියි කිව්වා විතරය. අදටත් මං එයාලාට කෘතවේදීය.

ඔහොම දේවල් සිද්ද වෙන අව්වස්සේ ‘සිංහබාහු’ නාට්‍යයේ වැඩ කටයුතුත් ඉබි ගමනින් ඉස්සරහට ඇදුණා මට මතකය. ඒත් එච්චර දේවල් මතක මට, මෙච්චර දවස් කොච්චර වලි කාලාවත් මතක් කර ගන්නට බැරි දේවලුත් තියෙයි.

මෙසමයෙම එදඹදිව - ඉතා පිටිසර ගමක...
පිටු අඩු වෙලා තියෙන, අපේ සිංහබාහු පිටපතේ- දැනට තියෙන පළමු කොළයේ උඩම කොටස, මේ පෝස්ටු මාලාවේ පළමු කොටසින් කියෙව්වා මතකද?

ඊළඟට තියෙන්නේ මේ කොටසය.   

පොතේ ගුරු:
  මෙසමයෙම එදඹදිව
  ඉතා පිටිසර ගමක
  දුටු දනන් බිය කරන
  ගොර බිරම් මහ නපුරු

  මැරකමින් දිවි ගෙවන
  කාටවත් ගරු නොකළ
  රජු වුවත් නොම තකන
  කෙනෙක් විය සන්තොසින්....

  ජන සමාජෙට ඔහුත්
  ඔහුට ජන සමාජෙත්
  එපාවී තිබු නිසා
  විසී ඔහු වනය තුළ

  වන මැදම දිවි ගෙවයි
  රුදු සතුන් බිය කරයි
  සිංහයෙක් විලස ඔහු
  වනයෙ රජකම් කරයි

අපේ කට්ටියේ කොල්ලන්ගෙන් හොඳින් ගායනා කරන්නට හැකියාව තිබුණේ රංජිත් ගුණසේකර අයියාට විතරය. එයා නාට්‍යයේ මහ ඇමතිය. මා ලියූ විදිහට නම් නාට්‍යයේ දුෂ්ටයා මහ ඇමතිය. රංජිත් අයියා පොතේ ගුරා වුණා වෙන්නට ඉඩක් තිබ්බේ නැත.
එහෙනම් ඉතිං පොතේ ගුරාගේ කොටස කළේ කවුද?

කොච්චර මතක් කළත්.... ‘ම්හු!’ ය.

කොයි අම්ම තාත්තද අයිසෙ, කොල්ලො තුන් දෙනෙක් ඇවිත් දෝණියන්දැව නාට්ටියකට එක්ක යන්නද ඇහුවම බක් ගාලා හාකියන්නේ?

දැනට තියෙන පිටපතේ, පළමු කොළයේ උඩින්ම ‘කොළ පාට පසුබිම’ කියන වචන ටයිප් කරලා නැත. ඒවා ලියැවී තියෙන්නේ අපේ තාත්තාගේ අත් අකුරෙනි.

එයින් පෙනෙන්නේ, මේ පිටපත විදුලි ආලෝක ශිල්පීන්ට දෙන්නට හදා තිබුණු විත්තියයි.

‘කමක් නෑ නිදි. මතක ටික කියාගෙන යංකො.’ මම මටම යෝජනා කර ගන්නෙමි.  

“ගුණපාල අයියේ, සරත් කිව්වා අර ගෑනු ළමයව හොයන්න යමු කියලා. මේ ඉරිදට අපි තුන් දෙනා යන්න කතා වුණා...” බන්දුල ජයකොඩි දවසක් වැඩ ඇරිලා එන ගමන්ම අපේ ගෙදරට ආවේ ඒක කියන්නටය.

“තුන් දෙනාය කිව්වේ?” අපේ තාත්තා ඇහුවේය.
“සරතුයි, ඒ ළමයව දන්නවයි කිව්ව යාළුවයි, මමයි...” බන්දු කිව්වේ උජාරුවෙනි.
“මරු, එක ගමනෙන්ම වැඩේ වකූරු වෙන පොටක්නෙ ඕයි.....” තාත්තා එහෙම කියනකොට බන්දුලට නිකංම ඉන්දවුණේය. “කොයි අම්ම තාත්තද අයිසෙ, කොල්ලො තුන් දෙනෙක් ඇවිත් දෝණියන්දැව නාට්ටියකට එක්ක යන්නද ඇහුවම බක් ගාලා ‘හා’ කියන්නේ?”

තාත්තා කියන කතන්දරේ මටත් මීටර් වුණේ එතකොටය.

දූත ගමනකට යන්නට ඕනේ ගැලපෙන උදවියයි. පළමු දර්ශනයෙන්මත් ලකුණු වැටෙන විදිහේ උදවියයි. තමන්ගේ අබිප්පරාව අනිත් පාර්ශ්වයේ අයට තේරුම් කරලා දෙන්නට සමර්ථ උදවියයි. පුදනකොටම කාපි යකා පන්නයේ කතා කියන අය නොවේ.

“එතකොට කවුද යන්න හොඳ?” බන්දු ඇසුවේය.
“වැඩිහිටි ගෑනු කෙනෙකුත් හිටියා නං තමයි හුඟක් හොඳ....” තාත්තා කිව්වේය.
“ලීලක්කව එක්ක යමුද එහෙනං?” බන්දුලට කියැවුණේ එතකොටමය.

මාත් එන්නයැ ඒකිව පරෙස්සං කරන්න. මේ විසේකාර කොල්ලො රැලක් මැද්දේ ඒකිට පතිවුර්තා පටියක් අන්දවන්න වෙයි බං.      

“එහෙනං ඉතිං අතින් සල්ලි දීලා හූනියමක් කරගත්ත වගේ තමයි. අපෙ ගෑනිට පුළුවන්ද ඕයි ඔහොම වෙලාවකට ඔබින්න කතා කරන්න...” තාත්තා කිව්වේ බොරු නොවේ. “සේ ටීචර් නං ඔය වැඩේට කියාපු බඩුව! වැඩේ තියෙන්නේ ඒ ඉස්තිරියාවට ඔය වගේ දෙයක් කියන්නත් බයයි. එයාව තුට්ටු දෙකට දැම්මයි කියල හිතුවොත්...
-එක්කො කමක් නෑ බන්දු. අපි ඒ මනුස්සයගෙන් අහල බලමුකො, කොයිකටත්.”

තාත්තා අනුමාන කළා හරිය.
“මේ කොහෙවත් ඉන්න ගැටිස්සියෙක්ව මෙහාට එවන්නෙයි කියලා කිව්වට මදිනේ, ගුණපාල ගොයියෝ! ඊට පස්සේ මාත් එන්නයැ ඒකිව පරෙස්සං කරන්න. මේ විසේකාර කොල්ලො රැලක් මැද්දේ ඒකිට පතිවුර්තා පටියක් අන්දවන්න වෙයි බං. අනෙ අනෙඃ ගොයියෝ, ඔය මඟුලට නං මට එන්ඩ බෑ.!” සේ ටීචර් කෙලින්ම කීවාය.

“මොනව කරන්නද. දෙහිවල ගමනට මමවත් එන්නං! අපි හතර දෙනා යමු...” තාත්තා තීන්දු කළේය.      

1970 ලයනල් සී. ද අල්විස් මහතාගේ ‘නිවන් දුටු නුවන්’ වෙසක් නාට්‍යයෙන් ‘වේදිකා රංගනය’ට පිවිසුණු ඒ සුරූපී නිළිය සොයාගෙන, අපේ තාත්තලා දෙහිවලට යැවුණේ එහෙමය!

ඒ කට්ටිය ආපහු එනතුරු මට ඉවසිල්ලක් නොවීය.
කොර අනිමින් එන අපේ තාත්තා සරතුත් එක්ක පහු වෙලා එද්දී, බන්දු ඉක්මනින් පල්ලම් බැහැගෙන ආවේය. “රංජි, තාත්තට හොඳටම මහන්සියිලු... කේතලේ ළිපේ තියවන්නයි කිව්වා.”

එතැනම හිටගෙන කේතලය ළිප තියන්නට ලොකු නංගිට අණාඥාවක් නිකුත් කරලාය, මං බන්දුලගෙන් පළමුවෙනි ප්‍රශ්නය ඇහුවේ. “මොකද වුණේ බන්දු?”

“කෙල්ල ලස්සනයි.”
“ලස්සන- කැත නෙවෙයි යක්ෂයෝ, මොකද වුණේ කියනවකො.”
“කැමති වුණා!” බන්දුල ජයකොඩි කිව්වේය.

අපේ හැමෝටම ඕනි වෙයි ඒ කෙල්ලව යාළු කර ගන්න!

පසු කාලයක, ශ්‍රී ලංකාවේ පළමු ටෙලි නාටකයේ උප ප්‍රධාන නිළි චරිතය රඟපෑමට තරම් වාසනාවන්ත වුණු ඒ තරුණිය; පළමු වතාවට ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක- අපේ සිංහබාහු වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟන්නට එකඟ වීලා තිබිණි!

“හොඳයිද තාත්තේ?” තාත්තා ගෙට පය තියන්නටත් කලින් මට ඕනෑ වුණේ බන්දුලගෙන් කියැවුණාට වඩා විස්තරයක් දැන ගන්නටය.

“හ්ම්!” තාත්තා සුදු කමිසය ගලවමින් කිව්වේය. “කෙල්ල පෙනුමයි... සුදුයි. ඇක්ටිං කොහොම වෙයිද කියලා තමයි බලන්න වෙන්නේ. අපිට ඉතිං තෝරගන්න තරම් කෙල්ලො ගොඩක් ඉන්න එකක්ය.... කෝ බං, තේ ටිකක් හැදෙව්වෙ නැද්ද?”

සරත්ගෙන් අහගන්නට ලැබුණු විස්තරත් කලින් ඒවාටම සමානය. ඒත් මට විතරක් කියූ අමතර විස්තරයකුත් තිබුණේය. “කෙල්ල මෙහාට ආව ගමන්ම ගුණපාල අයියට වැඩ ගොඩ වෙයි....”
“ඒ කිව්වේ?”

“ඒ කිව්වේ අපේ හැමෝටම ඕනි වෙයි ඒ කෙල්ලව යාළු කර ගන්න. විසේසෙන් රංජිත්ටයි, සිරීටයි. දෙන්නම ප්‍රේම කුරුල්ලොනෙ.....” සරත් කියව්වෙ හිනා වෙවී.

“ඇයි ඔයා, බන්දු, සමරසිරි, සංජේ....” මං ඇහුවේ ඇත්තටමයි.

“මමයි කියලා රහත් වෙලායැ. Application එකක් දාලා බලනවා පස්සේ. කොහොමද එක පාරට ඇප්ලයි කරන්නේ... පොඩි පරහකුත් තියනවනෙ..... නාට්‍යයේ එයා ඉන්නේ මගේ අම්මටනෙ. මෑණියනි, මෑණියනි කියන අස්සේ කොහොමද රංජි, මං එයාට love කරන්න යන්නෙ...” පෙනුණේ සරත් ඇත්තම කියන විදිහය.

ඔන්න මගේ නසරානිකම ඉස්සරහට පනියි. අදට ඇති මිනිහෝ.’

‘.... ප්‍රසිද්ධ වේදිකාවට මම සම්බන්ධ වුණේ 1972 වර්ෂයේදී නව සිංහබාහු කියන වේදිකා නාට්‍යයෙන්. මේ වෙනකොට මම වේදිකා නාට්‍ය හැට පහක හැත්තෑවක පමණ රඟපාලා තියෙනවා. මේ වෙන තුරුත් මම වේදිකාවෙන් සමු අරගෙන නැහැ....’ මුල අමතක නොකරමින් ඒ විස්තර කියන්නට තරම් ඇය නිහතමානී වී තිබුණු බව මා දුටුවේ පුවත් පතකිනි.

මෙහෙම කෙටියෙන් නෙවෙයි, ෆොටෝත් දාලා, විස්තරත් එක්කම- ඒ හරිය දයාබර පාඨක ඔබ සැමට කියන්නට වටියි!

2008 ජුලි 6 වෙනිදා ‘ඉරිදා දිවයින’ පුවත් පතේ ‘මීවිත’ අතිරේකයේ 4 වෙනි පිටුවෙහිය, ඒ විස්තර තිබුණේ.
එහි පළවී තිබෙන විශේෂාංගයේ මාතෘකාව ‘මට චරිතාංග නිරූපණයේ හැකියාව තිබෙනවා...’ යන්නයි.

ඔන්න මගේ නසරානිකම ඉස්සරහට පනියි. ‘අදට ඇති මිනිහෝ. Post එකක් නවත්තන්න ඕනි කුතුහලය දනවන තැනකින්.’ නසරානි නිදි අනෙක් නිදිට කියයි.
එයාත් කීකෝරු වෙලා, ඒ විස්තර ලියන job එක ඊළඟ කොටසට තියයි! ඒ හින්දා එව්වා හිතාදර ඔබට කියවන්නට ලැබෙන්නේ ඊළඟ කොටසිනි.

27 comments:

  1. නෙවිල් මේක කියවයිද? උද්ඝෝෂණවලට කිඹුල බනිස්?

    ReplyDelete
    Replies
    1. අනේ මහත්තයෝ නෙවිල් කියවන blog!
      මාත් 4 සඳුදා මහරගම තිබුණු උද්ඝෝෂණයකට සහභාගී වුණා. කලින් දවසක මං වහන්සේ තාප්පවල චිත්‍ර අඳින ගැටවරයන්ට කිඹුල බනිස් ගෙනිහින් දුන්න වගේම, මේ උද්ඝෝෂණවලදී සහෘදයන් වතුර බෝතල් ගෙනවිත් දුන්නා- Pra Jay මහත්තයො ඔවුන්ගේ සහාය පළ කරමින්!

      Delete
  2. සෑර් ගෙදර යනවද?
    නැත්නම් රට කනවද?

    https://www.youtube.com/watch?v=vy6e1hBRuFM

    ReplyDelete
    Replies
    1. සාර වෙනුවට උත්තර දෙන්නෙ ජොනී. ඒ මදිද?

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. දෙහිවල නිලිය ගැන මාත් අනුමානයක් දෙන්නම්.. ලංකාවේ පළමු ටෙලිනාට්‍ය තමයි 1982 වසරේ ඩිබි නිහාල්සිංහ ගේ දිමුතුමුතු. ප්‍රධාන නලුවා අමරසිරි කළංසුරිය. ප්‍රධාන නිලිය දේවිකා මිහිරාණි. මේ කියන එක්කෙනා රගපැවේ උඩුබැද්දාවේ රාලහාමිගේ දුවගේ චරිතයට. ප්‍රවීණ චිත්‍රශිල්පි/ ගායක සූසිල් ප්‍රේමරත්න ගේ ගල්කිස්සේ නිවසට එහා ගෙදර තමයි එයා විවාහ උනාට පස්සේ ජීවත් වෙන්නේ.මම හරි නේද?? ඇගේ නම ඔබතුමා ලියන්නකෝ. තව විස්තර ඕනේ නම් දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. අසංග, මෙතන ඒ නිළියගේ නම නොලියා රුකුල් විතරක් දීම ගැන ස්තුතියි.
      එහෙම කරලා පාන්දරින්ම ටෙලිෆෝන් කරලා ඔයා කියපු විස්තර හරියටම හරි. මේ post එක ලියද්දීම මට හිතුනා ඔයාත් මේ නිළියව අඳුනනවා ඇති කියලා.

      Delete
  5. සරතුත්, සංජේත් වැඩ කලේ වැල්ලවත්තෙ රෙදිමෝලෙ නේද? අනිත් අයට ආරූඩ නම් දැම්මට, සරත්ට නොදැම්මෙ සරත් වෙනස් නිසාද?

    ReplyDelete
    Replies
    1. බස්සා මාහත්තයෝ, ඒ දෙන්නම වැඩ කලේ රෙදි මෝලේ.
      සරත් විතරක් නෙවෙයි මේ post එකේ වැඩි දෙනෙකුගේ නම් හැබෑ ඒවාමයි. අභී, සංජේ, භානු, බිංදු, පත්මේ වගේ කීප දෙනෙකුගේ නම් විතරයි ආරූඪ නම්.

      Delete
  6. මොකවත් ලියන්ඩ හිතේ එකලාසියක් නෑ

    ReplyDelete
    Replies
    1. අපිටනං වෙලා තියෙන්නෙ ෆොටෝ කොපි ගහන්න කඩදාසියක් නැති එක. හැක්..

      Delete
    2. ආං ඉන්දියන් ඩීසල් නැව් පෝලිමේ එනවලු. තව මාස දෙකකට පස්සෙ හම්බවෙමු. ටටා, බායි!

      Delete
    3. අඩේ පශා කඩදහි තිව්නත් A4 දැන් 2,500 පැනලා...

      Delete
    4. ප්‍රශ්න මැද්දේ හරි, හිතක් නැතිව හරි ඔයාලා පෝස්ටුව කියවල වචනයක් කෙටුවත් සතුටුයි, මහත්තුරුනේ.

      Delete
  7. දැං ඉතිං හොයාපල්ලකො 2008 දිවයින පත්තරයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, ඊලග කොටසේදී ඒ විස්තරේ ෆොටෝ එක දාන්නන්කෝ.

      Delete
  8. වහලේ යට ඉන්න හැම එකාම වහලෙක් වෙන්ට ඕනෑ කියල හිතෙන එක තමා පස්නෙ......

    ReplyDelete
    Replies
    1. වහලේ යට නොඉන්න නමුත් එක පිලේ ඉන්න කට්ටිය අදත් පට්ට වහල්ලු වෙන හැටි පේනවා නේද නමී?

      Delete
  9. මෙන්න තවත් දේවියක්.... ප්‍රංස බිසව් ගැන
    https://nilakshibandara.blogspot.com/2022/04/blog-post.html

    ReplyDelete
    Replies
    1. විස්තර ටිකයි නෙව තියෙන්නේ.

      Delete
    2. විබාගේ ලග නිසා වැඩි විස්තරයක් ලියන්න වෙලාවක් තිබුනේ නැහැ.

      Delete
    3. විභාගයේ වැඩ හොඳින් කරගන්නට ලැබේවා!

      Delete
  10. අපි කෑ හැටි ලිපා දනී..
    https://sithuviliralabinduma.blogspot.com/2022/04/blog-post.html

    ReplyDelete
    Replies
    1. හැබෑටම ඔහෙලට ඔච්චර අහේනිකන් තියෙද?
      https://www.lankahotnews.net/2022/03/chairman-of-cipetco.html

      Delete