අකුරු මැකී නෑ

Thursday, June 30, 2022

මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස

නැවේ හැපිල අඩු නින්දෙන් ඇහැරිච්ච තල්මහට වසේට කේන්ති ගිහින්. නැවේ සුක්කානමට උගෙ නාහෙත් හීරිල.

ඔන්න, අහගන්න ලැහැස්ති වෙන්න. මේ සැරේ මම කියන්න යන්නෙ මූදෙ යද්දි මට වෙච්චි අකරතැබ්බ දෙක තුනක්!

එකොළොස්වෙනි පිම්ම
ඇමෙරිකාවට නැවෙන් යද්දී

තුවක්කු සීයකුයි, මිනිස්සු එක්දාස් හාරසීයකුයි පටවාගෙන පෝට්ස්මත් වරායෙන් පිටත් උණු ඉංගිරිසි යුද්ද නැවක නැඟිලා වතාවක් මම උතුරු ඇමෙරිකාවට ගියා. සාන්ත ලෝරන්ස් ගඟේ මෝයට හැතැප්ම තුන් සීයක් විතර මෙහාදී තමයි, කියන්න තරං යමක් උණේ.

ඔය සෙව්වෙදී නැව පරුවතේක හැපුණ, තදේට. ලඹේ මූදට බස්සල බැලුව. බඹ තුන්සීයකටත් වැඩියි. ඒත් නෑ පරුවතයක් තියා පතුලක්වත් අහු වෙන හරියක.

මේක නෙවෙයි, මේ හැප්පිල්ලෙන් වෙච්චි ඇබැද්දියටයි අපි හෙල්ලුම් කාල ගියේ. නැවේ සුක්කානම කම්මුතුයි. ඇණි කුඹේ දෙකට මැදින් කැඩිල. කුඹ ගස් ඉහේ ඉඳන් පතුළට යනකල්ම දෙදරල ගිහිං. දෙකක් නැවෙන් පිටට වීසි වෙලා. කුඹේ උඩ නැඟිල රුවල හරි ගස්ස- ගස්ස හිටිය අහිංසකයා හැතැප්ම තුනක් විතර ඈත මූදට බිලි වෙලා - නෑ! මිනිහ බිලි නොවී බේරුණා; මූදු ලිහිණියෙකුගෙ හොටේ එල්ලිලා.

ඌ මිනිහව ගෙනල්ල කලින් හිටපු තැනින්ම ඉන්දෙව්ව!

ගැස්සිල්ලේ බයානකකමට තවත් සාක්කියක්.
යට තට්ටුවේ හිටිය මිනිස්සු දුන්නෙන් විද්ද වාගෙ වීසි වෙලා ගිහින් උඩ තට්ටුවේ ඇනුණ.
ඒ හැප්පිච්ච පාරට මගේ ඔළුව බඩට ඇලිල හිටිය. ඔළුව ආපහු නියම තෙනට ආවේ මාස ගාණකට පස්සෙයි.

අපි උඩ- බිම බල බලා මේ දේව සාපෙ ගැන පුදුම වෙන අතරෙදී තල්මහෙක් වතුරෙන් උඩට මතු උණා.
මූ අඩි දාසයක් විතර වතුර යට අව්ව තැප තැප බුදියගෙන ඉඳල තියෙන්නේ.
දැන් නං කතන්දරේ කාටත් තේරුණ. නැවේ හැපිල අඩු නින්දෙන් ඇහැරිච්ච තල්මහට වසේට කේන්ති ගිහින්. නැවේ සුක්කානමට උගෙ නාහෙත් හීරිල. මේ කේන්තිය පිට ඌ වල්ගෙන් නැවට තඩි බාන්න ගත්ත. පැත්තක් ඇතුළට එබෙනකං.

ඔය වැහි කෝඩෙට විතරක් නෙවෙයි, අපි අහු උණේ.

ඊළඟට පැත්තක එල්ලලා තිබුණ නැංගුරම කටින් ඩැහැගෙන ඇදගෙන යන්න පටන් ගත්තා. පැයට හැතැප්ම දොළහ ගාණෙ හැතැප්ම හැටක් විතර යන්න ඇති.

දම්වැල කැඩුණ! අපට නැංගුරමයි තල්මහයි දෙකම නැති වෙච්චි.

මාස හතරක් පහක් ගිහිල්ල ආපහු එනකොට අපට ඔය තල්මහම මුණ ගැහුණ, ගට්ටනේ වෙච්ච තෙනට කිට්ටුවදී. මෙදා පොටේ උන්දැට කෙරුම් බෑ. මළකුණයි- මේ පා වෙවී තියෙන්නේ. හැතැප්ම බාගයක් විතර දිගයි. මේ තරම් මස් කන්දරාවක් කොහොමද නැවට පටව ගන්නෙ?

අපි බෝට්ටුවලට නැඟිලා වදෙන් පොරෙන් උගෙ ඔළුව කපල වෙන් කළා.
ඔය තියෙන්නේ නැංගුරම එහෙම පිටින්ම, දම්වැලෙන් බඹ හතළිහකුත් එක්ක. හක්කේ වම් පැත්තට වෙන්න හංගගෙන.

කොරේ පිටට මරේ!

ඔය වැහි කෝඩෙට විතරක් නෙවෙයි, අපි අහු උණේ. ඒ වෙච්චි එකේ ටික හරියක් නං අමතක කරලා දාන්න උණත් මම කැමතියි. තල්මහ නැව ඇදගෙන යන අව්වස්සේ ඒකෙ පොඩි සිද්දරාවක් හැදුණ. වතුර ඇතුළට එන්න පටන් ගත්ත. නැවේ තිබිච්ච පයිප්ප ඔක්කොගෙන්ම ඉස්සත් පිරිමහන්න බෑ.

තව පැය බාගෙන් ගිලෙන එක වරහත් කොරන්න බෑ. මම තමයි මේ හිල කලින්ම දැකපු වාසනාවන්තයා. හිල අඩියක් විතර පළලයි. මටම පහළ වෙච්චි පංකාදු අදහස හින්දා, එක් කෙනෙකුටවත් කරදරයක් විපත්තියක් වෙන්න නොදී නැව බේර ගත්තැයි කියනකොට නං ඔහෙල හිතාවි- මේ හිල පෑදුණු එකට මම නොසෑහෙන්න සන්තෝස උණු බව.

හිල පෑදුණා වගේ සමහර නරක දේවල් හින්දා, හොඳ අපූරු දේවලුත් සිද්ද වෙනවා!

සිද්ද වෙලා නෙවෙයි, ‘සිද්ද කරලා තියෙන නස්පැත්තියකිව්වමයි වැඩියෙන් හරි.

මට එහෙම කල්පනා වෙන්නේ අපේ රටට සිද්ද වෙලා තියෙන නස්පැත්තිය හින්දම, එකේක දේවල් වැඩි-වැඩියෙන් හෙළිදරව් වෙන නිසයි. සිද්ද වෙලා නෙවෙයි, ‘සිද්ද කරලා තියෙන නස්පැත්තිය’ කිව්වමයි වැඩියෙන් හරි.

රට බංකොලොත් වෙලා, පිට දේශාන්තරවල බැංකුවලින් ගත්තු ණය ගෙවාගන්න බැරි වෙලා තියෙන අව්වස්සේ ඇමෙරිකාවේ හැමිල්ටන් බැංකුවෙන් අපට නඩු දාලා.

‘... ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජිකයන් ලංකාවට ඇවිත් තියන අවස්ථාවක ඇමෙරිකාවේ හැමිල්ටන් බැංකුව බැඳුම්කර සම්බන්දයෙන් නඩු පවරලා තියනවා. ඒ නඩුවේ සටහනක් තියනවා රාජපක්ෂවරු ශ‍්‍රී ලංකා රජයට අයත් මුදල් මේ මේ ස්ථානවල තැම්පත් කරලා තියනවා කියලා. මේක අපිට විශාල ලැජ්ජාවක්. මීට පෙර කිසිම උසාවියක, රටේ පාලකයන් නම් කරලා, රටවල් නම් කරලා, බැංකු නම් කරලා නඩුවක් වැටුණේ නෑ. අද ලෝකේ මතයක් ඇති වෙලා තියනවා ශ‍්‍රී ලංකාවට උදව් කරනවා කියන්නේ රාජපක්ෂලා ගොඩ දානවා කියලා.

බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ හිටපු ප‍්‍රබලයෙක්- බැලක් බ‍්‍රවුන් එතුමා කියලා තියනවා ලංකාවට දුන්න ආධාර විවිධ රටවල බැංකුවල තැම්පත් කරලා තියනවා කියලා...’ 

Mister 10% උන්නැහේලගේ, රාජපස්ස පරම්පරාවේ අයගේ නම්-ගම් වග-වාසගම් විස්තර ඔක්කොම එක්කයි   හැමිල්ටන් බංකුව අර පැමිණිල්ල දාලා තියෙන්නේ. 

ඉතිං, අර මැංචෝසන් සාමි ඇමෙරිකාවට යමින් හිටිය නැවේ හැදුණාට වැඩිය ලොකු; මහ විශාල පරුමානයේ හිලක් තමයි මේ වෙද්දී ‘ශ්‍රී ලංකා නැවේ’ හැදිලා තියෙන්නේ.
ඒ හිල වහගන්න ගහන තුරුම්පුව මොකක් වෙයිද කියලයි මම නං බලා ඉන්නේ... තවම අපේ ලොක්කන්ට නම් ‘හිලේ’ තරම ගනිච්චියක් නෑ වගෙයිනෙ.

වඩුරාළ ඇවිත් මගෙ සරීර ඇබේ වෙනුවට...

මැංචෝසන් සාමි නං එහෙම නෙවෙයි! හිල දැක්ක ගමන් තේරුම් ගත්ත වැටෙන්න යන අන්තරාව...

කොටින්ම, මම පැන්න හිල ගාවට. පැනල මගේ ඇඟ රිංගෙව්වා ඒක ඇතුළට. ඇඳුම් ගලවන්නවත් වෙලාවක් නෑ. වතුර පාරට මගේ ඇඳුම් තෙමි තෙමී මාවත් බත් උණා.

ටික වෙලාවයි ගියේ, අපේ වඩුරාළ ඇවිත් මගෙ සරීර ඇබේ වෙනුවට ලීවලින් කෑල්ලක් එතෙන්ට හයි කෙරුවා.

කීප දවසක් යාත්තරා කරලා අපි උතුරු ඇමෙරිකාවට ගොඩ බැස්ස. අතරමඟදී අහු උණ පාවෙන දූපතක්. බොහොම ලස්සන ගංගොඩවල් ටිකක් ඒ දූවේ. සුදු මිනිස්සුයි, කාබේරි ටික දෙනෙකුයි ඒකෙ පදිංචි වෙලා ඉන්නෙ.

මේ දූපතේ උක් ගස් හොඳට වැවෙන්නෙ නැති බව මට දැන ගන්න ලැබුණ. හේතුව? ඉර්තු විපර්යාසේ!
එක තෙනක තියෙන රටක්යැ?
කාලෙකට හිමෙන් වැහිච්ච උතුරු කෙරෝලට යනව. ආයිත් සැරයක් ගිනි ගහන අව්ව තියෙන ඌස්න හරියට පා වෙනව.

අහිගුණ්ටිකයො වගේ එහෙ මෙහෙ යන්න සිද්ද වෙලා ඉන්න මේ මිනිස්සු ගැන මට තද දුකක් හිතුණ.
දිග ඇති යකඩ ඉන්නක් අරගෙන දූව මැදින් ඇන්නා. මූද පතුළේ තියෙන ගල්, මඩවල ඉන්න හිටෙව්වා, ආයිත් නොහෙල්ලෙන්න.
එදා ඉඳන් දූපතේ මිනිස්සුන්ට ඉස්තීර පදිංචියක් තියෙනව.
සැන්ට් ක්‍රිස්ටෝපර්ගෙ දූපත කියලා දැන් පොරසිද්ද වෙල තියෙන්නෙ, මම ඉන්න හිටවපු මේ දූවම තමා. මේ මිහිපිට නෑ, මේ තරම් හොල්ලන්න බැරි- ඉස්තීර දූපතක්!

මොර ගගහ උඩ බලා ඉන්න පුළුවන් වෙලාවක් නෙවෙයිනෙ!

තවත් අරුම පුදුම දූවක් මුණ ගැහෙන්න වාසනාව පෑදුණා, දකුණු අප්‍රිකාවේ ඉඳල එන ගමනකදී. ඉන්දියාවට ගොහින් ආපහු ලන්ඩන් නුවරට එන වෙළෙඳ නැවකයි මම ආවේ.

ගිනියා වෙරළට එනකං ඔහොම ආව වගෙ යාත්තරා කළැයි කියමු. ඒ හරියෙදි ඔන්න, බලන්න පුදුම වැඩක්!
වීදුරුවලින් හදාපුව වගෙ කඳු පරුමාණයක් මූදේ පාවීගෙන එනව අපේ නැව පැත්තටම. ඉර අව්ව වැටිල ඒක දිලිසෙන දිලිසිල්ල හින්ද හරියට බලා ගන්න අමාරුයි. මේ නං අයිස් කුට්ටියක් බව මට හොඳටම විස්වාසයි.
මේ තරං ඌස්න හරියකදී උණත්, ළඟින් ගියොත් අපි කපෝතියි!
කොහොම හරි මඟ ඇරලා යන්න වීරිය කළා. අපි නං මඟ ඇරලා ගියා, ඒත් වැඩක් නෑ. රෑ එකොළහට විතර ඇති. ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පේන්නේ නැති තිත්ත කළුවරේ කුණාටුවක් පටන් ගත්ත.

ඒකෙ පිහිටෙන් නැවත් ගිහිල්ල අයිස් දූවේ හැපුණේ නැතැයි!

අනේ අම්මෝ!
පරාණ බයක මහත. එදා ඒ නැවේ හිටපු මනුස්සයින්ගෙ විස්සෝපෙයි මොර ගැහිල්ලයි වගේ එකක් මම දැකලම නෑ.

මොර ගගහ උඩ බලා ඉන්න පුළුවන් වෙලාවක් නෙවෙයිනෙ!
කාගෙ කාගෙත් පපුවට ලේ උනන විදිහට කතා කරලා මම කිව්වා, පණට ආදරේ ඇත්නං මං කියන හැටියට වැඩ කරන්නෙයි කියල.
විනාඩියෙන් දෙකෙන් නැවෙන් බාගයක් වතුරෙන් පිරිල. තැන් තැන්වලින් නැව් තට්ටුවට කුට්ටි කඩා වැටි වැටී, අපව හතර පැත්තෙන්ම ගිල ගන්න එන අයිස් කන්දට යට වෙලා සෙනඟෙන් බාගයක්ම මළා.

මම නැංගා කුඹ ගහ මුඳුනටම. නැඟල කුඹ ගහ ගැට ගහගත්ත අයිස් කන්දෙන් නෙරා ගිය කුට්ටියකට. නොමැරී ඉතිරි වෙච්ච මිනිස්සුන්ටත් මා පස්සෙන් එන්න කියල අයිස් දූපතේ මුඳුනටම බඩ ගාගත්ත.

අපි අදිස්ටාන කර ගත්තෙ, අයිස් දූපතත් එක්ක නැව ඇදගෙන ගමට යන්නයි. නැත්තං ඒ මත්තෙම නහින එකයි.

ඉර පායාගෙන එනකොට අපේ ඉඳිල්ලේ බයානකකම කාටත් වැටහුණ. අපේ නැව අයිස් කන්ද මැද. රෑ තිස්සේ වටේටම අයිස් කඩා වැටිලා, දැන් නැව එහෙම පිටින්ම යට වෙලා. අපි පය ගහගෙන ඉන්න තෙන යටින් ගල වගෙ තියෙන අයිස් කන්ද ඇතුළේයි නැව තියෙන්නේ.

මොකක්ද මෙහෙම තැනට ඕනෑ නුවණ?

ටිකක් වෙලා සාකච්ඡා කරලා, අපි තීරණේකට බැහැ ගත්ත. අයිස් කපාගෙන පහළට බැහැල එහෙන් මෙහෙන් මතු කර ගත්ත, නැවේ දම්වැල් තුන හතරක්. බෝට්ටු ටිකත් මූදට බාගෙන දම්වැල්වලින් දූපත හොඳට ඈඳගත්ත බෝට්ටුවලට. දැන් ඉතිං අපි අදිස්ටාන කර ගත්තෙ, අයිස් දූපතත් එක්ක නැව ඇදගෙන ගමට යන්නයි.
නැත්තං ඒ මත්තෙම නහින එකයි.

නැවේ තිබිච්ච කිත්තං ඔක්කොමයි, අරහේ මෙහේ අහුමුළුවල තිබුණු මණ්ඩි ජාතියි දූපත උඩට වීසි කළා. අයිස් කන්දෙ හොඳට තෙතමනේ තියෙනවනේ. අව්වෙනුත් මදි පාඩුවක් නෑ. ඒක හින්දා ඔය දාපු රොඩුබොඩුවලින් ඉස්තරංම පෝර තොගයක් හැදුණ, පැය ගාණෙන්!

මගෙ සාක්කුවේ තිබුණ රට එළවලු ඇට වගයක්. ඒ ටික ඉන්දල දවසෙන් දෙකෙන් දූපත මුඳුනේ අගේ ඇති එළවලු වගාවක්.

ඔහෙගෙ වගාව වගේ නෙවෙයි, මැංචෝසන් උන්නැහේ. සිරි ලංකාවේ නෙව පෝරයි, පෝර හදන විදියි, වවාගෙන කන ඒවයි තියෙන්නේ....

මේ සාවියේ මදිය නොකියන්න තියෙනවා නියම කාබනික පොහොර! හදන්න දේකුත් නෑ, හැම තැනම තියෙනවා. එකතු කර ගන්න ක්‍රමයක් විතරයි ඕනෑ. කෝටි දෙහෙකට වැඩියෙන් ඉන්න පුරවැස්සං වෙන අපේ මොළවලට හානියක් නොවෙන්න එළියට ගන්න විතරයි තියෙන්නේ.
පිරිසිදු රියල් ගොම හම්බ වෙයි ටොන් ගණනින්!

අනාගතේ දවසක ඒකටත් කෝටි ගාණක project එකක් පටන් ගනියි- කවුරු හරි ක්‍රම සහ විධි දන්න ඉඩම් ඇමැත්තෙක්; හිටපු එක්කෙනෙක් 2021 කළා වගේ. හදාගෙන කෑම- පොඩි ගණනක් නෙවෙයි, කෝටි හැත්තෑවක්!
අනුරාජපුර දිහාවේ කාබනික පෝර හදන්නෙයි කියලා උන්නැහේලා ඉඩම් ප්‍රතිසංස්කරණ
කොමිසමේ සල්ලිවලින් රුපියල් කෝටි 70ක් අරගෙන.

අපේ ඇමතිලා හෙම ඒ පැත්තට ගිහිං ළඟ තියෙන ඇට ඒ පැත්තට වීසි කළොත් නං...

‘... එලෙස මෙම ව්‍යාපෘතියට මුදල් වෙන් කරවාගෙන ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂවරයා විසින් 2021 වර්ෂයේ ජුනි මාසයේදී කොමිෂන් සභාවේ අරමුදල් මෙවැනි ආයෝජන ව්‍යාපෘතිවලට යොදා ගැනීම නීතියට පටහැනි බවට පෙන්වා දී තිබියදීය...’

ඔය කාබනික පෝර කතන්දරේ හින්දා ඇතිවෙච්ච අලකලංචි තාම ඉවර නෑ. හාල්- එළවලු ගිනි ගණන්!

හා කියලා- එපා කියලා- ආයෙම හා කියලා ලංකාවට ගෙනෙන්නයි කියලා, ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7කුත් ගෙවාපු අශූචි නැවේ හුළඟක්වත් තවම ලංකාවට ඇවිත් නෑ. මොකද වුණේ කියල හොයන්න හනුමන්තව තමයි යවන්න වෙන්නේ. දැනට පෙනෙන්නේ සල්ලි ගෙවන්න තිබිච්ච කඩි කුලප්පුව විතරයි.

මට හිතෙන්නේ ඒ අසූචි නැවත් අයිස් කන්ද අස්සෙ හිර වෙලා වෙන්නැති කියලයි. අපේ ඇමතිලා හෙම ඒ පැත්තට ගිහිං ළඟ තියෙන ඇට ඒ පැත්තට වීසි කළොත් නං...
තමුසෙගෙ වලත්තකම තියාගෙන පොතට යනවා! චිත්තයා මට කියනවා!!

අපේ සෙනඟට කන්න අල ජාති, කොළ ජාතිවලින් එදායින් පස්සෙ හිඟයක් නෑ.
නැවේ තිබිල හිටවපු දෙල් ගස් ටිකයි, සීනි පලතුරු එහෙම පදමට කවලම් වෙලා පුඩින් පල ගත්තු අනිත් ගස් ජාතියයි කීයත් වටිනව. මෙහෙම දෙලක්වත්, පුඩිමක්වත් එංගලන්තෙදී නං කටේ තියන්න ලැබෙන්නෙ නැති වගයි අපේ කාණ්ඩේ කවුරුත් කිව්වේ.

උරහිස් කැඩෙනකං හබල් ගාල- හබල් ගාල, සුමාන ගාණකට පස්සේ එංගලන්තෙට ගොඩ බහිනකොට අපි එක්කෙනෙකුටවත් කෙලින් කටින් ඉන්න බෑ!

දොළොස්වෙනි පිම්ම
උතුරෙදී මාරකයක්

කපිතාන් පිප්ස්- දැන් මල්ග්රෙව් සාමි; උතුරු පොරදේස හොයා ගන්න ගිය ගමන ගැන කවුරුත් දන්නවා නෙව? මමත් කපිතන් එක්ක ඔය ගමන ගියානෙ. කණ්ඩායමේ කෙනෙක් හැටියට නෙවෙයි- එයාගේ යාළුවෙක් හැටියට!

උතුරු පොරදේස හොයා ගන්න ගිය ගමන ගැන..(foto එක නං එන්න තියෙන film එහෙක එකක්!)

සෑහෙන්න උතුරට ගියාට පස්සේ, මගේ අර පරණ පුරුදු චීනක්කන්නාඩිය දාලා වටේට තියෙන දේවල් සෝදිසි කරන්න උණා. කුඹ ගස්වලටත් හුඟාක් උස අයිස් කන්දක් උඩ- හැතැප්මක් විතර දුරින් මට පේනව, හිම වලස්සු දෙන්නෙක් පණ එපැයි කියල පොර බදනව.

මමත් හනික මගෙ තුවක්කුව උරෙන් පන්නගෙන අයිස් කන්දට ගොඩ උණා.

මුඳුනට නැග්ගහම පොළොව එක එක තාලෙ. සත්තුන්ට කිට්ටු කරනව තියා, පොළොවේ පය ගහල යන්නත් බයයි. හිටපු ගමන් මනුස්සයෙකුට කර පොවන්නවත් බැරි පතහවල්. ඕව උඩින් නං මම පැනල ගියා!

තව තෙනක බිම කන්නාඩිය වගේ. මාසයක් අත ගගා හිටිතෑකි. ඒ තරං සිනිඳුයි. හැබැයි යන්න ගියහම අඩියෙන් අඩිය ලිස්සල දෝරගල්ලේ වැටෙන එකයි.
පේන මානෙට ගොහින් බැලූකොට වලස්සු දෙන්න පෙං කෙළිනව. හොඳට මස් දාල වැඩිච්චි ගොන් බානකට දෙවෙනි නෑ, මහත දෙහෙතින්. ඒ පාර මම ගණන් බලන්න පටන් ගත්තෙ, මුන්ගෙ හම කොච්චර විතර වටීද කියල.

තුවක්කුව උස්සල කුරුමාණම අල්ලන්න හැදුව විතරයි, දකුණු කකුල ලිස්සල ගොහින් මාව දඩෝරියං කියල උඩුබැල්ලට ඇද හැලිච්චි. පැය බාගයක් විතර යනකං සිහිසන් නැතුව එහෙම්මමයි.

උඩු බැල්ලට වැටිච්චි මම සිහිය එනකොට මුණින්තලව් වෙලා. වලස්සු දෙන්නගෙන් එකෙකුගේ හපන්කම තමා ඒ. මාව අනිත් අතට හරවල, මූ දැන් සූදානම් වෙන්නෙ- මගෙ ඉනේ බැඳලා තියෙන හම් පටියෙන් ඩැහැගෙන ගොජුර අයිනකට ඇද ගන්නයි.
මගෙ සාක්කුවේ තිබිල මේං මේ පිහිය ඇදල අරං උගෙ පස්ස කකුලේ ඇඟිලි තුනක් කැපිල යන්න කෙටුව.

මාව අනිත් අතට හරවල, මූ දැන් සූදානම් වෙන්නෙ- මගෙ ඉනේ බැඳලා තියෙන හම් පටියෙන් ඩැහැගෙන ගොජුර අයිනකට ඇද ගන්නයි.

ඌ මාව අත ඇරලා ගොරවන්න පටන් ගත්ත. දුවන්න හැරෙනකොටම තිබ්බ වෙඩිල්ලක්. වලහා එතෙනම හාංසියි!

වෙඩි සද්දෙට අහළ පහළ නිඳා උන්නු වලස්සු නැඟිට්ට. මෙන්න වැල නොකැඩී එනව වලස්සු දාස් ගාණක්. සමාදානෙට නෙවෙයි උන්නැහෙල ළං වෙන්නෙ.
හරි! හරි!! අහක දාන්න බැරි අදහසක් ඔළුවට ආව.

වෙඩි කාපු වලහගේ ඔළුවයි හමයි ගලව ගත්තා. හාවෙක් හම ගහන්න යන වෙලාවෙන් බාගයක්වත් ගියේ නෑ. හම ඇතුළට රිංගගෙන වලස් ඔළුවෙන් මගෙ ඔළුවත් වසං කර ගත්ත. මං ඇඳුම් ඇඳගෙන ඉවර වෙනවත් එක්ක, මුළු වලස් හැතිකරේම ඇවිල්ල මාව වට කර ගත්තා.
ඇත්ත කියන්නං!

ලොම් ඇඳුම අස්සෙනුත් මගෙ මුළු සරුවාංගෙම හීතල වෙලා ගියා.

කොහොම හරි වෙස් පෙරළියෙන් පණ ගැලවුණ. එක එකා ඇවිදින් ඉව කරල බැලුව. අවිස්වාස කරන්න දෙයක් නෑ. උන්ගේ වරිගෙම එකෙක්! තව ටිකක් කඳ තිබුණ නං මාත් හොඳ වලහැඩියෙක්. උන් අතරෙත් හිටිය මට වඩා මහත නැති පැටව් නං. මළගිය වලස් පරාණෙයි, ඒක ඇතුළේ කූඩු වෙලා හිටිය මනුස්ස පරාණෙයි ඇති පදම් ඉව කරලා, උන් මාත් එක්ක යාළු උණ.

උංගේ ගමන් තාලෙයි, අත පය හෙලවිල්ලයි දෙකම නං මම ලේසියෙන් අල්ල ගත්ත. ගෙරවිල්ලටයි, බෙරිහං දීමටයි, බදා ගැනිල්ලටයි ගිය තෙන නං උඩින්ම පරාදයි.

දැන් මේ සතුන්ගෙ හාදකම වාසියට හරවා ගන්නෙ කොහොමද කියලයි මගෙ කල්පනාව.

ගමේ- ගොඩේ- වෙලේ- දෙනියේ කරක් ගහද්දී ගමේ බාසාව අල්ලගෙන ඒක හොඳට පත්තියම් කර ගත්තු...

කොඳු නාරටිය තුවාල උණොත් ඕනෑම සතෙක් එතැනම මැරෙනවයි කියල යුද්ද හමුදාවෙ හිටි දොස්තර මහත්තයෙක් මට කියා දීල තිබුණ. මේක අත්හදා බලන්නයි දැන් මගේ සූදානම!

ආයිත් අර පිහියම අතට ගත්ත. ළඟ හිටිය මහම වලහගෙ පිටි කරට පාරක් දුන්න. හැබැයි බොහොම බයෙන්!
ඌ ගොඩ අවොත් මගෙ ලහඳුවත් තියන්නෙ නැති බව මට සහතිකයි.

ලහඳු!
අහල තියෙනවැයි.... මට නං ජීවිත කාලෙටම ‘ලහඳු’ හදි ගැහුණේ දැන් තමයි. කුරුප්පු මහත්තයා හොරණ උඩුව පැත්තෙ ගමේ- ගොඩේ- වෙලේ- දෙනියේ කරක් ගහද්දී ගමේ බාසාව අල්ලගෙන ඒක හොඳට පත්තියම් කර ගත්තු හපනෙක් වෙන්ඩෝනි. මැංචෝසන් චාරිකා පොත පුරහම ඒ කට වහර; ගමේ බාසාව සුවඳ ගහන විත්තිය නං දැනටමත් ඔය ඇත්තන්ට දැනිල ඇති!
උඩදී අහු වුණා නේද ‘දෝරගල්ලේ, වරහත්’ වගෙ වචනත්?
ඉතිං, ලහඳු වචනේ තේරුම හොයන්න සද්ද කෝෂ දෙක තුනක් පෙරළුවා. ම්හු. හම්බ වුණේ නෑ!
කව්රු හරි දන්න- කියන බහුශ්‍රැත ඇත්තෙක් ඉන්නවා නං කියා දෙන්නකෝ.

දැනට නං මං වහන්සේලහඳු’ තේරුම් ගන්නෙ මෙයාකාරයෙන්: කැබලිවත්; කුඩුවත්; ශේෂයක්වත්; ලකුණක්වත්...

සිංහල  බාසාවේ තියෙන එක මහිමයක් තමයි මේ වගේ අපූරු වචන. නොදන්නකමටමයි අහන්නේ. අහුපෑවත, මව්වත්කම වචන දෙක ඉංගිරිස්වලින් කියන්නෙ කොහොමෙයි?
ඇහැක් නම් එව්වත් කියා එවන්න, හොඳේ.

මෙතෙන ඉඳල එක එකා බිල්ලට ගන්නයි මට ඕනෑ. ඒකට කිසි බාදාවක් නෑ.

මගෙ හොඳ වෙලාව. ඌ හ්ම් කියන්නෙ නැතුව, ඇඹරිල ගිහිං වැටුණ මගෙ පාමුලම.

මෙතෙන ඉඳල එක එකා බිල්ලට ගන්නයි මට ඕනෑ. ඒකට කිසි බාදාවක් නෑ. තමන්ගෙ කාණ්ඩේ එවුන් වැටෙනව දැක්කට, කොහොම වැටෙනවද- මොනව වෙලා වැටෙනවද කියල වලස්සුන්ට තේරුමක් නෑ.

උන්ගෙ සනුහරේ ඔක්කොම මැරුම් කාල වැටුණට පස්සෙ මට ලොකු ආඩම්බරයක්. මාත්, බූරුවෙකුගෙ හකු ඇටේකින් හතුරෝ දාහක් මැරුවැයි කියල බයිබලේ කියල තියෙන සැම්සන් වගේ වීරයෙක්.

ඉතුරු හරිය සංසේපෙන් කියන්නම්.
මම නැවට ගිහිල්ලා සෙනඟෙන් තුන් කාලක් එක්කගෙන ආව අත් උදව්වට. ඔක්කොම හම ගහල, ගාත් ටික ගෙනිහින් දාල- නැව පුරව ගත්ත. පැයයි දෙකයි වැඩේට ගියේ.
ඉතුරු හරිය සේරම මූදට ඇද දැම්ම. මට නං හොඳටම විස්වාසයි, හොඳට සුද්ද කරල ගත්ත නං, අනිත් ටිකත් අමාරුවක් නැතුව බුක්ති විඳින්න තිබුණ.

ආපහු ආ හැටියේම, කපිතන්ගේ නමින් වලස් ගාත් තොගයක් යැව්ව නාවුකාංසෙ සාමිවරුන්ට. තව ටිකක් තෙලිජේරියේ ලොක්කන්ට. ලංඩන් නුවර නගරාදිපති සාමිට වෙනම ගොඩක්.
ඔය විදිහට වෙළෙඳ සමාගම්වලටයි, තව ලොකු ලොකු උදවියටයි දීලා, ඉතුරු කොටහ....

ඔව් ඔව් ඔව්! ඉතුරු කොටහ ඊළඟ කොටසෙන්.......

Saturday, June 25, 2022

උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය

යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි!
‘යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි!’
රේඩියෝවෙන් ඒ ජිංගල් එක ඇහෙන්න ගත්තු දවසේ ඉඳලම මම පෙරුම් පිරුවා කිව්වමයි ගැළපෙන්නෙ, ඒ චිත්‍රපටිය බලන්න යන්න. ඒකට හේතු ගණනාවක් තිබ්බා.

සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජයතුංගගෙ ආකර්ශනීය පෞරුෂවත් කටහඬින් නරක film එකක් උස්සලා තියන්නෙ නැති බවට තිබුණු විශ්වාසය තමයි, ප්‍රධානම දේ.
අනෙක මෙයා ගමේ මනුස්සයනෙ.

මහරගම, පමුණුව පාර දිගේ ඇවිත් වනාත පාරට හැරිලා ටික දුරක් ගියාම තමයි, S.B.A.K. විජයතුංග හෙවත් ආනන්ද කේ. විජයතුංග හෙවත් බණ්ඩාර විජයතුංග හිටියෙත්. ගමේකම නිසාමත් නෙවෙයි, මට නං මේ බණ්ඩාර ගැන විශ්වාසය ඇති වෙලා තිබුණේ. ඒ දවස්වල හිටිය ගුවන් විදුලි නිවේදකයන් කවුරුවත්, ආවට-ගියාට තමන්ගේ හැකියාවන් වික්කේ නෑ. කොන්ද කෙලින් තියාගෙන හිටියා. (ඉතිං එයාලා වගේ අය අපට පූර්වාදර්ශයන් වුණා!
ඒ නිසාම එයාලට සමාජයේ හොඳ පිළිගැනීමක්- හොඳ තැනක් හිමි වෙලා තිබ්බා.

-පස්සෙ පස්සේ තමයි- සේරම උඩු-යටිකුරු වෙවී හඩ්ඩන්ට තැන එන්න පටන් ගත්තේ. එයාලා ‘උගේ ස්වාමියාගේ හඬ’ බවට පත් වුණේ.)

මට දැනුණු ඊළඟ විශේෂත්වය තමයි, ‘උතුමාණෙනි’තිර නාටකය ලිව්වෙත් මහරගම වැසියෙක් වීම. ඇල්හේන පාරේ පදිංචිව හිටි හර්බට් රංජිත් පීරිස් තමයි, ඒ තිර රචක ගම්වැසියා! 

1966දී ‘පරසතු මල්’ ෆිලුම අධ්‍යක්ෂණය කරලා අවුරුදු 14 යනතුරුමත්, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ආයෙත් චිත්‍රපට අධ්‍යක්ෂණ රාජකාරියට අත ගැහුවෙ නෑ. ඉතිං එහෙම ඉඳල-ඉඳලා කරන්න ගන්න ඇත්තේ පොඩිපටු වැඩක් වෙන්න බැහැනෙ.
ඉස්සර film එකක මුහුරත් උළෙල දවසේ හිටමයි, ප්‍රචාරක කටයුතු දියත් වෙනවා වගේ පෙනුණේ. නමුත් උතුමාණෙනි හදලා ඉවර වෙන තුරුමත් ඒ ගැන වැඩිය තොරතුරු එළියට ආවේ නැති බවයි, මගේ මතකෙ තියෙන්නේ.
ඒ මදිවට ඒ film එක පස්වෙනි; සම්භාව්‍ය මණ්ඩලයේ සිනමා ශාලාවලටයි මුදා හැරුණෙත්. ඒ හින්දා ෆිල්ම් එක බලන්න නුගේගොඩ මෙට්‍රෝ හෝල් එකට යන්නත් අපට සිද්ද වුණා.

බලවතුන් ඉදිරියේ නීතියේ ආධිපත්‍යය ගිලිහෙන හැටි; කෙළෙසෙන හැටි....

මට නම් ලොකුම පුරස්නයක් වුණු අනෙක් කාරණයකුත් තිබ්බා. නාටිකාංගනාවක් විදිහට චිත්‍රපටවල නැටුම් ඉදිරිපත් කර-කර හිටපු ෆරීනා ලයි නිළියට හොඳ චරිතයක් රඟපාන්න පුළුවන් වෙයිද? ඊටත් ගාමිණී ෆොන්සේකා හදන ෆිලුමක.....

ඉතිං මං ‘උතුමාණෙනි’ බැලුවා!

සිරිපාලගේ නංගී පුෂ්පාව, ගමේ කෙරුම්කාරයෙකු වෙන බේබි මහත්තයා ඇතුළු පිරිස දූෂණය කරනවා. එහෙම කරන්නේ පළිගැනීමක් විදිහටයි. පුෂ්පාට නෙවෙයි නීතියේ පිහිට හා රැකවරණය ලැබෙන්නේ... එයාට ලැබෙන්නේ අවමානය විතරයි! අන්තිමේදී සිරිපාල වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න නීතිය අතට ගන්නවා.

එහෙම කතාවක් තිබුණු ‘උතුමාණෙනි’ විශිෂ්ට චිත්‍රපටයක්.
බලවතුන් ඉදිරියේ නීතියේ ආධිපත්‍යය ගිලිහෙන හැටි; කෙළෙසෙන හැටි හරිම අපූරුවට; හිතට වැදෙන විදිහට ඒ චිත්‍රපටයෙන් පෙන්නුම් කළා.
අනේ! ආයෙමත් ඒ ෆිලුම බලන්න ඇත්නම්.......

ඒ film එක තිරගත වුණේ 1980 ජනවාරි 25 වෙනිදායි.
දළ වශයෙන් දැනට අවුරුදු 42කට කලින්!

හැබැයි එච්චර කාලයක් ගිහිල්ලත් බලවන්තයන් ඉදිරියේ නැවෙන නීතිය, එදා වගේම පුංචි සිංඤෝලා ඉස්සරහදී සිංහ වෙස් පානවා. තවමත් ඒ කැත සිරිත් වෙනස් වෙලා නැහැ වගෙයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ උදවියව අත් අඩංගුවට ගන්නැයි නියෝග ලැබුණට පස්සෙත්, හොයා ගන්න බැරි තරමට අපේ පොලීසිය අසමත් එකක්.
එහෙව් පොලීසිය ගැන කරුණාවෙන් අරගලකරුවන් හත් දෙනෙක් අත් අඩංගුවට පත්වීම සඳහා කොටුව පොලිසියට ගියා, ගතවුණු සතියේ දවසක. ඒ පොදු දේපලවලට හානි කිරීම යන චෝදනාව ඔවුන්ට විරුද්ධව නඟා තිබුණු බැවින්. කොටුව පොලිසියේ ඉඩ නැති නිසා මරදාන පොලිසියට යන්නට අරගලකරුවන්ට උපදෙස් ලැබිලා.

එයාලා වීරයන් වගේ එහාටම ගිහින් බාර වෙලා.

අරගලකරුවන් හත් දෙනෙක් අත් අඩංගුවට පත්වීම සඳහා කොටුව පොලිසියට ගියා...

එතනදී අරගලකරුවන් තුන් දෙනෙකුගේ ප්‍රකාශයන් සටහන් කර ගත්තු පොලිසියේ මහත්තුරු අරගලකාරයන්ටයි, නීතීඥ මහත්තුරුන්ටයි තේ පැන් සංග්‍රහයක් කරන්නට තරම් කාරුණික වුණාලු!

මරදාන පොලිසියේදී ප්‍රකාශ සටහන් කර ගත්තට පස්සේ අත්අඩංගුවට ගත් තරුණයින් හය දෙනාව විනිසුරුවරයාගේ  නිවසට එක්ක ගියා. පොලිසියේදී සුහද මුහුණ පෙන්වූ නිළධාරීන් එක පාරටම කිව්වා විමර්ශන කටයුතුවලට බාධා කළා කියලා. ඡායාරූප ගන්න, ඇඟිලි සලකුණු ගන්න ඉඩ දුන්නේ නෑ කිව්වා... අපි ඇහුවා කොහොමද එහෙම කියන්නේ ඔයාලා ෆොටෝස් ගත්තනේ කියලා..

ඒ වගේම පොලිසියේදී 67,000/-ක් වුණු දේපළ අලාභය විනිසුරුවරයා ළඟට යනවිට රුපියල් එක් ලක්ෂ හැටහත්දාහක් වෙනකම් වැඩි වෙලත් තිබ්බා... එහෙම දේපළ අලාභහානි දඩ මුදල ඉහළ ගියා කියලා අපි දන්නෙත් නෑ.”

ඒ විතරක් නෙමෙයි පාරේ සුදු ඉරිවල ඇන්දා කියන අත් සටහන්, පා සටහන්වලින් තුන්කාලක්ම දැනටත් මැකිලා ඉවරයි... අන්න ඒ තීන්ත ටිකට තමයි ලක්ෂෙකට වැඩි මුදලක් දාලා තියෙන්නේ..

මනෝජ් නානායක්කාර නීතිඥ මහත්තයාගෙ මේ ප්‍රකාශය ඔයාලට දැනෙන්නෙ කොහොමද? මතක් වෙන්නෙ මොනවද?
මට නං මතක් වෙන්නේ පොලීසියේ පැමිණිලි ලියාගන්නා පොත්වල කොළ ඉරා දැමීම්, පොත් පිටින් අන්තරස්දාන වීම් වගේ අරුම දේවල්....

ආසියාවේ රටවලදී නීතිය වෛශ්‍යා වෘත්තියේ යෙදවෙන විත්තිය ප්‍රසිද්ධ රහසක්.
මට හිතා ගන්නවත් බෑ ඒකට හේතුව නම්. මිනිස්සුන්ගේ නූගත්කමද- නැතිනං බියගුළුකමද- එහෙමත් නැත්තං නිවටකමද?
හැබැයි ‘අරගලයට පිං සිදු වෙන්න’ දැන් දැන් මිනිස්සු නැඟිටින්න පටන් අරං! මුළු ගැන්නිලා හිටිය කාන්තාවන් පවා
සටන්කාමිනියන් වෙලා!!

මේ කතන්දරේ ගැන හැදිච්ච මරේ-මරු film එකක් ගැන...
ඉන්දියාවේත් මෙහෙම වුණා!

එහේ කුල භේදය ඉතාම තදින් තියෙනවනේ. පහත් යයි සම්මත කුලවල අයට තහංචි- සීමා නිමක් නැතිව තියෙනවා. ඉතාම පහත් යයි සැලකෙන දලිත් කුලයේ අයට උපතින්ම හිමි වෙන්නේ අතිශයින්ම පීඩිත; දුක්බර ජීවිතයක්.
නිවට විදිහට හිස නවාගෙන හැම මදි-පුංචිකමක්ම, හැම නින්දා අපහාසයක්ම ඉවසාගෙන ඉඳලා... එක දවසක ඌෂා නාරායන් (
Usha Narayane) එක්ක එඩිතරව කෙලින් හිටගත්තු කාන්තාවන් දෙසීයක් ගැන කතන්දරයක් මේ. කස්තුරි වගේ සුවඳ ගහන; ඒ වගේම වටිනා මේ කතන්දරේ සිද්ද වුණේ කස්තුර්බා නගර්වලදී.

මං ඉතිං අන්දොස් - නසරානි මෝඩයෙක් වගේම චිත්‍රපට පිස්සෙකුත් නෙව. මේ සත්‍ය කතාව බැලුව දවසේ හිටම ඒ ගැන ඔයාලට කියන්නයි හිටියේ.

මේ කතන්දරේ ගැන හැදිච්ච මරේ-මරු film එකක් තමයි මේ. 200 Halla Ho. හින්දි එකක්. සිංහල එව්වා ඇර, අනෙක් භාෂාවලින් තියෙන හොඳ films මම බලන්නේ subs එක්ක.
දේශපාලනේ එහෙම කරන බාසා වෙල්ලෝ නොවෙන අපි වගේ අහිංසකයන්ට එතැනදී ගොඩක් උදව් වෙන්නේ
‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියයි. ‘200 හල්ලා හෝ’ ෆිලුමත් මං හොයා ගත්තේ එතැනින්, උප සිරැසිත් එක්ක.

මතකයි නේද, The Shape of Water... The Man with The Answers වගේ මගෙ ජීවිතයටත් සමීප කාරණා තිබුණු films කීපයක් ගැනත් මං විඩෙන්-විඩේ ලිව්වා.

මේ film එකට සිංහල subs දීලා තිබ්බේ M.T.R. තරිඳු රුක්ෂාන් පෙරේරා සහෘදයා. (වැඩේ නියමයි කොල්ලො! ස්තුතියි ගොඩක්!)

දිගින් දිගටම නීතිය වල් වැදෙන්න ගත්තාම පීඩිතයන් හැමදාමත් ඉවසගෙන ඉන්නෙ නෑ.

2004 අගෝස්තු 13 වෙනිදා තමයි අර කියාපු අපූරු කාන්තා නැඟිටීම සිදු වුණේ.
නාග්පූර් දිස්ත්‍රික් උසාවි භූමිය තුළදී.

මුහුණු ආවරණය කර ගත්තු දලිත් කාන්තාවන් 200ක් පොලු- මුගුරු- කැති- පිහි- මන්නාත් අරගෙන එදා උසාවියට කඩා වදිනවා, කුණාටුවක් වගේ.
ඔවුන් අතේ මිරිස් කුඩුත්!!! මිරිස් කුඩු ප්‍රහාරයකින් ආරක්ෂකයන් මර්දනය කරන ඒ කාන්තාවන්- එතැනදීම
Akku Yadav මරා දමනවා. අක්කු යාදව් ඝාතනය කොට, ඔහුගේ රහසඟ හා අතපය පවා කැබලි කරන්නට ඒ කතුන්ට ගත වෙන්නේ විනාඩි පහළොවක්!

ඇයි මේ ගැහැනුන් නීතිය අතට ගෙන, අක්කු යාදව්ට අනීතික මරණ දණ්ඩනය හිමි කරමින් ඒ මිනී මැරීම කළේ?

Akku Yadav වයස අවුරුදු 12 සිටම ස්ත්‍රී දූෂණයේ යෙදුණු කුලීනයෙක් වෙච්ච නිසා. ඔහුට විරුද්ධව කෙරෙන පැමිණිලි පවා පොලිසිය බාර නොගත් නිසා. දලිත් කතුන් රැසක්ම දූෂණය කරලත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවුණු නිසා.
200 Halla Ho ෆිලුමට පාදක වෙන්නේ ඒ සිදුවීම් මාලාවයි.

දන්නවද? ඒ ඝාතනය වෙනුවෙන් එකම කාන්තාවකටවත් දඬුවම් කෙරුණේ නෑ!

ලංකාවේ නීතීඥ ප්‍රජාවනීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවන්න මැදිහත් වෙමින්....
ඒ ‘කස්තුර්බා නගර්’ කාන්තාවන්ව අනුගමනය කරමින් කෙරුණු දෙයක් වගෙයි, මේ අරගලකරුවන් පොලීසියට බාර වෙන්නට ගිය ගමනත්. ‘අපිත් අරගලකරුවෝ. අපිවත් අත් අඩංගුවට ගන්න’ කියල බැනර් අරගත්, එක හඬින් මොර දෙන සෙනඟ කන්දරාවක් පිරිවරාගත් පෙළපාලියකින් තමයි ඔවුන් පොලිසියට ගියේ.

දිගින් දිගටම නීතිය වල් වැදෙන්න ගත්තාම පීඩිතයන් හැමදාමත් ඉවසගෙන ඉන්නෙ නෑ. නීතිය හා එය ක්‍රියාත්මක කරන ආයතන අසාධාරණ වෙන්න පටන් ගත්තාම, වෙන මොකක්ද පුරවැසි ජනතාවට කරන්න ඇහැකි?

පුරවැසියන් නීතිය අතට ගත්තාම වෙන විනාසේ අපේ රටේ උදවිය හොඳට දැකලා තියෙනවා. මාත් දැකලා තියෙනවා, කීප විටක්ම. ඒ හින්දමයි මම එහෙම වෙනවාට අකැමැතිත්.

එහෙම වෙන එක ටිකක් හරි පරක්කු වෙන්නේ ලංකාවේ නීතීඥ ප්‍රජාව, නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවන්න මැදිහත් වෙමින් සිටින නිසා.

අරගලකරුවන් 7 දෙනාගේ සිද්ධියේදී මැදිහත් වුණු, ඒ නීතීඥ මහත්ම මහත්මීන්ට- නිදිගෙ පංච තන්තරේ කියවන හිතාදර රසික-රසිකාවන් වෙනුවෙන් මගේ ප්‍රණාමය පුදන්නත් මම අමතක කරන්නෙ නෑ. ඔබ සැමට ස්තුතියි, නොමිලයේම කරන උදාර මෙහෙවර වෙනුවෙන්.

අරගලයත්, අරගලයේ නියුතු තරුණ- තරුණියනුත් දැන් අපේ රටේ ඇත්තන්ට ගොඩක් හොඳ පාඩම් උගන්වන ආදර්ශවත් ගුරුවරු වෙලා.

කෙසේ වෙතත් තමන් සමගම අත් අඩංගුවට පත්වූ සෙසු තිදෙනාටත්...
මෙච්චර කල් අපට හිටිය නායකයන්; මෙහෙයවන්නන් වැඩි දෙනෙක්ම වැද්දෝ වගේ උදවිය. වැදි බණ දෙසපු ඇත්තෝ. ලෝකෝපකාරයේ එයාලා ගැන මෙහෙම කියලා තිබුණේ ඈත අතීතයේ:

  ‘ඔවා දෙනු පරහට
  තමා සම්මතෙහි පිහිටා සිට
  දුසිරිත දනන් දෙන
  ඔවා වැද්දන් කියන බණ වැනි’

මං මුලින් කියාගෙන ආවනෙ, මරදානේ පොලිසියට බාර වෙච්ච අරගලකරුවන් 7 දෙනා ගැන. මෙන්න ඊට පස්සේ සිද්ද වුණු දේ ගැන වාර්තාවකින් කොටසක්.   

‘අරගලකරුවන් 4 දෙනෙකුට ඇප ලැබෙයි. සෙසු අයට ලැබෙන තුරු ඔවුනුත් නතර වෙයි!

ජුනි 09 සහ 10 යන දිනවල පැවති විරෝධතා උද්ඝෝෂණ දෙකක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 07 දෙනා අතරින් ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, එරංග ගුණසේකර සහ ධම්මික මුණසිංහ යන සිව්දෙනා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබේ.

එම සිද්ධීන්ට අදාළවම අත් අඩංගුවට ගෙන සිටින රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න, රත්කරව්වේ ජිනරතන හිමි සහ ළහිරු වීරසේකර යන අය ජුලි 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

කෙසේ වෙතත් තමන් සමගම අත් අඩංගුවට පත්වූ සෙසු තිදෙනාටත් ඇප ලැබෙන තුරු ඇප තැන්පත් නොකර බන්ධනාගාරගතවම සිටීමට මනුවර්ණ, ජෙහාන්, ධම්මික සහ එරංග තීරණය කර ඇති බවත් වාර්තා වේ.’

සාමූහිකත්වය!
සැප- දුක දෙකෙහිදීම සාමූහිකව සිටීමේ මහඟු ප්‍රතිපත්තිය අරගලකරුවන් ආදර්ශයෙන්ම අපට කියා දෙන්නෙ එහෙමයි.

බවුසරේ එනකම් ඒ බලාන ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න දෙන සෙඩ් අයිතිකාරයෙක් ඉන්නවා කිව්වම, අදහන්න බෑ නේද... විශ්වාස කරපං. මේ ඌරුගල...

හිත කලකිරවන දේවල් අස්සෙම, හිත නිවන- හිතට සනීපයක් ගෙනෙන මෙහෙම තොරතුරුත් දකින්න තරං අපි වාසනාවන්තයි. ‘ආදරයේ අරගලය’ ජයග්‍රහණය තෙක්ම ගෙනියන්නත් මෙවැනි ඍජු ප්‍රතිපත්ති සවියක් වෙනවට කිසිම සැකයක්  නෑ!

පුංචි සාධනීය දෙයක් වුණත් දකිනකොට උද්දාමයට පත් වෙන්නයි මං වහන්සේ පුරුදු වෙලා තියෙන්නේ. එහෙම දේවල් අගය කරන්නත් මේ ලියන නිදි ලෝබ නෑ.

ඒ නිසාමයි අද උදේ මුහුණු පොතෙන් දැකපු මේ ෆොටෝ එකයි, විස්තරෙයි මෙතෙන්ට ඔබන්නේ. ඔයාලගෙත් හිතට සතුටක් ගෙනෙන්න. ඒ post එක පළ කළ අයට වගේම ඒකට comments එවපු අය අතර ඉන්න Pubudu Asinsa වගේ, ඔයාලටත් සතුටු වෙන්න ඇහැකි වෙයි කියලා හිතාගෙන.

For the Public Service
තෙල් ගහන්න ආවම... බවුසරේ එනකම් ඒ බලාන ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න දෙන සෙඩ් අයිතිකාරයෙක් ඉන්නවා කිව්වම, අදහන්න බෑ නේද... විශ්වාස කරපං.
මේ ඌරුගල...

Pubudu Asinsa
මෙහෙම පෝස්ට් එකක් දැක්කත් හිතට සනීපයක් දැනෙනෝ, අනේ ලංකාවේ තවමත් හොඳ මිනිස්සුන් ඉතුරු වෙලා ඉන්නවා කියලා...

මන් මේ දවස් 5ක් ශෙඩ්වල එක තෙල් බිංදුවක් නැතුව ගෙදර ආවා...

ශෙඩ් එකේ මැනේජර්ම උදව් කරලා, පෝලිම් පැනලා, එකම වාහනේ තුන් හතර පාර ගහගෙන, දවස් 3ක් එක දිගට ඉඳපු මිනිස්සුන්ට තෙල් නැති උනා... වැස්සේ තෙමි තෙමී, අව්වට කර වෙවී, දුක් විඳලා ගෙදර ආවා... රස්සාවට යන්න විදියක් නැතුව... හිතට හරිම කළකිරීමක් දැනෙනවා... එහෙම වෙලාවට මෙහෙම පෝස්ට් එකක්...’