නැවේ හැපිල අඩු නින්දෙන්
ඇහැරිච්ච තල්මහට වසේට කේන්ති ගිහින්. නැවේ සුක්කානමට උගෙ නාහෙත් හීරිල. |
එකොළොස්වෙනි පිම්ම
ඇමෙරිකාවට නැවෙන් යද්දී
තුවක්කු සීයකුයි, මිනිස්සු
එක්දාස් හාරසීයකුයි පටවාගෙන පෝට්ස්මත් වරායෙන් පිටත් උණු ඉංගිරිසි යුද්ද නැවක
නැඟිලා වතාවක් මම උතුරු ඇමෙරිකාවට ගියා. සාන්ත ලෝරන්ස් ගඟේ මෝයට හැතැප්ම තුන්
සීයක් විතර මෙහාදී තමයි, කියන්න තරං යමක් උණේ.
ඔය සෙව්වෙදී නැව පරුවතේක
හැපුණ, තදේට. ලඹේ මූදට බස්සල බැලුව. බඹ තුන්සීයකටත් වැඩියි. ඒත් නෑ පරුවතයක් තියා
පතුලක්වත් අහු වෙන හරියක.
මේක නෙවෙයි, මේ හැප්පිල්ලෙන්
වෙච්චි ඇබැද්දියටයි අපි හෙල්ලුම් කාල ගියේ. නැවේ සුක්කානම කම්මුතුයි. ඇණි කුඹේ
දෙකට මැදින් කැඩිල. කුඹ ගස් ඉහේ ඉඳන් පතුළට යනකල්ම දෙදරල ගිහිං. දෙකක් නැවෙන් පිටට
වීසි වෙලා. කුඹේ උඩ නැඟිල රුවල හරි ගස්ස- ගස්ස හිටිය අහිංසකයා හැතැප්ම තුනක් විතර
ඈත මූදට බිලි වෙලා - නෑ! මිනිහ බිලි නොවී බේරුණා; මූදු ලිහිණියෙකුගෙ හොටේ එල්ලිලා.
ඌ මිනිහව ගෙනල්ල කලින් හිටපු
තැනින්ම ඉන්දෙව්ව!
ගැස්සිල්ලේ බයානකකමට තවත්
සාක්කියක්.
යට තට්ටුවේ හිටිය මිනිස්සු දුන්නෙන් විද්ද වාගෙ වීසි වෙලා ගිහින් උඩ තට්ටුවේ ඇනුණ.
ඒ හැප්පිච්ච පාරට මගේ ඔළුව බඩට ඇලිල හිටිය. ඔළුව ආපහු නියම තෙනට ආවේ මාස ගාණකට
පස්සෙයි.
අපි උඩ- බිම බල බලා මේ දේව
සාපෙ ගැන පුදුම වෙන අතරෙදී තල්මහෙක් වතුරෙන් උඩට මතු උණා.
මූ අඩි දාසයක් විතර වතුර යට අව්ව තැප තැප බුදියගෙන ඉඳල තියෙන්නේ.
දැන් නං කතන්දරේ කාටත් තේරුණ. නැවේ හැපිල අඩු නින්දෙන් ඇහැරිච්ච තල්මහට වසේට
කේන්ති ගිහින්. නැවේ සුක්කානමට උගෙ නාහෙත් හීරිල. මේ කේන්තිය පිට ඌ වල්ගෙන් නැවට
තඩි බාන්න ගත්ත. පැත්තක් ඇතුළට එබෙනකං.
ඔය වැහි කෝඩෙට විතරක් නෙවෙයි, අපි අහු උණේ. |
දම්වැල කැඩුණ! අපට නැංගුරමයි තල්මහයි දෙකම නැති වෙච්චි.
මාස හතරක් පහක් ගිහිල්ල ආපහු
එනකොට අපට ඔය තල්මහම මුණ ගැහුණ, ගට්ටනේ වෙච්ච තෙනට කිට්ටුවදී. මෙදා පොටේ උන්දැට
කෙරුම් බෑ. මළකුණයි- මේ පා වෙවී තියෙන්නේ. හැතැප්ම බාගයක් විතර දිගයි. මේ තරම් මස්
කන්දරාවක් කොහොමද නැවට පටව ගන්නෙ?
අපි බෝට්ටුවලට නැඟිලා වදෙන්
පොරෙන් උගෙ ඔළුව කපල වෙන් කළා.
ඔය තියෙන්නේ නැංගුරම එහෙම පිටින්ම, දම්වැලෙන් බඹ හතළිහකුත් එක්ක. හක්කේ වම් පැත්තට
වෙන්න හංගගෙන.
කොරේ පිටට මරේ!
ඔය වැහි කෝඩෙට විතරක් නෙවෙයි,
අපි අහු උණේ. ඒ වෙච්චි එකේ ටික හරියක් නං අමතක කරලා දාන්න උණත් මම කැමතියි. තල්මහ
නැව ඇදගෙන යන අව්වස්සේ ඒකෙ පොඩි සිද්දරාවක් හැදුණ. වතුර ඇතුළට එන්න පටන් ගත්ත.
නැවේ තිබිච්ච පයිප්ප ඔක්කොගෙන්ම ඉස්සත් පිරිමහන්න බෑ.
තව පැය බාගෙන් ගිලෙන එක වරහත් කොරන්න බෑ. මම තමයි මේ හිල කලින්ම දැකපු වාසනාවන්තයා. හිල අඩියක් විතර පළලයි. මටම පහළ වෙච්චි පංකාදු අදහස හින්දා, එක් කෙනෙකුටවත් කරදරයක් විපත්තියක් වෙන්න නොදී නැව බේර ගත්තැයි කියනකොට නං ඔහෙල හිතාවි- මේ හිල පෑදුණු එකට මම නොසෑහෙන්න සන්තෝස උණු බව.
හිල පෑදුණා වගේ සමහර නරක දේවල් හින්දා, හොඳ
අපූරු දේවලුත් සිද්ද වෙනවා!
සිද්ද වෙලා නෙවෙයි, ‘සිද්ද කරලා තියෙන නස්පැත්තිය’ කිව්වමයි වැඩියෙන් හරි. |
රට බංකොලොත් වෙලා, පිට දේශාන්තරවල බැංකුවලින් ගත්තු ණය ගෙවාගන්න බැරි වෙලා තියෙන අව්වස්සේ
ඇමෙරිකාවේ හැමිල්ටන් බැංකුවෙන් අපට නඩු දාලා.
‘... ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජිකයන්
ලංකාවට ඇවිත් තියන අවස්ථාවක ඇමෙරිකාවේ හැමිල්ටන් බැංකුව බැඳුම්කර සම්බන්දයෙන් නඩු
පවරලා තියනවා. ඒ නඩුවේ සටහනක් තියනවා රාජපක්ෂවරු ශ‍්‍රී ලංකා රජයට අයත් මුදල් මේ
මේ ස්ථානවල තැම්පත් කරලා තියනවා කියලා. මේක අපිට විශාල ලැජ්ජාවක්. මීට පෙර කිසිම
උසාවියක, රටේ පාලකයන් නම් කරලා, රටවල් නම්
කරලා, බැංකු නම් කරලා නඩුවක් වැටුණේ නෑ. අද ලෝකේ මතයක් ඇති වෙලා තියනවා ශ‍්‍රී
ලංකාවට උදව් කරනවා කියන්නේ රාජපක්ෂලා ගොඩ දානවා කියලා.
බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ හිටපු ප‍්‍රබලයෙක්- බැලක් බ‍්‍රවුන් එතුමා කියලා තියනවා ලංකාවට දුන්න ආධාර විවිධ රටවල බැංකුවල තැම්පත් කරලා තියනවා කියලා...’
Mister 10% උන්නැහේලගේ, රාජපස්ස පරම්පරාවේ අයගේ නම්-ගම් වග-වාසගම් විස්තර ඔක්කොම එක්කයි හැමිල්ටන් බංකුව අර පැමිණිල්ල දාලා තියෙන්නේ.
ඉතිං, අර මැංචෝසන් සාමි
ඇමෙරිකාවට යමින් හිටිය නැවේ හැදුණාට වැඩිය ලොකු; මහ විශාල පරුමානයේ හිලක් තමයි මේ
වෙද්දී ‘ශ්‍රී ලංකා නැවේ’ හැදිලා තියෙන්නේ.
ඒ හිල වහගන්න ගහන තුරුම්පුව මොකක් වෙයිද කියලයි මම නං බලා ඉන්නේ... තවම අපේ ලොක්කන්ට
නම් ‘හිලේ’ තරම ගනිච්චියක් නෑ වගෙයිනෙ.
වඩුරාළ ඇවිත් මගෙ සරීර ඇබේ වෙනුවට... |
කොටින්ම, මම පැන්න හිල ගාවට.
පැනල මගේ ඇඟ රිංගෙව්වා ඒක ඇතුළට. ඇඳුම් ගලවන්නවත් වෙලාවක් නෑ. වතුර පාරට මගේ ඇඳුම්
තෙමි තෙමී මාවත් බත් උණා.
ටික වෙලාවයි ගියේ, අපේ වඩුරාළ
ඇවිත් මගෙ සරීර ඇබේ වෙනුවට ලීවලින් කෑල්ලක් එතෙන්ට හයි කෙරුවා.
කීප දවසක් යාත්තරා කරලා අපි
උතුරු ඇමෙරිකාවට ගොඩ බැස්ස. අතරමඟදී අහු උණ පාවෙන දූපතක්. බොහොම ලස්සන ගංගොඩවල්
ටිකක් ඒ දූවේ. සුදු මිනිස්සුයි, කාබේරි ටික දෙනෙකුයි ඒකෙ පදිංචි වෙලා ඉන්නෙ.
මේ දූපතේ උක් ගස් හොඳට
වැවෙන්නෙ නැති බව මට දැන ගන්න ලැබුණ. හේතුව? ඉර්තු විපර්යාසේ!
එක තෙනක තියෙන රටක්යැ?
කාලෙකට හිමෙන් වැහිච්ච උතුරු කෙරෝලට යනව. ආයිත් සැරයක් ගිනි ගහන අව්ව තියෙන ඌස්න
හරියට පා වෙනව.
අහිගුණ්ටිකයො වගේ එහෙ මෙහෙ
යන්න සිද්ද වෙලා ඉන්න මේ මිනිස්සු ගැන මට තද දුකක් හිතුණ.
දිග ඇති යකඩ ඉන්නක් අරගෙන දූව මැදින් ඇන්නා. මූද පතුළේ තියෙන ගල්, මඩවල ඉන්න
හිටෙව්වා, ආයිත් නොහෙල්ලෙන්න.
එදා ඉඳන් දූපතේ මිනිස්සුන්ට ඉස්තීර පදිංචියක් තියෙනව.
සැන්ට් ක්‍රිස්ටෝපර්ගෙ දූපත කියලා දැන් පොරසිද්ද වෙල තියෙන්නෙ, මම ඉන්න හිටවපු මේ
දූවම තමා. මේ මිහිපිට නෑ, මේ තරම් හොල්ලන්න බැරි- ඉස්තීර දූපතක්!
මොර ගගහ උඩ බලා ඉන්න පුළුවන්
වෙලාවක් නෙවෙයිනෙ! |
ගිනියා වෙරළට එනකං ඔහොම ආව වගෙ
යාත්තරා කළැයි කියමු. ඒ හරියෙදි ඔන්න, බලන්න පුදුම වැඩක්!
වීදුරුවලින් හදාපුව වගෙ කඳු පරුමාණයක් මූදේ පාවීගෙන එනව අපේ නැව පැත්තටම. ඉර අව්ව
වැටිල ඒක දිලිසෙන දිලිසිල්ල හින්ද හරියට බලා ගන්න අමාරුයි. මේ නං අයිස් කුට්ටියක්
බව මට හොඳටම විස්වාසයි.
මේ තරං ඌස්න හරියකදී උණත්, ළඟින් ගියොත් අපි කපෝතියි!
කොහොම හරි මඟ ඇරලා යන්න වීරිය කළා. අපි නං මඟ ඇරලා ගියා, ඒත් වැඩක් නෑ. රෑ එකොළහට
විතර ඇති. ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පේන්නේ නැති තිත්ත කළුවරේ කුණාටුවක් පටන් ගත්ත.
ඒකෙ පිහිටෙන් නැවත් ගිහිල්ල
අයිස් දූවේ හැපුණේ නැතැයි!
අනේ අම්මෝ!
පරාණ බයක මහත. එදා ඒ නැවේ හිටපු මනුස්සයින්ගෙ විස්සෝපෙයි මොර ගැහිල්ලයි වගේ එකක්
මම දැකලම නෑ.
මොර ගගහ උඩ බලා ඉන්න පුළුවන්
වෙලාවක් නෙවෙයිනෙ!
කාගෙ කාගෙත් පපුවට ලේ උනන විදිහට කතා කරලා මම කිව්වා, පණට ආදරේ ඇත්නං මං කියන
හැටියට වැඩ කරන්නෙයි කියල.
විනාඩියෙන් දෙකෙන් නැවෙන් බාගයක් වතුරෙන් පිරිල. තැන් තැන්වලින් නැව් තට්ටුවට
කුට්ටි කඩා වැටි වැටී, අපව හතර පැත්තෙන්ම ගිල ගන්න එන අයිස් කන්දට යට වෙලා සෙනඟෙන්
බාගයක්ම මළා.
මම නැංගා කුඹ ගහ මුඳුනටම.
නැඟල කුඹ ගහ ගැට ගහගත්ත අයිස් කන්දෙන් නෙරා ගිය කුට්ටියකට. නොමැරී ඉතිරි වෙච්ච
මිනිස්සුන්ටත් මා පස්සෙන් එන්න කියල අයිස් දූපතේ මුඳුනටම බඩ ගාගත්ත.
අපි අදිස්ටාන කර ගත්තෙ, අයිස් දූපතත් එක්ක නැව ඇදගෙන
ගමට යන්නයි. නැත්තං ඒ මත්තෙම නහින එකයි. |
මොකක්ද මෙහෙම තැනට ඕනෑ නුවණ?
ටිකක් වෙලා සාකච්ඡා කරලා, අපි
තීරණේකට බැහැ ගත්ත. අයිස් කපාගෙන පහළට බැහැල එහෙන් මෙහෙන් මතු කර ගත්ත, නැවේ
දම්වැල් තුන හතරක්. බෝට්ටු ටිකත් මූදට බාගෙන දම්වැල්වලින් දූපත හොඳට ඈඳගත්ත
බෝට්ටුවලට. දැන් ඉතිං අපි අදිස්ටාන කර ගත්තෙ, අයිස් දූපතත් එක්ක නැව ඇදගෙන ගමට
යන්නයි.
නැත්තං ඒ මත්තෙම නහින එකයි.
නැවේ තිබිච්ච කිත්තං
ඔක්කොමයි, අරහේ මෙහේ අහුමුළුවල තිබුණු මණ්ඩි ජාතියි දූපත උඩට වීසි කළා. අයිස්
කන්දෙ හොඳට තෙතමනේ තියෙනවනේ. අව්වෙනුත් මදි පාඩුවක් නෑ. ඒක හින්දා ඔය දාපු
රොඩුබොඩුවලින් ඉස්තරංම පෝර තොගයක් හැදුණ, පැය ගාණෙන්!
මගෙ සාක්කුවේ තිබුණ රට එළවලු
ඇට වගයක්. ඒ ටික ඉන්දල දවසෙන් දෙකෙන් දූපත මුඳුනේ අගේ ඇති එළවලු වගාවක්.
ඔහෙගෙ වගාව වගේ නෙවෙයි, මැංචෝසන් උන්නැහේ.
සිරි ලංකාවේ නෙව පෝරයි, පෝර හදන විදියි, වවාගෙන කන ඒවයි තියෙන්නේ....
මේ සාවියේ මදිය නොකියන්න තියෙනවා නියම
කාබනික පොහොර! හදන්න දේකුත් නෑ, හැම තැනම තියෙනවා. එකතු කර ගන්න ක්‍රමයක් විතරයි
ඕනෑ. කෝටි දෙහෙකට වැඩියෙන් ඉන්න පුරවැස්සං වෙන අපේ මොළවලට හානියක් නොවෙන්න එළියට
ගන්න විතරයි තියෙන්නේ.
පිරිසිදු රියල් ගොම හම්බ වෙයි ටොන් ගණනින්!
අනාගතේ දවසක ඒකටත් කෝටි ගාණක project එකක්
පටන් ගනියි- කවුරු හරි ක්‍රම සහ විධි දන්න ඉඩම් ඇමැත්තෙක්; හිටපු එක්කෙනෙක් 2021
කළා වගේ. හදාගෙන කෑම- පොඩි ගණනක් නෙවෙයි, කෝටි හැත්තෑවක්!
අනුරාජපුර දිහාවේ කාබනික පෝර හදන්නෙයි කියලා උන්නැහේලා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සල්ලිවලින් රුපියල් කෝටි
70ක් අරගෙන.
අපේ ඇමතිලා හෙම ඒ පැත්තට
ගිහිං ළඟ තියෙන ඇට ඒ පැත්තට වීසි කළොත් නං... |
ඔය කාබනික පෝර කතන්දරේ හින්දා ඇතිවෙච්ච
අලකලංචි තාම ඉවර නෑ. හාල්- එළවලු ගිනි ගණන්!
හා කියලා- එපා කියලා- ආයෙම හා කියලා ලංකාවට
ගෙනෙන්නයි කියලා, ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7කුත් ගෙවාපු අශූචි නැවේ
හුළඟක්වත් තවම ලංකාවට ඇවිත් නෑ. මොකද වුණේ කියල හොයන්න හනුමන්තව තමයි යවන්න
වෙන්නේ. දැනට පෙනෙන්නේ සල්ලි ගෙවන්න තිබිච්ච කඩි කුලප්පුව විතරයි.
මට හිතෙන්නේ ඒ අසූචි නැවත් අයිස් කන්ද අස්සෙ
හිර වෙලා වෙන්නැති කියලයි. අපේ ඇමතිලා හෙම ඒ පැත්තට ගිහිං ළඟ තියෙන ඇට ඒ පැත්තට
වීසි කළොත් නං...
තමුසෙගෙ වලත්තකම තියාගෙන පොතට යනවා! චිත්තයා මට කියනවා!!
අපේ සෙනඟට කන්න අල ජාති, කොළ
ජාතිවලින් එදායින් පස්සෙ හිඟයක් නෑ.
නැවේ තිබිල හිටවපු දෙල් ගස් ටිකයි, සීනි පලතුරු එහෙම පදමට කවලම් වෙලා පුඩින් පල
ගත්තු අනිත් ගස් ජාතියයි කීයත් වටිනව. මෙහෙම දෙලක්වත්, පුඩිමක්වත් එංගලන්තෙදී නං
කටේ තියන්න ලැබෙන්නෙ නැති වගයි අපේ කාණ්ඩේ කවුරුත් කිව්වේ.
උරහිස් කැඩෙනකං හබල් ගාල-
හබල් ගාල, සුමාන ගාණකට පස්සේ එංගලන්තෙට ගොඩ බහිනකොට අපි එක්කෙනෙකුටවත් කෙලින්
කටින් ඉන්න බෑ!
දොළොස්වෙනි පිම්ම
උතුරෙදී මාරකයක්
කපිතාන් පිප්ස්- දැන් මල්ග්රෙව්
සාමි; උතුරු පොරදේස හොයා ගන්න ගිය ගමන ගැන කවුරුත් දන්නවා නෙව? මමත් කපිතන් එක්ක
ඔය ගමන ගියානෙ. කණ්ඩායමේ කෙනෙක් හැටියට නෙවෙයි- එයාගේ යාළුවෙක් හැටියට!
උතුරු පොරදේස හොයා ගන්න ගිය
ගමන ගැන..(foto එක නං එන්න තියෙන film එහෙක එකක්!) |
මමත් හනික මගෙ තුවක්කුව උරෙන් පන්නගෙන අයිස් කන්දට ගොඩ උණා.
මුඳුනට නැග්ගහම පොළොව එක එක
තාලෙ. සත්තුන්ට කිට්ටු කරනව තියා, පොළොවේ පය ගහල යන්නත් බයයි. හිටපු ගමන්
මනුස්සයෙකුට කර පොවන්නවත් බැරි පතහවල්. ඕව උඩින් නං මම පැනල ගියා!
තව තෙනක බිම කන්නාඩිය වගේ.
මාසයක් අත ගගා හිටිතෑකි. ඒ තරං සිනිඳුයි. හැබැයි යන්න ගියහම අඩියෙන් අඩිය ලිස්සල
දෝරගල්ලේ වැටෙන එකයි.
පේන මානෙට ගොහින් බැලූකොට වලස්සු දෙන්න පෙං කෙළිනව. හොඳට මස් දාල වැඩිච්චි ගොන්
බානකට දෙවෙනි නෑ, මහත දෙහෙතින්. ඒ පාර මම ගණන් බලන්න පටන් ගත්තෙ, මුන්ගෙ හම කොච්චර
විතර වටීද කියල.
තුවක්කුව උස්සල කුරුමාණම අල්ලන්න හැදුව විතරයි, දකුණු කකුල ලිස්සල ගොහින් මාව
දඩෝරියං කියල උඩුබැල්ලට ඇද හැලිච්චි. පැය බාගයක් විතර යනකං සිහිසන් නැතුව
එහෙම්මමයි.
උඩු බැල්ලට වැටිච්චි මම සිහිය
එනකොට මුණින්තලව් වෙලා. වලස්සු දෙන්නගෙන් එකෙකුගේ හපන්කම තමා ඒ. මාව අනිත් අතට
හරවල, මූ දැන් සූදානම් වෙන්නෙ- මගෙ ඉනේ බැඳලා තියෙන හම් පටියෙන් ඩැහැගෙන ගොජුර
අයිනකට ඇද ගන්නයි.
මගෙ සාක්කුවේ තිබිල මේං මේ පිහිය ඇදල අරං උගෙ පස්ස කකුලේ ඇඟිලි තුනක් කැපිල යන්න
කෙටුව.
මාව අනිත් අතට හරවල, මූ දැන් සූදානම් වෙන්නෙ- මගෙ
ඉනේ බැඳලා තියෙන හම් පටියෙන් ඩැහැගෙන ගොජුර අයිනකට ඇද ගන්නයි. |
වෙඩි සද්දෙට අහළ පහළ නිඳා
උන්නු වලස්සු නැඟිට්ට. මෙන්න වැල නොකැඩී එනව වලස්සු දාස් ගාණක්. සමාදානෙට නෙවෙයි
උන්නැහෙල ළං වෙන්නෙ.
හරි! හරි!! අහක දාන්න බැරි අදහසක් ඔළුවට ආව.
වෙඩි කාපු වලහගේ ඔළුවයි හමයි
ගලව ගත්තා. හාවෙක් හම ගහන්න යන වෙලාවෙන් බාගයක්වත් ගියේ නෑ. හම ඇතුළට රිංගගෙන වලස්
ඔළුවෙන් මගෙ ඔළුවත් වසං කර ගත්ත. මං ඇඳුම් ඇඳගෙන ඉවර වෙනවත් එක්ක, මුළු වලස්
හැතිකරේම ඇවිල්ල මාව වට කර ගත්තා.
ඇත්ත කියන්නං!
ලොම් ඇඳුම අස්සෙනුත් මගෙ මුළු
සරුවාංගෙම හීතල වෙලා ගියා.
කොහොම හරි වෙස් පෙරළියෙන් පණ
ගැලවුණ. එක එකා ඇවිදින් ඉව කරල බැලුව. අවිස්වාස කරන්න දෙයක් නෑ. උන්ගේ වරිගෙම
එකෙක්! තව ටිකක් කඳ තිබුණ නං මාත් හොඳ වලහැඩියෙක්. උන් අතරෙත් හිටිය මට වඩා මහත
නැති පැටව් නං. මළගිය වලස් පරාණෙයි, ඒක ඇතුළේ කූඩු වෙලා හිටිය මනුස්ස පරාණෙයි ඇති
පදම් ඉව කරලා, උන් මාත් එක්ක යාළු උණ.
උංගේ ගමන් තාලෙයි, අත පය
හෙලවිල්ලයි දෙකම නං මම ලේසියෙන් අල්ල ගත්ත. ගෙරවිල්ලටයි, බෙරිහං දීමටයි, බදා
ගැනිල්ලටයි ගිය තෙන නං උඩින්ම පරාදයි.
දැන් මේ සතුන්ගෙ හාදකම වාසියට
හරවා ගන්නෙ කොහොමද කියලයි මගෙ කල්පනාව.
ගමේ- ගොඩේ- වෙලේ- දෙනියේ කරක්
ගහද්දී ගමේ බාසාව අල්ලගෙන ඒක හොඳට පත්තියම් කර ගත්තු... |
ආයිත් අර පිහියම අතට ගත්ත. ළඟ
හිටිය මහම වලහගෙ පිටි කරට පාරක් දුන්න. හැබැයි බොහොම බයෙන්!
ඌ ගොඩ අවොත් මගෙ ලහඳුවත් තියන්නෙ නැති බව මට සහතිකයි.
ලහඳු!
අහල තියෙනවැයි.... මට නං ජීවිත කාලෙටම ‘ලහඳු’ හදි ගැහුණේ දැන් තමයි. කුරුප්පු
මහත්තයා හොරණ උඩුව පැත්තෙ ගමේ- ගොඩේ- වෙලේ- දෙනියේ කරක් ගහද්දී ගමේ බාසාව අල්ලගෙන
ඒක හොඳට පත්තියම් කර ගත්තු හපනෙක් වෙන්ඩෝනි. මැංචෝසන් චාරිකා පොත පුරහම ඒ කට වහර;
ගමේ බාසාව සුවඳ ගහන විත්තිය නං දැනටමත් ඔය ඇත්තන්ට දැනිල ඇති!
උඩදී අහු වුණා නේද ‘දෝරගල්ලේ, වරහත්’ වගෙ වචනත්?
ඉතිං, ලහඳු වචනේ තේරුම හොයන්න සද්ද කෝෂ දෙක තුනක් පෙරළුවා. ම්හු. හම්බ වුණේ නෑ!
කව්රු හරි දන්න- කියන බහුශ්‍රැත ඇත්තෙක් ඉන්නවා නං කියා දෙන්නකෝ.
දැනට නං මං වහන්සේ ‘ලහඳු’ තේරුම් ගන්නෙ
මෙයාකාරයෙන්: කැබලිවත්; කුඩුවත්; ශේෂයක්වත්; ලකුණක්වත්...
සිංහල
බාසාවේ තියෙන එක මහිමයක් තමයි මේ වගේ අපූරු වචන. නොදන්නකමටමයි අහන්නේ. අහුපෑවත,
මව්වත්කම වචන දෙක ඉංගිරිස්වලින් කියන්නෙ කොහොමෙයි?
ඇහැක් නම් එව්වත් කියා එවන්න, හොඳේ.
මෙතෙන ඉඳල එක එකා බිල්ලට
ගන්නයි මට ඕනෑ. ඒකට කිසි බාදාවක් නෑ. |
මෙතෙන ඉඳල එක එකා බිල්ලට ගන්නයි මට ඕනෑ. ඒකට කිසි බාදාවක් නෑ. තමන්ගෙ කාණ්ඩේ එවුන්
වැටෙනව දැක්කට, කොහොම වැටෙනවද- මොනව වෙලා වැටෙනවද කියල වලස්සුන්ට තේරුමක් නෑ.
උන්ගෙ සනුහරේ ඔක්කොම මැරුම්
කාල වැටුණට පස්සෙ මට ලොකු ආඩම්බරයක්. මාත්, බූරුවෙකුගෙ හකු ඇටේකින් හතුරෝ දාහක්
මැරුවැයි කියල බයිබලේ කියල තියෙන සැම්සන් වගේ වීරයෙක්.
ඉතුරු හරිය සංසේපෙන්
කියන්නම්.
මම නැවට ගිහිල්ලා සෙනඟෙන් තුන් කාලක් එක්කගෙන ආව අත් උදව්වට. ඔක්කොම හම ගහල, ගාත්
ටික ගෙනිහින් දාල- නැව පුරව ගත්ත. පැයයි දෙකයි වැඩේට ගියේ.
ඉතුරු හරිය සේරම මූදට ඇද දැම්ම. මට නං හොඳටම විස්වාසයි, හොඳට සුද්ද කරල ගත්ත නං,
අනිත් ටිකත් අමාරුවක් නැතුව බුක්ති විඳින්න තිබුණ.
ආපහු ආ හැටියේම, කපිතන්ගේ
නමින් වලස් ගාත් තොගයක් යැව්ව නාවුකාංසෙ සාමිවරුන්ට. තව ටිකක් තෙලිජේරියේ
ලොක්කන්ට. ලංඩන් නුවර නගරාදිපති සාමිට වෙනම ගොඩක්.
ඔය විදිහට වෙළෙඳ සමාගම්වලටයි, තව ලොකු ලොකු උදවියටයි දීලා, ඉතුරු කොටහ....
ඔව් ඔව් ඔව්! ඉතුරු කොටහ ඊළඟ කොටසෙන්.......