අකුරු මැකී නෑ

Thursday, July 28, 2022

මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස

... දවසක් උදැහැනැක්කේ මං දේවතා දූට ඇප උපස්තාන කර කර ඉන්නකොට, දිවිය රාජයා කිසි ගරු-සරුවක් නැතිව එතෙන්ට කඩා වැදිලා..... මාව එක අතකින් උස්සගෙන, මම කවදාවත් නොදැකපු කාමරේකට ගෙනිච්චා.

තිර රචකයාගේ හිතේ මැවුණු චිත්ත රූප- අධ්‍යක්ෂවරයාට මනාප විදිහට...

ඒක ඇතුළෙ පේන්න තියෙනව බැලූ බැල්මටමවිසාල කට ඇති ළිඳක්!

ඔය ළිං කටට කරලා මාව අතින් එල්ලගෙන උන්නාන්සෙ කෙළෙහි ගුණයක් නැති මනුස්සයමගෙ දෑහැට නොපෙනී ආපු අතක් බලාගන්’ කියලමට කට අරින්නවත් ඉඩක් නොතියා මාව අත ඇරියා!

පොතක් කියන්නේ පොතක්. Film එකක් කියන්නේ film එකක්.
පොත කියවද්දී අපට ඕන ඕන විදිහට; අපි කැමති විදිහට ඒ කතාවේ චිත්ත රූප මවා ගන්න ඇහැකියි. ඒවාට සීමාවන් නෑ.

ෆිලුමකදී එහෙම නෙවෙයි! තිර රචකයාගේ හිතේ මැවුණු චිත්ත රූප- අධ්‍යක්ෂවරයාට මනාප විදිහට, කැමරාකරුගේ උදව්වෙන් රූපයට නැඟෙනවා... (සමහර වෙලාවට සංස්කරණයේදී හිතුවෙවත් නැති අරුත් සපයමින් කතාවට නව අරුත් දීපු අවස්ථාවන් ගැනත් කියවෙනවා.)

අපට පෙනෙන්නේ- දැනෙන්නේ රූප, සද්ද සේරමත් එක්ක එන හැඟීම්. එහෙම නෙවෙයිද? (නිකමට action ෆිලුමක සද්දෙ නැතිව බලන්නකෝ මොනවද දැනෙන්නේ කියලා!)

ඒ නිසා, පොතක් ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය වෙද්දී වෙනස්ම විදිහට අර්ථ කථන දෙන්නත් ඇහැකියි. ඒකට හොඳ උදාහරණයක් ගැන ඩ්රැකී ලිව්වා... ලිව්වා කිව්වට වැඩිය හොඳයි, ඩ්රැකීට ලියන්න වුණා කිව්වම. 2022 මාර්තු 3 ‘යුද්ධ කතාවක්’ කියලා ඩ්රැකී ලිව්වේ ‘බැරන් මුන්චෝසන්’ film එක ගැනයි.
(බැරන් මුන්චෝසන් කියන්නෙත් ‘මැංචෝසන් සාමි’ කියන්නෙත් එකම එක පුද්ගලයා බවට දිවුරුම් ප්‍රකාශයකුත් දෙන්න වෙයිද මන්දා...)

වල්කන් දෙයියා ගැන කොටහ ෆිලුමෙදී වෙනස් කරගෙන තියෙන හැටි ඩ්රැකී ආදිපාදතුමා ලියා තිබ්බේ මෙහෙමයි:

වල්කන් ඔහුට පෙන්වනවා, න්‍යෂ්ඨික බලය අවියක් ලෙස යොදාගන්නා හැටි.

“මුන්චෝසන් බැරන්වරයා වරක්, රෝම දෙවියෙක් වන වල්කන් මුණ ගැහෙනවා. වල්කන් ඔහුට පෙන්වනවා, න්‍යෂ්ඨික බලය අවියක් ලෙස යොදාගන්නා හැටි. එතැනදී ඇතිවන දෙබස හාස්‍යය ඉක්මවා යනවා.

මුන්චෝසන් බැරන්: මොකද්ද මේ?

වල්කන්: , මේ අපේ මූලාකෘතියක්. අන්තර් මහද්වීපික, රේඩාර්වලට හසු නොවන, බහු ශීර්ෂක, න්‍යාෂ්ඨික මිසයිලය.

මුන්චෝසන් බැරන්: අහ්! මොකද්ද ඒකෙන් කරන්නෙ?

වල්කන්: කරන්නෙ? සතුරන් මරණ එක.

මුන්චෝසන් බැරන්: සතුරන් ඔක්කොමද?

වල්කන්: ඔව්. උං ඔක්කොම. උන්ගෙ භාර්යාවන්, උංගෙ දරුවන්, උන්ගෙ බැටළුවො, උංගෙ හරක්, උංගෙ බළල්ලුයි බල්ලොයි, ඔක්කොම විනාශ වෙනව.

සැලී: ඒක බිහිසුණුයිනෙ.

වල්කන්: ආාාා, ඉතිං... ඒකෙ තියෙන වාසිය තමයි, ඒ කිසිම එකෙක් මැරෙන හැටි අපට දකින්න වෙන්නෙ නැති එක. අපි මයිල දාස් ගාණක් ඈත තැනක සැප පහසුවට වාඩිවෙලා ඉන්න ගමං, සරළවම බොත්තමක් ඔබන එක විතරයි කරන්න තියෙන්නෙ....”

මොකද හිතෙන්නේ? ඒ post එක ඔබ තමුන්නාන්සේලා කියවලා තිබුණත් කාරි නෑ, ආයිමත් කියවල බලන්න වටිනවා- වෙලාව තියේ නං.

ඇහැකියි නං, The Adventures of Baron Munchausen (1988) චිත්තරපටයත් බලන්න. ඩ්රැකීම link එකත් දීල තියෙනවා!

පරාණ බය නැතිකොට දැන් මම ඉන්නෙ දිවිය ලෝකෙකනේ? වටපිට බැලින්නං...

ඔන්න එහෙනං ‘වල්කන් දෙවියා මැංචෝසන් උන්නැහේ එක්ක කේන්තියෙන් එයාව ළිඳට අතෑරපු තැනට’ මම ඔයාලව එක්ක යනවා, ආයෙමත්.

පහළට වැටෙන්න ගත්තු වේගෙට මගෙ ඔළුව කැරකෙන්න ගත්ත. බයටම සිහිසන් නැතුව නින්ද ගියා වගේ උණා. ඇහැරුණේ ඉර එළිය වැටිල බබළන වතුරකට වැටුණහමයි.

දණ ගාන වයසෙදි ඉඳන් පීනන්න පුරුදු වෙච්ච රුසියෙක් මම. වතුරේ ඕනි සෙල්ලමකට ඔට්ටුයි! කලින් තිබිච්ච පරාණ බය නැතිකොට දැන් මම ඉන්නෙ දිවිය ලෝකෙකනේ? වටපිට බැලින්නං, හතර වටේම මහ මූද. පේන තෙක් මානෙක වෙන දෙයක් නෑ. වල්කන් දෙයියන්ගෙ කම්මලේ ඉඳල ආපු මට මෙහෙ වතුර බොහොම සීතලයි.

ඔහොම ඉන්නකොට මම දැක්ක විසාල කන්දක් වගෙ මං දිහාවට පාවෙවී එන මොකක්ද කුට්ටියක්. ටිකක් වෙලා බලනකොට මේ එන්නේ අයිස් කන්දක්නෙ. වටේටම පීනලයි, හොයා ගත්තෙ පය ගහල උඩට නඟින්න පුළුවන් තෙනක්. ටිකක් මාන්සි වෙලා මුඳුනට නැඟ ගත්ත.

එතන ඉඳන් බැලුවත් ගොඩ බිමක් පේන්නෙ නෑ.
දැන් ඉතිං මොනවා කරම්දෝ කියල තේරුමක් නැතුව ඉන්න අතරෙදි, රෑ වෙන්න ටිකකට ඉස්සෙල්ල රුවලක් ඇහැ ගැහිච්චි. අයිස් කන්දත් අත ඉක්මන් කරල ඒ පැත්තටම පා උණා.
තරමක් ළඟට ආවහම මම නැවට කතා කළා ජර්මන් බාසාවෙන්. එහෙන් උත්තර දුන්න ඕලන්ද බාසාවෙන්. එතකොටම මම මූදට පැන්න.

නැව්කාරයෙක් කඹයක් මූදට බාල මාව ගොඩට ගත්ත.

එට්නා කන්දෙන් ගිලිච්ච මම පොළොව මැදින් මේ දකුණු මූදටයි කිඳා බැහැල තියෙන්නෙ.

මේ කොයි හරියද කියල අහල බැලුවහම මට කිව්ව දකුණු සාගරෙයි කියල. දැන් මට අහු උණ මෙච්චර වෙලා තෝරගන්න බැරුව තිබුණු හොරයක්. එට්නා කන්දෙන් ගිලිච්ච මම පොළොව මැදින් මේ දකුණු මූදටයි කිඳා බැහැල තියෙන්නෙ.

ලෝකෙ වටේ වට වලංගුවේ යන්න වාගෙ නෙවෙයි, මේක බොහොම කෙටි පාරක්.
හැබැයි, මම ඇරුණහම මෙලෝ පුතෙක් මේ පාරෙන් යනව තියා යන්න හිතලවත් නෑ. අනිත් පාර යනකොට මීට වඩා හොඳින් මඟතොට බලා ගන්නයි මගෙ කල්පනාව.

ඩිංගක් මොනවත් කාල බීල මම නිඳා ගත්ත.

ඕලන්දක්කාරයෝ කිව්වහම මහ මූසල ජාතියක්. දැන් මේ කිව්ව වගෙම මගෙ ගමන නැවේ නිලදාරින්ටත් විස්තර කෙරුව. නායකයයි තවත් ටික දෙනෙකුයි මං කියාපු දේ දණින් ඉහළට ගත්තෙ නෑ. ඒ ගොල්ලන්ගෙ බැල්මෙනුයි මුනු-මුනුවෙනුයි මට ඒක තේරුණ. කොහොමටත් මාව නැවට අරං සාත්තු මේච්චල් කරන වෙලාව නේදැයි කියල මම මොකුත් නොකිය කර බාගත්ත.

ඊළඟට අහල බැලුව මේ ඇත්තෝ මේ කොයි යන ගමන්ද කියල.
අලුත් රටවල් හොයන්න යනවලු!
මං කියන විදිහට, ලෝකෙ වටේ යන්න අලුත් පාරක් හොයා ගත්තා නං කොහොමටත් හිස් අතින් ආපිට යන්නෙ නෑ නේද කියලත් අහපි!

දැන් අපි යන්නෙ හරියටම කපිතන් කුක් පළමු සැරේ යාත්තරා කරපු පාරෙන්. පහුවෙනිදා බොටනි වරායට ළඟා උණා. ඉංගිරිසි ආණ්ඩුවට මම නං කවදාවත් කියන්නෙ නෑ අපරාදකාරයෝ මෙතෙන්ට එවන්න වටිනවයි කියල. දඬුවමකට එවනවා නං එවන්න ඕනෑ හොඳ වැඩක් කරපු උදවිය. හත් මූදකින් මෙපිට හොයන්න බැරි තරම් ලස්සන තෙනක් මේක!

පිං කෙත හෙළ රන් දෙරණේවන්දනීය රුවන්වැලි සෑයේ චූඩා මාණික්කයත් හොරෙන් ගලවගෙනද කොහෙදලු!!!
පසළොස්වෙනි පිම්ම
අරුම පුදුම රටවල

ඔය මාතෘකාව key කරන ඇසිල්ලෙම මට කල්පනාවක් ආවා නෙව. ලෝකේ තියෙන අරුම පුදුම රටකට හොඳම උදාහරණේ අපේ මාතෘ භූමිය වන ශ්‍රී ලංකාව නේද.
කොච්චර අරුම- පුදුමද කියනවා නං, ‘පිං කෙත හෙළ රන් දෙරණේ’ වන්දනීය රුවන්වැලි සෑයේ චූඩා මාණික්කයත් හොරෙන් ගලවගෙනද කොහෙදලු!!!

රුවන්වැලි මහා සෑයේ පැරැණි කොතේ පලඳා ඇති මැණික් ගල (චූඩා මාණික්‍ය) ගලවා ඒ වෙනුවට වීදුරුගල් අල්ලා ඇති බව ඇතුළු ඒ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලී චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් සහ දායක සභාව විසින් පොලිස්පතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් කර තිබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එම නියෝගය කර ඇත.

පල්ලේගම හේමරතන හිමියන් සහ දායක සභාව විසින් පොලිස්පතිවරයාගෙන් අවස්ථා කිහිපයකදී මේ ඉල්ලීම කර තිබේ.’

පුදුමේ කියන්නේ මොකා කොහොම මේ හොරකම කරන්න ඇද්ද කියන එක නෙව...
උපාසක- උපාසිකාවන්ට මලක් පුදන්න; පහනක් පත්තු කරන්නවත් රෑ නවයෙන් පස්සේ අටමස්ථානවලින් එහෙකටවත් ඇතුළු වෙන්න දෙන්නෙත් නැහැ නෙවෙද?

මේ හොරකම කළෙත් ජාතික කෞතුකාගාරේ බිඳපු ‘කන් ගැට්ට’මද දන්නෑ!
ඔව්වගෙ සිද්දි හගිස්සන්න ගියොත් නං කෙළවරක් වෙන්නෑ. ඒත් මෙව්වාත් අපේ මතකේ හරි තියා ගන්න වටින ප්රවුර්ති නෙව. ඉක්මනටම ‘ඒ නඩුවලටත් බඩුම තමයි’ කියලයි කියන්න වෙන්නේ!

මූදේ පාටත් වෙනස්. මේ හරියේ මූදු වතුර නිල් පාට නෙවෙයි, කිරිම කිරි පාටයි!

ඉතිං බලමුකො ‘මැංචෝසන් චාරිකා’ පොතේ තියෙන ‘අරුම පුදුම රට’ මොන වගෙද කියල.

බොටනි වරායේ දවස් තුනක් නැවතිල ඉඳල පිටත් උණා. වැඩි ඈතක් යන්න ඉස්සෙල්ල බරපතල කුණාටුවකට අහු උණ. නැවේ රුවල් හීනි තීරුවලට ඉරිල පලච්චි. ඇණි-කුඹේ දෙදරල ගියා. රුවල්වලට උඩින් තිබිච්ච ඔක්කොම අඩුවැඩිය කැඩිල බිඳිල ගියා.
ඒවා ඇවිල්ල කොම්පාසුව තිබිච්ච කාමරේ වහලේ කඩාගෙන ඒ පිට වැටිච්චි. කොම්පාසුවේ කෑලිත් නෑ!

මූදු ගමන් පුරුදු ඕනෑ කෙනෙකුට අපට මූණ පාන්න වෙච්ච ඇබැද්දියෙ බයානකකම තේරෙනව.
ඉන්නෙ කොහෙද, යන්නෙ කොයි පැත්තටද මොකුත් දැන ගැනිල්ලක් නෑ. ඔහොම ගිහින් කුණාටුව නැවතිල කාලයක් යනකම්ම හුළඟින් හිරිහැරයක් නොවී තිබුණ.

තුන් මාසයක්ම යාත්තරා කළා. හොඳ හරියක් පහු කරන්නත් ඇති. හිටි හැටියෙ නැව වටේට තියෙන හැම දෙයක්ම වෙනස් වෙලා. සුළු පටු වෙනසක් නොවෙයි... අපේ ඇඟට කියන්න බැරි තරං සනීපයි! හිතට ලොකු සතුටක්... අනිත් අතට එහෙම සුවඳක්! මොළේට පවන් ගහන්න වාගෙ... හුස්ම පහළට එලන්න හිතෙන්නෙම නෑ.

මූදේ පාටත් වෙනස්. මේ හරියේ මූදු වතුර නිල් පාට නෙවෙයි, කිරිම කිරි පාටයි!

තරමක් ඈත ගොඩබිමකුත් පේන්නෙ. වරායක් බලාගෙන නැව ගෙනිච්ච ඒ අතට. ළං වෙලා බැලුවහම වරායේ බොහොම ඉඩකඩ තියෙනව. ජඹුරත් මෙච්චරයි කියල හිතන්න බෑ.
වතුර නෙවෙයි තියෙන්නෙ. වෙළෙන්දන්ට අහු නොවෙච්ච පිරිසිදු කිරි!
ගොඩට පය ගහල බැලුව... ඒ දූව තනිකරම කේජු කෑල්ලක්! දිග පළල හැතැප්ම ගාණෙන් මනින්න ඕනෑ. පොඩි පටලැවිල්ලක් නොවෙන්න මේ කේජුවල විත්තිය කවදාවත් අපට අහු වෙන්නෙ නෑ.

අපේ කාණ්ඩේ හිටිය එක මිනිහෙක්, මිනිහට කේජු පෙන්නන්න බෑ. පොළොවට පය ගහපු ගමන්ම මිනිහට කලන්තේ හැදුණ. සිහිය ආපු හැටියේ කෑ ගහන්න පටන් ගත්ත. කකුල යට තියෙන කේජු ටික අහකට දාන්න කියල. එතකොට තමා අපි ටිකක් විපරම් කළේ- කලින් කිව්ව වගේ කේජු දූපතක් බව වටහ ගත්තෙ.

ඒකට හරි යන්න කකුල් තුනයි. වැඩිහිටි උදවියගෙ නළලෙ අඟක් එනව. ඒ අඟ පාවිච්චි කරන්නත්...

දූපතේ මිනිස්සු හැමෝම කේජු කාලයි ජීවත් වෙන්නේ. දවාලට කඩා ගත්තු හිස් තැන් රෑට සම්පූර්ණ වෙනව. වලුවලින් බර වෙලා තියෙන මිදි වැල් නිමක් නෑ. ගෙඩි මිරිකුවොත් බේරෙන්නෙ කිරි!

රටේ පදිංචිකාරයො කඩවැහුම ඇති මිනිස්සු ජාතියක්. හුඟ දෙනෙක්ම අඩි නවයක් විතර උහයි. එක අතයි ඒ ගොල්ලන්ට තියෙන්නෙ. ඒකට හරි යන්න කකුල් තුනයි. වැඩිහිටි උදවියගෙ නළලෙ අඟක් එනව.
ඒ අඟ පාවිච්චි කරන්නත් පුදුම විදියෙ ඇබ්බෑසියක් එවුන්ට තියෙන්නෙ.
කිරි මතුපිට ඇවිදිනව, දුවනව, ගිලිල්ලක් නෑ. හරියට අපි තණකොළ පිට්ටැන්නක යන්න එන්න වාගෙ.

මේ දූපතේ, හරියටම කියනව නං මේ කේජු කුට්ටියේ, තියෙනව බර ගොයම් වගාවක්. කරල් පූදින්නෙ හතුවල හැඩහුරුවට. කිරි වැදිල මෝරනකොට හොඳට පිච්චිලා පදම් වෙච්ච පාන් ගෙඩි!
කේජු පොළොවෙ ඇවිදිනකොට අපිට මුණ ගැහුණ ගංගා නවයක්. හතකම ගලන්නෙ කිරි. අනිත් දෙකේ වයින්!!

ඒ පැත්තෙ ඉඳන් දවස් දාසයක් යාත්තරා කරල අපි දූපතේ අනිත් පැත්තෙන් ගොඩ බැස්ස. පරණ වෙලා, පරණ වෙලා, නිල් පාට ගැහිච්ච කේජු තැනිතලා එහෙ. කේජු කෑජරයො කැමති පරණ වෙච්චට තමා. මේ හරියේ පණුවො රජ කරනව ඇති කියල තමා, අපිත් කලින් හිතුවෙ.
නෑ!

වටිනා කියන රූස්ස ගස් හැම තෙනම.
චෙරි, පීච්, ඇප්රිකට්... තව අපි නාඳුනන ගස් ජාති විස්සක් විතර. අහස උසට වැවෙන මේ පත ගස් පුරාම කුරුලු කූඩු. ඔය අස්සේ තිබුණ පිළිහුඩු කූඩුවක්. ලන්ඩන් නුවර සන්ත පෝල් පල්ලියෙ බෝක්කු පියස්ස වාගෙ පස් ගුණයක් හිටී ඒකෙ වට රවුම. විසාල ගස් එකතු වෙලා එක ලතාවකටයි කූඩුව හැදිල තිබුණේ. බිත්තර පන්සීයක් විතර ඒක ඇතුළෙ. චූටිම බිත්තරයක් ලේගරේකට කුඩා නෑ. පිළිහුඩු පැටව් නං එකෙක්වත් බලා ගන්න බැරි උණ. උන්ගෙ කිචිබිචිය නං කොච්චරවත් ඇහෙනව. බැරි පුළුවන් ගාණෙන් බිත්තරයක් බිඳපුකොට පිහාටුවත් ඉදිලා නැති පැටියෙක් එළියට පැන්නේ.

ගස් එකක් නෑර- පංගුවක් වට සීයෙ හමාරෙ ඒව- දෙසැරයක් බිමට නැවිල අපට ආචාර කළා. ඔක්කොම එක විඩේට.

හොඳ පැටියා!

උකුස්සෝ විසි දෙනෙකුට වැඩිය ලොකුයි. පැටියා එළි බැස්ස විතරයි- මහ පිළිහුඩුව කොහෙද ඉඳල පාත් වෙලා අපේ කපිතන්වත් නිය පඳුරෙන් උස්සගෙන ඉගිලුණා. හැතැප්ම තුනක් විතර උඩට ඉගිල්ලිලා, පිහාපත්වලින් හොඳටම තඩි බලා මිනිහව මූදට අත ඇරියා.

ඕලන්දක්කාරයෝ කොහොමටත් පීනන්න දස්සයො. අපේ මිනිහත් වැඩි වෙලා යන්න ඉස්සෙල්ල ආපහු පීනගෙන ආව. අපි අත ඉක්මන් කරල නැවට නග්ග ගත්ත.

අලුත් අලුත් මොනවත් බලා ගන්න කියල වෙන පාරකින් ආපහු එන්නයි අදහස.

අපට තළා ගන්න අහු උණ සත්තු අතරෙ උන්නා, එක තාලෙක මී හරක් දෙන්නෙක්. ඒක ගැන පස්සෙ අපි දුක් උණා. ඒ රටේ මිනිස්සු මුන්ව හීලෑ කරං තවලම් ගෙනියන්නයි, පිටේ යන්නයි ගන්නව. උන්ගෙ මසත් බොහොම අනර්ගයි කියල අපට කිව්ව. ඒත් කේජු කකා කිරි බොන මිනිස්සුන්ට මස්වලින් පලක් තියෙනවයැ?

නැවට නැඟල මේ කිරි උතුරණ රටෙන් පිටත් වෙන්න හදනකොටම, මූද අයිනේ තියෙන ගස් එකක් නෑර- පංගුවක් වට සීයෙ හමාරෙ ඒව- දෙසැරයක් බිමට නැවිල අපට ආචාර කළා. ඔක්කොම එක විඩේට. ආයිත් ඒ තිබිච්ච හැටියටම හිට ගත්ත.

ඉවක් බවක් ඇතුව, දැනගෙන යන කතරගමක්යැ?
තිබිච්ච කොම්පාසු කටුවත් පොඩි උණා නෙ. අපිත් ඔහෙ ඒ අතට මේ අතට පා වෙලා කළූම කළු වතුර පිරිච්ච මූදකට වැටුණ.
මේ පල් වතුර ටිකක් දිව ගාල බැලින්නං, බීගෙන මළත් සැපයි!

මේ විනෝද සාගරේ වැඩි වෙලාවක් පීනන්න අහු උණේ නෑ. අරහෙන් මෙහෙන් අපිව වට කර ගත්ත නේද...

පෙරාපු වයින් සාගරයක්.
අපේ මිනිස්සුන්ව පදමට ගහල, වමට බඳින්න නොදී බේර ගත්තෙ නව වැඳුම් වැඳලයි.

මේ විනෝද සාගරේ වැඩි වෙලාවක් පීනන්න අහු උණේ නෑ. අරහෙන් මෙහෙන් අපිව වට කර ගත්ත නේද තල්මසුයි තව ඒ වල්ලේම මාළුයි.
එක මාළුවෙක් හිටිය, අර චීනක්කණ්නාඩියෙනුත් බැරි උණා උගෙ වලිගෙ කෙරෝල බලා ගන්න.
කරුමේම තමා! අත ළඟටම එනකං අපි ඌව දැක්කෙ නෑ.
ඌ මිනිස්සුයි රුවලුයි ඔක්කොම අඩුවැඩිය පිටින් නැව එක උගුරටම ගිල ගත්ත.

මාළුවගේ උගුරෙ ටික වෙලාවක් රැඳිල හිටිය.
එක පාරටම ඌ වතුර බොන්න කට ඇරිය. ඒ උගුරට ගත්තු වතුරෙ පාවෙලා අපේ නැව මාළු බඩටම රිංගුවා.
කිසිම හැල හොල්මනක් නැති වරායක නැංගුරං දාගෙන ඉන්නව වගෙයි, එහෙ ඉඳිල්ලත්.

වාතෙ නං තරමක් උණුහුමයි. මේ වරායේ අපිට අහු උණා නැංගුරං, දම්වැල්, බෝට්ටු දුසිම් කනක්කු ගණන්. නැව් විස්සක් තිහකුත් තිබුණ. සමහරක බඩු පටවපු ගමන්... අනිත්වයෙ මොකුත් නෑ.

මේ හැම එකක්ම මෙහාට සේන්දු වෙලා තියෙන්නෙ අපි ආපු මාරක කටින්මයි.

ඉරක් හඳක් තියා තාරුකාවක්වත් පේන්න නැති හින්ද, අපි පන්දම් පත්තු කර ගෙන එළිය බැලුව. දවසට දෙපාරක් අපව මහ කාන්තාරෙකට වැටෙනව. දෙපාරක් පා වෙන්න ගන්නවා. මාළු කූරියා වතුර ඇබිත්තක් ගිල්ලහම නැව පා වෙනව. ඒ ටික පිට කළහම පලාතම වේළුම් කනව. මූ බොන දිය කන්දරාව මැනල බැලුවහම, හැතැප්ම තිහකට වැඩිය වටේ දුර තියෙන ජීවා විල පුරවන්න ඒ වතුර උගුරක් සෑහෙනව.

මේ අන්දකාර බූමි බාගෙ හිර අඩස්සියට වැටිල දෙවෙනි දවසෙ, බා-දිය තියෙන වෙලාවක (ඒ කියන්නෙ, අපේ මාරයා වතුර පිට කළහම) කපිතනුයි තව මුලාදෑනි හතර පස් දෙනෙකුයි එක්ක නැවෙන් බැහැල වටපිට විපරම් කරන්න ගියා. ලොකුවයින් පන්දම් පත්තු කර ගෙනයි, අපි පිටත් උණේ.

ලොකුම කුඹ ගස් දෙකේ කෙරවලවල් එකට ගැට ගහල, මාළුවා කට අරිනවත් එක්කම- ආයිත් පියවන්න බැරි වෙන්න මේ රිට හිටවන්න.

අපේ සන්තෑසියම ලැබිච්ච මිනිස්සු දහ දාහක් විතර මුණ ගැහුණ. ලෝකෙ අට කොණෙන්ම ආපු උදවිය. ඒ කවුරුත් නිදහස ලබා ගන්න බොහොම උනන්දුවක් දක්වනව. (ශ්‍රී ලංකා දූපතේ ඉන්න අය වගේ!) ඒ ගැන ලොකු කැක්කුමකින් කතා කරනව.

සමහරු හත් අට අවුරුද්දක් මාළු බඩේ හිටපු අය!
මේ ගොල්ලෝ ලොකු සබාවක් රැස් කරල මේ ගැන සාකච්ඡාවක් කරන්න සූදානං උණා. සබාපති උන්නැහෙ නැඟිටලා ඉදිරිපත් කරන්න යන යෝජනාව ගැන කියල දුන්න විතරයි, අපේ හෙනහුරා ආයිත් වතුර බොන්න උණ. හැඩ පාරට අහු නොවී අපි අපේ නැව්වලට පැන ගත්ත. වයසක පහේ උදවිය පණ බේරගත්තෙ පීනලයි.

ඊළඟ බා-දිය වෙලාවේ අපි ආයිත් රැස් උණා. මේ රැස්වීමේ මූලාසනේට තෝරගත්තෙ මාවයි. මම යෝජනා කළා අපි ගාව තියෙන ලොකුම කුඹ ගස් දෙකේ කෙරවලවල් එකට ගැට ගහල, මාළුවා කට අරිනවත් එක්කම- ආයිත් පියවන්න බැරි වෙන්න මේ රිට හිටවන්න.

යෝජනාව ඉහළින්ම සම්මත උණා. අපි සියක් දෙනෙක් - ඇඟපත හයිය තියෙන අයගෙන් - තේරුණ, කාරිය ඉස්ට කරන්න, මගෙ කියමනේ විදිහට කුඹ ගස් දෙක ගැට ගහල ඉවර කරන්න ලැබුණෙත් නෑ... නැකත ආපි! අපේ යාළුවා ඈනුම් අරින්න උණා. රිටේ යටි කෙරෝල දිවේ ඇනල, උඩි කෙරෝල උඩු තල්ල හිල් කරගෙන යන විදිහටයි අපි වැඩේ කෙරුවෙ. (ආන්න ජංසන්! අපේ යෝජනා කරන අය ඕනි තරං උන්නට- වැඩේ කරන්න ඕනි වෙනිං අය නෙව!) මින් මනතට තවත් කට පියවීමක් උන්දැට නෑ!

බෝට්ටුවල නැඟිල තොටුපළෙන් මෙගොඩ වෙලා, මනුස්ස ලෝකෙට ආයිත් ආව. හිරේ හිටපු සුමාන දෙකේම නොදැක ඉඳල, දැන් ඉර දකිනකොටත් සන්තෝසයි.
හැම කෙනෙක්ම හිර ගෙයි දොරටුවෙන් මෙහාට ආවහම අපේ සේනාව සුළු නෑ. හැම ජාතියකටම අයිති නැව් තිස්පහක හමුදාවක්.

උගෙ ඉස්සරහ ගාත් දෙක දෑතින් උස්සලා, මර අඬ දෙනකං මිරිකුව. මිරිකල, හයින් හාමතේ පණ යනකම්ම මේ තාලෙට අල්ලාගෙන හිටිය...

අර කටට හේත්තු කරපු කුඹ ගස් දෙක එහෙම්මම තියෙන්න ඇරිය. පස්සෙ කවුරු හරි මකර කටට වැටුණොත් බේරිල ආපුදෙන් කියල.

දැන් අපට ලොකුවටම ඕනැ මේ කොයි පළාතද කියල දැන ගන්නයි. නිච්චියටම දැන ගන්න සෑහෙන කාලයක් ගත උණා. අන්තිමේදී ඉස්සර මතක තියා ගත්තු හලකුණු වගයක් මට අහු උණ. මේ කැස්පියන් මුහුදනෙ!

හතර වටේම ගොඩබිමෙන් වට වෙච්ච මේ මූදට අපි කොහෙන් කඩා වැටුණද කියන එක මට පුදුමයක්. කේජු දූවෙ මිනිහෙක් මම එක්කරන් ආවනෙ. ඒකා ඉඳල කියාපි පැහිච්ච කතාවක්. අපිව ගිල ගත්තු මාළුව පොළොව යට උමඟකින් මේ මූදට එන්න ඇතිලු. කොයි කෙරේමෙන් හරි මෙහෙම එන්න ලැබිච්ච එක ලොකු වාසනාවක්. ඉක්මන් කරල ගොඩබිම දිහාවට යාත්තරා කළා. කලින්ම ගොඩට පැන ගත්තෙ මමයි.

පුදනකොටම කාපි යකා!

ගොඩට පැන්න විතරයි, මේ අනිත් පැත්තෙන් වලස් තඩියෙක් ඇඟට පනින්නේ. හොඳ වෙලාවට ආවේ, උඹට දෙන්නං කියල, උගෙ ඉස්සරහ ගාත් දෙක දෑතින් උස්සලා, මර අඬ දෙනකං මිරිකුව. මිරිකල, හයින් හාමතේ පණ යනකම්ම මේ තාලෙට අල්ලාගෙන හිටිය. හිනැහෙන්න වැඩේ නේද?

නෑ! නෑ!! දවස් ගාණක් ගියෙ නෑ. උගෙ කකුල් ලෙව කන්න නොදී තිබ්බොත් සුළු වෙලාවයි පණ අල්ල හිටින්නේ. මේ දඩයමෙන් පස්සේ වලස්සු කාගෙත් මට බයපස්සකමක් තියෙනව. එකෙක්වත් බොරුවට ඇඟේ හැපෙන්න එන්නෙ නෑ!

දැන් නං ඇඟේ හැප්පුණයි කියලා බොරුවට කියනවා විතරක් නෙවෙයි අත් අඩංගුවටත් ගන්නවා ආයුබොවන්... අනේ අම්මේ, එව්වා හැමෝටම පෙනෙනවා- වැටහෙනවා- නොදැක්ක ගාණට ඉන්නවා වුණාට.... අල බහින්න වැල මැරෙන්නම එපැයි. ඔහොම යංකෝ කියාගෙන අපිත් බලාගෙන ඉඳිමු ඉතිං...

එතකල්...

Thursday, July 21, 2022

සුප්පා දේවිගේ බඩේ මයිල් - නවවෙනි කොටස

ප්‍රංශ ගුවන් හමුදා ගුවන් යානයක් ලුහුබඳින පුද්ගලයින් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වඩා...

සායි බාබාතුමා ගැනත්, ප්‍රාතිහාර්යයක් බඳු ‘සායි රොටිය’ ගැනත් සිරිසේන අයියා මට කීවේ එදාය. ඒ අදින් අවරුදු 50කට කලින්ය.

මං වහන්සේ ඒ විස්තර ඔයාලට කියන්නේ සතියකට විතර පස්සෙය... එහෙම කිව්වත් දැන් සතියක් නම් ඉකුත් වෙලාය.

පහුගිය ටික දොහේ කාටද ඉස්පාසු තිබ්බේ blog කියවන්න? ලෝකෙම ඉන්න මිනිස්සු අවදියෙන් හිටියේ ශ්‍රී ලංකාවේ සිද්ද වෙන ගිනි විජ්ජුම්බර ගැන. උජාරුවට සීතාම්බර පට පිළියෙන් සැරසිලා, විළි වහගෙන හිටි උදවියගෙ ‘xජ්ජ නැතිකම’ ලෝකෙටම පෙනුණා. මටත් එව්වා බල-බලා ඉන්නවා ඇර වෙන වැඩකට වෙලාවක් තිබ්බෙ නැහැ දෙයියනේ! Posts පරක්කු වුණේ ඒ නිසයි...

මේ post එක ලියන්න ගත්තු එදත් වුණේ ඒ සංතෑසියමයි! කලින් දවසේ අපේ හොඳටම කරලා ගිය මහත්තයා ගැන විස්තරේ නොබලා ඉන්න බැරි වුණයි කියහල්ලකො.

‘මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා ගිය සෞදි අරාබියානු ගුවන් සේවයට අයත් ගුවන් යානය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැගෙන යන බවට වූ විශ්වාසය නිසා විශාල පිරිසක් ගුවන් ගමන් ට්‍රැක් කරන වෙබ් අඩවි මගින් නිරීක්ෂණය කර ඇති බව වාර්තාවේ.

Flightradar24.com හි දත්ත වලට අනුව, Male සිට Saudia 788 ගුවන් යානය GMT උදෑසන 7:43 වන විට පරිශීලකයින් 5,000 කට ආසන්න පිරිසක් විසින් නිරීක්ෂණය කරන ලදී. මෙය යුරෝපයේ පියාසර කරන ප්‍රංශ ගුවන් හමුදා ගුවන් යානයක් ලුහුබඳින පුද්ගලයින් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වඩා වැඩිය. එය ලෝකයේ වඩාත්ම ලුහුබැඳ ගිය ගුවන් යානය බවට බ්‍රහස්පතින්දා දිනයේදී පත්විය.

Boeing Co. 787 Dreamliner වර්ගයේ යානය පස්වරු 7.12 ට පමණ සිංගප්පූරුවට ගොඩබෑවේය.’

නිතර බණ දහම් සේවනයකරන අයට...

අද කාලෙ ඒ පැත්ත හැරිලා- මේ පැත්ත හැරෙනකොට තොරතුරු අලුත් වෙලා!  

මෙන්න බොලේ දැන් අපේ හිටපු විධායක ජනාධිපතිතුමාට සිංගප්පූරුවෙනුත් පිටමං වෙලා යන්නයි කියලා...

කලකට ඉස්සෙල්ලා ‘යකුන් බලන්නට ගිය යක්කු’ post එකේදී මං වහන්සේ මෙහෙම ලිව්වේය:
‘...
ධම්මපදයේ පාප වර්ගයේ තියෙන ගාථාවක් හරියටම හරි බව සකලසූරිය නිශ්චිතවම වටහා ගත්තේ එදා රාත්තිරියේය! ගාථාව මේකය.

න අන්තලික්ඛෙ න සමුද්දමජ්ජේ - න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්පදෙසො - යත්ථට්ඨිතො මුඤ්චෙය්ය පාපකම්මා

යම් තැනක සිට පවේ විපාකයෙන් මිදිය හැකිද එබඳු තැනක් අහසෙහිත් නැත; මුහුද මැදත් නැත; පර්වත කුහරයකත් නැත; එබඳු බිම් පෙදෙසක් ලොව කොහෙවත් ඇත්තේ නැත.’

සකලසූරියට විතරක් නොවේ, කාට-කාටත් ඒ ධර්මය මතක තියා ගන්නට වටියි...  ‘එහෙම නේද අපෙ හාමුදුරුවනේ?’ කියා නිතර කියමින් ‘බණ දහම් සේවනය’ කරන අයටත් ‘ධම්මපදයේ’ මේ ගාථාව තියෙන පිටුව මඟ හැරිලා වගෙය.

මට වුණත් එහෙම වැරදි වෙන එකේ...
ධම්මපදයේම, චිත්ත වර්ගයේ ‘දූරං ගමන් එක චරං’ ගාථාව දැන-දැනත්, පෙළක් වෙලාවට ‘හිත හීලෑ කර ගන්න’ බැරිව මං දඟලන තරමක්...

එහෙම හිත දුවන එක ගැන මටත් කණගාටුයි තමයි- ඒත් මක් කරන්නෙයි? දන්නවනෙ, මගේ නසරානි චංචල හිත...

ඔන්න එහෙනං ‘සායි රොටියේ කතන්දරේ!’.

“නිමල් මල්ලී- පුදුම දේ කියන්නේ, මේ සායිතුමාගෙ ආසිර්වාදේ ලැබිච්ච රොටිය නිකම්ම ඩබල් වෙනවා...” සිරිසේන අයියා කිව්වේ, මැස්සන්ට ලේසියෙන්ම රිංගන්න ඇහැක් වෙන තරමට මගේ හැකර කට ඇරවමින්.
“නිකම්ම... ඒ කොහොමද සිරී?”

ඒ කාලයේ මගේ පොහොසත්කමත්...

“ඒක තමයි මල්ලි සායි තුමාගේ බලේ... මං මේක ඔයාට ගෙනාවෙත් ඒකමයි. ඔයාටම බලා ගන්න පුළුවන් ඇත්ත නැත්ත. ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි.

සායිතුමාගේ පින්තූරයක් ගහලා, දවසට එක සැරයක්වත් ඒකට පහනක් පත්තු කරන්න ගන්න. ඔයාට හිතෙනවා නං හඳුන්කූරක් පත්තු කරලා මලකුත් පූජ කරන්න.  ඒ එක්කම සායිතුමාට කියන්න ඔයාට ආසිර්වාද කරන්නයි කියලා...”

“එතකොට මේ රොටිය?”

“ඒකත් පීරිසිය පිටින්ම එතැනින් තියන්න. හැබැයි රංජි මල්ලී, උඩකින්. මේසයක් උඩවත්...” සිරී වටපිට බැලුවේය.
අපි දෙන්නා හිටියේ මගේ කාමරයේය. මගේ කාමරය කිව්වාට මහ ලොකු එකක් නොවේ. ආච්චිලාගේ වරිච්චි ගෙදර, පටු ඉස්සරහ කෑල්ලෙන් ටිකක් කොටු කරගෙන හදාගත් එකකි.
අඩි පහක් විතර පළල ඒ U හැඩැති තීරුවේ හරහට අම්මාගේ පරණ සාරියකින් තිරයක් ඇදගෙනය, මගේ කාමරය හදාගෙන තිබ්බේ. ඒකෙ තරමත්; ඒ කාලයේ මගේ පොහොසත්කමත් හිතාදර පාඨක ඔයාලට හිතා ගන්නට ඇහැකි වෙන්නයි, මේ විස්තර කියන්නේ.

අර හරස් තිරය හුළඟින් එහා-මෙහා නොවුණේ ආච්චිලාගේ පරණ කණ්ණාඩි මේසයක් එතැනින් තියලා තිබුණු නිසාය. ඒ මේසයෙනි, හතරවෙනි පැත්තෙ බිත්තිය හැදුණේ. ඒකේ ලාච්චු තුනේය, මගේ ඇඳුම් ඇතුළු සබ්බ සකල මනාවම දාලා තිබ්බේ.
අනිත් කොණේ එක මුල්ලක ‘පරණ සන්ලයිට් පෙට්ටිවලින් හදාගත්’ පොත් කබඩ් එකය. (මං වහන්සේ කොච්චර හණමිටිකාර අතීතකාමී මසුරෙක්ද කියනවා නං ඒ අටමඟලය, තවමත් මගේ bed room එකේ තිබේ;
සඳ කුමරිය නිඳාගත් පන්නයේ ඇඳට පැත්තකින්!). 

පොත් පෙට්ටියේ පැත්තකට හේත්තු කර තිබුණේ රවුමට හැකිළුෑ පන් පැදුරයි. කොට්ටය තිබ්බේ පොත් පෙට්ටිය උඩය.

අම්මගේ රෙද්දෙ නාට්ටිය... (අපේ ආච්චී දකින්නට තිබ්බේ මෙහෙම ඒවාය!)

“මල්ලී, දැනට විතරක් මේ පීරිසිය පොත් පෙට්ටිය උඩින් තියමු, කොට්ටේ කණ්ණාඩි මේසය උඩට දාලා.” යෝජනාවට අනුමැතිය දෙන්නටත් කලින් සිරී එහෙම කරලත් ඉවරය. “ආ, රංජි මල්ලී, තව එකක්. හැමදාම උදේට මේ පීරිසියේ තියෙන තේ කහට වතුර අයින් කරලා අලුතින් ටිකක් දාන්න ඕනි... පූජාවක් වගේ!”

සායි රොටිය මොකක් වගේදැයි කියලා ආපහු බලන්නට මට ඉස්පාසුවක් හම්බ වුණේ එතකොටය.

එය බිත්තර ඔම්ලට් එකක් හැඩේය; ඊට වඩා කුඩාය; තුනීය. තේ කහටවල පාට හොරාගෙනද කොහෙද, ලා දුඹුරු පාටය. එතකොටත් ඒ රොටියේ පැත්තකින්; යට පැත්තෙන් තවත් එකක් ලියලමින් තිබිණි.

“මට පේන්නේ සායිබාබාතුමාගෙ බැල්ම දැන්මම රංජි මල්ලිට හම්බ වෙලා වගේ. මං දැක්කෙ නැහැනෙ අලුතින් එකක් හැදීගෙන එනවා... ඉන්නකෝ, මං හෙටම මල්ලිට එතුමාගෙ foto එකක් ගෙනල්ල දෙන්නං. බිත්තියට ගහන ලෑලි කෑල්ලකුත් ගේන්නං. එතකොට එතැන පහන පත්තු කරතෑකිනෙ.”
මං වහන්සේ සායිබාබාතුමන්ගේ බැතිමතෙකු වුණේ එදා හිටය!

“මොකක්ද බං පුතේ මේ හිටි හැටියේ උඹට හැදුණු පිස්සුව? බුදු හාමුදුරුවන් වහන්සේට වඳින්න එකතු කරන දෝත උස්සලා මේ කොහෙද යන බබෙකුට වඳින්නේ...” සිරිසේන අයියා සායිබාබාතුමාගේ foto එකක් ගෙනැල්ලා, මගේ කාමරයේ බිත්තියේ ගැහූ දවසේ පරල වුණු ආච්චී මගේ ඇඟට ගොඩ වුණාය.

“තොපෙ මහ එකාගෙ වැරැද්ද හින්දයි මේව සිද්ද වෙන්නේ... අම්මගේ රෙද්දෙ නාට්ටිය... නාට්ටිය කිය-කියා කොල්ලොයි බල්ලොයි හුන්නොයි පද්දොයි ඩෝබිලයි සේරම ගෙදෙට්ට වැද්ද ගන්නවා- තරාතිරමක් නොබලා. කිරිස්තියානුවො, තම්බිලා සේරම මදිවට දැන් බබෙකුත්...” සායිබබා නොව සායිබාබා යැයි අපේ ආච්චීට හරි නම කියා දෙන්නට ගියාම වැඩේ තවත් වර්චස් වුණේ එහෙමය.

මාසයක් දෙකක් කරනකොට ඌටම එපා වෙලා නවත්තයි. ඒක කොලු ගතියනෙ අම්මේ!

ආච්චී අපේ තාත්තාටත් හොඳටෝම දෙහි කපන්නට වුණේ ඉන් පස්සෙය.

“අනේ දෙයියනේ මාත් මගේ කුසෙන් වැදුවනේ තෝ වගෙ අසික්කිතයෙක්... ඇයි බං ගුණේ, මොනවද සිද්ද වෙන්නේ කියලා බලපංකො, ඇස් ඇරලා. අන්න රංජියා මොකෙක්ද මිත්තියා දුෂ්ටිකයෙක්ට පාන් පත්තු කරන්න පටන් අරං.”

“අනේ අම්මේ පිස්සු කියවන්නෙපා. ඔය ඇම්මට ඔව්ව පටන් ගත්තට අම්ම හිතනවද උන් ඕවා දිගටම කරයි කියලා. මාසයක් දෙකක් කරනකොට ඌටම එපා වෙලා නවත්තයි. ඒක කොලු ගතියනෙ අම්මේ!”

“අනෙඃ මගෙ කට! යකෝ, නියපොත්තෙන් කඩන්න පුළුවන් එක පොරොවෙන් කපන්න වෙනකං ලොකු වෙන්ඩ දෙන්නෙ මෝඩයො බං!”
තාත්තාට අවවාද කිරිල්ල නැවත්තූ ආච්චී දවස් කීපයක් යන තුරුමත් මට බ්‍රහ්ම දණ්ඩය පනවාගෙන හිටියාය.

ඒ අතරේ සායි රොටියේ පැටවා ටිකෙන්-ටික වැඩෙමින් තිබිණි.
එහෙම වැඩෙන අතරේම සංජේත් මාත් අතර වූ සබඳකමද වඩා සවිමත් වෙමින් තිබිණි. ඒ දෙකම සිද්ද වුණේ කාටවත් පෙනෙන තරම් ලොකුවට නොවේ. රහසෙන්ම වගෙය!

“ආ, සිරී එහෙනං ඔයාටත් සායිතුමාගෙ රොටියක් ගෙනල්ල...” ඉන්පසු දවසක සංජේ මගේ කාමරයට ආ ගමන්ම වෙනස හොයා ගෙනය.
“පුදුමයි, ඔයාට එක පාරටම පෙනුණා!”
“පෙනුණා නෙවෙයි, බැලුවා.” සංජේ හඬ බාල කර ගනිමින්ය කිව්වේ. “මමයි සිරීට කිව්වෙ.”

“ඔයා? ඒ මොකටද, සංජේ....”
සංජේ තොල් දෙකට දබරැඟිල්ල තියලා සද්දේ වහගන්නැයි ඇඟෙව්වේය. “මං එහෙම කළේ ඔයාව වැල්ලවත්තට ගෙන්න ගන්න ලේසි වෙන්න.”
“වැල්ලවත්තට?”

ඉතිං, මටත් වුණේ ඒ පස්සෙන්ම ගාටන්න.
“වැල්ලවත්තට නෙවෙයි... බම්බලපිටියට.
එළියට යංකො කියන්න. මේ ගුහාව අස්සෙ ඒවා කතා කරන්න බෑ... මොකා කන්දීගෙන ඉන්නවද දන්නෑ.”යි කියාගෙන සංජේ මිදුලට බැස්සා. ඉතිං, මටත් වුණේ ඒ පස්සෙන්ම ගාටන්න.

“මේකයි රංජි මල්ලී. ඔයාලගෙ තාත්තා දැන්-දැන් මට නොකියා කියනවා මෙහාට එන්න එපා කියල...” සංජේ කිව්වේ, අදහන්නට අසීරු කතාවකි.

“වෙන්න බෑ. අපේ තාත්ත ඔයාට කෙලින්ම කිව්වද? නැහැනෙ.” සංජේට හරස් ප්‍රශ්නය මගෙන්.
‘කොයි තරම් කෙනෙකු වුණත්, එයාව අභියෝගයට ලක් කරනවට කැමති නෑ. එයාව ප්‍රශ්න කරනවට කැමති නෑ.’ එහෙමයි මට නං වැටහිලා තියෙන්නේ.
ඒ වෙලාවට එයාලා උත්තර දෙන්නෙ flat නියායෙන්! සංජේ එදා කළෙත් ඒක....

“නිමා, ඔයාට ඉස්සෙල්ලා මම ඉපදුණේ... හරිද? මට ඉව තියෙනවා... දැන් සරත්ලා, බන්දුලලා ඔක්කොම මට මූණ දෙන්නෙ නොකර බැරිකමට වගේ. ඔය එකෙක්ටවත් මං බය නෑ, මොනව වුණත් මං දන්නවා කරන්න ඕනි දේ... උන් තවම දන්නෑ මට කරන්න පුළුවන් තරම.”

“ඔයාට කරන්න පුළුවන් තරම ඒගොල්ලන්ට පෙන්නන්න යන්න එපා. මට විතරක් පෙන්නුවම ඇති.” මං බැලුවේ ඇතිවී තිබුණු උණුසුම අඩු කරන්නටය.
“හැබෑට? මං තවම ඔයාටවත් ඔක්කොම වැඩ පෙන්නල නෑ. හම්බ වෙද්දෙන්කො හරි විදිහෙ නිදහස තියෙන තැනක්... මොකා එයිද කියල බයේ පොල්වතු අස්සෙයි, ලන්දවල් අස්සෙයි රිංගගෙන කොහොමද හලෝ වැඩ පෙන්නන්නේ...” සැහැල්ලුවෙන් එහෙම කියාගෙන ආ සංජේ හිටි ගමන් සීරියස් tone එකකට මාරු වුණේය:
“... ඒක නෙවෙයි, දැන් තමුසෙත් හොඳ කතා කියන්න පුරුදු වෙල වගේ. කව්රු හරි ඔහොම කතා කියන එකෙක් අලුතෙන් තමුසෙත්තෙක්ක කූටාලි වුණාද?”

සංජේ අන්තිම හරිය කිව්වේ තරහෙනි.

ඒ වෙද්දීත් අපේ අතර ගිවිසුමක් තිබිණි. ‘ඔන්න සංජේ, මීට පස්සේ අපෙන් කාට තරහ ගියත්, එතැනින්ම කතාව නවත්ත ගනිමු, හොඳේ!’ අප දෙන්නා ලොකු රණ්ඩුවකට පැටලී, සමාදාන වුණායින් පස්සේ යෝජනාව ඉදිරිපත් කළේ මාය.
දෙදෙනෙකු අතර සම්බන්ධයක් පවත්වා ගෙන යාමේදී
ඒ ප්‍රතිපත්තිය පලදායී වෙන බව මං දැක්කේ අපේ ආච්චී හා සීයා වෙතිනි.

සිංහබාහු (නව නිර්මාණයක්) කියලාය ඒ hand bill එකේ තිබ්බේ!

“ඔයාට තද වෙලා වගේ... මතකයිනෙ අපි කතා කරගෙන තියෙන දේ... සංජේ, අපි පස්සෙ කතා කරමු.”

‘සිංහබාහු’ පෙන්නීම කට ළඟටම ඇවිත් තියෙද්දී... සංජේව තරහ ගස්සන්නට කැමැති නැති නිසාය මං එහෙම උපායෙන් ‘තිත’ක් තිබ්බේ.

සායිබාබාතුමා ගැනත්, බම්බලපිටිය කතාව ගැනත් පස්සේ එයාගෙන් අහගන්නට පුළුවනිය!

එතකොට ‘සිංහබාහු’ නාට්‍යය ගැන hand bills එහෙමත් අච්චු ගහල ඉවරය. ලුම්බිණියේ වෙනින් නාට්‍ය පෙන්වන දවස් කීපයකම එහාට ගිහින්, ඒ අත් පත්‍රිකා බෙදලාත් ඉවරය.

‘තම පියා මරන්නට තරම් සැහැසි වූ “සිංහබාහු” වීරයෙක්ද?
නැතිනම් බල ලෝභියෙක්ද? ද්‍රෝහියෙක්ද?
අපි සාක්කි දෙමු.
ජූරිය ඔබයි.

ඉතිහාස කතාවෙහි අප්‍රකට දුබල තැන්වලට ප්‍රබල පහරවල් එල්ල කරමින් නව මඟක් ගත් “සිංහබාහු” චරිතය වේදිකාවේ දිග හැරෙයි.

වනමල් කලා කවයේ කුළුඳුල් වෑයම!
“සිංහබාහු”
(නව නිර්මාණයක්.)

1973 අප්‍රේල් 21 වෙනිදා ප: ව: 6.30 ට ලුම්බිණි රඟහලේදී

ප්‍රවේශ පත්‍ර රු: 5 -3 -2
පාසල් දර්ශනය ප: ව:
3.30 ට
අයකිරීම රු: 1 යි.
දොරටුවේදී ප්‍රවේශ පත්‍ර ලබා ගන්න.’
කියලාය, ඒ අත් පත්‍රිකාවේ තිබ්බේ.

“නිමල්ල තාත්තේ, මං අවුරුද්දට ගමේ ගිහින් එන්න ඕන. අම්මයි අක්කලයි මං එනකල් බලාගෙන ඉන්නේ. ගියත් මං ඒ පයින්ම ආපහු එනවා. නාට්‍යය 21 වෙනිදනේ තියෙන්නේ. ඊට කලින් යාළුවන්ට විකුණන්න දුන්නු ටිකට් පොත් ටික එකතු කර ගන්නත් එපැයි. කොහොමද මේ පැත්තෙ ටිකට් විකිණෙන තත්ත්වේ?” එස් අයියා අපේ තාත්තාගෙන් ඇහුවේ අවුරුද්දට දවස් කීපයකට කලින්ය.

“අපේ එවුන්ගෙන් ඇහුවොත් නං කියන්නෙ දාහක් කතන්දර. අරයා ගන්නවයි කිව්වා- මෙයා ගන්නවයි කිව්ව කියල. එදාටම ලුම්බිණි hall එකට ඇවිත් ගන්නවයි කියලත් සමහරු කියනවලු. එස් මහත්තයට කියන්න, මං නං ඔය කතන්දර පයිසෙකටවත් මායිම් කරන්නෑ- කෙරෙනකල්!”

මං අහල තියෙන්නෙත් බුදු හාමුදුරුවො ඉපදිච්ච ලුම්බිණි සල් උයන ගැන විතරමයි
තාත්තා කිව්වේ ඇත්තය. අපේ කට්ටියේ කාට-කාටත් හිටියේ එකම නෑදෑ- හිතමිතුරු- අසල්වාසීන් පිරිසකි. ‘ලුම්බිණියේ පෙන්නන්නට යන අපේ නාට්ටිය බලන්න ටිකට් එකක් ගන්නැ’යි අපෙන් දෙතුන් දෙනෙකුම එකතුවී කිව්වාමත් එයාලාගෙන් අපට හම්බ වුණේ ලාචෝරු උත්තරය.

‘මේ අවුරුදු කටේ වියදං සැරයිනේ දරුවෝ. එදාටම එන්න බලනවා... හොඳේ.’
‘අම්මො අම්මෝ! ඔය ලුම්බිණිය කොහෙද තියෙන්නේ කියලවත් අපි දන්නවැයි රංජි. මං අහල තියෙන්නෙත් බුදු හාමුදුරුවො ඉපදිච්ච ලුම්බිණි සල් උයන ගැන විතරයි!’
‘නාට්ටිය බලන්න එන්න නං වෙන්නෙ නෑ රංජි. ඒත් ඔයාලගේ වැඩේට උදව්වක් විදියට මම ටිකට් එකක් ගන්නං... මං එන්නේ නැති නිසා ඉස්කූල් සෝ එකේ ටිකට් එකක් දෙන්න. රුපියලයි නේද?’

ටිකට් විකුණන්නට ගිය මට ලැබුණු ප්‍රතිචාරත් එහෙම නං, අනිත් අයට කොහොම වෙන්නට ඇද්ද?

“ඒ වගේමයි නිමල්ල තාත්තේ, ස්වනියර් එකේ වැඩේ... සුමාන දෙක තුනක්වත් ඕනි කියලා නේද මිස්ටර් මාණික්කාරච්චි කිව්වේ? තවම ඒක බාර දුන්නෙත් නැහැනෙ...”

“කොහොමද මහත්තයෝ, ඒක අච්චු ගහන්න බාර දෙන්නෙ? රංජි... දැන්වීම් සුවල්පයයි නේද හම්බ වෙලා තියෙන්නේ?” අපේ තාත්තා මගෙනුත් ඇහුවේ, එස් අයියාගේ මූණෙන් අහකට ඇස් ඇද ගනිමිනි.

“කමක් නෑ, කමක් නෑ... පිටු අඩුවෙන් හරි ස්වනියර් එක ගහන්න බාර දෙමු. නාට්‍යය පෙන්නන්න ඉස්සෙල්ලා ඒවා පෙන්නලා දැන්වීම් දුන්නු අයගෙන් සල්ලි අරගන්න වෙයි. නාට්‍යය පෙන්නුවට පස්සේ සල්ලි එකතු කර ගන්න අමාරුයි!” එස් අයියාට අත්දැකීම් ගොඩාරියක් තියෙනවා වගෙය. “නිමලුත් මේවා හිතේ තියා ගන්න වෙයි. තාත්තා ගෙදර ඉඳිද්දී ඔයාටනෙ මේ වැඩවලට යන්න වෙන්නේ...”

“එස් අයියේ. එතකොට මේ හතරෙන් බෙදෙන ගාණක් පිටු තියෙන්න ඕනියි කිව්ව කතාව?”

සිසිර කුමාර මාණික්කාරච්චි මහත්තයා ගංගොඩවිල ‘ප්‍රසන්න’ අච්චු කන්තෝරුවෙදී කියූ සමහර දේවල් එදා මට තේරුම් ගියේ නැත!

“ස්වනියර් එක ගහන්න වෙන්නේ සෙන්ටර් වයර් කරල. එතකොට හතරෙන් බෙදෙන ගාණක් පිටු තියෙන්න ඕනේ!” ඔහු කීවේය. එස් අයියාත් එදා අපත් එක්ක එහාට ගිහින් හිටි නිසා මං කළේ අසා සිටීම විතරය. ලොකු අයගේ කතාවලට හම්බ දාන්න ඕනේ, නොකරම බැරි නං විතරය. ප්‍රශ්න ඇහිල්ල වුණත් එහෙමය. එහෙම ඇහිල්ලත් තමුන්ගේ නොදැනුම්කම කියා පෑමක් නේද?

කණ්ඩායමක් විදිහට සාමූහිකව වැඩ කළ යුතු අයුරු හරිහැටි දැන ගත්තේත්...

ප්‍රශ්නයක් අහන විදි ගොඩාරියක් තියෙන විත්තියත්, අහන ප්‍රශ්නය අනුව තව ගොඩාරියක් දේවල් ඉබේ කියවෙන විත්තියත් මං ඉගෙන ගත්තේ ඊට බොහෝ කලකට පස්සෙය; තජක පුහුණු වැඩ සටහන්වලට සහභාගි වුණාමය: කණ්ඩායමක් විදිහට සාමූහිකව වැඩ කළ යුතු අයුරු හරිහැටි දැන ගත්තේත් ඒවායෙනි.

Center වයර් කියන්නේ මැදින් කටු ගසාගෙන පොත හදන ක්‍රමේටය. පිටු 40 අභ්‍යාස පොත් වගේ අඩු පිටු ගණනක් තියෙන පොත්ය, එහෙම හදා ගන්නේ. අපේ සමරු කලාපයට පිටු විස්සක්වත් තිබුණේ නැති බව ලජ්ජාවෙන් වුණත් කිව යුතුය.
ඒ පිටුවලිනුත් දෙක-තුනක්ම ‘හිතවතුන්ගෙන් උණුසුම් සුබ පැතුම්!’ දැන්වීම්වලින්ය, සම්පූර්ණවී තිබ්බේ. ඒ මෙහෙයුම කළේ මං වහන්සේය. උපදෙස් දුන්නේ එස් අයියාය.

“එහෙම දැන්වීම් එකම තැනකට දාන්න එපා, නිමල්. එකම size එකෙනුත් දාන්න එපා. පිටු කාල, බාගේ විදිහට හරි ගස්සල තැනින්-තැනට දාන්න... පිටුවක දෙකක නාට්‍යයේ සිංදුත් දාමු.”

“ඉතිං එස් අයියේ, කවුරුවත් එව්වට සල්ලි දෙන්නෙත් නැත්තං මොකටද බොරුවට සුබ පතන දැන්වීම්...”

“ඔය කිව්වේ.... පේනවද එස් මහත්තයෝ- වෙලාවකට අපේ එකාගේ මොළේ වැඩ කරන්නේ නැතිම තරං...” එස් අයියාට එහෙම කියලා අපේ තාත්තා පරුෂාවාචා සිල් පදය කඩන්නට පටන් ගත්තේය. “... යකෝ ගොන් බූරුවෝ- හැම තැනම බොරුවත් ටිකක් හරි තියෙනවා මෝලෝ!”

ඉතිං... තව ඉස්සරහට යං ඊළඟ කොටසින්...