අකුරු මැකී නෑ

Thursday, September 29, 2022

හරෝහරා! හතරවෙනි සැරේටත්... හයවෙනි කොටස

“අපිව අතරමං වෙලාද?”
“හිටපං බං... ඉස්සරහට ගියොත් නං අර උස ගස් පේළිය අහු වෙයි!"
“ඔව්, ඔව්! ඒ පේන්නේ මැණික් ගඟේ ඉවුරේ තියෙන ගස් වෙන්නෝනෙ.”
“මේ ආරක් දිගේ ගියොත්... මේවා වැස්ස කාලෙට වතුර ගලාගෙන ගිය එව්වනේ...” එකේක කතන්දර අදහස් මැද්දේ අයස්මන්ත පීරිස් මහත්තයා ඉස්සර වුණේය. “ළඟින්ම එනවලා!” 

අදහසට අනුමැතිය ලැබුණා වගෙය!

ඇඟේ ලේ නැතිව; කතාබහක් නැතිව, සීරුවෙන් ගිය විනාඩි දහයකට විතර පස්සේ හරි පාරට පිවිසෙන්නට අපට පුළුවන් වුණේය. අපිත් එක්කම පැමිණි දෙමළ නඩයේ උදවිය විනාඩියක්වත් එතැන නොනැවතී වරහන පැත්තට ගමන් කළේ, මහ සද්දෙන් ‘හරෝහරා’ කියමිනි.

“එතකොට කෝ හිච්චිලා?”
“ඒ ගොල්ලොත් අපේ පස්සෙන් ආවා මුලදී නං... දැන් නම්...”
“ඒ ගොල්ලෝ වෙන පැත්තකට හැරුණාවත්ද?”
“හොයන්න යන්නෙයි කියලවත්... ආයෙමත් අර කැලේට රිංගන්නද?”

“අපි ගඟට බහිමු, ඉස්සෙල්ලම හම්බ වෙන තැනින්. හිච්චිලත් දන්නවනෙ අපි එහෙම කරන්න ආව බව. මෙතැන බලා ඉන්නවට වැඩිය හොඳ නැද්ද එහෙම කරන එක?” මගේ අදහසට අනුමැතිය ලැබුණා වගෙය. අදහසකට කවුරුන්වත් විරුද්ධ නොවෙනවා කියන්නේ, ඒ අදහසට කැමැත්ත දෙනවා කියන එක නේද?

ටික දුරක් යනකොටම වම් පැත්තෙන් පහළට ඇදෙන මැණික් ගඟ පෙනෙන්නට විණි. ගඟ පැත්තට තිබුණු අඩි පාරක් දිගේ පහතට බැස්සාමය- පෙනුණේ, පැත්තකින් ලණුවක් ඇදලා තියෙන හැටි!

“මේ සත්තු ගඟට බහින තැනක්නෙ!”
“මේ ගිනි මද්දහනෙ ගඟට එන්නෙ මොන සතාද යකෝ... අපි නාලා ඉක්මනට යන එකනෙ. නවතිනවයැ. ඔන්නොහෙ ඉඳිමු!”
අපේ කාට-කාටත් හදිස්සිය තිබුණේ වතුරට බහින්නටය.

ප්ලාස්ටික් බාල්දියට වතුර එකක් පුරවාගත් ගවීන් එහා ඉවුර දිගේ ගිහිං, කැලෑවට වැදුණේය.

“නාන්න පටන් ගන්න කලින් අතන වැල්ලේ පූ වළක් හාරලා තියල හිටිය නම් හරි. නානකොට වතුර පෑදිලා තියෙයි. බොන වතුර ප්‍රශ්නෙ විසඳගන්න වෙන්නෙ එහෙම තමා...” අදහස දෙන පමාවෙන්ම ප්‍රියන්තත්, නමියාත්, ජයාත්, තමිරත් ඒ වැඩේට බැස්සෝහ.

ගවීන් ආවාට පස්සේ මගෙ වාරයයි. වතුර බාල්දියත් අරගෙන, අමාරුවෙන් ඉවුරට ගොඩවී ලන්දේ වහං වුණාට- සිරුරු කිස කරන්නට උක්කුටිකයෙන් වාඩි වෙන්නේ කොහොමද?

සර්පයෝ ඉන්නත් පුළුවන් කොළ ගොඩවල් අස්සේ... ඔහොම වෙලාවක කෑවොත් කන්නේ කියන්නවත් බැරි තැන්...

දෙකකුල්වල හැම මස් පිඬුවක්ම රිදුම් කද්දී...

ඔව්නේ! මට ඒ ප්‍රශ්නය ගැන හිතන්නට තිබ්බේ කලින්ය. ඒ කටයුත්තට බත්තලන්ගුණ්ඩුවේ වෙරළ දිගේ ඉන්දියාවටම ගිය වෙලාවෙත් ඔය ප්‍රශ්නය පැන නැංගේය!
ඉතිං ඔළුව කහලාවත් මොළය පාදා ගන්නට හදමින් වටපිට බලද්දී...
ගණ දෙයියෝ නුවණ දීලා තියෙන්නේ එහෙම වෙලාවක පාවිච්චියට ගන්නනෙ! ඈතින් බිමට පත බෑවී තිබුණු රූස්ස ගස් දෙබලක් මට ආරාධනා කළේ ඒක උඩින් වාඩි වෙන්නටය.

“එහෙම කළාට නං කමක් නෑ ගොයියෝ, දිරච්ච කොට උඩ වාඩි වෙන්න කලින් සත්තු ඉන්නවද කියලා බලන්න වෙයි... සර්පයෝ ඉන්නත් පුළුවන් කොළ ගොඩවල් අස්සේ... ඔහොම වෙලාවක කෑවොත් කන්නේ කියන්නවත් බැරි තැන්...” මං ප්‍රශ්නය විසඳා ගත්තු හැටි කිව්වාම, කියැවුණේ එහෙව් කඩප්පුලි කතන්දරය.

දැන් බොන්නට ඇති පදම් පිරිසිදු; පැහැදිලි වතුර අපේ පූ වළේ තිබෙයි! හිස් බෝතල් සේරම ඒ වතුරෙන් පිරිලාත්ය.
නෑවාට පස්සේ අපේ බඩගින්නත් වැඩිය. කටුපිල ආර දන්සලෙන් ඔතාගෙන ආ බත්ය, අපි එතැනදී කෑමට ගත්තේ.

“ප්‍රියන්ත. ඔයාලගේ ගෙවල්වලින් හදල දීපු බැදුම්, අච්චාරු, මෝජු සේරම දැන් ඉවර කරමු...” කියවුණා විතරකි.
“ඔව්... ඔව්... මගෙ බෑග් එකෙත් තියෙනවා” / “මේකෙත් තියෙනවා... දැන්වත් බරේ අඩුවක් වෙයිනෙ...” Action ගැනිණි, බත් මුල් දිග හැරෙන්නත් කලින්.

“දන්සල දීපු එකට පින් සිද්ද වෙන්න ඕනි, ඒකෙන් අපිට ලොකු ලේසියක් වුණා.”
“ඒ වුණාට නිමලෝ එතැන වැඩ කරපු එවුන් කිසිම කරුණාවක් නැති යක්කු ටිකක්...” මර්වින් කිව්වේය. “ඇත්තටම මචං මටත් ඒ වෙලාවේ, අරූගේ කනට ගහන්නයි හිතිලා තිබුණේ.” අයස්මන්තත් අලගු තියන්නට ගත්තේ එතකොටය. “... අර පොඩි එකෙක් වතුර ටිකක් බෝතලේකට ගන්න යද්දී දන්සලේ එකා ඒ ළමයව එළවපු හැටි... උන්ගෙ අතින් යනව වගේ... වන්දනාකාරයන්ට දෙන්නමනේ දන්සලේ බතුයි වතුරයි තිබ්බෙ.”

දන්සලට ගිය අපේ වැඩි දෙනෙකුත් ඒ විවේචනයට සම්මාදම් වෙන්නට තරං දේවල් එකතු කර ගෙනය.

හිච්චි මාමලා ගොඩක් ඉස්සරහට ගිහිං වැල්ලේ නැවතිලා ඉන්නවා... (foto- පසිඳු බණ්ඩාර)

“ඒ අතින් අපේ සිංහල මිනිස්සු අන්තිමයි!” / “දන්සලේ වැඩවලට තෝරගන්න තියෙන්නේ හිනා වෙන්න දන්න පොරවල්...” / “උන්ට තේරෙන්නෙ නෑ පාද යාත්‍රාවේ ඇවිත් ඉන්නෙ හිඟන්නෝ නෙවෙයි කියලා.’ / ‘අනෙක බ්‍රෝ හිඟන්නෙකුට වුණත් පාච්චල් විදිහට සලකන එක වැරදියිනේ!”

“මචං, අර ඉන්නෙ මාමලා!” දෙනෙත්ලා පාරේ ඉඳගෙනම මහ හයියෙන් කියාගෙන, අපේ දිහාවට පල්ලම් බැස්සේ එතකොටය. “අපි මේ පණ දාගෙන ඔයාලව හොයනවා...”

“දැන්ද ඔයාලා එන්නෙ. කෝ හිච්චිලා?”
“හිච්චි මාමලා ගොඩක් ඉස්සරහට ගිහිං වැල්ලේ නැවතිලා ඉන්නවා... අපි තුන් දෙනා දැන් සෑහෙන වෙලාවක හිටලා වරහන පැත්තටත් ගිහිං, ආව පාර පැත්තටත් දුවනවා...”
“පිස්සුවටද?”

“පිස්සුවට නෙවෙයි ඩොක්ටර් මාමේ. අපේ ඉන්දික නෑ!”
“ඈ? ඉන්දික නෑ... කොයි වෙලාවේ ඉඳලද?”
“අපිට පාර වැරදිලා කැලෙන් එළියට එනකොටත් එයා අපෙත්තෙක්ක හිටියේ නෑ වගෙයි. ටිකක් ඉස්සරහට ගිහිං නැවතිලා, අපි බලාගෙනත් හිටියා පොර එයි කියලා... එයා ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ!”
“ඇයි ළමයෝ, දැන් පැය දෙකකටත් වැඩියිනෙ... ඉන්දික නඩේ නැතිව තනියෙන් යන කෙනෙකුත් නෙවෙයිනෙ!”

“ඔයාලා හොඳට බැලුවද?”
“අනේ මාමේ, දැන් පැය එකහමාරක් තිස්සේ උඩහට- පහළට දුවල-දුවලම අපේ කකුලුත් රිදෙනවා... මේ මනුස්සයා ෆෝන් එක උස්සන්නෙත් නැහැනෙ, අපේම කරුමෙට... අපිට තේරෙන්නෙත් නෑ මොනව කරන්නද කියලා...”

“හිරූලා චුට්ටක් ඉන්න. අපිත් ඉක්මනටම එන්නං හිච්චිලා ඉන්න තැනට යන්න...”
ඒ එක්කමයි අයස්මන්ත මහත්තයා මර්වින්ට කතා කළේ. “මචං, බාරයක් ගැට ගැහුවොත්....?” කියන පරක්කුවෙන් ‘දේවාල මාමා’ අධි වේගයෙන්ම සූදානම් වුණේය.
“මෙතන
කඩවර අප්පච්චිට පහනක් පත්තු කරන්න විදිහක් නං නෑ... හඳුන් කූරු packet එකක් නං ඇති මගෙ බෑග් එකේ... ඒකෙන් ෂේප් කරගමු.”

බලන්නාට වැදගත් වෙන්නේ සමස්තය නොව, තමන්ගේ රුචියට ඔබින එකේක අංගයන්ය!

හඳුන්කූරු පත්තු වුණේය; මර්වින් ඇස් පියාගෙන, දොහොත් මුඳුන් දීගෙන, මුණු-මුණු හඬින් මොනවාදෝ දොඩවන්නට පටන් ගත්තේය.

ඇත්තම කියන්නෙමි. අප හැමෝම ඒ මොහොතේ හිටියේ අන්ද-මන්ද වෙලා; තක්බීර් වෙලාය.
‘අතරමං වෙච්ච ගමන් ඉන්දික තාම කැලේ මැද්දෙද?’ / ‘මේ කට වැරදීමක්වත්ද?’ / ‘මාර වැඩේ...’ / ‘ෆෝන් එක උස්සන්නෙත් නැති එකයි ප්‍රශ්නේ...’. මර්වින්ගේ යාතිකාව අස්සේ මතවාද- කයි කතන්දර ගොඩක් කියැවුණේය.

“දෙයියන්නාන්සේලගෙ පිහිටාරස්සාවෙන් පැය භාගයක් යන්න ඉස්සෙල්ලා ආරංචියක් ලැබෙනවා සත්තයි සහතිකයි!”
එච්චර විශ්වාසයකින් මර්වින් එහෙම කියන්නේ කොහොමද? කොයිකටත් කියලා මම රහසෙන් ඔරලෝසුවට එබුණෙමි!

එකම දෙයක් දිහා වුණත් අපි එකිනෙකා බලන්නේ එක-එක විදිහටය! බලන්නාට වැදගත් වෙන්නේ සමස්තය නොව, තමන්ගේ රුචියට ඔබින එකේක අංගයන්ය!!

“යමල්ලකො බං...” දැන් ඉතිං මර්වින් පරල වෙලාය; කරදරයකදී වැඩියෙන්ම කරදර වෙමින්- අපටත් අමතර  කරදරයක් වෙන්නේ උන්නැහේය. හැබැයි, ඒ කඩිනම් කෙරිල්ල හින්දාමය, අපි ඉගිල්ලුණේ.

“අතැනින් පල්ලෙහාට යමු මාමේ... හිච්චි මාමලා කට්ටිය ඉන්නේ එහෙ...” දෙනෙත්ලා පාර පෙන්නයි. හිච්චිලාගේ නඩේ සේරමලාගෙම මූණු නාලු වුණු ගමන්ය.
“බලන්නකො ඩොක්ටර්, අපිට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියලවත්...”
“කලබල වෙලා බෑ හිච්චි! තව ටිකක් බලමු... මර්වින් බාරෙකුත්...” වාක්‍යය ඉවර කරාන්නත් කලින්...

එතකොටමය ජංගමයෙක් බෑඟිරි දෙන්නට ගත්තේ.
“ඉන්දික... ඉන්දික... කතා කරනවා!”
මගෙ ඇස්දෙක මටත් හොරා ඔරලෝසුව ළඟය. නැත- තවමත් පැය භාගය ගත වෙලා නැත!

ඉන්දික එක පිම්මටම වරහන තෙක්ම ගිහිංය. එයාලගේ නඩේ අනිත් අය ගැන තැකිය යුතු විත්තියත් ඒ මනුස්සයාට අමතක වෙලාය. මොබයිල් ෆෝන් එකට උත්තර දිය යුතු බවත්, එයා ඉස්සරවී ගිය විත්තිය අනෙක් අයට කිව යුතු බවත් කල්පනාවී නැතිය. ඒ මදිවාට වරහනදී මිනිහාට සනීපෙට නින්දකුත් ගිහිංය!
“ඔව් මාමේ, නින්දෙන් නැඟිට්ටම තමයි හිතුණෙ call එකක් දීලා බලන්න.”

සමහර දෙයක හැංගුණු රටාවල් හොයා ගන්නට පුළුවන් වෙන්නේ...

ඔය කිව්වේ සිද්ද වෙලා තිබ්බ හරියයි.

ඒවා තර්කානුකූල නැත. සාමාන්‍යත් නැත. අහම්බයන් වගේත්ය. මං වහන්සේ තවමත් ඉන්නේ ‘ඒ සිදුවීම් මාලාව’ තේරුම් ගන්නට දත කමිනි.
ඒ අඩවියේදීම සිද්ද වුණු
වල් දඹල කසන ඇබැද්දියත්  ඔය වගේමය!
කැබිලිත්ත ගමනේදී නෙවිල්- හක්ස්ලි දෙන්නාගෙන් කට කැඩිච්චි කතාවක් කියවෙනවාත් එක්කම තඩි කුඹුක් අත්තක් ඒ දෙන්නා ඉස්සරහට කඩා වැටිණි. හුළඟ පවා නැති වෙලාවක... ඒකත් තවම අපට ගැටලුවකි!

සමහර දෙයක හැංගුණු රටාවල් හොයා ගන්නට පුළුවන් වෙන්නේ උවමනාවෙන්ම කිමිදී බැලුවොතින් පමණකි.  

මොක වුණත්, ඒ නිසා අපේ එක ඉලක්කයක් නම් වැරදුණේය. අතරමඟ නතර නොවී අපට වරහනටම යන්නට වුණේය. වරහනටම නොයන්නට අප තීරණේ කළේ, එතනදී ගඟේ වැලි තලාවල නවාතැන් ගන්නට ඉඩ නොදෙන බැවිනි.

මේ සැරේදී ඒ ප්‍රශ්නය තදටම ඇවිළුණේය!

“ඔයාලා මොන පදනමෙන්ද, අපිට ගඟේ වැල්ලට බැහැලා නතර වෙන්න එපා කියන්නේ?” වාදීභවාදී වලිසිංහ පීරිස් මැතිඳාණෝ වෙවුලමින් අසති. ඒ නොවිමසා බැරිම තැනදීය. ඒ අප්‍රසන්න තත්ත්වය වළක්වා ගැනීමටය, අප අතරමඟින් නවතින්නට හැදුවේ.
හමුදා සෙබලා උත්තර දෙයි. “සර්, ගඟේ කිඹුල්ලු ඉන්න පුළුවන්. උන්ගෙන් පාද යාත්‍රාවේ එන අයට කරදර වෙන්න...”

“කරදර? තමුන්නාන්සෙලා දන්නවද මේ මිනිස්සුන්ට දවස් දෙකක ඉඳලා වතුර නැතිව එන්න වෙලා තියෙන කරදරේ. කෝ ඒවට ඇක්ෂන්?
දන්නවද, මේ පාද යාත්‍රාකාරයො පරණ තොටුපළේ ඉඳල වරහනට එනකල් මැණික් ගඟ දිගේ වැල්ලෙ තැනින්- තැන දිගටම නවතින බව? එතකොට ඒ මිනිස්සුන්ව කිඹුලො කෑවට කමක් නැද්ද? මෙතැනදී විතරද අපිව පරෙස්සම් කරන්නේ...
අපි ගඟට බහිනවා- වැල්ලෙ නවතිනවා... ඔබතුමන්ලා කරන්න පුළුවන් රාජකාරියක් තියෙනව නං කරන්න...”

වැල්ලේ නවාතැන් ගත්තත්, අපට විරුද්ධව කිසිම action එකක් ගැනුණේ නැත!

අනතුරට පත් වෙන්නට වටිනා තරමේ ගොන් අලි ඇති පදම් මේ ගෙන්දගම් පොළොවේ වැජඹෙමින්- රටකට වින කටිමින් සිටිනා අතරේ- වනන්තරේ ඉන්නා අහිංසක අලි පැටියෙක්...

තනියෙන්ම; අවකල්පනාවෙන් වගේ වරහනට ඇවිත් හිටි ඉන්දික ආයෙමත් හිච්චිලාගේ නඩයට එක්කාසු වුණේය.

වන ජීවියේ පියනන්ද මහත්තයා අපේ කට්ටිය හොයාගෙන වැල්ලටම ආවෙත් එදා හවසය. “ඒ මහත්තයෝ, අපේ දොස්තර මහත්තයා අරෝවකුත් කර ගත්තැයි?” ඉඩක් ලැබුණු ගමන්ම පියනන්ද මහත්තයා රහසෙන් ඇහුවේය.
“මම කල් ඇතිවම මෙතෙන එක්කෙනෙකුට අපේ දොස්තර මහත්තයා ගැන කියලයි තිබ්බේ. කොහෙද, ඒ මනුස්සයට අර පාර මැද්දේ වැටිලා හිටිය අලි පැටියට බෙහෙත් කරන තැනට යන්න වෙලානේ... ඔහෙලත් දකින්න ඇති නේද?”

අනතුරට පත් වෙන්නට වටිනා තරමේ ගොන් අලි ඇති පදම් මේ ගෙන්දගම් පොළොවේ වැජඹෙමින්- රටකට වින කටිමින් සිටිනා අතරේ- වනන්තරේ ඉන්නා අහිංසක අලි පැටියෙක් විපතේ වැටිලාය. හෙනහුරා අපල කරන්නෙත් ප්‍රබලයාට නොවේ; දුබලයාටමය!

“මම අපේ දොස්තර මහත්තයාට කිව්වා නිමල් මහත්තයෝ, ඔහෙලගෙ ඇඳුම් බෑග් ටික අපි දැන් යන ගමන් කටගමුවට ගෙනියන්නං කියලා. හෙට උදේට ඔහෙලට උදේ කෑමත් අපි හරි ගස්සන එකනෙ. බර බඩු මලු වුණත් අපේ වාහනේ ගෙනියන්න ඇහැකි දැන්ම සූදානං කරවල දෙනවා නං!”
“ඒක නං අපි හැමෝටම ලොකු වාසියක් නේද නිමල් අයියේ....”

“ඒත් පීරිස් මහත්තයෝ, නඩ දෙකක බඩු මලු? විසිතුන් දෙනෙක්නේ....” මං කිව්වේ අයස්මන්තටය. උත්තර දුන්නේ පියනන්ද මහත්තයාය.

“ගණන් ගන්න එපා නිමල් මහත්තයෝ. අපේ දොස්තර මහත්තයා අපටයි, හම්බන්තොටටයි කරලා තියෙන දේවල්වල හැටියට කලාතුරකින් මෙහෙමවත් දෙයක් කරන්න ලැබෙන එක කොච්චර එකක්ද?” ගිය වතාවේ නම් පියනන්ද මහත්තයා රාජකාරි කරමින් හිටියේ කටගමුව පිවිසුමේය.
“දැන් නිමලව point එකේ duty කරන නිසා තමයි, මං නිවාඩු දාලා ඇවිත් සේරම සූදානං කරන්නේ! අදයි- හෙටයි දෙකම අපේ සර්ල වෙනුවෙන්...”

ඒ වුණාට B.N. අසංගලාගේ ගෙදරින් (හම්බන්තොටදී) අපට ලැබුණු උත්කර්ෂවත් දිවා ආහාර සංග්‍රහයේ foto කෑල්ලක්...

විස්තර කියන්නට ඕනෑ නැත. පැය භාගයක් තිස්සේ අපේ බඩු මලු, bags එක තැනකට ගොඩ ගැහුණේය. එදා රාත්තිරියටත්, පහුවදා පාන්දරටත් උවමනා වෙන දේවල් විතරකි, අපි කවුරුනුත් තියා ගත්තේ. පහුවදා උදේ අපට උස්සාගෙන යන්නට තිබුණු බරෙන් 90%ක්ම වාහනයකින් කටගමුව දක්වා ගියේය!

අපට එදා රැය ගෙවුණේ මැණික් ගඟේ, වරහන පුලින තලාව මත්තේය!
එදා රාත්‍රී භෝජනය අපූරුවට තිබ්බේය; ඒ ගමනෙන් වැඩි හරියක්ම ඉවර නිසා, ලෝබ නැතිව හාල් තුනපහ පාවිච්චියට ගත්තු නිසාය.
ඒ වුණාට B.N. අසංගලාගේ ගෙදරින් (හම්බන්තොටදී) අපට ලැබුණු උත්කර්ෂවත් දිවා ආහාර සංග්‍රහයේ foto කෑල්ලක් මේ පෝස්ටුවට ඔබන්නටම හිතෙයි. 2013 අපේ පළමු පාද යාත්‍රා ගමනේදීත් අසංග මීට
දෙවෙනි නොවෙන දිවා භෝජන සංග්‍රහයක් අපට පිරිනැමුවේය.

රුහුණේ නියම කුරහන් පිට්ටු හදන හැටි මං අසංගගේ නැන්දම්මාගෙන් ඉගෙන ගත්තේ ඊට පස්සෙය.

මේ වතාවේ අසංගත් පාද යාත්‍රාවට එන බව කියලා තිබුණත්, ආවේ නැත. ඒ හිලව්වට වගේය, මෙච්චර ලස්සන- දැක්කත් හිත පිරෙන කෑමක් ඒ හාදයා පිළියෙළ කරන්නට ඇත්තේ!

සීවලී මහ රහතන් වහන්සේ කලින් ආත්මයක කරපු දානමය පිංකමක් ගැන බණ දෙසුම්වලදී පුන-පුනා කියැවෙයි. ඒකෙ ආනුභාවයෙන් උන්නාන්සේට කවදාවත් දානය වරදින්නේ නැතිලු. උන්නාන්සේ එක්ක ඉන්නා උදවියට වුණත්...
පීරිස් මහත්තයා එක්කලා කොහෙට හරි ගියත් එහෙමය. හැබැයි ඒ පින පළ දෙන්නේ අපි කට්ටියත් එක්ක ඉන්නා වෙලාවට විතරක් වගෙය.
උන්නැහේ තනියෙන් හිටින රාජකාරි දවස්වල ඒ යක්ෂයා වැඩි හරියක්ම ඉන්නේ බඩගින්නේය- එක්කෝ fasting කරන නිසාය; නැත්තං කෑම කන්නට ත‍රම් ඉස්පාසුවක් නැති නිසාය.

“යකෝ... දියවැඩියා ලෙඩෙක් නේද මේ බෙදා ගන්නේ?” කටගමුවෙදී මගේ පිඟානට එබෙන්නෝ කීහ. ඒ අයස්මන්තව අවුස්සන්නටය!

තව ඩිංගෙන් ඒකට කර ගහන්නෙත්...

ගිය වතාවේදී වගේම, කටගමුවේදී පියනන්ද මහත්තයා සූදානම් කරලා තිබුණු උදේ කෑමත් අසංගගේ කෑමට දෙවෙනි නැත. කිරිබත්, රතු කැකුළු බත්, කඩල, මුං ඇට, ඉඳියාප්ප විතරක් නොවේ පානුත්... ලුණුමිරිස්, පොල් සම්බෝල, පරිප්පු, අල හොදි, සීනි සම්බෝල... තව මොන-මොනවා තිබ්බාදැයි මතක් වෙන්නේ නැත.

ඇයි රුහුණේ කිරි-පැණි, කෙසෙල්, ගස්ලබු හා කොමඩු...
එච්චර මහන්සියකින් හරි ගැස්සූ දේවල්වලට සාධාරණය ඉෂ්ට නොකර සිටින තරමේ දුෂ්ට ගති මට නැත.
 

දවස් හතරකට පස්සේ- අපේ කවුරු කවුරුත් බඩජාරිකම පෙන්නමින් ඉස්මුරුත්තාවටම වැළඳුවා වගෙය මං දැක්කේ.

(අල්පයක් වළඳන නමිනං උන්නැහේ නං නැතෙයි කියන්නටත් ඉඩ තිබේ. කියපංකො බලන්න...! තමුන්නැහෙත් උස්මුරුත්තා වෙලා නොහිටියා නං කෝ එතැන foto?)
කැමරා, ෆෝන් ඔක්කොමලගෙ අත්වල තිබිලාත්, ඒ උදේ කෑම වෙලාවේ ගත්තු එක foto එකක්වත් මෙතෙක් මං වහන්සේ දැක්කේ නැත!

“දැන් නසාර්ගේ වෑන් එක මෙහාට එනවා!
හිච්චි, අපි කට්ටිය නං අද නදීක ගෙස්ට් එකේ නවතිනවා. ඔයාලගේ bags ටිකත් මේ එක්කම van එකේ යවමු එහාට. මඟදී මොනවාවත් ඕනි වෙන එකක් නැහැනෙ. නසාර් එනකල් අපි හැමෝම නැවතිලා ඉන්න එකේ තේරුමක් නෑ. තව කිලෝ මීටර් 13ක් යන්න තියෙනවනෙ. එක්කෙනෙක් නැවතිලා හිටියම ඇතිනෙ bag ටික දාගෙන එන්න....”

තව ඩිංගෙන් ඒකට කර ගහන්නෙත් මර්වින්මය.

“නෑ නෑ. මම ඉන්නං. ඉඳල bags පටවාගෙන එන්නං. හැබැයි දෙගොල්ලන්ගේ bags වෙන-වෙනම ගණන් කරලා; ගොඩ ගහල....’ මම කීවෙමි. මේ වතාවේ මගේ පාද යාත්‍රාව කිලෝ මීටර් 87කට සීමා වුණේ එහෙමය.

විශ්වාස කරනු මැනවි. අපේ බෑග් කන්දරාව කොච්චර විශාලදැයි කියතොත් van එක උතුරන්නට bags තිබුණි. ඒවා පටවලා බලද්දී ඉඩක් තිබ්බේ නසාර්ටත්, මටත් වාඩි වෙන්නට විතරකි! ඒ බෑග් තොග දෙක නදීක ගෙස්ට් හවුසියෙදී බිමට බාගන්නට පැය බාගයක්ම ගත වුණු විත්තියත් නොකියා බැරිය.

සිහිය නැහැයි කියල තොපි සේරම මටනෙ බනින්නේ!

එතකොටත්, වැඩියෙන්ම බරට තිබ්බේ දොස්තර මහත්තයාගේ bag එකයි. “මොනවද පීරිස් ඔච්චර බරට තිබ්බේ?” නොඅසා හිඳින්නට බැරි තැන මම ඇසුවෙමි.

“සිහිය නැහැයි, අනුන්ගෙ ජොක්කුත් උස්සනවයි කියල තොපි සේරම මටනෙ බනින්නේ. පීරට අමතක වෙලා, කතරගමට ගෙන්න ගන්න බඩු bag එකට පඬුරු ටික දාන්න..” මර්වින් හිනා කමින් කීවේය.
“... ටික කිව්වට කිලෝ හතරකට වැඩිය බර පඬුරු ගොඩක්...”

නාන කාමරයට වැදී හිතේ හැටියට නාලා, දවල්ට කාලා කෙටි නින්දකුත් දාන්නට යද්දී...

“නිමල් අයියේ, ඇඟේ කොහෙ හරි කසනවා නං චුට්ටක් බලන්න... මගෙ ඇඟේ චූටි කිනිතුල්ලෙක් හිටියා.” තමීර බෝගහවත්ත නිවේදනය කළේය.

පාද යාත්‍රාව ගිහිං ආපහු ආ විත්තිය දැනගත් ගමන්ම Pra Jay ඇහුවේ ‘කිනිතුල්ලෝ හිටියේ නැද්ද’ කියලාය. ගිය වතාවේ ‘හරෝහරා’ පෝස්ටු මාලාවේ තෙවැන්නට comment එකක් එවමිනුත් උන්නැහේ ඒ ගැන ඇහුවේ මෙහෙමය:

'නිමල්ට අර පොඩි කිනිතුල්ලෝ එක්ස්පීරියන්ස් එක ලැබුණේ නැද්ද
ඔය කැලේ කඩිත් හරියට ඉන්නවා. මං පාද යාත්‍රා කාලෙ නම් ගිහිල්ලා නැහැ.
ඊට මාස 1 1/2 විතර පස්සේ කැලේ මැද්දෙන් ලේනමට ඇවිද්දා.
යන්න හා එන්න පැය හයක් විතර ගමන.
සුමාන දෙකක් විතර කිනිතුල්ලෝ බයිට්!.

කාරණයක් නං හිතා ගන්නට බැරිය. මීට කලින් එක වතාවක්වත් මගෙ ඇඟේ නොඑල්ලුණු කිනිතුල්ලෝ මේ වතාවේ මට මදි නොකියන්නම බැට දුන්හ!

උන්ගෙ ආච්චිලාට හාල් ගරන්න වටින්නේය; අල්පෙනෙත්ති තුඩකට වැඩිය ටිකක් ලොකු; නිවිති ඇටයක් තරම්වත් නැති ඒ පැතලි කුඩා කිනිතුල්ලන් එල්ලීගෙන ඉන්නේ ඇඟේ හම කාගෙනය. හොඳ සෝදිසියෙන් බැලුවොත් මිස නොපෙනෙන විදිහට වේශාන්තරණය වෙලාද මංදා, අපේ හමේ පාටටමය.

අපේ කට්ටියගෙන් වැඩිම කිනිතුල්ලන් අස්වැන්න තිබ්බේ මගෙ ළඟය.14කි.

අඩි හය-හතක වේලායුධයක්...

“කතරගම දෙයියෝ මේ සැරේ වැඩියෙන් ඔරොප්පු වෙලා තියෙන්නේ මෙයත්තෙක්ක.” අපේ කෙනෙක් මට එහෙම කිව්වත්, මේ වතාවේ පාද යාත්‍රා කරුවන් හැමෝම එක්කලා උන්නාන්සේ අමනාප වෙලා වගෙය.

24 වෙනිදා හැන්දෑවේ අපි සෙල්ල කතරගම මහසෙන් මහ විහාරයට ගියා විතරය. පැල් බැඳගෙන වහින්නට පටන් ගත්තේය. දේවාලයට යෑම පැත්තකින් තියන්නටය අපට සිදු වුණේ.

එයින් මට නම් ලොකු වාසියකුත් ලැබිණි.

බුදු ගෙයි බිත්තියකට පිටදීගෙන පැය එකහමාරක විතර නින්දක්... “මූට තියෙන වාසනාව අපට නැහැනෙ යකෝ!”

වැස්සේ තරම කිව්වොත්, මහා දේවාලයේ හවස පූජාව පටන් ගනිද්දී හිටියේ බැතිමතුන් සීයකටත් අඩුවෙනි. පූජාව අවසානයේ ප්‍රධාන කපු මහත්තයෙක් දෙවොල තුළින් ගෙන ආ අඩි හය-හතක වේලායුධයක් අයස්මන්ත මහතාට පිරිනැමුවේය.

“ලබන පාර පාද යාත්‍රාව යනකොට පීරා ගෙනියන බරට තව කිලෝ හයක්වත් දැන්මම එකතු වුණා වගේ!”

“නිමල් මහත්තයලා පුදුම වාසනාවන්තයෝ ටිකක්. ඔහෙලා ගිය දවසේ හවස පටන් ගත්තු වැස්ස දවස් තුනක්ම එක සීරුවට වැක්කෙරුණා. ඔව් මහත්තයො. පාද යාත්‍රාවේ ආපු මිනිස්සු වැස්සේ තෙමි-තෙමී ගස් යට හිටගෙන පැය ගණන් හිටියේ! උයා ගන්න කියලය... නිඳා ගන්න කියලය... හරිම දුකක් ඒ මිනිස්සු වින්දේ...” ඊට දෙදවසකට පස්සේ පියනන්ද මහත්තයා ටෙලිෆෝනයෙන් කිව්වේය.

මහ දේවාලයේ, කිරි වෙහෙරේ, මහසෙන් මැඳුරේ කෙරුණු වතාවත් එකක්වත් කියන්නට මං වහන්සේ ලැහැස්ති නැත. පෝස්ටු මාලාව තවත් දිගු නොකොට, ඊට වඩා සිත් අදින දෙයක් කියන්නට තිබෙන නිසාය.

අතරමං වුණු ඉන්දික වෙනුවෙන් වුණු බාරය ඔප්පු කරන්නට, අපි කඩවර දේවාලයට ගියා විතරකි. ප්‍රියන්තව හඳුනාගත්තෙක් අපව පිටිපස කුටියකට කැන්දාගෙන ගියේය.

“මේ ඉන්නේ දේවාලේ ප්‍රධාන කපු මහත්තය... මේ හම්බන්තොට හිටපු අක්ෂි විශේෂඥ දොස්තර පීරිස් මහත්තයා...” ප්‍රියන්ත කිව්වා විතරය.
 

එයාට සර්ප්‍රයිස් එකක් දෙන්නයි, එයාට නොකියා මෙහාට ඇවිත් බලාගෙන ඉන්නෙ... ලබන සැරේ අපි සේරමත් පාද යාත්‍රාවේ එනවා!

“ගංගාරාමේ, මේ මහත්තුරුන්ට හකුරුත් එක්ක කහට එකක් දෙමු...”
කහට හැදෙනතුරු එදා ඒ වෙලාවේ කියවුණු කතන්දර එළියට දමන්නට මට අවසර නැත.

ප්‍රකාශ කාගේදැයි නොකියා, අපේ අයගෙ පඩික්කම් කටවල්වලින් පසුව කියැවුණු දේවල් ටිකක් විතරක් දැන් ඔබට කියමි.

‘අපරාදේ. අපි මෙතෙන්ට එන්න තිබ්බේ ඊයේ හැන්දෑවේ.’ / ‘කඩවර අප්පච්චි විතරයි අපේ දුක දැකලා නියමම සංග්‍රහය කළේ!’ / ‘නැත්තං නැත්තං. උන්නාන්සේම තමයි ලොක්කට කියන්න ඇත්තේ අපිට සිගරැට්ටුත් දෙන්න කියලා.’ / ‘අර කඩවර දෙයියන්ගේ පූජා වට්ටියට අරක්කුත් තියන ජාතියේ බිස්නස්කාරයෝ ඇතිනෙ මචං. උන් එන වෙලාවක අපිත් මෙහාට එමුකො...’ / ‘ඔව්, ඔව්. අපේ වාසනාවට කවුරු හරි විස්කි විකුණන එකෙක් එව්වත් ගෙනල්ල කඩවර දෙයියන්ගෙ පූජා වට්ටියට තිබ්බොත්...”

ඉතිං, වාසනාව ඉඩ දෙන්නේ නම්; අයස්මන්ත ඇතුළු හිතවතුන් උදව් දෙන්නේ නම් ලබන වතාවෙත් පාද යාත්‍රාව යන්නටය, මං හිතාගෙන ඉන්නේ.

එවිටවත් චානක යළි හමුවනු ඇත; යසෝදරාත් හමු වෙනු ඇත!

බොලේ, මං චානක ගැන කිව්වත්, මෙතෙක් ඇය ගැන කියා නැති විත්තිය මතක් වෙන්නේ දැන්ය.
යසෝදරා ඉතා ක්‍රියාකාරීව ‘ආදරයේ අරගලය’ට සහභාගීවූ ඇත්තියකි. තනිවමත් නොවේ; පවුල පිටින්ම. කතරගම නදීක ගෙස්ට් හවුසියේ යසෝදරාත් නවාතැන් ගෙන සිටියේ දරු තිදෙනාත් එක්කය.

“මගෙ husbandඩුත් පාද යාත්‍රාවේ ගියා. අපි එයාට සර්ප්‍රයිස් එකක් දෙන්නයි, එයාට නොකියා මෙහාට ඇවිත් බලාගෙන ඉන්නෙ... ලබන සැරේ අපි සේරමත් පාද යාත්‍රාවේ එනවා!”

යමු... යමු. ආපහු පාද යාත්‍රාවේ යමු ෴0෴

Saturday, September 24, 2022

මට වෙච්ච දේ - පළමුවෙනි කොටස

‘...සුළඟින් මතු වන විශාල රළ පාරවල් පෙනෙන විට අප මුහුදට ඉතා පාතින් ගමන් කරතියි මට බියක් ඇති විය. එහෙත් එම බිය පහ කරමින් යානය ඉහළ නැංගේය. මුහුදේ රළ පහර නොපෙනී ගොස් විල්ලුද රෙද්දක් මෙන් නිල් පැහැයෙන් බබලන අතරක් නැති තැනිතලාවක් පමණක් දකින්නට ලැබිණ.

මගේ අම්මාත්, තාත්තාත්, මව් බිමත් මගේ සිහියට නැඟෙන්නට විය.

අපි වලාකුළු උඩින් ගමන් කරන්නට වීමු.

යළිත් මගේ අම්මාත්, තාත්තාත්, මව් බිමත් මගේ සිහියට නැඟෙන්නට විය. අම්මාත්, තාත්තාත් අසීමිත ශෝකයෙන් දැන් ආපසු යනු ඇත. ගෙදර යන ඔවුන් පෙර පුරුදු දුක්ඛිත ජීවිතයට යළිත් පිවිසෙනු ඇත.
පිටරට සේවය කරන අයට විශේෂ දීමනාවන් ලැබෙන නිසා මගේ පඩිය පෙර මෙන් හත් අට ගුණයකින් වැඩි වෙයි. කෙසේ හෝ අඩු වියදමකින් ජීවත්වී එම පඩියෙන් සෑහෙන කොටසක් ගෙදරට යැවිය යුතු බව තරයේ සිතට ගත් මම මඳක් සිත සැහැල්ලු කර ගතිමි.’

පීකිං බලා පිටත් වන ගුවන් යානය අහසට නැඟෙන වෙලාවේ තිලකපාල හිතුවේ එහෙමය!

සංජේ මට ගෙනවිත් දුන් ‘මට වෙච්ච දේ’ පොතේ ප්‍රධාන චරිතය තිලකපාලය. උත්තම පුරුෂ කෝණයෙන් ලියැවී තිබෙන ඒ ප්‍රබන්ධ කෘතියේ කතාව කියන්නේ තිලකපාලයි.
ඩිමයි 1/8 සයිස් එකේ, පිටු 160ක පොතක් වන එහි, 150 වන පිටුවේ යට කොටසය, ඉහතින් ඔබ කියෙව්වේ
; ඒ හත්වෙනි පරිච්ඡේදයේ අන්තිම හරියයි. මෙන්න: ඊළඟට මා උපුටා දක්වන්නේ පොතේ අන්තිම පරිච්ඡේදයයි.

8 වෙනි පරිච්ඡේදය

ගුවන් යානය පීකිං නුවර ගුවන් තොටුපළට සේන්දු විය. මා ඉන් අවතීර්ණ වන විට මා, දුටු මනතින්ම සිංහලයෙකු ලෙස හඳුනා ගත හැකි කෙනකු පැමිණ මට ආචාර කොට මා පිළිගත්තේය.

“ඔයා නේද තිලකපාල?” මා ළඟට පැමිණි අමුත්තා ඇසීය.

“ඔව්! මම තමයි. ඔයා?”

“මම ගුණසේකර. චීනයේ ලංකා තානාපති කාර්යාලයේ ලිපිකරුවෙක්.”

මේ නගරෙ මිනිස්සු ඉන්නෙ ඔය වගේ...
ගුණසේකර මා අතෙහි වූ සූට්කේසය, මගේ විරුද්ධත්වය නොතකාම අතට ගෙන අසල වූ මෝටර් රියට දමා ගත්තේය.

ඉක්බිතිව අපි දෙදෙනා මෝටර් රියට නැඟ ගමන් ආරම්භ කළෙමු. ටික දුරක් මහා මාර්ගයක ගමන් කළ මෝටර් රිය කුඩා වීථියකට හැරුණේය.
වීථිය දෙපස අතරක් නැතිව ගොඩනංවන ලද තට්ටු ගෙවල් විය. සූර්යාලෝකය සෑම ස්ථානයකම පැතිර තිබිණ. තට්ටු ගෙවල් හැම එකකම නා නා වර්ණයෙන් යුත් කොඩි ඔසවා ඇති සැටියක් මට පෙනුණේය. මේසා මහත් කොඩි සංඛ්‍යාවක් ඔසවන ලද මැඳුර මොනවාදැයි මම ගුණසේකරගෙන් ඇසුවෙමි.

මගේ ප්‍රශ්නයට ඔහුට සිනා ආයේය.

“ඒ කොඩි ඇදල නෙවෙයි, රෙදි වනල. මේ නගරෙ මිනිස්සු ඉන්නෙ ඔය වගේ තට්ටු ගෙවල්වල තමයි. යම්තම් අව්ව රැල්ලක් පායපු හැටියෙ කොඩි ඇද්දා වගේ හැම ගේකම සෝදපු රෙදි වනනව.”

මට කාරණය අවබෝධ විය. ජනගහණයේ අධිකකම නිසා, මෙහි ජනයා වැඩිකොටම වෙසෙනුයේ තට්ටු ගෙවල්වලය.

මා කෙළින්ම චීනයේ ලංකා තානාපති කාර්යාලයට කැඳවාගෙන ගිය ගුණසේකර එහිදී, සේවයේ නියුක්ත නිලධාරීනට මා හඳුන්වා දුන්නේය. තානාපතිතුමා රාජකාරි කටයුත්තක් සඳහා බැහැර ගොස් සිටි හෙයින් එදින ඔහු හඳුනා ගැනීමට නොහැකි විය.

එදින මට කාර්යාලයේ කිසි වැඩක් පැවරුණේ නැත. ගුණසේකර කෙටි නිවාඩුවක් ගෙන මා ඔහු වෙසෙන තැනට කැඳවාගෙන ගියේය. මටද එහි නවාතැන් ගැනීමට කටයුතු පිළියෙළකොට තුබුණි. එය අනික්වා මෙන් තට්ටු ගෙයක් නොවීය. අධික ශීත දේශගුණය වළක්වා ගැනීම සඳහා යොදා ඇති යන්ත්‍රෝපකරණයන්ගෙන් හෙබි එම නිවාසය බෙහෙවින්ම මගේ සිත් ගත්තේය. පීකිං නුවරට පැමිණි වේලේ සිට අධික සීතල නිසා මට දැනුණු අපහසුකම මේ නිවාසයට ඇතුළු වූ පසු අවසන් විය.

මමද එපරිද්දෙන්ම ඔහුට ඇලුම් කිරීමට පුරුදු වීමි!

අපේ විද්‍යාලයේම අධ්‍යාපනය ලැබූ ජයසිංහ මහතා මට හඳුනා ගැනීමට පුළුවන් වූයේ කාර්යාලයේ වැඩ ආරම්භ කළ පසුවය. ජයසිංහ මහතා කාර්යාලයේ දෙවෙනි ලේකම්වරයාය. මා හැඳිනගත් පසුව කාර්යාලයේ බෙහෙවින්ම මට කුළුපග තැනැත්තා ඔහු විය.
ඔහු මා හා එතරම් කුළුපග වූයේ අප එකම පාසලේ අධ්‍යාපනය ලැබූ නිසාම නොවන බව මට පසුව වැටහිණි.

මමද එපරිද්දෙන්ම ඔහුට ඇලුම් කිරීමට පුරුදු වීමි.
නූස්, නොමිටි සිරුරක් ඇති ජයසිංහ මහතා කාගේ වුවද සිත් ගන්නා කෙනෙකි.

‘ඔහුට ඇලුම් කිරීමට පුරුදු වීමි.’ වහෙන් ඔරෝ බාසාවෙන් නැතිව කියනවා නම්, තිලකපාලත් ජයසිංහ මහතාත් අතරේ සමලිංගික සම්බන්ධයක් තිබුණාය කියලා නේද- ඒ කියන්නේ?
මගෙ වලත්තකම නිසාද මංදා, මා තේරුම් ගත්තේ එහෙමය.

දැන් වගේ හැම දේටම shopping bags නැති ඒ යුගයේ පාන්- සීනි ඔතලා දෙන පත්තර කෑල්ලක් පවා නොකියවා අත නාරින පුරුද්දකි මට තිබුණේ.
එහෙව් මම ඉඩක් ලැබෙන හැම වෙලාවේම- හම්බ වෙන හැම පොතක් පත්තරයක්ම කියවූවෙක්මි. ඒ නිසාමය ‘පන්සිය පනස් ජාතක පොත් වහන්සේ’, ‘සද්ධර්මාලංකාරය’ වැනි ධර්ම පුස්තකයන් මෙන්ම
‘ප්‍රංස රස’, ‘මකුණා’ වැනි පොත් වුණත්, මේ නිමල් දිසානායකයා නොකියවා නොසිටියේ.
ඒත් මේ ‘මට වෙච්ච දේ’ පොත කියවනකල්ම ‘පුරුෂ සමරිසි’ සබඳකමක් ගැන හෝඩුවාවක්වත් තියෙන පොතක් නම් මට හමුවී නොතිබිණි.

නමුත්... මහරගම විද්‍යාකර විද්‍යාලයේ SSC පන්තියේ ඉන්නා කාලයේ; 1969-1970 විතර විශේෂ පොතක් ගැන ලොකු හාහෝවක් මට රහසින් අසන්නට ලැබිණි.
“මරු පොත බට්ටෝ! ආප්ප කතන්දරයක් තියෙන්නේ!!” කියලාය පොත ගැන මුල්ම intr
oduction එක හම්බ වුණේ. ඒ ගැන හාරාවුස්සද්දීය, මං දැනගත්තේ- ස්ත්‍රී සමලිංගික කියලා දෙයකුත් තිබෙන බව!

අපේ සා/පෙ පන්ති හතරේ හිටි හැම කොල්ලෙක්ම- කෙල්ලෙක්ම ඒ ‘මල් වැනි ලස්සන ගැහැනු ළමයි’ පොත ඉල්ලාගෙන කියෙව්වාය යනුවෙනි...

අපේ සා/පෙ පන්ති හතරේ හිටි ‘හැම කොල්ලෙක්ම- කෙල්ලෙක්ම ඒ පොත ඉල්ලාගෙන කියෙව්වාය’ යනුවෙනි මට මතක.

පොත ‘මල් වැනි ලස්සන ගැහැනු ළමයි’ය.
සිංහල නවකතා ග්‍රන්ථ නාමාවලියේ කියවෙන විදිහට නම් එහි කතුවරයා උපාලි ගුණවර්ධනය. ඒ පොතෙනුත් පිටපත් 3,000ක් අච්චු ගහලාය.

(මගේ මතකය නිවැරදි නම් ඒ පොත මුද්‍රණය කර තිබ්බේ ගංගොඩවිල දීපානි මුද්‍රණ ආයතනයයි.) ප්‍රකාශනය ලොකුහේවා ප්‍රකාශන වෙතිනි.
(මල් වැනි ලස්සන ගැහැනු ළමයි- පොත එක්කම උපුලී ලොකුහේවා නමත් මට මතක් වෙයි. ඒත් ඒ මතකය තහවුරු කළ හැකි සාක්ෂියක් හොයා ගන්නට බැරි වීම ගැන තවමත් දුකය.) ඒ තියා ධර්මප්‍රිය ලොකුහේවා මහත්මා ගැනත් අන්තර්ජාලයේ ඇත්තේ අල්පමාත්‍ර සඳහනක් විතරකි:

එය තිබුණෙත් ‘පර්සියාවේ සයිරස් සේම නිදහස අගය කළ පත්තර ලෝකයේ සයිරස්’ ලිපියෙයි.

... තාත්තා වගතුග තීරු ලිපියෙන් කන්ද උඩ දේශනාව නමින් එකල රජයෙන් පාසල් පොත් මුද්‍රණය කිරීමට ගත් තීරණයට පක්ෂව ලිපියක් ලිව්වා. ඒ කාලේ අධ්‍යාපන ඇමැති ඊරියගොල්ලේ තාත්තාගේ අතීසාර මිත්‍රයා. මම ඒ කාලේ දවසෙ පේළි ගණනට වාර්තා ලියනවා. පේළියකට ශත හතර බැගින් අපට ලැබුණේ. මේ වගෙ වාර්තා ලියන තව දෙන්නෙක් හිටියා. තිහාරියේ මානෙල් පෙරේරා (පසුව ගීත රචක) හා ධර්මප්‍රිය ලොකුහේවා (නවකතා කතුවර)...”

සාහිත්‍යමය ඕපාදූප කරුණු ලිව්වා මදැයි. මෙන්න, මෙන්න ආපහු මට වෙච්ච දෙයින් කොටහක්:

‘... පළමු දින දෙක තුනේ පිටරටක විසීම නිසා ඇතිවන කාන්සිය මා තුළ ඇති විය. බැලූ බැලූ අතින් දක්නට ඇත්තේ නුපුරුදු චීන මුහුණුය. ඇසෙන්නේ නුපුරුදු වචනය. නිතර දෙවේලේ වීථිවල යන-එන මිනිස්සු නොයෙක් දේ කථා කරමින් යති-එති.
ඔවුන් කථා කරන භාෂාව දන්නවා නම් මටද මේ සමාජය තුළට රිංගා ගැනීමට පුළුවන් වනු ඇත. නුපුරුදු දේශගුණය- නුපුරුදු ආහාර-පාන හා නුපුරුදු සිරිත්-විරිත් නිසා මුල් දින කීපය තුළදී මා වෙතින් ඉවත්ව ගිය චිත්ත විවේකය යළි ළඟා වූයේ, ජයසිංහ මා හා කුළුපග වීමෙන් පසුවය.

මේ තාක් කිසිවෙකුට හෙළි නොකළ රහසක් එළිදරව් වන බැව්...

සති දෙකකට පසු  ජයසිංහ මට චිත්‍රපටියක් නැරැඹීමට ආරාධනා කළේය. චිත්‍රපටිය නරඹන අතර ඔහු මා වෙත නැඹුරු වී වැළඳ ගත්තේය. මා එය ඔහුගෙන් බලාපොරොත්තු වූවකි. එහෙයින්ම ඊට කිසිදු විරුද්ධත්වයක් නොපෙන්වීමි. චිත්‍රපටිය නරඹා අවසන් වූ පසු ඔහුගේ නිවසට යාමට මට ආරාධනා ලැබිණි.

ඊට කිසි සේත්ම මට එකඟ විය නොහැක. මා එහි ගියොත් මේ තාක් කිසිවෙකුට හෙළි නොකළ රහසක් එළිදරව් වන බැව් මම දනිමි. එහෙත් ජයසිංහගෙන් මට ගැලවුමක් නම් නොවීය.
ඔහුගේ මෝටර් රථයෙන් ඔහුගේ නවාතැනටම මා කැඳවා ගෙන ගියේය. මෝටර් රථය ගේ ඉදිරිපිට නතර කළ පසු, එක්තරා පොරොන්දුවක් වන තෙක් රියෙන් නොබසින බව මම කීවෙමි. ඔහු ඊට එකඟ විය.

ඉන්පසු අපි දෙදෙනාම රාත්‍රී ආහාර ගෙන නින්දට සූදානම් වීමු. එක් ඇඳක්, පුටුවක් හා කනප්පුවක් පමණක් ඇති කාමරයක් මට නිදා ගැනීම සඳහා පිළියෙළ වී තුබුණි. මා නිදා ගැනීමට පෙර ජයසිංහ කාමරයට පැමිණියේය.
මා සිටියේ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙනි.

මම ඔහුට ඇඳේ කෙළවරකින් හිඳ ගැනීමට ඉඩ දී කථාව ඇරඹුවෙමි...’

1973දී සංජේ මට ගෙනවිත් දුන්නත්, ‘මට වෙච්ච දේ’ පොත් 3000ක් අච්චු ගසා තියෙන්නේ ඊට අවුරුදු එකොළහකට පෙරාතුවය; 1962 අවුරුද්දේය. පොතේ පිට කවරයේ සඳහන් වෙලා තියෙන විදිහට නම් එය කාන්තාවක ලියූ එකකි. තිලකා කිතුල්ගල!
පොත පළකොට තිබෙන්නේ ‘කොළඹ- කරුණාරත්න සහ සමාගම’ මඟිනි.
පොතේ මිල කජු ගසකි! (කජු නම් දෙපියල්, ගසකි නම් රුකකි = දෙපියල් රුකකි = ....?)

ඒ.ඒ. පියරත්න මහත්තයාගේ, රත්නයකටත් වඩා මට නම් වටිනා ‘සිංහල නවකතා ග්‍රන්ථ නාමාවලිය’ පොතට අනුව නම් පළමුවෙනි සිංහල නවකතාව එච්. කන්නන්ගර දේවගැතිතුමා ලියූ ‘ග්‍රාම ප්‍රවෘත්තියක්’ය. 1876 පළ වුණු එය පළමුවැන්න ලෙසින් ගත්තොත්, ‘මට වෙච්ච දේ’ 917 වෙනි සිංහල නවකතා පොතයි.
මුල් අවුරුදු 86ක කාලය තිස්සේ ශ්‍රී ලංකාද්වීපයේ නවකතා පොත් පළවී තිබෙන තරමය ඒ!

සිංහල නවකතා ග්‍රන්ථ නාමාවලියේ කතුවරුන්ගේ නම මිස ස්ත්‍රී- පුරුෂ භාවය සඳහන් කොට නැත. ඒ නිසා ටක්කෙටම හොයා ගන්නට බැරි වුණත්, ඒ කාලයේ ගැහැනු උදවිය පොත් ලියලා නැතිම තරම් කියලාය පෙනෙන්නේ.
(ඒ විදිහට බලද්දී මට නම් හිතෙන්නේ ‘තිලකා කිතුල්ගල’ කියන්නෙත් අන්වර්ථ; anonymous කෙනෙකු බවයි.) අවාසනාවකට වගේ තිලකා කිතුල්ගල ඊට පස්සේ එකම පොතක්වත් ලියා පළ කරලාත් නැතිය. 1550 වෙනි සිංහල නවකතාව වුණු ‘මල් වැනි ලස්සන ගැහැනු ළමයි’ පොත ලියූ උපාලි ගුණවර්ධනටත් එක සැරෙන්ම පොත් ලිවිල්ල එපා වෙලා තියෙන එකය පුදුමේ!

1962 කාලයේ මෙරට සංස්කෘතිය හා සමාජ ස්වභාවය කොහොම තිබෙන්නට ඇත්දැයි...

ඔන්න මං වහන්සේගේ ඒ ‘පසුම්බි’ විස්තර නවත්තලා, මට වෙච්ච දේ පොතේ 154 වෙනි පිටුවට ආපහු යන්නයි හදන්නේ:

‘... ඔහු මහත් විශ්වාසයකින් යුතුව මගේ කථාව අසා සිටියේය. මා කථාව කියාගෙන යන අතර ඔහු එය ඇසීමේ වඩාත් උනන්දු වනු මම දුටුවෙමි.

මා චීනයට පැමිණීමට සතුටු වූයේ මා වැන්නවුනට පිහිට විය හැකි වෛද්‍යවරුන් මෙහි සිටින බැව් පුවත්පත් සඟරා ආදියෙන් දැනගත් හෙයින් බවද,  මගේ රහස මහාර්ඝ වස්තුවක් රකින පරිද්දෙන් ආරක්ෂාකොට මට පිහිට වන මෙන්ද මම ඔහුගෙන් අයැද සිටියෙමි.
ඒ කථාව කියා අවසන් වන විට මා මෙන්ම ජයසිංහද මහත් ඉස්පාසුවක් ලැබුවා සේ මට පෙනිණි.

මා මේ විශාල රටෙහි අතරමං වූ අනාථයෙකු සේ මට දැනෙන්නට විය. මගේ අතපය නොසෙල්විය හැකි තරමට මා දුර්වලය. මගේ සිතද ආකූල-ව්‍යාකූල ස්වභාවයක පවතියි.
මම ජයසිංහගේ දෙපා මුල වැඳ වැටී, මට පිහිට වන මෙන් ඔහුගෙන් ඉල්ලීමි. ජයසිංහ වහා පහත් වී මා නැගිටුවා, මට කණගාටු නොවන ලෙස කියා, පුළුවන් සෑම අයුරකින්ම මට පිහිට වන බව පැවැසීය. ඒ අවස්ථාවේ මා නොදන්නා ආදරයක් ඔහු කෙරෙහි මා තුළ පහළ විය...’

1962 කාලයේ මෙරට සංස්කෘතිය හා සමාජ ස්වභාවය කොහොම තිබෙන්නට ඇත්දැයි තිලකා ලියන දෙයින් කියවෙයි. ‘මා නොදන්නා ආදරයක්’...
තිලකා එසේ සටහන් කරන්නට ඇත්තේ ඒ සමයේ සමලිංගික; සමරිසි; gay; සමකාමී යෙදුම් එකක්වත් භාවිතයට ඇවිත් නොතිබුණු නිසා විය යුතුය. එවැනි සබඳකම් ගැන එළිපිට කතා නොකළ බැවින් විය යුතුය.

ඊට ආසන්න කාලයේ, ඉතා කෙටි කලක් ලංකාවේ පාලක ධුරයට පත් වුණු, දකුණු පළාතේ ප්‍රසිද්ධ; ජනප්‍රිය;  නායකයෙකි. එතුමා සමකාමියෙකියි අප්‍රසිද්ධියේ තැන-තැන කියැවුණා මිස එළිපිට නොකියැවිණි. බලය ඉදිරියේ ඒ ප්‍රතිපත්තිය නම් අදත් එහෙමය.

අද වෙනකොට මම මේ සමාජයෙ අයිඩින්ටිෆයි වෙන්නෙ සමරිසි පුද්ගලයෙක් හැටියට.

එහෙත් හැමෝම එහෙම නොවේ!
උපතින් තමනට හිමි වන ලිංගික අනන්‍යතාව ගැන විවෘතව කතා කරන සමාජයකි අද ඇත්තේ.

ඉතා මෑත දිනෙක ‘කොළඹගමයා බ්ලොගය’ ලියන අජිත් ධර්මකීර්ති හිතවතා මගේ පෝස්ටුවකට comment කරමින් ශ්‍යාම් සෙල්වදුරෙයිගේ Funny Boy කෘතිය ගැනත් සිහිකොට තිබිණි.
දීපා මෙහ්තා අතින් එය සිනමාවට නැඟෙයි. එහි රඟපාන ‘බ්‍රැන්ඩන් ඩේමියන් ඉංග්‍රම්; ගායිකා කොරීන් අල්මේදාගේ පුතණුවන්’ අද මෙහෙම කියන්නේ ප්‍රසිද්ධියේමය.

“ෆනී බෝයි කියන්නෙ ලිංගිකත්වය ගැන වැඩියෙන් කතාබහට ලක්වන නිර්මාණයක්. එවැනි නිර්මාණයක චරිතයක් වෙන්න හිත හදාගත්තෙ කොහොමද?

මෙහෙමයි. මම ඉස්සෙල්ලම මේ දේ කියන්න ඕන. අද වෙනකොට මම මේ සමාජයෙ අයිඩින්ටිෆයි වෙන්නෙ සමරිසි පුද්ගලයෙක් හැටියට. ඒ කාරණාව මම ඕපන්ලි අපේ රටේදී වගේම ලෝකෙ වටේම කතාබහ කරලා තියෙනවා. මොකද දණ්ඩ නීති සංග්‍රහයෙ 365 වගන්තිය යටතේ සමරිසි පුද්ගලයන්ට එරෙහිව නීතියේ බලපෑම් කරන්න උත්සාහ කරනව. ඉතින් ඒ දේවල් වෙනස් කරන්න අපි ගොඩක් වැඩ කරනව. ඒ වගේ පසුබිමක එවැනි චරිතයක් හරහා මගේ හෝ වෙන කෙනෙකුගේ ඇත්ත ස්වරූපය වගේම ඒ සත්‍යය සමාජය අතරට ගෙනියන්න අපි පස්ස ගහන්න ඕන නැහැ. මම කවදත් සිංහල මාධ්‍ය හරහා මේ ගැන ඕපන්ලි කතා කරනවා...”

එවැනි පසුබිමක් තිබෙන බැවිනි, මටත් මගේ ජීවිත කතාව මෙසේ නොසඟවා හෙළි කරන්නට හැකියාව ලැබෙන්නේ. ඒ ගැන හිතද්දී නම් තිලකා කිතුල්ගල ගැන මට ඇත්තෙන්ම දුකය!

‘... දෙසතියකට පසු ජයසිංහ මා එක්තරා දොස්තර කෙනෙකු ළඟට කැඳවාගෙන ගියේය. ජයසිංහ පමණක් නොව දොස්තර මහතාද මා කෙරෙහි දැක්වූයේ පුදුම කරුණාවකි. මගේ අදහස මෙහිදී මුදුන් පත්වනු ඇතැයි ඔවුනගේ අචල කරුණාව නිසා මට සිතුණි.

හිතාගන්නට බැරි තරමේ වෙහෙසක් දරමින්...

එහිදී මා පැය දෙකක පමණ පරීක්ෂණයකට භාජන කළ දොස්තර මහතා ශල්‍ය කර්මයකින් මගේ සිතැඟි ඉටු කිරීමට පුළුවන් වනු ඇතැයි පැවැසීය.

මා හිස පිට තුබුණු මහමෙර ඉවත් කළාසේ මට දැනුණි.

එදින ආපසු එන ගමනේදී මහත් කරුණාවෙන් මට කථා කළ ජයසිංහ “තිලකපාලට ආයෙත් පිරිමියෙක් වෙන්න පුළුවන් වීම ගැන මමත් සතුටු වුණා”යි කීය...’

කොච්චර නසරානි ගති තිබුණත්, නිදිගෙ පංච තන්තරේ කියවන හිතාදර රසික- රසිකාවියන් මෙතනදී අඳුරේ අතරමං කරන්නට නම් නිදි කැමති නැත!
නිමල් දිසානායක සාකල්‍යයෙන්ම තිලකපාලට සමාන නැත!! නමුදු දෙදෙනාටම පොදු සමානකම්ද ඇත!!!

‘මට වෙච්ච දේ’ කෘතිය මගේ මතකයේ ගැඹුරුම තැනෙක නිධන්ගත වී තිබ්බෙත් එනිසාමය. ඒ පොත මගේ අතට පත්කොට, සංජේ කළ යෝජනාවය වඩාත්ම මගෙ මතකයේ රැඳුණේ...
ඒ මතකය නිසාමය, සිංහල නවකතා ග්‍රන්ථ නාමාවලිය පොත මිලදී ගත්තාට පස්සේ ‘මට වෙච්ච දේ’ ගැන විස්තර හෙව්වෙත්.
‘සිංහල නවකතා ග්‍රන්ථ නාමාවලිය’ පොත දැවැන්ත එකකි; ගල් අච්චුවේ print කළා හෝ foto copy කළා හෝ වගේ පෙනෙන A 4 පිටු 576ක පොතකි. ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය මඟින් 1991 අවුරුද්දෙය; එය පළ කර තිබෙන්නේ. මිල රුපියල් 175/-කි.

හිතාගන්නට බැරි තරමේ වෙහෙසක් දරමින් සංග්‍රහ කෙරෙන්නට ඇති මේ ශාස්ත්‍රීය කෘතියට තිබෙන්නට ඇති ඉල්ලුම කොච්චරක් වෙන්නට ඇතිදැයි කියතොත්... ඒ පොත අරගනිද්දී 40%ක discount එකකුත් මේ නිදියාට ලැබුණේය.

ඒ කියන්නේ, මට මේ පොත සඳහා වියදම් වුණේ රුපියල් 105.00ක් විතරය!

ජාතික ලේඛනාගාරයෙන් තොරතුරු කිහිපයක් බලා ඒවා සනාථ කර ගන්නා තෙක්...

Blog අඩවිය පටන් ගත්තාට පස්සේ, ‘මට වෙච්ච දේ’ පොතක් හොයා ගන්නට; මගේ මතකය වඩාත් තහවුරු කර ගන්නට මට උවමනා විණි. හුදු මගේ මතකය මතම විශ්වාසය තබනවාට වඩා- කරුණු වඩාත් සනාථ කර ගනිමින් ලියන්නටය, මා වඩාත් කැමති හා පුරුදුවී සිටින්නේ.

එබැවිනි මට ජාතික පුස්තකාල කෞතුකාගාරය සිහි වුණේ. මේ posts කිහිපය ලියන්නට කලින් ‘ආකයිව්ස් එකට යන්නම ඕනි’ කියලාය මං හිතාගෙන හිටියේ.

එතැනදී මගේ පිහිටට ආවේ ‘ශාස්ත්‍රාභිලාෂී Pra Jay හිතවතා;ය.
ප්‍රා ජේ මහත්තයා එතුමාගේ ප්‍රියම්බිකාවත් කැටුවම පැමිණ, මාවත් කාරයට නංවාගෙන ජාතික ලේඛනාගාරයටත්, ජාතික පුස්තකාල සේවා මණ්ඩලයටත් කැන්දාගෙන ගියේය. (ඔබ දෙපළටම ස්තුතියි!)

‘මට වෙච්ච දේ’ එතැන තිබුණේය.

‘... Phone එකකින් ෆොටෝ ගන්නවා නම් රුපියල් පන්සීයක් ගෙවලා අවසර අරගෙන, ගන්න හැම shot එකකටම රුපියල් 40/-ක් බැගින් ගෙවන්න වෙන බවත් එතන අධිපතිතුමා ඉතාම කාරුණිකව අපට කිව්වා.

ඔය මහත්තයලට ෆොටෝ කොපි ඕනි නං පිටුවකට රුපියල් 100/-ක් වෙනවා... ඊට ලාබයි CD එකකට දම්මගන්න එක.” (ඔය විස්තර ලිව්වේ මතකෙන්.)

ඒ සේවාවන් ගන්න ගියාම නං ටිකක් වෙලා යනවා. එහෙම වෙන්නම එපැයි. කෞතුක වස්තු නෙවැ! මාත් අවශ්‍ය තොරතුරු සුඟක් හොයාගෙන සී.ඩී. දෙකකට දාගන්න මුදල් ගෙවල ආවා. හෙටානිද්දට ටෙලිෆෝන් කරලා බලලා ආයෙම එහාට යන්න වෙනවා.

නිමල්, මට කරදරයක්ය කියලා හිතන්න එපා. CD කලෙක්ට් කර ගන්න යන දවසටත් මම එන්නං ඔයාව එහාට එක්ක යන්න. ආපහු ගෙනල්ලා drop කරන එකත් මහ ලොකු දෙයක් නෙවෙයිනෙ..මං වහන්සේව ආපසු ගෙදරටම ගෙනවිත් බැස්සූ ප්‍රා.ජේ. කිව්වේය.
ලේඛනාගාරයෙන් තොරතුරු කිහිපයක් බලා ඒවා සනාථ කර ගන්නා තෙක් මගෙන් posts කිහිපයක් නොලියවෙන බව දැනගත් දවසේ සිට Pra Jay මාව මේ ගමනට එක්ක යන්නට සූදානම්ව සිටියේය. පස්ස ගහන්නට වුණේ මටය! කොරෝනා පැමිණි නිසාය; ඊළඟට වැස්ස වලාහක දෙයියෝත් හරහට හිටියෝය.

සැඟවී ඇති අතීතය හාරා-පාරා-අවුස්සා... (මේ 1979 පළමු අර්ධ සුඛෝපභෝගී බස් රථයයි.)

බැරිම තැන ඒ සේරම බාධක නොතකා 2021 නොවැම්බර් 24 වෙනිදා, ප්‍රා.ජේ. මහත්තයා නිදිව එහි කැටුව ගියේය; දවසෙන් තුන් කාලක්ම මගේ තනි රැක්කේය. ඒ කරන ගමනුත් මහරගම ඉතිහාසයමා දන්නා තරමින්වත් ලේඛනගත කරන්නැයි සියවෙනි වතාවට විතර කිව්වේය. 

දැන් බලන්න. නිමල්ට මතක තිබුණට මහරගම ඉන්න කීදෙනාද දන්නෙ 1968 ‘මහරගමකියලා පත්තරයක් print කළ බව?”
(
මගේ මතකය වුණේත්  කලාප තුන හතරකට වඩා ඒ මාසික පත්තරය මුද්‍රණය නොවුණු වගයි. එහෙත් එදා හෙළිවුණේ එහි කලාප හතක් අච්චු ගසා ඇති බවයි. ඒ පත්තරය නිකුත්වී තිබුණේ පුර පසළොස්වක පෝය දවසටය.)

මෙතරම් විස්තර කිව්වේ හැකි කෙනෙකුට ලේඛනාගාරයට ගිහින්, සැඟවී ඇති අතීතය හාරා-පාරා-අවුස්සා රස සාගරයකින් දෝත-දෝත ගන්නැයි කියන්නටය. ඒවා ලොවටම බෙදන්නැයිත් කියන්නටය’....’ කියලා ඒ විස්තර ලියලාත් දැන් මාස දහයකි!

එදා එහෙම copy කරගත් ඒවායේ පිහිටෙනි, අද ඔබට මේ විස්තර ලියන්නේ.

එදා ‘මට වෙච්ච දේ’ පොත එහෙම පිටින්ම කියවන්නට තරම් වෙලාවක් මට ලැබුණේ නැත. ඒත් මගේ මතකයට අනුව නම් ‘තිලකපාල පිරිමි සිරුරක හිරවී උපත ලද ගැහැනු ආත්මයකි.’ වැඩි වශයෙන් කාන්තා ඇඳුම් අඳින්නට ලොල් වූවෙකි. කාටවත් නොදැනෙන්නට එසේ කොට, සමාජයේ පවා ගැවසුණු කෙනෙකි. ඒ විස්තර තිබ්බේ පොතේ මුල් හරියේය. ඉතිරි හරිය දැන් ඔබ කියවමින් සිටී!

‘... මෙය මට විශ්මය මෙන්ම සන්තාපය ගෙන දෙන්නක් විය. පිරිමියෙකු වීමට මට දැන් කිසිදු වුවමනාවක් නැත. පිරිමියෙකු වශයෙන් සාර්ථක ජීවිතයක් ගත කිරීමට මට නොහැකි බව මම දනිමි.
මගේ මුහුණේ ස්වරූපය ජයසිංහ දැක්කා විය හැක.

ඉතිරි හරිය දැන් ඔබ කියවමින් සිටී!

“මොකද නිකම් මැළවුණේ?” ජයසිංහ ඇසීය.

“ඔබයි- දොස්තරයි මාව වරදවා වටහාගෙන.”

“ඇයි එහෙම කියන්නෙ?”
“මට ආයෙත් පිරිමියෙක් වෙන්න ඕනෙ නෑ.”
“ඒ හරි වැඩේනෙ. මම දන්නවා නං දොස්තරට කියනවනෙ.”

“අපි ආපහු යමු!” මම කීවෙමි. ජයසිංහ මෝටර් රිය ආපසු හරවා ගත්තේය. අපි නැවතත් දොස්තර මහතා හමු වීමට යන විට ඔහු පුදුමයෙන් බලා සිටියේය....