“අපිව අතරමං වෙලාද?”
“හිටපං බං... ඉස්සරහට ගියොත් නං අර උස ගස් පේළිය අහු වෙයි!"
“ඔව්, ඔව්! ඒ පේන්නේ මැණික් ගඟේ ඉවුරේ තියෙන ගස් වෙන්නෝනෙ.”
“මේ ආරක් දිගේ ගියොත්... මේවා වැස්ස කාලෙට වතුර ගලාගෙන ගිය එව්වනේ...” එකේක කතන්දර
අදහස් මැද්දේ අයස්මන්ත පීරිස් මහත්තයා ඉස්සර වුණේය. “ළඟින්ම එනවලා!”
අදහසට අනුමැතිය ලැබුණා වගෙය! |
“එතකොට කෝ හිච්චිලා?”
“ඒ ගොල්ලොත් අපේ පස්සෙන් ආවා මුලදී නං... දැන් නම්...”
“ඒ ගොල්ලෝ වෙන පැත්තකට හැරුණාවත්ද?”
“හොයන්න යන්නෙයි කියලවත්... ආයෙමත් අර කැලේට රිංගන්නද?”
“අපි ගඟට බහිමු, ඉස්සෙල්ලම හම්බ වෙන තැනින්. හිච්චිලත්
දන්නවනෙ අපි එහෙම කරන්න ආව බව. මෙතැන බලා ඉන්නවට වැඩිය හොඳ නැද්ද එහෙම කරන එක?”
මගේ අදහසට අනුමැතිය ලැබුණා
වගෙය. අදහසකට කවුරුන්වත් විරුද්ධ නොවෙනවා කියන්නේ, ඒ අදහසට කැමැත්ත දෙනවා කියන එක
නේද?
ටික දුරක් යනකොටම වම් පැත්තෙන් පහළට ඇදෙන මැණික් ගඟ
පෙනෙන්නට විණි. ගඟ පැත්තට තිබුණු අඩි පාරක් දිගේ පහතට බැස්සාමය- පෙනුණේ, පැත්තකින්
ලණුවක් ඇදලා තියෙන හැටි!
“මේ සත්තු ගඟට බහින තැනක්නෙ!”
“මේ ගිනි මද්දහනෙ ගඟට එන්නෙ මොන සතාද යකෝ... අපි නාලා ඉක්මනට යන එකනෙ. නවතිනවයැ.
ඔන්නොහෙ ඉඳිමු!”
අපේ කාට-කාටත් හදිස්සිය තිබුණේ වතුරට බහින්නටය.
ප්ලාස්ටික් බාල්දියට වතුර එකක් පුරවාගත් ගවීන් එහා ඉවුර
දිගේ ගිහිං, කැලෑවට වැදුණේය.
“නාන්න පටන් ගන්න කලින් අතන වැල්ලේ පූ වළක් හාරලා තියල
හිටිය නම් හරි. නානකොට වතුර පෑදිලා තියෙයි. බොන වතුර ප්‍රශ්නෙ විසඳගන්න වෙන්නෙ
එහෙම තමා...” අදහස දෙන පමාවෙන්ම ප්‍රියන්තත්, නමියාත්, ජයාත්, තමිරත් ඒ වැඩේට
බැස්සෝහ.
ගවීන් ආවාට පස්සේ මගෙ වාරයයි. වතුර බාල්දියත් අරගෙන,
අමාරුවෙන් ඉවුරට ගොඩවී ලන්දේ වහං වුණාට- සිරුරු කිස කරන්නට උක්කුටිකයෙන් වාඩි
වෙන්නේ කොහොමද?
සර්පයෝ ඉන්නත් පුළුවන් කොළ
ගොඩවල් අස්සේ... ඔහොම වෙලාවක කෑවොත් කන්නේ කියන්නවත් බැරි තැන්... |
ඔව්නේ! මට ඒ ප්‍රශ්නය ගැන හිතන්නට තිබ්බේ කලින්ය. ඒ කටයුත්තට බත්තලන්ගුණ්ඩුවේ වෙරළ
දිගේ ඉන්දියාවටම
ගිය වෙලාවෙත් ඔය ප්‍රශ්නය පැන නැංගේය!
ඉතිං ඔළුව කහලාවත් මොළය පාදා ගන්නට හදමින් වටපිට බලද්දී...
ගණ දෙයියෝ නුවණ දීලා තියෙන්නේ එහෙම වෙලාවක පාවිච්චියට ගන්නනෙ! ඈතින් බිමට පත බෑවී
තිබුණු රූස්ස ගස් දෙබලක් මට ආරාධනා කළේ ඒක උඩින් වාඩි වෙන්නටය.
“එහෙම කළාට නං කමක් නෑ ගොයියෝ, දිරච්ච කොට උඩ වාඩි වෙන්න
කලින් සත්තු ඉන්නවද කියලා බලන්න වෙයි... සර්පයෝ ඉන්නත් පුළුවන් කොළ ගොඩවල්
අස්සේ... ඔහොම වෙලාවක කෑවොත් කන්නේ කියන්නවත් බැරි තැන්...” මං ප්‍රශ්නය විසඳා
ගත්තු හැටි කිව්වාම, කියැවුණේ එහෙව් කඩප්පුලි කතන්දරය.
දැන් බොන්නට ඇති පදම් පිරිසිදු; පැහැදිලි වතුර අපේ පූ
වළේ තිබෙයි! හිස් බෝතල් සේරම ඒ වතුරෙන් පිරිලාත්ය.
නෑවාට පස්සේ අපේ බඩගින්නත් වැඩිය. කටුපිල ආර දන්සලෙන් ඔතාගෙන ආ බත්ය, අපි එතැනදී
කෑමට ගත්තේ.
“ප්‍රියන්ත. ඔයාලගේ ගෙවල්වලින් හදල දීපු බැදුම්,
අච්චාරු, මෝජු සේරම දැන් ඉවර කරමු...” කියවුණා විතරකි.
“ඔව්... ඔව්... මගෙ බෑග් එකෙත් තියෙනවා” / “මේකෙත් තියෙනවා... දැන්වත් බරේ අඩුවක්
වෙයිනෙ...” Action ගැනිණි, බත් මුල් දිග හැරෙන්නත් කලින්.
“දන්සල දීපු එකට පින් සිද්ද වෙන්න ඕනි, ඒකෙන් අපිට ලොකු
ලේසියක් වුණා.”
“ඒ වුණාට නිමලෝ එතැන වැඩ කරපු එවුන් කිසිම කරුණාවක් නැති යක්කු ටිකක්...” මර්වින්
කිව්වේය. “ඇත්තටම මචං මටත් ඒ වෙලාවේ, අරූගේ කනට ගහන්නයි හිතිලා තිබුණේ.”
අයස්මන්තත් අලගු තියන්නට ගත්තේ එතකොටය. “... අර පොඩි එකෙක් වතුර ටිකක් බෝතලේකට
ගන්න යද්දී දන්සලේ එකා ඒ ළමයව එළවපු හැටි... උන්ගෙ අතින් යනව වගේ... වන්දනාකාරයන්ට
දෙන්නමනේ දන්සලේ බතුයි වතුරයි තිබ්බෙ.”
දන්සලට ගිය අපේ වැඩි දෙනෙකුත් ඒ විවේචනයට සම්මාදම්
වෙන්නට තරං දේවල් එකතු කර ගෙනය.
හිච්චි මාමලා ගොඩක් ඉස්සරහට
ගිහිං වැල්ලේ නැවතිලා ඉන්නවා... (foto- පසිඳු බණ්ඩාර) |
“මචං, අර ඉන්නෙ මාමලා!” දෙනෙත්ලා පාරේ ඉඳගෙනම මහ හයියෙන්
කියාගෙන, අපේ දිහාවට පල්ලම් බැස්සේ එතකොටය. “අපි මේ පණ දාගෙන ඔයාලව හොයනවා...”
“දැන්ද ඔයාලා එන්නෙ. කෝ හිච්චිලා?”
“හිච්චි මාමලා ගොඩක් ඉස්සරහට ගිහිං වැල්ලේ නැවතිලා ඉන්නවා... අපි තුන් දෙනා දැන්
සෑහෙන වෙලාවක හිටලා වරහන පැත්තටත් ගිහිං, ආව පාර පැත්තටත් දුවනවා...”
“පිස්සුවටද?”
“පිස්සුවට නෙවෙයි ඩොක්ටර් මාමේ. අපේ ඉන්දික නෑ!”
“ඈ? ඉන්දික නෑ... කොයි වෙලාවේ ඉඳලද?”
“අපිට පාර වැරදිලා කැලෙන් එළියට එනකොටත් එයා අපෙත්තෙක්ක හිටියේ නෑ වගෙයි. ටිකක්
ඉස්සරහට ගිහිං නැවතිලා, අපි බලාගෙනත් හිටියා පොර එයි කියලා... එයා ෆෝන් එකට ආන්සර්
කරන්නෙත් නෑ!”
“ඇයි ළමයෝ, දැන් පැය දෙකකටත් වැඩියිනෙ... ඉන්දික නඩේ නැතිව තනියෙන් යන කෙනෙකුත්
නෙවෙයිනෙ!”
“ඔයාලා හොඳට බැලුවද?”
“අනේ මාමේ, දැන් පැය එකහමාරක් තිස්සේ උඩහට- පහළට දුවල-දුවලම අපේ කකුලුත්
රිදෙනවා... මේ මනුස්සයා ෆෝන් එක උස්සන්නෙත් නැහැනෙ, අපේම කරුමෙට... අපිට
තේරෙන්නෙත් නෑ මොනව කරන්නද කියලා...”
“හිරූලා චුට්ටක් ඉන්න. අපිත් ඉක්මනටම එන්නං හිච්චිලා
ඉන්න තැනට යන්න...”
ඒ එක්කමයි අයස්මන්ත මහත්තයා මර්වින්ට කතා කළේ. “මචං, බාරයක් ගැට ගැහුවොත්....?”
කියන පරක්කුවෙන් ‘දේවාල මාමා’ අධි වේගයෙන්ම සූදානම් වුණේය.
“මෙතන කඩවර
අප්පච්චිට පහනක් පත්තු කරන්න විදිහක් නං
නෑ... හඳුන් කූරු packet එකක් නං ඇති මගෙ බෑග් එකේ... ඒකෙන් ෂේප් කරගමු.”
බලන්නාට වැදගත් වෙන්නේ සමස්තය
නොව, තමන්ගේ රුචියට ඔබින එකේක අංගයන්ය! |
ඇත්තම කියන්නෙමි. අප හැමෝම ඒ මොහොතේ හිටියේ අන්ද-මන්ද වෙලා; තක්බීර් වෙලාය.
‘අතරමං වෙච්ච ගමන් ඉන්දික තාම කැලේ මැද්දෙද?’ / ‘මේ කට වැරදීමක්වත්ද?’ / ‘මාර
වැඩේ...’ / ‘ෆෝන් එක උස්සන්නෙත් නැති එකයි ප්‍රශ්නේ...’. මර්වින්ගේ යාතිකාව අස්සේ මතවාද-
කයි කතන්දර ගොඩක් කියැවුණේය.
“දෙයියන්නාන්සේලගෙ පිහිටාරස්සාවෙන් පැය භාගයක් යන්න
ඉස්සෙල්ලා ආරංචියක් ලැබෙනවා සත්තයි සහතිකයි!”
එච්චර විශ්වාසයකින් මර්වින් එහෙම කියන්නේ කොහොමද? කොයිකටත් කියලා මම රහසෙන්
ඔරලෝසුවට එබුණෙමි!
එකම දෙයක් දිහා වුණත් අපි එකිනෙකා බලන්නේ එක-එක විදිහටය!
බලන්නාට වැදගත් වෙන්නේ සමස්තය නොව, තමන්ගේ රුචියට ඔබින එකේක අංගයන්ය!!
“යමල්ලකො බං...” දැන් ඉතිං මර්වින් පරල වෙලාය; කරදරයකදී
වැඩියෙන්ම කරදර වෙමින්- අපටත් අමතර
කරදරයක් වෙන්නේ උන්නැහේය. හැබැයි, ඒ කඩිනම් කෙරිල්ල හින්දාමය, අපි
ඉගිල්ලුණේ.
“අතැනින් පල්ලෙහාට යමු මාමේ... හිච්චි මාමලා කට්ටිය
ඉන්නේ එහෙ...” දෙනෙත්ලා පාර පෙන්නයි. හිච්චිලාගේ නඩේ සේරමලාගෙම මූණු නාලු වුණු
ගමන්ය.
“බලන්නකො ඩොක්ටර්, අපිට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියලවත්...”
“කලබල වෙලා බෑ හිච්චි! තව ටිකක් බලමු... මර්වින් බාරෙකුත්...” වාක්‍යය ඉවර
කරාන්නත් කලින්...
එතකොටමය ජංගමයෙක් බෑඟිරි දෙන්නට ගත්තේ.
“ඉන්දික... ඉන්දික... කතා කරනවා!”
මගෙ ඇස්දෙක මටත් හොරා ඔරලෝසුව ළඟය. නැත- තවමත් පැය භාගය ගත වෙලා නැත!
ඉන්දික එක පිම්මටම වරහන තෙක්ම ගිහිංය. එයාලගේ නඩේ අනිත්
අය ගැන තැකිය යුතු විත්තියත් ඒ මනුස්සයාට අමතක වෙලාය. මොබයිල් ෆෝන් එකට උත්තර දිය
යුතු බවත්, එයා ඉස්සරවී ගිය විත්තිය අනෙක් අයට කිව යුතු බවත් කල්පනාවී නැතිය. ඒ
මදිවාට වරහනදී මිනිහාට සනීපෙට නින්දකුත් ගිහිංය!
“ඔව් මාමේ, නින්දෙන් නැඟිට්ටම තමයි හිතුණෙ call එකක් දීලා බලන්න.”
සමහර දෙයක හැංගුණු රටාවල්
හොයා ගන්නට පුළුවන් වෙන්නේ... |
ඒවා තර්කානුකූල නැත. සාමාන්‍යත් නැත. අහම්බයන් වගේත්ය. මං වහන්සේ තවමත් ඉන්නේ ‘ඒ
සිදුවීම් මාලාව’ තේරුම් ගන්නට දත කමිනි.
ඒ අඩවියේදීම සිද්ද වුණු වල් දඹල කසන ඇබැද්දියත් ඔය වගේමය!
කැබිලිත්ත ගමනේදී නෙවිල්- හක්ස්ලි දෙන්නාගෙන් කට කැඩිච්චි කතාවක් කියවෙනවාත් එක්කම
තඩි කුඹුක් අත්තක් ඒ දෙන්නා ඉස්සරහට කඩා වැටිණි. හුළඟ පවා නැති වෙලාවක... ඒකත් තවම
අපට ගැටලුවකි!
සමහර දෙයක හැංගුණු රටාවල් හොයා ගන්නට පුළුවන් වෙන්නේ
උවමනාවෙන්ම කිමිදී බැලුවොතින් පමණකි.
මොක වුණත්, ඒ නිසා අපේ එක ඉලක්කයක් නම් වැරදුණේය. අතරමඟ
නතර නොවී අපට වරහනටම යන්නට වුණේය. වරහනටම නොයන්නට අප තීරණේ කළේ, එතනදී ගඟේ වැලි
තලාවල නවාතැන් ගන්නට ඉඩ නොදෙන බැවිනි.
මේ සැරේදී ඒ ප්‍රශ්නය තදටම ඇවිළුණේය!
“ඔයාලා මොන පදනමෙන්ද, අපිට ගඟේ වැල්ලට බැහැලා නතර වෙන්න එපා කියන්නේ?” වාදීභවාදී වලිසිංහ
පීරිස් මැතිඳාණෝ වෙවුලමින් අසති. ඒ නොවිමසා බැරිම තැනදීය. ඒ අප්‍රසන්න තත්ත්වය
වළක්වා ගැනීමටය, අප අතරමඟින් නවතින්නට හැදුවේ.
හමුදා සෙබලා උත්තර දෙයි. “සර්, ගඟේ කිඹුල්ලු ඉන්න පුළුවන්. උන්ගෙන් පාද යාත්‍රාවේ
එන අයට කරදර වෙන්න...”
“කරදර? තමුන්නාන්සෙලා දන්නවද මේ මිනිස්සුන්ට දවස් දෙකක
ඉඳලා වතුර නැතිව එන්න වෙලා තියෙන කරදරේ. කෝ ඒවට ඇක්ෂන්?
දන්නවද, මේ පාද යාත්‍රාකාරයො පරණ තොටුපළේ ඉඳල වරහනට එනකල් මැණික් ගඟ දිගේ වැල්ලෙ
තැනින්- තැන දිගටම නවතින බව? එතකොට ඒ මිනිස්සුන්ව කිඹුලො කෑවට කමක් නැද්ද? මෙතැනදී
විතරද අපිව පරෙස්සම් කරන්නේ...
අපි ගඟට බහිනවා- වැල්ලෙ නවතිනවා... ඔබතුමන්ලා කරන්න පුළුවන් රාජකාරියක් තියෙනව නං කරන්න...”
වැල්ලේ නවාතැන් ගත්තත්, අපට විරුද්ධව කිසිම action එකක්
ගැනුණේ නැත!
අනතුරට පත් වෙන්නට වටිනා තරමේ
ගොන් අලි ඇති පදම් මේ ගෙන්දගම් පොළොවේ වැජඹෙමින්- රටකට වින කටිමින් සිටිනා අතරේ- වනන්තරේ
ඉන්නා අහිංසක අලි පැටියෙක්... |
වන ජීවියේ පියනන්ද මහත්තයා අපේ කට්ටිය හොයාගෙන වැල්ලටම
ආවෙත් එදා හවසය. “ඒ මහත්තයෝ, අපේ දොස්තර මහත්තයා අරෝවකුත් කර ගත්තැයි?” ඉඩක්
ලැබුණු ගමන්ම පියනන්ද මහත්තයා රහසෙන් ඇහුවේය.
“මම කල් ඇතිවම මෙතෙන එක්කෙනෙකුට අපේ දොස්තර මහත්තයා ගැන කියලයි තිබ්බේ. කොහෙද, ඒ
මනුස්සයට අර පාර මැද්දේ වැටිලා හිටිය අලි පැටියට බෙහෙත් කරන තැනට යන්න වෙලානේ...
ඔහෙලත් දකින්න ඇති නේද?”
අනතුරට පත් වෙන්නට වටිනා තරමේ ගොන් අලි ඇති පදම් මේ
ගෙන්දගම් පොළොවේ වැජඹෙමින්- රටකට වින කටිමින් සිටිනා අතරේ- වනන්තරේ ඉන්නා අහිංසක
අලි පැටියෙක් විපතේ වැටිලාය. හෙනහුරා අපල කරන්නෙත් ප්‍රබලයාට නොවේ; දුබලයාටමය!
“මම අපේ දොස්තර මහත්තයාට කිව්වා නිමල් මහත්තයෝ, ඔහෙලගෙ
ඇඳුම් බෑග් ටික අපි දැන් යන ගමන් කටගමුවට ගෙනියන්නං කියලා. හෙට උදේට ඔහෙලට උදේ
කෑමත් අපි හරි ගස්සන එකනෙ. බර බඩු මලු වුණත් අපේ වාහනේ ගෙනියන්න ඇහැකි දැන්ම
සූදානං කරවල දෙනවා නං!”
“ඒක නං අපි හැමෝටම ලොකු වාසියක් නේද නිමල් අයියේ....”
“ඒත් පීරිස් මහත්තයෝ, නඩ දෙකක බඩු මලු? විසිතුන්
දෙනෙක්නේ....” මං කිව්වේ අයස්මන්තටය. උත්තර දුන්නේ පියනන්ද මහත්තයාය.
“ගණන් ගන්න එපා නිමල් මහත්තයෝ. අපේ දොස්තර මහත්තයා
අපටයි, හම්බන්තොටටයි කරලා තියෙන දේවල්වල හැටියට කලාතුරකින් මෙහෙමවත් දෙයක් කරන්න
ලැබෙන එක කොච්චර එකක්ද?” ගිය වතාවේ නම් පියනන්ද මහත්තයා රාජකාරි කරමින් හිටියේ
කටගමුව පිවිසුමේය.
“දැන් නිමලව point එකේ duty කරන නිසා තමයි, මං නිවාඩු දාලා ඇවිත් සේරම සූදානං
කරන්නේ! අදයි- හෙටයි දෙකම අපේ සර්ල වෙනුවෙන්...”
ඒ වුණාට B.N.
අසංගලාගේ
ගෙදරින් (හම්බන්තොටදී) අපට ලැබුණු උත්කර්ෂවත් දිවා ආහාර සංග්‍රහයේ foto
කෑල්ලක්... |
අපට එදා රැය ගෙවුණේ මැණික් ගඟේ, වරහන පුලින තලාව මත්තේය!
එදා රාත්‍රී භෝජනය අපූරුවට තිබ්බේය; ඒ ගමනෙන් වැඩි හරියක්ම ඉවර නිසා, ලෝබ නැතිව
හාල් තුනපහ පාවිච්චියට ගත්තු නිසාය.
ඒ වුණාට B.N. අසංගලාගේ ගෙදරින් (හම්බන්තොටදී) අපට ලැබුණු උත්කර්ෂවත් දිවා ආහාර
සංග්‍රහයේ foto කෑල්ලක් මේ පෝස්ටුවට ඔබන්නටම හිතෙයි. 2013 අපේ පළමු පාද යාත්‍රා
ගමනේදීත් අසංග මීට දෙවෙනි නොවෙන දිවා භෝජන
සංග්‍රහයක්
අපට පිරිනැමුවේය.
රුහුණේ නියම කුරහන් පිට්ටු හදන හැටි මං
අසංගගේ නැන්දම්මාගෙන් ඉගෙන ගත්තේ ඊට පස්සෙය.
මේ වතාවේ අසංගත් පාද යාත්‍රාවට එන බව කියලා
තිබුණත්, ආවේ නැත. ඒ හිලව්වට වගේය, මෙච්චර ලස්සන- දැක්කත් හිත පිරෙන කෑමක් ඒ හාදයා
පිළියෙළ කරන්නට ඇත්තේ!
සීවලී මහ රහතන් වහන්සේ කලින් ආත්මයක කරපු
දානමය පිංකමක් ගැන බණ දෙසුම්වලදී පුන-පුනා කියැවෙයි. ඒකෙ ආනුභාවයෙන් උන්නාන්සේට
කවදාවත් දානය වරදින්නේ නැතිලු. උන්නාන්සේ එක්ක ඉන්නා උදවියට වුණත්...
පීරිස් මහත්තයා එක්කලා කොහෙට හරි ගියත් එහෙමය. හැබැයි ඒ පින පළ දෙන්නේ අපි
කට්ටියත් එක්ක ඉන්නා වෙලාවට විතරක් වගෙය.
උන්නැහේ තනියෙන් හිටින රාජකාරි දවස්වල ඒ යක්ෂයා වැඩි හරියක්ම ඉන්නේ බඩගින්නේය-
එක්කෝ fasting කරන නිසාය; නැත්තං කෑම කන්නට තරම් ඉස්පාසුවක් නැති නිසාය.
“යකෝ... දියවැඩියා ලෙඩෙක් නේද මේ බෙදා
ගන්නේ?” කටගමුවෙදී මගේ පිඟානට එබෙන්නෝ කීහ. ඒ අයස්මන්තව අවුස්සන්නටය!
තව ඩිංගෙන් ඒකට කර ගහන්නෙත්... |
ඇයි රුහුණේ කිරි-පැණි, කෙසෙල්, ගස්ලබු හා කොමඩු...
එච්චර මහන්සියකින් හරි ගැස්සූ දේවල්වලට සාධාරණය ඉෂ්ට නොකර සිටින තරමේ දුෂ්ට ගති මට
නැත.
දවස් හතරකට පස්සේ- අපේ කවුරු කවුරුත්
බඩජාරිකම පෙන්නමින් ඉස්මුරුත්තාවටම වැළඳුවා වගෙය මං දැක්කේ.
(අල්පයක් වළඳන නමිනං උන්නැහේ නං නැතෙයි
කියන්නටත් ඉඩ තිබේ. කියපංකො බලන්න...! තමුන්නැහෙත් උස්මුරුත්තා වෙලා නොහිටියා නං
කෝ එතැන foto?)
කැමරා, ෆෝන් ඔක්කොමලගෙ අත්වල තිබිලාත්, ඒ උදේ කෑම වෙලාවේ ගත්තු එක foto එකක්වත්
මෙතෙක් මං වහන්සේ දැක්කේ නැත!
“දැන් නසාර්ගේ වෑන් එක මෙහාට එනවා!
හිච්චි, අපි කට්ටිය නං අද නදීක ගෙස්ට් එකේ නවතිනවා. ඔයාලගේ bags ටිකත් මේ එක්කම
van එකේ යවමු එහාට. මඟදී මොනවාවත් ඕනි වෙන එකක් නැහැනෙ. නසාර් එනකල් අපි හැමෝම
නැවතිලා ඉන්න එකේ තේරුමක් නෑ. තව කිලෝ මීටර් 13ක් යන්න තියෙනවනෙ. එක්කෙනෙක්
නැවතිලා හිටියම ඇතිනෙ bag ටික දාගෙන එන්න....”
තව ඩිංගෙන් ඒකට කර ගහන්නෙත් මර්වින්මය.
“නෑ නෑ. මම ඉන්නං. ඉඳල bags පටවාගෙන එන්නං.
හැබැයි දෙගොල්ලන්ගේ bags වෙන-වෙනම ගණන් කරලා; ගොඩ ගහල....’ මම කීවෙමි. මේ වතාවේ
මගේ පාද යාත්‍රාව කිලෝ මීටර් 87කට සීමා වුණේ එහෙමය.
විශ්වාස කරනු මැනවි. අපේ බෑග් කන්දරාව
කොච්චර විශාලදැයි කියතොත් van එක උතුරන්නට bags තිබුණි. ඒවා පටවලා බලද්දී ඉඩක්
තිබ්බේ නසාර්ටත්, මටත් වාඩි වෙන්නට විතරකි! ඒ බෑග් තොග දෙක නදීක ගෙස්ට් හවුසියෙදී
බිමට බාගන්නට පැය බාගයක්ම ගත වුණු විත්තියත් නොකියා බැරිය.
සිහිය නැහැයි කියල තොපි සේරම මටනෙ
බනින්නේ! |
“සිහිය නැහැයි, අනුන්ගෙ ජොක්කුත් උස්සනවයි
කියල තොපි
සේරම මටනෙ බනින්නේ. පීරට අමතක වෙලා, කතරගමට ගෙන්න ගන්න බඩු bag එකට පඬුරු ටික
දාන්න..” මර්වින් හිනා කමින් කීවේය.
“... ටික කිව්වට කිලෝ හතරකට වැඩිය බර පඬුරු ගොඩක්...”
නාන කාමරයට වැදී හිතේ හැටියට නාලා, දවල්ට
කාලා කෙටි නින්දකුත් දාන්නට යද්දී...
“නිමල් අයියේ, ඇඟේ කොහෙ හරි කසනවා නං
චුට්ටක් බලන්න... මගෙ ඇඟේ චූටි කිනිතුල්ලෙක් හිටියා.” තමීර බෝගහවත්ත නිවේදනය කළේය.
පාද යාත්‍රාව ගිහිං ආපහු ආ විත්තිය දැනගත්
ගමන්ම Pra Jay ඇහුවේ ‘කිනිතුල්ලෝ හිටියේ නැද්ද’ කියලාය. ගිය වතාවේ ‘හරෝහරා’
පෝස්ටු මාලාවේ තෙවැන්නට comment එකක් එවමිනුත්
උන්නැහේ ඒ ගැන ඇහුවේ මෙහෙමය:
'නිමල්ට අර පොඩි
කිනිතුල්ලෝ එක්ස්පීරියන්ස් එක ලැබුණේ නැද්ද?
ඔය කැලේ කඩිත් හරියට ඉන්නවා. මං පාද යාත්‍රා
කාලෙ නම් ගිහිල්ලා නැහැ.
ඊට මාස 1 1/2 විතර පස්සේ කැලේ මැද්දෙන් ලේනමට ඇවිද්දා.
යන්න හා එන්න පැය හයක් විතර ගමන.
සුමාන දෙකක් විතර කිනිතුල්ලෝ බයිට්!’.
කාරණයක් නං හිතා ගන්නට බැරිය. මීට කලින් එක වතාවක්වත් මගෙ ඇඟේ නොඑල්ලුණු කිනිතුල්ලෝ මේ වතාවේ මට මදි නොකියන්නම බැට දුන්හ!
උන්ගෙ ආච්චිලාට හාල් ගරන්න වටින්නේය; අල්පෙනෙත්ති තුඩකට වැඩිය ටිකක් ලොකු; නිවිති ඇටයක් තරම්වත් නැති ඒ පැතලි කුඩා කිනිතුල්ලන් එල්ලීගෙන ඉන්නේ ඇඟේ හම කාගෙනය. හොඳ සෝදිසියෙන් බැලුවොත් මිස නොපෙනෙන විදිහට වේශාන්තරණය වෙලාද මංදා, අපේ හමේ පාටටමය.
අපේ කට්ටියගෙන් වැඩිම කිනිතුල්ලන් අස්වැන්න තිබ්බේ මගෙ
ළඟය.14කි.
අඩි හය-හතක වේලායුධයක්... |
24 වෙනිදා හැන්දෑවේ අපි සෙල්ල කතරගම මහසෙන් මහ විහාරයට ගියා විතරය. පැල් බැඳගෙන වහින්නට පටන් ගත්තේය. දේවාලයට යෑම පැත්තකින් තියන්නටය අපට සිදු වුණේ.
එයින් මට නම් ලොකු වාසියකුත් ලැබිණි.
බුදු ගෙයි බිත්තියකට පිටදීගෙන පැය එකහමාරක විතර නින්දක්... “මූට තියෙන වාසනාව අපට නැහැනෙ යකෝ!”
වැස්සේ තරම කිව්වොත්, මහා දේවාලයේ හවස පූජාව පටන් ගනිද්දී හිටියේ බැතිමතුන් සීයකටත් අඩුවෙනි. පූජාව අවසානයේ ප්‍රධාන කපු මහත්තයෙක් දෙවොල තුළින් ගෙන ආ අඩි හය-හතක වේලායුධයක් අයස්මන්ත මහතාට පිරිනැමුවේය.
“ලබන පාර පාද යාත්‍රාව යනකොට පීරා ගෙනියන බරට තව කිලෝ හයක්වත් දැන්මම එකතු වුණා වගේ!”
“නිමල් මහත්තයලා පුදුම වාසනාවන්තයෝ ටිකක්. ඔහෙලා ගිය දවසේ හවස පටන් ගත්තු වැස්ස දවස් තුනක්ම එක සීරුවට වැක්කෙරුණා. ඔව් මහත්තයො. පාද යාත්‍රාවේ ආපු මිනිස්සු වැස්සේ තෙමි-තෙමී ගස් යට හිටගෙන පැය ගණන් හිටියේ! උයා ගන්න කියලය... නිඳා ගන්න කියලය... හරිම දුකක් ඒ මිනිස්සු වින්දේ...” ඊට දෙදවසකට පස්සේ පියනන්ද මහත්තයා ටෙලිෆෝනයෙන් කිව්වේය.
මහ දේවාලයේ, කිරි වෙහෙරේ, මහසෙන් මැඳුරේ කෙරුණු වතාවත් එකක්වත් කියන්නට මං වහන්සේ ලැහැස්ති නැත. පෝස්ටු මාලාව තවත් දිගු නොකොට, ඊට වඩා සිත් අදින දෙයක් කියන්නට තිබෙන නිසාය.
අතරමං වුණු ඉන්දික වෙනුවෙන් වුණු බාරය ඔප්පු කරන්නට, අපි කඩවර දේවාලයට ගියා විතරකි. ප්‍රියන්තව හඳුනාගත්තෙක් අපව පිටිපස කුටියකට කැන්දාගෙන ගියේය.
“මේ ඉන්නේ දේවාලේ ප්‍රධාන කපු මහත්තය... මේ හම්බන්තොට හිටපු අක්ෂි විශේෂඥ දොස්තර පීරිස්
මහත්තයා...” ප්‍රියන්ත කිව්වා විතරය.
එයාට සර්ප්‍රයිස් එකක් දෙන්නයි, එයාට නොකියා මෙහාට ඇවිත්
බලාගෙන ඉන්නෙ... ලබන සැරේ අපි සේරමත් පාද යාත්‍රාවේ එනවා! |
කහට හැදෙනතුරු එදා ඒ වෙලාවේ කියවුණු කතන්දර එළියට දමන්නට මට අවසර නැත.
ප්‍රකාශ කාගේදැයි නොකියා, අපේ අයගෙ පඩික්කම් කටවල්වලින් පසුව කියැවුණු දේවල් ටිකක් විතරක් දැන් ඔබට කියමි.
‘අපරාදේ. අපි මෙතෙන්ට එන්න තිබ්බේ ඊයේ හැන්දෑවේ.’ / ‘කඩවර අප්පච්චි විතරයි අපේ දුක දැකලා නියමම සංග්‍රහය කළේ!’ / ‘නැත්තං නැත්තං. උන්නාන්සේම තමයි ලොක්කට කියන්න ඇත්තේ අපිට සිගරැට්ටුත් දෙන්න කියලා.’ / ‘අර කඩවර දෙයියන්ගේ පූජා වට්ටියට අරක්කුත් තියන ජාතියේ බිස්නස්කාරයෝ ඇතිනෙ මචං. උන් එන වෙලාවක අපිත් මෙහාට එමුකො...’ / ‘ඔව්, ඔව්. අපේ වාසනාවට කවුරු හරි විස්කි විකුණන එකෙක් එව්වත් ගෙනල්ල කඩවර දෙයියන්ගෙ පූජා වට්ටියට තිබ්බොත්...”
ඉතිං, වාසනාව ඉඩ දෙන්නේ නම්; අයස්මන්ත ඇතුළු හිතවතුන් උදව් දෙන්නේ නම් ලබන වතාවෙත් පාද යාත්‍රාව යන්නටය, මං හිතාගෙන ඉන්නේ.
එවිටවත් චානක යළි හමුවනු ඇත; යසෝදරාත් හමු වෙනු ඇත!
බොලේ, මං චානක ගැන කිව්වත්, මෙතෙක් ඇය ගැන කියා නැති විත්තිය මතක් වෙන්නේ
දැන්ය.
යසෝදරා ඉතා ක්‍රියාකාරීව ‘ආදරයේ අරගලය’ට සහභාගීවූ ඇත්තියකි. තනිවමත් නොවේ; පවුල
පිටින්ම. කතරගම නදීක ගෙස්ට් හවුසියේ යසෝදරාත් නවාතැන් ගෙන සිටියේ දරු තිදෙනාත්
එක්කය.
“මගෙ husbandඩුත් පාද යාත්‍රාවේ ගියා. අපි එයාට සර්ප්‍රයිස් එකක් දෙන්නයි, එයාට නොකියා මෙහාට ඇවිත් බලාගෙන ඉන්නෙ... ලබන සැරේ අපි සේරමත් පාද යාත්‍රාවේ එනවා!”
යමු... යමු. ආපහු පාද යාත්‍රාවේ යමු ෴0෴