අකුරු මැකී නෑ

Sunday, October 30, 2022

තිහේදී... -තෙවෙනි කොටස

ඉදින් මටත් මගේ තේරීම් තිබුණේය. ප්‍රතික්ෂේප කරන්නට තරම් ඇරයුම් ගොඩකුත් තිබුණේය.

පෙනුමින් ඉතා ප්‍රියමනාප; සුදු; පිරිපුන් දේහයක් තිබුණු... තිබුණු... තිබුණු... රින්ස්ලි වෙත මුලින්ම මගේ විශේෂ අවධානය යොමු වුණේ නම් කට කතාවක් නිසාය. ඔව්, ඔහු පිළිබඳව අසන්නට ලැබුණු කට කතාවක් නිසාය. කටකතා; විශේෂයෙන් කුණු කතා දැනගන්නට මාත් ආසා බව මා වසංගන්නේ නැත. ඒ සමහර කතන්දර නං අදහන්නටත් බැරි තරම්ය.

සමහර සිදු වීම් ලියවෙන්නේ; සටහන් වෙන්නේ සමහර අය කැමති විදිහට විතරකි!
"ඔය රින්ස්ලි xxපාලගෙ පුතෙක්!’

“මොන?” එතැන හිටි තවත් කෙනෙකුට මගෙ ප්‍රශ්නයම අහන්නට හිතිලාය. මහරගමට කැපී පෙනෙන xxපාල කෙනෙකු එදා හිටියේ නැත. හිටියේ රටක්ම දන්නා xxපාල කෙනෙකු විතරය. මට හිතෙන්නේ අදටත් එහෙමය.

ඉතිහාසයක් ලියද්දී කටකතාවලටත් තැනක් දිය යුතුය කියලාය මා සිතන්නේ. (සමහර සිදු වීම් ලියවෙන්නේ; සටහන් වෙන්නේ සමහර අය කැමති විදිහට විතරකි!)  හැබැයි, ඒවායේ යම්කිසි සත්‍යයක සේයාවක්වත් තිබෙතියි ලියන්නාට හැඟී යා යුතුය.

අතීත ශ්‍රී ලංකාවේ තිබුණු සිරිතක් ගැන මතකය, මං වහන්සේට රුකුල් දෙන්නේ මෙන්න මෙතනදීය.
ඒ සිරිත ‘ගමකට පිටතින් එන විශේෂ ප්‍රභූ අමුත්තන්ට, නිලකාරයන්ට හා වංශවතුන්ට අදාළ’ය. එහෙම එන අයට කෑම-බීම, නවාතැන්- ඉඳුම් හිටුම් සැපයීම ඒ ගමේ ප්‍රධානීන්ට පැවරී තිබුණු වගකීමකි. ඒ සේවා සපයනවාට අමතරව, අර ආගන්තුකයාගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සුන්දර ගැහැනියකු (බොහෝ විට රූමත් යුවතියකු) ලබා දීමත් ගමේ වගකිව යුත්තන්ට පැවරී තිබිණි!
බොහෝවිට එසේ ලබා දුන්නේ ගමේ ප්‍රධානයාගේ බිරිය හෝ දැඩිමේනි වී සිටි දියණියක වූයේල.

ඒ සිරිත තරමක් අප්‍රකටව හෝ ‘හික්ගස් හන්දිය’ ගම් තුලානේ අංගනාවන් අතරේ එවිටත් ශේෂව තිබුණාවත්ද?

එහෙම වෙන්නට ඇතැයි හැඟෙන තවත් සිදු වීමක් ගැන මහරගම පමුණුව ගම්වැසියන් කිහිප දෙනෙකුත්, මේ ලියන්නාත් අභිමුඛයේදීම කඩවසම් දේශපාලන උත්තමයෙකුගේ ශ්‍රී මුඛයෙන් කියැවිණි. ඒත් 1980ට ආසන්න කාලයේදීය.
“මහරගම ගෑනු ගොඩකට ඕනි මගෙත් එක්ක නිදි වදින්න. මං ඒකට ලැහැස්ති නැති එක හින්දයි උන් මට මේ කචල් දාන්නේ. මගෙ නෝනයි, xxxxxයි හිටියම මට හොඳටම ඇති.”
(xxxxx හා එතුමා අතර තිබුණු හාදකම එවක ප්‍රසිද්ධ රහසක් විණි.)

සංගීත සංදර්ශනවල සිංදු කියන්න ආවම... (සංගීත සංදර්ශනයක් ගැන පළ වුණු පැරණි පෝස්ටරයකි.)

“රින්ස්ලිගේ අම්ම වගේම තමයි සුපුන්ගේ අම්මත් ඒ දවස්වල මේ පැත්තෙ හිටපු ගිනි කිරිල්ලියෝ. සංගීත සංදර්ශනවල සිංදු කියන්න ආවම xxපාල උන්නැහේට සත්කාර කෙරුණේ ඔය දෙගොල්ලගෙ ගෙවල්වලින්නෙ... මිනිහත් අනංගයා නෙව. ලංකාවෙම ගෑනුත් උන්නැහෙට පිස්සු වැටිල හිටි එකේ මේ අම්මණ්ඩිල දෙන්න විතරක්...

රින්ස්ලියා නං xxගේම කපාපු පළුව වගෙයි නෙව, බැලූ බැල්මටම. සුපුනයා තමයි කිට්ටුවෙන්වත් ගිය පාටක් නැත්තේ...”

ඒ රින්ස්ලි හා කායික සම්බන්ධයක් ඇති වුණත් දෙතුන් වතාවකින්ම මට එය ‘අපෝ’ විණි. ඒ ඔහු ටිකෙන්-ටික දැඩි ලෙස බීමත්කමට ඇබ්බැහි වුණු නිසයි.
අන්තිමේදී රින්ස්ලිගේ සියොලඟින්ම මත්පැන් ගඳ වහනය නොවුණු මොහොතක් නැති තරම්ම විය.
මා ඔහු හඳුනාගෙන අවුරුද්දක් දෙකක් යද්දී, රින්ස්ලි කරමින් හිටි රජයේ රැකියාවත් බීමත්කම නිසාම නැති කර ගත්තේය. එතැන සිට හොඳටම නන්නත්තාර වුණු රින්ස්ලි, දවසක් ගෙදරදීම ගෙල වැල ලාගෙන ජීවිතයෙන් සමු ගෙන තිබුණේය.           

ඉතිං.... මා කෙබන්දෙකුදැයි රින්ස්ලි දේවමිත්තට කියලා ඇතිද?

කියලා හරි නැතුවා හරි වේවා, ඒ දවස් පහේම දේවමිත්ත අනිමිස ලෝචන පූජා තේවාව නොවැරැද්දුවේය. ඒ දින පහට තව දවස් දෙකක් එකතු කර ගන්නට වුණාමවත් මිත්ත පසු බෑවේ නැත.

එහෙම දවස් දෙකක් වැඩි කරන්නට වුණේ නොහිතූ ‘චෑන්ස් එකක් කඩා වැටෙන්නට යන හින්දා ධර්මේ අයියා ‘චූන්’ වෙලා හිටි නිසා’ය.
“මහත්තයෝ, අපට තව දවස් දෙකක් කූඩුව පෙන්නන්න වෙනවා. තුන්-හතර ගොල්ලකටම ඕනිලු කූඩුව බලන්න. නිකං  බලන්න නෙවෙයි. සල්ලිවලට අරං එයාලාගේ ගමට ගෙනියන්න... මං ගාණකුත් කිව්වා ආවොත් වරෙන්- ගියොත් පලයන් කියලා. වැඩේ කෙරෙයි වගේ!”

ඊට පස්සේ අවුරුදුවලත් ධර්මේ අයියා කූඩු හැදුවේය. ඒ කාගේවත් ආධාර- සම්මාදම් එකතු කරලා කාරිය නොවේ. තමන්ගේම වියදමෙන්; තමාගේම ශ්‍රමයෙන්...
කියවුණු විදිහට ඒ හැම කූඩුවකින්ම ධර්මේ අයියාට වාසිත් වුණේය. පෙන්වල ඉවර වී, ඒ හුරුබුහුටි ලස්සන කූඩු ගැලෙව්වේම ‘ඈත පළාතකට ඒක ගෙනියන්නට ආ වාහනයකට පටවන්නට සූදානමින් ඉන්න’ අතරතුරේදීය.

“මටත් තව දවස් දෙකක් මෙතැන ඩියුටියට ඉන්න වෙනවා මිත්ත”
“මං හිතාගෙන හිටියේ කූඩුව අදින් ඉවරයි කියල.” මගේ නිවේදන කටයුතුවල විරාමයන්හිදී මං වහන්සේ විවේක ගනිද්දී වැඩියෙන් කතා කළේ සුපුරුදු විදිහටම මා හමු වෙන්නට ඇවිත් හිටි දේමිත්තයි. එදාත් එහෙමය.

එතකොට තමයි රසේ වැඩි. සේරම එළියට දානවට වැඩිය අගේ වැඩියි බාගෙට පෙන්නුවම....

“කෝ යාළු. අදත් මට කවියක් කියනවනෙ?”
“කියන්නං... ලියාගෙන ආවත් එක්ක.”

“බලමු එහෙනං!”
“බෑ බෑ... ලිව්ව කවිය පෙන්නන්න බෑ. මේ සින්දුව ඉවර වුණාම ගිහිං, ඒ කවිය කියලම එන්නං.”
“ඒ වුණාට ඊයේ කවියටත් ඔයා මගෙ නම දාලා තිබ්බෙ නැහැනෙ යාළු!”

මට පෙනුණු අපූරු විශේෂත්වයක් දේමිත්තට තිබුණේය. ‘යාළු’ නාම පදය! දේමිත්ත ඕනෑම මිතුරෙකුට ඇමතීමේදී නිතරම වගේ යෙදූ ඇමතුම් පදය එයයි. එහෙම ආමන්ත්‍රණය කරන වෙනත් කිසිවෙකු මෙතෙක් මට හමුවී නැත.
“එහෙම කරන්න පුළුවන්ද ළමයෝ... හංගලා කියනවා මිසක්.”
“ඔයා ඉතිං හංගන්න දෙයියනෙ යාළු.”

“එතකොට තමයි රසේ වැඩි. සේරම එළියට දානවට වැඩිය අගේ වැඩියි බාගෙට පෙන්නුවම....”
දේමිත්ත ඊළඟට ඇසූ ‘මොනවද?’ ප්‍රශ්නයට උත්තර නොදීමය, මං ආපහු මයික්‍රෆෝනය ළඟට ගියේ.

වැස්සක සඳ කිරණ තෙමි තෙමි සිහිල  ලද
වෙසඟේ අසිරියෙන් නැහැවෙන  අතරමැද
සිලි-සිලි සරෙන් නැළවෙන බෝ ළදලු අද
පවසනවද පැතුම සුමිතුර පසෙක        හිඳ

පිනවමි සවන් රසබර කවි ගොතා   ගොතා
ගයනෙමි එකව් අම මිහිරක ඔතා       ඔතා
සවනත වැකෙද්දී කවි නද ඇතිව      ලතා
සැනහෙනවාද මිත ඇත්තෙම නැතිව කතා

දේමිත්ත වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලානේ කර්මාන්තශාලාවකය. ඊළඟ විරාමයේදී ආයෙත් දේමිත්ත හා සල්ලාපයට එළඹෙන්නටය, මං සැදී-පැහැදී හිටියේ.

මනුෂ්‍ය ශරීරයේ අංගෝපාංගවල ප්‍රමාණයන් මනාව අධ්‍යයනය කොට, කලාත්මකව නිමවා ඇති ග්‍රීක නිරුවත් ප්‍රතිමාවන්ගේ foto කෑල්ලක්වත් ඔවුන්ට දැක ගන්නට ලැබී ඇතිදැයි...
“ඔයාට කියන්න නිමල්, එදා රින්ස්ලියා කිව්වේ බොරු නෙවෙයි. Work Shop එකේ එවුනුත් පන්න- පන්න මගෙන් අහනව මේ දවස් ටිකේම හතරහමාරට off වෙන්නේ මොකද බං කියලා. පඩිය කීයක් හරි වැටෙන්නේ OT පාරක් දාගත්තොත්නේ යාළු... ඒකට කමක් නෑ.

එහෙනං ඉතිං ඉතිරි දවස් දෙකේත් මං වේලපහම off වෙලා එන්නං.”

“අපරාදෙනෙ ළමයෝ! ඔයාට සෑහෙන ගාණක් පාඩු වුණා නේද මේ ටිකටත් මං හින්දා.”
“ඔයාට දුකයිද ඉතිං...”
“එහෙම වෙන්න එපැයි. දන්න කියන කෙනෙකුට පාඩුවක් වෙනකොට යාළුවෙක්ට දුක හිතෙන්න ඕනි නේද?” මගේ ඒ කීමටත් දේමිත්ත උත්තර බැන්දේය... හෙමින් සැරේ...

“එහෙනං ඉතිං... මගෙ පාඩුව ඔයාවත් මට ගෙවන්න... ගෙ..ව..න..ව..ද...”

‘රින්ස්ලි සේරම කියලා...’ මට හිතුණේය. “ඔයාට පඩි ගෙවන්න මම CGR එක නෙවෙයිනෙ.” හිතුණු දේ එහෙම්ම හිතේ තියෙද්දී මං කිව්වේ එහෙමය.
“හැබැයි මම නං CGR එකේ හින්දා ඔයාට ගෙවන්නයි බලාගෙන ඉන්නේ... පඩි තකකින්...”

“හැබෑට! සීජීආර් එකේ ඉන්න ඔක්කොම පඩි තක්කු වෙන්නැති!”

මගෙ දැනීමේ හැටියට නම්, කොයි පිරිමියාත් තමන්ගේ ලිංගේන්ද්‍රියයේ ප්‍රමාණය හා තමන්ගේ ලිංගික හැකියාව ගැන හිතාගෙන ඉන්නේ මහ ඉහළිනි. බොහෝ දෙනා ඒ ගැන කතා කරන්නේත් උජාරුවෙනි. තමන්ගේ හැකියාව අසම-සම බව; අපරාජිත බව ඔව්හු සිතති!
මනුෂ්‍ය ශරීරයේ අංගෝපාංගවල ප්‍රමාණයන් මනාව අධ්‍යයනය කොට, කලාත්මකව නිමවා ඇති ග්‍රීක ප්‍රතිමාවන්ගේ foto කෑල්ලක්වත් ඔවුන්ට දැක ගන්නට ලැබී ඇතිදැයි සැකය.

බාහිර පෙනුම ගැන බොහොමයක් කාන්තාවන් දරණ අගතිගාමී මති-මතාන්තරත් මීට දෙවෙනි නැත...

හා... හා!
කලබල නොවෙනු මැනවි!!

ඉස්සර ආක්‍රමණිකයන් මෙන් ගතේ වීරියෙන් සටන් වදින්නටත් උවමනා නැත. 

නිදි කවදත් නොබා කියන්නේ උගේ මතයයි.
එසේ කීම වෙනුවෙන් උරණ වී ඌට තලන්නට දෙකයි දෙකේ ලී පොලු, කොසු ඉදල් හොයන්නට ඔයාල කවුරුන්වත් කලබල විය යුතු නැත; ඉස්සර ආක්‍රමණිකයන් මෙන් ගතේ වීරියෙන් සටන් වදින්නටත් උවමනා නැත.

මම කෙසඟ කැහුට්ටෙක්මි; ඉතිං මට පහර දෙන්නට ඔබට අවැසි නම් ඒකට වඩා පහසු මඟකුත් මමම කියන්නෙමි. කරුණාකර ඔබේ වදන් කොස්සෙන් සුදුසු වචන තෝරාගෙන, මේ පෝස්ටුවේ යටින්ම ඇති comments තීරුව ප්‍රයෝජනයට ගත මැනවි.

මං මේ කියන්නේ මා දැන හිටි ගැහැනු-පිරිමි උදවිය ගැනයි. නිදිගෙ පංච තන්තරේ කියවන දයාබර පාඨක ඔබ ගැනවත්, අදටත් මා හමු වෙන ස්ත්‍රී පුරුෂයන් ගැනවත් විවරණ කරන්නට තරම් දැනුමක් තවම මට ලැබී නැත.
දැනුමක් තිබ්බත් ‘අහක ඉන්නා සර්පයන් ඇදලා අරගෙන රෙද්ද අස්සේ රුවා ගන්නට’ මා අකැමැතිය!

තව දුරටත් එව්වා ගැන විවරණ නොකර හිඳීම නුවණට හුරු යැයි හිතෙන හින්දා.... ආයෙමත් ධර්මේ අයියාගේ දර්ශනීය වෙසක් පහන් කූඩුව අසලට ඔබ කැන්දාගෙන යන්නෙමි. ඒ සත්වෙනි දවසයි!

සතියක් පුරා වැඩි කරමින් වෙසඟ සිරී
ලෙළ දුනි පහන් කූඩුව නඟමින් අසිරී
මීටත් වඩා සුන්දරතාවෙන්        සපිරී
පහන් කූඩුවක් දිස් වේවා          සුපිරී!

එදා අවසන් කවියත් ගයන තුරුම දේමිත්ත නික්ම ගියේ නැත. නික්ම යන්නට කලිනුත් අපි කතා කළෙමු.
“මං හිටියේ ඔයාව ගෙදරට ඇරලවලම යන්න.”
“අනේ!”
“මොකද යාළු අනේ කියන්නේ. මම එනවට අකැමැතිද?” දේමිත්ත අහයි.

“මේකයිනෙ මහත්තයෝ. ඔයා මෙතන බඩගින්නේ බලාගෙන ඉඳිද්දී මම විතරක් කොහොමද...
මේ ටිකේම ධර්මේ අයියල දිහාවෙ අපට කෑම ලෑස්ති කළානෙ. අද එයාල බොන්නත් ලැහැස්ති වෙලා ඉන්නේ. ඉතිං මටත් ඉක්මනට එතැනින් ගැලවිලා එන්න බැරි වෙයි... අපි වෙන දවසක....”
“ම්ම්...ම්...ම්ම්. එහෙනං හෙට... මම ඔයාලගෙ ගෙදරට එනවා.” දේමිත්ත දෙපාරක් නොහිතාම කිව්වේය.

ඔයා අපේ ගෙදර එන්න යන්නෙ බෙර ගහල ගමටම කියල පෙරහරකින්ද?

ඔළු භාෂාවෙන් උත්තර දෙමින් මම හිස සැලුවෙමි. “ඔයා අපේ ගෙදර දන්නවයැ?”

“හරියට හෙට රෑ අටට බලන්නකො. මං ඔයාල ගෙදර ඇති... පමුණුවේ හැමෝම බතික් ගෙදර දන්නවනෙ. කාගෙන් හරි පාර අහ ගන්නං.”
“ඔයාට පිස්සුද? ඔයා අපේ ගෙදර එන්න යන්නෙ බෙර ගහල ගමටම කියල පෙරහරකින්ද?”

“ආහා! එහෙනං මං හොරෙන්ම ඇවිත් යන්නංකො. එතකොට අවුලක් නැහැනෙ යාළු.” කියලා දේමිත්ත වටපිට බැලුවේය. “මතකයි නේද මං එදා කිව්ව දේ?”
“එදා කිව්වේ?”
“දවස් දෙකකට කලින්...” එහෙම කියන ගමන් දේමිත්ත මගේ අතකිනුත් අල්ලා ගත්තේය. කෙඳිරිලි හඬකින් ඊළඟ ටිකත් කිව්වේය.
“ඔයාට ගෙවන්නයි බලාගෙන ඉන්නේ කියලා... පඩි... ඒකත් අරගෙන එන්නේ... හරියට අටට.”

කොච්චර කයිවාරු ගැහුවත් සමහර තැනෙකදී කිව යුතු ගැළපෙන දෙයක් මගේ තක්කඩි හිතටත් එකෑවර නොඑයි. දේමිත්තගෙන් එවෙලේ එහෙම වචන ටිකක් කියැවෙතියි මං හිතුවේ නැත. ඒ වචනවලින් අන්ද-මන්දවී, තක්කු-මුක්කුවී උත්තරයක් හොයන අතරේම, ඒ යක්ෂයා තවත් සැරයක් මගේ අත මිරිකා, ඉඟි මරා යන්නට ගියේ හිනැහෙමිනි.

ඒ හඳේ අව පක්ෂයයි. බහින කලාවයි. උමතුව නම් වැඩි වෙන්නේ පුර පසෙහිදීලු. ලිංගික ආශාවන් අඩු-වැඩි වෙන්නටත් කාලයක් තිබේද? ඒවා කෙරෙහි සඳේ බලපෑමක් තිබෙනවාද?

ඒ අතින් බලද්දී මානවයා; හෝමොසේපියන්ස් සේපියන් සත්ත්වයා කොතරම් විස්මිත සතෙක්ද?
අතේ ඇඟිලි හතරක් එක අතකට නවද්දී, මහපටැඟිල්ල විතරක් ඊට ප්‍රතිවිරුද්ධ අතකට නවන්නට හැකියාව ලැබී තිබෙන්නේ ඌට විතරකි.
සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව බලද්දී ලොකුම මොළය ලැබී ඇත්තේත් ඒ සත්ත්වයාටමය.

සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව බලද්දී ප්‍රාණවත් වුණු විට ලොකුම ලිංගේන්ද්‍රිය හිමිවී තියෙන්නෙත් ඌටය. ලිංගික ක්‍රියාවන්හි යෙදීමට නියමිත කාලයක්; වෙලාවක් නැත්තෙත් ඒකාටමය.

මමත් එකී හෝමොසේපියන්ස් සේපියන් සත්ත්වයෙක්මි!

ඒත් ඒ අඳුර අස්සෙම වුණත්; තරු එළියෙන් වගේ ඒ දිළිසෙන ඇස් මට පෙනුණේය.

දේමිත්ත කිව්වාක් මෙන්ම කළේය. හරියට අටට අපේ වත්තේ entrance එක ළඟ පෙනී හිටියේය. වත්තේ එන්ට්‍රන්ස් එක කීවාට එතැන ඉඳි කඩුල්ලක්වත් තිබුණු තැනක් නොවේ.

කලින් ගිවිසගෙන තිබ්බා වගේ අප දෙන්නාම කතා කළේ රහසෙනි; හිනා වුණේ රහසෙනි. අප දෙන්නාගේම ඇස් දිළිසුණු විත්තිය අඳුරේම වුණත් අප-අපටම බලාගත හැකි විය.
ඔව්, එදා වෙසක් පොහොය ගෙවී එළඹෙන හත් වෙනි දවසයි. පුර පසළොස්වක පෝය දවසෙන් පස්සේ එන්නෙ කන්ද කපා හඳ පායන දවසයි. තවත් විදිහකට කියනවා නම් අව පෑලවිය දවසයි... ඊළඟට දියවක, තියවක, ජලවක, විසේනිය, සැටවක, සතවක, අටවක...

පුන් පොහෝදා සිට දිනකට සඳේ එක කලාවක් ගානේ අඩු වෙන්නට පටන් ගනියි. එමෙන්ම දවසකට පැය බැගින් සඳ උදාවීම පමා වෙන්නට ගනියි. ඒ විදිහට ගණන් බලද්දී අද; අටවක දවසේ පායන්නේ හඳෙන් බාගයකි; ඒ අඩ හඳ පායන්නේ රෑ දොළහ විතරටත් පස්සෙය...
අඳුරත් අපට ආසිරි පතනවා වගෙය.

ඒත් ඒ අඳුර අස්සෙම වුණත්; තරු එළියෙන් වගේ ඒ දිළිසෙන ඇස් මට පෙනුණේය. ‘එයාගේ කන් පෙති දෙකටත් ලේ පුරලා ඇති. බලා ගන්න තිබ්බා නං...’

ලිංගික හැඟීමකින් ප්‍රාණවත් වී සිටියදී මගේ හදවත ගැහෙන වේගය වැඩි වෙයි. එතකොට අනෙක් වෙලාවකට වඩා වේගයෙන්; ඉක්-ඉක්මනට මගේ ඇඟ පුරාම ලේ ගමන් කරන්නට පටන් ගනියි. ආන්න එතකොට, මගෙ කන් පෙති දෙකටත් ලේ පිරෙයි; කන් පෙති දෙකම රතු වෙන්නට ගනියි. ඒත් එක්කම වගේ දෑසත් දිළිසෙන්නට පටන් ගනියි. ඔබටත් වෙන්නේ එහෙමමද?
දේමිත්තටත් වෙන්නට ඇත්තේ ඒකමය...

“ඔයා වෙලාවටම ඇවිත්!” පෙරමඟ බලාගෙන හොරගල් අහුලමින් හිටි මං කඩුල්ල ළඟටම ගිහිං, දේමිත්තගේ අතින් අල්ලා ගෙනය.
“කමක් නැද්ද අපි මෙතැනම හිටියට?” දේමිත්ත වටපිට හතර දිසාවටම ඇස් යවමින් කොඳුරයි.

නවමු අත්දැකීමක් ලබන්නට පෙරුම් පුරමින් හිටිද්දී, අපේ හිතේ හීන කෝටියක් විතර මැවෙයි! මනස් සළෙලුන්...
“කවුද කිව්වේ මෙතැනම ඉන්නවයි කියලා.” මට කෝන්තර කියැවෙන්නෙත් කෙඳිරිලි හඬිනි. කරුවලේ හිටියත් ඒ යක්ෂ පැටියා මෙතැන හිටින විත්තිය නහයක් ඇති ඕනෑම කෙනෙකුට දැනෙයි. එයා ළඟ ඒ තරමටම සුවඳය. “ඔයා ඇවිත් තියෙන්නේ Debutante  නාලා.” අභී අයියාව මතක් කරවමින් ගලාගෙන එන ඉමිහිරි සුවඳට ඉව අල්ලමින් හිටි මට කියැවුණේය. (අභී අයියා ගෑවෙත් ඩෙබියුටාන් හා Voodoo සුවඳ විලවුන් වර්ග දෙකයි.) 

“යාළු කැමතිද ඒ සුවඳට?”
“හ්ම්!” අපට ඇත්ත කියවෙන්නේ නිකංමය. හිත-හිතා කියන්නට වෙන්නේ බොරු කියද්දීය.
“යාළු කැමති නං ඉඹල බලන්න.” ඔහු ඉස්සරහට නැඹුරු වෙයි.
“මෙතන?”

“එහෙනං කොහාට හරි යං!” දේමිත්ත කියන්නටත් කලින්ය, මං ඒ ගැන හිතා තිබුණේ. හරියටම කියනවා නං එදා උදේ හිටන්මය. නවමු අත්දැකීමක් ලබන්නට පෙරුම් පුරමින් හිටිද්දී, අපේ හිතේ හීන කෝටියක් විතර මැවෙයි! මනස් සළෙලුන්... සුරන් නැළවූ සුයාමය...
නිදිගෙ නැහැදිච්චකම! මූට තියෙන වනචරකමක තරම!!

මේ ලියැවෙන දේවල් කියවා ලියන්නා ගැන තීරණය කිරීම ඔබ සතු අයිතියකි.
ඔහුව විවේචනය කිරීම හෝ පිළිකුලෙන් හෙළා දැකීම හෝ ඔබ සතු අයිතියකි. මට ඇත්තේ මගේ මතක ගබඩාව පීරමින්, මගේ හිතේ එදා තිබිණැයි මට මතක් වෙන හැඟීම් සමුදාය හැකිතාක් නිවැරදිව මෙතැන ලිවීමේ රාජකාරිය කිරීම පමණි.

“කොහාටද යන්න ඕනේ?” මගෙන් තවත් කෙඳිරිල්ලක්. දැන් ඒ කෙඳිරිල්ල මටම වුණත් නෑහෙන තරම්ය.

“කලින් දවසක ඔයා රින්ස්ලිත් එක්ක ගිය පොල් වත්තට යං.”
වෙන කෙනෙකු නං, වෙන වෙලාවක නම්, ඒ වචන ටිකෙන්ම අපි දෙන්නාගේ කතාන්දරය එවෙලේම ඉවර වෙනවා සිකුරුය. රින්ස්ලි ගැනවත්- අප දෙන්නාගේ අතර ඇති වුණු දේවල් අකුරක් නෑර දේමිත්ත දැන හිටීමවත් ගැන මට ඒ වෙලාවේ නොරිස්සුමක් ඇති වුණේ නැත. ඒ තරමටම දේමිත්ත ගැන දැඩි ආශාවක් මගෙ හිතේ ඇති වෙලාය. එකිනෙකට පරස්පර හිතිවිලි දෙකක්... වඩා බලවත් හැඟීම පෙරට ආවේය.

... පොල් ගස් මණ්ඩියට කතා කරන්නට හැකි නම්... මහා වනචර, අතිශයින් කාමුක, ශෘංගාරාත්මක කතන්දර ගොඩක් කියනවා ඇති!   

දේමිත්තගේ අතකින් අල්ලාගෙන මම අඳුරේම පා එසෙව්වෙමි.
ඔහු නිහඬතාව නොබිඳිමින්ම මා අනුව එයි.

අපේ වත්තට යාබද, ළමා නිවාස වත්තේ පොල් ගස් මණ්ඩියට කතා කරන්නට හැකි නම්... මහා වනචර, අතිශයින් කාමුක, ශෘංගාරාත්මක කතන්දර ගොඩක් කියනවා ඇති! එතකොට නං මගේ සායම යැවෙනවා සිකුරුය. මගේම වාසනාවට වගේ ‘එනමුදු එදවස් සඟවනු හැකිවෙය - ඉරට හඳට ඇළ දොළට කතා බැහැ’ ගීයෙන් කියනවා වගේම එතැන පොල් ගස්වලටත්, තණකොළ බිස්සටත් කතා බැරිය.

අනෙක් අතට අද වෙද්දී ඒ පොල් වත්ත අතුරුදහන්වී, ඒ බිම් කඩේ තට්ටු දෙක තුනේ මහා මන්දිර සමූහයක් ඉදි වෙලාය!

ඔහු ගැන මගේ හිතේ චිත්‍රණය කර ගෙන හිටි සිත්තම සාකල්‍යයෙන්ම නිවැරදි එකක් විණි. හේ අනංග යුද්ධයෙදී කාම දේවයා පරයන්නෙකි!
දේමිත්ත ‘ඒ කලාවේ කෙළ පැමිණි රසවතෙකි!’. සමහර දෙනෙකුට තිබුණු හදිස්සිය; නොඉවසිල්ල; කඩි කුලප්පුව කිසි විටෙකවත් ඒ හාදයාට තිබුණේ නැත.
ඇවිස්සෙන්නටත්; අවුස්සන්නටත් යකෙකු වුණු දේමිත්ත, කාම නිල ශාස්ත්‍රය පරතෙරටම හදාරා තිබුණු අයෙකු බඳුය.

මට හිතුණේ එහෙමය... 

Wednesday, October 26, 2022

තිහේදී... -දෙවෙනි කොටස

කෑම මේසය මඟුල් මේසයක් තරම් සරුවට තිබිණි. ඒත් ඒ එකක්වත් එතරම් රහකට මට දැනුණේ නැත.

“මේ මොකෝ මහත්තයා? කාලත් ඉවරද... අපි මේ තාම ලැහැස්ති වෙනවා.”
“ධර්මේ අයියලා හෙමිහිට කාල එන්නකෝ...”

මෙහාටම වරෙන්, තොට කණ පැලෙන්න ගහන්න.... බ්රු බ්රු බ්රූෑෑෑෑෑෑෑ... ආවා මෙතන...

මං ඉක්මනින්ම ධර්මේ අයියලගෙ ගෙදරින් පිටතට ආවේ, පාරෙන් එහා පැත්තෙ ඉලක්කයට නෙත් යවමිනි.

හුටා! එතැන හිස්ය- එතැන කවුරුන්වත් නැත!

මගේ ලෝකයම කඩා වැටුණා ලෙසිනි එවෙලේ මට දැනුණේ.
මම එහෙම කිව්වාම, ඒ අතිශයෝක්තියට නංවා කියන කතාවකියි ඔබට සිතෙන්නට හැකිය. අපේ ජීවිතයේදී අනන්ත- අපරිමාණ සංඛ්‍යාවක් හමු වීම්, වෙන් වීම් සිදු වෙයි. මටත් එහෙමය. එහෙත් ඒ හැම එකක්ම එකම මට්ට්ටමකින් ගනින්නට බැරිය. සමහර ඒවා සුවිශේෂී වෙයි; ඔබට එසේ දැනෙයි; ඔබේ මනස අවුල් කරයි. එහෙම වෙන්නේ සසරේ කොතැනකදී හෝ හමු වුණු මතකයක් ඇති නිසා; සසරේ පුරුද්දක් ඇති නිසා වෙන්නටත් ඉඩ තිබේ.

ඒ ඇස ගැටීම එහෙම විශේෂ යමක් නිසා සිදු වූවකියි මට සිතේ.

ඉතිං, කොයියම්ම මොහොතක හෝ ‘ඔහුගේ දර්ශන මාත්‍රයක්’ යළිත් ලැබෙතැයි සිතමින්, පැය බාගයක් විතර වෙසක් කූඩුව ළඟම තාවර වෙවී හිටියත් වැඩක් වුණේ නැත. එදා වෙසක් සඳ එළියේ, මම පරාජිතව ගෙදර ආවෙමි.

ඒ බලාපොරොත්තු කඩවීම ඇති වුණේ මගේ හිතේය. උදේ බලද්දී වැඩියෙන් රිදිලා තිබුණේ ගතටය. වෙනදා විදිහට නොව පාන්දර පැදුරෙන් නැඟිට ගන්නටවත් බැරි තරමේ කෙඩෙත්තුවකි, ඒ හිමිදිරියේ මට දැනුණේ. මම පැදුරේ ඇලවුණු ගමන්ම සිටියෙමි.
“බ්රු bru broooooom! කරාස්!! ලොකූ, තේ හදලෝ!” බඩා මල්ලා කුම්භඝෝෂක duty එක කළේ පැදුර පාමුලටම ‘වාහනයෙන්’ ඇවිදින්ය.

“මෙහාටම වරෙන්, තොට කණ පැලෙන්න ගහන්න.... බ්රු බ්රු බ්රූෑෑෑෑෑෑෑ... ආවා මෙතන... ටිකක් නිඳා ගන්නවත් දෙන්නෑ.”
“හුරේ! ලොකාට තද වෙලෝඕඕඕඕඕ....” දීපාල් මල්ලියාට මගේ කේන්තියත් විහිළුවකි. ඒකා වත්ත වටේටම දුවමින් මගේ කේන්තියෙ පුවත ගයයි.

එබිකම් කරයි සඳ කොමළිය නිල් අහසේ

“උඹ අද මට අහු වෙයන්කෝ!”

මං ගෙදරට ගිහිං තේ එක බිව්වෙත්, ලෝකය එක්කම ඔරොප්පුවෙනි. දාවල ගෙවුණේත් ඒ තරහව එක්කමය. දන්නවනෙ, පවුලක වැඩිමලා වුණාම තියෙන ලොකුම වාසිය ‘එහෙම තරහවල්’ බාලයන්ගේ පිටින් යවන්නට ඉඩ ලැබීමයි. එදා නං මගේ අතින් ඒ පාපය නොසෑහෙන්නට වුණු බව අදටත් මට මතකය!
එහෙම කරලාවත් මගෙ හිත හරි ගියේ නැත.

එදා හවස් වෙද්දී වෙසක් කූඩුවේ නිවේදක රාජකාරියට යන්නට සූදානම් වුණේ නොකර බැරිකමටය.

දෙවෙනි දවස කියලා වෙනසක් නැත. කූඩුව විවෘත කරන්නේ උත්සවාකාරයෙනි.
සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, විදුලි ආලෝකය දැල්වීම වගේ දේවල් කෙරෙන්නේ විශේෂ ආරාධිතයන්ගේ සුරත්වලිනි. ඕනෑම නිවේදකයෙකු අමාරුවේ වැටෙන්නට වැඩිම ඉඩක් තියෙන වෙලාවකි ඒ.
එහෙම වෙලාවට නිවේදකයාගේ අතට ලැබෙන නම් ලැයිස්තුව හැතැප්මක් විතර දිග එකකි. ඒ මදිවාට අන්තිම මොහොතේත් අලුත් නම් ලැයිස්තුවට රිංගවා ගන්නට වෙයි; තිබුණු ඒවා හැළෙයි.

ඒ අලකලංචි සේරම මැද වුණත්, කාගේවත් හිත නොරිදෙන විදිහට; කාටවත් මදි පුංචිකමක් නොවෙන විදිහට සේරම balance කරගෙන යකඩ කටෙන් කියන්නත් ඕනෑය.

එබිකම් කරයි සඳ කොමළිය නිල්      අහසේ
ළං වෙයි සුබ මොහොත, ආසිරි මල් වැස්සේ
ආරාධිත අමුත්තනි පෙළ සැදී            මෙසේ
දල්වමු පහන්, කූඩුවෙ වැඩ ඇරඹෙන     සේ

“ඔව්! දැන් සුපින්වත් ඔබට පෙනෙන්නේ අපේ ගෞරවනීය ආරාධිත අමුත්තන් සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වන ආකාරයයි, මේ දර්ශනීය වෙසක් පහන් කූඩුවේ ප්‍රදර්ශන කටයුතු ඇරඹීම සඳහා... පින්බර ඔබෙත්- මගෙත්- අප සැමගේත් බුද්ධාලම්බන ප්‍රීතිය තවත් නංවමින් මේ සුන්දර වෙසක් කූඩුව අදත් මධ්‍යම රාත්‍රිය තෙක් ඔබ සනසනවා ඇති. අද මෙහි ප්‍රදර්ශන කටයුතු විවෘත කිරීමට දායක වූ වාසනාවන්ත සුවිශේෂ ආරාධිත මහත්ම මහත්මීන්ට, මේ දර්ශනීය වෙසක් කූඩුවේ නිර්මාතෘ ධර්මදාස දේවසුරේන්ද්‍ර මහතා වෙනුවෙන් මා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

සමහරුන්ගේ දොළදුක් ගැන නම් ඇත්තෙන්ම දුක හිතෙයි!
ඒ සමඟම ඒ සියලු ආරාධිත මහත්ම මහත්මීන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ධර්මදාස මහතා ඇතුළු පවුලේ පිරිස පිළියෙළ කර තිබෙන..... කර තිබෙන....”

‘තොට මඤ්ඤංද යකෝ. විහින් ලජ්ජා කර ගන්ඩ හදන්නේ... ඉස්සෙල්ලාම කරන්ඩ ආව රාජකාරිය කරලා හිටපං.’ කර තිබෙන කියලා තැටිය එකම තැන කැරකෙන්නට පටන් ගන්නාකොටම මගේ යටි හිත රතු එළි පත්තු කරගෙන- කරගෙන ගියේය.

මට පොට පැටලෙන්නට ගත්තේ; උතුර දකුණ අමතකව ගියේ ‘අර නාඳුනන හාදයා’ ඊයේ විදිහටම ඉන්නවා දැක්කාමය. යස අපූරුවට කෙළින් තියෙන තාප්පය වැටෙන්නට නොදී, එයාගේ සරුවාංගයෙන්ම මුක්කුවක් ගහගෙන ඉන්නවා දැක්කාමය.

‘අම්මපා, මූට පුදුම පොරසෝකයක්නෙ තියෙන්නේ.’ මගෙ කෙරුවාව කියවාගෙන එන කෙනෙකුට මේ මොහොතේදී හිතෙන්නට පුළුවන්ය. එහි වැරද්දක් නැත. අදහනු මැනවි!
එහෙත් එදා මට තිබුණේ කාමශාවක් සන්තර්පණය කර ගැනීමේ අවශ්‍යතාව නොවේ. මා අගය කරන්නෙකු ලෙස පෙනෙන ඔහු හඳුනා ගන්නටය මට උවමනාවී තිබුණේ. ඔහු හා කතා කරන්නටය මට දැඩිවම උවමනාවී තිබුණේ. හිටි ගමන් මට නම් ඔහොම දොළදුක් හැදෙයි.

එහෙම නේන්නං සංසාරේ... සමහරුන්ගේ දොළදුක් ගැන ඇත්තෙන්ම දුක හිතෙයි!

හැබැයි, කොහොම දුකක් හැදුණත්, මට නං- කරමින් ඉන්න වැඩේ අනා ගන්නට බැරිය. ඒ විත්තිය කල්පනාවට ගත් නිමල් දිසානායක ඇහැ අහකට ඇද ගත්තේය; ඒකා උගේ හිත අවුල් කරන ඒ ආරම්මණය දිහාවට ඊට පස්සේ, සෑහෙන වෙලාවක් යනතුරුම ඇහැ යැව්වේ නැත!

ඒ පැත්තට ඇහැ නොයවා නිවේදන වැඩ කරගෙන ගිහිං ගිහිං ගිහිං, බොදු බැති ගී දෙක තුනක් වාදනය කෙරෙන්නට සලස්සලාය, මං විවේකයක් ගත්තේ. දැන් නම් ඉතිං ඒ පැත්ත බැලුවාට කමක් නැත.
අම්මට සිරි!
දැන් එයා ඉන්නෙ තනියම නෙවෙයිනෙ; රින්ස්ලිත් එක්කලාය. මෙයා දන්න අයත් පමුණුවේ ඉන්නවා එහෙනං?
රින්ස්ලි මගේත් මිතුරෙකි.

මේ ගල් මූසලයා වැඩ ඇරිල එන වෙලාවට අපි සේරමල නිදි.

එවෙලේ රින්ස්ලි හිටියේ, අර හාදයාත් එක්ක ගජේ ගහගෙන- සිගරැට් උරමින්ය. ලවුඩ්ස්පීකරයෙන් සිංදුව යනවා ඇහෙනකොට දෙන්නාම මගේ පැත්තට හැරුණෝය. රින්ස්ලි හස්ත මුද්‍රාවෙන් මට කිව්වේ එතනට එන්නැයි කියලාය. මං සුනංගු වුණේ නැත.

“බලනවකො නිමල්, මේකගෙන් මට බේරිල්ලක් නෑ, ඔයාගේ කවි අහන්න යමු කියලා.” සාමාන්‍යයෙන් දොඩමලු නැති රින්ස්ලිය ඉස්සෙල්ලාම කතා කළේ. “මූ ඊයේ මහ රෑ වෙනකලුත් මෙතැන ලගා ගහං කවි ඇහුවලු. පිස්සු xත්තා! නිමල්ට මීට කලින් මේ දේමිත්තව හම්බ වෙලා නැද්ද?”
“මාත් කල්පනා කළේ....”
“කොහෙ හම්බ වෙන්නද? අපි වගෙ නෙවෙයි. මූ ot කාක්කෙක්. මේ ගල් මූසලයා වැඩ ඇරිල එන වෙලාවට අපි සේරමල නිදි. අද වුණත් මිත්තයා කලින් ඇවිත් තියෙන්නේ ඔයාගෙ කවිවලට වශී වෙලා හින්දලු.”

“අඩෝ අඩෝ... මාව එහෙමම කිච කරලා දාන්න එපා මචං. මං පව් බං! මේ යාළුව ආයෙ මාත් එක්ක හිනා වෙන එකක්වත් නෑ. නැද්ද යාළු?” දේමිත්තත් තැනට ගැලපෙන කතා ඇත්තෙකු වගෙය. හිනාවත් හොඳය.

“නිමල් එහෙම නෑ මචං... අඩෝ මේ මිත්තයා. ඔන්න මගෙ කොටස ඉවරයි.”
රින්ස්ලි එහෙම කියලා හැරුණේ, මගෙ පැත්තටය.

“මම මූට කිව්ව නිමල්, මං එන්න ඕනි නෑ කියල- ඔයාට කතා කරලා මගෙ නම කියන්නය කියලා. මුගේ තියෙන මනමාලකමට එහෙම බෑම කිව්වනෙ. මේ මචෝ. උඹට වගේ මට කවි අහන පිස්සුවක් නෑ... නිමල්, මෙන්න මේකට කවි දෙක-තුනක් කියන්නකො. උගේ පිස්සුව හොඳ වෙන්න. මචං, ඒත් මදි නං නිමල්ට කියපං උඹේ කනට කරලම කවි කියන්ඩ. නැත්තං කයි....”

දේමිත්ත රින්ස්ලිට ඉතිරි හරිය කියන්නට ඉඩ දුන්නේ නැත. ඉස්සරහට පැන රින්ස්ලිගේ කට මිරිකා හිරකොට ගත්තේය.

“අත ගනිං xත්තෝ. මාව මැරෙයි...” ග්‍රහණයෙන් මිදුණු රින්ස්ලි පිටත්ව ගියේ, දේමිත්ත වෙනුවෙන් කවියක් කියන්නැයි මට මතක් කරමිනි.

කූඩුවේ චිත්‍රවලට දාන්න හංසයෙක් ඉන්න කතාවක් හොයල දෙන්නකෝ!

රින්ස්ලි ඇතුළු සෑහෙන තරුණ පිරිසක් මට හමු වුණෙත් පමුණුව පාරේ ඉදි කෙරුණු වෙසක් කූඩුවක වැඩවලදීය. කූඩුව ගහන ආසාව මිස, ඒ කට්ටියටම නිවැරදි සැලැස්මක් පවා තිබුණේ නැත.

“නිමල් අයියේ, අපි කූඩුව ගහන්නේ හංසයෙකුගේ පිට උඩ තියෙන විදිහට. කූඩුවේ චිත්‍රවලට දාන්න හංසයෙක් ඉන්න කතාවක් හොයල දෙන්නකෝ.” පළමුවෙනි හමුවේදීම මට වැඩක් පැවරුණේය.

ස්වර්ණහංස ජාතකය මට සෑහෙන ලකුණු ගණනක් ලබා දෙමින්, පිහිටට ආවේය.

“කවුද දන්නේ මේ බතික් ගෙදර නිමල් අයියයි කියලා.
ඔයා නේද එහෙ බතික්වලට මෝස්‌තර අඳින්නෙ. බැයිද අපේ කූඩුවලට කැටයම් කපන්න මෝස්‌තර ටිකක් ඇඳලා දෙන්න.” ඒ පහන් කූඩුව හැදීමේ මහ මොළකරුවා ඊළඟ වතාවේ මගෙන් ඇහැව්වේය. (පස්සෙය දන්නේ! ඒ හාදයාත් ධර්මේ අයියලාගේ නෑයෙකි.) ඒ ඉල්ලීමත් ඉටු කළෙමි. කැටයම් කපන්නට පුළුවන් යැයි කියා තිබුණු වැඩි දෙනෙකු දන්නා මඟුලක් නැති බව එළි වුණාම, ඒ රාජකාරිය කරවන රාජකාරියත් මගේ පිටටම වැටුණේය.

ඒ කාලයේදීය, මං දැන ගත්තේ මහරගම කොයි තරං ‘ත්‍රෛලෝක විජයපත්‍ර’ අලෙවියක් තියෙනවාද කියා!
කූඩුවේ වැඩ කරන තරුණ පිරිසට හැමදාම රෑට ‘ගංජා මුල්’ එවනු ලැබීය. කන්නට දෙයක් නොලැබුණත් ඒවා නං වැරදුණේ නැත.
හැබැයි වැඩෙත් කෙරුණේය. කොච්චර සාර්ථකව ඒක කෙරුණාද කියනවා නම්, වෙසක් එකට පෙන්වන්නට හිතාගෙන ගැහූ කූඩුව, අඩපාඩු ගොඩක් එක්කලා හරි පෙන්නාගත හැකි වුණේ පොසොන් එකටය!

ඒ කාලය තුළදී, එකිනෙකාට රහසෙන් මගෙ පහස හෙවූ තරුණයන් කිහිප දෙනෙකුත් මට හමු විණි. රින්ස්ලිත් එයින් එක්කෙනෙකි.

කුඩු කතත් තිරිත්තමක් ඇතිවය මං කෑවේත්, කන්නෙත්! වෙලාවක්; කලාවක්; පිළිවෙලක් ඇතිව, මගේම රිස්ස පරිදි... මගේම නීති-රීතිවලට යටත්ව...
හැබැයි, එහෙමය කියලා bull කෙළින්නටත් මට අවසර නැත. ඉතා අවධානයෙන්, ඉතා සැලකිල්ලෙන් ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන අදරැති බුද්ධිමත් පාඨක ප්‍රජාවක් මා වටා රොක්වෙන බැවිනි, ඒ. වෙනෙකක් තබා මා යොදන ඡායාරූප ගැන පවා ඔවුහු විමසිලිමත් වෙති.

තිහේදී.. පළමුවෙනි කොටසට comment එකක් එවමින් Lotus මෙහෙම ප්‍රශ්නයක් විමසා තිබිණි.

වැඩිය ලොකුවට ප්ලෑන්ස් ගැන කතා නොකර වැඩේ හරියටම කරන අය මම නම් හරියටම...

“අන්තිම ෆොටෝ එකේ පිරිමි ළමයට සමාන ෆොටෝස් නිමල් දීඝායු හා සංජේ ගැන ලියපු පෝස්ට්ස්වලත් දැම්මා නේද. ඒ නිමල්ගෙ 'ටයිප්' එකද.

//වෙසක් දවස වෙන තුරුමවත් ධර්මේ අයියා කූඩුවක් හදන විත්තියක් ගමට පෙනුණේ නැත. ඒත් වෙසක් දවසේ පාන්දර වෙද්දී නම් ධර්මේ අයියලාගේ ගෙදර මිදුලේ ඇටවුමක් ඉදි වෙලාය//
ඒ වගේ වැඩිය ලොකුවට ප්ලෑන්ස් ගැන කතා නොකර වැඩේ හරියටම කරන අය මම නම් හරියටම අගය කරනවා.

ප්ලෑන් කරලා වැඩ කරන අය හොඳයි, නමුත් මෙහෙම අය විශේෂයි. මම හිතන්නෙ ඒගොල්ලන්ගෙ හිතින්ම විස්තරාත්මක ප්ලෑන්ස් හදා ගන්නවා- වැඩිය කියවන්නෙ නැතුව. ඒ මනුස්සයාට තරහ යනවා ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති. එකපාරටම කවුරු හරි මොනවා හරි කිව්වම stream of thoughts එකට බාධා වෙනවනෙ. (එච්චර සරලව තරහ යන එක විග්‍රහ කරන්න බෑ තමයි. මම නිකම් කිව්වෙ).”

Lotus, Lotus, Lotus. ඔයා නිකම් කිව්වත් කියලා තියෙන්නේ හරිම වැදගත් කාරණයක්; මනුස්ස චිත්ත සන්තානයේ හැටි සොබාව ගැන කාරණයක්නෙ ඔයා කියල තියෙන්නේ- ධර්මේ අයියා ගැන සඳහනෙන්.
මට ඒක වටින්නේ, මම තවමත් මගේ එදා සහ අද සිතිවිලි පහළ වෙන හැටි ගැන අවදියෙන් කල්පනා කරන නිසා.

එහෙම කරන්නේ මනුෂ්‍ය ස්වභාවය තව දුරටත් අවබෝධ කර ගැනීම සඳහා.

Postsවලට මම යොදන ෆොටෝස් ගැන නම් කියන්න තියෙන්නේ දිග කතාවක්.
මං විචිත්‍රත්වයට තියෙන කැමැත්ත මගෙ ලිපිවලින් වාගෙම යොදන fotoවලිනුත් පේනවා වගෙයි. අනෙක මං මහ තණ්හාධිපතියෙක්- එකතු කරන්නෙක්.

කල්ලි, ගැහැනු-තරුණ, ගැහැනු-වයසක, පිරිමි-තරුණ, පිරිමි-වයසක හා ළමයි ආදී වශයෙන්. මේ හිපි පවුලේ ෆොටෝව තිබ්බේ කල්ලි folder එකේ...

හැමදාම අන්තර්ජාලයේ සැරිසරන අතරේ හම්බ වෙන පින්තූර අතරින් ‘මට හොඳයි කියල හිතෙන ඒවා’ ගොනුවකට එකතු කර ගන්නවා. ඒවා වෙන-වෙනම මාතෘකා යෙදූ folders සිය ගණනකයි තියෙන්නේ; මට හොයා ගන්න ලේසි වෙන්න. ඒ ෆෝල්ඩර්ස්වල foto දහස් ගාණක් තියෙනවා.

සමහර වැකියක් ලියනකොටම සමහර foto එකක් හිතට ඇවිදිනුත් ඉවරයි.
එහෙම විශේෂයෙන්ම හිතට එන්නෙ ‘කතා කරන පින්තූර’යි.

මේ ඒ ගැන පැහැදිලි වෙන්න තව විස්තර ටිකක්.

‘මිනිස්සු’ කියන folder එකේ sub ෆෝල්ඩර්ස් 6ක් තියෙනවා, වර්ගීකරණය කරපු. කල්ලි, ගැහැනු-තරුණ, ගැහැනු-වයසක, පිරිමි-තරුණ, පිරිමි-වයසක හා ළමයි ආදී වශයෙන්.
අවශ්‍ය වෙලාවට foto තෝරද්දී ඒ එක post එකට යෙදෙන fotoවල වර්ණ- හැඟීම් එහෙමත් විවිධ විදිහට තියෙන්නයි මට ඕනි. ඒත් ඉතිං කරන්න වෙන්නේ තියෙන දෙයින් උපරිම පොරෝජනේ ගන්න එක තමයි. තුට්ටු දෙකේ අස්සයෙක් වුණත් වැටට උඩින් පන්නවා ගන්නයි වෙන්නේ.

ඉතිං එහෙම තෝරද්දී, මාත් නොදැනුවත්වම මගේ type එහෙමත් ඉස්සරහට එනව ඇති! එහෙමනේ අපේ යටි හිත වැඩ කරන්නේ. නමුත් අද වෙනකල් හිතල නං එහෙම foto තෝරාගෙන නෑ. ඖචිත්‍යයම සැලකුවා මිස.

ඒවා එක එක පාඨකයන් එක එක කෝණවලින් දකිනවා; ගන්නවා. අරගෙන ඒවාට ඔවුන්ගේ ප්‍රතිචාරත් දක්වනවා.

මේ රසිකයන් එක එක වයසේ, එක එක තරාතිරමේ, එක එක රටවල ඉන්න උදවියනෙ- ඒ හැමෝගෙම නිජබිම ලංකාව වුණත්! එහෙම පිරිසක් එක්ක මෙහෙම commentsවලින් අදහස් හුවමාරු වීමේ; සංවාද සිදු වීමේ වැදගත්කම ගැන- ඊයෙත් ‘ඉකොනොමැට්ටාගේ බොජුන් හළ’ අඩවියේසෝමාලියානු බදු ගෙවා ස්කැන්ඩිනේවියානු සුබසාධනය සෙවීම’ post එකේ කමෙන්ට්ස්වලදිත් කියවිලා තිබ්බා.

‘මගේ type’ කතාව මතු වුණු අවස්ථාවක් නිසා, දැන් මේ ටිකත් කිව යුතුය.

තවත් විටෙක අප රස ගුලාවෙකැයි මනසින් මවාගෙන සිටින කෙනෙක්....

කෙනෙකුට sexy විදිහට දැනෙන කෙනෙකු ගැන හැම කෙනෙකුටම එහෙම හිතෙන්නේ නැත. තව කෙනෙකුට එයාව ‘මෙලෝ ගතියක් නැති කෙනෙකු’ ලෙස හැඟෙන්නට වුණත් ඉඩ තිබේ.

තවත් විටෙක අප ‘රස ගුලාවෙකැ’යි මනසින් මවාගෙන සිටින කෙනෙක් ‘මෙලෝ රහක් නැති පිංගුත්තර මැටි ගුළියක්’ බව හදිසියේම හෙළිදරව් වෙන්නේ අප ගැනම සිනහ නැඟෙද්දීය.
තවත් සමහර විටෙක කිසිම වටනාකමක් නැතැයි බාහිරින් පෙනෙන පන් ගස් අතරින් ‘දඹ රන් කඳන්’ මතු වුණු වෙලාවලුත් (මට නං) තිබෙයි.

ඒ සේරම අස්සේ මේකත් නොකියා බැරිය. මං වහන්සේ තදින්ම විශ්වාස කරන දහමක් තිබෙයි. Variety is the Spice of Life! ජීවිතය රස කරවන්නේ විවිධත්වයයි!! ඒ මගේත් අවංක හැඟීමයි. (මට එය කියා දුන්නේ රාජමනී අංකල්ය.)

ඉදින් මටත් මගේ තේරීම් තිබුණේය. ප්‍රතික්ෂේප කරන්නට තරම් ඇරයුම් ගොඩකුත් තිබුණේය.

පෙනුමින් ඉතා ප්‍රියමනාප; සුදු; පිරිපුන් දේහයක් තිබුණු... තිබුණු.......