අකුරු මැකී නෑ

Wednesday, October 19, 2022

යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස

මධු සමයට ගිය යුවලක්... කුමරි බඹසර රැකගත් බව ඔප්පු කරන්නට අසමත් වුණු යුවතියක්... කුල සිරිත් සුරකින සම්ප්‍රදායික නැන්දම්මා කෙනෙක්... අම්මාට බෙහෙවින් කීකරු පුතෙක්...

මට හිතෙන විදිහට තාරකා මුලින්ම ලියන්නට ඇත්තෙත් බිරිඳපත්තරයටය!  
1985 එංගලන්තයට ගිය වෙලාවේ, එහෙ රූපවාහිනියෙන් බැලූ Dynasty (1981-1989), Dallas (1978-1990) වගේ සෝප් ඔපෙරාවලට වහවැටී හිටි නිසාම ඒවායේ එන භාවාතිශය පැටලිලිත් මට බල පෑවා වෙන්නැතිය. ඒවා ගුරු තන්හි තබාගෙන; අර කී චරිතත් කතාවට කැන්දාගෙන පළමු කොටස ලියන්නට, මට වැඩි වෙලාවක් ගියේ නැත. වැඩි වෙලාවක් ගත කරන්නට වුණේ ලියූ කොටස polish කරමින්, පැහැදිලි අකුරෙන් නැවත ලියන රාජකාරියටය.

එහෙම පුරාජේරුවක් කියලා ‘යුවති කිරිල්ලීගෙන් බිරිඳට... පළමුවෙනි කොටස’ අවසන්කොට දවසක්වත් ගියේ නැත. ඇඟපත රිදෙන්නට ගත්තේය. ඒ මදිවාට වියළි කැස්සකුත්...

අද ලංකාවේ ගොඩනැඟිලි ඉදිකිරීම් සේරම එහෙම පිටින්ම වගේ ඇණ හිටලා ‘වාසි කඳවී’ ඇති යුගයක් නිසා, ඒ අසනීපයෙනුත් වාසියක් ගැනීමේ වාසනාව මං වහන්සේට නොලැබී ගියේය. නැතිනං ලොරි load හත අටකට සෑහෙන තරමක් කපා ගන්නට ‘උණ’ පහුගිය ටිකේ මගෙ වටේ දැවටෙමින්; ගණ සැරේට වැවෙමින් තිබිණි. මං හිතන්නේ ඒ කාලේ වේළු වනාන්තරයෙවත් මේ තරම් සරුවට උණ වැවිලා නොතිබෙන්නට ඇති කියලායි.

2018 අප්‍රේල් පළමුවෙනිදා ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නට පටන් ගත්තායින් පස්සේම, පෝස්ටු දෙකක් අතර මෙච්චර දිග කාලාන්තරයක් ඇති කරවන්නට ඒ ‘උණ’ හපනෙකුත් උණේය.

මක් කරන්නද? ‘ආරෝග්‍යා පරමා ලාභා’ බුදු වදන යළිත් වතාවක් මට සනාථ වුණේය.
ඉතිං, පෝස්ටුව පළ වීමේ පමාව ගැන කණගාටුව ප්‍රකාශ කරමින්; පමාවට වගකීම ලෙඩේට පවරමින්, ‘...බිරිඳේ’ දෙවැන්න කියවන ලෙස ආදරණීය රසික ඔබෙන් මෙලෙස ඉල්ලා සිටිමි.

“නිමල් අයියේ, ඕනි නම් තව එක්කෙනෙක් ඉන්නව බිරිඳ පත්තරේට සම්බන්ධ.”
ලියූ කොටස් ටික යළිත් සකසමින් ඉන්නා අතරවාරයේ දවසක අපේ ගෙදරට කඩා වැදුණු උපාලි මහා ආඩම්බර ලීලාවකින් කිව්වේය.

අර්නස්ට් වඩුගේ මහතා පළපුරුදු දේශපාලන නායකයෙකු සමඟ....

“එයත් ඉන්නෙ තමුසෙගෙ වසමෙද?”
“වසමේ නේන්නං. ලස්සන ගෑනු දරුවෙක්... හැබැයි ටිකක් ආඩම්බරයි වගේ.”

“ඒ වුණාට උපාලි, එහාට ගිය එක වෙලාවකවත් මං එහෙම ගෑනු ළමයෙක් ඉන්නව දැක්කෙ නෑනෙ...”
“එයා වඩුගේ මහත්තයාගේ office එක ඇතුළෙමලු වැඩ කරන්නේ... නිමල් අයියා office room එකට ගියාම දකියි!” එවෙලේ උපාලි කීවේය.

උපාලි කිව්වා හරිය.
නැවත ලියූ නවකතා කොටස් ටිකත් අරගෙන, කීර්තිත් එක්ක අර්නස්ට් වඩුගේ මහතාගේ කාර්යාලයීය පරිශ්‍රයට ගියාමය- මං වහන්සේ තාරකාව දැක්කේ.

එතකොට තාරකා වාසලමුදලිආරච්චි නවකතා කතුවරියක වෙලා හිටියේ නැත. රූපවාහිනී නිවේදිකාවක් වෙලා හිටියෙත් නැත. මට හිතෙන විදිහට තාරකා මුලින්ම ලියන්නට ඇත්තෙත් ‘බිරිඳ’ පත්තරයටය!
පස්සේ කාලේකය, ඇයත් සාර්ථක නවකතා කීපයක්ම රචනා කළේ; කළු, දෙහි, මැටි වැනි.
ඒ විතරකුත් නොවේ, තාරකා පසුව ‘පිපි පියුම්, උඩු වියන්’ ටෙලි නාට්‍ය දෙකේත් ප්‍රධාන නිළිය වූවාය.

“මේ ටික තියල යන්න. ලබන සතියේ ඇවිත් කීර්තිව හම්බ වෙන්න. මං මේවා කියවලා පත්තරේට දානවද කියලා කීර්තිට කියන්නං.” වඩුගේ මහත්තයා ඉතාම අඩු වැකි ගණනකින් අපේ කතාවට තිත තිබ්බේය.

ඊට පස්සේ ‘රස නිවසේදී’ එකම වතාවක්වත් වඩුගේ මහතාව හෝ තාරකාව හෝ දැක ගන්නට මට අවස්ථාවක් උදා වුණේ නැත!
‘දෙවේලේ දකින කුකුළාගෙ කරමලා - එවෙලේ පෙනෙයි සක සේම සුදු වෙලා’ යැයි කියන කීම අර්නස්ට් වඩුගේ මහත්තයා තදින්ම විශ්වාස කරන්නට ඇති බවය, මං හිතා ගත්තේ.

නමුදු පසු කාලයක ‘පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස්’ ආයතනයේ මුද්‍රණ කළමනාකරු ලෙස සේවය කරද්දී මට කිහිප වතාවක්ම වඩුගේ මහත්මා මුණ ගැසිණි. ගම ගාල්ලේ, ආදරය මිහිරක් නොවේ, ඇය පූජනීයයි, මගේ බිරිඳ මගේ සම්පතයි, අමිල මල්, මුහුද තාමත් අහිංසකයි වැනි එතුමා ලියූ පොත් ගණනාවක්ම මුද්‍රණය කරද්දීය, එලෙස අප මුණ ගැසුණේ.

ඒකේ වපසරිය හරියටම කියනවා නම් මෙහෙමය...

නියමිත රාජකාරිය- නියමිත විදිහට ඉටුකොට දුන්නා මිස, ඒ මහතා සමඟ අල-ගිය මුල-ගිය තැන් කියන්නට හෝ කුළුපග වෙන්නට හෝ එදා මේ නිමලයාට හිතුණේ නැත! ඒ උගේ උද්ධච්ඡ අහංකාරකම නිසාය!!

රස නිවසේදී මට වඩුගේ මහතා මුණ ගැසුණේ නැතත්, අවුලක් වුණේ නැත. කීර්ති එස් කුමාර සහෘදයා හරහා සියලුම සම්බන්ධීකරණ කටයුතු සිදු විණි.
එදා මට කී ලෙසින්ම අර්නස්ට් වඩුගේ මහතා කටයුතු කරලා තිබිණි.
“ලොක්කා o.k. එක දුන්නා. ලබන සුමානේ නෙවෙයි, ඊළඟ සතියේ ඉඳලා ඔයාගෙ කතාව බිරිඳේ යවමු.” කීර්ති කිව්වේ අව්‍යාජ සුහදත්වයෙනි. “ලබන සතියේ ඔයාගේ කතාව දාන එක ගැන කියලා පොඩි දැන්වීමකුත් දාගන්න බලමුකෝ! වැඩිය හොඳයිනෙ...”

තුන්කොන් ආදර කතාවක් වුණු මගෙ නවකතාවේ ප්‍රධාන චරිතය වුණේ නිසංසලාය.

මා නිසංසලා නම සොයා ගත්තේ, අසල්වැසි දියණියකගේ නමෙනි. එතකොට ඇය සිඟිති දැරියකි. ඒ දැරිය දැන් ‘සෙනුරි’ නම් වන දියණියකගේ මාතාවකි.
සෙනුරි නම රසිකයන් අතර ජනප්‍රිය වුණෙත් නවකතාවකිනි!

හරිම හුරතල් ඒ සෙනුරි දියණිය හිටියේ ප්‍රවීණ නවකතා කතුවර එඩ්වඩ් මල්ලවාරච්චි මහතාගේ ‘සෙනුරි’ කතන්දරේය. එතකොට පත්තරවල නවකතා කියවීමට පුරුදුවී හිටි කාගෙ-කාගේත් හිත්වල ඒ නම තදින්ම කාවැදී තිබිණි.

‘මාත් හරිම ජනප්‍රිය නවකතාකාරයෙක්ය’ කියලා, මං විහින්ම උඩ දාගෙන හිටි ‘තකතිරු නිදියාට’ එහෙම අමරණීය චරිතවත්; චරිතවල නම්වත් මවන්නට හැකියාවක් තිබ්බේ නැත. ඒකේ වපසරිය හරියටම කියනවා නම් මෙහෙමය...
‘එපා හිරු පායන්න’ කතාවේ ප්‍රධාන පිරිමි චරිත දෙකේ නම් අද මගේ මතකයේවත් නැත.
පරණ පත්තර ටිකවත් තිබ්බා නං... ඒවා අවුස්සා- පෙරළලා බලලා ඒ නම් විතරක් නොවේ, මීට වඩා විස්තර වුණත් ඔබට කියන්නට තිබිණ.

අපේ චිත්ත ශක්තිය එසේ-මෙසේ එකක් නොවේ. ඔබ යමක් ගැන නිතර- දැඩිව මෙනෙහි කරන්නේ නම්...

ඒ කෙරුවාවත් කරන්නට විදිහක් නැතිව ගියේය... වුණේ ඒ පත්තර ගොන්නට කෙළවුණු එකය!

මගෙ පරණ ලට්ට-ලොට්ට තියෙන ගොඩේ, ඒ ‘බිරිඳ’ පත්තර ගොන්න කාලයක් තිස්සෙම එහා-මෙහා වෙමින් හැංගි-හැංගී තිබුණේය.

‘මහ ලොකු නවකතාව.  දැන් නං ලජ්ජයි නේද යකෝ!’ ඒ පත්තර ගොන්න දකින වාරයක් ගණනේ, මගේම යටි හිත දිගින්- දිගටම මට කෝචෝක් කරමින් තිබුණේය.
අපේ චිත්ත ශක්තිය එසේ-මෙසේ එකක් නොවේ. ඔබ යමක් ගැන නිතර- දැඩිව මෙනෙහි කරන්නේ නම්; ප්‍රාර්ථනා කරන්නේ නම්, කුමන හෝ ක්‍රමයකින් එය ඉටු කෙරෙයි; සැබෑ වෙයි.
‘රයිකී’ පොතේ කියවුණු විශ්ව ජීවන ශක්තිය ගැන කියවුණු දහමට එය අදාළය. ඒ දහම සනාථ කරමින් වගේ, මගේම ලජ්ජාවට ප්‍රස්තුතය වුණු ඒ නවකතාව අච්චු ගහලා තිබුණු පත්තර ගොන්න වඩබා මුඛයට ගියේය; තනිවමත් නොවේ. ඒ කිට්ටුව තිබුණු තවත් පත්තර- පොත් ගොන්නක්ද එක්කලාය.

ඒවාට වැඩේ දීලා තිබ්බේ ‘කිට්ටු කර ගන්නට හොඳ නැතැයි කියවෙන තුන් ගොල්ලෙන් එක කට්ටිය’කි; වේයෝ!
ඉතිං, ආපහු ‘රස’ කන්තෝරුවේ මතක අස්සට යනවා නං...

“ඒත් නිමල් අයියේ, ඔයා තවම කතාවට නමක් දාලා නැහැනෙ. අදම නමක් දීලා ගියොත්, මට ලස්සනට කතාවේ නම ඇඳල දෙන්නත් පුළුවන්!”
“කීර්තිටම බැරිද නමක් යෝජනා කරන්න... ඔයාල ඉතිං එක්ස්පීරියන්ස් කට්ටියනෙ...” මගේ කීමේ වැරද්දක් නැති බව පෙන්නන්නට වගෙය, කීර්ති එතකොටම කිසිම ආයාසයකින් තොරව නමක් යෝජනා කළේ; තාලෙකට ගයමින්ම.
ඔහු තාලයට ගැයුවේ වික්ටර් රත්නායකයන්ගේ
ජනප්‍රිය ගීයක මුල් පේළියයි. ගීතයේ රචක කුමාරදාස සපුතන්ත්‍රී කලාකරුවායි.

“එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට... ඒක හොඳයි නේද? එපා හිරු පායන්න.”

“ඔය තියෙන්නේ...”
ඊට සති දෙහෙකට පස්සේ ඉඳලා ‘යුවති කිරිල්ලී’ ලියූ ජනප්‍රිය නවකතා කතුවර නිමල් දිසානායකගේ අලුත්ම නවකතාව- ‘එපා හිරු පායන්න’ බිරිඳ පත්තරේ කොටස් වශයෙන් පළ වීම පටන් ගත්තේය.

ටික දොහකින්ම- මගේ නමට, පත්තර කන්තෝරුවට ලියුම් කිහිපයකුත් ඇවිත් තිබුණේය. අනේ, කියන්නටත් ලජ්ජය. ඒවා අතිශය බොළඳ ලියුම්ය. හුඟක්ම ඒවා ප්‍රේම කතන්දරවලට ලියැවුණු පූර්විකාවන් වගෙය. වැඩියත්ම ලියලා තිබුණේ මැද පෙරදිග රැකියාවල නියුතු ලලනාවියන්ය. කතාව ගැන වැඩි විස්තර නොවේ, එයාලාට දැන ගන්නට උවමනාවී තිබුණේ. කතාව ලියන්නා ගැන විස්තරය!

දැන් අර ජෝඩුව හනිමූන් එකේ හිටියා ඇති නේද. උන් දෙන්නව Rest House එකෙන්...

ඔහොම මාසයක් විතර ගියේය.

“නිමල් අයියේ. දැන් අර ජෝඩුව හනිමූන් එකේ හිටියා ඇති නේද. උන් දෙන්නව Rest House එකෙන් එළියට ගනිමු.” තුන්වෙනි හෝ හතරවෙනි සතියේ කීර්ති මට යෝජනා කළේ පොල්ලෙන් ගහන tone එකකිනි.
ඇත්ත නේන්නං. පත්තරයකට ලියන කතාවක් නෙවෙයි වුණත් එහෙමය. එකම location එකක, එකම චරිත එක්ක කතාවක් කියවෙනකොට ඒ නිර්මාණය නීරස වෙන්නට ගනියි.

එදා කීර්ති එස් කුමාර සහෘදයා මට කෙලින්ම නොකිව්වේ ඒ ටික බව වැටහෙන්නේ දැන්ය. ලිපි- කතා රචනා කිරීමේ ශිල්පෝපක්‍රම ගැන සොයා බලද්දීය.

ශිල්පෝපක්‍රම = ශිල්ප + උපක්‍රම
දැන් මට නම් ඉතාම වැදගත් සංකල්පයකි. ලියන- කියන වෙලාවට විතරක් නොවේ; අපේ ජීවිතයේ හැම දෙයකදීම ඒක වැදගත්ය. සමහර උගතුන් නම් අලුත් දැනුමට බයය. මට එහෙම බයක් නැත. මේ කියන්නේ එහෙම දැනුමැති ආරංචි කීපයක අඩංගු
ශිල්පෝපක්‍රම, බතක් උයා ගැනිල්ලට වැදගත් වුණු විදිහ ගැනය.

කලින් මා පුරුදුවී හිටියේ බතක් උයද්දී වතුර උණු වෙන්නට තියලා හාල් ගරලා- සෝදා ගන්නටය; එහෙම කරගෙන, උතුරණ වතුරට හාල් එකතු කරන්නටය. බත පැහෙන විට ‘කැඳ’ පෙරා අයින් කරන්නට සිද්දවෙන තරමට- වැඩියෙන්ය, මේ නිදි බතට වතුර තිබ්බෙත්.

එහෙම කරමින් ඉන්න අතරේ දැන ගන්නට ලැබුණේ, හාල් සෝදා පැයක් විතර පෙඟෙන්නට හැර බත උයනවා නම් ගෑස් ඉතිරි වෙන බව. ඒ කෙරේමය කරන්නට ගත්තත් ‘අවශ්‍ය පමණටත් වඩා වැඩියෙන් බතට වතුර තියා කැඳ පෙරන වැඩේ’ තියෙන නාස්තිකාර; අරුත්සුන් බව මෝඩ මට කල්පනා නොවිණි.
මොළේ නැති අපේ පාලකයන්ටත්, ඒ පාලකයන්ගේ අදූරදර්ශී සැලසුම්වලටත් පින් සිදු වෙන්නට ගෑස් හිඟ වෙන්නටත්, මිළ ඉහළ නඟින්නටත් වුණාමය මටත්- තව ටිකක් ‘පටිය තද කර ගන්න’ට හැකි බව කල්පනා වුණේ.
අනවශ්‍ය කැඳ පෙරන පුරුද්දෙනුත් සිද්ද වෙන්නේ නාස්තියකි!

ඔය ටික කිව්වේ දෙමළ පත්තරේකින් කෙරුණු; කිසිම සිංහල පත්තරයකින් කෙරුණු වගට ආරංචියක්වත් නැති ශිල්පෝපක්‍රමයක් ගැන කියන්නට පූර්විකාවක් විදිහටය.

... සතියක තිනමුරුසු අලෙවිය 7,000කි. අවුරුදු තුනක් යනවිට එය දස ගුණයකින් ඉහළ ගොස් තිබිණි.

දෙමළ පත්තරය ‘තිනමුරුසු’ය!

බ්‍රෝමයිඩ් ක්‍රමයට පිටු හදා, offset ක්‍රමයට අච්චු ගැහෙන පත්තරයක් විදිහට මා මුලින්ම දැක්කේ තිනමුරුසු පත්තරයයි. පත්තර ගැදර් කරන නඩ, පත්තර බෙදා හැරෙන නඩ ගැන මා මුලින්ම දැනුවත් වුණෙත් ඒ හරහායි. ඒ පත්තරය අච්චු ගැහුණු මුද්‍රණාලයට මා සම්බන්ධ වෙද්දී සතියක තිනමුරුසු අලෙවිය 7,000කි. අවුරුදු තුනක් යනවිට එය දස ගුණයකින් ඉහළ ගොස් තිබිණි.

“නිමල් අයියා දැන ගන්නම ඕනි කරන මාර්කටින් කාරණයක් මෙයාලා ළඟ තියෙනවා. නේද ගෞතම්...” කියමින් මේ වැදගත් කාරණය මට කියා දුන්නේ උපාලි ලීලාරත්නයි. (උපාලි එතකොට ඒ press එකේ ප්‍රධාන කැමරා ශිල්පියාය. පසු කාලයක ගොඩගේ ආයතනයට සම්බන්ධ වුණේය. දෙමළ කෙටිකතා, නවකතා කිහිපයක්ම සිංහලයට නැඟුවේය. ඒ සාහිත මෙහෙවර දිගු කලක් කරන්නට මරුවා උපාලිට ඉඩ නොදුන්නේය. ඔබට නිවන් සුව උපාලි!)

“මොකක්ද ගෞතම් ඔච්චර වටිනා මාර්කටින් කාරණේ?”

එතකොට නාඹර තරුණයෙකුවූ ගෞතම් සිංහලෙන් කතාවට දක්ෂයෙකු වී හිටියේ නැත. එහෙත් අප කියන දේවල් තේරුම් ගන්නට නම් හපනෙකුව හිටියේය. “යේක උපාලි මාතියාගෙන්ම තමා ආගන්ඩ ඔඳ, නිමල් අයියා.”

“මේ ගොල්ලෝ හෙණ ගල් ආඳො නිමල් අයියේ. මෙයාලගේ දෙමළ පත්තරේ කඩවලට දාන්නෙත් කිරල- මැනලා. හෙණ ඩිමාන්ඩ් එකක් තියෙනවා වාගෙ මවල පෙන්නලා. කඩේකින් ඉල්ලන පත්තර ගණනට එකක් හරි අඩුවෙන් තමයි කඩේට දාන්නේ. එක සතියක හරි පත්තරයක් ඉතුරු වුණොත්, ඊට පස්සේ දෙන ගණන තවත් අඩු කරනවා!”

එහෙව් පාඩම් අපේ ජීවිතවලට එකතු වෙන්නේ හෙමිහිටය. විහින්ම පිම්බීගෙන ඉන්නා තාක් කල් අපට ඒවා ගැන මතක් වෙන්නෙවත් නැත.
නුවණ සොයා යන කෙනෙකුට පවා නුවණ ලැබෙන්නේ; ඥානය මුහුකුරා යන්නේ හෙමිහිටය. වර්ණවත් දැකුම්කලු සමනලයෙකු වෙන්නට නම් කැත දළඹුවෙකු ලෙසින් කෝෂයක සිරගතවී කලක් ගත කළ යුතුමය.

වර්ණවත් දැකුම්කලු සමනලයෙකු වෙන්නට නම් කැත දළඹුවෙකු ලෙසින් කෝෂයක සිරගතවී...

අනේ, එදා කීර්ති එස් කුමාර සහෘදයා දුන් උපදෙස් මා එතරම් නොතැකූ තරම්ය!

මනුස්ස හිත පුදුමාකාරය.
අප බලාපොරොත්තු ඇති කර ගන්නේ තාර්කිකව සිතා-මතා; කිරා-බලා නොවේ. එහෙව් බලාපොරොත්තුවක් පවා ඉටු වුණාට පස්සේ ඉක්මනින්ම එහෙම අපේක්ෂාවක් තිබුණාද කියන එකත් (මට නම්) අමතක වෙලා යයි! බලාපොරොත්තුව ඉටු වීමේ සතුටට වුණත් වෙන්නේ ඒ සංතෑසියමය. ඔයාලට කොහොමද මංදා, මට නම් එහෙමය.

පත්තරයක නම පළ වෙනවාට කැමැත්තෙන් ලියන්නට පටන් ගන්නා තරුණ ආධුනිකයන් ගොඩක් දෙනාගේ හැඟීමත් ඒ වගේද? එහෙම වෙන්නැති. ජාවත්තේ රස ප්‍රකාශන මන්දිරයේදී, චන්දි කොඩිකාර කතුතුමිය ‘මුළු කතාවම ලියාගෙන එන්න’ යැයි මට කියුවෙත්, ඒ දැනීම අත්දැකීම්වලින්ම සාක්ෂාත් කරගෙන සිටි බැවින් විය යුතුය.

අනෙක් අතට ඒ කාලයේ, එවැනි ආධුනික ලේඛක-ලේඛිකාවනට සිදු වුණේ අතින් කාගෙන හරක් බලන්නටය. (දැන් කොහොමදැයි මට දැනීමක් නැත.) එයාලට කිසිදු ගෙවීමක් කෙරුණේ නැත. එදා මාවත් අයිති වුණේ ඒ ගොඩටමය!
ඒ කාලේ ලියන කඩදාසි මිල අඩුය; බස් ගාස්තුත් අඩුය. ඒ නිසාවෙනි- කිසිදු ගෙවීමක් නොකෙරුණා වුණත්, මං වහන්සේ පවා නොනවත්වා ‘එපා හිරු පායන්න’ ලියාගෙන රස කාර්යාලයට අරගෙන ගියේ.

ඒ ගිය හැම විටෙකම- කලින් සතියේ පළ වුණු ‘බිරිඳ’ පත්තරයේ පිටපතක් නම් නොමිලයේම මට ලැබුණු බවත් අමතක නොකොට කිව යුතුය.

එකල පත්තර පිටු සැකසුණේ මුල්ම කාලේ වගේ අකුරු අමුණමින් නොවේ. අද කාලේ වගේ පරිගණකයෙන් පිටු හරි ගස්සලාත් නොවේ. අතින් ලියවෙන ලිපි අවශ්‍ය පරිදි කොලම්ස් වශයෙන්, ටයිප් සෙටින් කොට කොම්පියුටරයෙන් ලබා ගන්නා print outs තීරු කපා; අලවා පිටු සකස් කිරීමෙනි. ඒ (බ්‍රෝමයිඩ්) ක්‍රමයට තීරු ඇලවීමේදී, මගේ නවකතාවේ කොටස් කිහිපයකම තැන් මාරු වෙලා තිබිණි.

මහමෙරක් බඳු ඉලක්කයක්ව තිබුණු දෙයක්...

පිටු සකස් කෙරෙන වෙලාවේ තිබුණු කලබලය නිසා ඒ වැරදි වෙන්නට ඇත.                 

හැබැයි, එහෙම දේවල්වලින් මගේ හිත නම් හොඳටම බිඳුණේය; රිදුණේය. ඒත් ඒ විත්තිය එළිපිටම කියන්නේ අදය!

සේරෝටමත් වඩා මට පුදුම හිතෙන දේකුත් තිබ්බේය.
හැම සතියකම වගේ පත්තරයේ පළ වෙන මගේ කතාව ගැන කියලා, ලියුම් දෙක තුනක්වත් ලැබෙමින් තිබිණි. එවැනි හැම ලියුමකම තිබුණේ මගේ තොරතුරු ගැන විමසීම්ය. ඒ එකම ලියුමකවත්, අර විදිහේ වැරදීම් ගැන වචනයක්වත් සඳහන් කරලා තිබ්බේ නැත!

ලේඛකයෙකු කරන නිර්මාණයකට වඩා වටින්නේ ලේඛකයාද?

ඔහොම විජ්ජුම්බර ගොඩක් මැද්දේ වුණත්, මගේ අතින් ‘එපා හිරු පායන්න’ අවසන් කොටස දක්වාම ලියැවිණි. මහමෙරක් බඳු ඉලක්කයක්ව තිබුණු දෙයක්, අසාර්ථක කර්තව්‍යයක් ලෙසින් නිමාවට පත් කරලාය, මේ නිමලයා පස්ස බැලුවේ.

නිමල් දිසානායකගේ ජීවිතයට අතිශයින්ම වැදගත් දැනුම් සම්භාරයක් ඒ සමයේ ලද අත්දැකීම්වලින් නිතැතින් එකතු වුණු බව නම් හංගන්නේ නැතිවම; ස්තුති පූර්වකවම කිව යුතුය.

ඒ සමහර දැනුමකින් 'දේවල් නිවැරදිව කරන්නේ කෙසේදැ'යි මම උගත්තෙමි / සමහරකින් උගත්තේ 'සමහර දේවල් නොකළ යුත්තේ කෙසේද' කියලාය෴0෴

31 comments:

  1. ඩීමන් ආනන්දගේ සිට මල් පත්තර දක්වා සියල්ල අනන්ත දෝෂ දර්ශනයට ලක් වුවත් ආධුනිකයින්ට ඉන් සැලසෙන සේවයක් තිබෙන බව හා එය මුල් පියවර සේ ගෙන ඉහලට නගින බව පැහැදිළිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Litseeker, සරලකමෙත් ගැඹුරක් තියෙන බව ගොඩ දෙනෙකුට පෙනෙන්නෙ නෑනෙ... ඒකයි ඔය!

      Delete
  2. පරණ බිරිඳ පත්තර ටික ජාතික ලේඛනාගාරයේ ආරක්ෂාවෙලා ඇති නේද? අපේ වැටමාර තුමාගේ අනුග්‍රහය ඉල්ලාගෙන හොයාගන්නට බලමු. ඒකත් මේ බ්ලොග් එකේ යුවති කිරිල්ලී වාගේ කොටස් වශයෙන් දාමු..

    ReplyDelete
    Replies
    1. ඒවා එහෙමම තිබිච්චාවේ අසංග. ඇත්තටම ඒ කතාව විතරක් නෙවෙයි, තව නිර්මාණ දෙකක් ගැන මම තැවෙනවා.

      Delete
  3. අපි මුණ ගැහුණ වෙලාවක අත්සන් කරපු ඔයාගේ පොතක් මට ඕනේ

    ReplyDelete
    Replies
    1. පොත නං දෙන්ඩ බැරිය... අත්සන තමයි වැඩේ....

      Delete
  4. කතෲන් වගේම නළු නිලියන්ගෙත් රඟපෑමවලට වඩා පුද්ගලික ජීවිත ගැන ඉන්ටරෙස්ටඩ් රසිකයින් ඉන්නෙ.
    මටනම් නලුනිලියන් ක්‍රීඩකයින් පුද්ගලිකව මුණ ගැහෙන්නවගේ දේවලට ආසාවක් නෑ ක්ෂේත්‍රය ගැන අහන්න ඇරෙන්න.
    ඒ අයගේ පර්ෆෝමන්ස් ඇරෙන්න ඔවුන් වීරයින් වගේ ආදරයක් හිතෙන්නෙ නැති නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මමත් ආදරය කරන චරිත හැබෑ ජීවිතේදී හමු වෙනවට ටිකක් බයයි. මොකද Pra Jay, එහෙම හමු වුණාම තමයි දැනෙන්නේ එයාලගේ අඩුපාඩු.

      Delete
  5. හුම්... තාරකාගෙ උපන්දිනෙත් ඊයේ නේ තිබුණේ

    ReplyDelete
    Replies
    1. නමියෝ, තමුන්නැහේ සිරි කහවල මහත්තයාගේ රාජකාරිය බාරගෙනද ඉන්නේ?

      Delete
  6. සමනල-දළඹු කතාව එක්ක මට මේ කවිය මතක් උනා-
    ලස්සන ළඟ කවියෙකි ගොළු වන්නේ
    ලස්සන ළඟදියි කඳුළුත් එන්නේ
    ලස්සන ගැන මොන මිනිහද දන්නේ
    ලස්සන තද රිදුමෙනි බිහි වන්නේ
    (- විමලරත්න කුමාරගමගේ)

    ReplyDelete
    Replies
    1. නියම කවිය නමී, උපුටන්න තරමට මතක තියාගෙන හිටියට පින්.

      Delete
    2. මගෙ මතකෙ ගැන දන්නව නෙ ඔහෙ... 😂😂
      මේ කයිය save කරන් හිටියෙ

      Delete
  7. මමත් පොඩිකාලේ බිරිද පත්තරේ බැලුව. කතාව නම් මතක් වෙන්නේ නෑ ..

    ReplyDelete
    Replies
    1. ඒවා ඒ ඒ වෙලාවේ කියවීමට විතරයිනේ ලලිත්. Light reading කියන්නේ ඒවාටද මන්දා...

      Delete
  8. මේක පෙරේදා දැක්කා
    ඊයෙ කියවලා ඉවරයි
    කමෙන්ට් කරන්නේ අද වේ
    පරමාදෙට සමා වෙන්න

    වැඩ කප්පරකට යටවී
    ඉස්පාසුව බොහොම අඩුයි
    ඔය කතාව කියවන්නට
    ආසා ඇත බොහොම තදින්

    ReplyDelete
    Replies
    1. එහෙනම් හෙට දිහාට බොට reply හම්බුවෙයි

      Delete
    2. ඔව්වොව්... මුන්දැ හැමදාම දහසක් බුදුං පාන්දර කමෙන්ට් රිප්ලයි කරන්නෙ... ඊට පස්සෙ පැත්ත පළාතෙ එන්නෑ, ඊළඟ දවසෙ දහසක් බුදුං පාන්දර වෙනකං.

      Delete
    3. අනේ ආයුබොවන්ලා සමාවෙලා ඉවසන්ඩ ඕනි. මම පුරුද්ද්දක් විදිහට තියාගෙන ඉන්නේ උදෙන්ම commentවලට උත්තර දීලා, blog සගයන්ගේ අඩවිවලට ගිහිල්ලා ඉවර වෙල news බලන එක. ඊට පස්සේ ආයෙ පහුවද උදේට තමා බොහෝ විට ඒ තැන්වලට යැවෙන්නේ.
      එහෙම වෙලාව ඉතිරි කර ගන්නේ නැතිව කොහොමෙයි, මගෙ ලිපි ලියන්නේ, ඒවාට කරුණු මතු කර ගන්නේ?

      ඒ අතරේ නාන උයන-පිහන ෆිල්ම්ස් බලන වැඩත් කර ගන්න එපයි!

      Delete
    4. මං කිව්ව, මං කිව්ව... මේ ඩ්‍රැකියට. කොහෙද මේක කනකට ගන්න එකක් ඈ

      Delete
    5. මොකක්ද 'කනක'ට ගන්නේ? දැන් කනක හරි ගණන්! පවුමක් කීයද මන්දා....

      Delete
  9. ඒ කාලෙ අර්නස්ට් වඩුගේ නම ඇහෙනකොට මතක් වෙන්නෙ,
    https://www.youtube.com/watch?v=XwXqnmwL2QQ&list=PL470E71D638E86202

    ReplyDelete
    Replies
    1. මේ යක්ෂ ඩ්‍රැකී දැන දැනම මාව අමාරුවේ දාන්න හදන හැටි. Pra Jay මහත්තයෝ, මේකට නඩුවක් දාන්න බැරිද? හැබැයි පස්සේ නීතිපැති මහත්තයට ඉල්ලා අස්කර ගන්න බැරිවෙන විදිහට.

      Delete
  10. මගේ මිත්‍රයෙක්ගේ නිවස අසල (මහරගම) ගරා වැටුන විසාල නිවසක ඇත, එහි අර්නස්ට් වඩුගේ මහතා තනිව වාසය කරන බව මිත්‍රයා කිවා
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. අනේ විජේබාහු මහත්තයෝ, දැන් තත්ත්වය නම් කියන්න දන්නේ නෑ. ජාවත්තේ රස නිවස, වත්තේගෙදර පාරේ කාර්යාලය දෙකම බොහොම කලඑළිය තිබුණු තැන්. අවුරුදු විස්සකට විතර ඉස්සෙල්ලා පොත් වගයක් බාර දීලා, වද්ගේ මහාතාගෙන් මුදල් ගැනීමට මං එතුමාගේ නිවසට ගියා. ඒකත් මන්දිරයක්. ඒ විදිහ මතක් වෙද්දී ඔබතුමාගේ මිත්‍රයා යමක් පටලවාගෙනද කියලත් හිතෙනවා.
      යාළුවා කිව්වේ අපේ ගෙදර ගැනද මන්දා.92 ගෙදර පදිංචියට ආව ගමන් තමා තවම තියෙන්නේ, ගරා වැටෙද්දීත්....

      Delete
  11. https://www.youtube.com/watch?v=uJTNdVBPo0s&t=17s

    මෙන්න මේක සුපිරියි ඈ...

    ReplyDelete
    Replies
    1. නඩුවක් නං නොදාම බෑ. විනාඩි 25ක්.... හිටහන් ඩ්‍රැකියෝ, ඔන්න කරුණු හොයන්න ගත්තා...

      Delete
  12. නිමල් අංකල් ලස්සනට ලියල තියෙනවා ඇත්තද ඔය සිරසේ නදී වාසලමුදලි අක්කි (අපට වඩා ගොඩාක් වැඩිමල්) කියන්නේ තාරකා අක්කිගේ සහෝදරියක් කියලා කියන්නේ? ඇත්තටම ඒ දෙන්න සහෝදරියන් ද?

    තව දෙයක් තමයි නිමල් අංකල් අපේ ගම් පළාතේ රයිගම් කෝරලයේ බණ්ඩාරගම උපන්
    හාස්‍ය මුසු දෙපිටකාට්ටු චරිත වලින් ප්‍රේක්ෂකයා මුසපත් කල විනී වෙත්තසිංහ අංකල් ගැන නිමල් අංකල් දන්නවා ඇතිනේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෙකු වූ ගම පිළිබඳ මහත් අභිරුචියෙන්, එසේම ඉහළින්ම කතා කරන විනී අංකල් “අපි රයිගම් කෝරළයේ මිනිස්සු” කියුවේ මහත් අභිමානයෙනි. විනී අංකල් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු සැබෑම සිංහල ගුරු මහත්තයෙකි. විදුහල් රැසක දුවා දරුවන් සිය දහස් ගණනකට අකුරු කියා දුන් ඔහු විෂයයක් ලෙස දරුවනට ඉගැන්වූයේ සමාජ අධ්‍යයනය විෂයයි. ඒ විෂය ඉගැන්වීමට ඔහු සියල්ල දැන සිටි ගුරු මහතෙක් විය. නමුත් විෂයයට පමණක් සීමා නොවු විනී අංකල් දරුවන්ට ‘ලෝකය කියා දුන්නේ’ ගුරුවරයෙකුගෙන් ඉටුවිය යුතු යුතුකම මැනවින් ඉටුකරමිනි.

    විනී අංකල්ට රංගන ශිල්පියකු ලෙස අලුතෙන් රංගනය ඉගෙන ගැනීමට අවශ්‍ය නොවීය.රංගනයට අමතරව විනී දක්ෂ අංගරචනා ශිල්පියෙක් විය. ඔහු ඉපදුනේම රංගනය සඳහාය. ගැමි ජීවිතයේ අපූර්වත්වය ඔහු රඟපෑ “භූමිකා” ඔස්සේ මැනවින් නිරූපනය විය. සරත් කුලාංග අංකල්ගේ ‘මිදිවැල’ වේදිකා නාට්‍යයෙන් ආරම්භ කළ රංගන චාරිකාව ජනක් පේ‍්‍රමලාල්ගේ ‘රාජකපුරු’, ‘අබුද්දස්ස කෝලම’ හරහාද එච්. ඩී. පේ‍්‍රමරත්නගේ ‘සෙයිලම’ චිත්‍රපටය හරහාද නාලන් මෙන්ඩිස්ගේ ‘දූ දරුවෝ’, ‘නෑදෑයෝ’ දයාරත්න රටගෙදරගේ ‘බෝගල සවුන්දිරිස්’ ,වෛරෝඩිය කෙටිකතා ටෙලිනාට්‍යය මාලාව හරහාද ගලා ගියේය. මීට අමතරව ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ" සැමී ගේ කතාව " චිත්‍රපටය හරහාද ඔහු මතක හිටින රඟපෑමක නිරත වෙයි...

    ඔහුගේ රංගන දිවියේ සුවිශේෂීම චරිතය ලෙස මා දකින්නේ මේ දිනවල නැවත විකාශය වන අප ඉතා කුඩා කාලයේ ජනප්‍රිය ටෙලියක් වූ බෝගල සවුන්දිරිස් ටෙලිනාට්‍යයේ "පාන්තියා" ගේ චරිතයයි..

    අපටත් මහත් ආදර්ශයක් වූ විනී වෙත්තසිංහ වැනි කලාකරුවන් කලාවෙන් හරිහම්බ කරගත් දෙයක් නැත. ඔවුන් සැමදාම නියෝජනය කෙළේ අපේ මවු රටේ පෑගෙන පංතියයි. අගහිඟකම් රැසක් තිබුණත් විනී අංකලීලා සැමදා ජීවත්වුණේ සතුටෙනි. හිතේ ප්‍රීතියෙනි. ඒ ඔහු නිර්ව්‍යාජ ගැමියෙක් වූ නිසාය.

    මෙම සුවිශේෂී රංගන ශිල්පියා 2011 වසරේ දිවි ගමනට සමුදෙන විට 51 වන වියේ පසුවුණා... දර්ශන් මෙන්ම අඩු වයසින් අප හැර ගිය ඔහුගේ සමුගැනීම අදටත් අපසිත එකසේ පාරවයි ඔහුට නිවන් සුව පතමි...

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම දිගු comment එක වෙනුවෙන් ඔයාට ස්තුතියි. දෙවනුව මට අමතක වෙලාම තිබුණු රසවත් වැඩක් මතක් කෙරෙව්වාට ස්තුතියි!

      තාරකා, නදී දෙන්නා සොහොයුරියෝ. නදීව හඳුනා ගන්නත් ඉඩ ලැබුනා විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉනිමංකඩ මහතා හරහා. ඒ නදීගේ ආකාස පර්වත, වුල්ෆන්ඩාල් වීඩිය පොත් දෙකේ සෝදුපත් බලද්දී.

      විනී වෙත්තසිංහ, සරත් කුලාංග, වගේ කලා ශිල්පීන් ගමෙන් පැමිණි- ගමෙකමෙන් ඔප වැටුණු උදවිය. ලොකුම දේ ඔවුන් තුලින් වැහුණු අව්‍යාජකම හා සතුට වගෙයි මම දකින්නේ. මටත් වාසනාව ලැබුනා ඔවුන් හා ගුවන් විදුලි වැඩ සටහනකදී හාස්‍යමය ලෙස තරග වදින්න. ඒ chance එක ලැබුණේ සුමිතුරු උදේනි දිසානායක හරහා. ඒ චැනල් එකවත්, වැඩ සටහනවත් මට මතක නැහැ. කොල්ලුපිටිය පැත්තෙ තිබුනේ රෙකෝඩින් room එක..

      ඒ ඩබල එක පිලක. උදේනිත් මාත් විරුද්ධ පිලේ. ඒ ගතවුණු වෙලාව හරිම ආනන්දනීය හිනාව පිරුණු එකක්!

      Delete
  13. මටත් උනේ අල කොමාට වෙච්ච දේම තමයි. දැන් දවස් දෙකකට කලින් මේක දැක්කත් ඔන්න අද තමයි කියැව්වෙ.

    මං හිතන්නෙ නිමල් අයිය ලිවුවට වැඩිය හොඳට බ්‍රොමයිඩ් කාරයො කතාව මොඩිෆයි කරල වගේ. ඒකයි කතෘ ගැන විස්තර අහල කෙල්ලො ලියුං එවන්න ඇත්තෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. බ්‍රෝමයිඩ් කාලේ පත්තර ගහන අච්චු කන්තෝරුවල තිබ්බ යුද්ධයක්... ඒවා ගැන වෙනම ලියවෙයි.... කොයි කපේද මන්දා... ප්‍රසෝ!
      අච්චු කන්තෝරු වැඩ තමුන්නාන්සේත් හින්දා තේරෙනවා ඇතිනෙ... කොහොමද කොලම්ස්වලට කොම්පෝස් කරලා පිටු බැඳලා මැටර් එක හදද්දී තැන් මාරු වුණොත්?

      Delete