අකුරු මැකී නෑ

Tuesday, March 21, 2023

තිස් එකේදී... -පස්වෙනි කොටස

කෝපි mug එක ඩැඩාට ගෙනිච්චේ අම්මාමය.
පැය බාගයකට විතර පස්සේ, ඩැඩා පිජාමාව පිටින්ම තරප්පු පෙළ පහළට බැසගෙන ආවේ පිම්මේය!

ඒ වෙලාවේ ඩැඩාගේ මුහුණ ඔප කරමින් තිබුණු තෘප්තිමත් හිනාව මට තවමත් මතකය.

“Thank God! අඩුම ගණනේ මාස හයක්වත් මට ඕනි කරන කොලිටියටම මගෙ කෝපි එක හම්බ වෙන්නයි යන්නෙ! ස්තුතියි නිමොල්! ලීලා මට දැනුයි කිව්වේ, මේ කෝපි එක හැදුවේ උඹයි කියලා. ප්ලීස්, උඹට පුළුවන්ද මට තව coffee එකක් හදන්න?”

ඒ සතුට; ඒ ආඩම්බරය මට ලබාදුන් නිදිගෙ පංච තන්තරේට ළබැඳි පාඨක රසික- රසිකාවියනි, ඔබ හැමටම ගොඩාරියක් ස්තුතියි!

ඩැඩා එහෙමය. පොඩි දෙයකිනුත් ඉහළින්ම සතුටට පත් වෙයි.

එහෙම වෙන්නට ඇත්තේ එතකොට අපේ ඩැඩා වයසට ගිහිං හිටි නිසාවත්ද? එතකොට ඩැඩාට හැට පැනලාය. එහෙම වියපත් වෙද්දී බොහෝ මිනිස්සු පරිණත තත්ත්වයට පත් වෙති.
ඒත් හැට නෙවෙයි එකසිය හැට පැන්නත් මේ රටේ සමහරුන් නම් පරිණත වෙන පාටක් නැත; තණ්හාව අඩු වෙන පාටක් නැත; ජීවිතයෙන් පාඩම් ඉගෙන ගන්නා පාටකුත් නැත. විශේෂයෙන් මේ කොදෙව්වේ... එහෙම වෙන්නේ ඇයි?

මේ බ්ලොගය ලියන්නට පටන් ගත්තාට පස්සේ, මං වහන්සේ නම් කලින්ටත් වඩා හිතන්නට; විමසන්නට; විග්‍රහ කරන්නට පුරුදු වුණු බව මට වැටහෙයි. මං එහෙම කරන්නට පටන් ගෙන දැන් අවුරුදු පහකි.

එහෙම වහෙන් ඔරෝ බාසාවෙන් කිව්වේ ‘නිදිගෙ පංච තන්තරේ’ blog එකටත් අවුරුදු පහක් පිරෙනවා කියන විත්තියයි. 2018 අප්‍රේල් පළමු වෙනිදාය, මේ blog අඩවියේ පළමු posts පහ publish කෙරුණේ.
එදා; මෝඩයාගේ දවසේ පටන් ගත්ත වැඩේ, නුවණැත්තන්ටත් අල්ලලා ගිය බවයි- මට හැඟෙන්නේ. එහෙම හිතෙන්නේ මේ පෝස්ටුව ලියැවෙන 2023 මාර්තු 21 වෙනිදා වනවිට මේ බ්ලොගයේ Hit Counter එක 2,44,402 ඉලක්කමට සේන්දු වී තියෙන නිසාය!

ඇත්තෙන්ම මට ඒ ගැන සතුටුය; හීනියට ආඩම්බරය.
ඒ සතුට; ඒ ආඩම්බරය මට ලබාදුන් ‘නිදිගෙ පංච තන්තරේ’ට ළබැඳි පාඨක රසික- රසිකාවියනි, ඔබ හැමටම ගොඩාක් පිං! ගොඩාරියක් ස්තුතියි!!

(නිමල් දිසානායකයෝ, මෙහෙම වැඩක් දිගටම කරගෙන ආවාට හා තව දුරටත් කරගෙන යනවාට නසරානි තමුන්නැහෙටත් තමුන්ම ස්තුති කර ගත්තාට කමක් නැත!)  

පසුගිය කොටස කියවූ නමී හා Lotus දෙන්නාම ‘කිරි ගහට ඇන්නා වාගේ’ ඊළඟට ලියවෙන දේ අනුමාන කර තිබිණි.
එහෙම comments දකිනකොට මගෙ නැණැස පෑදෙයි. මෙවන් posts ලිවීමේදී; සත්‍යයම ලිවීමේදී මා කොතරම් අවධානයකින් ඒ රාජකාරිය කළ යුතුද කියලා එවන් ප්‍රතිචාර මට පෙන්නා දෙයි. 
තම කාලය හා මුදල් වැය කරමින් මේ ලිපි නොකඩවා; නිබඳව කියවන එබඳු පාඨකයන් එකතු කර ගන්නේ ‘මා ගැන නිකම්ම- නිකම් තොරතුරු’ විතරක් නොවේ. ඒ ඒ සිදුවීම්වලට සම්බන්ධ වන්නන්ගේ හා නිදිගේ චරිත ස්වභාව හා චින්තන රටා ගැනත් ඒ බුද්ධිමත් පාඨකයෝ දැන ගනිති! ඒ කාල වකවනුවේ- පසුබිම් වෙන ස්ථානයේ- තොරතුරුත් හිතාදර පාඨක ඔවුහු උකහා ගනිති.

ඒ මා කරුණු තේරුම් ගන්නා ආකාරයයි. ඒ අවබෝධය මට කියන්නේ මා වඩාත් කැපවීමෙන් ලියන දේ ලිවිය යුතු බවයි!
වෙහෙසවී, මතකය අවුස්සා කරුණු ගොනු කළ යුතු බවයි!!
මං වහන්සේ මේ කරන්නේ ඒ job එකය. හැකි උපරිමයෙන් වෙහෙසී මේ 572 වෙනි පෝස්ටුවත් ලියන එකය!!!

මෙයා යුද්ධ කාලේ ලංකාවෙත් රාජකාරි කළයි කියනව නේද?
ඔන්න එහෙනං දැන්, ආපහු පීල්ලට වැටිලා... අපේ ඩැඩා ගැන කියන්නට හැදූ අපූරු විස්තරය ඔබට ලියන්නෙමි.

එයා 100%ක්ම බ්‍රිටිෂ්ය. හැම දෙයක්ම වාගේ නීතියටය; පිළිවෙලටය. ඒ සමහර දේවල් නං ටිකක් විතර ඕනෑවට වඩා වැඩිත් වගෙය; විකාරත් වගෙය.

අපි එහාට ගිහිං පළමුවෙනි දවස් දෙක තුන ඇතුළතය, මේ කියන වැඩේ සිද්ද වුණේ.

TV එකේ හොඳ වැඩ සටහනක් යද්දී, බත් පිඟානත් අරගෙන සාලයට ගිය මං වහන්සේ පුටුවකට බර දුන්නේ, එය නරඹන්නටය. එතකොටත් අනිල් මල්ලී එතැනම බිම වාඩිවී රූපවාහිනිය බලමින් සිටියේය.
අතරමඟ වෙළෙඳ දැන්වීම් යන අතරේ කුස්සියට ගිය අන්නා, වතුර කෝප්පයක් ගෙනවිත් මගේ ළඟින් තිබ්බේය. (මොන වැරදි තිබුණත් අන්නා මැරෙන තුරුමත් මට ගෞරව කළේ එවන් දේවල් කරමිනි.) එතකොට ඩැඩාගේ ඇස් දෙක උඩ යනවා දැක්කත්, ඒ ඇයිදැයි මට වැටහුණේ නැත.
ඊළඟ මොහොතෙම ඩැඩා නැඟිට්ටේය. මගේ ළඟට ඇවිත්, අර වතුර කෝප්පයත් උස්සාගෙන කුස්සියට ගියේය. වතුර වීදුරුවක් අරං ඇවිත් මගෙ ළඟින් තියලා, මොනවාදෝ මුමුණමින් උඩ තට්ටුවට නැංගේය.

“ඩැඩාට පෙන්නන්න බෑ කෝප්පෙකින් වතුර බොනවා. වතුර බොන්න ඕනි වීදුරුවකින්. කෝප්ප තියෙන්නේ තේ කෝපි වගේ ඒවා බොනකොට ගන්නලු.” එතැනම හිටි අම්මා පූර්වාපර සන්ධි ගලපමින් අපට කිව්වාය. “සුද්දො අපි වගේ නෙවෙයිනෙ, අනිල්...”

තවත් දවසක, මං පැන්සලක් උල් කරන්නට ගත්තා විතරය. ඩැඩා භ්‍රාන්ත වුණේය; ඒ බිරාන්ත වීම මාවත් බය කරන තරමේ එකකි.
“වීසි කරපං, වීසි කරපං. Throw it away! අහකට වීසි කරපං නිමොල්!”
ඩැඩා කියන්නේ මොකක්දැයි විපිළිසරවී බලා ඉඳිද්දී, ඒ මනුස්සයාම මගේ ළඟට ආවේය. බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ රාජකාරී කරන්නෙකු තරම් සීරුවෙන් මගේ අතේ තිබුණු බ්ලේඩ් තලය අල්ලා ඉවතට ගත්තේය.

“උඹ දන්නවද මේක කොච්චර ඩේන්ජරස්ද කියල. Use a pencil sharpener. වැඩක් කරනකොට හරියටම ඒකට ගැලපෙන tool එක ගන්න පුරුදු වෙයං, නිමොල්.” කියා කීවේය. බ්ලේඩ් තලය ඉතා පරෙස්සමින් අල්ලාගෙන ගිහිං dust bin එකට දමලා, එයාම පැන්සල් කටර් එකකුත් හොයා ගෙනවිත් මට දුන්නේය.

එහෙම වෙලාවට අපේ අන්නාට නං මළ පනියි.
“මෙයා යුද්ධ කාලේ ලංකාවෙත් රාජකාරි කළයි කියනව නේද, අම්මෙ? පුදුමයි, මෙයාට හාර්ට් ඇටැක් එකක් හැදුන්නැති එක අපේ මිනිස්සුන්ගෙ වැඩ දැකලා.” සමහර වෙලාවට අන්නා කටුක විග්‍රහයනුත් කරයි.
“මේ අනිල්, ඒ මනුස්සයට සිංහල බැරි වුණාට මොකද- අපි කියන විදිහෙන්
හොඳට තේරුම් ගන්නවා අපි මොනවද කතා වෙන්නේ කියලා.” අම්මා අනතුරු ඇඟෙව්වත්, අනිලා ඒවා කණකට ගත්තේ නැත; Don’t care ලීලාව හැංගුවෙත් නැත.

ඒවායේ අවසන් ප්‍රතිඵලය වගේ මට පෙනුණේ, ‘ඩැඩාගේ සිතේ අන්නා කෙරෙහි සියුම් නොරිස්සීමක් හට ගැනීම’ය!

පිරිමි ප්‍රධානයා වශයෙන් තමන්ට තිබුණු තත්ත්වය අහිමි වෙතැයි...

“ඩැඩා දීපාල් එක්ක වුණත් ටිකක් ඉරිසියාවකින්ද මන්ද රංජි, ඉන්නේ. ඔයා දන්නවනෙ මල්ලගේ හැටි. මොන වැඩකදී වුණත් ඌ ඉස්සරහට පැනල පණ්ඩිතය වගේ මැදිහත් වෙනවට ඩැඩා කැමති නෑ. දැන් අනිලුත් ආවට පස්සේ ඩැඩාගේ ඒ ගතිය තවත් ටිකක් වැඩිවෙලා වගෙයි, රංජි. හැබැයි, ඔයා එක්ක එයාට එහෙම කෝන්තරයක් නැති එකනෙ පුදුමෙ.”

අම්මාගේ කතාවෙන් මට තේරුම් ගියේ එකකි.

‘පවුලේ ගෘහ මූලික පිරිමි ප්‍රධානයා වශයෙන් තමන්ට තිබුණු තත්ත්වය අහිමි වෙතැයි’ ඩැඩා කලබල වී ඇත. ඒ වෙද්දී මල්ලියාගේත් කරදඬු උස්-මහත් වෙමින්ය තිබ්බේ. ඒකාත් අන්නා වගේම Mr. Handsome කෙනෙකු වෙන බවයි, පහළවී තිබ්බේ.
ඉතිං, ඩැඩාට අරහෙම චකිතයක් ඇතිවීමත් පුදුමයක් නොවේ. ඊටත් ඒ දෙන්නාම දිසානායකලාය. Schroederලාත් නෙවෙයිනෙ.

නොදන්නා කෙනෙකු වුණත්, එයාගේ නම ලියද්දී ‘ශ්‍රෝඩර් එකේ c අකුරවත් අඩුකොට ලියනවා දකින්න’ට ඩැඩා කැමති වුණේ නැත! එයා ඒ තරම් මමත්වයක් තිබුණු කෙනෙකි!!     

“අම්ම ඔන්නොහෙ සද්ද නැතිව ඉන්න. හැබැයි, අනිල්ට කියන්න ඒ මනුස්සයට ටිකක් ගරුසරුව සලකන්නයි කියලා.”
“අන්නා එහෙම කරනවනේ, ඉතිං.”

“අම්මෙ, මහ ලොකු දේවල් නෙවෙයි කරන්න ඕනේ. සමහර පුංචි දේවල් මිනිස්සුන්ට ලොකුවට දැනෙන වෙලාවල් තියෙනවා.
දැන් අනිල් සිගරැට් බොනවයි කියලා අපි හැමෝම දන්නවනෙ. ඒත්, අන්නා තවම නං කොයිම වෙලාවකවත් මගෙ ඉස්සරහ සිගරට් එකක් පත්තු කර ගන්නෙ නෑ.
හැබැයි, මමම දැකල තියෙනවා- අනිල් ඩැඩා ඉස්සරහදි සිගරැට් උරනවා... ඩැඩා ඔව්වා notice කරගෙනයි ඇත්තේ. එහෙම වෙලාවට එයාටත් දැනෙනව ඇතිනේ...”

අපේ අම්මා එහෙම දේවල් තකන්නියක් නොවේ. “ඊඩිපස් සංකීර්ණය කියල දෙයක් තියෙනව අම්මෙ. ඒකෙත් තිබ්බ වගෙයි මට මතක ‘පුත්තු ලොකු මහත් වෙලා එනකොට තාත්තලගේ හිත රිදෙන’ කතන්දරයකුත්”.

ඔහොම ඉන්න අතරේය, හදිසියේම ‘රෝයි අංකල්’ එහාට කඩා පාත් වුණේ. තනිවමත් නොවේ. සුමිත්‍රා ආන්ටිත් එක්කමය.

රෝයි අංකල් තැනකට ආවාම, සේනාංකයක්ම ආවා වගේය. එතැන පිරෙයි; ජීවයෙන් උතුරා යන්නට වෙයි.
ඒ තරමටම රෝයි අංකල්ගේ කට සද්දය- හැසිරීම කලබලය.
“ඔන්න සැසිල් අපි ආවා! උඹ කී පාරක් මට ෆෝන් කර කර ඇහුවද උඹේ Step Sonsලව බලන්න එන්නැද්ද කියලා. දැන් ඉතිං එයාලව අපිට ඉන්ට්‍රඩියුස් කරලා දියං.”

එතකොට නං ඩැඩා ආඩම්බරෙන් උද්දාමයට පත් වුණේ, අපේ තාත්තා එයා වගෙය!

හෝමෝසේපියන්ස්ලාම වුණත් ලංසි උදවිය ටිකක් වැඩියෙන් සමාජශීලීය; කෙළිලොල්ය; විනෝදකාමීය.

“රෝයි ලංසි...” අම්මා රහසින් කෙඳිරුවාය.

එහෙනං ඒක තමයි මේ! හෝමෝසේපියන්ස්ලාම වුණත් ලංසි උදවිය ටිකක් වැඩියෙන් සමාජශීලීය; කෙළිලොල්ය; විනෝදකාමීය. “... සුමිත්‍රා නං දෙමළ. දැන් ඔය කියන්නවත් බැරි තරමට සිංහල වෙලා හිටියට.” අපේ අම්මා රෝයි අංකල්ලගෙ තෝම්බුව දිගෑරියේ කුස්සියේදීය.

අම්මාට උත්තරයක් දෙන්නටවත් මට ඉඩක් නොලැබුණේ, සුමිත්‍රා ආන්ටිත් එතැනටම ආ  නිසාය.

“ලීලෝ, ලීලෝ... අපිට කේක් ඕනි නෑ අනේ. තේ එකක් විතරක් හොඳටම ඇති. යං යං රෝයිල ඉන්න තැනටම... මේ week end එකේදිම ඔයාලා අපේ ගෙදර එන්න ඕනි, ඔන්න. පුතාල දෙන්නත් ආව එකේ කෑමක්වත් දෙන්න ඕනිනෙ ලීලා.
මෙයා නිමල් කියලා නේද කිව්වේ. කවුද එතකොට රංජි?”
“මෙයාටම තමයි අනේ, අපි ගෙදරට රංජි කියලා කියන්නේ.” අම්මා තේරුම් කළාය.

“රංජි දන්නෙ නෑ, මෙහෙදී ලීලා ඔයා ගැන ඔක්කොම විස්තර අපිට කියලයි තියෙන්නේ. ලීලා ලංකාව ගැන වචන දහයක් කිව්වොත් එකක් දෙකක්වත් ඉතිං රංජි ගැන තමයි...
ඒක නෙවෙයි ලීලෝ, මේ පුතා නං ඔයා වගේමයි.”

රෝයි අංකල්ලා ආපසු යන්නට කලින්, අනිල්ට තාවකාලික රස්සාවක් පට්ටල් කරන බවට පොරොන්දුවක් දුන්නේය. “හැබැයි කොල්ලෝ, ඔන්න දැන්මම කියනවා. උඹට හොයල දෙන්න වෙන්නේ white collar job එකක් නං නෙවෙයි. අනෙක බං, මෙහෙදි ටොයිලට් හේදුවත් කමක් නෑ. පවුම්වලින්නේ ගෙවන්නේ...
ඔය ලංකාවෙන් එන බැල්ලිගෙ පුතාල වැඩි දෙනෙක් කරන්නෙත් ඒ වගේ odd jobs තමයි. මොකද පවුම් නෝට්ටුවල ගහල නැහැනේ, කරන job එක මොකක්ද කියලා.” රෝයි අංකල් හංගන්නේ නැතිවම කිව්වේය.

ඊළඟට ටිකක් හෙමින්...
“උඹලගෙ සුදු බාප්පා නීතියටම වැඩ කරනව කිව්වට මොකද- උඹ රස්සාවක් කරනවට අකමැති වෙනේකක් නෑ නේද, අනිල්?” කියලත් ඇහුවේය. ඒ ඔලොක්කුවට වාගේ හොරෙන්ම ඩැඩාගේ පැත්තට ඉඟි මරමිනි. “අන්තිමට මිනිහා මගෙ ඇඟට ගොඩ වෙයිද දන්නෙත් නෑ!”

උඹලගෙ Ceylon ගවර්මන්ට් එක වගේ නෙවෙයිනෙ...

“එයා මොකට එපැයි කියන්නද? මාස හයක් මෙහෙ ඉඳලා ආපහු යනකොට අපි නිකංම අත් දෙක වන-වනා යන්නද රෝයි අංකල්. කීයක් හරි හොයාගෙන යන්න එපැයි!”

“අනිල්ටයි, නිමල්ටයි දෙන්නටම මේ කියන්නේ. ලංකාවේදි උඹලට මාව හම්බ වුණොත් නං මට අංකල් කියල  කියපල්ලා. මෙහෙදී එපා! එංගලන්තෙදි ඔය ඕනි නැති අංකල් කෑලි ඕනෑ නෑ කොල්ලනේ... නම විතරක් කිවම ඇති. නැද්ද ඩාර්ලින්?” එහෙම අහන ගමන්ම රෝයි අංකල්, එයාගේ ළඟින්ම වාඩිවී හිටි සුමිත්‍රා ආන්ටිව තුරුලු කරගෙන හාදුවක් දුන්නේය.

මම බිම බලා ගත්තෙමි!

“ඔව්, ඔව්. නිමල් නං එහෙම කිව්වත් කමක් නෑ. පුංචි එකෙක් වගේ හින්දා. රෝයිටත් වැඩියෙන් ලොකුවට පේන අනිල් මට ආන්ටි කිව්වොත්... නේද රෝයි?” සුමිත්‍රා ආන්ටිත් මහ හයියෙන් හිනාවෙලා උත්තර බැන්දාය.

“එහෙනං, මම හෙට අනිද්දම උඹට ජොබක් set කරලා දෙන්න බලනවා, අනිල්. නිමල්- බලමුකෝ ඔයාටත්...” සමු ගන්නා වෙලාවේ රෝයි අංකල් කිව්වේය.
එහෙම කියූ රෝයි අංකල් පහුවදා උදේ දහයට විතර ආයෙමත් අපේ ගෙදරට ආවේය. “වැඩක් තියෙනවා අනිල්. ඇවිල්ල උඹෙන් අහලම තමයි set කරන්න ඕනි කියලා හිතුණා. උඹ කැමතියි නං විතරයි.”

“මොකක්ද රෝයි?”
“කැරියර් සර්විස් එහෙක ලේබර් වැඩක්. බර උස්සන්න වෙනවා. එහෙම තැනකට හම්බ වෙන වැඩ ඉතිං ටිකක් අමාරු jobs තමයි  කොල්ලෝ... උඹ මොකද කියන්නේ සැසිල්. මට පෙනෙන විදිහට නං ඒක අනිල්ට හරි යයි!”

“රෝයි! මගේ ඔපීනියන් එක නෙවෙයි, මෙයාලගේ අම්ම මදර් සුපීරියර්ගෙන්ම අහගනිං.
එයානෙ උඹට ඔය contract එක දුන්නේ, මටත් හොරෙන්.” ඩැඩා කිව්වේ නියුට්‍රල් විදිහටය. “Job එකක් කළා වගෙ නෙවෙයි. අහු වුණොත් බනානා බෝට්ටුවට දාලා එක දවසෙන්ම ලංකාවට යවයි. උඹ දන්නවනෙ රෝයි, British ගවර්මන්ට් එක කොච්චර නීතිගරුක විදිහටද වැඩ කරන්නෙ කියලා. උඹලගෙ Ceylon ගවර්මන්ට් එක වගේ නෙවෙයිනෙ...”

“ඔන්න ඔන්න සුද්දගෙ ආණ්ඩුවේ පම්පෝරිය ගැහුවා.” Tone එකෙන් මොකුත්ම නොහැඟෙන විදිහටය, රෝයි ඒ ටික කිව්වේ. “මිනිහට ඉතිං මේ ලබ්බට වැඩිය දෙයක් මුළු ලෝකෙම නෑ.” ඒ එක්කම කතාවේ ස්වරය වෙනස් කරලා, රෝයි අංකල් ඩැඩාගේ පැත්තට හැරුණේය.
“මොකක්ද සැසිල්, උඹ අද මට drink එකක් offer කරන්නැද්ද?”

Mini බාර් එක ළඟට යයි. ඒ මිනි bar එක තිබුණේ
ඊට පස්සෙත් ගොඩ සැරයක් රෝයි අංකල් ඒ ප්‍රශ්නය අපේ ඩැඩාගෙන් අහන හැටි දැක ගැනීමට නිදිට හැකි විණි. ඒ හැම වතාවකම ඩැඩාගේ මුහුණ පිබිදෙන හැටිත් නිදි නිරීක්ෂණය කළේය. එහෙම ඇසීමෙන් ඩැඩා තරමක් පිම්බෙන විත්තිය රෝයි එතකොටත් ටක්කෙටම දැනගෙන උන්නේය!

ඒ ප්‍රශ්නය නැඟුණු හැම විටෙකම, කට කොණකට නැඟුණු සිනාවක් එක්ක අපේ ඩැඩා නැඟිටියි; ටයි පටිය සකසා ගනියි; Mini බාර් එක ළඟට යයි. ඒ මිනි bar එක තිබුණේ, අම්මලාගේ කවුන්සිල් ගෙදර පුංචි සාලයේ කොණකට වෙන්නටය.

Council Flat එකක ඉන්නවාය කියන්නේ එංගලන්තයේ හැටියට නම් ආඩම්බර වෙන්නට දෙයක් නොවේ. ඒ නිවාස ඒකකයත් එච්චර ලොකු ඉඩකඩක් තියෙන එකක් නොවේ. ඒ නිවාස සංකීර්ණයේ ගෙවල් සිය ගණනක් තියෙනවා විය යුතුය. හැම ගෙදරක්ම එකම plan එකකටය, සාදා තිබෙන්නේත්.
එතැනදී මට පෙනුණු විශේෂ කාරණයකි මේ. ඒ හැම නිවසකටම වෙන් කෙරුණු ඉතා කුඩා බිම් කඩක් බැගිනුත් ලබාදී තිබිණි. බිම් මහලේ අයට නම්, ගෙයි පිටුපස දොර විවර කිරීමෙන් ඒ පුංචි බිම් කඩට ඇතුළු විය හැකි විණි. උඩු මහලක නිවසක් හිමි අයට ඒ වාසිය නැත. එයාලා තමන්ගේ බිම් කඩට වෙනමම එන්න-යන්න ඕනෑය. (ඒ ගැන තවත් දේවල් පසුව කියන්නට තිබෙයි.)

අම්මලාට ලැබී තිබ්බේ බිම් මහලේ ගෙදරකි. එය තට්ටු දෙකේ එකකි. එහි බිම් මහලේය, කුස්සිය- සාලය හා එක වැසිකිළියක් තිබුණේ.

ඉතිං, (එංගලන්තයේ මිම්මෙන් දුප්පත්) අපේ ගෙදර සාලයට ඇතුළු වෙනකොටම අර මිනි bar එක කෙනෙකුට පෙනෙයි. ඒක හදලා තිබුණෙත් බීම බැරල් එකක හැඩයටය. ඒ මත නා-නා පන්නයේ මත්පැන් බෝතල්ය. ඇතුළෙත්...
අපේ සමහර ගෙවල්වල උජාරුවෙන් ප්‍රදර්ශනයට තබා තියෙනවා වගේ, ඒ විස්කි- බ්‍රැන්ඩි- වයින් බෝතල් එකක්වත් හිස් ඒවා නොවේ.

එහෙම ගෙදරම මිනි බාර් එකක් තියාගෙන සිටින ගොඩ දෙනා වගේම, අපේ ඩැඩාත් බේබද්දෙක් නොවේ. අහම්බෙන් hot drink එකක් ගන්නවා විතරකි. ඒකත් අමුත්තන් හා යහළුවන් සමඟිනි.

ඉතිං, එදාත් ඩැඩා රෝයි අංකල්ට බීම වීදුරුවක් වත්කොට දුන්නේය.
“හිටපංකෝ. මම දැන්මම අර boss යාළුවට කතා කරන්න.” එවෙලේම රෝයි කාටදෝ ෆෝන් කළේය.
“... එක්කගෙන එන්න? මේ දැන්...? පොඩ්ඩක් හිටපං... (අනිල්, විනාඩියට ලැහැස්ති වෙයං. අපි දැන්ම යන්න ඕනි... ඔය ඉන්න විදිහ හොඳයි බං.) හරි. පැය බාගෙන් අපි එනවා. Thank you very much...”

ඒ බොන විදිහ දකිනකොට

“යමු, යමු. අර බොසා උගේ office එකෙන් යන්න කලින් යමු, අනිල්. අපිට දැන්මම එන්න කිව්වා. සැසිල්, drink එකට තෑන්ක්ස්! Second ෂොට් එකකුත් දියං, අපි ආපහු ආවම.”

ඩැඩා බීම වීදුරුව හෝදලා, පිස දාලා අර කුඩා බාරයේ ඇතුළෙන් තැන්පත් කළේය.
“නිමොල්, උඹ දැක්කද රෝයි drink එක බීපු විදිහ. ඒ බොන විදිහ දකිනකොට මට හරි හිනහයි. උඹලගෙ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙම ඉල්ලීගල් ලිකර් බොන්න. ඒ තැන්වලදී හොරෙන් බොන විදිහම තමයි රෝයිටත් පුරුදු. උඹ මොකද හිතන්නේ...”

වෙනමම මොනවා හිතන්නද, ඉබේම හිතුණුකොට. ඇත්තටම මට ඒ වෙලාවේ ඇති වුණේ තරහකි. ලංකාවේ මිනිසුන් එක්කත්, රෝයි එක්කත්, ඩැඩා එක්කත්.

එතකොටත් මං වහන්සේ දැක පුරුදු විදිහට ලංකාවේ මිනිස්සු වැඩිම දෙනෙක් බීමට පෙරේතයෝ වෙති. ඇත්ත ඒකය. රෝයි අංකලුත් ඒ ගොඩේම වගෙය. ඒත්... උගත් මිනිහෙකු වෙලත් ඩැඩා ‘දුප්පත් රටක මිනිසුන්ව මෙතරම්ම පාච්චල් කරන්නේ ඇයි?’ / මාත් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු බව ඩැඩාට අමතකද... / කාටත් අභිමානයක් තියෙන බව එයාට අමතකද?

එහෙම කෙනෙකුගෙන් මගේ සඟවා ගත් යටි අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා උදව් ඉල්ලන්නට පුළුවනිද... මේ posts මාලාවේ හතර වැන්නේදීත් මේ ගැන මම මෙලෙසින් කීවෙමි.
‘එහෙම වුණත් දත කාගෙන ඉවසන්නට ඕනෑය. නිමල් දිසානායක එංගලන්තයට එන්නට කැමැති වුණේ නිකංම නිකං නොවේ
; යටි අරමුණකුත් තියා ගෙනය. ඒ සඳහා පසුබිම සකස් කරගත යුතුය; ඉවසිය යුතුය; ජය ගත හැක්කේ එවිටය! මම මටම මතක් කර දුන්නෙමි.’

ඔව්! ඒ යටි අරමුණ තව දුරටත් පාඨක ඔබට සැඟවීම අසාධාරණය. එබැවින් කියන්නෙමි; තරමක විළියකින් යුතුව වුවද එය ඔබට හෙළි කරන්නෙමි!
à ඊළඟ කොටසට...

32 comments:

  1. අවුරුදු පහක් මේක ඇදගෙන ගියාට සුබ පතන්නම වෙනවනෙ ඉතිං.

    නිදිටනං දැනටම ඩැඩාගෙ කෝපි හදන ජොබ් එක සෙට් වෙලා හින්ද ආයෙ වෙන ජොබක් කරන්න ඕන නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. අවුරුදු පහක් ගියා කියලා දැනුණේවත් නැති තරම් ප්‍රසන්න මහත්තයෝ, ඔයාල වගේ හිතවතුන් ගොඩක් මේ blog එක කියවන හින්දා!
      මගෙ jobs ගැනත් ඉස්සරහට....

      Delete
  2. උපන්දිනේ දවසෙම සුභ පතන්නම් ඈ?

    ReplyDelete
    Replies
    1. මේකත් සුබ පැතුමක්නේ කසුන් මහත්තයෝ!

      Delete
  3. අවුරුදු පහක්. ජය නිදිතුමෝ! තවත් හරවත්ව, රසවත්ව ලියන්ට හැකියාව ලැබේවා🙏

    මට ඇතිවුනු සැකය හරිවද මන්ද... ලොක්ක අංගෝපාංග මා..රු.වකට

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ජය!
      දෙවැන්නට මොකුත් කියන්නේ නෑ. අංජනං දේවි ඉන්න ඔබතුමාගේ ළඟද?

      Delete
    2. නමියෝ වෙලාසනින් වැට පනින්න එපෝ...... නිදිටත් ඒක රස කරලා ලියන්න දීපං......

      කොළොම්පුරේ අසංග

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. //ඒ හැම නිවසකටම වෙන් කෙරුණු ඉතා කුඩා බිම් කඩක් බැගිනුත් ලබාදී තිබිණි.//
    මම දන්න සමහරු ( UK ෆ්ලැට්ස්වල ඉන්න අය ) පොඩි ගාණක් ගෙවල ෆ්ලැට් එකෙන් ටිකක් ඈත කවුන්සිල් එකට අයිති ඉඩමක පොඩි plot of land ගන්න පුලුවන් එලවළු පලතුරු වවන්න, සමහර පැතිවල.

    // ඒ නිවාස ඒකකයත් එච්චර ලොකු ඉඩකඩක් තියෙන එකක් නොවේ.//
    මම දන්නව ලංකාවෙ ඉන්න හුඟක් අය ෆ්ලැට් එකක ඉන්න කැමති නෑ. මිදුලක් ඕනෙ.
    දැන් මම නම් ෆ්ලැට් එකක ඉන්න එකම අකමැත්ත මගෙ බල්ලො තියා ගන්න බැරි එක ( මම දන්න තරමට ලංකාවෙ dog-friendly අපාර්ට්මන්ට් buildings තියෙන්නෙ එකයි. ඒවා මට දරන්න පුලුවන් ගාණක නෙමෙයි ).

    මම මිදුලක් සහිත නගරාශ්‍රිත ගෙයකට වඩා ෆ්ලැට්වලට ආසා හේතුව මදුරුවො, මැස්සො, කූඹි, මකුළුවො, දූවිලි, දුම්, අල්ලපු ගෙවල්වල, පන්සල්, පල්ල්වල සද්ද.

    නිමල් වගේ නෙමෙයි මම gardening වලට ලොකු ආසාවකුත් නෑ. මගෙ හෝ ඔවුන්ගේ අවශ්‍යතාවයකට හැර අසල්වැසියන් එක නිකම් කතා බහ කිරීමත් මම ආසා නැති දෙයක්.
    මම කැලේට කැමතියි. මගෙ ඔක්කොම වගේ ට්‍රිප් කැලේ තමයි. කැලේ ලඟ හෝ ඈත ගමක ඉන්න කැමතියි. හැබැයි කැලේ තියන ලස්සන නැති වුනාට කැලේ තියන මදුරු, කෘමි කරදර අඩුවක් නැතුව තියන කොලඹ suburbඑකක මිදුල් තියාගෙන හැමදාම ගෙවල් මිදුල් සුද්දකරමින් කරදරේ ඉන්නවට වැඩිය හුඟක් කැමතියි comfortable පොඩි ෆ්ලැට් එකක ඉන්න.

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයා ගැන මගෙ කියවිල්ල මේකයි. 'අන්තරාවර්තී; තමන්ගේ අභ්‍යන්තරයට නැඹුරු කෙනෙක්!' මං වැරදි වෙන්නත් ඇහැකියි- හැබැයි.

      වැටක් නොගහා මෙහෙම දිග විස්තරයක් ඔබතුමා ලවා ලියවා ගන්නට හැකි වීමත් ලොකු ජයක්!

      Delete
    2. ඇන බාල්දියයි බෝල මිටියයි විසිකරවා ප්‍රා මහතාව වැටෙන් පිට පැන්නීමට සැලැස්විම ගැන නිදිට අපගේ උත්තමාචාරය...

      කොළොම්පුරේ අසංග

      Delete
  6. blog එකටත් අවුරුදු පහක් පිරෙනවා// සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි ලලිත් මහතාණෙනි!

      Delete
  7. පස් අවුරුදු වෙහෙසකර ව්‍යායාමයට අපේ සිරස ප්‍රණාමය! මේක ටිකක් මගින් කොයිල් වගේ උනා එක දිගට කියවපු නැති නිසා.. පස්සේ ආපස්සට කොටස් ටික කියවලා තමයි වැඩේ සෙට් උනේ. බලමු ඊළඟ එකෙන් මොකක්ද යටි අරමුණ කියලා..

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි කමී, මෙහෙම දෙයක් නොකර හිටියා නං තමයි ජීවිතේ ගොඩක් වෙහෙසකර හා ඒකාකාරී වෙන්න තිබ්බේ. මොකද රස්සාවකට යන්න බැරිව, හිතේ හැටියට කන බොන දෙයක් හදා ගන්න බැරිව (ගොඩක් ජාති කන්න තහනම්නේ) පොත් කියවමින්- ෆිල්ම්ස් බලමින් විතරක් හිටිතෑකියැ?

      Blog එක හින්දා ලෝකේ වටෙන්ම යාළුවොත් අඳුරගත්තනේ..ලංකාවෙනුත්... ඔයාල වගේ!
      උත්තර දීලා ඉවර වෙලා ඔයාලගේ blogs පැත්තෙත් යන්න ඕනි.

      Delete
  8. කලින් පෝස්ට් එක වගේම, මේ කොටසත් හොඳයි. කියවන්න අපහසු නෑ, එක හුස්මට කියෙව්වා.🙏👌

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි බස්සා මැතිඳුනි!
      තමුන්නාන්සේ මංතුමාව සකල අමාරුවකට දැමූ සේක. මේ posts දෙක වෙනමම කියවා study කරන්නට වෙලාය!!

      Delete
    2. මේක මගේ පෞද්ගලික අදහස. මේ පෝස්ට් "ලන්ඩන් ගිය ජෝන්" ආකාරයේ, ක්ලැසික්ස් එකක් නිසා මට නැගලම ගියා. මේ කියන වකවානුවේ "හිරු නොබසින අදිරාජ්ජෙ" අගනුවරට ගිය ගමනක් නෙව. එඩ්ගාර් රයිස් බරෝස්ගෙ කතාවක දැනෙනෙ කුතුහලය තමා දැනෙන්නෙ.

      වීඩියෝ වලින් දැකලා තියන ඔය කියන Council Flat මේ වගේද?
      https://youtu.be/YSToRJPi3mc?t=158
      එහෙම නං, ඔක්කොම දෙනා හිටිය විදිහ, ඒක වෙනම පෝස්ට් එකක් විදිහට ලියන්නත් ඇහැකි, බාගදා?🤔

      Delete
    3. බස්සා මහත්තයෝ, ඔයා දන්නේ flats තියෙන link එකක්ද?

      Delete
    4. නැහැ, ඒක කෙලින්ම අදාල වෙන වීඩියෝවක් නෙමෙයි. ඉස්සරහා දොරෙන් ඇතුල් වෙන, තරප්පු පෙල සහිත පටු කොරිඩෝව, උඩ තට්ටුවේ නිදන කාමර දෙක-තුන. පහල තට්ටුවේ ඇති වොෂ් රූම් එක සහ කුස්සිය. එංගලන්තෙ කොමන් flat එකක පෙනුම එහෙමයි කියල හිතුනා.

      Delete
    5. බස්සා මහත්තයෝ, ඒ flats එකක ගෙයි සැලැස්ම ඇඳල දාන්න බලන්නම්කො. ඔයා නිසයි ඒ අදහස පහල වුණේ. ස්තුතියි!

      Delete
  9. නමි කිව්ව දේ මුලින්ම හිතුනත් වෙලාසනින් වැට පනින්න හොද නැති හින්දා නොකර සද්ද හිටියා.
    එංගලන්තේ ගිය ගමනේ පොටෝ ගැහැවේ නැතිද?

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසංග මහත්තයෝ.
      එංගලන්ත ගමනේ foto සේරම වග ඒ නරක් වෙලා. කලර් ෆොටෝස්. Sam ළඟ නං පිටපත් තියෙනවලු කියලා දවසක් කියවුණා. ඒ වුණත් එයාවත් දන්නේ නැතිලු තියෙන තැන්... hard disks ගොඩක.

      Delete
  10. ඔය කවුන්සිල් ෆ්ලැට්ස් දැන් දුප්පත් නැහැ නිදි. තැචර් අඩු ගානට ගන්න දුන්නට පස්සේ ගොඩක් අය ඒවා මිලයට ගත්ත. හවුන්ස්ලෝ පැත්තේ එක්ස් කවුන්සිල් ෆ්ලැට් එකක් දැන් පවුල් ලක්ෂ 3.5 - 4,5 වගේ. පරණ හිටපු අය ගොඩක් ඒවා විකුණලා වඩා ලොකු ගෙවල් අරගෙන ලන්ඩන් වලින් පිටතට ගියා. සමහරු ඔස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවලට ගියා. ඒවායේ ගෙවල් ලාභ නිසා.

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල මම දැකපු- තේරුම් ගත් විදිහ තමයි මම ලිව්වේ. දෙවෙනි වතාවේ ගිහිං ඇවිල්ලාත් දැන් අවරුදු තිහකට කිට්ටුනේ මහත්තයෝ.

      Delete
  11. පස්වෙනි සංවත්සරයට උණුසුම් සුබ පැතුම්, නිමල්!!

    මම හිතන්නෙ නිමල්ගෙ ඩැඩා ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක්, පාච්චල් කරන අදහසින් නෙවෙයි එහෙම කියන්නෙ. හැබැයි එකට ඉන්නකොට නිතරම එහෙම කියද්දි අපිට හිතෙන්නෙ පාච්චල් කරනවා කියලා තමයි. නිමල්ගෙ ගෙදර කට්ටිය එක්ක එයා තනි මනුස්සයෙක් හා වෙනස්ම upbringing එකක්නෙ.

    නිමල්ගෙ පවුලෙ අය ගැන ලියද්දි නිමල් ලියන විදිහෙ යම් උණුසුම් බවක් (warmth) තියෙනවා. නිමල්ගෙ යාලුවො, එකට වැඩ කරපු අය, 'පාට්නර්ස්' ගැන ලියද්දි අපිට
    ඉතාම පොඩි ආගන්තුක ගතියක් තියෙනවා. මට දැනෙන විදිහට නම් ඉතාම සියුම් වෙනසක්. (සමහරවිට බස්සා කියන්නෙත් ඒක වෙන්න ඇති). නමුත් ලියන විදිහ වෙනස් කරන්න එපා-නිමල්ගෙ පෝස්ට්ස් හැම එකම හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus.
      බස්සා කියන වෙනසට බාහිර කරුණුත් බලපානවා වෙන්න පුළුවන් බව මට හිතෙනවා. මේ එයින් දෙකක්.
      1. මෙතෙක් ලියූ postsවලින් මේවා තමයි දිනපොතකින් කරුණු මතක් කරගෙන ලියන්නේ.
      2. (මේක නං විහිලුවකුත් වගේ හිතෙයි.) මාර්තු දහ වෙනිදා අපේ මානෙල් නංගිලාගේ ගෙදරදී මළගිය ඥාතීන්ට පින් පමුණුවන්න බණක් කියවලා හීල් දානයක් දුන්නා. එදාට අපේ ලොකු නංගී වියෝවී අවුරුදු 41ක්. දානයට මගෙ සම්ම්මාදමත් දුන්නත් හිතට මදි නිසා පැමිණෙන අමුත්තන්ගේ ඉඳියාප්ප සංග්‍රහයට මගෙන් ලොකු පරිප්පු ව්‍යංජනයක් හදන්නම් කිව්වා. මානෙල් ඒත් කිව්වා එපයි කියලත්, මට දැන් ලොකු වැඩ බැරි නිසා. (කොටින්ම හොඳම හිතවතෙක්ව ගෙන්නාගෙන පොල් ගෙඩි ටික ගාව ගත්තේ.) එතකොට තේරුණා පොල් ගෙඩියක් විතර මදි බව. හදිසියේ ආයෙමත් කඩේ යන්න බැරි නිසා ගෙදර තිබුණු ලෙලි පොල් ගෙඩියක් බැරි බැරි ගාතේ ලෙලි ගහන්න ගියා චණ්ඩියා වගේ. එදා ඉඳලා දකුණු අතේ මස් ගොබයක් රිදුම් දෙනවා. සේරම වැඩ අඩුම වේගයකින් කරන්නේ. Posts ලියන එක ප්‍රධානයි. නවත්ත නවත්තා හෙමින් කරන්නේ. ඒ අඩු වේගය නිසා කලබලේ නැතිවනේ ලියවෙන්නේ!

      Delete
    2. ඒ එක්කම දැන් තියාම Lotus, ඔයාට ස්තුතියක් කරන්නන්. ඊළඟ කොටසට ඔයා වෙන කෙනෙකුගේ post එකකට දාපු comment එකක්, අනවසරයෙන් ඉස්සුවා.

      Delete
    3. නිමල් අයියා තව දෙයක් තියෙනවා ඔබෙන් අහන්න, මේ නිව්ස් එක දැක්කේ නැද්ද?

      //ශ්‍රී ලංකා රජය දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 සහ ලෝක බැංකුවේ ඩොලර් බිලියනයක ණයත් ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් බිලියන එක හමාරක ණයත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් බලාපොරොත්තු වන ඩොලර් බිලියන දෙකත් තුනත් අතර ණයත් ලබාගැනීමට නියමිත නමුත් එම ණය ප්‍රමාණය රජයේ අවශ්‍යතාවය සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් එබැවින් එම ණය වලට අමතරව තවත් වැඩිපුර ණයක් ලෙස ශ්‍රී ලංකාවේ රජය ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්ථික විද්‍යාඥයකු ලෙස පත් කර ඇති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාර්ග ගත විද්වත් කථිකාවකට එක්වමින් පැවසුවේය.

      එම ණය මුදල ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ණය මුදලේ වටිනාකම තවම තීරණය කර නැතත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකත් තුනත් අතර ගණනක් වනු ඇති බවත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දී ඇත.

      එම මුදල ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන ආහාර පාන වර්ග, බිත්තර, කුකුල් මස්, ගව මස් සහ එළු මස්,ල තිරිඟු පිටි, බඩ ඉරිඟු, මුංඇට, පරිප්පු කඩල කවුපි එලවලු පලතුරු වර්ග, එලවලු තෙල්, නිස්සාරණය කරපු පාම් තෙල්, කුළු බඩු, මේස ලුණු, අල ළූණු, වෙනත් කෘෂි නිෂ්පාදන, පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර, බීජ හා රෝපණ ද්‍රව්‍ය මෙන්ම පොල් මිල පාලනයට ඉන්දියාවෙන් පොල් ටොන් තුන් දහසක් ආනයනය කිරීම සහ රජයේ නිලධාරීන්ට අවශ්‍ය වන වාහන අවශ්‍යතාවය වෙනුවෙන් සැහැල්ලු මෝටර් රථ ජීප් සහ කැබ් රථ ආදියත් පොලිස් ජීප් රථ තොගයක් ආනයනය කිරීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය වන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන බව මාධ්‍ය මගින් වාර්තා කර තිබේ. මෙම ණය මගින් තවත් රටේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක් කරා ගමන් කරනු ඇති බව විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සහ ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන් බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.//

      අයිඑම්එෆ් බේල්අවුට් ප්‍රෝග්‍රෑම් එකට යන බව මුදල් ඇමති සහ ජනාධිපති රනිල් මෙන්ම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් නිල වශයෙන් කියල තියෙනවා. ඒකත් එක්ක දාල තියෙන කොන්දේසි මොනවද කියල තාම ප්‍රසිද්ධ කරල නැහැ නේද?

      මේ යටතේ ඉතාමත් දැඩි ඇප කොන්දේසි තියෙන බව පැහැදිලියි. මේව රනිල්ට හෝ නන්දලාල්ට විතරක් පුද්ගලිකව බලපාන ඒව විතරක් නොවන නිසා මිලියන විසි ගණනක් ජනතාවගේ ජීවිතේ ඒවා මත පදනම්වන නිසා ඒව අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කිරීම ඔවුන්ගෙ වගකීමයි. නමුත් ඔවුන්ට කිසිම වගවීමක් නැති නිසා ඒව ප්‍රසිද්ධ කරන එකක් නැහැ. බැරිම තැන කරන්න වුණත් ඒකත් පුළුවන් තරම් පමා කරයි. බොහෝ දුරට රහසක් තමයි.

      අඩුම තරමින් මේ වගේ එකගතාවයකට එන්න කලින් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සම්මත වෙන්න ඔ්න. නමුත් එහෙම එකක් වෙලා නැහැ. හුදෙක් කාමර කුමණ්ත්‍රණ හරහා වෙච්ච බවක් පේන්නෙ. පාර්ලිමේන්තුවට මුදල් බලය තියෙනව කිව්වට ප්‍රායෝගිකව ගත්තහම එහෙම එකක් තියෙන බවක් පේන්න නෑ. ඒගොල්ල නිකං පුටු රත් කර කර ඉන්නවා.

      මොකද ඉදිරියට අඩුම තරමින් අවම අවුරුදු 4ක් පහක් වත් රටේ මුල්‍ය ප්‍රතිපත්තිය පමණක් නොව සෑහෙන දුරකට ආර්ථික ප්‍රතිපත්තියත් තීන්දු කරන බලයයි මේකත් එක්ක අයිඑම්එෆ් එකට යන්නෙ. නමුත් ඒකට කිසිදු මහජන නියෝජිතයකුට අදහසක් දක්වන්න හෝ තින්දු ගැනීමෙදි දායක වෙන්න හැකියාවක් නෑ.

      තොරතුරු දැන ගැනීමෙ පනත කියල එකක් තිබ්බට ඒකටත් මේවගේ ඒව ආවරණය වෙන්නෙ නැහැ දන්න විදියට. ඒව ගානට ආවරණය කරල තියෙනවා නේද?

      අයිඑම්එෆ් එකත් මුල්‍ය විනිවිදභාවය ගැන ආදිය නිතර බොරුවට මයික් ඉස්සරහා කතා කරත් ඒගොල්ලන්ටත් මේක ප්‍රසිද්ධ කිරීම ගැන කිසිම උනන්දුවක් නැහැ මං හිතන්නෙ. තනිකරම රැවටිල්ල කරනවා නේද?

      මහ බැංකුව 'තවත්' ස්වාධීන කරන්න ඔ්න කියන කාරණය (මේකත් මං හිතන්නෙ අයිඑම්එෆ් කොන්දේසියක්) ප්‍රශ්නකාරී වෙන්නෙ මේ වගේ පසුබිමක.

      මොකද දැනටත් තියෙන්නෙ කිසිම විදිහකින් වගවීමක් නැති තත්වයක්. නන්දලාල් වීරසිංහ ඔහුගෙ ටර්ම් එකෙන් පස්සෙ රිටයර් වෙලා ඔස්ට්‍රේලියා යයි. රනිලුත් රිටයර් වෙයි කවද හරි. නමුත් ඔවුන්ගෙ තීන්දුවල (ඇත්තටම ඔවුන්ගෙ තීන්දුත් නොවේ මේව. ඔවුන් ඔ්වර් පේඩ් මාධ්‍ය ප්‍රකාශකයන් පමණයි නේ අයි එම් එෆ් එකෙන් තීරණය කරපු ඒවායේ) ප්‍රතිවිපාක දශක ගාණක් තිස්සෙ විදින්ඩ සිදු වෙනවා සමස්ත ජනතාවටම.

      අවාසනාවකට ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියන සජබ, මාලිමාව හෝ ද්‍රවිඩ ජාතික සන්ධානය වැනි විපක්ෂයෙ පක්ෂත් මේ කාරණයෙදි නිහඩයි. තරමක් දුරට හරි කතා කරන්නේ මෝඩයෝ කියලා සැලකෙන මංගොන්පිලයා සහ බූරුවංස වගේ ගෝතයින් විතරයි නේද?

      Delete
    4. අනේ රත්තරනේ, ඔය අහලා තියෙන දේවල් ගැන මට වඩා හොඳින් දන්නා අය දෙන උත්තර මොනවද කියලයි මාත් බලන් ඉන්නේ.
      තව අඩවි කීපෙකමත් මේ comment එක දැක්ක නිසා.

      Delete
  12. අවුරුදු 5 ක් ලියන එක නම් නම් ලේසි පහසු දෙයක් නෙමෙ බුදු අම්මෝ....


    තව ලියමු දිගටම....

    මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා නිදි මාමෙ...
    -නවීන්

    ReplyDelete
    Replies
    1. වැඩේට බැස්සේම අදිටනක් ඇතිව. එතකොට කෙරෙනවනෙ නවීන්.
      ස්තුතියි හොදේ!

      Delete