අකුරු මැකී නෑ

Friday, March 17, 2023

තිස් එකේදී... -සිව්වෙනි කොටස

පෙනෙන විදිහට නම් මේ මනුස්සයා තිස්ස දෙවේලේ පිටරට සවාරි යන කෙනෙකු වගෙය. කොහොම වුණාම මොකෝ? එයා නිසා අපට වෙන්නේ වාසියකි. අතරමඟ අවුලක් නොවී හීත්‍රෝ එයාර්පෝට් එකට යාගන්නට පුළුවන් වුණොත්... අම්මලා එහාට ඇවිත් ඉඳීවිනෙ...

මගේ හිතට නිවනක් දැනුණේ ඒ බව කල්පනා වෙනකොටය. අම්මලා මදිවාට දැන්, අපේ ගැලවිල්ලට විල්මන් උන්නැහෙත් සිටී.

ඒ කාටූන් චරිතය පාදක කරගෙන තැනූ ගජමෑන්’ film එක
එදා මං වහන්සේ විල්මන් උන්නැහෙව දැක්කේ ගැලවුම්කාරයෙක් විදිහටය; අද කාලේ විදිහට කියනවා නං IMF දෙයියා වගෙය: Superman වගෙය. ‘ආර්ථික වශයෙන් අගාධයක මුව විටේ ඉන්නා ලංකාව ගොඩ දමන්නට හැකි වීරයා IMF එකය!’ / ‘මහා බරපතළ ව්‍යසනයකට මුහුණ පාලා සිටින විටෙක ලෝකය ගලවා ගැනීමට එන සුපිරි වීරයා සුපර්මෑන්ය’.

ඒ වගේම සුපිරි සිනමා වීරයෙක් දැන් ලංකාවෙනුත් බිහිවී සිටියි. ඒ ගජමෑන්ය!

‘ගජමෑන්’ කිව්වේ කැමිලස්ගේ කාටූන් චරිතය ගැන නොවේ. ඒ කාටූන් චරිතය පාදක කරගෙන තැනූ ‘ගජමෑන්’ film එක ගැනය. ඒ ෆිලුම මේ වෙද්දී රුපියල් ලක්ෂ 3,800 ආදායමක් ඉක්මවා යමින් ‘වැඩිම ආදායමක් ලද සිංහල චිත්‍රපටය’ ලෙසින් වාර්තා තබා ඇත.

ඉතිං, එදා කටුනායක ගුවන් තොටුපළේදී මට IMF තරම්- Superman තරම්- ගජමෑන් තරම් වීරයෙකු විදිහට පෙනුණු විල්මන් ජයසිංහ මහත්තයා අන්නාටත්, මටත් ඉස්සර වුණේය; පාර පෙන්නුවේය. ගුවන් යානයේ එයාගේ ආසනය තිබුණෙත් අපේ ආසන පේළියට ඉදිරියෙනි.
ඒ නිසා, ගුවන් යානයේදී කෙරෙන කියන සේරම දේවල් අපට විස්තර කර දෙන්නටත් විල්මන් මහතාට පහසු විණි.

අපරාදේ කියන්නට බැරිය!
අපේ අනිල් මල්ලී මටත් වැඩියෙන් විල්මන් ගොයියාට කිට්ටු වුණේය. “ස්මෝකින් ඒරියා එකට ගිහිං එමුද මචං?” විල්මන් අපේ අනිල්ගෙන් ඇහුවාට පස්සේ අපේ අන්නාට ඒ මිත්තරයාව නැතිවම බැරි වුණේය.
“ලොකා, අපිට ලිකරුත් සර්ව් කරනවලු. මිස්ටර් විල්මන් කිව්වේ... ඔන්න ඔයා එපැයි කියන්න එහෙම එපා... ඔයාගේ පංගුවත් ගන්න. මාත් ඉන්නවනෙ... හෙහ් හෙහ්! අපරාදෙනෙ ලොකා! අපි සල්ලි ගෙවල තියෙන්නේ ඒ සේරටමත් එක්කනේ.”

දෙන්නා සිගරැට් බොන අතරේ විල්මන් තව මොනවා අපේ මිනිහාට උගන්නල ඇත්දැයි කියලාය, මං කල්පනා කළේ.

ගුවන් ගමනේ වැඩි විස්තරයක් මගෙ මතකයේ ඇත්තේ නැත.
තියෙන ලොකුම මතකය ‘හිටි හැටියෙම ගුවන් යානය අඩි කීපයක් පහතට වැටෙනවා වගේ දැනීම’ය. වායු ස්තරයකින් තවත් එකකට මාරු වීමේදී එහෙම දැනෙන්නට හැකියාව තිබෙතැයි, මා දැන ගත්තේ පසුවය.

ඇම්ස්ටර්ඩෑම්හිදී අපට නියමිත ඊළඟ flight එකට නඟිනතුරු අපට පැයක්-හමාරක් බලා හිඳින්නට වුණු බවත් යන්තමින් මට මතකය. (දිනපොතේ ඒ විස්තර ලියා තිබුණා නම්...)

බොහොමයක් ශ්‍රී ලාංකිකයන්ට මේවා සුපුරුදුය
“තව ටික වෙලාවකින් අපි එංගලන්තේ!”

ඇම්ස්ටර්ඩෑම්වලින් ගුවන් යානයට නැඟී ටික වෙලාවකින් විල්මන් කිව්වේය. “සමහරවිට ලොකු අයියේ, මටත් එහෙදී ඔයාලගෙන් උදව්වක් ඕනි වෙයි. සමහරවිට...”

“අපෙන් උදව්වක්, ඔයාට?” එතකොටම, අපේ අනිල් මැදට පැනලා ඇසුවේය. ඒ ඇසූ විදිය නං මට එච්චර ඇල්ලුවේ නැත. මට හිතුණේ අන්නා කලින් ඉඳලාම මේ විදිහට අහන්නට සූදානමින් හිටියා කියලාය. ඒ සැකය තවත් තහවුරු වුණේ අනිල්ගේ ප්‍රශ්නයට විල්මන් මට උත්තර දුන්නාමය.
“ඒකනෙ ලොකා... මාව ගන්න එන යාළුවා හීත්‍රෝවලට එනවයි කිව්වේ පැය දෙක-තුනක් පරක්කු වෙලා. මං හිතුවේ flight එක ඩිලේ වුණා නං හරි කියලයි. මේ යන විදිහට නං අපි වෙලාවටම land කරයි. යාළුවා එනකං මම මොකද කරන්නේ කියලයි කල්පනා කළේ.”

ආයෙමත් අපේ අන්නා පැන්නේය. “මිස්ටර් විල්මන්ට අපේ ගෙදර ඇවිත් ඒ ටික වෙලාව ඉන්න කියමු නේද ලොකා?”

මේ බූරු වහන්සේගේ මොළයක තරම!
තවම අපිවත් අම්මලාගේ ගෙදරට ගිහිං නැත; එය කළුද සුදුද කියාවත් දැකලත් නැත.
ඒ මදිවාට මේ අමුත්තා කොහොම කෙනෙක්ද කියලත් දන්නේ කොහොමද? කටුනායක සිට හීත්‍රෝ දක්වා එන්නට ගතවුණු පැය දොළහක- දාහතරක කාලය තුළදී දැනගත්තු තරමක් විතරය, අප විල්මන් ජයසිංහ ගැන දන්නේ.
“අපි කොහොමද එහෙම කියන්නේ අනිල්? අපි යන්නෙ අපේ ගෙදරකට නෙවෙයිනෙ. ඩැඩා මොනවා කියයිද කියලා කවුද දන්නේ...”

“අනේ ලොකා, කරදරයක් නං...” විල්මන් ‘පොලයිට්’ වෙන්නට හදයි!

“නෑ නෑ මිස්ටර් විල්මන්. මම දන්නවනේ අපේ ලොකු අයියගෙ හැටි. එයා ඩැඩාව ෂේප් කර ගනියි. අපි ලංකාවේ කෙනෙකුට මෙහෙම වෙලාවක උදව් කරන්නම එපැයි, නේද ලොකා.” අන්නාව කන්න තරම් කේන්ති වුණත් කරන්නට දෙයක් නැත. මෙහෙම දේවල් කිරීම මගේ නම් සිරිත නොවේ.
නමුත් බොහොමයක් ශ්‍රී ලාංකිකයන්ට මේවා සුපුරුදුය. තමන්ගේ හිතවතුන්ට පමණක් නොව, නන්නාඳුනන්ට පවා අනුන්ගේ මඟුල් ගෙදරකදී නොමසුරුව සංග්‍රහ කරන්නට ඔවුන් සමතුන්ය.

... අවසර ලබාදී තිබුණේ සයමසක සංචාරක වීසායටතේ නිසා...

හීත්‍රෝ ගුවන් තොටුපළේදී අප දෙන්නාව, තවත් සම්මුඛ පරීක්ෂණයකට ලක් කෙරුණු ගණනය. තානාපති කාර්යාලයේදී අපෙන් විමසූ බොහෝ කරුණු එතැනදීත් අසන බවයි, පෙනුණේ.

මගේ නිරීක්ෂණය නිවැරදි නම් ඒ නිලධරයා අප ලබාදෙන තොරතුරු, ඔහු ඉදිරියේ තිබුණු පරිගණකයක අඩංගු තොරතුරු හා සසඳා බැලීමත් කළේය. ඊටත් පස්සෙය, අපට එංගලන්තයට ඇතුළු වීමේ අවසරය ලැබුණේ.

ඒ අවසරය ‘Leave to enter the United Kingdom of condition that the holder does not enter employment paid or unpaid and does not engage in any business profession...’ වගේ තහංචි ගොඩක් එක්කල තිබුණු එකකි. ඒකට අඩංගු වෙනවා නං හෙම අපි දෙන්නාගෙන් එක්කෙනෙකුටවත් එංගලන්තයේ ඉඳිද්දී රස්සාවක් කරන්නට බැරිය. වැටුප් ලබන හෝ නොලබන හෝ රස්සාවක්.... එසේම කිසිම ආකාරයක ව්‍යාපාරයක යෙදීමත් ‘වානා’ය.

එහෙම තහනං වෙන්නට ඇත්තේ අපට අවසර ලබාදී තිබුණේ ‘සයමසක සංචාරක වීසා’ වශයෙන් පමණක් නිසා වෙන්නැතිය!

කටුනායක ගුවන් තොටුපළේදී අපට ඉදිරියෙන් ගිය විල්මන් උන්නැහේ, දැන් අපට පිටුපසින් එයි. අම්මාත්, ඩැඩාත් අපි දෙන්නාව දකින විටම හෘදයාංගම සිනා පාමින් ඉදිරියට ආහ. එතකොටත් අපේ අම්මා හැකි උපරිමයෙන්ම එංගලන්ත වෙලාය; Hug කිරීම්- හායි ඩාර්ලින් කීම්වලින් පිරිලා-ඉතිරිලා පිටාර ගලමින්ය උන්නේ!

ඒ ‘ආදරේ පෙන්වීම ඉවසා දරාගෙන’ ඉවර වෙලාය, මං විල්මන් ජයසිංහ ගැන අම්මලාට කිව්වේ. අපේ අන්නාත් මදි නොකියන්නම පොහොර දැම්මේය.

භාෂා පරිවර්තිකාවගේ වැඩේ කළේ අම්මාය. එතකොටත් අම්මා එංගලන්තයට ගිහිං අවුරුදු දහයක් වෙන්නට කිට්ටුය. එච්චර කාලයක් ගිහිල්ලාත් අපේ අම්මාගේ ඉංගිරිස් but isවලින් පිරිලාය තිබුණේ. අම්මා කියාගෙන- කියාගෙන යන්නේ මොනවාදැයි මටවත් තේරුම් නොයයි. ඒ මදිවාට අම්මා කියාගෙන යන්නෙ හුස්මක්වත් ගන්නට නවත්තන්නේ නැතිවය; අතින්- කටින්- සරුවාංගයෙන්ම උදව් අරගෙනය.
අම්මගේ ඉංග්‍රීසි සන්නිවේදනය මට දැනුණේ එහෙම නම්, ඩැඩාට කොහොම දැනෙන්නට ඇත්ද?

“Leela, please be quite!” කියලාය, අන්තිමේදී ඩැඩා විල්මන් මහතාගේ පැත්තට හැරුණේ. ටයි-කෝට් ඇඳුමෙන් සැරසී හිටි විල්මන් මහතාට අපේ ඩැඩා ඉංග්‍රීසියෙන් කතා කළේය. විස්තර විමසුවේය. මිතුරා එනතුරු අපේ ගෙදර සිටින්නැයි කිව්වේය.

ඔය මිරිස් තුනපහ දාපු අපේ කෑමවලට කිට්ටු කරන්නවත් එව්වට බෑ!

හීත්‍රෝ එයාර්පෝට් එකේ ඉඳලා විනාඩි දහයක විතර දුරකිනි, අම්මලාගේ ගෙදර තිබ්බේ. ඒ Hounslowවලය. එය තට්ටු නිවාස සංකීර්ණයක කුඩා ඒකකයකි.

“මෙව්වා council ෆ්ලැට්ස්! කසාද බැඳලා දරුවොත් ඉන්න පවුල්වලට ආණ්ඩුවෙන් ගෙයක් දෙන්නම වෙනවලු, මෙහෙ විදිහට.” අපේ අම්මා නම් එදා කිව්වේ එහෙමය.

අම්මලාට ලැබී තිබ්බේ බිම් මහලේ ගෙදරකි!

“ඔයාලා බඩගින්නේ ඇති කියල මම උදෙන්ම උයලත් තිබ්බා.” ගෙට අඩිය තියනවාත් එක්කම අම්මා කිව්වාය. “විල්මන් මහත්තයටත් බඩගිනි ඇතිනෙ. කාලා ඉඳිමු.”

“ඇයි අම්මෙ, ප්ලේන් එකේදි අපිට කෑම දුන්නනේ!” මම කිව්වෙමි. සර්ව භක්ෂක; එකේක පන්නයේ ආහාරපානවලට කැමති මට නම් ගුවන් යානයෙදී සැපයුණු කෑමවල අඩුවක් නොදැනිණි. 
“...දුන්නට බඩ පිරෙනවය?” අම්මාගේ අදහස ඒකය.
“ඒක නේන්නං. මටත් නං ඒවා අල්ලන්නෑ...” වැල යන පැත්තට මැස්ස ගහන්නට අපේ අනිල් සමතෙකි. “ඔය මිරිස් තුනපහ දාපු අපේ කෑමවලට කිට්ටු කරන්නවත් එව්වට බෑ නේද අම්මෙ. ඒක නෙවෙයි.
කෝ, සමන්තිලා ගෙදර නැද්ද?”

“අද ඉස්කෝල දවසක්නෙ, අනිල්...”
“අපරාදේ! අදට ඉස්කෝලේ නොයවා ඉන්නනෙ අම්මට තිබ්බේ...”
“මෙහෙ ඒවා කරන්න බෑ අනිල්. ඉස්කෝලවලත් නීති හරි තදයි. ලංකාවේ වගේ නෙවෙයි...” අම්මා කෑම මේසය සූදානම් කරමින්ම උත්තර දෙයි. “... දැන් සෑම්ලත් ආස නෑ දවසක්වත් පාඩු වෙනවට. ඉස්කෝලේ ගියාට, අද දවල් කෑම වෙලාවට එයාලා එනවයි කිව්වා, ඔයාලව බලලා දුවල යන්න. එයාලටත් ඉවසිල්ලක් නෑ. අවුරුදු දෙහෙකින්නේ ඔයාලව දකින්නේ...”

එයාලා එද්දී අපි බත් කාලත් ඉවරය!

පාසල් නිල ඇඳුම්වලින් සැරසී ඉන්නා සමන්තිලා උජාරු පාටය; පිළිවෙලය. අමුත්තෙකුත් සිටින නිසාදෝ එයාලා තුන්දෙනාම හැසිරුණේත් වඩා සංවර විදිහටය. විශේෂයෙන්ම බඩා මල්ලා දීපාල්. ඇට්ටර බඩා මල්ලා දෑවුරුද්දකදී වෙනස් වෙලා තියෙන තරමක්...
අනේ! බෝදරගම ටීචර්ට මේ ඩීසන්ට් දීපාල් රෝහණ දිසානායකව පෙන්වන්නට පුළුවනි නම්!!
බූරු කටා* මෙච්චර සංවර කොල්ලෙකු වෙලා යැයි එයා විශ්වාස නොකරනවා ඇති. (*මල්ලියා බෝදරගම ටීචර්ගේ මොන්ටිසෝරියට ගියේ එක දවසක් විතරය. ‘මට ආයෙමත් එහාට යන්න බෑ ලොකූ. ටීචර් මට ඒයි බූරු කටා, කට වහපං කියල බැන්නා.’ පළමු දවසෙම, ගෙදර ආ ගමන්ම ඒකා කීවේය. මල්ලාට කීකරු වෙන්නට මට සිද්ද වුණේ එහෙමය!)

මට පිස්සුයි කියන්න විතරයි එයා දන්නේ...

“ලොකූ, අපි ඉක්මනටම එනවා. ඔයාලා ටිකක් නිඳා ගන්නවා නං දැන්මම නිඳා ගන්න. ඔන්න, අපි ආව ගමන්ම ඇහැරෙන්න ඕනි!” අපට උපදෙසකුත් දීලය; සමන්තිලා ආයෙමත් පාසලට ගියේ.

එයාලා කිව්වාට එහෙම කරන්නේ කොහොමද? විල්මන් එක්කල කතා කරන්නටවත් ඕනෑය. ඒ මනුස්සයාව තනියෙන් සාලයේ දමල යන්නයැ.
අනිල් නම් ඇඳගෙන ආ ඇඳුම් පිටින්ම සාලයේ පුටුවක් උඩ සැප නින්දේය!

වාසනාව මගේ දිහා බැලුවේය! වැඩි වෙලාවක් නොයා, විල්මන්ගේ මිතුරාගෙන් ටෙලිෆෝන් ඇමතුමකි. ඩැඩා අපේ ගෙදරට එන විදිහ ඔහුට විස්තර කරනවා ඇසිණි.

“තේ එකක් බීලා යමු!” පැමිණි පමාවෙන්ම  විල්මන් සමඟින් පිටත්ව යන්නට තැනූ මිතුරාට, අපේ අම්මා කීවාය. (ඒ  නිසාම එංගලන්තයේ සිරිතක් ඉගෙන ගන්නටත් එදා මට හැකි විණි.)

“Thanks මිසිස් ශ්‍රෝඩර්. ලංකාවේ එහෙම කළාට මෙහෙදී එහෙම කරන්න මම කැමති නෑ. විශේෂයෙන්ම සැසිල් වගේ බ්‍රිටිෂ් සුද්දෙක්ගෙ ගෙදරට ඇවිත්... පස්සේ දවසක call එකක් දාලම යාළුවත් එක්ක ඇවිත් යන්න එන්නංකෝ.”
“ඔව්, ඔව්. අහම්බෙන් ඇවිල්ලත් ඔයාලා සේරම මට සැලකුවේ පවුලේම කෙනෙකුට වගේ. ඒකට ගොඩක් ස්තුතියි! මම ආපහු එන්නංකො ඉක්මනින්ම දවසක... පුළුවන් නං දවසක් ඉඳලම යන්න...”

එයාලා පිටත්ව ගියාට පස්සෙය, ඩැඩාගේ සමාලෝචන comment එක ලැබුණේ. ඒකත් මටය.

“නිමොල්, උඹට ඉගෙන ගන්නයි මම මේ කියන්නේ. උඹලා ඔක්කොම මෙච්චර වෙලා මේ ගෙදරදී උඹලගෙ සිංහලෙන් කතා කර කර හිටියා- දිගටම. මම සිංහල දන්නේ නැහැ කියලා උඹල එක්කෙනෙකුටවත් කල්පනා වුණේ නැහැ නේද...”
මොහොතක්වත් පමා නොවී අපේ අම්මා කෝන්තර පිරිමැසුවාය.
“රංජි, ඩැඩාටත් සිංහල ඉගෙන ගන්නයි කියන්න. එතකොට ඉවරයිනෙ...
එයා ඔහොම්මමයි. ලංකාවේ කවුරු හරි ආවම අපි අපි සිංහලෙන් කතා කරනවට ආසම නෑ. මෙච්චර දවසක් ගිහිල්ලත් දන්නේ එකම සිංහල වචනයයි. පිස්සු! මට පිස්සුයි කියන්න විතරයි එයා දන්නේ...”

මාස හයක් ඉන්නට යන්නේ මෙහෙම සුන්දර පරිසරයක බැව් ඒ වෙලාවේ මට හිතුණේය.

එහෙම වුණත් දත කාගෙන ඉවසන්නට ඕනෑය.
නිමල් දිසානායක එංගලන්තයට එන්නට කැමැති වුණේ නිකංම නිකං නොවේ; යටි අරමුණකුත් තියා ගෙනය. ඒ සඳහා පසුබිම සකස් කරගත යුතුය; ඉවසිය යුතුය; ජය ගත හැක්කේ එවිටය!
මම මටම මතක් කර දුන්නෙමි.

මිනිහා තවමත් අර ඉස්කෝලේදී යාළු වෙච්චි කෙල්ල ගැනමයි හිත.

‘නිමොල් උඹලගෙ පවුල වෙනුවෙන් කරලා තියෙන දේවල් පොඩි නෑ. දැන්වත් මිනිහට rest කරන්නයි life එක enjoy කරන්නයි chance එකක් දෙන්න වටිනවා!’යි ඩැඩා අම්මාට කියා තිබිණි.

“අනේ, ඩැඩාගේ කෙහෙල්මල් rest! එයාට දවස තිස්සෙම කෝපි බිබී news අහන්න තියෙනවා නං ඊට එහා දෙයක් නෑ.
මම එයාට කියන්න ගියේ නෑ, රංජි...
මම නං ඔයාලව ගෙන්න ගත්තේ ඔයාලවත් දිගටම මෙහෙ නවත්ත ගන්න ක්‍රමයක් හොයා ගන්නයි. ලංකාවේ වගේද රංජි. ටික දවසක් ඉන්නකොට ඔයාලටම තේරෙයි. එංගලන්තෙ කොච්චර ෂෝක්ද කියලා. ඔයාටත් මෙහෙ පුරවැසිකම තියෙන ගෑනියෙක් බැඳ ගන්නයි තියෙන්නේ. එතකොට අවුරුදු පහෙන් නිකංම සිටිසන් ඉල්ලන්න පුළුවන්... කෙල්ලෙක්ම නොවුණත් මොකද... නේද?”

පළමු දවස් දෙක යන්නටත් කලින්ම අම්මා මට කීවාය.
(එංගලන්තයේ පුරවැසිකම ගන්නටම කෙරුණු
එහෙම කසාදයක් ගැන ‘මරිසි මංගල්ලේ’ post එකෙන් මම ලිව්වෙමි.)

“මම ඊයෙම අනිල්ගෙනුත් ඇහුවා. මිනිහා තවමත් අර ඉස්කෝලේදී යාළු වෙච්චි කෙල්ල ගැනමයි හිත. ඒකිවමලු බඳින්නේ. පවට පින දෙන්නයැ. ඔයාගේ එහෙම මොකුත් නැහැනේ... නැහැයි කියලා අනිලාත් මට කිව්වා. මම ඒත් බයෙන් හිටියේ, ඔයා youth එක දාලා එන්න බැහැ කිව්වෙත් එහෙම මොකක් හරි හුටපටයක්වත් හින්දද කියලා.” අම්මා දිගටම කියාගෙන යයි.

කුස්සියේ ඉන්නේ අප දෙන්නා විතරකි.

“හෙට ඉඳලා මාත් ආපහු වැඩට යනවා. ඔයාට පුළුවනිනේ රංජි මොනවා හරි උයාගන්න.”
“උයා ගන්න නං පුළුවනි.
දෙමටගොඩ කැන්ටිම කළායින් වෙච්ච ලොකුම හොඳේ උයන්න පුරුදු වෙච්චි එක. කළු අක්කා තමයි ඉගැන්නුවේ, කෝකි බාස්ලව තිත්ත වෙලා ගියාට පස්සේ.
ඒක නෙවෙයි, අම්මත් වැඩකට යනවද දිගටම.”

“නැතුව කොහොමද? ඩැඩා නං කැමතිම නෑ. කොච්චරවත් ඤරු-ඤුරු ගානවා. එදා එදා විතරක් ජීවත් වෙලා ඇද්ද... ඒ අතින් නං මේ මනුස්සයත් ඔයාලගේ තාත්තා වගේමයි. තාත්තත් කවදාවත් ගෙයක් දොරක් හදා ගන්න එක ගැනවත් හිතුවෙ නැහැනේ... මමම නැහුණට.
ඔයා දන්නවද? මං කීය කීය හරි ඉතුරු කරගෙන තියෙන එකවත් ඩැඩා දන්නෙ නෑ. අද හෙටම දවසක ඒවා ඔයාට දෙන්නං- ඔයා මෙහෙ ඉන්නකල්, ඔයාගේ කාමරේ හංගලා තියමු... ඩැඩා ඔයාගේ කාමරේට එන එකක් නැහැනේ.”

ඒකත් හදන්නේ, කිරි උණු කරලා කිරිවලින්. වතුර චුට්ටක්වත් නොදා.

අම්මත් මාත් අතර ඇතිවෙන මතවාදී ඝට්ටනවලට නං කෙළවරක් තිබ්බේ නැත. එහෙම වුණත්, මිල මුදල් පැත්තෙන් නම් ‘ලොකු පුතණ්ඩියා කොයි තරම් සකසුරුවම්ද- අවංකද කියන කාරණය’ අපේ අම්මා හොඳටම දැන සිටියාය. ඇත්තම කියතොත් ඒ ගතිගුණය මට ඇවිත් තියෙන්නෙත් අපේ අම්මාගෙන්මය. ඒ ගතිගුණය මට ඉගැන්නුවෙත් අපේ අම්මාමය. (එහෙම කිරීම ගැන බොහොම ස්තුතියි අම්මේ!)

ඉතිං, එදා අම්මා මට ඉගැන්නුවේ ඩැඩාගේ කෝපි එක හදන විදිය හා ඩැඩාගේ ප්‍රධාන ආහාරය හදන විදිහයි.

“මේ තියෙන්නේ ඩැඩාට කෝපි හදනකොට කිරි උණු කරන සාස්පාන... එයා බොන්නේ මේ නෙස්කැෆේ විතරයි. ඒකත් හදන්නේ රංජි, කිරි උණු කරලා කිරිවලින්. වතුර චුට්ටක්වත් නොදා. මෙන්න මේ චූටි හැන්දෙන් එකක් විතරයි සීනි.”
අම්මා සේරම කියා දෙයි.
“...දැන් මතකනෙ. සමන්තියි දීපානියි දෙන්නටත් මම කියා දීලයි තියෙන්නේ. ඒත් ඩැඩා දන්නවා, අපි එක එක්කෙනා හදන කෝපි වෙනස්ය කියලා.”

ඩැඩා ඒ තරම්ම සිරා; සූක්ෂ්ම ගොබිලෙක්ද?

“මෙලහටත් ඩැඩා නැඟිටලයි ඇත්තේ. මම බලාගෙන ඉන්න අතරේ ඔයාම කෝපි එකක් හදන්නකො බලන්න ඩැඩාට.”
ඉතිං, අම්මා කියූ විදිහටය මං කෝපි එකක් හැදුවේ. කෝපි mug එක ඩැඩාට ගෙනිච්චේ අම්මාමය.

පැය බාගයකට විතර පස්සේ, ඩැඩා පිජාමාව පිටින්ම තරප්පු පෙළ පහළට බැසගෙන ආවේ පිම්මේය!

à ඊළඟ කොටසට... 

29 comments:

  1. අද කොටස ලස්සනට ලියලා තියනවා. අන්නා ගැන හොඳට විස්තර කරලා තියනවා. අර කඩේ බංකොලොත් කලේ කොහොමද කියලා දැන් තේරෙනවා.😉

    ReplyDelete
    Replies
    1. ප්‍රශංසා ගොඩක්!
      ස්තුතියි බස්සා මහත්තයෝ. ඔයාගේ මතය සනාථ කරන්න වගේ මේ මාසයේ වැඩිම පිවිසුම් ගණන තියෙන්නෙත් ඊයේ.

      Delete
  2. ඇල්කොහොල් වලට ඕනම ලෝකෙක ඉන්න දෙන්නෙක් සෙට් කරන්න පුලුවං කියල අර ඩබල ඔප්පු කරල පෙන්න තියෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් ප්‍රසෝ.
      ඇල්කොහොල් ගැන තව තියෙනවා. හෙටානිද්දම ලියවෙන පාටයි මගෙ හිතේ.

      Delete
  3. ඒ ගතිගුණය මට ඉගැන්නුවෙත් අපේ අම්මාමය. (එහෙම කිරීම ගැන බොහොම ස්තුතියි අම්මේ!)// ඒක නම් හදවතට දැනුනා ...

    ReplyDelete
    Replies
    1. අම්මාගෙන් මට ලැබුණු ලොකුම දේවල් දෙකයි, ලලිත්. එකක් එයාගේ රූපය.
      දෙක තමයි ඔය සල්ලිවලට තියෙන සකසුරුවම හා අවංක බව. ඒ නිසාමයි, අසනීප වෙලා දැන් අවුරුදු 10ක් ගිහිල්ලත් යම් තරමක හරි ආර්ථික ස්ථාවරත්වයක් ඇතිව ඔළුව කෙළින් තියාගෙන ඉන්නට හැකිවී තියෙන්නේ; යාළු මිත්‍ර- නෑදෑ සහයත් එක්ක.

      ඔයාගේ comment එක අපේ අම්මාට දුන්නු credit එකක් වගේ. ස්තුතියි!

      Delete
  4. //ඩැඩා පිජාමාව පිටින්ම තරප්පු පෙළ පහළට බැසගෙන ආවේ පිම්මේය// - ඉන්න ටිකේම නිදි ලොක්කට ඩැඩාට තේ හදන වැඩේ කරන්න සැට් වෙලා වගේ 😂

    ReplyDelete
    Replies
    1. හරියට හරි නමී... තව වැඩක් තියෙනවා. ඊළඟට බලන්නකෝ.

      Delete
    2. හුම්? බස්සෙක් වේගෙන එනවද මන්දා.

      Delete
  5. මම භාෂාවලට කැමතියි. වෙනත් බාසාවක වචනයක් සිංහල හෝ ඉංග්‍රීසි ලියවිල්ලක දැක්කාම ඒකෙ ශබ්දකිරීම සහ etymology ගැන ඉගන ගන්න ආසයි.
    ඒක නෙමයි මම මේ කියන්නෙ. මම දන්න හුඟක් rude සහ unmannerly (අශීලාචාර) දෙයක් තමයි කීපදෙනෙක් එකට කතාකරමින් ඉන්නකොට එතන ඉන්න එක්කෙනෙකුට හෝ වැඩිගණනකට නොතේරෙන බාසාවකින් අනිත් අය තමන් අතර කතාකිරීම. අපේ අය විදේශිකයෙක් ඉන්නකොට ඒක කරනවා. ඒක අපි කීපදෙනෙක් කතාකරනකොට එතන එක්කෙනෙකුට ඉංග්‍රීසි නොතේරුනත් අනිත් අය මොකක් හරි ඉංග්‍රීසියෙන් කීම වගේම දෙයක්. දෙමල / සිංහල නොතේරෙන කෙනෙක් ඉස්සරහ අනිත් අය ඒ නොතේරෙන බාසාවෙන් කතාකලාම එයාට තියන අපහසුව වගේමයි.
    මම මේ කියන්නෙ ඔක්කොමලට කතාකරන්න පුලුවන් බාසාවක් තියෙද්දි එක්කෙනෙකුට නොතේරෙන බාසාවෙන් කතා කිරීම. බාසාවක් නැත්නම් අදාල නෑ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay මහත්තයෝ- වැදගත් කරුණු කීපයක් එකතු කිරීම වෙනුවෙන්.

      Delete
    2. මගේ බිරින්දැත් ඕන දෙයක් ඉවසනවා. ඔන්න ඕක තමා ඉවසුවේ නැත්තේ. ඒක නිසා හොලිඩේ කිහිපයක්ම මිස් වුනා. "අර ෆැමිලි එක සිංහලෙන් විතරයි කතා කරන්නේ කියල ". හැබැයි ඉතින් දෙමල අයත් එහෙමම තමයි

      Delete
    3. අනිත් අය ගැනත් හිතනවා නං මේ ප්‍රශ්නය ලේසියෙන් බේරුම් කර ගන්න අපට පුළුවන් නේද අජිත්?

      Delete
  6. "ඩැඩා පිජාමාව පිටින්ම තරප්පු පෙළ පහළට බැසගෙන" පිම්මේ ආවෙ නිමල් හදපු කෝපි එක ගොඩක් රසයි කියන්නෙ නේද. සාමාන්‍යයෙන් නිමල්ට අනිත් අය සතුටු වෙන දේ කරන්න හැකියාවක් තියෙන නිසා, මගේ අනුමානය ඒක.

    Bend it like Beckham film එක කලේ Hounslow කිට්ටුව නේද. නිමල්ගෙ අම්මලා දිගටම ඒ හරියෙද හිටියෙ.

    වෙනත් භාශා කතාකරන අය ඉන්න තැනක තමන්ගෙ භාශාවෙන් කතා කරන එක ලංකාවෙ අය වගේම, චයිනීස්, වියට්නැමීස් අයත් නොඅඩුව කරන දෙයක්. ඒවගේම තව දෙයක් තමයි කීප දෙනෙක් ඉන්න තැනක අනිත් අය අඳුරගන්නවත් උත්සාහ නොකර (අඩුම තරමින් ඒ අනිත් අය acknowledge කිරීමක්වත් නැතුව) තමන් දන්න දෙතුන් දෙනෙක් එක්ක විතරක් සංවාදය කරගෙන යන එක. අපේ සමහර අයගෙ social skills ඉතාම දුර්වලයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus, ඔයාගේ අනුමානය හරියටම හරි.

      Film එක කිරීම ගැන නම් අම්මලවත් දන්නේ නැති බව ස්ථිරයි. දන්නවා නං අම්මාගෙන් ඒක කියවෙනවාමයි.
      අම්මයි ඩැඩායි ව්වාහ වුණු අලුතම ඉඳලා තියෙන්නේ එරීන් ඩි සෙල්ෆා මැතිනියගේ ගෙදර. ඒ මාස කිහිපයක් විතරයි.

      අපේ ඩැඩා නියම ගොඩ පෙරකදොරුවෙක්. ඉක්මනටම council එකට ලියලා ගෙයක් ඉල්ලාගෙන. අම්ම තවමත් ඉන්නේ ඒ ගෙදර. Middx, Hounslow වල Brook Wood road එකේ.
      අපේ ගොඩක් අය social skills කියලා දෙයක් තියෙන විත්තියවත් දන්නේ නෑ Lotus...
      Pra Jay මහත්තයයි ඔයයි දෙන්නම ඉතා වටිනා කාරණයකට බර දැම්මාට ආයෙත් ස්තුති කරනවා, මෙන්න!

      Delete
    2. https://www.imdb.com/title/tt0286499/locations

      Delete
    3. ෆිලුමේ ට්‍රේලරය බැලුවා. ෆිලුමම බලන්න හිතුණා - ස්තුතියි අජිත් මහත්තයෝ.

      Delete
    4. ෆිලුම බැලුවා, ඊයේ රෑ.
      නියමයි. හරියටම අඳුනා ගන්න අමාරු වුණත්, හවුන්ස්ලෝ, සවුත්හෝල් පැති මතක් වුණා.
      වැඩියත්ම වැදුණේ ඒ කාලේ මිනිසුන්ගේ ගති සිරිත්... ආකල්ප. Film එක ගැන කිව්වාට ගොඩක් ස්තුතියි අජිත් මහතාණෙනි!

      Delete
    5. සමාවෙන්න ඕනි Lotus, Film එක ගැන ඔත්තුව දුන්නේ ඔයානේ. ස්තුති කරන්න බැරි වුණානෙ. ප්‍රමාද දෝෂය අහු වුණේ පස්සෙයි.

      Delete
    6. ලෝටස් කියන්නේ ඒ වගේ දේකට කලබල වෙන කෙනෙක් නෙමේ නිදියෝ. අනික මට ස්තුති කළා කියල පැත්තක් යනවැයි 😃

      Delete
  7. මොනොත්තක්ද ලෙකෝ ? එතැනට එනකොටම කැවා

    ReplyDelete
    Replies
    1. බලාගෙන හිර වෙයි!
      කෑවා නං ඉක්මනටම වතුර උගුරක් බොන්න උදාර මහත්තයෝ.

      Delete
  8. //නමුත් බොහොමයක් ශ්‍රී ලාංකිකයන්ට මේවා සුපුරුදුය. තමන්ගේ හිතවතුන්ට පමණක් නොව, නන්නාඳුනන්ට පවා අනුන්ගේ මඟුල් ගෙදරකදී නොමසුරුව සංග්‍රහ කරන්නට ඔවුන් සමතුන්ය.// එළ කතාව

    ReplyDelete
  9. කවුන්සිල් ෆ්ලැට්ස් දැන් වැඩිපුරම දෙන්නේ ඇසයිලම් ඉල්ලන අයට. විශ්‍රාම වැටුප් ගන්න අයට සහ රැකියා විරහිත අයටත් දුන්න. ඉන්දියන් කට්ටිය, පකිස්තාන් , බංග්ලාදේශ් , ලංකාවේ සහ අප්‍රිකානු රටවල කට්ටියට දෙන්න ගත්තට පස්සේ හෙන දුෂණයක් ආව. ගෙවල් දෙක තුන අරගෙන නීති විරෝධී ලෙස සබ්ලෙටින් කරනවා. සුද්දෝ ඒවාට වලි දානකොට උන් ජාතිවාදියි කියල බනිනවා. ඕක තමා දැන් තත්වේ.

    ReplyDelete
    Replies
    1. දැන් තත්ත්වය ගැනත් කියලා post එක තවත් හරවත් කලාට ගොඩාරියක් ස්තුතියි අජිත් මහත්තයෝ!

      Delete