අකුරු මැකී නෑ

Sunday, April 9, 2023

තිස් එකේදී... -දහවෙනි කොටස

ලංකාවේ හිටිද්දී- පොඩි ඉඩක් හරි ලැබුණු ගමන් සීනි බෝතලෙන් හැන්දක් කටේ ඔබාගත්, එයාලා එංගලන්තයේදී සීනි ඇබ්බැහියෙන් මිදී හිටියේ එහෙමය!

රුබාබ් dessert එකට මගෙ රුචිය වැඩි බව දැනගත් ඩැඩා සතියකට සැරයක්වත් ඒවා හැදුවේය. ඒ අවුළුපතින් තුන්කාලක් විතරම වළඳන්නට සිද්ද වුණේ මටමය. එදාත් “ඔන්න නිමල්, අද මම උඹ කැමතිම ඩෙසර්ට් එක හැදුවා...”යි ඇමක් දාලා පූර්විකාව හමාර කළ ඩැඩා ප්‍රස්තුතයට පිවිසුණේය.
“අරයා තනියෙන්මද ආවේ... යාළුවත් ආවද... කොහොමද වාහනේ අයිති යාළුවා...”

මං ලීලට කිව්වේ උඹව මෙහාට ගෙන්නගෙන proper holiday එකක් උඹට දෙමු කියලයි. You deserve it!
හිතේ ඇති වුණු නොරිස්සුම හින්දා, එවෙලේ ඩැඩාට ඇත්තම කියන්නට මගේ පඩත්තල දිව නැමුණේ නැත. ඒත් මගේ ප්‍රතිපත්තිවල හැටියට බොරුවක් කියන්නටත් නොහැකිය. නයා මරන්නෙත් නැතුව, පොල්ල කඩා ගන්නෙත් නැතුවය- මං ඩැඩාට උත්තර දුන්නේ. “ඒ තුන් දෙනාම හො..ඳ..ම හොඳ මිනිස්සු!”

“නිමොල්, උඹට මහන්සි නැත්තං මට කෝපි එකක් හදලා දෙනවද please?”
“මං හදන්නං!”
කිරි රත් වෙන අතරවාරයේ ඩැඩා කුස්සියටම ආවේය.

“නිමොල්, මං ලීලට කිව්වේ, උඹව මෙහාට ගෙන්නගෙන proper holiday එකක් උඹට දෙමු කියලයි. You deserve it. පොඩි කාලේ ඉඳලා උඹ පවුලේ bread winner වෙලා කරපු හරිය, ලීලා මට කිව්වමයි මම එහෙම යෝජනා කළේ. උඹට එහෙම සැලකිල්ලක් දෙන්න වටිනවා.
අනිල්වත් ඒකට පටලවා ගන්න ඕනි වුණේ උඹලගෙ අම්මටයි.
මම හිතුවේ, හැබෑම නිවාඩුවක් enjoy කරන්න උඹත් කැමැත්තෙන් ඇති කියලයි. ඒත්, දැන් බලනකොට උඹටත් සල්ලි හම්බ කරන්නනෙ ඕනේ කරල තියෙන්නේ.”

මිනිස්සුන්ට සල්ලි නැතුව පුළුවන්ද?
මගේ අදහස නම් ‘සල්ලි නැතුව බැරි’ බවයි. ඒත්, ඒ වෙනකොටත් රුපියල් සීයකවත් ‘තැන්පත් මුදලක්’ මා සතුව තිබුණේ නැත. ඒ විත්තිය මගේ කල්පනාවට ආවේ එවෙලේ ඩැඩාම මට ඒත්තු ගැන්වූවාමය. “See, උඹට කිසිම deposit එකක්වත් නෑ. අවුරුදු කීයෙදිද, උඹ රස්සාවල් කරන්න පටන් ගත්තේ...” ඩැඩා ඇහුවේය.
ඒ විවේචනවලට කන් දීගෙනම මම කෝපි හැදුවෙමි.

“උඹටත් තේ එකක් හරි coffee එකක් හරි හදාගෙන වරෙන්කො, නිමොල්. අපි මේ ගැන කතා කරන්න ඕනි, සීරියස්ලි!

එතකොට නං පෙනුණේ මොට්ට මං වහන්සේ එතෙක් කටයුතු කර තිබුණු මරි-මෝඩ ආකාරයයි. අවුරුදු දොළහේ සිටය; 1966 සිටය මං රස්සාවල් කරන්නට පටන් ගත්තේ. පදික වේදිකාවේ රඟා- කවි පොත් විකුණා; ඉඳියාප්ප තම්බා- කොළඹ මහ රෝහලේ වාට්ටුවක් ගණනේ යමින් ඒවා විකුණා; බතික් රස්සාව කරලා... හම්බ කළ හැම සතයක්ම මා ගෙනවිත් දුන්නේ අපේ තාත්තාගේ අතටය.

තාත්තා ඒවායින් ගෙදර run කළත්, ඒ මුදල්වලින් කොටසකුත්- ඔහුට ලැබුණු පෙන්ෂන් පඩියෙන් වැඩිම කොටසකුත් රේස් දැමීමට වැය කළේය. 1976 තාත්තාගේ සිය දිවි නසා ගැනීමෙන් පස්සේ ‘භාණ්ඩාගාරික පදවිය’ ටික කාලයකට අම්මාටත්, ඊට පස්සේ ආච්චීටත් පැවරිණි.

හරිහමං මුදල් පාලනයක් අපේ ගෙදර තිබුණේම නැතිවා වගෙය.

ගම් පෙරළිය’ 1944 සිට 2018 තෙක් පිටපත් 1,20,000ක් අලෙවි වී තිබේල!
“ඉතිං බලපං නිමොල්. මම නං කියන්නේ දැන්වත් උඹ උඹ ගැන හිතන්න ඕන කියලයි. අපි උඹලව ගෙන්න ගත්තේ, උඹලගෙන් කීයක්වත් හම්බ කර ගන්න නෙවෙයි. අනිල් දැන්වත් තනියම හම්බ කරන්න පුරුදු වුණාවෙ. උඹ relax එකේ හොලිඩේ එක විඳපං...”

“මම හිතුවේ ඩැඩා, ටිකට්ස්වලට ගිය සල්ලිවත් අම්මට ආපහු දෙන්න ඕන කියලයි...”
“පිස්සු කියන්න එපා. ඒවා අපෙන්...” ඩැඩා කිව්වේය.
ඒ හිත හොඳකම පෙන්වමිනි. නමුත් ඒ වෙද්දී එක්තරා අමිහිරි සත්‍යයක් මට තේරුම් යමින් තිබිණි. අපේ ඩැඩාත් කයිසාරුවත්තේ මුහන්දිරම් රාළහාමිලාගේ පරම්පරාවේය.

(කයිසාරුවත්තේ පරම්පරාවේ අයව හොඳටම දන්නේ, මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ‘ගම් පෙරළිය’ කියවූ උදවියයි! එය කියවන්නටම වටිනා පොතකි. ඒ බවට හොඳම සාක්ෂියකි මේ. ‘ගම් පෙරළිය’ 1944 සිට 2018 තෙක් මුද්‍රණ 58කින්, පිටපත් 1,20,000ක් අලෙවි වී තිබේල!)

ඩැඩාට ස්ථිර මාසික ආදායමක් තිබුණිදැයි මට අවබෝධයක් නැත. නමුත් ආර්ථික අතින් නම් ඒ මානුස්ස පුත්‍තරයා හිටියේ ඒ තරම් හයි-හත්තියක් ඇතිව නොවේ.
එහෙම වුණත් (අපේ වංශේ කබල් ගාන්නන්ට වගේම) තඩි ආඩම්බරයක් හා අභිමානයක් නම් උන්වහන්දෑටත් තිබිණි; මදිය නොකියන්නටම.  ඩැඩා ‘ඒවා අපෙන්’ යැයි කිව්වාට අපේ ටිකට්ස්වලට වැය කර තිබුණේ අම්මා උපයාගත් මුදල්වලිනි.

“ඔයාලව එංගලන්තෙට ගෙන්න ගන්න ඉස්සෙල්ල අපිට ඔයාලා වෙනුවෙන් වියදම් කරන්න සල්ලි තියෙනවයි කියල පෙන්නන්න වුණානෙ, රංජි. එතකොට එකවුන්ට් එක හදන්න ගියාමවත් ඩැඩා එක පවුමක්වත් දුන්නෑ! දෙන්න  තියෙන්න එපැයි. මම එයාගෙන් බැනුම් අහහා හම්බ කරල ඉතිරි කරගෙන තිබ්බ සල්ලිවලින් තමයි ඒ සේරම කළේ. එතකොටත් ඩැඩා ඇහුවේ, මට එච්චර හම්බ වෙනවද කියලයි...”

මට පෙනුණු විදිහට ගෙදර වියදම්වලින් කොටසක් විතරය ඩැඩා දැරුවේ. කිරි, පාන්, පළතුරු, ලයිට් බිල්... වගේ දේවල්ය ඒ කොටසට අයිති වුණේ. මස්, හාල් තුනපහ, එළවලු වගේ දේවල් අම්මා ගෙනාවාය.
අපරාදේ කියන්නට බැරිය. අම්මා ඒවා කළේ නූලට- රූලටය! කොච්චර ඉගෙනගත් සුද්දෙක් වුණත්, එතනදී නං අපේ  ඩැඩාගේ නුවණ ‘ඌව බින්තැන්නේ උපන් රහුබැද්දේ විදානේලාගේ ලීලාවතී’ගේ හැඳි මිටේ නුවණට දෙවෙනි වුණේය.

“ලීලට පුරුදුයි සල්ලි ඉතිරි කරලා. මට එහෙම පුරුදු නැහැ නිමොල්. ඒකමනේ මට ඉන්න තැනක්වත් හරියට ඉතිරි වුණේ නැත්තේ.” ඩැඩා කියාගෙන යයි.

ඉක්මනට හරි පහුවෙලා හරි මැරුණට කමක් නෑ...
“මගෙ ex wifeගෙන් ඩිවෝස් වෙන වෙලාවේ තිබ්බ දේවල්වලින් වැඩි හරියක් එයාටයි පුතාටයි දුන්නා. ගෙදරත් එක්කම. මෙහෙ නීතියෙ හැටියට ගෑනිට තමයි ඩිවෝස් එකකදී වැඩි chances තියෙන්නේ. අම්මත් එක්කල ගියාට පස්සෙම පුතා එක දවසක්වත් මාව බලන්න ආවේ නෑ. එයාට එපා නං මට මොකටද? ඒ අතින් නං ලීලා නිසා මට හම්බ වුණු උඹලා, මගෙ පුතාටත් වැඩිය මට සලකනවා.... ලංකාවේ හැටි වෙන්නැති ඒ.” ඩැඩාගේ හිතෙත් යහමින් බර තියෙන විදිහය.

“ඩැඩාගෙ අක්කවත් ඔව්වට මැදිහත් වුණේ නැද්ද?”

“ඩොරතිද? උඹලගෙ රටවල වගේ නෙවෙයි නිමොල්. වැඩිහිටි වයසට ආවට අස්සේ කාටවත් පවුලේ අයත් එක්ක එච්චර bond එකක් හිටින්නෙ නෑ. One must stand on his feet! එහෙම කරනකොට කෙනෙක් independent වෙනව තමයි. ඒත් එතකොට අර බැඳීම අඩු වෙනවා... ඩොරති මටත් කියනවා එහාට එන්න කියලා...”
“South Africaවටද?” මම ඇසුවෙමි.

ඩැඩාට වැඩිමල් සොයුරියක් ඉන්නා බවත්, විවාහක ඇයට දරුවන් නොමැති බවත් මට ලියා එවා තිබ්බේ සමන්ති නංගීය. කලින් අවුරුද්දක ඒ දෙපළ සමන්තිලා බලන්නට එංගලන්තයට පැමිණියාට පස්සේ ලියූ ලිපියකය.
“ආන්ටි ඩොරති ඩැඩාට කියනවා ලොකූ අපි හැමෝමත් එක්කල සවුත් ඇෆ්රිකාවලට එන්නයි කියලා.
එහෙ මීට වැඩිය හොඳයිලු. ඩැඩා කියනවා එහෙ ඔය හොඳේ තව වැඩි කාලයක් තියෙන්නෑලු. එතකොට ආන්ටි ඩොරතිලටත් ආයෙත් Englandවලටම එන්න වෙයිලු!
අම්මා නං එහෙ යන්න කැමතියි. මොකද දන්නවද, ලොකූ.
ආන්ටි ඩොරති එයාලට දරුවෝ නැති නිසා, තියෙන දෙයක් අපිට දෙයි කියලා. හා හා හා.”

“South Africaවට යන්න නෙවෙයි මට ඕනි, නිමොල්. Great British සිටිසන් කෙනෙක් විදිහට මෙහෙදීම මැරෙන්න.”
“ඩැඩාට මැරෙන්න තව කල් තියනවා...” එතකොට මං කිව්වේ ලංකාවේ පුරුද්ද විදිහටය.

“ඉක්මනට හරි පහුවෙලා හරි මැරුණට කමක් නෑ නිමොල්, satisfy විදිහට life එක enjoy කරලා තියෙනවා නං. මම නං මගෙ ජීවිතේ ගත වුණු විදිහට කැමතියි. ලීලාවයි උඹලවයි මට හම්බ වුණු එකත් මගෙ luck එකක්. හැබැයි, උඹලගෙ අම්මා දැන් ටිකක් වෙනස් වෙලා.”

“නෑ, වෙන්න බෑ.”
“මොකද නැත්තේ. මං ලීලට කැමති වුණේ එයා ශ්‍රී ලංකන් lady කෙනෙක් වගේ හිටිය නිසා. අපි මැරි කරලා දැන් අවුරුදු හයක්. මේ අවුරුදු හයට ලීලා සෑහෙන්න British වෙලා.” ඩැඩා කිව්වේ සිහින් ලතැවිල්ලක් මුසු හඬකිනි.
“මං ඒකේ නරකක් නෙවෙයි කියන්නේ. She අහුලා ගන්න හදන්නේ මෝඩ දේවල්. ඒකයි වැරැද්ද. ලීලා මෙහෙ කෙනෙකුටත් වැඩිය බ්‍රිටිෂ් වෙන්නයි try කරන්නේ.”

හැබැයි traditional meal එක හදන්න ඕනි. උඹලගෙ Rice & Curry බෑ!

ඩැඩාගේ හිතෙත් මෙච්චර හිතුවිලි කන්දරාවක් හිර වෙලා තියෙනවා යැයි මං නම් හිතුවේ නැත. මිනිසුන් වැඩි දෙනෙකුම එහෙමය. කියා ගන්නට උවමනා දේවල් කප්පරක් ඔවුහු තම හිත තුළම සිර කරගෙන සිටිති; කියා ගන්නට ඉඩක් නොලැබී ළත වෙති. වැඩියත්ම එහෙම වෙන්නේ සවන් දෙන්නට කැමැත්ත ඇතියවුන් අද සමාජයේ බෙහෙවින්ම හිඟ නිසාය.

‘මිනිසාට එක කටකුත්, කන් දෙකකුත් ලැබී තිබෙන්නේ අඩුවෙන් කතාකොට වැඩියෙන් සවන් දෙන්නටය!’ ඒ කීම නොදන්නා; නෑසූ කෙනෙකු නැති තරම්ය. එහෙත් එහි අරුත ප්‍රායෝගිකව ජීවිතයට එකතු කර ගත්තවුන්...?

ඉතිං, අනුන් කතා කරන්නට පටන් ගත්තාම ඊට රුකුල් දෙන කලාව දැනගෙන හිටි මං වහන්සේ, ඩැඩාට සවන් දීගෙන හිටියත්- ඒක අතරමඟින් නවත්තන්නට සිද්ද වුණේය. අම්මා ගෙට ගොඩ වැදුණු නිසාය, ඒ.
‘Bad Luck!’ කියලා හෙමින් කොඳුරා, ඇසක් වසා ඉඟියකුත් කරලාය, සැටියෙන් නැඟිටිමින් ඩැඩා කතාවට තිත තිබ්බේ.

“රංජි, ඔයාගේ වැඩේ ඉවරද?” අම්මා කබාය ගලවා එල්ලමින්ම ඇහුවාය.
“පිස්සුද අම්මෙ? එක දවසකින් එච්චර දෙයක් කරන්න නම් ඉතිං, මම විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා වෙන්න එපැයි.” මට කියැවිණි.

“එහෙනං අපරාදේ! නීලියා හෙට Lunch එකට එන්නං කිව්වා. මාත් නිවාඩු හින්දයි හා කිව්වේ. ඔයාට බැරිද රංජි දෙක තුන වෙනකොටවත් එන්න?” අම්මා අහයි.

එතකොට අශාන්?
අශාන් හෙට සවසටත් එනවාය කිව්වේ, තව ටිකක් කතාබහ කරන්නටය. ඒ අවස්ථාව නැති කර ගන්නට මං ලෝබය. ඒත් අම්මා... මට තරම් ඉඩක්, නිදහසක් අම්මාට නැත. අම්මා දවස් හතේම වැඩය. ඇයට නිවාඩුවක් ලැබෙන්නේ එහෙමත් දවසකය.

උඩට නඟින පඩි පෙළ ළඟ නැවතී උන් ඩැඩා අපේ සිංහල කතාවට මැදිහත් වුණේ එතකොටය.

“මට තේරෙන්නෙ ලීලා, tomorrow ලන්ච් එකට නීලියා මෙහාට එනවා වගෙයි. Am I wrong?”
ඩැඩාට උත්තර දෙන්නත් කලින්ය, අම්මා කෙඳිරුවේ. “දැක්ක නේද? හෙමිනා වගේ අහගෙන ඉඳලා වචනෙන් දෙකෙන් අපේ කතන්දරේ අහුලගෙන තියෙන හැටි”. ඊට පස්සෙය, අම්මා ඩැඩා දිහාවට හැරුණේ.
“Yes, මයි ඩා..ර්..ලි..න්. හොඳ නැද්ද?”

“මොකද හොඳ නැත්තේ, My L..o..v..e? හැබැයි හෙට Sunday! උඹ දන්නවනෙ ලීලා මේ ගෙදරට එනකොටම මං කිව්ව නීතිය... නීලියා ආවට නං කමක් නෑ, හැබැයි traditional meal එක හදන්න ඕනි. උඹලගෙ Rice & Curry බෑ. හරිද...” ඩැඩා කීවේය.

ඒ ලුණුමිරිස් හදනකොටනේ, ලොකූ...
ඒ ඩැඩාට උවමනා විදිහට අපේ ගෙදර ‘ඉංග්‍රීසි සම්ප්‍රදායේ ආහාර වේල’ සැකසුණු එකම අවස්ථාවයි. ඒ ඉරිදා දහවලටය...

කුකුළන් දෙදෙනෙක් හෝ බැටළු මස් හෝ රෝස්ට් කර ගැනීම ලොකුම කොටසයි. ඒ රාජකාරිය කෙරුණේ Sam අතිනි. කලින් දවසේ රෑම සමන්ති මස් ටික marinate කරයි. (එහෙම කරන්නේ ඒවා අයිස් පෙට්ටියේ තවත් පැය කීපයක් තියන්නට බලාගෙනය.)
ඔන්න, අධි ශීතකරණයෙන් අරගත් මස් ටික අයිස් දිය වුණාම, වතුරෙන් හොඳට සෝදා- අපායේ වධයකට බඳුන් කෙරෙයි. ඒ විනාඩි පහක් විතර තිස්සේ, අහුවෙන හැම තැනටම ගෑරුප්පුවකින් ඇනීමෙනි. “එතකොට තමයි ලොකූ මස් ටික ඇතුළට
හොඳටම රස අල්ලන්නේ!” සමන්ති කියයි.

‘රස’ කියන්නේ එක රසයකට විතරක් නෙවේ. හදාගන්නා මිශ්‍රණයක රහටයි. විනාකිරි හෝ දෙහි ඇඹුල් එක්ක ලුණු- ඉඟුරු- කුරුඳු- ගම්මිරිස් කුඩුත් කුළුබඩුත් එකට මිශ්‍ර කර ගන්නවා දකිනවිටය, මට අතුරු ප්‍රශ්නයක් අහන්නට හිතුණේ.

“Sam, කඩවල විකුණන්න තියෙන රෝස්ට් කරපු කුකුළොන්ගෙ රතු පාටකුත් තියෙනවනේ. ඔයා හදාගත්ත මේකෙ රතු පාටක් නැහැනේ...”
“තව ඉවර නෑ ලොකූ. මගෙ අත දැවිල්ල ගනියි කියන බයට මම පැප්රිකා කුඩු දාගන්නේ අන්තිමට!” සමන්ති හිනාවෙයි.

“අනේ යකෝ! ලංකාවේ ඉඳිද්දී මානෙල් අක්කා තමුසෙට මිරිස් අඹරන්නත් දුන්නා නේද?”
“ඒ ලුණුමිරිස් හදනකොටනේ, ලොකූ.”
“Paprika මිරිස්වලට වැඩිය සැරයිද Sam?”
“අපෝ නෑ ලොකූ. රතු පාට වුණාට සැර නෑ. ඔයා දැකලා තියෙනවනෙ Bell Peppers... සැලඩ්ස්වලට එහෙම දාන්නේ, ලස්සන කර ගන්නත් එක්ක... රතු, කහ, කොළ, තැඹිලි පාටවලින් එන ලොකු කරල්...”

“හලෝ, එංගලන්තේ ආවට පස්සේ තමුසෙලා ඔව්වා දැකල තියෙන්නේ. ලංකාවෙ ඉඳිද්දී අමුමිරිස්, වේලිච්ච මිරිස්, මාළු මිරිස් විතරයි නේද දැකල තිබ්බේ. මමත් එහෙම තමයි!” 1985දී මට කියැවුණේ එහෙමය. ඒත් ඊට පසු අවුරුදු 38ක් ගතවී තියෙද්දී ලංකාවේ තත්ත්වය එය නොවේ.
මහරගම පොළෙත් බෙල් පෙපර් විකුණන්නට තිබේ!

සති පොළවල් බොහොමයක පලා වර්ග විකුණන තට්ටුවල, කොත්තමල්ලි- පාස්ලි- මිංචි වගේ ජාතිවලටත් ඉඩ ලැබිලාය!! පුදුමය කියන්නේ මහරගම පොළේ නම් ඒවායේ මිල Super මාර්කට්වල මිලටත් වඩා සුපිරිය!!!

“මොනවද Sam, මේවා කාලා හරි යනවද? බඩ පිරුණත් හිත?” එංගලන්තයේදී අපට උදාවුණු පළමුවෙනි ඉරිදා දවසේ දවල් කෑමෙන් පස්සේ අනිල් සමන්තිගෙන් ඇසුවේය. හොඳ වෙලාවට මිනිහා එහෙම ඇහුවේ කුස්සියෙදී හෙමින්ය. “බත් නැද්ද?”
“ඇයි අනිල් අයියේ, කෑම රස නැද්ද? ජාති ගොඩකුත් තිබ්බනෙ.” සමන්ති නංගි කටු-කුටුවෙන්ම උත්තර බැන්දාය.

මාව තරහ ගස්සන්න එපා. ඇත්ත කියන්න එපා නං...
“තිබ්බ නේන්නං. කැරට්, හතු, බෝංචි, ගෝවා මල් වතුරෙන් උයල වගේ. අර්තාපල් නං බැදලා නිසා තව කමක් නෑ. ගෝවා ජාතියක් නේද අර පුංචියට ගෙඩි ගෙඩි තිබ්බේ. එකකටවත් මිරිස් රහක් නෑ... කිරි රහක් නෑ... ලුණුත් පෙන්නලා විතරයි...”

එතකොට නං සමන්තිගේ මූණට දෙහි බෑයක් මිරිකුවා වගෙය. පිඟන් හෝදමින් හිටි දීපාල් අක්කන්ඩියගේ පිහිටට ආවේ එතකොටය.
“ඇයි මම අනිල් අයියට කිව්වේ, මිංචි සෝස්- ග්රේවි- ලුණු- ගම්මිරිස් එහෙම දාගන්නයි කියලත්.”
“එහෙම දාගත්තට හරි යන්නෙ නෑ මල්ලා!”

“අනේ අනිල් අයියේ. සතියකට එක වේලයිනේ. ඩැඩාට ඕනි මේ සන්ඩේ මීල් එක family එකේ සේරමලා එකට වාඩි වෙලා කනව දකින්න. පව්නෙ... එයාගේ ඒ සන්තෝසේ spoile කරන්න එපා. අනිත් දවසේ ඉඳලා මං බත් ටිකක් හංගල තියන්නංකෝ- පස්සේ ඔයාට කන්න.” සමන්ති නංගි අනිල්ව අස්වැසුවේ එහෙම කියලාය.

එහෙව් දේවලුත් දැනගෙනය, අපේ අම්මා නීලියාගේ ආගමනය පිළිගන්නට හැදුවේ. “නීලියා මෙහෙ එනවා නං එන්නෙ ලංකාවේ රහට කෑම කටක් කාල යන්න බලාගෙන. හැමදාම නෙවෙයිනෙ. ඒත් එපා නං... සැසිල්, උඹට පුළුවන් නේද ප්ලීස්- නීලියාට කියන්න වෙන දවසක එන්නයි කියලා. වෙන වැඩක් හරි...”
“ලීලා, ලීලා, ලීලා! මාව තරහ ගස්සන්න එපා. ඇත්ත කියන්න එපා නං, උඹම එයාට කියන දෙයක් කියපං. මං නීලියාට ඇත්තම කියන්නං.” ඩැඩා රැව්වේය; ගෙරෙව්වේය.

අම්මා පරාජය භාර ගත්තාය. ඔළු භාෂාවෙන්ම උත්තර දෙමින් ඩැඩාට කැමති දෙයක් කියා ගන්නැයි ඇඟෙව්වාය.

ඩැඩා නීලියාට ඇමතුවේය. ඇත්තම හේතුව එයාට කීවේය. “ලීලා! නීලියා කියනවා, එයා එනවලු. Traditional English Meal එකක් මං වගෙ British Gentleman කෙනෙක් එක්ක enjoy කරන්න හම්බවෙන එක ගොඩක් හොඳයිලු.” රිසීවරය ආපහු තියපු ඩැඩා සද්දෙට කිව්වේ හරි උජාරුවෙන්.

ඇත්තම කියනවා නං ඒ කතාවෙන් හුළං බැස්සේ නිමල් දිසානායකගේ!
මම මොනවද අශාන්ට කියන්නේ... බොරුවක් කියන්නත් බැහැ. මොනව වුණත් අශාන්ට ඇත්තම කියනවා. දැන්ම නෙවෙයි; ඩැඩායි, අම්මයි දෙන්නම උඩට ගියාම. අනිල් TV එක on කළාම.

එහෙම කළාම, අශාන්ගෙන් මට ලැබුණේ හිතේ කොණකවත් හැංගී තිබුණු උත්තරයක් නොවේ.

මෙහෙම බාධාවල් එන එකෙත් ලස්සනක් තියෙනවා. ලස්සනම මල් පිපෙන්නේ හරියට වතුරවත් නැති තැන්වල. ගල් උඩ; ගස් උඩ...

“Don’t වොරි නිමල්. අපිට මෙහෙම බාධාවල් එන එකෙත් ලස්සනක් තියෙනවනෙ. ලස්සනම මල් පිපෙන්නේ හරියට වතුරවත් නැති තැන්වල. ගල් උඩ; ගස් උඩ...

-ඔයා හෙට වරුවක් විතරක් වැඩේ කරන්න. එතකොට ඒක තව දවසකට ඉතිරි වෙයිනෙ. You know what I mean. සඳුදා හවසට අපි හම්බ වෙමු... ම්..ම්..ම්.. එහෙම හොඳයි නේද... එතකොට මම හෙට නෑවිත් ඉන්නම්. ඔයාලගෙ ඩැඩාටම කියන්න ඇවිත් ඔයාව pick කර ගන්න...”

You know what I mean...  You know what I mean...
සෑහෙන වෙලාවක් තිස්සේ අශාන්ගේ කටහඬ මගේ කන් දෙක අස්සේ දෝංකාර දිදී තිබුණු විත්තිය නොකියාම බැරිය. පලක් ඇතත් නැතත් පොඩිත්තක් හරි නසරානි වැඩක් කරන්නට මං වහන්සේ කැමතිය. අශාන් කිව්වේ වැඩේ හෙමින් කරන්නටය.

ඒ හාදයා වෙනුවෙන්; එයාගේ ප්‍රිය සමාගමය වෙනුවෙන් එහෙම කරන එක මහ ලොකු දෙයක් නොවේ. එකම දේ මට එළිමහනේ සීතල කාගෙන ඉන්නට සිදු වෙන කාලය ටිකක් වැඩි වීමය.

à ඊළඟ කොටසට...

40 comments:

  1. "හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
    දනට පිනට ගෙදර දොරට දුන්නේ මං
    හිතේ මනාපෙන්"

    ReplyDelete
    Replies
    1. "ඉර හඳ පායන ලෝකේ
      ආලෝකය අතරේ
      සැප දුක සමබරවේ
      මේ ජීවන කතරේ//
      සැප දුක සමබරවේ"

      Delete
  2. "කෝං ගහේ, කෝං ගහේ
    කෝං ගහේ වටපාරෙන් ඕං එනෝ"

    ReplyDelete
    Replies
    1. "ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න මා හා!"

      Delete
  3. //...වැඩිහිටි වයසට ආවට අස්සේ කාටවත් පවුලේ අයත් එක්ක එච්චර bond එකක් හිටින්නෙ නෑ. One must stand on his feet! එහෙම කරනකොට කෙනෙක් independent වෙනව තමයි. ඒත් එතකොට අර බැඳීම අඩු වෙනවා..//

    මේක ගැන නං වෙනමම පෝස්ට් එකක් ලියන්න තරං වටිනව. "උඹලගෙ රටවල වගේ නෙවෙයි නිමොල්" කිව්වට, ආසියාතික රටවලත්, අඩු-වැඩි වශයෙන් සිද්ද වුනේ මේකම තමා. එකම වෙනස, ඒක බොරුවෙන් වහගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. වැඩිහිටි වෙන්න ඉස්සර ඉඳලත් බොන්ඩ් සීමාසහිතව තමයි මං හිටියෙ.

      මගෙ ඉන්ට්‍රොවර්ට් ගතියයි (නිමල් ඒකට "අන්තරාවර්තී" කිව්ව ඉස්සර පෝස්ට් එකක.නිකං 'ඩේන්ජරස් හොල්මන්' වගේත් හිතෙනව ඒ වචනෙ. එහෙම වුනත් ඉතිං වැරදි නෑනෙ ) individualistic ගතියයි (ඒක මොකක්ද? ), ඒලියන් ගතියයි නිසා වෙන්න ඇති.

      ජේම්ස් බොන්ඩ්වුනත් For Your Eyes Only කියල මූවි එකක් කලානෙ :-D

      Delete
    2. ඔහේ හිතල-මතල වැඩ කරන හාදයා කියල, දවසක් ඉත්තෑවෙකුත් මට කිව්වා. අනාගතේදී මේ පැත්තෙ ගිණි තපින්න එන්න අදහසක් එහෙම නැතෙයි?😉🤔

      Delete
    3. PR අරං දෙනවනං හෙටම

      Delete
    4. ඉස්සෙල්ලම උත්තරේ බස්සා මහත්තයට. ගෞරවනීය ආරාධනයකුත් එක්ක.
      තමුන්නැහේත් blog ලියන පක්ෂියෙක් වෙච්චි, දැනුම් තේරුම් අත්දැකීම් ඇති කෙනෙකුත් වෙච්චි. එහෙව් එකේ කොච්චර අගෙයිද, තමුන්නැහේ කියල තියෙන 'නිමිත්ත' ප්‍රස්තුත කරං post එකක් ලියනවා නං?

      Delete
    5. Pra Jay මහත්තයත් රට හැර යන්නද අදහස.... තවත් බුද්ධි ගලනයක් නෙව එතකොට...

      Delete
    6. නරි මොටෝ!
      ඔහේ ගිනි තපින්න අඬ ගහන්නේ කැනඩාවටද?

      Delete
    7. අනුර ජිනදාසApril 16, 2023 at 7:24 PM

      කැනඩාවෙ ගිනි තැපිල්ල ගැනයි ලියන් හිතුවේ.
      නිමල්ට මතක ඇතිනේ අපිත් එක්ක එරත්න පාරෙ සිරීපාදෙ ගිය මගේ චූටි නංගි. එයා කසාද බැඳලා කැනඩාවට ගියානෙ. එයා එහෙ පාසල් බසයක් එළෙව්වා. ගිනි තැපගෙන අවුරුදුවලට කැවුම් හදල අලෙවිකරලා පුත්තු තුන්දෙනාට උගන්වමින් හිටියේ. ඔන්න දැන් ස්නායු ආබාධයක් කියලා බෙහෙත් කරගන්න මෙහේ එනවාළු.
      කැනඩාවෙ දේශගුණ වෙනස්වීම මේකට හේතුවෙන්න පුළුවන් කියල කීවලු. ඔන්න එහෙමයි කැනඩා ගිනි තැපිල්ල

      Delete
    8. ඉතිං දෙයි හාමුදුරුවනේ, කාගෙන්වත් තහංචි වැටෙනවා කියලය. ලියමුකො අනුර මහත්තයෝ.

      Delete
  4. අද කතාවෙත් වංගු අඩු නිසා, පිඹගෙනම ගියා. 🙏👌😊🤣

    ReplyDelete
    Replies
    1. බස්සෝ පිඹගෙන යනවැයි, හ්ම් කියාගෙන යනවා මිස... නයි නං...

      Delete
  5. ගම් පෙරළිය. මං තාම කියවා නැතිය.
    //“ඩැඩාට මැරෙන්න තව කල් තියනවා...” එතකොට මං කිව්වේ ලංකාවේ පුරුද්ද විදිහටය// 😂😂

    ඩැඩා මොනාඋනත් තමන් සැටිස් වෙන විදිහේ ලයිප් එකක් ගත කරලා තියෙනවා හිට. ඒකනෙව අපිටත් ඉතිං අන්තිමට ඕන.

    ReplyDelete
    Replies
    1. 1. //ගම් පෙරළිය. මං තාම කියවා නැතිය.//
      'දෙයියෝ සාක්කි! මේකාව දීයා කාපිය!' - මුවන් පැලැස්ස ගුවන් විදුලි හඬ නළුවෙනි.

      2. මට නං නමියෝ, ඒක ඕනි කරන්නේ අන්තිමට නෙවෙයි, පටන් ගැන්මේදීම!

      Delete
  6. අයි නෝ වටි හී මීන්. හැක්..

    ReplyDelete
  7. You know what I mean...// ගොනා පොල් පැලේ කන්ඩද හදන්නේ......

    ReplyDelete
  8. නිමල්ගෙ ඩැඩා කියලා තියෙන 'holiday' වචනයේ හරිම අදහස අපේ රටවල අය තේරුම් ගන්නවා අඩුයි නේද. ඩැඩාලගෙ රටවල අය කරන්නෙ තමන් කැමති තැනකට හෝ කලින් නොගිය තැනකට ගිහින් ඇවිදලා, හොඳට රිලැක්ස් කරලා, මාසයක් විතර ඉඳලා අවුරුද්දෙ ඉතුරු කාලය මහන්සිවෙලා වැඩ කරන්න refresh and rejuvenate වෙලා එන එක.

    ReplyDelete
    Replies
    1. මේ කාරණය ගැන මගෙ අත්දැකීම ඉදිරියෙදී ලියන්නං Lotus. ස්තුතියි අදහස මතු කර දීම ගැන!

      Delete
  9. අශාන් කෙලින් කතා කරන කෙනෙක් වෙන්න ඇති, හැබැයි මටනම් හිතෙන්නෙ මෙතනදි එයා කරන්නෙ නිමල්ගෙ පෞද්ගලික අවකාශය ආක්‍රමණය කිරීමක් කියලා. කෙලින් කතා කරන එකයි, අනිත් මිනිස්සුන්ගෙ අතිශය පෞද්ගලික තොරතුරු අහන එකයි සම්පූර්නයෙන්ම වෙනස් දේවල් දෙකක්.

    (කලින් පෝස්ට් එකටත් කමෙන්ට් එකක් දැම්මා හොඳටම පරක්කු වෙලා වුනත්, නිමල් වැදගත් අදහසක් එතන කියලා තිබුන නිසා).

    ReplyDelete
    Replies
    1. Lotus, මෙහෙම දෙයකුත් තියෙනවා නේද?
      අපි කැමති කෙනෙක්; අපි ප්‍රිය කරන කෙනෙක් අපේ පෞද්ගලික අවකාශය ආක්‍රමණය කළත් අපට ඒකෙ වැරද්දක් තේරෙන්නෙ නැහැනේ.
      එයාගේ පෞරුෂත්ව සීමාව පුළුල් එකක් නං... (මට නියම වචනය මේ මොහොතේදී මතක් වෙන්නේ නෑ. සමාවෙන්න හොඳේ. කිර්ලියාන් ෆොටෝවලින් පැහැදිලි කෙරෙන විදිහට..) අනෙකා එයාට නතු වෙනවා වගේ නේද?

      හැබැයි එහෙම වීමත් ඡන්දයෙන් අගතියට යාමක්. Lotus කිව්වාමයි මට පෙනෙන්න ගත්තේ, මම එහෙම අගතියට ගිහිං නේද කියලා.

      Post එක පළවුණු ගමන්ම කියවන්න බැරි විය හැකියිනේ වැඩ වැඩි නං. පරක්කු වෙලා හරි කියවලා, අදහස් දක්වනවාට ස්තුතියි. පමා වුනාට අදහස්වල වටිනාකම අඩු වෙන්නේ නැහැ නෙව!

      Delete
  10. අපි "සන්ඩේ රෝස්ට් " එකට මාසෙකට දෙහෙකට සැරයක් පබ් එකකට යනව. ටෝබි කාවෙරි, නැවිගේෂන් එහෙම කියල පබ් වල කෑම ඉරිදට හොඳයි. රෝස්ට් බීෆ් තමා වැඩිපුරම යන්නේ. හත්වැනි හෙන්රි රජුගේ කාලේ බීෆිටර්ස් කියල රජ මාලිගාවේ වැඩ කරන වුන් රෝස්ට් බීෆ් නිසා කියල. ඔයා යෝක්ෂයර් පුඩින් ගැන ලීවද? සන්ඩේ රෝස්ට් එකට අනිවාර්ය එකක් නේ

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, අපේ ගෙදරට බීෆ් ගෙනාවේ අඩුවෙන්- මං හිතන්නේ ඒවා නේද මිල වැඩි. ටර්කි ගෙනාවේ නත්තලටයි. වැඩි දවසක හැදුවේ Lamb- ලාබ නිසා වෙන්නැති ගෙනාවේ.

      පුඩින් වර්ග ගැන මා තියෙන්නේ හීනිම මතකයක් හින්දයි නොලිව්වේ. හ්හබයි, සමහර දවසට අම්මලා හැදුවා ඇපල් මැදට දාල.... ඒ ඇපල් පයි නේද?

      Delete
    2. මේ පෝස්ට් වල විශේෂත්වය, එදා එංගලනතයේ ඔබ දුටු, පහල මැද පන්තියේ සාමන්‍ය ගෙදරක ජීවන රටාව අප සමඟ බෙදා ගැනීමයි කියක තමා හිතෙන්නෙ. රුබාබ් සැසිල් ස්පෙෂල්, Lamb, ඇපල් පයි, ලීලාවතී ස්පෙෂල් ගැන ලියන්න. ඒක වෙනමම ආතල් එකක්.

      යෝක්ෂයර් පුඩින්, රම්ප් ස්ටීක් ගැන අපේ මැලියංතුමා ලියන සේක්වා!😉

      Delete
    3. ලෑම්බ් එහෙමට ලාභම නැහැ. දෙකම එක ගණන්. ඔබගේ ඩඩා වේල්ස් කෙනෙක් ද දන්නේ නැහැ. ඉංග්‍රීසින් බීෆ් කනකොට , ස්කොට්ලන්ත, වේල්ස් එවුන් ලෑම්බ් කෑවේ වැඩිපුර. දුප්පත් අයිරිෂ් එවුන් අල 😀 ඇපල් pie එකනම් අපේ ගෙදර උන්දැත් හදනව. ජර්මන් එකට කියන්නේ ඇපල් ෂ්ට්රුදෙල් කියල. https://houseofnasheats.com/apfelstrudel-recipe-german-apple-strudel/

      Delete
    4. බසු , යෝක්ෂයර් පුඩින් කියනෙන් කිසිම වැඩකට නැති කෑමක්. පිටි විතරයි. එකෙක් දෙකක ඇරෙන්න මටනම් කැවෙන්නේ නැහැ. https://www.bbcgoodfood.com/recipes/best-yorkshire-puddings

      Delete
    5. පැරණි තොරතුරු ලියන එක ඇගයීම ගැන ස්තුතියි බස්සා මහත්තයෝ. තවත් මතකය ඇවිස්සෙනව ඔහොම ප්‍රතිචාර දකිද්දී.

      අජිත් මහත්තයා වගේ එංගලන්තේ පැලපදියම් වෙලා ඉන්න කෙනෙකුගෙනුත් මේ postsවලට ලැබෙන්නේ පොඩි උදව්වක් හෙම නෙවෙයි! ඒ බවත් විසේසෙන් කියන්න ඕනි.

      Delete
    6. ඔව්. හැරෙන තැපෑලෙන් උත්තර දුන්නාට, අජිත්ට ස්තූතියි.

      Delete
  11. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සා මහත්තයෝ!
      ඔබතුමා ඇතුළු සියලුම blog රචක-රචිකාවියන්ටත්,
      ඒවා කියවන සියලුම රසික-රසිකාවියන්ටත්,
      සකල ලෝක වාසීන්ටත්
      ලැබුවාවූ අලුත් අවුරුද්ද සුබ; වාසනාවන්ත එකක් වේවා!

      Delete
  12. Was in Hounslow High Street today, did remember you, Suba Aluth Avruddak wewa Nidi. Waiting for the next episode lol

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා!
      ඊළඟ කොටස අද දැම්මා... ස්තුතියි!

      Delete