අකුරු මැකී නෑ

Wednesday, May 31, 2023

තිස් එකේදී... -විසිවෙනි කොටස

“හොඳට බලා ගන්න රංජි. ඔයාටත් මේවා කරන්න වෙයි.” අම්මා කියන්නේ ‘හෙද නිලධාරි’ පට්ටමක් දැනටමත් මට හම්බ වෙලා වගෙනෙ.

“මෙයාලට නම් ඕනි සතියේ දවස් හතම මාව මෙහාට ගෙන්න ගන්න. ඒත් රංජි, මං මෙහාට එන්නෙ සුමානෙට දවස් තුනයි. දවසක් ඇර දවසක්. අනිත් දවස් තුනේ මම මේ වගේම ලෙඩ වෙච්ච තව එක්කෙනෙක්ව බලනවා. එක අත්තකම එල්ලීගෙන ඉඳල බැහැනෙ...”

එංගලන්ත වෛද්‍යවරුන් පවසා තිබුණු විදිහට නම් අම්මාට තව වැඩි කාලයක් ඔරොත්තු දෙන්නට

අපේ අම්මා නිතරෝම හිතුවේ එහෙමය. ඒ පැත්තෙන් නං අපට අම්මා එක්ක හැරෙන්නටවත් බැරිය. අම්මාට බලා ගන්නට ලැබෙනවා යැයි කියූ ලෙඩුන් වැඩි හරියක් හොඳටෝම අබල-දුබල වූවන්ය. එහෙම අය කාලයක් අල්ලා නොහිටින බව ඇත්තකි. ඒත් ඔවුන්ගෙන් කෙනෙකු මියයන්නටත් කලින්ම තමන් ගත යුතු ඊළඟ පියවර ගැන හිතා බැලීම පොඩ්ඩක් විතර හෝ අමානුෂික නැද්ද?

මං එහෙම හිතුවේ එදා; 1985දීය!

අද... මට එහෙම හිතෙන්නේ නැත!
දැන්; 2023 අප්‍රේල් 30 වෙනිදා සිට අපේ අම්මා ඉන්නේ මානෙල් නංගිලාගේ ගෙදරය. ඇයත් දැන් අර වාගේ රෝගිනියකි. තරමක ඩිමෙන්ෂියා තත්ත්වයෙන් හිටි අපේ අම්මා බඩවැලේ පිළිකාවකිනුත් පෙළෙන්නීය. එංගලන්ත වෛද්‍යවරුන් පවසා තිබුණු විදිහට නම් අම්මාට තව වැඩි කාලයක් ඔරොත්තු දෙන්නට බැරි වෙන විදිහය.
ඒ විත්තිය කියවුණාම එංගලන්තයේම සිටින අජිත් මල්ලී අම්මාගේ තනියට එහාට ආවේය. සමන්ති, දීපාල්, දීපානි තුන් දෙනාමත්- අම්මාගේ මුණුබුරු මිනිබිරියනුත්- හිත මිතුරනුත් හැකි හැම වෙලාවකම අම්මාගේ ළඟින් සිටියහ.

‘නර්ස් කෙනෙකුත් daily ඇවිත් අම්මව clean කරලා wash කරලා බෙහෙත් දීල යනවා.’ / ‘ඒ වුණත් අම්මා එයාලට wash කරන්න එපැයි කිව්වොත් එයාලා බල කරන්නේ නෑ.’ / ‘... කෑම ගැන වුණත් එහෙමයි. වැඩි appetite එකක් නෑ වගෙයි.’ / ‘දැන් අම්මගේ ළඟින් කව්රු හරි ඉන්නම ඕනි කාලේ.’

“එහෙම නං- අම්මත් ලංකාවට එන්න කැමතියි නං, මම අම්මව බලා ගන්නම්!” මානෙල් යෝජනා කළාය.
චූටි නංගී දීපානිය, ඉස්සෙල්ලාම ඒකට විරුද්ධ වුණේ. “මම අම්මව අපේ ගෙදර ගෙනියන්නං. එහෙ ඉඩත් තියෙනවා...” ඒත් ඒකට අකමැති වුණේ අම්මාය. බෑණාත්; ලොකු මහත් වුණු දරුවන් පස් දෙනෙකුත් ඉන්න එහෙට ගියොත් නිදහසේ ඉන්නට බැරි වෙතැයි අම්මා කියා තිබිණි.

“අම්මගේ හුස්ම තියෙනකල්ම එයාව බලා ගන්න අපිටත් පුළුවන්!” සුනිලුත් ඉදිරිපත් වුණේය. “ අම්මව ලංකාවට එක්ක එන්න බැරිද?”
“පොඩා, ඔයා ඉන්නේ බලංගොඩනෙ... මානෙල් අක්කත් දැනටම ගාමිණී අයියලගෙ අම්මව බලා ගන්නවා නේද?”

මානෙල් ඒකට විසඳුමක් හෙව්වාය. “අපේ අම්මා ලංකාවේ ඉන්නකල්, ගාමිණීල අම්මව බලා ගන්න එයාලගේ කෙනෙකුට කියමු.” ඒත් ගාමිණීට ඉන්නෙත් සොයුරන්ම තිදෙනෙකි. එක ලේලියෙක්, ඒ යෝජනාව ඇසූ විගසම ‘නැන්දම්මාව බලා ගන්නට බැරි යැයි’ පොලිසියේ පැමිණිල්ලක් පවා දැම්මාය.

පොලිසියේ අර විදිහේ පැමිණිල්ලක් දාල තියෙන්නෙත් ඒකෙ එකෙකුට ජරාව දීල වගෙයි!

පැමිණිලි විභාගයේදී නැන්දම්මාව ‘වැඩිහිටි නිවාසයක’ නවත්වන්නට උපදෙස් ලැබිණි. “අපි ඉන්නකල් ඒ මනුස්සයව එහෙම තැනකට යවන්න බෑ. කමක් නෑ, කාලයක් හිටිය වගේම ඒ මනුස්සයා අපේ ගෙදරම හිටියාවේ. අපේ අම්මත් ආවාවේ! මම දෙන්නවම බලා ගන්නං.” මානෙල් තීරණය කීවාය.

“පොලිසියේ අර විදිහේ පැමිණිල්ලක් දාල තියෙන්නෙත් ඒකෙ එකෙකුට ජරාව දීල වගෙයි.”
“කමක් නෑ මානෙල්, අම්මලා දෙන්නව බලා ගන්න එකට අපිත් ඔයාට උදව් කරන්නං. උදේටයි හවසටයි එයාලව හෝදවල ඇඳුම් මාරු කරනකොටනේ ටිකක් අමාරු. අපි ඒ වෙලාවට එන්නම්.” අසල්වැසි අම්මලා දෙන්නෙක්; හේමමාලි හා නිල්මිණි දෙන්නා අපේ මානිට පොරොන්දු වෙලාය.
දැන් සති හතරකටත් වැඩි කාලයක් තිස්සේ වැඩ සිද්ද වෙන්නේත් එහෙමය.

“ඒ වුණාට ලොකා, අපේ අම්මා කැමති නෑ, මං අම්මව හෝදන වෙලාවට හේමමාලි හරි නිල්මිණි හරි වුණත් මට උදව්වට එනවට. එයාට ලැජ්ජයි වගේ...”

ඇඳටත්, රෝද පුටුවටත් සීමාවී ඉඳින ගාමිණීලගෙ අම්මා එක පැත්තකය. Walker එක නැතිව වුණත් ගාටමින් ඇවිදින්නට පුළුවන්කම තියෙන; ඩිමෙන්ෂියාවෙනුත් පෙළෙන අපේ අම්මා අනිත් පැත්තේය. එහෙ සිද්ද වෙන රසබර වැඩ එමටය! ලියන්නට තරං වටින දේවල්ය.

“මානෙල්, ඔයාට තියෙන්නේ ගෙදර වැඩිහිටි නිවාසයක් කර ගන්න. තව සාමාජිකයෙකුත් දෙන්නං ඕනි නං.” මර්වින් කියයි.
“ඔව්, ඔව්. ඒක හොඳයි මානෙල්. ලොකු අයියට වැඩිය මාස ගාණක් වැඩිමල් කෙනෙකුත් ඉන්නවනෙ. එයත් වැඩිහිටි නිවාසෙට එයි, හාමිනේත් එක්කම.” නෙවිලුත් හතර අතේම වනයි.
“අඩෝ! වයස අනුවම නෙවෙයි මචං ලෙඩ වෙන්නේ. වෙලාවත්...” අයස්මන්ත මහත්තයාත් ඩිමෙන්ෂියා- පිළිකා රෝගීන් කිහිප දෙනෙකු ගැන කියයි. “අලුත් පරම්පරාව රට යන විදිහට, ඉස්සරහට තව කොච්චර වයසක අම්මල තාත්තලා තනි වෙයිද මන්දා. කවුද එයාලව බලා ගන්නේ...”

අපේ පවුලේ අලුත්ම තත්ත්වය ඔහොම ලිව්වේ ලංකාවේ දැන් තිබෙන කණගාටුදායක තත්ත්වය ගැන ඔබව දැනුවත් කරන්නටය. ඒ එක්කම මං වහන්සේ පත්වී සිටින ගැටලුකාරී තත්ත්වයක් ගැනත් කියන්නටය.

හැකි හැම විටෙකම මං ස්තුති භාවනාවක යෙදෙන විත්තිය ඔයාලට කිව්වනෙ. එහෙම භාවනාවේ නියැලෙද්දී අපේ අම්මාටත්, ගාමිණීලගේ අම්මාටත් ප්‍රමෝදය- සැනසීම- සතුට- සහනය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කළත්... ‘මොකක්ද නිදි, ඇත්තටම තමුසෙ ඔව්වයින් අදහස් කරන්නේ?’ යටි හිත අහයි. ‘මොකක්ද තමුසෙ පතන ඔය සහනය?’
ඇත්ත තත්ත්වය තේරුම් ගැනීම අමානුෂික වීමක්ද?

මට ඕනි වුණේ sex partner කෙනෙක්ම නෙවෙයි. හොඳ කම්පැනියන් කෙනෙක්.

කය දුබල වුණත්; අත-පය වාරු නැති වුණත්; ජීවත් වෙන්නටමද මිනිසුන් කැමැත්තේ? ‘ඔවුහු විඳවති’යි හිතෙන්නේ බලා හිඳින අපට පමණක්ද...  

අපේ අම්මාට දැන් එයා ඉන්නේ ලංකාවේ විත්තියත්, මානෙල් දුවගේ ගෙදර විත්තියත් අමතකය; බනාසේ පවුල ගැන විතරක් නොව අතීත දිවියේ ගොඩාරියක් දේවලුත් අමතකය.

නමුත් මගේ සමහර මතකයන්; ගොඩක් මතකයන් තවමත් ඉතාම තියුණුය. බනාසේ නිවසෙන් පිටත්ව එද්දී අම්මා සතුටෙන් ඉපිලී සිටි හැටිත් එහෙම මතකයන් අතරේ වෙයි.

“බනාසේ මහත්තයාගේ ලොකු පුතා කැමති වුණා මං නැති දවස් තුනට ඔයාව ගෙන්න ගන්න... එයා මට කිව්වා පළවෙනි සුමානෙ ඔයාවත් එක්ක ඇවිත් පුරුදු කරවන්න. හැබැයි මට තරං ගෙවන්න නං බැහැයි කිව්වා... ඒත් කමක් නැහැනේ රංජි. නිකම්ම ඉන්නවට වඩා.”

“ඩැඩාත් මොකක්ද වැඩක් ගැන මට කිව්ව අම්මෙ.”
“දැක්කෙ නැතැයි එයා හොයල දීපු එකේ තරම. පුළුවනි නං හොයපුවාවෙකෝ.”

ඊළඟ දවසේ අම්මා නැති වෙලාවකය, ඩැඩා බනාසේ වැඩේට එයාගේ අකැමැත්ත කිව්වේ.
“Please නිමොල්, don’t misunderstand me. උඹලගෙ අම්මා උඹටත් පුරුදු කරවන්න හදන life එක ජීවිතයක් නෙවෙයි සන්. Being honest; අවංකවමයි මම මේවා කියන්නේ... උඹට මේවා තේරුම් ගන්න පුළුවන් නිසා.
මට ලීලාව හම්බ වෙනකොට පෙනුණේ එයා මෙච්චර සල්ලිවලට ආසා කෙනෙක් විදිහට නෙවෙයි. එතකොට මාත් ලෝන්ලි life එක ගැන fed up වෙලයි හිටියේ. මට හිතුණා උඹලගේ අම්ම හොඳ house wife කෙනෙක් වෙයි කියලා. මට ඕනි වුණේ sex partner කෙනෙක්ම නෙවෙයි. හොඳ කම්පැනියන් කෙනෙක්. උඹට තේරෙනවද?” ඩැඩා
කියන්නේ පරෙස්සමෙන් වචන තෝරා-බේරා ගනිමිනි.

“... Council Flat එකක් හම්බ වුණාම මම හිතුවේ ලීලාත් එක්ක බොහොම calm & quite ජීවිතයක් ගෙවන්න. ඒත් ලීලා හරි ඉක්මනට වෙනස් වුණා. හම්බ කරන එක ගැනම හිතන්න ගත්ත...
උඹම හිතල බලපං, බනාසේලගේ ගෙදරට යන්න පැය දෙකක්- එන්න පැය දෙකක්... ලීලා පැය අටක් එහෙ වැඩ කළොත් ඔක්කොම 12 hours! දවසෙන් බාගයක්. ඒකට වටිනා ගණනක් හම්බ වෙනවද?”

අනේ! ඔය ඩැඩා කියන්නේ එයා දන්නා තරමේ විදිහටය. ඒ මනුස්සයා ඇත්තම ඇත්ත දන්නවා නං...

අම්මලාගේ උපන් ගමේදී; බදුල්ලේදී ඒ කාලයේ මෙහෙම මුදල් හැංගූ...

අපි එංගලන්තයට ගිය වහාම, අපේ අම්මා අතන-මෙතන හංගගෙන හිටි පවුම් සිය ගණනාවක් රහසේම මගේ භාරයට පත් කළාය. “ඔයාලා යන දවස වෙනකල් මං සුමානෙන් සුමානේ දෙන සල්ලි පරෙස්සමට හංගල තියන්න. වැඩ කරනකොට හම්බ වෙන ගණන් අඩුවෙනුයි මං සැසිල්ට කියල තියෙන්නේ...” මේස්වල, පුංචි රෙදි උරවල හා පරණ ඇඳුම් අස්සේ සුරුණ්ඩි කර හංගා තිබුණු නෝට්ටු හොයා එකතු කර ගන්නට එදා අම්මා වෙහෙසුණු තරමක්...

අම්මලාගේ උපන් ගමේදී; බදුල්ලේදී ඒ කාලයේ මෙහෙම මුදල් හැංගූ ‘උණ බම්බු බැංකුව’ක් ගැනය ඒ වෙලාවේ එකෑවරම මට සිහිපත් වුණේ. ඒ සිදුවීම මගේ පළමු නවකතා පොත ‘යුවති කිරිල්ලී’ ලියද්දීත් ප්‍රයෝජනයට ගත්තෙමි.

“ඉතිං අම්මට පුළුවනිනේ මේවා එකවුන්ට් එකක දාලා තියන්න.”

“මෙහෙ ලංකාව වගේ නෙවෙයි රංජි. වැඩියෙන් හම්බ කරනවා නං වැඩියෙන් tax ගෙවන්න වෙනවා. ඒකයි...”
කතාව අතරේම- කඩදාසි කොළයක අම්මා දුන් සල්ලිවල විස්තර ලියා ඒක දික් කළාම, මට අපේ අම්මගෙන් අපූරු සහතිකයකුත් හම්බ වුණේය. (අදටත් මා එය සිහි කරන්නේ ලොකු ආඩම්බරයෙනි.)
“ඔය ගණන් හිලවු ලියල නුදුන්නත් මං දන්නවා, ඔයා අනුන්ගේය කියන සතයක්වත් ගන්නැති බව.”

“ඒ වගේම තමයි අම්මෙ, අම්මගේ ළඟ සල්ලි තියෙනවයි කියල ඩැඩා දැන ගත්තත් එයා ඒවට අත තියන එකක් නැහැ.”

“ඒක නං ඇත්ත. ඒ වුණාට රංජි- මගෙ ළඟ සල්ලි තියෙනවයි කියල දැන ගත්ත ගමන් සැසිල් අරක කරමු- මේක කරමු කිය-කියා මට වද දෙන්න පටන් ගන්නවා... අලුත් කාර් එකක් ගන්නත් එයාගේ හිතේ තියෙනවා... දැනටමත් ඩොරතිලව බලන්න සවුත් ඇෆ්රිකාවට යමු කියලත් තුන් හතර පාරක්ම කියලයි තියෙන්නේ.
මහ ලොකු අක්කා! දරුවොත් නෑ... සල්ලිත් තියෙනවා ව..කා..රෙ..ට. එවපංකෝ අපි දෙන්නට එහෙ එන්නයි කියලා ටිකට් දෙකක්. ඒ..ව බෑ!!”
අම්මාගේ තර්කවලට ප්‍රතිඋත්තර නොදී එදා නිස්සද්දව හිටියා වගේම ඉඳීමය, මෙදා
ඩැඩා ඉදිරියේදීත් මං කළේ.

එයාම කතා කරගෙන- කරගෙන ගියේය. මම නිහඬව කන් දීගෙන උන්නෙමි.
“I do know Nimal, ලීලා ළඟ ඉතුරු කරගත් සල්ලි තියෙනවයි කියලා, මං හොඳටම දන්නවා! ලීලා ඔහොම හිතන්නේ එයාට තිබිච්ච hard life එක හින්දයි. එහෙම අය future එක ගැන බයයි. They don’t trust other people...”

Past කියන්නේ අතීතෙ... ඒක වෙලා ඉවරයි.

මම හිතුවේ ඩැඩාට අපේ කතාවේ මුල අමතක වෙලා ඇති කියලාය. ‘ඒත් කමක් නෑ, කියවන එකෙන් මේ මනුස්සයාගේ හිත හරි නිදහස් වෙනවනේ... පව් ඩැඩා! එයා මේ වගේ දේවල් අම්මා එක්ක කියන්න ගියොත් නං...’

වෙලාව ගත වීගෙන ගියේය. ඩැඩාගේ හිතේ හිරවී තිබුණු දේවල් ගොඩක් කියැවුණේය. ඒ මනුස්ස ප්‍රාණියාට දිග කාලෙකින් වෙන්නැති, හොඳ සවන් දෙන්නෙකු හමුවී තිබුණේ.
එහෙම ගිහිං ගිහිං ඊටත් පස්සේය, එයා කතාවේ මුල් කාරණයට බැස්සේ.

“Be careful my son! පරෙස්සම් වෙයං!!
Past කියන්නේ අතීතෙ... ඒක වෙලා ඉවරයි. උඹටත් හොඳටම අමාරු ජීවිතයක් තිබිලා තියෙන බව ඇත්ත. ඒක අත්තිවාරමක් කර ගනිං. ඒ foundation එක උඩ හිටගනිං මිනිහෙක් වගේ. එහෙම නැතිව ඒ අතීතය ‘ඔළුව උඩ තියෙන බරක්’ කර ගන්න එපා, my son.”

ඒ ළයාන්විත ‘my son’ කීල්ල මගේ බොක්කටම වැදුණේය. කඳුළුවලින් මගේ ඇස් දෙකම තෙත් වෙනවා මට දැනුණේ නැත. කෙනෙකු දරුවන් හා බැඳෙන්නේ ජාතක කිරීමෙන් හෝ කුසෙන් වැදීමෙන් හෝ විතරක්ද? අදහස්වලින් සමීප වීමෙනුත් පිටස්තරයන් එක්කලාත් එවන් නෑකම්- බැඳීම් ඇති වෙනවා නේද...

ඩැඩා කෝපි උගුරක් බී සිගරට්ටුවක් දල්වා ගත්තේය.

“Think again my son. උඹ බනාසේලා ගෙදර වැඩට යනවයි කියන්නේ, උඹත් අම්මගේ frame එකටම වැටෙනවා කියන එක. මං හෙටම ජෝට කතා කරන්නං. ජෝ මට කිව්වා උඹට දෙන්න job එකක් එයා ළඟ තියෙනවයි කියලත්.”

‘අම්මට සිරිගජ වේගෙන එනකොට දූලගෙ තොලකට වේලෙන්නේ
ගිංතොට නැන්දගෙ දූවරු හින්දයි ගඟබඩ පත්තුව     වැනසෙන්නේ’ කියල සව්දම් කවියක තියෙනවනෙ. ඒ වගේ, මට කරන්නට jobs හරි යාගෙන එන්නේ අම්මාත්- ඩැඩාත් අතර ඇති වෙන තරගයක් මැදින්ද?
ඒ දෙන්නා අතර විරසකයක් ඇති නොවෙන විදිහටය, කරන දෙයක් කළ යුතු.
“අම්මා බනාසේලගෙන් අහලත් ඉවරයිනේ, ඩැඩී. දැන් මම නොගිහිං හිටියොත් අම්මට හොඳ නෑ. ඒ නිසා මම ටික දවසක් එහාට යන්නං. ඊට පස්සේ අමාරුයි කියලා හරි මට නවතින්න පුළුවනිනේ. එහෙම කරන එක නේද හොඳ?”

Youth & Population Committee එකේ සන්නිවේදන හා නායකත්ව වැඩ සටහන්වලදී ඉගෙනගත් ශිල්පෝපක්‍රම මෙතැනදීත් මට උදව් වුණේය. නසරානි නිමල් දිසානායකයා අඩු නැතිවම ඒවායින් වැඩ ගත්තේ සැරයක්- දෙකක් විතරක් නොවේ. එදාත් ඒ ප්‍රශ්නය මං ඩැඩාගෙන් ඇහුවේ Yes කියලා කියවෙන්නට; ප්‍රශ්නය විමසන්නා හා එකඟ වෙන්නට වැඩි ඉඩක් ලැබෙන විදිහටය.

මගේ උපාය හරි ගියේය.
ඩැඩා ‘හ්ම්!’යැයි කිව්වේය.

කොත්තමල්ලි කොළ යහමින් දමා පිසින ලද chicken කරියකින් හැන්දක්, බනාසේ මැඩම් මට බෙදද්දී...

බනාසේ ගෙදරට යන වැඩේ ඉළ ඇදෙන්නක් විත්තිය පළමුවෙනි දවසෙම මට හිතුණේය. ඒ උදේ පාන්දරින්ම ඇහැරෙන්නට ගියාමය. පට්ට සීතල පරිසරයක... උණුහුම් සයනයක සැතපී හිඳිද්දී... අඩ නින්දෙන් පිබිද බලන්න- ඔබටත් ඒ අසීරුව පසක් වෙනවා නිසැකය!

ඊට හපන් වෙන්නේ කට්ට සීතල හුළං කපාගෙන යන ඩබල් ඩෙකර් බසයේ අසුනක නිඳි කිරමින් පැය දෙකක් විතර කෙරෙන ගමනය.
“අම්මට එපා වෙන්නේ නැද්ද අම්මෙ?”
“එපා කියලා බෑ රංජි. මේ අමාරුකම්වලටත් එක්කමනේ අපිට පඩි හම්බ වෙන්නේ කියල හිතනවා නම් අමාරුකම් වැඩිය දැනෙන්නෑ.”

අපේ අම්මා හොඳ ගුරුවරියක නොවෙන බවය මගේ ළමා අවදියේ අත්දැකීම වුණේ. ඒ අකුරු සාස්තර ඉගැන්නිල්ලේදීය. හෙද සාස්තරය ඉගැන්නිල්ලේදී නං අම්මා සුපිරිය. එහෙම වෙන්නට ඇත්තේ අපේ අම්මා ඒ දැනුම ලබා ගත්තේ අත්දැකීම්වලින්ම නිසා වෙන්නැති.

දවස් දෙක තුනක් යනකොටම ගුරුවරිය ගෝලයා ගැන සෑහීමට පත් වුණාය.
“Nani මැඩම්, ඔයා මහත්තයගෙන් අහන්නකො අපේ රංජිගේ වැඩ කොහොමද කියලා...” දෙවෙනි දවසේ දවල් කෑම ගන්නා වෙලාවේ අපේ අම්මා බනාසේ මහත්මියට කීවාය. ඒ, කොත්තමල්ලි කොළ යහමින් දමා පිසින ලද chicken කරියකින් හැන්දක්, බනාසේ මැඩම් මට බෙදද්දීය.

(එතකොට; 1985දී ලංකාවේ සාමාන්‍ය ගෙවල්වල අප වැනි උදවිය කොත්තමල්ලි කොළ ගැන දැනගෙන උන්නේ නැත. දැන් නම් මහරගම පොළෙත් කොත්තමල්ලි කොළ විතරක් නොව බෙල් පෙපර් වගේ ජාතිත් විකිණෙයි.)

එයාලා කුකුළු මස් ඉව්වේත් අප උයන විදිහට නොවේ.

ලොකු බී ළූණු ගෙඩි තුන- හතරක්ම පෙති කපා රන්වන් පාට වෙනතුරු තෙලෙන් බැදගෙන, මැරිනේඩ් කළ මස් ඊටම එකතු කිරීමෙනි, ඒ උයමන පටන් ගන්නේ. ඊට පස්සේ සැරෙන්-සැරේ පියවරෙන්-පියවර ඒකට උණු වතුර- ගරම් මසාලා කුඩු- කැබලිවලට කැපූ තක්කාලි එකතු කෙරෙයි. අන්තිමටම කොත්තමල්ලි කොළ... එතකොට එන සුවඳ එක්කත් බත් පිඟානක්ම කන්නට පුළුවනිය.

අපේ කිරි හොද්දකින් එනවා වගේ වෙනමම (මට නම්!) ඉමිහිරි සුවඳකි, ඒ.
(ඉන්දියානු ගෙවල් තුන-හතරකින්ම මේ ක්‍රමයට හැදූ චිකන් කරි රස බැලීමේ අවස්ථා ගණනාවක්ම මේ ලියන්නාට ලැබිණි. ඒ එකේක ව්‍යංජන, එකේක ගෙදර ඇත්තන්ටම ආවේණික රසයන්ගෙන් යුතු වුණු බවත් මෙතැනදී නොකියාම බැරිය.)

“... අහනවද මැඩම්.” බනාසේ නෝනා එතෙක් මොකුත් නොකීවාට පසුබැස්සේ අපේ අම්මා නොවේ. ඇය ප්‍රශ්නය repeat කළාය.

“ලීලා, ලීලා...” ඒ වයෝවෘද්ධ ගැහැනිය තරවටු බැල්මකින් අපේ අම්මා දිහා බලලා, ඊළඟ විනාඩියේ වත පුරා විහිදුණු හිනාවකින් මුව සරසා ගත්තාය. “මම මොකටද ලීලෝ ඒක අහන්නේ... ඕක අහල බලන්නයි කියලා, උඹ අපේ ලොකු බේටාටත් තව ටිකකින් කියනවා නේද, උඹට පඩි බේරද්දී?”
à ඊළඟ කොටසට...

40 comments:

  1. ඔබේ ඩැඩා ගැන පැහැදීමක් ආවා

    ReplyDelete
    Replies
    1. ඒ ගැන සතුටුයි ඉයන්!
      ඩැඩා වුණත් අනෙත් අය වගේම හොඳ නොහොඳ දෙකම තිබුණු අළු පාට චරිතයක්!

      Delete
  2. අම්මලා කියන්නෙම බුදු වෙන්න පාරමී පුරණ අය කියල මට හිතෙන්නේ.....

    ReplyDelete
  3. පඩියට කලත් ලෙඩෙකුට සත්කාර කරන එක පිනක් නිමල්. සල්ලි වලට උනත් ඒ දේ කරන්න ලොකු හදවතක් තියෙන්න ඕන . අපි අතරින් බොහොම ටික දෙනෙකුට විතරයි ඒ සේවය කරන්න පුලුවන්. නිමල්ගේ අම්මා දැන හෝ නොදැන ලොකු පිනක් රැස්කරගෙන තියෙනවා. මානෙල් නෝන පින් රැස්කරගනිමින් ඉන්නවා. හැමෝටම යහපතක්ම වේවා කියා පතනවා.

    ReplyDelete
    Replies
    1. හැමෝටම යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු චමී! ස්තුතියි.

      Delete
  4. "ඒ මනුස්ස ප්‍රාණියාට දිග කාලෙකින් වෙන්නැති, හොඳ සවන් දෙන්නෙකු හමුවී තිබුණේ". මැදින් පනින්නෙ නැතුව විනාඩි පහලොවක් විස්සක් විතර කෙනෙකුට ඇහුම් කන් දෙන්න පුලුවන් වුනොත්, හුඟක් දෙනෙකුගෙ ජීවිත යම් තරමක ඛේදවාචක කියලා තේරුම් ගන්න පුලුවන්.

    "කය දුබල වුණත්; අත-පය වාරු නැති වුණත්; ජීවත් වෙන්නටමද මිනිසුන් කැමැත්තේ? ‘ඔවුහු විඳවති’යි හිතෙන්නේ බලා හිඳින අපට පමණක්ද..". මමත් ඕක නිතරම හිතන දෙයක් සමහරවිට ඒගොල්ලන්ගෙ ලෝකෙ ඒගොල්ලො සතුටින් ඉන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus.
      හොඳට අහගෙන ඉන්න නිසාද මන්දා ගොඩාරියක් දෙනා එයාල ගැන පුද්ගලික දේවල් පවා මයෙත්තෙක්ක කියනවා. ගොඩක් ජීවිත ඛේදවාචක කියනවට වඩා මම නම් කැමති අභියෝගාත්මක කියනවාටයි. හුඟ දෙනා ඒ අභියෝගවලට හරියට face නොකිරීමෙන් තමයි ඛේදවාචක වෙන්නේ.

      හරියටම හරි!
      //ඒගොල්ලන්ගෙ ලෝකෙ ඒගොල්ලො සතුටින් ඉන්නවා ඇති.// නෙවිල්ලගේ අම්මා වුණත් අවුරුදු ගණනාවක් තිස්සෙම කිව්වේ 'දැන් නං ඉක්මනට යන්නයි ඕනේ ළමයෝ' කියලා. හැබැයි ක්‍රියාවලින් නම් ඒ විත්තියක් නෙවෙයි පෙනුණේ. ගාමිනීල අම්මා, අපේ අම්ම වුණත් ඒ වගේමයි.

      Delete
  5. " ඒ යෝජනාව ඇසූ විගසම ‘නැන්දම්මාව බලා ගන්නට බැරි යැයි’ පොලිසියේ පැමිණිල්ලක් පවා දැම්මාය". හැබැයි ඒ වගේ අයට බුද්ධාගම 'ආරක්ශා' කරන්න යන්න එන්න කියලා කතාකලොත් පිම්මෙ දුවගෙන එයි නේද.

    ReplyDelete
    Replies
    1. අනිවා!
      ඒ කාන්තාව බොරුවට රඟන්න දෙයියෙක්.
      පහුගිය මාස දෙකේ දෙවතාවක්ම දාන දීලා, අම්මල ලවා අටපිරිකර එහෙම පූජා කරවන පින්කම් කෙරෙව්වා. ඒ වෙලාවේදී නං අර කාන්තාව නැන්දම්මව තනි භුක්තියටම අයිති කරගෙන, ශෝක මූණෙන් හිටි හැටි හරිම තාත්විකයි!

      Delete
    2. // එක ලේලියෙක්, ඒ යෝජනාව ඇසූ විගසම ‘නැන්දම්මාව බලා ගන්නට බැරි යැයි’ පොලිසියේ පැමිණිල්ලක් පවා දැම්මාය.// මේකට නම් මටත් පුදුම හිතුන

      Delete
    3. මටත් එහෙමයි අජිත් පුදුම එක්කම මාර කේන්තියකුත් ආවේ.
      හැබැයි පොලිසියෙදී මරු වැඩේ වෙලා තියෙන්නේ.

      සේරම විස්තර අහලා අන්තිමට තීරණේ කරලා අනෙක් පුතාලා තුන් දෙනාටම මාසෙකට අම්මාගේ වියදම් වශයෙන් රු.10,000/ ගණනේ ගෙවන්න කියලා. වැඩිම වියදම යන්නෙ පැම්පර්ස්වලට හා බෙහෙත්වලටයි.

      එවෙලෙයි හෙළි වෙලා තියෙන්නේ, ඉඳහිට අර පුතා අම්මට පැම්පර්ස් ගෙනියන්නයි කියලා බිරියගේ අතට සල්ලි දුන්නම ඒ ලේලි එක පැම්පර්ස් පැකට් එකකින් රු.500/ ගණනේ දර්පි ගහලා. මහත්තයට් එහෙම කළා නං, හිතා ගත්තැකිනෙ එයාගේ තරම.

      Delete
  6. නියමයි නිදි. කතාවෙ දැන් යන්නේ මම කැමතිම හරිය. අහා! අවු 38කට පෙර ලන්ඩන් හුදීජන ජීවිතය පිටස්තරයකුගේ ඇසින් - ලන්ඩන් ගිය ජෝන්.
    මේ අර ලියනවයි කිව්ව "උද්‍යාන වරුණාව" අමතක කරන්න එපා. කියන්න දේවල් නම් සෑහෙන්න තියෙනවා.

    //...මං ඩැඩාගෙන් ඇහුවේ Yes කියලා කියවෙන්නට// ඔය උපක්‍රමය ඇනෝවෙකුත් අනුගමණය කරනවා දැකලා තියනවා. "නමුත් උඩින් බලපුවාම පේන්නේ එහෙම නේද?" හ්ම්.. උඩින් බලන්නෙ, උන්දෑ පක්සි.....නෑ එක්කො ඕනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මම දැන් බයේ ඉන්නේ මේ සීරීස් එක හිතුවට වඩා දිගට ලියවෙන එක ගැන. වැඩිම කොටස් ගණනක් ලියවෙයි වගේ. සමහර දේවල් නොලියා ඉන්නත් හිතෙනව.

      ඔන්න ඔන්න පක්ෂියෙක් තමන්ගේ කෝණයෙන් බලලා ඒ විස්තර බාගෙට කියනවා...
      ස්තුතියි බස්සා මහත්තයෝ!
      ඔය උපක්‍රම ගැන කියන්නේ තව අයටත් ඒවා අත්හදා බලන්න නෙව.

      Delete
    2. //මම දැන් බයේ ඉන්නේ මේ සීරීස් එක හිතුවට වඩා දිගට ලියවෙන එක ගැන...//

      ඔන්න, ඔන්න ඔය ඉතිං.....මම නං කියන්නෙ, වැල යන පැත්තට මැස්ස ගහන්න කියලයි. කතාවේ මේ කොටස, දුර්ලභ අත්දැකීමක්. ඒක වෙනකෙනෙකුට ගන්න බෑ. ඒ නිසයි මම කියන්නෙ, කොන් කපන්නෙ නැතුව එදා ඔබ දුටු එංගලන්තයේ අත්දැකීම ලියන්න කියලා.

      Delete
    3. හොඳමයි බස්සා මහත්තයෝ.
      තව අයත් එයාලගේ අදහස කියාවි නේද?

      Delete
    4. බස්පනම් කියයි. මේකම අර හින්දි ටෙලියක් වගේ... දිගට ඇදන් යන්නද කියන්ටෙ.

      කෝමත් නිදි ලොක්ක ඒම නොකරන හන්ද හොදා

      Delete
    5. නෑ බං මම කිව්වෙ මේ ලන්ඩන් අත්දැකීම ගැන විතරයි. අනික් එව්වා නං ඉතිං....😉

      Delete
    6. ස්තුතියි මහත්තයෝ. දෙවෙනි visit එක ගැන ලියන්න කලින් මේක ඉවර කරලා ඉන්න ඕනිනේ, නේද? කොහොමද ඒක ලියවෙන දවසක් ගැන දැන්මම කියන්නේ?

      Delete
  7. ඩැඩාගෙ කතාවෙ යම් ගැඹුරක් තියෙනවා. ඒත් නිදිගෙ අම්මගෙ උනන්දුව ගැන හිතුවාම, එයාගෙ තර්කයෙත් ඇත්තක් තියනවා. ඩැඩා අම්මා හොයන අමතර ආදායම ප්‍රතිෂේප කරන්නෙත් නෑ. මට හිතෙන්නේ, ප්‍රශ්ණෙ ඩැඩාට-අම්මට "මිඩ්ල් ග්‍රවුන්ඩ්" එකක් හොයාගන්න බැරිම වෙන්න ඇහැකි.

    කොහොම වුනත්, අවසානෙ අම්මා, ඩැඩාව බලාගන්න ඇති නිසා, සැසිල්ට ඒ මඟුලෙන් අවාසියක් වුන බවක් පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අම්මා හොයන අමතර ආදායමෙන් වැඩිම කොටහක් ලංකාවටයි ආවේ. හැබැයි ඉඩකඩම්, ගෙවල් දොරවල් ව්දිහට.
      බොරලැස්ගමුවේ කඩ දෙක, මම මේ ඉන්න ගේ, සුනිල්- මානෙල්- අනිල් තුන් දෙනාගේ ගෙවල් ඒවායින් ටිකක්. ඒවා ගැන නං සැරෙන් සැරේ ලිව්වත් එක්ක.

      හොරණ හැදූ තට්ටු තුනකද- හතරකද ගේ ගැන වෙනම ලියන්න හිතුනා මේ දැන්. අන්තිමේදී පිනට දෙන්නට වුණු... ශ්රෝඩාරාමය - මගෙ වචනයෙන් ප්‍රෝඩාරාමය!

      ඇත්තටම ඩැඩාට අපේ අම්මාව විවාහ කර ගැනීමෙන් වුණේ යහපතක්. එයා අපේක්ෂා කරපු සමහර දේවල් මිස් වුණත්. අවසානය තෙක්ම එයාට ආදරෙන් හිටි බිරියක් හා දරුවන් කැලතක් ලැබුනා.
      ඩැඩා සමාදානයේ සැතපේවා!

      Delete
    2. නිදි ගේ ඩැඩා සමාදානයේ සැතපේවා!

      Delete
  8. අර පොලිසියේ පැමිණිල්ලක් දාපු කතාව නං .... හ්ම් ඕක තමයි තිත්ත ඇත්ත. ඒ අතිං නිදිගෙ අම්මා වාසනාවන්තයි වගේම නිමල්ගෙ මානෙල් නංගිත්, දුර්ලභ චරිතයක්.

    ReplyDelete
    Replies
    1. මටම පුදුමයි අපේ මානෙල් ගැන.
      නැන්දම්මාගේ ලේලිලා හතර දෙනාගෙන් එයාට ඇල්ලුවේම නැත්තේ මානෙල්ව. කොටින්ම මානෙල්ට දෙවෙනි දූ;රෝසි ලැබෙන්න රෝහලේ හිටිද්දී කෑම තේ ටිකවත් හදා දෙන්නට එයා කාරුණික වුණේ නෑ. හැමදාම ගාමිණී රෝහලට යන ගමන් අපේ ගෙදරට ඇවිත්- මම සූදානම් කරලා දුන් කෑම හා තේ තමයි ගෙනිච්චේ.
      ඒත් මානෙල් පුතායි දුවටයි ඉගැන්නුවේ ඒ ආච්චිටයි සීයටයි දෙන්නටමත් සලකන්න ඕනි කියලායි.

      මානෙල්ගේ ලැබීම වෙන්නැති, අපේ අම්මගෙත් ප්‍රියතම දූ එයා නෙවෙයි. චාටු කතා කියන ලේලිලාට අපේ අම්මත් වැඩි කැමැත්තක් පෙන්නුවා. මානෙලුත් කියන්න තියෙන දේ මූණටම කියලා දාන කෙනෙක් ඉස්සර නං. අපේ අම්මා මගෙ එක්කත් එච්චර හිත හොඳින් නෙවෙයි හිටියේ, මං මානෙල්ගේ පැත්තට අදිනවා වැඩියි කියලා.
      එහෙම වෙලත් මානෙල් ඒ දෙන්නටම හින්ට් එකක්වත් නොගහ ඉන්න එක නං මටවත් කරන්න බැරි දෙයක්!

      Delete
    2. මටත් අහම්බෙන් හෝ මානෙල්... නැන්දම්මට හා ඔයාලගෙ අම්මට උපස්ථාන කරන විදිහ, අර චූටි කෙල්ල හිමාවත් බලන් ඉන්න විදිහ දැකල ඇය ගැන පැහැදීමක් ඇති උනා.

      ඒ විතරක් නෙවේ එ හැමදේම කරමින් සතුටින් ඉන්න විදිහ ගැන ඇයගෙන් අපි ඉගෙන ගන්න ඔන බොහොම හොද පාඩමක්!

      Delete
  9. නිමල් මොකද හිතන්නේ අර යමක මිරැකල් ද මොකක්ද මගුලක් පෙන්නන්න කටෙන් නහයෙන් වතුර සහ ගින්දර විදපු තලේබාන් හිංගල බහුද්ද කාලකන්නින්ට පට්ට චරිතයක් උන අර පොර ගැන? 😀😃😄 මට නම් ඌ කිසිසේත්ම පොරක් නොවේ.... සිද්ද හuත්තත් නිකන් ඔය කාලකන්නි නාන සාර http පඩ අවලමා වගේ ගොන් පඩයෙක් විතරයි සෑහෙන්න කාලේකට ඉස්සර හිටපු 😉

    එහෙත් සමහර අය අපි මේවා විවේචනය කරනකොට කියන්නෙ මේ වගේ දේවල්

    1 ජේසු උට්ටානය උනේ කොහොමද
    2උබේ ජාතකේ අවුල්
    3අරාබි රටක උනානම් උබේ කෑලිත් නෑ

    හරි ඇයි මෙහෙම මතයක මේ මිනිස්සු ඉන්නෙ...

    උන් හිතන්නෙ ඔය කියන බුදු දහමට ගරහන්නේ අපි දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව සම්පූර්ණයෙන්ම විස්වාස කරන එක එහෙම නැත්නම් කොටින්ම ජේසු අදහන නිසා කියල (උන්ගෙම අර කාලකන්නි තට්ට කහකඩයෝ හැත්ත ඔලුවට දාපු සහ උන් ගහන same repeat එක)

    දෙක ජාතකේ අවුල්..ජාතකේ අවුල් විවේචනාත්මකව දකින කෙනාගෙ නෙමේ..ඔය කියන ඔයාලගේම ආගමික නායකයින්ගේ (දෙමාපියන්ට සල්ලි නැතුව නැතිබැරිකම නිසා හදාගන්න බැරුව මහණ කරපු ඇරියස් අල්ලන උන්ගේ)

    තුන..අරාබි රටක හිටියොත් උබේ කෑලිත් නෑ...මේක තමා දරුණුම සීන් එක

    මුන් මේ කියන විදිහට ආගමක අවුලක් කියන එක සහ ඒක ප්‍රසිද්දියේ කියන එක බෙල්ල කපල මරන්ඩ ඕන වරදක්(තලෙයි බහුද්ද)

    බහුද්ද කෙනෙක්ට උන්ගේ ලබ්බේ ආගම අදහන්න ඇති අයිතිය සේම.තව කෙනෙක්ට ඒක විවේචනය කිරීමටද..හාස්‍යට ලක් කිරීමටද උපහාසයට ලක්කර එහි ඇති ගොන් වැඩ ගොඩ ගැන හිනාවෙන්නත් අයිතියක් ඇත..අපි ඔය කාගේවත් අත පල්ලේ වැටී නැත..තවම අත පල්ලේ වැටී සිටින්නේ දේශපාලනී කරනය වූද ආගමික වූද සහස්‍ර දෙක හමාරකට පෙර ගෝත්‍රික යල් පැනගිය මුග්ධ ආගමික බයිලා කතා ඉපදුන ගමන්ම ඇවිදින උපන් දවසේම කයිවාරු ගහන පොරටෝක් කවි කියපු බවට බයිලා ගහපු පොරකගේ විසුළු ආගම පිටේ තබා ගනිමින් එය මත්තේ නැහෙන ඔබම විය හැකිය යන්න මතක තියාගන්න කියලා අවධාරණය කළ යුතුය.☺️

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට බුදු හිමියන් පවා යමා මහා පෙළහර පා තිබෙන්නේ දෙවතාවයි.
      ඇනෝ, ඔබ කියා තියෙන විස්තරවලින් වැඩි හරියක් ගැන මං දන්නෙවත් නෑ. ඉතිං කොහොමද ඒවා ගැන කියන්නේ.
      හැබැයි ජාතකේ අවුල් කියන එක ගැන නං ටිකක් කියන්නම ඕනි.
      මිනිස් ජනිතයෙක් බිහි වීමට නං එක ශුක්‍රාණුවක් එක ඩිම්බයක් හා එක්වීමක් තමා සිදු වෙන්නේ. එහෙම නොවී තව මිනිස් ප්‍රාණියෙක් බිහි වෙන්නේ නෑ. එතකොට කොහොමද ඔය ජාතකේ අවුල් කියන එහෙම පිටින්ම පැටලිලි සහගත; තේරුමක් නැති කතාවක් එන්නෙ? අපි මොකටද එහෙම කතාවකට කෝප වෙලා අපේ සැනසිල්ල නැති කර ගන්නේ?

      Delete
  10. අනේ මහත්තයෝ, මක්කෙයි කරන්නේ? මේක මගෙ හැබෑ ජීවිත කතාවනේ- සිද්ද වෙච්ච දේවල් මිස අතින් දාල; ගොතලා ලියන්න බැහැ නෙව.

    ReplyDelete
  11. කොතරම් අඩුපාඩු දුර්වල කම් මැද වුවත් දරු සෙනෙහස මව්පිය සිත තුළ නැගෙන හැටි අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ආදරය කරුණා දයා ගුණ සාගරය පරදයි
      නොනිමෙනා ගිනි උසුලනා හද මිහිකතද පරදයි
      මාතු පාදං නමාමී!
      'සෙනෙහස' ෆිල්ම් එකේ සිසිර සේනාරත්න කියන ගීතය මතක් වුණා Litseeker !
      https://www.youtube.com/watch?v=nlXmCCXTFwY

      Delete
  12. පැය ගානක් ඩැඩාගෙ කතාවට ඇහුම්කන් දීගෙන හිටපු එකෙන් එයාට සෑහෙන හිතේ සැහැල්ලුවක් දැනෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. කාට වුණත් එහෙම නේද වෙන්නේ ප්‍රසන්න මහත්තයෝ. හොඳයි, නැද්ද?

      Delete
  13. “Be careful my son! පරෙස්සම් වෙයං!!
    Past කියන්නේ අතීතෙ... ඒක වෙලා ඉවරයි. උඹටත් හොඳටම අමාරු ජීවිතයක් තිබිලා තියෙන බව ඇත්ත. ඒක අත්තිවාරමක් කර ගනිං. ඒ foundation එක උඩ හිටගනිං මිනිහෙක් වගේ. එහෙම නැතිව ඒ අතීතය ‘ඔළුව උඩ තියෙන බරක්’ කර ගන්න එපා, my son.”

    ඕක කරන්නෙ කොහොමද කියන එක තමයි මට නම් තියෙන ලොකුම ප්‍රශ්නෙ🤔🤔

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්නයට උත්තරය නං නවීන් ඔයාටමයි හොයා ගන්න වෙන්නේ!

      Delete
  14. දැන්නම් නිදි මටත් එංගලන්තේ ජිවිතේ ගැන ලියන්න හිතිලා තියෙන්නේ. අපි දෙන්නම් එක කාලයක ආව ගිය නිසා.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, ඔන්න ලබන සතියේ නොවරදවාම 22 කොටස බලන්න, හොඳේ!

      Delete