li Item

Friday, May 26, 2023

තිස් එකේදී... -දහනවවෙනි කොටස

පසුගිය කොටස කියවූ සහෘද Lalith කමෙන්ටුවක් එවමින් කියා තිබුණේ චැ... හොඳම කෑල්ල ලියල නෑ... නාට්‍යාගාරයේදී නීලියා නිදි ගාවින්ම ඉඳගනී කියල මන් හිතන්නේ....යනුවෙනි. අපේ අම්මා දත කෑවෙත් එහෙම කරවන්නටය. ඒත් ඒ උත්සාහයට නීලියා රුකුල් නොදුන්නීය. ඇය හිඳ ගත්තේ එක කෙළවරකට වෙන්නටය; මගේ ළඟින් නොවේ.

බෑ ලීලා, මම ඔහාට ඇවිත් බෑ. මගෙ ළඟින්ම එහා පැත්තෙ සීට් එක book කරල තියෙන්නෙත් මගෙ යාළුවෙක්! නීලියා එහෙම කිව්වාම නම් අපේ අම්මාගේ මූණ ‘නාලු’ වුණේය. ඒක හොඳටෝම නරක් වුණේ නීලියාගේ යහළුවා ආවාමය; නීලියා ඔහුව අපට හඳුන්වා දුන්නාමය.
“මේ අස්වර්!” නීලියාගේ ලජ්ජාශීලී මුකුළුවත්, රතු පැහැ වෙලා තිබුණු උවනතත් ඉතිරි හරිය අපට නොකියා කිව්වේය.

නාට්‍ය ශාලාව දැවැන්ත එකකි. වේදිකාවත් අතිදැවැන්ත එකකි. කොච්චරද කියනවා නං

ඊට පස්සේ අපේ අම්මා දිගටම හිටියේ ඇඹුල් කර ගත් මුහුණින් යුතුවය. ඒ මන්දැයි කියැවුණු කතන්දරේ ගෙඩිය පිටින්ම එළියට ආවේ ඊට පහු දවසකය.

“ලජ්ජාවේ බෑ... නීලියා මටත් හංග හංගනෙ ඉඳල තියෙන්නේ. නාට්‍ය බලන්න යන දවසට කලින් දවසේ මං ඔයා ගැන තව පාරක් අහලා නීලියාට call එකකුත් දුන්නා. මහ කට්ට අම්මණ්ඩි. නාට්‍යය බලන්න එන්නකෝ කියලයි එතකොට කිව්වේ. මම එතකොට හිතුවේ...
කවුද දෙයියනේ දන්නෙ, ඒ අම්මණ්ඩි බඩේ බිජු තියාගෙන කතා කරපු බව.
ඔක්කොමත් හරි, අපට පේන්නම වගෙයිනේ- නීලියා අරූගේ ඇඟේ වෙළි වෙළී හිටියෙත්...” රහස හිතේ තියාගෙන ඉන්නට බැරිම තැන වෙන්නැති, අම්මා මයෙත්තෙක්කම විස්තර කියන්නට ගත්තේ.

“ඔයා තරං ලස්සනක්වත් තියෙන එකෙක්ද රංජි ඌ. ඊටත් මරක්කලයෙක්ද කොහෙද... දැන් උනුත් හරි හරියට මේ රටේ ඉන්නවනෙ.”
“ඉතිං මොකෝ අම්මෙ. අපිත් මෙහාට ඇවිත් ඉන්නේ. මොකෝ මේක අපේ රටයැ.”

හුඟක් වෙලාවට මං අම්මත් එක්ක පැටලෙන්නේ ඔහොම තර්කානුකූල නොවන; එලොව මෙලොව දෙකටම පලක් නැති කතන්දර නිසාය.

නීලියා අස්වර්ව අපට හඳුන්වා දීමට තීරණය කරන්නට ඇත්තේ, අපේ අම්මාගේ මංගල යෝජනා කරදරයෙන් බේරෙන්නට විය යුතුය. “දැන් අපේ එෆෙයාර් එකට අවුරුදු කීපයක් ලීලා. ඔන්න අද තමයි ඔයාලට වුණත් කියන්නේ. අපි ඉක්මනටම මැරි කරන්නත් අදහසක් තියෙනවා.”යි නීලියා එක එල්ලයේම අම්මාට කියන්නට ඇත්තෙත් ඒ නිසාම වෙන්නැතිය.

හොඳ වැඩේ නීලියා, ඔයා කළේ!
‘ඉඟියෙන් කිව්වාම නොතේරෙනවා නං කෙළ මෝලෙන් අනින්න’ කියලනෙ කතාවටත් කියන්නෙ.

තව චුට්ටෙන් නාට්‍යය ගැන නොකියාමය, මං තව ඉස්සරහට යන්නේ. මෙන්න ඒ ගැනත් හොඳටම ටිකක්...
නාට්‍ය ශාලාව දැවැන්ත එකකි. වේදිකාවත් අතිදැවැන්ත එකකි. කොච්චරද කියනවා නං, ඒ නාට්‍යයේ කියවුණු තට්ටු ගෙවල් දෙකක් වේදිකාවේ විණි; ඒවායේ සඳලු තල මත සිටගෙන, එහා-මෙහා යමිනුත් පාත්‍රයෝ රඟපෑහ. ඒ තට්ටු ගෙවල් දෙකේ වේදිකා සැරසිල්ල තත්ත්පර ගණනාවක් ඇතුළත වෙනස් කරන්නටත් පුළුවන් සැහැල්ලු; නම්‍යශීලී එකකි. හොඳේ ඒකය!

මං අපේ දේට ගරහනවා නොවේ. නමුත් අපේ ‘නෙළුම් පොකුණ’ වේදිකාව වුණත් එච්චර දියුණු; සංකීර්ණ නැති පාටය.

ඉතිං, එදා වේදිකාගත වුණු නාට්‍යයේ වැඩකිඩ මිස වෙනින් මෙලෝ හසරක් මගේ මතකයේ නැත. මතක හිටීවිද? කියැවුණු කිසිම දෙබසක් අනුමානයෙන්වත් හිතා ගෙන- තේරුම් ගන්නට මොට්ට මං වහන්සේට බැරි වුණුකොට...

අප යමක් දිහාව බලන විටෙක සමහර වැදගත් දේවල් පවා හරිහැටි ඇස නොගැටෙන්නටත්; හරිහැටි නොපෙනෙන්නටත් ඉඩ තියෙනවා නේද?

“නීලියා, How are you going home?” නාට්‍යය අවසන් වීමෙන් පස්සේ ඩැඩා ඇහුවේය.

“Thanks Cecil. ඒ ගැන කරදර වෙන්න එපා. අස්වර් මාව drop කරනවයි කිව්වා.”
නීලියාගේ ඒ ඍජු උත්තරයෙන් පස්සේ ගෙදරට එන තුරාමත් අපේ අම්මා හිටියේ තිත්ත කසායක් බීපු ගොළුවා වගෙය!

අමාරු තත්ත්වයක් මතු වුණාමවත් එහෙම ගොළුවෙකු වගේ හිටිල්ල මට පුරුදු නැත. ප්‍රශ්නයක් මතු වුණත් එහෙමමය. දන්නා ඩිංග හරි කියල දාන්නටය, මට හිතෙන්නේ. Lotus රසිකාවිය මේ postsවල දාහත් වැන්නේදී මගෙන් අසා තිබුණේ ඒ වැනි පරෙස්සමෙන් උත්තර දෙන්නට වෙන ‘යකාගේ ප්‍රශ්නය’කි.
‘නිමල්ගෙ
sexuality වෙනස් තමයි, නමුත් එන්ගලන්තෙදි නිමල්ට කවුරුත් බටහිර කාන්තාවන් attract වුනේ නැද්ද, මන් අහන්නෙ නිමල්- නිමල්ගෙ වයසෙම තරුණ කාන්තාවන්. සාමාන්‍යයෙන් ඒගොල්ල නිමල්ගෙ වගේ demeanour එකට කැමතියි.’

Demeanour (ඩිමීනර්) වචනය මට අලුත්ය. ඉස්සෙල්ලාම එහි තේරුම සෙව්වෙමි. මලලසේකර ශබ්ද කෝෂය ඒ වදනට දෙන්නේ ‘හැසිරීම, ලීලාව, චරිතය’ යන අරුත් ත්‍රිත්වයයි.
තේරුම දන්නවනෙ. දැන් ඉතිං ‘වංගු නොගසාම’ උත්තර දෙන්නයි තියෙන්නේ, නිමල්.

1.එංගලන්තයේදී කිසිම බටහිර තරුණ කාන්තාවක් මට ආකර්ෂණය නොවීය. එහෙම කිව්වාට මදි මදිත් වගෙය. ඊට හේතු කිහිපයකුත් තිබෙන හින්දාය.
එවන් අය තනිව හමුවීමේ අවස්ථාවන් ඉතා විරල වීම පළමුවැන්නයි. අප හැම තැනම ගියේ පවුලේ අය සමඟිනි.
දෙවැන්න: එවැන්නියන් හමු වීමේ ඉඩකඩ බහුල Pubs, Clubs හෝ මත්පැන් සාද ආදියටත් මා යැවුණේ නැත.
තෙවැන්න මා උස මහතින් අඩු වීමය. එංගලන්තවාසීන් සාමාන්‍යයෙන් සිරුරෙන් පිරිපුන් අයයි.
සිව්වැන්න ලෙස මා දකින්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සිතේ ඉන්දියානු- පකිස්තානු හා බංග්ලාදේශ ජාතිකයන්* කෙරෙහි තිබුණු නොපහන් බවයි. ඒ සුදු ජාතිකයන්ට ශ්‍රී ලාංකිකයන් පෙනුණේත් ඉන්දියානුවන් ලෙසිනි.
පස්වැන්නය, ඉතාම වැදගත් කාරණය ලෙසින් මා දකින්නේ.

මේ නිගමනයට මා එන්නේ දෙවතාවකදී; 1985 හා 1994 එංගලන්තයට ගිහිං, එහි ගත කළ මාස 17ක කාලය තිස්සේ ඇසූ- දුටු- දැනගත් දේවල් ඇසුරෙනි.

ඒත්, සමහර වෙලාවට අප යමක් දිහාව බලන විටෙක සමහර වැදගත් දේවල් පවා හරිහැටි ඇස නොගැටෙන්නටත්; හරිහැටි නොපෙනෙන්නටත් ඉඩ තියෙනවා නේද?
එහෙම නිසාය කියන්නේ, මට වැරදී තිබෙන්නට තියෙන හැකියාවත් වැඩිය!

එවක එංගලන්තයේ මා දුටු විවාහ හෝ living together සබඳකම් ගැන විතරක් නොවේ. මිතුරුදම්වලට පවා ඒ තියරිය වලංගුය...

අපේ අම්මලාගේ මිතුරු- මිතුරියන් සේරම වාගෙ සංක්‍රමණිකයන්ය. අපේ සමන්ති, දීපාල්, දීපානිලාගේත් ඒ වගෙය. දැන් ඔවුන්ගේ දරුවන්ගේ මිතුරු- මිතුරියනුත් වැඩි දෙනෙකු ඒ වාගේම බවයි, එයාල එවන fotoවලින් නම් පෙනෙන්නේ. ඒ කියන්නේ British සුදු ජාතික පවුල්වල අය හා ඔවුන්ගේ දරුවන් සංක්‍රමණික පවුල්වල අය එක්ක පවත්වන පයුරු පාසනය පවා අඩු විත්තිය නේද?

එහෙම වෙන්නේ ඇයි?
අපේ ඩැඩා වගේ වියපත්- පෙන්ෂන්කාර වැන්දඹුවෙකු හරි, මොකක් හෝ අඩුපාඩුවක් ඇති කෙනෙකු හරි, එහෙමත් නැත්නම් මිශ්‍ර විවාහක ඥාතීන් සහිත පවුලකට සබඳකම් ඇති සුදු ජාතිකයන් මිශ්‍ර කසාදයකට එනවා මිස...
එලෙස වන්නේ සමාජමය බලපෑම් නිසාවත්ද?

නීතියක් නොවුණත් රීතියක් විදිහට හෝ යම් යම් සම්මතයන් අදෘශ්‍යමානව සමාජයන්හි සැඟවී පවතියි.
මධ්‍යම පංතියේ පවුල්වල ඉස්ලාම් ආගම අදහන්නන් අතරෙත් මෙවන් දෙයක් තිබෙන බවය මා දැක ඇත්තේ. මුස්ලිම් ජාතික තරුණයෙකු හා පෙමින් වෙළෙන තරුණියකට හැම විටම සිදු වෙන්නේ විවාහයට පෙර ඒ ආගම වැළඳ ගැනීමටයි. නමුදු මුසල්මාන තරුණියකට වෙනත් ලබ්ධික තරුණයෙකු හා විවාහ වෙන්නට ඉඩ ලැබෙන අවස්ථා නම් ඇත්තේ නැතිම තරම්ය...

තවත් සුවිශේෂ කරුණක් මෙතැනදී මට සිහිපත් වෙයි. සිරි ලංකාවේ නම් ජාති- ආගම්- කුලමල- දේශපාලන භේද සියල්ලම තියෙන්නේ මධ්‍යම පාංතිකයන් අතරේ පමණකි. පළමු පෙළැන්තියේ වත්-පොහොසතුන් අතරෙත්, තෙවෙනි පංතියේ දුගී-දුප්පතුන් අතරෙත් යටකී භේදයන්- පරතරයන් කිසිවක් නොපවතී!

මේ වැනි කරුණු ගැන විධිමත් අධ්‍යයනයන් සිදුකොට තිබෙනවාදැයි මා නම් දන්නේ නැත.

ඉතිං, මා කියන්නේ එවක එංගලන්තයේ මා දුටු විවාහ හෝ living together සබඳකම් ගැන විතරක් නොවේ; මිතුරුදම්වලට පවා ඒ තියරිය; ජාතිකත්ව කාරණය වලංගුය...
එසේ දුරස් වීමට තවත් හේතුවකි මේ.

ඉන්දියානු- පකිස්තානු හා බංග්ලාදේශ ජාතිකයන්*:
දිගු කලක් ලන්ඩනයේ වෙසෙන
Ajith Dharma මහතා පසුගිය කොටසට එවූ comment එකක් ලෙසිනි; මේ අවධාරණිත උද්ධෘතයට අදාළ විස්තරය ලැබුණේ.
‘අපි ඉස්සර රුසියාවේ ඉඳන් සමර් එකට ආවහම බංග්ලාදේශ් එවුන්ට අයිති කවුන්සිල් ගෙවල්වල තමා නතර වෙන්නේ. ඒවා කුලියට දෙන්න තහනම් නිසා ගාන අඩුයි. දැනුත් ඔය සීන් එක එහෙම්මමයි. බංගලි
, පකිස්තාන්, ඉන්දියන්, ශ්‍රී ලන්කන් කට්ටිය දුක කියල, රස්සා නැහැ කියල ඔය ගෙවල් ගන්නවා. ඊට පස්සේ හීන් සීරුවේ ගෙයක් මොර්ට්ගේජ් කරලා ගන්නවා. කවුන්සිල් ගේ කුලියට දෙනවා. ඕක තමා බිස්නස් එක. එහෙම කරගෙන හිටිය කෙනෙක් පස්සේ අප්‍රිකාවේ බිස්නස් කරලා සෑහෙන ධනපතියෙක් වුනා. ලංකාවේ පත්තරෙත් ගියා.’

එංගලන්තයේ හැම බස් නැවතුම් පොළකම එතැන හරහා යන බස්වල මාර්ග අංක, ධාවන මාර්ග හා වේලාවන් ඇතුළත් සටහනක් ප්‍රදර්ශනය කෙරෙයි.

එහෙම වෙද්දී අප වැන්නවුන් කෙරෙහි සුදු ජාතිකයන්ගේ සිතෙහි අප්‍රසාදයක් ඇති වීම පුදුමයක් නෙවෙයි නේද?

ඉතිං, නීලියාගෙන් කෙරුණු කෙළ මෝලෙන් ඇනිල්ලට පහුවදාම ‘බනාසේලාගේ ගෙදරට ගීහින් එමු’යි අපේ අම්මා මට කිව්වාය.

“එයාලට කලින් නොකියා එහෙම යන එක හරි නැහැනේ අම්මෙ. මෙහෙ චාරිත්තරේ ඒකනෙ.”
“ඔච්චරටම නීති ආරස්සා කර-කර හිටියා නං රංජි, මං තවමත් ලංකාවේ...” අකැමැත්තෙන් වගේ අම්මා කිව්වේ අමිහිරි සත්‍යයකි. තාත්තාගේ මරණයෙන් පස්සේ දරුවන් නව දෙනෙකු තනිකොට දමලාය,
අම්මා එංගලන්තයට ආවේ. ඒ එද්දී චූටි නංගීට අවුරුදු තුනකි. පවුලේ නෑදෑයන් හැමෝම එක හඬින්ම ‘රට යන්න එපා ලීලා’ කියද්දීවත් අම්මා ඒ ඉල්ලීම්වලට නැමුණේ නැත.

“රංජි, ඔයා ලැහැස්ති වෙනකං මං සැසිල්ට කෝපි ප්ලාස්ක් එකක් හදන්නං. නනා ඉන්න ගියොත් පරක්කුයි. ගිහිං ඇවිත් නාගන්න. දවල්ට කෑවට පස්සේ බනාසේ නෝනා පැය දෙකක් විතර නිඳියනවා. ඊට කලින් අපි එහාට යන්න ඕනි.”

“ඉතිං අම්මෙ, තවම අටවත් වෙලා නැහැනෙ”
“ඒ වුණාට රංජි, අපිට බස් දෙක තුනක යන්න වෙනව. පැය දෙකක් විතරම මඟට යයි... හා හා, කතාව තියලා ඔයා ටක් ගාලා ලැහැස්ති වෙන්න.”

Bus Stop එක ඇතුළට ගිය ගමන්ම අම්මා කළේ ‘Time Table’ එකට එබී බැලීමයි. එංගලන්තයේ හැම බස් නැවතුම් පොළකම එතැන හරහා යන බස්වල මාර්ග අංක, ධාවන මාර්ග හා වේලාවන් ඇතුළත් සටහනක් ප්‍රදර්ශනය කෙරෙයි. ඒ සටහන අකුරටම වැඩ කෙරෙන්නකි. නියමිත වෙලාවටම බස් රිය නැවතුමට ළඟා වෙයි. මඟීන් නංවා ගනියි. පිටත් වෙයි. ඒ බස්වල කොන්දොස්තරලා නැත. රියදුරු තැනමය, ඒ රාජකාරියත් කරන්නේ...

Bus Stop එකේ සිටින්නවුන් ඉන්නේ එතැනට ආ පිළිවෙලටය; පෝලිම කඩා-බිඳගෙන බස් එකට නඟින්නන් මගේ ඇසට නං හසු වුණේ නැත.

හැබැයි රජෝ, ඒ එංගලන්ත busකාරයන් නං මරි මෝඩ තකතිරුවන්ය. මට එහෙම හිතුණේ නිකම්ම කියලද ඔයාල හිතුවේ? නෑ දෙයියනේ!
දවස් දෙක තුනක්ම බස් නැවතුමේ තවත් මඟීන් රොත්තක්ම ඉතිරිව හිටිද්දීත් ‘Sorry’ කියල ඒ බස් ඩ්‍රයිවර්ලා දොර වහ ගන්න හැටි දැක්කාමයි; මට එහෙම හිතුණේ... එයාලා බස් එකකට නංවා ගන්නේ නියමිත මඟීන් සංඛ්‍යාව විතරකි.
‘හරි අපරාධයක්නේ. කිසි කරදරයක් නැතිව ඒ බස්ව‍ලට තව විස්සක් තිහක් ඔබලා ලෝඩ් කර ගන්න පුළුවන්නෙ!’

මං වහන්සේ ඒ ජවනිකාව බලා හිඳිද්දී, එක එක තරාතිරමේ; එකේක වයසේ ඉන්දියන් අංගනාවන් පෙරහරක්...

ඒ සිදු වීම අපේ පෞද්ගලික බස් කොන්දොස්තර මහත්වරුන් දැක්කා නම් හෙම...
‘එවන්ඩ දොරේ කස්ටියම ලංකාවට. අපි එයාලට නොමිලේම දෙන්නං එල ටියුෂන් පාරක්... බස් එකකට ‘කෑලි’ ටිකක් පටෝගන්න සිස්ටම් එක ගැන.’ යැයි කියනවා සැක නැත.  

කොහොමෙන් හරි අපි බනාසේ මහත්තයලගේ ගෙදරට ගියා කියමුකො... බස් දෙක තුනකින්ම ගිහිං.

අපේ අම්මලාගේ council flat එකත් එක්ක බලද්දී නං ඒක ගෙයක් නෙවෙයි. සාගරයක්. ඒ මහා සාගරයේ ඉස්සරහ කොටස; වත්ත විතරක් වුණත් අපේ අම්මලාගේ ගෙදර තරං දෙකක් විතර... එතකොට ඔයාලට තේරෙයි නේද- ගෙදර කාමරවල තරම. එව්වයෙ බඩු මුට්ටුවල මහිම. ගෙදර වසන්නන්ගේ පොහොසත්කම.
ඒ ඔක්කොම තියෙද්දී කියන්නෙපැයි, බනාසේ නෝනා අපේ අම්මගේ හදිසි කඩා පාත්වීම ඒ තරං ගනිච්චියකට නොගත්තු බව. එතකොටයි මට හිතුණේ ඒ අංගනාව ඉන්දියාවේ ඇටුවන් බැහැපු ගහක් කියල.

එහෙම ගස්, තිබුණු තැනින් උගුල්ලලා වෙනින් රටකට ගෙනිහිං පැල කළත් වෙනස් වෙන්නෙ නැහැනෙ!

බනාසේ නෝනයි, අපේ අම්මයි කතා කරන්න ගත්තම තමා, මට ‘ඒ දෙන්නගෙ හිතවත්කමේ රහස’ තේරුණේ. ඒ වයසක මහිලාවත් අපේ අම්මගේ පලේමයි; ඉංගිරිසිය කතා කරන පැත්තෙන් බැලුවොත්. දෙන්නම හරි අපූරුවට කතා කළේ ‘මම්බල් ජම්බල්’ ඉංගිරිස්. හින්දි බනාසේ නෝනා හිංගිරිස්වලින් කතා කරගෙන කරගෙන ගියා; සිංහල අපේ අම්මා සිංගිරිස්වලින් කතා කරගෙන කරගෙන ගියා...

මං වහන්සේ ඒ ජවනිකාව බලා හිඳිද්දී, එක එක තරාතිරමේ; එකේක වයසේ ඉන්දියන් අංගනාවන් පෙරහරක් සැරෙන්-සැරේ එතැනට කඩා පාත් වුණා. Nani කියාගෙන එක්කෙනෙක් ආවා. තව එක්කෙනෙක් Didi කියාගෙන ආවා. බනාසේ නෝනාත් එන එන අංගනාවන්ට Bahu, Bhabi, Beti කිය-කියා උත්තර දුන්නා.
කෙනෙක් දෙන්නෙක් ඇවිත් යනකොටම මට වැඩේ ‘පත්තු වුණා’. ගෑනු ‘කෂ්ටිය’ ඒ පෙරහරේ එන්නෙ නිමල් දිසානායකව බලාගන්නයි.

අපි සැරෙන්-සැරේ ගිහිං බලා ඉඳිද්දී සත්තු වත්තේ ඉන්න සතුන්ට කොහොම දැනෙනවා ඇද්ද කියල ආන්න එවෙලේයි, මට වැටහුණේ.
උන් වගේම අසරණ; අහිංසක නිමල් දිසානායකයාත් ‘බලා ගන්න තරමක් බලා ගනිල්ලා’ කියල හිතාගෙන ඔහේ වාඩි වෙලා බලා උන්නා. එහෙම හිටිද්දී මට එයාලාවත් ප්‍රදර්ශනය වෙච්චි විත්තිය ඒ බවලතියන්ට කල්පනා වෙන්ඩ නැතිව ඇති.

බනාසේ family එක extended family එකක්. සිංහලෙන් කියනවා නං විස්තෘත පවුලක්.

චලෝ බේටා චලෝ with යුවර්ර් මදර්ර්ර්!

විස්තෘත පවුලක් කියන්නේ හතර වරිගයක විතර නෑදෑයන් සේරම, පවුල් පිටින් එකම ගෙදරක ජීවත් වෙනවා නං. එතකොට ආච්චිලා- සීයලා- එයාලගේ සහෝදර සහෝදරියෝ- ඒ පවුල්වල දූලා පුතාලා- එයාලගේ කලත්‍රයෝ... මං දැකල තියෙනවා, හින්දි චිත්‍රපටිවල එහෙම පවුල් වැඩියෙන් පෙන්නන විදිහ.

“බනාසේ මැඩම්, ලොකු මහත්තයාට මගෙ පුතා රංජිව පෙන්නලා එන්නං, මේ ග්‍රේෆ් ෆ්රුට් ජූස් එකත් මහත්තයට පොවන ගමන්.” අවසරය ලැබෙන්නත් කලින් අපේ අම්මා ට්‍රේ එක අතට අරගෙන ඉවරයි; (ට්‍රේ එකේ තිබුණේ අම්මාම සූදානං කරපු යුෂ වීදුරුව. ලස්සන කියන්නේ ඒක හදන වැඩෙත් අපේ අම්මා බාර ගත්තේ පැනලා.) මෙන්න බොලේ මං හැරෙන්නත් කලින් අම්මා ‘යං’ කියාගෙන ඉස්සර වෙලත් ඉවරයි. ඉඳගෙන හිටි පුටුවෙන් නැඟිටින ගමන් මං බැලුවේ බනාසේ නෝනා දිහා.

එතකොට එයා හිනාවෙලා ‘චලෝ බේටා චලෝ with යුවර්ර් මදර්ර්ර්!’ කියලා කිව්වද කොහෙද!
“ලීලා, උඹ ඔය වැඩේ ඉවර කරලා එනකොට මම දෙන්නටම ‘චායි’ හදල තියන්නං.”

බනාසේ මහත්තයා ඇඳටම වැටිච්ච පරාණයක්. සනීපෙන් හිටිද්දී සද්දන්තයෙක් වෙන්නැති විදිහයි නටබුන්වලින් පෙනුණේ. අම්මා එයාව ඇඳේ විට්ටමට හේත්තු කරවල- ඉන්දවලා, එයාගේ කර වටේ බරෙත්තුවක් ගැට ගහලයි, ග්‍රේෆ් ෆ්රුට් ඉස්ම ටික ටික හැන්දෙන් එයාට පෙව්වේ.
“හොඳට බලා ගන්න රංජි. ඔයාටත් මේවා කරන්න වෙයි.” අම්මා කියන්නේ ‘හෙද නිලධාරි’ පට්ටමක් දැනටමත් මට හම්බ වෙලා වගෙනෙ.

“මෙයාලට නම් ඕනි, සතියේ දවස් හතම මාව මෙහාට ගෙන්න ගන්න. ඒත් රංජි, මං මෙහාට එන්නෙ සුමානෙට දවස් තුනයි. දවසක් ඇර දවසක්. අනිත් දවස් තුනේ මම මේ වගේම ලෙඩ වෙච්ච තව එක්කෙනෙක්ව බලනවා. එක අත්තකම එල්ලීගෙන ඉඳල බැහැනෙ...”
 à ඊළඟ කොටසට...

34 comments:

  1. නිලියා සීන් එක ජයසිරි මංගලං උනා එහෙනං.

    ඔය ඉංගලන්තෙ කවදාවත් ලංකාව තරං දියුණු වෙන් නැත්තෙ ඔය පිළිවෙලට වැඩ කිරිල්ල හින්දම තමයි.

    ReplyDelete
  2. ඒ කියන්නේ එංගලන්තේ සුද්දොත් ජාතිවාදීන්.... ඉතාලියේ වැඩ කරාට එහෙන් කෙල්ලෙක් බැදපු අය දැකලම නැ , මං හිතුවේ එංගලන්තේ එහෙම නෑ කියල....

    ReplyDelete
    Replies
    1. මගෙ කෝණයෙන් දකින ටික විතරකින්ම තීරණ නොගෙන තව අය කියන දේවලුත් බලමුකෝ, ලලිත්.

      Delete
    2. ඉන්ගලන්තේ ඇත්තටම එහෙම නැහැ ලලිත්. දැන් මේ නිදි නිසාම මටත් ලියන්න වෙනවා. අර ධරණී ලියුආ කත්‍යනා අමරසින්හටත් මම ඕක කියෙව්වා. එය මට කිවේ නැහැ මට එංගලනතේ ඉන්න කෙනෙක්ම කීව කියල. හැබැයි ඉතාලිය නම් අන්ත රේසිස්ට්. දැන් ඉතාලියේ අය ගොඩක් එංගලන්තේ ඇවිල්ල ඉන්නේ ඇයි ඉතාලිය ඔපමණ හොඳයි. හරි හමන් රස්සාවක් වත් වෙන ජාතිකයෙකුට දෙන්නේ නැහැ

      Delete
    3. ස්තුතියි අජිත් මහත්තයෝ, තොරතුරුවලට.

      Delete
    4. අජිත් ලංකාවේ මේ දවස්වල අර මොකක්ද ගොන් පාට් එකක් දාල රිමාන්ඩ් කරපු අර නටාෂා කියන ගෑනි ගැන උඹත් සොයලා බලන්නකො. ඕකී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලංකාවේ ඒජන්සියේ ව්‍යාපෘතියක සේවය කළ තැනැත්තියක් කියලා දැක්කා. ඊට අමතරව USAID ආයතනයේ සේවය කළ අයෙක්. ඔය බොරු ව්‍යාපෘති වල සැබෑ අරමුණ දන්නවානේ, අර මෑතකදී කුජීත වෙච්ච කුඩු මුදලාලිලාගේ තෝල්ක නොතාරිස් සාලයා පාරිස් කබාධාරී හොර තක්කඩියාගේ ජාතියේම තක්කඩි හෙරක් එහෙම චරිත තමයි “සුද්ධෝදනගෙ කොලුවා” කියමින් ඔය ලංකාවේ ආගම්වලට ගරහන්නේ. මේ අය නිකම් එන්නේ නැහැ. ඔවුන් සැලසුම්සහගතව, ගොඩනඟලා, වේදිකාගත කරලයි තිබෙන්නේ. මේක අහිංසක මෙහෙයුමක් නොවෙයි ඕකේ පිටපත එක්සත් ජනපදයේ කට්ටියක් ලියපු එකක් වගේ... පේනවිදියට ලංකාවේ දැනට බලයේ සීටින අන්ත දූෂිත රනිල් රාජපක්ෂ එක්සත් ජනපදයේ රූකඩ රජයට අවශ්‍යය ජනබලය ලබාදෙන ජනබල මෙහෙයුමක ඇරඹුම වෙන්න පුළුවන් බෝහෝදුරට, තව ටික දවසකින් මැතිවරණරක් තියාවී ඒකට පීච් එක හදනවා වගේ නේද පේන්නේ. මම නම් ලංකාව ගැන ඩීටේල්ඩ් නිව්ස් බැලුවේ නෑ මේක දවස්වල නමුත් උඩින් බලපුවාම පේන්නේ එහෙම නේද?

      Delete
  3. නිමල් ඔය කියන සංක්‍රමණික පවුල් වල දරුවන් ඒ ඒ අය අතර විතරයි සම්බන්ධ වෙන්නේ කියන එක මෙහෙට නම් වලංගු නෑ . දෙවන පරම්පරාවේ දරුවන් වෙනත් ජාතික අය සමග විවාහ වෙනවා. මගේ මිතුරන් ගෙ දරුවන් ගොඩක් එහෙම විවාහ වෙලා ඉන්නවා. මගේ දරුවන් ගේ මිතුරන් යුරෝපීය, ආසියානු, මැදපෙරදිග ඇතුළු විශාල පරාසයක අය.

    ReplyDelete
    Replies
    1. කුමාර, ඔයා කියන්නේ එංගලන්තේ තත්වේද- කැනඩාවෙද?

      Delete
    2. එංගලන්තේ විෂශ්යෙන් ලන්ඩනයේ තත්වය දැන් වෙනස්. හැබැයි ලංකාවෙන් එන උන්දලා ලංකාවේ ය එක්ක විතරක් භජනය කරන එක සුද්දන් ගේ වැරැද්දක් නෙමෙයි

      Delete
    3. ඕස්ට්‍රේලියාවේ

      Delete
    4. තව ටිකක් විස්තර කලොත් මෙහෙමයි. පලවෙනි පරම්පරාව වැඩිය ආස්සරේ කරන්නේ ලංකාවේ අය.දෙවෙනි පරම්පරාව ඉස්කෝලෙ දි හැම කෙනෙක්ම ආස්සරේ කරනවා යාලුකම් හදාගන්නවා. විශ්ව විද්‍යාලයේ ගියහම ඒවා තවත් වැඩි වෙනවා.

      Delete
    5. ගොඩාරියක් ස්තුතියි කුමාර, විස්තර කිව්වට.

      Delete
  4. “අප යමක් දිහාව බලන විටෙක සමහර වැදගත් දේවල් පවා හරිහැටි ඇස නොගැටෙන්නටත්; හරිහැටි නොපෙනෙන්නටත් ඉඩ තියෙනවා නේද?” - සහතික ඇත්ත . පාලම දිහා බලන් හිටියා මිසක් ඒක ඉස්සරහා ගෑනු කෙනෙක් ඉන්නවා දැක්කෙම නෑනේ.

    ReplyDelete
    Replies
    1. (ළඟදී commentsවලින් ඉගෙන ගත්තු යෙදුමකින්ම කියනවා නං) චමී, ආන්න ජංසන්!

      Delete
  5. හෙහ් හෙ. අම්ම පුල් ට්‍රයි එක... නිදි ලොක්කට පෙලවහක් කරන්න

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්! අපේ අම්මා හිතන්නේ කසාදයක් කර ගත්තම සේරම හරි කියලයි, නමී.

      Delete
  6. මං දන්න වියපත් නැති , අඩුපාඩු නැති අය ඉන්නව ශ්‍රීලාංකික කෙල්ලන් හෝ කොල්ලන් සමග විවාහවුන. ඒත් එහෙම කරන අයගේ ප්‍රතිශත, ප්‍රදේශවල වෙනස, ජාතිවාදය, වර්ණවාදය, අධ්‍යාපනය, ආර්ථික සමාජ මට්ටම වගේ දේවල් මං දන්න නෑ. ඒක සංකීර්ණ සමාජ විද්‍යාත්මක හැදෑරීමක් අවශ්‍ය දෙයක්. මං එහෙ හිටපු කාලවල් මදි ඒ ගැන ලඝු අදහසක් කියන්න. කොහොමත් සමාන අය එක්ක මිසක් වෙනස් අය එක්ක විවාහවෙන අවස්ථා අඩුයිනෙ.
    රටකට ගියාම අපි අදහසක් ගන්නෙ අපිට පේන අත්දකින දේවලින්. ඒත් ඒක හරිම සීමිතයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඉදිරි සති දෙක තුනේදී මේ ගැන තව අලුත් විස්තර අහගන්න ලැබුනම තව කියන්නං; Pra Jay මහත්තයෝ.
      මගෙ නිරීක්ෂණත් එච්චර දිග කාලයක ඒවා නෙවෙයිනෙ.

      Delete
  7. අද ලියමන කියවන්න පහසුයි, හොඳයි. නිදි තමන්ගෙ සීමිත අත්දැකීමත් එක්ක ඉදිරිපත් කරන තර්කයෙ, යම් දුරකටවත් පදනමක් තියනවා කියල හිතෙනවා. හැබැයි ඒක අපට ඒතරම්ම ආගන්තුක දෙයක් නෙමෙයි නේද? ලංකාවෙ උනත් ඔය බෙදිල්ල, අඩු-වැඩි චශයෙන් අපට පේනවා කියල හිතෙනවා.

    ඒ කොහොම වුනත්, නිදි එදා දුටු එංගලන්තය පිළිබඳ විස්තරය රසවත් අත්දැකීමක්. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි බස්සා මහත්තයෝ!

      Delete
  8. "එහෙම වෙද්දී අප වැන්නවුන් කෙරෙහි සුදු ජාතිකයන්ගේ සිතෙහි අප්‍රසාදයක් ඇති වීම පුදුමයක් නෙවෙයි නේද?" මගේ අත්දැකීම නම් ලංකාවෙ අය ගැන වඩා හොඳ ආකල්පයක් සුදු ජාතිකයින් තුල තාමත් තියෙන බවයි. අඩුම තරමේ නිමල් සඳහන් කරලා තියෙන අනිත් ජාතීන්ට වඩා ලංකාවෙ අය පොඩ්ඩක් හෝ ප්‍රිය මනාප විදිහට ඔවුන් දකිනවා, හැබැයි දැන් දැන් වෙන දේවල විදිහට ඒකත් ඉක්මනට නැතිවෙලා යයි.

    ReplyDelete
  9. නිමල් කියලා තියෙන කාරණා පහම වැදගත්. ඒවටම සම්බන්ධ තව දෙයක් තමයි අපිට සාපේක්ශව ඒගොල්ලන්ට විවිධ පරාසවල මාතෘකා ගැන- දේශපාලනය, කලාව, චිත්‍රපටි, මියුසික්, ස්පෝර්ට්ස් ගැන කතාකරන්න සෑහෙන්න හොඳ දැනීමක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගෙ විනෝදාංශ වඩා interesting ඒවා. ඒ නිසා කතාකරන්න ගියාම මාතෘකා නැති වීමත් හේතුවක් වෙන්න පුලුවන්. නමුත් ඒ වෙනස්කම් දෙවෙනි, තුන්වෙනි පරම්පරාව වෙන කොට නැති වෙලා යනවා අධ්‍යාපන ක්‍රමය නිසා, kumara කියලා තියෙනවා වගේ. ඒ වගේම කොච්චර වෙනස්කම් තිබුනත්, ආකර්ශණය වඩා ප්‍රබල නිසා, අඩු පාඩු කිසි දෙයක් නැතුව එකතු වෙලා ඉන්න අයත් ඉන්නවා, Pra Jay කිව්ව විදිහට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus, ඔයාල කියන විස්තර තමයි අලුත් තත්ත්වය කියන්නේ. මම 1994න් පස්සේ එහෙ ගිහිං නැහැනේ.

      Delete
  10. තෙවැන්න මා උස මහතින් අඩු වීමය. එංගලන්තවාසීන් සාමාන්‍යයෙන් සිරුරෙන් පිරිපුන් අයයි -- බොරු කතාවක් කියල ඉතින් මටම ඔප්පු කරන්න පුළුවන්. 😀 එංගලන්ත ඉංග්‍රීසි ගැහැණු මුදල් තත්වය බලනවා සෑහෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ රසවත් විස්තර. ලියමු නේද අජිත්?

      Delete
    2. අජිත් ලංකාවේ මේ දවස්වල අර මොකක්ද ගොන් පාට් එකක් දාල රිමාන්ඩ් කරපු අර නටාෂා කියන ගෑනි ගැන උඹත් සොයලා බලන්නකො. ඕකී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලංකාවේ ඒජන්සියේ ව්‍යාපෘතියක සේවය කළ තැනැත්තියක් කියලා දැක්කා. ඊට අමතරව USAID ආයතනයේ සේවය කළ අයෙක්. ඔය බොරු ව්‍යාපෘති වල සැබෑ අරමුණ දන්නවානේ, අර මෑතකදී කුජීත වෙච්ච කුඩු මුදලාලිලාගේ තෝල්ක නොතාරිස් සාලයා පාරිස් කබාධාරී හොර තක්කඩියාගේ ජාතියේම තක්කඩි හෙරක් එහෙම චරිත තමයි “සුද්ධෝදනගෙ කොලුවා” කියමින් ඔය ලංකාවේ ආගම්වලට ගරහන්නේ. මේ අය නිකම් එන්නේ නැහැ. ඔවුන් සැලසුම්සහගතව, ගොඩනඟලා, වේදිකාගත කරලයි තිබෙන්නේ. මේක අහිංසක මෙහෙයුමක් නොවෙයි ඕකේ පිටපත එක්සත් ජනපදයේ කට්ටියක් ලියපු එකක් වගේ... පේනවිදියට ලංකාවේ දැනට බලයේ සීටින අන්ත දූෂිත රනිල් රාජපක්ෂ එක්සත් ජනපදයේ රූකඩ රජයට අවශ්‍යය ජනබලය ලබාදෙන ජනබල මෙහෙයුමක ඇරඹුම වෙන්න පුළුවන් බෝහෝදුරට, තව ටික දවසකින් මැතිවරණරක් තියාවී ඒකට පීච් එක හදනවා වගේ නේද පේන්නේ. මම නම් ලංකාව ගැන ඩීටේල්ඩ් නිව්ස් බැලුවේ නෑ මේක දවස්වල නමුත් උඩින් බලපුවාම පේන්නේ එහෙම නේද?

      Delete
  11. අනුර ජිනදාසJune 1, 2023 at 6:18 PM

    ඔය කියන බස් සේවය වගේ එකක් ලංකාවෙ කරන්නනෙ සැහැල්ලු දුම්රිය සේවයක් හදන්න හැදුවෙ.
    ආර්ථික ඔස්ථාර්ලා වියදම් වාසි විග්‍රහ හදල පෙන්නුවානෙ ඒක පාඩුයි කියල.බස් පොළවල ගෙවන්න වෙන කාලය අඩුවීමේ වාසිය වගේම ගමන යන කෙනා විඳින මානසික සහනය අගයාගන්න ක්‍රමයක් නැතිකමෙන් ඒකෙ අවාසිය ලොකුවට පෙනුන නිසා සහ වැඩිපුරම ලොක්කන්ගෙ සාක්ක්කුවලට වැටෙන ඩොලර් යෙන් ගණන අඩුවීමත් ඒකට හේතු වෙන්න ඇති.
    .

    ReplyDelete
    Replies
    1. පොසොන් හඳත් එක්ක තවත් හඳක් පායලා!
      ගොඩාරියක් ස්තුතියි අනුර මහත්තයෝ, මේ පැත්තට ගොඩ වැදිලා commentsතුත් කලාට!!

      Delete
    2. අනුර, ඉයන්ගේ අඩවියේ පළවී තිබෙන මේ ලිපිය බලන්නකෝ comments එක්ක.
      https://lankanian.blogspot.com/2023/06/blog-post.html
      ඇයි ලංකාවේ අයට මේ වගේ දේවල් වලට තරහ යන්නේ?

      Delete
  12. ලන්ඩන්වල අනිත් කොනේ වෙන්න ඇති. පැය දෙකේ වෙලාව නං මට හොඳටම මතකයි- ඩැඩාගේ ලොකුම තර්කයත් වුණේ ඒක. පැය හතරක් ට්‍රැවල් කරලා- පැය හත-අටක් වැඩ කරලා ලැබෙන ගතමනාව මදිය කීම.
    අනේ මහත්තයෝ, ඒ කොහෙද කියලා අහගන්න දැන් අපේ අම්මට කල්පනාව නෑ. එහෙ ගිය තැන්වලින් මගෙ මතකයේ තියෙන්නේ South Hall විතරයි, වැඩිම කාලයක් ආව-ගියේ එහාට නිසා.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්