අකුරු මැකී නෑ

Wednesday, August 30, 2023

ආයෙමත් වතාවක්... -පළමුවෙනි කොටස

“Good Morning මිස්ටර් දිසානායක. මොකද කියන්නෙ. ලබන සතියේ සීගිරි යමුද?” ප්‍රභාත් මට ටෙලිෆෝන් කළේ ජුනි මාසෙ අන්තිමේ. “ගිය සතියේ වස්ගමුවේ ගිහින් ඇවිත් මහන්සිද... මහන්සි වුණත් කමක් නෑ, නිමල් අයියේ. ලබන සුමානේ අපිත් එක්ක සීගිරියේ යමු. ඉඩම ගත්ත දවසේ ඉඳලම කියලත් ඔයා ආව එකක්යැ... දැන් එහෙ බිල්ඩින් එක හදල ඉවරත් එක්ක.”

Week ends කීයක් නං try කළාද, අපි යනකොට ඔයාවත් එහෙ එක්ක යන්න. මොකෝ කියන්නෙ...

“අම්මට සිරි! හදලත් ඉවරද?”
“ඒකනෙ කියන්නෙ. ඔයාවත් එහෙ එක්කගෙන ගිහින් පෙන්නන්න කතා කළා- කෝ
ආවද?” ප්‍රභාත් කියන්නේ නෝක්කාඩු හඬකිනි.

ඇත්තය. සීගිරි අඩවියෙන් පංකාදු ඉඩම් කෑල්ලක් මිලදී ගත්තු විත්තිය ප්‍රභාත් මට කිව්වේය; එහි නිවාඩු නිවස්නයක් තනන්නට යන විත්තියත් කිව්වේය. ඉඩම සුද්ද කරන බව; මුල්ගල් තියන බව; ඉදිකිරීමේ වැඩ සිදු කෙරෙමින් තියෙන බව එහෙමත් වරින්-වර කිව්වේය. “Week ends කීයක් නං try කළාද, අපි යනකොට ඔයාවත් එහෙ එක්ක යන්න. මොකෝ කියන්නෙ... මේ සැරේවත් යමුද?”

“කවද්ද ප්‍රභාත්ල, යන්නෙ?”
චිත්තම්මාගේ වැඩිමහල් සොහොයුරියට දරුවන් දෙදෙනෙකි. මාලිකා හා නදී (ප්‍රසන්න)ය. මාලිකාගේ සැමියා ප්‍රභාත්ය. දෙදරුවන් ෂෙහාන් හා නෙත්මිය. (අපි ඒ හැමෝමත් එක්ක සංචාර ගොඩකටම ගොහිං තියෙන විත්තිය දැනටමත් මගෙන් ලියැවී තිබෙයි.)

කොරෝනා වසංගතය නිසා හදිසියේම රට වසා දමන විට ‘ගෙදර වියදමට ප්‍රමාණවත් සල්ලියක්’ මා ළඟ නොතිබිණි. හදිසියේ අතමාරුවක් කර ගන්නට ගොඩක් දෙනා හිටියත්- ප්‍රශ්නයක් වුණේ ‘ඒ ගොඩ දෙනා’ ඒ මුදල් ආපසු බාරගන්නට අකැමති පන්නයේ අය වීමයි. අඩුවෙන්ම රණ්ඩු කර- බලහත්කාරයෙන් හෝ ඒ මුදල් බාර දෙන්නට හැකියාව මට තිබෙතැයි සිතුණු අයගෙ ගොඩේ ඉස්සරහින්ම හිටියේ ප්‍රභාත්ය. (ප්‍රභාත් දබර කරන්නට- වාද කරන්නට කැමති කෙනෙක් නොවේ!)

කොරෝනා වසංගතය නිසා හදිසියේම රට වසා දැම්මාමය, මට තේරුණේ...

එදා එලෙස රුපියල් විසිපන්දාහක් අපේ ගේට්ටුව ළඟටම ගෙනවුත් දුන් හැටි අවුරුදු තුනකට කලින් ‘කොරෝනා කොරපු ; කොරන හරිය! හයවෙනි කොටස’ට ලියැවුණේ මෙහෙමය.

‘... අන්තිමේදී සුවදුක් අහන්නට කතා කළ මාලිකාත් සල්ලි කොහොමදැයි ඇහුවාය.
ඉල්ලාගන්න වෙනවා බැංකු අරින්නේ නැතිනම්...මම කීවෙමි.

විනාඩි දහයක් ගියේ නැත. මාලිකාගේ සැමියා ප්‍රභාත් කතා කළේය.
නිමල් අයියට කීයක්ද ඕනේ?අද මට වැඩට එන්න වුණ නිසා පර්මිට් එක තියෙනවා. අද හවසම මං ගෙදර යන ගමන් ගෙනත් දෙන්නම්.... හරි, හරි... ඔයා ආපහු දෙන දවසට ගන්නම්කො... ණයක් විතරයි දෙන්නේ, පොලිය නැතිව.

මාස්ක් දමාගෙන හිටි ප්‍රභාත් අපේ ගෙදරටවත් ගොඩවෙන්නේ නැතිවය, සල්ලි ගෙනත් දුන්නේ. ස්තුතියි මාලිකා, ප්‍රභාත් දෙන්නාටම.’

ඒ සල්ලි මාස ගණනාවකට සෑහුණේය; ඒ නොහිතූ ‘වාසනාවන්ත කාලයක්’ මට උදා වුණු බැවිනි.
තනි මට පමණක් නොව, දෙතුන් දෙනෙකුටම වුණත් සෑහෙන තරං හාල්- පොල්- අල- පරිප්පු- මස් මාළු එහෙමත්, එළවළුත් අපේ ගෙදරටම ගෙනවුත් දෙන්නට තරං ‘පරිත්‍යාගශීලී හිතවතුන් රැසක්ම’ මට ඉන්නා බව, ඒ වකවනුවෙදී පසක් විණි.
එහෙම දේවල් අපේ ගෙදරට ගෙනවිත් ගොඩ ගසන අතරේ, ඒ හැමෝම මට කිව්වේ එකම දෙයකි. ‘ගෙදරින් එළියට බහින්න නං එපා! අඩුපාඩු වෙන දෙයක් අපිට කියන්න- අපි පිටස්තරයෝය කියල හිතන්න එපා... ඔයා ළඟම තියෙන කඩේටවත් යන්න එපා. මේ වසංගතේ ඉවර වෙනකල් අපි - අපිටවත් ඔයාලගෙ ගෙදරට එන්න දෙන්න එපා.’ (ඒ හිතවතුන් හැම දෙනාගේම කාරුණිකත්වයට ප්‍රසිද්ධියේ ස්තුති කරන්නටත්, මේ අවස්ථාවය! ඔයාලා හැමෝටම ගොඩක්- ගොඩාරියක් පිං!)

වැවකට යනවා නං ඒකත් පුළුවන්... ඔයත් එනව නේද? (ඒ ගිය වෙලාවක ධනුෂ්ක,  මංජු, නදී, ප්‍රියන්ත, සම්පත්  හා සඳුන්)

මාස ගණනාවකට පස්සේ, ඒ මුදල් ආපහු ගෙනිහින් දෙද්දී ප්‍රභාත්- මාලිකා දෙන්නත් එක්කම ලොකු රණ්ඩුවක් අල්ලන්නටත් මට සිද්ද වුණේය!

එයාලාගේ පවුලේ උදවියත් එක්ක මගේ තිබෙන හිතවත්කම එච්චර ලොකු එකකි!!

“අපි සිකුරාදා උදේ යන්නෙ, නිමල් අයියේ. ජුලි 7 සිකුරාදා. අට නවය දෙකත් එහෙ ඉඳලා එන්නේ. සම්පත්  අයියත්  යනවා. නදී, රංග, අපේ පුතා ෂෙහාන් එහෙමත් යයි.” (ෂෙහානුත් IT හපනෙකි. ගෝල්ෆේස්හි ‘ආදරයේ අරගලය’ට මගේ පුංචි දායකත්වය ලබා දෙමින්, පැය 68ක් වතුරෙන් පමණක් යැපෙමින් මා උපවාසය කරන අතරේ නිරතුරුවම fb එකෙන් මගේ තොරතුරු යාවත්කාලීන කරන්නටත් ෂෙහාන් සචිත් කටයුතු කළේය. ආයෙමත් ස්තුතියි ෂෙහාන්!)
“නිමල් අයියා කැමතියි නං පිදුරංගලත් එක්ක යන්නං.”

“ඇයි ළමයෝ, ඔයාලමනේ අපිව ගලපොතුයායේ එක්ක ගියාම, අපි පිදුරංගල නැග්ගේ. ඊට පස්සෙත් අපි හත්-අට සැරයක්ම එහෙ ගියා ප්‍රභාත්ට මතක නැද්ද.” එහෙමත් කියමිනි, ‘යමු!’ කියලා මං වචනය දුන්නේ.

“අපේ වත්ත පහළින් නියම වතුර ඇලකුත් තියෙනවා. නෙවිල් අය්යටත් යමුයි කියන්නකො. කීප සැරයක්ම කියලත් ඒ මනුස්සයාත් ආවෙ නෑනෙ.”
“එයා කොහෙද මහත්තයෝ නිවාඩු ගන්නේ... ගිය සුමානෙත් දවස් තුනක් නිවාඩු ගත්තනෙ.”
“කාලෙකින් අපේ ගමනකට එයා ආවෙත් නැහැනෙ. ඔයත් එහෙමයි.”

ඊට පසුවදාම සම්පතුත් මට ඇමතුවේය. “අඩේ මරු මරු මරු. ඔයත් ප්‍රභාත්ලගෙ trip එකට එනවය කියල එයා කිව්වා. නෙවිලටත් යන්න පුළුවනි නං- සිංදු ටිකක් හෙම කියලා නියම ආතල් එකක් ගත්තැකි නිමල් අයියේ. නාන්නත් ඇලක් තියෙනවා. වැවකට යනවා නං ඒකත් පුළුවන්... ඔයත් එනව නේද?”

ඒත් එක්කම සුමිතුරු ප්‍රියන්තගෙනුත් ඇමතුමක්.
“නිමල්, ජුලි 8, 9, 10 වස්ගමුවේ යමුද?”
“ආයෙමත්? අපි
ගිය සතියෙනෙ එහෙ ගිහිං ආවේ...” මම විමසුවෙමි. “අනේ සොරි ප්‍රියන්ත. ඔය සති අන්තෙම ප්‍රභාත්ලගෙ සීගිරියේ තැනට trip එකක් යන්න එනවයි කියලා මම පොරොන්දු වුණානෙ, ඊයේ.”

“මේකයි වැඩේ නිමල්. මගේ යාළුවෙක් ඉතාලියේ ඉඳලා ඇවිත් ඉන්නවා. අපි එහෙ ගිය වෙලාවේ එයා සුමානයක්ම නිවාඩු දාලා අපිව හැම තැනම එක්කගෙන ගියා. මාර හිත හොඳ පොරක්.
එයාලා මෙහෙ කැලේක camping කරලම නැහැලු. මම හදන්නෙ ටිරාන්ලව මැදපිටියේ එක්ක යන්න.”
“ඉතිං ප්‍රියන්ත, ඊළඟ වීක් එන්ඩ් එකේ යමුකො.”

ඒ නිසාදෝ මනුස්ස ජානවලම ‘වල් වදින්නට’, ‘වන+චර වෙන්නට’ ලොකු ආසාවක් හැංගිලා තියෙනවත් ඇති! අනිත් කාගේ නැතත් මගේ නං ජාන ඒ වගේමය!!

“බෑ නිමල්. එයාලට free තියෙන්නෙ ඔය දවස් තුනේ විතරයි. මම නෙවිල්ටත් කිව්වා. Wild Life එකෙනුත් බැලුවා. මැදපිටිය බුක් වෙලා නෑ. ඔයාත් එනවා නං තමයි...” එහෙම කියන ගමන්ම ප්‍රියන්තටත් අයිඩියාවක් ඇවිදින් වගෙය.

“ආාාාා මෙහෙම කරමුද නිමල්. අපි යන්න හදන්නෙ සෙනසුරාදා, ඉරිදා, සඳුදා තුනේනෙ. ඔයා සිකුරාදා ප්‍රභාත්ලා එක්ක යන්න. සෙනසුරාදා දවල්ට වස්ගමුවේ යන ගමන් අපි එහාට ඇවිත් ඔයාව pick කර ගන්නං.”

එහෙම කරන්නට වුණත්, ඒ සඳහා ප්‍රභාත්ගේ කැමැත්ත ලබාගත යුතු විත්තිය මම කීවෙමි.

“ඔයාට තේරෙනවනේ ප්‍රියන්ත. මං එයාලට වචනේ දීල ඉවරයිනෙ. ප්‍රභාත් කැමතියි නං විතරක්...”
“හරි! ඔයාට පුළුවන්ද ප්‍රභාත්ගෙන් අහලා මට කියන්න, හෙට උදේට කලින්. ඔයාටත් එන්න පුළුවන් නං, මං හෙට උදෙන්ම ගිහින් බුකින් එක දානවා...”
“හරි, දහයට කලින් කියන්නං.”

මම ප්‍රභාත්ට විස්තරය කිව්වෙමි. ‘ඔහු වාද කරන්නෙක් නොවේ’ යැයි මම කලිනුත් ඔබට කීවෙමි. ඒ හාදයා මටම බෝලය පාස් කළේය.
“ඔයාම තීරණේ කරන්න නිමල් අයියේ. ඔයාලා යන්නෙ නැත්තං ප්‍රියන්ත අයියා trip එක යන්න කැමති නැහැ වගේනෙ පේන්නේ. පස්සේ දවසක හරි අපිට සීගිරියේ යන්න පුළුවනිනෙ... අර ගොල්ල ආපහු ඉතාලි යනවා නං- ඉඩක් තියෙන්නෙත් ඔය දවස්වලම නං ඔයා ඒකට join වෙන්න... අපි පස්සේ දවසක අපේ ගමන යමුකො. හැබැයි, ඔයා කැමතියි නං මේ සැරෙත්, අපිත් එක්ක සිකුරාදා ගිහිං- පහුවදා එයාලට එකතු වෙන්නත් පුළුවන්. ඕනි නං මමම ඔයාව ප්‍රියන්ත අයියලා එන මඟට...”

“නෑ නෑ ප්‍රභාත්. එහෙම කරන්න ගියාම දෙගොල්ලටම කරදරේ. මං එයාලත් එක්කම එන්නං... ඔන්න ඊළඟට ඔයාල එහෙ යන දවසට මොන වැඩ තිබ්බත් මං එනවාමයි.”

එහෙම පොරොන්දුවක් ප්‍රභාත්ලාට දීලාය, ආයෙමත් වතාවක් මං වහන්සේ වස්ගමුව වනෝද්‍යානයේ මැදපිටිය camping site එකට යන්නට සූදානම් වුණේ.
අවුරුදු දහස් ගණනාවකට කලින් අප හිටියේ කැලේය; ඒ නිසාදෝ මනුස්ස ජානවලම ‘වල් වදින්නට’, ‘වන+චර වෙන්නට’ ලොකු ආසාවක් හැංගිලා තියෙනවත් ඇති! අනිත් කාගේ නැතත් මගේ නං ජාන ඒ වගේමය!! අනේකවිධ හරිත වර්ණයෙන් බබළන රුක් ගොමුවක- වන වදුලක ඡායාරූපයක් වුණත්, මගේ සිත පුබුදුවාලන්නේ පුදුමාකාර විදිහටය...

පොළොන්නරුව, මාතලේ දිස්ත්‍රික්ක දෙකටම මැද්දේ තිබෙන වස්ගමුවට කොළඹ සිට යනවා නම් දුර ‘අපේ උත්තරීතර පාරලිමේන්තුවේ නියෝජිතයන් ගණන’ට සමානය. කිලෝමීටර් 225කි.

ටිරාන් තමයි එයාලගෙ යාළුවො කීප දෙනෙක්වත් එක්ක එන්නෙ. මට කිව්ව විදිහට නං families දෙක තුනක්...(Foto-සෙරාන් එච් ගමගේ)

“නිමල් මම මේ trip එකට බුකින් එක දැම්ම විතරයි. මං අද හවසට ඔයාලගේ ගෙදර එනවා... අර වස්ගමුවේ tracker මල්ලිගෙයි, සෆාරි ජීප් එකේ හාදයාගෙයි නොම්මර එහෙමත් ඔයා ළඟ තියෙනවා නේද... ගන්න ඕනෙ කරන බඩු ලැයිස්තුව එහෙමත් හදා ගන්න තියෙනවා. ඔයා දන්නවනෙ මට තියෙන වැඩ ගොඩ. ඒ අස්සෙම වුණත් දවස් හතර පහකදී මේ සේරම organize කර ගන්න ඕනිනෙ නිමල්.” ප්‍රියන්ත කතා කළේ වනජීවී කාර්යාලයෙන් බැහැරට ආව ගමන්මය.

“දැන් කීදෙනෙක් trip එක යනවද ප්‍රියන්ත?” මම ඇහුවේ එදා හවස. “...දවස් තුනේ මෙනූ එකයි- ගන්න ඕනි බඩු-මුට්ටුයි  තීරණේ වෙන්නේ ඒවා උඩනේ.”

“මගේ යාළුවා ටිරාන් මරු මනුස්සයා. ඔයාලටත් අඳුනගන්න වටිනවා. ඊටත් වැඩිය මරු නදීකා; ටිරාන්ගේ wife. හරි forward and friendly. ටිරාන් තමයි එයාලගෙ යාළුවො කීප දෙනෙක්වත් එක්ක එන්නෙ. මට කිව්ව විදිහට නං families දෙක තුනක්. බලමුකෝ අහලා.” ප්‍රියන්ත එවෙලේම ටිරාන්ට කතා කළේය.
“ටිරාන්, මචං මම මේ නිමල්ලගේ ගෙදර ඉඳලමයි කතා කරන්නේ. දැන් කවුරු කවුරුද මචං trip එකට එන්නේ?”

‘... දහයක් දොළහක් විතර? / ෆැමිලීස් හතරක. / ආ, ඔයාලගේ වාහනවල එන්නේ... / මචං ටිරාන්, උඹ කිව්ව නේද පොඩි දරුවෙක් දෙන්නෙකුත් ඉන්නවයි කියලා. අපි කතා වෙච්ච විදිහට- මං ලේඩීස්ලටයි බබාලටයි ඉන්න බංග්ලෝ එකකුත් බුක් කළා. / ඔව්, ඔව්. Don’t worry. අපි ඉන්නෙ camp site එකේ.’

“ඔයාටත් ඇහුණනෙ නිමල්, එතන දොළොස් දෙනෙක් කියල ගත්තොත්... අපේ හතක් හරි අටක් හරි... එතකොට විස්සයි. විස්සක් කියලා ගණන් හදන්න.”
“අපෙත් අටක්?”
“අට නෙවෙයි නිමල්- ගිය සුමානේ වස්ගමු ගිය හැමෝම එන්නයි හදන්නේ. (මම ඉස්සෙල්ලා කිව්ව ‘කැලෑ ජාන’ වැඩියෙන් තියෙන්නේ මට විතරක් නෙවෙයි වගේ!) ඒක කරන්න බැහැනෙ නිමල්. එතකොට මේකත් අපේ trip එකක් වෙනවනෙ... කට්ටියක් විතරක් එක ගියොත් අනිත් අය තරහ වෙනවා. මම ඔක්කොමලටම එපා කිව්වා. ඒත් ඔයයි, නෙවිලුයි, අපේ දෙවෙනියා වෙනුජයි, සෙරානුයි. හරිසුයි යනවා. මම දහනායකටත් කිව්වා.” (දහනායක කිව්වේ ‘
ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ’ පෝස්ටුවෙන් කියූ නදීකාගේ ආදරණීය සැමියාටය.)

“ටිරාන්ලගේ කවුරුවත් කැලේක camping කරලා නැහැ වගෙයිනේ. අපේ සෙරානුයි, වෙනුජයි දෙන්නා tents ගහලා වයරින් කරයි. දහනායකත් ඉන්නවනේ. බරපතලම වැඩේ, උයාගන්න එක නං ඔයාට තමයි  බාර ගන්න වෙන්නේ. Support එකට අපිත් ඉන්නවා. ටිරාන්ගේ වයිෆුත් උදව් කරයිනෙ...”

ඒ අස්සෙම ප්‍රියන්තට තවත් වැදගත්ම කාරණයකුත් සිහි වෙලාය.

“නෙවිල්ට කියන්න ඕනි ඉක්මනින්ම කොංගෝ එකට හමක් ගස්සවා ගන්න කියලා... දවස් තුන-හතරකින් ඒක කරවගන්න පුළුවන් නේද? නැත්තං සිංදු කියන්න බැරි වෙනවනෙ...”

ඒ ඇබැද්දිය වෙලා තිබ්බේ ‘වනචර වෙමුද?’ posts දෙකේදී කියැවුණු වස්ගමු ගමනේදීය. සරත්ගේ වාහනයෙන් කොංගෝ ඩ්‍රම් එක බා ගත්තාමය පෙනුණේ. එහි හම හරහා කැපුම් පහරකි!
“මේක නං ධනවාදී කුමන්ත්‍රණයක්. සමාජවාදීන්ගෙ ගීත ගායනේ කඩාකප්පල් කරන්න බලාගෙන එල්ල කරපු ප්‍රහාරයක්.”
“ඔව්වොව් ඔව්! නැත්තං කොහොමද උඩින් cover කරන රෙද්ද බැඳලා තියෙද්දී, රෙද්ද අස්සෙන් ගිහින් පොරෝ තලය වැදෙන්නේ?” විවරණ- විග්‍රහ- පරීක්ෂණ මොනවා කෙරුණත් පලක් නොවිණි. වැඩේ සිද්ද වෙලා ඉවරය!!

හරිහමං විදිහට සුසර කොට, වාදනය කෙරෙන ‘අවනද්ධ භාණ්ඩයක්; තාලය සපයන භාණ්ඩයක්’ නැති වුණාම ‘රඟේ කොහොමද’ කියලා අපේ කාටත් තේරුණේ ඒ  trip එකේදියි. (භාණ්ඩය තිබ්බත් මදි තමයි- හරිහමං වාදකයෙකුත් ඉන්න ඕනිනෙ.) අපේ ගමන්වල යාවජීව වාදක නෙවිල් අනුරසිරි හිතවතා ඉඳලත්, එදා සාජ්ජ වැඩේ ලාචෝරු වෙලා ගියේ කොංගෝ එකේ සද්දේ බඃ බඃවලින් එහා වර්ධනයක් නොපෙන්නුව නිසා. හැබැයි, වැඩියෙන් අනුමත වෙලා හිටි අය නං අඩ අඳුරේ නින්දට ගිහිනුත් සිංදු කිව්වා- අප්පුඩි ගහමින් තාලය දුන්නා. (උඩ වීඩියෝවේ සිරකොට තියෙන්නේ ඒ රසාලිප්ත රාත්‍රියේ මොහොතක්.)

“මමත් හෙට උදෙන්ම නෙවිල්ට මතක් කරන්නංකෝ ප්‍රියන්ත... මේ අස්සෙ මට තව වැඩක් කල්පනා වුණා. ඔයා බංගලාවකුත් බුක් කළා කිව්වනේ. එතකොට එතන වැඩට ඉන්න දෙතුන්-දෙනෙකුයි, ට්‍රැකර්ස්ල දෙන්නෙකුත් ඉඳියිනෙ ප්‍රියන්ත. අපේ නඩේ බෙදිලා දෙපොළකට යනවා නං ට්‍රැකර්ස්ල දෙන්නෙකුත් අපි එක්ක ඉඳියි. එතකොට විසිපහක්...”

“හරි! විසිපහකට ගණන් බලන්න. මෙනු එක දැන්ම හදමුද නිමල්?”
“මගේ අත වෙවුලන නිසා දැන් මම ලියන දේවල් මටවත් කියවගන්න බෑ ප්‍රියන්ත. අද රෑට ඒක හදලා මං ඔයාට ඊමේල් කරන්නං... ගයාන්ගෙයි ලසිතගෙයි නොම්මර දෙක දැන්මම ඔයාට දෙන්නද?”
“දෙන්න! දැන්මම එයාලටත් කියල හිටියම ඒ වැඩෙත් ඉවරයි.”

ඒ මොහොතේම ප්‍රියන්ත ගයාන්ටත්, ලසිතටත් කතා කළේය. විස්තර කිව්වේය.

“දැනුයි මට මතක් වුණේ. එකම නමකින් බුකින්ස් දෙකක් දාන්න බැරි නිසා එක බුකින් එකක් දැම්මේ අපේ මැණිකෙගේ නමෙන්. මං සැකේට office එකෙන් ඇහුවම නං කිව්වා, මැණිකෙ නොයනවා නම් එහෙදි නමේ වෙනසක් කර ගන්න පුළුවන් කියලා. අපි ගයාන්ගෙන් ඒකත් අහමුද නිමල්, ඒක...”

කෙනෙකු වෙතින් වැරැද්දක් වෙන්නට- අතපසු වීමක් වෙන්නට තියෙන ඉඩ ඉතාමත් අඩුය.

‘අවුලක් වෙන්නේ නං නෑ සර්. වැඩියම හොඳයි, බුකින් එක තියෙන කෙනාගෙන් ලියුමකුයි, එයාගේ අයිඩෙන්ටියෙ foto කොපියකුයි අරගෙන එන එක. එතකොට ප්‍රශ්නයක් වෙන්නෙම නෑ.’ ගයාන් ප්‍රියන්තට පවසා තිබිණි.

ඒ අතරේ දුරකතන ඇමතුමක්.
‘තාම මම නිමල්ලගේ ගෙදර ටිරාන්... / සීනි තේ කොළ පිටි ගන්නවා? / එව්වත් අපි ගන්නං. / එපාද? හරි, Thanks මචං. මම නිමල්ට කියන්නං ඒවා එපයි කියලා.’

ඒ සංවාදය මතක් වුණේ පසුවදා මා යැවූ ඊමේල් එකේ අග හරිය දැක්කාමය. මේ, ඒ අග කොටස එහි තිබුණු විදිහටමය.
‘.... ප්‍රියන්ත ගන්නවා කීවා-
ටෙන්ට්, රෙදි, මෙට්ට, උදැල්ල, පොරොව, ලාම්පුව, හාල් කිලෝ 3ක් ඉදෙන සාස්පානක් පියන සමඟ, කන්වර්ටරය හා ලයිට්ස්, ලණු
මිරිසට තැම්බූ මාළු  

මම ගන්නවා:
කුකුළු මස්- තැල් කොළ කිරි හොදි - පොල් සම්බෝල
ළිප් දෙක
, ගෑස් සිලින්ඩරය, වළන්, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, ජෝගු, තේ ගොට්ට, හැඳි, විම් සබන් කැටයක්, සන්ලයිට් කැටයක්, ස්පොන්ජ්, දැලි රෙදි කෑලි

ටිරාන් ගෙනෙනවා කිව්වා; සීනි, තේ කොළ, කිරිපිටි

නෙවිල් ගත යුතුයි; මුරුක්කු ආදිය

ෂැන්ඩි ගන්නවා හෙට්ටිපොලින්’

ඒ විදිහට කෙරෙන්නට උවමනා හරියත්, පොරොන්දු වුණු; බාරගත්; එකේක්කෙනාට බාර දෙන වගකීම් ආදියත් ලිඛිතව දැනුම් දුන්නාම ලෙහෙසිය. එහෙම කළාම කෙනෙකු වෙතින් වැරැද්දක් වෙන්නට- අතපසු වීමක් වෙන්නට තියෙන ඉඩ ඉතාමත් අඩුය. මෙහෙම සටහන් කිරීමේ පුරුද්ද මට ඇති වුණේ මීට අවුරුදු 40 කටත් එහා ඉඳලාය..
ඉතිරිය ඊළඟ කොටසෙන්...

Friday, August 25, 2023

Happy Birth Day!

අන්ත දිළිඳු බවේ ගැලී සිටි ඔවුහු යන්තම් ජීවිතය පවත්වාගෙන ගියහ...

ජෝන් ඉවන්ස් මගේ ජීවිතයට පිවිසුණේ අහම්බෙනි; නොසිතූ විලසිනි.

ඉරුණු සපත්තු... වැරහැලි වී ගිය අණ්ඩ දැමූ ඇඳුම්... ඒවායින් සැරසුණු ජෝන්ගෙන් පළ වුණේ සිත් ඇදගන්නා පෙනුමක් නොවේ. ඊටත්, ඒ ඇඳුම වුණත් ජෝන්ට වඩා විශාල අයෙකුට ඔබින්නකි.

ඒ ඇපල් නෙළන සමය විය. තරගයට මෙන් ඉදෙන ඇපල් නෙළන්නට විශාල පිරිසක් අවශ්‍ය වූයෙන්, උතුරු කැරොලිනාවට කළු ජාතික සංක්‍රමණිකයෝ පැමිණෙමින් සිටියහ. අන්ත දිළිඳු බවේ ගැලී සිටි ඔවුහු යන්තම් ජීවිතය පවත්වාගෙන ගියහ. එහෙ-මෙහෙ යමින් කම්කරුවන් ලෙස සේවය කළහ.
ජෝන් ඉවන්ස් අයත් වුයේද එවැනි පවුලකටය.

මම එකල දෙවෙනි ශ්‍රේණියේ උගැනුම ලබන සිසුවියක් වීමි.

*****

පැහැබර උදෑසනක අපේ පන්තියට ගලා එමින් තිබුණු ළා හිරු කිරණ මැදින් ජෝන් අපේ පන්තියට පැමිණියේය. ලජ්ජාශීලීව පැකිලෙමින් ගුරුතුමිය වෙත පා නඟන ජෝන් දුටු අපි මුහුණෙන් මුහුණ බලා ගත්තෙමු. අපේ මුහුණුවල තිබුණේ එකම හැඟීමකි. ඒ අප්‍රසාදයයි!

ඔන්න ඔන්න ඔයාලගෙත් අප්‍රසාදය ලියලන වෙලාව ආවා!
ඒත් ඉතිං මක් කරන්නෙයි. පටන් ගත්තු කතන්දරේ කියල ඉවර වෙලා අටුවා-ටීකා ටික කියන්න හිටියෝතින්... එහෙම ‘අන්තිමට පූර්වාපර සන්ධි ගලපන ක්‍රමය’ හොඳයි ‘පන්සිය පනස් ජාතකය’ ලියපු කාලෙට.
මට මතකයි ඉස්සර පිචැර් එකක් බලද්දී වැඩි දෙනෙකුට අන්තිම චුට්ට මිස් වෙන හැටි. එහෙම වුණේ අන්තිම සීන් එකත් බලන්න තරං ඉවසිල්ලක් නැති මිනිස්සු නැඟිට-නැඟිට යන්න පටන් ගන්න නිසා.
හැබෑටම අපි කිසිම ඉවසිල්ලක් නැති ජාතියක්ද?

ඒක නෙවෙයි. අද කියන්න යන කතාව ඇත්ත කතන්දරයක්. Reader’s Digest සඟරාවක පළ වෙලා තිබුණු මේ කතාව අනුවර්තනය කරලා සිංහලෙන් ලිව්වේ ‘නිමල් දිසානායක වන මම්ම වම්හ’.
ඒ, 1998 ඔක්තෝබර් 5 වෙනි සඳුදා පළ වුණු ‘පිවිතුරු’ යොවුන් පත්තරේට.
ඒ පත්තරයේදි මං ‘ලොකු අම්මා’ විදිහට රූපාන්තරණය වෙච්ච හැටි ‘
ලොකු අම්මත් එක්ක’ postsවලදී ලිව්වා, ඔයාලටත් මතක ඇතිනෙ.
‘දඟකාරි...’ ලිපි පෙළයි, ‘සිකුරු විජිතය’ නවකතාවයි දෙක සතිපතාම පත්තරේට ලියන අතරේ ඉඳහිට මෙහෙම දේවලුත් මගෙන් කෙරුණා. (‘පිවිතුරු’ සංස්කාරක අංජන ඉන්ද්‍රජිත් හිතවතාත් මගේ මෙහෙම වැඩවලට බොක්කෙන්ම සහාය දුන්නා. ස්තුතියි අංජන.)

ඔන්න මං අනුවර්තනයෙන් තව කොටහක් දීලා ඉන්නයි හදන්නෙ. (දුඹුරට හුරු රතු පාටින් තියෙන්නෙ ඒ කතන්දරේ කොටස්ය.)

අපේ ගුරුතුමිය පාමෙල් මහත්මිය ඔහුගේ නමත් පැමිණීමේ ලේඛනයට ඇතුළත් කළාය.
අපේ විරෝධය ක්‍රමයෙන් වැඩි වෙන මුණු-මුණුවක්ව නැඟී එද්දී පාමෙල් මහත්මිය  හිස ඔසොවා බැලුවාය. පංතියම නිහඬතාවේ ගිලුණි.

“ළමයි... මේ ජෝන් ඉවන්ස්!”

ජෝන්ගේ මුහුණෙත් මඳ සිනහවක් පිපී තිබුණද අපි සිනා නොවූයෙමු!  

පාමෙල් මහත්මිය හැකිතාක් උද්‍යෝගිමත් වීමට වෙර දරන බව පැහැදිලිවම පෙනුණි. ජෝන්ගේ මුහුණෙත් මඳ සිනහවක් පිපී තිබුණද අපි සිනා නොවූයෙමු. ජෝන්ගෙ සිනහව කෙමෙන් විරිත්තීමකට පෙරළුණද අපි එය ගණන් නොගත්තෙමු.
පාමෙල් මහත්මිය පන්තිය සිසාරා බලද්දී මට දෙවියන් සිහි වුණි.

“අනේ දෙවියනේ...   ටීචර්ට මේ හිස් පුටුව පේන්න එපා.”

දෙවියන් මගේ යැදුම් ගණනකට නොගත්තා විය යුතුය. පාමෙල් මහත්මිය මා අසලම තිබුණු හිස් පුටුව දැක්කා පමණක් නොව, ඉවාන්ව එතැනට එව්වාය. මා අසලින් වාඩි වෙන අතරෙත්, ජෝන් සිනහවක් පාමින් මා දෙස බැලුවද මම බුරුලක් නොපෙන්වූයෙමි.  හිස ගස්සා ඉවත බලා ගත්තෙමි.
‘එයා කොහෙද මාව යාළු කර ගන්නේ...  ඒව හඳේ!’ මම මටම කියා ගත්තෙමි.

පළමු සතිය ගෙවී ගියේය. තවමත් ජෝන්ට මිතුරු මිතුරියන් කිසිවෙකු නැත.

*****

“ජෝන්ගෙම වැරැද්ද අම්මේ! එයා තවම හරියට ගණන් කරන්නවත් දන්නෙ නෑ... අඳින්නෙත් පරණ ඒවා. මහ විසාල බාච්චු ඇඳුම්.” එක්  සවසක මම අම්මාට කීවෙමි. හැම සවසකම ජෝන් ගැන මොන-මොනවා හෝ කීම ඒ වනවිට මගේ දින චරියාවේම අංගයක්ව තිබුණු බව මට නොවැටහිණි.

එහෙත් ඒ සෑම විස්තරයකටම හොඳින් කන්දීමට අම්මා පුරුදුව සිටියාය. එහි ප්‍රතිඵලය වූයේ ඇසින් නොදැකම අම්මා ජෝන් ගැන සියල්ල දැනගෙන සිටීමයි. ඇයට මගෙන් වැඩි විස්තර අවශ්‍ය වූ විටෙක ඇය කළේ ‘ඇත්තද?’, ‘ඉතිං ඉතිං’ වැනි වදනක් පිට කිරීම පමණි. එයින් දිරිමත් වෙන මම ගිරවියක සේ සියලුම විස්තර අකුරක් නොහැර ඇයට කිව්වෙමි.

*****

එක් දිවාහාර විවේකයකදී, මම මගේ අහර බඳුනට එබීගෙන එහි ඇති දෑ තෝරමින් සිටියෙමි.

“මං මෙතැනින් වාඩි වෙන්නද?”

මේ, මාත් පොඩ්ඩක් පීල්ල මාරු කරන්නද...
දන්න විදිහට දත කාලා- නැහීගෙන හරි මට නං මෙහෙම සිංහලයට නඟන්න හිතෙන්නේ ‘මගේ බොක්කටම වැදුණු ලියවිල්ලක්’ විතරයි... එහෙම හිතට වැදුණු මේ කතන්දරේ ‘පිවිතුරු’වල පළ වුණේ කොටස් දෙකකට.

1998; අදින් වසර 25කට කලින් ලියැවුණත්, මේ ලිපිය outdated වෙලා නෑ කියලයි මට හිතෙන්නේ.

1998; අදින් වසර 25කට කලින් ලියැවුණත්, මේ ලිපිය outdated වෙලා නෑ කියලයි මට හිතෙන්නේ.

තව කාරණයක් නිසයි මේ ලිපිය මට මතක් වුණේ.

මේ සතියේ මගේ නෑදෑ - හිතවතුන් ගණනාවකගේ උපන් දින යෙදී තියෙනවා. එක්කෙනෙක් තමයි අපේ මානෙල් නංගිගේ දූ; උපේඛා කෞෂිනී. පෙරේදා; 21 වෙනිදා උදේ මම එයාට සුබ පැතුවා. හවස එහෙ ගියා, අම්මව බලන්නත් එක්ක.

දවස් කීපයක ඉඳලා අම්මව ඇඳෙන් නැඟිට්ටවන්න අමාරුයි. එකම ඉරියව්වකින් වැතිරිලා ඉන්නයි කැමති. ඒත් කවුරු හරි ඇවිත් ඉන්නවා නං, ටිකක් නම්‍යශීලීයි.
ඔන්න උදේට මං අම්මට වීඩියෝ call එකක් ගන්නවා. බාග ඇත්තක් කියනවා. “මම අම්මව බලන්න එනවා... මානි අම්මට wash එකක් දාල, මොනව හරි කවල ලැහැස්ති කරලා තියයි. මම එන්න කලින්, එයාට එව්වා කරන්න අම්මත් උදව් වෙන්න ඕනි, හොඳේ.” මම කියන්නෙමි. මං අම්මාට නොකියන්නේ එහි යන වෙලාවයි. නෙවිලුත් මාත් කොට්ටාවට යන්නේ හවස්කරේය.

එදාත් කළේ එහෙමය. ඒත් එහෙම යනකොටත් අම්මා ඇඳේය.

“අම්මේ, මෙන්න ලොකාල ඇවිත්. අපි ඉක්මනට වොෂ් එකක් දාගෙන එමු නේද?” අම්මාත් කැමැත්ත දෙයි. අසල්වැසි හේමමාලිගෙත් උදව් ඇතිවය; මානි අම්මාව සෝදා පිරිසිදුකොට රෝද පුටුවේ වාඩි කරවන්නේ. “ලොකා ආවම අම්මා නැඟිටින්න කැමතියි. කීයට හරි ඔයා යනකල්ම පුටුවේ ඉන්නත් ලැහැස්තියි.” අම්මලා දෙන්නාට කවන රාජකාරිය කරන්නට සැරසෙන අතරේ මානෙල් කියයි.

දැන් අපේ අම්මා වචන දෙක-තුනකට වඩා කතා නොකරයි. ඒ අඩුව පුරවන්නේ මානෙල්ය. එයාටත් හිතේ හැටියට ඒ ටික කර ගන්නට ඉඩ නොදෙන්නේ හුරතල් හිමන්‍යාය. සිය වතාවක් විතර බොහෝම පොලයිට් විදිහට ‘Excuse me ලොකු සීයා...’ කියමින් එයාට අවධානය ඇද ගනියි; එයාගෙ කතන්දර කියයි.

ඉතිං, අන්තිමට අපි කට්ටිය කෑමට සැරසුණාමය, ‘රෝසි’ දුක හිතෙන කතාව කිව්වේ.
“මම අද දවල්ටත් නොකා රෑටම කන්න හිටියෙ අම්මා කහබත්වත් හදල තියෙයි කියල. නැත්තං ලොකු මාමා මොනවා හරි හදාගෙන එයි කියලා මගේ birth day එකටත් එක්ක. ෂෙඃ, වැඩේ වැරදුණානෙ.”

සමහරෙකුට උපන් දිනය  සුවිශේෂී එකකි. විශේෂයෙන්ම ළමයින්ටත්, තරුණ වියේ පසු වන්නන්ටත්...
එතකොට ජෝන්ට? එයාට කොහොමද දැනුණේ කියලා ඉතිරි ටික කියවලම බලමුකෝ.

පේන තරමටම එයා නරක නැහැ වගේ...
හිස ඔසොවන්නේ නැතිවම වුවද ඒ ජෝන් බව හඳුනා ගැනීම මට අසීරු නොවීය. එහෙත් මම හිස ඔසොවා බැලීමි. ජෝන් බෙහෙවීන් ආචාරශීලීව අහර බඳුනත් රැගෙන මගේ ඉදිරිපිට සිටගෙන සිටියි. මගෙන් අවසර නොලබාම වුවද ඔහුට මා අසල වූ හිස් පුටුවේ වාඩි වෙන්නට ඉඩ තිබිණි.

කෑම ශාලාවේ හැමෝම අප දෙස බලාගෙන සිටිතැයි මට හැඟුණත් මම වටපිට නොබැලුවෙමි. පුංචි සිනහවක් පාමින්, හිස සලා ජෝන්ට අනුමැතිය දුන්නෙමි. පසෙකින් වාඩි වූ ඔහු සංවරව අහර ගන්නට වූයේය.

‘පේන තරමටම එයා නරක නැහැ වගේ.’

අලුත්ම සිතිවිල්ලක් මගේ හිතේ ඇඳී ගියේ මටත් හොරෙනි. ආහාරයෙන් පසු මම ජෝන්ගේ අතින් අල්ලා ගෙන පිට්ටනියට දිව්වෙමි. එවෙලේ මගේ හිත පුදුමාකාර ප්‍රමෝදයකින් පිරී තිබුණු බව මට තවමත් මතකය.

*****

“ඇයි අම්මේ අනිත් ළමයි ජෝන් එක්ක යාළු වෙන්නෙ නැත්තේ” එදාම සවස මම අම්මාගෙන් ඇසුවෙමි. ඇය දෙවුර හැකිළුවාය.

“අනේ මන්දා... සමහර විට එයාලා දන්නෙ නැතුව ඇති අලුතින් එන යාළුවෙක්ව පිළිගන්න හැටි.”

එතැනින් එහාට කිව යුතුදේ සිතාගත නොහැකිව මම ගොළු වුණෙමි. මා වෙනදාට වඩා හුරතල් වෙමින් අම්මාගේ ළඟම දැවටෙන විට ඇයට යමක් වැටහුණා විය යුතුය.
“මොකද ළමයෝ?”
“හෙ..ට ජෝ..න්ගේ උ.ප.න් දිනේ අම්මේ...”
“ඇත්තද?”

“ජෝන් පව් අම්මේ! අම්ම දන්නවද, එයාට උපන් දි..නේ..ට..වත් මොනවත් හම්බ වෙන්නෙ නැහැල්ලු අම්මෙ... එයාගෙ තාත්තට සල්ලි නැති හින්ද කේක් එකක්වත් හදන්නෙ නැ..හැ..ලු...”
“කවුද ඔයාට ඕවා කිව්වේ?”

“ජෝන්මයි කිව්වේ... ම.ම.නෙ දැන් එයාගෙ යාළුවා...”

අම්මා හිස සලා නිහඬ වූවාය.
නිහඬව සිටි නමුත් මට මැවි-මැවී පෙනුණේ අපේ උපන් දින දවස්ය. අක්කාගේත්, මගේත් උපන් දිනවලදී නොවරදවාම අපට තෑගි ලැබෙයි. අපේ පංතියටම සෑහෙන ලොකු කේක් එකක් සාදන අම්මාම එය පාසලට ගෙනෙයි.
අපේ පන්තියේ අනිත් ළමුන්ගේ උපන් දිනවල ඔවුන්ගේ අම්මලාත් එසේ කරන්නට පුරුදුව සිටියහ. ඒත්, දැන් ඒ සිරිත කැඩෙන්නට යයි. ජෝන්ගේ උපන් දිනය කිසිම විශේෂත්වයකින් තොරව ගෙවී යනු නිසැකය.

‘පව්! ජෝන්ට හොඳටම දුක ඇති.’

මුව ගහණය වඳවී යන්නට කිට්ටු විත්තිය මම ලිව්වෙමි. එයින් කම්පිතව Praසන්හිතවතා මෙසේ...

නිඳි යහනේ වැතිරෙන වීටත් මට සිහි වුණේ පසුදා එළඹෙන ජෝන්ගේ උපන් දිනය පිළිබඳවය. මාද නොදැනුවත්වම මට හීල්ලුණි. අම්මා මගේ පොරෝනාව මැනැවින් සකස්කොට, මෘදු ලෙස මගේ හිස අත ගාන්නට වූවාය.

“ජෝන් පව් නේද අම්මේ...”
“ඔයා බලන්නකෝ, සේරම හරි යයි.”

ඒ දක්වාම අම්මා කියන ඕනෑම දෙයක් දේව භාෂිතයක් ලෙස අදහන්නට පුරුදුව සිටි මගේ සිත එවෙලේ නම් කීරි ගැසී යනු මට හැඟිණ.

‘සේරම හරි යන්නෙ කොහොමද? අම්මට වැරදිලා... ජෝන්ලට එක පාරටම අද රෑට සල්ලි ගොඩක් ලැබෙනවයැ...’

*****

“අනේ අම්මේ, අද මං ඉස්කෝලේ නොයා ඉන්නං.”

එදින උදේ තේ බොද්දී මම මගේ අහිංසක ඉල්ලීම අම්මාට ඉදිරිපත් කළෙමි.
“මොකෝ, අද ජෝන්ගේ උපන් දිනේ හින්දද?”
අම්මාට මගේ හිතේ තිබුණු හැඟීම පෙනුණාවත්ද? ලජ්ජාවෙන් මගේ දෙකම්මුල්වලට ලේ පුරන්නට විය. මම බිම බලා ගත්තෙමි.

“ඔයා ආසයිද ඔයාගෙ උපන් දිනේ දවසෙ ඔයාගෙ හොඳම යාළුවා ඉස්කෝලේ නෑවිත් ඉන්නවට...” අම්මා ඉතාමත් මෘදුව විමසුවාය. ඇගේ කතාව නිවැරදිය.
ජෝන්ට කේක් නැති විය හැකිය; තෑගි නොලැබීමටත් හැකිය; එහෙත් ජෝන්ගේ හොඳම යෙහෙළියගේ උපන් දින සුබ පැතුමත් ඔහුට අහිමි වී යා යුතු නැත!

ඇහැට ඇඟිල්ලෙන් ඇනලා මෙහෙම දේවල් උලුප්පා පෙන්වා දිය යුතු නැතත්, පෙන්වන්නෙමි.
දැනුම්-තේරුම් ඇති යුරෝපීය මාතාවක් තම දූ සිඟිත්තියගේ සිතේ මෙලෙස ‘යහ ගුණදම් බීජ’ රෝපණය කරන්නේ කෙතරම් සූක්ෂ්ම අයුරින්ද? සිතක් සංවේදී කළ යුත්තේ; සිතක් සුසර කළ යුත්තේ ඉසියුම් ආකාරයෙන් මිස පොල්ලෙන් ගහන්නා සේ දඩබ්බර අයුරින් නොවේ. ඇත්තෙන්ම එය කලාවකි!

ඒ කලාව අපේ ගුරු- දෙගුරු- දෙමාපිය ඇත්තන්ට නුහුරු නිසාදෝ, අපේ රටේ අද්‍යතන පුරවැසියන් බොහොමයකගේ හිතේ තෙතමනය අඩුවී ගොසිනි.

මට එහෙම හිතුණේ මන්දැයි, ඊයේ උදේත් මගෙන් ලියැවිණි. ඒ නිදිගෙ පංච තන්තරේ නොකඩවා කියවන; නොකඩවාම commentsතුත් එවන Praසන් හා බස්සා රසිකයන්ට උත්තර දීමේදීය.

වස්ගමුවේ මුව ගහණය වඳවී යන්නට කිට්ටු විත්තිය මම ලිව්වෙමි. එයින් කම්පිතව Praසන් හිතවතා මෙසේ කියා තිබිණි. 

‘මේ දවස්වලත් සත්තුන්ට උදාවෙලා තියෙන්නෙ එච්චර හොඳ කාලයක් නෙමෙයි. මේ පෑවිල්ල තව ටික කාලයක් අල්ලල හිටියොත් ඔය කැලෑවල ඉන්න ගොඩක් සත්තුංගෙ ඉරණම විසඳෙයි. එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරමු.’

 ‘උපන් දිනේ කියන්නෙත් අනිත් දවස් වගේම එකක් තමයි.’

මේ ඊට මගේ උත්තරයයි:

‘මාත් එහෙම ප්‍රාර්ථනා කරනවා ප්‍රසෝ!
සති දෙකකට කලින් අඟුණකොළපැලැස්සේ හිතවතෙක් කිව්වා දැන් එයාලා ඒ පැත්තේ කිසිම මසක් කෑමට නොගන්නා බව. එහෙම කරන්නෙ මිනිස් තිරිසන්නු කුඩා වතුර වළවල්වලට වස දාලා වනසතුන් බුරුතු පිටින් මරලා- මස් කරන හින්දලු.
පෙරේදා ඒ ගැන නිව්ස් එකකුත් දැක්කා...’

බස්සා මහතාත් අපේ අදහස් හුවමාරුවට එකතු වුණේ මෙසේ අසමිනි:
“අපෝයි! දෙයියනේ.
ඇයි අපට මෙහෙම වුණේ?”
ඒ විතරක් නොවේ, උන්නැහේගේ ‘බකමූණු අඩවියේ’ අලුත්ම පෝස්ටුව;සොහොන්පල්ලාගේ මතක වස්තුව’ එකේ  comment එකකදීත් මේ ගැන සඳහන්කොට තිබිණි.

මේ ‘අපේ මනුස්සකම විතැන් වී - හිතේ තෙතමනය තුරන් වී තියෙන තරම පෙන්නන එක දර්ශකයක්’ බව මගේ නිගමනයයි! ජාතියක් වශයෙන් පමණක් නොව, රටක් වශයෙන්මත් වඩා සංවේදී වන්නට අපි පුරුදු විය යුත්තෙමු.
ඒ බව ධාරණය කර ගන්නා අතරේම, කාරුණික ගුණයෙන් සපිරි අපේ කථිකාවිය ඊළඟට කළ- කී දේවල් මොනවාදැයි දැන් සොයමු.

පාසලට ගිය විගස මම ජෝන්ට සුබ උපන් දිනයකට ආසිරි පැතුවෙමි.

ජෝන්ගේ විසල් දෙනෙත් කාන්තියෙන් බබළන්නට ගත් විට ඔහුගේ ප්‍රීතිය නිම්හිම් නැති එකක් බව මට වැටහුණි.
අම්මා කියා තිබුණේ ඇත්තම ඇත්තකි! මොනවා නැතත් ජෝන්ට මගේ උණුසුම් සුහදත්වයවත් ලබා දිය යුතුය.

එදා දහවල් වන විට මගේ පුංචි සිතේ ලොකු සිතුවිල්ලක් පැලපදියම්ව තිබිණි.
‘උපන් දිනේ කියන්නෙත් අනිත් දවස් වගේම එකක් තමයි.’

පාමෙල් මහත්මිය කළු ලෑල්ලේ ගණනක් සාදමින් සිටියදී සුපුරුදු රිද්මයැති හඬක් අතින් නැඟී ආවේය.
ඒ හඬ මට හොඳටෝම පුරුදු එකකි; මා හඳුනන එකකි... ඒත්, අද? අද ඇය සුබ උපන් දිනයක් පතන්නේ කාටද?

ටිකකින්ම, පන්ති කාමරයට පිවිසෙන දොරටුව අසල අපේ අම්මා දිදුලමින් පෙනී සිටියාය. නිකන්ම නොවේ; දැල්වෙන ඉටිපන්දම් සහිත සුවිසල් කේක් ගෙඩියක්ද සුරතේ දරා ගෙනය.
අම්මාගේ අනිත් අතේ ලස්සනට ඔතනු ලැබූ හුරුබුහුටි පාර්සලයකි. පාර්සලය මනාව ඔතා, ලස්සන කඩදාසි රිබන් පටියකින් ගැට ගසා තිබිණි.

‘හැපි බර්ත් ඩේ ටු යූ!’ අම්මගෙ කන්කලු හඬට පාමෙල් මහත්මියගේ උච්ච ස්වරයත් එක් වුණි.

පන්තියේ සියලුම ළමෝ මා දෙසට හැරුණාහ. ඔවුහු අපේ අම්මාව හඳුනති. මගේ උපන් දිනය ඊට මාස දෙකකට පෙර යෙදුණු බවද ඔවුහු දනිති.

එදා මා සමඟ එකට පන්තියේ සිටි කිසිම යහළුවෙකුගේවත්, යෙහෙළියකුගේවත් නම් පවා අද මගේ මතකයේ නැත.

එහෙත් අපේ අම්මාගෙත්, පාමෙල් මහත්මියගේත් නෙත් යොමු වී තිබුණේ මා දෙසට නොවේ. ජෝන් දෙසටය.

බියෙනුත්, කුතුහලයෙනුත්, ලජ්ජාවෙනුත් වෙළී මිරිකුණු ජෝන් කළ යුතු කිසිවක්ම තෝරාගනු නොහැකිව ගල් ගැසී බලා සිටියේය.
අම්මා ඔහු වෙතට අවුත්, කේක් ගෙඩිය ඔහුගේ ඩෙස්කුව මතින් තැබුවාය.

“සුබ උපන් දිනයක් ජෝන්!”
පන්තියේ ළමයි සැවොම එකාවන්ව අත්පොළසන් දෙමින් ප්‍රීති ඝෝෂා නඟමින් ‘සුබ උපන් දිනයක් ගීතය’
ගයන්නට එක් වූහ. මමත් දෙනෙතේ කඳුළු තෙරපෙද්දී ඔවුන් හා එක් වූයෙමි.

*****

ඇපල් නෙළන සමය අවසානයේ ජෝන්ලා වෙනත් පළාතකට ගියහ.

එදා මා සමඟ එකට පන්තියේ සිටි කිසිම යහළුවෙකුගේවත්, යෙහෙළියකුගේවත් නම් පවා අද මගේ මතකයේ නැත. එහෙත්...
‘සුබ උපන් දිනයක්’ ගීය ගැයෙන ඕනෑම මොහොතක මගේ මතකයට නැඟෙන්නේ ඒ පංති කාමරයයි. එම ගීතය සැබවින්ම අර්ථාන්විතව, වඩාත් හැඟුම්බරව ගායනා කෙරුණේ එදා බව මට සිතෙයි.

එපමණක්ම නොවේ!
එතෙක් මෙතෙක්- එදා තරම් රසවත් කේක් කැබැල්ලක් රස බලන්නට අවස්ථාවක්ද මට නොලැබුණු බව මම ඕනෑම තැනක දිවුරා කියන්නෙමි෴0෴