li Item

Tuesday, April 14, 2020

කොරෝනා කොරපු; කොරන හරිය! හයවෙනි කොටස

අවුරුදු කන්නටවත්, පෝදා පන්සලකටවත් යන්නටත් එපා කියවුණු රටක සෞඛ්‍ය ඇමතිනිය උත්සවාකාරයෙන්.....

අවුරුදු කුමාරයා කොරෝනා මාරයාට බියෙන් හීන් සීරුවේම මීන රාශියෙන් මේෂ රාශියට ආවේය. එහෙත් මා දන්නා ගෙවල් කිහිපයකම කිරිබතක් විතරවත් ඉදුණේය; වෙනදා සිරිතට කැවුම් කොකිස් හැදුණේ නැති වුණත්, කිරිබතට තනි රකින්නට බොහොමයක් තැන්වල කෙසෙල් ඇවරියක්වත් තිබුණේය. “අපි පොල්තෙල් පහනක් විතරක් පත්තු කළා...” එක ගෘහිණියක් කීවාය.

“හැමෝම එහෙම නැහැ නිමල් අයියේ...” ඇයගේ සැමියා කිව්වේය.

ඔහු මේ දිනවල ලොරි බාගයකට විශේෂ බලපත්‍රයක් ලබාගෙන එළවලු, හාල්-සිල්ලර විකුණයි. ඒ ඇඳිරි නීතිය අස්සේ පාරක්-පාරක් ගානේ යමිනි. “දොළොස්වෙනිදා මිනිස්සු අපේ ලොරියෙනුත් හෙව්වේ කේක්. තිබුණා නම් සෑහෙන ගණනක් විකුණගන්න තිබ්බ...”

නීති-රීති ලොරි ටෝක් හැම දෙනාටම එකයිද?
අපේ ජාතියම උත්සව- සැණකෙළි- පවත්වන්නට ආසාය. මඟුල විතරක් නොවේ අවමඟුලත් අපට වැදගත් මඟුලකි. ඒ නිසාය කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් පිහිටුවීමේදී, එය උත්සවාකාරයෙන්; සම්ප්‍රදායික පොල්තෙල් පහනක් දල්වා සිදු කරන්නට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පියවර ගත්තේ. ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩිවීම, රෝගීන් වැඩිවීම යසසක් නොවන බව ඇයට නොවැටහෙන සෙයකි.

අනේ ටිකිරි මොළේ!

එදා එතනට රැස්වුණු පිරිසටත් තියෙන්නට ඇත්තේ එවැනිම ටිකිරි මොළ ගෙඩි වෙන්නට ඇති. හරි-හමන් කොන්දක් නැති වෙනකොට මොළේවත් තියෙනවා නම්!

මෙගා ටෙලි නැවතුනු රටේ සත්තු කැමරා මානමින් කූඩුවී සිටින මනුසතුන්ගේ  foto ගනිති!
ඒ විවුර්තයේ හොඳකුත් තිබේ. දැන් මෙගා නැවතිලාය. මිනිස්සුන්ට මෙවැනි විසූක දස්සන හරි බලන්නට දීම හොඳය. ‘වවාගෙන කන්න හොඳ නම් පෙරාගෙන බොන්න නරක ඇයි?’ කියලා අහන්නේ ඒ නිසා නේද?

විසූක දර්ශන කියද්දීය, මතක් වුණේ. දැන් සත්ත්ව සංචාරකයෝ ‘හුරේ’ දමාගෙන ‘කූඩුවී සිටින මනුසතුන්’ නරඹන්නට පෙළ ගැසෙමින් සිටිති!

ලාබෙට දෙන රජයේ සහන මල්ලත්, උගස් බදු කඩත් නැතිනම්....... රටවැස්සා හාන්සිය!
කූඩුවී හිටි සතුන්ට නම් කෑම-බීම සැපයුණේය. මිනිස් අපට ඒ වාසිය නැත. අපේ කෑම-බීම අපම හොයාගත යුතුය; උපයාගත යුතුය. මේ දවස්වල එයට උදව් වෙන්නේ ‘සුළු ලාභයක් තියාගෙන රටට සැපයෙන රජයේ සහන මල්ල’ය.

ඒවා ගන්නට අතේ සල්ලි නැතිනම් කරන්නට තියෙන්නේ කොරෝනා නොතකමින් උගස් බඩු කඩ හොයාගෙන යාමය.

මගේ ළඟ නම් උගස් තියන්නටත් තියෙන්නේ 1969 වාග් චාතූර්ය තරගයෙන් දිනලා ලැබුණු පවුම් බාගයේ රන් පදක්කම විතරය.

ඉතිරි කිරීමේ ගිණුමක් විතරක් හිමි මට අරවා-මේවා කාඩ් නැත. මොබයිල් ෆෝනයක් නැතුවා වගේමය. බැංකු විවෘත කරනතුරු අතේ තිබුණු සල්ලියක් විතරය!

දුප්පතුන්, අසරණයන් ගැන වැටහෙන උදවිය .....
අපරාදේ කියන්නට බැරිය. අප වැන්නවුන් ගැනත් වැටහෙන මනුස්ස මිතුරන් ගණනාවක්ම මට හිමිය.

‘නිමල්ගේ අතේ සල්ලි තියෙනවද?’ කිහිප දෙනෙක්ම ඇසූහ. එහෙත් එයාලටත් ඇඳිරි නීතිය අස්සේ එන්නට ක්‍රමයක් තිබුණේ නැතිය. එන්නට හැකියාව තිබුණු දෙන්නෙකුගෙන්ම ඉල්ලන්ට හැටියක් තිබුණෙත් නැතිය. ඒ දෙන්නාම එය දෙන්නේ ආපසු නොගන්නා ණයක් විදිහට බව දන්නා නිසාය. 
අන්තිමේදී සුවදුක් අහන්නට කතා කළ මාලිකාත් සල්ලි කොහොමදැයි ඇහුවාය.

“ඉල්ලාගන්න වෙනවා බැංකු අරින්නේ නැතිනම්...” මම කීවෙමි.

අද වැඩට එන්න වුණු නිසා ලේසියි, ඔයාට සල්ලි දීගෙන යන්න...... හැබැයි ගෙට එන්නේ නැහැ.....
විනාඩි දහයක් ගියේ නැත. මාලිකාගේ සැමියා ප්‍රභාත් කතා කළේය. 

“නිමල් අයියට කීයක්ද ඕනේ? අද මට වැඩට එන්න වුණ නිසා පර්මිට් එක තියෙනවා. අද හවසම මං ගෙදර යන ගමන් ගෙනත් දෙන්නම්.... හරි, හරි... ඔයා ආපහු දෙන දවසට ගන්නම්කො... ණයක් විතරයි දෙන්නේ, පොලිය නැතිව.” 

මාස්ක් දමාගෙන හිටි ප්‍රභාත් අපේ ගෙදරටවත් ගොඩවෙන්නේ නැතිවය, සල්ලි ගෙනත් දුන්නේ. ස්තුතියි මාලිකා, ප්‍රභාත් දෙන්නාටම.

උතුම් මිනිසත් බව වල් වැදෙමින් තියෙන නිසාදෝ, තිරිසනුන් කැලෙන් නගරයට එන මෙකල ප්‍රභාත්ලා වැනි මිතුරන් රැසක්ම සිටීමත් මගේ වාසනාවකි.

හෝමාගම ටවුමට, යාල වෙරළට, වැල්ලවත්තේ මහල් නිවාසවලට පැමිණි වන සතුන්........
අපේ වන මිතුරෝ මුලින්ම යාල වෙරළේ කෙළිදෙලෙන් සිටියහ. ඊට පස්සේ හෝමාගම- වැල්ලවත්ත වැනි තැන්වලටත් ඇවිදින්ය.

සමහරවිට උන් නගරයට එනවා ඇත්තේ මෙවර කැලෑ නොවැදුණු අපව බලන්නටය. මගේ හිතවතුන්ගෙන් වැඩිම දෙනෙකුත්, මාත් පසුගිය වසර ගණනාවක් තිස්සෙම අවුරුදු කෑවේ කොහේ හෝ කැලයකය. මෙදා සැරේ ඒවා හුප්පේය. 

ඒවාත් කොරෝනා වික්‍රමය! මෙව්වාත් කොරෝනා වික්‍රමය!!

කොරෝනා, කෝවිඩ් නිවුන්නුත්- පුරා විදු බිමක කොලනියකුත් කොරෝනා ඇඳිරි නීති අස්සෙම උපදියි!!!
ඉන්දියාවේ රායිපූර් ප්‍රදේශයේ රෝහලකදී ‘කොරෝනා’, ‘කොවිඩ්’ නම් ලැබූ නිවුන් දරු යුවලක් ඉපදිලාය.

සිරි ලංකාවෙත් ආලන්කුලම පුරාවිද්‍යා භූමිය හෙළිපෙහෙළි කරමින් ජනාවාසකරණය හා ගොවිතැන් කටයුතු සඳහා අලුතින් ‘වැඩ පිළිවෙලක්’ ඉපදිලාය.

ඒ සද්ක්‍රියාවටත් පිච්චමල් රජමහ විහාරයේ අධිපති අරණ්‍යවාසී කැප්පෙටියාවේ හාමුදුරුවන් වහන්සේ එරෙහි වෙලාය. පොලීසිත් ගිහින්ලු. (පව් නේද?) ඒ බිමේ තිබී කපා දැමූ වටිනා ගස් එහෙමම දිරලා අහක යන්නේ නැති බවත්, සුසන්ත පුංචිනිලමේ මහත්තයා ඉනාමළුවේ ඉදි කරවන සංචාරක හෝටලයක වැඩට ඒවා ගන්නා බවත් ගස් කැප්පවූ බලවතා කිව්වාලු! ඒ තරමට අරපිරිමැස්ම කොරෝනා කාලේ හින්දා වෙන්නැති නේද?  
 
රතන ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලුවොත් නොමිලයේම දෙන ඇටත් කැලය කැපූ ඒ පිංවතුන්ට....
කැලය කැපූ ඉඩමේ හිටවන්නට ‘රතන හාමුදුරුවන් වහන්සේගේ -වස විස නැති රටක්’ ව්‍යාපෘතියෙන් නොමිලේ දෙන ඇට ඉල්ලාගත්තාම ඒ භවතුන්ට තවත් හොඳ ගණනක් ඉතිරි කරගත හැකිවෙනු ඇත.

අද උදේ ‘තට්ටයාගේ කොලම’ බ්ලොගයෙන් ‘අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි 5’ පොස්ටුව කියවීමි.

එහි කියවුණු විදියට යොවුන් පුතණ්ඩියාගේ foot බෝඩ් යෑම, තට්ටයා මහත්තයා නවත්තා ගත්තේ උපායෙන්ලු; මෙහෙම කියලාලු.

“ෆුට් බෝඩ් යන වැඩේ මාර ආතල් වැඩක්. කොටින්ම මමත් ඉස්සර හරි ආසයි පුතේ. දැනුත් ආසයි. ඒත් ජීවිතේ තව කරන්න කොයි තරම් දේවල් නම් තියෙනවද? ෆෝවීල් ඩ්‍රයිව් එකක් ගන්න, ඩයිවින් කරන්න, කයාකින් කෑම්පින් කරන්න, කඳු උඩ නගින්න, සිංදු අහන්න, කෙල්ලෙක් යාළු කරගන්න, කසාද බඳින්න, මම වගේ දරුවෙක් දෙන්නෙක් හදන්න.... ඔය වගේ කොයි තරම් ආතල් වැඩ ටිකක් ඉතිරි වෙලා තියෙනවාද? 

පාර්ලිමේන්තුවට මී හරක් යවන්නේ ඇයි රත්තරනේ?
-ෆුට්බෝඩ් එකට බහින කොටම ඒ ඉතුරු ටික මතක් වෙන්න ඕනෙ! මොකද එක ආතල් එකක් ගන්න ගිහින් මලොත් තව කීයක් නම් මිස් වෙනවාද?”

ඒකත් හොඳ ක්‍රමයකි.

මුහුණු පොතේ තිබුණු ඉහත posts දෙකෙන් එකක් ඒ ක්‍රමය භාවිතයට ගත්තක් වගෙයි නේද? හැබැයි, අපේ ලොකු-ලොක්කන් විතරක් නෙවෙයි, රටවැසියන් වුණත් ‘ගල් ආඳන්’ බවත් බබා හුකුම් පෙන්වන්නට හපනුන් බවත් අමතක කරන්නට බැරිය.

උන්දලාට කන් ඇහෙන්නේ; ඇස් පෙනෙන්නේ; නාඩි වැටෙන්නේ තමන්නේ වාසියට විතරය.

පෙරේදා වෙද්දී ඇඳිරි නීති කැඩූ 26,600ක් අත්අඩංගුවට ගත් බවක් කියවෙයි.... එයාලාව දම්මවා........
එහෙව් උදවිය නාහෙට අහන්නෙත් නැතිය. මදාවියන් වගේ හැසිරෙනවාය. ඇඳිරි නීති කැඩූ 26,600ක් දැනට අත් අඩංගුවට ගෙන තිබේ. FB රසිකයන්ම ඒ වැරදිකරුවන්ට කළ යුතු දේවලුත් යෝජනා කොට තිබෙයි. මට හැඟෙන්නේත් ඒවා දූරදර්ශී යෝජනා බවයි.

හැබැයි, වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය මිස දඬුවම් දීමේ බලය පොලීසිය අතට පත් කරන්නට හොඳ නැත. එහෙම බලය අතට ගන්නට ගියාමය නීතිය වල් වැදෙන්නේ!

අපේ එකෙකු නම් ගොළුව සිටීමත්, විරුද්ධ එකෙකු නම් කෑ ගැහීමත් කෙරෙන රටක් නොවේ අපට අවැසි! 
බලංගොඩදී සිද්දවී තියෙන්නේ එහෙම දෙයකි; බලය අයුතු ලෙස අතට ගැනිල්ලකි. දඩමීමා කරගෙන අයාලේ යාමකි.

එහෙම තැනදී අපේ එකෙකු නම් මුනිවත රැකීමත්, විරුද්ධකාරයෙකු නම් බෙර ගැහීමත් සිරි ලංකාවේ පුරුද්දක් වගේය. 

දැන්-දැන් ඒ පුරුද්දට තිත තබන්නට; වැරැද්ද වරදක් ලෙසම දකින්නට තරුණ පෙළ එඩිතර වෙමින් සිටිති. එය තවත් වර්ධනය වෙනවා නම්....

දැන්-දැන් මුහුණු පොතෙන් අනේකවිධ යෝජනාවලුත්.......
“ඒ trend එකෙනුත් ප්‍රයෝජන ගන්න බොර දියේ මාළු බාන්න හදන අය ලැහැස්ති වෙනවා වගෙයි නිමල් අයියේ!” හිතවතෙක් කිව්වේය. “කොල්ලොන්ට කල්පනාවෙන් ඉන්ඩ වෙයි...
“ඒ කිව්වේ?”
ඔහු පෙන්නුවේ FB පෝස්ටු කිහිපයකි. “මේවා යටින් වෙන පණිවිඩේකුත් තියෙන්න පුළුවන් නේද?”
ඔයාලට මොකද ඒ ගැන හිතෙන්නේ?
රටට ඕනේ 225 පාලනයක්ද- 225ට අඩු පිරිසකගේ පාලනයක්ද- හමුදා පාලනයක්ද? ගොනා හැරෙන්නේ කෙහෙල් පැලය දිහාවටද?
අද බ්ලොගයේ තියෙන සේරම පින්තූර FB එකේ තිබුණේ. ටිකක් ජාලයෙන්. ඒ නිර්මාණශීලී හපනුන්ට, ඒවා ෂෙයාර් කරගෙන තිබුණු උදවියට වගේම ඒවා මට එවූ හැමදෙනාටම ගොඩාරියක් ස්තුතියි!!!

10 comments:

  1. 1971 සිංහල අවුරුද්දත් මේ 2020 ට කිට්ටුවෙන් තියන්න පුළුවන් නේද ??

    ආලංකුලමේ කපාපු ගස් නිකං දිරලා යන එකේ කාට හරි ප්‍රයෝජනයක් උනාවේ.
    සේරුවිල පූජා නගර සංවර්ධනයේදී කපාපු ගස් නිකං දිරලා යන නිසා නවලෝක මුදලාලි එයාගේ වියදමෙන් ඒවා ඉවත් කරලා දුන්නානේ. එයින් ලී දඬු කෑල්ලක් දෙකක් අර මත්තේගොඩ හදාපු ගෙවල් වලටත් දැම්මා කියලා මිනිස්සු කට කැඩිච්ච කතා කියන්නේ ඉරිසියාවටද කොහෙද !

    අර බලංගොඩ එළවළු වෙළෙන්දාගේ සිද්ධිය ගැන නම් හරිම කනගාටුයි. ඒ නගරාධිපති තමන් වසලයෙක් බව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්වපු බවයි මම කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑම්!

      මාත් ඔයා එක්ක 100%ක් එකඟයි.

      Delete
  2. සුභ නව වසරක් වේවා! කියන එක කට් ඇන්ඩ් පේස්ට් එකේ හයිලයිට් වෙලා නැති බව දැක්කේ දැනුයි. ඉතින්, සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ හැම දෙනාටම වාසනාවන්ත වේවා, සුබ වේවා කියලනේ. අපට විතරක් නොවෙයිනේ. ඉතින් ඔයාගෙ සුබ පැතුමත් පාඨක හැමෝම එක්ක බෙදා ගන්නම්!

      Delete
  3. Like Sam is correct, my mother said 'Uyapu kiribath tika kanna beri una lamyo 1971 ke' This year is same I guess.

    ReplyDelete
    Replies
    1. 71 ත් ඇඳිරි නීතිය වුනාට අපිට එතරම් ගනිච්චියක් තිබ්බේ නැහැ. අපි හිටියේ ගමක අතුරු පාරක කෙලවරේම නිසා වෙන්නැති.

      Delete
  4. අපිත් කිරිබත් ටිකක් හැදුවා. එච්චර තමා ඉතිං. මෙහාට නම් ඔය ලොරි බොරි මොකවත් එන්නේ නැහැ. සත්තු නම් ඉන්නවා වෙනදා ටික ම.

    ReplyDelete
    Replies
    1. මට නම් මොකුත්ම විශේෂයක් කරගන්න බැරි වුනා. අඩු ගනනේ කිරිබතක්වත්..... හිතුනේ නැහැ. ඒකයි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්