අකුරු මැකී නෑ

Thursday, November 9, 2023

තිස් එකේදී... තිස්එක්වෙනි කොටස

 “යකෝ ගුණේ. ගෑනිටම කතන්දර කියන්නේ තෝ සුද්දවන්තයෙක්ද? ඇටෙන්-පොත්තෙන් පැහෙන සන්දියේ හිටම උඹ නටපු නෙයියාඩම් මේ රත්නවතී නොදන්නවයි කියලද ගුණේ, උඹ හිතුවේ. උඹට වැරදිලා පුතේ. උ..ඹ..ට වැරදිලා. වරදින්නේ නැතිව තියේයැ. එදා ඉඳලම කළේ හිතුවක්කාරකම්. මේ අහපං පුතේ.

කිව්වම අහලා, ලීලාත් උඹේ විදිහමයි කියල හිතන එක නවත්තපං රත්තරනේ...
කාලෙකට ඉස්සෙල්ලා උඹම නේද මේ ගෑනිව ගන්න ඉඩ දුන්නේ නැත්තං මැරෙනවයි කිව්වෙත්. ඒවා ඔක්කොම අමතක කළත්...
ගුණේ, දැනටමත් මේ ගෑනි උඹම ජාතක කරපු දරුවෝ හතර දෙනෙක් වදලා නේද ඉන්නෙ...  ඒ මදිවට තව එකෙකුත් කුසේ දරාගෙන...”

ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් (හෙවත් මෛත්‍රී කිරීමෙන්) දිනිය යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂකමින් දිනිය යුතුය. මසුරා දීමෙන් - ත්‍යාගයෙන් දිනිය යුතුය. බොරු කියන්නා...

ආච්චීගේ කටෙන් ඒ වචන ටික එළියට පැන්නා විතරකි.
තාත්තා තිත්ත කුණුහරුප වැලක්ම වමාරන්නට පටන් ගත්තේය... “#*## @~#^$#!”

‘අක්කොධෙන ජිනේ කොධං - අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානෙන - සච්චේන අලිකවාදිනං’
කියලාය ධම්ම පදයේ ‘කොධ වග්ග’යේ ගාථාවක තියෙන්නේ. ඒ දවස්වල අපේ තාත්තා නිතරම පෙරළුවේ ‘ධම්ම පදයේ’ පිටු නොවේ.
බූරු කුට්ටමේ කොළය. (කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා අපේ අම්මාව බදුල්ලේ ඉස්පිරිතාලයට ඇතුළු කරද්දීත් තාත්තා ඉඳලා තියෙන්නේ බූරු පිටියකය.)
ඒ හින්දා ‘ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් (හෙවත් මෛත්‍රී කිරීමෙන්) දිනිය යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂකමින් දිනිය යුතුය. මසුරා දීමෙන් - ත්‍යාගයෙන් දිනිය යුතුය. බොරු කියන්නා සත්‍යයෙන් දිනිය යුතුය.’ කියන අර ගාථාවේ තේරුමත් දැනගෙන නොහිටියේය.

“නොදකිං වලත්තයා... තෝ ඔය කුණුහරුප වපුරන්නේ කව්රු ඉස්සරහද බොල... අනේ, මාත් වැදුවනේ දෙයි හාමුදුරුවනේ... මේ වගේ නොසණ්ඩාලයෙක්!
යකෝ, තරහ ගිය පලියට කතා කරන්න ඉස්සෙල්ලා බලහං- කවුද ළඟපාත ඉන්නෙ කියලා. මේ පොඩි එවුනුත් ඉස්සරහ....”

“අම්මත් කට තිබ්බ පලියට කතා කරන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මොනවද කතා කරන්නෙ කියලා. මාව අවුස්සන්න කලින්. අම්ම දන්නවද, ඔය ලීලගෙ බඩේ ඉන්න එකා මගේ නෙවෙයි කියලා...” තාත්තා ආච්චීට කිව්වේ හෙමින් නොවේ. සද්දෙනි. එතකොටම අපේ අම්මා අඬාගෙන එතැනට ආවාය.
“බලන්නකො අම්මේ... මේ සහගහන කතා...”

“බොල මී හරකියේ... අපිට මේක බේරුමක් කර ගන්න දීලා අන්නරහෙට වෙලා හිටු!” ආච්චී එයාගේ තරහ එළියට දැම්මේ එහෙමය. “ගෑනියෙක් වුණාම දැන ගන්න ඕනේ හැම මඟුලටම කට නොදා ඉන්න- විසේසෙන්ම තමන්ගේ ස්වාමි පුරුෂයාට කේන්ති ගියාම...  එහෙම වෙලාවට උඹත් මිනිහට ඉහළින් යන්න ගියාම හරි යනවද බොන්ඩියේ?”
ආච්චිගේ කතාව තාත්තාවත් සරෙන්ඩර් කරවන එකකි.

“ගුණේ, මං කියන දේ අහපං. උඹලගේ තාත්තයි මමයි දෙන්න තනියෙන්ම මෙච්චර කල් මහරගම හිටිය මදැයි. දැන් උඹලත් වරෙල්ලා එහාට. අර මනුස්සයා උඹට ට්‍රාන්සර් එකක් හදවල දෙයි. එතකොට මේ අලකලංචිවලින් බේරිලා හිටිය හැකි නෙව.”
තාත්තා ඒ යෝජනාවට කැමතියි වගේය. “හරි... මං ටිකක් හිතල බලන්නංකො...”

එවෙලේ ආච්චීට එහෙම කිව්වත්, අපේ තාත්තා චුට්ටක්වත් හිතා බලලා තිබ්බේ නැත!
එහෙම හිතා බැලුවා නං එයා ‘තමන්ගේ බිරියට විරුද්ධව’ පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ නැත; අනාචාර චෝදනාවක් නඟන්නේ නැත; බිරිඳව දික්කසාද කරනවා යැයිද- එතෙක්වත් ඇයව නිවසේ තබාගත නොහැකි යැයිද පොලිසියේදී කියන්නේ නැත.

වැඩියත්ම විසුළු කළේ...

“මේ බොන්ඩිගේ පුතා මෙහෙම දෙයක් කරන්න යන බව දන්නවා නං මම කීයටවත් පොලිසියට යන්නෑ රත්තරනේ... මූ මාවත් රවට්ටලයි පොලිසියට එක්ක ගියේ. කොහෙද, උඹලගේ බදුල්ලේ සීයලා නිවට වැඩියිනෙ...
උන්ට කියන්න තිබ්බේ දික්කසාද කෙරෙනකල් ලීලාව බාර ගන්න බෑ කියලා. මුගේ මරුමුසුකමට බයේ වෙන්නැති. උඹලව ගුණේටම බාර දෙන්න ඕනි කිව්වමත් ‘හා’ කිව්වා. අනේ, මටත් මේ කරුමයකට කර ගහන්න වුණානෙ.

-හැබැයි උඹලගේ අම්ම තමයි අම්මා. යකඩෝ, මව්වත් ගෑනියෙක්ට පුළුවන්ද තමන්ගේ කුසෙන් වදාපු කිරි සප්පයෝ තුන් දෙනෙක්ව දාලා යන්න. මම වගේ නං මාව මරණවයි කිව්වත්, පොළොවේ හැපෙනවා දරුවොන්ව ඉල්ලලා. බදුල්ලේ ගෑනුන්ට දරුවෝ අගේ නෑ වෙන්නැති... උඹලගෙ තාත්තටම හරි යන අම්මණ්ඩි.”

තාත්තා අම්මාව ගෙදරින් පිටමං කළාට පස්සේ...
අම්මා රෙදි-පෙරෙදිත් පොදි බැඳගෙන, අඬ-අඬා බදුල්ලේ සීයලත් එක්ක පිටත්ව ගියාට පස්සේ... මහරගම ආච්චී එයාගේ හිත නිදහස් කර ගන්නට මෙව්වා කියෙව්වේ මගෙත්තෙක්කය. (එතකොට මට අවුරුදු අටකි. උන්නේ තුනේ පංතියේය. ඉස්කෝලේ ‘ධර්මදූත විද්‍යාලය’ය.)

“විනාශයි! උඹ මේක දැක්කද ගුණේ?” උදේ පාන්දරින්ම ටිකිරි මාමා අපේ ගෙදරට කඩා වැදුණේ ‘ලංකාදීප’ පත්තරයකුත් උස්සා ගෙනය. එතකොටත් තාත්තා නින්දේය.
“මොකද්ද ටිකිරි පුතේ, පත්තරේ තියෙන්නේ?”
ටිකිරි මාමා උත්තර දුන්නේ ආච්චීට විතරක් ඇහෙන්නටය. “දෙයි හාමුදුරුවනේ. අපිටත් ගේ අස්සටම වෙලා හැංගිලා ඉන්නයි වෙන්නේ. චී චී චී, අපේ බූරුවා රටම ගඳ ගැස්සුවා එහෙනං...”

ආච්චී පත්තරයක් ගැන ඔච්චර කලබල වෙන්නේ ඇයි? මට ඒ වෙලාවේ නං ඒ කාරණාවල බරක්-පතලක් තේරුණේ නැත. ඒත්, දවස් දෙක-තුනකට පස්සේ ඉස්කෝලේ ගියාම නං තේරුණේය.

“ඇත්තද නිමල්ලගේ අම්මා හොර මිනිහෙක් එක්ක හිටියයි කියන්නේ?” /  “බොරු නං පත්තරේ දායිද බං.” / “ඒයි, උඹලයි තාත්තා අම්මව ගෙදරින් එලෙව්වද...” / “දැන් නිමල්ලට අම්මෙක් නැහැල්ලු.” වගේ කතන්දර කියවෙද්දී මට කරන්න පුළුවන් වුණේ ඩෙස්කුවට ඔළුව ඔබාගෙන හැඬීම විතරකි. එවෙලේ කවුරුන්වත් මා සනසවන්නට හිටියේ නැත. මගේ හොඳම මිතුරා; ගංගානන්ද පවා හිටියේ මා නාඳුනන්නෙකු විදිහටය.

පාසලේදී මට වැඩියත්ම විසුළු කළේ තුනේ පන්තිවල ළමුන් නොවේ. ඉහළ පන්තිවල ළමුන්ය.

දැන් ඉන්නෙ කොල්ලෝ නෙවෙයි කොලු තාත්තලා. හිටිංකො, බොලැයි තාත්තා ගෙදර ආවම...

එදා මා ගෙදර ආවේ අඬාගත් ගමන්මය.

“ඉහි, ඉහි... අනේ ආච්චියෙ, මට ආයෙමත් ඉස්කෝලේ යන්න නං කියන්නෙපා...”
“එහෙම කොහොමද පුතේ. මොකද  රංජියෝ උඹට මේ හදිස්සියේම ඉස්කෝලේ එපා වුණේ?” ආච්චී ඇසුවාය. මම සේරම විස්තර ආච්චීට කිව්වෙමි.

“දැන් ඉන්නෙ කොල්ලෝ නෙවෙයි කොලු තාත්තලා. හිටිංකො, බොලැයි තාත්තා ගෙදර ආවම මම එයාට කියන්න...”
“අනේ... ආච්චියෙ ඉ..හි ඉ..හි. තාත්තට නං කියන්න එපා. තාත්තා ඉස්කෝලෙට ඇවිත් රණ්ඩු කරයි!” මම බැගෑපත් වීමි.

“උඹ බය නැතිව හිටිං පුතේ. එයා රණ්ඩු කරගෙන කරගත්තු හරිය මදැයි! නිකං රට්ටු හිනැස්සුවා!!”

අපේ තාත්තා අඹුසොඬෙකියි කියා මං මේ වන විටත් ලියා තිබේ.
මගේ හැඟීමට අනුව, අපේ අම්මාත් තාත්තත් දෙදෙනාම
වගකිව යුතු මව්පියන් නොවන විත්තියත් එලෙසින්ම ලියා තිබේ. ඒ දිනවල සිද්ද වුණෙත් ඒ දෙකරුණම තව-තවත් තහවුරු කෙරෙන දේවල්ය.

එහා-මෙහා ගිය  සාම නියෝජිතයන්ට කීකරු වෙලා, අපේ තාත්තා ‘නැවත සමාදාන’යකට සැරසුණේය. ඒ දෙසතියක් යන්නටත් කලින්ය.

“රෙද්දක් ඇඳගෙන පාරට බැස්සැකිද යකෝ,  උඹට එපැයි කියලා ගෙදරින් එලවපු ගෑනිව ආයෙම ගෙදරට වැද්ද ගන්න යන්නෙ. මිනිස්සු පුකෙනුත් හිනා වෙයි බොල... උඹ පිරිමියෙක්ද බං. තොට ඔව්වා හිතන්න තිබ්බේ ලීලාව ගෙදරින් එලවන්න කලින්නෙ.” ආච්චී කඩා පැන්නාය. “තොටත් ලීලා නැතිව බෑ. තෙපර බාන්නේ නැතිව අන්න ඒක කෙලින්ම කියපං.”
“හොඳයි, අම්මට පුළුවන්ද දිගටම අපේ ළඟ ඉන්න... මගේ ළමයි බලා ගන්න. මට හොඳට තේරෙනවා, අම්මත් බලාගෙන ඉන්නෙ කොයි වෙලාවේ මේ උගුලෙන් ගැලවිලා  ආපහු කොළඹ දුවන්නද කියලා.” තාත්තා ආච්චීට ප්‍රතිඋත්තර දුන්නේ එහෙම කියමිනි. “තාත්තාව එහෙ තනියම දාලා දිගටම මෙහෙ ඉන්න අම්මත් ලෑස්ති නැහැනෙ...”

“ඔව් යකෝ, තොපි වගේ නෙවෙයි. මම එහෙම තමා. ගෑනියෙක් ඉන්න ඕනි තමන්ගෙ මිනිහා ළඟ. තමුන්ගේ මිනිහට කෑම ටික උයල-පිහල දෙන්න, තේ එකක් හදල දෙන්න, රෙද්දක් හෝදලා දෙන්න බැරි ගෑනියෙකුගෙන් මොකක්ද මිනිහෙකුට ඇති පලේ?
තොට නං මොකෝ. තොගේ වාසියට මං මෙහෙ ඉන්නවා නං ඒ මදෑ.
අර මනුස්සය හරියකට කන්න-බොන්නවත් නැතිව...”

උවමනා නැති විදියට දරු පිළිසිඳ ගැනීමක් සිද්ද වුණාම එයාලා බඩ හෝදලා අරින්න ලැහැස්ති වෙලා!

“මම පොඩි කලේ ඒ මනුස්සයා කරපු කෙළි සේරම මාත් දන්නවා අම්මේ, අම්මා දිගටම එයාට කැඹුරුවා වුණාට.”

“කාගෙ ළඟද බං වැරදි නැත්තේ... හැබැයි පුතේ, මෙතුවක් කාලෙකට උඹලගේ තාත්තා මට නිය පිටින් පාරක් ගහල නෑ; එක දවසක්වත් කුණුහරුපෙන් බැණල නෑ. මාව බඩගින්නෙ තියලත් නෑ බොල. ඒකටත් එක්ක තෝ... පෙළක් වෙලාවට උඹ ගෑනිට සලකන්නේ තිරිසනෙක් වගෙයි බොල. අන්න ඒක දැන ගනිං!
මම ඒකිගෙ ඉස්සරහපිට නොකිය හිටියට යකෝ, මම ලීලා වුණා නං මෙලහකටත් තොගේ බෙල්ල කපල මරල.”

“ලීලාත් අම්ම වගේ මරුමුසු ගෑනියෙක් වුණා නං මාත් මෙලහකට මිනීමරුවෙක් වෙලා එල්ලුම් ගස් ගිහිං.”

ඔහොම අතුරු වාද-විවාදවලට පැටලුණත්, ඒ අම්මත් පුතාත් දෙන්නා දවස් දෙක තුනක් ඇතුළතදී තීරණ කිහිපයකටම එළඹුණහ. ඒ අනුව...
අපේ අම්මාව ආපසු පවුලට වැද්ද ගත යුතුය. / ඒත් මින් පසුව අම්මාගේ පැත්තේ කිසිම නෑදෑයෙකු සමඟ පයුරු-පාසන නොපැවැත්විය යුතුය. / අපේ සිය පවුලම මහරගම පමුණුව පාරේ- සිල්ලප්පු වත්තේ, ආච්චිලාගේ ගෙදරට සංක්‍රමණය විය යුතුය. / හැකි ඉක්මනින්ම තාත්තා කොළඹට ස්ථාන මාරුවක් ලැබ ගත යුතුය. (සීයා එයට උදව් කරනු ඇත.)

ඒ අතරවාරයේ අපේ තාත්තාත් අම්මාත් දෙන්නා සමාදාන වී තියෙන්නේ තවත් රහසිගත කොන්දේසියකට එකඟ වෙමිනි. ඒ බව හෙළිදරව් වුණේ මාස කීපයකට පසුවය.
මං වහන්සේ ඒ පිළිබඳව 'ගස්සලා
 යවමුද -2පෝස්ටුවට ලිව්වේ මීට අවුරුදු පහකට කලින්ය. 
‘දෙවෙනි ගබ්සා කතාවටත් සම්බන්ද අපේ උත්තම මව්-පිය දෙපළමයි. ඒ දෙන්නාටම උවමනා නැති විදියට දරු පිළිසිඳ ගැනීමක් සිද්ද වුණාම එයාලා බඩ හෝදලා අරින්න ලැහැස්ති වෙලා. ඕක අපේ ආච්චිට; රත්නවතීට ආරංචි වෙලා. ආච්චී හෙණ සැදැහැවන්ති.

ඉත්තිං- ඉත්තිං, ඩී. රත්නවතී උපාසිකා මාතාව පරල වුණා අර රහස දැනගත් ගමන්. "ගුණේ, උඹලට ඔය දරුවා එපා නම් මට දීපල්ලා. මං හදාගන්නම්. ඔන්න ලීලා, මං උඹටත් නොකිව්වයි කියන්න එපා. ඔය පවුකාර වැඩේ කරලා එහෙම අපේ ගෙදර පස් පාගන්න නම් හිතන්න එපා, ඕං!"

ආච්චිගේ තග දැමිල්ලට අපේ අම්මයි තාත්තයි දෙන්නම සරෙන්ඩර් වෙලා. ඒක එතැනින්ම කොලොස් වෙලා; ලත් තැනම ලොප් වෙලා.’

ලීලාත් අම්ම වගේ මරුමුසු ගෑනියෙක් වුණා නං මාත් මෙලහකට මිනීමරුවෙක් වෙලා එල්ලුම් ගස් ගිහිං!

දැන් පූර්වාපර සන්ධි ගලපමින් ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන දයාබර රසික-රසිකාවියනට හෙළි කළ හැකිය. එදා ‘උවමනා නැති දරු පිළිසිඳ ගැනීමක්’ විදිහට හැඳින්වුණේ ‘අජිත් මල්ලීගේ පිළිසිඳ ගැනීම’ය.

මේ විස්තර ලියාගෙන යනකොට නම් මටමත් පුදුමය.
අපේ ගෙදර රහස් කියා දෙයක් තිබිලා නැතිම තරම්ය. සිද්ද වෙන හැම අටමඟලයක්ම කල් ඉකුත් වුණු පසුව හෝ ගෙදර කතාබහට ලක් වී තිබේ!
විශේෂයෙන්ම ආච්චී හා තාත්තා අතර. ඊළඟට ආච්චී හා මං වහන්සේ අතර... එතැනදී නං මගෙන් කෙරුණේ සාවධානව අහගෙන ඉඳිල්ලත්, හූමිටි තියමින් ආච්චීව දිරි ගැන්වීමත් විතරකි. (ඒත් ඒ කතාවලට අපේ අනෙක් නංගිලා මල්ලිලා නම් එකතු කර ගැනුණේ නැතිම තරම්ය.)

ඒ අතරවාරයේ කව්රුන්වත් නොසිතූ දෙයකුත් සිද්ද වෙලාය...
ඒ වරිග සභාවේ නිත්‍ය  සාමාජිකයෙකු වුණු නිමල් දිසානායකයාටත් හොරෙන් ඒ යක්ෂයාගේ මතක ගබඩාවේ ‘අර සාකච්ඡාවල් ගෙඩි පිටින්ම වාගේ’ තැන්පත් වෙලාය.

තවමත් ඒ වැඩේ ඒ විදිහටම සිද්ද වෙයි. මං හිතන්නේ, ඒ වෙනුවෙන් නං ‘පූර්ණ ගෞරවය’ හිමි විය යුත්තේ අපේ ආච්චීටය.

“කොල්ලගෙ මතක තියා ගැනිල්ල වැඩි වෙනවා- මෙව්වා කෑවම.” කියමින් මගේ හැම කෑම වේලකටම පලා වර්ගයක් උයාදී තිබෙන්නේ උන්දෑය. පලා වර්ග කිව්වාම අද කාලේ ඇත්තන් දන්නේ හරිම සීමිත වර්ග කිහිපයක් පමණි. අපේ ආච්චී එහෙම නොවේ.
මොනර කුඩුම්බිය, කැබැල්ල දලු, ගිරාපලා, මුස්සැන්ද, ගැට තුඹ, කඩුපහර, දිය බෙරලිය වගේ කොච්චර ජාති වටපිටාවෙන් එකතු කර ගත්තාද? මැල්ලුම්- සම්බෝල- තෙල් දැමුම්- කොළ කැඳ වගේ එකේක විදිහට හදමින් ඒවා මට ගිල්ලෙව්වාද? ආච්චියෙ, ඔයාට ගොඩාරියක් පිං! ඔයා නිවන් දකින්න මේ පිනම ඇති ආච්චියේ!!   

දසනායක රත්නවතීගේ මැදිහත් වීමෙනි, අජිත් මල්ලී නොමේරූ කලලයක් ලෙසින් මෙලොවට බිහි නොවී බේරුණේ.
ඒත්, එහෙම ඉපිද තිබුණේ තවත් අවාසනාවක් උරුම කර ගනිමිනි.

පසුගිය සතියේ අපේ අම්මාව බලන්නට Pra Jay යුවලත්, සිරිබිරිස් උන්නැහෙත් මානෙල් නංගිලාගේ ගෙදරට පැමිණියහ. (මේ තිදෙනාම බ්ලොගය හරහා මගේ හිතවතුන් වුණු උදවියයි.) ‘අම්මව වගේම ඔයාගේ මානෙල් නංගිවත් දකින්න ආසාවෙන් අපි ආවේ. එයා නං පොඩි වැඩක් නෙවෙයි කරන්නෙ- අම්මවයි, නැන්දම්මවයි දෙන්නෙක්ව බලා ගනිමින්.’ ඔවුහු කීහ. අප, පවුලේ තොරතුරු කතා කරමින් සිටියදී අජිත් මල්ලීගේ නමත් මතුව ආයේය.
“නිමල්  blog එකේ අජිත් මල්ලී ගැන ලියල තියෙන්නේ බොහොම අඩුවෙන් නේද?” Pra Jay ඇසුවේය.

“මේ දවස්වල ලියවෙයි!” මම කීවෙමි.

මගේ ඇසින් බලන විට අජිත් මල්ලී අමු බේබද්දෙකු වී හමාරය. එහි අතුරු ඵලයක් ලෙසින් හොඳටම දිරාපත් වී; වැහැරී... (අජිත් හා මානෙල් කලකට පෙර)

ඒ විස්තර ලියවෙන්නට පටන් ගත්තා විතරකි. ‘යකාගේ මීටරය’ක් වෙන Lotusටත් වෙනස තේරිලාය. පසුගිය කොටසට comment කරමින් Lotus මෙසේ පවසා තිබිණි. 

"අජිත් මල්ලී ගැන මා ලියා ඇත්තේ ඉතා අඩුවෙනි". නිමල්ගෙ අජිත් මල්ලි ගැන මුකුත් ලියවිලාම නෑ නේද කියලා මම හිත හිතා හිටියෙ. නමුත් ඕප දූප නිසා ඇහුවෙ නෑ..

එයා ගැන කියනවා නම්- කියන්නට වෙන්නේ අජිත් මෙලොවට ඇවිත් තියෙන්නේ පෙර කළ අකුසලයකට වන්දි ගෙවන්නට වගේයකියලාය“. සමහර විට අනිත් අයටත්, එයාටත් මොනවා හරි ඉගෙන ගන්න දෙයක් ඒ අත්දැකීම් හරහා දුන්නද දන්නෙ නෑනෙ.

අවිවාදයෙන්ම පිළිගනිමි. මට හිතෙන්නෙත් එහෙමමය.

අජිත් මල්ලී නිසා මගේ දැනුමටත් බොහෝ දේ එකතු වී තිබෙයි; සමහර විටෙක මා ඒවා තේරුම් ගෙන- වටහා ගෙන- ග්‍රහණය කරගෙන තිබෙන විදිහ වැරදි වෙන්නටත් ඉඩ තිබේ. ඒත් මා තවමත් කරන්නේ සිද්ද වුණු දේ හා සිද්ද වෙන දේ ඇසුරෙන් යමක් තේරුම් ගන්නට වෙර දැරීමයි.
මා මීට කලින් අජිත් මල්ලී ගැන ලිවීම පමා කළේ සහේතුකවය. ඒ එයින් අජිත්ට හිත රිදීමක් වෙතැයි සැකයෙනි. දැන් පෙනෙන විදිහට අජිත් ඉන්නේ මෙවන් දේවල් ගැන කරදර වෙන තත්ත්වයක නොවේ.
අම්මාත් එහෙමය, දැන් ඇය ඉන්නේ මෙලොවට වඩා එලොවට ආසන්නයෙනි.

මගේ ඇසින් බලන විට ‘අජිත් මල්ලී අමු බේබද්දෙකු වී හමාරය. එහි අතුරු ඵලයක් ලෙසින් හොඳටම දිරාපත් වී; වැහැරී; සුනිල්ටත් මටත් වඩා වියපත් පෙනුමක් උරුම කර ගෙනය. (මගේ මතකයේ හැටියට නම්, එයා දැන් හරියටම අපේ බදුල්ලේ සීයා වගේය!)’

අජිත් මල්ලීට එහෙම වුණේ එයාගේ පෞරුෂත්වයේ දුබලකම නිසා බව මගේ හැඟීමයි; එලෙස අජිත්ගේ පෞරුෂත්ව වර්ධනය අඩාල වන්නට ඇත්තේ නිකම්ම නොවේ යැයි මගේ සිත මුර ගා කියයි.
‘අපේ තාත්තාගේ දුර්දාන්තකමත්- අපේ අම්මාගේ අතිශයින්ම කෙටි හැඳි මිටේ නුවණත් එකට එක්වී රහසේ දියත් වුණු ‘අන්ත නීච; නින්දිත; අනුකම්පා විරහිත ක්‍රියාවක්’ එයට හේතු වන්නට ඇති බව මගේ විශ්වාසයයි...
à ඊළඟ කොටසට..

37 comments:

  1. රංග තේනුවරNovember 9, 2023 at 6:34 PM

    නිමල් අයියලා සහ අජිත් මල්ලිලා
    රවුමට කඩේ ලග බංකුවේ වාඩි වෙලා
    හිස් කරයි බෝතලේ වඩයක් කකා
    නිමල්ට බඩු අජිත්ට වඩා

    අජිත් ධර්මකීර්ති
    ටින් දෙකක් බොති
    බඩු නිසා හාන්සි වෙති
    නිමල් බේබදු ලේබලේ ගති

    අසැබි කවි නහුතෙට
    ලියයි නිමල් දවසෙම
    පෙනෙයි මනසේ අවුල
    බෙහෙත් ගත්තොත් නරක නැත

    ReplyDelete
    Replies
    1. දාපු ගමන් නැට්ට කරේ තියාගෙනයි එන්නේ
      හනුමා වගේ බ්ලොග් වලට ගිණි තියමින් යන්නේ
      ලියන එවුන් වලක්වන්න කකුලෙන් ඇද පන්නේ
      ගෝට් චීස්,සැමන් නැද්ද? දැන් එළකිරි බොන්නේ

      Delete
  2. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3673519/
    https://time.com/3582434/6-abortion-myths/


    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay මහත්තයෝ,
      links දෙකම දැනුමෙන් සපිරි තැන්වලට ගෙනියනවා. මේ විෂය ගැනම බ්ලොග් එකක් ලියන්න තරම් දේ ඒ posts දෙකේ තියෙනවනේ.

      Delete
  3. Replies
    1. හැම සිදුවිමකින්ම ගතයුත්ක් තියෙ නෙ.
      රජයටනං උගත් පාඩම් කෞමිසමක්ම තියේ මොනවක්වත් ගත්තෙ නැතුවට 😁

      Delete
    2. මගේ හැඟීම නං නමී, කොමිසම් පිට කොමිසම් දානවා කියන්නේ වැඩේ කවදාවත් නොවෙනවා කියන එකයි.

      Delete
  4. https://malsithroo.blogspot.com/2023/11/blog-post.html?m=1

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නමී.
      එහාට ගියා. ඒ post එක රසික සූරියආරච්චි; අපේ බ්ලොග් සහෘදයා සංස්කරණය කරලා නොමිලේ බෙදාහරින 'සිසිල' ඊ සඟරාවේ ඔක්තෝබර් කලාපයේත් තිබිලා කියෙව්වා. ළඟදීම එයින් කරුණු දෙක තුනක් මේ සීරීස් එකේ post එකකටත් ගන්නයි හිතේ තියෙන්නේ

      සිසිල සඟරාව ගෙන්වා ගන්න කැමති අයට මෙන්න ලිපිනය.
      sisila.sangarawa@gmail.com

      Delete
  5. "ඒත් මා තවමත් කරන්නේ සිද්ද වුණු දේ හා සිද්ද වෙන දේ ඇසුරෙන් යමක් තේරුම් ගන්නට වෙර දැරීමයි". නිමල් ලියන විදිහට මම කැමති එක ලොකු හේතුවක් තමයි ඒ. හැම අත්දැකීමකින්ම තමන්ට ගන්න පුලුවන් දෙයක් අරගෙන, අනිත් අයටත් යමක් හිතන්න මෙහෙයවීම. නිමල් ලියන විදිහ හරිම reflective.

    අද කොටසේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන පොඩි අය වගේම ලොකු අය ගැනත් ලොකු දුකක් දැනෙනවා නේද.

    ‘යකාගේ මීටරය’ක්!! 😃

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නං Lotus, ඔයාගේ comment එක කියවල චුට්ටක් විතර ආඩම්බරත් හිතුන. ස්තුතියි!
      මගේ ජීවිත කතාව ලියන්නෙත් හැකිතාක් පිරිසකට යමක් දීම සඳහාත්- මට තවමත් ලැබෙන; ඒත් මට හිමි නැති වැඩි ගෞරවය නිසා හිතේ තියෙන බර නිදහස් කර ගැනීම සඳහාත්.

      මේ අත්දැකීම් ඕනෑම කෙනෙකුට කොච්චර ලොකු පීඩනයක් වෙනවාදැයි වචනයෙන් කියන්නට බෑ.
      අපට ඒවා බලපාපු හැටිත් ලියන නිසා දැනට නවතින්නං.

      යකාගේ මීටරයක් කිව්වේ වැරදිලා, සමාවෙන්න. යක් රජෙකුගේ මීටරයක් කියලයි කියන්න තිබ්බේ.

      Delete
  6. මේ කියන ප්‍රශ්ණත් එක්ක බැලුවාම, නිදිලෑ අම්මට සැසිල්ව දෙයියෙක් වගේ පේන්න ඇති නේද?

    සැසිල් ලොකු සල්ලියක් නොගෙනාවත්, තරමක් සාධාරණ මනුස්සයෙක් කියල හිතෙනවා. සමහරවිට ඒක "මැරේජ් ඔෆ් කන්වීනියන්ස්" වෙන්න ඇති වුනත් ඒකෙන් කාටවත් පාඩුවක් වෙලා නෑ කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හරි බස්සා මහත්තයෝ, ඔයා හරි.
      අපේ ඩැඩා ගොඩක් මව්වත් මනුස්සයෙක්- සමහර දරදඬු ගති තිබ්බත්. එයාගේ අළමු කසාදෙන් හිටියේ එකම දරුවෙක්- පුතෙක්. එයා ඩැඩා එක්ක කිසිම ඇයි හොඳයියක් තිබ්බේ නෑ. ඒ නිසාම එයා අපට සැලකුවේ එයාගේම දරුවන්ට වගේ. ඒ ගැන මගෙන් ලියවුණා මීට කලින්.
      https://nidigepanchathanthare.blogspot.com/2019/12/not-vs-england_19.html

      Delete
  7. //අපේ අම්මාගේ අතිශයින්ම කෙටි හැඳි මිටේ නුවණ//
    හ්ම්...ඒක එහෙමම නොවෙන්නත් පුළුවන් නේද? එයාව තලල, පෙලල ගේ මුල්ලට දාලා තිබුන බවකුයි පේන්නෙ. එයාගෙ හැකියාවන් ඉස්මතු වෙන්නෙ, ඒ පුරුශාධිපත්‍යයෙන් මිදුනාමයි කියලයි හිතුනෙ.

    ReplyDelete
    Replies
    1. අම්මාගේ නුවණේ මහිමය හැමෝටම තේරුම් ගතහැකි වෙන්න තැන් දෙක තුනක් මේ.
      http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_15.html

      https://nidigepanchathanthare.blogspot.com/2019/07/blog-post_11.html
      ඒ වගෙමයි පොසිටිව් ගතිත්. අම්මගේ එක විදිහක එඩිතරකම. සහ සල්ලි ඉතිරි කිරීමේ ගතිය. තව එකක්- අනුන්ගේ දෙයක් නොගැනීම.

      Delete
    2. පෝස්ට් දෙකම බැලුවා. ඇත්තම කියන්න, ඉස්සර මම නිදිගෙ කතා මෙච්චර කැමැත්තෙන් බැලුවෙ නැහැ. නිදිගෙ කතන්දරත් කරවිල වගේ. පුරුදු පුහුනුවෙන් මතු කරගතයුතු රසයක් තමයි, ඒවා වල තියෙන්නෙ.😉

      Delete
    3. මට ගොඩක් වටිනා comment එකක් බස්සා මහත්තයෝ, ස්තුතියි!

      Delete
  8. හ්ම්ම්... උඩ එක පින්තූරෙක අපෙ හුටංබරසුත් ඉන්නව. වැඩේ තියෙන්නෙ පොරගෙ මූණ ඒතරම් පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටමද ඩ්‍රැකී?
      වෙන්න පුළුවන්. මොකද විටින්-විට හමුවෙන සිත් ගන්නා foto දාහක් විතර download කරගෙන තියෙනවා අවැසි විට තෝරා ගන්නට.

      Delete
  9. අජිත් මල්ලිගේ ප්‍රශ්ණ වලට හේතුව නම් හිතා ගන්න පුලුවන්. තමන්ව මෙලොව එලිය දකිනවට අකමැත්තක් තිබ්බයි කියන එක ලමයෙකුට පොඩි කාලෙම දැන ගන්න ලැබෙනවයි කියන එක, ඒ ලමා වයසට දරා ගන්න අමාරුයි.

    ලමා කාලයේ සිද්ධවෙන ඉමෝශනල් නිග්ලිජන්ස් ගැන ඉතා වටිනා ලිපියක් ( ඉතා දීර්ඝ ලිපියක්) ලන්කා ප්‍රියාවී බ්ලොග් එකේ මෑතකදී ලියලා තිබ්බා. අපේ ජීවීතයේ වෙනස් වීමට ලමා කාලයේ අපේ හැගීම් ගැන දෙමව්පියන සැලකීලිමත් නොවීම මුලු ජීවීත කාලයටම බලපාන හැටි ඒ ලිපියෙන හොදින් පැහැදිලි වෙනවා. පුලුවන් නම් ඒක කියවන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මයියා,
      මෙච්චර වෙලා try කළා ප්‍රියාවී ලිපිය හොයා ගන්න. හරි ගියේ නෑ. ඒකෙ link එකක් එවන්න ඇහැකිද තරහ නැතිව?

      අපේ අජිත් මල්ලීට දරා ගන්න වෙච්ච ලොකුම දේ ඊළඟ කොටසට ලියමින් ඉන්නෙ!

      Delete
    2. https://deepthidonkor.blogspot.com/

      Delete
    3. ස්තුතියි මයියා,
      බලන්නකෝ මගේ නොසැලකිල්ල. ඊයේ මම හෙව්වේ ප්‍රියාවී. ලංකා ප්‍රියාවී නෙවෙයිනේ.... ඔයා කිව්වා වගේම ඉතා දීර්ඝ post එකක්. පස්සෙයි කියවන්නේ. අකුරුත් පුංචියි නෙව.

      Delete
  10. අඹු සැමියන් අතර කුමනාකරයේ ගැටළු තිබුනත් දරුවන් ඊට ගොදුරු නොකර ගැනීමට වැඩිහිටියන් සිතා ගත යුතුයි!
    මේක යල් පැනගිය අදහසක් ලෙස බොහෝ දෙනෙක් දකීවි!
    එහෙත් දාරක ප්‍රේමය හා දරුවන්තුල; තම දෙමාපියන් කෙරෙහි ඇති ප්‍රේමය ඒ රැකවරණයට ඇති ලෝභ කම යල් පැන ගොස් නැත!

    ReplyDelete
    Replies
    1. අවිවාදයෙන්ම ඔබේ අදහසට එකඟයි තට්ටයා මහත්තයෝ.

      Delete
  11. අජිත් මල්ලි තවම ජිවත්ව ඉන්නවද නිදි? මනාල නම් හරිම අහිංසක විධිහටයි පේන්නේ , unassuming

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් මහත්තයෝ, අජිත් මල්ලී තාම ඉන්නවා.
      මානෙල් දැන් ඒ තරම් අහිංසක නෑ... දිරියෙන් ජීවිතේට මුහුණ දෙනවා. ඔත්පලව ඉන්න අපේ අම්මවයි- නැන්දම්මාවයි දෙන්නම රැකබලා ගන්නවා.

      Delete
  12. https://sithuviliralabinduma.blogspot.com/2023/11/blog-post.html?m=1

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නමී.
      ගියා- සුබ ඇතුවා!

      Delete
  13. අනුර ජිනදාසNovember 15, 2023 at 2:17 AM

    කාලෙකට පස්සෙ මේක ලියන්න හිතුවෙ youth එකේදි අපි අනවශ්‍ය දරු උපත් කියල කියපු වෙලාවෙ ලාල් අයියා තදින්ම විරුද්ධ වෙමින් කියපු අනවශ්‍ය දරු උපත් නෙවෙයි අනවශ්‍ය පිළිසිඳගැනීම් කියපු වචන ටික මේක කියද්දි තදින්ම හිතට ආපු නිසායි.
    කොහොම වුණත් අමද්‍යප තරුණ සංවිධානයේ ප්‍රචාරක කටයුතු භාරව රටපුරා තරුණයින් මත් රකුසාගෙන් බේරා ගත්තත් ගෙදර හිටපු මල්ලී බේරගන්න බැරිවීමෙඉ අවාසනාවට හේතුව හිතාගන්න බැරි තරම්.
    අරතරම් ප්‍රසන්නව හිටපු ළමයා මෙහෙම අවාසනාවකට ගොදුරුවීම පතිරූප දේශයක් නොලැබීමේ අවාසනාවම තමා!

    ReplyDelete
    Replies
    1. //අනවශ්‍ය දරු උපත් නෙවෙයි අනවශ්‍ය පිළිසිඳගැනීම්// මරැ කතාව

      Delete
    2. ගොඩක් ස්තුතියි අනුර, ඔයාගේ එකතු හිරීම වෙනුවෙන්.

      Delete
  14. https://miniminipode.blogspot.com/2023/11/blog-post.html?m=1

    ReplyDelete