අකුරු මැකී නෑ

Sunday, November 5, 2023

තිස් එකේදී... තිස්වෙනි කොටස

සැකයක් නැත. ලිංගේන්ද්‍රිය සැත්කම පිළිබඳව අර තරම් හොඳින් වෛද්‍යමය කරුණු ගැන අපේ ඩැඩාව දැනුවත් කරන්නට ඇත්තේ නීලියාම වෙන්නැති!

එයා පළපුරුදු වෛද්‍ය නිලධාරිනියක් නෙව.

‘චිකේ... මීට පස්සේ මම කොහොමද ලජ්ජා නැතිව නීලියාගෙ මූණ බලන්නේ...’
අනේ නිකං හිටපං නිදි.
නල්ල මලේ ලජ්ජාව. ඔම්ලට් එකක් හදන්න ඇහැකිද බිත්තරේ නොකඩා... ‘ඒත් දෙයියනේ, ඩැඩා තව කවුරු කවුරු එක්ක මෙව්වා කතා කරලද දන්නෑ...’

එතකොට ඉතිං පරක්කු වැඩිය!

මට එහෙම හිතුණා වුණත් කරන්නට දෙයක් තිබ්බේ නැත. තිබ්බේ බලාගෙන හිඳින්නට විතරය.

“You have done a good job!” අහමඩ් මට කිව්වේ එයාලගෙ ගෙදර වෝල්පේපර්ස් ඇලවීම අහවර කළාමය. ඒත් මගේ හිතට නං හරි නැත. පුංචි- පුංචි වායු බුබුළු කීපයක් සමහර කාමරවල wallpapersවලට යටින් ඉතිරිවී තිබිණි. මාත් එව්වා දැක්කේ බිත්ති වේළුණාට පස්සෙය; එතකොට ඉතිං පරක්කු වැඩිය; පෙරහර ගිහිං ඉවරය.

“Take it easy, Nimal.” මගේ අතින් සිදු වී තිබුණු අතපසු වීම ගැන ලතැවිල්ලෙන් කිව්වාම, අහමඩ් ඒ විත්තිය සැහැල්ලුවෙන් ගත්තේය.
“අපේ ගෙදර showroom එකක් නෙවෙයිනෙ, නිමල්. මෙහාට එන visitorsලා එන්නේ අපිව බලන්න මිසක් බිත්ති බලන්න නෙවෙයිනෙ. By the way, අපේ මිසිස් උඹෙන් අහනවා, අපේ ගාඩ්න් එක clear කරන job එකත් කරල දෙන්න පුළුවන්ද කියලා. හැබැයි, ඒක ටිකක් අමාරු job එකක් වෙයි. කැලේ වැවිල තියෙන්නේ... යමුකො මම එතන පෙන්නන්න.” කියමින්ම- අහමඩ් දොර ඇරලා, එළියට බැහැලත් ඉවරය.

‘පුදුම මනුස්සයෙක්නේ! මං උත්තරයක් දෙන්නත් ඉස්සෙල්ල... හරියට මං කැමති වුණා වගේ...’ එහෙම හිතමින්ය, අහමඩ්ගේ පිටුපසින් මා පිය නැඟුවේ.

අහමඩ්ලා හිටියෙත් තට්ටු නිවාස ඒකකයකය. ඒ හැම ගෙදරකටමත්, එකිනෙකට වෙන් වුණු හින්නිකිතර ඉඩම් කැබැල්ලක් බැගින් ලබා දී තිබිණි. ඒ ඔවුන්ගේ ගෙවතු උද්‍යානය සඳහායි. (හැම නිවැසියෙකුටම එවන් බිම් කඩක් සපයා තිබිණිදැයි කියා නම් මට නිනව් නැත.) ඒ කුඩා ඉඩම් කැබැලි තිබ්බේත් ඒ- ඒ ගෙදරට ඈඳී නොවේ; නමුදු ඒ ඕනෑම ගෙදරක සිට ජනේලයකින් කෙනෙකුට තම-තමාගේ පුංචි උද්‍යානයේ අසිරිය දැක බලා ගන්නටත් හැකි වෙන පරිදි නිවාසවලට සමීපයෙනි.

අප අහමඩ්ලගේ ඉඩම් කැබැල්ලේ සිටිද්දීය, මට ඒ විත්තිය තහවුරු වුණේ.
ඒ අහමඩ්ගේ බිරිය ඔවුන්ගේ සිඟිති පුතු පැටියාව ජනේලය මැදින් අපට ඔසොවා දක්වමින් සුරතල් කරන විටයි.

“උඹ මොකද හිතන්නේ? Can you...” ඝන සැරේට වැවී තියෙන තණ පඳුරු පෙන්වමිනි, අහමඩ් මගෙන් ඇහුවේ. “I know, මේ වැඩේට වෙලාව නං යයි. ඒත් කමක් නැහැනෙ, නිමල්...”
අහමඩ් හිතන්නේ වියදම ගැන නොවේ. කරවා ගත යුතු කාරිය ගැන පමණකි. (ඔහු නිර්ලෝභී බව ඒ වෙද්දීත් මට පසක් වී තිබිණි.)

ඒ මිනිහා හෙණ කපටියෙක්. තුට්ටු දෙකක්...

ඒත් මට ඒ රාජකාරිය කරන්නට වෙන්නේ ගෘහාභ්‍යන්තරයේ ඉඳගෙන නොවේ; එළිමහනේ ඉඳගෙනය. කටුක සීතල විඳ දරාගෙනය. ‘කමක් නෑ! ඕනි වුණොත් බඩා මල්ලියාවත් උදව්වට එක්කං එන්න බැරිය. ඔන්නොහෙ හා කියනවා.’ (ඒ වෙද්දී අපේ දීපාල් විවේකයන්හිදී, ඒකා හඳුනන කිහිප දෙනෙකුගේම ගෙවතු විටින්-විට නඩත්තු කරමින් සිටියේය.)

“උඹ මේ වල් ගස් සේරම අයින් කළාට පස්සේ, මම ලස්සන මල් පෝච්චි ටිකක් ගේන්නං. පාත්ති හදල ඒවා හිටෙව්වම හරි අපූරුවට තියෙයි.”
“කමක් නැද්ද Mr. අහමඩ්, මම අපේ මල්ලිවත් වැඩේට අඬගහ ගත්තට. එතකොට මට ලේසියි. ඉක්මනට වැඩේ කර ගන්නත් පුළුවනි.”

අහමඩ් උරහිස් විහිදා; දෑත් දෙපසට දිගු කළේය. ‘No problem.’ යැයි හැඟෙව්වේය.

“ලොකූ, ඒ මිනිහා හෙණ කපටියෙක්. තුට්ටු දෙකක් දීල, ඔයාට කියල ලාබෙටම වත්ත හරි ගස්ස ගන්නද කොහෙද හදන්නේ. අපරාදෙ ඔයා හා කිව්වේ.” විස්තර කිව්වාම දීපාල් දැක්වූයේ මා නොසිතූ ප්‍රතිචාරයකි.
“අනේ! අහමඩ් එහෙම නෑ දීපාල්...”
“මොකද නැත්තේ? සේරම එකයි ලොකූ. එයාලා එයාලගෙ වාසිය බලනවා. ලොකූ දන්නවද- අහමඩ් ඔයාට සුමානෙකටම ගෙවන පඩියට වැඩියෙන් ගාණක් proper worker කෙනෙකුව වත්තේ වැඩට ගත්තොත් ගෙවන්න වෙනවා... එක දවසකට.”

“කමක් නෑ, කමක් නෑ. ඒ මනුස්සයා එහෙම හරි මට වැඩ කරන්න දෙන එකත් ලොකු දෙයක්නේ මල්ලා. නැත්තං මාත් නිකංම්මනෙ. පොඩි වත්තක්නේ...”
“පොඩි? පොඩි වුණාට ඔයාගේ හොඳ පණ යයි. ඔයා කියපු විස්තරවල විදිහට නං, ඒ වත්තේ තණකොළ ජාතිය යටටම මුල් අදින ජාතියක්...” මල්ලා කීවේ දැනුමැත්තෙකු පරිද්දෙනි.

“උදලු ගාපුවාම හරිනෙ...”
“එහෙම කරන්න නං ඉතිං ලොකාට ලංකාවෙන්ම උදැල්ලක් ගෙන්නගන්න වෙයි!”

ඇත්තය. ඊට පස්සේ මට තවත් දෙතැනක ගෙවතු වැඩ කිරීමට පැවරුණත්; ඒ එක තැනකවත් උදැල්ලක් නොතිබිණි. හිරු නොබසින අධිරාජ්‍යයේ ඇත්තෝ ‘උදැල්ල දාන්නට නොදන්නෝ’ වෙත්ද?

මල්ලා කියූ විදිහටමය කරුණු සිද්ද වුණේ. සරුවට වැවී තිබුණු තෘණ පඳුරු මුල්ලු කරමින්- උදුරා දැමීම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වෙහෙසකර කාරියක් විණි. වතු වැඩ පටන් ගත් දවසේ උදේ ‘හනුමා දර පලන්නාසේ’ තණකොළ පඳුරුවලට බැට දෙන්නට ගත්තත්, වැඩි වෙලාවක් ඒ වේගය පවත්වාගෙන යන්නට මට බැරි වුණේය. ඒ, මගේ දෙඅත්ලේම දිය පට්ටා මතු වුණු බැවිනි. (එවේලේත් මට පිහිටට ආවේ අර අත්දුටු ‘කහ+පොල්තෙල් අත් බෙහෙත’යි.)

සුද්දොන්ට වැඩිය සුද්දෙක් වගේනෙ!

අත්වල මතු වී තිබුණු දිය පට්ට නිසා මට දවස් දෙක -තුනක්ම වැඩ කරන්නටත් බැරිව ගියේය. “මේ Saturday, Sunday දෙකේ මාත් එන්නං ලොකා. ඒ දවස් දෙකේ කොහොම හරි ඔය වත්ත සුද්ද කරන වැඩේ finish කරමු. You can do අනිත් වැඩ.”

දීපාල් කොහොමත් ගස්-ගල් පෙරළන පන්නයේ වැඩවලට කැමතිය. එහෙව් හාදයාගේ වැඩි දායකත්වයත් ඇතිව, ඒ දවස් දෙකේදී අහමඩ්ලගෙ කුඩා ගෙවත්ත සකසා දෙන්නට අපට හැකි විණි.

'... මෙහෙම හරිත නොනගතයක් තිබෙන නිසාදෝ එංගලන්තයේ වැඩිම දෙනෙක් ගස්වැල්වලට ආදරය කරති! ඒ ආදරය පෙන්වමින් ඔවුහු ගෙදර වත්තේ, ජනෙල් පඩි මත, දොරකඩ... ඉඩ තියෙන ඕනෑම තැනක හරිම ලස්සන මල් වර්ග වවති!’යි ‘තිස් එකේදී... -විසිහයවෙනි කොටස’ ලියමින් මම සඳහන් කළෙමි; මෙසේද ලියුවෙමි.

‘ඒ රාජකාරිය හිතන තරං අමාරු නැත. ටිකාක් විතර වියදම් නම් වැඩිය!!

සීත ඍතුව ගෙවී යද්දී හැම තැනම බඳුන්වල සිටවූ මල් පැල විකුණන්නට තිබෙයි. ඒවායේ මල් කැකුළු පූදින්නට ඔන්න මෙන්නය.

කරන්නට තියෙන්නෙ තමන් කැමති ජාතිවලින් පැල බඳුන් ගෙනැවිත් රෝපණය කිරීමය. සමහර වත්තක් එක දවසෙන් අලංකාර සපුෂ්ප උද්‍යානයක් වී බබළන්නේ එහෙමය.’ අහමඩුත් ‘සල්ලි සල්ලියි කියා නොසිතා’ පිපෙන්නට ආසන්න පොහොට්ටුවලින් පිරුණු මල් පැල බඳුන් තොගයක්ම මිලදී ගෙනාවේය. ඒවායෙන් හැඩ වුණු ගෙවත්ත දිහා අතිශය තෘප්තිමත්ව ආඩම්බරයෙන් බලාගෙන සිටියේය.
බඩා මල්ලියාගේ පුරෝකථනය වැරදි විත්තිය ඔප්පු කරමින් නිර්ලෝභීව අපට ලොකු මුදලකුත් ගෙව්වේය.

ඊට පසුවදා හැන්දෑවේත් අහමඩ්ලා අපේ ගෙදරට ගොඩ වැදුණෝහ. එහෙම ඇවිත් තිබ්බෙත්, මට පලතුරු හා කේක් කූඩයක් තෑගි කරන්නටය.

“බලපංකො සැසිල්. අර අහමඩ් අරාබිකාරයෙකුත් වෙලා සුද්දොන්ට වැඩිය සුද්දෙක් වගේනෙ!” එයාලා පිටත්ව ගිය සැණෙන් අම්මා ඩැඩාව ඇවිස්සුවාය.

“සුද්දෙක් වගේ? ඕකුන් ඔහොම ලෝබ නැත්තේ පොළොවෙන් උනන තෙල් සල්ලි නිසා. තෙල් ඉවර වෙච්ච දවසක බලාගන්න පුළුවන් උන්ට වෙන දේ.” ඩැඩාට උත්තර දෙන්නට ගියේ අපේ අම්මා නොවේ. අම්මා නිස්සද්ද වුණේ ලෝකයේ සිද්ද වෙන විපිරියාස- හුටපට ගොඩක් ගැන ලොකු අවබෝධයක් ඇයට නැති නිසාය.

“ඇත්තද රංජි, ඔය ඩැඩා කියන්නේ... තෙල් ඉවර වෙන්ඩද යන්නේ? එහෙම වුණොත් හරි වැඩේනේ.”

හිතේ නළියන තරහ පිටින්මදිග දුක් ගැනවිල්ලක් ලියුමක සඳහන් කර එව්වේමේ වකවනුවේදීය.

තවත් ‘හරි වැඩක් ගැන ආරංචියක්’ ලංකාවෙන් මට ලැබුණේ ඒ අතරතුරේය.

‘අයියේ, ඔයාලා ඉක්මනට ලංකාවට එනවා නේද? ඔන්න ඔයාලා එනකං විතරයි අපි මේ ගෙදර ඉන්නේ. ඔයා මෙහාට ආව ගමන්ම- ඔයාලට ගේ බාර දීලා අපි මේ ගෙදරින් යනවා. මෙලහකටත් අපි ගිහිං අයියේ, ඔයාට පොරොන්දුවක් නොදී හිටිය නං. බය වෙන්න එපා. මායි මල්ලිකායි ඒ පොරොන්දුව ආරස්සා කරනවා. ඒ කිව්ව විදිහටම අපි ඔයාලා එනකල් මේ ගෙවල් දොරවලුයි- ආච්චිවයි බලා ගන්නං.

ඒත් ආච්චියි අජිතුයි කරපු මේ ජරා වැඩේ හින්දා, මට ඒ දෙන්නගේ මූණ බලන්නත් හිරිකිතයි. මට හොඳටම හිතට අමාරු මේ තරං රහසෙන්...’ අපේ ලොකු මල්ලී; සුනිල් ගෝඨාභය දිසානායක හිතේ නළියන තරහ පිටින්ම, දිග දුක් ගැනවිල්ලක් ලියුමක සඳහන් කර එව්වේ, මේ වකවනුවේදීය.

සුනිල්ට හොඳටම රිදිලාය!
එහෙම වුණු එකේ කිසිම පුදුමයකුත් නැතිය.

අපේ තාත්තා; දිසානායක හේවගේ ගුණපාල පවුලේ එකම දරුවායි. දිසානායක හේවගේ චාර්ල්ස්, දසනායක රත්නවතී ජෝඩුව, ඔවුන්ගේ පුතණ්ඩියා ‘එකා යකා’ වුණාට පස්සේ ඔවුන්ගේ ‘දරු පෙම’ වාං දැම්මෙව්වේ සුනිල් හරහාය. ‘ගුණේ, උඹලට රංජියි, නෝනයි දෙන්න ඉන්නවනෙ. සුනිල්ව අපිට දියල්ලා. අපි කොල්ලව හදා ගන්නං.’ ආච්චී අපේ තාත්තාට කීවේල. (එතකොට අපේ අම්මා තිදරු මවක වී සිටියාය.)

සුනිල් මල්ලී රූපකායෙන් වඩාත් කිට්ටු අපේ තාත්තාටය. තාත්තාත්, මහරගම ආච්චීත් දෙන්නාම දැඩි පෞරුෂයකට හිමිකම් කියුවත්- රුවැත්තෝ නොවූහ.

‘එතකොට රංජි පුතේ, සුනිලුත් උඹලගේ තාත්තා වගෙයි; ටිකක් කළුයි. ඒ මදිවට මහ ඇට්ටර- මැරෑටි පෙනුමක් තිබ්බේ. උඹටනේ අම්මගෙ රූප සම්පත්තිය ඇවිත් තිබ්බේ. මොන අහේතුවක් හින්දාද මංදා පොඩි කාලේ සුනිල්ට මාන්දමත් හැදිලයි තිබ්බේ. එළු කිරි භෂ්මයක් එහෙමත් දීලයි, කොල්ලව සනීප කර ගත්තේ.’
මහරගම ආච්චිගේ එවන් අතීතාවර්ජන හරහාය, සුනිල්ගේ පැටි වියේ තොරතුරු අප දැනගත්තේ.

රත්නවතී උපාසිකා මාතාව කොච්චර බණ- දහම්- සිරිත්- විරිත් දැනගෙන උන්නත්, කෙලෙසුන් නසා; රහත් වෙලා හිටියේ නැත. ඒ නිසාම සුනිල් මල්ලීව ඇතිදැඩි කිරීමේදී ටිකක් විතර අගතිගාමී වූ බව මගේ හැඟීමයි. වැඩියත්ම එහෙම වෙන්නට ඇත්තේ ආච්චිලාටත් අග-හිඟකම් තිබුණු හින්දා වෙන්නැති.
දුප්පත්කම වැරැද්දක් නොවුණත්, බොහොමයක් අවස්ථාවලදී වැරදි ගොඩකට මූලිකම හේතුව වෙන්නට ඉඩ තිබේ.

අපෙත් ආච්චිලගෙත් ගෙවල් දෙකම තිබ්බේ එකම මිදුලකය.
සුනිල්ට විශේෂ කෑමක්- බීමක් දෙද්දී ‘පුතේ, අරුන්ට පෙන්නන්න එපා බං. කෙළ ගිලියි. එතකොට උඹට බඩේ ගාය හැදෙයි.’ වැනි අවවාද දෙන්නටත් ආච්චී පුරුදුව හිටියාය. (ආච්චී අරුන්ය කිව්වේ අපටය.) ඔයින්-මෙයින් වුණේ, අපේ නංගිලා මල්ලිලාත්, මාත් සතුරු ආකල්පයකින් සුනිල් දිහා බලන්නට පටන් ගැනීමයි.

ඒ තත්ත්වය හොඳටම උග්‍ර වෙනකොටය, තාත්තා සුනිල්ව ආයෙමත් අපේ ගෙදරටම ගෙන්නා ගත්තේ. (අපේ ගෙදරටම ගෙන්නා ගත්තාය කිව්වත්- අපෙත් ආච්චිලගෙත් ගෙවල් දෙකම තිබ්බේ එකම මිදුලකය. ඒ විත්තිය මා කලින් කියා ඇත.)
“දිගටම මෙහෙම වෙන්න ගියොත් අම්මේ, මෙවුන් එක-එකා කා-කොටාගන්න පටන් අරං තමයි නවතින්නේ. එක බඩවැල කඩාගෙන ආපු එවුං හැදෙන්න ඕනි එකා වගේ එකට ඉන්නනෙ, එකාට එකා නැතිව ඉන්නයැ!”
මුලින්- මුලින් සුනිල්ගේ ‘කැපකරු මාපිය’ තනතුරෙන් අයින් වෙන්නට ආච්චී අකැමැති වුණාය. කල් ගතවෙන අතරේ, ඒ අකැමැත්ත ටිකෙන්-ටික සමහන් වෙද්දී...

ආච්චී දෙවෙනි විකල්පයක් වෙත ඇයගේ අවධානය යොමු කළාය.
ඒ අජිත් මල්ලීය!!

අජිත් මල්ලී ගැන මා ලියා ඇත්තේ ඉතා අඩුවෙනි. එහෙම කළේ ඒ අවාසනාවන්තයා ගැන ලියන්නට ගියාම අපේ පවුලේ අමිහිරි දේවල් රැසක්ම කියන්නට සිද්ද වෙන බැවිනි. කොයි තරං අමිහිරි වුණත්, දැන් ඒ හාදයා ගැනත් නොලියා බැරිය.
ඉතිං ඉතා කෙටියෙන් එයා ගැන කියනවා නම්- කියන්නට වෙන්නේ අජිත් මෙලොවට ඇවිත් තියෙන්නේ ‘පෙර කළ අකුසලයකට වන්දි ගෙවන්නට වගේය’ කියලාය.
සමහරවිට මගේ ඒ නිගමනය වැරදි වෙන්නටත් ඉඩ තිබේ.

අජිත් අපේ පවුලේ පස්වැන්නාය.
එයා මව් කුස පිළිසිඳ ගත් කාලයේ; 1962- 1963 කාලයේ, අපේ තාත්තා අපේ අම්මාට අනියම් සම්බන්ධයක් තිබිණැයි චෝදනා කළේය. ඒ අනියම් සම්බන්ධයට බදුල්ලේ ඥාතීන් උදව් කරතියි කියාත් කිව්වේය.
“තොපේ මහ එකා, මහ ලොකු කිරිවන්තයා තමයි මගෙන් වාඩුව පිරිමහන්න හදන්නේ. වී
 ගෝනිය දුන්නු කතන්දරේට තමයි ඔය මට කෙළවන්න හදන්නේ... බින්තැන්නේ බයියන්ට කසාද දෙක-තුන කරගන්න එක මහ කජ්ජක් නෙවෙයිනේ. අපිට එහෙම නෙවෙයි යකෝ. අපි නම්බුකාර මිනිස්සු... උඹටත් ලීලා, කසාද මිනිහට වැඩිය ලොකු වෙලා තියෙන්නේ උඹේ අම්මයි තාත්තයි සනුහරේ හැත්ත-බුරුත්තයිනේ.”

එතකොට අපි හිටියේ බදුල්ලේ රේල්වේ ක්වාටස් පේළියේය.

කේන්තියෙන් අන්ධ වී හිටි අපේ තාත්තා...

හතර දිග් භාගයටම ඇහෙන්නට තිස්ස දෙවේලේ අම්මාට බැණ වදිමින්- මහ සද්දෙන් ගෝරනාඩු කරන තාත්තා ලජ්ජාවක් ගැන තැකුවේ නැත. කේන්තියෙන් අන්ධ වී හිටි අපේ තාත්තා ටිකිරි මාමා හා අල්විස් මාමා වැනි ඉතා සමීප මිත්‍රයන්ගේ හිතෛෂී අවවාද පවා තුට්ටුවකටවත් මායිම් කෙරුවෙත් නැත.

මට හොඳට මතකය.

“බලාපං ගුණේ, මේ පොඩි එව්වොන්ගේ දිහා පොඩ්ඩක් බලපං. උඹලගෙ මළ විකාර හින්දා මුන් කොච්චර අසරණ වෙලාද කියන එකවත් හිතපංකො බං.” තාත්තාට උපදෙස් දෙන්නට ආ අල්විස් මාමා කීවේය.
“මේ අල්විස්. එකක් කියන්නං. මේක අපේ පවුලේ ප්‍රශ්නයක්... මං කවදාවත් උඹේ පවුලේ වැඩවලට අත දාල නැහැනේ. ඒ වගේ උඹත් උඹේ පාඩුවේ හිටපං, අපේ යාළුකම ආරස්සා කර ගන්න ඕනි නං.”

ඒ දවස් සිහි වෙද්දී... අනේ! අදත් මට එදා දැනුණු අසරණකම දැනෙනවා- දැනෙනවා වගේය!

දෙමවුපියන් රණ්ඩු කරද්දී වඩාත් අසරණ වෙන්නේ දරු පැටවුන්ය. ඒ දබරවලට තමනුත් වගකිව යුතුද... දරුවන්ට ගැටලුවකි. තාත්තා මේ තරමටම නපුරු වෙන්නේ ඇයි? කොහේ හැංගුණෝතින් තාත්තාට නොපෙනී ඉන්නට පුළුවනිද?

අම්මාත් අඬාගත් ගමන්මය. ළඟට ගියත් වැරදිය. බඩගිනියි කිව්වත් වැරදිය. නිඳිමතයි කිව්වත් වැරදිය. ‘උඹලත් මාවම කන්න හදන්නේ තාත්තට කියපං. වද නොදී, නංගිවත් වඩාගෙන අන්න අරහෙට පලයං රංජි- කිව්වම අහල.’

අපේ සුනිල්ට මේවා මතකදැයි මා දන්නේ නැත. මට නම් හොඳටම මතකය.

“ඒත් ගුණේ... පොඩි එවුන් නේද මචං...” අල්විස් මාමා මගේ ඔළුව අතගෑවේ හූල්ලමිනි.

“අල්විස්, මගෙන් මැරුම් නොකා හොඳ හිතින් බැහැපන් දොට්ට. මුන්ව ජාතක කරපු මට නැති කැක්කුමක් උඹට කොහෙන්ද යකෝ? මගේ එවුන්ට වෙන දෙයක් මම බලා ගන්නං. උන් මළොත් වළලනවා. එච්චරයි.” තාත්තා දොරකටත් පයින් ගසා එහෙම කිව්වාම, අල්විස් මාමා මොකුත්ම නොකියා පිටත්ව ගියේය.

මහරගම ආච්චී ඒ අස්සේ බදුලු ආවාය.
“මොකක්ද ගුණේ මේ නටන නාඩගම... උඹට අම්මා තාත්තා කියල දෙන්නෙක් ඉන්නවයි කියලත් මතක නැද්ද?” ආච්චී දෙස් තිබ්බාය. “ටෙලිගරම් එකක් ගහන්න තිබ්බා නේද බං... හොඳ වෙලාවට අල්විස් ළමයා ලියුමක්වත් එවල තිබ්බේ.”

අල්විස් මාමා අපේ සේරම විස්තර ආච්චිලාට ලියා යවලාය.

වරදින්නේ නැතිව තියේවියැ. එදා ඉඳලම කළේ හිතුවක්කාරකම්නෙ. මේ අහපං...

“යකෝ ගුණේ. ගෑනිටම කතන්දර කියන්නේ තෝ සුද්දවන්තයෙක්ද?
ඇටෙන්-පොත්තෙන් පැහෙන සන්දියේ හිටම උඹ නටපු නෙයියාඩම් මේ රත්නවතී නොදන්නවයි කියලද ගුණේ, උඹ හිතුවේ. උඹට වැරදිලා පුතේ. උ..ඹ..ට වැරදිලා. වරදින්නේ නැතිව තියේවියැ. එදා ඉඳලම කළේ හිතුවක්කාරකම්නෙ. මේ අහපං පුතේ.

-කිව්වම අහලා, ලීලාත් උඹේ විදිහමයි කියල හිතන එක නවත්තපං රත්තරනේ... ඔය කතන්දරවලින් කිසිම සුගතියක් වෙන්නෑ බං.
කාලෙකට ඉස්සෙල්ලා උඹම නේද මේ ගෑනිව ගන්න ඉඩ දුන්නේ නැත්තං මැරෙනවයි කිව්වෙත්. ඒවා ඔක්කොම අමතක කරපංකෝ... ඒත්... ඒත්...
ගුණේ, දැනටමත් මේ ගෑනි උඹම ජාතක කරපු දරුවෝ හතර දෙනෙක් වදලා නේද ඉන්නෙ...  ඒ මදිවට තව එකෙකුත් කුසේ දරාගෙන...”

ආච්චීගේ කටෙන් ඒ වචන ටික එළියට පැන්නා විතරකි.
තාත්තා තිත්ත කුණුහරුප වැලක්ම වමාරන්නට පටන් ගත්තේය... “#*## @~#^$#!”
à ඊළඟ කොටසට...

28 comments:

  1. 'තාත්තා තිත්ත කුණුහරුප වැලක්ම වමාරන්නට පටන් ගත්තේය... “#*## @~#^$#!”'

    නිමල් ඒ හින්දද කුණුහරප කවි ලියන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ හින්දයි මට කුණුහරුප පිළිකුල්.... කැමතියි නම් විතරක් පිළිගන්න, මම කුණුහරුප කියන්නේවත් නෑ කවි ලියනවා තියා.

      Delete
  2. https://www.dhpayroll.co.uk/blog/is-cash-in-hand-illegal/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay මහත්තයෝ. ඒ දවස්වල තිබ්බාට වැඩිය දැන් නීති තදයි නේද?

      Delete
  3. //මොකද නැත්තේ? සේරම එකයි ලොකූ. එයාලා එයාලගෙ වාසිය බලනවා. ලොකූ දන්නවද- අහමඩ් ඔයාට සුමානෙකටම ගෙවන පඩියට වැඩියෙන් ගාණක් proper worker කෙනෙකුව වත්තේ වැඩට ගත්තොත් ගෙවන්න වෙනවා... එක දවසකට.”// ලංකාවේ අය සමහරවෙලාවට හිතන් විධිහේ අවුලක් තියනව. නිදි දැන් ඔය ටුවරිස්ට් විසා ඇවිත් වැඩ කරන්න බැහැනේ. නිත්‍යානුකුලව වැඩ කරන්න බැරි නිසා අනික් අයට දෙන පඩියට අඩුවෙන් තමා කොහොමත් ගෙවන්නේ. අනික බදු ගෙවන්නෙත් නැහැනේ

    ReplyDelete
    Replies
    1. මේ තර්කයේ සෑහෙන ඇත්තක් තියනවා. එහෙම බලකොට අහමඩ්, මම අකමැති අරාබීන් අතර හොඳ මහත්මයෙක්.

      Delete
    2. අජිත්, බස්සා මහත්තුරු දෙන්නටම ස්තුතියි,
      මමත් ඔයාලගේ අදහස්වලට එකඟයි.

      Delete
  4. මොන ප්‍රශ්ණ තිබ්බත් , ලමයි හින්දා ඒ ප්‍රශ්ණ හිතේ තියාගෙන විදවන දෙමව්පියන් තමයි මෑතක් වනතුරුම ලංකාවේ පවුල් වල තිබ්බෙ, දැන් නම් තරුණ පවුල් ඒවා ගැන හිතනවා අඩුද කියලත් හිතනවා. පිටරටක නම් දෙමව්පියන්ගෙ ප්‍රශ්ණ හින්දා අනාථ වෙන දරුවන් රැක බලා ගැනීමේ යාන්ත්‍රනයක් තියෙනවා. ලංකාවේ එහෙම නැති නිසා දෙමව්පියන්ගෙ රැකවරණය නැති තැන එතැන ලමයින්ට ලොකු හිස්තැනක් ඇති වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මයියා,
      දෙමවුපියන්ගේ වැරදි හැසිරීම් නිසා දරුවන්ගේ අනාගතය අවුල් වෙන හැටි පිළිබඳව තව ලියන්න තියෙනවා!

      Delete
  5. ඒ අතින් බලනකොට, අපි කොයිතරං හැල හැප්පිලි මැද ද හැදිලා තියෙන්නේ කියලා මතක් වුණා. ඒ උනාට දැන් දැන් වෙනකොට අපි ළමයිට "හප්" කියන්ඩත් දෙතුන් වරක් හිතනව, මෙවුන් ලොකු වෙලා මොන විදිහෙ මිනිස්සු බවට පත් වෙයි ද කියලා.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, දරුවෝ මොන වගේ අය වේවිද කියලා හැම දෙමවුපියන්ම වද වෙනවා. ඔවුන් ළමයින්ට කොච්චර ආදරේ කළත්, අවවාද දුන්නත්, පාර පෙන්නුවත් සමහර ළමයි වැරදි පාරවලත් යනවා- කාගෙ අවාසනාවටද මංදා.

      Delete
  6. ළඟින් හිටිය අහමඩ්ගේ ඉඩම වෙත ගොසින්
    සැනින් නොවේ දින ගනනක් පිච්චි හිරි රැසින්
    මලින් පිරෙන ගස් සිටුවා සුවඳ දස දෙසින්
    හොඳින් හමයි ඒ මතකය වැඩෙයි රස රැසින්....

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. වෙහෙස වෙවී පුබුදා අරුමැසි මතක
      ලියන පෝස්ටුව කියවාලා හනික
      comments කොටන දුමිඳුනි හිතවත් රසික
      ඔබට තුති! පිදෙන රස කවියකි මේක

      Delete
  7. මා දැඩි දරදඬු පියෙකි; දරුවන්ට බොහෝ සේ ලෙන්ගතු!

    ReplyDelete
    Replies
    1. මාත් දැඩි දරදඬු වැඩහිටියෙකි; දරුවන්ට බොහෝ සේ ලෙන්ගතු!

      Delete
  8. එකම පවුලේ අයට, ආච්චි කරපු වෙනස්කම් ගැන පුදුම හිතුනා.

    ReplyDelete
    Replies
    1. එහෙම වුනේ නං බස්සා මහත්තයෝ, ආච්චිලා දුප්පත් නිසා හා ආදරේ වැඩිකම නිසා.
      ආච්චිල ගොඩක් අමාරුවෙන් හම්බ කරමින් සල්ලි ඉතිරි කරමින් රුපියල් 6,000/කට අපේ මහගෙදර තිබුණු ඉඩම නොගත්ත නං අපිට වැටිලා ඉන්න තැනක් නැතිව යනවනේ.

      Delete
  9. කොහොමින් උනත් නිදි ලොක්ක ඇතුලු පිරිවර හොඳ මට්ටමකින් සහෝදරකම් ආරස්සා කරගෙන ඉන්න එකට... මගෙ හද පිරි මෙව්ව එක 🙏!

    ReplyDelete
    Replies
    1. තාත්තා වැරදි කරල අම්මත් එ වාගෙ කියල හිතනව. යසයි! හොරා, අනික් අය හැමෝම හොරැ ගානට දැම්ම වාගෙ.

      Delete
    2. ස්තුතියි නමී.
      අපේ නංගිලා, මල්ලිලා සේරම එක්ක එක රෑනට- එකට අගහිඟකම්වලට මුහුණ දුන් නිසාද කොහෙද අපි අතරේ බැඳීම වැඩියි.. අනෙක අපේ තාත්ත නිතරෝම අපට ඉගැන්නුවෙත් සමඟියෙන් එක පොකුරට ඉන්න කියලයි.
      "එතකොට තමයි උඹලගෙන් කෙනෙක් මිනියක් මැරුවත් හංගන්න තැනක් නැත්තං ඒක කාල හරි ඉවරයක් කරන්න හැකි." කියලයි තාත්තා නිතරම කිව්වේ.
      අපේ අම්මාගේ තත්ත්වය ඉතාම අසාධ්‍ය නිසා පෙරේද හවස දීපාල් සමන්ති දෙන්නා ලංකාවට ආවා- හදිසියෙන්ම. ඊයේ උදේ සුනිලුත් ආවා. ඉතින් ඊයේ රෑ අපි හතරදෙනයි, ගාමිණීයි නෙවිලුයි මානිලා ගෙදරදී සෑහෙන්න පරණ රෙදි හේදුව... සහෝදරකම් මතු කරමින්...

      Delete
    3. //ඊයේ උදේ සුනිලුත් ආවා//
      ඔන්න ආයෙ පැටලෙනවා. මේ සුනිල් නේද මල්ලිකාව බැන්දෙ? එතකොට , නිදිත් එක්ක ලන්ඩන් ගියෙ. එයා එහෙ නැවතුනාද?

      Delete
    4. බස්සා මහත්තයෝ, මගෙත් එක්ක ලන්ඩන් ගියේ අනිල්. අපේ පවුලේ හතර වෙනියා.
      මේ පොස්ට්ස්වල ලියවෙන දේවල් වෙද්දී අනිල් මල්ලිට අවුරදු දෙකක් විතර.
      අනිල් මල්ලීත් 2019 අවුරුද්දේ මියගියා පිළිකා රෝගයට ගොදුරුවී.
      http://nidigepanchathanthare.blogspot.com/2019/06/blog-post.html

      Delete
  10. රසවත් ලිපියකි නිමල් ලියා ඇත්තේ
    ග්‍රැපයිට් ලපයා කෙබර අදිමින් ඇත්තේ
    තට්ට මංජුවා ලපයට කඩේ යන්නේ
    අජිත් ධර්මා මතු බුදු වන්නේ

    ReplyDelete
    Replies
    1. ඇනෝ මහත්තයෝ, ඔයාගේ comment එක කියවද්දී හිතට ආවේ ප්‍රශ්නයක්. ඒක ඇහුවට තරහ ගන්න එපා.
      මෙහෙම comment එකක් දාපුවාම ඔයාට සතුටක් දැනෙනවද?

      Delete
  11. "අජිත් මල්ලී ගැන මා ලියා ඇත්තේ ඉතා අඩුවෙනි". නිමල්ගෙ අජිත් මල්ලි ගැන මුකුත් ලියවිලාම නෑ නේද කියලා මම හිත හිතා හිටියෙ. නමුත් ඕප දූප නිසා ඇහුවෙ නෑ.

    “එයා ගැන කියනවා නම්- කියන්නට වෙන්නේ අජිත් මෙලොවට ඇවිත් තියෙන්නේ ‘පෙර කළ අකුසලයකට වන්දි ගෙවන්නට වගේය’ කියලාය“. සමහර විට අනිත් අයටත්, එයාටත් මොනවා හරි ඉගෙන ගන්න දෙයක් ඒ අත්දැකීම් හරහා දුන්නද දන්නෙ නෑනෙ.

    ReplyDelete
  12. ඔයා හරි. හැබැයි බාගේටයි-Lotus.
    ආච්චිලගේ ගෙදරටම සින්න වුණු අජිත් අපේ ගෙදර වැඩවලට සම්බන්ධ වුනේ හරිම අඩුවෙන්.
    සැවුලු සංහාරය පොස්ට් එකේදී තමයි අජිත් ගැන වැඩියෙන්ම ලියැවුණේ.
    http://nidigepanchathanthare.blogspot.com/2019/01/blog-post_6.html
    ඒත් එයා ගැන වැඩියෙන් නොලියවුණු හේතුවත් මේ දවස්වල ලියවෙමින් තියෙන්නේ.

    ReplyDelete