අකුරු මැකී නෑ

Thursday, February 8, 2024

ප්‍රෝඩාරාමය - දෙවෙනි කොටස

කේන්තියෙන් පරල වෙලා හිටිය මගේ මෝඩ අහංකාරකමත් එතකොට දොඩමලු වුණා.

“දැන් එතකොට මමනේ වැරදිකාරයා. හරි! අම්මා යන්න. හැබැයි, හොඳට මතක තියා ගන්න. මීට පස්සේ එක දවසක්වත් අම්මයි, මමයි හවුලේ මේ ගෙදර ඉන්නෑ. එහෙම කිව්වම අම්ම බය වෙන්න එපා. අම්මට ඕනි දවසක, ඕනි කාලයක් මේ ගෙදර ඉන්න පුළුවනි. ඒ විත්තිය මට කියලා දවස් තුනක් ඇතුළත මම මේ ගෙදරම අම්මට බාර දෙනවා, මහ පාරට බැහැලා හරි.”

කාගේවත් දෙයක් කඩා-වඩා නොගන්නා පුරුද්ද. ඒකත්...

ඒ කීම මා වෙනස් කළේම නැත.

අම්මා නම් ඒ කතාවල් අමතක කළ විත්තිය පෙන්වමින්- ආයෙමත් අපේ ගෙදරට එන්නට හැදුවාය. “මම එදාම අම්මට කිව්වනේ. එන්න... ඉන්න... අම්මා එනකොට මම යනවා...”

මං වහන්සේගේ ඒ අනම්‍ය ප්‍රතිපත්තියටයි, අපේ අම්මා අර විදිහට ඇනුම් පදයක් කිව්වේ.

අම්මයි මායි අතරේ ඔය විදිහේ හැල-හැප්පිලි; වාද-විවාද; රණ්ඩු-දබර නිත්ත-නිරන්තරෙන් සිද්ද වුණා තමයි. ඒත් අපේ අතරේ තිබ්බ (පොඩි හරි) මව්-පුතු බැඳීම ඒ විදිහටම රැකුණා. විශේෂයෙන්ම මගේ ගැන අම්මගෙ හිතේ තිබ්බ විශ්වාසෙ! අම්මගෙන්ම මට පුරුදු වෙච්ච ඉතිරි කිරීමේ පුරුද්ද ගැන එයා හරි සතුටෙන් හිටියේ.
අනෙක කාගේවත් දෙයක් කඩා-වඩා නොගන්නා පුරුද්ද. ඒකත් අපි දෙන්නටම පොදුයි. (ඒ පුරුදු, අපේ අනිත් නංගිලා මල්ලිලා ගොඩ දෙනෙකුටත් එකේක මට්ටමින්; සෑහෙන්න හොඳ මට්ටම්වලින් පිහිටලා තිබුණු විත්තියත් ආඩම්බරෙන් කියන්න වෙනවා- හොඳේ!)

“මටයි කියල තැනක් ලංකාවෙත් තිබුණොත් හොඳයිනෙ. එතකොට කාගේවත් ආඩම්බර නොබලා මට ඕනි විදිහට එතන වැටිලා ඉන්න පුළුවන්නේ” කෝන්තරයක් පිරිමහමින් අම්මා හින්ට් එකක් ගැහුවත්, මං ඒ කතාවට විරුද්ධ වෙන්න ගියෙ නෑ.

හරි හෝ වේවා, වැරදි හෝ වේවා- අපේ අදහස්වලට විරුද්ධව වුණත් වෙනස් මත දරන්න අනෙක් අයටත් අයිතියක් තියෙනවනේ- අපට වගෙම.

ඒක නෙවෙයි. නිදිගෙ පංච තන්තරේ කියවන හිතාදර පාඨක තමුන්නාන්සෙලට දැනිල තියෙනවද මං මේ posts ලියාගන්න දරන වෙහෙස ගැන හෙම. කවුරුන්වත් මට විරුද්ධව නඩු දානවට බයේ නෙවෙයි, මම එහෙම වෙහෙසෙන්නේ. මගේම හෘදය සාක්ෂියට එකඟව; කාටවත් අසාධාරණයක් නොවෙන විදිහට ඇත්තම ඇත්ත සටහන් කරලා තියන්න මට උවමනා කරන නිසායි!

මේ කතන්දරෙදී මං දන්නේ බොහොම ටිකයි. වැඩිම හරිය දන්නෙත්- වෙච්චි දේවල්වලට මැදිහත් වුණෙත් අපේ ලොකු මල්ලී; සුනිල් ගෝඨාභය උන්නැහෙයි- සුනිල්ගේ ආදරණීය ප්‍රියම්බිකාව මල්ලිකාවනුයි තමයි.

ඒ නිසා පළමුවෙනි කොටස publish කළාට පස්සේ 2024 පෙබරවාරි 4 උදේ මම සුනිල්ට කතා කළා. කතා කරලා විස්තර ඇහුවා. හොඳ වෙලාවට එහෙම කළේ.
තව ඩිංගෙන් හරි ජංජාලයයි වෙන්නේ. මේ කතන්දරේ පළමුවෙනි කොටසෙදී මගෙ අතින් වැරද්දක් වෙලා. මම ලිව්වේ “අයියේ... අපි ඉඩම් කෑලි දෙකකටම ඇඩ්වාන්ස් ගෙව්වා. මාර ලස්සනයි අයියේ. කඳු ගැටයක් මුඳුනේ...’ කියලනෙ. සුනිල්ලා ඉඩම් කෑලි දෙකකට නෙවෙයි, හතරකටම සල්ලි ගෙව්වලු!

 ‘මහ පොළොව මගේ’ය සිතමින් ඉඩම් කඩම් උදෙසා පොරකන්නවුන් දෙස බලා මහ පොළොව සිනාසෙයි;

“සුනිල්ට මතකද ගෙව්ව ගණන් හිලවු එහෙම?”
“අනේ නෑ අයියේ.” කියලා අපේ සුනිල් ඉඩමේ විස්තරේ කියාගෙන ගියා.

හොරණ ඉඩමේ විත්තිය අපේ සුනිල් අම්මට කිව්වම තමයි තව දිග කතාබහක් සිද්ද වෙලා තියෙන්නේ.

සුනිලා මට ඒ විස්තර කියද්දී සමහර තැන් අඩුවෙන් එළිදරව් කළා කියලයි, මට හිතුණේ. මොන දේ වුණත් එයාලා මගේ හිත රිද්දන්න කැමති නැහැනෙ- ඉතිං සමහර දේවල් වසංගනවා. මේකත් ඒ වගේ තැනක් වෙන්ඩම ඕනි...
“... මීට පස්සේ එක දවසක්වත් අම්මයි
, මමයි හවුලේ මේ ගෙදර ඉන්නෑ.” කියල මං ගත්තු දරදඬු තීරණේ අපේ අම්මට හොඳටම වැදිලා පාටයි.

“ඒ දවස්වල අම්මට තදින්ම හිතිල තිබ්බේ එයාගෙම කියල තැනක් හදා ගන්න. එතකොට කාගේවත් ආඩම්බර බලන්න ඕනි නෑ කියලයි අම්මා තිස්සෙම කිය-කියා උන්නේ. ඒ වෙලාවකදී තමයි අයියේ, හොරණ ඉඩම් ගැන අපෙන් කියැවුණේ. එතකොට තමයි අම්මටත් ඒ ඉඩමක් ගන්න ඕනි වුණේ. ගෙයක් හදන්න. දන්නවනේ, අම්මා ඒ වැඩේට හරි  ආසයිනේ එදා හිටම.

-ඉතිං ඉඩමුත් එකක් නෙවෙයි, අයියේ...
අම්මට ඉඩම් කට්ටි හතරක්ම ඕනි වුණා. එතකොට පර්චස් අසූවක්.
ඒ වෙද්දී තැනින් තැන ගොඩක් ඉඩම් කෑලි විකිණිලා තිබ්බේ. එකම තැනකින් එච්චර ගන්න නොතිබ්බ නිසා අපේ lots හතර අම්මට පැවරුවා. ඒ කරලා තමයි, අපි ඒ ඉඩම්වලට ඉස්සරහින්; පාරෙන් එහා පැත්තේ තියෙන ඉඩම් කට්ටි දෙකක් ගත්තේ.” සුනිල් කිව්වේය.

හතර හිනාව ගැන නොදන්නාකම නිසාමය, අපේ අම්මාට ඒ ‘තෘෂ්ණාව’ ඇති වෙන්නට ඇත්තේ.

    “අර්ථා හසස්න්‍යුචීත දාන විහීත ලුබ්ධං -
    මෘත්‍යුර්හ සත්‍ය වනිපං රණ රංගසීරුම් -
    භුම්මෙයා හසන්ති මම භූමරිතිබ්‍රැවාණම් -
    දාරා හසන්ති තනයානු පලාල යන්තං

කියලයි ඒ හතර හිනාව මොකක්ද කියන බණේ, සොලෝකෙන් කියන්නේ. මම මේ ශ්ලෝකයයි, ඒ ගැන විස්තරයි ‘දිසානායකලගෙ
ටිකිරි මොළේ - 2’ කොටසේදී ලිව්වා. සොලෝකයේ තේරුම විතරකුත් එතනින්ම අරගෙන මෙතෙනට ඔබන්නංකො...

දන් පින් නොකරන මසුරා දෙස බලා ධනය සිනාසෙයි;
යුද බියට බිය වී මුළු ගැන්වෙන රජු දෙස බලා මරුවා සිනාසෙයි

මහ පොළොව මගේය සිතමින් ඉඩම් කඩම් උදෙසා පොරකන්නවුන් දෙස බලා මහ පොළොව සිනාසෙයි
හොර සැමියකු නිසා ලත් දරුවා නියම ස්වාමියා සුරතල් කරන විට ස්ත්‍රිය සිනාසෙයි.


මේ බිත්තියම කඩලා උළුවස්ස වෙනස් කළාම හරි යයි කියලා ගුරුන්නාන්සේ කෙනෙක්...

ඔයාලම දන්නවනෙ, අපේ අම්මා නං ඔය වැඩි අටම්පහුරු නොදන්නා; ඒ නිසාම එව්වා එච්චර මායිම් කළේ නැති ඇත්තියක්නෙ. උන්දෑ පත්තරයක් අතට ගත්තත් කියෙව්වේ ‘ලග්න පලාපල’ විස්තරේ විතරමයි නෙව!

ඉතිං අපේ මෑණියන්දෑත් ‘හොරණ නගරයට නුදුරු මනස්කාන්ත කඳුකර පෙදෙසක පිහිටි දර්ශනීය ඉඩමක’ හිමිකාරිනියක් වුණා. (එතැන තිබුණු ලොකු කැලෑ ඉඩමක් පර්චස් විස්සේ lotsවලට කඩලා, කට්ටි කට්ටි විකුණලා තියෙන්නේ ගංගානි ලෑන්ඩ් සේල් එකෙන්.)

ඉඩම ගත්තත්, ඊට පස්සේ ඒ ගැන ඔජ වඩනකොටනේ හිතේ සතුට උතුරල යන්නෙ. අම්මා තව කී දෙනෙකුට ඒ විත්තිය කිව්වද මන්දා. මටත් කිව්වා.
“දන්නවද රංජි, මම ඉඩමක් ගත්ත හොරණින්. මං ඒකේ ගෙයක් හදන්නයි යන්නෙ... එතකොට මගේ පාඩුවේ ඒකෙ වැටිලා හිටියැකි    බඩගින්නේ හරි...”

“අම්මට විතරක් නෙවෙයි, කාට වුණත් තමන්ගෙ පාඩුවේ වැටිලා ඉන්න තැනක් තියෙන එක නං හොඳයි. හැබැයි අම්මේ... හොරණ කියන්නේ කොළඹ නෙවෙයි. දන්නවනේ. මෙහෙ ඉඳලත් පැයක විතර දුර. එච්චර දුරක තනියම...”
“මට මොන තනියක්ද? සුනිල්ලත් එතැනම ගෙයක් හදාගෙන එහාට එන්නයි ලැහැස්තිය... ඒකනෙ එයාලත් එහෙන් ඉඩම් ගත්තේ.”
“හොරණට යන්න? එතකොට ඒ මොට්ටයන්ගෙ පුතාලා දෙන්නා... රජිතුයි, ජයශංඛයි. එයාලා ඉස්කෝලෙ යන්නෙ කොහාටද?” මං ඇහුවා.

ඒ දරුවන් දෙන්නා එතකොට පාසල් යමින් හිටියේ; පිළියන්දලම ඉස්කෝලෙකටය...

“එතකොට බෝකුන්දර ගෙදර...”
“සුනිල්ල ඒක කුලියට දෙයි- එක්කෝ විකුණයි...”
“එච්චර දේවලුත් හිතල බලල ඉවරයි නං මට මොකෝ.” මං කට පියා ගත්තා.

Foot බයිසිකල්වලින් රට පුරාම සවාරි යද්දී, ජීවන සවාරියත් එකටම යන්නට හිතා ගෙන- එක වහලයක් යට කූඩු වුණත් සුනිල්- මල්ලිකා දෙන්නා රණ්ඩු දබරත් කර ගත්තෝය.
ඒ දෙන්නාම හිතුවේ එහෙම වෙන්නේ වාස්තු විද්‍යා දෝෂ හින්දා කියලය.
“මේ ගෙදර මේ උළුවස්ස තියලා තියෙන තැන හින්දලු අපි අතරේ රණ්ඩු කෙරෙන්නේ. මේ බිත්තියම කඩලා උළුවස්ස වෙනස් කළාම හරි යයි කියලා ගුරුන්නාන්සේ කෙනෙක්ම ඇවිත් බලල කිව්වා.” ඒ දෙන්නාගෙන්ම සැරෙන්- සැරේ කියැවුණත් එක්කය.

අන්තිමේදී ගෙයි හරි මැද්දෙම තිබුණු බිත්තියක් කඩා දාලා, උළුවස්සත් වෙනස් කෙරුණා. සුනිල්ලා බලා හිටියේ ‘හරි තමයි’ කියාගෙන.
මොන? ඒත් අර දෝෂය විතැන් වෙලාවත්; නැති භංග වෙලාවත් තිබ්බේ නෑ කියමුකෝ...
ඒ මඟුල්වලට නිරපරාදේ වියදම් කරපු සල්ලි නං නැති- නාස්ති වෙලා තිබ්බා.

ඒ කිට්ටුව ලොකු දොළ පාරකුත් තියෙනවා!

ඉතිං මට හිතුණේ මේ යක්කු දෙන්නා දෝෂ තියෙන ඒ ගෙදරම අත්හැර දමලා අලුත් ගෙදරක් හදා ගන්න යනවයි කියලා. ඒකයි මං කට පියා ගත්තේ. මොකද අපේ මව් යානය එක්ක කතාබහ කරන්න ඕනි හරිම පරිස්සමින්. දැලි පිහියෙන් කිරි කනවා වගේ.

මෙන්න ඒකට ලස්සන උදාහරණයක්: (නම්-ගම් විතරයි බොරු.)
“අර ශ්‍රියාගේ කට නං එච්චර හොඳ නෑ වගෙයි නේද?” දවසක් අපේ අම්මා කිව්වලු මාලනී එක්ක. මාලනී කළේ ඩිංගක් ඔළුව හෙලවිල්ල විතරයිලු. එදා හවස අම්මා ශ්‍රියාලගේ ගෙදරට ගියාලු, වෙනදා වගේම. එදා රෑ ශ්‍රියා අපේ අම්මට විශේෂ රසමසවුලකුත් ගෙනත් දුන්නලු.
පහුවදා උදේ මාලනී ශ්‍රියාලගේ ගෙදරට ගිහිං.
“බලන්නකො අනේ. ආන්ටි ලීලා ශ්‍රියා අක්කට කිව්වලු, මම එයාගේ කට හොඳ නැහැයි කිව්ව කියලා. මම නෙවෙයි, ආන්ටි ලීලාමයි එහෙම කිව්වේ...” අඬාගෙන ආව මාලනී පැමිණිල්ලක් කරලා. “ශ්‍රියා අක්ක මට හොඳටම බැන්නා. මට ආයි ඒ පැත්තට එන්නත් එපා කිව්වා. ඉහ් ඉහ් ඉහිහ්!”

එයින් පස්සෙයි, අපේ අම්මා අපි කාගේ ගෙදර හිටියත්- අසල්වැසි ගෙවල්වලට යාම එයාට තහනං කෙරුණේ. ඒ තහංචියටත් අම්මා කොහෙත්ම කැමති වුණේ නෑ.

සමහර වෙලාවට අම්මා හිතන්න ඇති ඒ තහංචිවලින් මිදෙන්න. තමන්ගේම ගෙදරක් හදාගෙන- එයාගේ තාලෙට ‘ගම අවුලඤ්ඤං’ සින්දුව එහෙමත් කියාගෙන පාඩුවේ ඉන්න...
ඒකයි එයා පර්චස් අසූවක්ම ගන්න ඇත්තේ.

“අයියල එන්නැද්ද ඒ පැත්තට බලලා යන්නවත්? නෙවිලත් එක්කම දවසක එන්නකො අයියේ.
යද්දී මානිලවත් දාගෙන යං... ඒ කිට්ටුව ලොකු දොළ පාරකුත් තියෙනවා- තඩි රබර් වතු යායක් මැද්දේ. දොළක් කිව්වට ලොකුයි- පීනලා නාන්න වුණත් ඉඩ තියෙනවා. ඔයාලා හැම ඉරිදාම වගේ මහබෙල්ලනට හරි දැරණියගලට හරි පීනන්න යන එකේ... මෙහෙටත් ගිහිං බලමු. ඊට වැඩිය ළඟත් එක්කනෙ.” සුනිල් අපට කොක්ක ගැහුවේ හරියටම නිලේ අල්ලලා.

සුරංගත්, රෝසිත් එතකොට පොඩි දරුවන්ය. හැම ඉරිදාටම එයාල බලාගෙන උන්නේ අපි එහාට එනකල්ය. එයාලා වගෙම තව දෙන්නෙකුත්... රෙක්සියි ෂැගීයි; ඒ එහෙ හිටිය බල්ලෝ දෙන්නා...

“පුදුම බල්ලො දෙන්නෙක් ලොකා මේ. නෙවිල් අයියගෙ කාර් එක මේ පාරට හරවනකොටම මුන් දෙන්නා කුලප්පු වෙනවා, රෝසිලටත් කලින්...” මානෙල් කියයි.

අපේ අම්මා කිව්වා ළඟදීම දවසක අලුත් දිහාවකට නාන්න යනවයි කියලා. ඉතිං කවද්ද...

“එහෙම වෙන්නේ සත්තුන්ට ලොකු ඉවක් තියෙන හින්දයි මානෙල්.”

“ඒකමත් නෙවෙයි නෙවිල් අයියේ. ඔයාලා උන්ට ආදරේ නිසා... සලකන නිසා... රෙක්සියා අපිටවත් ඌව නාවන්න නොදුන්නට, ලොකාට ඉඩ දෙන්නේ. ලොකා මෙහෙන් යනකල්ම එයා ඉන්නෙත් ලොකාගේ ළඟින්ම වාඩි වෙලානේ.”

“ඒ නං ඉතිං රෙක්සි රැවටිලා හින්දයි, මානෙල්.
ඔයාලගෙ ලොකාත් උගෙ නෑදෑයෙක් කියල හිතනව ඇති. නැත්තං ගිය ආත්මෙක සම්බන්ධයක් ඇති. මෙයාගේ ළඟත් තියෙන්නෙම බලු ගතිනෙ.” නෙවිල් කරන්නේ මාවත් කතාවට ඇද ගැනිල්ලය.

“ගිය ආත්මෙද? ගිය ආත්මේ තමුසෙ තමයි බලු අබරෙක් වෙලා ඉන්න ඇත්තේ... ඔව් මානි. ඒ කාලේ මෙයාගේ බයිසිකලෙන් යනකල්ම මං පණ බයේ හිටියේ. මේ යක්ෂයාට පාර අයිනේ ඉන්න බල්ලෙක් පේන්න බැහැනෙ. මෝටර් සයිකලේ උගේ ඇඟටම අල්ලනවා. ඌත් ඉතිං ඇවිස්සිලා තරහට කන්න පනිනකොට මෙයා කකුල් දෙක උස්ස ගන්නවා. පිටිපස්සෙන් වාඩි වෙලා යන මගේ කකුලක් තමයි ඌට අහු වුණොත් අහු වෙන්නේ...” මටත් කියවෙයි.

“අපරාදේ... සුරං. මෝටර් සයිකලේ විකුණලා කාර් එක ගන්නකල්ම මට බැරි වුණානෙ, ඔයාල ලොකු මාමගෙ කකුලක් හප්පවන්න.”

සුරංගත්, රෝසිත් දෙන්නාම හිනා කකා අපේ වාද-විවාද අහගෙන ඉන්නේ හරිම කැමැත්තෙන්. මැද්දට පැන්නත් පනින්නේ හරිම කලාතුරකින්.

“නෙවිල් මාමේ. අපේ අම්මා කිව්වා ළඟදීම දවසක අලුත් දිහාවකට නාන්න යනවයි කියලා. ඉතිං කවද්ද අපි යන්නේ?” සුරංග අහද්දී රෝසි නෙවිල්ගේ උකුලට පනියි. “කියන්නකෝ නෙවිල් මාමේ, කවදද යන්නෙ?”
“මේ බලනවකො මානෙල්. මේ මනුස්සයා විදිහටමනෙ මේ ළමයි දෙන්නත් හැදෙන්නේ. මාවම බිල්ලට ගන්නයි හදන්නේ...”

බොරු තරහකින් කියන නෙවිල්, ඊළඟට දිනයක් වෙන් කරයි.
“ලබන ඉරිදා යමු!”

“එහෙනං ලොකා, මම දවල්ට කන්න ගෙනියන්න මොනව හරි හදන්නම්. කුමුදු අයිය හරි මර්වින් අයියල හරි එනවා නං ඒකත් මට කියන්න. එතකොට එයාලටත් එක්කම...” මානෙල් කියන්නේ නිකම්ම නොවේ. ඒ දවස්වල කුමුදුලාලුත්, මර්විනුත් අපේ ඉරිදා ගමන්වලට එක්කාසු වෙන්නට පුරුදු වී හිටි නිසාය.

පළමුවෙනි වතාවෙම රබර් වත්තේ දොළ පහර අපේ බොක්කටම වැදුණා. ලොකු රබර් වතු යායක් මැද්දෙන්, ලොකු දුරක් ගලන හින්දා වෙන්නැති දොළ පාරේ වතුර ටික සීතලම සීතලයි; පැහැදිලියි; පිරිසිදුයි...
ගමේ කීප දෙනෙකුත් එතැනට නාන්න ඇවිත් හිටියා. ටිකක් වෙලා නාලා, තේ බොන්න ගත්ත අතරේ- අපි එයාලවත් එකතු කර ගත්තා. විස්තරත් අහගත්තා.

තමුන්ට තමන්ව හොයා ගන්න බැරි වුණහම; කෙනෙකුව හරියට නිශ්චය කර ගන්න බැරි වුණහම ඒකත් මංමුළා වීමක් නේද?

“කර්මාන්ත පුරේ හැදෙන්න කලින් නං මේ දොළවල්, වතුර පාරවල් මෙයිට වැඩිය සරුයි මහත්තයෝ! තවමත් අවුරුද්ද පුරාම මෙව්වයේ වතුර ගලනවා වුණාට, කාලෙකට බොහොම කේඩෑරියි. Body Line එක වගේ තව තව ඒවා හැදෙනකොට රබර් වතු කැපිලා යනවනේ... එතකොට දිය සීරාව නැතිව යනවා.” එදා ගම්මුන් කියපු කතන්දර තවමත් මගේ කන් දෙකේ දෝංකාර දෙනවා.

ඊට අවුරුදු පහ හයකට පස්සේ එතැනට ගියාම ආදරණීය මිල්ටන් මල්ලවාරච්චි ගායකයා මෙහෙම ගයනවා වගෙත් මට ඇහුණා.

‘ඇලේ වතුර නිල් කැටේට - දණ්ඩි කොරළි යන වටේට
කිමිදි කිමිදි පීනන්නට - දියබුං ගහලා
පුංචි පුතා එන්න කලින් - කළු දිය දහරා හැලිලා
ඇලට පාර අමතක වී - මංමුළා වෙලා’

ඔය අමතක වී මංමුළා වෙනවය කියන කාරණාව තියෙනවා නේද? මේ කතාවටත් ඒ වැඩේ හෙණට සම්බන්ධයි. එක පාරටම නං කල්පනා වෙන්නේ මංමුළා වෙන්නේ පාර හොයා ගන්න බැරි වෙලාවට කියලයි. තමුන්ට තමන්ව හොයා ගන්න බැරි වුණහම; කෙනෙකුව හරියට නිශ්චය කර ගන්න බැරි වුණහම ඒකත් මංමුළා වීමක් නේද?

“ඔය හොරණ වැඩේදි නං අයියේ මටත් වැරදුණා. මම හිතුවේ අම්මා කියන්නෙ ඇත්තම කියලයි. මේ බලලා මේ බලන ඩිංගට අම්මා වෙනස් වුණා අයියෙ.”

“ඒ මොකද සුනිල්, එහෙම කියන්නේ...”
“අම්මා මුලින්ම කිව්වේ එයාට වැටිලා ඉන්න ගෙයක් ඕනි කියලනේ. ඉඩම ගත්තට පස්සේ ඔන්න ඒ අදහස තව ටිකක් ලොකු වුණා. එයා කිව්වා- එයාට විතරක් නෙවෙයි, අපි අට දෙනාටත් ඕනි වෙලාවක ඇවිත් කාල- බීලා දවසක් දෙකක් වුණත් නැවතිලා ඉඳලා යන්න ඉඩ තියෙන විදිහේ ලොකු ගෙයක්ම හදමුයි කියල.”
“ඒ කිව්වේ කාමර අටක ගෙයක්..?”

අපේ සුනිල් හෙළිදරව් කරන්නේ මා මෙතෙක් නොදැන හුන් දේවල්ය!

“කාමර අටක් විතරක් තිබිලා ඇද්ද මනුස්සයෝ. එහෙම වුණොත් කෝ අම්මට තැනක්...
අම්මට ඕනියි කිව්වා උඩම තට්ටුව, රැජිනි වගේ ඉන්න. යට තට්ටු දෙකේ තමයි අපේ කාමර අට... ඊළඟට අම්මට මතක් වුණා බදුල්ලේ නෑදෑ පරම්පරාව. එයාලත් එයිනෙ, මම ගෙයක් හැදුවයි කිව්වම බලන්න. එතකොට සින්දුවක් කියලා- dance කරලා enjoy වෙන්න ලොකු සාලෙකුත් තියෙන විදිහට...” කියැවුණු විදිහට සුනිලා වැටී තියෙන්නේ සකල අමාරුවකටය!

මගේ කෝණයෙන් බලද්දී, ගොඩාරියක් වෙලාවට අපේ සුනිලුත් ගොං ගහකි...
එහෙම කිව්වේ මන්දැයි විස්තර ලියන්නේ තෙවෙනි කොටසේදීය....

40 comments:

  1. පළමුවෙනි කොමෙන්ටුව දානවද නැත්ද කියල විනාඩි පහක් විතර බලන් හිටිය. ඔය හොරණ හිටිය රත්නසිරි වික්‍රමනායක කියල පොරක්. බොඩි ලයින් එකෙන් පස්සේ මිනිහ ඉන්දියාවෙන්ම එලවපු ඉන්දියන් කොම්පැනි වගයක් හදන්න දුන්න එහෙ. උන් බඹ ගානක් යටට නළ ලින් ගහල ඒ පළාතේම ළිං වල වතුර අඩු වුනා. ඔය දොලෙත් වතුර අබස්ස්. ඊට පස්සේ ආපු කොම්පැනියක් ඊයම් සහිත අපද්‍රව්‍ය දොලට හරවල පල්ලහ නාන්න බහලු . ඇඟ කසන්වලු.

    ReplyDelete
    Replies
    1. ඔහෙට කියන්න ගමරාළහාමි. මටත් ඔය විචිකිච්චාවම ආවා. මම නං ලුහුටලා ගියේ, පාන්දරම සෙනඟ නැති වෙලාවෙ කඩේ යන්න ඕනෙ නිසා. අද අසාමාන්‍ය ලෙස උනුහුම් දවසක්,
      ගෙඩි පිටින් සැන්ටිග්‍රේඩ්ම 10ක් - ඩබල් ඩිජිට්.😊

      Delete
    2. ස්තුතියි අජිත්, බස්සා මහත්වරුන් දෙන්නාටම.
      අපි එහෙ දොලට ගිහිං නෑවේ තුන් හතර වතාවක් විතරයි. ඒ යන හැම වතාවකම දොළේ වතුර අඩු වෙමින් තිබ්බේ. අන්තිමට කුණු වතුර වලවල් ටිකක් විතරයි තිබ්බේ. ඊට පසේ අපි එහාට නාන්න නං ගියේ නෑ.

      ඒ දවස්වල ඔය කොම්පැනි කීපෙකටම නඩුත් දැම්මය කියලා පත්තරෙන් දැක්ක බවක් මට මතකයි.... ඒ නඩුත් බලවපු ගොඩට වැටෙන්න ඇති.......

      Delete
  2. ඇලට දොලට බහුතරයකට වෙච්ච සන්තෑසියක් තමා ඔය නිමල් අයිය කියල තියෙන්නෙ. දැං නං ඔය කියන සාවියෙ ගස් නහට්ටක් වත් නැතිව ඇති මහිතේ.

    හොරණ ගේ ඉතිං ලොකුවට හැදුවය..

    හොරන කියද්දිම මට මතක් වෙන්නෙ එක හාදයයි.. එකම හාදයයි..

    නිමල්ගෙ අයියට ගෙස් කරන්ට පුලුවන් වෙන්නත් ඕන හැබැයි පොතේ හැටියට නං 😏😏

    ReplyDelete
    Replies
    1. මහේෂ්, මේ පෙබරවාරි අටවෙනිදා හිතාදර සිරිබිරිස් උන්නැහේ නමීවයි මාවයි ඔය ගෙදර ගැන අලුත්ම තොරතුරු හොයන්න එක්කගෙන ගියා.
      ඊළඟ postsවලදී fotoසුත් එක්කම වැඩි විස්තර දෙන්නං.

      හොරණ කියපු ගමන්ම මම දන්නා අයගෙන් නම් මට මතක් වෙන්නේ D.B. කුරුප්පු මහත්තයා. ඊළඟට උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ.
      නොදන්න අයගෙන් සිහිපත් වෙන්නේ කරුණාසේන ජයලත් මහතා. උඩ comment එකකින් අජිත් මහත්තය කියල තියෙන කෙනාවයි, එයාගේ පුතාවයි තමා අන්තිමට මතක් වෙන්නේ...

      මහේෂ්, ඔයා කවුරු කියලද අනුමාන කළේ?

      Delete
    2. කේ.ජේ ඇරෙන්න තව කෙනෙක් ඉන්නවනේ. එයාගෙ පුතා චිත්‍රපට ඒමත් හදනව.
      ලංකාවෙ මම ආසම ලේඛකයා. 🙈🙈
      ජයසේන ජයකොඩි

      Delete
    3. හැබෑම නේන්නං!
      අස්වැන්නෙන් නේද ගමන පටන් ගත්තේ... එහෙම නං ආබුව මතක ඇතිනෙ තවමත්.

      Delete
  3. පර්චස් 80ක් ඉඩමක් කියන්නේ ඕවාගේ වල් වැවුනම සුද්ද කරන්න ගියාම එපා වෙනවා..නඩත්තු කටයුතු ටික කර ගන්න නම් තනි අයෙකුට අමාරු වැඩක්..
    ඒත් හොරණ පැත්තේ ඔය ටික කර ගන්න මිනිස්සු නම් ඉන්නවා...දැන් නැතිඋනත් ඒ දවස් වල නම් අමාරුවක් නෑ...

    අනිත් එක කාමර 8 ක ගෙයක් කියන්නේ විශාල ගෙයක්.. අතුපතු ගාලා සුද්ද කරන එක ලේසී වැඩක් නෙමේ..

    ලංකාවේ අපි තට්ටු 2 -3 ට ගෙවල් හදා ගන්නවා...අන්තිමට උඩ නගින්න තියෙන කම්මැලි කමට යට තට්ටුවේ ගාල් වෙනවා...සුද්ද කරන්නවත් උඩට යන්නේ නැ...තවත් විටක ලමයින්ටත් ඉන්න කියලා ගෙවල් හදනවා..ලමයි ලොකු උනාම ඒ ගෙවල් දාලා යනවා..දේන්නා දෙමහල්ලො ලොකු ගෙදරක තනිවෙලා සුද්ද පවිත්‍ර කරගන්න ත් බැරි වෙනවා.. බොරු සෝබනයට ලොකු ගෙවල් හදා ගන්නේ නැතුව තමන්ගේ අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමානයට ගෙයක් හදා ගන්න අපේ කට්ටියට කවදා පුරුදු වෙයිද මන්දා...ඒ අතින් සුද්දො...අපේ තරම් බදා ගැනිල්ලක් නෑ....උන් එදිනෙදා ජීවීතය විදලා අත්හැරලා මැරිලා යනවා...අපි මැරෙන මොහොතෙත් බදා ගෙන දුක් විදිනව..

    ReplyDelete
    Replies
    1. මම දැක්කා ලස්සන කියමනක්:
      මිනිස්සු ජීවිතෙන් බාගයක් වස්තුව එකතු කරනවාය. ඉතිරි බාගෙ ඒ පොදි ගහ ගත්ත ඒවා බැහැර කරන්න වලිකනවාය කියලා. සමහර දරුවො දෙමව්පියන්ගෙ ගෙචල්වලට/බඩු වලට අත තියන්නෙවත් නෑ, කම්පැනි වලට බාරදෙනවා සුද්ද කරවගන්න.

      Delete
    2. අම්මපා ඇත්ත මය්යෝ, බකුසුතුමෝ.
      මම දැන් ඉන්න ගෙදර හදද්දී 1990 විතර හිතුවේ නෑ මං වයසට යයි කියල- ලෙඩ වෙයි කියලා. දැන් තේරෙන කල්පනාවෙන දේවල් ඒ කාලෙම හිතුණා නං!!!!!!!

      ඔයාලා දෙන්නා මේ කමෙන්ටුවලින් කියල තියෙන්නේ පොතකින් කියන්න තරං බණක්...

      Delete
  4. Perth Paradise ලඟද?
    ඒක හුඟක් ලොකුවට ප්‍රසිද්ධකරල පටන් ගත්තෙ (pools, club house, commercial areas etc). මගදි නැවතුනා. ගෙවල් හදල තියෙන්නෙ බොහොම අඩුවෙන්, . ඒ නිසා ඉන්න අයට congested ගතියක් නම් නෑ

    https://www.sundaytimes.lk/130203/business-times/perth-paradise-sri-lankas-much-hyped-mega-township-project-in-horana-becomes-a-daydream-30654.html

    ReplyDelete
    Replies
    1. පර්ත් පැරඩයිස් එකට එහා Pra Jay මහත්තයෝ. බොරලුගොඩ. මාපුටුගල රක්ෂිතයට කිට්ටුව.

      Delete
    2. අම්මට සිරි, අර මාපුටුගල ඉස්කෝලේ ගාව තියෙන මාළිගාව ඔයාගේද

      Delete
    3. ඔය පර්ත් පැරඩයිස් එකේ මටත් ඉඩමක් තිබ්බ. වැඩිපුරම ගත්තේ බිරින්දෑ ගේ වුවමනාවට. ඉන්දියන් කොම්පැනිය පොරොන්දුවෙලා තිබ්බ ස්විමින් පූල් එකක්, ජිම්, සුපර්මාකට් කොම්ප්ලෙක්ස් , සිනෙමා හෙම හදනව. කියල පට්ට බ්‍රෝචර් එකකුත් තිබ්බ. තවම තියනවා මං ළඟ. පස්සේ දැනගත්තේ - ලංකාවේ ඉඩම BOI එක හරහා ඉනිද්යන් සමාගමට දීල අර කියන දෙසපාලුව උගේ කට්ට අරගෙන. ඉතින් ලංකාවේ මිනිස්සු සහ අපි වගේ අය ඒ කට්ටි තමන්ගේ රටේ ඉඩම් ඉන්දියන් කාරයන් ගෙන් ගත්ත. අන්තිමට බලනකොට උන්ට සල්ලි නැහැ. අපි උන්ගෙන්ම ප්ලෑන් එකට උන්ට ගෙවල ගෙවල් හදනව නම් ලංකාවේ ආණ්ඩුව ණය දෙනවනම් තමයි උන් අරව හදන්න හිතාගෙන ඉඳල තියෙන්නේ. අවුරුදු 10-15 ඉඳල උන් ගියා යන්න.

      Delete
    4. අජිත් මහත්තයෝ, මාපුටුගල ස්කෝලයක් ගැන නං
      මම විස්තර දන්නෙ නෑ. ඉඩම් කට්ටි කරලා වික්කේ ගංගානි ලෑන්ඩ් සේල් එකෙන්. එතැනට දාලා තිබ්බ නම 'නිසලගිරි උයන'!

      Delete
    5. ඔයාට සිද්ද වුණු ජාතියේ තව කොච්චර මංකොල්ල සිද්ද වෙනව ඇතිද අජිත්, ආණ්ඩුවේ ලොක්කන්ගේත් උදව් ඇතිව?

      Delete
  5. බොහොම රසවත් ලිපියක් නිදී. ඒ වගේම වැදගත් අත්දැකීම්/ බොරු වලවල් රාසියක් ගැන විස්තර තියනවා. ආය එන්නං

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා.
      මමත් දවස් තුනක trip එකක් ගිහිං ආවා විතරයි මේ. නාලා කොම්පියුටරේ ළඟට ආවා.

      Delete
    2. උත්තර දෙන්න පරක්කු වෙනකොට මට හිතුනා. පෝස්ට් එකක් ලියන්න ඇහැකි ට්‍රිප් එකක්ද?🤔

      Delete
    3. ත්‍රිකුණාමලේ ගියේ. තිරියාය ගිරිහඩු සෑය වැඳලා කරලා අරිසිමලේ වෙරලටත් ගිහිං ආවා.
      ත්රික්නාමල කොටුව ඇතුළේ නාවික හමුදාවේ 'ඇටිපොල බංගලාවේ' හිටියේ. අති සුන්දර තැනක ...
      මේ අවුරුද්දේ දැනටම සංචාර තුනක් යැවුනා. විස්තර සටහන් තියාගෙන ඉන්නේ. ඉස්සර ගිය විස්තරත් එකතු කරලා පස්සේ තමයි ලියන්න වෙන්නේ, බස්සා මහත්තයෝ.

      Delete
  6. සංවර්ධනය, කාර්මික කරනය කියකියා ඇලදොල, ගංගා, රක්ෂිත, කැලෑ පාලු කරා විතරද මන්ද අපි. ගහපු පදේකුත් නැ. බෙරේ පලුවකුත් නැ.
    ඒ අස්සෙ ජාලෙන් සමහ රටවල නවීකරණය වෙච්ච නගරවලත් සොබා සෞන්දර්ය හරි අපූරැවට ආරක්ෂා කරගෙන ඉදිරියට යන හැටි දැක්කම වාවන්නෙ නැ හිත

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කතාවේ ඇත්තකුත් තියෙනවා තමයි නමී. නමුත් කොමිස් ගහ ගන්න හරි දැන් දැන් පරිසර අලංකරණ- රකින වැඩත් ටිකක් හරි කෙරෙනවා නේද?

      Delete
  7. අම්මගෙ තන්හාව ගැන කිව්වට නේක
    හූනන් පවා දන්නා රහසකි මේක
    පරණ පත්තර ලියලා දුන් දාක
    මී වයිරය නැට්ටට වැඩි වූ සේක

    -හෝම්ලස් කොස් ඇට මීයෙක් -

    ReplyDelete
    Replies
    1. පෘතග්ජන මමත් නැත තව රහත් වෙලා
      කෙළෙසුන් වුණත් තව තියෙනව ඉතිරි වෙලා
      මෝහ- මාන වගෙ එව්වත් මතු වීලා
      ආවම දන්න බණ යනවා වල් වැදිලා

      මීයො වේයො කැරපොත්තන් ගොලුබෙල්ලන්
      මළ පන්නනවා ඉඳහිට පිටි මකුණන්
      ඒ කරදර ඉවසන්නේ බෝසත්තුන්
      මට බැහැ එහෙම වෙන්නට- මට දුරයි නිවන්!

      Delete
    2. පරණ පත්තර එකතුව අපි කීතු කලා
      එහෙම කලේ නිදියා ගැන දුක හිතිලා
      හක්කෙ දතුත් ගෙව්නා ඒවා හපලා
      ඒත් අපිව ගෙදරින් පැන්නුව ගහලා

      Delete
    3. මූසිකයන්ට සතුරුලු ඉස්සර බස්සන්
      මේ උන්නැහෙල වාගෙයි උන්ගේ මිතුරන්
      බැලුවම පුදුමෙකුත් නෑ නෙව එක අතකින්
      රනිලුත් ඉන්නෙ රාජපක්ෂලා රකිමින්!

      Delete
  8. වරදක් නෑ, වයසට යනකොට ඩවුන් සයිස් කරලා ඉතිරි සල්ලි ටික බැන්කුවේ දාන්න පුළුවන්නේ කියලා හිතන්න ඇති
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. චුට්ටක් ඉන්නකෝ විජේබාහු මහත්තයෝ... අම්මා හිතු පැතූ දේවලුත්, වෙච්චි දේවලුත් ඉක්මනටම කියනවා. හොඳේ.

      Delete
  9. අට දෙනාම එක වෙලාවේ අවොත් තමයි කාමර 8 ක් ඕන වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙමනේ ඉයන් මහත්තයෝ අම්මා බලාපොරොත්තු වුනේ.

      Delete
  10. හප්පට සිරි පත ගෙයක් හදන්න වෙයි වගේ......

    ReplyDelete
    Replies
    1. පත ගෙයක් නේන්නං ලලිත්. අපිට කාමර අටයි. අම්මට උඩම තට්ටුවයි. ඔක්කොම තට්ටු තුනේ මාලිගාවක්.........

      Delete
  11. you hardly ever mention Deepani or write about her. any reason why?

    ReplyDelete
    Replies
    1. උත්තර දෙන්න වෙලාව ගතවෙනවා වුණත්, ඔබතුමා අසා තියෙන ප්‍රශ්නයෙන් පෙනෙන්නේ උනන්දුවෙන් මගේ posts කියවන බවයි. ඒ ගැන ඉතාම ස්තුතියි.

      Delete
    2. මහත්තයෝ, මට හිතෙන්නේ ඔබතුමාට සමහර posts මඟ හැරෙන්න ඇති කියලයි. දීපානි නංගි තමයි මගේ ෆෙවරිට්ම නංගි. 2022 අගෝස්තු මාසයේදී මං ඒ බව ලිව්වේ මෙහෙමය.
      ‘(මේ ටික අදාළ වෙන්නේ අපේ පවුලේ කෙනෙකු මේවා කියවනවා නම් විතරය. තව දුරටත් හංගාගෙන ඉඳලා තේරුමක් නැත. අපේ සොහොයුරු සොහොයුරියන්ගෙන් මගෙ favourite එක්කෙනා දීපානිය. ඊළඟට බඩා මල්ලා; දීපාල්ය. මං වඩාත්ම අගය කරන්නේ සමන්ති නංගිවය. මගෙන් වැඩිපුරම සැලකිලි ලබන්නේ මානෙල් නංගිය.)’
      https://nidigepanchathanthare.blogspot.com/2022/09/blog-post_16.html
      ෆෙවරිට්ම වුණත් අදාළ නැති තැන්වලදී චූටි නංගි ගැනවත් මගෙන් ලියවෙන්නේ නැත. මට මතක හැටියට නම් මේ blog අඩවියට මෙතෙක් අපේ පවුලේ අයගෙන් වැඩිම ෆොටෝස් යෙදී තිබෙන්නේ දීපානිලගේ වගෙය!
      අනෙක් අතින් චූටියා ඉපදෙනකොට මට වයස අවුරුදු 19කි. ඒ නිසා අපි දෙන්නා අතරය පරතරය වැඩියෙන්ම තියෙන්නෙත්. මගේ ජීවිතයේ බොහෝ දේවල් සිදු වෙන අවදියේ දීපානි ඉපදිලාත් නැති නිසා එයා ගැන අඩුවෙන් ලියවෙනවාත් ඇති. ඒත් මේ යොදා තිබෙන linksවලට ගිහිං කියෙව්වොත් පෙනේවි මට බොහෝ දේ මඟ හැරී නැති විත්තියත්. මේ links ටිකක් විතරයි, හොඳේ.

      https://nidigepanchathanthare.blogspot.com/2018/05/blog-post_3.html
      http://nidigepanchathanthare.blogspot.com/2020/03/not-vs-england.html
      http://nidigepanchathanthare.blogspot.com/2020/04/not-vs-england.html
      https://nidigepanchathanthare.blogspot.com/2021/01/blog-post_21.html
      https://nidigepanchathanthare.blogspot.com/2021/05/blog-post_20.html

      Delete
    3. I stand corrected Nidhi boss lol

      Delete
    4. of course, I am a keen reader of your posts, remember I sent you the house plan of the Hounslow flat !

      Delete
    5. Anoලා කිහිප දෙනෙක්ම comment කරනවනේ, ඉතිං කොහොමද දෙයියනේ හිතා ගන්නෙ.
      හවුන්ස්ලෝ ගෙදර plan එක එවපු කෙනා කිව්වම නං හොඳට මතකයි.
      දිගටම මගේ ලිපි කියවන්නට පැමිණීම ගැන ගොඩක් ස්තුතියි!

      Delete