අකුරු මැකී නෑ

Wednesday, May 29, 2024

විදර්ශනෙන්, තෑගි අරං, එනව බොලං - තෙවෙනි කොටස

‘... හැබැයි විදර්ශන නමටත් මගේ සමහර යාළු මිත්‍රයන් කැමති වුණේ නෑ. මට ඉතාමත් හිතවත් මහාචාර්යවරයෙක් මට කිව්වා ‘විදර්ශන නම දාන්න එපා. ඔය නමේ ගණ පිහිටීම හොඳ නෑ.’ කියල.

-ඊට පස්සේ මේ ආයතනය තුන් පාරක්ම කඩාගෙනත් වැටුණනෙ.” ජනක කියන්නේ හිනා විසුරුවමිනි.

දැනුම දෙන සරස්වතීයි, සල්ලි දෙන ලක්ෂ්මීයි දෙන්නා එකට එක තැන රැඳෙන්නෑයි...

අතීතයේ දවසක මගේ උගත් මිතුරෙකු ‘විදර්ශන ප්‍රකාශන’ කඩා වැටීම ගැන කළ ‘අර්ථ කථනය’ක් මට තවමත් මතකය. ‘අපරාදේ කියන්න බෑ. ජනකට සුපිරි මොළයක් තියෙන්නෙ. ඒ හින්දම තමයි, මිනිහට බිස්නස් යාදෙන්නෙ නැත්තෙත්. දැනුම දෙන සරස්වතීයි, සල්ලි දෙන ලක්ෂ්මීයි දෙන්නා එකට එක තැන රැඳෙන්නෑයි කියනවනෙ’.

‘ජ’ ගණයෙන් තියැවුණු ‘විදර්ශන’ නමේ අනිටු විපාකත් (දිනමිණේ ගණ පිහිටුවීම මතක නේද?), සරස්වතිය නොමසුරුව දායාද කළ දැනුමත් තිබියදීමය, ජනක ඉනිමංකඩ ‘ඉසුරට අධිපති ලක්ෂ්මියගේත් ආශීර්වාදය ලබා’ මේ සා දිගු ගමනක් පැමිණ තිබෙන්නේ.

“ඔව්...අද මම ඉන්න තත්ත්වේ... ඒ ගැන මට ඇත්තෙන්ම ආඩම්බරයි.” ජනක හිඳ උන් ඉරියව්ව වෙනස් කර හරි-බරි ගැහී වාඩි වුණු විදිහ, ඔහුගේ ජීවනාන්දරයේ තවත් රසබර පරිච්ඡේදයක් දිග හරින්නට සැරසෙන බවක් පෙන්නයි.

“.... හැබැයි ඉතින් මගේ කුඩා කාලයේ සිට මට තිබිච්ච ගොත ගැසීම සහ මගේ මේ ඇහේ තිබිච්ච අපැහැදිලි පිහිටීම නිසා මම මගේ ළමා කාලයේ ඉඳලම හරියට පීඩා වින්දා.

-ඒවා මගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි දැඩි ලෙස බලපෑවා. ඒ බව තේරුම් අරං, මමම ඒක හදා ගත්තේ මට අවුරුදු හතලිස් ගණන්වලදියි. මං ඊට කලින් මගේ ඒ දුර්වලතා හදාගෙන හිටිය නං, මං හිතනවා ඔය දෙදාහේ විතර වගේ කාලෙදී මම ආර්ථික වශයෙන් මුහුණ දීපු ප්‍රශ්නය ඉතාම ලේසියෙන් ගොඩදාගන්න තිබුණයි කියලා. අද මම ඒක පැහැදිලිව දකිනවා! මගේ පෞරුෂ සංවර්ධනයේ ඇතිවෙලා තිබිච්ච ඒ ගැටලුව නිසා තමයි වරින් වර වරින් වර මේ ආයතනය කඩාගෙන  වැටුණේ...

-ව්‍යාපාරයක් කරන කෙනෙකුට ඉතාමත්ම ප්‍රබල පෞරුෂයක් තිබීම අත්‍යවශ්‍ය කාරණයක්... සහ ඒ වගේ දේවල්වලට මුහුණ දීමේ හැකියාවක් සහිත රළු සමක් තියෙන්න ඕනේ.
නමුත්... මුලදී මට ඒ කාරණා දෙකේදීම තිබුණේ මහ විශාල අඩුවක්. එහෙම වෙන්න ඇත්තේ ඇයි කියලා මමම තේරුම් ගත්තා.

-ළමා සංවර්ධනය සිදු වෙන වයසේදී මං බොහොම පීඩාවන්ට ගොදුරු වුණු කෙනෙක්. ඒ පීඩා වින්දේ නෑදෑයන් අතරදී- පාසලේ ගුරුවරුන් ඇතුළු සියලු දෙනාගෙන්ම. එහෙම වුණේ මගේ ගොතයයි, මේ ඇහේ තියෙන අපැහැදිලි පිහිටීමයි හින්දා.

-ඔයා දන්නවද- මම කණ්ණාඩි දාන්නේ මගේ පෙනීමේ අඩුවක් තියෙන නිසා නෙවෙයි.
මට ලබන සතියට අවුරුදු පනස්තුනයි වයස. මට හතලිස් ඇඳිරිය නෑ; මට කිසිම පෙනීමේ අපහසුතාවයක් නෑ... කණ්ණාඩි නැතිවත් මට ඉතා පැහැදිලිව පේනවා; මම කියවන්නේ කණ්ණාඩි නැතිව.”

“එහෙනං කණ්ණාඩි දාන්නේ?” මගේ කටෙන් ප්‍රශ්නය එළියට පැන්නේ නිරායාසයෙනි. උත්තරය ලැබුණෙත් ඒ වගේමය.

එතකොට සමහර වෙලාවට ළමයින් එකිනෙකාව කොටවනවා. එකිනෙකා පිළිබඳව විරෝධයෙන් ඉන්න ළමයින්ව ගහගන්න දානවා.

“කණ්ණාඩි දාන්නේ... හඃ හඃ (තදින් සිනා) මේ අඩුව තාවකාලිකව වහගන්න ඕනි නිසා!  

-හරිද, එතකොට ඒවා ඉතාමත්ම නරක විදියට මගේ ජීවිතයට බලපෑවා.
ඒ කාලෙ අපේ ඥාතීන් අතර පවා... එයාලා සමහර වෙලාවට මාව කේන්ති ගැස්සීම් කරනවා, අර ගොත ගහන එක බලන්න. ඒකෙන් විනෝදයක් ලබන්න... ඒ පවුල්වල විදි ඒවා. ඒ කියන්නේ ඔයා- අපි දන්න ළමා කාලය තුළ ලංකාවේ තිබුණනේ වැඩිහිටියො එකතු උනහම කරන රළු විහිලු. ළමයින්ගෙ කලිසං ගලෝනවා; එතකොට සමහර වෙලාවට ළමයින් එකිනෙකාව කොටවනවා. එකිනෙකා පිළිබඳව විරෝධයෙන් ඉන්න ළමයින්ව ගහගන්න දානවා.

-එතකොට ඔය ජේවීපී එකේ සමහරුන් කියනවනේ ‘හැත්තෑපස් වසරකට කවුරුත් මුකුත් කරපු දෙයක් නෑ’ කියලා.
මං හිතනවා- මේ... මේවා තමයි කෙරිල තියෙන දේවල්වලට හොඳ උදාහරණ. මම එකක් කියන්නං- ළමයින්ට ගහන එක නීතියෙන් තහනම් කරානෙ.

-දැන් ඔය වගේ දේවල්වලින් අපි මනුෂ්‍යයන් විදිහට සංවර්ධනයක් ලබල තියෙනවා නේද?   

-දැන් අපේ සාක්ෂරතාව සියයට 95ක්- අනූඅටක් විතර වගේ. අපේ ආයු අපේක්ෂාව 1948-1949 දී හතළිස් ගණන්වල තිබුණට වැඩිය ඉතා දියුණුයි; සීයට 74 දක්වා ඉහළ ගිහිං... අපේ ප්‍රවාහන පද්ධතිය... මුකුත්ම නොවුණා නෙමෙයිනෙ, හැබැයි- එහෙම කෙරෙන අතරෙදී, අරව-මේව වුණා තමයි, දේශපාලකයො හොරකම් කරන්නත් ඇති තමයි.

-ඒත් දැන් අපේ ළමයි ගත කරන ළමා ජීවිතය තුළ, අපට එදා තිබිච්ච ඒ දුෂ්කරතා ගොඩක් නැහැ. මේ වගේ තත්ත්වයක් එදා මටත් තිබුණා නං- ළමයෙක් විදිහට මට අත්විඳින්නට සිදු වුණු පීඩා නොතිබුණා නං... හැබැයි, අද මම ඒ ගැන චුට්ටක්වත් කනගාටු වෙන්නෑ...

-මොකද ඒ අත්දැකීම් නිසා, අද මට පුළුවන්කම ලැබිල තියෙනවා ‘කිලෝ මීටරයක් දුරින් ඉන්දදිම ඒ ඉන්නේ සතෙක්ද, මිනිහෙක්ද කියල ටක්ගාලා අඳුරගන්න’. හරිද...

-ඒ තරං දැනීමක් මට ලැබුණේ ‘කියවීම නිසයි, මේ ව්‍යාපාරය නිසයි’.

-මම අසීමිතව කියවීමට ඇබ්බැහි වෙන්නේ; විෂය දොළහක පොත් කියවන්න ගන්නේ. මට ලැබුණු ‘neglection’ එක නිසා විය යුතුයි. ඒ ‘බැහැර කිරීම’ නොතකා හරින්නට මේ කියවීම මට විශාල ලෙස උදව් වුණා.
අපිව එක පැත්තකින් neglect වෙද්දී, අපිට තව පැත්තකින් ෆුල්ෆිල් වෙන්නත් ඉඩ ලැබෙනවා කියලයි, මම හිතන්නේ. අපි ඒ fulfil කර ගැනීම කරන්නේ වෙනත් පැත්තකින්.

-හිතමුකො අත් දෙක නැති- කකුල්වලින් චිත්‍ර අඳින කෙනෙක් ගැන. එයාව දැක්ක ගමන් ඕනෙම කෙනෙක් කියනවනෙ ‘මාරයි’ කියලා. මං කියන්නෙ ‘නෑ, ඒක මාර නෑ. ඒකෙ කිසිම මැජික් එකක් නෑ!’ කියලයි. එතෙන්දි වෙන්නේ, එයාගේ අත් දෙකට ලැබෙන්න තිබිච්ච හැකියාවක්- අත් දෙක නැති හින්දා කකුල් දෙකට ලැබීමනෙ.

ප්‍රේමසිරි මහත්තයයි මමයි සමීප හිතවතුන්. අපි දෙන්නාගෙ මිත්‍රකම දශක තුනක් පමණ පැරණියි.

-හැබැයි මට ඒක කරන්ඩ බෑ. මගේ අත් දෙක තියෙනවනෙ. හැම තිස්සෙම සිදු වෙන්නේ එක පැත්තක තියෙන අඩුව තව පැත්තකින් සම්පූර්ණ වෙන එකයි!

ඒ වෙන පැත්ත මොකක්ද කියන එකයි ප්‍රශ්නේ!!”

පොඩ්ඩක් හෝව්!
මොකද මටත් ප්‍රශ්නයක් තියෙනවා. හැට-හුටහමාරක් පත්තර කියවපු කාලෙ නං මං වහන්සේ, වැදගත් ලිපි එහෙම වෙනම අරගෙන තිබ්බා. දැන් අන්තර්ජාලයේ; fb එකේ සහ blog අඩවිවල සැරිසරනකොට හම්බ වෙන වැදගත්; හරවත් හා සංවේදී ලිපි එහෙමත් මම අරං තියා ගන්නවා.
කෙනෙක් තව කෙනෙකුට හොඳක් කියන්නේ බොහොම කලාතුරකින්නේ... එකම ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් ගැන? ඒ හින්දයි, මං මේ සටහන අරගෙන තියා ගත්තේ.
තව එකක්- මේ සටහනෙන් ඉතිහාසයක් කියවෙනවා; යුගයක විස්තර හෙළිදරව් වෙනවා.

අද නම් තව කාරණා ගොඩාරියක් මේ සටහනින් එළිදරව් වෙනවා. 1993 අවුරුද්දේ ඉනිමංකඩ මානවකයා උන් තැන. එච්.ඩී. ප්‍රේමසිරි මහතාගේ ගුණ යහපත්කම්...
(අනෙක ප්‍රේමසිරි මහතාගේ ‘තිඹිරි ගෙදර-හයිලෙවල් පාරේ සරසවි පොත් හල’ තිබුණෙත් මහරගමනෙ. මේ ලිපියේ නොකියැවුණත් ලංකාවේ පළමුවෙනි පොත් දොරට වැඩුම පවත්වල තියෙන්නෙත් ඒ සරසවි පොත්හලේ උඩ තට්ටුවේය කියලත් කතාවක් තියෙනවා. ඒකෙ සංවිධාන වැඩ ගොඩක් කළේ පියසේන වික්‍රමගේ මහත්තයාලු. (හිතවත් ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා මහත්තයා වගේ කෙනෙකුට ඇහැකි නං මේ දොරට වැඩුමේ කතාව හොයන්න...)
මහරගමට තිබුණු අනෙක් පොත් සාප්පුව ’නාලන්දා පොත්හල’ තිබුණේ දෙහිවල පාරෙ.  

ඒ මදිවට කුමුදිනී අක්කා ඉගෙන ගත්තෙත්, අපි හිටිය ‘විද්‍යාකර විද්‍යාලයේ’. ටිකක් ඉහළ පන්තිවල. පස්සේ ප්‍රේමසිරි මැතිනිය වුණේ ඒ කුමුදිනී අක්කාමයි. ඒවත් සටහන් කරලා තියන්න හිතුණා.)

හතර වටේම පඳුරු තළලා, ඕන්න දැන් තමයි අර කියපු සටහනෙන් කොටසක් post එකට ඔබන්නේ!

'එච්. ඩී. ප්‍රේමසිරි : ලාංකික ව්‍යාපාරික බිමෙහි සංස්කෘතික මිනිසා'

ප්‍රේමසිරි මහත්තයයි මමයි සමීප හිතවතුන්. අපි දෙන්නාගෙ මිත්‍රකම දශක තුනක් පමණ පැරණියි.

1993 අවුරුද්දෙ 'විභවි' සංස්කෘතික මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පැවති ස්වාධීන සාහිත්‍ය සම්මාන උළෙලේ, ආධුනික නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන්ට තිළිණ ලෙස ලබාදෙන පොත් සඳහා අනුග්‍රහය දැක්වූයේ සරසවි පොත් හල.

ජයතිලක කම්මැල්ලවීර මහතායි, මමයි ගියා ඒ වැඩේට ප්‍රේමසිරි මහතාව හමුවන්න. එදා තමයි මට ඔහුව මුලින් හමුවුණේ. එයා කිව්වා ''රු. 10,000/- ක් වටින පොත් තෝරගන්න'' කියලා. ඒ කාලෙ හැටියට ඒක විශාල පරිත්‍යාගයක්.
ඒ වැඩේ මට භාර දීලා කම්මැල්ලවීර මහතා වෙන වැඩකට ගියා.

සිංහල, ඉංග්‍රීසි දෙවර්ගයෙන්ම මම පොත් තෝර ගත්තට පස්සෙ ප්‍රේමසිරි මහතා ඇවිත් ඒ පොත් ටික බලලා කිව්වා "ෂා...හොඳ සිලෙක්ෂන් එකක්නෙ..." කියලා.

සියල්ල මැදිහත්ව භාරගෙන සුපුරුදු සැහැල්ලු, සන්සුන් ගමනින් ඉදිරියට යනවා...

එතකොට මට වයස 22 යි.
ඒ තමයි ප්‍රේමසිරි මහතා මාව ඇගයුමකට ලක් කළ පළමු අවස්ථාව. ඊට පසුව දහස් වතාවක් ඔහු මගේ කටයුතු විවිධ අවස්ථාවල මේ දක්වා අගයලා තියෙනවා.

ප්‍රේමසිරි චරිතයේ සුවිශාල විශේෂ ගුණාංග අතර ප්‍රධාන දේ තමයි ඒ; නිර්ලෝභීව අනෙකාව ඇගයීම. කෙනෙක්ගෙ හොඳක් නිර්ලෝභීව අගයන මෙහෙම මිනිසෙක් මට මෙතෙක් තව මුණ ගැහිලා නෑ. කා ගැනවත් එයා ලේසියෙන් දොසක් කියන්නෙ නෑ.

මම පොත් ප්‍රකාශකයෙක් වුණාට පස්සෙ අපි දෙන්නා ඉතා දීර්ඝ කාලයක් බොහොම සමීපව වැඩ කළා.

පොත් ප්‍රකාශනයට තබපු පළමු අඩියේ සිටම මට එල්ල වුණු ප්‍රහාර මෙතෙකැයි කියන්න බෑ. ඒ වගේම ඒවායේදී ප්‍රේමසිරි මහතා මා වෙනුවෙන් පෙනී සිටි අවස්ථා ගණන කොතෙක්දැයි ගණං කරන්න බැරි තරම්. (පහුගිය ඉරිදත් මං වෙනුවෙන් එහෙම දෙයකට සෑහෙන්න මහන්සි වුණා.)

ප්‍රේමසිරි මහතාගේ චරිතයේ මා දකින අනෙක් සුවිශේෂ ගුණය තමයි නිර්ව්‍යාජභාවය. තමා සිටින ක්ෂේත්‍රයේ හිනි පෙත්තෙම සිටියත් හැසිරෙන්නෙ එහි ආධුනිකයෙකුටත් වඩා පහළින් සිටිමින්.

ඒකට හේතුව එයා යමකින් අපේක්ෂා කරන ප්‍රමාණය ඉතා අල්පයි. ඒ ප්‍රමාණයට වඩා වැඩියෙන් ලැබෙන දේවල් එයා සලකන්නෙ අතිරේක ලැබීම් ලෙස. අපේක්ෂා රේඛාව පහළින් තියා ගත්තම ජීවිතේට ලැබෙන සැහැල්ලුවේ තරම මම ඉගෙන ගත්තෙ ප්‍රේමසිරි මහතාගෙන්. ඒක එයා ඉතා විශිෂ්ටව ප්‍රැක්ටිස් කරන කෙනෙක්.

එයා ගැන ලියනව නං පොතක් ලියන්න තරම් දේ මට තියෙනවා...

... ප්‍රේමසිරි චරිතයේ මා දකින තවත් සුවිශේෂත්වයක් තමයි අති සුවිශිෂ්ට ජීවිත, මුල්‍ය හා ව්‍යාපාරික කළමනාකාරිත්වය. ඒ එකක්වත් අනෙකට බාධා කරගන්නේවත් නැතුව, එකකට අනෙක ඉක්මවා යන්න දෙන්නේත් නැතුව ඔහු ඒ සියල්ල විශිෂ්ටව කළමනාකරණය කරන විදිය. කොච්චර විශාල ව්‍යාපාරිකයෙක් වුණත් බිසී නැති, කලබල නැති, හඬේ සිට ඇවිදීම දක්වා සෞම්‍ය ස්වභාවයක් ඇති කෙනෙක්නෙ.

ජයග්‍රහණයේදී එයා ලොකුවට සතුටු වෙන්නෙත් නෑ, පරාජයේදී කම්පා වෙන්නෙත් නෑ. සියල්ල මැදිහත්ව භාරගෙන සුපුරුදු සැහැල්ලු, සන්සුන් ගමනින් ඉදිරියට යනවා.

අඩුවෙන් කතා කරන්නෙක්, වැඩියෙන් අනෙකාට සවන් දෙන්නෙක්. සොක්‍රටීස් කිව්වා වගේ, 'මා හොඳින්ම දන්නා දේ මා කිසිවක්ම නොදන්නා බවයි' ලෙස සිතන්නෙක්. එහෙම හිතන අය තමයි අනෙකාට හොඳින් සවන් දෙන්නෙ.

ආර්ථිකව සාර්ථක වුණාම තමන් ලෝකෙ ඔක්කොම දේවල් දැන් දන්නවා, මට ලෝකෙ අතට අරන් ඕන්නං හදන්න පුළුවන්, මං සකල කලා වල්ලභ කියලා හිතං ඉන්න ව්‍යාපාරිකයො අතර ප්‍රේමසිරි මහතා සුවිශේෂ වන්නේ ඒ ගුණය ඔහු ගාව ගෑවිලවත් නැති නිසා. එයා හැමදාම, හැමෝගෙන්ම ඉගෙන ගන්නවා.

මගේ සමීපස්ථ හිතවතුන්ට මම ප්‍රේමසිරි මහතාව හඳුන්වන්නෙ මෙහෙම:
"ඒ තමයි ලංකාවේ පබ්ලිෂිං ඉන්ඩස්ට්‍රියෙ බුදුවරයා. එයා ඉන්න කාලෙ මේ ඉන්ඩස්ට්‍රියෙ ඉන්න ලැබීමත් පබ්ලිෂර් කෙනෙක් හැටියට මම ලබපු වාසනාවක්."

ප්‍රින්සිපල් ස්පොන්ෂර්ෂිප් එක අපි ගන්නව නං ඔයාගෙ ගාණ කීයද...?

ඉනිමංකඩ මහත්තයත් එක්ක සම්මුඛ සාකච්ඡාවට යන්න කලින් මං ගෙදර වැඩ කරලා ‘ඇසිය යුතු ප්‍රශ්න’ හදා ගත්තයි කිව්වනේ. හැබැයි, එදා ඒ ප්‍රශ්න ගොඩක් මට අහන්න වුණේ නෑ. නිකංම උත්තර ලැබුණු හින්දා. හැබැයි මෙන්න මේ ප්‍රශ්නයට ප්‍රමාණවත් උත්තරයක් නිකංම නොකියැවුණු නිසා, පස්සේ මේ ප්‍රශ්නය ජනක මහතාගෙන් අහන්නමයි තිබුණේ කියල හිතෙනවා.

‘1993 දී විභවියේ ස්වාධීන සාහිත්‍ය සම්මාන උළෙලට තෑගි එකතු කරන්න ‘සරසවි’ එකට ඔබ ගියානේ.
අද ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ දිනා ගන්නා නවකතා අත් පිටපතට ජය මූර්තිකාවකුයි- මුදලින් රුපියල් 1,50,000/-කුයි පිරිනමන්න ඔබ සැරසෙනවා... අනෙක් තෑගිත් පොඩි නෑ. ඔබ සංවිධානය කරන්නේ ලංකාවේ දෙවෙනියට විශාල සාහිත්‍ය තෑගි දෙන තරගය. ඒකෙ මහ මොළකාරයා සහ නියමුවා විදිහට අද ඔබට මොනවද හිතෙන්නේ?’

අනෙක් අතට මට මෙහෙමත් හිතෙනවා. 'ඒ ප්‍රශ්නෙට උත්තරේ නේන්නං මේ posts පුරාම කියැවෙන්නේ.’ නොදැන හිටි දේවල්, අප්‍රසිද්ධ දේවල් වගේම බලාපොරොත්තු නොවුණු දේවල් හෙමත් එක්ක.

“දැන් අපේ සාහිත්‍ය සම්මාන වැඩේ සංවිධානය කරද්දීත් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු වැඩ සිදු වුණා. ජීවා එඩියුකේෂන් ආයතනයෙ කෝලිත ප්‍රනාන්දු...”

අපේ සාකච්ඡාවේදී අනුග්‍රාහක භවතුන් ගැන කියැවුණු දේවල් අකුරු කරන්නට මං වහන්සේ දත කන්නේ ඇයි? ජනක මහතාම ඒ ගැන fb එකේ විස්තරාත්මක සටහනක් තබා තිබියදී... මා කරන්නට යන්නේ, සටහනේ කොටසක් මෙතැනට ඔබා- ඊට අමතර කරුණු පමණක් පෝස්ටුවට එකතු කරන්නටය.

'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' ප්‍රධාන අනුග්‍රහකත්වය.

පසුගිය ජනවාරි 12 වැනිදා 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' පිළිබඳ පණිවුඩය සමාජගත කළ මොහොතෙන් මිනිත්තු පහකට පසු ඔස්ට්‍රේ ලියාවේ සිට මට දුරකථන ඇමතුමක් ලැබුණි.

මගේත්, විදර්ශන ප්‍රකාශනහිත් දිගු කාලීන මිතුරෙකු හා උසස් සාහිත්‍ය රසිකයෙකු වන කෝලිත ප්‍රනාන්දු දුරකථනයේ අනෙක් අන්තයේ විය.

"ජනක, විදර්ශන සාහිත්‍ය ත්‍යාග වැඩේ නම් නියම වැඩක්. වෙල් ඕගනයිස්ඩ්. කැමති නැද්ද අපිට ස්පොන්සර්ෂිප් එකක් දෙන්න..."

"මේ මොහොත වෙනකං නං එහෙම අදහසක් තිබ්බෙ නෑ... ත්‍යාගවලටයි, ජූරිබෝඩ්වලටයි, පබ්ලිසිටිවලටයි, ඉවෙන්ට් එකටයි යාවි කියලා හිතන මිලියන තුනක මුදල මගේ අතින් වියදම් කරන්නයි හිතුවෙ. හැබැයි ඔයාගෙ මේ අලුත් යෝජනාව සලකා බලන්න පුළුවන්..."

"ප්‍රින්සිපල් ස්පොන්ෂර්ෂිප් එක අපි ගන්නව නං ඔයාගෙ ගාණ කීයද...?"

"......"

"හරි... අපිට දෙන්න... ලබන සතියේ මම ලංකාවට එනවා... එග්‍රීමන්ට් එක සයින් කරමු..."

අවසානයේ  'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහක ලෙස ජීවා එඩියුකේෂන් ආයතනය සමග, සම අනුග්‍රාහක ආයතනය ලෙස නියෝ ග්රැෆික්, විද්‍යුත් මාධ්‍ය සහකාර ආයතනයක්, නිල බැංකුවක්, සත්කාරක අනුග්‍රාහක ආයතනයක්, නිල රූපවාහිනී ආයතනය ලෙස ස්වාධීන රූපවාහිනිය, නිල මුද්‍රිත මාධ්‍ය ආයතන ලෙස ලංකාදීප, ඉරිදා ලංකාදීප, Sunday Times හා Daily Mirror එක් විය...” කියලයි ඒ සටහනේ තිබ්බේ!

(ඒ සටහනේ තිත්වලින් විතරක් කියල තිබුණු ‘ප්‍රින්සිපල් ස්පොන්ෂර්ෂිප් එකේ ගණන’ත් මට කිව්වට ගොඩාරියක් ස්තුතියි ජනක මහත්තයෝ.)

අපේ සාහිත්‍ය ත්‍යාග උළෙල පවත්වලා පැයක් ඇතුළත අපේ වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍ය ජාලාවල පළ කරනවා මේ ත්‍යාගය ලබා දීමට කමිටුව විසින් ගත් නිර්ණායක මොනවද...

“අහම්බෙන් වුණත් කෝලිත ප්‍රනාන්දු මහත්තයාට එහෙම ප්‍රධාන අනුග්‍රාහකත්වය ගන්න හිතුණේ ඇයි? අපි කරන්න යන වැඩේ පූර්ව සැලසුම් කටයුතු ඉතා හොඳින් කරලා තිබුණු නිසා නේද? මම ඉතාම වගකීමෙන් යුතුව කියනවා. විදර්ශන සාහිත්‍ය ත්‍යාගය පිළිබඳ සියලුම දේවල් ඉතාම විනිවිද ආකාරයට; අනෙක් සාහිත්‍ය සම්මානවලට ආදර්ශයක් වෙන විදිහට සිදු වේවි. විදර්ශන ආයතනය ගොඩනඟාගෙන තියෙන කීර්ති නාමයට කිසිම හානියක් නොවෙන විදිහට.

-දීර්ඝකාලීන විදර්ශන පාඨකයෙක් වෙන ප්‍රේම්නාත් සී. දොලවත්ත මන්ත්‍රීතුමාගේ උදව්වත් මෙතැනදී කියන්නම ඕනි. එතුමා කිව්වා ‘අයියේ, මට ලිපියක් ලියල දෙන්න, BOC ස්පොන්සර්ෂිප් එක ඉල්ලලා, මම ඒක ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්නං’ කියලා. ඒ ලියුම දැක්කම ජනාධිපතිතුමා කිව්වලු ‘ආ, මේක විදර්ශන එකේ වැඩක්නෙ. සමන් මේක අත්සන් කරලා දෙන්න’ කියලා ජනාධිපති ලේකම් සමන් ඒකනායකට.

-මම හිතන විදිහට ඔය හැම දේටම බලපාන්නේ, ඉතා දීර්ඝ කාලයක් තිස්සේ අපි කරපු වැඩ. දැන් සමහර අය කියනවනෙ, මගේ වැඩ strict වැඩියි කියල. මගේ නීති තදයි කියලා. ඇත්තෙන්ම ඔව්!

-එහෙම කියවෙද්දීත් මම මගේම ස්ටෑන්ඩර්ඩ් එකක් මේන්ටේන් කරපු එකේ ප්‍රතිඵල අද තමයි මම භුක්ති විඳින්නේ.”

මේ පෝස්ට්ස්වල දෙවැන්නට ‘අවන්හල අඩවියේ’ ලොකු තැන මහේෂ් රත්නායක සහෘදයා එවාපු කමෙන්ටුවෙන් ජනක මහත්තයාගේ තවත් ‘සුවිශේෂ හැකියාවක්’ ගැනත් කියවිලා තිබුණා. මෙන්න ඒක මහේෂ්ගේ වදන්වලින්ම.
‘අනික් උංට නැතිි පෙනීමක් මෑන්ට තියෙනව.
මගෙ බාසාවෙන් කියනව නං පොළව යටත් අඩි හයක් පේන පොරක්.’

මට ඉතාමත් හොඳින් මතකය. “ජනක මහත්තයෝ. පරිවර්තනය කෙරුණු පොතක කවරයේ පරිවර්තකගේ නම දැම්මොත් හොඳ නැද්ද?” ඈත අතීතයේ දිනෙක මම යෝජනා කළෙමි. “ජනකට මතකද ඒක?”

“ඒක වගේම එතකොට මං කියපු දේත් මතකයි. විදර්ශන ප්‍රකාශන පටන් ගනිද්දීම මම ප්‍රතිපත්තිමය තීරණ කීපයක් අරගෙන තිබුණා... අපටම අනන්‍ය වෙච්ච හැඩයක් තියෙන පොත් ගැන. ගහන්න ඕනි මොන වගේ කොලිටියක් තියෙන පොත්ද කියන එක ගැනත්...
විදර්ශන එකට සංස්කාරක මණ්ඩලයක් නැහැනෙ පොත් තෝරන්න. මමම ඒ කටයුත්ත කරමින්
, අර කිව්ව කොලිටිය දිගටම පවත්වා ගත්ත නිසයි- මේ කීර්තිමත් අවදිය විදර්ශන ආයතනයට උදා වුණේ; අපි මෙච්චර ශක්තිමත් වුණේ.”

සැබෑය!
වැටෙන වැටෙන වාරයක් ගණනේ වඩ-වඩාත් පන්නරය ලබමින් නැඟී සිටි නිසාම විය යුතුය- මෙවැනි තීරණ ගන්නටත්; ඒවා නොපැකිළ ප්‍රකාශ කරන්නටත් ජනකට ශක්තිය ලැබී ඇත්තේ.

‘අපේ සාහිත්‍ය ත්‍යාග උළෙල පවත්වලා පැයක් ඇතුළත අපේ වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍ය ජාලාවල පළ කරනවා මේ ත්‍යාගය ලබා දීමට කමිටුව විසින් ගත් නිර්ණායක මොනවද කියලා. ඒ වගේම මොන හේතුව මතද දුන්නේ කියන කාරණය දන්වනවා. ඒ වාගේම පාඨකයන්, සාහිත්‍ය විචාරකයන් ඇතුළු ඕනෑම කෙනෙකුට අගැයීම් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් මේ ත්‍යාග ලබා දීම පිළිබඳව ප්‍රශ්න කරන්න පුළුවන්.’ (2024 ජනවාරි 14 ඉරිදා ‘වරුණ’ 4 වෙනි පිටුව)

මොන- මොනවා හරි පටලවාගෙන තඩි සැලැස්මක් හදන එක එතරම් දෙයක් නොවේ. අපේ රටේ වැඩි හරියක් හිතන්නේ එහෙමය, කෙරෙන්නේ එහෙමය.

අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතියේ අසාර්ථකත්වය ගැන තොරතුරක් පළ වී තිබෙනවා මම දැක්කේ මේ පෝස්ටුව ලියන අතරේ. ඒ project එකට ප්‍රංශයෙන් හම්බ වුණු කෝටි ගණනාවක්ම අපතේ ගිහිල්ලලු.

ඒ ඔක්කොම මැද්දේ තමයි මම මේ ගමන ආවේ! 
එහෙව් රටක- එහෙව් කලක කිසිදු අවුලක් නොවෙනසේ; විනිවිද පෙනෙනසේ විසල් සාහිත්‍ය ත්‍යාග උළෙලක් සාර්ථකව පැවැත්වීමට සැලසුම් කිරීම මහමෙරකි. ඊටත් වඩා අසීරුව, ඒ සැලැස්ම ක්‍රියාවට නැංවිය හැකි සෘජු කශේරුකාවන් සහිත ප්‍රාමාණික උගතුන් සොයා ගැනීමය. පෙනෙන විදිහට නම් ජනක ඒ කඩුලු ජය ගෙන අවසන්ය.

එලෙස ජය ගැනීමට ඉනිමංකඩ මහතාට ඔහුගේ අතීත අත්දැකීම් ඉවහල් වූ බව මට නිසැකය.

අත්දැකීම් කියද්දීය මතක් වුණේ. ඔන්න බස්සා මහත්තයෝ- වොයිස් ටයිපිං ගැන කියනවයි කියල ඔයාට වෙච්චි පොරොන්දුව ඉෂ්ට කරන්නයි මේ හදන්නේ.
Voice ටයිපිං කරන හැටි දෙතුන් වතාවක්ම අපේ නමී උන්නැහේ මට කියා දීලයි තිබුණේ. හැබැයි මට ඒක හුරු නෑ. ඒකයි, රෙකෝර්ඩ් කර ගත්ත කතන්දරේ තියෙන්නෙ නමීගේ hand phone එකෙයි කියන කාරණය මට click වුණා, සාකච්ඡාව ඉවර වෙලා අපි පාරට බහිනකොටම.
“නමී, මෙහෙම්මම ඔයා කොටුවට යනවද අනිත් වැඩේ කර ගන්න... නැත්තං හවස් වරුවෙද යන්නේ?”

“හඃ හ්හ් හඃ! දැන් නිදිට ඕනේ මේ ගමන්ම මං ඔයාලගෙ ගෙදරට ඇවිත්; රෙකෝර්ඩින් එක ඔයාගේ කම්පියුටරේට දාලා දීල...”
“ඔය තේරෙන්නෙ... වොයිස් ටයිපිනුත් කරලා දීලා...”
“ම්ම්..ම.ම.. මම කිව්වයි කියලා... ලොක්කම හිතා ගන්නවකො...” නමීට බොරු කේන්තියක් පෙන්වන්නට බැරිය. මම වහාම ඒ බැරිකමේ වාසිය ඩැහැ ගත්තෙමි.
“ඒ කිව්වේ හා කියන එකනෙ... තැන්කියු නමී! යමු, යමු!!”

ඉතිං, නමී උන්නැහේ ජනක මහතාගේ සාකච්ඡාව එහෙම පිටින්ම ‘වොයිස් ටයිපිනුත්’ කරලා දීලාමය ගියේ. (කොහොමද කළේ කියන එක comment එකකින් ඔයාට කියලත් තිබ්බේ, බස්සෝ.) වොයිස් ටයිපිං පිටපත කියවන්නට ගියාමය මට තරු පෙනුණේ!

ජනකගේ කථන speed එක අල්ලා ගන්නට කොම්පියුටරේට බැරිව ගිහිං වගෙය. ‘තැඹිලි- කුස්සිය’ වගේ යන්තමින්වත් නොකියැවුණු වචනත් තියෙනවාය. ටිකක් මහන්සි වුණාමය, වෙලා තියෙන සංගදිය මං වහන්සේට තේරුම් ගියේ. ටැමිල් වචනයය- තැඹිලි වෙලා තිබ්බේ. පුස්තකාලය කුස්සිය වෙලාය. තවත් තැන් ගොඩකි!
වැරදි හදනවාට වැඩිය ඉක්මනින් මටම අකුරු කොටාගන්නට ඇහැකි විත්තිය තේරුම් ගියේ ඊළඟටය.

නමුත් වැඩේ හොඳ පාටය. දෙතුන් වතාවක්වත් ක‍රලා බැලිය යුතුය. පුරුදු විය යුතුය.
ඒ කාරිය ටික දවසකට පැත්තකින් තියලා... දැන් අපේ සාකච්ඡාවේ ඉතිරි කොටසට යන්න එපැයි!

“... ඒ කියන්නේ නිමල් අයියා මගේ ඉතිහාසය පිළිබඳව දන්නව. මෙතැන කලින් තිබිච්ච ගේ ඇතුළේ ඔයා අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ඉඳල- වැඩ කරල තියෙනවා... එතකොට මම පුද්ගලිකව මුහුණ දීපු දේවල් සහ ඒ තිබිච්ච කැලඹිලි සහගත ස්වභාවය පිළිබඳවත් යම් අවබෝධයක් ඔයාට තියෙනව. ඒ ඔක්කොම මැද්දේ තමයි මම මේ ගමන ආවේ.

-එහෙම ඇවිත්... ගොඩගේ මහත්තයට පස්සේ, ලංකාවේ පොත් ප්‍රකාශකයෙක් විදිහට- තමන්ගේම සම්මාන උළෙලක් පවත්වන එක; මේ මට්ටමෙන් පවත්වන එක ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක්.

තව අවුරුදු දෙකකින්- ලංකාවේ ප්‍රධාන සාහිත්‍ය සම්මාන උත්සවය බවට මේක පත් කරන එක තමයි මගේ තියෙන අරමුණ! ඒකයි මගේ ඉලක්කය!!

-විදර්ශන සාහිත්‍ය සම්මානයේ සියලු කටයුතු වෙනුවෙන් කෙරෙන මුළු වියදම මිලියන හතරයි දශම පහයි; ලක්ෂ හතලිස් පහයි. ඒ ලක්ෂ 45න් රුපියල් ලක්ෂ 35 ක්ම මේ වෙනකොට අනුග්‍රාහකයන් වෙතින් ලැබිල ඉවරයි. ලක්ෂ දහයයි, මගේ අතින් වියදම් කරන්න වෙන්නේ.

-හැබැයි, අවුරුදු තුනක් යනකොට... තව අවුරුදු දෙකකින්- ලංකාවේ ප්‍රධාන සාහිත්‍ය සම්මාන උත්සවය බවට මේක පත් කරන එක තමයි මගේ තියෙන අරමුණ!

-ඒකයි මගේ ඉලක්කය!!

-එතකොට මං හිතනවා මම ඒ දක්වා ගමන් කරාවි!!!
තව අවුරුදු පහකින්
, ලංකාවෙ ප්‍රධාන පොත් ප්‍රකාශකයෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් වෙන එකත් මගේ තව අධිෂ්ඨානයක්!

-දැන් ලංකාවේ පොත් ප්‍රකාශකයො... ඔක්කොම ඉන්නවනෙ දෙසීයකට වැඩි ගණනක්. දෙසිය විස්සක් විතර- කර්තෘ ප්‍රකාශකයනුත් එක්ක. ඒ අය අතරින් ලංකාවේ පිළිගත්ත සාහිත්‍ය සම්මාන ලබාගන්න පුළුවන් මට්ටමේ කෘති පළ කරන අය ඉන්නේ විස්සක්- විසි දෙකක් වගේ අඩු ප්‍රමාණයක්. අනිත් අය ඔක්කොම අධ්‍යාපන පොත් පළ කරන අය.. සාමාන්‍ය සරල නවකතා පළ කරන අය.

-එතකොට ඒ විසි ගණන අතරින් අද වෙනකොට සම්මාන උත්සවවලින් තෑගි ලබන ප්‍රධාන අය තුන් දෙනෙක් තමයි ඉන්නේ. ඒ අය තමයි, සම්මාන උත්සවවල තේරෙන මට්ටමේ පොත් කරන අය.
අංක එක ගොඩගේ මහත්තයා. දෙවැනි ස්ථානය දැන් වෙනකොට දෙපැත්තට සංසරණය වෙනවා, සරසවි සහ අපි අතර.
එතකොට ඒ මට්ටමට මේ ආයතනය ගෙනල්ල තියෙනවා.”

‘ගෙනල්ල තියෙනවා’ ජනක කියන්නේ අවධාරණයෙන් වගේම ආඩම්බරයෙන්. මේ යකඩයාට එහෙම කියන්නට හැකියාව ලැබී තිබෙන්නේ එච්චර ලේසියෙන් නොවේ! මා දන්නා තරමින් මෙතෙක් විදර්ශනෙන් පළ කෙරුණු හැම කෘතියකම අත් පිටපත කියවා මුද්‍රණයට සුදුසු යැයි අනුමත කර තිබෙන්නේ ජනකයි. විදර්ශන ආයතනයට පොත් සංස්කාරක මණ්ඩලයක් නැත. “මේක ටිකක් ඒකාධිපති ගතියක් නේද? මම මන්මනේිකියන්නේ තනි මතයටම වැඩ කිරීම...”

ඉතිරි හරිය නං කියවන්න දෙන්නේ ඊළඟ කොටසෙන්... හොඳේ.

Friday, May 24, 2024

විදර්ශනෙන්, තෑගි අරං, එනව බොලං - දෙවෙනි කොටස

 ... මට මතකයි එතන හිටියා ටැමිල්  කෝඩිනේට කෙනෙක්. මම ගියපු පළවෙනි දවසෙද කොහෙද.... එහාට ඇවිල්ලා හිටියා චිත්‍ර ඇන්ද හාමුදුරුවෝ... කටුවන පියනන්ද හාමුදුරුවෝ!

එතකොට එතන හිටිය දෙමළ සහෝදරයට තමයි හාමුදුරුවෝ කිව්වේ සුනිල් විජේසිරිවර්ධන මහත්තයව හම්බ වෙන්න ඕනෙ කියල.

-එතකොට අර ටැමිල් සහෝදරයා ගිහිං සුනිල්ට කිව්වා ‘ඔයාව හම්බ වෙන්න බුදු හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ල ඉන්නවා’ කියල...

එදා සිටම අපි විභවියෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි, සංස්කෘතික වෙනස්කම් ඉවසිය යුතු  බව; ඉගෙනගත යුතු බව.

-ඊට පස්සේ එයා කිව්වා ‘නෑ නෑ බුදු හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි, ඒ හාමුදුරු නමක්’ කියලා. එදා ඉඳලම අපි විභවියෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි, සංස්කෘතික වෙනස්කම් ඉවසිය යුතු  බව; ඉගෙනගත යුතු බව.

-තරුණ කාලෙදිම ‘විභවි සංස්කෘතික මධ්‍යස්ථානය’ට බැඳීම නිසා වෙච්ච දෙයක් තමයි... මගේ ජීවිත කාලේ කිසි දවසක මම ජාතිවාදියෙක් වෙලා නෑ; වර්ගවාදියෙක් වෙලා නෑ... හැමදාම; මේ අද දක්වාම මගේ ජීවිත කාලය තුළ මේ රට බහු වාර්ගික- බහු ආගමික- බහු සංස්කෘතික රටක් ලෙස තමයි පිළිගන්නේ. බහු සංස්කෘතිකත්වය කියන එක තමයි මගේ සම්පූර්ණ චින්තනය. ඒකට මට පදනම වැටුණේ විභවියෙන්.

-ඔයා දන්නවද- මෑත කාලීන මගේ මිත්‍රයෝ ගොඩ දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි ‘ඔයාට මේ රනිල් වික්‍රමසිංහ ගැන ඔච්චර බැඳියාවක් තියෙන්නෙ ඇයි’ කියන එක.

-එතකොට මං එයාලට කියනව ‘එයා මගෙ යාළුවෙක් නෙමෙයි. හැබැයි මොන හේතුවක් නිසාද මන්දා, හැමදාම එයා බුක් ෆෙයා එකේ අපේ ස්ටෝල් එකට එනවා. හැබැයි, එයා මගේ මිත්‍රයෙක් නෙවෙයි.’ කියල. ඒත් මං එයාගෙ සමහර මතවාදවලට කැමැතියි.

-රනිල් වික්‍රමසිංහත් මේ රට බහු වාර්ගික- බහු ආගමික- බහු සංස්කෘතික රටක් කියන එක පිළිගන්නවා.

-මිනිහ ඡන්ද පැරදුණත් දෙමළ මුස්ලිම් ජනතාව එකතු කරගන්නෙ නැතුව ඡන්දෙකට යන්නෙ නෑ. සිංහල ඡන්දවලින් විතරක් දිනන්න ඕනි කියන අදහසේ එයා කවදාවක්වත් නෑ.

-මම හිතන්නේ ලංකාවේ මේ අදහසේ දැනට ඉන්න එකම දේශපාලඥයා රනිල් විතරයි. ආර්ථික ප්‍රශ්න හරි, එයා ක්‍රියා කරන විදිහ හරි, පුද්ගල සම්බන්ධතාවලදි එයාගෙ තියෙන රූඩ් ගතිය හරි... ඒවා ඔක්කෝම තියෙනවා වෙන්න පුළුවන්. ඒ සියල්ල මැද්දෙදී මම රනිල් වික්‍රමසිංහගේ දකින විශේෂතාව තමයි, මං කලින් කිව්වේ.

-දැන් බලන්න ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත ලවා කැබිනට් එකට නීතියක් සම්මත කර ගත්තේ. සමලිංගික සම්බන්ධතාවලට විරුද්ධව කටයුතු කිරීම නීතියෙන් තහනම් කරලා.

-දැන් අද වෙනකොට ඕනම කෙනෙකුට ලංකාවට එන්න පුළුවන් ඒක වෙනුවෙන්. ඔය තීරණේ ගන්න පුළුවන්ද වෙන කිසි කෙනෙකුට. ලංකාවේ හාමුදුරුවරුන්ගේ සිට සියලු දෙනාගේ විරෝධතා මැද ඒ මොකුත් ප්‍රශ්නයක් නොවෙන විදියට අර නීතිය සම්මත කර ගන්නවා. එයා ඒක කළේ සමාජ විවිධත්වය පිළිගන්න නිසා.

-එතකොට ඒ සමාජ විවිධත්වය ගැන හැඟීම මා තුළට ආවේ විභවි සංස්කෘතික මධ්‍යස්ථානය නිසා.
මගේ ඇතුළේ මේ වගේ පුළුල්ව ලෝකය දකින මනුෂ්‍යයෙක් හැදුණේ විභවිය නිසා.

ජයතිලක කම්මැල්ලවීර මහත්තය මට එවපු අර ලිපිය නොවෙන්න...

-මම මේ කතාව කියාගෙන ආවේ කම්මැල්ලවීර මහත්තය ගැන කියන්නත් එක්ක. මට එයා ගැන විවේචන තියෙනවා. ඒත් මම එයාට බොහොම ගරු කරනවා, මාව විභවි එක වගේ තැනකට යොමු කරපු එක ගැන එයාට කෘතවේදී වෙනවා. නැත්නම් අපේ තරුණ කාලෙදිම අපි ගිහිල්ලා අමරසේකර මහත්තයලගේ එකට සම්බන්ධ වුණා නම් හරි, නලින් ද සිල්වාගේ එකකට සම්බන්ධ වුණා නම් හරි, වෙන එකකට ගිහිල්ලා සම්බන්ධ වුණා නම් හරි මගේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන් වෙනස් වෙනව නේද?

-කම්මැල්ලවීර මහත්තය මට එවපු අර ලිපිය නොවෙන්න- මං විභවියට යැවෙන්නෙ නැහැනෙ.

-ලෝකේ තියෙන බහු සංස්කෘතිකත්වය, බහු වාර්ගිකත්වය සහ විවිධත්වය කියන එක තේරුම් ගන්න සහ සෑම පුද්ගලයකුටම මනුෂ්‍යයෙක් ලෙස ගරු කරන්න ඕන කරන හික්මීම මට ඇති වුණේ විභවියෙන්.

-වැරදීමකින් නාලන්දා විද්‍යාලයේ පුස්තකාලේ මේස උඩ සුරවීර සර්ගේ පොත තියලා ගිය කෙනා නිසා; එතනින් පටන් ගත්ත ගමන තමයි මගේ ජීවිතය එහෙම පිටින්ම වෙනස් වුණේ. ඒ නොදන්නා කෙනාටත් මම ස්තුති කරන්න ඕනි!

-මම ඔයාට මේ කතාව කිව්වේ අහම්බ විසින් මිනිසුන්ගේ ජීවිතයම සම්පූර්ණ හැරවුමට ලක් කරන හැටි කියන්න. මාත් අහම්බ විසින් එහෙම වෙනස් කරපු ජීවියෙක්!
ඇත්ත වශයෙන්ම ජීවිතේ කියල කියන්නෙත් සැලසුම් සහගත දෙයක් නෙමෙයිනෙ. ජීවිතය අහම්බයක්
; ජීවය ආරම්භ වීම දක්වාම සියල්ලම අහම්බයක්.

-එහෙම නැත්තං, ඒකසෛලික ජීවියාගේ සිට බහුසෛලික ජීවීන් දක්වා ආපු මේ වසර බිලියන ගණනක ගමන සැලසුම් සහගත එකක් වගේ පෙනෙනවද?

-මම අද උදේ ඉඳලා කියවමින් ඉන්නේ ලංකාවේ නායක්කාර වංශය සහ ඒක පිළිබඳව මහින්ද සෝමතිලක මහත්තය ලියපු පොත. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයත් ‘බණ කතා සාහිත්‍යය’ පොතේ කියන කාරණයක් තමයි සමහර ජන වර්ග ජානමය වශයෙන් මොට්ට වෙලා; විකෘති වෙලා; නැති වෙලා ගිය හේතුව. ඒ හේතුව තමයි ‘තමන්ගේ වර්ගයා අතර පමණක් කෙරෙන විවාහ සබඳතාවලට සීමාවීම’.

-ඒකෙනුත් පෙනෙනවා මනුෂ්‍ය ස්වභාවය ඇතුළේ විවිධත්වයට ගරු නොකළොත් එහෙම මේක පවත්වාගෙන යන්ඩ බෑ කියන කාරණය!”
මේ යකඩ හාදයා කියාගෙන යන්නේ හුස්මක්වත් නොගෙනද? අපට තිබුණේ මේ සාකච්ඡාවට පැය දෙක-තුනක්ම වෙන්කොට ගන්නටය.
දැන් මට උවමනා ජනක නම් ලේඛකයා බිහි වුණු අයුරු අසාගන්නටය. ඉතිං, මම විමසුවෙමි. ලැබුණේ ‘මහා පදරංග ජාතකය’ වැනි මහ දිග කතාවකි.

“මම ඉස්කෝලෙ යන කාලෙ නාලන්ද විද්‍යාලයෙදී කියවපු ඒ පොත කොච්චර මට බලපෑමක් කරාද කියනව නම් මම සඳැස් කවි ලියන්ඩ පටන් ගන්නවා. ඒවා ‘සිළුමිණ’ පත්තරේ ළමා පිටුවෙ තමයි පළවෙන්නේ. එතකොට නාලන්දේ පළමු අවුරුද්දෙන් පසුව- සති අන්තෙකින් පස්සේ මට විද්‍යාලයට ලැබෙනවා ලිපි විසි ගාණක් විතර. නාලන්ද විද්‍යාලයේ එහා පැත්තේ ඉඳලා වෙනම පියන් කෙනෙක් එනවා අපේ පන්ති කාමරයට, මගේ ලියුම් ටික දීල යන්න.”

“ජනක එහෙම ලිව්වේ ‘සිළුමිණේ- කමලා ළමා සමාජයට නේද?”

සමහර විශේෂ දේවල් පවා සමහර වෙලාවල්වලදී අපට නිනව් නැතිව යන අපූරුව...

“ඔව්, කමලා ළමා සමාජයට තමයි ලිව්වේ. කමලක්කට ප්‍රශ්න ලියනව, කවිත් ලියනව. කෙටි කතාත් ලියනවා. හැබැයි, අද කියවනකොට තේරෙනවා, ඒවයෙ පොඩි ජාතිවාදී ගතියකුත් තිබුණු බව. අනගාරික ධර්මපාල වගේ නිර්මාණවල... එතකොට මං ලිව්ව කවි සේරම හතරපද කවි.

-ඔයා දන්නවද, නිමල් අයියේ- අවසාන ‘දවස’ පත්තරේත් මගේ කෙටි කතාවක් දාලා තිබුණා!
ඉස්කෝලෙන් අස්වෙනකොටත් මම පත්තර සෑහෙන ප්‍රමාණයකට ලියල තිබුණා. තරුණි පත්තරේට පවා. ඒ අතරේ නවයුගය වැහුණා. නවයුගය වැහුණට පස්සේ තමයි මම සමුදුර පත්තරේට සම්බන්ධ වෙන්නෙ.

-මම තනියෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්ත කෙනෙක්නෙ. එහෙම ඉගෙනගෙන මම සමුදුරට සම්බන්ධ වුණාම... ඒකට මට උදව් කළේ බන්දුල පද්මකුමාර අයියා. එහෙදි මගේ ඉංග්‍රීසි තවත් දියුණු වුණා. මොකද කියනවා නං, අපට ඒ පත්තරේට ලියන්න තිබුණේ තනිකරම පරිවර්තනනෙ.”

“ඒකෙන් තේරෙන්නෙ ජනක මහත්තයෝ ඔයා ලේක්හවුසියෙන් අයින් වෙලා සුමතියට...”

“නෑ නෑ. ලේක්හවුස් එකෙන් අයින් වෙන්න මම ඒකට සම්බන්ධ වෙලා හිටියෙ නැහැනෙ. මං ඒ පත්තරවලට ලිව්වේ ෆ්‍රීලාන්ස් කෙනෙක් විදිහට... ලිපි ලියල එහාට යැව්වේ තැපෑලෙන්. මම ලේක්හවුස් එක ඇතුළට ගිහිල්ල නෑ කවදාවත්. මගෙ චෙක් එකක් ගන්න ගිහිල්ලා එකම වතාවයි, අජන්තා රණසිංහ මහත්තයව මට හම්බ වුණේ. ඒකත් ලේක්හවුසියේ පඩි පෙළේදි. ඔයා දන්නවද- එතැනදී එයාව දැකල මම බය වුණත් එක්ක. එයා මට කතා කළාම මටත් කතා කතා නොකර බැරි වුණා. මට එතකොට කතා කරන්න බැරි ප්‍රශ්නෙ තිබුණනේ... ඒ කියල කිව්වේ මට ගොත ගැහෙනවනෙ... හරිද...”

සමහර විශේෂ දේවල් පවා සමහර වෙලාවල්වලදී අපට නිනව් නැතිව යන අපූරුව...
පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් ආයතනයේ මුද්‍රණ කළමනාකරු ලෙස මේ ලියන දිසානායකයා එදා, ජනක ඉනිමංකඩ මහතාව මුණ ගැසී පළමු විනාඩි කීපයේදීමය- මා ඒ ගොතය දුටුවේ!
ඒත් දැන් ඒ ගොත ගැසීම නැතිව ගිහිං තියෙන්නේ කොහොමද? ඔහු අද මෙතරම් විවෘතව කතා කරද්දී ඒ ගැනත් ඇසුවාට වරදක් නැත... ඒ විමසීම මඟ පෑදුවේ තවත් අපූරු පරිච්ඡේදයකටයි!

“ඒක මම අවුරුදු විසි එකේදි තනියෙන් හදා ගන්න පටන් ගත්තනෙ.
මං අවුරුදු දෙකහමාරෙන් තමයි ඉස්සෙල්ලම කතා කරන්න පටන් අරං තියෙන්නෙ. ඒකත් ගොත ගගහා... මට අවුරුදු විසි එක වෙනකන්ම මම දරුණු විදියට ගොත ගැහුවා.

-අන්තිමෙදී මමමයි ඒක හරිගස්ස ගත්තේ.
මම ඉස්සෙල්ලම කළේ මට මේ පැටලෙන වචන ඔක්කොම ලියා ගන්න එක. ඊට පස්සේ මම හොයා ගත්තා අයන්නයි බයන්නයි කියන අකුරු දෙකින් පටන් ගන්න වචන තමයි මට පැටලෙන්නේ කියල. මම ඊළඟට කළේ, හිතා-මතාම ඒ වගෙ වචන අතෑරලා කතා කරන්න පටන් ගත්තා.

ගොත ගැහීමත් එක්ක මං කරපු ඒ සටනෙ ජයග්‍රාහී මතක සටහනක් විදිහට තමයි අපේ පුතාට...

-ගොත ගැහීමත් එක්ක මං කරපු ඒ සටනෙ ජයග්‍රාහී මතක සටහනක් විදිහට තමයි අපේ පුතාට අපූර්ව කියල නම දැම්මෙ. එතකොට එයාට කතා කරන හැම වෙලාවකම මං එයාගේ නම අනිවාර්යයෙන්ම කියන්න ඕනිනෙ. ඒකත් හොඳ අභ්‍යාසයක්නේ... හරිද?

-බොහෝම මෑතක මනෝවිද්‍යාව පිළිබඳව උපදේශකවරයෙක් මට කිව්වා ‘ඔයා ඕක ගැන පොතක් ලියන්නකො. ඕක අලුත් සිස්ටම් එකක්. ඔහොම ප්‍රශ්නයක්  තියෙන කෙනෙකුට කොයිතරම් නම් ප්‍රයෝජනයක් වෙයිද?’ කියලා.
නිමල් අයියටම වුණත් හිතාගන්න පුළුවන්ද මම එහෙම ගොත ගගහ හිටපු පුද්ගලයෙක් කියලා- මම දැන් මේ කතා කරන විදියට.”

“ඒ දවස්වලම ඔයාට නොකිව්වට ජනක මහත්තයෝ, මටත් මීටර් වුණා ඒ ලෙඩේ!”

“හරිනේ! අපි හම්බ වෙන කාලෙ මං සීයට සීයක් හරි නෑනෙ.
ඒකටත් එක්ක, දැන් මම කතා කරනවා වැඩිද මංදා.
ඔය පත්තරවල අය සාහිත්‍ය සම්බන්ධ කාරණයකදී මටත් ඉස්සෙල්ලම කතා කරනවා; මගේ අදහස් අහනව, කාලයක් තිස්සෙම. සමහර වෙලාවට මම එයාලට කියනවා ‘උඹල මටම කතා කරන්න එපා බං. දැන් අවුරුදු විසි ගාණක් උඹලා ඔය සාහිත්‍ය මාසෙ එනකොට මගෙන්ම අහන්නේ... තව කොච්චර ඉන්නවද ලංකාවේ?’ කියලා. එතකොට එයාල කියනව ‘බැහැනේ අයියේ, අනිත් ගොඩක් අය ඔව්- නෑ- බෑ- කියනවා විතරයිනෙ. ඔයා වගේ දිගට විස්තර ඇතිව කියන්නෙ නැහැනෙ. අපිට පත්තරේ පිටුවකටවත් විස්තර ඕනිනෙ, අයියේ.’ කියලා. මට හිතෙනවා ඒ කාලෙ මම වැඩියෙන් කතා නොකර හිටි එකේ ඇරියස් cover කරනවා වෙන්නැති කියලත්!”

ඒ වෙලාවේ මං වහන්සේ ජනක ඉනිමංකඩ මහතාට බාධා නොකර හිටියේ, වෙලාව ඉතිරි කර ගන්නටය. මං එහෙම කළේ ඒ වෙද්දීත් මගේ අත් ඔරලෝසුවේ කටු වෙනදාටත් වැඩි වේගයකින් කැරකැවෙමින් තියෙන බව පෙනුණු නිසාය.
මගේ හිසේ කැරකැවෙමින් තිබුණේ ජනකගේ දොඩමළු බවට හොඳම සාක්ෂියකි; 2023 සැප්තැම්බරයේ පුවත්පතක පළවී තිබුණු ලිපියකි.
ඒ ලිපියේ වචන 1700කි: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සාහිත්‍යවේදීන් හතර දෙනෙකු ඊට අදහස් දක්වා තිබිණි. එහි වැඩි ඉඩක් ලැබී තිබුණු ජනකගේ අදහස්වලට වචන 476කි. අනෙක් සාහිත්‍යවේදීන් තිදෙනාගේම ප්‍රකාශවලට වචන 720කි.

එහිදී ඉනිමංකඩ කියා තිබුණු අදහස් ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ කෙරෙහි කොතෙක් දුරට; කෙසේ බලපා තිබේද? නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය සාහිත්‍යකාමීන්ටම සසඳා බලන්නටය, යටකී වදන් 476 මෙතැනට ඔබන්නේ. (ඒ ලිපියට අදහස් පළකොට තිබුණු අනෙක් සාහිතකාමීන් තිදෙනාට මදිකමක් වේදැයි නොදන්නා බැවිනි; ඒ ලිපියම කියවන්නට ලින්කුව නොයොදන්නේ.) 

“2007දී ස්වර්ණ පුස්තක සම්මාන උත්සවය පටන් ගැනීමට පෙර පරිවර්තන කෘති සඳහා විශාල ඉල්ලුමක් පැවතුණත් නවකතා සඳහා එතරම් ඉල්ලුමක් පැවතියේ නැහැ. ඒ සඳහා තිබුණු ඉල්ලුම පහළ ගොස් තිබුණා. මේ නිසා පොත් ප්‍රකාශකයන් වැඩි අවධානයක් යොමු කර තිබුණේ පරිවර්තන කෘති සහ අධ්‍යාපනික ග්‍රන්ථ කෙරෙහි පමණයි. නමුත් ස්වර්ණ පුස්තක සම්මාන උත්සවය ආරම්භ වීමත් සමඟ ලංකාවේ පොත් ප්‍රකාශකයන් අතර නවකතා ප්‍රකාශයට පත් කිරීම සඳහා විශාල උනන්දුවක් ඇති වුණා.

සම්මාන පිරිනැමීමේදී ලබා දුන් මුදල් ත්‍යාගය හා ඊට ලැබුණු ප්‍රචාරයත්...

සම්මාන පිරිනැමීමේදී ලබා දුන් මුදල් ත්‍යාගය හා ඊට ලැබුණු ප්‍රචාරයත් පොත් ප්‍රදර්ශනයට සමගාමීව සම්මාන කෘති ප්‍රකාශයට පත්වීමත් නිසා මේ සඳහා පාඨක ප්‍රජාව තුළ විශාල ඉල්ලුමක් ඇති වුණා. ඒ සමඟ පොත් ප්‍රකාශකයෝ අතරත් ලේඛකයෝ අතරත් තරගයක් නිර්මාණය වුණා.

සම්මාන උත්සවය මේ තත්ත්වයට වැටෙන්නට පෙර මේ පිළිබඳ විශිෂ්ටතම පුරෝකථනය සිදු කළේ ලේඛකයකු හා සාහිත්‍ය විචාරකයකු වන කේ.කේ. සමන් කුමාරයි. සාහිත්‍ය උත්සවය ආරම්භ වී ටික කාලයක් යද්දී ඔහු පවසා සිටියේ “ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ යනු සිංහල නවකතාව වෙළාගත් හූනියමක්” බවයි. මොකද මෙහි පූර්ණ බලය පැවතියේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තුළ නිසයි.
නමුත් ස්වර්ණ පුස්තක සම්මානයත් සමඟ සිංහල නවකතාව දියුණු වුණා වගේම අලුත් නවකතා රචකයන් බිහි වුණා. අලුත් නවකතා ආකෘති රටා බිහි වුණා. ප්‍රකාශකයෝ නවකතා ප්‍රකාශයට පත් කරන්න උනන්දු වුණා. නමුත් අනෙක් අතට ඒ නවකතාවේ දියුණුවට සාපේක්ෂව සංවිධායකයන් විසින් තෝරගත් විනිශ්චය මණ්ඩලය පිළිබඳ ගැටලු මතු වුණා. ඒ ඔවුන් මේ සඳහා සුදුසුකම් ලත් පිරිසක්ද කියන ගැටලුවයි. ඒ නිසා ඔවුන් විසින් නිර්දේශ කළ සම්මාන විවේචනයට භාජන වෙන්න පටන් ගත්තා.
ඕනම රටක සාහිත්‍ය උත්සවයක් පිළිබඳ සියලු කටයුතු ඇගැයීමට ලක්කිරීම අදාළ ක්ෂේත්‍රයේ දියුණුවට
, අභිවෘද්ධියට සහ ඒ පිළිබඳ උනන්දුව නොබිඳී පවත්වා ගෙන යෑම සඳහා ඉතාම වැදගත්. ඒ නිසා සම්මාන උත්සව පැවතිය යුතුයි. මේ තියෙන්නේ සම්මාන උත්සවය හෝ සිංහල නවකතාව පිළිබඳ ගැටලුවක් නෙමෙයි. ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන උත්සවය පැවැත්වීමට පෙර සිට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ, ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළ, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ ආදී සම්මාන උත්සව පැවතුණා. ඒ නිසා එකී උත්සවවල සම්මානයට පාත්‍ර වන කෘති තෝරා ගැනීමෙන් අපේ විනිශ්චය මණ්ඩලය වැළකී ඉන්න ඕන; එතකොට අපේ සම්මානය වෙනස් එකක් විදියට සමාජ ගතවී විශාල ප්‍රචාරයක් ලැබේවි වගේ අදහසක් මේ අය අතර තිබුණා. ඒ වගේම එකම කණ්ඩායමක් විනිශ්චය මණ්ඩල දෙක තුනක කටයුතු කිරීම නිසා මුල සිටම ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණා.

මේ ගැටලුව සඳහා මගේ යෝජනාව වෙන්නේ ප්‍රකාශකයන්ගේ සංගමය මේ සඳහා ආයෝජනය කරමින් සංවිධානය කිරීම පමණක් සිදු කර ස්වාධීන අපක්ෂපාති සාහිත්‍ය පිළිබඳ පරිචයක් ඇති ප්‍රාමාණික කණ්ඩායමකට මේ වැඩේ භාරදිය යුතු බවයි. මේ සම්මානය සඳහා පාදක වුණ මෑන් බුකර් පදනම වුණත් කටයුතු කරන්නේ එහෙමයි. ඔවුන් ඊට පහසුකම් සැපයුවත් ඒ සඳහා අවශ්‍ය ලේඛකයින් තෝරා පත්කර ගැනීමේ කටයුත්ත වෙනම කණ්ඩායමකට භාරදී තිබෙනවා. ඒ නිසා ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන උලෙළ පිළිබඳ ගැටලුවක් ඇති නොවන්න එවැනි කණ්ඩායමක් අතට මේ කටයුත්ත භාරදීම යෝග්‍යයි.

ප්‍රකාශකයෙක් ලෙසත් මේ සංවිධානයේ කටයුතුවලට ආරම්භයේ සිට මූලිකව දායක වූ අයකු ලෙසත් මගේ අදහස නම් සාහිත්‍ය විචාරය පිළිබඳ අවබෝධය ඇති තරුණ අය වරින් වර මේ කටයුත්ත සඳහා සහභාගි කරවා ගැනීම මෙහි ඉදිරි දියුණුව සඳහා ඉතාම වැදගත් බවයි. ඒ වගේම කිසිම සම්මාන උලෙළක් හැමදෙනාම සතුටු කරන්න පවත්වන්න බැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මතුවන විවේචන සංවාද ඉතා වැදගත්. ඒ දේවල් කෙරෙහි අවධානය යොමු කරමින් මෙය ඉදිරියටත් පවත්වාගෙන යාම වඩා වැදගත් බවයි.“

මම නිමල් අයියට කියන්නං කවුරුවත් නොදන්න කතාවක්. විදර්ශන නෙමෙයි ඇත්තටම මේ ප්‍රකාශන ආයතනයට දාන්න හිතපු නම...

ඔන්න එතැනින් පීල්ල මාරු කරපු තැනටම... ජනක හිතවතා විජයග්‍රාහී ලෙස ගොත ගැසීම ජයගත් කාලයට...

“එතකොට, විභවි සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මාවයි, ජයතිලක කම්මැල්ලවීර සහ පියසිරි කුලරත්න මහත්වරුන්වයි  ඉන්දියාවට යවනවා විභවියට ආධාර කරපු මව් සංවිධානයෙන්... ඒ කිව්වේ ‘හීවෝස්’ එකේ වැඩකට- දවස් විසි ගණනක සංචාරයකට.

-එතකොට අර දෙන්නා වැඩිහිටියොනෙ, මම තමයි තරුණයා. ඒ ගමනේදී මං ඉන්දියාවේ බැංගලෝර්වල තිබුණු පොත් සාප්පුවකින් පොත් ගොඩක් ගත්තා. ගබ්රියෙල් ගාර්ෂියා මාකේස්ගේ පොතුත් එතැන තිබ්බා. එයින් මගේ හිතට ඇල්ලූ කෙටි නවකතා දෙකක් මම පරිවර්තනය කරන්න පටන් ගන්නවා.
ඒ පරිවර්තන වැඩේ ඉවර කරලා ඒක පොතක් ලෙස හරි ගස්සලා මම මේක අරගෙන යනවා XX ප්‍රකාශන ආයතනයට. “තමුසෙගෙ පොත් මොනවද අයිසේ
? මේ ලියනගේ අමරකීර්තිගේ පොත්වත් විකිණෙන්නෙ නෑ. තමුසෙලා වගේ අයගේ පොත් ගහල වැඩක් නෑ” කියල ඒකෙ ලොකු මහත්තය ගේට්ටුව ගාවින්ම මාව පන්න ගත්තා.

-එයා මට ‘තමුසෙ’ කියලා කතා කරපු එක එච්චර මට හරි ගියේ නෑ. සමහරවිට ඒ එයා කතා කරන විදිය වෙන්නැති. ඉතාම තරුණ වයසකනෙ මම හිටියෙත්. මට අවුරුදු එ..ත..කො..ට වයස විසි..හ..ත..ර..නේ... ඔව්! 24දී තමයි ඒක වුණේ.”

ඒ වෙද්දී ලංකාවේත්, ලෝකයේත් සාහිත්‍යය පිළිබඳ (ජනක ඉනිමංකඩට තිබුණු) ඉව හා යථාවබෝධය අර ප්‍රකාශක මහතාට නොතිබුණු විත්තියයි, මට හැඟෙන්නේ. ඉතා ප්‍රශස්ත සාහිත්‍ය කෘති කිහිපයක්ම පළකොට තිබුණු ‘ඒ ප්‍රකාශන ආයතනය’ මේ වෙද්දී අකර්මණ්‍යය. මා මේවා කියන්නේ නිකම්ම නොවේ; සහේතුකවය.
(ඒ ආයතනයේ පොතුත් මුද්‍රණය කෙරුණේ, මා සේවය කළ ‘පියසිරියේම’ බැවිනි.)

“ඔව්! 24දී තමයි ඒක වුණේ.
මම තවත් ප්‍රකාශකයො හොයාගෙන ගියේ නෑ . එකෙන්ම එපා වුණා! එකෙන්ම එපා වෙලා මං මේ ‘කර්නල් සහ එරෙන්දිරා’ පොත කීප දෙනෙකුටම දුන්නා කියවල බලන්න. එහෙම දුන්නේ අතින් ලියපු අත් පිටපත. එහෙම දුන්නු කීප දෙනාගෙන් එක්කෙනෙක් තමයි සයිමන් නවගත්තේගම. සයිමන් නවගත්තේගම මහත්තයාව මට හම්බ වුණෙත් විභවියේදී.

-‘මොනවද අයිසෙ කරන්නේ? ඔහොම කරලා හරි යන්නෑ. තාත්තට සල්ලි තියෙනව නේද... තාත්තගෙන් සල්ලි ටිකක් ඉල්ලගෙන ගහනවා මේ පොත කර්තෘ ප්‍රකාශනයක් විදිහට’ කියල සයිමන් මහත්තයා මට යෝජනා කෙරුවා.
දවස් දෙකකින් මං සයිමන් මහත්තයට කතා කෙරුවා. මම ආයතනයක් පටන් ගන්න ලෑස්ති කරපු බව එයාට කිව්වා.

-‘හා, එහෙනං මගේ පොතකුත් දෙන්නං- ඒකෙන් ගහන්න.
නිවාඩු වෙලාවක සිගරැට් පැකට් එකකුත් අරං එනවකො මාව හම්බ වෙන්න. එතකොට මං කියල දෙන්නංකො ඔය වැඩේ කෙරෙන විදිහ ගැන...’ කියලයි එතකොට නවගත්තේගම මහත්තය උත්තර දුන්නේ. එහෙමයි ‘සංසාරණ්‍යයේ දඩයක්කාරයා’ පොත විදර්ශන එකෙන් ගහපු පළමුවෙනි පොත් දෙකෙන් එකක් වුණේ!

-මම නිමල් අයියට කියන්නං කවුරුවත් නොදන්න කතාවක්. විදර්ශන නෙමෙයි ඇත්තටම මේ ප්‍රකාශන ආයතනයට දාන්න හිතපු නම ‘ප්‍රතිභා’.

ඒත් මොකද්දෝ සංසාරික බැඳීමකට මට එය අතහැරදා යා නොහැකිම විය!

-ඒ ප්‍රතිභා නම තීරණේ කරගෙන සතියකට පස්සේ මට දැනගන්න ලැබුණා මෙහෙම දෙයක්. අපේ ප්‍රවීන කැමරා ශිල්පී ලාල් හෑගොඩ මහත්තයාගේ තාත්ත; විල්සන් හෑගොඩ මහත්තය... බොහොම කාලෙකට කලින් පටන්ගෙන තියෙනවා ‘ප්‍රතිභා කලා කවය’ කියල එකක්. ඒකෙන් කැමරා ශිල්පය ගැන පොත් පවා අච්චු ගස්සල තිබුණා. ඉතිං ප්‍රතිභා නම අතෑරලා, මං වෙන නමක් ගැන හිතුවා.

-විභවියෙන් පටන් අරං තිබ්බනේ ‘විදසුන්’ කියල කලා උළෙලක්. මමත් මුලින්ම සම්බන්ධ වුණේ ඒකටනෙ. විදසුන් නමෙන් අරගෙන තමයි මගේ ප්‍රකාශන ආයතනයට ‘විදර්ශන’ කියල නම දැම්මෙ.”

ජනක- තුෂාරි යුවලගේ වැඩිමල් දියණිය විදූෂිය. “මම හිතාගෙන හිටියෙ ජනක මහත්තය ලොකු දෝණියන්දෑගෙ නමෙන් විදර්ශන නම හදා ගත්ත කියලයි.” මම කීවෙමි.

“නෑ නෑ, විදූෂි ඉපදුණේ දෙදාහෙනේ- විදර්ශන පටන්ගත්තේ 1997. හැබැයි, විදූෂිට නම දැම්මෙ නං විදර්ශන නම මතක් කරලා.

-හැබැයි විදර්ශන නමටත්  මගේ සමහර යාළු මිත්‍රයන් කැමති වුණේ නෑ. මට ඉතාමත් හිතවත් මහාචාර්යවරයෙක් මට කිව්වා ‘විදර්ශන නම දාන්න එපා. ඔය නමේ ගණ පිහිටීම හොඳ නෑ.’ කියල.

-ඊට පස්සේ මේ ආයතනය තුන් පාරක්ම කඩාගෙන වැටුණනෙ.” ජනක කියන්නේ හිනා විසුරුවමිනි.

මා විදර්ශන ආයතනයේ සේවය කරන කාලයේදී; 2010දී, ජනකගේ පියාණන් (මගේ හිතවතෙකු වන මර්වින් බොතේජු කියන විදිහට නම්-) අයි. කේ. මහතා කිහිප වරක්ම මට කියූ දෙයක් මට මතක් වෙයි. “අනේ ළමයෝ, අපේ මිනිහට කියනවකො මේ පොත් කෙරුවාව අල්ලලා දාලා, වෙන බිස්නස් එකක් පටන් ගන්නයි කියල.” ඒ ආදරණීය තාත්තා පුතණුවන්ටත් ඒ අවවාදයම දීලා තිබුණු බව (2013 මාර්තු 3 වෙනිදා) මා දැනගත්තේ ජනක ඉනිමංකඩම fb එකේ තැබූ සටහනකිනි.

‘ඒ 'හත්තිලව්ව' කෙරෙහි වූ සංසාරික බැඳීම

දුර ගමනක් යන අතරතුරදී හෝ ඉඳහිට දුරකථනයෙන් අමතා හෝ එකල තාත්තා බොහෝ විට කී කරුණක් වූයේ ''ඔය හත්තිලව්ව අතෑරල වෙන වැඩක් කරනවා'' කියා ය.

"තරුණ කාලෙ ඕවා ආසාවට කළාට දැන් එහෙම බෑනෙ... ගෑනියෙක් ඉන්නව... දරු තුන් දෙනෙක් ඉන්නව... තමුසෙගෙ මේ වැඩ නිසා එවුනුත් දුක් විඳිනව... දැන් කී සැරයක් ඕක බංකොළොත් වුණාද... ඔය හත්තිලව්ව අතෑරල දානව..."

ඒත් මොකද්දෝ සංසාරික බැඳීමකට මට එය අතහැරදා යා නොහැකිම විය. එහිම බැඳි බැඳී ඉන්නටම ඉරණම ලියැවී තිබුණි. කෙතරම් අතරමං වුවද, නාඳුනන බැදිවල මග සොයා ගොස් අවසානය පෙනි පෙනී යළි ගැලවී ආවද මෙහි මැජික් දොර හැරෙන යතුර කෙසේ හෝ පාදා ගනිමිය යන අධිෂ්ඨානය කිසි දින නොමැරී යළි යළිත් දළු ළමින් නිරන්තරවම වැඩිණ.

දශක දෙකක් අවසන මම ඒ 'හත්තිලව්වෙන්' එගොඩවන මැජික් යතුර පාදා ගන්නා විට තාත්තා මෙලොව ගමන නිමකර සිටියෙන්, මා එහි සරු අස්වනු නෙළනු දකින්නට ඔහුට නොහැකි විය.’

මේ පෝස්ටු මාලාවේ පළමුවැන්න අවසන් කළ වැකියම වචන තුනක් පමණක් වෙනස් කර, ආයෙමත් උපුටා දක්වමි. දෙවෙනි කොටසය කියලා ඔක්කොම ලියන්නයැ, අදට ලියපු හරිය හොඳටම ඇති වගේ.
ඉතිරි කොටස ඊළඟට...