“මරු අයිඩියා එකක්නෙ මේ! වට්ටක්කා සුප් එක්ක හුළං විස්කෝතු. අපේ කට්ටියට නං වැඩේ අල්ලලා යනවා වගෙයි...”
“හොඳයිද සර්... හුළං විස්කෝතු තව තියෙනවා... බාස්කට් එකට ගොඩක් දැම්මෙ නැත්තේ පෙඟෙන්න
බලන නිසා...” ජනක, අපේ හිතවතා ප්‍රියන්තට උත්තර දෙන අතරේ සාන්ත මට ප්‍රශ්නයක් ඉදිරිපත්
කරයි.
“නිමල් අයියට කියන්න පුළුවන්ද අර වට්ටක්ක සුප් දාල තියෙන භාජනේ වෙනසක්?”
(ඒ බඳුන්වල
ඡායාරූපයක් පසුගිය කොටසේ අවසානයට
පළකොට තිබෙයි.)
ඔයා දන්නවද ජපානේ හුඟක් වෙලාවට සුප් ජාති
සර්ව් කරන්නෙත් ඔය වගේ පාට දෙකේ භාජනවල... |
“අන්න හරි. ඔයා දන්නවද ජපානේ හුඟක් වෙලාවට සුප් ජාති සර්ව් කරන්නෙත් ඔය වගේ පාට දෙකේ හරි තද පාට හරි භාජනවල වගෙයි මම දැක්කේ.” ජපානයේ අවරුදු 5 ½ ක් රැකියාව කර තිබෙන සාන්තට ජපන් සිරිත්-විරිත් හා සංස්කෘතිය ගැන සෑහෙන දැනීමක් තිබෙයි. “අනෙක නිමල් අයියේ, ජපන් රටේ කන බොන වැඩ හැම එකක්ම හරිම ලස්සනයි. කලාවක් තියෙනවා.”
“කලාව අගේ කරන තැනක විදිහනෙ ඒ. මේ වගේ ලස්සන
තැනකට ආවමත් නිකං මිනිස්සුත් කලාකාරයෝ වෙනවා...”
“අයියෝ සාන්ත, ඔන්න ඔය නිමල් අයියත් එක්ක කතාව නවත්තලා
මෙහාට වරෙන් මචං... බලපං, මේ නෙවිල් අනුරසිරි පින්වතා කොච්චර මහන්සියෙන් මෙතන
පූජාව ලැහැස්ති කරනවද කියලා.” ස්වීට් අතුල සාන්තව ඇදගෙන යයි. (ඒ දෙන්නා මිතුරන් වී
තියෙන්නේ ජපානයේදීය.)
“පූජාව? අම්මප ඔව්නේ!”
නෙවිල් එහෙමය. හුඟක් තැන්වලදී බයිට් වර්ග-
වීදුරු- ෂැන්ඩි වර්ග- අයිස් කැට වගේ දේවල් එක්කාසු කරලා සුදුසු තැනක් සූදානං කරයි.
එතැනට උත්සවශ්‍රීයෙන් ‘බේත්’ බෝතල් වඩම්මන්නේ අන්තිමටමය.
“පව් ඩෝ, අපි පරක්කු වෙනකොට මිස්ටර් අනුරසිරිගේ හිත කැඩෙයි බං. නැද්ද හරිශ්?”
“නැත්තං නැත්තං... මෙන්න මෙහෙ එන්න සාන්ත. සාන්තට ඕන්නං නිමල් අයියල ගෙදට්ට ගිහිල්ල
ඔය ඕනි කතාවක් කර ගන්න බැරිය.”
“උඹල දන්නෑ මචං. නිමලයා blog එකට ලියන්න විස්තර
එකතු කරනවා.”
“Blog එක නෙවෙයි මර්වින්. චීත්තවාහිනිය.” චීත්තවාහිනී නම රෙජිස්ටර්
කෙරූ නෙවිල් කියයි.
“ඊට වැඩිය බයානකයි පුතෝ, දැන් හැමෝම වෙන දේවල් ඔක්කොම වීඩියෝ කරනවා, foto ගන්නවා.
මේකා එව්වා සේරම ඉල්ල ගන්නවා.”
කතාව ඇත්තය. Trip එක ගිහිං ආවට පස්සේ මගේ
කොම්පියුටරේ සෑහෙන පදමක ඉඩක් පිරෙයි. ඒ මා ඉල්ලා ගන්නා වීඩියෝ clips හා fotoවලිනි.
ඒවාත්, මගේ (අපූරු) මතකයත්- මේ විස්තර ආදරණීය ඔබට ගෙනෙන්නට ගොඩාරියක් උදව් වෙයි. (මේ
වතාවේ foto හා වීඩියෝ වෙනුවෙන් ගොඩක් ස්තුතියි- සෙරාන්, වෙනුජ, දිලිනි තුන්
දෙනාටම!)
ඒ ෆොටෝස් හා වීඩියෝ ක්ලිප්ස්තුත්, මේ විස්තර ආදරණීය ඔබට ගෙනෙන්නට ගොඩාරියක්
උදව්... (වමේ සිට- සෙරාන්, දිලිනි, මිත්මා, වෙනුජ හා චූටි දූ සනුති) |
එදා රාත්තිරියේ නෙවිල්ලා ඔසු පැන් සාදයට ලැහැස්ති වෙන අස්සේය- ඒ ප්රශ්නය රහසෙන්
මගේ කනට කෙඳිරුණේ. ඊට පස්සේ- මගෙන් ඒ ප්රශ්නය ජනකට...
“සිංහරාජේ කඳුකර අලි දෙන්නෙක් තමයි ඉන්නව කියලා කියන්නේ. උන් මේ හරියට නෙවෙයි,
සිංහරාජ ආරන්නෙට නං ඇවිත් යනවලු. ඒකත් අවුරුද්දකට සැරයක් කියලයි කියන්නේ... ප්‍රියන්ත
මහත්තය කිව්වා හෙට ඔයාලා සෙන්චූරියා එකට ගියාම ඒ ආරණ්‍යය බලන්නත් යනවය කියල.”
ඒ කතාව ඇහෙද්දී නං මට හිනා ගියේ නිකංමය.
අවුරුද්දකට වතාවක්... තව ටික කාලෙකින් කියාවි,
එකම දවසකයි එන්නේ කියලත්! (අඥාත කර්තෘක) මෙහෙම කතාවල් උපාසක- උපාසිකාවන්ගේ ශ්‍රද්ධාව;
භක්තිය තව-තවත් වර්ධනය කරවයි; ඔවුන්ව මෝහනය කරවයි! ඒ තැන්වලට ඔවුන්ව අද්දවයි...
නිකවැරටිය, දොළුකන්ද ගැනත් කියැවුණු කතන්දර ඔයාලටත් තවම මතක ඇති නේද?
ඒ අතරේ වෙනුජත්, සෙරානුත් ට්‍රයිපොඩ් එකක් අටවන්නට
සැරසෙති. ඒ මෝදුවෙන සඳේ චමත්කාරය වීඩියෝවක හිර කර ගන්නටය.
“අර අර හඳ පායගෙන එනවා... නියමෙට ගන්න පුළුවන් සෙරාන් අයියේ.”
“මේ විදිහට දිගටම මීදුම නැතුව තිබුණොත් නං...”
“අර ඈතින්ම යන්තමට පේන්නේ සිරීපාද කන්දද... ඒ
සීන් එකත් දිලිනි අක්කගේ ෆෝන් එකෙන් අරගෙන බලමුද...”
ඇත්තෙන්ම ‘අඹරෝරෙට ටිකක් යටින්’ තියෙන Skydeck
කෑම්පින් අඩවියත්, මේ ඉසව්වත් එහාට යන අයව පිස්සු වට්ටවන තරමේ නෙත්කලු දසුන්වලින්
පිරුණු තෝතැන්නකි!
ඔබ ඒ ඉසව්වේ කොතැනට ගියත්, පේන තෙක් මානයේ
අනන්තය තෙක්ම විහිදෙන අහස් නිල්ල පෙනෙයි. ධවල වලාවන් විතරකි; ඒ නිල්ලේ නේක සිතුවම්
අඳින්නේ.
ඒ වලාකුළු සිත්තම්වලට හානි වෙතැයි බියෙන් දෝ සකුණ, විහඟ කැල පවා ගුවන සිසාරා
පියාඹා යෑමෙන් වැළකී ඉන්නවා වගෙය...
එත්, හිටි අඩියේ නොහික්මුණු; ආක්‍රමණශීලී හමුදාවක් සේ කඩා වදින හිතුවක්කාර මීදුමක්
ඒ සුන්දර දසුන් වනසා- වසා දමන්නේ, අපට ඔච්චම් කරන්නාක් මෙනි. නමුදු වැඩි වෙලාවක්
එක තැනක රැඳී හිඳින්නටත් ඒ අසංවර මීදුමට බැරිය. ඒවා හෙමිහිට තුනී වී යන්නේ ‘අපි
තමයි හොඳටම කළේ’ කියමිනි.
අපේ සෙරාන්, වෙනුජ වගේ හැකියාවෙන් පිරිපුන්
foto අරගන්නන් විසින් ගනු ලැබූ සූරියකන්දේ මනරම් ඡායාරූප සිය ගණනාවක් වුවද ඉතා
පහසුවෙන් බුකියෙන් සොයාගත හැකිය. චුට්ටක් සොයා බලන්න. ඒවා මගේ යට කී ප්‍රකාශ සනාථ කරවයි.
අප සූර්යෝදය නරඹන අතරේ උදේ තේ එක ready වෙලාය! |
“නියමෙට නින්ද ගියා නිමල් අයියේ!”
“නින්ද ගියා... ඇයි සරත්- ඊයේ හැන්දෑවේ සාන්තලා නෙවිල්ලා ඕමි ගහන වෙලාවෙත් ඔයා අර
ගල් තලාව උඩ හොඳට ගොරව ගොරව නිඳාගෙන හිටියෙ... ඊට පස්සේ රෑටත් හොඳට නින්ද යනවද?”
“ඕක අහනවා දිසානායක, මිස්ටර් මර්වින් බොතේජුගෙන්. එයාට නින්ද ගියෙ නැහැයි කියාගෙනමයි
අද උදේ නැඟිට්ටේ. හැබැයි රෑ තිස්සේ අපිටත් නිඳා ගන්න නෑ- ගෙරෙව්වා.”
“ඒ මම නෙවෙයි යකෝ. හරිශයා...”
සභාවේ සිනා උතුරා පිටාර ගලන්නේ එහෙම වෙලාවලය.
“නිමල් අංකල්, ගියාට පස්සේ මම ඔයාට නියම වීඩියෝ ක්ලිප්ස් දෙකක් දෙන්නං. මර්වින්
අංකලුයි, හරිශ් අංකලුයි දෙන්නා එන ගමනුත් බෙල්ල කඩාගෙන නිඳා ගත්තු හැටි තියෙන...”
වෙනුජ කියයි.
“ඕවා නිමල් අංකල්ට දෙන්න එපා පුතේ. එයා අපිට මඩ ගහනවා.” හරිශ්චන්ද්‍ර කියන්නේ මං
වහන්සේට රවමිනි. “... මෙයා දැන් ඉස්සරට වැඩිය නරකයි පුතේ.”
එතැනම තැග් ගැහෙමින් අපේ වෙලාව ගත වෙද්දී, ස්කයිඩෙක්
එකේ ජනකලා උදේ හීලත් නොපමාවම සූදානම් කරලා ගෙනැවිදින්ය.
“දැන් ඉතිං මේවත් සප්පායම් වෙලා ඉන්න එපැයි- සීතල වෙන්න කලින්. අනේ මන්දා. මේ
ජනකලත් කරන වැඩ අප්පා... බනින්නත් බෑ මූණ බලාගෙන...”
“ඒක නේන්නං මචං. දැන් ඉතිං මක් කරන්නද? කාලා ඉවර වෙලාම මූණ සෝදමු!”
“උඹේ මූණ නං හේදුවේ නැතත් කමක් නෑ. ඊයේ උදෙත් ඔය මූණ හේදුවනේ මචං?”
“ළමයි, අපි එකොළහට කලින් මෙහෙන් පිටත් වෙන්න
ඕනේ. තව කට්ටියක් අද මෙහාට එනවලු. මේ ගොල්ලෝ ඒකට ලෑස්ති වෙන්න ඕනිනෙ.”
“පරක්කු නොවී යන එක කෝකටත් හොඳයි, අයියේ... ඉර පෑව්වට පස්සේ අපට tent අස්සේ ඉන්න
බැරි වෙයි.”
ගාර්ලික් බ්‍රෙඩ්, සොසේජස්, බිත්තර, හතු බැදුමක්, අන්නාසි පෙති, පිපිඤ්ඤ පෙති හා පැපොල්
යුෂත්, කොමඩු යුෂත් එක්ක හටන් කරමින් හිටි අපේ නඩේ උදවිය ප්රියන්තටත්, බබිතාටත්
සවන් දුන්නා විතරකි. උත්තර දෙන්නට; හරස් ප්‍රශ්න අහන්නට ගියේ නැත.
සමහර විට එයාලා එහෙම කරන්නට ඇත්තේ ‘කටේ මොකුත්
තියෙද්දී කතා කරන්නට එපා’ යන අවවාදය හිස් මුඳුනෙන්ම පිළිගන්නා නිසා වෙන්නටත් ඇත.
ඊළඟට අප උන්නේ සෙන්චූරියා එකේය. සූරියකන්දේ Centauria Eco Bungalow එක කදිමය! |
“බබිතා... අපි මේ පාරෙන් ඇවිත් තියෙනවා වගෙයි
මට දැනෙන්නේ. ඔයාට මතක නැද්ද නංගි, අපි පිටදෙනියේ බංගලාවට යන අතරේ රෑ නැවතුණා
නලින්ගේ යාළුවෙකුගේ ගෙදරක... හොඳටම වැස්ස මැද්දේ ඇවිත්... අර... අර... අතැන ගස් අස්සෙ
දොළ පාරකින් නෑවත් එක්ක- පහුවදා උදේ...” මට කියැවුණේ ආවේශයකින් මෙනි. “හරි නං තව ටිකක්
උඩහට යද්දී දකුණු පැත්තෙන් ඒ ගෙදර තියෙන්න ඕනි....”
“හරි නේන්නං බොලේ. අර තියෙන්නේ ඒ ගෙදර... මගේ අම්මේ, අවුරුදු විස්සකට විතර කලින්...
අපේ පොඩි අයියා ඇඹිලිපිටියේ ඉස්පිරිතාලේ වැඩ කරන කාලෙ අපි ඒ ආවේ...”
තවමත් මටම පුදුමය. ජීවිතයේ එකම එක වතාවක් පමණක්
ගිය තැනක්, දිගු කාලයකට පස්සෙත් හඳුනා ගන්නට අපට පුළුවන්ද? එතැන සුවිශේෂ සලකුණු
කිසිවක් නැති විටෙකත්...
ඊළඟට අප උන්නේ සෙන්චූරියා එකේය. සූරියකන්දේ Centauria Eco Bungalow එක
කදිමය!
එතැනත් නිදහස්ය; නිසංසලය; සියලු පහසුකම්වලින් සමන්විතය. ඒත්...ඒත්... එවන් සුවපහසුකම්
අත්විඳිමින් ගෙවූ අවස්ථාවන් ගැන මගේ මතකයේ නම් රැඳී තිබෙන්නේ අඩුවෙනි; ඒවා ගැන මතකයේ
රඳන්නේ අඩුවෙනි.
සංචාරයකදී විතරක් නොවේ, ජීවන සංචාරයෙදීත් අපට
විඳින්නට සිදු වෙන ගැහැට- අන්තරාය- පීඩා ආදිය තදින්ම අපේ මතකයේ තැන්පත් වෙනවා නේද?
මේ හැඟීම මට විතරක් පොදු වූවක්ද?
කූඩැල්ලා මෙට්ටයක් උඩින් තිබ්බාට වැඩක් නැතැයි
ඔබට කිව හැකිය.
එහෙත් එච්.එම්. කුඩලිගම කිවිඳුන්ට විතරක්වත් (මට වගේම) මෙහෙම හිතිලා තිබෙයි.
‘ගංගාවේ ගීතය’ කවි පෙළ රචනා කරන එතුමා එය අවසන් කරන්නේ මේ රසබර පැදියෙනි:
හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරිතම
ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම
සම තැනිතලාවල මතු වෙයි අලසකම
නිරසයි අතරමඟ බාධක නොදුටු බිම
සෙන්චූරියා එකේ කැපී පෙනෙන අංගය ලෙසින් මට පෙනුණේ,
එහි පිහිනුම් තටාකයයි. ප්‍රෝඩාරාමය postsවලදී කියැවුණු ‘හොරණ ගෙදර තඩාගය’ වගේම, මේ
තටාකයත් ඉදිකොට තිබෙන්නේ පිහිටි කළුගල් තලාවක් මතය.
“”ෂෝක් වතුර ටික. පට්ට හීතලයි. නාමුද මචං?”
“නාන්න... කීයටද එතකොට set වෙන්නේ. මම කියන්නද වැඩක්. පූල් එකේ සෙට් වෙමු.”
“නෑ මචං, අර hut එකේ සෙට් වෙමු. ෂොට් දෙකක් විතර දාගෙන පූල් එකට එමු.”
“අද ඒ තරං අමාරු නෑ නිමලෝ!” අතුලත් එක්ක ඉස්සරහින්ම යන මර්වින් කිව්වේ... |
“ඒ මොකෝ? පූල් එක පැනල යනවයැ. අනේ, අපිට කිසි හදිස්සියක් නෑ. හැබැයි ඔයාගේ මහත්තයට
නං කියන්න වෙයි ඉක්මන් කරන්න කියලා... එයා හොරාට හොරාට හෙමීට හෙමීට ගහන හින්ද
වීදුරුවේ මදුරු පණුවෝ බෝ වෙනවා!”
“විහිලු නෙවෙයි අයියේ. අපිට ආරන්නේ බලන්න යන්න
තියෙනවා හවසට. මෙච්චර ළඟට ඇවිල්ලත් එතෙන්ට නොගිහින් යන්නද? අර... අර... අර බස් එක
යන්නෙත් එහාට... වන්දනා නඩයක්.”
“වන්දනා නඩයක්... ආරන්නෙට... අර කන පැලෙන්න
සිංදු දාගෙන ආරන්නේ බලන්නද යන්නේ? මරු.. මරු... අනේ නංගි, ඔන්න ඕකනේ මට සිංහල
බෞද්ධකම එපා වෙලා තියෙන්නෙ. ආරණ්‍යයක් කියන්නේ හාමුදුරුවරු නිස්සද්දව ඉඳගෙන භාවනා
කරන තැනක්නේ. එතෙන්ට මේ මිනිස්සු ගෙන්න ගන්නවද මොළේ තියෙන අය...”
“ඔයාලට ඉතිං... ඔය තව වාහන යන්නෙත් එහාටම තමයි... අපිත් හවසට ගිහිල්ලම බලමුකෝ.”
මෙතැනදී නම් මං වහන්සේ කළ දෙයක් නොකියාම බැරිය.
දෙතුන් දෙනෙකුගෙන් කියැවුණු දේවල් විදිහට මා
ලියා තියෙන්නේ හත්-අට දෙනෙකුගෙන් කියැවුණු දේවල්ය. කරුණු වශයෙන් වැදගත් දේවල්
සිහියේ රැඳී තිබෙතත්, ඒවා කිව්වේ කවුදැයි ටක්කෙටම මගේ මතකයේ නැතිය. ඒ හින්දාමය, ඒ
කතන්දර කිව්වේ කවුරු- කවුරුන්දැයි නොලියා තියෙන්නෙත්.
එදා හවසත් මං හැදුවේ කන්ද නොනැඟ ඉන්නටය.
“වැඩිය දුරක් නෑ නිමල්. නැවති නැවතී ගියත් පැය
බාගයක් යන්නැහැලු...”
“මං ලැහැස්ති වුණෙත් නෑ.”
“මොන ලෑස්තියක්ද අනේ... ඔන්නොහෙ සරම පිටිං යං.”
“ඒකනේ... යමු, යමු. කවිජ- ඔයා එන්න නිමල් අංකල් ළඟින්...”
“අපරාදේ කියන්න බෑ නංගි. නොකිව්වත් කවිජලා මට උදව් කරනවා- පොඩ්ඩක් හරි අමාරු පාටක්
දැක්කොත්. ඊයේ ගල්දොළට නාන්න යද්දිත් එහෙමයි!”
“අද ඒ තරං අමාරු නෑ නිමලෝ!” අතුලත් එක්ක
ඉස්සරහින්ම යන මර්වින් කිව්වේ එතකොටය.
“අයියොඃ... අමාරු නං මට කියන්න මිස්ටර්
දිසානායක. මම උස්සගෙන යන්නං... හඃ හඃ හඃ!” අතුලත් කියයි.
“මේ අතුල. නිමල් අයියට උදව් කිරිල්ල තියලා- ගයායි සනෝලියි කොහේද කියලා බලල ඉන්නවා.
ගයා හැම තිස්සෙම පරක්කුයි.”
“ඒකනේ... මං එයාව ඩිවෝස් කරන්න යන්නේ...” ඔහොම කතන්දර කියැවෙද්දී ආරණ්‍යය සීමාව ඇතුළේදී
වුණත් හිනා නොවී ඉඳිතෑකිද?
බුදු හිමියන්ටවත් නැති වැදගත්කමක් හාමුදුරුවරුන් වහන්සේලා සිව්
දෙනෙකුන්හටත්- ගිහි පින්වතෙකුහටත් ඒ පුවරුවෙන් පුදා තිබෙයි! |
“අනේ වෙනුජ, හොඳ පුතා වගේ මෙන්න මේකෙත් foto එකක් ගන්නකො.”
මං කිව්වේ ‘අඩි 65කින් සමන්විත අවුකන ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ’ගේ පාමුල
ස්ථාපනය කර තිබුණු ශෛලමය පුවරුවේ ඡායාරූපයක් ගන්නටය. (දිලිනි, සෙරාන්, වෙනුජ තුන්
දෙනා එතැනදී foto සිය ගණනාවක් අරංය!)
ඒ ගැන කියන්නට කලින් ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන
ආදරණීය ඔබට කියවීමට දෙන්නේ ‘අර ගල් පුවරුවේ’ තිබෙන දේවල්ය.
හැම කෙහෙල්මලක්ම විග්රහ කරමින් බලන; හැංගී
තියෙන දේවල් හොයන ‘නසරානි පුරුද්දක් ඇති’ මේ නිමල් දිසානායකයා කොච්චර හෙව්වත් ‘අඩි
65කින් සමන්විත’ බුදු හිමි කෙනෙකු එතැනදී මේකාට දැක ගන්නට ලැබුණේ නැත!
අනේ පව්!
පිළිම වහන්සේ ඉදි කරන්නට අවුරුදු 16ක් ගිහිංය. ඒ ඉවසීම ‘සමරු ඵලකයේ ලියැවිල්ල’
කෙටුම්පත් කරද්දී තිබිල නැතිවා වගෙය. මට හිතෙන්නේ එය ලියන්නට ඇත්තේ ‘තවමත් සිංහල
ඉගෙන ගන්නා; කරුණු කාරණා නොදන්නා සාමණේර හාමුදුරුවන් වහන්සේ නමක්’ වෙන්නැති
කියලාය.
ඒ ශිලා පුවරුව පිහිටුවන්නට ඇත්තේ ‘අවුකන ශ්‍රී
සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ’ නිරාවරණය කළ බව චිරාත් කාලයක් යනතුරුම සටහන්කොට තියන්නටය.
එහෙත් එහි පිළිමයේ නම සටහන්ව ඇත්තේ සාමාන්‍ය අකුරෙනි. බුදු හිමියන්ටවත් නැති
වැදගත්කමක් හාමුදුරුවරුන් වහන්සේලා සිව් දෙනෙකුන්හටත්- ගිහි පින්වතෙකුහටත් ඒ
පුවරුවෙන් පුදා තිබෙයි!
(ඒ පුවරුවේ තිබෙන විදිහටමය, ඒ ලියැවිල්ල මේ
අකුරු කරන්නේ.)
“සුඛෝ බුද්ධානං උප්පාදෝ”
වර්ෂ 1962ක් වූ මාර්තු මස 08 වන දින
ශ්‍යාමෝපාලි වනවාස මහා නිකායේ
මහා නායක බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය
පට්ටියවෙල ශ්‍රී රෝහණසිරි
මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින්
ආරම්භ කරන ලද
ඓතිහාසික සිංහරාජ ප්‍රාන්ත අරණ්‍ය සේනාසනයේ
2008 වර්ෂයේ නොවැම්බර් මස 28 වන දින
සේනාසනාධිපති
පූජ්‍ය හේනේගම ධම්මාධාර ස්වාමීද්රයාණන්ගේ
සහ පාලක අනුශාසක පූජ්‍ය
ගොඩකුඹුරේ ධම්මප්‍රිය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ
අනුශාසනා පරිදි වත්මන් පාලක අනුශාසක ශ්‍රී රෝහණ
වනවාස මූලික පිරිවෙනේ නිර්මාතෘ සහ කෘත්‍යාධිකාරී
පූජ්‍ය දෙමුවාවත චන්දානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ
මෙහෙයවීමෙන් සහ කැපවීමෙන්
අඩි 65කින් සමන්විත අවුකන ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ
නිර්මාණය කිරීම සඳහා මුල්ගල් තබා භාරකාර මණ්ඩලයේ සහ
දායකකාරකාදී සැදැහැවතුන්ගේ ආධාර උපකාර මත
නිර්මාණය කොට 2024ක් වූ ජනවාරි මස 12 වන දින
ලෝවැසි සැදැහැවතුන්ට වන්දනා කිරීමට අරණ්‍ය සේනාසනයේ
භාරකාර තැන්පත් කරංකැටිය සමූහ ව්‍යාපාරයේ අධිපති
රොහාන් කුරුප්පු මහතාගේ පිංබර සුරතින්
නිරාවරණය කරන ලදි.
“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං”
ඒ පිළිම වහන්සේටත් වඩා නරඹන අයගේ අවධානය දිනා ගන්නා බව පෙනෙන්නේ- ඉදිරිපසින්
තිබෙන දිගු ‘නැරඹුම් වේදිකාව’යි. |
එදා මට පෙනුණු විදිහට නම්, එතැන වඩාත් සිත් ගෙන
ඇත්තේ ගැටවර ගැටවරියන්ගේය; තුරුණු පෙම්වතුන්ගේය. අප හැරුණුකොට එදා එතැන වැඩියෙන්ම
හිටියේ එවන් පිරිස්ය. සමහරවිට එහෙම වෙන්නට ඇත්තේ ගොම්මන් වෙලාව එළඹෙමින් තිබුණු නිසා
වෙන්නටත් හැකිය.
ඒ පිළිම වහන්සේටත් වඩා නරඹන අයගේ අවධානය දිනා
ගන්නා බව පෙනෙන්නේ- ඉදිරිපසින් තිබෙන දිගු ‘නැරඹුම් වේදිකාව’යි. ඒ වේදිකාවේ කෙළවරට
ගියාම සැතපුම් සිය ගණනාවක් ඈත ඔබට පෙනෙයි.
එහි සෙල්ෆි ගනිමින් සිටි කෙනෙකුගෙන් කියැවුණු විදිහට නම් රක්වාන නගරයයි, ළඟින්ම
දැකිය හැක්කේ.
“ආරණ්‍යය සේනාසනයක් කිව්වට මොකද මෙතෙන්ට වැඩි-වැඩියෙන්
වන්දනා නඩ අද්දව ගන්න කැමති පාටයි. පිළිම එහෙම වැඩියෙන් නෙළල තියෙන්නෙ ඒක නිසා
වෙන්නැති.”
“දැනටත් වන්දනා නඩ පිටින් ඔය එන්නේ දානේ දෙන්න බාර ගත්තු උදවියලු.”
සිරීපාදේ කරුණා කරන්නට යන අපේ බැතිමතුන් ඒ පූජනීය
අඩවියේ කැළි කසළ ටොන් ගණනිනි, දමා එන්නේ.
“තව වැඩි දවසක් යන්න කලින් ඒ සන්තෑසියම තමයි
‘සිංහරාජ ප්‍රාන්ත අරණ්‍ය සේනාසනය’ටත් වෙන්නේ. දැක්කද අපි මෙහාට එන අතරේ ගමේ
මනුස්සයෙක් පාරෙ තියෙන කුණු එකතු කරපු හැටි. ඒ මනුස්සයා වන්දනාකාරයන්ට දොස් කිය-කියා
ඒ වැඩේ කළේ. එයා වගේ හිත හොඳ මිනිස්සු නැත්තං, සමන් දෙයි හාමුදුරුවන්ටමයි දෙපොළක
කුණු අදින්න වෙන්නේ!”
සමන් දෙයි හාමුදුරුවන්ටමයි දෙපොළක කුණු අදින්න වෙන්නේ! |
එදා රාත්තිරියේ මධු සාදයෙදීත් එවන් ‘ආන්දෝලනාත්මක
මාතෘකා කීපයක්’ අපේ නඩය අවුස්සමින් මතු විණි.
“විනයවර්ධන නිකායේ නං ඔය පිළිමවලට වැඳිලි නෑනේ!” අතුල කිව්වේය, එතැනින් පස්සේ
ඉතිං...
‘පාංශුකූලය දීම / සිව්වනක් පිරිස / දුටුගැමුණු කුමාරෝත්පත්තිය / මෝඩ ශ්‍රද්ධාව ආදී
මාතෘකා ගොඩාරියක් අපේ විද්වතුන්ගේ සාකච්ඡාවට බඳුන් විණි. අන්තිමටම ඇදී ආවේ තලපත්පිටියේ
තුරුම්පු xxxxලගේ පරම්පරාවේ විත්තියි; වෙඩි ගෙදර විත්තියි, ඒවා ප්‍රසිද්ධ කරන්නට
බැරි තරමේ කාරණා වීමය; හිතට දුක.
එව්වා අත හැරියත් ලියනවා නං තව දේවල් තියෙන්නෙ...
මේ ගමන යද්දී අරගෙන යන්නනෙ ‘බකිනි කැවුම්’ හදන්න ගිහින් චාටර්
වුණේ.
ඒ වගේමයි, අපේ ගීත සාද... අතුල- සාන්ත- මර්වින් තුන් දෙනාගේ නර්තන... ක්‍රමයෙන්
දියුණු වෙන වෙනුජ පුතුගේ ගිටාර් වාදන හැකියාවන්...
සෙන්චූරියා එකේ රාමන්ගෙයි- කුමාර්ගෙයි අපූරු සේවාව...
ඔය ඔක්කොම ලියන්න ගියෝතින් නිදි වැටෙන්නේ සකල
අමාරුවක! ඊට මීට වැඩිය සුබයි රජෝ, කුණ්ඩලි සලකුණු තියන එක. ඔන්න එහෙනං෴0෴