“... මට මතකයි එතන හිටියා ටැමිල් කෝඩිනේට කෙනෙක්. මම ගියපු පළවෙනි දවසෙද කොහෙද.... එහාට ඇවිල්ලා හිටියා චිත්‍ර ඇන්ද හාමුදුරුවෝ... කටුවන පියනන්ද හාමුදුරුවෝ!
එතකොට එතන හිටිය දෙමළ සහෝදරයට තමයි හාමුදුරුවෝ කිව්වේ සුනිල් විජේසිරිවර්ධන මහත්තයව
හම්බ වෙන්න ඕනෙ කියල.
-එතකොට අර ටැමිල් සහෝදරයා ගිහිං සුනිල්ට කිව්වා ‘ඔයාව හම්බ වෙන්න බුදු හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ල ඉන්නවා’ කියල...
එදා සිටම
අපි විභවියෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි, සංස්කෘතික වෙනස්කම් ඉවසිය යුතු බව; ඉගෙනගත යුතු බව. |
-තරුණ කාලෙදිම ‘විභවි සංස්කෘතික මධ්‍යස්ථානය’ට බැඳීම නිසා වෙච්ච දෙයක් තමයි... මගේ ජීවිත කාලේ
කිසි දවසක මම ජාතිවාදියෙක් වෙලා නෑ; වර්ගවාදියෙක් වෙලා
නෑ... හැමදාම; මේ අද දක්වාම මගේ ජීවිත කාලය තුළ මේ රට බහු වාර්ගික- බහු ආගමික- බහු සංස්කෘතික
රටක් ලෙස තමයි පිළිගන්නේ. බහු සංස්කෘතිකත්වය කියන එක තමයි මගේ සම්පූර්ණ චින්තනය. ඒකට
මට පදනම වැටුණේ විභවියෙන්.
-ඔයා දන්නවද- මෑත කාලීන මගේ මිත්‍රයෝ ගොඩ දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි ‘ඔයාට
මේ රනිල් වික්‍රමසිංහ ගැන ඔච්චර බැඳියාවක් තියෙන්නෙ ඇයි’ කියන එක.
-එතකොට මං එයාලට කියනව ‘එයා මගෙ යාළුවෙක් නෙමෙයි. හැබැයි මොන හේතුවක් නිසාද
මන්දා, හැමදාම එයා බුක් ෆෙයා එකේ අපේ ස්ටෝල් එකට එනවා. හැබැයි, එයා මගේ මිත්‍රයෙක්
නෙවෙයි.’ කියල. ඒත් මං එයාගෙ සමහර මතවාදවලට කැමැතියි.
-රනිල් වික්‍රමසිංහත් මේ රට බහු වාර්ගික- බහු ආගමික- බහු සංස්කෘතික රටක් කියන
එක පිළිගන්නවා.
-මිනිහ ඡන්ද පැරදුණත් දෙමළ මුස්ලිම් ජනතාව එකතු කරගන්නෙ නැතුව ඡන්දෙකට යන්නෙ
නෑ. සිංහල ඡන්දවලින් විතරක් දිනන්න ඕනි කියන අදහසේ එයා කවදාවක්වත් නෑ.
-මම හිතන්නේ ලංකාවේ මේ අදහසේ දැනට ඉන්න එකම දේශපාලඥයා රනිල් විතරයි. ආර්ථික
ප්‍රශ්න හරි, එයා ක්‍රියා කරන විදිහ හරි, පුද්ගල සම්බන්ධතාවලදි
එයාගෙ තියෙන රූඩ් ගතිය හරි... ඒවා ඔක්කෝම තියෙනවා වෙන්න පුළුවන්. ඒ සියල්ල මැද්දෙදී
මම රනිල් වික්‍රමසිංහගේ දකින විශේෂතාව තමයි, මං කලින් කිව්වේ.
-දැන් බලන්න ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත ලවා කැබිනට් එකට නීතියක්
සම්මත කර ගත්තේ. සමලිංගික සම්බන්ධතාවලට විරුද්ධව කටයුතු කිරීම නීතියෙන් තහනම් කරලා.
-දැන් අද වෙනකොට ඕනම කෙනෙකුට ලංකාවට එන්න පුළුවන් ඒක වෙනුවෙන්. ඔය තීරණේ ගන්න
පුළුවන්ද වෙන කිසි කෙනෙකුට. ලංකාවේ හාමුදුරුවරුන්ගේ සිට සියලු දෙනාගේ විරෝධතා මැද ඒ
මොකුත් ප්‍රශ්නයක් නොවෙන විදියට අර නීතිය සම්මත කර ගන්නවා. එයා ඒක කළේ සමාජ විවිධත්වය
පිළිගන්න නිසා.
-එතකොට ඒ සමාජ විවිධත්වය ගැන හැඟීම මා තුළට ආවේ විභවි සංස්කෘතික මධ්‍යස්ථානය
නිසා.
මගේ ඇතුළේ මේ වගේ පුළුල්ව ලෝකය දකින මනුෂ්‍යයෙක් හැදුණේ විභවිය නිසා.
ජයතිලක
කම්මැල්ලවීර මහත්තය මට එවපු අර ලිපිය නොවෙන්න... |
-කම්මැල්ලවීර මහත්තය මට එවපු අර ලිපිය නොවෙන්න- මං විභවියට යැවෙන්නෙ නැහැනෙ.
-ලෝකේ තියෙන බහු සංස්කෘතිකත්වය, බහු වාර්ගිකත්වය සහ
විවිධත්වය කියන එක තේරුම් ගන්න සහ සෑම පුද්ගලයකුටම මනුෂ්‍යයෙක් ලෙස ගරු කරන්න ඕන කරන
හික්මීම මට ඇති වුණේ විභවියෙන්.
-වැරදීමකින් නාලන්දා විද්‍යාලයේ පුස්තකාලේ මේස උඩ සුරවීර සර්ගේ පොත තියලා ගිය
කෙනා නිසා; එතනින් පටන් ගත්ත ගමන තමයි මගේ ජීවිතය එහෙම පිටින්ම වෙනස් වුණේ. ඒ නොදන්නා
කෙනාටත් මම ස්තුති කරන්න ඕනි!
-මම ඔයාට මේ කතාව කිව්වේ අහම්බ විසින් මිනිසුන්ගේ ජීවිතයම සම්පූර්ණ හැරවුමට
ලක් කරන හැටි කියන්න. මාත් අහම්බ විසින් එහෙම වෙනස් කරපු ජීවියෙක්!
ඇත්ත වශයෙන්ම ජීවිතේ කියල කියන්නෙත් සැලසුම් සහගත දෙයක් නෙමෙයිනෙ. ජීවිතය අහම්බයක්; ජීවය ආරම්භ වීම
දක්වාම සියල්ලම අහම්බයක්.
-එහෙම නැත්තං, ඒකසෛලික ජීවියාගේ සිට බහුසෛලික ජීවීන් දක්වා ආපු මේ වසර බිලියන
ගණනක ගමන සැලසුම් සහගත එකක් වගේ පෙනෙනවද?
-මම අද උදේ ඉඳලා කියවමින් ඉන්නේ ලංකාවේ නායක්කාර වංශය සහ ඒක පිළිබඳව මහින්ද
සෝමතිලක මහත්තය ලියපු පොත. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයත් ‘බණ කතා සාහිත්‍යය’ පොතේ
කියන කාරණයක් තමයි සමහර ජන වර්ග ජානමය වශයෙන් මොට්ට වෙලා; විකෘති වෙලා; නැති වෙලා ගිය
හේතුව. ඒ හේතුව තමයි ‘තමන්ගේ වර්ගයා අතර පමණක් කෙරෙන විවාහ සබඳතාවලට සීමාවීම’.
-ඒකෙනුත් පෙනෙනවා මනුෂ්‍ය ස්වභාවය ඇතුළේ විවිධත්වයට ගරු නොකළොත් එහෙම මේක පවත්වාගෙන
යන්ඩ බෑ කියන කාරණය!”
මේ යකඩ හාදයා කියාගෙන යන්නේ හුස්මක්වත් නොගෙනද? අපට තිබුණේ මේ සාකච්ඡාවට පැය
දෙක-තුනක්ම වෙන්කොට ගන්නටය.
දැන් මට උවමනා ජනක නම් ලේඛකයා බිහි වුණු අයුරු අසාගන්නටය. ඉතිං, මම විමසුවෙමි.
ලැබුණේ ‘මහා පදරංග ජාතකය’ වැනි මහ දිග කතාවකි.
“මම ඉස්කෝලෙ යන කාලෙ නාලන්ද විද්‍යාලයෙදී කියවපු ඒ පොත කොච්චර මට බලපෑමක් කරාද
කියනව නම් මම සඳැස් කවි ලියන්ඩ පටන් ගන්නවා. ඒවා ‘සිළුමිණ’ පත්තරේ ළමා පිටුවෙ තමයි
පළවෙන්නේ. එතකොට නාලන්දේ පළමු අවුරුද්දෙන් පසුව- සති අන්තෙකින් පස්සේ මට විද්‍යාලයට
ලැබෙනවා ලිපි විසි ගාණක් විතර. නාලන්ද විද්‍යාලයේ එහා පැත්තේ ඉඳලා වෙනම පියන් කෙනෙක්
එනවා අපේ පන්ති කාමරයට, මගේ ලියුම් ටික දීල යන්න.”
“ජනක එහෙම ලිව්වේ ‘සිළුමිණේ- කමලා ළමා සමාජයට නේද?”
සමහර විශේෂ
දේවල් පවා සමහර වෙලාවල්වලදී අපට නිනව් නැතිව යන අපූරුව... |
-ඔයා දන්නවද, නිමල් අයියේ- අවසාන ‘දවස’ පත්තරේත් මගේ කෙටි කතාවක් දාලා තිබුණා!
ඉස්කෝලෙන් අස්වෙනකොටත් මම පත්තර සෑහෙන ප්‍රමාණයකට ලියල තිබුණා. තරුණි පත්තරේට පවා.
ඒ අතරේ නවයුගය වැහුණා. නවයුගය වැහුණට පස්සේ තමයි මම සමුදුර පත්තරේට සම්බන්ධ වෙන්නෙ.
-මම තනියෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්ත කෙනෙක්නෙ. එහෙම ඉගෙනගෙන මම සමුදුරට
සම්බන්ධ වුණාම... ඒකට මට උදව් කළේ බන්දුල පද්මකුමාර අයියා. එහෙදි මගේ ඉංග්‍රීසි
තවත් දියුණු වුණා. මොකද කියනවා නං, අපට ඒ පත්තරේට ලියන්න තිබුණේ තනිකරම පරිවර්තනනෙ.”
“ඒකෙන් තේරෙන්නෙ ජනක මහත්තයෝ ඔයා ලේක්හවුසියෙන්
අයින් වෙලා සුමතියට...”
“නෑ නෑ. ලේක්හවුස් එකෙන් අයින් වෙන්න මම
ඒකට සම්බන්ධ වෙලා හිටියෙ නැහැනෙ. මං ඒ පත්තරවලට ලිව්වේ ෆ්‍රීලාන්ස් කෙනෙක් විදිහට... ලිපි ලියල එහාට යැව්වේ තැපෑලෙන්. මම ලේක්හවුස් එක ඇතුළට ගිහිල්ල නෑ කවදාවත්. මගෙ
චෙක් එකක් ගන්න ගිහිල්ලා එකම වතාවයි, අජන්තා රණසිංහ මහත්තයව මට හම්බ වුණේ. ඒකත්
ලේක්හවුසියේ පඩි පෙළේදි. ඔයා දන්නවද- එතැනදී එයාව දැකල මම බය වුණත් එක්ක. එයා මට
කතා කළාම මටත් කතා කතා නොකර බැරි වුණා. මට එතකොට කතා කරන්න බැරි ප්‍රශ්නෙ තිබුණනේ...
ඒ කියල කිව්වේ මට ගොත ගැහෙනවනෙ... හරිද...”
සමහර විශේෂ දේවල් පවා සමහර වෙලාවල්වලදී අපට
නිනව් නැතිව යන අපූරුව...
පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් ආයතනයේ මුද්‍රණ කළමනාකරු ලෙස මේ ලියන දිසානායකයා
එදා, ජනක ඉනිමංකඩ මහතාව මුණ ගැසී පළමු විනාඩි කීපයේදීමය- මා ඒ ගොතය දුටුවේ!
ඒත් දැන් ඒ ගොත ගැසීම නැතිව ගිහිං තියෙන්නේ කොහොමද? ඔහු අද මෙතරම් විවෘතව කතා කරද්දී
ඒ ගැනත් ඇසුවාට වරදක් නැත... ඒ විමසීම මඟ පෑදුවේ තවත් අපූරු පරිච්ඡේදයකටයි!
“ඒක මම අවුරුදු විසි එකේදි තනියෙන් හදා
ගන්න පටන් ගත්තනෙ.
මං අවුරුදු දෙකහමාරෙන් තමයි ඉස්සෙල්ලම කතා කරන්න පටන් අරං තියෙන්නෙ. ඒකත් ගොත
ගගහා... මට අවුරුදු විසි එක වෙනකන්ම මම දරුණු විදියට ගොත ගැහුවා.
-අන්තිමෙදී මමමයි ඒක හරිගස්ස ගත්තේ.
මම ඉස්සෙල්ලම කළේ මට මේ පැටලෙන වචන ඔක්කොම ලියා ගන්න එක. ඊට පස්සේ මම හොයා ගත්තා
අයන්නයි බයන්නයි කියන අකුරු දෙකින් පටන් ගන්න වචන තමයි මට පැටලෙන්නේ කියල. මම ඊළඟට
කළේ, හිතා-මතාම ඒ වගෙ වචන අතෑරලා කතා කරන්න පටන් ගත්තා.
ගොත ගැහීමත්
එක්ක මං කරපු ඒ සටනෙ ජයග්‍රාහී මතක සටහනක් විදිහට තමයි අපේ පුතාට... |
-බොහෝම මෑතක මනෝවිද්‍යාව පිළිබඳව
උපදේශකවරයෙක් මට කිව්වා ‘ඔයා ඕක ගැන පොතක් ලියන්නකො. ඕක අලුත් සිස්ටම් එකක්. ඔහොම ප්‍රශ්නයක්
තියෙන කෙනෙකුට කොයිතරම් නම් ප්‍රයෝජනයක්
වෙයිද?’ කියලා.
නිමල් අයියටම වුණත් හිතාගන්න පුළුවන්ද මම එහෙම ගොත ගගහ හිටපු පුද්ගලයෙක් කියලා- මම
දැන් මේ කතා කරන විදියට.”
“ඒ දවස්වලම ඔයාට නොකිව්වට ජනක මහත්තයෝ,
මටත් මීටර් වුණා ඒ ලෙඩේ!”
“හරිනේ! අපි හම්බ වෙන කාලෙ මං සීයට සීයක්
හරි නෑනෙ.
ඒකටත් එක්ක, දැන් මම කතා කරනවා වැඩිද මංදා.
ඔය පත්තරවල අය සාහිත්‍ය සම්බන්ධ කාරණයකදී මටත් ඉස්සෙල්ලම කතා කරනවා; මගේ අදහස්
අහනව, කාලයක් තිස්සෙම. සමහර වෙලාවට මම එයාලට කියනවා ‘උඹල මටම කතා කරන්න එපා බං.
දැන් අවුරුදු විසි ගාණක් උඹලා ඔය සාහිත්‍ය මාසෙ එනකොට මගෙන්ම අහන්නේ... තව කොච්චර
ඉන්නවද ලංකාවේ?’ කියලා. එතකොට එයාල කියනව ‘බැහැනේ අයියේ, අනිත් ගොඩක් අය ඔව්- නෑ-
බෑ- කියනවා විතරයිනෙ. ඔයා වගේ දිගට විස්තර ඇතිව කියන්නෙ නැහැනෙ. අපිට පත්තරේ පිටුවකටවත්
විස්තර ඕනිනෙ, අයියේ.’ කියලා. මට හිතෙනවා ඒ කාලෙ මම වැඩියෙන් කතා නොකර හිටි එකේ
ඇරියස් cover කරනවා වෙන්නැති කියලත්!”
ඒ වෙලාවේ මං වහන්සේ ජනක ඉනිමංකඩ මහතාට
බාධා නොකර හිටියේ, වෙලාව ඉතිරි කර ගන්නටය. මං එහෙම කළේ ඒ වෙද්දීත් මගේ අත්
ඔරලෝසුවේ කටු වෙනදාටත් වැඩි වේගයකින් කැරකැවෙමින් තියෙන බව පෙනුණු නිසාය.
මගේ හිසේ කැරකැවෙමින් තිබුණේ ජනකගේ දොඩමළු බවට හොඳම සාක්ෂියකි; 2023 සැප්තැම්බරයේ
පුවත්පතක පළවී තිබුණු ලිපියකි.
ඒ ලිපියේ වචන 1700කි: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සාහිත්‍යවේදීන් හතර දෙනෙකු ඊට අදහස්
දක්වා තිබිණි. එහි වැඩි ඉඩක් ලැබී තිබුණු ජනකගේ අදහස්වලට වචන 476කි. අනෙක් සාහිත්‍යවේදීන්
තිදෙනාගේම ප්‍රකාශවලට වචන 720කි.
එහිදී ඉනිමංකඩ කියා තිබුණු අදහස් ‘විදර්ශන
සාහිත්‍ය ත්‍යාගය’ කෙරෙහි කොතෙක් දුරට; කෙසේ බලපා තිබේද? නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය
සාහිත්‍යකාමීන්ටම සසඳා බලන්නටය, යටකී වදන් 476 මෙතැනට ඔබන්නේ. (ඒ ලිපියට අදහස්
පළකොට තිබුණු අනෙක් සාහිතකාමීන් තිදෙනාට මදිකමක් වේදැයි නොදන්නා බැවිනි; ඒ ලිපියම කියවන්නට ලින්කුව නොයොදන්නේ.)
“2007දී ස්වර්ණ පුස්තක සම්මාන උත්සවය පටන්
ගැනීමට පෙර පරිවර්තන කෘති සඳහා විශාල ඉල්ලුමක් පැවතුණත් නවකතා සඳහා එතරම් ඉල්ලුමක්
පැවතියේ නැහැ. ඒ සඳහා තිබුණු ඉල්ලුම පහළ ගොස් තිබුණා. මේ නිසා පොත් ප්‍රකාශකයන් වැඩි
අවධානයක් යොමු කර තිබුණේ පරිවර්තන කෘති සහ අධ්‍යාපනික ග්‍රන්ථ කෙරෙහි පමණයි. නමුත්
ස්වර්ණ පුස්තක සම්මාන උත්සවය ආරම්භ වීමත් සමඟ ලංකාවේ පොත් ප්‍රකාශකයන් අතර නවකතා ප්‍රකාශයට
පත් කිරීම සඳහා විශාල උනන්දුවක් ඇති වුණා.
සම්මාන පිරිනැමීමේදී
ලබා දුන් මුදල් ත්‍යාගය හා ඊට ලැබුණු ප්‍රචාරයත්... |
සම්මාන උත්සවය මේ තත්ත්වයට වැටෙන්නට පෙර මේ පිළිබඳ විශිෂ්ටතම පුරෝකථනය සිදු
කළේ ලේඛකයකු හා සාහිත්‍ය විචාරකයකු වන කේ.කේ. සමන් කුමාරයි. සාහිත්‍ය උත්සවය ආරම්භ වී
ටික කාලයක් යද්දී ඔහු පවසා සිටියේ “ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ යනු සිංහල නවකතාව වෙළාගත්
හූනියමක්” බවයි. මොකද මෙහි පූර්ණ බලය පැවතියේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තුළ නිසයි.
නමුත් ස්වර්ණ පුස්තක සම්මානයත් සමඟ සිංහල නවකතාව දියුණු වුණා වගේම අලුත් නවකතා රචකයන්
බිහි වුණා. අලුත් නවකතා ආකෘති රටා බිහි වුණා. ප්‍රකාශකයෝ නවකතා ප්‍රකාශයට පත් කරන්න
උනන්දු වුණා. නමුත් අනෙක් අතට ඒ නවකතාවේ දියුණුවට සාපේක්ෂව සංවිධායකයන් විසින් තෝරගත්
විනිශ්චය මණ්ඩලය පිළිබඳ ගැටලු මතු වුණා. ඒ ඔවුන් මේ සඳහා සුදුසුකම් ලත් පිරිසක්ද කියන
ගැටලුවයි. ඒ නිසා ඔවුන් විසින් නිර්දේශ කළ සම්මාන විවේචනයට භාජන වෙන්න පටන් ගත්තා.
ඕනම රටක සාහිත්‍ය උත්සවයක් පිළිබඳ සියලු කටයුතු ඇගැයීමට ලක්කිරීම අදාළ ක්ෂේත්‍රයේ දියුණුවට, අභිවෘද්ධියට සහ ඒ පිළිබඳ උනන්දුව නොබිඳී පවත්වා ගෙන යෑම සඳහා ඉතාම වැදගත්. ඒ
නිසා සම්මාන උත්සව පැවතිය යුතුයි. මේ තියෙන්නේ සම්මාන උත්සවය හෝ සිංහල නවකතාව පිළිබඳ
ගැටලුවක් නෙමෙයි. ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන උත්සවය පැවැත්වීමට පෙර සිට රාජ්‍ය
සාහිත්‍ය සම්මාන උලෙළ, ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළ, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ ආදී සම්මාන උත්සව පැවතුණා. ඒ නිසා එකී උත්සවවල
සම්මානයට පාත්‍ර වන කෘති තෝරා ගැනීමෙන් අපේ විනිශ්චය මණ්ඩලය වැළකී ඉන්න ඕන; එතකොට අපේ සම්මානය වෙනස් එකක් විදියට සමාජ ගතවී විශාල ප්‍රචාරයක් ලැබේවි වගේ
අදහසක් මේ අය අතර තිබුණා. ඒ වගේම එකම කණ්ඩායමක් විනිශ්චය මණ්ඩල දෙක තුනක කටයුතු කිරීම
නිසා මුල සිටම ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණා.
මේ ගැටලුව සඳහා මගේ යෝජනාව වෙන්නේ ප්‍රකාශකයන්ගේ සංගමය මේ සඳහා ආයෝජනය කරමින්
සංවිධානය කිරීම පමණක් සිදු කර ස්වාධීන අපක්ෂපාති සාහිත්‍ය පිළිබඳ පරිචයක් ඇති ප්‍රාමාණික
කණ්ඩායමකට මේ වැඩේ භාරදිය යුතු බවයි. මේ සම්මානය සඳහා පාදක වුණ මෑන් බුකර් පදනම වුණත්
කටයුතු කරන්නේ එහෙමයි. ඔවුන් ඊට පහසුකම් සැපයුවත් ඒ සඳහා අවශ්‍ය ලේඛකයින් තෝරා පත්කර
ගැනීමේ කටයුත්ත වෙනම කණ්ඩායමකට භාරදී තිබෙනවා. ඒ නිසා ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන
උලෙළ පිළිබඳ ගැටලුවක් ඇති නොවන්න එවැනි කණ්ඩායමක් අතට මේ කටයුත්ත භාරදීම යෝග්‍යයි.
ප්‍රකාශකයෙක් ලෙසත් මේ සංවිධානයේ කටයුතුවලට ආරම්භයේ සිට මූලිකව දායක වූ අයකු
ලෙසත් මගේ අදහස නම් සාහිත්‍ය විචාරය පිළිබඳ අවබෝධය ඇති තරුණ අය වරින් වර මේ කටයුත්ත
සඳහා සහභාගි කරවා ගැනීම මෙහි ඉදිරි දියුණුව සඳහා ඉතාම වැදගත් බවයි. ඒ වගේම කිසිම සම්මාන
උලෙළක් හැමදෙනාම සතුටු කරන්න පවත්වන්න බැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මතුවන විවේචන සංවාද
ඉතා වැදගත්. ඒ දේවල් කෙරෙහි අවධානය යොමු කරමින් මෙය ඉදිරියටත් පවත්වාගෙන යාම වඩා වැදගත්
බවයි.“
මම නිමල්
අයියට කියන්නං කවුරුවත් නොදන්න කතාවක්. විදර්ශන නෙමෙයි ඇත්තටම මේ ප්‍රකාශන ආයතනයට දාන්න
හිතපු නම... |
“එතකොට, විභවි සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මාවයි, ජයතිලක කම්මැල්ලවීර සහ
පියසිරි කුලරත්න මහත්වරුන්වයි ඉන්දියාවට යවනවා
විභවියට ආධාර කරපු මව් සංවිධානයෙන්... ඒ කිව්වේ ‘හීවෝස්’ එකේ වැඩකට- දවස් විසි
ගණනක සංචාරයකට.
-එතකොට අර දෙන්නා වැඩිහිටියොනෙ, මම තමයි
තරුණයා. ඒ ගමනේදී මං ඉන්දියාවේ බැංගලෝර්වල තිබුණු පොත් සාප්පුවකින් පොත් ගොඩක්
ගත්තා. ගබ්රියෙල් ගාර්ෂියා මාකේස්ගේ පොතුත් එතැන තිබ්බා. එයින් මගේ හිතට ඇල්ලූ
කෙටි නවකතා දෙකක් මම පරිවර්තනය කරන්න පටන් ගන්නවා.
ඒ පරිවර්තන වැඩේ ඉවර කරලා ඒක පොතක් ලෙස හරි ගස්සලා මම මේක අරගෙන යනවා XX ප්‍රකාශන
ආයතනයට. “තමුසෙගෙ පොත් මොනවද අයිසේ? මේ ලියනගේ අමරකීර්තිගේ පොත්වත් විකිණෙන්නෙ
නෑ. තමුසෙලා වගේ අයගේ පොත් ගහල වැඩක් නෑ” කියල ඒකෙ ලොකු මහත්තය ගේට්ටුව ගාවින්ම මාව
පන්න ගත්තා.
-එයා මට ‘තමුසෙ’ කියලා කතා කරපු එක එච්චර
මට හරි ගියේ නෑ. සමහරවිට ඒ එයා කතා කරන විදිය වෙන්නැති. ඉතාම තරුණ වයසකනෙ මම
හිටියෙත්. මට අවුරුදු එ..ත..කො..ට වයස විසි..හ..ත..ර..නේ... ඔව්! 24දී තමයි ඒක
වුණේ.”
ඒ වෙද්දී ලංකාවේත්, ලෝකයේත් සාහිත්‍යය
පිළිබඳ (ජනක ඉනිමංකඩට තිබුණු) ඉව හා යථාවබෝධය අර ප්‍රකාශක මහතාට නොතිබුණු විත්තියයි,
මට හැඟෙන්නේ. ඉතා ප්‍රශස්ත සාහිත්‍ය කෘති කිහිපයක්ම පළකොට තිබුණු ‘ඒ ප්‍රකාශන
ආයතනය’ මේ වෙද්දී අකර්මණ්‍යය. මා මේවා කියන්නේ නිකම්ම නොවේ; සහේතුකවය.
(ඒ ආයතනයේ පොතුත් මුද්‍රණය කෙරුණේ, මා සේවය කළ ‘පියසිරියේම’ බැවිනි.)
“ඔව්! 24දී තමයි ඒක වුණේ.
මම තවත් ප්‍රකාශකයො හොයාගෙන ගියේ නෑ . එකෙන්ම එපා වුණා! එකෙන්ම එපා වෙලා මං මේ
‘කර්නල් සහ එරෙන්දිරා’ පොත කීප දෙනෙකුටම දුන්නා කියවල බලන්න. එහෙම දුන්නේ අතින්
ලියපු අත් පිටපත. එහෙම දුන්නු කීප දෙනාගෙන් එක්කෙනෙක් තමයි සයිමන් නවගත්තේගම.
සයිමන් නවගත්තේගම මහත්තයාව මට හම්බ වුණෙත් විභවියේදී.
-‘මොනවද අයිසෙ කරන්නේ? ඔහොම කරලා හරි යන්නෑ.
තාත්තට සල්ලි තියෙනව නේද... තාත්තගෙන් සල්ලි ටිකක් ඉල්ලගෙන ගහනවා මේ පොත කර්තෘ ප්‍රකාශනයක්
විදිහට’ කියල සයිමන් මහත්තයා මට යෝජනා කෙරුවා.
දවස් දෙකකින් මං සයිමන් මහත්තයට කතා කෙරුවා. මම ආයතනයක් පටන් ගන්න ලෑස්ති කරපු බව
එයාට කිව්වා.
-‘හා, එහෙනං මගේ පොතකුත් දෙන්නං- ඒකෙන්
ගහන්න.
නිවාඩු වෙලාවක සිගරැට් පැකට් එකකුත් අරං එනවකො මාව හම්බ වෙන්න. එතකොට මං කියල
දෙන්නංකො ඔය වැඩේ කෙරෙන විදිහ ගැන...’ කියලයි එතකොට නවගත්තේගම මහත්තය උත්තර දුන්නේ.
එහෙමයි ‘සංසාරණ්‍යයේ දඩයක්කාරයා’ පොත විදර්ශන එකෙන් ගහපු පළමුවෙනි පොත් දෙකෙන්
එකක් වුණේ!
-මම නිමල් අයියට කියන්නං කවුරුවත් නොදන්න කතාවක්. විදර්ශන නෙමෙයි ඇත්තටම මේ
ප්‍රකාශන ආයතනයට දාන්න හිතපු නම ‘ප්‍රතිභා’.
ඒත් මොකද්දෝ සංසාරික බැඳීමකට මට
එය අතහැරදා යා නොහැකිම විය! |
-විභවියෙන් පටන් අරං තිබ්බනේ ‘විදසුන්’ කියල කලා උළෙලක්. මමත් මුලින්ම
සම්බන්ධ වුණේ ඒකටනෙ. විදසුන් නමෙන් අරගෙන තමයි මගේ ප්‍රකාශන ආයතනයට ‘විදර්ශන’ කියල
නම දැම්මෙ.”
ජනක- තුෂාරි යුවලගේ වැඩිමල් දියණිය විදූෂිය. “මම හිතාගෙන හිටියෙ ජනක මහත්තය
ලොකු දෝණියන්දෑගෙ නමෙන් විදර්ශන නම හදා ගත්ත කියලයි.” මම කීවෙමි.
“නෑ නෑ, විදූෂි ඉපදුණේ දෙදාහෙනේ- විදර්ශන පටන්ගත්තේ 1997. හැබැයි, විදූෂිට නම දැම්මෙ
නං විදර්ශන නම මතක් කරලා.
-හැබැයි විදර්ශන නමටත් මගේ සමහර යාළු
මිත්‍රයන් කැමති වුණේ නෑ. මට ඉතාමත් හිතවත් මහාචාර්යවරයෙක් මට කිව්වා ‘විදර්ශන නම දාන්න
එපා. ඔය නමේ ගණ පිහිටීම හොඳ නෑ.’ කියල.
-ඊට පස්සේ මේ ආයතනය තුන් පාරක්ම කඩාගෙන වැටුණනෙ.” ජනක කියන්නේ හිනා විසුරුවමිනි.
මා විදර්ශන ආයතනයේ සේවය කරන කාලයේදී; 2010දී, ජනකගේ පියාණන් (මගේ
හිතවතෙකු වන මර්වින් බොතේජු කියන විදිහට නම්-) අයි. කේ. මහතා කිහිප වරක්ම මට කියූ දෙයක්
මට මතක් වෙයි. “අනේ ළමයෝ, අපේ මිනිහට කියනවකො මේ පොත් කෙරුවාව අල්ලලා දාලා, වෙන බිස්නස්
එකක් පටන් ගන්නයි කියල.” ඒ ආදරණීය තාත්තා පුතණුවන්ටත් ඒ අවවාදයම දීලා තිබුණු බව (2013
මාර්තු 3 වෙනිදා) මා දැනගත්තේ ජනක ඉනිමංකඩම fb එකේ තැබූ සටහනකිනි.
‘ඒ 'හත්තිලව්ව' කෙරෙහි වූ සංසාරික බැඳීම
දුර ගමනක් යන අතරතුරදී හෝ ඉඳහිට දුරකථනයෙන් අමතා හෝ එකල තාත්තා බොහෝ විට කී
කරුණක් වූයේ ''ඔය හත්තිලව්ව අතෑරල වෙන වැඩක් කරනවා'' කියා ය.
"තරුණ කාලෙ ඕවා ආසාවට කළාට දැන් එහෙම බෑනෙ... ගෑනියෙක් ඉන්නව... දරු තුන්
දෙනෙක් ඉන්නව... තමුසෙගෙ මේ වැඩ නිසා එවුනුත් දුක් විඳිනව... දැන් කී සැරයක් ඕක බංකොළොත්
වුණාද... ඔය හත්තිලව්ව අතෑරල දානව..."
ඒත් මොකද්දෝ සංසාරික බැඳීමකට මට එය අතහැරදා යා නොහැකිම විය. එහිම බැඳි බැඳී
ඉන්නටම ඉරණම ලියැවී තිබුණි. කෙතරම් අතරමං වුවද, නාඳුනන බැදිවල මග සොයා ගොස් අවසානය පෙනි පෙනී යළි ගැලවී ආවද මෙහි මැජික් දොර
හැරෙන යතුර කෙසේ හෝ පාදා ගනිමිය යන අධිෂ්ඨානය කිසි දින නොමැරී යළි යළිත් දළු ළමින්
නිරන්තරවම වැඩිණ.
දශක දෙකක් අවසන මම ඒ 'හත්තිලව්වෙන්' එගොඩවන මැජික් යතුර පාදා ගන්නා විට තාත්තා මෙලොව ගමන නිමකර සිටියෙන්, මා එහි සරු අස්වනු නෙළනු දකින්නට ඔහුට නොහැකි විය.’
මේ පෝස්ටු මාලාවේ පළමුවැන්න අවසන් කළ
වැකියම වචන තුනක් පමණක් වෙනස් කර, ආයෙමත් උපුටා දක්වමි. දෙවෙනි කොටසය කියලා ඔක්කොම
ලියන්නයැ, අදට ලියපු හරිය හොඳටම ඇති වගේ.
ඉතිරි කොටස ඊළඟට...
අපත් සංවාදයට සජීවීව සහබාගි උනා වගේ. රසාලිප්ත තෙවන කොටස එනතුරු...
ReplyDeleteස්තුතියි, ස්තුතියි!
Delete"මාර්ටින් වික්‍රමසිංහ මහත්තයත් ‘බණ කතා සාහිත්‍යය’ පොතේ කියන කාරණයක් තමයි සමහර ජන වර්ග ජානමය වශයෙන් මොට්ට වෙලා; විකෘති වෙලා; නැති වෙලා ගිය හේතුව. ඒ හේතුව තමයි ‘තමන්ගේ වර්ගයා අතර පමණක් කෙරෙන විවාහ සබඳතාවලට සීමාවීම’".
ReplyDeleteසමහරවිට අපේ 'ජාතියේ' අයටත් ඕක වෙමින් පවතිනවා ඇති. දැන් කාලෙ ඕවා වෙනස් වීගෙන යන එක හොඳයි.
"එයා මට ‘තමුසෙ’ කියලා කතා කරපු එක එච්චර මට හරි ගියේ නෑ" මමත් ආස නැති වචනයක් තමුසෙ කියන එක. සීනි බෝල වචන කතා කල පමණින් කිසි කෙනෙක් හොඳ වෙන්නෙ නෑ තමයි. නමුත් තමුසෙ තමුසෙ කියලා කතා කරන්නෙ මොකටද. එහෙම අය තමන් තර්ඩ් ක්ලාස් කියලා නිකන්ම අනිත් අයට පෙන්නගන්න එක විතරයි වෙන්නෙ.
"කෙතරම් අතරමං වුවද, නාඳුනන බැදිවල මග සොයා ගොස් අවසානය පෙනි පෙනී යළි ගැලවී ආවද මෙහි මැජික් දොර හැරෙන යතුර කෙසේ හෝ පාදා ගනිමිය යන අධිෂ්ඨානය කිසි දින නොමැරී යළි යළිත් දළු ළමින් නිරන්තරවම වැඩිණ". Inspiring! ඒක තමයි වෙන්න ඕනෙ.
ස්තුතියි Lotus!
Deleteඔයාට හොඳට 'නිල' අහු වෙනවනේ...
කතා කරන ඇක්සන්ට් එක අනුවයි, කෙනා අනුවයි, තැන අනුවයි... මල පනින එක වෙනස් වෙනව නෙ!
Deleteආහා නමී!
Deletetikak boring bro
ReplyDeleteඔයාටත් ස්තුතියි Ano, ඔයාගේ නොවක් අදහස කිව්වට.
Deleteමෙහෙම අදහස් කොහොමද නොතකා ඉන්නේ? ඊයේ දවසේ මේ අඩවියට පිවිසුම් 584ක්. ඒත් comment කරලා තිබ්බේ ඔයාල තුන් දෙනයි!
ඊළඟ කොටස පළ කරන්න කලින්, විශේෂ අවධානයකින් කියවලා බලලා ඉන්නං.
//ඊයේ දවසේ මේ අඩවියට පිවිසුම් 584ක්. ඒත් comment කරලා තිබ්බේ ඔයාල තුන් දෙනයි!//
Deleteඒවා එහෙම තමයි. හෙමීට බලල ලුහුටලා යන බළල්ලුත් ඉන්නවා. ඤාව්! 😋
වැස්සක් වැටෙන ගණනේ අපේ නං ටෙලිෆෝන් ලෙඩ දෙනවා. වැස්ස පායලා, පැය බාගයක් හමාරක් යනකල් ඉන්ටර්නෙටුත් නෑ. මං හිතන්නේ බකුසුතුමෝ තව අයටත් ඒ තත්ත්වේ පොදු ඇති- comment අඩු වෙන්න.
Deleteමට වීව්ස් ආවත් ඇති කියන මට්ටමේ තමා මම ඉන්නෙ. මගෙ එකට 200 පන්නන්නෙ කලාතුරකිං. හොඳටම ලිව්ව එව්වට වත් නෑ .
Deleteකමෙන්ට් නැතත් ට්‍රැෆික් හරි තියෙනවනෙ කියල වත් හිත හදාගන්න තිබුණ එහෙම නං. බ්ලොග් එපා වෙන්නෙ ඒකෙන්. කමෙන්ට් වැැටෙන්නෙත්හැ මදාම දන්න කියන අයගෙන්මනෙ.
ඒක නිසා ඒ ගැන නොහිත ඉන්න. 😁😁😁 අපිට වීව්ස් වත් නෑ. 😂😂
//බ්ලොග් එපා වෙන්නෙ ඒකෙන්//
Deleteආන්න ඒ නිසයි අපෙ හාන්දුන්නේ, අපි වැට ගහල මල් හිටෝන ව්‍යාපෘතිය පටන් ගත්තෙ. ඒක ඇත්තටම මයියගෙ අදහසක්.
කොහෙද, ඒකටත් ඇණ මයි වදින්නෙ. අර චොකලට් නෝනෙට , වැටවල් නයාට අඳුකොළ ගානයි.😁
ඉදිරියේදී උත්තරයක් දෙන්නන්, බස්ස මහත්තයෝ, මගේ අදහස් කියලා.
Deleteඔව් නේ මම ගහපු වැටකුත් චොකොලට් ඇන්ටි වාෂ්ප කරලා බන්
Deleteදෙයියනේ......
Deleteමුල හරිය රිපීට් වෙන ගතියක් තිබ්බත්, අග හරිය වෙනකොට කතාව හොඳට ගලාගෙන ගියා. 💐👌
ReplyDeleteස්තුතියි බස්සෝ!
Deleteමට මතකයි කොහේ හරි තැනක ජනක ඉනිමංකඩ ලියලා තිබුනා ඔහුගේ පවුලේ අය ඡන්දෙ දෙන්නේ ප්‍ර්මෙනාත් දොළවත්තටය කියා. මං හිතන්නේ නෑකමක්.
ReplyDeleteඒක ඉතිං එක එක්කෙනාගේ කැමැත්ත නෙව රසික මහත්තයෝ.
Deleteජනක බොසා මම කැමති පොරක්. කාලයක් තිබුණ දිරවන්නෙම නැති. මොකද ලයින් වැඩියි.
ReplyDeleteඒත්.දැං ෆීල්ඩ් එකේ ඉන්න උං එක්ක බැලුවම ජනක දාහෙන් සම්පතයි.
මම අනිවා බුක් ෆෙයා යනව. විදරශන නං කෝමත් යනව. හැමදාම ඉන්නවත් දකිනව.
එච්චරයි. 😁😁😁
මහේෂ්, මට වුණත් මුලදී හිතුනෙ ජනක මහ ආඩම්බරකාරයෙක් කියලනේ! හිනා වෙන්නෙත් නැති... දැන් නං හොඳටම පැහැදිලියි හේතුව...
Deleteහැබැයි, මට තේරෙන විදිහට සාහිත්‍යමය පැත්තෙන් හා පබ්ලිෂින් පැත්තෙන් වඩාත් දැනුමැති කෙනා ජනක වෙන්නෝනි.
මහේෂ්, මට මේ දැන් හිතුනු දෙයක් අහන්නේ.
Deleteඔයා සන්නස්ගල මහතාගේ සංහිඳ එකට හෙමත් සම්බන්ධ වෙලා හිටි (අනිල්, නෙවිල් හෙම එක්ක) මහේෂ්ද?
//හැබැයි, මට තේරෙන විදිහට සාහිත්‍යමය පැත්තෙන් හා පබ්ලිෂින් පැත්තෙන් වඩාත් දැනුමැති කෙනා ජනක වෙන්නෝනි.//
Deleteදැං ඒ කාරණේ දන්න නිසා තමයි මමත් ඒ දේවල් ගැන නොහිතන්නෙ. අනික් උංට නැතිිපෙනීමක් මෑන්ට තියෙනව.
මගෙ බාසාවෙන් කියනව නං පොළව යටත් අඩි හයක් පේන පොරක්.
නෑ මම සංහිඳ ට සම්බනධ වෙලා හිටියෙ නෑ. ඒ වෙනින් කෙනෙක්
ස්තුතියි මහේෂ්!
Deleteමම ගියෙ ඒක ආගමික, ඒක වාර්ගික අතිමහත් බහුතරය ඉන්න පාසලකට, ඒක කොයිතරම් පටු කම්මැලි හිතෙන පරිසරයක්ද කියන එක තේරුනේ එහෙම නොවුන උසස් අධ්‍යාපන ආයතනයකට ගියාම
ReplyDeleteසහතික ඇත්ත Pra Jay! හැම දෙයක්ම තේරුම් ගන්න ලේසියි බහු සංස්කෘතික, බහු ජාතික, මිශ්‍ර පරිසරයකදී.
Deleteහුම්. මේ කොටහත් අගේට සටහන් කරල. දරපු වෙහෙස අගය කොට සලකමි!
ReplyDeleteඇත්තටම ඔහුගෙ කතිකත්ව හැකියාව එක්ක... පෙර අරෙහෙම වුනාද කියල හිතාගන්නවත් බෑ.
ඔහුගෙ නොපසුබස්නා උත්සහයත් අගෙ කරන්නටම ඕන!
Deleteඒක නේන්නං ඔයාත් මේ කරලා තියෙන්නෙ!
Deleteඅඩේ ලොකා අද මරු
ReplyDeleteසුපර් ඈ
තැන්කියු උදාර.
Deleteකාලෙකින් ඈ....
විභාවිය පටන්ගත්තේ මගේ යාළුවෙක් වන චන්ද්‍රගුප්ත තේනුවර , කුමුදිනි S එක්ක. පටන් ගන්න කියන්නේ අර ඔයා ලියල තියෙන NGO එකෙන් ආධාර අරගෙන. හොඳ වැඩ ටිකක් කළා. මම ඒ කාලේ වෙනකොට ලංකාවේ නැහැ. මගේ පොත ගහන එක ප්‍රතික්ෂේප කලාට (එයාට ඉතින් එහෙම ඒවා කියල කීයක් එනව ඇත්ද. ) මම පොත් උළෙලට ගිය වෙලේ නම් හොඳට කතා කළා. සමහර විට වසන්ති (නානායක්කාර) එක්ක ගිය නිසා වෙන්නැති 😀
ReplyDeleteස්තුතියි අජිත් මහත්තයෝ තවත් විස්තර කිව්වට. මම විභවියට ගිහිං තියෙන්නෙ හතරපස් වතාවයි.
Deleteඔයාට දැන් නං විදර්ශන කොලිටියටම පොතක් ගස්ස ගන්න හැකි ක්‍රමයක් හතරවෙනි කොටසේදී කියවෙනවා.