අකුරු මැකී නෑ

Thursday, May 9, 2024

අඹරෝරෙට ටිකක් යටින් - පළමුවෙනි කොටස

ක්‍රිස්ටෝපර් කොලොම්බස් උන්නැහේ කසාදයක් කාරිය කරගෙන deposit වෙලා හිටියෙ නැහැල්ලුනෙ. බැරි වෙලාවත් උන්නැහේ විවාහ වෙලා හිටියා නං... එයාට දේශ ගවේෂණයේ යෙදිලා අමෙරිකාව හොයා ගන්න හම්බ වෙන එකක් නැහැයි කියැවෙන ‘යාං හෑල්ලක්’ තියෙනවා. (ඒ යාන් එක මගේ ‘හිනා වෙන්න හිනා - 3’ අත් පිටපතෙත් ලියල තියෙන විත්තිය මට මතකයි. හැබැයි, ඒක මේ කපේදී අච්චු ගැහෙන එකක් නෙවෙයිනෙ!

‘හිනා වෙන්න හිනා’ සහ  ‘හිනා තවත් හිනා’ පොත් දෙක නං ‘නිදිගෙ පංච තන්තරේ’ටත් පෝස්ටු මාලා දෙකක් විදිහට දැම්මනෙ.)

අර යාන් එකෙන් කියන්නේ කොලොම්බස් උන්නැහේට ඇඹේණියක් හිටියා නං, උන්දෑ අහන කෙළවරක් නැති ප්‍රශ්න... සැමියා ගෙදරින් පිටත්ව යන්න හදනකොට.

අවුරුද්දකට trips පහ-හයක්ම අපිව එක්කගෙන යන හිතවතා; WAL ප්‍රියන්ත දැන් ලොකු පුත්තු දෙන්නෙකුගේ තාත්තෙක්. ප්‍රියන්ත හුඟක් වෙලාවට අපි කාටවත්ම කියන්නේ නෑ කොහාටද අපිව එක්ක යන්නේ කියල. (අපිත් Mrs කොලොම්බස් වගේ කෙළවරක් නැතිව ප්‍රශ්න අහන්න ගන්න නිසා වෙන්නැති.) “ඇවිල්ල බලන්නකෝ!” කියලයි එයා අපිට කියන්නේ... යන තැන් හොයන්නේ- තීරණේ කරන්නේ- book කරන්නේ, ඒ තාත්තයි පුතාල දෙන්නයි එකතු වෙලා.

ඒ රාජකාරියේදී ප්‍රියන්තගේ නංගි බබිතගේ දෙවෙනි පුතා සෙරානුත් සමහර වෙලාවට මාමාට උදව් වෙනවා. සංචාරයේ ‘නිල ඡායාරූප ශිල්පියා’ගේ රාජකාරිය කරන්නෙත් සෙරානුයි, ප්‍රියන්තගේ දෙවෙනි පුතු වෙනුජයි දෙන්නා.
මේ post එකේ උඩින් තියෙන්නෙත්, මේ සංචාරය ගැන සෙරාන් පුතා හැදුව කෙටි වීඩියෝවක්.

මේ වතාවේ නං, 2023 දෙසැම්බර් මාසයේදීම ප්‍රියන්ත අපට කිව්වා යන්න හදන තැන. “සූරියකන්දේ... Skydeck කෑම්පින් site එකේ මුල්ම දවසේ නවතින්නේ. දෙවෙනි දවසේ සෙන්චූරියා එකේ... ජනවාරි 26 උදෙන් යමු නිමල්. 28 වෙනිදයි අපි ආපහු එන්නේ...”
“එතකොට 26 උදේට කෑම හදාගෙන යනවද ප්‍රියන්ත?”
“නෑ නිමල්. අපේ පුතාලා කුරුවිට තැනකට යමුයි කිව්වා. එතන හොඳයි වගේලු.”

අවාසනාවට ඒ selection එක නම් වැරදි තේරීමකි!
රබර් වතු යායක් මැද්දේ තිබුණු අවන්හල පෙනුමට නම් හොඳය. උදේ ආහාරය බුෆේ එකකි. (එක්කෙනෙකුට රුපියල් 1,100/-කි.  ඒකත් තේ, කෝපි රහිතවය.) ඒත් එතැන තිබුණු කෑම වර්ගවලින් එකක්වත් ඇති වෙන්නට තිබුණේ නැත. පාන් පවා...
(මට මතක් වුණේ ‘අම්මගෙ
රෙද්දේ මමාස්’ එකේදී ඔබට කියූ ‘ග්‍රේට්   කොන්ටිනන්ටල් බ්‍රෙක්ෆස්ට්’ එක ගැනයි.

“අයියෝ, වේලෙන spot එකක් වගෙයිනෙ...”
“මතකයිද, මීට කලින් අපි මෙතැනට ඇවිත් තියෙනවා. මේ බිත්තියේ තියෙන මියුරල් එක මට හොඳට මතකයිනෙ.” මට කියැවිණි. “බලපංකො මචං, අපිට නං මතක හිටින්නේ තැනකින් කාපු-බීපුවා. නිමලයට මතක තියෙන්නෙ මියුරල්...” මගේ කතාවට වහාම ප්‍රහාරයක් එල්ල විණි. “... තමුසෙ කනවා එහෙනං ඕක!”

“කොහෙද, කලාවක් ගැන නොදන්නකොට ඔහොම තමයි!”
“අනෙඃ, නිකං හිටහං කලා රිටා...”

“මේ, ළමයි මො..ක..ද කරන්නේ? වෙනින් තැ..න..ක..ට යනවද?” ප්‍රියන්ත වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නට ගියේය. එක ප්‍රශ්නයට උත්තර හැටක් විතර හම්බ වුණේ එබැවිනි.

අපි විස්සක් විතර ඉන්න නිසා- මෙච්චරවත් කෑම තියෙන තැනක් හම්බ වෙනේකක් නෑ ලේසියෙන්. / පාන් බනිස් විතරක් තියෙන තැන් තමයි ඇත්තේ. / ඔන්නොහෙ තියෙන හැටියකට මෙතැනින්ම කාලා යං අනේ. / මට බඩගිනිත් එක්ක. / මෙතන ඉඩකඩ නං තියෙනවනේ. / ඔව්වොව්! ආයෙම පැයක් විතර යන්න වුණොත්! / මතකයි නේද... කුරුණෑගලදී වෙච්ච දේ?

මෙහෙන්ම තමයි එළවලු එහෙම අරගෙන යන්න වෙන්නේ! (රසිකා, බබිතා, දිලිනි හා මැණිකේ)

ඉතිං, කවුරු කවුරුනුත් පෙළ ගැසී තියෙන විදිහට බෙදා ගන්නට වූහ.
එතන පරිපාලකයෙකු වගේ පෙනුණු කෙනෙකුත්, සේවක මහත්වරුන් දෙදෙනෙකුත් ඔරවාගෙන ඒ දිහා බලා උන්නේ හිටි පිළිම වගෙය. “අර මිනිස්සු ඉන්නේ -බෙදා ගනිල්ලකෝ බලන්න- කියනවා වගේනෙ.”

“නෑ මිනිහෝ. එයාලත් මියුරල් එකේ කොටහක්...”

ඉතා කනගාටුවෙන් වුවද මේ ටිකත් නොකියා බැරිය. අපේ නඩේ කෑම ගනිද්දී ඒ අවන්හලට පැමිණි හැම පාරිභෝගිකයෙකුගෙන්ම පාහේ පෙනුණේ අතෘප්තිමත් බවකි.

පාරිභෝගික සේවාව අතිවිශේෂ සැලකිල්ලකින් යුතුව කළ යුත්තකි. එහි ප්‍රවීනයෙකු, ඊළඟට අපේ වාහන නැවැත්වූ රක්වානේදීම අපට හමු විණි!

“මෙහෙන්ම තමයි ඔන්න එළවලු එහෙම අරගෙන යන්න වෙන්නේ.”
“ඇයි බාබකිව් එකට මස්...”
“ඔව්, ඔව්... ගන්න තියෙන දෙයක් රක්වානෙන්ම ගනිමු. ආයේ නවත්තන්න බෑ ඔන්න!” ප්‍රියන්ත වාහනයෙන් බැස්සේ ඒ නිවේදනය කරන ගමන්.

“මැණිකේ, කෑම ජාති මොනවද ගෙනැත් තියෙන්නෙ?”
“එව්වා අතුල අයිය එනකොට ගේනවයි කිව්ව නේද?”
“ඒ ගෙනෙන්නෙ මුරුක්කු- දොදොල් වගේ එව්වනේ. කේක් එකක්වත්...”

“බබිත නංගි, ඔයාලා මසුයි එළවලුයි ගන්න බලන්න. මම කේක් කඩයක් තියෙන තැනක් බලන්නං. සේරටම කලින් මට ස්වීප් ටිකට්ස් තුනක් ගන්නත් ඕනි.”
”මොනවටද හලෝ ඔච්චර සල්ලි? බලන්නකො රසික නංගි- මේ නිමල් දිසානායක හැමදාම ලොතරැයි ගන්නවා. මිනිහගෙන් අහන්නකො එකක්වත් ඇදිල තියෙනවද කියල. අපරාදෙ සල්ලි.”
“අපරාදේ? මම සුමානෙකට ගත්තොත් ගන්නේ උපරිමයෙන්ම ලොතරැයි හයක් විතරයි, නෙවිල්. එහෙමවත් නොගත්තොත් දිනුමක් ඇදෙනවද...”

“හා හා... දිසානායක වාසනාව හොයාගෙන ගියාවේ. අපි යනවා ඔසුපැන්වලට මිශ්‍ර කරන්න ඕනි දේවල් ටිකක් ගන්න.” නෙවිල් කිව්වා විතරය, නඩේ හිටි වැඩිහිටි පිරිමින්ගෙන් හතර දෙනෙකුම නෙවිල්ගේ පස්සෙන්ය.
“ඉතින් ඕකට සාන්ත, හරිශ්, සරත්, මර්වින් හතර දෙනාමත් යන්න ඕනිද?”
“හෙඃ හෙඃ! අපි එහෙමයි නිමල් අයියේ. සමඟිය බලය වේ කියනවනෙ. නැද්ද, මර්වින් අයියේ.”
“අනේද කියන්නේ සාන්ත. නිමලයාට ඕවා තේරෙන්නෙ නෑ, මේ ආත්මෙදී නං...”

ඉතිං ඉස්සර වෙලාම මං වහන්සේ හෙව්වේ ලොතරැයි කූඩුවකි. ‘ආ, අර තියෙන්නෙ...’
“නිමල් අයියා ඇදෙන ටිකට්ස් ඔක්කොම ගත්තද?” මං ලොතරැයි තෝරන අතරේ බබිතා නංගිත් එතැනට ආවාය.
“නෑ නෑ. තුනක් විතරයිනෙ ගන්නේ... ඔයාලටත් ඉතිරියි.”
“එහෙනං ඔයාගේ ස්වීප්වලටත් මම සල්ලි දෙනවා. හැබැයි ඇදුණොත් බාගයක් මට...”
“තෑන්ක්ස් බබිතා. ඔන්න බාගෙට වැඩිය නං ඉල්ලන්න එපා!”

සූරියකන්දේ ස්කයිඩෙක් එකට ට්‍රිප් එකක් යන ගමන්...

“හරි වැඩේනෙ නිමල් අයියේ, රක්වානේ ටවුමෙම බලලත් බාබකිව්වලට ඇති වෙන්න චිකන් Drum Sticks ටිකක් ගන්න නැහැයි කිව්වම... කුකුළෝ එහෙම පිටිං අරගත්තට හරි යන්නෙ නෑ නේද? කොයිකටත් මං අතුලට call එකක් දුන්නා, රක්වානට එන්න කලින් මස් ටිකක් ගන්න කියලා.”

සනෝලි ස්වීට්ස් ලොක්කා අතුල අපේ ට්‍රිප් එකකට එනවා නං, සීවලී මහ රහතන් වහන්සේ වැඩියා වගේය. තල, රටකජු, මස්කට් වගේ පැණිරහ කෑමත්- බයිට්වලටම ඔබින මුරුක්කු ජාති ගොඩාරියකුත් අතුල රැගෙන එයි. ඒ වංගියේ, මොකක්දෝ රාජකාරියක් හින්දා අතුලලා දහවල් වී එන බවය, කියා තිබුණේ.
“දවල් වෙනවයි කිව්වට මොකද, අතුලල දැන්මම පිටත් වෙලත් ඉවරයිලු- නිමල් අයියේ.”

“නංගි, මං එනකොට දැක්කා කේක් කඩයක්. එහෙනං මම එතනටත් ගිහිල්ලම එන්නං.”
“ගොඩක් ගන්න එපා ඔන්න.”

මා ඉහතදී කියූ, Customer Care හොඳින්ම ඉගෙනගත් බව පෙනුණු ඒ තරුණයා මට හමු වුණේ ‘රක්වානේ ආසිරි බේක් හවුස්’ වෙළෙඳ සලේදීය. කඩයට පා තබනවාත් එක්කම ඉතා ප්‍රසන්න සිනාවකින් මුව සරසාගත් ඒ හාදයා ‘එන්න සර්. මොනවද ඕනේ?’ කියා ඇහුවෙත් උපරිම ආචාරශීලී ලීලාවකිනි.
“කේක් එකක් ගන්න...”
“සර්ට මොන වගේ... දැනුයි මේවා ගෙනාවේ. බටර්, චොක්ලට්, ෆෘට්... වැරයිටීස් ගොඩක් තියෙනවා සර්.” එයා පෙන්නුවාමය, මං දැක්කේ. වෙළෙඳ සල පිටතින් පෙනෙනවාට වඩා ලොකුය. රාක්කවල අසුරා තිබෙන කේක් තැටි ගොඩකි!

“ඇහුවට කමක් නැහැනෙ, සර්ලා මේ පැත්තේ අය නං නෙවෙයි වගේ...”
“අපි මහරගම- නුගේගොඩ කට්ටියක්. සූරියකන්දේ ස්කයිඩෙක් එකට ට්‍රිප් එකක් යන ගමන්.”
“ෂා! ලස්සන තැනක්... මාත් වැඩ කරන්නේ කොට්ටාවේ... කඩේ ඉන්නේ වෙන කෙනෙක්. අද එයා නැති නිසා මං කඩේට ආවා.”

ඔහුගේ සංග්‍රහශීලී කතාව ඉනාවකි!
කේක් විතරක් නොවේ, මස්කට් කිලෝ එකහමාරකුත් අරගෙනය මං එතැනින් පිටත් වුණේ.

“හරි වැඩේ! මමත් කේක් කඩේට ගියානේ. තව චුට්ට වෙලාවක් නිමල් අයියා ඒ හාදයත් එක්ක කතා කෙරුවා නං, මෙයාව රක්වානේ නවත්ත ගන්නව, නෙවිල් අයියේ. අපි කඩෙන් එන්න හදද්දීත් එයා මෙයාට කිව්වනේ -ආයෙම මේ පැත්තෙන් ගියොත් මෙහාටත් ඇවිත් යන්න සර්!- කියලත්.”
“දිසානායකගෙ උපන් නැකතේ හැටි වෙන්නැති, බබිතා. මෙයා එක්ක කවුරු හරි කතාවට වැටුණොත්- තියෙන ඔක්කොම කියලයි පස්ස බලන්නේ. ඉතිං, ඉතිං... ඒ මනුස්සයා වෙන මොනවද කිව්වෙ දිසානායක?”

“ඕන්නෑ... ඒ මනුස්සයා කිව්වේ මටනේ.”

ජනක නිරෝෂත්, එරංග රණසිංහත් අප එනතුරු මඟ බලමිනි උන්නේ. ඒ දෙන්නාය, අපේ සත්කාරකයෝ... 

“එහෙම නෙවෙයි, ඔයාටත් අමාරුයිනෙ නිමලෝ එයා කියපුවා නොකියා හිර කරගෙන හිටියම...” මර්විනුත් නෙවිල්ගේ සහයට...

“ඔන්න එහෙනං එකක් විතරක්. සූරියකන්දට යනකල්ම අපිට මාර කට්ටක් කන්න වෙයිලු. දිගටම පාර හදනවලු.”
“අම්මට සිරි!”

එහෙම පරිප්පුවක් කාගෙන ගියත්, දෙක වෙද්දී අපි ස්කයිඩෙක් එකේය!

ජනක නිරෝෂත්, එරංග රණසිංහත් අප එනතුරු මඟ බලමිනි උන්නේ. ඒ දෙන්නාය, අපේ සත්කාරකයෝ...
“තැන හොයා ගන්න අමාරු වුණේ නැහැ නේද මිස්ටර් ප්‍රියන්ත...” / “මෙහෙන්... මේ පාරෙන් යමු. දැන්මම සර්ලගෙ bags ටිකත් අරගෙන යනවද. අපිත් උදව් කරන්නං.”

තේ වත්තක් මැදින් දිවෙන අඩි පාරකය අපට යන්නට තිබ්බේ. වැස්සක් වැටුණු පාටක් නං නැත. අඩි පාර වියළිය. “ඒකට කමක් නෑ, හරිශ්- ඔය තේ පඳුරු අස්සෙන් රිංගන්නෙ නැතුව මේ පාර දිගේ එනවකො. කූඩැල්ලෝ එල්ලෙයි මනුස්සයෝ!”
“මේ දවස්වල පෑවිල්ල නිසා කූඩැල්ලෝ නෑ සර්!”

“හඃ හඃ... අපේ නිමල් අයියා කූඩැල්ලන්ට පණ බයයි!”

ඉස්සරහින් පෙනෙන්නේ අපට නවාතැන් ගැනීමට තිබෙන tentsය. ඒවා ඉදිකොට තිබෙන්නේ සිල්පර කොට උඩය. උස් බිම් කඩක ඒවා ඉදිකොට තිබෙන්නේ හතර වටේම බලා ගන්නට හැකිවෙන පරිද්දෙනි.
“සර්, අර තියෙන්නේ wash rooms. ඒවයේ hot water ෆැසිලිටි එකත් තියෙනවා. අතන තියෙන්නෙ ඩයිනින් හෝල් එක.” ජනක කිව්වාටම මදි වගෙනෙ. කිහිප දෙනෙක්ම ඒ ඒ තැන්වලට ගිහිං ‘ස්ථානීය පරීක්ෂාවක’ත් යෙදුණාහ!

“සර්ල lunch එක අරගෙනද ආවේ?”
“නෑ ජනක. තාම නෑ. හැබැයි අපි දවල් කෑම උයල අරගෙන ආවේ. අපි මොනව හරි බීලා- ඔයා කියපු දොළට නාන්න යමු. නාලා ඇවිත් කෑම කතෑකිනෙ...”
“ඒ වුණාට ඒයි, කෑම නරක් වෙයිද දන්නෑ එච්චර වෙලා යනකොට. උදේ උයපුවනේ.” රසිකා ප්‍රියන්තට මතක් කළාය.
“එහෙනං අපි කෑම ටිකත් අරගෙනම නාන්න යං. ජනක, එතැන ඉඳගෙන කන්නත් ඉඩ තියෙනව ඇතිනෙ...”

“තියෙනවා සර්!”
ඇඳුම් බෑග්ස් tent අස්සට දැමූ හැමෝම දැන් ලැහැස්ති වෙන්නේ නාන්න යන්නටය. “කඳු නඟින්නයි, බහින්නයි... ඊටත් වඩා කැලේ අස්සෙන්... මම ඉන්නං...” මම පසුබෑවෙමි.
“පිස්සු නැතුව යං නිමල්! හෙමිහිට යමු. අමාරු හරියක් තිබ්බොත් අපි උදව් කරන්නං. මේ ජනක කිව්වනේ කූඩැල්ලෝ නැහැයි කියලත්...”
“ඔව් නිමල් අයියේ. කරදරයක් කියල හිතන්න එපා. යං යං. ඔයා නාන්න අකැමැති එක්කෙනෙක්යැ.”

අද නං දොළේ සීතල වතුරෙන් නෑවම කාට- කාටත් බඩගිනි වෙලා. හැමෝම වගේ දෙපාර දෙපාර බෙදා ගත්තා!

අනේ, ඒ කාරුණික පෙළඹවීම් කොහොම නොතකා හරින්නද?

ශ්‍රී ලංකාවේ දිගම දොළ පාරෙනුත් ස්නානය කිරීමේ වාසනාව මේ නිමල් දිසානායකයා ලද්දේ, අපේ කට්ටියේ ඒ පෙළඹවීම්වලට අනුගත වුණු නිසාය.

“අපේ කෑම්පින් සයිට් එකට ආව ප්‍රොෆෙසර් මහත්තයෙක් කිව්වේ. සිංහරාජෙන් පටන් ගන්න මේ ගල්දොළ කැලේ මැද්දෙන්, දෙනි අතරෙන් කිලෝ මීටර් 14ක් විතර ගලනවලු. මේක තමයිලු ලංකාවේ දිගම දොළ.
මේ කිට්ටුව දොළවල් දෙකක් තියෙනවා. ගල්දොළයි හඳපාන් දොළයි. හඳපාන් දොළ තමයි ලොකු එක. ඒ දෙකෙන්ම ලස්සන දිය ඇලි දෙකකුත් හැදෙනවා. සර්ලා දවස් දෙකක් විතර ඉන්න ආව නං අපට හඳපාන් දොළ hike එකත් යන්න තිබ්බා.” අපට පාර පෙන්වමින්; අසීරු තැන්වලදී මට උදව් වෙමින් යන ජනක නිරෝෂ කියයි.
“ඒ හයික් එකට පැය කීපයක් යනවා... මේ දොළවල් දෙකම රක්වානේදී තමයි එකට එකතු වෙන්නේ!”

අපරාදේ කියන්නට බැරිය. ගල්දොළේ වතුර මහ දවාලෙත් අයිස් වගෙය.

“අද නං දොළේ සීතල වතුරෙන් නෑවම කාට- කාටත් බඩගිනි වෙලා. හැමෝම වගේ දෙපාර දෙපාර බෙදා ගත්ත.”
“නෑ මැණිකේ. අඹ මාලුවෙ රහටයි බත් ටික අල්ලලා ගියේ.”
“මර්වින් අයියා ඔය කියන්නේ මගේ පරිප්පු කරිය හොඳ නෑ කියලද?”
“සොරි... සොරි නංගි, ඕකට ඉතිං හොඬවැලෙන් උස්සල පොළොවේ ගහන්න ඕනයැ. පරිප්පුව විතරක් නෙවෙයි- බටු මෝජුවයි, චිකන් කරියයි දෙකත් නියමයි. නැද්ද සරත්.”

“ඒ වුණාට අයියේ, මට අහු වුණු පපඩම නං ටිකක් දිරලා...” සරත් එයාගේ පිඟානෙන්ම තව කිහිප දෙනෙකුටත් බත් කවයි.
“තව ටිකක් සප්පායම් වුණා නං, තව දිරපු දේවල් පේන්න ගනියි!”

මං වහන්සේට නං ගියාට වඩා අමාරු වුණේ ආපහු එන එකය. ආපසු ගමනේදී නැග්ම වැඩි නිසාය ඒ.

“හැබැයි ජනක, මේ හරියේ හැදෙන මේ බිල්ඩින්ස් කන්දරාව නං හොඳටම වැඩියි. බොහෝම ඉක්මනටම කැලයක් නැතිව යාවි. මෙච්චරට ටුවරිස්ට්ස්ලා එනවද ඉතිං...”
“අපට නං සර්, bookingsවලින් අඩුවක් නෑ. අපි එච්චර එළවලා අපේ Camping Site එක ප්‍රමෝට් කරන්නෙ නැත්තෙත් ඒකයි... මට පෙනෙන විදිහට නං, දැන් ඉස්සරට වැඩිය ගොඩක් දෙනා රටේ ඇවිදිනවා.”

“වැස්ස කාලෙටත්?”
“වැස්සොත් නං ටිකක් අවුල්, හුළඟත් එක්ක හිරිකිඩ එන හින්දා...
සාමාන්‍යයෙන් මැයි මාසේ ඉඳලා ඔක්තෝබර් මාසේ වෙනකල් අපි බුකින්ස් බාර ගන්නේ නෑ. ඒ කාලෙට හුළං තදයි; tents උගුල්ලගෙන යන තරමට.” ජනකගේ විස්තර නිසා අපට වැඩි වෙහෙසක් දැනුණේ නැත. ඒත් මගේ ගමන නං සිද්ද වුණේ හෙමින්මය.

එයාලා අතිශයින්ම සරලය. බත් මාළුපිනි- සුප්- තේ- බීම... ඒ ඕනෑම දෙයක් වේවා. පිළිගන්වන ලද්දේ...

ඒ නිසාවෙන්දෝ මගේ කකුලේ ඇඟිලි අතර කූඩැල්ලන් දෙන්නෙකුම එල්ලිලාය. පසුවදා සවස් වෙනතුරුමත් ඒ තැන්වලින් ලේ ගැලීම සිදු වුණේ මටමත් හිරිකිත දනවන අයුරෙනි!

පය ඉක්මන් කර අපට කලින් කඳවුරු බිමට ගිය ජනකත්, එරංගත් හවස තේ ලැහැස්ති කරලාය.

ඕනෑවට වඩා ප්‍රශංසා කරනවා නොවේ. ප්‍රශස්තියක් වගේ පෙනුණත්, ඇත්තම කිව යුතුය. විවේචනය රාත්තලකට වඩා ප්‍රශංසාව අවුන්සයක් වටිනා බව අමතක නොකරමිනි, මා මේ ප්‍රශංසාව ඔවුනට කරන්නේ!
එයාලා; Skydeck කාර්ය මණ්ඩලය අප වෙනුවෙන්ම කැපවී උන්හ. මට නම් එහි අගය වැඩි-වැඩියෙන් දැනුණේ, එදා උදේ කෑම ගත් අවන්හලේ ‘කෙරුවාව’ යළිත් සිහි වුණු බැවිනි.

Skydeck වෙතින් මා දුටු විශේෂත්වය මේකය.
එයාලා අතිශයින්ම සරලය. බත් මාළුපිනි- සුප්- තේ- බීම... ඒ ඕනෑම දෙයක් වේවා. පිළිගන්වන ලද්දේ අතිශය සරල; ළගන්නා බඳුන්වල දමලාය. ඒ හැම විටෙකම විනීත- අව්‍යාජ සිනහවකින් ඔවුන්ගේ මුහුණු ඔප වැටී තිබිණි.

“මරු අයිඩියා එකක්නෙ මේ! වට්ටක්කා සුප් එක්ක හුළං විස්කෝතු. අපේ කට්ටියට නං වැඩේ අල්ලලා යනවා වගෙයි...”
ඉතිරිය දෙවෙනි කොටසෙන්...

20 comments:

  1. Complete guide to fasting පොත ගැන විස්තර ලබා දුන්නට බොහොම ස්තුතියි නිදී. ඉස්සර ඇහුවම බය හිතෙන සූරියකන්ද ට යන්න ආස හිතෙන විස්තරයත් මරු.

    ReplyDelete
    Replies
    1. Complete guide to fasting පොතේ කියන විදිහට ෆාස්ටින් කලා දොස්තර අයස්මන්ත, නෙවිල්, ගවීන් හා මාත්. ප්‍රතිඵල අත් දුටුවා.
      අපි යන ට්‍ර්ප්ස් හොඳටම වැඩියි මහත්තයෝ. ඒවා සේරම ගැන ලියන්න නං වෙනම බ්ලොගයක් ලියන්න වෙනවා. මගේ දවසට පැය 48ක්වත් ලැබෙන්නත් වෙනවා.
      ස්තුතියි කමෙන්ටුවට.... කපිල වස්තුව!

      Delete
  2. කුරුවිට රබර් වතුයායේ අවන්හලේ නමත් දැම්මා නම් වටිනවා. මොකද නොදැන තව අයත් ගිහිල්ලා අමාරුවේ වැටෙන එක වලක්වාගන්න විතරක් නොවේ අවන්හලේ එයාලටත් තමන්ගේ ව්‍යාපාරය හරි පාරට ගන්න උදව්වවක් වේවි කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. ට්‍රැවලර්ස් පැරඩයිස් නෙමෙයිනෙ?

      Delete
    2. අම්මෝ, අසංග මහත්තයෝ- උසාවි ගානේ යන්න බැහැනේ.
      ඒ අවන්හලට ඇතුළු වෙනකොටම පෙනෙන, දකුණු කෙලවරේ තියෙන මියුරල් එකම ඇති එතන අඳුනා ගන්න.
      කලින් හොඳට තිබුණු තැනක් ඒ... දැන් තත්ත්වය පිරිහිලා තියෙන්නෙ.

      Delete
    3. Pra Jay මහත්තයෝ, තවමත් ඉඳහිට හරි රත්නපුරේ උසාවියට යැවෙනවාද? එතකොට ගිහිං බලන්නද හදන්නේ?

      Delete
  3. නිදිගේ පහුගිය පෝස්ට් කීපයක් මිස් වෙලා තියෙන්නේ...හෙමින් සැරේ ඒ ටික කියවන්න එන්නම්...ඊට අමතරවා නලීන් මහත්තය ගැන මගේ බ්ලොග් එකේ ශෙයාර් කරලා තියෙන ලින්ක් ටිකත් කියවන්න තියෙනවා...ඒ
    මෙච්චර ට්‍රිප් ඕගනයිස් කරලා කරන ප්‍රියන්ත මහත්තය ට වල් ප්‍රියන්ත කියන එක නම හරි මදි

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්තගේ නම වන්නි ආරච්චිලාගේ ලලිත් ප්‍රියන්ත. එයාගේ construction කොම්පැනියට දාල තියෙන නමත් W A L Construction.ඉතිං මයියෝ...

      වෙලාව ලැබුනම මග හැරුණු posts කියවන්නකෝ.

      Delete
  4. සුරිය කන්ද අර මිනිස්සු මරපු කන්දමද

    ReplyDelete
  5. ලංකාවේ කස්ටමර් සර්විස් නරක නම් අන්තිම නරකයි. ඩයලොග් වගේ. හොඳ නම් පට්ට හොඳයි. කුඩල්ලෝ එල්ලෙන්නේ නැතිවෙන්න සබන් ගාගෙන යන්න ඕනේ

    ReplyDelete
  6. හැබැයි අජිත්, දැන් ගොඩක් තරුණ පරම්පරාවේ ව්‍යාපාර කරන උදවිය මොළෙන් game එක ගහන්නේ. එයාලා කස්ටමර් සර්විස් එක ගැන දැනුවත්.

    කූඩැල්ලන් එල්ලෙනවට මං ගාන්නේ සිද්ධාලේප.
    බලන්ගොඩ පැත්තේ අය ඩෙටෝල් පොල්තෙල් එකතු කරලා ගානවා.

    ReplyDelete
  7. අඹරෝරෙ කියන්නෙ මොකක්ද? ලස්සන වචනයක්.

    ReplyDelete
    Replies
    1. බකුසුතුමෝ, තමුන්නැහේ මේ ප්‍රශ්නය නං අහල තියෙන්නෙ වෙන කවුරු හරි වෙනුවෙන් කියලමයි මට හිතෙන්නේ. කාරී නෑ.... ස්තුතියි.

      ඇත්තෙන්ම ‘අඹරෝර’ කියන්නේ ඉතා මනරම් වචනයක්. ‘අහස’ වෙනුවටයි මම ඒ වදන යොදාගත්තේ.
      මඩවල එස් රත්නායක වියතාණන් ඒ වචනය 1964 දී තිරගත වුණු ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ ඉතා මියුරු ගීතයකට යොදාගෙන තියෙනවා අපූරුවට. අහලම බලනවද?
      https://www.youtube.com/watch?v=essn402b7do
      නීල නුවන් ගැබ සෝක වලාවෝ
      වේදනාව ගෙන හද අඹරෝරේ
      ඈතින් පොර කා තෙරපී ඇඹරී
      දෑස කඳුළු වැල් රූරා වැගිරේ...

      Delete
    2. නෑ, මේක ඇහැව්වෙ මං වෙනුවෙන්මයි. වෙනදා ඒක, මේක මොකක්ද කියල අහන ඒතුමාටත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නත් ඇහැකි.

      එහෙම කිව්වාම මතක් වුනා. අහසට අඹර, නිළඹර කියන බව දන්නවා වුනාට අර "රෝරෙ" කෑල්ල නිසා පැටලුනා.

      Delete
    3. අඹරෝන අඹතලේ

      Delete
  8. මං මේක කියෙව්වට හිටං කොමෙන්ටුවක් දාන්න බැරි වෙලාද කොහෙද 😁

    ReplyDelete
    Replies
    1. මතක බැරි වෙන්නැති. දැන් වයසයිනේ...

      Delete
    2. වයස. මට තාම අයිඩින්ටිය හදන වයසවත් නෑ හිටං 🙈

      Delete