‘විවාහක- දැඩිමේනි වුණු දරුවන් සිටින තාත්තා කෙනෙකු විදිහට සුනන්ද ස්ත්‍රීමය හඬකට වසඟ වුණේ කොහොමද කියලා නම් මට කවදාවත් අසාගන්නට බැරි විණි. ඒ කාලයේ එච්චර දුරටම විශ්ලේෂණාත්මකව බලන්නට තරම් මට නුවණක් තිබුණේ නැතිය. අනේ! අද සුනන්ද කොහේ හෝ ඉඳගෙන මේ අතීත සැමරුම් කියවනවා ඇතිද?
නෙත් පින් නැතත් මාලී මා දිනු පිනය! |
මේ ලියුමේ මුලට දිනයක් දාලා නෑ. පළමු
කවියෙන්මයි දාතම කියවෙන්නේ.
හැත්තෑනමයෙ පෙබරියෙ එකොළහ දිනය
ගත්තේ පෑන ලීමට අද ඔබ ගැනය
මත් වුණු හදවතින් සිතුවිලි රැඳි තැනය
නෙත් පින් නැතත් මාලී මා දිනු පිනය’
මෙච්චර වෙලා ඔයාල කියවපු ‘උඩින් තියෙන ටික’ මම
උපුටා ගත්තේ ‘ආදර පූජාසනේ -තෙවෙනි
කොටසෙන්’.
ඒ දවස්වල පැය ගණන් ටෙලිෆෝන් එකෙන් ගලාගෙන ගිය
ආදර කතන්දරවලින් එකම එකක විතරයි ‘ලිඛිත සාක්ෂි’ තවමත් මගේ ළඟ ඉතිරි වෙලා තියෙන්නේ.
ඒ සුනන්දගේ කාව්‍යමය පෙම් හසුන්!
ඒ ලියුමයි, කවරෙයි දෙකට දැන් අවුරුදු
25ක් විතර... |
ඒ ලියුමයි, කවරෙයි දෙකට දැන් අවුරුදු 25ක් විතර වයසයි. ඒවා ඇස ගැටෙන වාරයක් ගණනේ, මට
මතක් වෙන්නේ ‘ඒ කලාත්මක අත් අකුරු!’.
මම හරිම ආසයි ලස්සන අත් අකුරුවලට. ‘ලොකු අම්මාට පොළොන්නරුවේ
පුතෙකුගෙන් ලැබුණු ලිපි’වල ලස්සන අකුරු ගැන මම ඔයාලට කිව්ව මතකයිනේ. ප්‍රවීන නවකතා
රචක මොහාන් රාජ් මඩවලගේ අත් අකුරුත්
හරි හැඩ අකුරු. අපේ දොස්තර හිතවතා අයස්මන්ත පීරිස්ගේ අකුරුත් තවත් විදිහක කලාවක්
තියෙන අකුරුයි!
මං අත් අකුරු දිහා විශේෂයෙන් බලන්න ගත්තේ චිත්‍රකතා
කියවද්දී. අපි ඉතිං වැඩියෙන් චිත්‍රකතා බලපු උදවියනේ. ඒ හින්දා ජී.ඇස්. ප්‍රනාන්දු,
සුසිල් ප්‍රේමරත්න, පුරවිජය ෆොන්සේකා, බන්ධුල හරිශ්චන්ද්‍ර, තලංගම ප්‍රේමදාස, පී. වික්‍රමනායක,
ජනක රත්නායක හා බලංගොඩ සරත්මධු වගෙ හැම කෙනෙකුගේම අත් අකුරු හොඳින්ම අඳුරගෙනයි
හිටියේ. එක බැල්මකින්ම එයාලා අඳින චිත්‍රත් අපි හඳුනාගත්තා. ඒ වගෙ විවිධාකාර අත්
අකුරු අතරෙන්, නිදි තවමත් ‘වඩාත්ම කැමති අකුරු වර්ගය’ ඒකා මුලින්ම දැක්කේ ‘මැංචෝසන්
චාරිකා’ පොතේ කවරයෙන්.
‘ආර්.ඊ. රාස්ප්- අනුවාදක: ඩී.බී. කුරුප්පු’ කියන
ටික ඇඳලා තියෙන අකුරු ගැනයි මං කිව්වෙ. 1963දී මහරගම, සීමාසහිත සමන් ප්‍රකාශකයෝ
ආයතනයෙන්... |
ඔහොම කාලෙ ගෙවෙන අතරේ, 1972 අගෝස්තු 29 වෙනිදා ‘සතුට’ චිත්‍රකතා පත්තරේ මංගල කලාපය දොරට වඩිනවා.
ඒ පත්තරේ මැද පිටු දෙකේ, උඩ කොටස වෙන්වෙන්නේ ‘සැණකෙළිය’ චිත්‍ර කතාවේ මුල් කොටසට. එතැනම
තිබුණු පූර්විකාවෙන් කොටහක් මේ:
‘අධ්‍යක්ෂම චිත්‍ර කතාවට නංවන
සැණකෙළිය චිත්‍රපටය
පළමුවන වරට සිංහල චිත්‍රපටයක්
වෛවර්ණ චිත්‍ර කතාවට නැඟෙයි. “සැණකෙළිය” නම් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ විසින්ම එසේ
චිත්‍ර කතාවට නැංවීම මෙහිදී තවත් විශේෂයකි. මේ තරුණ වෙළෙඳ චිත්‍ර ශිල්පී- චිත්‍රපට
අධ්‍යක්ෂවරයා හර්බට් රංජිත් පීරිස්ය.
රංජිත් සිනමා කරණයට ආධුනිකයෙකු
වුවත් “සැණකෙළිය” තුළින් නූතන තරුණ පරපුරේ විලාසිතා පැතුම් හෘදයාංගම ලෙසත්, විශ්වාසනීය
ලෙසත් සිංහල සිනමා ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වෙයි.
අධ්‍යක්ෂම චිත්‍ර කතාවට නංවන සැණකෙළිය චිත්‍රපටය |
ඊටත් අවුරුදු දෙකකට පස්සේ 1974 නොවැම්බර් 15 වෙනිදා
තමයි ‘290 වෙනි සිංහල චිත්‍රපටය- සැණකෙළිය’ ප්‍රදර්ශනය වීම පටන් ගන්නේ.
ඊටත් කාලෙකට පස්සේ තමයි මං දැනගත්තේ හර්බට් රන්ජිත් පීරිස් මහරගම පදිංචිකාරයෙක්
බව. එතකොටත් හර්බට් ශ්‍රී ලංකේය කලා ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්.
එහෙම වුණත් හිටිගමන් වෙලාවක උන්නැහේ මිතුරු සගයන් තුන්-හතර දෙනෙකුත් එක්ක මහරගම
වීදිවල සැරි-සරනවාත් මම දැකල තිබුණා. වැඩියත්ම ඒ විත්තිය මතක හිටියේ ‘ඒ හැම වෙලාවකම
රන්ජිත් පීරිස් උන්නේ සරමක් ඇඳගෙන’ නිසයි.
ගාමිණී ෆොන්සේකා- සිනමා සක්විත්තත් එයාගේ ‘උතුමාණෙනි’ චිත්‍රපටයේ තිර රචනය ලියන්න මේ
සරල ‘රන්ජිත්’ට පවරලා තිබුණාම...’එක් ටැම් ගේ’ චිත්‍රපටය බැලුවාම... හර්බට්
රන්ජිත් පීරිස්ගේ දැවැන්තකම මට තවත් වැඩියෙන් දැනෙන්න ගත්තා.
1998 තමයි මං ‘පිවිතුරු’ යොවුන් පත්තරයට සිකුරු
විජිතය නවකතාවයි- දඟකාරී මං මද්දුම දෝණී විශේෂාංගයයි ලියන්න ගත්තේ. ඊටත් අමතරව,
මං වහන්සේට තේරුම් ගන්න ඇහැකි තරමට සරල ඉංගිරිසිවලින් ලියවී තිබුණු හරවත් හා රසවත්
ලියැවිලි කීපෙකුත් පරිවර්තනේ
කළා... උපුල් සාන්ත සන්නස්ගල, තුමිඳු දොඩන්තැන්න වගෙ
කලාකරුවන් දෙතුන් දෙනෙක් එක්කත් සාකච්ඡා කරලා ‘පිවිතුරු’ පත්තරයට ලිපි සැපයුවා.
“නිමල් අයියේ, ඔයාලගෙ පත්තරේට ලියන්න වටින වැඩක්
තියෙනවා...” අල්ලපු ගෙදර ගෘහ මූලික තිලක් ප්‍රියන්ත හිතවතා ඔය වකවනුවේ දවසක මට
කිව්වා. (තිලක් ප්‍රියන්ත උග්‍ර ජෝතිපාල රසිකයෙක්. ඒ වගේම පමුණුවේ තියෙන හැම සංගීත
සාජ්ජයකදීම ‘ජෝති අයියගේ numbers හත-අටක්වත් ගයන්නෙක්.)
“ජෝතිමයි නිමල් අයියේ. මාර වොයිස් එක. ඔයා ඇස්දෙක වහගෙන ඇහුවොත් නං රැවටෙනවාමයි,
සිංදු කියන්නේ ජෝතිපාල කියලා...” ප්‍රියන්ත කිව්වෙ අසුරකුත් ගහලා.
”කවුද අප්පේ ඔය හපනා?”
“නිමල් අයියට පෙන්නන්නකො ඒයි, මර්වින් සිංදු
කියන වීඩියෝවක්.” දේවිකා නංගිත් ප්‍රියන්තගේ කතාවට මුක්කුවක් ගැහුවා...
“ඇත්තනේ යකඩෝ! ජෝතිමයි!!” වීඩියෝව බලද්දී මට කියවුණේ නිකංම.
“ඒකනෙ මම ඔයාට කිව්වෙ.”
“ප්‍රියන්ත. මුලින්ම අපි මේ හාදයාව හම්බ වෙලා කතා කරල හිටිය නං...”
“මහ ඈතක නෙවෙයි. අර තුන්වෙනි පටුමඟේ මර්වින්ලා ඉන්නේ. මං එයාව එක්කගෙන එන්නංකො
වෙලාවක, නිමල් අයියට මුණ ගස්වන්න.”
ප්‍රියන්ත එහෙම කෙරුවේය. මම මර්වින් සමඟ දිගු
සාකච්ඡාවක යෙදුණෙමි.
රන්ජිත් අයියා මනුස්සකම පිරිච්ච හරිම හිත හොඳ මනුස්සයෙක් නිමල් අයියේ |
“එයා කැමති වෙයිද මර්වින්, මං වගෙ පඟර නැට්ටෙකුට උදව් කරන්න?”
“ඔයා ඇවිත් බලන්නකො මගෙත් එක්ක. ඇල්හේන පාරේ ඉන්නේ. රන්ජිත් අයියා හරිම හිත හොඳ
මනුස්සයෙක් නිමල් අයියේ!”
‘යකඩෝ! මර චාන්ස් එකක්නෙ.’ මට හිතුණා. ‘යමු,
යමු. මමත් හරිම කැමතියි එයාව මුණ ගැහෙන්න.”
ඒ වෙද්දී හර්බට් රන්ජිත් පීරිස් කලා ලෝකයේ All
Rounder කෙනෙකු විත්තිය මං දැනගෙනයි හිටියේ. ඒ ලේක්හවුසියේ ‘සරසවිය’, සුමතියේ
‘සත්සර’, ‘තිරතරු’ වගෙ සිනමා පත්තරවලටත්- මල් පත්තරවලටත් පිං සිදු වෙන්න.
අපේ අසහාය විකට ගීත ගායක ෆ්‍රෙඩී සිල්වා ගයන ‘හිටියා උදාර කොල්ලෙක්- ඌට
හිටියා හොඳ සැර බල්ලෙක්’ ගීතයේ රචකයාත් මේ හර්බට් බව, මං දැන ගත්තෙ එහෙම පත්තරයකින්!
හර්බට් රන්ජිත් පීරිස් හෙණ හැන්ඩියෙකි. පැහැපත්
සම- බොකුටු කොණ්ඩය- ආරෝහ පරිණාහ දේහය... ඒ
සියල්ලටමත් වැඩියෙන් මගේ සිත් ගත්තේ එයාගේ නිරහංකාර, සැහැල්ලු කතා ලීලාවයි.
මේ ලියන රංජිත්ට, ඒ හර්බට් රන්ජිත්ව හමු වුණේ පළමුවෙනි වතාවටය. එහෙම වුණත් මට
කිසිම පැකිළීමක් ඇති වුණේ නැති විත්තිය හොඳටම මතකය. ඔහු ඒ තරමටම සංවාදශීලීය.
“මෙහෙම කරමු නිමල්. ඔයා මගෙන් අහගත්ත දේවලුත් ප්‍රයෝජනයට
අරගෙන article එක ලියන්න. මගේ ගැන ලියවෙන්න නෙවෙයි මට ඕනේ. මෙන්න මේ කොල්ලා ගැන ලංකාවටම
කියන්නයි මට ඕනේ. අපි වගේ අය මේ වගේ ඉස්සරහට එන එවුන්ට උදව් කරන්න ඕනිනෙ නිමල්.”
“ඔව් රන්ජිත් අයියේ. ඔයාට කරදරයක් නෙවෙයි නං-
මම කැමතියි ආටිකල් එක ලිව්වට පස්සේ, ඒක ඔයාට පෙන්නලාම ඉන්න.”
“මට මොන කරදරයක්ද නිමල්? එතකොට මට හරි නැති තැනක් තිබ්බොත්...”
“රන්ජිත් අයියල ගොඩක් අත්දැකීම් තියෙන අයනේ. Edit කරන්න- කපන්න, කොටන්න. මම ආයෙමත්
ලියන්නං.”
“නිමල්ට විශේෂ කාරණයක් කියන්න හිතුණා. ඔන්න ඔය
ගතිය- නිහතමානී ගතිය කවදාවත් නැති කර ගන්න එපා. සමහරෙකුට හරි ඉක්මනට මුල අමතක
වෙනවා- තැනකට එනකොට ඔළුව ඉදිමෙනවා. එහෙම වුණාම දිග ගමනක් යන්න බැරි වෙනවා...
මට පෙනෙන්නේ ඔයාට නං ඒ ලෙඩේ බෝවෙන එකක් නැහැ කියලයි. ඒ නිසාම ඔයාට මගෙනුත් උදව්වක්
එහෙම ඕනි වුණොත් මට කියන්න. පුළුවන් දෙයක් නං මම කරයි!” රන්ජිත් අයියාගේ ඒ කාරුණික
වදන් තවමත් මගේ දෙසවනේ රැව් දෙයි!
කලා කටයුතු රැසක නිරතව; කාර්ය බහුලව උන් ඒ කාරුණිකයා... |
දවස් කීපයකට පස්සේ මර්වින් මාලේවන ගැන විශේෂාංග ලිපිය ලියාගෙනය, මා ඔහු හමු වෙන්නට ගියේ.
“බලමු, නිමල් ලියන රටාව කොහොමද කියලා... (එහෙම
කියලා රන්ජිත් අයියා ගේ ඇතුළට හැරුණා.) අපිට තේ දෙකක් ඕනෑ. නියමෙට. මගේ හොඳ යාළුවෙක්
ඇවිත් ඉන්නේ...” උපැස් යුවලත් දාගෙන රන්ජිත් අයියා ලිපිය කියවන්න ගත්තේ ඊට
පස්සෙයි.
“නිමල් මොකුත් හිතන්න එපා. මේ ලිපියේ සමහර තැන්
ඔයා ලියල තියෙනවා ටිකක් තද වැඩියි. අර හොර නීති නිලධාරියා- ත්‍රී වීල් කාරයා එක්ක
සිංදු කියන්න බැහැයි කියපු ගායිකාව ගැන එහෙම ලියවෙච්ච තැන්... අපි ඒ වගේ තැන්
ටිකක් හරි ගස්සමුද නිමල්?”
එක විඩේම මට උත්තර දෙවුණේ ඔළු බාසාවෙන්. ඔළුව
හොල්ලල. වචන ගැලුවේ ඊට පස්සේ. “රන්ජිත් අයියට වෙලාව තියෙනවා නං... කොච්චර
එකක්ද?”
‘දවස් දෙකක් දෙන්න’යි රන්ජිත් අයියා මට
කිව්වේය. දෙදිනකට පස්සේ මම එහි ගියෙමි. රන්ජිත් අයියා (මා මුලින්ම කියා තිබෙන)
සුදුපාට දිග ලියුම් කවරයේ දැමූ ලිපිය මගේ අතට පත් කළේ එදාය.
“දෙයියනේ රන්ජිත් අයියේ, ඔයා මුළු ලිපියම ආයෙමත් ලියලා.”
“මගේ අත් අකුරෙන් ආයෙමත් ලිව්වට, බොහොම පොඩ්ඩයි වෙනස් කළේ. ඒවයි- ඔයා ලියල තියෙන
ඒවයි සංසන්දනය කරලා බලන්න. ඔයාටම යමක් තේරේවි!”
එතකොටත් කලා කටයුතු රැසක නිරතව; කාර්ය බහුලව උන්
ඒ කාරුණිකයා, මගේ පිටු හතර-පහක ලිපියේ වෙනස්කම් කළ යුතු තැන් එසේකොට, යළිත් සීරුවෙන්
පිටපත් කරලාය. මා වැනි ආධුනිකයෙකුට එච්චර සැලකිල්ලක්... (රන්ජිත් අයියේ, ඔබට
කෙතරම් තුති පිදුවත් නොසෑහෙයි!) එතෙක් මෙතෙක් ලේඛන කලාවේදී මට එවන් උපදෙස් ලැබී
තිබෙන්නේ හර්බට් රන්ජිත් පීරිස් මහතාගෙන් පමණකි.
‘පිවිතුරු’ කර්තෘ අංජන ඉන්ද්‍රජිත් හිතවතා ඒ
ලිපිය පත්තරයේ මැද පිටු දෙකක් පුරාවට පළ කළේ “මේ මර්වින් වගේ අයට අපිත් උපරිමයෙන්ම
සහයෝගේ දෙන්න ඕනි නේද, නිමල් අයියේ.” කියමිනි.
මාස කිහිපයක් තිස්සේ, මදිය නොකියන්නම වෙහෙසෙමින්
පරණ පත්තර ගොඩවල් ඇවිස්සුවත් ඒ ලිපිය හොයා ගන්නට බැරි විණි. අන්තිමේදී රන්ජිත්
අයියා පිටපත් කර දුන් ලිපියම පාවිච්චියට ගෙන post එක ලියන්නට පටන් ගත්තෙමි. මේ
කොටසට යටින් රතු පැහැයෙන් පළකොට තිබෙන්නේ ඒ ලිපියයි.
(එහෙත් මෙතෙක් ලියවී තිබෙන කරුණුත්, දයාබර පාඨක ඔබට අද දවසේ වැදගත් නොවෙතියි
සිතුණු කරුණුත් ඒ ලිපියෙන් ඉවත් කළෙමි. ඒ මෙම පෝස්ටුව දීර්ඝ වීම වළක්වා ගන්නටත්
එක්කය.)
හරියට කලඑළි මංගල්‍යයක් වගේ; අරංගේත්‍රම් එකක් වගේ... |
“ජීවිතේ මල් යහනාවකී මේ ලොවේ
සෝක වී හඬා ඉන්න කාලෙ මේ නොවේ....”
ඔහු ගයයි. ඒ මනමෝහනීය, උන්මාදනීය සදාකාලික තාරුණ්‍යයේ
හඬින් මේ ගයන්නේ අසහාය ගායක එච්.ආර්. ජෝතිපාල නොවේ. ගීත අම්බරයට අලුතින් පෑයූ සුවිශේෂ
ගායක මර්වින් මාලේවනයි.
ඔව්, ඔබ මේ වදන් අදහනු නොඇත. එහෙත්
සැබවින්ම කියන්නම්. ජෝති යළි ඉපිද ඇත.
වෙන විදිහකට කියනවා නම්, ජෝතිගේ හඬ සජීවීව ඇසීමට අපට
නැවතත් වාසනාව උදා වී ඇත. ඒ මර්වින්ගේ හඬ තුළිනි. ජෝති ගී රාවයේ පුනරුත්පත්තිය ඔබේ
දෙසවනින්ම අසා සැක හැරගත යුතු දෙයකි!
“මගේ ගායනයට හොඳම සහතිකයක් මට මුලින්ම ලැබුණේ හර්බට් රන්ජිත් පීරිස්
කලාකරුවාගෙන්.
-රන්ජිත් අයියා ඉස්සෙල්ලම මගේ ගායනා ඇහුවේ මේ අවුරුද්දේ ජුනි 21 වෙනිදා
තිබුණ මගේ ඒක පුද්ගල ෂෝ එකේදි. ඊට පස්සේ තමයි රන්ජිත් අයියා තනිකරම එයාගේ ඉදිරිපත්
වීමෙන් මේ ඔක්තෝබර් 10 වෙනිදා තිබුණ ෂෝ එක සංවිධානය කෙරුවේ.
ඒක තිබ්බෙත් මහරගම යොවුන් රඟහලේ.
-විශාල ප්‍රේක්ෂක පිරිසක් මැද පවත්වපු ඒ ෂෝ එක අතිශයින්ම සාර්ථක එකක්
වුණ බව මං නිහතමානීව පවසනවා. ඒක ෂෝ එකක් කිව්වට, සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වපු
ප්‍රසංගයක්.
-රන්ජිත් අයියා ඒක කෙරුවේ හුදෙක්ම මාව ප්‍රවීන අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකයින්ට, ගීත නිබන්ධකයින්ට හා සංගීත
අධ්‍යක්ෂවරුන්ට හඳුන්වා දෙන්නයි. හරියට කලඑළි මංගල්‍යයක් වගේ; අරංගේත්‍රම් එකක් වගේ.
-ඒ ප්‍රසංගයේදී ලතා වල්පොල ප්‍රවීන ගීත කෝකිලාව මාත් එක්ක ගී හයක් ගායනා
කෙරුවා. ඒ ඔක්කොම ඇය ජෝති අයියා එක්ක පෙරදා ගැයූ යුග ගී.”
හෙළයේ ගීත කෝකිලාවිය මේ තුරුණු ගායකයාගේ ගායන කෞශල්‍යය දැක අතිශයන්ම
පැහැදී ඇත.
“රන්ජිත් කළේ ලොකු සේවයක්. මේ තරම් දක්ෂ ළමයෙක්ව එළියට ගේන්න පාර හදපු
එක හරිම පිනක්. ඇත්තටම, මර්වින් අපූරුවට ජෝතිගෙ සිංදු
කිව්වා. ෂෝ එකේ මුල් සිංදු කීපය මර්වින් තනියෙන් කියනකොට, මං බැක්ස්ටේජ් ඉඳල අහගෙන හිටියා. මට අදහගන්න බැරි වුණා!
මේ ජෝතිමද කියල මට හිතුණා!” ඒ ලතා වල්පොල ප්‍රවීන ගායන ශිල්පිනිය මර්වින් පිළිබඳව කරන
විවරණයයි.
“නියම විදිහටම බැලුවොත් නම් මේක මගේ හතරවෙනි ඒක පුද්ගල ෂෝ එකයි. නමුත්
මුල් කාලයෙදීම මට අවාසනාවන්ත ලෙස එක ෂෝ එකක් අතරමඟදී අත්හැර දමන්න සිදු වුණා.” මර්වින්
කලකිරීමකින් යුතුව විග්‍රහයක යෙදෙයි.
සැණකෙළිය, එක් ටැම් ගේ වැනි චිත්‍රපට මඟිනුත්, හිරුට මුවාවෙන්, ලෝකාන්තය, දියසේන වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය මඟිනුත් ප්‍රේක්ෂක මනදොළ සපුරාලූ හර්බට් රන්ජිත් පීරිස්... |
ඔව්, කටයුතු නියමාකාරයෙන් සිදු විණි නම් මෙය ඔහුගේ සිව්වෙනි ඒක පුද්ගල ප්‍රසංගය වීමට ඉඩ තිබිණි. නමුත්, මර්වින්ට එය සිහිනයක් වූවා පමණි.
“කවුද මේක කළේ කියන එක කියන්න හොඳ නෑනෙ. අපි කියමුකො නීතිය රකින්න ඉන්න
නිලධාරි මහත්තයෙක් කියලා. එයා මට කිව්වා ‘මල්ලි, ඔයාගේ වොයිස් එක මරු. මං
ඔයාගේ වන් මෑන් ෂෝ එකක් ස්පොන්සර් කරන්නං. ඔයා සිං කරන එක විතරක් කළාම ඇති.’ කියලා.”
ජීවන වෘත්තිය ලෙසින් අනුන්ගෙ ත්‍රී රෝද රථයක් ධාවනය කරන මේ අහිංසක ගායකයා
ඒ නිලදරුවාගේ යෝජනාවෙන් අමන්දානන්දයට පත් වූවා නිසැකය.
“එයාම ටිකට්ස් ගැස්සෙව්වා. එයාම ඒවා විකුණා ගත්තා. ස්වනියර් එකකුත්
කරලා, ඒ සල්ලිත් එකතු කළා. මහරගම මධ්‍ය
මහ විද්‍යාලයේ රඟහලෙයි ෂෝ එක කරන්න ගියේ. හැබැයි ෂෝ එක දවසට කලින් දා අර සල්ලි ඔක්කොම
අරං එයා මාරු වුණා. එයාට හදිසි ට්‍රාන්ස්ෆර් එකක් හම්බ වුණාලු! ඒ හින්දා ෂෝ එක කල්
දානවා කියලයි කිව්වෙ. ඒත්, අද වෙනකං එයා ඒක කරන්න ආවේ
නෑ. මායි මහරගමටම බොරුකාරයා වුණේ...”
රැවටිලිකාරයෙකු ලෙසින් හංවඩු ගැසුණු මර්වින් මාලේවන සියලු අවමාන තනිව
විඳ ගත්තේය. ඒ වංචාකරුවා පිළිබඳව අදත් ඔහු තුළ ඇත්තේ ද්වේෂයක් නම් නොව අනුකම්පාවකි.
“මගේ නරක වෙලාව වෙන්නැති.” ඔහු වේදනාව යටපත් කර ගනිමින් පවසයි.
“ඔහොම ඉන්නකොට තමයි, මහරගම හේමන්ත ටෙක්ස්ටයිල්ස්
අධිපති අජිත් හේමන්ත මහත්තයා මගේ ප්‍රසංගයකට අනුග්‍රහය දක්වන්න ඉදිරිපත් වෙන්නෙ. වැටිලා
හිටිය මට ඒ වෙලාවේ ඒක විශාල රුකුලක්; විශාල ධෛර්යයක් උනා.”
කුරිරු අවාසනාව එවරත් මර්වින්ට නියෙව්වේය.
මහරගම පළාතක්ම සෝ සයුරේ ගිල්වමින් අභාවප්‍රාප්ත වූ; කලා කටයුතු රාශියකට හැම විටම අතහිත දුන් තරුණ ව්‍යාපාරිකයෙකුගේ
අවමංගල්‍යය එදිනටම යෙදී තිබුණි. ප්‍රසංගයට ජන සහභාගිත්වය ප්‍රමාණවත් නොවිණි. එහෙත්
අවාසනාවේ කළු වලා මැද වාසනාවේ අකුණු සැරයකුත් රැඳී තිබුණු බව මර්වින්වත් නොදකින්නට
ඇත.
මර්වින්ගේ ගායන කුසලතා නැවතත් වරක් එළිදැක්වීමට තවත් අනුග්‍රාහකයෙක්
එහිදී ඔහුට හමු විය. ඒ මහරගම ජනප්‍රිය වෙළෙඳ ව්‍යාපාරිකයෙකු සේම මර්වින්ගේ මිතුරෙකුද
වන සුසිල් ලියනගේ මහතාය.
“ඒ ෂෝ එකේදී රන්ජිත් අයියාත් ඇවිත් හිටියා, විශේෂ ආරාධිතයෙක් විදිහට. ඉන්ටවල් එකේදී රන්ජිත් අයියා
වේදිකාව පිටුපසට ඇවිත්, මට සුබ පතලා කිව්වා- රන්ජිත්
අයියගේ ඉදිරිපත් වීමෙන් තවත් ෂෝ එකක් මේ යොවුන්
රඟහලේදීම පවත්වනවයි කියලා. හැකි තරම් රසිකයන්ට රස විඳීමට පුළුවන් වෙන විදිහට- ඒ ෂෝ
එක නොමිලේම කරන බවත් ඔහු කිව්වා.”
සැණකෙළිය, එක් ටැම් ගේ වැනි චිත්‍රපට
මඟිනුත්, හිරුට මුවාවෙන්, ලෝකාන්තය, දියසේන වැනි ජනප්‍රිය ටෙලි
නාට්‍ය මඟිනුත් ප්‍රේක්ෂක මනදොළ සපුරාලූ හර්බට් රන්ජිත් පීරිස් ‘මේ සැඟවුණු ගායකයාගේ
කුසලතා හඳුනා ගැනීම’ තමන්ගේ වාසනාවක් ලෙස මර්වින් සලකයි.
අද මර්වින් මාලේවන... (වම්
කෙලවරේ) |
කිසිදා සංගීතය හදාරා නොමැති වුවත්, හෙළයේ අසහාය ගායකයා ලෙස කිරුළු
පළන් එච්.ආර්. ජෝතිපාල ගායකයාණන්ගේම හඬ දායාද කොටගෙන ඇති මේ තරුණ ගායකයා ගීත ලෝකයේ
ඉතා සාර්ථක දිගු ගමනක් යාමේ පෙර නිමිති එදා පහළ කළ බව එදින ප්‍රසංගය නැරඹූ ප්‍රේක්ෂක
කොයි කාගේත් මතය විය.
අපිදු මර්වින් මාලේවනට එම දිගු ගමන යෑමට සුබ පතන්නෙමු!
“දැනටමත් ආරාධනා ලැබෙන විදිහට මම ෂෝස්වලට යනවා. හැබැයි, ඒ වගෙ ඇරයුම් මට ලැබෙන්නේ බොහොම ටිකයි. ’සෙනිත්’ ගෘෘප්
එකේ අයිතිකරු ජගත් ප්‍රේමරත්න මහත්මා මට TV එකේ ‘මනෝහාරී’ වැඩ සටහනින් සිංදුවක් කියන්න ඉඩ ලබා දුන්නා.
ඔහුගේ සෙනිත් වාදක කණ්ඩායම තමයි මගේ ප්‍රසංග දෙකකටම මියුසික් කළේ. ජගත් මහතාත්, තව ගොඩාක් දෙනාත් මට හරියට උදව් කරනවා; මාව දිරිමත් කරනව. මං ඒ සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත
වෙනවා.”
මර්වින්ට උදව්කොට තිබෙන හිත-මිතුරන්ගේ නම් වැල ‘පිවිතුරු’ පිටුවකටත්
වඩා දිග වැඩි නිසා, වෙනත් නම්-ගම් කිසිවක් මෙහි
නොලියා සිටින්නෙමි...
“දහවෙනිදා ෂෝ එක දවසෙ දමිත් ෆොන්සේකා හා ඔහුගේ මෑණියනුත්, සුනිල්සෝම පීරිස්, ලියෝනි කොතලාවල, මහේන්ද්‍ර පෙරේරා සහ අනුර බණ්ඩාර රාජගුරු වගෙ කලාකරුවන්
රැසකුත් එදා මුළු ෂෝ එකම ඉවර වෙනකල් බැලුවා.
-අබේවර්ධන බාලසූරිය ගායකයාණන් එක්කත්, ‘ෂා’ ගෘෘප් එකයි මමයි රට පුරා හුඟාක් සංගීත සංදර්ශනවලට සහභාගි
වෙලා තියෙනවා. ඒ වගේම රටේ ප්‍රසිද්ධ වෙනත් බෑන්ඩ්ස්වලටත් මං ගොඩක් සිංදු කියල තියෙනවා.
මුල් පටන් ගැන්මේ ඉඳලම මගේ ප්‍රසංගයේ නිත්‍ය නිවේදකයන් විදිහට කටයුතු
කරමින්, හැම වෙලාවෙම මට අවවාද-උපදේශ දෙමින්
මාව දිරි ගන්වන මගේ හිත මිතුරන් වන ජනප්‍රිය නිවේදක යුගල... චන්ද්‍රකුමාර තල්පාවිල
හා අනුර සිරිවංශ දෙන්නාවත් මෙතැනදී ආදරයෙන් සිහිපත් කරන්නම ඕනෑ.
ඒ වගේම මෙවර ප්‍රසංගයෙදී ලතා වල්පොල මහත්මියට අමතරව ඉතා ක්ෂණික කැඳවීමකින්
පැමිණ- යුග ගී ගායනයෙන් මට සහාය වූ රෝහිණී කරවිට සොහොයුරියටත් මා ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම ප්‍රසංගය අගදී, බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි
අවසාන ගීත හතට සංගීතය සැපයූ හර්බට් රන්ජිත් පීරිස් මහතාගේ ‘පැදුරු’ සංගීත කණ්ඩායමටත්
මං ස්තුති කරනවා.”
ඒ අතින් බලනකොට ලතා අක්කට මල් තියලා වැන්දත් මදි! (ලතා අක්කාට දැන් අවුරුදු 89 කි). චිරං ජයතු ලතා අක්කේ! |
“අවසානයේදී නොකියාම බැරි එක දෙයක් තියෙනවා. ජෝති අයියා සමඟ යුග ගී රාශියක්ම
ගායනා කර ඇති එක්තරා ජනප්‍රිය ගායිකාවකටත් මේ ප්‍රසංගයට සහභාගිවී මා සමඟ යුග ගී කීපයක්
ගයන්නැයි ආරාධනා කෙරුණා. ඒ නවක මට අත දීමක් වශයෙනුයි. නමුත්, මා වෙනුවෙන් එතුමියට ඒ ආරාධනාව කළ මගේ මිතුරාට ඇය ගත් කටටම
පවසා තිබුණේ මෙවැන්නක්. “මම වගෙ ප්‍රවීන, ජනප්‍රිය, පිළිගත් ගායිකාවක් ත්‍රී වීලර්කාරයෙක් එක්ක සිංදු කියන්න? එහෙම සිංදු කියලා එයාව පුම්බන්න තරම් මට ඇති අමාරුවක් නෑ!”.
-අහන්නත් පුදුමයි නේද... ඒ අතින් බලනකොට ලතා අක්කට මල් තියලා වැන්දත්
මදි. එයා මේ ප්‍රසංගය ගැන පෙන්නපු උනන්දුව, උද්‍යෝගය ගැන මට හරි පුදුම
හිතුණා. ලතා අක්කාට දුන් මුදල් පවා ඇය ප්‍රතික්ෂේප කෙරුවා. අන්න නියම කලාකාරිනියෝ!
පැරණි අය වශයෙන් නවකයන්ට අත දීම අපේ යුතුකමක් කියලයි ඇය කිව්වේ.”
මර්වින් මෙහෙමත් කියනවා: “මාව කොහේ හරි සංදර්ශනයකට ගෙන්න ගන්න ඕනි නං
ලේසිම විදිහ තමයි රන්ජිත් අයියට කතා කරන එක. දන්නවනෙ, මට ටෙලිෆෝන් නැහැනෙ. රන්ජිත් අයිය මට පණිවුඩය දෙයි...”
රන්ජිත් අයියා එතෙකින් නොනැවතී, ඔහුගේ ‘හායි
හූයි බබි ආච්චී’ චිත්‍රපටයේ පසුබිම් ගායනයටත් මර්වින් මාලේවනව යොදා ගත්තේය.
ඉඳහිට ඔහු හමුවී, ඉතා පුළුල් වපසරියක විහිද ගිය කතාබහේ යෙදීමේ වාසනාවද එයින් පසු මට
ලැබිණි. ‘දවසක රන්ජිත් අයියගෙ ජීවිත කතාව ලියන්න ඇහැකි වුණොත්...’ නිදි හිතුවත් එක්කය!
එහෙත්, මර්වින්ගේත්- මගෙත් අවාසනාවට ඒ හිත හොඳ;
සරල මිනිසා 2001 ජුලි පළමුවෙනිදා මෙලොව හැර ගියේය. එයින් ලොකුම පාඩුව වුණේ ශ්‍රී
ලංකේය කලා ක්ෂේත්‍රයටයි෴0෴
වටිනා මතක තොරතුරු රැගත් ලිපියක්.
ReplyDeleteජයවේවා !!!
ගොඩාක් ස්තුතියි දුමී.
Deleteඔයාටත් ජයයි නේද?
මට පෝස්ට් කියවන්ට පහු වෙනවද. ලොක්ක හිටු කියල ලියනවද 🤭🤭
ReplyDeleteඔය කියන්නෙ ඔහේ දැන් බිසී කියලද? 😋
Deleteබස්සා මහත්තයෝ, නමීට දැන් හරියට රාජකාරී!
Deleteනමී, සාමාන්‍ය වේගයෙන්ම තමයි මගේ posts ලියවෙන්නේ හා පළ කෙරෙන්නේ. තමුන්නාන්සේ තමයි දැන් ඉර බහිනවා නොදකින්නේ.
Deleteඑහෙන් මෙහෙන් තමයි කියෙව්වෙ. ආයෙ පස්සෙ එන්නම්.
ReplyDeleteඔව් බකුසුතුමෝ, ආයේ එන්න. මොකද මේ post එක ටිකක් දිග වැඩිත් එක්ක.
Deleteඑක හුස්මට කියෙව්වා, වෙන බරපතළ වැඩකුත් කරන අතරෙ. මනස පොඩ්ඩක් නැවුම් වුණා මේක කියවලා. ඒකට ගොඩක් ස්තූතියි. මර්වින් මාලේවනගෙ ගීත යූටියුබ් එකේ තියෙනව ද කියල හොයන්න යනව, මේ දැන්.
ReplyDeleteදෙකක් හම්බුණා, හායි හූයි බබි ආච්චි ෆිල්ම් එකේ...
Deletehttps://www.youtube.com/watch?v=SEBxOGbmHaQ&pp=ygUPbWVydnluIG1hbGV3YW5h
https://www.youtube.com/watch?v=ENYtaojzgXU&pp=ygUPbWVydnluIG1hbGV3YW5h
අඩ්ඩේහ්... තනිකර ජෝතිපාල ම යි කටහඬ
Deleteගොඩක් ස්තුතියි ඩ්‍රැකී!
DeleteLinks දෙකටත්... මට දැනුනු විදිහට පළමු ගීතයේ පෙන්වන ගෙදර රන්ජිත් අයිය හිටි නිවසමයි.
කමෙන්ට් කරන්න බැරි අවුලක් තියනව බං..
ReplyDeleteRavi
Deleteඔය comment වැටිලා තියෙන්නෙ, රවී.
Deleteමේ ගායකයා කොයි කලේද සින්දු කිව්වේ, ඒහැටි මතකයක් නෑ .....පෙනුමත් ජෝතිපාල වගේමයි....
ReplyDeleteලලිත්, මර්වින් සිංදු කිව්වේ 1996- 2001 විතර කාලයේ.
Deleteඅපේ අකුරැනං හකුරැ වගේ කියලයි කස්ටිය කිව්වෙ හිටං 🙈
ReplyDeleteඅත්තන ඇට කැවිලයි, නමී?
Delete+++++++++++++++++++- ගමයා කොළඹ මම වෙමිය
ReplyDelete...
Deleteදිගු වැට ගසා ලීවෙමි ඒ කවි පදය
සේහ් මේ බ්ලොග් වල තාමත් ලයික් හාට් දාන්න බෑනේ අප්පා
ReplyDeleteගූග්ල්ටම තමයි ඉවාන්, කියන්න වෙන්නේ.
Deleteඔයා අන්තිම කතාව ලියලා ටික දවසක්...
නිදී රජ්‍ය පාලනය භාරගත් අයකුට තමන්ගේ භාරයේ ඇති රාජ්‍යයේ ආධිපත්‍යය සහ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා හමුදා පවත්වා ගැනීමටත්, අවශ්‍ය වූ විට යුධමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවේ. ඒ කාරණයට රජුගේ හෝ රටවැසියාගේ හෝ ආගම නැතිනම් ඇදහිල්ල අදාළ නොවේ. ඒ ක්‍රමයට කැමති නැති අය රජකම බාරගැනීමද ප්‍රතික්ෂේප කරති. තේමිය කුමාරයාගේ කතාවේ ඇත්තේ ද එවැනි දෙයකි.
ReplyDeleteබුදු දහමේ ඇත්තේ තෙරුවන් සරණ ගිය වේලේ සිට පරම පවිත්‍රව ශික්ෂාව පැවැත්වුවේ නැති නම් තිසරණය බිඳෙනවා හෝ අපායේ යනවා හෝ ආදී වශයෙන් වන ඉගැන්වීමක් නොවේ. වැරදි වැරදී හදාගෙන යන ගමනකි. විශේෂයෙන් ම අඹුදරුවන් රක්ෂා කිරීම් ආදිය කරනා ගිහියනට පංචශීලයේ අඡිද්‍රව පැවතීම යෙදීම නොකළ හැක්කක් බව ධර්මයේ කියැවේ. මහා ශීලයක් අනුගමනය කළ යුතු පැවිද්ද පනවා ඇත්තේ එබැවිනි. එම පැවිදි ප්‍රතිපදාව තුළ පර්යාප්තිය, ප්‍රතිපදාව මෙන්ම අධිගහ ශාසනය ද රැකේ. ගිහියන් එයට සිව්පසයෙන් අනුග්‍රහ කරනු ලබයි.
ශාසනය රකිනවා යනු ඉහත දැක්වූ ත්‍රිවිධාකාර ශාසනය රැකීමයි. එට කළ යුතු එකම ක්‍රමය වශයෙන් ධර්මයේ දක්වා ඇත්තේ ගිහි පැවිදි දෙපිරිස ධම්මානුධම්ම ප්‍රතපදාවේ හික්මීමයි. කස්සප සංයුක්තය ඇතුළු තැන් වල ඒ බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.
එබැවින් ධර්මයේ නොයෙදී සසුන රැකීමක් නැත. සිල් කඩා සසුන රැකීමක් කියනවා නම් එය දූෂණය කොට කන්‍යාභාවය රැකිනවා කීමක් වැනිය.
රට, ගෝත්‍ර රැක ගැනීමට යුද්ධ කිරීමක් සම්මුතියේ ඇත ද එය කළ යුත්තක් බව ධර්මයේ දක්වා නැත.
ඔබේ අදහස්වලට මමත් එකඟයි.
Deleteමට හිතෙන්නේ, බුදු දහම ඉතා මනරම් අරුත්බර දර්ශනයක් ලෙසයි. අවාසනාවන්ත ලෙස ඒ දර්ශනය ගොඩක් විකෘති කරලා- එකිනෙකාගෙ වාසියට උපකරණයක් කරගෙන.
ගිහි විනය වෙනයි, සඟ විනය වෙනයි නේද?
බුදු දහම දහමක් වුණත් අපි හරියට ඒක පිළිපදිනවද- දැනුම් තේරුම් ඇතිව කියලා අපෙන්ම නේද අහගන්න වෙන්නේ.....