අකුරු මැකී නෑ

Friday, July 26, 2024

හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - සිව්වෙනි කොටස

මේ මේ, හම්බන්තොට මිනිස්සුත් කෑම අහක දානවට කැමති නෑ. නොකා ඉතිරි කරනකොට එයාලා හිතන්නේ කෑම රස නැති හින්දා කියලයි...”

“අනේ නෑ, කෑම නං රසයි ඩොක්ටර්! මම කියන්නමයි හිටියෙ...”
“කොඩී, මෙන්න මේ නමියා කියනවා කෑම නං රසයි කියලා.”
”එහෙනං තව ටිකක් බෙදන්නං... මොනවද ඕනේ?”

ඇහුවේ කොඩී මිසීය. නමී දත්කූරු කමින් රවන්නේ අහිංසක මටය!

එවැනි ‘කොම්ෆෝට් කලාපයක්’ තිබේ නං...
ඔහොම ‘ෆුල් සීරියල් fights’ අස්සේම කොඩී මිසීගේ මස්සිනා; ප්‍රියන්ත ගුණසේකර ගජරාමෙට කෑම පාර්සල් හදලාය.

“දවල්ට කන්න හදපුවා කීයට කන්නෙයි, දැන් ඉතිං... සර්ලා දැන් නෙව බත් කාලා අත ගත්තේ. ඒ නිමල් අයියේ, මම ඉතිං කෑම පාර්සල් දහයක්ම එතුවා- එහෙට ගියාම කන්න ඇහැකිනෙ ඔහෙලට...”
“ඔහෙලට නෙවෙයි, අපිට. ඔයත් යනවනේ අපිත් එක්ක...”
“හරි, හරි. ගණන් ගන්න එපා- වචනයක් චුට්ටක් වැරදුණා!”

චුට්ටක් නොවේ- ගොඩක්ම ලොකු වැරැද්දක්; ලොකු අවුලක් වුණේය. ඒ අරුගම්බෙදීය. කොඩී මිසීලගේ ගෙදරිනුත්, ප්‍රියන්තලාගේ ගෙදරිනුත් සූදානං කර දුන් කෑම ජාති කන්දරාවත්- අයස්මන්ත මහතාගේ වාහනයේ තිබුණු අපේ බඩු- ඇඳුම් මලු කන්දරාවත් නසාර් රැගෙන ආ වෑන් එකට පටවාගෙන දෙබරවැවෙන් පිටත් වුණු අප, ඉසුඹු ලෑවේ අරුගම්බේදීය. ඒ මැදියම් රාත්තිරියට පැය දෙකහමාරක් විතර වෙද්දීය.

Comfort Zone!
කලින් ගිහිං හුරු-පුරුදු තැනකදී අපට වැඩි පහසුවක් දැනෙයි. එවැනි ‘කොම්ෆෝට් කලාපයක්’ තිබේ නං එවැනි  තැනකට යන්නටය අපි කැමති. ආගන්තුක තැනකට ගියාම, ටික වෙලාවක් යනතුරු හෝ අපට පුංචි අපහසුවක් වැනි හැඟීමක් දැනෙනවා නේද? මට නම් එහෙමය. අනෙක් අයටත් එහෙම දැනිලා වගෙය!
“ගිය අවුරුදු දෙකේදීම අපි තේ බීපු කඩේ තවම ඇරල තියෙනවද දන්නෑ...”
“යකෝ, මේ රෑ?”
“නසාර්, කොයිකටත් අපි ටිකක් බලාගෙන යමු... මතකයි නේද තැන...”
“අර තියෙන්නෙ සර්!”

මට නං ඕනි කළේ වාහනයෙන් එළියට බැහැලා, කකුල් දෙක ටිකක් නිදහසේ දිග ඇර ගන්නයි. එතකොටත් කකුල් දෙකම තඩිස්සි වෙලා- හිරි වැටිලා තිබුණේ පැය හතරකටත් වඩා එකම විදිහට වාඩි වෙලා ආව හිංදා.

“මොනවද කන්නේ? එළවලු රොටි... මසල වඩේ... උළුඳු වඩේ...” / “නසාර්, කොයිකටත් මුදලාලිගෙන් අහන්න මේවා එළවලුද කියලා.” නසාර් අවනත වුණේය; ඇසුවේය- සිංහලෙන් නොවේ. අරාබි බසිනි. ඒ මුස්ලිම් තේ කඩයකි. ඒකෙ මුදලාලි නසාර්ට උත්තර දෙන්නට කලින් කොත්තු දමමින් උන් සේවකයාගෙනුත් ඒ ගැන අසා බැලුවේය.
“එළවලු රොටි සර්!” ඊළඟට අපට කීවේය.

“මෙන්න මචං මේ එළවලු රොටියේ බිත්තරත් තියෙනවා...” / “මඟුලයි! මේකෙත් පුංචි කෑල්ලක්.” / “මගේ එකේ නං නෑ!” / “උඹේ එකට බිත්තර කෑලි අහුවෙලා නැතිවට මොකෝ මචං, මැද්දට දාලා තියෙන්නෙ එකම කරියනේ... ඒවටත් බිත්තර mix වෙලා ඇත්තේ...”
ඒ මොහොතේ දිගින්-දිගට විග්‍රහ නොකෙරුණත්, අපේ ඇත්තන්ගේ පේ වීම එතැනදී දෙවෙනි වරටත් අවුල් වුණේය!

එකම තැනකින් ඇරඹී- එකම ගමනාන්තයක් කරා යන ඉලක්කයක් සහිතව- එකම මාවතක...

ඒ විස්තරය කිව්වේ ‘මුසල්මාන වෙළෙන්දන්ගේ සොබාවය’ ගැන මා අසා තිබුණු ‘ප්‍රවාද’යක් එදා ඉතා හොඳින් මට සනාථ වුණු බැවිනි.

අපට සිද්ද වුණු ඒ අලකලංචියෙන් වැඩියත්ම හිත රිදුණේ නසාර්ගේය. නසාර් වහාම මුදලාලිට නඩුව කිව්වේය. මුදලාලි නොපමාවම ඒ එළවලු රොටි තසිම ළඟට ගෙන්නා ගත්තේය. එකක් අතට ගෙන දෙකට කැඩුවේය; දෙවැන්නකුත්; තෙවැන්නකුත්... අපෙන් සමාව ඉල්ලුවේය- ඊළඟට අර සේවකයාගේ හිස මත්තට බැණුම් වරුසාවක් වැස්සෙව්වේය.

පානමට යන තුරුමත් අපේ නඩයේ උදවිය analyze කරමින් ගියේ ඒ සිදුවීමයි.

“අපේ මිනිහෙක් නං, කියපු මිනිහගෙ ඇඟට ගොඩ වෙනව මිස තමන්ගෙ පැත්තේ වැරැද්ද පිළිගන්නෙ නැහැනෙ කීයටවත්...”
“එළවලු රොටි තුනක්ම කඩල බලන්නෙත් නැහැනෙ!”
“මං හිතන්නේ, ඒ මිනිහා එළවලු රොටිවලට සල්ලි ගත්තෙත් නෑ වගෙයි.”
“ඒකනෙ මචං ඒ මිනිස්සුන්ගේ කඩ එන්න-එන්නම දියුණු වෙන්නේ!”

“කඩ කෙරුවාව ගැන නෙවෙයි මචං, දැන් පොඩ්ඩක් සෝදිසියෙන් බලාගෙන යමල්ලා... පානම ඉඳල ඔකඳ දේවාලේ ගාවටත් කිලෝ මීටර් විස්සක් තියෙනවා... දවල්ටත් අලි ඉන්න එකේ...”
“අලි නෙවෙයි මොක්කු හිටියත් දිසානායක නං නිඳි ඇති මෙලහටත්...”
“උගේ නමේ හැටියටනෙ නෙවිලෝ නිදි වැඩ කරන්නේ...”
“ඇයි දැන් මොකක්ද වෙන්න ඕනේ? ඇස් දෙක පියාගෙන හිටියට මං නිඳාගෙන නෙවෙයි යක්ෂයිනෙ ඉන්නේ.”

“එහෙනං ෂුවර් එකටම මූ කල්පනා කරනවා ඇත්තේ මචං, මුගේ චීත්තවාහිනියට මෙදා සැරේ ගමන ගැන ලියන හැටි වෙන්නැති...”
“බම්බුව... තුන් පාරක්ම ලියලා තියෙන එකේ තව සැරයක් මොනව ලියන්නද?” මං කිව්වේ ඇත්තය.

ඒ මං වහන්සේ හිතාගෙන උන් හැටිය. ‘එකම කෙනෙකුට එකම ගංගාවකට දෙපාරක් බහින්නට බැරිය’ කියන කියුමේ අරුත සපුරා දැනගෙන හිටියත්- මට ඒ වෙලාවේ ඒ ගැන එතරම් ගනිච්චියක් වුණේ නැත.

හයවෙනි සැරේටත් පාද යාත්‍රාවේ ගිහිං ආවාට පස්සෙය, මං වහන්සේට සීයට දාහක්ම තේරුණේ...
එකම තැනකින් ඇරඹී- එකම ගමනාන්තයක් කරා යන ඉලක්කයක් සහිතව- එකම මාවතක- එකම පිරිසක් එක්ක- එකටම ගමන් ගත්තත් සිද්ද වෙන්නේ වෙනස්-වෙනස් දේවල්ය. ඒවායේ, හිතාදර පාඨක ඔබට posts කිහිපයකින් ලියන්නට තරම් වටිනා දේවල් රැසක්ම තිබෙයි!

ඒ හැඟීමෙන් යුතුව එහෙම ලියන්නට පටන් ගත්තාමය වැඩේ!

‘නිමල්, අර ගැනත් ලියනවා නේද?’, ‘මේ ගැනත් ලියනවා නේද?’ කියා විමසීම් ගණනාවක්ම කෙරුණේය. ඒ මේ වතාවේ පාද යාත්‍රාවේ යෙදුණු ගොඩ දෙනෙකුගෙනි. ඔවුන්ගෙන් වැඩි දෙනා secrets of nature චැනලයේ අප ගැන ප්‍රචාරය වුණු වැඩ සටහන් දෙක නැරඹූවන්ය.

ක්‍රි.පූ. 2000 තරම් ඈතට දිවෙන මේ උප්පැන්න ලේඛනය සමඟ මැටි පුවරුව මත සලකුණු කළ දරුවාගේ පා සලකුණක්ද දැක්වෙනවා!

(සීක්‍රට්ස් ඔෆ් නේචර් චැනලය වෙනුවෙන් අනුරාධ සහෘදයා කටගමුවෙදී අයස්මන්ත පීරිස් මහතාවත්, මර්වින් බොතේජු හිතවතාව හා මේ ලියන නිමල් දිසානායකයාවත් ඉන්ටර්විව් කළේය. ඒවා ඇසුරෙන් රූපවාහිනී වැඩ සටහන් දෙකක්ම නිමවා විකාශය කෙරෙව්වේය.

“මුන් දෙන්නට හොඳ වැඩේ! අනුරාධ මර්වියාටයි, නිමල් අයියාටයි -මේ තාත්තලා දෙන්නා- කියලනෙ මචං කතා කළේ...”
“ඔව්වොව්! ඒක ඇහුණා විතරයි, අපි හෙමිහිට එතැනින් ඈතට මාරු වුණා!”

“මාරු වුණා නෙවෙයි. තමුසෙලා ලජ්ජාවටම ඈතට ගියා කියනවා... අනුරාධ ඉන්ටවිව් කළේ vip කට්ටියව විතරයි. කවුද මචං හපාචි කබ්බොන්ව ඉන්ටවිව් කරන්නේ?”)  

ඉතිං, ‘අර ගැනත් ලියනවා නේද?’ වගේ ප්‍රශ්න යොමු වුණාම විස්තර සේරෝම වාර්තා කරලා තියන්නට හිතෙයි. පුදුමයක් නැත. ඒ මනුස්ස ස්වභාවයයි. ඒ ස්වභාවය අදින් අවුරුදු 4.000කට එහා පැත්තේ කාලයේ ජීවත් වුණු ඇත්තන්ටත් තිබිලාය... ලෝකයේ පැරණිම උප්පැන්න සහතිකයේ කතන්දරය මේ තොරතුරු වාර්තාකොට තැබීමේ අගය අද දවසේත් අපට පෙන්වා දෙයි!

‘ලොව පැරණිතම උප්පැන්න සහතිකය

ලොව පැරණිතම උප්පැන්න සහතිකය ලෙසින් හමුවන්නේ, අලුත උපන් බිළිඳුන්ගේ ගැහැණු පිරිමි බව සහ දෙමාපියන්ගේ නම් පිළිබඳ විස්තර සපයන වසර 4000 කට පෙර සටහන් වන සුමේරියානු උප්පැන්න සහතිකයි.

මෙහිදී මැටි පුවරු මත අලුත උපන් බිළිඳාගේ ගැහැණු පිරිමි බව සහ දෙමාපියන්ගේ නම් පිළිබඳ සියලු විස්තර කියුනිෆෝම් අක්ෂරවලින් ලියා තිබෙනවා. ලොව පැරණිතම ලේඛන පද්ධතියක් වන කියුනිෆෝම් භාවිතය සුමේරියානු වාර්තා තැබීමේ දියුණුව පිළිබිඹු කරන වැදගත් සාධකයක්.

ක්‍රි.පූ. 2000 තරම් ඈතට දිවෙන මේ උප්පැන්න ලේඛනය සමඟ මැටි පුවරුව මත සලකුණු කළ දරුවාගේ පා සලකුණක් ද දැක්වෙනවා...’

පා සලකුණු!!!
සුන්දර පරිසර ස්ථානවලට යන සංචාරකයන්ට නිබඳවම කෙරෙන ආයාචනයක් වෙයි. ඊට අනුවත් අප ඒ තැන්වල ඉතුරුකොට යා යුත්තේ අපේ පා සටහන් පමණකි!
‘මෙහි සුන්දරත්වය රිසිසේ නරඹන්න; රස විඳින්න. එහෙත් ඔබ ආපසු යද්දී- කරුණාකර ඔබේ පා සටහන් පමණක් මෙතැන ඉතිරිකොට යන්න.’ ඒ ආයාචනයයි.

2024 අවුරුද්දේ පාද යාත්‍රාවේ යෙදුණු 31,931ක පිරිසෙන් කී දෙනෙකු ඒ ආයාචනය මතක තියාගෙන උන්නාද?

සිරිතේ විදිහටම, යාපනයේ තොණ්ඩමානාරු සෙල්වචන්නිධි කෝවිලෙන් 2024 මැයි මාසයේ 12 වෙනිදා දමිළ බැතිමතුන් 236 දෙනෙකු වගේ සුළු පිරිසකගෙ සහභාගිත්වයෙන් තමයි මෙවර පාද යාත්‍රාව ඇරඹුණේ. එතැන ඉඳලා තව තව පිරිස පා ගමනට එකතු වුණා; සිය ගණනින්... දහස් ගණනාවක් දක්වා.
පුංචි දිය දහරාවකින් පටන් ගෙන විසල් ගංගාවක් වෙනව වගේ...

එයාලට වුණත් පුළුවන්කම තියෙන්නේ පාරවල් අයිනෙ තියෙන පොලිතින්- ප්ලාස්ටික් බෝතල් හෙම එකතු කරන්නනේ. එව්වත් ටොන් ගණනක්!

“කොච්චර කිව්වත් වැඩක් නෑ මහත්තයෝ. හුඟක් අයට පරිසරය ගැන කිසිම තැකීමක් නෑ- පරිස්සමක් නෑ. ඉස්සර මේ ගමන ආපු දෙමළ උදවිය කැලේ තැනක නැවතුණාම, එතැනින් යන්නේ එතන සුද්ද පවිත්‍ර කරලා කපුරුත් පත්තු කරලා, පිං දීල. අද ඒ විදිහට කරන්නේ එහෙමත් කෙනෙක් විතරයි...” ඇත්තය, ඒ කතාව සහතික ඇත්තය. මේ ගමන් හයේදීම, ඒ චාරිත්තරේ කරන හැටි මා දුටුවේ එකම-එක වතාවකි!

“හිස් බීම බෝතල් තමයි ලොකුම හූනියම.
හැම නඩේකම අය ප්ලාස්ටික් බාල්දියක් ගෙනාවා ඉස්සර... ඒකට වතුර එකක් අරගෙනයි එයාලා කැලේට රිංගුවේ. දැන් වැඩි දෙනා ඒ වැඩේට යන්නේ මෙගා බෝතලේකට වතුර පුරවගෙන. ගොඩක් අය ඒ මෙගා බෝතලේ එතැනම දාලා එනවා. තද හුළඟක් ආව ගමන්ම ඒවා කැලේ ඈතට ගහගෙන යනවා... කවුද ඒවා එකතු කරන්න යන්නේ?- කොහොමද ඒවා අහුලන්න යන්නේ?” වන ජීවියේ හිතවතෙකු අසන ප්‍රශ්නය උත්තර නැති එකකි.

පාද යාත්‍රාව හමාර වෙනවාත් සමඟම පරිසර සංරක්ෂණය ගැන උනන්දු ස්වේච්ඡාසේවී කණ්ඩායම් එවන් කසල එකතු කිරීම සඳහා පැමිණෙන බවත් ඔහුගෙන් කියැවිණි.
“එයාලට වුණත් පුළුවන්කම තියෙන්නේ පාරවල් අයිනෙ තියෙන පොලිතින්- ප්ලාස්ටික් බෝතල් හෙම එකතු කරන්නනේ. එව්වත් ටොන් ගණනක්...”

“මෙහෙම ගියොත් කොහෙන් කෙළවර වෙයිද කියල හිතා ගන්නවත් බෑ මහත්තයෝ... පාද යාත්‍රාවේ එන කට්ටියටත් tickets දෙන්නයි- සීමා කරන්නයි වේවි!”

නියාමනයක්... ඒ අදහසට වඩාත්ම ගැළපෙන වචනය නම් ඒකය.  එහි අරුත නම් පාද යාත්‍රාවේ යෙදෙන්නන් උදෙසා යම්කිසි පාලනයක් සිදු කිරීමයි. නීති-රීති සමුදායක් පැනවීමයි. එහෙම වුණෝතින්...
මේ වතාවේ හැබෑ පාද යාත්‍රා ලැදියවුන් බොහොමයක් දෙනා මේ නියාමන අදහසට මනාපය දක්වනු පෙනිණි. එහෙම නීති පැනවීමක් කෙරුණත් එය අහිතකර ලෙසින් බලපානු ඇත්තේ අහිංසක බැතිමතුන් කෙරෙහිය; අපේ රටේ හැටි එහෙමය... නීතියෙන් බැට කන්නේ පුංචි සිංඤෝලාය! ලොකු අප්පොලා නීතියට උඩින් පනින්නට- නීතිය නවන්නට සමත් වනු නිසැකය!!

වන ජීවී කලාපයක් ඇතුළේ අනවසරයෙන් ස්ථිර ගොඩනැඟිලි හෝ ඉදිකිරීම් කටයුතු හෝ කිරීම සපුරා තහනම්ය. එසේ ප්‍රමාණවත් නීති තිබියදීත් මෙවන් කටයුතු සිදුවී තිබෙන්නේ කාගේ අනුහසකින්ද?
‘... කුමන ජාතික උද්‍යානයට ඇතුළුවූ තැන සිට වන්දනාකරුවන්ට ජලය ලබාගැනීමට ස්වභාවික ජල මුලාශ්‍ර රැසක් තිබේ. එසේම බවුසර් මගින් නොමිලේ ජලය ලබාදීමේ කටයුත්තකද (බෝතල් ජලය විකිණීමට අමතරව) යුද හමුදාව වසර ගණනාවක සිට නිරතවී සිටී.

තමුන්නැහේ නෙව ඔබතුමාගේ ආදරණීය සහෝදරයාගෙ love එකට full support කරන්න ගිහිං ඔළුව නැති කරගෙන, අලි ඔළුවකුත් අයිති කර ගත්තේ.

එසේ තිබියදී වන්දනාකරුවන් සඳහා ප්‍රති අසෘත ජල පිරිපහදු පද්ධතියක් උද්‍යානයේ ළිං තුන ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට බව පවසමින් නාවික හමුදාව වන්දනා සමයේ ජාතික උද්‍යානයට ප්‍රවේශ විය.

එතැන් සිට නාවික හමුදාවේ ප්‍රධානියෙක්ද පාද යාත්‍රාවේ ගමන් කිරීමට පැමිණීම නිසා ඔහුට ආරක්ෂාව සහ සේවා සැපයීමට බව පවසමින් විශාල භට කණ්ඩායමක් යාල ජාතික උද්‍යානයට ඇතුළුවී එහි පැවැත්මට හානිකර ආකාරයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ලවේ. රැයක් දවාලක් නොමැතිව උද්‍යානය තුළ රථවාහන ගමන් කරවීම, විවිධ ස්ථානවල වැසිකිළි කැසිකිලි පද්ධති ඇතුළු පහසුකම් සකස් කිරීම සඳහා වනය විනාශ කිරීම, වෙන්කරදී ඇති වන්දනා මාර්ගයෙන් පරිබාහිරව උද්‍යානයේ වෙනත් ප්‍රදේශ හරහා ගමන් කිරීම වැනි අහිතකර කටයුතු ඒ අතර වේ...’

ඇයි කතරගම දෙයි හාමුදුරුවනේ, සැරයක් මේ ලියන ගැත්තලාට කළා වාගේ ‘වල් දඹල බූව’ වගේ දඬුවමක්වත් මෙහෙව් අපත උන්නැහේලාට දෙන්න බැරිද... මගේ හිත මුර ගසයි.
ඒ මුර ගෑම පිටස්තරයන්ට ඇසුණොත්... අපේ දේවාල මාමා මෙහෙම කියනවා සත්තකය!
“නෑ නිමලෝ. කතරගම දෙයි හාමුදුරුවන් වහන්සේ කාටවත්ම දඬුවම් දෙන්නෑ. උන්නාන්සේ ඒ රාජකාරිය කඩවර අප්පච්චිට පවරලයි තියෙන්නෙ...”

එහෙනං ඒකයි මේ! දෙයියොත් තමන්ගේ වැඩ රාජකාරි විමධ්‍යගත කරලා!
නුවණට අධිපති ගණපති දෙයියනේ, තමුන්නැහෙගේ කටයුතුත් තව කාටවත් පවරලාද? එහෙම කරලා නැත්තං මේ පරිසර ප්‍රශ්නයට විසඳුමක් දෙන්නකො.
තමුන්නැහේ නෙව ඔබතුමාගේ ආදරණීය සහෝදරයාගෙ love එකට ෆුල් support කරන්න ගිහිං
ඔළුව නැති කරගෙන, අලි ඔළුවකුත් අයිති කර ගත්තේ.

ඉතිං... එදා කට්ට කළුවර කැටිති මැදින් තමයි- පානම ඉඳලා ඔකඳට යන වැලි පාර දිගේ නසාර් එයාගේ ඔළුව බේරාගෙන අපේ වාහනේ ගෙනිච්චේ- බොහොමත්ම සීරුවෙන්. ඉතාම කලාතුරකින් තමයි ඒ රාත්තිරියේ අපේ ඉස්සරහට වාහනයක් ආවේ.
“මේ වතාවේ නං යන පාරේ අදම වතුර ටැංකි තියලා වෙන්නෝනි. එව්වට වතුර පුරවලා හිස් බවුසර් ටිකක් අර ආපහු ගියේ!”
”හ්ම්! හැබැයි මෙහාට නං වැහැලා නැති පාටයි... මාර දූවිල්ලක්නේ ඇවිස්සුණේ...”

“ඒක නෙවෙයි, එතකොට නසාර් අපිව බස්සලා අද රෑම ආයෙමත් හම්බන්තොට යනවද?”
“අනේ ඔව් නිමල් මහත්තයා. මම අපේ අයස්මන්ත සර්ට කිව්වා විස්තරේ. Van එක බුක් කරලා තිබ්බ දවස් වෙනස් වුණානෙ. මොකද කරන්නේ... හෙට උදේ තව බුකින් එකක්ලු.”
“වෙන කරන්න දෙයක් නැති නිසයි, අපි නසාර්ට යන්න දෙන්නේ... තනියමත්නෙ.” අප ඔකඳ දේවාලය ළඟට සේන්දු වෙද්දී රාත්‍රී එකොළහ වුණා විතරකි!

හෙට ඉඳලා තුන්-හතර දවසක් අපිට නිඳා ගන්න වෙන්නේ මෙහෙමවත් තැනක...

“Wild Life එකේ යාළුවා නං කිව්වෙ අපි කීයට මෙහාට ආවත් කමක් නෑ, එයාට call එකක් දෙන්න කියල. ඒත්... දැනුත් එකොළහ පැනලා... කොයිකටත්... ආ rings යනවා.”

වන ජීවියේ හිතවතා නිසා අපට ඔවුනගේ ගොඩනැඟිල්ලක ඉඩක් ලැබිණි. “දොස්තර මහත්තයට මෙතැන ඉන්න පුළුවන්ද මංදා...” හිතවතා වික්ෂෝප වුණේ අපට හිස් වැරැන්ඩාවක් පෙන්වමිනි.

“...හවස් වෙනකොටත් ලොකු ලොකු මහත්තුරුන් ගොඩක් ඇවිත් හිටිය නිසයි සර්...”
“මේ හොඳටම ඇති. හෙට ඉඳලා තුන්-හතර දවසක් අපිට නිඳා ගන්න වෙන්නේ මෙහෙමවත් තැනක නෙවෙයිනෙ. මේ හොඳටම ඇති!”

“මම සර්ලට තේ ටිකක් හදන්නං. ඊට කලින් සර්ලට පෙන්නලා ඉන්නං ටොයිලට් තියෙන තැනයි, ඇඟපත හෝදගන්න තැනකුයි.” මනුස්සයා ටක්කෙටම අපේ ඕනෑකම් තේරුම් අරගෙනය!
“අර තියෙන විලෙන් තමයි සර් අපිත් රෑට ඇඟපත හෝද ගන්නේ. ඒත් සර්, වතුරට බහින්න එපා! ඕකේ කිඹුලෝ ඉන්නවා... අර ලෑලි තට්ටුව උඩ ඉඳලා... වතුර ඇදගෙන...”

“මේ... කවුරුත් ඉක්මන් කරලා වෑන් එකෙන් bags ටික බාගෙන නසාර්ව පිටත් කරලා ඉමු! ඊට පස්සේ යං ඇඟ හෝදන්න.”

අපි කට්ටිය ඇඟ හෝදාගෙන ආවා විතරය. “ඒ අපේ සර්, අපි කොයි වෙලාවටද ගෙදරින් බැඳගෙන ආව මේ බත් පාර්සල් ටික කන්නේ?” ප්‍රියන්ත ඇහුවේය.
මට නං බඩගිනි නෑ. / මටත් එහෙමයි! / අපි දවල්ට කෑවෙත් හතරහමාරටනේ. එකිනෙකාගේ උත්තර එකකට එකක් වෙනස් වුණත් කියැවුණු ‘අරුත’ එකකි!

“එහෙම නෙවෙයි! ප්‍රියන්ත උදේ හිට මහන්සි වෙලා උයපු දේවල් නිකම්ම අහක දාන්නයැ. දෙන්න ප්‍රියන්ත එක බත් පාර්සලයක් මට. හැබැයි මහත්තයෝ, මම ඒකෙන් කන්නේ වෑංජන ටික විතරයි... හොඳේ.” නයා මරන්නෙත් නැති- පොල්ල කඩා ගන්නෙත් නැති ඒ විසඳුම අනෙක් අයත් පිළිගත්හ.
“නෙවිල් අයියේ, ඔයයි තමිරයි දෙන්නා බත් කටකුත් කන්න පුළුවන් නං. මොකද යුෂ්මතුන් දෙන්නටයි මටයි පැය 80ක් යනකල් කීටෝ ඩයට්ස් විතරයි!” ඒ අස්සෙත් අයස්මන්ත නිවේදනය කළේය.

“නිමල් අයියේ, ඔයාටත් විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. හෙට උදේ මෙතැන ඉඳල මඩමේතොටට යන ට්‍රැක්ටරේකට...”            

à ඉතිරිය පස්වෙනි කොටසට...

Saturday, July 20, 2024

හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - තෙවෙනි කොටස

'අනේ කතරගම දෙයි හාමුදුරුවනේ! හිතට එකඟව මේ අසරණයා දවස් ගණනාවක් පේ වෙවී හිටිය විත්තිය තමුන්නාන්සේට පෙනෙන්න ඇතිනෙ. නොදැන ඒ සීලේ කැඩුණා තමයි. දැන් ඉතිං පිඟානට බෙදාගෙන තියෙන සීනි සම්බෝලයි,පොල් මැල්ලුමයි අහක දාන්නැයි... පිඟානට බෙදාගෙන කෑම අහක නොදාන මගේ පුරුද්ද අදත් රකිනවාට තමුන්නාන්සේ මට සමා වෙන්න ඕනෑ.’ කියලා හිතෙන් හිතාගෙනය,මං වහන්සේගේ දකුණතත්- මුඛයත් ඊළඟ විනාඩි දහය-පහළොව තිස්සේ නොකඩවා වැඩෙහි යෙදුණේ!’

ස්කන්ධ කුමාර, ගණපති දෙසොහොයුරන්ගේ පියාණන් වන ශිව දෙවියන් එක හස්තයකින් දරාගෙන ඉන්නා ‘ගඩුගුඩාවේ’ ඇත්තේත් (Bhang)කංසා බවයි සමහර තැනෙක කියවෙන්නේ.
ඒ අවුලේ පළමුවෙනි කොටසයි. එහි දෙවෙනි කොටසකුත් රඟ දැක්වෙන්නට නියමිතව තිබෙන බවක් අපෙන් කවුරුන්වත් දැනගෙන උන්නේ නැත!

එසේම ‘කදිර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ’ මගේ blog posts කියවන බවත් මේ තාක් කල් මම  නොදැන උන්නෙමි.
එහෙමයි දෙයි හාමුදුරුවනේ- තමුන්නාන්සේ මේ posts මාලාවේ දෙවැන්න කියවලා තිබෙනවා විතරක් නෙවෙයි- ඒකට පළමුවෙනි comment එකත් එවා වදාරා තිබුණු සේක!! ඒ ප්‍රතිචාරය වෙනුවෙන් ඔබ වහන්සේට බොහොමත්ම පිං!!!
(මෙන්න  ඒ කමෙන්ටුව)J

    ‘මං ගැත්තාට සමාව දුන්නා.

    මීට

    ස්කන්ධ කුමාර’

නෙවිලුත්, සම්පතුත් එක්කය මං චිත්තම්මාගේ මතක බණ පින්කම් ගෙදර ගියේ.
සම්පත් කිව්වේ සම්පත් රණසිංහටයි; කලකට ඉහතදී දවසක මහ පාන්දර මෝටර් සයිකලයෙන් ආපසු මීගමුවේ ගෙදරට යන අතරේ ‘වහලා තිබුණු වළං කඩය’ක් අස්සට මෝටර් සයිකලයෙන්ම; නින්දෙන්ම ගිය
’වළං කඩේ සම්පත්’ටයි.
එකටම බණ ගෙදරට ගියත්, යන පරක්කුවෙන් අප තුන් දෙනා තුන් තැනකය.

“නිමල් අයියේ! මතකයි නේද මාව? ප්‍රියන්ත අයියා කිව්වා ඔයාලත් අද මෙහෙ එයි කියලා...”
“දෙයියනේ ටිරාන්... අවුරුදු හතරකින් විතර නේද ආයේ ලංකාවට එනවයි කිව්වේ... කෝ නදීකා නංගි?”
“නදීකලා ඉතාලියේ. මම ටික දවසකට ලංකාවට ආවේ අයියේ, තනියම... ඉක්මනින්ම එයාලත් එක්ක ආපහු එනවා- ඔයාලත් එක්ක අර වගේම නියම ‘Wild Camping
ට්‍රිප් එකක්’ යන්න. කෝ අපේ නෙවිල් අයියා...”

“මමයි තව යාළුවෙකුයි මෙහාට ආවේ මනුස්සයා එක්ක. ටික වෙලාවයි ඒ දෙන්නම පේන්න හිටියෙ.”
“මිනිහ මිසින්ද? තව තව කට්ටිය හිටිය රංචු ගැහි ගැහී. ප්‍රියන්ත අයියා අද බොන්න දෙන්නෙ නැති නිසා කටුකුටු ගානවත්...”
“අද නං නෙවිල්ට බොන්න විදිහක් නෑ, ටිරාන්. අපි කට්ටිය හෙට දවල් පාද යාත්‍රාවේ යන හින්ද පේ වෙලා ඉන්නේ.”

පාද යාත්‍රාවේ යෙදෙන්නෝ මස්- මාංශයෙන් මෙන්ම මත්පැනින්ද වැළකී සිටිති. එහෙත් දුම් පානය කරති. ඊටත් එහා ගිහිං පාද යාත්‍රාව යන අතරතුර නැවතී ඉසුඹුලද්දී ‘ත්‍රෛලෝක විජය පත්‍ර’ භාවිත කරන උදවියත් හිඟ නැත. ඒ දේව භක්තිකයන්ට මේ වන්දනාවෙදී දුම්කොළ හා කංසා පත්‍ර පාවිච්චිය ‘අනුමත එකක්’ වී තිබෙන්නේ හින්දු දහමේ බලපෑම නිසාවෙන්ද?

ස්කන්ධ කුමාර, ගණපති දෙසොහොයුරන්ගේ පියාණන් වන ශිව දෙවියන් එක හස්තයකින් දරාගෙන ඉන්නා ‘ගඩුගුඩාවේ’ ඇත්තේත් (Bhangකංසා බවයි සමහර තැනෙක කියවෙන්නේ.

ඒවා කොහොම වෙතත් අපේ රටෙත්, තව බොහොමයක් රටවලත් මේ ‘කැනබිස් සැටයිවා’ සැලකෙන්නේ තහනම් මත් ද්‍රව්‍යයක් වශයෙනි.

මේකයිනෙ සම්පත්. ඕනිම දිහාවකට යන්න කලින්... (වමේ සිට) සමින්ද, සම්පත්, නදී, නෙවිල් සහ නිදි විල්පත්තුවෙදී

(එහෙම තහනං ගංජා ගැන ‘කට්ටකාඩුව අඩවියේ’ ඉතා රසවත් post එකකුත් තියෙනවා... කියවන්න කැමැතියි නං ගොඩ වැදිලම බලන්නකො.)

“ආ, දිසානායක කාල-බීල ඉවර වෙලා ගෙදරත් යන්න වගේ ලෑස්තිය?” රෑ එකොළහට විතර ආයෙමත් ප්‍රාදුර්භූත වූ නෙවිල් ඇහුවේය. සම්පතුත් ඔහු එක්කය. “බලපන් මචං. මෙයා හැමදාම මෙහෙමයි. ඕනි තැනක යන්නේ මාත් එක්ක- මගේ වාහනේ. හැබැයි ගෙදර යන්නෙ වෙන කාගේ හරි වාහනයක. එතකොට මං උන්නද මළාද කියලවත් බලන්නෑ...”

“මේකයිනෙ සම්පත්. ඕනිම දිහාවකට යන්න කලින් නෙවිල් කියන්නේ ඉක්මනට ආපහු එමු කියලා. හැබැයි කොහෙට වුණත් ගියාට පස්සේ මිනිහට වෙලාව යනවා දැනෙන්නෙ නෑ. ඉතිං මම අපේ පැත්තෙන් යන කවුරු හරි එක්ක ගෙදර යනවා. දැනුත් පෙනෙනවනේ... හෙට ගමනක් යන්න තියෙනවා කියල මතකයක් හරි තියෙනව වගෙද...”

“ඒ වුණාට නිමල් අයියේ අද නං එහෙම කරන්න එපා. මං හිතාගෙන ආවේ අද රෑ ඔයාලගේ ගෙදර හරි මේකගේ ගෙදර හරි night park කරන්න...”

“Sweet අතුල මාව අපේ ගෙදරට drop කරන්නං කිව්වා. තමුසෙලා දෙන්නා තවම කාලවත් නැහැනෙ. මට පාන්දරින් නැඟිටින්නත් තියෙනවා... වැඩ ගොඩයි. නෙවිල්ට නං පේ වෙලා ඉන්න විත්තියත් මතක නැති වෙන්න ඇතිනෙ...”
“පිස්සුද දිසානායක... මම එහෙම කරනවද? බලපන් මචං මෙයාලා අපි ගැන හිතං ඉන්න විදිය...”

“නිමල් අයියේ, මම ඔයාට බොරුවක් කියන්නෙ නැහැනෙ... මම ඒත් පුදුම වුණා. මූ බිව්වෙත් නෑ- bite ජාතියක් කෑවෙත් නෑ. හෙට ගමන යන නිසයි කියලා.”

“මේ- ඒක නෙවෙයි, මොනවද හලෝ අපිට දැන් කන්න පුළුවන් ජාති තියෙන්නෙ?”
“ඉඳියාප්පයි පරිප්පුයි... ඩෙසර්ට් ජාතිවලින් අයිස්ක්‍රීමුයි ජෙලියි විතරයි. අන්න, අතුල යන්න හදන්නේ... මම යනවා.”
“ඔයා ගියාම නිමල් අයියේ මං...”

“සම්පත්- ඔයත් නෙවිල්ල ගෙදර ගිහිං, උදේට අපේ දිහා එනවා නං එන්න. තමුසෙලා එනකල් මට නිඳි මරන්න බෑ!”
නිඳිමත පෙරමින් ගෙදරට ආ ‘නිදි උන්නැහේ’ ගෙදර ආ සැණින් නිඳි යහනට වැටුණේ මධ්‍යම රාත්තිරියේය. ඒත් ඒකා උදේ පහමාරට ඇහැරී ගමනට අවැසි දේවල් එක්කාසු කරන්නට වුණේය.

ඒ අතරේ අටටත් කලින් නෙවිල් සම්පතාවත් එක්කගෙන අපේ ගෙදරය!
“දන්නවද? අපි ගෙදර යනකොට පාන්දර දෙකයි...”

දෙමළ අය ගෙනියන බරේ හැටියට මේක nothing!

“කොහොමද මමත් ඕගොල්ලො එක්කම එන්න හිටිය නං...”

“මේකලත් එක්ක බෑ නිමල් අයියේ. ප්‍රියන්තල සාන්තල හරිශ්ල කට්ටියත් එක්ක දේශපාලනේ කතා කරන්න set වුණාම ලේසියෙන් නවතිනවයැ...
මචං නෙවිල්, උඹ වැඩට ගිහිල්ලනෙ එන්නේ... මම ටිකක් නිඳාගෙන ඉඳලා දානේ ගෙදර පැත්තට යනවා. නිමල් අයියේ, ඊට කලින් ඔයාට උදව්වක් හෙම...”

කුකුළු නින්දක් දැමූ සම්පත් උදව්වක් ලෙස මාත්තෙක්ක shopping යන්නට ආවේය. නාටාමි job එකත් කෙරුවේය.

“ඔයාලගේ ගෙදර ගෙනියන්න හරි ගස්සලා- ගොඩ ගහලා තිබ්බ දේවලුයි, මේ ගෙනියන දේවලුයි ඔක්කොම ඔයාල උස්සගෙනද යන්නේ? හය දෙනෙකුට බෙදුණත් පට්ට බරක්නේ... අඩේ- දැන් තමයි ඔයාලා කන්න යන පරිප්පුව හරියටම තේරුණේ.”

“දෙමළ අය ගෙනියන බරේ හැටියට මේක nothing සම්පත්!”
“එච්චර බරත් උස්සගෙන, හරි දුරක් යන්නත් තියෙනවනෙ... ගොඩ දෙනෙක් යනවත් ඇතිනෙ...”

2024; මෙවර 31,931 දෙනෙකු පාද යාත්‍රාවේ යෙදී ඇතැයි (නිල නොවන) වාර්තා කියයි. එහි සංයුතිය මෙසේය:
වැඩිහිටි පිරිමි 15,290 / වැඩිහිටි ගැහැනු 11,122 / අවුරුදු 15ට අඩු පිරිමි 3,291 / අවුරුදු 15ට අඩු ගැහැනු 2,227
එකතුව = 31,931 

ඒ ඒ දවස්වලදී පාද යාත්‍රා ගමනට කී දෙනෙකු බැගින් ගියාද කියන කාරණයත් මේ ගැන අධ්‍යයනය කරන කෙනෙකුට වැදගත් වේවි කියා හිතුණා.
ජුනි 30- 6,193 දෙනෙක් කුමන වනෝද්‍යානයට පිවිසෙන ගේට්ටුවෙන් ඇතුළු වෙලා පාද යාත්‍රා ගමනාරම්භ කරල තියෙනවා. ඉන් පස්සේ ඒ ඒ දිනයේ ගමන පටන් ගත් බැතිමතුන් සංඛ්‍යාව මෙහෙමයි.
ජුලි 1-  4,000
2-  1,753
3-  1,475
4-     933
5-  1,002 
6-  9,321
7-  2,497
8-  1,576
9-  1,839
10-1,152
11-  174
12-    16

මං ඉහතින් ලිව්වනෙ ‘ගමන පටන් ගත් බැතිමතුන්’ කියල. එහෙම ලිව්වේ ටිකක් සංවේගයෙන්. ඉස්සෙල්ලාම අපි පාද යාත්‍රාවේ ගියේ 2013. අවුරුදු 11කට කලින්. ඒ අවුරුදු 11 තිස්සේ හය වතාවක් අපේ නඩේ උදවිය මේ ගමන ගියා. එහෙම යනකොට අපි හැමෝම දැක්ක දෙයක් තමයි මේ
‘එන්න එන්නම මේ ගමනට එකතු වෙන සිංහල ජාතිකයන් ගණනින් වැඩි වුණා.’

ඒකේ කිසිම වැරැද්දක් නෑ.
වැරැද්ද තියෙන්නෙ අපේ වැඩි දෙනෙකුගේ ආකල්පවලයි.

දමිළ බැතිමතුන් මේ ගමන යන්නේ ඉතාම සරල ඇඳුම්වලින් සැරසිලා. ලොකු ලොකු තනතුරු දරන අය- ලොකු ලොකු ව්‍යාපාරිකයන් පවා සාමාන්‍ය මිනිසුන් වගෙයි ගියේ.

අපිත් ඉතිං නිකං තියෙන ඒවානේ කියලා කූඩාරම් අකුලලා...

හොඳටම සුහද වුණාට පස්සේ විතරයි- එයාලගේ රැකී-රස්සා විස්තර වුණත් කෙනෙකුට කිව්වේ. ඒකත් කළේ විමසුවොත් විතරයි.

අනිත් අයට කොහොම පෙනුණද මංදා. මට නං පෙනුණා- සමහර සිංහල උදවිය මේ ගමනෙදීත් ලොකුකම් අටවාගෙන ගිය හැටි.

ඒකට හොඳම සාක්කියක් තමයි මේ.
මං ඉතා ස්තුති පූර්වකව මේ කොටස උපුටා ගන්නේ මෙවර පාද යාත්‍රාවේ යෙදුණු කණ්ඩායමක කෙනෙකු fb එකට episodes හතකින් යුතුව ලියා තිබුණු ලිපි මාලාවකින්.

‘... එදා හැන්දෑවේ අපේ කෑම්ප් සයිට් එකට උඩින් විශාල නා** *** කණ්ඩායමක් ඇවිත් ජනපදයක් හදන්න ගත්ත- ඒ ගොල්ලන්ගේ පාද යාත්රාවේ යන ලොක්කන්ට. මේක තනිකර ගමක් කළා. කොටින්ම ජල මුද්රිත වැසිකිලි, හයිබෑක් වේවැල් පුටු, ශීතකරණ, ජෙනරේටර්, විශාල ලයිට්, හුඟක් ඉඩ පහසුකම් තියෙන ලොකු කූඩාරම්, radio communication, Buffet area ආදී සියල්ලෙන් අංග සම්පූර්ණව.

තනතුරු අනුව යම් පහසුකමක් තියෙනවානම් ඒක ගන්න එක වෙනම දෙයක්. නමුත් පාද යාත්රාවේ අරමුණ ඒ අය ඉෂ්ට කර ගන්නවාද යන්න ප්රශ්නයක්, විශේෂයෙන්ම මේ සියල්ල ජනතා මුදල් නිසා.

බොසා එන්නේ පහුවෙනිදා නිසා එතන හිටපු නිලධාරීන් අපිට කිව්වා කැමතිනම් ඒ අයගේ හදපු අර අති විශාල ටෙන්ට් පාවිච්චි කරන්න කියල. ඉතින් කලින්දා රෑ අපේ මදුරුවන්ට නිර්භීතව මුහුණ දුන් අපේ මචෝ පිරිමි ඉන් එකකට ගියා. අපිත් ඉතිං නිකං තියෙන ඒවානේ කියලා කූඩාරම් අකුලලා ඒවට ගියා, උදේට කූඩාරම් ගලවන්න වෙන වදෙන් ගැලවෙන්න සහ උදෑසනින් පිටත් වෙන්න පුළුවන් නිසා...’ (ඒ නඩයේ මහත්වරුන්ගේ යහපත හා ආරක්ෂාව ගැන හිතලයි, මං එයාලගේ නම් උපුටා දක්‌වන්නේ නැත්තේ.)

අනේ අම්මප නිදි, මොකක්ද තමුසෙ මේ පීලි-පැන පැන ලියන ලියැවිල්ල?

මමම මගෙන් අහගත්තා.
ඔව්නේ! ජුනි 29 උදේ සම්පතුත් එක්ක ෂොපින් ගිය තැනින් පීලි පැනලා... අන්තිමටම ජුලි 12 කුමන gate එකෙන් ඇතුළු වෙච්ච 16 දෙනා ගැනත් කිව්වනේ. කෝ තමුසෙලා ගෙදරින් පිටත් වෙච්චි විස්තර? ගමන ගැන විස්තරත් ඇති නේද ලියන්න.
තියෙනවා නේන්නං.
එහෙනං?

මං වහන්සෙත් මෙච්චර දවස් හිතාගෙන හිටියේ මගේ අතින්, නිදිගෙ පංච තන්තරේ ලියැවෙන්නේ විෂ්ණු ශර්මන් පඬිතුමාගේ ‘පංච තන්තරේ’ ආකෘතියට අනුව කියලයි. දන්නෙම නැතිව ඒ ආකෘතිය තවත් සංකීර්ණ වෙලා; Non Linear වෙලා! Non Linear??????

‘ගෝඨා go ගමේදී’ මං ‘පැය 69 – 1 = 68’ක් ඇල්වතුර පමණක් බිබී කරපු උපවාසය වෙලාවේ හිතවතෙකු බවට පත් වුණු සංජේ රණවකගේ fb ලියවිල්ලකින් පොඩි කොටහක් මෙතැනට ඔබන්න ඉඩ දෙන්නකො...

කුතුහලජනක බව මතු කර ගැනීමට උදව්වක් වෙන්නයි...
'... සිනමාවේ තියෙනවා චිත්රපටවල Linear සහ Non Linear කියලා චිත්රපට සංස්කරණය කරන ක්රමවේදයන් දෙකෙක්. මේ දෙක ගැන කෙටියෙන් විස්තර කළහොත් Linear Editing එකේදී චිත්රපටයේ ගලාගෙන යාම නැත්නම් සිදුවීම් වන ආකාරයේ පිළිවෙළක් තියෙනවා නිශ්චිත... එතකොට Non Linear එකේදී එහෙම සිදුවීම් පෙළගස්වන ආකාරයේ නිශ්චිත ක්රමවේදයක් නැහැ කියලා සරළව කෙටියන් කියන්න පුළුවන්...

මේ ක්රමවේදයන් දෙකම චිත්රපට නිර්මාණයේ දී භාවිත කරනවා, නිර්මාණකරුවා අපිට කියන්න යන්නේ මොන වගේ කතාවක්ද කියන එක මත...

දැන් Maharaja චිත්රපටය නිර්මාණය වෙන්නේ මේ Non Linear ක්රමවේදය යටතේ. එතකොට සිදුවීම්වල නිශ්චිත පෙළගැස්මක් නැහැඅතීත සිදුවීම්, වර්තමාන සිදුවීම් කියන දෙකම කළවමේ එකම රාමුවේ දුවනවා. එතකොට අපිට චිත්රපටයේ දර්ශන අතර ‘මොකක්ද මේ වෙන්නේ- ඇයි මේ එකකට එකක් සම්බන්ධ නොවන සිදුවීම්’ කියලා හිතිලා ටිකක් මොළය කොලොප්පම් වෙන ආකාරයේ වැඩක් වෙනවා...’

හැකි හැම වෙලාවේම තවත් blog අඩවිවලටත්, fb එකේ ලියකියවිලි තිබෙන තැන්වලටත් ගොඩ වැදෙන එක මගේ සිරිතක්. ඒ හැමෝටම කියන්න දේවල් තියෙනවා; ලියන්න දේවල් තියෙනවා.

ඒත් ඒ සමහරුන් ඒවා ලියා තියෙන විදිහ ‘පාඨකයා ඇද-බැඳ තබාගන්නා’ ගතියෙන් අඩුයි! රීඩබල් ගතිය අඩුයි; රුචිකර ගතිය අඩුයි. එහෙම වුණාම කොයි තරං හරවත් දෙයක් වුණත් දිගට කියවන්න හිතෙන්නේ නැහැ නේද? මට නං එහෙමයි!
මං මේවා කියන්න හිතුවේ මගේ පණ්ඩිතකම් පෙන්නන්න නෙවෙයි.

අලුතින් පොත්, පත්තර, blogs එහෙම කියවීමට එන පාඨකයන් පරම්පරාව දිගටම රඳවා ගැනීමට නං අපි ඉතා දැනුවත්ව; ඉතාමත් සබුද්ධිකව ලේඛනයේ යෙදෙන්න ඕනෑ හින්දයි- ඉතා විමසිල්ලෙන් සිටිමින් අපි අපේ වැරදි හදාගත යුතු හින්දයි. (හැබැයි, තවමත් මටත් වරදිනවා; මගේ අතිනුත් සමහර වෙලාවට තඩි ඔලමොට්ටලකම් සිද්ද වෙනවා.) අපේ වැරදි හඳුනාගෙන ඒවා හදාගන්න ඕනිත් අපි-අපි විහින්මනෙ.

ඕනෑම නිර්මාණාත්මක කාරියක තියෙන්න ඕනියි කියලා මං තරයේ විශ්වාස කරන දේවල් මේ. සරල බව- රසවත් බව- විචිත්‍රවත් බව- නාටකීය බව හා කුහුල දනවන බව...

කුතුහලජනක බව ඇති කර ගැනීමට උදව්වක් වෙන්නයි, මං වහන්සේ Non Linear ක්‍රමය අනුගමනය කරන්නේ. කාලානුක්‍රමය අනුගමනය නොකරන්නේ. Dramatic; නාට්‍යමය විස්තර මතක තියාගෙන ඉඳලා ඒවා මං ලියන postsවලට එකතු කරගන්නේ.
(හොඳින් බලන කෙනෙකුට නං පෙනේවි එක දවසකදී වුණත් අපේ ජීවිතවල කොයි තරම් නාටකීය දේවල් වෙනවද කියලා.)

මේ පෝස්ටු මාලාවේ දෙවැන්නට මගේ අතින් ‘එහෙම අනුපාන වැඩියෙන් වැටිලා’ වෙන්නැති- comments තීරුවේ Lotus රසිකාවිය මෙහෙම ලියන්නට ඇත්තේ.
(Lotusට ඕවා නියමෙට මීටර් වෙනවා!)

ඕනෑම නිර්මාණාත්මක කාරියක තියෙන්න ඕනියි කියලා...
‘අද පෝස්ට් එකේ මුල ඉඳලා අග වෙනකම්ම drama drama නේද.’

ඔන්න ආපහු නියම පීල්ලට වැටෙනවා; ඩ්‍රාමා තැනකින්ම.

“මම පිටිපස්සෙම සීට් එකට යන්නං. මමනෙ පොඩිම එකා...” නෙවිල්ලගේ ගෙදරදී නමී කිව්වේ සද්භාවයෙන්.
“යකෝ නමියෝ, ඇඳුමුයි බඩුයි bagsසුයි ටිකෙන්ම පිටිපස්ස පිරිලා. එතෙන්ට ගියොත් තමුසෙට ආසාවටවත් කකුල් දෙක දිග ඇරගන්න බැරි වෙයි.”
“Bagsවලට වැඩිය මෙතැන තියෙන්නෙ කාඩ්බෝඩ් පෙට්ටි වගයක්නේ!”
“හා හා තමිර- එව්වා පරෙස්සමෙන්... ඒවා දෙයියන්ගේ බඩු!”
දේවාල මාමා ඒ වචන කිහිපය උච්ඡාරණය කරන්නෙත් ඉමහත් භක්තියෙනි; දෑස් අඩවන්කොට- ස්වරය බරකොට- මඳ රිද්මයකිනි.

එතකොටත් නමී- තමිර- මර්වින් තුන් දෙනාත් නෙවිලුත් බිමය.

“මේ... උඹල හතර දෙනා කතාව නවත්තලා ඉක්මනින් වාහනේට නඟිනවද නැද්ද. ඇයි Xත්තනේ, මෙතනම පැය භාගයක් විතර ගියා. අපි අදම කුමනට ගිහිං ඉන්න ඕනිනෙ. ලෝකල් නසාර්, xxx උඹ මෙහාට ඇවිත් start කරපං බං වාහනේ... උන් ටිකට xකාගන්න කියලා.”

“උඹ අන්න එහෙම කරුණාවෙන් කිව්වා විතරයි මචං, බලපං- හතර දෙනාම වාඩි වෙලත් ඉවරයි. පූස් පැටව් වගෙයි, හ්ම් සද්දයක්වත් නෑ...” නෙවිල්ය, කොඩි මිසීලාගේ ගෙදරට යනතුරු වාහනයේ සුක්කානම කරකවන්නට යන්නේ.

ජුනි 29 වෙනිදා දහවල් දොළහමාර විතර වෙද්දී අපි කොට්ටාවෙන් අධිවේගී පාරට අවතීර්ණ වීමු!

“වැලිපැන්නෙන් තේ එකක් බීලම යමු මචං...”
“කොඩි මිසීලා කෑමත් හදාගෙන බලං ඉන්නවයි කිව්ව නේද පීරා... මෙහෙන් තේ බීලා ගිහිං කොහොමද මචං දවල්ට කන්නේ?”
“මචං මර්වින්, අපි තුන්දෙනා ගැනත් ටිකක් අනුකම්පාවෙන් හිතපංකො බං. සුමානයක් විතර තිස්සේ කීටෝ ඩයටින් කරලා- ඒ මදිවට පේ වෙන ගමන්... මං කොහොම වෙතත් නෙවිල් අයියටයි, තමිරයටයි දෙන්නටවත් ට්‍රීට් එකක් දෙන්න එපැයි- කීකරුව වැඩේ කළාට...”

පීරිස් එළවලු රොටි පහකුත්, සැන්විචස් පහකුත්, hot චොකලට් පහකුත් ගත්තේය.

“ඇයි පහක් විතරක්? හයක් ඉන්නවනේ...”
“මට කැපචිනෝ එකක් ගන්නවා...” පීරිස් හොර හිනාවකින් යුතුවය උත්තර දුන්නේ.

"යුෂ්මතුන්ලා හැමෝටම පුළුවන් කොඩි මිසීල ගෙදරදීත් බඩ පැලෙනකම්ම කන්න.
දන්නවනෙ, මම මෙච්චර කරුණාවන්ත වෙන්නෙ හොඳකට නෙවෙයි කියලා. ඕනි සෙල්ලමක් අද රෑ වෙනකල්. නෙවිල් අයියේ, හෙට පාන්දර ඉඳල අපි තුන්දෙනා ආයෙමත් කීටෝ ඩයටින්! පැය අසූවක් විතරයි...”

නෙවිල් ඒ වෙලාවේම මොකවත් කිව්වේ නැතිය. තමිරත් එහෙමය. එක්කෙනෙක් නිහඬතාව බින්දේ ඊට ටිකකට පස්සේ පීරිස් මහතා ඈතකට ගියාමය. “මේ වැඩේ හරි යන්නෙ නෑ මචං... මේ Xකෝරිස් අපි දෙන්නව බඩගින්නේ තියලා මරවන්නයි යන්නේ...”

දැන් ඉතිං බෙරේ බැඳගත්තා නං...
“දැන් කෙඳිරි ගාන්නේ... තමුසෙලා දෙන්න කැමත්තෙන්මනෙ ගිනියා පිග්ස්ලා වුණේ! දැන් ඉතිං බෙරේ බැඳගත්තා නං පුතෝ...”

“මූ උඩ දාගෙන; ලොකුවට වියදමුත් කරගෙන, මේ ගමන යන්න හදන්නේ මොකක් හරි experiment එකකට වගෙයි මචං. අපරාදේ! අපියි අහු වුණේ..."

“හොඳේ කියන්නේ, උඹලත් එක්කම ඌත් ඔය වැඩේ කරනවනේ... නමියෝ- නරකද මචං උඹත් ඔය වැඩේට join වුණොත්...”

“නමීට නං ආයේ ඩයටින් කරලා අඩු කර ගන්න බරක් තියෙන එකක්යැ. කටුයි හමයි විතරයිනෙ...”
“ඒකා කනකොට කන්නෙත් තෝර-තෝරා, හරිම චුට්ටයිනේ.”
කොඩි මිසීත් ඒ විත්තිය දැක තිබිණි.

“අර මොකද නිමල් අයියේ, ඔයාලගේ යාළුවා කෑම බෙදාගන්න විදිය. හොඳටම චුට්ට චුට්ට.”
“ඒ ලජ්ජාවට කොඩි! ඔයා ගිහිං ටිකක් බෙදන්න- බල කරලා!!”

“බලු වැඩ කරන්න එපා හලෝ. දැන් ඉතිං මෙච්චර ගොඩක් කොහොම කන්නද?” කොඩී එහාට යනකල් බල හිටි නමිනං උන්නැහේ කොඳුරයි. ඒ කෙඳිරිල්ල අයස්මන්තටත් ඇහිලා වගෙය.
“මේ මේ, හම්බන්තොට මිනිස්සුත් කෑම අහක දානවට කැමති නෑ. නොකා ඉතිරි කරනකොට එයාලා හිතන්නේ කෑම රස නැති හින්දා කියලයි...”
“අනේ නෑ, කෑම නං රසයි ඩොක්ටර්! මම කියන්නම කියලයි හිටියෙ...”
“කොඩී, මෙන්න මේ නමියා කියනවා කෑම නං රසයි කියලා.”
”එහෙනං තව ටිකක් බෙදන්නං... මොනවද ඕනේ?”

ඇහුවේ කොඩී මිසීය. නමී දත්කූරු කමින් රවන්නේ අහිංසක මටය!
à ඉතිරිය සිව්වෙනි කොටසට...