අකුරු මැකී නෑ

Monday, October 21, 2024

රහස් නොවන රහස් ටිකක් - දෙවෙනි කොටස

   මිට  මිටේ වපුල වී කන්නේ           සේරු
   පිට  රටේ ඇවිත් මොකටද      කයිවාරු
   කට වටේ කොටත් වැට බඳිනෙද කවුරු
   පිට  පටේ නැතිව වැපුරුම නැත      සීරු

කියලා ලොකු ඇත්තක් ‘සද්ද විද්ද පළඟ පතිර’ අන්දරේ උන්නැහේ කවියකිනුත් කිව්වලු.

අන්දරේගේ ඒ කතන්දරේ දැන් expire වෙලා තියෙන්නෙ අද ඉන්න වැඩි හරියක් දෙනා...

ඒ කිව්වැහෙ ‘පිට පොට නොගහා’ වපුරන්නට අසීරු වෙන්නැත්තේ ආදි කාලෙනේ... ඉතිං රාජකීය කවටයා අන්දරේගේ ඒ කතන්දරේ දැන් expire වෙලා තියෙන්නෙ අද ඉන්න වැඩි හරියක් දෙනා කුඹුරට- වෙලට- මඩට බහින්නෙත් ෂෝටක් ගහගෙන නිසයි. කොට කලිසමේ ආයෙ පිටපොට ගහන්න දෙයක් තියෙනවැයි... ඒත් ‘කට වට කර වැට බඳින්නේ කවුද?’ කියන කීම නං අදටත් වලංගුයි.

එහෙම කට වටේට වැට බඳින සමතෙක් නැති නිසා වෙන්නෝනි ගයිස්, මහමැතිවරණයට නාම යෝජනා දෙන දවසේ කටකමසිරියාවක් නැතිව දොඩවපු ‘බික’ පත්තරේටත් වැටුණේ!

‘කොහොමෙන් කොහොමෙන් හරි කෑම ගැන ලියන්න හිතාගෙන හිටි කාරණාවලින් කොටහයි ලියැවුණේ ගයිස්. Take it easy ගයිස්! කියලා පසුගිය කොටස ලිවීම හමාර කරද්දීත් මම ‘බික’ උන්නැහේ ගැන සඳහනක් කළේ ඔයාලට හාස්‍ය රසයත් ටිකක් දෙන්න ඕනි කියලයි.
නව නළු රසයට හාස්‍ය රසය අයිති වුණත්, දිවට දැනෙන ප්‍රධාන රස වර්ග පහට ඒක ඇතුළත් වෙන්නෑ. පැණි රස, තිත්ත රස, ලුණු රස, ඇඹුල් රස හා උමාමි රස කියන රසවර්ග පහ තමයිලු-
(රසාංකුර 10000 ක් විතර පිහිටා තියෙනවය කියන; අඟල් 3ක් විතර දිග) මිනිස් දිවට දැනෙන්නේ.

ඉතිං ඉතිං, සාමාන්‍ය කෑම වේලක් හරි ගස්ස ගන්නකොට මම නං හදන්නේ වෑංජන තුනයි. (එතකොට වුණත්- ඔය අපේ දිවට දැනෙන ප්‍රධාන රසවර්ග පහ ගැනත් මං වහන්සේ කල්පනාවට ගන්නවා.)
ඒ හින්දම පරිප්පු, මුංඇට, අල
, බතල, මඤ්ඤොක්කා, කොස්, දෙල් වගේ පිටි ගතිය තියෙන වර්ගයක් කිරි රහ ඉස්සරහට එන්න හදනවා.
කරවල බැදුමක් වගේ දෙයකින් ලුණු රහ පිරිමැහෙනවනෙ. (ඒ බැදුම වළඳනකොට තරමක් දැවිල්ල දෙන විදිහටයි මං හදන්නේ.) මස් ජාතියක් හදනවා නං- මම ආයෙ කරෝලත් හදාගන්න යන්නෑ.
ඊගාවට හදන්නේ
දෙහි ඇඹුල් ටිකක් යහමින් දැම්ම කොළ සම්බෝලයක්.

මට නං ඔය ජාති තුන තිබ්බම හොඳටෝම ඇති. සමහර වෙලාවට කොළ සම්බෝලේ විස්ථාපනය වෙනවා පොල් සම්බෝලයකින්.
කිරි රහ එන පිපිඤ්ඤා වගේ දිය එළවළුවක් හැදුවොත්- අල බතල වගේ මොනවා හරි තෙල් දානවා- සුදුසු විදිහ බලලා. අමුත්තන් කවුරු හරි ඉන්නවා නං හෙම පපඩම්- මිරිස් කරල් ටිකක් හෙමත් බදිනවා.

හරිශ්චන්ද්‍ර උන්නැහේට පොල් සම්බෝලේ හදන්න නං පත වංගෙඩියකුත් ඕනිමයි!

මිරිස් කරල් බැද්දොත් මට නං එව්වා ‘හං’ නොවී; crunchy ගතියට තියෙන්නයි ඕනි. ලුණු රහ දැනෙන්නත් ඕනි. ඒ වැඩ දෙකම කෙරෙනවා මිරිස් කරල් බැදෙන අතරේ ලුණු කුඩු ටිකක් තෙල්වලට ඉස්සම.

මම බෙහෙත් ගන්න යද්දී, හම්බන්තොට සුජානි නංගිලාගේ ගෙදරිනුයි සමහර දවසකට පාතරාසය ගන්නේ. එහෙම උදේ කෑම සූදානං කරද්දී, සුජානි නංගි කරවල බැදුමකුත් හදනවාමයි. එයාගේ කරවල බැදුම අමුතුයි. මං ඒ ගැන ඇහුවත් එක්ක. මොකද, ඒ බැදුම හරිම ලස්සනයි!
එහෙදි විතරයි මම එහෙම බැදුමක් දැකල තියෙන්නෙත්...

“මම ඉස්සෙල්ලාම කරවල කෑලි ටික බැදලා පැත්තකට කරගෙන ඒ තෙල් ටික අයින් කරලා තාච්චියත් හෝදලයි ඉතිරි හරිය කරන්නේ, නිමල් අයියේ.” ඒ කිව්වේ- සුජානි ආයෙමත් අලුතින් පොල්තෙල් ටිකක් රත් කරලා ළූණු, අමුමිරිස් එහෙම ඒකට දානවාලු. එව්වා යන්තමට බැදෙද්දී කරවල කෑලිත්, කෑලි මිරිසුත්, කරපිංචා කොළත් දාලා ළිපෙන් බාගන්නවාලු.

සුජානි නංගිලාගේ පොල් සම්බෝලේ හැදෙන්නෙමත් ලා රෝසපාටට. මිරිස් රහ අඩුවෙන්- කිරි රස වැඩියෙන් දැනෙන විදිහට.
අපේ සෙට් එකේ මාධ්‍ය ප්‍රකාශක (නාවුක හමුදාවේ හිටිය; දැන් විශ්‍රාමික)
හරිශ්චන්ද්‍ර උන්නැහේට පොල් සම්බෝලේ හදන්න නං පත වංගෙඩියකුත් ඕනිමයි. ‘වංගෙඩියේ දාලා කෙටුවේ නැත්තං සම්බෝලේ රහ නෑ.’ හරිශ් කියනවා. අනෙක තමයි එයා සම්බෝලේ කොටන්නේ සුදුළූණු, ගම්මිරිස්, ඉඟුරු එහෙමත් දාලයි. වෙනස් සැර රහක්!
මම කලිනුත් කියල තියෙනවනේ- පොල් ගෙඩියක සම්බෝලයක් හදනවා නං මම පොල් ගෙඩි දෙකක් බිඳිනවා. පොල් බෑ හතරේම උඩින් තියෙන තෙතමනය හා කිරි රස වැඩි
ලූව හරිය විතරයි ගාගෙන සම්බෝලෙට ගන්නේ.

අනිත් පොල් ටික වෙනම ගාලා; බ්ලෙන්ඩර් කරලා- මිරිකලා කිරි අරගන්නේ හොදි හදන්න. සමහර වෙලාවට, හොඳටම හීනියට blender කරපු පොල් කුඩුත් එක්කම කිරි ටික කරියට එකතු කරන එකත් මගේ පුරුද්දක්. (යාපනේ උදවිය වැඩි වෙලාවකටම එහෙම කරන කතාවකුත් කියවන්න ලැබුණා.)

එහෙම නොකරන වෙලාවට මං කරන්නේ පොල් කුඩු ටික තැටියකට දාලා, තුනී කරලා- ෆ්‍රිජ් එකේ යට තට්ටුවෙන් තියන එක. දවසකට සැරයක් විතර ඒ ටික ආයෙමත් කවලම් කරනවත් එක්ක. දවස් පහ-හයක් යනකොට ඒ පොල් කුඩු නියමෙට වේළිලත් ඉවරයි. ඊට පස්සේ ඒවා රන්වන් පාට වෙනතුරු බැදලා- හීනි වෙන්න කොටාගෙන තියා ගන්නවා.
මස් උයනකොට ඒවායින් ටිකක් අන්තිමට එකතු කර ගත්තම හොද්දේ උකු ගතිය වැඩි වෙනවා. ඒ වගේම ලස්සන පාටකුත්; රහකුත් ඇති වෙනවා.

අපි එහෙම තමයි! වෙනස් වෙන්න කැමති නෑ... අලුත් දෙයක් පිළිගන්නත්...

හැබැයි, ලංකාවේ ගෘහණියන් වැඩි දෙනෙකු ඒ වැඩේ කරන්න කැමති නෑ. ‘පොල් කුඩු කන්න ගන්නේ කවුද?’ කීප දෙනෙකුම මගෙන් අහලා තියෙනවා- ඒ පාඩම ගැන සඳහන් කළාම. “නිමල් අයියා එච්චරටම ලෝබයෙක්ද?” කියන කෑල්ලකුත් ඒ ප්‍රකාශයට එකතු වෙච්චි වෙලාවලුත් තිබුණා.

අපි එහෙම තමයි! වෙනස් වෙන්න කැමති නෑ... අලුත් දෙයක් පිළිගන්න කැමතිත් නෑ.

Kasun කියලා blogs කියවන පාඨකයෙක් පහුගිය දවසක මෙහෙම (අනගාරික ධර්මපාලතුමාගේ ශෛලියෙන්) අධිකාරිවාදී පන්නයේ comment එකක් පළ කරලා තිබුණෙත්, ඔය වෙනස් වීමේ වැදගත්කම පිළිබඳව කියමින්.
පර හෙලයනි එකතු වෙයව්, මොකාට චන්දෙ දුන්නත් මේ අපේ රට. මේ රට ගොඩ ගන්න තම තමාගේ ආකල්පවල සිටන් වෙනස් වෙමු, එහෙම නැතුව මොන සක්කරයා ආවත් මේ රට ගොඩ ගන්න බෑ, අනුරට බෑ පාරේ විනයගරුක රියදුරෙක් හදන්න, අනුරට බෑ පාරේ කුණු දාන එකාව නවත්තන්න, අනුරට බෑ බෝක්කු උඩ ඉඳගෙන සිකරට් බිබී කාලේ කා දමන එකාව නවත්තන්න, අනුරට බෑ රුපියලක් හෝ හොරා කන පුද්ගලයන්ව නවත්තන්න, අනුරට බෑ කෝච්චි, බස්වල සීට් කපන ඉරන උන්ව නවත්තන්න.
ඉතින් හෙලයනි හැදෙන්න ඕනෙ අපිමයි
, අපි හරියට ආකල්ප හදා ගත්තොත් ඔය කවුරු ජනාදිපති උනත් අපේ රට ටිකෙන් ටික ගොඩ එයි ❤❤

අලුත් අදහස් පිළිගන්නවා තියා ඒවා ගැන හිතන්නවත් අකමැති වීම අපේ ජාතික දුර්වලතාවක්ද?

එහෙම විචිකිච්ඡාවක් හිතට ආවත්- මට දැනගන්න හම්බ වෙලා තියෙන ‘නව අදහස්’ මගේ ආදරණීය පාඨකයන්ට නොකියා ඉන්න පුළුවන්ද?

මාස කීපයකට කලින් දවසක අපේ සිරිබිරිස් උන්නැහෙයි, නමීයි, මමයි ගියා දැවැන්තයන් දෙන්නෙකුව හම්බ වෙන්න.

සිරිබිරිස් හිතවතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලංකාවට ආව හැම වතාවකම, අර වගේ ප්‍රාමාණික උගතුන්- වියතුන් හමු වෙන්නට යන එක උන්නැහෙගෙ පුරුද්දක්. එහෙම යන්නේ ඒ ප්‍රවීනයන්ගේ අදහස් එකතු කර ගන්නයි... එහෙම ගමනක් යනකොට කල් තියාම අපට කියලා, උන්නැහෙගෙ වාහනෙන් අපේ ගෙදරටම ඇවිත්, අපිව එකතු කරගෙන ගිහිං- ආයෙම ගෙදරට ගෙනවිල්ලත් බස්සන එකේ අපිට තියෙන්නෙ යන්න විතරයි.

(වතාවක් අපි කට්ටිය හඟුරන්කෙතටත් එහෙම ගමනක් ගියා. ප්‍රමිලා බිසව ගිල්ලල මරපු වැවෙන් ගොඩගත්තු කළුගල් බරුවක්  හොයාගෙන.)

“මහත්තයෝ, මාත් ආසයි ඔය දෙන්නවම හම්බ වෙන්න. අතුල අබේරත්න අයියා නං අපේ ගෙදරටත් ඇවිත් තියෙනවා. කරුණාරත්න අමරසිංහ මහත්තයත් මගේ වීරයෙක් එදා ඉඳලම. ඒත් ඉතිං මමත් ඔය ගමනට ආවොත් ඔයාට අවාසියක් වෙයි. ඔයා තරං නිස්සද්දව අහගෙන ඉන්න බැරිව- මාත් ප්‍රශ්න අහයි. ඒකෙන්...” මං කියන්න පටන් ගත්තා විතරයි.

අතුල අයියා ඉතා සාර්ථකව කොළ කැඳ අලෙවි හලක් පවත්වාගෙන යනවා. 

“ඒකට කමක් නෑ මනුස්සයෝ... මට ඒ දෙන්නගෙන්ම අහගන්න තියෙන්නෙ ප්‍රශ්න කීපයයි. ඔයා අහන දේවල් මටත් ප්‍රයෝජනවත් වේවි. ඒකමයි ඔයාටත් යන්න අඬ ගැහුවේ...” සිරිබිරිස් උන්නැහෙ කිව්වා. “... Pra Jayටත් අඬ ගහන්න හිතුණා... සතියේ දවසක යන නිසයි, ප්‍රා සාහිත්‍යය ගැන එච්චර උනන්දු නැති නිසයි කතා කරන්න නොහිතුවේ.”

ඉතිං, අත්දැකීම් බහුල- ඒ දෙන්නගෙත් එක්කම අපි කතාබහ කළ දේවල් නමී පටිගත කර ගත්තා. ඔන්න එව්වයින් එක කාරණයක් තමයි මේ.

අතුල අයියා ඉතා සාර්ථකව කොළ කැඳ අලෙවි හලක් පවත්වාගෙන යනවා. ඒ නිසාම එයා සතියේ දවස් හයක්ම හෙණට බිසි. “මගේ කොළ කැඳ බොන්නම දුර ඉඳල එන කස්ටර්මර්ලත් ඉන්නවා...” අතුල අයියා එහෙම කියද්දී ඔන්න මාත් ප්‍රශ්න අහන්න ගත්තා. එතකොටයි මේ ‘tip’ එක කියැවුණේ.
“නිමල් කොළ කැඳ හදනකොට ගම්මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරනවද?”

අවංකවම කිව්වොත්- එහෙම කරන විත්තියක් මං අහලවත් තිබ්බේ නෑ!
(හැබැයි පැණිපොල් හදද්දී නං මම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා.)
“නැහැනෙ අතුල අයියේ. පොල් කිරි කැඳ හදනකොට නං ගම්මිරිස් ඇට ටිකක් දාලමයි හාල් ළිපේ තියන්නේ...”

“මම කිව්වට ඊළඟ දවසේ ඒ විදිහට කරලා බලන්නකෝ.”
ස්තුතියි, ගොඩාරියක් ස්තුතියි අතුල අයියේ!
ඔයා කිව්වා හරියටම හරිය. ඊට පස්සේ කැඳ හදන හැම වතාවකම අපේ ගම්මිරිස් කුඩු බෝතලයෙන් චුට්ටක් අඩු වෙයි- කැඳවල රසය වැඩි වෙයි!!
ඒ ගම්මිරිස් කුඩු මාත්තුව කිතුල් පිටි කැඳ හා කුරක්කන් පිටි කැඳවලටත් වැඩ කරන්නකි!!!

පහුගිය කොටසට comments එවමින් හිතාදර පාඨකයන් කෑම ගැන එක-එක විස්තර ගොඩාරියක් කියල තිබ්බා.
නරිමොටා එවා තිබුණු කමෙන්ටුවකින් ඇතිවුණු සංවාදයක් මේ.

‘නරිමොටා: මහරගම ආච්චීගේ අදහස හරි. කෑමක රස පෙනුම වගේම විශේෂයෙන්ම සුවඳත් එක්ක සම්බන්ධයි.
කලාවකට පරිප්පු රොස් කිරීම

නිදි: ස්තුතියි නරිමොටාණෙනි, වීඩියෝව බැලුවා.

කෑමක සුවඳ ගැන දෙවෙනි කොටසෙදී තව ලියන්න ඉන්නේ.

රොස් කිරීම කෑමකට වෙනස්ම ලස්සනක් වගේම වෙනස්ම සුවඳකුත් වෙනස්ම රසයකුත් දෙනවා. හැබැයි- රොස් කරන එකත් ගණනකට කරන්න ඕනි; රොස් කරනවා කියන්නේ ඔහේ පිච්චෙන්න අරින එකට නෙවෙයි, හොඳේ.

මෙන්න මේ වෙලාවේ මගේ ඔළුවට ආව උදාහරණය. අපි සමහර හොදි ජාති උයල තෙම්පරාදු කරනවනේ. එතකොට මුලින්ම සුදුළූණු- ළූණු එහෙම උණු තෙලට එකතු කරලා බැදෙන්න අරිනවනේ. ඒවා රන්වන් පාට වෙනතුරු බැදුනාම තමයි සුවඳ එන්නේ. යන්තමට බැදුනට මදි. ඒ වගේමයි- කළු පාට ගහන තුරු පුච්චා ගත්තොත්... රසය වැඩි වෙනවා වෙනුවට තිත්ත රහකුත් එයි!

පත්තිනි මෑණියන්ට පූජාවක් විදිහට කරන කිරි දානෙකට ගාණට ලුණු දාලා, ඉඳුල් නොකර කිරිබත උයන හැටි...

... ඒ වගේමයි නරිමොටෝ, වීඩියෝවේ තියෙන විදිහට බර්ගර්- ටෝස්ට් එහෙම පදමට රෝස්ට් කරගැනීම ඉතා වැදගත්.

මස් කරියක් උයා ගත්තම- එයින් මස් කෑලි ටිකක් බේරලා අරගෙන නන්ස්ටික් තාච්චියකට දාලා (පෙරලමින්) යාන්තමට දුඹුරු පැචස් හිටින්නට රොස් කරලා ආපහු කරියට එකතු කරගෙන බලන්නකෝ.

... ඒ වගේමයි- අපේ ගෙදරට රෝස්පාන් ගෙනාවමත් කන වෙලාවට ඒවා නන්ස්ටික් බඳුනක දාලා ආයෙමත් (කර කර ගාලා හැපෙන තරමට) රෝස්ට් කරලා උණු උණුවේමයි කෑමට ගන්නේ!
(අන්ත්‍රාවයි! වෙනදාට එක රෝස්පාන් එකක් කන කෙනෙක් මෙවිට දෙකක් කන්නට ඉඩ තිබේ.)

D.G.M. බස්සා: //...මස් කෑලි ටිකක් බේරලා අරගෙන...යාන්තමට දුඹුරු පැචස් හිටින්නට රොස් කරලා...//
අහා! ආන්න ජංසං. ඒ වැඩේ කරලා බලන්න ඕනෙ ඊළඟ බ්ලැක් පෝක් කරියට. මට හිතෙන්නෙ මේකට වඩා ගැලපෙනවා ඇත්තෙ බීෆ්
, පෝර්ක් වගේ තෙල් සහිත මස කියල.🤔

කෑමක සුවඳ ගැන මේ කොටසෙදි ලියනවයි කිව්ව නිසා ඒ ගැනත් කියලම ඉන්නං.

පළමු කොටසෙදි මම කිව්වනේ අපේ ආච්චිගෙ කුකරි හපන්කම් ගැන. ඒ හින්දම සමහර දෙනෙක් ‘කිරි අම්මාවරුන්ගේ දානය’ උයනකොටත් අපේ ආච්චිව චෙෆා හැටියට එක්කං ගියා. (එහෙම දවසට කිරි අම්මල හත් දෙනාගෙන් ලොක්කි වුණේ නැන්සි ආච්චි. නැන්සි ආච්චි කිරි දානේ උයන්න ගිහිං තිබ්බොත් ලොකුම කිරි අම්මා වෙලා- පිං දෙන රාජකාරී එහෙම පැවරුණේ අපේ ආච්චිට.)

ආච්චි කිරි දානයක් උයපු දවසට, දානේ වැඩ අහවරක් වෙච්චි ගමන්ම ‘කැවුම්- කිරිබත්- කිරියා- කෙසෙල් ගෙඩි- හකුරු කෑලි’ තියෙන ලොකු පාර්සලයක් අපේ ගෙදරටත් ගෙනෙනවාමයි. එහෙම ගෙනෙන උදවිය ආච්චිට ස්තුති කරමින් පිං දෙනවත් එක්ක.
“මයියොක්කා ආච්චියෙ, හැමෝම කිව්වා කිරිබතට හරි ගණනටම ලුණු තියෙනවයි කියල. ඒ වැඩේ වුණත් අපිට නං කර ගන්න බෑ ආච්චියෙ. අපිට නං ඉඳුල් කරලා බලන්නම වෙනවනේ ලුණු ඇද්ද කියලා.” දානේ ගෙදරින් එන අමුත්තිය එහෙම කියූ හැම වතාවකම අපේ ආච්චීගෙන් පාඩමක් කියැවෙයි.
“පත්තිනි මෑණියන්ට පූජාවක් විදිහට කරන කිරි දානෙකට ගාණට ලුණු දාලා,
ඉඳුල් නොකර කිරිබත උයන හැටි දැනගෙන ඉන්න එක ඔහෙලටත් පොරෝජන්....”

එහි ඊළඟ කොටස මට අමතකය. (හාල් සේරුවක කිරිබතකට දැමිය යුතු ලුණු කැට අහුරු ගණනය, එයින් කියැවුණේ.) “... හැබැයි ගොයියෝ, ඒකත් වරදින වෙලාවල් තියෙනවා. මොකද සමහර ලුණුවල සැර ගතිය අඩුයි. ඒ හින්දා කිරිබත තුනී කරන්න කලින්; උණුවෙන් තියෙද්දිම සුවඳ හරියට එනවද කියලත් බලන්න ඕනේ. ලුණු අඩුයි නං කොයියම්ම වෙලාවකවත් කිරිබතේ සුවඳ එන්නෙ නෑ...”

කොයි දෙයක් වුණත් කනකොට කන්න ඕනි මළ පෙරේතයෝ වගේ නෙවෙයි. තිරිත්තමක් ඇතුව...

ඒ න්‍යාය ඕනෑම හොද්දකට- මාළුවකට වුණත් වලංගුය.

හැබැයි එහෙම වෙන්නෙ ඒ වෑංජනයට අවශ්‍ය තරමට රතුළූණු හෝ බොම්බයි ළූණු දමා තිබෙනවා නම්ය... විශ්වාස නැද්ද? Test එකක් කරලාම සත්ත බලන්නැයි මම ඔබෙන් ඉල්ලමි.

(මේ මගේ නිරීක්ෂණයකි.
මාළු ඇඹුල් තියල්වල සුවඳක් නැතිම තරම්ය. නියම ලෙසින් ඇඹුල් තියල් හදද්දී ළූණු- සුදුළූණු දාන්නේ නැත! ගොරකා හා ගම්මිරිස් පමණි යොදන්නේ.
සමහර උදවිය මාළු මිරිසට ඉවීමත් ඇඹුල් තියල් සෑදීමත් එකක් ලෙසින් ගනිති.)

මේ සුවඳට ගෑවෙන තව කාරණයක් ගැන ගිය වතාවේ මං ලියපු බව ඔයාලට මතක ඇති. ඒ ගැන උනන්දු වෙලා තිබ්බේ නමී උන්නැහේය.

'නමී: //කරිය ළිපෙන් බාලා- ටික වෙලාවක් ගියාම; මඳ රස්නේ තියෙද්දී කරපිංචා කොළ එකතු කරන්නේ// ගොඩක් අය කරන්නෙම මුලින් ඕව ටික දාන එකනේ. මටත් හිතුනේ ඒ වැඩේ වැරදි කියල.

ඒ වගේම තව කතාවක් තියෙනව කරපිංච කැවෙන්න ඕන කියල. එපා කියන කතාවත් අහල තියේ. මොකක්ද හරි නිදිතුමෝ.

නිදි: නමී, කරපිංච- රම්පෙ- සේර- කුරුඳු පොතු- කරාබු නැටි- එනසාල් (කරදමුංගු) වගේ සුගන්ධකාරක ජාති හැම එකකම සුවඳ විහිදුවන තෙල් තමයි තියෙන්නෙ. ඒවා වාෂ්පශීලීයි.
ඉතිං හිතා ගන්න පුළුවන් නේද ඒවා මුලින්ම එකතු කළාම සිද්ද වෙන දේ.

කරපිංච කෑ යුතුද කියන ප්‍රශ්නෙට නං නමී විද්‍යාත්මක උත්තරයක් මට නෑ. විශ්වාසයක් හා අනුමානයක් විතරයි තියෙන්නෙ.
විශ්වාසය ඇති වුණේ
'යාපනයේ උදවිය හොදි මාළු පිනිවල තියෙන කරපිංචා කොළ අහක දාන්නේ නැතිව කන්නේ' කියන කතාවෙනුයි මුලින්ම...
දෙවනුව මුස්ලිම් උදවිය මස් උයද්දී කරපිංචා වගේ ජාති අඹරලා ගන්න බව ඇහුවාම...

අනුමානය 'කෙඳි- ෆයිබර් සහිත දේ ආහාරයට එකතු කර ගැනීම ඉතා සුදුසුයි' නම් හොදිවල තිබෙන කරපිංච කොළ කෑමත් හොඳ වෙන්නෙපැයි!'

නමීට එහෙම උත්තර දුන්නත් මගේ හිතට මදි මදි වගෙයි දැනුණේ. ඉතිං සෑහෙන වෙලාවක් අන්තර්ජාලයේ කරක් ගගහා ඒ ගැන විස්තර හෙව්වා. වඩාත්ම පිළිගත හැකි හේතු හමු වුණේ විනාඩි 6 තත්පර 8ක වීඩියෝ එකකින්. ඒක නම් කරලා තිබුණේ ‘පෙරේතකමට හොද්දේ තියෙන රම්පේ, කරපිංචා කන්න එපා’ කියලයි.

කොයි දෙයක් වුණත් කනකොට කන්න ඕනි මළ පෙරේතයෝ වගේ නෙවෙයි. තිරිත්තමක් ඇතුව... එහෙම නොකර- වගේ වගක් නැතුව කාගෙන කාගෙන ගියොතින් දිරවා ගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවනෙ. හිටපු ලොකු-ලොක්කෝ එහෙම කාපුවා ගැන දැන් දැන් එළි වේගෙන එනවා, පෝලිමේ...

නොවැම්බර් 14 වෙනිදාට යෙදිලා තියෙන ‘දියවන්නාව සුද්ද කරන මහා ශ්‍රමදානය’ට මේ තරමින් දායක වෙලා මදි නේද...

එව්වා දකිනකොට නොවැම්බර් 14 වෙනිදාට යෙදිලා තියෙන ‘දියවන්නාව සුද්ද කරන මහා ශ්‍රමදානය’ට මේ තරමින් දායක වෙලා මදි නේද කියලත් හිතෙනවා.

හෙට උදෙන්ම publish කරන්න හිතාගෙන මේ අන්තිම හරිය කෙටුවෙත්- නවත්ත නවත්තා... වැස්සෙන්, අකුණු සරවලින් බාධා වෙද්දී.

ඒ වගේමයි, උණුහුම් තොරතුරු දැන ගන්න තියෙන නොඉවසීමත් මැඩගෙන... අරහෙන් ගම්මන්පිල උන්නැහෙ කන්දක් විලි ලාලා කරන්න හදන හෙළිදරව්වේ විස්තර- මෙහෙන් ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයාගේ අබිරහස් මරණය- ඒ මදිවට රත්තරං උන්නැහෙගෙ බෑණාගේ ගෙදරින් හොයා ගත්තු ‘කෝටි 6ක් වටිනා සැප වාහන’ හුටපටේ...

එව්වා මෙව්වා මොනවා අහන්න- බලන්න තිබ්බත් ‘නිදිගෙ පංච තන්තරේ’ නොකඩවා කියවන ඔයාලා වෙනුවෙන් ලියන රාජකාරියත් ඉෂ්ට සිද්ද කරන්න ඕනි නෙව.
ඒ නිසා තවත් දවස් කීපෙකින්- තවත් අත්දුටු සූපවේද රහස් ටිකකුත් අරගෙන තුන්වෙනි කොටස ලියන්නම්. මේ සීරීස් එක ඉවර කරන්න බලාගෙනම.
ඔන්න එහෙනං, ඔයාලා හැමෝටම එතකල් ආයුබෝවන් කිව්වා!

42 comments:

  1. කොළකැද එකට ගම්මිරිස් කුඩු එකතු කරන එක මමත් කාලෙක ඉදන් කරනවා.. ඒකටම අබ ටිකක් එකතු කරන්නත් කියලා පොතක තිබ්බා මතකයි. හැබැයි ඒක අත්හදා බලා නම් නෑ.
    අනික් කාරනේ නම්
    ගෑනූ කවුරුවත් එයාලා උයන පිහින ක්‍රම අපි කිව්වාට වෙනස් කරන්නේ නම් නෑ .

    ReplyDelete
    Replies
    1. අසංග මහත්තයෝ, අබ කුඩු ටිකක් කොළ කැඳවලට එකතු කරලා රස බලන්නන්.
      මෙතෙක් නං මම කළේ පොල්කිරි කැඳ හදද්දී - අබ ඇට ටිකක් කබලේ බැදලා කුඩු කර එකතු කරන එකයි. ඒකත් වැඩිය කළේ නෑ. 'ඒකෙන් රස වැඩි වුණාට ගුණයක් නෑ' කියල අපේ මහරගම ආච්චී කියලා තිබ්බ නිසා.

      නෝනා මහත්තුරු කීකරු කර ගැනීමේ කලාව ගැන ඉතා රසවත් කතන්දරයක් මේ:
      https://www.facebook.com/search/top?q=%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9A%E0%B6%BB%20%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%80

      Delete
  2. ගොඩ දෙනෙක් කෑම ජාති හදන්නෙ පරම්පරාවෙන් ආපු හැමදාම හදන විදියට මිසක් ඒව පොඩ්ඩක් වෙනස් කරල අත්හදා බැලීම් කරන්න බයයි.

    අතුල අයියනං අති සාර්ථක ව්‍යාපාරිකයෙක් බව එයාගෙ ෆේස්බුක් පෝස්ට් බැලුවම තේරෙනව.

    ReplyDelete
    Replies
    1. ලුනුමිරිස්, දිවුල් ජෑම්, කීරමීන් හොදි, චීස්, අළුකෙසෙල් තෙල්දාල සහ ගොටුකොල සම්බෝල එක්ක මැකරෝනි කාල තියනවද?

      Delete
    2. ඔය කෑම වේල නිදි හෝටලෙන් "කැවෙව්ව" එකක්ද?

      ඉන්දියන් ආගන්තුක සත්කාර - "චල්"

      Delete
    3. Praසන්ன, අලුත් වෙනසක් කරන්න බයෙන් හිටි ගොඩක් උදවිය දැන් වෙනස් වෙවී ඉන්නේ! කාන්තාවනුත්.....

      අතුල අයියා කියපු දේවල්වලින් වෙනම post එකක් ලියන්න ඉන්නේ. දැනුම් සාගරයක්!

      Delete
    4. ඇත්තමයි Pra Jay, ඒ කෑම වට්ට්ටෝරුව දැකල මම හොල්මං වෙලා ඉන්නේ තවමත්.
      හැබැයි ඒකෙන් මතක් වුණා අවුරුදු 45 ක් විතර පරණ සිද්දියක්.

      පළමුවෙනි වතාවට කුරුවිට පාරෙන් සිරීපාදේ යන්න හිතුණා මට. මේ post එකෙනුත් කියලා තියෙන නැන්සි ආච්චී තමයි අපේ ගමේ වන්දනා ගමන් සංවිධානය කරන කෙනා.
      http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_15.html
      එයාගෙන් අහගත්තා යන්න ඕනි විදිහ- පාර- තැන් සේරම විස්තර.
      මමයි නඩේ ගුරා. දොළහක්ද කොහේද ගියා- අපේ ලොකු මල්ලී සුනිල්, නංගී පුෂ්පා, ආච්චී හා බතික් වැඩපළේ ළමයි.
      එතකොට කුරුවිට - එරත්නෙන් සිරිපා යන පාරට විදුලිය තිබ්බෙත් නෑ. අපිට යන්න වුණේ නොයෙක් ගැහැට මැදින්. වැස්ස නිසා පරක්කු වෙවී. කළුවර වැටෙනකොට අපිට යාගන්න පුළුවන් වුණේ ගරා වැටිච්ච - වහලේ ටකරන්වලින් බාගයක්ම සුළඟට ගසාගෙන ගිහිං තිබුණු අම්බලමකටයි.
      උයාගන්න විදිහක් නෑ. වැස්සේ දර හොයන්නද? බඩගින්නත් හොඳටම වැඩියි.
      අපි දවල්ට බත් බැඳගෙන ගිහිං තිබ්බේ. ඒත් පාර්සල් දෙකතුනක්ම ඉතිරි වෙලා තිබුණේ. එව්වයින් ෂේප් වෙමු කියල කතා වෙලා ඒවා ඇරලා බැලුව. පිළුණු වෙලා... නානුත් වෙලා.
      'කරන්න දෙයක් නෑ නිමල් මල්ලී. මම ගෙනාව අච්චාරු බෝතලයක් තියෙනවා. එව්වත් එක්ක මේ බත් කමු.' කියල ගමගේ අක්කා කිව්වා. අපේ නංගී අර පිළුණු වෙලා නානුවලින් බැඳිලා තිබ්බ බත් ගෙඩි කෑලිවලට කැපුවේ පුංචි පිහියකින්.එදා රෑ අපි හැමෝම අර බත් කෑලි දෙක තුනක් බැගින් කෑවා!
      ඒකටත් හපන් ඔයා කියලා තියෙන කෑම Pra!

      Delete
    5. බස්සා මහතාට සෑහෙන්න විවේක තියෙන පාටයිනේ.

      Delete
    6. @ ප්‍රා, අළුකෙසෙල්, ගොටුකොළ ඇරෙන්න අනික් ඒවනං මැකරෝනි වලට අවුලක් නැතිවෙයි මම හිතන්නෙ.

      Delete
    7. Praසන්ன මහත්තයෝ, මම ඔය ගැන විස්තර ටිකක් ඊළඟ කොටසෙදි ලියන්නං.

      Delete
  3. වැස්ස හොඳා ගොරෝ-ගොරෝ බුදියන්ට
    "අකුණු" විහිලු නොකර ඉඳිං "නිදි"යන්ට
    මුළුතැන්ගෙයි රහස් තවත් මඳි, දෙන්ට
    ගම්-මිරිස් දාපු කැඳ මොකටද බස්සන්ට

    ReplyDelete
    Replies
    1. මිටේ වපුල වී කන්නේ මෝල් හොරූ
      රටින් ඇවිත්, හයි-ටෙක් "ස්කෑම්"කෙරූ
      පාස්කු නාට්ටියේ බෝලෙ පාස් කෙරූ
      තාම යෙහෙන් වැජඹෙනවා පරණ මෝරු

      Delete
    2. ඉස්සර නං නඩු පැවරුවෙ නමට වගෙයි
      විමසන්නෙත් නැතිව එව්වා විසි වෙන්නයි
      ප්‍රකාශයක් දෙන්නත් දැන් බය පාටයි
      කපුටා හැංගිලා උන්නෙත් ඒ හින්දයි

      අවුරුදු ගණන් විමසිල්ලක් නොකර හිට
      දැන් කලබලෙන් 'පරක්කු ඇයි' ඇහුවාට
      කලබල නොවී- පෙරහර පිවිසෙයි මඟට
      කස පුපුරණව! හොර මෝරුත් බය ඊට

      Delete
  4. එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
    ඇල කන්ඩියේ ඉඳගෙන උඩු බිරුවාට
    පොල්කිරි නොදා මම පරිප්පු හැදුවාට
    මගේ මනාපය ගමයගෙ කුකුලෙකුට

    ReplyDelete
    Replies
    1. නරිමොටාට හමු වේවා තඩි කුකුළෙක්
      පළ දුන්නාම ඉස්සර කර තිබ්බ පිනක්!
      හැබැයි බලාගෙන - ගමයත් ලේසි කෙනෙක්
      නොවෙයි උන්දැ ළඟදිත් හැදුවානෙ වැටක්

      Delete
  5. ඉතිම් කොහොමද වාසෙ-දේසෙ නිදි. අකුණු ගගහා වහිනව නේද? ගමරාළත් පෝස්ට් එකක් ලියලා තිබ්බා දැක්කා.

    ජාතික ඇඳුමින් සැරසුන පාදඩ නරි

    ඔහෙට කියන්න නිමලෝ, මේ අවලම්මු නිසා, සායම යන්නෙ කාගෙද? මේ ඔරිමජිනල් නරි වන අපේ! අම්මපා ඔය අතමාරුවට කුකුළෙත් ඉල්ලගෙන යන්නෙත්, කුකුල් කොටුවක් දාගන්න නෙව? දැන් අපේ බිත්තර අපිම දාගන්න ඕනෙයි කියනව නේද?

    තව කමෙන්ට් වැටුනාම ආයෙ එඤ්ඤං, ඈ?

    ReplyDelete
    Replies
    1. නරි බිත්තර බස්සන්ගෙ ප්‍රියතම ආහාරයක්

      Delete
    2. ඇත්තමයි නරිමොටා උන්නැහේ, අජිත්ගේ post එක නියමයි.
      අපේ සායම චුට්ටක් ගියාම මොකෝ, සායමක් නැති ලොක්කෝ එකකට දෙකකට විතරක් උත්තර දුන්නට මෙව්වා නොදැක්ක වගේ ඉන්නේ.
      https://www.youtube.com/watch?v=MtMhBJvrGKc

      Delete
    3. බස්සෝ, දැන් අපේ ලෝයර් මහත්තයාත් 'ප්‍රකාශ ' නිකුත් කරනවා නේද?

      Delete
  6. // ලූව හරිය විතරයි ගාගෙන//
    ඒ කියන්නේ මොකක්ද

    ReplyDelete
    Replies
    1. Ano,පොල් බෑයේ සුදු පාටින් තියෙන මදය කොටසෙ උඩ හරියටයි ලූව කියන්නේ. ඒක තෙතමනය වැඩියි- කිරි රස වැඩියි.
      පොල් කටුවට ආසන්න කොටසෙ මදය වියළි ගතියෙන් වැඩියි.

      Delete
  7. කරපිංච සීන්එක වාගෙ තව දෙයක් අහල තියෙ. කිරිබත්. ප්‍රධාන වේලට කිරිබත් (දියට හුරැව. සමහර ඉන්දියන් ක්‍රමයට) කෑම ඉතාම යහපති. ශරීර ප්‍රතිශක්තිය, පරිවෘත්තීය ක්‍රියාවලිය වඩවයි. ආයුර්වේදයෙත් ඔය බව සඳහන්ව තියෙලු.
    ඒ වගේම ඉතිං සාම්ප්‍රධායිකව අපි කිරිබත සෞභාග්‍යයේ සංකේතයක් විදිහටත් සලකනවනෙ. (ඒකනෙ අර අහවල් රාජ්ජෙ රජා දිනුවම කිරිබත් කෑවෙ හිටං 😁)

    ReplyDelete
    Replies
    1. නමී- ප්‍රශ්නය පැහැදිලි මදි මහත්තයෝ.
      ඔයා කියන්නේ මෝරු ගැනද?
      එහෙමත් නැත්තං හීල් බත්වලින් හදන දියබත් ගැනද?

      සතුරු රජා මැරුණාමත් කිරිබත් උයපු අපි- මිතුරු රජෙක් මැරුණාමත් කිරිබත් ඉව්වා... නේන්නං... තව ඉස්සරහට මොනවා වෙයිද මන්දා- නමියෝ.

      Delete
  8. Waiting for Lotus Akki to comment, Akki ko?

    ReplyDelete
  9. මම චිකන් කරි හදන කොට පොඩ්ඩක් රෝස්ට් කරලා ගන්නවා . නැත්නම් පිච්චෙන්න අරිනවා පොඩ්ඩක් . - කමෙන්ට් වලිනුත් පෝස්ට් එකක් ලිව්වා හැකිනේ ඈ

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං අජිත් මහත්තයෝ, සමහර අය අයෙමත් ඇවිත් කමෙන්ට්ස් නොකියවන හින්දයි මම සමහර comments ඊළඟ post එකට ගන්නේ.

      Delete
  10. නරි මොටාගෙ පරිප්පු කරිය හැදුවා, හරිම රහයි. නිමල් කියලා තිබුනු විදිහට රෝස්පාන් රත් කරා (air fryer එකේ) හරිම රහයි. තැන්ක් යූ.

    'උමාමි' රස කියන්නෙ මොකක්ද කියලා හොයන්න ගියාම ඉංග්‍රීසියෙනුත් තියෙන්නෙ umami flavour කියලමයි. ගොඩක් අය ඒක වඩා savoury රසක් විදිහට තමයි විස්තර කරලා තිබුනෙ.

    "සුජානි නංගිලාගේ පොල් සම්බෝලේ හැදෙන්නෙමත් ලා රෝසපාටට. මිරිස් රහ අඩුවෙන්- කිරි රස වැඩියෙන් දැනෙන විදිහට" එහෙම තමයි රස. ඕනෙවට වඩා මිරිස් දාපුවම වෙන්නෙ අනිත් සියලුම රස විනාස වෙන එක.

    "මම බෙහෙත් ගන්න යද්දී, හම්බන්තොට සුජානි නංගිලාගේ ගෙදරිනුයි සමහර දවසකට පාතරාසය ගන්නේ". නිකම්ම උදේ කෑම කියලා ලියන්නෙ නැතුව, පාතරාසය කියලා වඩා ගෞරවය ඇතුවම නිමල් ලියලා නේද.

    ReplyDelete
    Replies
    1. ආ ලෝටස් අක්කි , මමම මතක් කරන්න ඕනේ ද නිදි අන්කල් ගේ පොස්ට් එකට කමෙන්ට් කරන්න කියල? අක්කි හරිම නෝටි ! අක්කි මොන රටේ ද ඉන්නේ? අපිටත් එන්න පුළුවන් රටකද? අක්කි හොඳ කූක් කෙනෙක්ද? ආසයි දැනගන්න

      Delete
    2. @ Lotus, ඔන්න ඔයාගෙනුත් නරිමොටා උන්නැහේට ලකුණක්.
      මට යන්තම් මතකයි අපේ ක්‍රමයට දිවට දැනෙන රස වර්ග කරද්දී 'කහට' රසයක් ගැන කියෙව්ව වගේ. හැබැයි ඒක උමාමි රස වෙන්න බෑ.
      ඒ වගේමයි, ඔයාට ගොඩක් ස්තුතියි- සමහර දේවල් අත්හදා බලලා ගුණාගුණ කීම වෙනුවෙන්!

      පාතරාසය හොඳ සිංහල වචනයක්නේ, Lotus. මෙහෙම යෙදුවාම කියවන කෙනෙකුත් ඒවා ඉගෙන ගන්නවානේ- නොදැනුවත්වම.

      Delete
    3. https://www.facebook.com/groups/sinhalalanguage/posts/2493253050841077/

      Delete
    4. දිවට දැනෙන රසය කොහොමද කියලා දිව්‍යලෝක රසය" නමැති පොතේ ලියා තිබුනා මතකද නිදි ?ලෝටස් අක්කි නම් ඒ පොත බලල නැතුව ඇති

      Delete
    5. @ Anonymous October 24, 2024 at 11:23 PM
      ස්තුතියි Ano, ඔයා එවා තියෙන තොරතුර වෙනුවෙන්.

      Delete
  11. අල කිරි හොදි හදන කොට ඇඹුලට තක්කාලි, දෙහි, සියඹලා වගේ දේවල් දානවද, නැත්ද? යූටියුබ් රෙසිපියකට අල කිරි හදලා තෙම්පාරාදුවත් දැම්මා. හොඳට තියනවා, ඒත් නිකං හිතට හරි නෑ, ඇඹුලට කිසිම දෙයක් නොදාපු නිසා. ඇඹුල දැම්මොත් අල වෙයිද? වාසි,අවාසි මොනවාද? නිදිගෙ අල කිරි හොද්දෙ රෙසිපිය දෙන්න ඇහැකිද?🙏

    ReplyDelete
    Replies
    1. මම නං අල කිරට උයද්දී ඇඹුලට යමක් එකතු කරනවා. දෙහි මිරිකන්නේ නං හොද්ද ළිපෙන් බාලා චුට්ටක් නිවුනාම.
      තක්කාලි දානවා නං හොද්ද ළිපෙන් බානකොට.
      විශේෂ රෙසිපියක් නං නෑ, Ano. සමහර වෙලාවට නං අබ කුඩු ටිකකුත් දානවා.

      මම කම උයද්දී වත්තේ- ගෙදර තියෙන දේවල්වලින් ගොඩක් වැඩ ගන්නවා. මේ දවස්වල මස්- මාළු- එළවලු ජාති විතරක් නෙවෙයි පරිප්පු උයද්දී පවා පාවිච්චි කරන ඇඹුල 'පැණි කාමරංගා'. කරවල තෙල් දානකොටත්...
      මිදුලේ ගහේ ගෙඩි යහමින් තියෙන නිසා.

      Delete
    2. මගේ කමෙන්ටුවේ දෙවෙනි ඡේදයේ දෙවෙනි වචනය කම 'කෑම' වශයෙන් නිවැරදි විය යුතුයි, හොඳේ.

      Delete
    3. ආන්න ජංසං. තව දාහක් වටිනවා, මටත් වටිනවා.
      //මම කම උයද්දී ...තියෙන දේවල්වලින් ගොඩක් වැඩ ගන්නවා. මේ දවස්වල ...පාවිච්චි කරන ඇඹුල 'පැණි කාමරංගා'//
      දෙහි නෑ, ලෙමෙන් ටිකක් දාලා බලන්නම්.🙏💐👌

      Delete
    4. ස්තූතියි. තක්කාලි දැම්මොත් කල්තබා ගන්න අමාරුයි කියනව නේද?

      Delete
    5. ලෙමන්, නාරං. හීං නාරං වගේ ඕනි ඇඹුල් ජාතියක් අල කිරි හොද්දට ඔට්ටුයි බස්සා මහත්තයෝ.

      Delete
    6. අල හොදි ඉක්මනින් නරක වෙන්නේ ඒකට උළුහාල් වැටෙන නිසා කියලයි මගේ දැනීම. අනෙක Ano, අපි අල තම්බල නිවුනාම පොතු ඇරලා ගන්නකොට එහෙමත් ඒවා අත ගෑවෙනවා වැඩියිනෙ.

      ඔයාගේ ප්‍රශ්නයෙන් තවත් කාරණයක් මතු වුණා මහත්තයෝ.
      මම කරන විදිහට තක්කාලි, බීළූනු එහෙම අන්තිම මොහොතේ හොද්දට එකතු කළාම ලස්සනයි- වෙනම රහකුයි දෙනවා තමා. ඒත් වැඩි පැය ගණනක් තිබ්බොත් පිළුණු වෙන්න බලනවා.

      Delete
  12. ඔහෙට කියන්න ආයිබෝං, මේ හිමේ පස සාරවත් නිසා හිටු කියල අල බහිනවා. වාරෙට අල ගෝනිය තුට්ටුවට යනවා. ඒත් අපි වගේ අවාසනාවන්ත රට නරි, හරියට අල හොද්ද හදා ගන්න දන්නෙ නෑ. මම දන්න නරිච්චියෙක් හිටියා, තෙල් පෑදෙන්න අල කරිය හදනවා. ඒත් කවදාවත් සෑස්තරේ දුන්නෙ නෑ.

    ඒත් මේ රෙසිපිය හරි ගියා.

    තෙල් පෑදුන අල කරිය

    ReplyDelete
    Replies
    1. නරිමොටෝ, පෙරේදා පූරි හැදුවා මෙන්න මේ අල කරියත් එක්ක. කොත්තමල්ලි කොළ හෙම දාලා.

      https://www.youtube.com/watch?v=L8A0dcUK6tM&t=18s

      Delete