අකුරු මැකී නෑ

Thursday, September 10, 2026

පොකුරු පොකුරු මතක පොකුරු - පළමුවෙනි කොටස

‘... ඩුං, ඩුං, ඩුඩුං, ඩුං’ කියල ළමා කතන්දර පොතකුත් තිබ්බ අපි සුට්ටි එව්වො කාලෙ...…පොඩි සන්දියෙ ඉස්සෙල්ලම මම කතන්දර පොතක් කියෙව්වෙ මට මතක විදිහට අවුරුදු හතරෙදි පහේදි විතර. යන්තමට අකුරු ගැටගහගෙන තටම තටම කියෙව්වෙ....

කුඩ හොරා පොත ලිව්වෙ සිබිල් වෙත්තසිංහ මහත්මිය. කියවල ඇතිනෙ නේද අර වඳුරෙක් කුඩ හොරකං කරගෙන අරං යන කතාව.

කොහොම හරි ඒ ඉස්සෙල්ලම ඉස්කෝලෙ යන්ටත් ඉස්සෙල්ල කියල නම් හොඳටම මතකයි. පොතේ නම තමයි මතක නැත්තෙ. "නයි-මුගටි හටන", "කුඩ හොරා", "ඉරුණු බළලා" හෝ ඔය මම කලිං කියපු "ඩුං ඩුං ඩුඩුං ඩුං" කියන පොත්වලින් එකක් වෙන්න ඕන. ඉරුණු බළලා සහ ඩුං ඩුං ඩුඩුං ඩුං ලිව්වෙ කේ. ජයතිලක මහත්මය. නවකථා කෙටිකථා විතරක් එහෙම නෙවෙයි එතුමා ළමා කතා ලියන්නත් රුසියා.

කුඩ හොරා පොත ලිව්වෙ සිබිල් වෙත්තසිංහ මහත්මිය. කියවල ඇතිනෙ නේද අර වඳුරෙක් කුඩ හොරකං කරගෙන අරං යන කතාව. ඔය කුඩ හොරාගෙ කතාව මගෙ හිතට කොච්චර බලපෑමක් කලාද කියල පැහැදිලි කරන්න මෙන්න චුට්ටි උදාහරණයක්... එක වැස්ස දවසක අපෙ අම්ම හම්බ වෙන්ට ආව ඔන්න අම්මත් එක්ක එකට වැඩ කරන අම්මගෙ යාලු නැන්දල තුන් හතර දෙනෙක්.

එයාල ගෙනාපු කුඩ වතුර බේරෙන්ටත් එක්ක ඉස්තෝප්පුවත් එක්කම තියන පිලේ හේත්තු කරලයි එයාල ගෙට ආවෙ. ඔන්න යන්ට ලැහැත්ති වෙලා බලනකොට කුඩ නෑ...

"කෝ වීරෙ අපේ කුඩ?"

ඒ නැන්දල ඔන්න එහෙ මෙහෙ විපරං කරන්ට පටං ගත්ත. අම්මත්  හොඳටම අප්සෙට් වෙලා හොයනව කුඩවලට මොකද උනේ කියල.

"අර කුඩ හොරා ඇවිල්ල කුව ගෙනියයි කියල මම කුඩ ගේ ඇතුලෙන් තිබ්බ."
කුඩ හතර පහ බදාගෙන උස්සගෙන ගේ ඇතුලෙ ඉඳං එන ගමං මම කිව්ව.

"අනේ ඇත්තම නේන්නං, පුතාට එහෙම හිතුන එක කොච්චර එකක්ද?"

රත්නායක නැන්ද මගෙ ඔලුව අතගෑව. ළමයෙකුගෙ හිත ඇදගන්න විදිහට ලියවුනු ළමා කතන්දර පොතකට ළමා සිතකට කරන්න පුලුවන් බලපෑම අන්න එහෙමයි.

ජීවිතේ ඉස්සොරෝම මතක තියෙන්නෙ මොනවද? එහෙමත් නැත්තං මොන වගේ සිද්ධියක්ද? පොඩ්ඩක් මතක් කරල බලන්ට ඔලුව එහෙම කහල. මට නම් ඉස්සෙල්ලාම කියල මතක තියෙන්නෙ ඉපදෙනකොට මගෙ බෙල්ල වටේ දෙපාරක් පෙකණි වැළ පැටලිලා තිබ්බ එක.

"මේ මොකද්ද බොලේ මේ? කුරහං සාටකයක්වත්ද හැබෑටම?”

ඔහොම මටම කියාගන්න ගමං මම ඒ පෙකණි වැල බෙල්ල වටේ එතිල තිබ්බ පැටලුං ඇරල අයිං කරල දොස්තර දිහාවෙ බලල හිනාවෙලා දොස්තරට දකුණු අතේ මාපට ඇඟිල්ල උස්සල පෙන්නුව. ඒ තමයි මට මතක තියෙන මුල්ම සිද්ධිය. හෙහ්,හෙහ්...

මට මතක තියෙන විදිහට මං පුංචිම කාලේ අමාරුවෙන් අමාරුවෙන් කියෙව්ව පොතත් සිබිල් ඇන්ටිගේ පොතක්. දුවන රැවුළ!

හරි, හරි, ඒ කතාව ඇත්තමත් නෙවෙයි ඇත්තම කිව්වොත්. ඇත්ත ආශ්‍රයෙන් කල ප්‍රබන්ධයක්. මගේ බෙල්ල වටේ පෙකණිවැල දෙපාරක් පැටලිල තිබ්බ එක තමයි ඇත්ත සිද්ධිය. අපෙ අම්ම මට එහෙම කිව්ව. අන්න ඒ හින්දයි මම ඒ ගැන දන්නෙ...’

‘නිදහස් සිතුවිලි’ බ්ලොග් අඩවියේ තියෙන ‘ඩුං... ඩුං…ඩුඩුං…ඩුං’ කියන 276 වෙනි post එකෙන් ගත්තු කොටසක් තමයි මෙච්චෙල්ලා ඔයාල කියෙව්වේ. රවී වීරසිංහ සහෘදයා ඒ පෝස්ටුව ලියල තියෙන්නේ 2014 අගෝස්තුවේ.

“රවී අයියගේ ඒ අපූරු post එක මගේ බොක්කටම වැදුණා. නිමල් අයිය දන්නවද මොකද කියලා... ලියලා තියෙන style එකයි, තව කාරණයකුයි නිසා. රවී අයිය වගේමයි මමත්- මට මතක තියෙන විදිහට මං පුංචිම කාලේ අමාරුවෙන් අමාරුවෙන් කියෙව්ව පොතත් සිබිල් ඇන්ටිගේ පොතක්. දුවන රැවුල!” අමිල මගෙත්තෙක්ක කිව්වෙ අවුරුදු තුන හතරකට කලින්.

අමිල රවී එක්කත් හිතවත්කම් වගා-දිගා කරගෙන තියෙන්නේ blog අඩවිය හරහා; මගේ එක්කත් එහෙමමයිනෙ...

බ්ලොග්ස් නොලියන අමිල ඒ දවස්වල ‘සිරිබිරිස්’ කියන නමින් comment කෙරුවා; දැනුත්...
“එතකොට අමිල Pra Jayව අඳුනගත්තෙ කොහොමද- ප්‍රා ජේ මහත්තයා blog ලියන කෙනෙක් නෙවෙයිනේ.” එදා මං ඇහුවෙ පුදුමෙන්.

“Pra බ්ලොග් නොලිව්වට එව්වා කියවල පෝර දානවනේ... පෝර දාන කෙනෙක් නිසා තමා ප්‍රා සෙට් උනේ... ඒ දවස්වල නිමල් අයියේ, කමෙන්ට් කරන අය අතරත් යාළුකම් තිබුණා. කවුරු හරි මනුස්සයෙක් මගේ ෆ්‍රීකුවන්සියෙයි කියල තේරුණොත් ඉතිං මං ඒ මනුස්සයව හොයාගෙන ගිහිල්ල බලනවනෙ...”
“ඔය විදිහට බලද්දී, බ්ලොග්ස්වලින් අදහස් බෙදා ගන්නවා විතරක් නෙවෙයිනේ, අලුත් යාළු මිත්‍රයොත් හදා ගැනෙනවනේ.
ඒක නෙවෙයි අමිල මහත්තයෝ... මට කියල ඉන්නකො සිබිල් ඇන්ටි ගැන... කලින් දවසෙත් ඒ ගැන කතා කර-කර ඉඳල මඟින් නවත්තන්න වුණානෙ...”

මිලදී ගන්නා පොතක් හිතට ඇල්ලුවොත් එහි කතුවරයා / කතුවරිය හොයාගෙන ගොස් හෝ ඔවුනගේ අත්සන් ඒ පොතට ලබා ගැනීම අමිලගේ පුරුද්දක් බව කලින් ලිව්වෙමි.

“ඔව්! ඒ පුරුද්දට තමයි මං මුලින්ම සිබිල් ඇන්ටිව හොයාගෙන පැපිලියානේ එයාගේ ගෙදරට ගියේ. කතාබහ කරලා ඊට පස්සේ මගේ ළඟ තිබ්බේ නැති එයාගේ සමහර පොතුත් එයාගෙන් ගත්තා. ඔයා දන්නවනෙ මගේ හැටි!
සිබිල් ඇන්ටි හරි හොඳයි... ඔය කාලෙදි සිබිල් ඇන්ටිට මගේ පොඩි love එකකුත් තිබුණු තරං..
ඇන්ටිටත් මාව හිතට අල්ලලා තිබුණ කියලයි මට හිතෙන්නේ...”

ආච්චි කිව්වලු ලොකු ගස්වල රුක් දෙවිවරු වැඩ ඉන්නවයි කියල...

“මටත් සිබිල් ඇන්ටිව මුණ ගැහිල තියෙනවා. පියසිරියෙදී. එයාගේ ‘මැටි ගෙදර ළමයි’ පොත රීප්‍රින්ට් කරනකොට...” එතකොට මං අමිලට කිව්වා. හැබැයි, එවෙලේ මං අමිලට නොකිව්ව දෙයකුත් තිබුණා.

මට නං සිබිල් වෙත්තසිංහ මහත්මියව එච්චර හිතට ඇල්ලුවේ නෑ! අනේ, එහෙම වුණේ එතුමියගෙ අතේ තිබුණු වැරැද්දක් නිසා හෙම නෙවෙයි! තකතිරු මගේ තියෙන වැරැද්ද නිසයි. මගේ ඇහේ මිම්මෙන් බලද්දී සිබිල් ඇන්ටි රූපවතියක් නෙවෙයි; ඒක වෙන්නැති...

මගේ වැහැංගීම අමිලට පෙනෙන එකක්යැ. එයා දිගටම කතා කරගෙන ගියා.

“... ඇන්ටි විකුණන්න ඇඳලා තිබුණු චිත්‍ර කීපයකුත් මම ගත්තා. ඒ සැරේ සිබිල් ඇන්ටි එයා ගණනේ තව චිත්‍ර කීපයකුත් මට තෑගි දුන්නා.
ඔයා දන්නවද නිමල් අයියේ දවසක් එහෙ ගිය වෙලාවක සිබිල් ඇන්ටි මට කියපු කතාවක්. ඒකෙන් කියැවුණේ හරිම සුන්දර කන්සෙප්ට් එකක්!

-එයා හිටියෙ උඩ තට්ටුවක. ඒකෙ බැල්කනියේ අතු වැදෙන අඹ ගහක් තිබුණා. ඇන්ටි මට කිව්වා, එයා හැමදාම ඒ අඹ ගහට වඳිනවා කියලා. එයාගෙ ආච්චිලු ඇන්ටි පුංචි කාලේ ඒ පුරුද්ද ඉගැන්නුවේ. ආච්චි කිව්වලු ලොකු ගස්වල රුක් දෙවිවරු වැඩ ඉන්නවයි කියල...

-රුක් දෙවියො ඉන්නව හෝ නැතා, දරුවො පොඩි කාලෙම ගහ-කොළවලට ගරු කරන්න පුරුදු කරවන එක කොච්චර හොඳද?” අමිල එහෙම කියනකොට මගෙන් සිබිල් ඇන්ටිට +ලකුණු කිහිපයක්ම එකතු වුණේ මටත් නොදැනී...
අවට ලෝකයට, ගහට-කොළට, ඇලට-දොළට, ගඟට-මුහුදට, සතා-සීපාවාට ගරු කරන; ආදරේ කරන ඇත්තන්ට / ඇත්තියන්ට මං වහන්සේත් හරිම මනාපයි! මට තේරුම් ගිහිං තියෙන විදිහට නං ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය ඔයාලාත් එහෙම උදවියයි.

“ඉතිං බොසා- මම සිබිල් ඇන්ටිට කියල තිබුණනෙ මට චිත්‍රයක් ඇඳලා දෙන්න. ඕක මම රවී අයියටත් කිව්වා- අපි කතා කරන වෙලාවක... රවී අයියත් සිබිල් නැන්දට love හන්දා මං ඇහුවා ‘අයියේ උඹට නැන්දා ඇඳපු original චිත්‍රයක් ඕනිද’ කියල.
පටස් ගාලා උත්තරේ ලැබුණා ‘අනේ මල්ලියේ දියංකො’ කියලා.

-තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියනවනේ. සිබිල් නැන්දා මට තෑගි කරලා තිබුණු චිත්‍රවලින් එකක් රාමු කරව ගත්තා, රවි අයියට දෙන්න.

-තව, රවී හොය-හොය හිටියා නුවර ගැන ලියවෙච්ච පොතක්. පරණ පොත් සාප්පුවකදී මට ඒ පොතත් හම්බ වුණා. අර චිත්‍රයයි, මේ පොතයි දෙකම මේ සැරේ රවී අයියට දෙන්න තියෙනවා. ඒකට කොහොම හරි දවසක් දාගෙන මම නුවර යන්නයි ඉන්නේ. නිමල් අයියා මොකද කියන්නේ- යංද...”

අර ‘Sunlight’ ad එක ෂූට් කරල තියෙන්නෙත් නාරම්පනාවෙදිලු...
“රවීලගේ ගෙදරද?”
“ගෙදරටත් යමු. ඔයා බෝමුරේ ගිහිල්ල තියෙනවද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ව අත්අඩංගුවට ගත්ත තැන. ඒ ගමන්ම එහාටත් යන්න හිතේ තියෙනවා. තව විමලරත්න කුමාරගම මහත්තයාගේ සොහොන බලන්න යන්නත් ආසයි... ලොක්ක නං ඔය දෙපොළටම ගිහිං ඇතිනෙ...”

අමිල එහෙම ඇහුවම නං මට ලජ්ජත් හිතුණා.
විසි අවුරුද්දකට විතර කලින් සිද්ද වෙච්ච දෙයක් මතක් වෙලයි ඒ.

අපේ හොඳම  හිතවතෙකුගේ ඥාතියෙක් හිටියා නුවර මැණික්හින්නේ. දීර්ඝ සති අන්තයක් ආවොත් එයාගේ සිය පවුලම මැණික්හින්නේ යන්නයි පුරුදු වෙලා උන්නේ. එහෙම යන හුඟක් දවස්වල අපේ නඩෙන් කීප දෙනෙකුවත් අඬගහගෙන ගියා. ඒ ගමන්වල මුඛ්‍ය පරමාර්ථය වුණේ උපරිම විනෝදය ලබා ගැනීමයි. (එයාලා ඒ විනෝදය store කරල තියෙනවය කියල හිතුවේ බෝතල්වලයි!)

නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය රසික- රසිකාවියන් නං දැන් හිතනවා ඇති ‘අමද්‍යප නිදි’ කොහොමද එතැනට ගැලපුණේ කියලා.
මෙහෙමයි... ඒ නඩේට හිටිය එකම වාදකයා අපේ නෙවිල් අනුරසිරි. ප්‍රධාන ගායකයෙකුයි, හරිම පොහොසත් ගීත ගබඩාවයි වුණේ නිදි. ඒකයි, තිස්සෙම මටත් ඒ ගමන්වල ඉඩක් වෙන් කෙරුණේ.

එහෙම මැණික්හින්නේ ගිය දවස්වල අපි නාරංපනාවටත් ගියා. නාන්න...
“එතැන හරි ආතල් මචං. ලස්සන ගඟක් තියෙන්නේ. ගැඹුරුත් නෑ... ගඟ දෙපැත්තේම කුඹුරුයි, ගසුයි. මාර නිස්කලංකයි.” ගෙහිමියා අපේ මිතුරාට කිව්වා. එතැනම හිටිය එයාගේ ලොකු පුතණ්ඩියාත් තාත්තගේ කතාවට මුක්කුවක් ගැහුවේ මෙහෙම කියමින්.

“ඔව්, අන්කල්. මේ දවස්වල tv එකේ යන අර ‘Sunlight’ ad එක ෂූට් කරල තියෙන්නෙත් එහෙදි... ඒ පාරෙමයි කුමාරගම මහත්තයාගේ සොහොන තියෙන්නෙත්...”

එතකොට නං අපේ ‘කළු සුද්දෙක්’ පුදුම වුණත් එක්ක... “Who is Kumaragama?”
“😒😒😒එයා ගැන දන්නෙ නෑ? ලජ්ජයි හලෝ ලජ්ජයි... Mr. නිමාාාාල්... මෙන්න මෙයාට කියන්නකො කුමාරතුංග මහත්තයා කවුද කියලා.”

“කුමාරතුංග නෙවෙයි මහත්තයෝ- කුමාරගම... විමලරත්න කුමාරගම... ලංකාවේ හිටිය හොඳම කවියෙක්... ඉපදිලා තියෙන්නෙ නාරම්පනාවේ... අහල තියෙනවද මේ කවිය.       

වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ      රත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි           නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ             මත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇත

-ඒ ‘අයියනායක’ කවි පන්තියේ කවියක්.

-මෙන්න මේක කියවනකොට නං පුදුම දුකක් උපදින්නේ. රස්සාවට මිණී කපන හේරත් හාමිට සිද්ද වෙනව එයාගෙම නංගිගෙ මිණිය කපන්න.

මෙව්වා හොය හොයා කියවන්න වටින කවි හලෝ!

අලියා වැටුණු වැව සිටි හේරත්            හාමි
මා වැනියකු වුවද මම වැදගත්              වීමි
මිනී කපන මුත් ඒ හේරත්                  හාමි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන්   දෑමි

-මෙව්වා හොය හොයා කියවන්න වටින කවි හලෝ!”

එවෙලේ මං එහෙම කිව්වත්, ඒ කවි දෙකෙන් එකක්වත් අර කළු සුද්දාගෙ හිතට ඇල්ලූ විත්තියක් මට නම් පෙනුණේ නැත.

ඒත් සන්ලයිට් දැන්වීම ගැන කතාව නං උන්නැහේට වැදිලාය. “සොහොනක නං ඉතිං මොනව බලන්නද? ඒත් මචං අර ගඟ ළඟට ගිහිං ගලක් උඩ වාඩි වෙලා, සීතල වතුරේ කකුල් දෙක ඔබාගෙන- ෂොට් එකක් දාන එක නං නියමෙට තියෙයි.”

(ඒ සබන් දැන්වීමේ හිටි නිරූපිකාව ‘රෝහිත රාජපක්ෂ මහත්මිය’ බවට පත්වුණු විත්තිය අප දැනගත්තේ පසු කලකය.)

පැරණි දේ අගය කරන, ඉතිහාසගත දේවල් සොයා යන අමිල වැනි කෙනෙකු- මං වහන්සේට මැණික්හින්නේදී සිද්ද වුණු ඒ සිද්දිය දැනගන්නේ මේ පෝස්ටුව කියැවූ විටයි!
එදා; 2025 අන්තිම කාර්තුවේ මුල් දවසක අපේ ඒ කතාබහ කෙරුණු විත්තිය ආපහු මතක් කරන්නෙමි.

“මං ඔය දෙතැනින් එකකටවත් ගිහිල්ල නෑ මහත්තයෝ. යන්නත් ආසයි. ඒත් මම දැන් සීඝ්‍රගාමී නෙවෙයි බඩගාමී...”
“ආයෙ වචනයක්වත් කියන්න එපා ලොක්කා. බඩගාමී... ඔය වෙලාවට තමයි මට යකා නඟින්නේ. ඕන්න ගමන කන්ෆර්ම්. මම ප්‍රදීප්ගෙනුත් ඇහුවා. පොරත් එනවයි කිව්වා.”

“Pra Jay මහත්තයා කොහොම හරි එයි, අමිල.
ඉතිහාසගත දේවල්වලට මාර ආසාවක්නෙ එයාට තියෙන්නේ.”
“ඒක නං ඇත්තයි අයියේ. හිස්ට්‍රි ගැන ප්‍රාට තියෙන්නේ පුදුම ආසාවක්. මිසිස් ජයතුංග කිව්වා- දවසක් එයාලා ගියාලු ෆියුනරල් එකකට. මෝදර සිමෙට්‍රියට. ටිකකින් ප්‍රදීප් මිසින්ලු. බලනකොට පොර සොහොන්කොත් කියවනවලු... 

දවසෙන් දෙකෙන් අපේ ගමන සංවිධානය වුණේය.

“නිමල් අයියේ, ප්‍රදීප් එයාගේ ඩබල් කැබ් එක අරං එන්නං කිව්වා. වාහනේට second option එක විදිහට නෙවිල් අයියගේ වාහනේ ඔලුවේ තියාගෙන ඉඳිමු. එතකොට ප්‍රායි, නෙවිල් අයියයි, නමියයි, ඔයයි, මමයි... පස්දෙනා මෙහෙන් යන්නෙ. රවී අයිය නුවරින් අපට එකතු වෙනවා.”
“ංආ, රවිත් එනව කිව්වද අමිල?”

“කිව්ව නේන්නං. මං හැදුවේ බෝමුරේ යන ගමන් හරි, එන ගමන් හරි රවී අයියලාගේ ගෙදට්ට යන්න. ඒක කියපු ගමන් ඒ යක්ෂයා කිව්වනේ -අනේ මල්ලියේ, මාවත් එක්ක පලයං, මම ඔය තැන්වලට ගිහිල්ල නෑ- කියලා. එතකොට නං මං හොඳ දෙකක් කිව්වා, 😞😞😞 තෝව මරන්න එපැයි, නුවර ඉඳලත් ඔව්වා බලන්න ගිහිං නැත්තෙ කියල...”

දස්කොන්ට දං ගෙඩිය හිමිවී, හිස් ගෙඩිය අහිමි විණි.

රවීත් ගමනට එනවා නං මං වහන්සේට විසුමක් වෙන්නේ නැත!

විසැස් කමලාව; ප්‍රමිලා දේවිය දස්කොන් අධිකාරම සමඟ තහනම් ගහේ ඵල අනුභව කොට නරේන්ද්‍රසිංහ රජතුමාට හසුවීම කෙළවර වුණේ ඛේදවාචක දෙකකිනි. දස්කොන්ට දං ගෙඩිය හිමිවී, හිස් ගෙඩිය අහිමි විණි. ප්‍රමිලා බිසවුන් හඟුරන්කෙත වැවේ ගිල්වා මරා දැමිණි. ඒ වැව ගොඩ කරන කාලයේ; 1972දී වැව පත්ලේ තිබී ගල් බරු දෙකක් ගොඩ ගැනුණේල. 1996දී අර ඉතිහාස කතන්දරය පිළිබඳ වැඩිමනත් තොරතුරු සොයා හඟුරන්කෙත සංචාරයක යෙදුණු මට එයින් එක ගල් බරුවක් දැකගැනීමේ වාසනාව ලැබිණි.

ඒ විත්තිය 2019දී හිතවත් Pra Jayට කියූ විට...
ඔයාලා හිතුවා හරියට හරිය. අපි
හඟුරන්කෙත ගියෙමු. ගල් බරුව තියා, එය තිබුණු දර මඩුවේ ලකුණක්වත් ඉතිරිව තිබුණේ නැත!

ඒ විත්ති මතක් කරමින් කියැවෙන උපහාසාත්මක අනේක වදන්වලින් මේ නිමල් දිසානායකයාව තවමත් බයිට් වෙයි. ඒ ගමනට සහභාගී වුණු හතර දෙනෙකුටම මුහුණ දෙන්නටය දැන් මට සිද්ද වෙන්නේ. ඒ ගමනේ සාමාජිකයෙකු නොවුණත් නමී උන්නැහෙත් අරගොල්ලන්ටම උඩගෙඩි දෙනවා සිකුරුය...

කම් නැත!
තමන්ගේ අඹු සිඟිත්ත දික්තලා, අතරමඟදී හාද වුණු දික්පිටියා හා එක්ව තුටු පහටුව ඔයෙන් එතෙරව යද්දී, දියේ ගිලෙතියි බියෙන් ගැහි-ගැහී දියට නොබැස කල් මරමින් හුන් කාළගෝලයා අන්තිමේදී ‘මියෙම්වා රැකෙම්වා’ කියා එඩි වඩා දියට බට ලෙසින්...😟😟😟
මමත් මොවුනට මුහුණ දෙන්නෙමි!
ඔව්... 2025 නොවැම්බර් 22වෙනිදාට නොබියව මොවුනට මුහුණ දෙන්නෙමි!!    

ඒ විස්තරේ ඊළඟ කොටසෙන්...

6 comments:

  1. කොහොමත් බ්ලොගර්ට, ගූගල්ගෙන් ලැබෙන්නෙ කුඩම්මගෙ සැලකිලි තමයි. ඔක්කොම අවුට් ඩේටඩ්, හරි හමන් අප්ඩේට් එකක් ආපු කාලයක් මතක නෑ. මහිතේ "වර්ඩ් ප්‍රෙස්" එහෙම නෑ. ඒකට මාරු වෙන්න පුළුවන් ඒත් අවුල තියෙන්නෙ, බ්ලොගර් දාලා යන්න බැරි හේතු තියෙන එකයි.

    බ්ලොගර් නොන්ඩි ගහ,ගහ දිව්වත්, කමෙන්ට් කරන්න තියෙන ලේසිය, බ්ලොග් රෝල, Blog Archive ගහ වගේ දේ වලට අපි දැන් පුරුදු වෙලා නිසා "වර්ඩ් ප්‍රෙස්" යෑම විසඳුමක් වේවිද මන්දා? ඒත් බ්ලොග කියන්නෙ, එක්තරා ආකාරයක අපේ ඩයරියක් වගේ නිසා. මට හිතෙනවා "වර්ඩ් ප්‍රෙස්" වල බැකප් එකක් අරින්න.

    ReplyDelete
    Replies
    1. අප්ඩේට් එකකට යන ගමනේ වැරද්දක් වෙලා වගෙ ගූගලයගෙන්. ලෝකවාසී ඔක්කොටම සම්බුව හම්බෙලා. සමහර බ්ලොග් අඩවි අත්හිටුවල. නව ස්වයං ආරක්ෂණ පද්ධතියෙ අවුලක් බව තමයි කියවෙන්නෙ. වැදගත් දේවල් තියෙන අය කොහෙ හරි මේවා බැකප් කරගන්නවානම් යහපති වගෙත්!


      👉​වැඩි දුරටත් thewordcracker.com ලිපියත් බැලුවනම් හිට👈

      Delete
    2. අහා! ස්තූතියි නමී අප්ඩේට් එකට. එකාතකට කමක් නෑ කියලත් හිතෙනවා, නිකං හම්බු වෙන අස්පයගෙ දත් බලන්න බෑ නෙව? අනික වරදින්න හරි, මෙහෙම හරි අප්ඩේට් එන එකත් එකාතකට හොඳා. මම "වර්ඩ් ප්‍රෙස්" ඔප්ෂන් එක චෙක් කලා. ඒක සාල වනයක්. බැකප් තියනවා, තව "ගූගල් ටේක් අවුට්" කියන ෆුල් බැකප් එකත් තියනවා

      මේක දාලා යන්න බෑ. බ්ලොගර් වල තියන පහසුකම් වෙන කොහේවත් නෑ. නමියො, නිදිගෙ බ්ලොග් එකෙත් බැකප් එකක් අරන් දියන්කො.🙏

      Delete
  2. අද කතාව මසුරං. එක හුස්මට කියෙව්වා.
    //මට නං සිබිල් වෙත්තසිංහ මහත්මියව එච්චර හිතට ඇල්ලුවේ නෑ!//
    පෞද්ගලිකව දන්නෙ නෑ, ඒත් ඇගේ චිත්‍ර හරිම ප්‍රිය මනාපයි. ඒකම පෑහෙන වර්ණ සංයෝජනකුත් තියෙනවා.

    අද කතාවත් බොහෝ දෙනෙකුට මිස් වේවි,කලින් එක වගේම..... 😞

    ReplyDelete
    Replies
    1. ඔහොම ටිකා...ක් ඉමු ලොක්කා. මේ කෝඩෙත් යන්න යාවි. දැනට දවස් දෙකක් යනවා, සින්ඩි වල අප්ඩේට් වෙන්න. එතකං අර කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙන ඉමු.

      Delete
  3. //පොඩි කාලෙම ගහ-කොළවලට ගරු කරන්න//

    කාලයක මතයක් ගෙනිච්ච පණ්ඩිත බෞතිකවාදී සෙට් එකක්... ජන කතා, සත්තු/ ස්වභාවික ද්‍රවය කතා කරන ජාතියේ කතන්දර ළමයින්ට කියන්න එපා කියල. ගස් කවද්ද කතා කරේ, හඳේ කොහෙද හාවෝ කියල හිටං!

    ඒත්... පරිකල්පන, සහකම්පනය වගෙ දේවල් ළමා මනසේ වර්ධනයට මේ කතන්දර වලින් උපකාරී වෙනව කියල, ෆ්‍රොයිඩ්ගෙ විශ්ලේෂණ පදනම් කරගනිමින්... පහුව, අධ්‍යාපන මනෝවිද්‍යාවෙ හෙම පෙන්වල දුන්න.

    ReplyDelete