අකුරු මැකී නෑ

Sunday, April 1, 2018

වස් කවි කීම - පළමු කොටස

අද නමෝවිත්තියෙන්ම කියන්න ඕනේ මම මේවා ලියන්නේ කාලානුක්‍රමයෙන් නෙවෙයි කියලා. ඒ හරුපේ මොකක්ද බොලේ? දැන් සමහර දෙනා අසාවි. කාලයේ; සිදුවීම්වල අනුපිළිවෙලට නෙවෙයි කියන එකයි ඒ. තේරෙන සිංහලෙන් කියනවා නම් A to Z විදියට නෙවෙයි. හොඳේ? එහෙම කරන්නේ කියවන හුදී ජනයාගේ පහන් සංවේගය දල්වාලීම උදෙසායි; කියවීම එපා නොවනු පිණිසයි!

මම හැව්ලොක් ටවුමේ, ඩික්මන් පාරේ බතික් කරන තැනක වැඩ කරමින් ඉඳලා එතනින් අස්වුණා. පුංචි වදන් හුවමාරුවක් වෙලා. ඒ බව ආරංචි වෙලා ඒ වැඩපොළේ අයිතිකාරියගේ නෑයෙක්; ඊවා සේනානායක මහත්මිය  මට පණිවිඩයක් එව්වා. මාත් එයාව හමුවෙන්න ගියා.

ඊවා හාමු. එහෙමයි අපේ අම්මා එයාට කිව්වේ. අම්මා එයාගෙත් එයාගේ යාළු ගොඩක් හාමුලා-නෝනලාගේත් ඇඳුම්- විශේෂයෙන් හැට්ට මහලා දුන්නා.

ඊවා හාමු හරිම ලස්සනයි. සීදේවි මනුස්සයා. මම අම්මත් එක්ක කොයි වෙලාවෙ එහෙට ගියත් එයාම ඉදිරිපත් වෙලා කෑම-බීමෙන් සංග්‍රහ කළා. එයාගේ මහත්තයා උපාලි සේනානායක. ඩඩ්ලි සේනානායක මහත්මයාගේ ළඟම ඥාති සහෝදරයෙක්. මහ කළු සිංහලයා කියන්නේ උපාලි හාමු වගේ අයටම තමා කියලයි මං නම් හිතුවේ. හැබැයි උපාලි හාමුයි, ඊවා හාමුයි දෙන්නා කොහොම හාමුවෙලා උන්නාද කියලයි මොට්ටකමට මට හිතුණේ. ගමේ බාසාවෙන් කියනවා නම් ඒ ජෝඩුව හරියට තැඹිලි ගෙඩියට කපුටා වැහුවම වගෙයි.

ඊවා හාමුගේ අම්මා ලොකු හාමු. එයත් ලස්සණයි, කරුණාවයි. අපේ අම්මා වැඩට ගිය සමහර දවසට, අම්මාගේ අතේ කේක්- රසකැවිලි- පළතුරු එහෙම අපට එවනවා. එහෙම දවසක මහා ජංජාලයක් වුණත් එක්ක.

එදා අම්මා 'ඔන්න ලොකු හාමු දුන්න' කියලා හොඳට ඔතලා තිබුණු පාර්සලයක් දුන්නා. එතකොට අපි ඉන්නේ යකඩ දුන්නත් කන; කෑවත් දිරවාගන්නත් පුළුවන් මට්ටමේ. අපිත් ඉතිං වැල ගෙඩියට වටවෙන කපුටෝ වගේ රොක් වෙලා පාර්සලේ ලෙහුවා. වෙනදා වගේ නෙවෙයි. ඒක කීප සැරයක් ඔතලා. ඒත් ඉතිං ඕවා මහ දේවල්යැ. ලෙහුවා- ලෙහුවා. අම්මට සිරි!
මොකක්දෝ ගඳක් එනවා වගේ. අපි එක-එකා දිහා බැලුවා. නෑ- නෑ. මේක කාගෙවත් පඩ ගඳක් නෙවෙයි. ඒ සංදියේ අපි හැමෝම එක-එක්කෙනාට ආවේණික ගන්ධය ගැන එක්ස්පර්ට්ස්ලා.
'මොකක්ද ලොකා (මං ලොකු අයිය නිසා ලොකා වුණේ.) ඇතුළේ  තියෙන ඒවා කුණු වෙලාද?'

'එහෙම කොහෙද. තව චුට්ටනේ. ඉන්නවකො.' මමත් පෙණය පුප්පලා පෙන්නුවා.

ඔක්කොම වැහුම් ඇරියා විතරයි, සේරමලා ඈතට දිව්වා, නහයවල් අත්වලින් තද කරගෙන. 'මොන ජරාවක්ද අම්මෙ මේ?' ප්‍රශ්නෙ අහන්න වුණේ මට.
මොන ජරාවක්ද අම්මේ මේ..... මේවායේ ගඳ?
'ඇයි යකෝ ඕක කොහොමද ජරාවක් වෙන්නේ?' අම්මත් බොහෝම කාරුණිකව මාව ඇමතුවා. එයා ගෙනාපු දේකට එයාම නරකයි කියාවියැ. 'ඕක හරිම රස ගෙඩි ජාතියක්. දූරියන්. ගේන්න ලේසිවෙන්න මම ලෙලි ඇරලයි ඔතාගත්තේ. ජරාවක්ද කියලා කාලම බලපල්ලකෝ.'

කවදා කාපු ටකරන්ද? දවසක් යනකල්ම අපේ ගේ ගන්දකේ බැරිව තිබුණා. එදා නම් අපි කවුරුවත් කට අහලකට දූරියන් ගත්තෙත් නෑ.
දූරියන් මදුළු පොඩි වුණොත් ගඳ වැඩිවෙනවා.

හාමුලාගේ හාමුවීම් පස්සට තියලා ආයෙමත් අපි අපේ කතාවට එමු නේද ඉතින්. 
     
"අපරාදෙනේ ළමයෝ එතනින් අස්වුණේ....." ඊවා හාමු මාව සමහන් කරන්න බැලුවා. ම්හු! මං අස්වෙන තීරණය ගත්තේ හුඟාක් හිතලා. ඔහොම වෙලාවට විරුද්ධව කතා කරනවට වැඩිය පලදෙන්නේ නිස්සද්දව ඉන්න එක.

" එහෙනම් මම ඔයාව මං දන්නා තැනකට යවන්නද?"

"ඒක නම් ලොකු උදව්වක්." මම කිව්වේ ඇත්තටමයි. රස්සාවක් ඉක්මනටම හොයාගන්නයි මං සූදානමින් හිටියෙත්. අපට වතුපිටිවලින්- කුඹුරුවලින් ආදායමක් එන එකක්යැ. මං තමයි එතකොට අපේ ගෙදර බ්‍රෙඩ්විනර් වෙලා තිබුණේ ඉබේම. අම්මගෙ ඉපැයීම් කෑම-බීමට නෝ හෙල්ලුම්! ඒ ගැන පස්සේ කියමුකො.
ඊවා හාමු එවෙලේම කාටදෝ ටෙලිෆෝන් කළා. කියවෙන දේවල්වලින්ම තේරුණා, වැඩේ ගොඩ බව. එයාගේ උපදෙස් විදියටම මං පහුවදා උදේ තාත්තාත් එක්ක අලුත් රැකියා ස්ථානය හොයාගෙන ගියා.

ඒක හැමෝටම උදය උදා කරවන උදාර අරමුණෙන් පිහිටුවපු ස්වේච්ඡාසේවී ශ්‍රමදාන සංගමයක්. අපි ගියේ ඒකෙ ප්‍රධාන මූලස්ථානයටම. එතන මහා විශාල වුණේ පස්සේ කාලෙක. ඒත් තිබුණු ගොඩනැගිලි ටිකෙත් අංශ ගණනාවක්. බතික්, කැමරා, මුද්‍රණ, වඩු, වැල්ඩින් වගේම ගොවිපොළකුත් තිබුණා.

මාව ඉන්ටවිව් කළේ බතික් අංශේ ලොක්කා; එස් අයියා. පහුවදා ඉඳලාම මට වැඩට එන්න කිව්වා. එහේ නැවතිලාම වැඩ කරන්නත් පුළුවනි කියලා කිව්වා. එතකොට.... එයාලා බතික් ශිල්පීන්ට ගෙවන්නේ 'පීස් රේට්' අනුව කියලත් කිව්වා.

බතික් කරන අයට එයාලා ගෙව්වේ කෑලි ගණනට... පීස් රේට්....
නිපදවන කැබලි ගණනට අනුව ගෙවන එකට මමත් ගොඩක් කැමැති වුණා. මොකද එතකොටත් මං දැනගෙන හිටියා මගේ ස්පීඩ් එක හුඟක් හොඳ බව.

දසනායක රත්නවතී නිවන් දකින්න ඒ පිනම ඇති; මට ඔය සීඝ්‍ර වැඩ කරන්න පුළුවන්කම ආවේ ආච්චිගෙ ජානවලින්. උප්පත්තියෙන් ආවටම මදිනේ. පුහුණුවත් ඕනේ. විස්ස-විජ්ජාලවලට නොගියාට, තියරි ඉගෙන නොගත්තට එයා තමා මට සතතාභ්‍යාස කෙරෙව්වේ. ටීවී නොතිබුණු ඒ කාලේ ආච්චි අනේක කෑම ජාති හදන හැටි, රේන්ද ගෙතිලි, පොල් අතු විවිලි වගේ අනේක සුකුරුත්තන් වැඩ කරන හැටි, අපි- විශේෂයෙන් මං බලා හිටියා. අනේ, උන්දැත් ගුරුමුෂ්ටි තියාගන්නෙ නැතිවම අපට ශිල්ප දුන්නා.

මං ඉතිං‍ එහාට වැඩට ගියා. හැබැයි මං එස් අයියාට...; (එහෙ හිටිය ඔක්කොම අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා.)
'අයියල සහ අක්කලා, නංගි මල්ලි එක්වෙලා
කියන්න මේ පොඩි කතාව
එන්නකො මෙහි රොක්වෙලා//
අම්මල පුංචම්මලා, මාමල සහ නැන්දලා
අප්ප-කුඩප්පල ඔක්කොම
අහගන්නකො ළංවෙලා//
ගතිගුණ රැකි ආරිය, සුමනා හැඩකාර්......'


පෙනෙනවා නේද මට තියෙන ඔල්මොරොන්දම.... මේ සේරම අස්සේ මතක් වුණේ....
පේනවනෙ මට තියෙන ඔල්මොරොන්දම. මේ ඔක්කොම අස්සේ රෑන ගිරව් ෆිල්ම් එකේ හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් රඟපෑව කෑල්ලක් මතක් වුණා. විරිදු සින්දුව කිව්වෙ නාරද දිසාසේකර. සාරංග දිසාසේකර කියන්නේ එයාගේ අතිජාත පුත්‍ර රත්නයට.

ඉතිං- ඉතින් මං එස් අයියාට කිව්වා 'අනේ අයියේ, මට ඔය ශ්‍රමදාන වැඩ නම් ඕනෑ නෑ. මට ඕනේ ශ්‍රමය විකුණලා හරි කීයක්වත් හොයා ගන්න. ඒකට මං වැඩ කරන්නම්, ඒවාට මට ගෙවන්න.' කියලා.

"හරි හරි. අපි ගෙවන රේට්ස් හුඟක් හොඳයි. ඔයාටම තේරෙයිනේ, මේ දවස් පහළොව වැඩ කරලා බලන්නකෝ."
ඇත්තනේ. වතුරට නොබැහ පීනන්න ඇහැකියැ?

දවස් පහළොව ගියා. එතකොටත් වැඩ කරන අනිත් අය දකිනකොට මං පුදුම වෙලයි හිටියේ. එයාල ඒ තරමට slow. මාසේ අන්තිමට එස් අයියා මට කතා කළා, පෞද්ගලිකව.
"නිමල්, මම ඔයාට මේක කියන්නේ ඔයාගෙම හොඳට. ඔයාගේ වැඩ හොඳයි. ඒ වගේම ස්පීඩ් එකත් හොඳයි. දැනට ඔයා ඉවර කරලා තියෙන කෑලි ගාණ බැලුවාම ලොකු ප්‍රශ්නයක් එනවා. අපි අනිත් අයට ගෙවන ගණනම ඔයාටත් ගෙව්වොත්, ලබන මාසෙදි ඔයාගේ පඩිය මගේ එකටත් වැඩිය වැඩි වෙනවා. ඒත් කමක් නැහැ කියමුකො. ලොකුම ප්‍රශ්නේ මිස්ටර් ----- ගේ පඩියටත් වැඩිය ඔයාගේ පඩිය වැඩි වෙන එක."

එස් අයියා කතා කරන්නේ නිවිහැනහිල්ලේ. මං ඒකෙ අනිත් පැත්ත.
'ඉතින් මොකෝ. මට කෑලි ගාණට ගෙවන්නම් කියලනේ ඔයා  කිව්වේ. මං දන්නවා, ඔයා ඒක සර්ටත් කියලා තියෙන බව.'
"ඒකම තමයි ප්‍රශ්නෙත්. සර් පඩි ලැයිස්තුව දැකපු ගමන් ඔයාටත් මාස් පඩියක් දෙන්න කියයි."
මාත් හරි මුරණ්ඩුයි. මෝඩයනේ. එස් අයියා ෂේප් එකට කරපු කතාවලට කන් දුන්නෙම නෑ. ' අයියේ, ඔයා පඩි ලැයිස්තුව හදලා ඒක සර්ට දාන්නකෝ.'
එහෙම කළ දවසෙම රෑ සර් මාව කැඳෙව්වා.

"නිමල්, මෙහෙ ඉන්න ඔක්කොම වොලන්ටියස්ලා. දුර ඈත ගම්වලින් ආව අය. අනික අපි කරන්නෙ සමාජ මෙහෙවරක්. මාත් එහෙමයි.මගේ මුළු ජීවිතේම මේ ව්‍යාපාරේ වෙනුවෙන් කැප කරලයි ඉන්නේ. මට පඩියක් ගෙවන්නෙත් නෑ....."

මං බොහෝම අමාරුවෙන් කට වහගෙන හිටියා. එස් අයිය මාව දිවුරවලා පොරොන්දු කරවගෙනයි සර් ළඟට යැව්වේ, නිස්සද්දව අහගෙන ඉන්නවා කියලා. එහාට ගිහින් දවසයි- දෙකයි ගියේ, චූස්-චූස් හරිම සැරයි, ගම්මිරිස් ඇටේ කියලා කවුරුත් දැනගත්තා. මීක් නැතිව අහගෙන හිටියට මගේ  යටිහිත තොරතෝංචියක් නැතිව දිගටම කියෙව්වා.

'පඩි මොකටද? සර්ට විතරක් නෙවෙයි, මුළු සනුහරේටම ඉන්න තැනක් ලැබිලා තියෙනවා. කන්න බොන්න අඩුවක් නැතිව ලැබෙනවා. ළමයින්ව ඉස්කෝලේ ගෙනියන්න- ගෙනෙන්න වාහන තියෙනවා. ඕනේ දිහාවක යන්න- එන්න වාහන තියෙනවා. ඩ්‍රයිවර්ලා ඉන්නවා. පිටරට යන්න- එන්න වරම්! ඒ ගිහිල්ලා එනකොට ගෙදර අයට ඇඳුම්- ටොෆි- චොකලට්- සෙල්ලම් බඩු....ඕනේ මඟුලක් ගේන්න පුළුවන්. ඉතින් පඩි මොකටද?'

2 comments:

  1. ඒ දවස්වල මේ ගනුදෙනු ඇග්‍රිමන්ට් අස්සන් කරල කරපුවද එහෙමත් නැතිනම් කට වචනෙට උන දේවල්ද ? අපේ හාමිනෙලගෙ අම්මල සම්බන්ධ උන ඔය වගේම කුඩ සහ බතික් වැඩ කරපු සමිතියක් අත්තිඩියේ තිබුණ කියල අහල තියෙනව. හැබැයි අපි උස් මහත් වෙන කාලෙ වෙනකොට මේ කර්මාන්ත, සමිති සමාගම් බොහොමයක් කඩා වැටිල.

    ReplyDelete
  2. කණ්ඩා, ඒ දවස්වල ගිවිසුම් ගැහිලි නොතිබුනාට මිනිස්සු වචනේ රැක්කා. අදට වැඩිය හැමෝම අවංකයි!
    මහරගමත් තිබුනා 'සිලනිකා' කියලත් එකක්. තව එකක් තිබ්බා, නම් කියන්න විදිහක් නැහැ. මෝස්‌තර එක්ක හත් වසරක් - 9 පෝස්ට් එකෙන් ඒකෙ බොස් ගැන කියන නිසා!

    ReplyDelete