අකුරු මැකී නෑ

Monday, April 23, 2018

ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස

ගස්සලා යවනවා කියලා කියූ ගමන් මොනවද හිතෙන්නේ? නැති නම් හිතන්නේ?

අපි හිතන දේ නෙවෙයි, තමුසේ කියන්න ආපු දේ කියනවකො. ළඟ ඉන්නවා නම් ඔයාලා මට කියයි. හරි මේං කිව්වා. කාලෙකට ඉස්සෙල්ලා තමයි මට මුල්ම වතාවට ඔය යෙදුම අහන්න ලැබුණේ.


ගස්සලා යවන වැඩේ මාර risky වැඩක්......
"නිමල් අයියෙ, තව ඩිංගෙන් මං හරි අමාරුවක වැටෙනවා. හොඳ වෙලාවට ගස්සලා යවාගන්න පුළුවන් වුණා." මිතුරාගේ කතාවෙනි මා එය දැනගත්තේ. ඔහු විවාහයක පැටලී හිටි කෙනෙක් නොවේ. එහෙත් තරුණියක හා ඉතාම සමීප ඇසුරක් තබාගෙන උන්නේය. ඉතිරි හරිය දැනටමත් ඔබ තේරුම් ගෙන අහවරය. එහෙම නේද?

ඒ කාලයේ නම් තරුණ-තරුණියන් තබා බොහෝ විවාහකයන් පවා දරු පිළිසිඳ ගැනීමේ කාලය ගැන දැනගෙන හිටියේ නැත. හෝමාගම හබරකඩදීත්, මොරටුවේදීත්, දෙනියායේදීත්, කුරුණෑගලදීත්, ඇල්පිටියේදීත් අප කළ මානව ලිංගිකත්ව වැඩ සටහන් රැසකදීම ලැබුණු ප්‍රතිඵලය එකක්ම විය. living together සංකල්පයත් ගමටම රිංගා තියෙන දැන් කාලයේ නම් ඒ දැනීම ලබාගන්නේ ඇටෙන්-පොත්තෙන් පැහෙන්නත් කලින්ය. ඒ කොච්චර දැනුම්වත් වුණත් වැඩක් නැත. පොඩි අතපසු වීමකින් ලොකු ප්‍රශ්නයක් පටන් ගන්නට පුළුවන.

ගස්සලා යවන්න වෙන්නේ එතකොටය. ගබ්සාව....! ස්ත්‍රී ගර්භාෂයක තැන්පත්වූ සංසේචිත ඩිම්බයක් පුදුමාකාර වේගයකින් කළලයක් විදියට වැඩෙන්න ගන්නවා. ඒ කළලය වර්ධනය වෙන්න නොදී ගර්භාෂයෙන් ඉවත් කිරීමටයි අපි ගබ්සා කරනවා  කියන්නේ.

ඔය පිළිසිඳගැනීම මහා අරුම-පුදුම දෙයක්නේ. මට මුලින්ම එහෙම හිතුණේ කුස ජාතකේ කියවද්දී. මුල්ම වතාවේ නෙවෙයි හොඳේ. ඕනි නැති දේවල් දැනගත්තට පස්සේ කියවද්දී.... 

ඔක්කාක රජ්ජුරුවන්ගේ සීලවතී බිසොවුන්නාන්සේට දරු ඵල නැති වුණාම පිහිටට එන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා. උන්නාන්සේ මහලු වේශයක් මවාගෙන ඇවිත් මහපට ඇඟිල්ලෙන් සීලවතී බිසවගේ නාභිය පිරිමැද්දාලු. එතකොට තමයි බිසවට පිළිසිඳගැනීමක් වෙලා තියෙන්නේ. පරහ තියෙන්නේ එතනනේ. ඩිම්බයක් සරු වෙන්න නම් ශුක්‍රාණුවක් ඕනේ. මහපටැඟිල්ලට ශුක්‍රාණු උනනවයැ සක්කරයාගේ වුණත්? අනේක බුරියේ සිදුරක් නැහැනේ පැලෝපීය නාලවලට.

ඔය සක්කරයාත් සතපහකටවත් විශ්වාස කරන්න හොඳ පුතෙක් නෙවෙයි. එ්ක කියන්නේ මං. කුමාරතුංග මුනිදාස පඬිතුමාගේ පොතක තිබුණු කතාවක් විශ්වාසෙට ගත්තු නිසා. පොත- මුවදෙව්දා විවරණයයි. මේං ඒ කතාව අහන්නකෝ.


රූබර අහල්‍යාව දැක්ක ගමන් සක්කරයාට ඉහිලුම් නැතිව යනවා... වැට පනින්නමයි හිතෙන්නේ..
බ්‍රහ්මයා ඉස්සෙල්ලාම මවාපු ගැහැනිය 'අහල්‍යා' ව ගෞතම ඍෂිවරයාටයි අඹුව ලෙස දෙන්නේ. එයාව දැක්ක ශක්‍රයාගෙත් හැඟීම් ප්‍රකෝප වෙනවා. සක්කරයාගේ පාදඩ ආශාව ඉටු කරගන්නට චන්ද්‍රයාත් උදවු කරනවා. චන්දරේ මහා රෑ මැද්දෙ කුකුල් වේශයක් මවාගෙන ඇවිත් හඬලනවා. ඉරිසිවරයා රැවටෙනවා එළිවෙලා තමයි කියලා. එයා එවෙලේම පිටත්වෙලා යනවා නාගන්න. ඒ අස්සේ ශක්‍රයා ඍෂිවරයා විදියට ඇවිත් හොරෙන්ම අහල්යාට 'පහර දෙනවා'. සක්කරයාට කෙළවෙන්නේ නාන්න ගිය ගෞතම ඉරිසිවරයා ඉක්මනින්ම ආපහු එන නිසායි. අතේ කෝට්! හොඳටම කේන්තිගන්න ඍෂිවරයා ශක්‍රයාට සාප කරනවා, 
"තාගේ මුළු සිරුර පුරාම ස්ත්‍රී නිමිති දහසක් පහළ වේවා!" කියලා.

මළ කෙළියයි නෙවෙයි කෙළි දාහයි. 

සක්කරයාගේ අත්-පාවල, පිටේ, බඩේ, ඔළුවේ, බෙල්ලේ, පුරුෂ නිමිත්තේ විතරක් නෙවෙයි මුහුණෙත් ස්ත්‍රී යෝනි! කොහොමට හිටින්න තිබ්බද රෑ ජාමේ තියෙන සංගීතයක් මැද්දට ඒ වෙලාවේ ශක්‍රයා ආවා නම්. ශක්‍රයා ඉරිසිවරයාට දහ වැඳුම් වැඳලා ඉල්ලනවා සාපෙ අයින් කරන්න. අන්තිමට ඍෂිවරයා ටිකාක් මෝදුවෙලා සාපය වෙනස් කරනවා. 

ඒ යෝනි දාහම 'නෙත්' බවට හැරෙන්නේ එතකොට. එ්කෙනුයි සක්කරයාට ඇස් දාහක් ලැබෙන්නේ.

එහෙව් ශක්‍රයා සීලවතී බිසවගේ බුරිය ඇඟිල්ලෙන් පිරිමැද්දා කියලා විශ්වාස කරන්නේ ඉටිපන්දම් තියෙන මිනිස්සු වෙන්නැති.

අපි මොකටද ඔව්වයේ දිග-පළල ඕනවට වඩා හොයන්න යන්නේ. ජාතක පොතයි, බණ දෙසන උත්තම සංඝයා වහන්සේලා වදාරන දේවලුයි පිළිගන්නවා මිසක්. මාත් දාගන්න යන ලෙඩ අම්මපා! 

ඉතින්, දැනටම මගේ ජීවිතේ හරහා කීප විටක්ම ගබ්සාව එහා-මෙහා ගිහිල්ලා තියෙනවා කියලයි ඉස්සෙල්ලාම කියන්න වෙන්නේ. කවුද දන්නේ ඉදිරියේදී මේ ආත්මෙදිමත් ඕක ආයෙම මුලිච්චි වෙයිද කියලා.

හරියට ලෝකය දකින්නත් කලින්ම මාව ගබ්සා කරන්න අහලා තියෙන්නේ.............
පළමු වතාව! මං ඉපදෙන්නත් ඉස්සෙල්ලා.

ගබ්සාවක් කරන්නෙත් ඉපදෙන්න කලින් නොවෙන්නම්. හැබැයි මට මේ කතාව එළි-පහදු වුණේ, කොන් අහු වුණේ ඉපදුනාට පස්සේ; අවුරුදු දොළහක් විතරත් ගියාම.

ලියුමක් ආවා බදුල්ලෙන්. එ්ක කියවලා අපේ අම්මා හොටු පෙර-පෙරා අඬන්න ගත්තා. අපරාදේ කියන්න බෑ, අපේ අම්මා අඬන්න හරි දස්සයි; ඊටත් වැඩිය දස්සයි නාහෙන් අඬන්නත්. එයා සුදු හිංදා, අඬන්න පටන් අරන් ටික වේලාවකින්ම නහය ජම්බු ගෙඩියක් වගේ වෙනවා. ඇයි හොටු හූරලා දාන්න නහය මිරිකනවනේ.

ඊළඟ කාරණාව තමා ඔය සන්දිය වෙනකොට අපේ ගෙදර බදුල්ලෙ හුළඟ එක්කවත් පයුරු පාසනයක් තිබ්බෙ නෑ. 1964 දී අපි බදුල්ලෙන් මහරගමට එද්දී තාත්තා කිව්වලු 'මළගමකටවත් ආයේ බදුල්ලේ පස් පාන්නේ නෑ' කියලා. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සෙම no connection, අම්මලාගේ පරම්පරාව එක්කම! එතකොට තාත්තගෙ සංහතියම දෙන්නයි! ආච්චියි සීයයි.

අම්මගෙ ඇඬිල්ල ගැන ඇහුවේ ආච්චි. "මොකද ලීලා?"
අම්මා උත්තර දෙන්නේ තව ටිකක් හයියෙන් අඬලා, හොටු හූරලා දාලා, පහත් වෙලා දිග ගවුමේ කොනකින්ම නහයත් පිහදලා ඉවර වෙලයි. එතකොට ආච්චිගෙ රතු කට්ට පැනලා. "මොකද බං. ඇඬුවාම සේරම හරි යනවද. මොන මළදානයක් හරි කරන්න කලින් දැනගෙන ඉන්න එපැයි".

සීයට දෙසීයක්ම අපේ තාත්තාට කරුණාව පහළ වෙනවා ඔය වගේ වෙලාවට. තමුන්ගේම අම්මා වුණත් බිරින්දෑට මොකවත් කියනවට එයා මනාප නෑ. එ්ක තමා හැටි.
'ලොව රූපවතියන් හමුවේ - අධිරාජයෝ
අභිමාන රජකම් හැරදා - පැරදී ගියෝ' කියලා ජී.එස්.බී. රාණි පෙරේරා කියන්නේ සින්දුවකිනුත්. මම කලිනුත් කියලා ඇතිනේ, අඹුසොඬ බමුණා ගැන. මොකද මන්දා මට තාත්තා ගැන එහෙම හිතෙන්නේ.... 
මට පවූවූවූවූ!

"එයාගෙ අම්මා හොඳටම අසනීපෙන්ලු, අම්මේ". තාත්තා අම්මාගේ තෝල්කයා වුණා.

"මතක් කරන්න එපා, ඔය අම්මණ්ඩිලා මට අරහං" කියාගෙන ආච්චි මාරු වුණා, ප්‍රශ්නය තාත්තටම තියලා.

තාත්තාට ප්‍රශ්න විසඳන හොඳම ක්‍රමය ගැන පූර්වාදර්ශ තිබුණේ නැහැ. ඒ කාලේ හිටියේ ඩඩ්ලි සේනානායක මහත්තයා වගේ අයනේ. 1953 හර්තාල් එකේදි සිද්ද වුණු දේවල් නිසා කලකිරිලා උන්නැහේ අගමැතිකමෙනුත් ඉල්ලා අස්වෙලා ගෙදර ගිහිල්ලනේ. ඒකට දැන්. විසි හතර වතාවක් පැරදිලත්; දැන්වත් දාලා පලයං කියලා කොච්චර කිව්වත් නායකකමවත් දාලා නොයා, ප්‍රතිසංවිධාන කොමිටි දදා ඉන්න අය ඒ දවස්වලත් හිටියා නම්.
බුදු sure, අපේ තාත්තත් දැන් හිටියා නම් කොමිටියක් පත් කරනවා!

ඩඩ්ලි සේනානායක මහත්තයා නම් ඕනෙම වෙලාවක නම්බු පිටින් පට්ටම් දමා ගහලා යන්න හැදුවා!
හැබැයි අපේ තාත්තටත් කුස්සි කැබිනට්ටුවක් තිබ්බා. ඒකච්ඡන්දෙන් ඒකට සාමාජිකයෝ දෙන්නෙක් පත්වෙලා හිටියා. අම්මයි, තාත්තයි. .....මොකක්ද කිව්වේ?

නෑ, නෑ.... මට හොඳට ඇහෙනවා, අලි-අත්තුන්ට වාගේම, සියඹලා කොළයක් බිමට වැටෙන සද්දෙත් නියමෙට ඇහෙනවා. මට ඕනෑ නම් නෑහුණා වගෙත් ඉන්නවා. ඒක මගේ මානව හිමිකමක්නේ.

ඔයාලා අහන්නේ කොමිටිවලට වැඩියෙන් දාන්නේ ලිංගික සම්බන්ධකම් උඩද කියලනේ. පිස්සුද? රට්ටු ඔව්වා කියන්නෙ මොකද, එයාලා ඇඳන් යට ඉඳලයැ. අපේ තාත්තත්  එයාගේ ඕනෑකමට අම්මාව කොමිටියට දාගත්තා නෙවෙයි. වෙන කවුද විශ්වාසවන්ත? ඔය කවුරුත් රටට- ගෙදරට බලපාන තීරණ වැඩි හරියක් කුස්සියේදී හරි නිදි යහනාවෙදී හරි ගන්නත් ඇති.  ඒකට මොකෝ? ලොක්කොන්ට තියෙන දාහක් රාජකාරි එක්ක වෙලාව ඉතිරි කරගන්න තමා එහෙම කරනවා ඇත්තේ.

එහෙම ගත්තු තීන්දුවක් උඩ අම්මා බදුලු ගියා. දවස් ගාණකට පස්සෙයි ආවේ. එතකොට බදුල්ලේ ආච්චිට සනීපයිලු. අම්මා අලුත්ම කෑල්ල එළියට වැඩැම්මුවේ සුබ මුහුර්තියක් එනකල්ම කල් මරලා. "අපි අම්මව ටික දවසකට මෙහෙ එක්කගෙන එමුද ඒයි?"

"කවුද ඒ මනුස්සයට සාත්තු-සප්පායම් කරන්නේ? දවල්ට තමුසෙත් ගෙදර නැති එකේ..." ඒ දවස්වල අම්මා වැඩට යනවා.
"ඇයි රන්ජිලාත් ඉන්නේ." එතකොටයි, එච්චර කාලයක් හැංගිලා තිබ්බ කතාවක් එළියට ආවේ.

"රෙද්දක් ඇඳගෙනද ගෑනියේ උඹ කතා කරන්නේ.... රංජි...රංජි... ඔය ගෑනිම නේද ඌ ඉපදෙන්නත් ඉස්සෙල්ලා මරලා දාන්න හැදුවේ? දැන් ඌට කියලද...."

කතාව සම්පූර්ණයෙන්ම ගළපාගන්න නම් කාලයක් ගියා.

දිසානායක හේවගේ ගුණපාල 'ගිනි භටයා' විදිහට පත්වීමක් ලබලා බදුල්ලට ගියා. රහුබැද්දේ විදානේලගේ කිරිවන්තේ උන්දැගේ ගෙයක් කුලියට අරගෙනයි එහේ හිටියේ. අන්තිමට ඒ ගේ දෑවැද්දටම අරගෙනයි නැවතුණේ. (ඔය අස්සේ හැංගුණු කතා එමටයි. පස්සේ කියමු.) එතකොට ආර්.වී. ලීලාවතී ජම්බු ගහෙන් වැටිලාත් මහා කාලයක් ගිහින් තිබ්බෙ නෑලු; කොටින්ම අවුරුදු දාහතවත් පිරිලා නෑ. කසාදෙ ලියාපදිංචි කරලා තියෙන්නෙත් බොරු වයසක් දාලා. හරියටම කියනවා නම් අපේ තාත්තා කරලා තියෙන්නේ බාල අපරාධයක්!

කවුරු හරි අම්මාගේ වයස මගෙන් ඇහුවොත් මට හරි ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන්. (මං නම් ඒ වගේ ප්‍රශ්න කාගෙන්වත් අහන්නේ නෑ. මෑතක් වෙනකල්ම මගේ වයස කිව්වෙත් නෑ. දැන් නම් කියනවා.) මගේ වයසට දාහතක් එකතු කළාම ඒක තමයි අම්මාගෙ වයස.

රහුබැද්දේ විදානේලාගේ ලීලාවතීයි, නිමල් දිසානායකයි.........
බදුල්ලේ ආච්චි ඒ පැත්තේ ප්‍රසිද්ධ වෙලා හිටි කෙනෙක්; ගෙඩි වෙදකමට. ඒ වගේම වින්නඹුකමටත්. ඉතින් තමුන්ගෙ දෝනියන්දෑ බොහෝම අඩු වයසෙන් බඩ-ගැබ්බර වුණාම උන්දැට දුක හිතෙන්නැති. ඇත්තටම වෙන්න ඇත්තෙත් මේකම තමා. අපේ අම්මා මේ කතාව එයාගේ පැත්තෙන් මට කිව්වාම, බදුල්ලේ ආච්චිගේ යහපත් චේතනාව මං පිළිගත්තා.

අපේ අම්මා මට ඔය කතාව කිව්වෙත් හරි බයෙන්. ඇයි තාත්තා යකා වගෙනෙ කේන්ති ගියාම. "ලීලෝ මෙච්චර අඩු වයසෙන්ම දරුවෙක් හදාගෙන පුළුවනියැ මයෙ අම්මා?...."

ඔන්න මෙච්චර වෙලා දිගටම කියාගෙන ආවට තවත් නම් බෑ, බෑමයි.

"රංජි පුතා! දිස්නා... රංජි අයියා ඇවිල්ලා මයෙ අම්මා.." සෝමා පුංචි ඇදලා කියනවා, බදුල්ලේ ඇක්ෂන් එකෙන්. බදුල්ල පැත්තේ ඒ කතාවට මම හරි ආසයි.

ප්‍රශ්නයක් අහද්දී 'ද' කියලා එකතු කරන පුරුද්දක් එහෙ නෑ. "රංජි පුතා කෑවද?" කියා අහන්න ඕනෑ වුණැයි කියමුකො. ඒගොල්ලො ඒක අහන්නෙ මෙහෙමයි. "රංජි පුතා කෑවා?". උච්චාරණය කරන විදියෙන් තමා ප්‍රශ්නයක් බව පේන්නේ. "වා" අකුර ගොඩක් දිගට අදිනවා, ටිකක් ලෙලවමින්. තව තියෙනවා. 'මගෙ' වෙනුවට 'මයෙ' වැනි වචන.....

තාක්ෂණයේ දියුණුවක් නම් තමයි, සංවර්ධනයේ ප්‍රතිලාභ විදියට අපට ලැබුණු රූපවාහිනියත්, රේඩියෝවත් නිසා මේ වගේ ප්‍රාදේශීය ව්‍යවහාර දැන් වාෂ්ප වෙලා ගිහින්.


තාක්ෂනික දියුණුවත් එක්කම ප්‍රාදේශීයකම් අතුරුදහන් වෙන්න ගියේ පොඩි කාලයක්..........
සෝමා පුංචි, කඩේ පුංචි, කඩේ ආච්චි, වීරෙ අයියා, ගුණේ අක්කා, හේනේ පුතා වගේ අයගෙනුත් දැන් මේ වහර ඈත් වෙවී යනවා වගේ. මට නම් දුකේ බෑ. ඒත් එයාලත් ආසා නැතැයි දියුණු ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න. අපි විතරක් ගියාම මදිනේ.

"...දරුවෙක් හදාගෙන පුළුවනියැ මයෙ අම්මා? දැන්මම....ගුණපාල ළමයගෙනුත් ඇහැව්වා නං..... මං දන්නවා ඕක ගැස්සිලා යන්න බේත්. තව කල් තියෙනවා මයෙ ලොකු දූට ළමයි හදන්න...." බදුල්ලේ ආච්චිගෙ කතාව පුළුවාන් තරං හීං කරලා කිව්වත් අපේ තාත්තා ඊට එකඟ වී නැත, ආච්චි සමඟ වෛර බැඳගත්තා මිස. 
මට අනුව නම් බදුල්ලේ ආච්චිත් කාලයට වඩා ඉදිරියෙන් හිටි ගැහැනියකි!


සිල්වියා ප්‍රනාන්දු, ලීලා බස්නායක, දොස්තර මේරි රත්නම් මහත්මීන් ප්‍රමුඛ පිරිසක් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පිහිටුවාගෙන තියෙන්නෙත් ඔය සන්දියෙමයි. 1953 අවුරුද්දේ. ඒ කොළඹදී. ෆැමිලි ප්ලෑනින් කියන සංකල්පයක් ගැන මෙලෝ දෙයක්, හාන්කාවිසියක් ඒ කාලේ බදුල්ලෙ, මයිලගස්තැන්නේ කන්දක් උඩ තිබ්බ හේනක හිටි ආච්චිලට කාන්දු වෙන්න කිසිම-කිසි ඉඩක් තිබුණේ නැතිවට මෙන්න කැට. ඒත් ආච්චී ගංගොඩේ ගෙඩි වෙදකං කරද්දී, වින්නඹුකං කරද්දී ලැබුණු අවබෝධෙන් තමා අපේ අම්මට හොඳක් කරන්න හිතන්නට ඇත්තේ.

ඒ අතින් නම් අපේ තාත්තා හරිම පසුගාමියි. ප්‍රතිගාමියි. චෝදනාව සනාථ කරන්නම්කො පස්සේ. එක්කෝ දැන්මම කියලා දාලා ඉන්නවා. අපේ පවුලේ ළමයි දහයක්. තිබ්බ තත්වේ හැටියට නම් තුන්-හතර දෙනෙකුත් හොඳටම වැඩියි. කොහෙද? කරුමෙට වගේ තාත්තා ඇදහුවේ, නිතරෝම කිව්වේ 'වැලේ ගෙඩි වැලට බර වැඩි නෑ' කියලයි. තව කිව්වා උපදින කවුරුවත් බඩගින්නේ මැරෙන්නේ නෑ කියලත්. ඇත්ත. අපි නම් මැරුණේ බාගෙට; බඩගින්නේ. 'අජාසත්ත 3-4' කොටස්වල ඒවා තියෙන නිසා ආයෙම ලියන්නෑ, හොඳේ.

ඊට හපන් අපේ අම්මා! පුදුම වාසනාවන්ත පරම්පරාවක ඉපදිලා තියෙන්නේ. මං හිතන්නේ 'පිරිමියෙකුට පැදුර පෑගුණත් ඇති, ඒ අම්මණ්ඩි ගැබ්බර වෙනවා' කියමන හැදෙන්න ඇත්තේ අම්මලාගේ පරම්පරාව දැකලා. ඒකෙ ගෑනු හැමෝම හත-අටක්වත් score කරපු අය. ඒ ආර අපේ චූටි නංගි දීපානිටත් ඇවිල්ලා.

කොච්චර දුරට ඇවිල්ලාද කියලා 'ගස්සලා යවමුද' දෙවෙනි කොටසෙන් කියන්නම්කෝ.

8 comments:

  1. බදුල්ලේ මයිලගස්තැන්නේ.. :) අපි ගඟෙන් එගොඩ.. හිඟුරුගමුවේ.. :D

    ReplyDelete
  2. අපේ අම්මා තමයි බදුල්ලේ. මං ඉපදුනෙත් එහෙ. ඒත් අවුරුදු දහයේදී විතර තාත්තලගෙ අම්මා (ආච්චිලා) හිටි මහරගමට ආවා. තවමත් පුංචි අම්මයි එයාලගෙ දරුවොයි ඉන්නෙ එහෙ. පාලමෙන් එගොඩ වෙනකොටම තියෙන කඩයකුත් කරනව එයාගේ එක දුවෙක්.

    ReplyDelete
  3. අමතක වුණා. සතුටුයි ගං පළාතේ කෙනෙකුව මෙහෙම හඳුනාගන්න ලැබීම ගැනත්!

    ReplyDelete
    Replies
    1. ඔන්න ගං පළාත්වල එව්වො ගෙදෙට්ටත් එක්කං ආව එහෙනං !

      Delete
    2. වැඩේ තියෙන්නේ කණ්ඩා. අපි එහෙන් ආවනේ අවුරුදු එකොළහක් වෙනකොටම .

      Delete
  4. සක්කරයත් මොකට එක එක බුරි වලට ඇඟිල්ල ගහන්න යනවද මන්ද ඔය තරම් දිව්‍යාන්ගනාවෝ පිරිවරාගෙන ඉඳලත් ... හැබැයි මේ කියන කතා සක්කරයට ඇහුනොත් මිනිහ පාණ්ඩු කැම්බල ශයිලාසනේ ලණුවක් බැඳලා එල්ලිලා මැරෙනව.

    අනික මම හිතන්නෙ මොන සක්කරය එපා කිව්වත් උපත් පාලන ක්‍රම ගැන මෙයට වඩා දැනුවත් කරල අත්‍යවශ්‍ය අවස්ථා වලදී පාවිච්චි කරන්න ගබ්සා නීති ලිහිල් කළ යුතුයි !

    ReplyDelete
    Replies
    1. දැන් නම් කණ්ඩො පිටරටවල වගේම තමා. සමහර තරුණ උදවියගේ පර්ස් එකේ කොපු තියනවා.

      Delete
    2. අවුලක් නෑ ... ලෝකෙම එක පැත්තකට යනකොට අපි විතරක් ගල් ගුහාවකට රිංගන්නෙ මොටද ? අනික අපි ඉන්නෙ ශ්‍රී සෞදි අරාබියේ නෙමෙයිනේ .. ඒ නිසා අවදාමට පෙර සුදානම හොඳයි :)

      Delete